Thursday, 12 October 2017

සරදගේ සෙල්ෆිය

සරද සමරසිංහ ගේ කෙටි කතා සංග්‍රහය 
සරද සමරසිංහ මුලින්ම හඳුනා ගන්නේ බූන්දියේ ලිපි වලිනි. ඒ සරද පෞද්ගලිකව කවුරුන්ද මොන වගේද යයි කියා නොදැනය. ඉන්පසු අගෝරා උළෙල සම්බන්ධ  සාකච්ඡාවකදී සරද යලි මුණ ගැහුනි.  සරද ගේ ලිපියක් කියවන සැම විටම මගේ තිබුනේ විවේචනයකි. සරද එම විවේචනය මා අරභයා ද එලෙසම කළේය. මේ ලිපියේ සඳහන්  වන දේශපාලකයා වැනි දේශපාලකයන් සමග සරද ගේ ද සම්බන්ධකම් ඔහු කලින් කළ  වෘත්තීය අනුව තිබු බව දැන  ගැනීමෙන් පසු සරද ගේ විවේචනය එන්නේ කෙසේද යන්න ගැන මට අවබෝධයක් ඇති විය. හොඳ වෙලාවට සරද දෙබිඩ්ඩෙක්  නොවේ.

විවේචන කෙසේ වුවද  මුණ ගැසී කතා කරන හැම අවස්ථාවකම  සරද ඉතා සොඳුරු හිතවත් යහළුවෙකු බව නම් හැඟිනි. එසේම ඔහු තමන් දරනා අදහස් වෙනුවෙන් අවංකවම පෙනී සිටින්නෙකි. මේ මිත්‍රත්වය එසේම පැවතීමට අප දෙදෙනාම සහජයෙන්ම ආයතන විරෝධී වීම (anti-establishment) ද  හේතුවක් වන්නට ඇත.

සරද ගේ කෙටි කතා පොත මා අතට පත් වුනේ නොබෝදාය.  ලන්ඩන් හි සහෘද බ්ලොග්කරුවෙකු වන චන්දන ගුණසේකර පොත ගැන කල ෆේස්බුක් හැඳින්වීම  පොත හැඳිනීමට සෑහේ.  එනිසා පොතේ කෙටිකථා හඳුන්වා දීමට වඩා ඒ ගැන මගේ අදහස් ගැන ලියමි. පොතේ පිදුමේ ඇති   "සපත්තු දෙකේ කතාව " හෙවත් පිදුම මා වෙනත් මූලයක් හරහා කලින් දැනසිටි සත්‍යමය සංවේදනීය  සිදුවීමකි.

මගේ පළමු ප්‍රශ්නය නම් සිද්දිය සිදුවන්නේ මාතලේ බව හෝ යක්ෂයාගේ හෝරාවේදී බලෙන් අතුරුදන් කල ඒ පාසැල් මිතුරාගේ නම හෝ සඳහන් කිරීමට සරද අසමත් වූයේ  මන්ද යන්නය. තවමත් විවිධ පාර්ශව  නිසා අතුරුදන් වූ එවැනි මිනිසුන් හා ගැහැනුන් ගේ නම් බොහොමයක් කාලයේ වැලිතලාවෙන් වැසී ගොස් තිබේ.

ඉතින් ඒ හා සම්බන්ධව එන අනිත් සම්බන්ධය නම් සරද වනාහි කිසියම් අන්දමක වාමාංශික  ප්‍රගතිශීලි සමාජවාදී මතවාදයන්  දරන්නෙකු බවට මට ඇති අවබෝධයයි. ඒ අවබෝධය අනුව බලන විට "කැත  ගැහැනියගේ හීනය " හෙවත් සෙල්ෆිය මැයෙන් පුරුෂෝත්තමවාදී ලෙස ගැහැණිය දෙස බලන කෙටි කතාවක් සරද ලියන්නේ  කෙසේද යන ප්‍රශ්නය මට පැන නැගුණි.(මේ කියන්නේ මුළු පොතේම ඇති කෙටි කතා ගැන නොව එහි එන එක කෙටි කතාවක් ගැන පමණි)

මගේ ප්‍රියතම ලේඛකයෙකු විසින් ("මගේ ආදරණිය යක්ෂණී" පොතේ කතෘ)  ලියා ඇති පෙරවදන ප්‍රබල එකකි. ඒ පෙරවදනේ මේ "කැත ගැහැනියගේ කතාව" පවතින සමාජයේ පැතිකඩක් පෙන්වන්නේ යයි හඳුන්වනු ලබයි. ඔව් ඒ විය හැකිය. ඒ මෙසේය.

වරක් සෝවියට් දේශයේදී රුසියානු තරුණියක් සමග සබඳතාවක් ඇති මිතුරෙකු මගෙන් මෙසේ විමසීය
"මොකද මචන් මේ රුසියාවේ කැත කෙල්ලෝ නැත්තේ.වයසට ගියහම නම් ඔක්කොම මහත් වෙනවා. හැබැයි බැලුවහම  හැම කෙල්ලම ලස්සනයි වගේනේ "
"හැමෝම තමන් අඳින ඇඳුම හොඳට අඳිනවා නේද? ගෙදරට වුනත් වැරහිලි එල්ල ගෙන ඉන්නේ නැහැ. තියෙන විධිහට මුහුණේ පාට ටිකක් ගාල ලස්සනට ඉන්න හදන නිසා අපට එහෙම පෙනෙනවා ඇති. අනික උන්ගේ තියෙන ලිංගික නිදහස නිසා පිරිමි ගැහැණිය ගේ කැත ගැන වැඩිය හොයන්නෙත් නැහැ නේද? නිදි යහනේදී දක්ෂ නම් " මම පිළිතුරු දුනිමි.

ඇත්තටම කැත ගැහැනුන් සහ පිරිමින් සිටීද? බ්‍රිතාන්‍යයේ හෝ වෙනත් යුරෝපිය රටවල් කෙනෙකුට "මහත" (fat)  යයි කීම අපහාසයක් ලෙස සැළකේ. මහත ගැහැනුන්ට කැමති පිරිමින් සිටිති.  ඔවුන්ට මහත ගැහැනුන්  "කැත" ගැහැණුන් නෙමේ. "කළු" ගැහැණුන් හෝ පිරිමින් කැතද? බටහිර රටවල "කළු" ජාතිකයන්ට විරුද්ධ අන්ත ජාතිවාදී (racist) ව්‍යාපාර තිබේ. නමුත් විමතියක් දනවන අයුරින් ඇතැම් අවස්ථාවල මේ අන්තවාදී සංවිධානවල ක්‍රියාකාරීන් ගේ පෙම්වතියන්, බිරිඳන් කළු ගැහැණුන්ය. එසේම කළු පිරිමින් සමග සබඳතා පවත්වන අය බොහෝය. "කළු" යනු කැත යයි සිතන්නේ ලංකාව, ඉන්දියාව වැනි රටවලය. කළු හම  ඉතා නීරෝගී වන අතර වයසට යාමේදී කළු ජාතිකයන්ගේ වයස නොපෙනේනේද එබැවිනි. සුදුහම වයස්ගත වීමේදී හැකිළුණු වියපත් ලකුණු වඩා ඉක්මනින් පෙන්වයි.

නිව්යෝර්ක් හි , ප්‍රංශයේ පැරිසියේ හෝ  ලන්ඩනයේ රඟදෙන විලාසිතා සංදර්ශන වලට ගොස් හෝ ඒවා දැක තිබේද? ඒවායේ ප්‍රධාන පෙලේ මෝස්‌තර කරුවන් ගේ ඇඳුම් ආයිත්තන්  ප්‍රදර්ශනය කරන කෙට්ටු උස තරුණියන් ගැන සිතන්න. ඒ සමහරු මාස ගණනකට  හරියට නොකා නොබී හාමතේ සිටි අය මෙන් නොවේද? මේ සමහරුන්ගේ ඇට සැකිළි වැනි ශරීර  දුටු විට මරණානුස්මෘති භාවනාව මතක් වෙන්නේ නැත්ද?    නමුත් ඔවුන් "ලස්සන" තරුණියන් ලෙස හැඳින්වෙන අතර ඒ හැඩය විකුණා මිලියන ගණන් මුදල්  උපයති.

ඉදින් යමෙකු කැත ගැහැණියක් , ලස්සන ගැහැණියක්  හෝ කැත පිරිමියෙක් කියා අප හඳුනාගන්නේ කෙසේද? එය ඔවුන් දෙස බලන්නාට හෝ ඔවුන් ගැන සිතන්නාට  සාපේක්ෂව පහළවන හැඟීමක් මිස යථාර්තයක් වන්නේද?

මෙහිදී මට "පංච පාපා" ගේ ජාතක කතාව මතක් වෙයි. බ්‍රාහ්මණයින් හෝ හාමුදුවරුන් ලියන ලද ජාතක කතාවල "නරක " ගැහැණුන් හෝ "පාපයේ බැඳෙන " ගැහැණුන් වැහි වහලාය.  ඔවුන් ගැන හිතීමත් "පාපයකි" "පංච පාපා" යනු  පෙර භවයක පසේ බුදුවරයෙකුට බැණ වැදීම  නිසා ඉතා විරූපිව උපදින්නියකි. අත්, මුහුණ ඇදවී පස් ආකාරයකට විකෘත වූ බැවින් පංච පාප කියා නම් තැබුණි. නමුත් තමන්ගේ හදමින් සිටි නිවස සඳහා ගන්නා මැටි ටිකක් පසු එම පසේ  බුදුන්ටම දුන්  පිනෙන්  ඇගේ ස්පර්ශය දිව්‍යමය වෙයි.

 රට වටේ යන බරණැස් රජුට මේ තරුණිය කෙසේ හෝ  මුණ ගැසෙයි. ඇගේ   ස්පර්ශයෙන් වශී වන රජු හැම රැයකම පැමිණ සංවාසයේ යෙදෙයි. නමුත් ඇය අතිශයින්ම විරූපී නිසා සියල්ල සිදු වන්නේ අඳුරේය. ("කැත ගැහැනියගේ තානායමේ හොර රහසේ මෙන්)  මේ තරුණියගේ පියා පසුව බරපතල ලෙස අසනීප වෙයි. ඔහුට බත්  සමග විළඳ හා තවත් දේ අනුභව කරන ලෙස වෙදුන් නියම කරයි. දුගී  දෙමාපියෝ ඇයට  (දුගියෙකු ලෙස වෙස්වලාගත්) සැමියාගෙන් ඒවා ඉල්ලන්නට යයි කියති. මුලදී අකමැති වුනත් ඇය රාත්‍රියේ එන රජු ගෙන් උපකාර ඉල්ලන්නේ රජු කියා නොදැනය. රජු සහල සහ විළඳ සමග බෙහෙත් ගෙනෙයි.

ඇගේ පහසින් මත්වන රජුට සිතෙන්නේ  ඇය සරණ පාවා ගන්නටය. ගෙනෙන සහල් සමග තම රන් වළල්ලක් සඟවා  පසුව රාජ පුරුෂයින් ලවා ඇය සෙරක ලෙස අත් අඩංගුවට ගන්නට කියයි. තරුණිය කියන්නේ රාත්‍රියට ඇය සමග රමණය කිරීමට එන දුගියා මේ හොරකම කරන්නට ඇත කියායි. රාත්‍රිය නිසා හඳුනාගත නොහැකි බවත් අත ස්පර්ශ කරන්නට දෙන්නේ නම් හඳුනා ගත හැකි බවත් ඇය පවසයි.

රජු ඇය හැම පැත්තෙන්ම වැසුනු   කූඩාරමක දමා වසා සිදුරක් තුලින් අත දමන්නට නුවර පිරිමින්ට නියෝග කරයි. ඇගේ ස්පර්ශයෙන් රාගෝන්මාදයට පත්වන වැසියන් එතැනින් ඉවත් කරන්නට වෙන්නේ බලහත්කාරයෙන් සොල්දාදුවන් ලවාය. අවසානයේ රජුද "අත " දමයි. ඇය රජු හඳුනා ගනියි. රජු ඉන්පසු සියල්ල වමාරන්නේ ඇය වැනි අතිශයින් විරූපී  ගැහැනියක් මාලිගයට  ගෙන ඒම  ප්‍රශ්න ඇති කරවන්නක් නිසා  ඇගේ  "දිව්‍යමය" ස්පර්ශය වැසියන්ට ලබන්නට ඉඩ දීමෙන් ඇය විවාහ කර ගැන්ම සාධාරණිකරණය කරන්නට තමන් තැත් කළ බවයි. රජු ඇය සරණ පාවා ගනී. කතාව  තව දිගට යන අතර පසු කලෙක මේ "විරූපී "   කාන්තාව වෙනත් රජ කෙනකු සමග පැමිණ තම රජු මරා  දමා රාජධානිය අත් කර ගනී.  අතීත ජාතක කතා ලියන්නා  "කැත ගැහැණිය දෙස බලන්නේ එලෙසය ".

මේ කතාවේ නිලූ යනු  රූමත් කතයි. රූමත් කත  "සරදලාට" අනුව දාන්ගලේ ඇත්තියකි. සරදත් දන්නා පරිදි එංගලන්තේ නම් කාර්යාලයේ කාන්තාවකට ලිංගික විහිළු කළ නොහැකිය. ඒ රැකියාව නැති කර ගන්නට පොටකි. ලංකාවේ  කොහොමද යයි මා දන්නේ නැත. අර හාර්වේ වෙන්ෂ්ටයින් චිත්‍රපටි කාරයා කලාක්  මෙන් රැකියාව බේරාගෙන "ඉහළට යාමට නම් " බොහෝ තැන් වලදී අතවර විඳින්නට "ලස්සන" යි   කියන  ළඳුන්ට සිදුවේ.   සරදගේ අනියම් "කැත   ගැහැණියගේ " කන්තෝරුවේ වන්නේත් එවැනිම දෙයකි. සරද ද දක්වන්නේ නිලූ වැනි "දාන්ගලෙන්" සිටින ගැහැණුන් අරභයා බමුණු මතයකි. "කැත ගැහැණියකට"   අනුකම්පාව දක්වන්නට ගොස් සරද  තම සමාජවාදී වාමාංශික සළුපිලි උනා දමා නිරුවත් වෙයි. "කැත ගැහැණිය " මෙන්ම ලස්සන "ගැහැනියද " සමාජයේ අසාධාරණ  ආකල්පයන්හි වින්දිතයන් බව සරදට අමතකව ඇත.

"නිලූ තමන් ගේ ලස්සන සහ තවත් දෑ තීරණාත්මක ලෙස උරගා  බලන්න තෝරා  ගත් ලසන්ත නම් වූ බිස්නස් කාර තරුණයා ....."   
"නිලූ බැල්මකින් දෙකකින් එහ්මත් නැත්නම් තොදොලයකින් අනතුරුව හරි පහසුවෙන් කර ගන්න කන්තෝරුවේ පුංචි පුංචි වැඩ ප්‍රීති ට මහමෙරක් වගේ වෙන්නේ ..." (පි.22)
"ඒත් මොකක්දෝ ෆයිල් වැඩකට නිලූ චන්දිමගේ වීදුරු කාමරයේ ඉන්න කොට මොකක්දෝ එකකට චන්දිමයි නිලුයි දෙන්නම මහා හයියෙන් හිනා උනාම ..."

සරද නිලූ කියන ලස්සන ගැහැණිය වරදකාරිය කරගෙන යන එක ඉවර වෙන්නේ මෙතන.
"පින්තූරේ නිලු හිටියේ චන්දිමගේ උකුල උඩ, අනුරාගයෙන් එකිනෙක ඇලී පැටලී ...නිලු ගේ මුහුණ සුපුරුදු සැහැල්ලුවෙන් තෙමි තිබුන."

සරද අපට කියන්නේ නිලු වගේ දාන්ගලේ තියන ලස්සන ගැහැණු කොම්පැනියේ පිරිමි වගේම බොසාවත් වසඟයට ගන්නවා කියල. නමුත් ඇත්ත ඕකේ අනිත් පැත්ත නේද?
දසුන් සියදිවි  නසා ගත්තම  ඒකෙ වැරැද්ද තාරකා ශලනිට පටලවලා බනින අය ළඟ  තියෙන්නෙත් ඔය අදහස මයි. ඇයි එතකොට හාවේ වෙන්ෂ්ටයින් ඔපමණ  කාලයක් ඔය ලස්සන ගැහැණුන්ට අතවර කරගෙන යන සීන් එක දිගට ඇදගෙන යන්නෙත් ඔය අදහස් මිනිස්සු ළඟ තියෙන නිසාමයි.  බස් එකක කෝච්චියක ඇඟ පත පොඩි කර ගන්නේ නැතිව යන්න  බැරි වෙන්නෙත් ඒකමයි. 

මේ කෙටි කතා පොතේ මා කැමතිම කතාව ලෙසට හැඟෙන්නේ "තාත්තා  සහ තවත් පිරිමි" කතාව විය යුතුයි. ඒ කතාව ගැන මා  විස්තර නොකරන්නේ  කියවන්නාට එය කියව  කුතුහලය සමනය කර ගැනීමට ඉඩ දීමටය.

 යථාර්තය හඹා යන කතා යනු  නිර්ධන පන්ති දේශපාලනය  ගැන ලියවුනු නීරස කතා හෝ "සමාජවාදී " රටක නම් ආණ්ඩුවේ හොරණෑ වීමට ලියවුනු කතා යයි බාල්දු වෙද්දී බ්‍රෙෂ්ටියානු ශෛලයට නාට්‍යයක් අනුව කතාවක්  ලිවිම පහසු නැත. සරද එවැනි කතා  කිහිපයක්ම මේ පොතේ ඇතුලත් කර ඇත. ඔහුගේ කතාවක්  අවසන් වන්නේ බ්‍රෙෂ්ටියානු  ප්‍රේක්ෂකයාට  මෙන් බොහෝ දේ සිතන්නට ඉඩ තබාය. සරද ගේ යථාර්තය සමග ගැටෙන කෙටි කතාවල  අවසානය මැවෙන්නේ  කියවන්නාගේ මනසේය. නමුත් වාස්තවික (objective) ලෙස ඇරඹෙන කෙටි කතාවේ තර්කානුකුල අවසානයක් වෙනුවට ආත්මීය (subjective) මනෝ මූලික අවසානයක් කරා  කියවන්නා රැගෙන යයි.  සරද ඇත්තටම අදහස් කළේ එයද?

"සිතල හීනෙකට පස්සේ , ආරක්ෂාව , සෙන්ටෙනියල් දෝණි " එවැනි කතාය. හැකි හැම වෙලේම "කැත  දෙමළා" ගැන (අවසන් කතාව) කතා ලිවිම හොඳය. එසේ වන්නේ තවමත්  ඔඩු දුවන එම  ප්‍රශ්නයේ නිමාවක් එළඹෙන්නේ යයි තවමත් අපට නොදැනෙන හෙයිනි.

සරද ලොකු පියවරක් පුංචි කෙටි කතා පොතකින් තබා ඇත.  "කැත ගැහැණිය ගේ හීනය " කෙටි කතාව ගැන මගේ අදහස කුමක් වුවත් ඒ කතාව මෙන්ම අනිත් කතාද ප්‍රජාතන්ත්‍රවාදී ඩෝසරය ද  තදින්ම මගේ සිත් ගත් බව නොකියා  බැරිය.

මේ පොත ට මෙන්ම සරද ගේ "ඊළඟ පොතට" ද සුභ පතමි. 


20 comments:

  1. දැන් කැත ගැහැණිය සහ ලස්සන ගැහැණිය සහ සමාජවාදය එකතුවෙන්නේ කොතනද ? මේ පොතේ මේ පොත පුරුෂ මුලිකයි කියල කියන්නේ ඇයි කියල මට වැටහෙන්නේ නෑ.

    පොතේ තියන රූපක - කැත පිඩිතයි , ලස්සන පිඩකයි කියල කියන්න උබට අයිතියක් ඇත. මං කියන්න උත්සහ කලේ ලස්සනේ මාර්කට් එක සහ කැත ඒ තුලට ගිලීමයි.

    සමාජවාදීන් සාහිත්‍යයේ යෙදෙනවානම් උන්ට බවන්ඩරි තියනවාද ?

    ඇයි මැක්ක වගේ හැම වෙලාවේම රුසියාවට යන්නේ.

    ReplyDelete
    Replies
    1. මම මෙන්නේ මේ කොටස ඇතුලත් කලා.
      //"නිලූ තමන් ගේ ලස්සන සහ තවත් දෑ තීරණාත්මක ලෙස උරගා බලන්න තෝරා ගත් ලසන්ත නම් වූ බිස්නස් කාර තරුණයා ....."
      "නිලූ බැල්මකින් දෙකකින් එහ්මත් නැත්නම් තොදොලයකින් අනතුරුව හරි පහසුවෙන් කර ගන්න කන්තෝරුවේ පුංචි පුංචි වැඩ ප්‍රීති ට මහමෙරක් වගේ වෙන්නේ ..." (පි.22)
      "ඒත් මොකක්දෝ ෆයිල් වැඩකට නිලූ චන්දිමගේ වීදුරු කාමරයේ ඉන්න කොට මොකක්දෝ එකකට චන්දිමයි නිලුයි දෙන්නම මහා හයියෙන් හිනා උනාම ..."

      සරද නිලූ කියන ලස්සන ගැහැණිය වරදකාරිය කරගෙන යන එක ඉවර වෙන්නේ මෙතන.
      "පින්තූරේ නිලු හිටියේ චන්දිමගේ උකුල උඩ, අනුරාගයෙන් එකිනෙක ඇලී පැටලී ...නිලු ගේ මුහුණ සුපුරුදු සැහැල්ලුවෙන් තෙමි තිබුන."

      සරද අපට කියන්නේ නිලු වගේ දාන්ගලේ තියන ලස්සන ගැහැණු කොම්පැනියේ පිරිමි වගේම බොසාවත් වසඟයට ගන්නවා කියල. නමුත් ඇත්ත ඕකේ අනිත් පැත්ත නේද?
      දසුන් සියදිවි නසා ගත්තම ඒකෙ වැරැද්ද තාරකා ශලනිට පටලවලා බනින අය ළඟ තියෙන්නෙත් ඔය අදහස මයි. ඇයි එතකොට හාවේ වෙන්ෂ්ටයින් ඔපමණ කාලයක් ඔය ලස්සන ගැහැණුන්ට අතවර කරගෙන යන සීන් එක දිගට ඇදගෙන යන්නෙත් ඔය අදහස් මිනිස්සු ළඟ තියෙන නිසාමයි. බස් එකක කෝච්චියක ඇඟ පත පොඩි කර ගන්නේ නැතිව යන්න බැරි වෙන්නෙත් ඒකමයි. //
      // පොතේ මේ පොත පුරුෂ මුලිකයි කියල කියන්නේ ඇයි කියල මට වැටහෙන්නේ නෑ. // මුළු පොතම පුරුෂ මුලිකයි කියල මම කොහෙවත් කියල නැහැ. එක කෙටි කතාවක් ගැන කතා කරලා තියෙන්නේ. පොතේ නම දාල තියෙන්නේ එක අනුව නිසා.

      Delete
    2. සමාජවාදීන් සාහිත්‍යයේ යෙදෙනවානම් උන්ට බවන්ඩරි තියනවාද ? - තමන් උදේ හවා දෙසා වදාරන දෙය පරිකල්පන තුලින් ඈත් කරන කොට අපි වගේ එවුන් ටක් ගාල අල්ල ගන්නවා ඒක. නැත්නම් අර සමහර හාමුදුරු වරු වගේනේ . අනිත් එවුන්ට කියන බන තමනුත් පිලි පදින්න ඕනේ කියල හිතෙන්නේ නැත්ද? (සරද ගේ බූන්දි ලිපි අනුසාරයෙන් හට ගත් මතයකි)

      Delete
    3. රුසියාව ගැන කතාව නම් හරි. ලංකාවේ අවුරුදු 18ත් රුසියාවේ අවුරුදු හයත් ලන්ඩනයේ අවුරුදු 27 ත් එක හා සමානයි.

      Delete
  2. ගොඩක් කාර්යාලවල ඉන්නා පිරිමි ලිංගික අතින් පමණක් නෙවෙයි ජීවිතයේ ගොඩක් පැති වලින් අතෘප්තිමත් . ගොඩක් වෙලාවට එකට හේතුව වෙලා තියෙන්නේ ජීවිතය ආරම්භ කරනා අවධියේදී අතාත්වික ටාගට් ජීවිතයට එකතු කර ගැනීම සහ ඒවා සපුරා ගැනීමට නොහැකි වීම .
    නමුත් අනාගතය ගැන මහා බලාපොරොත්තු නැතිව සරලව ජීවත් වන ගැහැණු හෝ පිරිමි සතුටින් ජීවත් වෙනවා, ඔවුනොවුන් එකිනෙකාගේ සිතුම් පැතුම් සමාන නිසා ඉක්මනින් මිතුරන් බවට පත් වනවා. එකට බාහිර ලස්සන කියන සාධකය වැදගත් වෙන්නේ නැහැ. මේ පිරිස අතර බහුතරයක් සම්මත මිනුමෙන් ලස්සනයි. එහෙම නැතත් හරිම ප්‍රියමනාපයි.

    මේ සරල මිනිසුන්ගේ ජීවිත තුල අනිවාර්යයෙන්ම දඟකාර බවක් තියෙනවා. එතකොට අතෘප්තියෙන් පීඩිත පිරිස හිතන්නේ උන් එකට නිදා ගන්නවා කියලයි. සමහර විට එහෙම නොවෙනවත් නෙවෙයි. ඔන්න ඔතනදි අර පිරිස අතර ඉන්නා පිරිමි බඩුකාරයෝ කියලත් ගැහැණු බඩු කියලත් ලේබල් වෙනවා. එහෙම ලේබල් වෙච්චි උන්ට කිට්ටු වෙන්න ගිහින් බහුතරයක් ඇන ගන්නවා. එතනින් ඇතිවෙන එරියස් එක කවර කරගන්න නොයෙකුත් හිරිහැර අර පිරිසට ඇති කරනවා. ඒ වගේ අතෘප්තිකර පරානයක් බොසෙක් උනොත් අර පිරිස තුල ඉන්නා පිරිමින්ගේ අවසානය තමයි.

    ReplyDelete
    Replies
    1. //ගැහැණු බඩු කියලත් ලේබල් වෙනවා.// හරියට හරි . දැන් මේ එක කෙටි කතාවක නිලූ තමා සරද බඩුව කරලා තියෙන්නේ. "කැත කෙල්ල " වීරයා කරලා තියෙන්නේ .

      Delete
  3. "Clothes hanger" models are used by designers who think the model's body should not interfere with the design and hang of the dresses. They are used for a particular type of dresses.
    Anyway traditional idea about beauty depends on culture or country. Some African tribes - particularly Zulus in 19th cen- thought fatter women were beautiful. Still most Asians and Africans prefer women with generous curves rather than trim slim fit women. Depends on the times too, doesn't it? In 1950 60s Americans preferred women with more flesh in ads and movies - Monroe type voluptuous ones, right?

    ReplyDelete
    Replies
    1. Film Stars in Sri Lanka were also fat during two decades of 60s and 70s. In our school age fat girls were rear. Most of the girls were slim. Most of those slim girls at that time are fat like ducks now.

      Delete
    2. yes but they are not ugly. Are they? i am talking about different attitude. Women cannot be beautiful and talk to men she is called a slut.

      Delete
    3. People who call women "slut" are the most heated category in my life. they can't understand the real friendship between a man and a woman. because of their unsatisfied greed for sex they are acting in that manner.

      Delete
  4. මම ඔය මග තොටේදී හම්බවෙන මිනිස්සුන් ගේ මුහුණු සහ ඉරියව් හිතින් මොඩ් කරලා බලන වැඩ කරනවා පෝලිමක හරි මොකක් හරි තැනක කාලේ කන්න සිද්ද වෙන වෙලාවට. බොහෝ නළුවන්ගේ දකින්නට නැති පෞර්ෂ ලක්ෂණ තියෙන සහ පට්ට හැන්සම්/ලස්සනයිනේ කියල හිතෙන "කැත" මිනිස්සු ගැහැණු ඕනේ තරම් ඉන්නවා.. අපි දකින්නේ වැරදියට වීමයි ප්‍රශ්නේ

    මට කැතයි කියල හිතෙන්නේ අපිරිසිදුවට ඉන්න ගැහැණු මිනිස්සු තමයි...

    පොත ගැන නම් කිසිම අදහසක් නෑ..

    ReplyDelete
    Replies
    1. අපට පොඩි කාලේ ඉඳන් කවන සංස්කෘතික කෝවක් තියනවා. ඒකට අනුව තම අපි කැත ලස්සන තීරණය කරන්නේ. ඒකෙන් පිට පැන්නහම හිත නිදහස්. මම සරදට චෝදනා කෙරුවේ සරඩ් ඔය කෙටිකතව ලීවේ එහෙම කියල. අනිත් කෙටිකථා සුපර්බ්. අන්තිම එක එච්චරම නැහැ. සුලභ මාතෘකාවක් වගේ. පුලුවන්නම් අරගෙන බලන්න.

      Delete
  5. මම ගන්න හිතාගෙන ඉන්න පොත් ගොඩේ ඔය පොතක් තියෙනව
    කියවපු දවසක මගෙ අදහසත් මම කියන්නම්.
    මේ දවස්වල පොත් වැඩියි කියවන්න පොත් කියවනවා ඇර වෙන වැඩකුත් නැති තරං හිහි.
    බලමුකෝ

    ReplyDelete
    Replies
    1. මම කරන්නේ පොත් දෙක තුනක් එකපාර කියවන එක. නිදා ගන්න තැන එකයි ලන්ච් අවර් එකේ එකයි. ඒ වගේ. කරල බලන්න.

      Delete
  6. මචං සරද, ලංකාවේ පාසල් සගයන් වන අපටත් ඔය පොත කියවන්න අවස්ථාවක් දෙනවද? කොහෙන්ද මිලදී ගන්න තියෙන්නේ. ඉහත කොමෙන්ටු නිසා දැන්නම් පොත කියවන්නමයි හිත..සුබ පැතුම්..

    ReplyDelete
    Replies
    1. මචන් ලක්සිරි මේ ලිපිය සරදගේ පොත ගැන මම(කොළඹ ගමයා) ලියු පොඩි පහේ විචාරයක්. මම සරදට මේලක් දාල කියන්නම්.

      Delete
    2. මචන්ලා....පොත publish කලේ අහස ප්‍රකාශකයින්. ලංකාවේදී ඒක ඔවුන්ගෙන් ගන්න පුළුවන්. ලිපිනය

      88/8 A , High Level Road
      Maharagama 10280,
      Sri Lanka

      Tel:+94112088352
      Email: info@ahasamediaworks.com

      ලංඩන් වල නම් වාසස්ථානය පොත ගැන පොඩි කථා බහක් හදල තියනව එන්න. පොතත් මිලදී ගන්න පුළුවන්





      Delete
    3. මචන්ලා.....ලංකාවේ ඔය පොතේ ප්‍රකාශකයින් උනේ අහස ප්‍රකාශකයි. ඔවුන්ගෙන් එය මිලදී ගන්න පුළුවන්. ලිපිනය පහතින්. වාසස්ථානය ලංඩන් නම් පොත ගැන කථා බහක් තියනව නොවැම්බර් 11. එදාට ගන්න පුළුවන්. නැතිනම් පහත සබදියාවට යන්න.

      www.agoraculturalcircle.com


      188/8 A , High Level Road
      Maharagama 10280,
      Sri Lanka

      Tel:+94112088352
      Email: info@ahasamediaworks.com

      Delete
  7. සරද ව 'පොල්කට්ටෙන් එළියට' ඇදල අරං තියෙන්නේ .. හැක් .. මට හිතුන විදියට සරද පොත ලියලා තියෙන්නේ ලංකාවේ උන්ට කියවන්න.. අජිත් වගේ ඉන්ටනැසොනල් බුවාලට ඔහොම හිතෙන්නේ ඒකයි.. එනිවේ.. ඉක්ක්නටම කියවන්න වෙනවා මේ පොත දැන්..

    ReplyDelete
    Replies
    1. වැඩේ කියන්නේ "සරද" කියන්නෙම පොල්කට්ටෙන් එළියේ ඉන්න බුවෙක්. බලෙන් රිංගන්නේ මොකටද කියල තමයි කල්පනා කලේ.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. අනවසරයෙන් උපුටා පල කිරීම සපුරා තහනම්ය.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .