Sunday, 29 October 2017

සන්ධ්‍යාවේ මිහිරිය - ලන්ඩනියම් හි ගී මන්දාව - 1

දර්ශන රුවන් දිසානායක ගී මන්දාවේ 
ලන්ඩනියම් යනු ලන්ඩනයට රෝමානු සමයේ භාවිතා කළ නමයි. ඒ ක්‍රිස්තු වර්ෂ 43 සිට රෝමානු පාලනය අවසන් වූ පස්වන සියවස දක්වාය. ඉන්පසු ලන්ඩනය නමින් නම වෙනස් වී ගියේය. මට මෙය මතකයට නැගුණේ වර්තමාන ලන්ඩනියම් වලට පැමිණි අපූර්ව අමුත්තන් දෙදෙනෙකු නිසාය. ඉනුත් පළමුවැන්නා  රාවණා කාලයටම අප රැගෙන ගිය නිසාය. අනෝමා වත්තලදෙණිය ඇගේ මනරම් සේම ව්‍යක්ත බසින් අපට ඔහු හඳුන්වාදුන්නේ එස් එල් මෝසාර්ට් ලෙසය (එස් එල් - ශ්‍රී ලංකා). පසුව දැනගත් පරිදි ඔහුගේ අන්වර්ථ නාමය දර්ශන රුවන් දිසානායකය. නව නම  භෞතිස්ම කර ඇත්තේ මහාචාර්ය කාලෝ ෆොන්සේකා යයි අනෝමා පැවසුවාය.
වාද්‍ය ඛණ්ඩය 

ඉදින් සංගීතඥ දර්ශනයන්  විසින් පයිතොගෝරසයන් ගණිතය මෙන්ම සංගීතයද හැදෑරු බව අපට කියා දුන්නේය. (පයිතගරස් විසුවේ බුදුන් සමයේ හෝ ක්‍රි පූර්ව  හයවෙනි සියවසේය ). ගණිතය උගත් අප දන්නේ පයිතගරස් ප්‍රමේය ගැන පමණය. නමුත් පයිතගරස් සංගීතයෙ හිද  කෙළ පැමිණියෙකි. පස්වන ස්වරය මෙන්ම (මේ ලියන්නේ සංගීතවේදියෙකු නොවන මට තේරෙන විධිහට පමණක් බව කරුණාවෙන් සලකන්න.) පයිතගරස්  සුසරණය හා සප්තකය (පින්තූරය බලන්න -pythagorean tuning and scale) පිළිබඳ හැඳින්වීමක් කළ ඔහු යුරෝපීය පුනරුදය දක්වා අප ගෙන ආවේය. ඔහු චෝදනාවක්ද   කලේ රටවල් තුනකට භාග වශයෙන් හා පූර්ණව යටත්ව සිටියද එම රටවල සංගීත පුනරුදය එනම් සම්භාව්‍ය සංගීතයේ දියුණුව  උකහා ගන්නට ලාංකිකයන් පොදුවේ අසමත් වූ බවයි.
පයිතගෝරියන් සප්තකය ගැන වඩා දැනගන්න මෙතැනින් හැකිය.

එය එසේ වුවද රාවණා කාලයේ සිට (ක්‍රිස්‌තු පූර්ව වසර 5000 - 6000 ක) ඈත අතීතයකට හිමිකම් කිව හැකි සංගීත සාහිත්‍යයක් ලංකාවට උරුම බවද එය  ජන සංගීතයේ විකාශනය අනුව ඔප්පු කල හැකි බවද  සංගීත ඛණ්ඩයන් මගින් දර්ශන රුවන් පහදා දුන්නේය.  මහා රජු රාවණා ගැන  කතාවල් බොහෝවිට උපහාසයට ලක්වන්නේ එයට ඈඳී ඇත්තේ  සැබෑ යයි කීමට සාධක නැති මනඃකල්පිත කථා සාගරයක් බැවිනි. එහෙත් මහාවංශ කාරයා කියන සිංහයෙකු සමග රමණය කිරමෙන් බිහිවූ ජාතියකට වඩා කපු කටින (රෙදි හැඳි)  ශිෂ්ටාචාරයකට උරුම කම් කිවූ කුවේණි වැනි මිනිසුන් සහ ගැහැණුන් ගෙන් ලාංකිකයන්  පැවත ඒ යයි විශ්වාස කිරීමට මම මැලි නොවෙමි. ඒ ශිෂ්ටාචාරයේ සිට පැවත එන ජන සංගීතයක් තිබේ නම් එය පිළි ගැනීමටද මැලි නොවෙමි. දර්ශනගේ කුවේණි ගීතයට සවන් දෙන්න.


 හය දහස් වසරක් පමණ පැරණි සුමේරියන් මෙසොපොටේමියන්  ශිෂ්ටාචාරයේ සිටත් එලෙසම ජන ගී පැවත  එන බව කී දර්ශන යුරෝපිය ගීතයෙන් පසු අප නූතන සංගීතයේ පරිණාමික නිමේශයට ක්‍රමයෙන් අපත් රැගෙන පැමිණියේ සමහර වැදගත් තැන්  අමතක කර ලමිනි. එහි වැරැද්ද ඔහුගේ නොව ප්‍රසංගය පමාවී පටන් ගැන්මයි. කොපමණ දීර්ඝ ශිෂ්ටාචාරයක් තිබුනද  ඇතැම් ප්‍රේක්ෂකයන්ගේ පමාවී පැමිණීම සේම  ශබ්ද සපයන කණ්ඩායමේ පමාව ද මෙයට හේතු වී ඇත. පමාවී යමක් කිරීමේ ශිෂ්ටාචාරයක් ඒ කාලයේ සිටම පැමිණි ජාතික ලක්ෂණයක් ද කියා විමසීමත් වටී.

 රුක්මනි දේවියගේ සිට සුනිල් ශාන්තට කළ ජාතික  මට්ටමේ කෙනෙහිලි දක්වා පැමිණි ඔහු අමරදේවයන් ගේ බලපෑම සහ ඉන්පසු හැත්තෑවේ දශකයේ සංගීතයේ පිබිදීමත්  එයට එදවස සෝවියට් සංගීත සාහිත්‍යයේ බලපෑමත්  පහදා දුනි.  සංගීතඥ දර්ශනයන් විවෘත ආර්ථිකයෙන් පසු බටහිර සහ පෙරදිග නාද  රටා  සංකලනයෙන් මතුවූ අපුර්ව සංගීතයක් ක්ලැරන්ස් විජේවර්ධන ආදීන්ගේ ගීත තුලින් ඉස්මතු වූ බව පෙන්විය. ඇත්ත වශයෙන්ම කාලය මද වීම නොවන්නට තවත් පැයක් හමාරක්  අසා  සිටින්නට තරම් ඔහුගේ විස්තරය මන බඳින, දැනුම වඩන පුළුල් පරාසයකින් සමන්විත වුවක් විය.  ඒ අතර වාදනය කරන සංගීත ඛණ්ඩයන්ගෙන් සභාවේ මන පිනවීමට ඔහු සමත් විය.

සංගීතඥ දර්ශන දිසානායකයන් විසින් නිමැවූ  ගී අතර තමිලිනී වෙනුවෙන් දෙමළ  සහ සිංහල බසින් ගැයූ ගීතය සහ ඔහු විසින් සම්පාදිත සංගීතය ප්‍රබලය.
 
 ඔහුගේ දහසකුත් එකක් ගීත සහ වාදන  අතරේ කුඩා දරුවෙකු වෙනුවෙන් ගැයූ මේ ගීතය සුවිශේෂී එකකි. මේ දරුවා ජිවත්ව ඇත්තේ පොළොන්නරුව රොටාවැව ප්‍රදේශයේය. ඔහුගේ මව පියා  අතහැර දමා තම සිඟිති පුතුද රැගෙන අනියම් සැමියා කරා ගියාය.  සිඟිත්තාගේ පියා ඔහු සෙවූ නමුත් හමු වුයේ නැත. අනියම් සැමියා හෙවත් බාප්පා දරුවා රිස්සුවේ නැත. ඔහු සහ මව සිඟිති දරුවාට දිනපතාම පහර දුන්හ. ගැමියන් විටින් විට මේ ගැන දොස් පවරා  තිබුණි.  එහෙත් කවුරුත් දරුවා බේරා ගත්තේ නැත.

එක් දෛවෝපගත දිනෙක දරුවාට පහර දුන් මව ඔහුගේ හිස දෙතුන් වතාවක් ගසක වැද්දූ  නිසා දරුවා සිහිසුන් විය. ගැමියන් දරුවා රෝහලට රැගෙන  ගිය මුත් ඔහු අවසන් සුසුම් හෙලීය. දරුවාගේ පියාට සිඟිත්තා  මුණ ගැසුනුයේ මෘත ශරීරාගාරය තුලදීය.  ඔහුගේ දෙඇස් අග කඳුලක් මිදී තිබුණි. මේ සංවේදී සිද්ධිය ඉතා හැඟීම්බරව  දර්ශනයන් විසින් විස්තර කරද්දී ප්‍රේක්ෂක නෙත් වල කඳුළු පිරෙන්නට ඇත. මේ ගීතය මහා කවි රත්න ශ්‍රී විජේසිංහයන් අතින් ලියවෙන්නේ දර්ශනයන් ගේ සංගීතයෙන් අමරණීය වී ගැයෙන්නේ  ඒ අහිංසක දරුවා වෙනුවෙනි.  අහන්න ගීතයක් ඔබේ හදවතට ආමන්ත්‍රණය කරන අයුරු. (ගායනය දුමාල් වර්ණකුලසූරිය)

මේ ශ්‍රී ලංකාවේ වත්මන් සමාජ තත්වයන් තුල එක දරුවෙකුගේ ඛේදවාචකයකි. යථාර්තය ඔබට සමීප කරන්නට කලාකරුවකුගේ සාතිශය වැදගත් කාර්යභාරය වැටහෙන්නට මෙයම ඇති.

මේ සමග ලිවිය යුතු වන්නේ මෙම ප්‍රසංගය සංවිධානය කිරීමේ එක අරමුණක් නම් රූරි නමැති පදනමට ආධාර පිණිසය යන්න.   එංගලන්තයේ මිල්ටන් කීන්ස් නගරයේ සහ බම්බලපිටියේ මුලස්ථානයන් පිහිටුවා ඇති මේ පදනමේ  සුවිශේෂී කාර්යයක් වන්නේ අතවර වලට පත් ළමුන්ට හා වැඩිහිටියන්ට සායන පවත්වා ඔවුන් පුනරුත්ථාපනය කිරීමයි.  සභාවට ආයාචනයක් කළ එහි සම ප්‍රාරම්භක සුමුදු එදිරිසිංහ මහත්මිය අතවර නිසා ඉපදුනු ළමුන් සමුහයක් බැලීමට සිය දෙමාපියන් සමග ගිය අවස්ථාවන් සිහිපත් කරමින් පැවසුයේ අති විශාල සංඛ්‍යාවක් ළමුන් ශ්‍රී ලංකාවේ අතවර,  වධ හිංසාවන්ට පාත්‍ර  වන බවයි . වසර 2014 දී මෙය සංඛ්‍යාත්මකව 10315 කි. 

සන්ථව නම්වූ තරුණ කැලකගේ සංවිධානයෙන් පැවැත්වූ ප්‍රසංගය වනාහි  බොහෝ කලකට පසු ලන්ඩනයේ දුටු සුවිශේෂිම වූ  සංගීත සන්ධ්‍යාවක්  බව සිතමි. එය එසේ වූයේ ප්‍රතිහස්ත සංගීතඥ දර්ශන රුවන් දිසානායකයන් නිසා පමණක්ම නොවේ. එදින ඒ සුයාමයට සිය ප්‍රතිභාවෙන් එක්වූ මා අග්‍ර ගණයක ලා සළකන ප්‍රවීණ ගීත රචක, කර්තෘ රත්න ශ්‍රී විජේසිංහයන්  ද නිසාවෙනි. ඔහුගේ සහභාගිත්වය ඊළඟ ලිපියකින් දක්වමි.
ගී මන්දාව කණ්ඩායම 

THE PYTHAGOREAN SCALE

රූරි පදනම 

~ මතු සම්බන්ධයි.

13 comments:

  1. නියමයි අජිත්.. ස්තුතියි මේ ලිපියට

    ReplyDelete
  2. සිංදු ටිකනම් නියමයි.

    //ඉන්පසු හැත්තෑවේ දශකයේ සංගීතයේ පිබිදීමත් එයට එදවස සෝවියට් සංගීත සාහිත්‍යයේ බලපෑමත් පහදා දුනි.//

    මේ ගැන වැඩි විස්තරයක් ලියන්න අපහසුද?

    ReplyDelete
    Replies
    1. අද තිබුන හමුවීමකදී ඔබ නිසාම මම මේ ප්‍රශ්නය ඇහුව. මේ ගැන පොඩි විස්තරයක් ඉදිරි ලිපියක පල කරන්නම්.

      Delete
  3. හොඳ පසු විපරමක් අජිත්.
    මමත් ඔබත් සමඟ එකඟයි, ප්‍රසංඟය ගැන. කලකට පසු හොඳයි කිවහැකි සංඟීත සැඳෑවක්.
    දෙවන, එනම් රත්නශ්‍රී ගේ සහභාගීත්වය ගැන ලියවෙන කොටස කියවීමට ආසාවෙන් ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. දැනට ලියාගෙන යනවා. ස්තුතියි සුදත්.

      Delete
  4. ගී මිහිර වින්දෙමි ඔබේ සංස්කරණ හපන්කම විශිෂ්ටයි

    ReplyDelete
    Replies
    1. ඔබට ස්තුතියි. අර ඔබේ අලුත්ම ලිපියේ //ශලුත් ශකන් තුන්සිය වරුසෙට හිමි දුරුතු මසේ පුර සඳ // වැනි කවි ගැන තමා දර්ශන රුවන් දිසානායකයන් කියන්නේ. ජන සංගීතය හෝ ජන ශ්රුතියේ අභාෂය. එවැනි කවි, කතා තිබු රටක ගීත සාහිත්‍යක් නොතිබුනා වෙන්න බැහැ. දර්ශන රුවන් දිසානායකයන් එවැනි දේ හඹා යන්නෙත් ඒකයි. ඔබගේ ලිපි වගේ ඒව මම කියවන්නෙත් ඔය කරුණු ගැන මගේ උනන්දුවක් තිබෙන නිසා.

      Delete
  5. අගනා සින්දු ටිකක්. ප්‍රසංගය කරන්නෙ ලන්ඩන් වල විතරද?

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. අනවසරයෙන් උපුටා පල කිරීම සපුරා තහනම්ය.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .