Monday, 17 April 2017

චූලා ගේ කොච්චි කවි

පසුගියදා ශ්‍රී ලංකාවට ගිය අවස්ථාවේ කොළඹ යාමට සිදු වූයේ "අහවල්" උත්සවයේ වැඩකටය. අන්තිමේදී ගිය කාර්යය තුන හමාරට පමණ අවසන් වූ අතර ඊළඟ සාකච්චාව තිබුනේ හවස හතටය. හදිසියේම මට සිහි වූයේ දන්නා  හඳුනන සොඳුරු මිනිසකු ඒ අසල කාර්යාලයක රැකියාව කරනා බවය. චූලානන්ද සමරනායක මහතා රැකියාව කළේ ඒ අවට  නිසා ඔහුට ඇමතුමක් දුනිමි. ඔහුගේ කාර්යාලයට යනවිටම වාගේ  ඒ අසල රජයේ කාර්යාලයකට එන ඇමතිවරයෙකු දුටිමි. පයිලට් කාර් ද සමග පැමිණි ඔහුට හමුදා වෙන් හෝ එම් එස් ඩී එකෙන් ආයුධ  සන්නද්ධ රැකවලුන් ද  ලබා දී තිබුණි. යුද්ධය අවසන්ව ඇති නිසා මේ කුමන  හේතුවකටදැයි මට සිතා ගත නොහැකි විය. ඇමතිවරුන්ගේ නැති ප්‍රතිබිම්බ ඉලිප්පීමට යයි නිකමට සිතුනි.

චූලා ගේ ඔෆිසියේ කැන්ටිමෙන් හැලපයක් කා තේකක් බිව් පසු හවස 7 තෙක් රැඳී සිටීමේ අදහස වෙනස් කර  චූලා ගේ ආරාධනය පිට ඔහුගේ නිවසට යෑමට පිටත් වුනෙමු.

කාර්යාල වසන වෙලාව නිසා රැකියා කර නිවෙස් බලා යන මගීන් ගෙන් බස් රථ පිරී ඉතිරී ගොසිනි. හැම බසයක්ම කට්ට කපා පුරවා ඇත. අව් රශ්මිය තවමත් ඇති ඉමහත් ලෙස දහදිය ගලන ඒ වේලාවේ බසයක සිරවීම නම් අනුවණ කමකි. තෙසක් රියක් නැවතූ අප බම්බලපිටිය දුම්රිය ස්ථානයට ගියෙමු. ඒ යන අතරමග රටේ ඉහළ හමුදා නිලදරුවන් මෙන්ම මන්ත්‍රී ඇමතිවරු වෙසෙනා හරියක්ද පසු කළෙමු.  ඒවා වල තවමත් දැඩි රැකවල් ලා ගෙන ඇත.

 දුම්රිය ස්ථානයේදී  පළමු දුම්රියට ගොඩ නොවුනේ එයද අර ලෙසින්ම මගී ජනයාගෙන් පිරි ඉතිරී තිබූ හෙයිනි.   අපි කළුතර පිහිටි චූලා ගේ නිවසට ගියේ ඊට පසු පැමිණි "ස්ලෝ කෝච්චියෙනි " වසර ගණනකට පසු මුහුදු මාර්ගයේ යන දුම්රියක සුළන්  රැල්ලේ සැප විඳ  ගැනීමට නොහැකි වුනේ එහි මැදිරිද සෑහෙන්න පිරි තිබුණු හෙයිනි. ඇත්තටම කියනවා නම් මේ කාර්යාල අවසන් වන අවස්ථාවේ එන තදබදයට (මීතොටමුල්ල මෙන් බලා නොසිට) දැන්ම විසඳුමක් සෙවිය යුතුය. රැකියාව කර නිවෙස් වලට යන ජනයාට මීට වඩා පහසුකම් සැලසිය යුතුය. ඔවුන් පසු දිනයේ වඩා කාර්යක්ෂම වන්නේ අද දිනයේ වැඩි අමාරුවකින් තොරව නිවෙස් බලා ගියහොත්ය. ගතින් මෙන්ම සිතින් ද විඩා  බර මිනිසුන්ගෙන් වඩා වැඩි යමක් කාර්යාලයකදී  බලා පොරොත්තු විය නොහැකිය.

චූලා ගේ නිවසේදී ඔහු විසින් අලුතින්ම ලියු කාව්‍ය සංග්‍රහය මට තිළිණ කළේය. ගුවන් යානයේ ලන්ඩනය එන අතරමග පැයකට අඩු කාලයක්  තුල  එය කියවා හමාර කලෙමි. මහගම සේකරයන් ගේ නිසඳැස් පොතක් කියෙව්වාක්  වැනි හැඟීමක් මට ඇතිවුණි. හයිකු වැනි කෙටි කවි වලට මම ඉතා ප්‍රිය කරමි. වරක් බ්ලොග් කරුවන් හබරල කවි නමින් කෙටි කවි ලියන්නට පටන් ගෙන තිබුණි. එම රැල්ල වැඩිකල් පැවතියේ නැත. චුලා ගේ "යකුළු" කවි පොතේ සියල්ල කෙටි කවිය. ඒවා පද හතරේ කෙටි කවි හෝ කෙටි නිසඳැස් ලෙස නම් කලද යගදා වන මෙන් බලවත් ලෙස මනසට පහර දෙයි. යකුළු යනුවෙන් නම් කළේ එනිසා වත් දැයි සිතුවෙමි.

පොත පටන් ගන්නේම  මෙවැනි ආන්දෝලාත්මක කවියකිනි.
"වැවෙන හැටි මෙතරම්
කාක බෝ තුරු
ලැබ කාක පුද හසර
සදමින් සෙවණ උන්ටම "
ලඟදි  පැවති ඇතැම් උද්ඝෝෂණ අනුව බලන විට කවියේ  කියවෙන කාකයන් කවුරුන්ද කියා සැසඳුමක ට සිත යොමු  වෙයි.

ඔහුගේ නිවසට යන අතරතුර අප දුටු බසයේ දුම්රියේ තැලී පොඩි වී යන මගීන් දෙස බලමින් සිගරැට් පෙට්ටියක ඇතුල් පැත්තේ ලියූවක්ද මේ? චුලා දුම් පානය නොකරන බව මදකට අමතක වුනි.
"රට කරන  මහතුනේ
ඔජ වඩන
මදිය
මාසෙක මහන්සිය
අපට
සිරි සිරි බෑගයක්  පිරෙන්නට වත්
බඩු  ගන්න "
ඒ ලඟින් ම මෙයත් ලිවී ඇත.

"ආණ්ඩු පෙරළිය
භූමිකා මාරුවකි
රජුන් සොරු වෙන
වේගයෙන්ම
සොරුන් රජවෙන "
අර මගීන් ගැන නැවත සිතෙයි. සොරුන් වෙන රජුන් ගෙන් හෝ රජුන් වෙන සොරුන් ගෙන් පිහිටක් නැති ජනකායකි ඒ .

පිටු කිහිපයකට පසු ලියැවුණු මේ කවියත් මෙතැනටම අදාළය.
'පක යනු
ගෙඩියට
පර්යාය
පදයෙකැ'

ආයිබෝවන්ඩ,
එතකොට
මැතිසබේ කියන්නේ
කුණුවුණ
පකවල් ගබඩා කරන
ඉස්ටෝරුවද?"

ගබඩා වී සිටින ඇත්තන් ඇඟ මැලි කඩා එලියට එන්නේ සය වසරකිනි. එතෙක්  සිටිනුය  "පකවල් හෙවත් ගෙඩි " දෙස බලාගෙන.

මේ තියෙන්නේ සේකර පන්නයද  ද චූලා පන්නයද නොදනිමි. නමුත් හිතට වැදෙන කවි පද පහරවල්ය.

ඔහු නිවසට යන මග දෙපස චුලා ගේ විචක්ෂණ දෙනෙතට බඳුන් වෙයි. ඉන්පසු ඒවා මතු වන්නේ කොච්චි මෙන් සැර  කෙටි කවි ලෙසය.
"ඉපලක්
සෑම උදයකම
අමදියි
ඉදලකින්
මාවතක්"

ඒ හුස්මටම මෙයත් ලියන්නද? සිතන්නට වඩාත් පොළඹවන කවි පෙළක්. යන්නේ කොහාටද තරුණ පෙළ නැවතත්.
"පෝස්ටර් පේළියක්
ගරා වැටෙනා
තාප්පය
රැක ගැනීමේ
අරගලයක"

මේ හැම කවියකම මහා කථාවක්  ගැබ්ව ඇත. හැම කවියක්ම අරඹයා ම මට බ්ලොග් කතාවක් ලිවිය හැකියයි සිතේ.  විජිත ගුණරත්නගේ පළමු සිනමා කෘතිය ගැන ලිවූ වලාපටල ගැන අදහසක්   ලිපියේ යථ හෙවත් අප අත්  දකින යථාර්තය පිලිබඳ සාහිත්‍ය නිර්මාණ කිරීම ගැන සාකච්ඡා කළෙමි. මේ කවි වල චූලානන්ද සමරනායක තමන් අත් විඳින යථාර්තය මගින් සිතේ පැන නගින ප්‍රබලතම හැඟීම් සමුදාය කවියට පෙරළයි. ඒවා කිසිම දෘෂ්ටිවාදයකට (ideology) බැඳ නොතබා තම සිතින් විචාර කළ යුතුය. මාක්ස්වාදි හෝ ධනවාදී හෝ සමාජවාදී   හෝ ගුරු කුලයකට බෞද්ධ, ක්‍රිස්තියානි මුස්ලිම් වැනි ආගමික සංස්ථාවකට අනුගත නොවී ස්වාධීන සිත මෙහෙයවන විට එය නතර වන්නේ කොතැනද එය ඔබේ දෘෂ්ටිවාදය විය යුතුය. ඒ සඳහා යථාර්තවාදී සාහිත්‍ය කෘතියක් අපට කරන  පෙළඹීම මනසින් විමසීමක් , විශ්ලේෂණය කිරීමක් කළ යුතුය.
"පාරිලෙයිය වනයෙන්
මදු ගසා ඇල්ලූ
ඇත් රජුන් දෙව්රමෙහි
විලංගුවේ
'බුදු පුදට' "

දෙව්රමේ විලංගුවේ සිටි ඇත් රජෙක් ගැන ඔබ කියවා තිබේද? දැන සිටියාද?  එවන්ම වූ තවත් කවියක් වෙන තැනක මෙසේ දුටිමි.

"ගරුතර හාමුදුරුවනේ
කියනු මැන
බුදු හාමුදුරුවෝ සිංහලද?
උන්වහන්සේගේ නම
දේවදත්තද?"

 රටක පැතිර යන අන්තවාදී අදහස් ගොන්නකට එල්ල කරන කවි ප්‍රහාරයක් නැවත මෙසේ කවි උණ්ඩයක් කවි අවියට දමයි.
"මොන තරම්
බලයක්ද
අර බලන්
සීසීටීවී කැමරා
මුර කරයි
දේවාල භූමියද "
 මේ නම් අපට නිතර සිතෙන දෙයකි? දෙවියන්ට මුරකාවල් කුමටද ඔබ ඔබේ සිතෙන් මැව්වේ නැත්නම්?

ඒ කොච්චි මිරිස් වැකි පෙළට තවත් එකතුවක් එයි මෙසේ.
"දෙපැත්තම
පොල් ගසති
නැද්ද දෙවියන්ට
තර්ඩ් අම්පයර් කෙනෙක්"
සිංහල කවියට ඉංග්‍රීසි එකතු කිරීම ගැන විචාරයක් කියෙව්වා මතකයි. නමුත් ජනතාව තුල මුල් බැස ඇති වදන් තව දුරත් එම භාෂාවටම අයත් නොවෙයි. ඒ යෙදුම තුලින්ම කවියේ අර්ථය වඩාත් ප්‍රබලව නැගෙයි.

අර තම නිවසට යාමට ඔහු නගින  ස්ලෝ කෝච්චියේදී චූලා ගේ මනසද මොහොතකට නතර වී ඇති සැටියකි.
"ගැස්සී නතරවුණ
දුම්රිය
යළිත් අරඹයි
අතරමග නැවතූ
සුපුරුදු
ගමන "
අපේ ජිවිතත් ඒ ස්ලෝ කෝච්චිය වැනි යයි මට මොහොතකට සිතෙයි. ගැස්සී නතර වෙන වාර නම් කොපමණද?

තව දුරටත් ලිවිය හැකියි. නමුත් මුළු කවි පොතම මගේ බ්ලොග් ලිපියේ ලිවීමට සිදු වෙතයි බියෙන් මේ කවි දෙකින් නවතිමි.
"නොමිලේය
නිදහස්ය
සුව සේවය

සරති ආතුරයෝ
ආධාර පත්‍රිකා
අතැතිව
සොයා ගනු පිණිස
පිරිවැය
වකුගඩුවක
බයි පාස්  සැත්කමක
පිළිකා බෙහෙත් වඩියක

සුව සේවා ඇමැති සඳ
ඒරොප්පේ
ගිලන් හලක
ලබනු වස් සුව සේවය
හුදී ජන තරු දකින
මිලකට"
 සුව සේවය ගැන මෙන්ම එහි පාලනය ගැනද ලියවෙන කියැවෙන මෙකළ ඔහු දකින ද්විත්ව ඝට්ටනය සරල ලෙස ලියැවී ඇත. මේ මිරිස් සැර අඩුම  කවිය පෙළද කියාත් සිතුනි.
ඉතින් මේ ලිපිය අවසන් කරමි මෙලෙස.
"ආං
තවත්
වවුලෙක්
ඉගිල එනවා
පල ඇති රුකකට"

"උත්සවයට" කලින් ලියුවක් නිසා ඒ ගැන නම් විය නොහැකිය.
මා ලිපිය අවසන් කරන්නේ මේ කවෙනි.

"සුවඳ විඳ විඳ
කුඩා දරුවෙක්
රැගෙන ගාටයි
පේර  මල්ලක්
හන්දියේ
පළතුරු කඩේ වෙත "
ඔහු ගේ දයලෙක්තිකය මෙයයි. මේ දයලෙක්තිකය මනසට මෙන්ම හැඟීම් බර හදවතටද ආමන්ත්‍රණය කරයි.

චුලානන්ද සමරනායකයන් ගේ "යකුළු"පොතේ පළමු මුද්‍රණය අවසන් වී ඇති බව දැන ගතිමි. මා  දුටු පරිවර්තන සාහිත්‍යයේ නයුවකු ප්‍රබල කවියෙකු ලෙසින් ඉදිරියට පැමිණ ඇත. තවත් සේකර කෙනෙක් , නෙරූඩාවෙක්, මයකොව්ස්කියෙක්  බිහිවීමට නියමිතද?
මා  නම් කැමති කමිසයේ උඩ  බොත්තම් හැරගෙන සම්මානයක් දෙන්නට වේදිකාවට  එනු දුටු සරල සොඳුරු සුන්දර මිනිසාටය. 

-ප්‍රකාශනය - ග්‍රැෆිකෙයා දුරකථනය 011 4007193 - පළමු මුද්‍රණය 

38 comments:

  1. අපූරු කෙටි කවි ඇතුළත් පොතක් ගැන සඳහන් කෙරුවට ස්තූතියි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දුමි

      Delete
  2. දැන් කියයිද දන්නේ නෑ තට්ට අජියා චුලට සල්ලි දීල කවි පොතක් ලියවලා කියලා

    ReplyDelete
    Replies
    1. අනේ පව්. මට බැන්නත් කමක් නැහැ. චූලා අහිංසකයා.

      Delete
  3. චූලානන්ද සමරනායකයන් වෙනිවුන්ගේ පරපුර ලබපු අත්දැකීම් සමග එකට මුහුවුනු ඔහු වැන්නෙකුගෙන් මෙහෙම කවි පොත් නොලියවුනොත් තමයි පුදුම....

    ReplyDelete
  4. කවි කෙටි වුනත් ඒවායේ බොහෝ ගැඹුරු අර්ථයක් තියෙන අපුරු කවි ටිකක්. ප‍්‍රකාශකයා කවුද කියලා දැම්මොත් අපිට හොයලා පොත ගන්න පුලුවන්වේවි.

    ReplyDelete
    Replies
    1. හොයල දාන්නම්

      Delete
    2. -ප්‍රකාශනය - ග්‍රැෆිකෙයා දුරකථනය 011 4007193 - පළමු මුද්‍රණය

      Delete
  5. යන එන මන් නැති අනාතයින්ට ලංකික මිනිස්සු උදව් කරනවා

    ReplyDelete
  6. සරති ආතුරයෝ
    ආධාර පත්‍රිකා
    අතැතිව
    සොයා ගනු පිණිස
    පිරිවැය
    වකුගඩුවක
    බයි පාස් සැත්කමක
    පිළිකා බෙහෙත් වඩියක

    ලෙඩා මැරුනු පසුවද
    ඇඳ ඉහ පත් ලැමිනේට් කර
    කොල්ලන් කුරුට්ටන් යොදවා
    එකතු කරති ආදාර....

    තුන් මාසේ දානෙත් ඉවරයි..
    ඒත් ආදාර එකතුව නොනැවතෙයි..
    මෙහෙයවන එකා ගොඩ යයි..
    මෙන්න පින්වත නෙලුම් යායයි!

    ReplyDelete
    Replies
    1. කොපිකැට් කවි ලිවීමට සාචන් පිරසා හපනෙකි.

      Delete
    2. මිතුරන් සැක කරති
      සතුරන් කෙරේ බියවෙති
      ගැහැනුන් ගෙ ටොකු කති
      අය වැයට එරෙහි වෙති

      බ්ලොග් ලොවේ සක්විති
      වෙන්නට ගිහින් කිච වෙති
      ගොබ්බ කම පෙන්වති
      නෙලුම් යායෙන් වවාගෙන කති!


      Delete
    3. මිතුරන් කොහෙත් ඇති
      සතුරෝ මිතුරු වෙසින් එති
      සතුරන්ට බය නැති
      අයවැයක් ගැන නොදනිති

      ගැහැනුන් ළඟ නැති
      සරසා දුකින් මත් වෙති
      ගැහැනුන් ප්‍රිය ඇති
      අජියා ලොවෙහි බැබලෙති

      Delete
  7. ඊයම් බරු වගේ වචන..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. හොඳ යෙදුමක්. මටත් ඒ වගේ දැනුනේ.

      Delete
  8. චූලයියට සුබපැතුම්.

    දැං මේකෙ බජට් එක ඉල්ලගන්න ඕන චූලාගෙන්ද අජිත් අයියගෙන්ද

    ReplyDelete
    Replies
    1. අදිසි හස්තයෙන්ද මොකක්ද එකෙන් දෙන එකක් නැද්ද?
      (වලලු දාපු හස්තයකින් කියලා සරාස් පරීක්ෂකතුමාත් කිව්වා)

      Delete
    2. වළල දාපු හස්තය කොහේ ඉන්නවද දන්නේ නැහැ? පොතත් චුලගේ බජට් එකත් චූලා ගේ

      Delete
  9. චූලයියගෙ කයි පද නම් මල් හතයි

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නැහැ කිණිසි වගේ

      Delete
  10. ඊයේ ලංකාදීපේ විමංසා එකේ ආටිකල් එකක් තිබුනා.. චුලා උඹගේ යාලුවෙක්ද?? හපොයි එන්ජීඕ සල්ලි වලින් පොත් ගහනවා ඇත්තේ හෙනං.. හැක්..

    ReplyDelete
    Replies
    1. මේ පොත ගැනද? චුළ අඳුරනවා. මේ පැත්තෙත් ඇවිත් ගියා. බොහොම අමාරුවෙන් පොත් පළ කරනවා කියල මම හිතන්නේ. එහෙම පොත් පළ කරන්න උදව් කරන එන්ජීඕ එකක් දන්නවනම් මටත් දෙන්නකෝ.

      Delete
    2. ඒකට වැට් 69 ක් බිල්ලට ඕන.. හැක්..

      Delete
    3. වහාම එවන්නම්.

      Delete
  11. දන්නා මිනිහෙක් ගේ නොදැන සිටි දස්කමක්..
    පොත හොයාගෙන කියවන්නම වෙනවා..

    අජිත් අයියා නෙලුං යාය වගේ විකාර වැඩ වලට වගේම මේ විදියේ විචාර වලටත් දක්ශයිනේ.. :)))

    ReplyDelete
    Replies
    1. විකාර වැඩ වලත් කෙළවරක් තියෙන්නේ එපැයි.

      Delete
  12. පොත ගන්න අමතක වෙලා උන්නෙ. මතක් කළාට ස්තූතියි. චූල කියන්නෙ කවුරුත් ආදරේ කරන සැබෑ මනුස්සයෙක්.

    ReplyDelete
    Replies
    1. පොත ගැන දැනන් හිටිය එකත් ලොකු දෙයක්.

      Delete
  13. කවියක රහක් මට
    විදින්නට විදිහක් නැත
    බොගේ ඇත්නම් කව
    පොතක් නැතුවත් කම් නැත

    ලොකු තේරුමක් තියෙන කවි... ස්තූතියි අජිත් අයියේ!

    ReplyDelete
    Replies
    1. කවි රහ විඳින්නට
      ඔහේ කියවා වැඩක් නැතිමය
      හිතේ රඳවා කුඩේ කුඩු කොට
      මොළෙන් දිවගා බැලිය යුතුමය

      Delete
  14. බොහොම රසවත් ලිපියක්. 2015 අවුරුද්දේ විශ්වවිද්‍යාලයේ තිබුණ උත්සවයකට චූලානන්ද මහත්තයාව ප්‍රධාන ආරාධිතයා විදිහට ගෙන්නලා තිබුණා. ඒ උත්සවේදිත් මේ කවි වගේම රසවත් ඒ වගේම හරවත් කතාවක් චූලානන්ද මහත්තයා කළා.වැදෙන තැන්වලට වැදෙන විදිහටත් රිදෙන තැන්වලට රිදෙන විදිහටත් නිර්මාණශීලීව ප්‍රතිචාර දක්වන්න චූලානන්ද මහත්තයා බොහොම දක්ෂයෙක්. අජිත් අයියාගේ මේ ලිපියත් එක්ක චූලානන්ද මහත්තයා ගැන මගේ අතීත මතකය අලුත් වුණා. ඒ ගැන ස්තූතිවන්ත වෙනවා.

    ReplyDelete
    Replies
    1. //ඒ වගේම හරවත් චූලානන්ද මහත්තයා කළා.වැදෙන තැන්වලට වැදෙන විදිහටත් රිදෙන තැන්වලට රිදෙන විදිහටත් නිර්මාණශීලීව ප්‍රතිචාර දක්වන්න චූලානන්ද මහත්තයා බොහොම දක්ෂයෙක්.// ඒක ඇත්ත

      Delete
  15. අම්මපා මේ කවි බට තුවක්කුවෙන් ඇපල ගෙඩි විදිනවා වගේ

    ReplyDelete
  16. කොච්චි කවි වල තියෙන්නෙ හිස්මුදුනත් දවාලන නයිමිරිස් වදන්

    ReplyDelete

මෙහි ඇති ඕනෑම ලිපියක් අජිත් ධර්මකීර්ති, අජිත් ධර්ම හෝ කොළඹ ගමයා බ්ලොග් ලින්ක් එක යටතේ උපුටා පල කිරීමට පුළුවන.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම කොමෙන්ටුවක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ කොමෙන්ටු පමණක් පල නොකරමි. කොමෙන්ට් දමන සියල්ලන්ටම ස්තුතියි.