Tuesday, 14 October 2014

බිග් බැන් BigBang හෙවත් මහා පිපිරුමට නම ලැබුන හැටි - 1

බිග් බැන් BigBang හෙවත් මහා පිපිරුමට නම ලැබුන හැටි:
සාමාන්‍යයෙන් තාරක විද්‍යාව ඉගෙන ගනිද්දී cosmology කියලා විෂයක් තිබෙනවා.  ඒ කියන්නේ විශ්වය ගැන ඉගෙනුම. එහිදී මුල්න්ම සාකච්චාවට ගන්න කාරණයක් තමා bigbang හෙවත් මහා පිපිරුම. මේ නමින් ඇත්තටම සිද්ධ වුනේ මොකක්ද කියන පර්යේෂණාත්මක තත්වයට  දෙන්නේ කිසියම් වැරදි හැඟීමක්. (misnomer). මේ නම දැම්මේ 1950 දී සර් ෆ්‍රෙඩ් හොයිල් කියන බ්‍රිතාන්‍ය තාරක විද්‍යාඥයා විසින් ඔහු විසින් විශ්වය තව දුරටත් සීග්‍රයෙන් විශාල වෙනවා (ප්‍රසාරණය - expanding universe) කියන අදහසට විරුද්ධ වීම නිසා.
සර් ෆ්‍රෙඩ් හොයිල් (1915 - 2001)
ෆ්‍රෙඩ් හොයිල් ගේ කැමැත්ත තිබ්බේ "Steady State model " හෙවත් සිංහලෙන් කිවොත් නියත (අචල හෝ වෙනස් නොවන) තත්වයේ මොඩලය කියන එකට. 
 එතකොට මොකක්ද මේ තියරිය. මේකට මුලිකව සහය දුන්නේ හර්මන් බොන්ඩි, තෝමස් ගෝල්ඩ් හා ෆ්‍රෙඩ් හොයිල්.  මේ තියරියෙන් උපකල්පනය කරන්නේ ඕනෑම වෙලාවක හැම නිරික්ෂකයෙකුටම විශ්වය පෙනෙන්නේ එකම විධිහට බව.  ඒ මොකද විශ්වය "Perfect Cosmological Principal" හෙවත් පරිපුර්ණ විශ්වීය නියමයකට හැම වෙලේම යටත් නිසා කියල. 
එනම් " විශ්වය ඉතා විශාල පරිමාණයෙන් ගත්කල බලන හැම පැත්තෙන්ම  එක හා සමාන වන අතර අනාගතයේදී ද එය එසේම වේ ".
මේ ප්‍රමේය කිසියම් ප්‍රමාණයකට විශ්වය විශාල වෙනවා යයි පිලි ගත්තත් එය සදාකාලික විශ්වයක් තුල වන්නේ යයි පිළිගනී.  මේ තියරියේ ප්‍රධාන ප්‍රශ්නයක් නම් ද්‍රව්‍යය ඇති වන්නේ නැත්තකින් බව (Matter created from nothing) පිලි ගැනීමයි.












මෙයට විරුද්ධ මතය ඉදිරිපත් කලේ කතෝලික දේවගැතිවරයෙකු හා තාරක විද්‍යාඥයෙකු වූ ජෝර්ජස් ලේමටර් (Georges Lemaître) විසින්. ඔහු කිවේ එක්තරා නියත වෙලාවක කිසියම් අංශුවක් පිපිරීමෙන් විශ්වය ඇතිවූ බවයි. එය ඉන්පසු සීග්‍රයෙන් ප්‍රසාරණය වන්නට ඇති බවයි. ඔහු 1927 -30 දි සාපේක්ෂතා වාදය උපයෝගී කරගෙන මේ බව ඔප්පු කරන්නට ලිපියක් පල කලා. 












නමුත් ඔහු දැන හෝ නොදැන රුසියානු විද්‍යාඥයකු හා ගණිතඥයෙකු වන ඇලෙක්සැන්ඩර් ෆ්‍රිඩ්මන්  (Alexander Friedmann ) 1922 දී සාපේක්ෂතාවාදය ගණිතමය වශයෙන් ඔප්පු කරමින් විශ්වය ප්‍රසාරණය වන බව ඔප්පු කලා.

මෙය කන වැකුණු සර් ෆ්‍රෙඩ් හොයිල් තරහෙන්  "එහෙනම් ඔහෙලා කියන්නේ මහා ලොකු පිපිරිමකින් (bigbang එකකින්) විශ්වය බිහි වුණා  කියලද? "  කියා අවඥා කලා. ඒ වචනය ඉන්පසු හැමෝම භාවිතා කරන්නට පටන් ගත්තා.

 නමුත් 1930 දී බ්‍රිතාන්‍ය රාජකීය තාරක විද්‍යාඥ සර් ආතර් එඩින්ටන්  , අයින්ස්ටයින් හා ඩි සිටර් විසින් මෙම static හෙවත් එකම විදහට තිබෙන විශ්වයක් නැති බව පිළිගත්තා.

විශ්වය ගතික ලෙස  (dynamic )  ප්‍රසාරණය වන බවත් එක මුලයකින් පටන් ගන්නට ඇති බවත් නිගමනය කෙරුණා.

මේ අලුත් නියමය ඔප්පු වන්නේ කෙසේද යන්නඊළඟ  ලිපියෙන් පැහැදිලි කරන්නට පුළුවන්. 

 -අජිත් ධර්මකීර්ති  (14/10/2014)

28 comments:

  1. ඔය තියෙන්නේ නියමෙට අගේට තේරුනා.. මල් මසුරන් ලිපිය.. බොහෝම සරළයි.. දැන් ඉතින් බිග් බෑන්ග් සංසාරෙදි අමතක වෙන්නේ නෑ...

    ReplyDelete
    Replies
    1. එහෙනං මෙන්න මේම බිග් බෑන්ග් එක ගැන විරිදුවක් කියමු. :D

      අපේ ලෝකය හැදුනේ කොහොමද?

      Delete
    2. ස්තුතියි. බස්සිගේ අර ආදර හෝමෝන ලිපියත් මරු. කොමෙන්ට් එකක් දාන්න නම් බැරිවුනා.

      Delete
  2. හොද සරල ලිපියක්.......කියවමු දිගටම.....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කෙන්ජි . ඉලනාග එක එනවා ළඟදීම.

      Delete
  3. මාතලන්ගේ ලින්ක් ශේයාරින් කරලා තියෙනවා දැකලා ආවේ...
    ආසවේන් කියෙව්වා...ලස්සනට පැහැදිලි කරලා තියෙනවා.ස්තුතියි!

    ReplyDelete
    Replies
    1. සස්තුතියි ගජින් .

      Delete
    2. ඔබගේ ජපාන අඩවිය කියෙව්වා. ලින්ක් එකක් මගේ බ්ලොගයටත් දැම්ම. වෙලාවක කියවන්නම් අනිත් ඒවා.

      Delete
  4. මචන් උඹ එක
    ඔය ලියවෙන්නේ ලියන්න බැහැ කියන එව්වා අගේට. හෙහ්.. හෙහ්...
    සරලයි. දැනුමෙන් සපිරියි. මුලිකව දැනගත යුතු සියල්ල ආවරණය වෙලා තියෙනවා. අර ඉංග්‍රීසි යෙදුම් ටික දමා තිබෙන නිසා ගැඹුරට යන්න ඕන එකාට නිමේෂයෙන් සියල්ල පරිගණක තිරයට ගෙන්වා ගත හැකියි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. ඔයාල වගේ කවුරු හරි පිටිපස්සෙන් ඉඳන් තල්ලු කරන්න ඕනේ නේ . අර පැකිලිම යන්නේ එතකොට.

      Delete
  5. කාලෙකට පස්සෙ කොළඹ ගමයා මට තේරෙන බාසාවකින් ලියලා! ජයවේවා!!

    මේ බිග් බෑන්ග් ලිපිය වගේම පට්ටයි නේද ඔය උඩ පින්තූරෙ තියන TBBT ටීවී සීරීස් එක. හිනා කෝටියයි. දැන් සීසන් එයිට් බලනවා මට ඒක තාම එපා වෙලා නෑ නිකම් ඇඩික්ට් වෙලා වගේ දැන්නම්.

    ReplyDelete
    Replies
    1. මාත් එහෙමයි. ඒකනම් කියල වැඩක් නෑ. ඇඩික්ට් වෙනව තමා. ශේල්දන් කුපර් වගේ උන් මම අනන්ත දැකල තියෙනවා. ඔක්කොම ඇක්ටර්ස් ල හොඳයි.

      Delete
    2. මගෙත් ප්‍රියතම එකක් ... මම මේ පොස්ට් එක බලන්න ආවෙත් TBBT එකට නම දාපු හැටි ඇති කියල හිතාගෙන හෙහ් හෙහ්

      Delete
    3. fun facts:
      http://www.funtrivia.com/en/Television/Big-Bang-Theory-19256.html

      Delete
  6. එක මුලයකින් පටන් ගන්නට ඇති බව = creationism ?

    ReplyDelete
    Replies
    1. නැහැ මෙය ක්‍රියෙෂනිස්ම් නොවේ. ඊළඟ ලිපියෙන් කරන්නම්. කතෝලික පල්ලියත් ඒ වග හිතල bigbang එක පිලි ගත්ත, නමුත් මොඩලය ඒක නොවේ.

      Delete
  7. විශ්වය ප්‍රසාරනය වෙනවා කියන එක මට පැහැදිලි නෑ ඒ කියන්නේ විශ්වය දෙගුනයක් ප්‍රසාරනය වෙනවා කියන්නේ පෘථුවියත් අපි හැමෝමත් දෙගුනයක් විශාල වෙනවා කියන එකද? නැත්නම් වෙන දෙයක්ද

    ReplyDelete
    Replies
    1. පෘථිවිය තිබෙන තැනම තියෙන අතර විශ්වය විශාල වේ. මෙය ලිපියකින් රුප වලින් පැහැදිලි කරන්නම් ලිපි අංක 4දී විතර. කලින් පනින්න බැහැ. උදාහරණයක් වශයෙන් බැලුම් බෝලයක් ගැන හිතන්න. ඒ වගේ.

      Delete
    2. ඔහොම කතාවක් අහලා තියෙනවා ඒ අනුව අප වසන ත්‍රිමාන විශ්වය (අවකාශය) සිව්මාන ගෝලයක මතුපිට පෘෂ්ඨයක් (මට තේරුනු හැටියට) මේ ගැන ඉදිරියේදී පැහැදිලි කරන්න ස්තුතියි.

      Delete
  8. මේ තියෙන්නේ මරු ලිපියක් . දිගටම ලියන්න.

    බිග් බෑන් එකකින් විශ්වය බිහිවුණා කියන මතය පුරාණ වේදයේත් සඳහන් වෙනවා කියල මා අසා තිබෙනවා . එහි සඳහන් වන්නේ මෙහෙමයි .

    සෘග් වේදයේ එන නාසාදිය කියන සුත්‍රයේ මෙන්න මෙහෙමයි විශ්ව නිර්මාණය ගැන කියවෙන්නේ ..

    මුලාරම්භයේදී පැවැත්මද නොපැවත්මද නොවූයේය ...
    පෘථිවිය නොවිය . අහසද නොවීය . ඒවා ඉක්මවුවක් ද නොවීය ..
    එහිදී ජීවනය නොවීය .. මරණය ද නොවීය ...
    දවසද නොවීය ... රාත්‍රිය ද නොවීය ...
    බ්‍රහ්ම විනා එහි කිසිවක් නොවීය ..
    ආරම්භයේදී සැමතැනම වුයේ අන්ධකාරයයි....
    තීව්‍ර අන්ධකාරයයි ..
    සියල්ල මූල බීජය තුල හැකිලී තිබිණි .
    ආරම්භයේදී හිරණ්‍ය ගර්භය පැවතුණේය ...
    හිරණ්‍ය ගර්භය තුල විශ්වයේ දැනට ඇති සියල්ල හැකිලී තිබිණි ..

    මෙහි හිරණ්‍ය ගර්භය යනු ඉතා කුඩා අල්පෙන්ති හිසක් බඳු බිජුවක් ලෙසයි එහි සඳහන් වෙන්නේ . මේ හිරණ්‍ය ගර්භය එහි ඇතුලතින් නැගුනු රත්වීම නිසා පුපුරා ගොස් විශ්වය නිර්මාණය වුනා යැයි වේදයේ සඳහන් .

    එසේම හිරණ්‍යය ගර්භයක් ඇති වන්නේ ඊට පෙර පැවති විශ්වයක් හැකිලී යාමෙන් බවත් එහි සඳහන් ..

    දැනට විද්‍යාවෙන් හොයාගෙන තියෙන විශ්වයේ ප්‍රසාරණය සහ හැකිලීම යන්න පුරාණ වේදයේ සඳහන් වන්නේ මේ විදියට කියලයි මම අසා තිබෙන්නේ



    ReplyDelete
    Replies
    1. ඔය කතාව බුදුදහමේත් තියෙනවා කියා මම අසා තිබෙනවා.

      Delete
  9. පැතුම් මේ කතාව හෙන වැදගත්. මොකද ඔය කතෝලික පල්ලිය ඒ දවස් වල හැම පොතක් පතක්ම හිර කරගෙන හිටිය. දෙවගතිවරුන්ට තමයි ඒවා කියවනන්න ලැබුනේ. ගොඩක් බටහිර තාරකා විද්‍යාඥයෝ වේදය හා චීන පොත් පත් කියවල , මුලික අදහස අරගෙන ඊට පස්සේ ගණිතමය වශයෙන් ඒවා ඔප්පු කලා. හැබැයි ඉන්දියාවට වත් පොත් වලටවත් නිසි ගෞවරවය දුන්නේ නැහැ. ඉන්දීය , චීන රුසියානු යට ගෞරවය ආවා අඩුයි මුලදී. නමුත් දැන් තත්වය හොඳටම වෙනස්. දැන් හැම දේ ගැනම කියන කොට මුලාශ්‍ර ලියනවා. විශේෂයෙන් ඕපන් යුනිවර්සිටිය ( එංගලන්තයේ) පෙරමුණ ගන්නවා ඒ අතින්. ඔබ මෙතන හරි. ඒ පටන් ගැන්ම තමා සමීකරණ වලින් පස්සේ ඔප්පු කලේ Lemaître හා ෆ්රිද්මන්. ක්වන්ටම් නොපෙනී යාම මහායන පොතක තිබෙනව. ගොඩක් ග්‍රීක කට්ටිය හොයා ගත්ත කියල කියන දේ චීන්නු ඊට කලින් හොයාගෙන තිබෙනවා. කොමෙන්ටුවට ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ඔබට හැකියාවක් තියෙනවනම් ගුවන් විදුලියේ ස්වදේශීය සේවයේ විකාශය වෙන ඉඳුරු දොර වැඩසටහනට සවන් දෙන්න . මම මෙය ඇසුවේ එම වැඩසටහනින් .. අවශ්‍ය නම් පසුගිය වැඩසටහන් ලබා දීම කල හැකියි.

      Delete
    2. වෙබ්ලින්ක් එකක් තිබෙනේවද?

      Delete
    3. දැනට නම් නෑ මම හිතන්නේ .. නමුත් මම හොයල බලල කියන්නම්

      Delete
  10. බැහැ බැහැ ක්කියුවට මේ හොඳට තියෙන්නේ. ජීවන ගේ ලින්ක් එකක් හරහා තමයි ආවේ. දිගටම යමු

    ReplyDelete
  11. මමත් දැනගන්න ආසාවෙන් හිටිය පැත්තක් තමා තාරකා විද්‍යාව. බොහොම වැදගත් මාතෘකාවක් :) නම අහල තිබ්බට කිසි අවබෝධයක් තිබ්බෙ නෑ. සරළව, තේරුම් ගන්න පහසු විදිහට මේ ගැන ලියල අපිව දැනුවත් කලාට ඔබතුමාට තුති. ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මනා මහතාට ආවාට මේ පැත්තේ.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .