Saturday 20 August 2022

වේදිකාව - The Platform - අරගලයක - විනාශයක - බලාපොරොත්තුවක -වේදිකාව


වේදිකාව  "The Platform"  කියල කියන්නේ ස්පාඤ්ඤ  චිත්‍රපටයක්. මේ චිත්‍රපටය  සමාජ විද්‍යා ප්‍රබන්ධයක් ගණයට මෙන්ම ත්‍රාසජනක චිත්‍රපට කියන ගණයටත් අයිති වෙන්නක්. ඩිස්ටෝපියන් එකක් කියලත් කියන්න පුළුවන්. ඩිස්ටෝපියන් කියන්නේ ඉදිරියේදී ඇතිවෙන්න පුළුවන්  මනඃකල්පිත සමාජයක් ගැන,  කිසිම  සමාජ සාධාරණත්වයක්  නැති, අන්ත දුෂිත, මිනීමරු එකක් ගැන.   ඔබ අරගලයක් කරන්නේ මොකටද? ඔබ බෙදා ගන්න යන්නේ මොනවාද? ඔබේ බලාපොරොත්තුව ඉටු  කරගන්න ඔබ කෙතරම් දුරක් යනවද? ඔබ මොන තරම් කැප කිරීමක් කරනවද?  මොන තත්වයක් යටතේද මිනිස්සු අරගල කරන්න පෙළෙඹෙන්නේ  වගේ ප්‍රශ්න සමූහයකට පිළිතුරක් හෙවිම මේ කතාවේ අරමුණ වෙන්න  පුළුවන්.  කොහොම වෙතත් එවන් ප්‍රශ්න ඇති වෙන්නේ කොහොමද , ඒවාට මිනිසුන් වශයෙන් අපි මුහුණ දෙන විවිධාකාර විධි ගැන මේ චිත්‍රපටයේ කතා වෙනව කියලයි  මට හිතෙන්නේ. ටොරොන්ටෝ සිනමා උළෙලේදී ප්‍රේක්ෂක තීරණයක් ලෙස මධ්‍යම රාත්‍රියේ පිස්සුව කැටගරිය යටතේ සම්මානයක් ලැබිල තියෙනවා. හිතා ගන්න පුළුවන්නේ.

හුඟක් වෙලාවට අරගල -උද්ඝෝෂණ නෙමේ- සමහරු මුදල් ගෙවා හදන ඒවා නෙමේ -වෙනත් රටවල් වලින් ආයෝජන කරන ඒවා නෙමේ - ඉබේ ඇතිවන අරගල  පටන් ගන්නේ කොහොමද? තියෙන විධිහට, පවතින ක්‍රමයට  මිනිසුන්ට තව දුරටත් ඉන්න බැරි වුනහමද ? හුඟක් මිනිස්සු එලියට බහින්නේ ඉන්න තැනක්  නැති වුනහම වගේ හේතුවකදී? ආදී කාලයේ ඉඳලම අපි කලේ ජිවත් වෙන්න කරන අරගලයක්. අපි ඉගෙන ගන්නේ ඒකෙන්  අපට ඉදිරි අනාගතයට  සැලසුමක් හදා  ගන්න පුළුවන් වෙයි, රැකියාවක් හොයා ගන්න පුළුවන් වෙයි , විශ්‍රාම වැටුපක් හදා ගන්න පුළුවන් වෙයි, ගෙයක් දොරක් දරු මල්ලන් හදා ගන්න පුළුවන් වෙයි කියල හිතල.  ඒ මොනවත් නැත්නම් ලෝකේ වටේ චාරිකා යන්න, ජීවිතය වෙනත් අන්දමකින් සරු කර ගන්න වගේ වෙනත් ඕනෑම  හේතුවක් වෙන්නත්   පුළුවන්. ඒ සැලසුමට  තර්ජනයක් එල්ල වෙනකොට අපිට තරහ යන්නත්  පුළුවන්. අපිත්  දේශපාලනයට එළැඹිලා අපට ඒවා ලබා දෙන ක්‍රමයක් හදා ගන්න පෙළඹෙයි ඒ නිසාම.

නමුත් අපට එදිනෙදා  කන බොන එක කර ගන්න හරි හැටි බැරි වුනොත්. තෙල් නැතිව  හරි, ගෑස් නැතිව හරි, රැකියාව කරන්න, මුදලක් හොයා ගන්න බැරිව එදිනෙදා ජීවිතය ගෙන යන්න බැරි වුනොත් අපි කරන්නේ මොනවාද? ජිවිතය බේරා ගන්න අපි ඕනෑම දෙයක් කරයි නේද? හොරෙන් පැට්‍රොල් විකුණයි. අනුන් ගෙන් උදුරා ගනියි. ගහ මරා ගනියි. සාමාන්‍ය  ජිවිතයේ හොඳයි කියන සිරිත් විරිත් පැත්තකට දාල තම තමන්ගේ , පවුලේ ජිවිත බේරා ගන්න උත්සාහ කරයි නේද?

ඒ අතරේ සමහරු ඉන්න පුළුවන් එහෙම කරදරයට පත්වෙන  වෙන අය  වෙනුවෙන් ඉදිරි පත් වෙන්න. තමන්ගේ ජිවිතේ අගය ගැන නොතකා. තමන්ගේ  ජිවිතේ පරික්ෂණයට භාජනය කරල අර බලාපොරොත්තු විරහිත වෙච්ච  ම්නිසුන්ට යම් බලාපොරොත්තුවක් හදා දෙන්න ඉදිරිපත් වෙන්න.  එහෙම මිනිස්සු ඉන්නවද? එහෙම මිනිසුන්ට බනින මිනිස්සු ඉන්නවද?

අපි කවුරු හරි අනාගතය වෙනුවෙන් අරගල කරනවද? ළමයි වෙනුවෙන්? නොදකින අනාගතය ගැන අප වද විය යුතුද? තියෙන දේ කාල ඉන්න  එක ඊට වැඩිය හොඳ නැත්ද?

දැන් චිත්‍රපටය ගැන කතා කරමු. 

මිනිස්සු කට්ටියක් - ගැහැණු සහ පිරිමි රාශියක්  නෙළුම් කුළුණ වගේ ලොකු කුළුණක් ඇතුලේ ජිවත් වෙනවා. මේ කුලුනේ නම තමා "සිරස් ස්වයං පාලිත මධ්‍යස්ථානය".  එක්තරා විධිහක බන්ධනාගාරයක්. හිර දඬුවමක් ලැබෙන අයට තම කැමැත්තෙන් එන්න පුළුවන් මේකට .  තට්ටු දෙසීයකට වැඩිය තියෙන කුළුණක්. හැම තට්ටුවකම ජිවත් වෙන දෙන්නෙක් ඉන්නව.  මේ හැම තට්ටුවේම අය  මාසෙකට සැරයක් මාරු කරනවා වෙන තට්ටුවකට. එහෙම මාරු කරන්නේ ඔවුන්ව බලෙන් නි ද්‍රාවකට යැව්වාට පස්සෙයි.  

අපේ කතා නායකයා වන ගෝරෙන්  මේ සිරගෙයට යන්නේ තම කැමැත්තෙන්. ඔහු මාස හයක් මෙහි ගත කරන්න  එකඟ වෙනවා ඒ වෙනුවෙන් ඔහුට ඩිප්ලෝමා එකක් දෙනවනම්. 

ඔහු එකවරම අවදි වෙන්නේ 48 වන තට්ටුවේ. ඔහුගේ තට්ටුවේ ඉන්න අනිකා  ට්‍රිමගසි.  ට්‍රිමගසි ඉන්නේ අවුරුදු  හයක සිර දඬුවමක් විඳින්න . ඔහු ඇවිත් ඉන්නේ මිනිහෙක් මරල.  මේක ඇතුලට යන්න කලින් තමන්  කැමති එක  දෙයක් අරන් යන්න පුළුවන්.  ට්‍රිමගසි වගේ සමහරු පිහියක් නැත්නම් පිඟානක්  වගේ දෙයක් ගෙනියනවා. ගෝරෙන් ගෙනියන්නේ සෙර්වන්ටෙස් ගේ  "දොන් කිහෝති" කියන පොත.  ට්‍රිමගසි හිනා වෙනවා කවුද යකෝ පොත් අරන් එන්නේ මේකට කියල. (පොත් තියෙන්නේ ගිනි තියන්නද?)  ට්‍රිමගසි මේකට පිට් එක එහෙම  නැත්නම් පතල කියලයි හදුන්වන්නේ . 


දැන් ඩීල්  එක මොකද්ද? උඩම තට්ටුවේ ඉන්න බන්ධනාගාර පාලකයා ට ඉන්නව උසස්ම  වර්ගයේ කෑම හදන්න පුළුවන් කෝකියෝ සෙට් එකක්. මේ කෝකියෝ හැමදාම හොඳට වැඩ දාල උයල අර කුලුනේ උඩම තට්ටුව ඒ කියන්නේ බින්දුවේ තට්ටුවේ තියන විශාල කොන්ක්‍රීට් මේසයක , වේදිකාවක  අසුරනවා ලස්සනට. නොයෙකුත් බිම වර්ග, මස් ජාති, මාළු , බර්ගර්ස් , පිට්සා  ඇතුළු රසම රස කෑම බීම. මේ  විශාල කොන්ක්‍රීට් වේදිකාව ඉන්පසු පහලට යනවා.  යන ගමන් එක එක තට්ටුවේ විනාඩි දහයක් විතර නවතිනවා. තමන්ට හැකි තරම් කන්න පුළුවන්. හැබැයි තියා ගන්න බැහැ. පස්සේ  කන්න තියා  ගත්තොත් ,  මැරුම් කන්න වෙනවා,  කියන්න ඕනේ නැහැනේ ඉතින්  උඩම තියෙන තට්ටුවල අය ට තමයි හොඳටම කන්න හම්බ වෙන්නේ.

  උඩ තට්ටු 47 ම අය කාල එවන ඉඳුල් කෑම කන්න ගෝරෙන්  ප්‍රතික්ෂේප කරනවා පළමු දවසේ. ට්‍රිමගසි බනිනවා. "කාපන් මෝඩයා   බඩ ගින්නේ ඉන්නේ නැතිව. මේක විගහට යනව" කියල. ඒ මදිවට ඌ කෙළත් ගහනවා  කාල ඉවරවෙලා. ගෝරෙන්  ඒකට කෝප අරගෙන බනින කොට ට්‍රිමගසි කියනව උඩ එවුන් මුත්‍රාත්  කරනවා මේ කෑම වලට කියල. ගෝරෙන් ට ප්‍රශ්නයක් - ඇයි   මිනිස්සු එහෙම කරන්නේ? 

මේ කෑම මේසේ ඉඳගෙන  උඩට  එනවා මිහාරු කියල කෙල්ලක්. හොඳටම  ගුටි කාල ලේ පෙරාගෙන.  කෙල්ල එන්නේ එයාගේ නැතිවුණු  ළමය හොයන්න.  ළමය හොයන්න පහලට යන හැම වතාවෙම පහල ඉන්න  පිරිමි මෙයාව ඇදල අරන් දූෂණය කරනවා. ඒත් කෙල්ල හැමදාමත් උඩට පහළට යනවා වේදිකාවේ නැගල.  ළමයව කවද හරි හොයා ගන්න ලැබෙයි කියන බලාපොරොත්තුවෙන්.

ට්‍රිමගසි කියනවා පහලම තට්ටුවකට ගිය වෙලේ කෑම නැතිව ඉඳල ඔහු සහ තට්ටුවේ සගයා වෙන තට්ටුවකින් වැටුණු එකෙක්ව මරන් කෑව කියල. කන්න  නැති වුනහම මිනිස්සු තිරිසන් වෙනවද?  බඩ ගින්න  හැම ගින්නටම වඩා ලොකුලු. ගෝරෙන් බය වෙනවා.  මේ දෙන්න ඊළඟට  වැටෙන්නේ 171 වන තට්ටුවට. කොන්ක්‍රිට් වේදිකාව  පහලට එන්නේ  කෑම ඉවර වෙලා. ඉඳුල් වත් නැහැ. පිගන් ලෙවකාල. ට්‍රිමගසි මේක බලාපොරොත්තු  වුන දෙයක්. නිද්‍රාවට වැටුණු ගොරෙන් ව ලණුවකින් බඳිනවා. ට්‍රිමගසි ගොරෙන් ව ටිකෙන් ටික කනවා කියල කියනව.  කකුලෙන් පොඩි කෑල්ලක් කපල ගන්නවා කන්න.  පහළට එන මිහාරු ගෝරෙන් ව බේරා ගන්නවා.  ඔහු ට්‍රිමගසි ව මරනවා. නමුත් ඔහු අසනීප වෙනවා තුවාලේ නිසා.   මිහාරු ට්‍රිමගසි ගේ මස් කපල බඩ ගින්නේ  ඉන්න ගෝරෙන් ට කන්න දෙනවා. සාත්තු කරනවා.  මානසික වියවුලට පත් වෙන ගෝරෙන්ට මියගිය ට්‍රිමගසි ව පේන්න ගන්නවා. ට්‍රිමගසි එක එක අවවාද දෙනවා ගෝරෙන් ට. ට්‍රිමගසි කිව්ව දේවල් හරි බව ගෝරෙන් ට වැටහෙන්න ගන්නවා. 

ඊළඟ මාසේ ගෝරෙන්  ඇහැරෙන්නේ උඩ තට්ටුවක  තිස් ගණන් වල. කෑම හොඳයි. එයත් එක්ක එකට වැටෙන්නේ ඉමෝ කියන ගැහැණිය. ඉමෝ ඒ බන්ධනාගාරයේ ම වැඩ කරපු  කෙනෙක්. එයා එන්නේ ස්ව කැමැත්තෙන්. එයාගේ ජිවිතේ බලාපොරොත්තුව මිය ගිහින්. එයාට පිළිකාව. කොහොමත් මැරෙන්න ඉන්න  එකේ එයා මේ යෝජිත ස්වයං පාලිත ක්‍රමයට ඇතුළු වෙන්නේ  තමන්ගේ සුරතල් බල්ලත් එක්ක. ඉමෝ දන්නේ නැහැ මේ තට්ටු හිරගෙයි සැබෑ තත්වය. ගෝරෙන් බනිනවා  කොහොමද බල්ලෙකුට කන්න දෙන්නේ  මිනිසුන්ට කන්න  නැතිව කියල. ඉමෝ කියනව එයා කන කොටසින් දෙනවා කියල.  

ඉමෝ සහ ගෝරෙන් හිතනවා සිස්ටම් චේන්ජ් එකක් කරන්න  ඕනේ කියල. ඉමෝ කෑම පිඟන් වලට බෙදනවා සීමා සහිතව සලාක ක්‍රමයට බෙදන්න.. පහල අයට කියනව ඒක විතරක් කන්න. ඊටත් පල්ලහ තට්ටු වල ඉන්න  "දුප්පත්" අයට කෑම ලැබෙන්නේ නැහැ. දෙන්න කතා වෙනවා.  අපි ක්‍රමයක් හදමු. උඩම තට්ටු වල අය කෑම සීමා සහිතව පරිභෝජනය කලොත් පහල තට්ටුවල අය බඩ ගින්නේ මැරෙන්නේ වත් මළ මිනී කන්න වත් වෙන්නේ නැහැ කියල. පහල උන් හිනා වෙලා අර විධිහටම වේදිකාව උඩට පැනල හැම දේම අත දාගෙන බඩජාරි කමට  කනවා.

ගෝරෙන් ඊට පස්සේ තර්ජනය කරනවා  කෑම වලට කක්ක කරනවා කියල. එම තර්ජනය නිසා පහල එවුනුත් අර ඉමෝ හදල එවන  තියෙන කෑම අඩු පිඟන් වල ඒවා විතරක් කනවා.   තර්ජනය කලේ නැත්නම් මිනිස්සු අහන්නේ නැත්ද බෙදා ගන්න ඕනේ කියල. 

ඔය අතරේ මිහාරු උඩට පහලට යනව ළමයා හොයාගෙන. ඉමෝ කියනව අවුරදු 16 ට අඩු අය මේ ක්‍රමයට අනුයුක්ත කරන්නේ නැති නිසා මිහාරු බොරුවක් කරන්නේ. මිහාරු ට  තියෙන්නේ හිස් බලාපොරොත්තුවක් විතරයි කියල.

එක දවසක් මිහාරු එනව හොඳටම තුවාල වෙලා. ඉමෝ සහ ගෝරෙන්  එයාට සාත්තු කරලා  සුව කරනවා. ඊළඟ නිද්‍රාවෙන් පස්සේ මේ දෙන්න ඇහැරෙන්නේ 202 වැනි තට්ටුවේ. ගොරේන්ට පේනවා තට්ටු ඊටත් වඩා පල්ලහට යන බව. ඒවල  මිනිස්සු ඉන්නවද නැත්ද කියලවත් පේන්නේ නැහැ. ඔවුන් නැගිට ගන්න බැරි තරමට දුර්වල වෙනවා කෑම නැතිව.  ඉමෝ සිය දිවි නසා ගන්නවා.  ගෝරෙන් ඉමෝ ගේ මිනී මස් කාල ජිවත් වෙනවා. මානසික වියවුලෙන් ඉන්න ගෝරෙන් ට නොයෙකුත් විකාර පේනවා. මැරුණු ට්‍රිමගසි ඇවිත් කතා කරනවා. ගෝරෙන් ගේ හොඳ ගති, විධි නැති වෙලා ගෝරෙන් මිනී කන්නෙක් බවට පත්වීම ගැන ඔහු හිනා වෙනවා.


ඊළඟ මාසේ ගෝරෙන්  හයවැනි තට්ටුවට යනව. හොඳම තට්ටුවක්. හොඳ කෑම බිම සහිත වේදිකාව  පහලට එනවා. උඩ තට්ටු පහේ අයට කාල ඉවර කරන්න බැරි නිසා. ගෝරෙන් ගේ   අලුත් සගයා කළු මිනිසෙක් වන බහරත්. බහරත් ලණුවකින් උඩ තට්ටුවලට ගිහින් පැනලා යන්න හදනව. පස්වන තට්ටුවේ සුදු ජාතිවාදී ගැහැණිය හා පිරිමියා ඔහුව රවටනවා. උඩට එනකොට තල්ලු කරලා ඒ මදිවට පතහට වැසිකිලිත් කරනවා. කළු මිනිසාගේ මූණට ම.  



නමුත් ගෝරෙන්  බහරත් ට පැහැදිලි කරනවා  බලෙන් සලාක ක්‍රමයට කෑම  බෙදමු. එහෙම කලහම පහල අයට කෑම ලැබෙයි කියල. තට්ටු 250 ක් විතර තමා තියෙන්නේ. විනාඩි දහය ගානේ  නවත්වනවා කියන්නේ ඔවුන්ට ආපහු එන්න පුළුවන් කියල.   ගෝරෙන්  සහ බහරත් කෑම වේදිකාවේ පහලට යනව පොලු දෙකක් අරන්  කොටින්ම මේ දෙන්න කෑම බෙදන  "ත්‍රස්තවාදියෝ" වෙනවා . ඔවුන් පහල තට්ටුවල මිනිසුන්ට කන්න දෙන්නේ ටිකයි. වැඩිපුර ඉල්ලුවොත්ත පහර දෙන්න ගන්නවා. වත් පහලට කෑම ගෙනියන්න ඕනේ නිසා.  පහල  හමුවෙන දර්ශනවාදියෙක්  කියනව අපි  උඩම තට්ටුවට මෙසේජ් එකක්, පණිවිඩයක් යවන්න ඕනේ. පහලට කෑම එවන, උඩ පාලකයෝ  දන්නේ නැහැ පහල අය මැරෙනවා කියල. ඔවුන් ඒ සඳහා තෝරා  ගන්නේ පන්න කොට්ටා කියන ඉතාලියානු ප්‍රනීත ජෙලටින් වලින් සැදූ ඩෙසට් එක.  ඒක නොකා උඩට යවන්න  බහරත් සහ ගෝරෙන් පොරොන්දු වෙනවා. 
 
පහළට යන ඔවුන්ට පෙනෙනවා මිහරු දූෂණය කරන්න සැරසෙන මිනිස්සු තුන් දෙනෙක්. ගෝරෙන් සහ බහරත් සටන් කරනවා ඇය බේරා ගන්න. නමුත් මිහාරු මිය යනවා. ඔවුන් දෙදෙනාම දරුණු ලෙස තුවාල ලබනවා. තවත් පහලට යන ඔවුන්ට මියයන මිනිසුන් පෙනෙනවා. පහලටම යන වේදිකාව  333 තට්ටුවේ නවතින කොට කොන්ක්‍රීට් ඇඳ යට ඔවුන් දකිනවා පුංචි දැරිවියක්. මිහාරු ගේ දුව.  ඔවුන් දැරිවිය ගන්න එලියට යනකොට වේදිකාව තවත් පහළටම යනවා. 

උඩහට පණිවිඩයක් යවන්න කියල තියා ගත්ත පන්නා කොට්ට එක ඔවුන් කුසගින්නේ  ඉන්න පොඩි කෙල්ලට කන්න දෙනවා බහරත් ටිකක් අකමැති වුනත්. .ගෝරෙන් ට සිහි නැති වෙනවා. තුවාල නිසා. ඔහුට හීනෙන් පෙනෙන බහරත් කියනවා "පණිවිඩය තමයි පුංචි දැරිවිය." කියල. 

ඊළඟ  දවසේ නැගිටින ගෝරෙන් ට පෙනෙනවා අධික රුධිර වහනය නිසා බහරත් මිය ගොස් බව. ගෝරෙන් දරුවා එක්ක  යනවා පතලේ අන්තිමටම. ඔහුට නැවතත් පෙනෙන්න ගන්නවා මැරුණු ට්‍රිමගසි ව.  ට්‍රිමගසි කියනවා "පණිවිඩය ගෙනියන්න කෙනෙක් අවශ්‍ය නැත " කියල. ගෝරෙන් දරුවාව වේදිකාවට නංවනව උඩට යන්න.  ළමයා උඩහට යනව බලන් ඉන්න ට්‍රිමගසි සහ ගෝරෙන් පතලෙන් ඉවතට ඇවිද ගෙන යනව.

පොඩ්ඩක් කල්පනා කරන්න. යටම තට්ටු වල අය වේදිකාව  දිගේ උඩට එනගමන් උඩ ඉන්න අය මරනවා කියල.  එහෙම උඩටම ඇවිල්ල උඩම අය මරල යට අයව උඩ  තට්ටුවක තියනවා. ඒක කරන්න නායකයෙක් හිටිය කියමු. එතකොට ඒ නායකයායයි එයාගේ අනුගාමිකයොයි උඩම තට්ටුවල ඉඳි. යටම තට්ටුවල අයට මොනවා හරි කෑමක් ලැබෙයි.එහෙම සිස්ටම්නුත් තිබ්බ.

බහරත් සහ ගෝරෙන්  නමැති කෑම ත්‍රස්තවාදියෝ නැත්නම් අරගලකරුවන් දෙදෙනා ජීවිතය දෙන්නේ තමන් වෙනුවෙන් නොවේ. හැමෝටම කෑම දෙන්න පුලවන් වෙයි කියන බලා පොරොත්තුවෙන්. ඊට පස්සේ මිහාරු ගේ දුව වෙනුවෙන්. අනාගතයේ දරුවා වෙනුවෙන්. ඒ දරුවා හෙවත් අනාගතය ජීවත් කරවන්න. 
 
මිනිස්සු අරගල කරන්නේ තමන් වෙනුවෙන්ම නෙමේ. කවුරුත් සමහර වෙලාවට උන්ට කියන්නෙත් නැහැ අරගල කරන්න කියල. ඒත් උන් කරනවා. හැබැයි එහෙම කරනවා නම්, අඬල දොඩලා  වැඩක් නැහැ "කෝ මේ මිනිස්සු ගණන් ගන්නේ නැහැනේ" කියල. ඒක අදාළ නැහැ තමන් ස්ව කැමැත්තෙන් කරනවා නම්.  අනාගතයරැක  ගන්න ඕනේ නම් කාටහරි අරගල කරන්න  වෙනවා. ලෝක ඉතිහාසය පුරාවටම ඒක සිද්ධ වුනා. ඒක  කොහොමද  කරන්නේ, දෙන අවසන් පණිවිඩය මොකද්ද කියන එක වැදගත්. මොකද අරගලයක්  අවසන් වෙන්නේ  කොහොමද කියල කවුරුත් දන්නේ නැති නිසා.  

 




29 comments:

  1. ෆිලුමක් ගැනද ලිව්වේ ඔබ ළඟදි බැලූ
    දහමක් කියනවා වගෙයි පාට අලූ
    මිනිස්කමේ උත්තම ගති වගෙම බලූ
    ගතිත්, තියෙනවනෙ සුදු වාගේම කළුෑ

    ReplyDelete
    Replies
    1. දහමක් මද මන්ද , මම අහන්නේ ප්‍රශ්න , ජීවත්වීම පිලිබඳ ප්‍රශ්නය උග්‍ වුන තැන ර මිනිස්සු හැසිරෙන සාමාන්‍ය විධිහ තමා ෆිල්ම් එකේ පෙන්වන්නේ

      Delete
  2. while the one who make food (GOD/ Mother Nature), make it perfectly and give everyone their favorite food. But because of exploitation of high ranked people, the low rank are not getting sufficient to survive .

    ReplyDelete
    Replies
    1. That could be the idea propagte by the film. if we consume less and allow other people to have as well.......

      Delete
  3. Jagath Pathirana21 August 2022 at 10:36

    මමත් ඕක බැලුවා. කතාව පැහැදිලි නෑ.
    මම ඔතන හිටියනම් වේදිකාවට නැගලා උඩට යනවා.

    ReplyDelete
    Replies
    1. එහෙම යන්න බැහැනේ. එහෙමනම් හරි ලෙහෙසිනේ. ඔක්කොම පැනල යයි. කළු මිනිහට වුනේ මොකක්ද? ඒකෙන් උඩට ගියහම ඔක්කොම වහල තියෙන්නේ 0 තට්ටුවේ. ඒකෙන් පහලට ගිහින් තමන්ගේ තට්ටුවට එනකන් ආව හැකි. පළමුවෙනි තට්ටුවේ අය මරල එතන හිටිය හැකි.

      Delete
  4. පොඩ්ඩක් කල්පනා කරන්න. යටම තට්ටු වල අය වේදිකාව දිගේ උඩට එනගමන් උඩ ඉන්න අය මරනවා කියල. එහෙම උඩටම ඇවිල්ල උඩම අය මරල යට අයව උඩ තට්ටුවක තියනවා. ඒක කරන්න නායකයෙක් හිටිය කියමු. එතකොට ඒ නායකයායයි එයාගේ අනුගාමිකයොයි උඩම තට්ටුවල ඉඳි. යටම තට්ටුවල අයට මොනවා හරි කෑමක් ලැබෙයි.එහෙම සිස්ටම්නුත් තිබ්බ.

    ReplyDelete
    Replies
    1. Jagath Pathirana21 August 2022 at 19:49

      ඉතින් කෑම ගෙනියන වේදිකාවට නැගලා යන්න පුළුවන්නේ.
      අර කුඩා දැරියගේ මව ඉහලට යන්නේ කොහොමද?
      කතාවේ අවසානයත් තේරෙන්නේ නෑ.

      Delete
    2. https://www.thisisbarry.com/film/the-platform-movie-ending-explained-2019-netflix-film/

      Delete
    3. එහෙම නැගල එලියට යන්න බැහැ. ගියොත් මරනවා. කුඩා දැරියගේ මව උඩට යන්නේ එයාගේ නියමිත තට්ටුවට විතරයි. ඉන් උඩට යන්න බැහැ. ගියත් ඒ අය එන්න දෙන්නෙත් නැහැ

      Delete
  5. කලින් බ්ලොග් එකක රෙකමන් කරල තිබ්බ හින්දා බැලුවා. දරුණුයි, ඒත් ඇබ්බැහි වෙන සුලුයි. කතාව තනියෙන්, හරියටම තේරුම් ගන්න අමාරු නිසා යූටියුබ් විචාරත් බැලුවා. බැලුවෙ මොකටද කියල හිතුනා, අමතක කරන්න අමාරු දර්ශණ තිබ්බ නිසා.

    ReplyDelete
    Replies
    1. Oh which blog ? If i knew I would have avoided writing this.

      Delete
    2. Jagath Pathirana22 August 2022 at 08:57

      Cube කියලා චිත්‍රපට 3කුත් තියෙනවා ටිකක් ඔයවගේ.

      Delete
    3. හුටා! බ්ලොග් එකක නෙමෙයි, සිංහල යූටියුබ් චිත්‍රපටි විචාර චැනල් එකකයි තිබුනෙ. කොහොම වෙතත් මේක අපතේ යෑමක් නං නෙමෙයි.

      Delete
  6. Replies
    1. හ්ම්ම් කිව්වාම නිකං මාත් සම්බාව්‍ය වගේ කියල හිතුන.
      වෙන කියන්න දෙයක් ගැන මට තේරුමකුත් නෑනෙ ඉතිං

      Delete
  7. අජිත් මේක සැබෑ සිදුවීම්, i.e. අරගලය එක්ක ගලපලා තියෙන විදිහ හරි ලස්සනයි. මම නම් ඔය වගේ ෆිල්ම්ස් බලන්න කැමති නැති නිසා බලන්නෙ නෑ. පෝස්ට් එක ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලෝටස්, මම හැම චිත්‍රපට වර්ගයක්ම බලනවා,

      Delete
  8. Film එක ගැන අහලා තිබුනා කලින්, බලන්න ආසා හිතුනේ නෑ. දැන් තමා තේරුනේ සීන් එක.........

    ReplyDelete
    Replies
    1. තේරුනා නම් ලිපිය ලියන්න ගත්ත මහන්සියට හොඳ තෑග්ගක්

      Delete
    2. අනිවාරෙන්ම, මේ හැම ලිපියකම ලොකූ වටිනාකමක් තියෙනවා, අපි ඒක කීවත් නැතත් අජිත් මාමෙ🥰

      මේක ඇත්තටම ලෝකෙ සමාජ ක්‍රමයේ හරස්කඩක් නේද?

      Delete
  9. තියෙන විධිහට, පවතින ක්‍රමයට මිනිසුන්ට තව දුරටත් ඉන්න බැරි වුනහමද ? හුඟක් මිනිස්සු එලියට බහින්නේ ඉන්න තැනක් නැති වුනහම වගේ හේතුවකදී// - සත්තු හිට ඔය වැඩේ කරනවා නෙ. ලෝක ප්‍රසිද්ධ චායාරූයක් තිබ්බ කොටියෙක් පස්සෙන් පන්නන් එකකොට... වඳුරා අවසාන මොහොතේදී හැරිල ඌගෙ විරෝධය පෙන්නනවා. කොටියත් ඒ සුළු මොහොතෙ තිගැස්සෙනවා.

    මිනිස්සුන් අසීරු ආවස්තාවකදී ඒවාට මුහුණ දෙන විදිහ, හිතන -ක්‍රියා කරන විදිය හොඳ හැටි බලාගන්න පුලුහං film නිසා මනෝවිද්‍යාත්මක පැත්තකුත් අන්තර්ගතයි. අනික ස්වයංසිද්ධව කියල දෙයක් නැති බව film එකෙන් හොඳහැටි පේනවා.

    වෙන විදිහක vibe එකක් තියෙන මේ වගේ film වලට නම් මං කැමතියි. ස්තූතියි අජිත්තුමෝ මේක පෙන්නල දුන්නට

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රතිචාරයට . මමත් මේවගේ චිත්‍රපට බලන්න කැමතියි. අර ටවර් එකක් ගිනි ගන්න කතාව බැලුවද? ඒකත් ටිකක් ඒ වගේ

      Delete
    2. ඕකනෙ කියන්නෙ ඔහෙලත් එක්කලා බෑ කියල... හිට. අරක මේක කියල අපිව අව්ස්සනවා😄
      The Towering Inferno ?? ගූගලයා 1974 එකක් පෙන්නනවා. ආයේ 2014 පෙන්නනවා. කෝම උනත් මේ නමින් කිසිම film එකක් බලලා නෑ

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .