Sunday, 18 February 2024

රහස් කියන කන්දෙන් මතුවුනු පාරිභෝගික වාදයේ මළගම හා ජගත් මනුවර්ණ



අද  පෙබරවාරි 17 දා ලන්ඩනයේ හවුන්ස්ලෝව් කලායතනයේ ශ්‍රී ලාංකික සිනමා කෘතියක් අගෝරා කළා  කවය මගින්  ඔවුන්ගේ  පියාපත් ශිෂ්‍යත්ව අරමුදලට සහය ගැනීම සඳහා ප්‍රදර්ශනය කෙරුණි. ඉතාමත් හොඳ චිත්‍රපටි කිහිපයක්ම ඔවුන් නිසා නැරඹීමට හැකි වූ නිසාත් චිත්‍රපටයේ ඉංග්‍රීසි උපසිරැසි තිබීම නිසාත් මගේ දියණිය සහ බිරිඳද  එය නැරඹීමට පැමිණයහ. චිත්‍රපටය අවසානයේ වූ කතාබහේදී ප්‍රශ්නයක් නැගු කෙනෙක් මෙය ජාත්‍යන්තරයට ගැලපෙන්නේ නැති බවක් හෝ ඔවුන්ට නොතේරෙන බවක් හෝ චිත්‍රපටයේ තිබුනේ යයිද ඇතැම් වර්තමානයේ කළහැකි නොයෙකුත් පරිගණක භාවිතයන්  හා වෙනයම් තාක්ෂණික උපක්‍රම මගින් වඩා  උසස් කෘතියක් නිර්මාණය කරන්නට ඉඩක්  තිබුණි යයිද පැවසුවේය. 

මගේ ජර්මන් බිරිඳ සහ සිංහල කතා කල නොහැකි දියණිය ගේද අදහස වූයේ ඉංග්‍රීසි උප සිරැසි ප්‍රමාණවත් බවත් ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසය ගැන ඔවුන් වැඩිදුර නොදන්නා මුත් චිත්‍රපටයේ කලාත්මක ගලා යාමද, චිත්‍රපටයේ ඉස්මතු කරන  නොයෙකුත් තේමාවන් ද ඔවුන්ට බොහෝ සෙයින් වැටහුණු බවය. ඔවුන් ලෝකයේ දැනට පවතින යුදමය  ප්‍රශ්න පවා චිත්‍රපටය ඇසුරින් විග්‍රහ කලහ. එනිසා ජාත්‍යන්තරය ජය ගැනීමේ ප්‍රශ්නයක් අධ්‍යක්ෂක ජගත් මනුවර්ණට  නැතැයි සිතමි.      

චිත්‍රපටයේ අවසානයේ සඳුන් ප්‍රියංකර  සහ අනුෂා ශිවලිංගම් යන දෙදෙනා ශ්‍රී  ලංකාවේ සිට විචාරයන් ඉදිරිපත් කළහ. සඳුන් චිත්‍රපටය බොලිවියාවේ, නිකරගුවාවේ හෝ වෙන ඕනෑම තැනක සිදුවිය හැකි දේ  වුවත් චිත්‍රපටය  ලංකාවේ 88-89 සිද්ධීන්  අළලා කල එකක් බව පැහැදිලිව  පෙනෙන බවත් පැවසිය. හාමුදුරුවන්ගේ ඇඟේ සිමෙන්ති වැටීම වැනි කලාත්මක කෝණයන් ඇති බවද  ඔහු වැඩි දුරටත් පැවසුවේය. අනුෂා ශිවලිංගම් කිවේ බෞද්ධ භික්ෂුන් වහන්සේ විසින්  මලගිය අයට පාංශ කුළය දෙන ගමන් පිඩකයන් අතරද සිට ගන්නා බවය. එසේම චිත්‍රපටය 1971 කැරැල්ල, 1983 කෝළාහල , 88-89,  2009 අවසන්වූ වර්ගවාදී යුද්ධය ආදී මේ සියල්ලටම අදාල වන බවය. පසන් එය ප්‍රභු පන්තියට එරෙහි අරගලයක් ස්මරණය කරන  බවද තව දුරටත් පැවසිය. ඔවුන් දෙදෙනාම චිත්‍රපටය උසස් නිර්මාණයක් ලෙසට හැඳින්වූහ.

චිත්‍රපටය කලකින් මා  දුටු උසස්ම ගණයේ  සිනමා කෘතියක්ය යන්නට මටද  එකඟ විය හැකිය. ඒ සහමුලින්ම වෙනත් කාරණා කිහිපයක් නිසාය. පළමුවෙන්ම චිත්‍රපටයේ ප්‍රධාන  චරිතයක් නොමැති වුවද  පැහැර ගන්නා කණ්ඩායමේ දෙවැනි නායකයා ගේ චරිතය වඩාත් ඉස්මතුව පෙනේ. මියගිය තරුණ තරුණියන්ය මල සිරුරු සමග සොරාගත් සිසිල් ෆ්‍රිජ් එක සහ භාණ්ඩ ඔහුගේ නිවසට ගෙන යාමට දරන "අහිංසක උත්සාහය" කෙළවර වන්නේ ඔහුගේ ම සගයෙකු ඔහුව මරා දැමීම තුලිනි. එම භාණ්ඩද සමග ඔහුගේ සිරුර මග දමා සගයන් යති. අන්තිමේදී එම භාණ්ඩ උස්සන්නේ පරණ බඩු වෙළෙන්දන්ය. 

චිත්‍රපටය පුරා  ඉස්මතු වන්නේ පරිභෝජනවාදය නිසා සිත්පිත්  නැති කරවූ අසංවේදී වූ සමාජයක් හැසිරෙන ආකාරයය.  චිත්‍රපටයේ හාමුදුරුවන්ගේ උසස් රංගන විලාශය මත ඉස්මථූ වෙන  කරුණ නම් ඔහු තමන් ගොඩ  නගන තට්ටු තුනේ ආවාසයට ආශාක්ත වෙන ගමන්ම මරා දැමූ වුන්ට  පාංශු කූලය දෙමින් පිඩකයා සමගද ගනුදෙනු කිරීමයි. එහෙත් විශ්ව විද්‍යාලයේ උගන්නා තමන්ගේ  භික්ෂු සිසුන් ගැන ඔහු යම් තරමකට වද වෙයි,
මේ සියල්ල ප්‍රතික්ෂේප කරමින් පන්සලේ දැව  ගිනි තියමින් හැසිරෙන මහලු භික්ෂූන් වහන්සේට මනසේ විකාරයක් කියා පරිභව කළද සැබෑ බෞද්ධ භික්ෂුව වන්නේ ඒ මහලු වහන්සේය.

මට මේ චිත්‍රපටය මතක් කරන්නේ මා සෝවියට් දේශයේ සිටියදී නැරැඹු ඔලිවර් ස්ටෝන් ගේ  "සැල්වදෝර්" නමැති සිනමා කෘතියයි.   කතෝලික පල්ලියේ කොටසක් දක්ෂිණාංශික මිලිටරිය සමග ගනුදෙනු කරද්දී ආච් බිෂොප් රොමෙරෝ සමග විමුක්ති දේව ධර්මවාදී පියතුමන් ලා කැරලිකරුවන් හා සාමාන්‍ය ජනතාව අතර සිට ගනිති.  ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල වල උගත් භික්ෂූන් කණ්ඩායම් කරදරයට පත් වුවද ඉහල භික්ෂු සංස්ථාවට හානියක් සිදු වූයේ නැත. 

චිත්‍රපටයේ විදහා දක්වන  තවත් වැදගත් තේමාවක් නම් පීඩක භට කණඩායමේ හැසිරීමය.  ජගත් මනුවර්ණ හා තිර රචකයා බොහෝ වගකීමකින් යුක්තව පිඩක කණ්ඩායම වන්නේ අප අතරම සිටින සාමාන්‍ය මිනිසුන් බව පෙන්වා දෙයි. රජයේ නියෝගය කෙසේ හෝ ක්‍රියාත්මක කිරීමට ඔවුන් බැඳී සිටිති. ඔවුන් එකිනෙකා ට පහර  දී ගනිද්දී මගේ ඉදිරි පෙලේ සිටි ප්‍රේක්ෂකයන් කොක් හඬලා සිනා සුනද  අපට සිනහ ගියේ නැත. ඒ භටයන් ගේ  විශාදි තත්වය  (PTSD) මා  බොහෝ තැන්වල දුටු දෙයකි. මේ මිනි මැරීම් තුලින් සමාජයට පිවිසෙන ආරක්ෂක කණ්ඩායම් ද මනස තුවාල වූවන්ය. ඔවුන් සිටින්නේද ජිවත් වන්නේද අප අතරය. එක භටයෙකු වින්දිතයා ට පලා යාමටද සලස්වයි. ඔහුම අවසානයේ තමන්ගේ දෙවෙනි නායකයාට පිහියෙන් අනියි.  බෙදී වෙන්වී මරා ගන්නේ එකම සමාජයක එක ළඟ ජිවත් වන්නන්ය. මට මෙන්ම තවත් සමහරුන්ටද මේ  ඝාතකයන් ගැනද සමාජය ගැනද මතුවන්නේ වෛරයක් නොව කම්පාවකි. ඔවුන්ගේ කම්පා විරහිත කම පරිභෝජනය ප්‍රකට කොට ගත්  මේ අනුකම්පා විරහිත වූ   සමාජයේම දිගුවක් බව වැටහෙන බැවිනි.
 
බුදුන් වහන්සේ මෙන්ම  යේසු වහන්සේද නගර ශෝභිනියන් කෙරෙහි අනුකම්පාව පහල කල සේක. තමන්ට ඇති තර්ජනය නොතකා පැනගිය වින්දිත  තරුණයාට ප්‍රතිකාර කරන්නේ නගර ශෝභිනියකි. අන්තිමේදී ඔවුහු ඇයවද කුදලාගෙන යති.  මේ දර්ශනයන් ඉතා ප්‍රබල ලෙස ප්‍රේක්ෂක මනසසංවේදී  කරයි. 

විජිත ගුණරත්න ගේ "වලා පටල" චිත්‍රපටය  ගැන සංවාදයේදී (2016) නන්දන වීරරත්න සහෝදරයා ගේ ප්‍රධාන චෝදනාවක් වුයේ එහි සෞන්දර්යාත්මක පැත්ත නොසළකා හැර ඇති බවයි. නමුත් එහි  බෙර්ට්‍රෝල්ඩ් බ්‍රෙෂ්ට් ගේ එපික් තියටර් ක්‍රමය එලෙසම කාවද්දා ඇත.  " එපික් නාට්‍යය ක්‍රමයේ දී කියවෙන්නේ නාට්‍යය විසින් ප්‍රේක්ෂකයාට,   නාට්‍යයේ චරිත සමග භාවාත්මක ලෙස බැඳීමට  (තදාත්මිකව) අනුබල නොදිය යුතුය යන්නය. ඒ වෙනුවට තර්කාන්විත ස්වයං ප්‍රත්‍යාවේක්ෂණයක් හා වේදිකාවේ රංගනයන් කෙරෙහි විවේචණාත්මක දැක්මක්   ඇති කර ගැනීමට ප්‍රේක්ෂකයා සමත් විය යුතුය."

මට සිතෙන්නේ "රහස් කියන කඳු" චිත්‍රපටය මේ ක්‍රමයට අනුගත වෙන ගමන්ම සෞන්දර්යාත්මක ලෙස ප්‍රේක්ෂකයා සමග සම්බන්ධ වෙමින් සිනමාවක්  නොවන සිනමාවක් නිර්මාණය කර ඇති බවය. ප්‍රධාන චරිතයක් නැති මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ආරුඪ කර ගන්නේ ප්‍රේක්ෂකයාය. සමහර ප්‍රේක්ෂකයන්ට එය හුරුවීමට මදක් ප්‍රමාද වුවද  බ්‍රෙෂ්ට් ට එරෙහිව චිත්‍රපටය සමග භාවාත්මක බැඳීමක් ඇති කරගැනීමටද  බහුතරයක් සමත්වේ. එය  ත්‍රාසය මෙන්ම කුතුහලයද සපිරි අපරාධ (crime) වර්ගයේ රහස් පරීක්ෂක චිත්‍රපටයක් නොවූ එහෙත් එසේ යයි හැඟෙන චිත්‍රපටයකි. එහි සංකේතාත්මක හැඟවීම්  බොහෝය. බෙර වයන්නා හා වැලේ  වනා ඇති  ඔහුගේ පුතාගේ ඩෙනිම් කලිසම හා කමිසයද එවැනි හැඟවුම්කාරකයන්ය . 

(Heidegger is against the modern tradition of philosophical "aesthetics" because he is for the true "work of art"). හෙයිඩගර් කියනුයේ නියම කලා කෘතියක්  සෞන්දර්යය නිසා අඳුරු වන බවය (eclipsed). නමුත් ඒ  හෛඩගර් නැවතත් පවසන්නේ එසේ නොමැති වීමත් ප්‍රශ්නයක් බවය.  (oxymoron) චිත්‍රපටය මේ දෙපැත්තම ඉතා හොඳින් සමබර කරගෙන ඇති බවක් වැටහේ. 

මා මව රැගෙන  ඉන්දියා වන්දනාවේ  ගිය විටදී  මගේ අහිංසක මව රෙදි කෑලි වල නම් ලියා  පවුලේ අයට සුභ පතමින් එල්ලුවේ මගේ උසුලු  විසුළු මැදය. නමුත් මගේ අහිංසක අම්මා ඒ විහිළු මැද  වුවත් බුද්ධගයා බෝධියේ ඒවා එල්ලුවාය. ඒ ඇගේ භක්තියයි. නමුත් තමන්ගේ  නැති වුනු පුතු සොයන ලෙස කන්නලව්  කර බෝ ගහේ  රෙදි එල්ලන මාතාව ගැන සිනා වෙන්නට අද මට සිත දුන්නේ නැත. ඒ  අහිංසකයන්ට භික්ෂුන් ගේද ඔවුන් වෙනුවෙන් පෙනී සිටිය යුතු  රජයේද   පිහිටක් නැති කළ බෝ ගස් හා නොපෙනෙන දෙවියන්  හැර වෙනත් සරණක් නැත. 

මෙතැනදී අප  ආතර් ශෝපන්හවර් දෙසට හැරුන හොත්  ඔහු ලියන්නේ මෙසේය. "කලාකරුවා අපට ඔහුගේ දෙනෙත් තුලින් ලෝකය බලන්නට ඉඩ දෙයි. සෑම සම්බන්ධයකම එපිටින් ඇති අත්‍යවශ්‍යම දේ ගැන ඔහු දන්නා බැවින් ඔහුට  ඇති මේ දෙනෙතින්, අපට බලන්නට ඉඩ දීම, මේ අත්පත් කර ගැනීම  කලාවේ තාක්ෂණික පැත්තය."- The World as Will and Representation.
 ඔහු මෙය හඳුන්වන්නේ mimicry යන නමිනි. ඒ කියන්නේ හොඳින් අනුකරණය කිරීමෙන් විනෝදය හෝ උපහාසය  සැපයීමය.  ශෝපන්හවර් ට අනුව කලාකරුවෙකු මූලිකව ඉස්මතුවන්නේ ඔහු හෝ ඇය  අති දක්ෂයෙකු  ( genius) වීම නිසා නිමවන කලාවකින් නොව ඇය හෝ ඔහු ලෝකයේ සාරය (essence) ග්‍රහණය කර ගන්නා නිසාය.  යථාර්තවාදී සිනමාවක් යනු  ප්‍රබන්ධයකි.  ඕනෑම සිදුවීමක් ලිවූ වහාම හෝ නාට්‍යක, චිත්‍රපටයක රඟපෑ වහාම එය ප්‍රබන්ධයක් බවට පත්වෙයි. නමුත් ප්‍රේක්ෂකයාගේ ක්ෂිතිමය අත්දැකීම තුල එය ඇයගේ මනසේ යලි යථාර්තයක් වෙයි. 

ජගත් මනුවර්ණ ගේ කුළුඳුල් සිනමා කෘතිය විසින් ප්‍රේක්ෂකයාගේ මනසේ වැඩෙන යථාර්තය වනාහි  ඔහු හෝ ඇය නිතිපතා අත් දකිනා  දේය . ප්‍රවෘති හෝ සමාජ ජාලා හා අනෙක විධ මාධ්‍ය හරහා රැගෙන එන දේය. එනිසා මේ කෘතිය ශ්‍රී ලංකාවේ එක්තරා කාලයකට සීමා වුවක් නොවන බවට ජගත් මනුවර්ණ ඉදිරිපත් කල මතයට එකඟවෙමි. එය ඊට වඩා උසස් ගෝලීය සත්‍යයක් කර නරඹන්නා රැගෙන යයි.

ඔහුගේ කුළුඳුල් කෘතිය මෙතරම් සාර්ථක අත්දැකීමක් කිරීම ගැන කෘතඥ වෙමි.

- අජිත් ධර්ම 18/02/2024 . 



36 comments:

  1. චිත්‍රපටය බලන්න බැරිවුණා. ඇතත්තටම කිව්වොත් කිසිම එකක් බලන්න වෙන්නෙ නෑ. ගිය අවුරුද්දෙ ආව එකක් වුණත් එතකොට කෑගල්ලෙ හිටිය වුණත් කෑගල්ලෙ ෆිල්ම් හෝල්.එක්කත් තිබුණ වුණත් බලන්න යනවට වඩා කරන්න වැඩ තිබුණ නිසා කිසිම චිත්‍රපටයකට වෙලාව නාස්ති කරන්න බැරිවුණා.

    ඔක්කටම වඩා ජීවන යුද්ධෙ දරුණුයි නෙව. රෑ වෙලාවක් තිබුණොත් නිදාගනන කලිං ඔනලයින් හරි මූවි එකක් බලනව ඇර හෝල් එකුකට ගිහිං බලන්න වුනේ නෑ හෙන කාලෙකිං.

    පාඩුවක් ඒක. ඒත් ි විකල්ප අඩුයි. බලමු විදිහක් සෙට් වෙයි නේ.

    ස්තූතියි සටහනට

    ReplyDelete
    Replies
    1. ජිවන යුද්ධය දරුණු බව ඇත්ත. ඒත් හැකියාවක් තියනවනම් පොත අමතක කරනන් එපා. ඔබ බ්ලොග් ලියනවනේ මල්ලි. විචාර ලියනවනේ. ඒ වගේ තමන් තුල ඉන්න සංස්කෘතික මිනිසා රකින්නට දරන වෑයම ප්‍රසන්ශනියයි

      Delete
    2. නොකී කතා19 February 2024 at 09:42

      මහේෂ්, මම සුද්ද සිංහලෙන් ෆේස්බුක් වගේම වෙබ් වලත් අවසානයේ නොකී කතා බ්ලොග් එකෙත් ලිව්වා කොහොම හරි බලන්න කියලා. කෝ කනකට ගත්තයෑ...

      Delete
    3. බ්ලොග් එකේ ෆිල්ම් එක ගැන ලීවද? පුලුවන්නම් ලින්ක් එකක් දාන්න

      Delete
  2. ජීවන අරගලයක් එක්ක අපි ජීවිතයෙන් කොච්චර ඈත්වෙලාද කියලා තේරෙන්නේ පොතපත, චිත්‍රපට, නාට්‍ය ගැන ලිපි කියවන විටයි.

    ReplyDelete
    Replies
    1. මහේෂ් ට ලියපු එකම තමා නැවතත් කියන්න තියෙන්නේ. ඔබ පොතක් ලියමින් පරිවර්තනය කිරීමත් බ්ලොග් කියවීමත් සක්‍රියව ක්‍රියාකාරී ලෙස හැසිරීමත් එතැනටම දාගන්න. කණගාටු වෙන්න එපා. ඔබේ ජිවන අරගලය ගැන ලීවොත් අමාරුව අඩුවෙන් දැනේවි

      Delete
  3. ඇයි
    ඔබ මගේ
    ජීවිතය එක්ක
    සෙල්ලම් කළේ...

    තව
    කොයි තරම්
    දේවල් තිබුණාද
    සෙල්ලම් කරන්න.

    ReplyDelete
    Replies
    1. ඒකනම් ලස්සනයි නිදි

      Delete
    2. පැසසුමක් වුණත් අජිත් මහත්තයෝ, ඒක මට අයිති නෑ. මොකද ඒ comment එක මගේ නමින් වෙන කෙනෙකු එවූ කමෙන්ටුවක් නිසා. මගේ comment එක පහතින් දාන්නං.

      Delete
    3. හොඳයි. සොරි , දැන් එහමත් පුළුවන් නේද ? මටත් ඒක වෙනවා. හැබැයි මේ ඇනෝ හොඳයි නේද

      Delete
    4. හොඳයි නේන්නං. ඒ වගෙම දක්ෂයි, සංවරයි!

      Delete
  4. ජගත් මණුවර්ණගේ අධ්‍යක්ශණ කුසලතා දැක්කේ ඔහුගේ කොඩි ගහ යට ටෙලිනාට්‍යයෙන්. ඔහු නළු නිලියන්ගෙන් උපරිමය එලියට ගන්න දන්න අධ්‍යක්ශකවරයෙක් කියලා තමයි මට හැගුනේ..
    ඒ ටෙලි නාට්‍යත් හොදින් ගලා ගෙන ගියත් කථාවේ අවසානය එහි මැද ගලා ගෙන ගිය ගැම්මට තිබ්බෙ නෑ... මං හිතන්නේ ඒ තිර රචනය වරින් වර වෙනස් කරමින් කරපු එකක් හින්දා වෙන්නැති.
    චිත්‍රපටිය නම් බලලා නෑ...ට්‍රේලර් කෑලි නම් යූ ටියුබ් එකෙන් බැලුවා. ඒ දැකපු ටිකෙත් මට හැගුණේ නළු නිලියන් තමන්ගේ උපරිමය දීලා තියෙනවා කියලා..ඒකට මණුවර්ණගේ හැකියාවත් අදාලයි. කථාවක් කීමේ කලාවෙන් වෙනස්ව සිද්ධි අමුණපු චිත්‍රපටියක්ද කියන සැකය නම් මා තුල තියෙනවා. ඒ කොඩිගහ යට ටෙලියේ එක්ස්පීරියන්ස් එක හින්දා..

    ReplyDelete
    Replies
    1. //ථාවක් කීමේ කලාවෙන් වෙනස්ව සිද්ධි අමුණපු චිත්‍රපටියක්ද කියන සැකය නම් මා තුල තියෙනවා// මේ ක්‍රමය මම දැකල තියනවා. ඒ වුනාට මෙතන ඒක පට්ට සාර්ථකයි. කොඩි ගහ යට බලල නැහැ. මනුවර්ණ ගේ වෙන මුකුත් බලල නැහැ. බලන්නම්.

      Delete
    2. කොඩි ගහ යට බලන්න ගත්ත අද ඉඳන්

      Delete
    3. නොකී කතා19 February 2024 at 09:45

      ට්‍රේලර් වලින් චිත්‍රපට බලන්න එපා. සමහර පට්ට ට්‍රේලර් දැකල බලන චිත්‍රපට අන්තිම සවුත්තුයි. ඒකෙ අනෙක් පැත්තත් එහෙමයි.

      Delete
    4. යූ ටියුබ් එකේ තියලා මුලු ෆිල්ම් එකම ඊයේ රෑ බැලුවා...කොඩි ගහ යට හදපු මණුවර්ණද කියලා හිතුනා ෆිල්ම් එක එච්චරටම සවුත්තුයි...සමහර චරිත ඔහේ ගොඩ නගලා...අර බෙරයක් බැදන් ඉන්න මනුස්සයා මොකට චිත්‍රපටියට දාලා ඉන්නවද? කොඩි ගහ යට වගේම මේ චිත්‍රපටියෙත් තිර රචනය හරිම අසාර්තකයි...ඒක වෙන්නේ අවසානය දන්නේ නැතුව ඔහේ කාලේන් කාලෙට හිතෙන විදිහට රූපගත කරන නිසා කියලා මට නම් හිතුනේ...කිසිසේත්ම අන්තර්ජාතික මට්ටමේ එකක් නම් නෙම්....අර වගේ මෙලේ හසහරක් නැති පිස්සුවෙන් කියනවන මොංගල් චරිත දැම්මම සමහරු හිතන් ඉන්නවා ඒක හරි සම්භාව්‍යයි කියලා..

      Delete
    5. 😀 හැමෝටම හැමදේම හරියන්නේ නැහැ වගේ තමයි. මටයි, බිරිඳ ටයි, දුවටයි තුන් දෙනාටම නැගල ගියා ඒ ෆිල්ම් එක. හදවතින්මයි මේ කියන්නේ. අපට අනුවනම් මේක නියම කලාත්මක චිත්‍රපටයක්. මගේ බිරිඳටයි ලමයටයි දෙන්නටම සිංහල බැහැ,. සබ්ටයිටල් අනුව තේරුම් ගත්තේ. //.සමහර චරිත ඔහේ ගොඩ නගලා...අර බෙරයක් බැදන් ඉන්න මනුස්සයා මොකට චිත්‍රපටියට දාලා ඉන්නවද? // ඔයාට කතාව තේරිලා නැහැ මම හිතන්නේ. බෙරයක් බැඳන් ඉන්න කෙනාගේ පුතා නැති වෙලා. උස්සන් ගිහින්. අර කමිසය හා කලිසම පෙන්වන්නේ ඒකයි වැ ලේ වනල තියෙන්නේ . අන්තිමට ප්‍රසන්න ඒවා ඇඳගෙන කන්ද උඩට යනව. (මනුවර්ණ) . මගේ පවුලේ අය මේ වගේ ප්‍රහෙලිකතමක චිත්‍රපටි බලන්න කැමතියි. අපි ගෙදර යන ගමනුත් කතා කලේ එක එක දර්ශන හා ඒවා අපි කතාවට අදාල කර ගන්න හැටි. ඔය මගේ ලිපියේ කියල තියනවනේ ප්‍රේක්ෂකයා තමා ප්‍රධාන චරිතය කියල. කොඩිගහ යට සිම්පල් කතාවක්. අපි ඔය බලන් සමහර ඇමෙරිකන් සීරිස් වගේ. මේක පට්ට අන්තර් ජාතික එකක්. ගුඩ්බයි ලෙනින් බලල තියනවද?

      Delete
    6. සොලාරිස් වගේ අන්තරජාතික මට්ටමේ චිතප්‍රටයක් ඔයා තේරුම් ගන්නේ කොහොමද?

      Delete
    7. තර්කොව්ස්කි ගේ ස්ටෝකර් -https://kolambagamaya.blogspot.com/2019/11/blog-post_23.html

      Delete
    8. හෙ හෙ මට තේරිච්චි විදිහ තමයි අජිත් මං කිව්වේ...අනිත් අයට තේරේන විදිහ මට කියන්න බෑනේ... ඔය ෆිල්ම් මම බලලා නෑ...ඇයි ඒවා බලලද කියලා අහන්නේ...ඒවා බැලුවේ නැත්තං මම පීචං වගේ වෙනවද?

      Delete
    9. අපෝ නැහැ. ඔයත් මේ අපේ ජෙප්පෙක් වගේනේ. ඇඟටම කපා ගන්නවා. 😀. ඒවා ටිකක් ඔය වගේ සම්භාව්‍ය චිත්‍රපටි. ඒවා වුනත් හැමෝටම හරි යන්නේ නැහැ තමා. සමහර විට ආයේ බැලුවොත් වෙන විධිහකට තේරෙයි. එහෙම පොත් වුනත් තියෙනවා දෙවන පාර කියවනකොට වෙන විධිහකට තේරෙන

      Delete
    10. අනික මම මේ කල්පනා කලේ ඔයාල අඩුම ගානේ ඇවිත් කොමෙන්ට් එකක් හරි දානවා අවංකව තමන්ගේ අදහස කියල. මගේ ෆේස්බුක් එකේ ජේවීපී සහ පෙරටුගාමී සමාජවාදී යාලුවෝ හෙන සෙට් එකක් ඉන්නවා. විහිළුවටවත් කොමෙන්ට් එකක් හරි බැනල හරි දාන්නේ නැහැ. ලයික් එකක් වුනත් නැහැ. මම ඒවා හිඟා කනවා නෙමේ. සංවාදයක් හැදෙනවට බයයි තමන්ගේ පක්ෂේ හෝ තමන්ගේ එකෙක් නෙමේ නම්. එහෙමයි මට හිතෙන්නේ

      Delete
  5. Replies
    1. මම දන්නා විධිහට මේක ලංකාවේ පෙන්නලා තියෙනවා.

      Delete
  6. බැලුව. ඒක නෙමෙයි මේක.
    +++++++++++++++++++👌

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ කිවල නැහැ. මේක බෂු තුමා කැමති තාලයේ ලිපියක් නොවන බව දන්නා නිසා බලා යාම ගැන ස්තූතියි

      Delete
    2. කැමතිම තාලයේ ලිපියක් නූනත් කියෙව්වා. ඔතන පීඩිතයා, පීඩකයා දෙන්නම වින්දිතයො. පීඩිත පන්තියෙන්ම අරගෙන තමයි පීඩකයාව හදන්නෙ. යුනිෆෝම් අන්දවලා, එක්තරා ආකාරයකට මොල සෝදලා ඔවුන්ව හුදී ජනයාගෙන් වෙන් කරනවා. විශේෂ වරප්‍රසාද දීලා, වෙනමම නීතී පද්ධතියකට අනුගත කරවනවා.

      අරන් ආවේ මමත් උඹ මෙන් මට උඩින් ආ ඕඩරේ....

      විප්ලවීය කාඩර්වරුන් වැටෙන්නෙත් මේ කැටගරියටම තමයි.

      Delete
    3. මම හිතන්නේ මම ලිපියේ ඒ ගැන සඳහන් කරලා තියනව කියල. //චිත්‍රපටයේ විදහා දක්වන තවත් වැදගත් තේමාවක් නම් පීඩක භට කණඩායමේ හැසිරීමය. ජගත් මනුවර්ණ හා තිර රචකයා බොහෝ වගකීමකින් යුක්තව පිඩක කණ්ඩායම වන්නේ අප අතරම සිටින සාමාන්‍ය මිනිසුන් බව පෙන්වා දෙයි// චිත්‍රපට ආධ්යක්ෂක ගේ දක්ෂකම ඒක තමා

      Delete
    4. යුටියුබ් ලින්ක් එකෙට ස්තූතියි

      Delete
  7. ජගත් හැබෑම දක්ෂ නළුවෙක්.
    සාර්ථක අධ්‍යක්ෂවරයෙක්. කොඩි ගහ යට මුලදී හොඳයි... පස්සේ ඇදුන වගෙයි.
    දැන් ලංකාවේ films බලන්න පුළුවන් ටික දෙනෙකුට විතරයි. මොකද එකම සිනමා ශාලාවේ දර්ශන වාර තුනේ පෙන්වන්නේ චිත්‍රපට තුනක්. අනෙක film එකක් එන පමාවෙන්ම ගිහිල්ලත් ඉවරයි. මටත් මේ ෆිලුම බලන්න බැරි වුණා.
    බලන්නම හිතපු බොහොමයක් films බලන්න බැරිවුණා මේක වගෙම.

    ReplyDelete
    Replies
    1. සමහර විට ආයෙත් යයි ලංකාවේ. නැත්නම් කට්ටියක් එකතු වෙලා පෙන්නුවොත් ලන්ඩන් වල වගේ ජගත් මනුවර්ණ පෙන්වයි ඒක

      Delete
  8. අනූෂා සිවලිංගයට නලින් ද සිල්වා රචිත, ප්‍රභාකරන්ගේ සීයලා, බාප්පා, මස්සිනාලා පොතේ පිටපතක් යවන්න.

    ReplyDelete
    Replies
    1. මම දන්න කෙනෙක් නෙමේනේ. ඔයාම යවන්න

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .