Friday 21 September 2018

සියාමා ගැන තරුරසී ගෙන් සඳහනක්

සියාමා !
( විචාරයක් නොවේ. හිතවතකුගේ පොතක් හඳුන්වා දීමක් පමණි.)
වාර්ගික, ආගමික අන්තවාදය සමාජය මත පතිත කරවන මරණයේ, වේදනාවේ බියකරු අන්ධකාරය අපි හොඳින්ම අත්දැක ඇත්තෙමු. ලෝකය දියුණු වී ඇතැයි කොතරම් පම්පෝරි ගැසුවත්, තවමත් අපට මිනිසුන් බෙදා වෙන් නොකොට එකා වන්ව ආදරයෙන් පිළිගන්නට, වැළඳගන්නට තරම් පොහොසත් අධ්‍යාත්මයක් සකස් වී නැත. එහි ඛේදනීය ඉරණම බොහෝ අවස්ථාවල ඉතා දරුණු ලෙස බලපවත්වන්නේ දරුවන් සහ කාන්තාවන් කෙරෙහිය.

‘‘සියාමා‘‘ ද ඉන් එකියකි. අන්තවාදී ආගමික මතවාද නිසා ආසියානු රටකදී බිහිසුණු ඉරණමකට මුහුණ දුන් පවුලක හුදකලා වූ දැරියක් පසුකලෙක යුවතියක ලෙස එංගලන්තයේදී ජීවිතයට මුහුණ දෙන ආකාරය මේ කතාවෙහි අන්තර්ගත ය.
බ්ලොග් නිසාම මහ පොළවට බට සහෝදරත්වයකින් දැන හඳුනා ගත් ‘‘කොළඹ ගමයා‘‘ බ්ලොග් අඩවියේ රචක අජිත් ධර්මකීර්ති සහෝදරයා කොටස් වශයෙන් බ්ලොග් අඩවියේ පළ කළ මේ කතාව එදත් මා බොහෝ කම්පනයට පත් කළා මතකය. කඩිමුඩියේ බ්ලොගයට ලියැවෙන කතා, කඩිමුඩියේ පොත් වීම පිලිබඳව මගේ එකඟත්වයක් නැතත් මේ කෘතිය කියවා බලන්නැයි ඇරයුම් කරමි. අන්තවාදය විසින් මනුෂ්‍යත්වය හෙළාලන අගාධයේ තරම යම් තරමකින් හෝ වටහා ගන්නට, සංවේදීවන්නට ඉන් නොනැවතී, සියලු ආකාර අන්තවාදයන්හි කෘෘරත්වයට එරෙහි වන්නට සියාමාගේ කතාව බලපෑමක් කරනු ඇත.
සියාමා වෙනුවෙන් වචනයක් ලියන චූලානන්ද සමරනායකයන් මෙලෙස උපුටා දක්වමි.
‘‘කිසියම් රටක් කවර හෝ අන්තවාදයක සරණ යන්නේ නම් එය අවසන් වනු ඇත්තේ මිහිපිට නරකාදියක් තනා ගනිමිනි. ලංකාවේ අප දැනටමත් ඒ මඟෙහි සෑහෙන දුරක් පැමිණ හමාරය. ජාතිවාදයත්, ආගමික අන්තවාදයත් අතර දෝලනය වෙමින් මෙතෙක් අප ආ ගමන තුළ අන්තවාදීන් යුක්තිය සහ සාධාරණත්වය යටපත් කරමින් තර්ක බුද්ධියට පහර එල්ල කරද්දී අප දුටුවේ අතලොස්සක් හැරුණු විට යහපත් යැයි කියනා බහුතරයක් නිහඬවත පුරන ආකාරය සහ දේශපාලකයන් යැයි කියාගන්නා අවස්ථාවාදීන් බොර දියේ මාළු බාන ආකාරයයි.‘‘
‘‘සියාමා‘‘ - අජිත් ධර්මකීර්ති
රු.350.00
අහස ප්‍රකාශනයක් ( J 310 ) අහස පොත් කුටියෙන් ලබා ගත හැකිය.

~~~~~~~~~~~~~~~~~
ස්තූතියි තරුරසී


2 comments:

  1. පොහොසත් අධ්‍යාත්මය...... අනේ තරුරසී දුවේ.... තියෙන තැනකින් මට පොහොසත් නැතිවුනත් කමක් නැති, දුප්පත්ම අධ්‍යාත්මයේ චූටි බිංදුවක් දැක්ක දවසක, මම එය දුටිමි කියලා කවියක් ලියන්න. අනේ අම්මපා දරුවෝ....පොහොසත් අධ්‍යාත්මය...කවුද බං මේවාට වචන දාන්නේ

    ආදරේට ලිව්වේ ....තරහා ගන්න එපා කිසි කෙනෙක්.

    ReplyDelete
    Replies
    1. දැන් මෙන්නේ මෙහෙමයි ආතේ
      ඔයා බොරු ජාතිවාදයට අන්තවාදයට ආගම් වාදයට විරුද්ධ කෙනෙක් නිසා පොහොසත් අධ්‍යාත්මයක් තියනවා
      හැබැයි බෝතලයක් දැක්කොත් ඉවර වෙනකන් ම හෙල්ලෙන්නේ නැති නිසා එතන තියෙන්නේ දුප්පත් අධ්‍යාත්මයක් ...
      හරිය ...
      ආදරේට ලිව්වේ ....තරහා ගන්න එපා කිසි කෙනෙක්.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .