Friday 1 December 2017

දෙවොල් ගී තුලින් අතීතයට එබිකම් කරමු

පුරාණ ශ්‍රී ලංකාවේ සංගීත භාණ්ඩ සහ ඇඳුම් (මාර්ටින් වික්‍රමසිංහ කෞතුකාගාරය)
බලන්ගොඩ රත්නපුර   ප්‍රදේශයේ උග්ගල් නුවර දේවාලයක් ගැන හා එහි නැටුම් සම්ප්‍රදායන්, පෙරහැර, ජන කවි මෙන්ම දේවාලයට ආශ්‍රිත ජන කතා ඉදිරිපත්  කරන බ්ලොග් අඩවියක් තිබේ, මේ බ්ලොග් අඩවිය ගැන මා මිට පෙරද සදහන් කර ඇත. එය ලියන එම් පී  ගුණසිංහ මහතා විශ්‍රාම  ලත් උප විදුහල්පතිවරයෙකු සේම බලන්ගොඩ අධ්‍යාපන  කලාපයේ ඉතිහාසය සහ සමාජ අධ්‍යයනය පිලිබඳ ජේෂ්ඨ උපදේශක වරයෙකි.

ඔහු ලීයූ අවසන් බ්ලොග් ලිපි පෙලේ පුරාණ ජන කවි කිහිපයක් සඳහන්  වෙයි. මේ ඉන් එකකි.
බුද්ධ හස්තය අමෘත හස්තය බ්‍රහ්ම හස්තය………………නංතමා
හස්ති හස්තය ලලිත හස්තය මයුර හස්තය……………….නංතමා
මත්ස්‍ය හස්තය ආදි සත් විඳ හස්ත නැටුමේ……………..මනරමා
වීර විකුමැති නරනිඳුන් පෙර පුරුදු කළ දිග්ගෙයි……….නැටීමා

මේ කවි සමග නර්තනයක් ද වේ. එය බ්ලොග් අඩවියෙන් නැරඹිය හැකිය. මේ එවැනිම තවත් කාන්තා ලාලිත්‍යය වනන  කවියකි. මෙය ඔහු උපුටා ගෙන ඇත්තේ  බාලචන්ද්‍ර බ්‍රාහ්මණයන්ගේ කන්දකුමාර සිරිතේ පුරාණ පුස්කොල පොතිනි.

පීරා සුනිල් වරල බැඳ මල්පටින් තරව පයෝදර රණ හංස……………තිසරූ
තෝරා සිහින් කවනි ඇඳ රැලි ශට්ට පෙරව ලෙලවා දෑත් වලලු……..රුසිරූ
වාරා නොවම සලෙළු මුලට කච්චිත් ඇඳන තෙයි තෙයි කියන පද….කිඳුරූ
දීරාය සැනි නෙතත පවතීය පන්දහස් මෙ උග්ගල් නුවර යස………….ඉසුරූ

ලන්ඩනයේ ගී මන්දාව  උළෙලට පැමිණි සංගීතඥ දර්ශන රුවන් දිසානායක පැවසුවේ ශ්‍රී ලංකාවේ පෘතුගීසි ආක්‍රමණයට කලින් පැවති  සංගීතය පිලිබඳ අපේ දැනුම ඉතා මඳ බවත් ඒ පිළිබඳව කවුරුන් හෝ පර්යේෂණාත්මක අධ්‍යයනයක් කර කෘතියක්  පල කල යුතු බවත්ය. පෘතුගීසි ආගමනයෙන් ලංකාවට දායාද  වුනු බයිලා සංගීතයත්, පසුව දකුණු ඉන්දීය සංගීතයේ අභාශයත්, ඉන්දීය රාගධාරී සංගීතයේ ආභාශයත් ලැබුණු බව සත්‍යමුත් එයට පෙර පැවති  සංගීත ක්‍රමයන් ගැන කොහේවත් සඳහන් වන්නේ නැත. ඔහුගේ අදහස නම් ඈත අතීතයේ සිට පැවත ආ  රාජ්‍ය වංශයන් නිසා රජ මාලිගාවල නැටුම ගැයුම් වැයුම් කෙරෙන්නට බොහෝ සේ ඉඩ  ඇති බවයි. එ මෙන්ම  පන්සල් දේවාල සහ ඒවායේ පෙරහැර ආදියේද  නැටුම් ගැයුම්  පැවති නිසා දේශීයම වූ  සංගීත භාණ්ඩ සමග මුසුවී ප්‍රබල දේශීය සංගීතයක්  බිහිවී  තිබෙන්නට ඇති බවයි.
උග්ගල් අලුත් නුවර කතරගම් දේවාලය 

ඉහත සඳහන්  බ්ලොග් අඩවියේ රටේ එක ප්‍රාදේශීය පෙදෙසක (උග්ගල් නුවර)  දේවාලයක් හා එය සෑදු සහ එයට වන්දනාවේ පැමිණි  ප්‍රාදේශීය රජවරුන් ගැන කියවේ. එක් රජ කෙනෙකු නම් යාපා රජුය. මේ යාපා රජු (ටිකිරි බණ්ඩාර )සීතාවක රාජසිංහ රජු බවද ගුණසිංහ මහතා ඔහු සපයා ගත් සාධක අනුව පවසයි.

මේ දේවාල  වල නැටුම් තිබුනා නම්  ගැයුම් සහ වයුමද එතනට අනිවාර්යයෙන්ම ඇතුළත් වේ.  මේවා ගැන සඳහන්  ඓතිහාසික  පුරාවෘත්තයන් සහ පුස්කොලපොත්ද සංරක්ෂණය කර හැදෑරිය යුතු වන්නේ එහෙයිනි.

මෙහිදී මට මතක් වන්නේ  රත්න ශ්‍රී විජේසිංහ මහතා විසින් පබැඳි ගිතයක්ය.ඉන්දියාවේ මෙන් ශ්‍රී ලංකාවේ දේවදාසි ක්‍රමයක්  තිබුනේ නැත. ඉන්දියාවේ දේව දාසියන් යනු මුලදී හොඳින් සැලකුවද පසුව දේවාල  අයිතිකරුවන්ගේ, කපුවන්ගේ තාඩන  පීඩන, ලිංගික හිංසා  වලට නතුව  ජිවත් වන්නට සිදුවන පිරිසකි. අදත් මේ දේවදාසියන්ට සලකන අයුරු ගැන නොයෙකුත් විරෝධතා පැවැත්වේ. (පින්තුරය බලන්න)
දේවදාසින් ගේ විරෝධතාවයක් 

ශ්‍රී ලංකාවේ  බෞද්ධ සම්ප්‍රදායන්ට අනුව දේව  දාසියන් සිටීමට හේතුවක් නැත. එහෙත් රත්න ශ්‍රී විජේසිංහ මහතාගේ මතය ට අනුව දේවදාසියන්  සිටි එක් දේවාලයක් තිබී ඇත. ඒ ගැටබරුව දේවාලයයි. මෙය ගැටබරුව රජ මහා විහාරයට සම්බන්ධ යයිද නොදනිමි. ගැටබරුව දේවාලයේ පින්තුරයක් මට බ්ලොග්  අඩවියකින් ලැබුණි.
ගැටබරුව දේවාලය - පින්තුරය කඩුල්ල බ්ලොග් අඩවියෙන් 

ගැටබරුව දේවාලයේ දේවදාසියක් (හෝ දේවදාසින්) සිටි බවට ජනකතා තිබෙන්නට ඇත. ඉන් එක දේවදාසියක එවකට ප්‍රාදේශීය පාලකයෙකු වූ රජ්ජුරු බණ්ඩාර කෙරෙහි පෙමින් බැඳී සිටි බවත් එම ප්‍රාදේශීය පාලකයා ඇයව හොර රහසේ මුණ ගැසුණු බවත් කියවේ. එම ප්‍රාදේශීය පාලකයා පසුව රජ්ජුරු බණ්ඩාර දෙවියන්  ලෙසින් මොරවක ප්‍රදේශයේ වැසියන් දේවත්වයෙන්  සළකා වැඳුම් පිදුම් කරති.

රත්න ශ්‍රී ලියු මේ ගීතය ගයන්නේ  දීපිකා ප්‍රියදර්ශනී පීරිස් විසිනි. සංගීතය රෝහණ  වීරසිංහයන් ගෙනි.

රජ්ජුරු බණ්ඩාර දෙයියනේ
තරහ අවසර රන් කඳේ
ආල හිතක් හැදී ඔත්පල වුනු අහිංසකි  මං

රණේ කිරුල පිටේ තුන්ගව්  උස ඔටුන්න දා  ගෙන
පයේ නාද සළඹ ලිහිණි හඬින්  මන්තර මතුරන
අපේ පැල  වටේට ඇවිදිනවා රෑ මං   අහගෙන

ඇළ මංකඩ ඉස දිය නාගෙන  මන් පින් දෙනකොට
රුක්  අත්තන ලන්දේ ඉඳගෙන දිවස් ලබා දෙන
හිමි ආල හිතක කැලතීමක් දෙයියෝ අවසර

මේ ගීතය සොයද්දී  තවත් එවැනිම  ගීතයක්ද මට සොයා ගත හැකිවිය. ඒ චමාර වීරසිංහ ගයන මේ ගීතයයි.



තමන් කරා හොර රහසේ එන ප්‍රාදේශීය රජුට පෙම් බැඳී දේව දාසියක් ඇත්තටම ගීයක් ගයන්නට නැතිද? ශ්‍රී ලංකාවේ විදේශීය ආක්‍රමණයන්ට කලින් ප්‍රබල සංගීත සම්ප්‍රදායක් තිබුනේද?

මූලාශ්‍ර:
ගුණසිංහ මහතාගේ බ්ලොග් අඩවිය - දෙයියන්නේ රටේ 
දේවදාසි පින්තූරය ගත්තේ මෙතැනිනි.

සංගීත භාණ්ඩ පින්තූරය : A unique Museum of Sri Lankan Folk Culture

දේවාලයේ පින්තූරය - කඩුල්ල බ්ලොග් අඩවිය 

14 comments:

  1. අයියෙ
    මෙදාපාර අයියලගෙ බ්ලොග් සම්මාන උලෙල නැද්ද ?
    කව්ද මේසැරේ ස්පොන්සර් ඇලෝසියස්ද

    ReplyDelete
    Replies
    1. නැහැ එයා නොවෙයි සඳරුවන් සෙනාධීර මෙයා වැඩේ එයට පැවරුවා
      කල්‍යාණ කොට්ට මාරු කරන්න ඕන හින්දා මේපාරත් වැඩේට බහි ඔය කොහෙද මන්දා කියලා තිබ්බේ මොනව නොලැබුනත් කොට්ට මාරුවක් හම්බ වුනා කියලා

      Delete
    2. හොල්මන් ද මන්දා මල්ලි ඔහෙලට. මම නෙලුම් යායෙන් අවුරුදු 3 කට පස්සේ ඉවත් වුනා. ඒක මම කලින්ම කියලයි තිබ්බේ. යනවා කියල. ඕක කලේ සඳරුවන් ගේ ලංකා ඊ නිව්ස් නෙමේ . ලංකා නිව්ස්වෙබ් . එකත් හැම තැනම කියල තියෙනවනේ. ඔය පරණ පොස්ට් ටිකක් බලන්න.
      ඇලෝසියස් මට කෝල් දුනේ නැති නිසා දන්නේ නැහැ.

      Delete
    3. ඔව් අයියේ ඒකාලේ එක කාලේ ඒ අය හැබැයි මේපාර එහොල්ලො කරන පාටක් නැති නිසා සඳරුවන් ඕකට ඇහැ ගහගෙන ඉන්නාව කියලා බ්ලොග් ලියන කට්ටිය ඔය බොන තැන්වල කතාවෙන්නේ

      Delete
    4. මම හිතන්නේ නම් නැහැ.

      Delete
  2. ලිපිය එක වරක් කියවිමි. තව වරක් කියවිය යුතු වටිනා ලිපියක් ස්තුතියි අජිත්

    ReplyDelete
  3. 1)"මේ දේවාල වල නැටුම් තිබුනා නම් ගැයුම් සහ වයුමද එතනට අනිවාර්යයෙන්ම ඇතුළත්" වූයේ නැතිද? තිබුනා මෑතක් වනතුරුම තිබුණා මේවා පිළිබඳ රුවන් දිසානායක වැනි ශාස්ත්‍රීය වටිනාකම් හා කැක්කුම තිබුණ අය මේ පළාතේ දුලබ වූ නිසා දෝ කිසිවකු ගේ අවධානය යොමු වූ බවත් නැහැ. මේ සම්බන්ධව ඇරයුම් කළ අය පවා ඒ ඇරයුම් කල්දමමින් සිටි බව මා මතකයේ පවතිනවා 2002 වන විට ආවේනික නාද රටා සහ සංගීතය සම්බන්ධ සලකුණු පවා නැතිව ගිය බව පෙනෙනවා. දැන් ඒ ආවෙිනික සංගීතය සම්බන්ධ නිපුණතා පැවති පැරැන්නන් සෙවීම ඉතා දුෂ්කරයි.ඔවුන්ගේ දරු පරපුර ඒවා උරුම කරගන්නවාට වෙනත් දෑ පසුපස ගිහින්. පැරණි සංගීත භාණ්ඩ කීපයක් මහපෙට්ටගමේ පුස්කමින් දිරා යමින් තිබෙන බව පෙනෙනවා. ලෙනින් නම් වූ තරුණ සංගීත වේදියකු කමත් කුඹුරු වල පැවති අඩහැරය නාද මාලාව යොදා ගනිමින් කිසියම් උත්සාහයක යෙදී සිටින බවත් මෑත දී දක්නට ලැබුණා. එපමණයි. ඇත්තටම ඔබ පැවසූ සංගීතවේදියා වැනි අයට ඈත ගම්දනවි සිසාරා යමින් ගවේශනවලට අත දිය හැකි වෙතොත් අදටත් ඒවා සෙවීමට හැකි වන බව නොඅනුමානයි

    2)"ශ්‍රී ලංකාවේ බෞද්ධ සම්ප්‍රදායන්ට අනුව දේව දාසියන් සිටීමට හේතුවක් නැත"
    සත්‍ය වශයෙන්ම දිග්ගේ නැටුම් හා ආලත්ති තේවා යෙදෙන කාන්තාවන් තුළ කිසිවිටක දේව දාසියන් සම්බන්ධ සලකුණු හෝ දක්නට හැකි නැහැ.

    ReplyDelete
    Replies
    1. මම ඔහුට ඒ ගැන දන්වන්නම්. දේව දාසියන් හිටියේ නැති නිසා ඔය සින්දුවේ කියන කතාව ඇත්තක් වෙන්න බැහැ කියලත් හිතෙනව. එසේම කොච්චර් වුනත් සුද්දෝ හොයපු ටික ඇරෙන්න නිදහස ලබුනයින් පස්සේ හරියට පුරා විද්‍යාත්මක පර්යේෂණ වෙලා නැහැ වගේ නේද? ඔබේ ලිපි පෙළ කරගෙන යන්න.

      Delete
    2. ඒ සඳහා ලෙනින් නම් අයෙකු (සමන් ලෙනින්) පෙරමුණ ගැනීම දෛවයේ සරදමක් ද?

      Delete
    3. අනේ මන්ද සම්ජවාදයට හෝ ලෙනින් ට මේ ජන සංගීතයේ සම්බන්ධයක් නැහැ. හැබැයි සමාජවාදී රටවල පුරාන සංස්කෘතිය රැක ගැනීමට වැඩ පිළිවෙලවල් තිබ්බ.

      Delete
  4. //පෘතුගීසි ආගමනයෙන් ලංකාවට දායාද වුනු බයිලා සංගීතයත්, පසුව දකුණු ඉන්දීය සංගීතයේ අභාශයත්, ඉන්දීය රාගධාරී සංගීතයේ ආභාශයත් ලැබුණු බව සත්‍යමුත් එයට පෙර පැවති සංගීත ක්‍රමයන් ගැන කොහේවත් සඳහන් වන්නේ නැත//
    'පසුව දකුණු ඉන්දීය සංගීතයේ අභාශයත්, ඉන්දීය රාගධාරී සංගීතයේ ආභාශයත් ලැබුණු බව'???
    ඇයි "පසුව" ? ඊට ඉස්සරත් හුඟක් ලැබෙන්න ඇති නේ.නොනවත්වා ඉන්දියාවෙන් වූ සංක්‍රමණ නිසා ඉස්සර ඉඳන්ම ඉන්දීය සංගීත නැටුම් ඇඳුම් තාක්ෂණ චිත්‍ර, භාෂා ආගම් සියලු දේ දේශීය දේවලට එක් වෙන්න ඇතිනේ

    ReplyDelete
  5. /.නොනවත්වා ඉන්දියාවෙන් වූ සංක්‍රමණ නිසා ඉස්සර ඉඳන්ම ඉන්දීය සංගීත නැටුම් ඇඳුම් තාක්ෂණ චිත්‍ර, භාෂා ආගම් සියලු දේ දේශීය දේවලට එක් වෙන්න ඇතිනේ// that's a very good point Pra.

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .