Monday 22 January 2024

බෙදාගෙන කනවද බෙදා ගන්නවද




කාලකෙට කලින් අපි ගියා නිවාඩුවකට යාලුවෝ කට්ටියක් එක්ක. අපි ඔක්කොම එකට උයාගෙන කාලා ඉන්න තැනකට තමයි ගියේ. රාත්‍රී කෑම මෙසේදී පොඩි සිද්ධියක් වුනා. මට මේක මතක ඊට පස්සේ කතාවට මේක අදාල වෙන නිසා. 

කෑම මේසෙට තිබ්බට පස්සේ සිරි ලංකා සම්බවයක් තියෙන මගේ අතීසාර මිත්‍රයෝ ටික සුපුරුදු පරිදි ඉන්නව බිරින්දෑලා බත් පිඟාන බෙදල අතට දෙනකන්.  මම ඉඳගෙන හිටියේ මේසයේ කෙළවරක නිසා මම ඒ එක බිරින්දෑ කෙනෙකුට කීව 

"මේ මටත්  ඔහොමම බත් පිඟානක් පාස් කරන්න කියල "
එයා  ගත් කටටම කීව 
"ඇයි ඔයාගේ හාමිනේට කියන්න, අපිට කියන්නේ". 

එහෙම කියල පොඩ්ඩක් නක්කියට විරිත්තල කීව 
"ආ එයාල ඉතින්බෙ දල දෙන්නේ නැහැනේ නේද "
 කියල. 
අම්මට සිරි, එතකොට තමයි මම දැක්කේ අපේ එක්කෙනා හිටු කියල මගේ සිරි ලංකා ඔරිජින් යාලුවන්ගේ පිඟන් වලට ව්‍යංජන බෙදනවා. එදා කෑමෙන්  පස්සේ ඔන්න ඉතින් මම ඇද්ද වලිය.
 
"තමුසේ මොකටද ඕයි අරහෙම බෙදන්න ගියේ"


"ඉතින් අහවලී, අහවලී හෙම බෙදුවනේ. මම නිකන් ඉන්න හොඳ නෑනේ "

 ""හරි ඉතින්  අපි උයන්න අරෙහෙ මෙහෙ උදව් වුනානේ. මිට පස්සේ බෙදන්න තහනම්.ඔච්චර බෙදනවා නම් මට බෙදනවා "

"ඔයා ඉතින් කොහොමත් බෙදා ගන්නවනේ කෑම"

"ඉතින්ඒ ක තමයි. තමුසේ උයන වැඩ ඔක්කොම කරන නිසා මම ඒක වත් කර ගන්න එපැයි. ඉස්තිරි  පුරුෂ සමානාත්මතාවය තියා ගන්න අයිසේ. ඒකයි මම ඔයාට අමතර වැඩ දෙන්නේ නැත්තේ"

"ඕක මොකක්ද ඔයාට ඕනේ නම් මම බෙදන්නම්. මගේ අම්ම බෙදන්නේ ඔයාට. ෆාටි ට බෙදුවේ නැති උනාට. (ෆාටි කියන්නේ ජර්මන් වලින් පියාට) "

මම කිව්ව "නෑ එපා, බෙදන්න ඕනේ නැහැ ". කතාව ඉවරයි.

මගේ ජර්මන් නැන්දම්මා කීයට වත්   මාමණ්ඩි ට කුස්සියට එන්න දෙන්නේ නැහැ. ආවොත්  කුස්සියම වණ කරනවා කියල. එයා උයල ඉවර වුනහම දුවල (මගේ බිරිඳ සහ නෑනන්ඩි ) දෙන්න හැඳි ගෑරුප්පු පිඟන් තියල මේසේ සකස් කරනවා . මාමණ්ඩි සහ මම කෑම ටික  මේසෙට කැන්දන් එනවා. මාමණ්ඩි වයින් බෝතලේ ඇරලා වක්කරගෙන යනව ඔක්කොටම.  නැන්දම්මා මට මස් (සාමන්‍යයෙන් මස් ම තමා කන්නේ) , එළවලු අනම් මනම් ටික බෙදනවා. එයාට ඕනේ මම කෑම රහයි කියන්න. ඇත්තටම එයාගේ කෑම රහයි. සාමාන්‍යයෙන් හැමෝම තම තමන්ට බෙදා ගන්නවා. කෑවට පස්සේ එක්කෙනෙක්  පිඟන් ටික එකතු කරන්  කුස්සියට  ගෙනියනවා. සාමාන්‍යයෙන් ඒක කරන්නේ අන්ද්රියස් කියන නෑනා ගේ හස්බන්ඩ. තව කෙනෙක් කෝප්ප ගෙනියනවා. මාමණ්ඩි තමයි ඔය පිඟන් කෝප්ප ඔක්කොම ඩිෂ් වොෂර් එකට අඩුක් කරන්නේ. ඒක වෙන කාටවත් දෙන්නෑ . පිස්සු කෙලිනවා කියල. 

කතාව ඇත්ත හැබැයි. ඔය දෙවියන් වහන්සේ ගැහැනුන් ගේ මොලේ වයර් කරලා තියෙන්නේ පිගන් කෝප්ප ඩිෂ් වොෂර් දාන්න නෙමෙයි. කොටින්ම  එයාලට ඒක බැහැ. වැඩිපුරම වෙන්නේ  ඩිෂ් වොෂර් එක කැඩෙන එක. හරියට පිරිමින්ට රෙදි හෝදන්න බැහැ වගේ තමයි. මම එකම එක පාරයි රෙදි දැම්මේ වොෂින් මැෂින් එකට. බිරින්දෑ ගේ සුදු පාට කහ පාට රතු පාට ඇඳුනුයි මගේ නිල් කමිසයි ඔක්කොම අපටත් අඳුර ගන්න බැරි යුනිවර්සල් කලර් එකක් වෙලා තිබුන. එදායින් පස්සේ තහනම් නියෝගයක් දාල තියෙන්නේ.   නැතුව මම අකැමැතිව නෙමයි මිත්‍රෝ වරුනි. 

වසර කිහිපයකට කලින් එක්තරා වාමාංශික  දේශපාලන පක්ෂයකින් කාන්තා දිනයකට ද කොහෙද රැස්වීමක් තිබ්බ. එම පක්ෂයේ කාන්තා නායිකාවක් වගේ කෙනෙක් පට්ට දේශනයක් තිබ්බ. කාන්තා විමුක්තිය ගැන. ධනවාදයේ සූරා කෑම ගැන. හැබැයි ඉතින් මට  හිතන්නේම  ධනවාදයෙන් සෑහෙන්න කාන්තා විමුක්තිය දීල තියෙනවා කියල. ඕකට සමාජවාදේම ඕනේ නෑ කියල. මම ඕව කියන්න ගියේ නැහැ ඉතින්. කොහොමත් මට තියන ඇවිස්සීමේ ගතිය නිසා මම කිව්වා
 "බලන්න ඉතින් තවමත් බත්  පිඟානක් වත් බෙදා ගන්නේ නැහැනේ, අපේ පිරිමි . උයල ඉවර වෙලා බිරිඳම   තමයි අතට බෙදලත් දෙන්න ඕනේ. නැත්නම් ඒක නිගරුවක් හැටියට සලකනවා කියල. " ඒක ටිකක් ඇවිලුනා. 
එක දියණියක් කතා කරලා මෙහෙම කීව. එයාගේ අම්මත් හිටිය එතන. ලංකාවට නිවාඩුවට ගියහම උනත්  එයාගේ නෑදෑ අයියල මල්ලිලට බෙදල දෙන්න ඕනෙලු ඉස්සෙලම. තාත්තට හා අයියටත් බෙදළලු එයාලට දෙන්නේ. 
මමත්  සමහර විට ඒක දැකල තියනවා. 

වැඩේ කියන්නේ ගිය අවුරුද්දේ දවසක ඒ කාන්තාව හමුවුනා. මම ඔය කතාව මතක් කලහම එයා කියපි 
"නැහැ එහෙම දෙයක් වුනේ නැහැ. අපි එහෙම කිව්වේ නැහැ.  බලන්න ඒවා  කොච්චර හොඳ චාරිත්‍ර ද  , අපේ රටේ වැඩිහිටියන්ට එහෙම සලකන එක , ගෙදර මනුස්සයට සලකන එක වගේ පුරුදු අපි තියා ගන්න ඕනේ" කියල. මම මුකුත් කියන්න ගියේ නැහැ ඉතින්. තමන්ට ඕන මගුලක්. 

මම දන්නා සමාජවාදී සයිඩ් එකේ යාලුවෝ සෙට් එකක් එක්ක   ඔය ගැන  කතා කරද්දී එක්කෙනෙක්  කිව්වා
 "අනේ මචන් ඕක විතරයි අපට ඉතුරු වෙලා තියෙන්නේ . ඒකටත් කෙලින්න හදන්න එපා කියල. "
 හැබැයි එයාගේ බිරින්දෑ ඒක අහගෙන ඉඳල කියනව 
  "අපි ඒවා කරන්නේ ආදරේටනේ අනේ"
ආදරේට ඉතින් වෙන දේවල් කරන්න පුළුවන්නේ ටිකක් රෑ වෙන්ඩ ඇරලා කියල කියන්ඩ හිතුනත් ඉතින් කිව්වේ නැහැ. 

මම ඉතින් ඕක ඇවිල්ල බිරින්දෑට කිව්වා. උන්දැ කියනව. "ඒකනේ මම ඔයාට කිවේ. මිට පස්සේ මම ඔයාට බෙදල දෙන්නම්.  ආදරේටනේ අනේ. "

"අනේ එපා , ඔය ලංකාවේ අම්මන්ඩිල ආදරේට කියල කීවට මොකක් හරි යටි හිතෙන් අඹරන්ඩ ඕව කියන්නේ" කියල ශේප් වෙන්න හැදුව කෝ ඇහුවේ නැහැනේ. 

රෑම කර්මය පල දුන්න කියන්නේ පොඩි මස් කෑල්ලක් නුයි පුංචි අල පෙති දෙක තුනක් එක්ක බෙදල දෙනවා මෙන්න  කෝලි ෆ්ලවර්, බ්‍රොකොලි පුරවල, ලීක්ස් නුත් එක්ක පිඟාන වැහෙන්න.

"මේ මොනවාද අනේ ටිකක් ලොකු මස් කෑල්ලක් දානවකෝ". 

"මේ ඔයාට රතු මස් කන්න හොඳ නැහැ  වැඩිය. අල කියන්නෙම සීනි . ඔය එළවලු වැඩිය කන හොඳයි.  හෙට ටර්කි (කළුකුම්) හදනවා. ඒක වැඩිපුර  බෙදන්නම්  සුදු මස් නෙ ශට්ස් . ඔයාට ආදරේටනේ මේ ඔක්කොම"  එයා කියපි.

මට   ඔය ටර්කි පෙන්නන්න බැහැ. මිරිස් ගොඩක් දාල හැදුවත් කිසි රහක් නැති මසක්.ආ,  ජර්මන් වලින් ෂට්ස් කියන්නේ හනි (ඩාලින්) වගේ තේරුමක්.

ඔහොම වදෙන්  පොරෙන් සුමනයක් දෙකක් ඉහ ගහගෙන ඉන්න කොට දානෙකට ඇරයුමක් ලැබුන. දාන ගෙවල් වලට ගියහම කන්නත් හම්බ වෙනවනේ. ප්‍රශ්නේ උනේ දැන් මෙයා බත් පිඟාන බෙදන් එන එක. හාමුදුරුවෝ පන්සලට යන්න එලියට වැඩ්ඩ විතරයි මම හීන් සීරුවේ නොපෙනෙන්න ගිහින් බත් ටිකක් බෙදා ගන්න බැලුව. අහු වුනානේ. 

"මේ ඔයා ගිහිල්ල අර යාලුවෝ එක්ක ඉඳගෙන ඉන්න මම බෙදන් එනකන්". 

මොනා කරන්නද. ගිහින් ඉඳගත්ත.   මෙන්න මෙයා බෙදාගෙන ආවා. බත් හැන්දක් තියනව. ඒක පේන්නේ නැහැ. මාළු කෑල්ලක් තියෙනවා. හාල් මැස්සෝ ටිකක් තියනව, වම්බටු බැදපු වට  දාපු. පරිප්පු පුරවල. ඊට වැඩිය මැල්ලුම් නුයි ගොටුකොලයි බෝන්චියි පුරවල. ආ කැරට් තිබ්බේ නැහැ. මෙහේ  ඔය ලාභ දේවල් උයන්නේ නැහැනේ. අල තෙම්පරාදුවෙන් අල හරියටම එකක් (1) දාල තිබ්බ  හිතෝතුනි. සම්බෝල පුරවල. නිකන් කන්නය යකෝ සම්බෝල. 

මං ඇහුවා "කෝ හලෝ  බත්."

 "මේ, ඔය බත් ගොඩ ගහල කන්න හොඳ නැහැ. ටිකක් කෑවහම ඇති. මැල්ලුම් කන එක හොඳයි කියල හැමෝම කීව "

"මේ එක මාළු කෑල්ලයි නේ"
"මේ ඔයාගේ අම්ම කිව කළුවට හදල තියන ඔය මාළු ඌෂ්ණයි . (ඇඹුල් තියල්)  හොඳ නැහැ කියල වැඩිය කන්න "

" මේ ඔයා බොරු කියන්න එපා. අපේ අම්මට කොහෙද ඔයා කතා කරේ. මමනේ කෝල් අරගෙන ඔයාටත් දෙන්නේ කතා කරන්න. අනික මේ ඌෂ්ණ කෑම කියල දෙයක් ඔයා දන්නෙවත් නැහැ"

"මොකද නැත්තේ. මම අහගත්තා ඔක්කොම අහවලාට කෝල් කරලා. ආදරේට නේ අනේ මම" 
අම්මපා  ඔය අහවලා අහුවුනොත් මම....  

එදා ගෙදර එන ගමන් කිව්වා 
"මේ තමුසේ ආයේ මට මුකුත් බෙදන්න එපා. මම බෙදාගෙන කන්නම්. අපේ ගෙදර සමානත්මතාවය තියෙන්න එපැයි . ළමයි නුත් බලයි මේ තාත්තා පුරුෂෝත්තම වාදියෙක් වෙලාද කියල".

හරි එහෙනම් ශරීර සෞඛ්‍යය  රැක ගන්න ඉරිදට විතරක් නෙමේ සෙනසුරාදාටත් ඇවිදින්න යන්න  එන්නේ ඕනේ කියල එයා පොරොන්දුවක් ගත්ත.  

යන්තන් ඒකෙන් බේරුනා.පොරොන්දු කියන්නේ ඉඳල හිටලා කඩ කරන ඒවනේ.

මම මේ කල්පනා කලේ, ඔය  දක්ෂිණාංශික පක්ෂ, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ ගැහැණු නායිකාවෝ පත් කලාට කොමියුනිස්ට් පක්ස, සමාජවාදී පක්ෂ මේ කපේට ගේනවද ජාතික තලයේ කාන්තා  නායිකාවෝ කියල. ලංකාවේ  සිරිමාවෝ ,  චන්ද්‍රිකා, ඉන්දියාවේ ඉන්දිරා, බ්‍රිතාන්‍යයේ තැචර්,  ඊශ්‍රායල් ගෝල්ඩා මියර්, ජර්මනියේ ඇන්ජෙලා මර්කෙල් නේද ඉන්නේ . අමෙරිකාවත් ඒ පැත්තෙන් ටිකක් පසුගාමියි. ක්‍රෙම්ලින් එක පැත්තේ හිටියෙම නැහැ. චීනේ  කියුබාවේ උනත් මතකයක් නැහැ හිටිය කියල. 
ලංකාවේ  නම් ට්‍රොට්ස්කි වාදී ලංකා සම සමාජ පක්ෂේ විවියන් ගුණවර්ධන වගේ ජාතික තලයේ නායිකාවන් හිටිය.  යුරෝපයේ වාමාංශික පක්ෂ වුනත් එහෙමයි. 

ඒ වුනාට එක වාමාංශික බලවේගයකින් ජාතික නායිකාවක් ගෙනල්ල තියනව ඉස්සරහට. ලංකාවේ, ලංකාවේ.

එයාව රැක ගන්න ඕනේ හිතෝතුනි. ලංකාවේ පසුගාමී බයි, ටොයි , සමාජවාදී ගෑනි ලව්වා බත් බෙදා  ගන්න සෙට් එක හදන්න නම් එයාල වගේ අය ඉන්නම ඕනේ.

-- මාලිමාවේ හරිනි  අමරසූරිය - හැරුණු අමරසූරිය  වෙන්න දෙන්න එපා. -

--Ajith D 22/01/ 2024 මධ්‍යම රාත්‍රියේදී 



47 comments:

  1. සංස්කෘතිකමය බැඳීම් මතවාදී අදහස් යටකරගෙන යාම වලක්වන්න අමාරුයි. හොල්මන් විශ්වාස නොකරන කෙනෙක් උනත් අඳුරු, හුදෙකලා තැනකදි ශබ්දයක් ඇසුනොත් ගැස්සෙනවා.

    ReplyDelete
  2. මුල් ටික මරු හිනාවෙවී කියෙව්වෙ.අපේ ගෙදරත් නෑ ඔය බෙදිලි මුලින් බඩගිනි වෙච්චි එකා බෙදන් කෑවා.ඒ කද්දි අනිත් එකා කාලා නැත්තං කන්න කියල මතක් කරනවා.අපේ මනුස්සයට කොහොමත් පෙන්නන්න බෑ කොහේ හරි ගියාම ඇති කියද්දි බලෙන් බෙදන අය.ගෙදර ආවම,ඒ මිනිස්සුන්ගෙ පලු අරිනවා උන්ට සිංහල තේරෙන්නෑ කිය කිය.මාත් ඉතින් එතකොට කියනවා ආදරේටනෙ අනෙ එයාල එහෙම කරන්නෙ කියල.

    ReplyDelete
    Replies
    1. අන්තිම හරියටත් හිනා වෙන්න පුලුවන්නම් හොඳයි ඉතින්. කමක් නැහැ මුල හරියට හරි හිනා වුනානේ. 😀

      Delete
  3. ඔය මිනිහට කෑම බෙදලා දෙන ගෑණුන්ගෙන් වැඩි හරියක් බලාපොරොත්ත්තු වෙන්නෙ මිනිහගේ මානසික වහල්කමක්...ඒත් එහෙම නොවෙන ඇත්තටම ආදරය මත මේ දේ සිද්ධ වෙන තැනුත් නැතිවා නොවේ..කෑම එක තේ එක අතට ම ගෙන්ත දෙන සමහර ගෑණු මිනිස්සුන්ව තමන්ගෙ හිරකාරයෝ කරගෙන ඉන්නවා . තවත් සමහර තැන් වල ඕකේ අනිත් පැත්ත...ඇත්තටම ආදරයක් නැති උනත් මිනිහට තියන බය නිසා ගැනු අකමැත්තෙන් උනත් මේ දේ කරනවා..තවත් සමහර විට සමාජයෙන් තියෙන බලපෑම නිසාත් මේ දේ වෙනවා.

    ජෙප්පො හැමදාම කලේ කාගේ හරි කරේ එල්ලිලා තමන්ට ලිං මැඩි න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන එක තමයි...කාලයක් චන්ද්‍රිකාගේ ඇගේ එල්ලිලා හිටියා..පස්සෙ මහින්ද...ඊට පස්සෙ මෛත්‍රි....

    අර කථාවක් තියෙනවා ගමන පටන් ගද්දි කුමාරිකාව හිටියේ කොටියගෙ පිට උඩ...ගමන් ඉවර කරලා එන කොට කුමාරිකාව හිටියේ කොටියගෙ බඩේ කියලා...

    හරිනිටත් ඒ සන්තෑසියම තමයි වෙන්නෙ කියලා කැට තියලා කියන්න පුලුවන්...මොකද ජෙප්පන්ගේ තියෙන චින්තනයත් එක්ක ඒක එහෙම තමයි.

    දැන් ජන්දේ හිගා කන්න ඕනේ නිසා හරිනිව ඉස්සරාට දාගෙන ආවත් බලය ලැබුනු දාට ඉස්සෙලම ශොට් එක දෙන්නෙ ඔය වගෙ පක්ශේ ඇතුලෙම ඉන්න මධ්‍යස්ථ මථ්ධාරින්ට තමයි..

    ඒක ගැන තමයි ඔය ලාල් කාන්තගෙ කටින් එක පාරක් පැන්නෙ...දින්නට පස්සෙ එන ප්‍රතිවිප්ලවය නවත්වන්න ඒගෝල්ලො වැඩ කරන එක ගැන.

    ReplyDelete
    Replies
    1. හොඳට ලිපිය විසංයෝජනය කළ බව තේරෙනවා

      Delete
    2. Time the Soviets Tried to Abolish Money

      ඉගෙන ගන්නවා නං පාඩම් ඉතිහාසය පුරාවටම ලියැවිලා තියනවා, ඒත් ඉන්නෙ ලිඳේ නං .......

      Delete
    3. මතාන් මම හැබැයි සමාජවාදීන්වම උලුප්පල නැහැ. මතකනේ එක බයි විකටයෙක් කීවා එයා එයාගේ බිරිඳ මොන පෑඩ් දානවද දන්නෙත් නැහැ හොයන්නෙත් නැහැ වගේ කතාවක්. එයා මාසේ කතාව වත් දන්නේ නැහැ කීවේ. එහෙම සෙට් එකක් නේ ඉන්නේ

      Delete
    4. මාක්ස් කියන එක හරි ඒ කියන්නේ, ශ්‍රමය කියන එක භාණ්ඩයේ නිෂ්පාදනයට ඇතුලත් වෙනවා කියන එක. ඒත් ලාභය අහෝසි කරන එක වැරදියි. ලාභය අවශ්‍යයි නැවත එම නිෂ්පාදන ක්‍රියාවලිය වැඩි දියුණු කරන්න සහ ආයෝජනය පවත්වා ගන්න. එතන වැරැද්දක් සිදුවුනා කියල මම විශ්වාස කරනවා.
      අතිරික්ත වටිනාකම තමා ලාභය හැටියට අරගෙන අහෝසි කලේ. දැන් ඔය සරල විධිහට භාණ්ඩ හා සේවා වලට ගෙවන්නවත් , කම්කරුවන්ට හා inteligensia එකට එකම පඩිය දෙන්නට වත් බැහැ . skilled labour එකට අනිවාර්යයෙන්ම පඩි වැඩි කරන්න වෙනවා.
      //මාක්ස් ලාභය ගැන - අතිරික්ත වටිනාකම -(ප්‍රාග්ධනය අංක 8)//https://kolambagamaya.blogspot.com/2014/07/blog-post_10.html

      Delete
    5. "සමාජවාදයට මාවත වැටී ඇත්තේ ධනවාදය හරහාය" කියන කියමන හරියි කියල මට හිතෙනවා. මෙතනදී සමාජවාදය වැදගත් කාර්‍යභාරයක් ඉටු කරනවා. ඒත් අවාසනාවට, සමාජවාදයේ උරුමක්කාරයන් කියා සිතා සිටින අය හදන්නේ එය ආපස්සට ගෙන යාමටයි. සමාජවාදී යැයි කියා ගන්නා ඒකාධිපති රාජ්‍යයන් බිහිවන්නේ මේ නිසා විය හැකියි.

      Delete
    6. මාක්ස් ගේ ප්‍රාග්ධනය පොතේ තියෙන්නේ ධනවාදයේ උපරිම දියුණුවකට යන විට රාජ්‍යය අහෝසි වී කොමියුනිස්ට්වාදය බිහිවෙනවා කියල. හැබැයි ඒකෙම කියනව වැඩවසම් පාලන තන්ත්‍ර බිහිසුණු අරගල සහ ධනවාදී විප්ලව වලින් පෙරලා දැමුවා වගේ ධනවාදී ඒවත් පෙරලන්න වෙයි කියල. ඔය දෙවෙනි කොටස තමයි ගොඩක් අය අල්ල ගන්නේ. ප්‍රංශ විප්ලවය සමාජවාදී විලවයක් නෙමේ. ධනවාදී විප්ලවයක්. පැරිස් කොමියුනයකොමියුනිස්ට්වාදී අරගලයක්.

      Delete
    7. ඔය "ධනවාදී විප්ලව" බොහෝ ඒවා ස්වාභාවික ඇති වුන යුගයේ අවශ්‍යතාවයන්. මර්දනය/ද්‍රරිද්‍රතාවය තව දුරටත් ඉවස ගන්න බැරි නිසා ඇති වුන ඒවා. ඒත් බොහෝ "සමාජවාදී විප්ලව" ඒකෙ අනිත් පැත්ත. එතරම් මර්දනයක්/රරිද්‍රතාවය නැති කාලෙක, "සියල්ල දත්" සමාජවාදී සාස්තෘ වරයෙක්ගෙ උවමනාවට ඇති වෙච්ච ඒව. ගොල්ෆේස් අරගලයත් ස්වාභාවිකව ඇති වෙච්ච එකක්. මයිනයි, මොලහතායි, නන්දිවිසාලයි රට බංකොලොත් කරලා, තෙල් නැවකට ගෙවාගන්න සල්ලි නැතුව, මිනිස්සු පෝල්ම්වල මැරෙන කොට ඒක යුගයේ අවශ්‍යතාවයක්. සහෝදරවරු මොකද කලේ, ගැන්සිය බස්සල ඒක අල කෙරෙව්වා. දැන් ඔය මොන බයිලා කියාගෙන ආවත්, මට උන්දලා සත පහකට විස්වාස නැත්තෙ ඒකයි.

      Delete
  4. මේක නියමයි. ලස්සනට ලියලා තියනවා. හිනා වෙලා පණ ගියා.👌🙏

    ReplyDelete
    Replies
    1. මෙන්න ඔයා වෙනුවෙන් කෑල්ලක් එකතු කළා. //කතාව ඇත්ත හැබැයි. ඔය දෙවියන් වහන්සේ ගැහැනුන් ගේ මොලේ වයර් කරලා තියෙන්නේ පිගන් කෝප්ප ඩිෂ් වොෂර් දාන්න නෙමෙයි. කොටින්ම එයාලට ඒක බැහැ. වැඩිපුරම වෙන්නේ ඩිෂ් වොෂර් එක කැඩෙන එක. හරියට පිරිමින්ට රෙදි හෝදන්න බැහැ වගේ තමයි. මම එකම එක පාරයි රෙදි දැම්මේ වොෂින් මැෂින් එකට. බිරින්දෑ ගේ සුදු පාට කහ පාට රතු පාට ඇඳුනුයි මගේ නිල් කමිසයි ඔක්කොම අපටත් අඳුර ගන්න බැරි යුනිවර්සල් කලර් එකක් වෙලා තිබුන. එදායින් පස්සේ තහනම් නියෝගයක් දාල තියෙන්නේ. නැතුව මම අකැමැතිව නෙමයි මිත්‍රෝ වරුනි.

      Delete
    2. මේ ලිපිය ෆේස්බුක් එකේ වර්ජනයකට පත්‍ර වෙලා තියෙන්නේ. හොඳ වෙලාවට බ්ලොග් එකේ තිබ්බේ. 😄
      😁

      Delete
  5. මමත් මුල ටික ආසාවෙන් කියෙව්වා. කෑමයි දේශපාලනයයි, කාන්තා විමුක්තියයි , පවුල් කෑමයි. මේ ලියැවිල්ල මරු සලාදයක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි . අර ශෂීත් කියා තිබ්බ මුල ටික කියෙව්වා කියාල. ඒ කියන්නේ ඔයාල දෙන්නම අග ටිකට කැමැති නැහැ කියන. මොන හරියද? යොහානි ගේ කෑල්ල ද හරිනි අමරසුරියද? හරිනිට නම් මම ඇත්තට ම කැමතියි. මේ සැරෙත් ලන්ඩන් එනවා කියන නිසා යන්න ඉන්නේ බලන්න. යෝහානි ගැන කියන තියෙන්නේ එතන ටිකක් අසාධාරණ විධිහට ලිබරල් සෙට් එක ගැහැව්වේ ඌයිය වෙච්චි නිසා කියන එකයි මගේ අදහස. එතැනදී එයා ගෝඨා එක්ක හිටියඩ් අනත්ද කියන එක අදාල නැහැ. අනික වයින් වෙන්ඩ තරම් ලොකු දෙයක් එයා කීවෙත් නැහැ. ලංකාවේ තියන ප්‍රශ්නයක් ම තමයි සුදු රෙද්දේ ලේ සලකුණු හොයන එක. කරන්න හොඳයි කියන්න නරකයි කියන ඒවා ඉතින් මට ටිකක් අල්ලන්නේ නැහැ.

      Delete
  6. මම කැන්ගරු දෙසේ අපේ වසිකවයි කල්මිවයි බලන්න ගිය මාස තුනෙන් අවසාන මාස දෙකේ තුන් වේලටම උයලා කන්න දුන්නේ මම.
    මම උයලා ඉවර උනාම ඇවිත් ටෙලිවිසුමේ පරණ පහේ ක්ලින්ට් ඊස්ට්වුඩ්ගෙ, හැරිසන් ෆෝර්ඩ්ගේ, චාල්ස් බ්‍රොන්සන්ගේ, ලී මාවින්ගේ චිත්තරපටියක් දාගෙන සෝෆාවේ ඉඳ ගන්නවා; උයන කොට හීනියට ගහපු රට අරක්කු සූට්ටට තව පොඩ්ඩක් හලාගෙන ඇවිත්.
    කල්මි මට කෑම එක බෙදලා ගෙනත් දෙනවා වතුර එක්ක. එයා වසිකටත් එයාටත් බෙදලා අපි එක්කම කන්න එකතු වෙනවා.

    කාලා ඉවර උනාම කෑම පිඟන් ටිකයි හට්ටි මුට්ටි ටිකයි හෝදලා කුස්සිය පිරිසිදු කිරීම භාර වසිකට. ඒක බොහෝ විට කලේ වසිකගේ යාලුවෙක් උනු මධුර.

    සමහර කාරණා තියෙනවා අපේ සංස්කෘථියත් එක්ක බද්ධ වුනු. ඒවාට විවිධ නිර්වචන දීලා විවිධ කණ්න්නාඩි වලින් බලලා විවිධ; තම තමන්ට කැමති අර්ථ කතන දුන්නාට ඇත්තම හේතුව සහ එය දැනෙනාකාරය ඊට වඩා බෙහෙවින් අහිංසකයි, ආදරණීයයි, ලෙංගතුයි!

    විදුලියෙන් දුවනා රථ කොයිතරම් ලාභ උනත් පහසු උනත් පරිසර හිතකාමී උනත් සමහර මිනිසුන් (මම වගේ) සහ කාන්තාවන් (මගේ දුව ඇතුළු ) කැමති ඩීසල් එන්ජිමක් සහිත වාහනයකට. ඒවායේ තෙල් වතුර බැලීම ඩීසල් පොම්ප කිරීම සියල්ල පොඩි පහේ ආතල් එකක්. ඩීසල් එන්ජිමේ බර හඬ ගමනේදී විඳිමින්!
    මෙය කිසිවෙකුට අර්ථ දැක්විය හැකියි "මුං රුඩෝල්ෆ් ඩීසල්ගේ ගැත්තෝ, අධිරාජ්‍යවාධී වහල් බැම්මෙන් ජර්මනියට බැඳිලා!" කියලා. නමුත් එහෙම අට මගලයක් නෑ.
    මේ වගේ කාර්නා වලට මහා දැවැන්ත අර්ථ කථන සැපයීම ඒ තරම් සාර්ථක නැතැයි කියලයි මම නම් හිතන්නේ.
    බොහෝ බිරින්දෑවරු සිටිනවා සැමියාට; අජිතාට හෝ තට්ටයාට බත් පිඟාන බෙදලා දීලා පොඩි සීගිති ආටහල් එකක් ගන්න!

    ඒක අහ්‍රියට මේතරම් 'Drone තිබුනත් සරුංගලේට තියෙන ආකර්ශණය වගේ!

    ReplyDelete
    Replies
    1. කුල්මි කියන්නේ දුවද? තට්ටයා මහතා ඉතාමත් සොඳුරු පුද්ගලයෙක් බවට කිසිම විවාදයක් නැහැ. ඔය කියන සියල්ල සත්‍ය අබවත් මම පලි ගන්නවා. මොකද අත්දැකීමෙන්ම දන්නවා තට්ටයා තමන්ගේ අනිවසරි දවසේ මිනිත්තුවකට හරි ආපු එකෙන්. ඊට කලින් වැඩ තියාගෙන දුවගෙන ආපු වෙලාවෙත් කොතරම් ආදරණිය පුද්ගලයෙක්ද කියල. මේක පෞද්ගලිකවම ගන්න එපා. මම මගේ දුවලට ගෙදර ආවහම උයල දෙනවා. එයාල කැමතියි මම උයන චිකන් කරි එක කන්න. එයාල එක්කෝ මට තේ හදල දෙනවා. නැත්නම් ලොකු දුව පැස්ටා හදනව. ඒවා එහෙම තමා. නමුත් ඊට එහා ගිය කතාවක් තියනව. ඒක ඔයාට නැහැ කියන්න බැහැ. අර ඔය සංජිව කියල කෙනෙක් ගේ එක ලිපියක් ෂෙයාර් කරලා තිබ්බ යොහනි ගේ සින්දුවට. එයා ඊට පස්සේ තව එකක් ලියල තිබ්බ. ඒක දැක්කද? පොඩි කෙට්ටු පිරිමින් කැමති නැති නිසා පිරිමින්ට ආකර්ශනයක් නැති නිසා සින්දුවක් වත් කියා ගන්න බැරි -- ඔන් ඔය වගේ ආලවට්ටම් දාල ? එතන තියෙන්නේ misogynist කියන එක. වෙන දෙයක් නැහැ. ඔයා සහ මමත් බොහෝ අපේ බ්ලොග් ලියන්නොත් වඩා ප්‍රගතිශීලි වුනාට හැමෝම එහෙම නැහැ. ඔය මම සඳහන් කරන සමාජවාදී සොයුරා පෙසපේ කෙනෙක්. එයාල දෙන්න ඇත්තටම ආදරෙන් ඉන්නේ. එයේගේ බිරිඳ ආදරේට ඒවා කරන්නේ කියන එකෙත් විවාදයක් නැහැ. නමුත් මහන්තත්ත කමින් ඉන්න පිරිමි මම අනන්ත දැකල තියෙනවා. ඒ ගොල්ලන්ගේ ගෙවල් ඇතුලේ වෙන දේ අපි හොයන්න යන්නේ නැහැ.එසේම ඔය බෙදන කතාව ලංකාවට විතරක් තියෙන එකක් නෙමේ. ඉන්දියාව, බංගලා දේශය, පකිස්ථානය ඔය ඔක්කොම රටවල තියෙන දෙයක්. ලංකාවේ ගැහැණු ළමුන්ට , කාන්තාවන්ට බිරින්දන්ට ඔයිට වැඩිය අසාධාරණකම් වෙනවා. මම ඔය උඩින් හීරුවේ

      Delete
    2. ඒ එක්කම මම කියන ඔය අනිත් කතාවත් ඇත්ත. රුසියාවේ පෙබරවාරි විප්ලවයට වැඩි හරියක් මුල් වුනේ කාන්තාවෝ වුනත් ස්ටාලින් බලය ගත්තට පස්සේ ඒ අයව කොන් කළා. ඒ විධි ක්‍රමය තමයි අද වෙනතුරුත් එංගලන්තයේ පවා කොමියුනිස්ට් පක්ෂ අරන් යන්නේ. හොඳට බලන්න. මේක මේ ගාමන්ට් කෙල්ලන්ගේ විප්ලවය කියල මම ලියපු එකක් කාලෙකට කලින්
      https://kolambagamaya.blogspot.com/2021/03/blog-post.html

      Delete
    3. තට්ට මහත් ඩීසල් වාහන වලට ආදරේ කරන එක නම් හිතා ගන්න පුළුවන්. විශේෂයෙන් ජීප් වලට. ලන්ඩන් වල හැමෝම ඩිසල් වාහන විකුනනවා . 2024 ඉඳන් තහනම් නිසා. බිරින්දෑ ගේ ඩිසල් වොක්ස්වැගන් ගොල්ෆ් එකත් අප්‍රිකානු කෙනෙක් අරන් ගියා එහෙට යවන්න. 2035 ඉඳන් ඩිසල් මුළු UK වලම බහ භාවිතා කරන්න.

      Delete
  7. //එහෙම කියල පොඩ්ඩක් නක්කියට විරිත්තල කීව "ආ එයාල ඉතින් බෙදල දෙන්නේ නැහැනේ නේද "//

    මෙතන නං ඒ හැටි අහිංසක, ලෙංගතුකමක් පේන්නෙ නෑ. ඔය සංස්කෘතික කාඩ් එකෙන් වහල බොහෝදේ තියනවා දැක්කා, නොදැක්කා වගේ ඉන්න. මෙතන අජිත් කතාකරන ලංකාවෙ වීදී ලිංගික ශ්‍රමිකයන්ගෙ කතාවත් ඒ වගේ එකක්. මතකද මන්දා, ලිංගික අල්ලස් දුන්නෙ නෑ කියල, පොලෝසියෙ මහතැන් මහදවාලේ බිම දාගෙන නෙලුව, බට්ටිගෙ සිද්ධිය? අපේ සහෝදරවරුන්ගෙ පැටිකිරිය බැලුවාම, මයියා කියනවා වගේ හරිනිටත් පස්සෙ සොට් එක දෙන්නත් ඇහැකි. අනික "නීතිගත කරන්නෙ නෑ, ඒකෙ මූලයට පිළියම් යොදනවා" කතාවත්, "අපි ඒකට කොමිසමක් පත්කරනවා" එකේ සමාජවාදී වර්ෂන් එක වගේ කියලත් හිතෙනවා. මම නං කියන්නෙ වැරදි වුනත් මේ ගැන කතා කරන එක, "ආ මේව අපේ සගිස්කුරුත අයිටම් නෙව?" කියල දැක්කා, නොදැක්කා වගේ ඉන්න එකට වඩා හොඳයි කියලයි මට නං හිතුනෙ.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ මගේම ඥාති මිත්‍රාදීන් දිහා බලල මගේම යාළුවන් දිහා බලන කොට මට පේන දේවල් මම ලියන්නේ. මට බයික් අඳුන ගත්ත හැකි කෙලින්ම. අවුලක් නැහැ. මට කෙලින්ම බනිනවා, කුණු හැරුපෙනුත් බනින්නවා. උන් පසුගාමී කියල උන්ම දන්නවා. මට අමාරු ප්‍රගතිශීලි කියල පෙන්වන යාලුවෝ ප්‍රතිගාමී වෙනකොට, 😄.

      Delete
    2. ලන්ඩන් වල මගේ එක්ස් ජවිපෙ යාළුවෙක් වරක් (එයා දැන් නැති නිසා එහෙම කිවේ) සාදයක් සංවිධානය කළා. ඒකෙ එක අංගයක් තමයි බුලත් දීල අම්මල තාත්තා ලාට වැඳීම. ඉතින් දැන් ඔන්න බුලත් දීල හැමෝම වඳිනවා. මෙතන කතෝලික අයත් හිටිය. ඒ ගොල්ලොත් ඕක කළා. සමහරු නිකන් කලින් කියල තිබ්බේ නැති නිසාද කොහෙද ළමයි ගේ බෙල්ලෙන් අල්ලලා නවල වන්ද ගත්ත. මගේ ලොකු දුව බලන් ඉඳල මගේ ලඟට ඇවිත් ඇහුව "ඩැඩ් ඔයාට ඕනේ නම් අපිත් අර කොළ දීල වදින්නම්". මම කෙල්ල බදාගෙන ඉඹල කිව නැහැ ඕනේ නැහැ. මම ඔයාලට පුරුදු කලේ නැත්තේ ඕන කමින්මයි. ඔයාලට ඕනේ නම් ඔයාලගේ ළමයින්ට පුරුදු කරන්න කියල. දැන් ඕක සංකෘතික අංගයක් නිසා මම මොකවත් කියන්නේ නැහැ. සමහර මගේ යාලුවන්ගේ ගෙවල් වලට ගියහම ළමුන් ලවා වන්දවනව. ඒක එයාලගේ කැමැත්ත. මගේ සහෝදර සහෝදරියන් ගේ ළමයි ලංකාවෙන් එනකොට මටයි ඉනේස්ටයි වඳින නිසා මගේ දුවල දෙන්නත් අනිත් පැත්තට නැන්දලට වඳිනවා. අපි කියල නෙමේ. එයාලගේ කැමැත්ත. කැමැත්තෙන් කරන එකයි උඩඟු කමින් කර ගන්න එකයි දෙකක්.

      Delete
    3. //...ළමයි ගේ බෙල්ලෙන් අල්ලලා නවල වන්ද ගත්ත//
      හෙහ්, හෙහ් මේක නං නියම නිරීක්ෂණයක් ලොක්කා 🤣🤭

      //කැමැත්තෙන් කරන එකයි උඩඟු කමින් කර ගන්න එකයි දෙකක්//
      ආන්න ජංසන්. ඔතන මේ ලිපියෙ මුලු සාරාංශයම තියනවා.

      Delete
  8. කතාව නම් මුල ඉදලාම කියෙව්වා. අයියෝ... අර දානෙට ගිහිල්ලා නිදහසේ තමන්ට ඕන විදිහට කෑම ටිකක් බෙදාගෙන කන්න බැරිඋන එක ට නම් දුකේ බැරුවා. හරියට මේ මට උන දෙයක් වගේ දුකක් දැනුනේ. කමක් නෑ ඉතින් නෝනගේ ආදරණිය අතින් බෙදපු කෑම එකක් කන්න වාසනාව හැමෝටමත් නැහැනේ. ඒ ගැන හිතලා හිත හදා ගමු නේ...හ් ..

    ReplyDelete
    Replies
    1. //නෝනගේ ආදරණිය අතින් බෙදපු කෑම එකක් කන්න වාසනාව හැමෝටමත් නැහැනේ// හේ හේ ඕකම තමයි මම මේ ප්‍රශ්න කරන්නේ. ඒක ඇත්තටම එහෙමද? අයි සමහර ස්වාමි පුරුෂයන් බෙදල දෙනකන්ම බලන් ඉන්නේ කන්න? ආදරේට බෙදන එක වෙනම දෙයක්. දානේ ගෙදර ගිහිල්ල එය දෙන එක කාල දෙවෙනි සැරේට මට ඕන විධිහට කනවා. 😆

      Delete
  9. බෙදා දුන්නත්- බෙදා ගත්තත් කමක් නැහැ නෙව තමුන් රිස්සට
    කන්න බැරි තරමටම ගොඩගහ ගැනුම නරකයි නෙවෙද ඇත්තට
    බඩට අල්ලන තරම දන්නව වුණත්- හිත නං නොසෑහෙනකොට
    හිතෙනවා ඇති පුරෝ ගන්නට පිඟානේ ඉඩ වැහෙන තරමට!

    ReplyDelete
    Replies
    1. කතාව කියන්නේ බෙදා ගැනීමට කියා හිතුවට
      ඊට එහා ගිය කරුණක් ගැනයි හිතුවේ කීමට
      නිදිට මතකද ලියල තිබ්බ ගැහැණියක් උනා නම් ඔයාට
      කරදර බොහොමයක් වෙන්නට තිබ්බ නොවැ විඳින්නට

      Delete
    2. ගෑනු ජාතිය ජරා ජාතිය වගේ කියමන් දැන් නොකිව්වට
      තවම එහෙමයි හිතන්නේ බොහොමයක් උදවිය ඉන්න අපෙ රට
      ලියක් අබියස දණ ගසාලා මුදුව දිගු කොට රිස්ස ඇහුමට
      අපේ පිරිමින් කැමති වේවිද, තවම නං නැහැ පෙනෙන්නේ මට

      Delete
    3. ගැහැණියක් වුනා නං, අපෙ නිදි උන්දැට
      වෙන්නේ බෙල්ලේ වැල දා ගන්නට
      එකසිය විස්සක් පෝලිමෙ එන කොට
      බල්ලො බුරයි කිව්වලු කිරි අප්පට

      Delete
    4. එකසිය විස්ස වැරදියි නෙව ගණන අඩුයි
      සඳහන තිබුණු තැන නැවතත් බැලිය යුතුයි
      එහි ලියැවුණේ සැවොයි ගිය දවස ගැනයි
      ටක්කෙට ගණන් කියවෙන්නේ තව පස්සෙයි!

      Delete
    5. දරු පවුලක් බලාගත්ත ඒ පිනට
      ඒකම ඇති නිවන් යන්න පසු කලට
      උඹ අපූරු මනුස්පයෙකි මගෙ ඇසට
      ඒකයි වටින්නේ, ලොකු අයියේ මෙමට

      Delete
    6. ගණන් කිරිල්ලෙන් දැන් වැඩකට නැතිය
      ජිවිතේ වින්දානම් හොඳටම ඒ ඇතිය
      ඉන්න හැටි බලා සතුටුයි නිදියාණ
      අම්මා කොහේ හෝ සිට හිනැහෙනු ඇතිය

      Delete
    7. කාගේවත් දෙයක් අරගන්නැතුව හොරෙන්
      කාහටවත් ගිනිගෙඩි දෙන්නැතුව හොඳින්-
      ජීවත් වුණා හදවතටම එකඟ වෙමින්
      ඒ ඇති- යන්න පුළුවනි මට හිත සතුටින්!

      මේ කවි ලියන්නේ ඔහෙලගෙ කවි දැකලා
      එව්වා කියවලා සතුටෙන් උදම් වෙලා
      කවි ගෙත්තමට ඔබලත් දැන් පදම් වෙලා
      බස්සා, අජිත් කවි ලියමුකො එකතු වෙලා

      Delete
  10. හුම්. කාරණාවට මුලපුරපු හැටි අගෙයි. වැඩි දේ්‍ශපාලනික විස්තරය දිගහැරැමට නොගිය හන්ද... කීව අදහස ටිකක් විතර යට ගියාවත්ද මන්ද.

    අයිය පෙන්නාපු කාරණය පොසිටිව් පැත්තෙන් ගත්තොත් ජෙප්පො කියන හෝ වම කියන ඈයොන්, ලංකාවෙ තව ඔවුන්ගෙ බලය වැඩි වෙන්ට මේක හොඳ හේතුවක්.
    අනික අනුර කුමාර, විජිත හේරත්, නලින්ද ජයතිස්ස වෙනසකට යමින් ඉන්න බව පේනව. සහ ඒක පක්ෂයේ වර්ධනයට, තරැණ ප්‍රජාව පක්ෂය වටා එකතුවෙන පොයින්ට් එකක්... ටිලවින් සිල්ව, ලාල්කාන්ත උන්නැහෙල තවම පරණ මතේ හිටියත්.

    ReplyDelete
    Replies
    1. ඔව් මලිමවේ පැහැදිලිව කොටස් දෙකක් පේනවා. මම හිතන්නේ පරණ අයවත් තියාගෙන ගමනක් යන්න නිසා වෙන්න ඕනේ. ප්‍රශ්නේ ඉතින් අර මයිය කීව වගේ ගතානුගතිකත්වය උඩට අවොත් බඩු ෂුවර්. නමියල ගේ අතේ තියෙන්නේ නවතාවය රැක ගණන් එක.

      Delete

  11. "බෙදාගෙන කනවද බෙදා ගන්නවද" මේ දෙකම එකම දේ නෙවෙයිද. "බෙදවගෙන කනවද" කියලා නෙවෙයිද වෙන්න ඕනෙ.

    "ඒක වැඩිපුර බෙදන්නම් සුදු මස් නෙ ශට්ස් . ඔයාට ආදරේටනේ මේ ඔක්කොම" එයා කියපි. ආ, ජර්මන් වලින් ෂට්ස් කියන්නේ හනි (ඩාලින්) වගේ තේරුමක්". අජිත්ගෙ වයිෆ් අජිත්ට එහෙම කතා කරද්දි අජිත් එයාට 'තමුසෙ තමුසෙ' කියලා කතා කරන්නෙ මොකෝ.

    "ඔය දෙවියන් වහන්සේ ගැහැනුන් ගේ මොලේ වයර් කරලා තියෙන්නේ පිගන් කෝප්ප ඩිෂ් වොෂර් දාන්න නෙමෙයි. කොටින්ම එයාලට ඒක බැහැ. වැඩිපුරම වෙන්නේ ඩිෂ් වොෂර් එක කැඩෙන එක". So, this is not misogynistic?. Just asking out of curiosity.

    ReplyDelete
    Replies
    1. "බෙදාගෙන කනවද බෙදා ගන්නවද" මේ දෙකම එකම දේ නෙවෙයිද. - ලෝටස් අහල තියෙනවා "මට ඌ ගහනව. ඌ මට ගහනව" කියල යෙදුමක්. 😀
      //අජිත්ගෙ වයිෆ් අජිත්ට එහෙම කතා කරද්දි අජිත් එයාට 'තමුසෙ තමුසෙ' කියලා කතා කරන්නෙ මොකෝ.// ඒ මම මේ ලිපිය ලියපු විධිහ අනේ. තමුසේ කියලා වචනයක් ඉංග්‍රීසි භාෂාවේ වත් ජර්මන් භාෂාවේ වත් නැහැනේ. මම එයාට එක්කෝ ඉනෙස්සා, ඉනෙස් , you වගේ දෙයකින් තමා ආමන්ත්‍රණය කරන්නේ. සිංහල බැහැනේ. හිටපු ගමන් බවුමන්සකයා කියලත් කියනවා.
      So, this is not misogynistic?. Just asking out of curiosity. - yes it is. That's why I wrote it. Saem as she is not giving me to use washing mashine. I think I wrote that too. (or may be I forgot)

      Delete
    2. මම මේ කල්පනා කලේ බසු වත් නිදිවත් නෙමේ ලෝටස් ට තමා මාතෘකාව අහුවුනේ. goodeye අනික ර ඩිෂ් වොෂර් කතාව. මම 100% හොඳයි හරි වෙන්න බැහැනේ. එතකොට ඒක පම්පෝරියක්. උත්සහ කරනවා. අපෙත් අඩුපාඩු තියෙනවා. මම මේක ඉනෙස් ට කියද්දී එයා මතක් කළා අපේ අම්මල, අක්කල ගෙන ශට්ස් කියන වචනෙට සිංහල තේරුම අහල එයාල කියලා "රත්තරන් වස්තුව " කියල. ඕක තමා කීවේ මුලදී . බොහොම අමාරුවෙන් නවත්ත ගත්තේ. අඩුම ගානේ අනිත් මිනිස්සු ඉස්සරහ වත් නොකිය ඉඳහන් කියල. ඔයට කියන්න හොඳ කතාවක් තියනව මෙහෙ සහ ජර්මනියේ ඉන්නව සුදු මිනිස්සු බැඳපු ලංකාවේ ගැහැණු . ඔක්කොම ලංකාවේ පිරිමින්ට බනිනවා. අපි දෙන්න හම්බ වුණාම එයාලට පට්ට අවුල්. හුඟක් වෙලාවට නැවත සෙට් වෙන්නෙම නැති තරං. ඉනෙස් මේ ලඟදි වැඩ කරන්න ගිය තැන ශ්‍රී ලන්කන් ලේඩි ගත් කටටම අහල තියනව පිස්සුද ලංකාවේ එකෙක් බැන්දේ කියල. හැම දේම පය පාමුලට ගෙනත් දෙන්න ඕනේ කියල. ඉනෙස් කියල තියනව මගේ හස්බන්ඩ් ගේ එහෙම අවුලක් නැහැ කියල මම කැමතියි එයා කියනවනම්. එයා අඩුම ගානේ මට තේ හදන්න වත් දෙන්නේ නැහැ කොෆි විතරයි කියල හදන්න දෙන්නේ . (ඒ තේ බොන්න බැහැ කිරියි වතුරයි ඔක්කොම එකට දානවා මුලින්ම) . මම කිව්වා ඉනෙස් ට අහන්න කියල ඉතින් සුද්දෝ ලංකාවේ හෝ ආසියානු ගැහැණු බඳින්නෙත් ඒ සැලකිලි බලාපොරොත්තුවෙන් නෙමේද කියල අහන්න කියල. ඇහුවද දන්නේ නැහැ.

      Delete
    3. හෙහ් හෙහ් මමත් බෙදාගෙන කාල පිගාන හෝදලා'තියන්න කැමති කෙනෙක් .. ඉඳල හිටලා කම්මැලි කමට කිව්වොත් මිසක් බෙදල දෙනවට කැමති නැහැ ..

      Delete
    4. මේක මම ටිකක් විහිලුවටත් වගේ ලියපු එකක්. හැබැයි සෑහෙන්න සිරා ගිහින් තියනව. තට්ටයගේ කොලම ලිපිය බලන්නෝ ගිහින්. 😀

      Delete
  12. මහ ගෙදර අස්පස් කරන්න අම්මට උදව් වෙන්න ගියා අජිත්. ඒකෙ මගෙ පරණ පොත් මේසෙ කබඩ් එකක් ඇතුලෙ තිබිල මීට අවුරැදු 15ට කලින් පැක් කරපු ඊටත් කලින් ගත්තු පොත් පත්, ඒ විදියටම තිබුණ කියන්නකො. කාවොයි , කූඹි ටිකකුයි විතරක් පදිංචි වෙලා හිටිය. මගෙ පරණ පත්තර ගුවන්විදුලි ලියුම් මිටි ගාණක්, මුල්ම රාවය පත්තර, විශ්ව විද්‍යාලයෙ සටහන් ටිකක් තිබුණ. ඒ අස්සෙ තිබ්බ මගෙ පරණ සෝවියට් දේශය සඟරා එකතුවත් හම්බ වුනා. සෝවියට් දේශය ඉස්සර අපේ සිහින දේශයයි. ඒ සිහින දේශයට යන්නට සිහින මැව්ව මැවිල්ල කියනවනං රැසියානු භාෂාවත් ඉගෙන ගෙන තමයි නැවතුනේ. ඒ විතරක් නං මදෑ. මොස්කව් ගුවන් විදුලිය අහල ඒකට ලියුම් යවපු කාලයකුත් තිබුණ. ඒ මදිවට ලෙනින්ගෙ තෝරාගත් කෘති වෙළුම් ඔක්කොමත් අර ගත්තා. ලෝකය පුරා සමාජවාදී රාජ්‍ය බිහි කරන්න අවශ්‍ය මතවාදය ප්‍රචාරය කරන්න, එක්සත් ජනපදය ලිබරල්වාදය බලහත්කාරයෙන් පතුරවන තරමටම තරම් නැතිවුණත් ටිකක් දුරට මේ සෝවියට් දේශයත් සාහිත්‍ය කලාව, ජනමාධ්‍යය තරමක් දුරට භාවිතා කලා. අසූ ගණන්වල අගභාගයේ අපි පාසල් යාමට පෙර වගේ මෙහෙම දුන්න පොත් අනූ ගණන්වල අපට පාසල යන වයසේදී ලැබූණේ සෝවියට් මුද්‍රිත ප්‍රකාශන ඉතා අඩු මිළට ලබා දුන්න නිසයි. ඉස්කෝලෙ යන ළමයි විදියට කන්න දෙන්න සල්ලි එකතු කරල මේ මුද්‍රිත සාහිත්‍ය කෘති, වාර සඟරා මිළදී ගන්නට හැකි තරම් මුදලකට තමා මේවා විකුණුවෙ. ඒ රටට යන්නට තරං හීනයක් මැවෙන්න එක හේතුවක් මේ සාහිත්‍ය නිර්මාණ වල රසය. ඒ ප්‍රචාරණයත්, දේශපාලන ව්‍යාප්තවාදයත් සහ තවත් කාරණා රාශියක් නිසා සෝවිට් හිතවාදී කඳවුරක් නිර්මාණය කර ගන්න ඔවුන්ට පුලුවන් වුනා. නමුත් පෙරෙස්ත්‍රොයිකා සහ ග්ලාස්නෝට් නිසා සෝවියට් දේශය බිඳ වැටුනෙ සමාජවාදී කඳවුරේ සහ මගේ නොමිළේ රැසියානු උසස් අධ්‍යාපන සිහිනයද විනාශ කරමින්. අද පොත් කබඩ් එක ඇරපු එකෙන් මතු වුන නොස්ටැල්ජියාව තමයි ඔය. රැසියානු සාහිත්‍ය කොච්චර ප්‍රබලව මට බලපාලා තියෙනවද කියනවනං, තාම මම හීන දැක දැක ඉන්නෙ එහෙ යන්න. ☺️

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඇනෝ. ඔය වගේ නොස්ටැල්ගික සිහින අපි හැමෝටම තියනව. අපි කට්ටිය ඉගෙන ගන්න පින්තුරයක් ඒ කලේ සෝවියට් දේශය සඟරාවක පල වුනා. මේ ලිපියේ ඒ පින්තුර තියනවා. -සෝවියට් ජිවිතයෙන් බිඳක් 1https://kolambagamaya.blogspot.com/2017/07/1.html

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .