Wednesday 30 August 2017

අර්බුස් ගෙඩිය හා කුකුළා - සෝවියට් විහිළු කතා

සෝවියට් විහිළු කතා ගැන ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ බ්ලොග්  නවකතාවේ සඳහන් කල පසු එම කතා පිලිබඳ කුඩා සංවාදයක් ගොඩ නැගුණි. ඒ අනුව මේ කතාවද  ලියන්නට සිත් වුනි. එහි මාක්ස් විසින් "සලක ලෝක වාසී කම්කරුවනි , මට සමාවෙන්න " යයි කියන කතාව  ඇත්තටම ගොතා  ඇත්තේ සෝවියට් ක්‍රමයට විරුද්ධ සෝවියට් වැසියන් නොව එම ක්‍රමයට පක්ෂ අය විසින් බව රුසියානුවන්ගේ විශ්වාසයයි. එයට හේතුවූ   කතාව ගෙතී ඇත්තේ ස්ටාලින්ගේ කාලයේදී ඔක්තෝබර්  විප්ලවයට දායක වුනු බොහෝ පරණ කොමියුනිස්ට් වාදීන් හා වාමාංශිකයන්  මරා දැමීම හෝ ගුලාග් (වැඩ කඳවුරු) වලට පිටුවහල් කිරීම නිසා බව ඔවුන්ගේ විශ්වාසයයි. කාල් මාක්ස් පැමිණියා නම් ඔහු ඔවුන්ගෙන් සමාව  අයදින බව මේ සමහර වාමාංශිකයන්ගේ විශ්වාසය විය.

මේ තරමක් දිග විහිළු කතාව ද සෝවියට් සමාජයේ පැතිරී තිබු එකකි. විහිළුවට අමතරව උපහාසාත්මක ලෙස එදා සමාජය, පක්ෂ තනතුරු බෙදා හදා ගැනීම ආදිය පිලිබඳ කිසියම් විවේචනයක් ද කතාවේ තිබේ. මේ කතාවේ කොටස් කෙටි කර කියනුද  මා  අසා තිබේ.

වොවච්කා හෙවත් වෝවා මේ විහිළු වල නිතර සිටින ප්‍රධාන චරිතයකි. මේ කතාවේ වොව්කා යන්තමින් තරුණ වියට එළඹුණු ගැටවරයෙකි. (teenager).

ගම්වල ඩිස්කෝ : (ඒ කාලයේ බොහෝ සෝවියට් රුසියානු (අනිත් රටවල් ගැන දන්නේ නැත) ගම් වල ප්‍රජා ශාලාවේ මෙවැනි සංගීත සන්ධ්‍යා  පැවත්වුනි. බොහෝ විට තරුණයෙක් තරුණියක් හා හමුවීමට මෙන්ම පෙම්වතුන් බවට පත්වීමෙන් පසු මේ ඩිස්කෝ සන්ධ්‍යාවකට යාමද සිරිතක් වශයෙන් කළහ. මේ හා සම්බන්ධ විහිළු කතා ද බොහෝය.)

වැඩිවිය පැමිණි වෝව්කා ට තමන්ගේ ගැටවර වියේ පෙම්වතිය ගමේ  ඩිස්කෝ එකට ගෙන යාමට අවශ්‍ය විනි.  වෝව්කා ගණන් බැලුවේය. පෙම්වතිය ගෙනයන පළමු වර නිසා ත්‍යාගයක් අවශ්‍යය. ඇය කැමති ඔරලෝසුවක් කෙනකු ළඟ තිබෙන අතර එය රූබල් විස්සකි. වයින් බෝතලයක් වත් පසුව බීමට ගත යුතුය. ප්‍රජා ශාලාවේ විකුණන යුෂ වීදුරුවක් හා පිරශ්කි ගැනීමට මුදල් අවශ්‍යය. අවශ්‍ය වන සම්පුර්ණ මුදල රූබල්  30 පමණය.

පොඩි පොඩි හොර වෙළඳම් කළද වොව්කා අතේ එතරම් මුදලක් නැත. නිවසේ  එහා මෙහා යමින් සිටි වෝවා පාරට වැටුනේය. තම පෙම්වතියද ජිවත් වන ගමේ පක්ෂ ශාඛාවේ ලේකම් ගේ නිවස ඉදිරියෙන් යන ඔහුට ගෙවත්තේ වැවී ඇති විශාල අර්බුස් ගෙඩියක් දුටුවේය. අර්බුස් යනු විශාල පැණි කොමඩු වර්ගයකි.




ප්‍රීතියෙන් පිනා ගිය වොව්කා වත්තට පැන  බෑගයකින්ද වසා  ආරක්ෂා කර තිබූ පක්ෂ ලේකම් ගේ අර්බුස් ගෙඩිය කඩා  ගත්තේය.  එයත් රැගෙන තම නිවස දෙසට එන විට තම පියාගේ කුකුළු රෑන දුටුවේය. (සමුහ ගොවිපළවල් අසල නොමැති ගම්වල රුසියානුවන් බිත්තර සඳහා මෙන්ම ඉඳහිට සාදයකට මරා කෑමට ගැනීමට හෝ වෙනයම් දෙයකට හුවමාරු කිරීමට කුකුළන් ඇති කළහ).

රෑනේ සිටි හොඳම කුකුලා අල්ලාගත් ඔහු උගේ බෙල්ල කරකවාගෙන ලණුවක පටලා   ගත්තේය.

අර්බුස් ගෙඩිය හා කුකුළා රැගෙන පාරේ යමින් සිටි ඔහු දේශපාලන කොමිසාර් ගේ රන්වන් කෙහෙ හා නිල් ඇස් ඇති රූමත්  බිරිඳ තම නිවස ඉදිරිපිට පෙම්වතෙක් එනතුරු බලා සිටිනු දුටුවේය. කොමිසාර් බලපුළුවන්කාරකම් පෙන්වා කසාද බැඳ ගත්තා යයි ගම්මු කියන ඇය කොමිසාර් ට රිදවීමට  පෙම්වතුන් කිහිප දෙනෙකු තබා ගෙන සිටින බව කොමිසාර් හැර ගමේ අනිත් සියල්ල දත්හ.

(දේශපාලන කොමිසාර් යනු පක්ෂයට වග කියන දේශපාලන දැනුමෙන් පොහොසත් ලෙස සලකන තැනැත්තාය. බොහෝ විට කේජිබි එකට අනුබද්ධ හෝ ඔත්තු දෙන්නෙකි. ස්ටාලින් ගේ කාලයේ ඔවුන්ට විරුද්ධව යාම මරණයට අත වැනීමකි.)

තරුණිය ගැහැණිය ඉදිරියට ගිය වොව්කා, තවරිෂ් ශෙනා කොමිසාරා (කොමිසාර් ගේ බිරිඳ සහෝදරී )  අර්බුස් ගෙඩියකුයි කුකුළෙකුයි රූබල් දහයකට ගන්නවා දැයි ඇසීය.

ගැටවරයා ගේ හිසේ සිට දෙපතුල දක්වා විමසුම් බැල්මක් හෙළු කොමිසාර් බිරිඳ සිතුවේ පමාවුනු පෙම්වතා වෙනුවට මේ කොල්ලා වුනත් නරක නැහැ කියාය. "අර්බුස් ගෙඩිය ගන්නම්" කියා, කොල්ලාගේ කමිස කරෙන් ඇද ගෙතුලට ගත් ඈ  පෙම්වතා නොපැමිණීමෙන් පමාවුනු   කාර්යය කර ගන්නට ගත්තාය. 

ඒ අතර දොරට තට්ටුවක් වැටිණි.

කොමිසාර් බිරිඳ වහ වහා  කොල්ලාගේ ඇඳුම්, අර්බුස් ගෙඩිය හා කුකුළා අතට දී විශාල රෙදි කබඩ් එකේ   සැඟවූවාය. 
(රුසියානු ගෙවල් හා තට්ටු නිවාස  වල  නිදන කාමරයේ බිත්තියක් වැසෙන්නට සීලිම  තෙක් උස විශාල රෙදි අල්මාරි සාදා තිබේ. මේවා නිවසත් සමගම ලැබේ. )

පමාවී පැමිණි පෙම්වතා සමග අහවල් වැඩේ යෙදී සිටිද්දී තවකෙක් දොරට තට්ටු කරනු ඇසිනි. වහවහා එම පෙම්වතා ද කබඩ් එකට දමා වැසූ ඈ ඊළඟ පෙම්වතා ගෙතුලට ගත්තාය.

වෝව්කා තමන්ගේ චාන්ස් එක දුටුවේය.

"මේ තවරිෂ් (සහෝදරයා) අර්බුස් ගෙඩියක් ගන්නවද"
"තොට පිස්සුද යකෝ, අර ආවේ කොමිසාර් නම් අපිට වෙඩි තියයි.  හිටු" අල්මාරියේ අනිත් පසින් කෝපවත් හඬක් ඇසුනි. 
"එහෙනම් කුකුලෙක් ගන්නවද? අර අහවල් ගෙදර හොඳම  කුකුලා " වොව්කා තමන්ගේ ගෙදර තිබෙන තැන සඳහන් කළේය.
"තෝ මගේ කුකුළා හොරකම් කරාද, තෝව මරනවා. " අනිත් පසින් ගෙරවිල්ලක් ඇසුනි.
"ආ මේ තාත්තද , මම මේ වෝවා, තාත්ත ඔච්චර වැඩ කාරයෙක් කියලා දන්නේ නැහැනේ. අම්මට කියන්නද, නැත්නම් අර්බුස්  ගෙඩියයි කුකුළයි ගන්නවද දෙකටම දහයයි " 
"හපොයි තෝ  වගේ එකෙක් හැදුවනේ" කි වොව්කා ගේ පියා රූබල් දහය දී අර්බුසය හා කුකුළා ගත්තේය.

ටික වෙලාවක් ගියේය. එළියේ වැඩේ තවම යයි.

වෝවා: "තාත්තේ, තාත්තේ, කුකුලයි ගෙඩියයි අපහු දියන්"
"තොට පිස්සුද , කුකුළා කොහොමත් මගේ තෝ වික්කට, මම සල්ලි දුන්නේ තොට "
"මම කෑ ගහන්නද දන්නවනේ තවරිෂ් කොමිසාර් මාමගේ හැටි "
"ආ ගනින් ආපහු."

කවුදෝ නැවතත් දොරට තට්ටු කරුණු  ඇසුණි. කලබල වුනු කොමිසාර් බිරිය වහා එම පෙම්වතා ද අල්මාරියේ මැදට අමාරුවෙන් ඔබා තල්ලු කර දොර වැසුවාය. එවර ආවේ ගෙහිමියා වන දේශපාලන කොමිසාර් වරයාය. 

වොව්කා තමන්ගේ වාසනාව නැවත උරගා බැලුවේය.
"මේ ඕයි කුකුලෙක් ඉන්නව ගන්නවද රූබල් 5යි. "
"මොන කුකුල්ලුද ඕයි . මගේ රැවුල ගිනි අරන් තමුසේ සුරුට්ටු පත්තු කරනවද " අලුත් අමුත්තා හොරෙන් මිමිණුවේය.
" ආ මේ අපේ පක්ෂ ලේකම් තුමා නොවැ. තවරිෂ් ලේකම් තුමා මම කොමිසාර් තුමාට කියන්නද ඔබ මෙතැන කියල "
"කට කට දීපන් කුකුළා "
"ආ කුකුළාට පහයි අර්බුස් එකට පහයි දෙකටම දහයයි."
"මට අර්බුස් තෝ මගේ අර්බුස් ගෙඩිය නේද මේ හොරකම් කරලා තියෙන්නේ , මං තෝව "
"ඔන්නොහෙ ඕක ගන්න ලේකම් තුමා.මාත් ගත්තා. අපි ඔක්කොම එක බෝට්ටුවේ " පසෙක සිටි වෝවා ගේ තාත්ත කීය.
"ආ වොව්කා  ගේ තාත්තා. ඔහෙත් මේ බෝට්ටුව පදින කෙනෙක්ද? කෝ දීපන් එහෙනම්. මෙන්න රූබල් 10."

ටික වේලාවකින් වොව්කා ලේකම් ගෙන් අර්බුස් ගෙඩිය  හා කුකුළා නැවත ඉල්ලීය. 
"තොට පිස්සුද යකෝ මම  ගත්තේ සල්ලි දීලනේ  "
"ඔන්නොහෙ දීලා දාන්න ලේකම් තුමා " අනිත් පැත්තෙන් හඬ නැගුණි.

"හඃ මම හිතන්නේ තාත්තයි පුතායි මාව මේ උගුලට ඕන කමින්ම අහු කරලා. මේක අපේ හතුරන්ගේ කුමන්ත්‍රණයක්. අපේ ගමට විරුද්ධව මම කරන සේවයට අකුල් හෙලන්න. අපේ පක්ෂය අපකීර්තිමත් කරන්න. උඹල ඇමෙරිකන් ඔත්තු කරුවන්ද දන්නේ නැහැ. මම අල්ල ගන්නන්කො "
"මොන පිස්සුද ලේකම් තුමා ඔබමනේ ආවේ කොමිසාර් ගේ ශෙනා (බිරිඳ) ට කෙළින්න. අපි කිව්වයි " වොව්කා ගේ තාත්තා සැර  කළේය.
"තවරිෂ් ලේකම් මාමේ , එහෙනම් මම තවරිෂ් කොමිසාර් මාමට කතා කරන්නම් මේක විසඳන්න " වොව්කා කීවේය.
"හා හා එච්චර දුර යන්න ඕනෙද තරුණ සහෝදරයා. අපි සාකච්ඡා කරල විසඳ ගමු. මෙන්න අර්බුස් ගෙඩියයි. කුකුළයි ගන්න ඉස්සෙල්ල "

ඒ අතරේ වොඩ්කා බීගත් පසු අහවල් වැඩේ කළ වහාම තම ස්වාමියා වන කොමිසාර් කඩා වැටී නිදන බව දත් ගෘහණිය ස්වාමියා නිදි ගත්  වහාම එකා බැගින් හැංගී සිටි පෙම්වතුන් එළියට දැම්මාය.

යන්නට කලින් පොරොන්දු වූ පරිදි අර්බුස් ගෙඩිය දී තව රූබල්  පහක් කොමිසාර් බිරිඳ ගෙන් ගන්නට වොව්කා අමතක නොකළේය.

රූබල් 25 ට තෑග්ග ද මිලදී ගත් වෝවා තම පෙම්වතිය වන පක්ෂ ලේකම්ගේ දියණිය කැටුව ඩිස්කෝ යාමට පැමිණෙද්දී ලේකම් ගේ බිරිඳ රාත්‍රී ආහාරයට බිම පිණිස වයින් බෝතලයක් මේසයේ ලැස්ති කර තිබුණාය.  වෝවා ලේකම් ගේ බිරිඳ ට   "තමන්ගේ හොඳ කුකුළා " පෙන්වා  වයින් බෝතලයට වඩා කුකුළා වටින  බව කියා හුවමාරු කර ගත්තේය. 

ඩිස්කෝ එක අවසානයේ පෙම්වතිය සමග ඔහුගේ නිවසට ගිය වෝවා දැක අම්මා කෑ ගැසුවාය.
"උඹ කොහෙද ඔය පොඩි කෙල්ල එක මෙහෙ රිංගන්නේ. කෙල්ලව ගිහිල්ලා ලේකම් ගේ ගෙදර දාල වරෙන් "
"පිස්සුද අම්මේ ලේකම් නැන්දමයි මේ වයින් බෝතලෙත් දීලා යන්නේ කිව්වේ " කියා අම්මාද චාටුවෙන් රැවටූ  වෝවා කෙල්ල සමග කාමරයට වැදුනේය.

වයින් බෝතලය වෙනුවට තමන් මිලදී ගත් කුකුලාම නැවත ලැබී ඇති බව දුටු ලේකම් කෝපාවිෂ්ටව  ප්‍රාදේශීය පක්ෂ කාර්යාලයෙන් නිකුත් කල ගිනි අවියදා රැගෙන වෝවා සොයා ගියේය.

ගෙදර දොර ඉදිරියේ ලේකම් තැන වෝවා ගේ පියා  හා මව සමග යන දබරය ඇසී ජනේලෙන් හිස එලියට දැමු වෝවා 
"තවරිෂ් ලේකම් මාමේ , දුව ඉන්නේ මෙහෙ, අර කොමිසාර් ගෙදර දී පොරොන්දු වුණා වගේ. ආ අර අර්බුස් ගෙඩිය ඉල්ලලා දෙන්නද ආපහු?" කියා කෑ ගැසීය.

"පිස්සුද ඒවා ඕනේ නැහැ, කට කට. මේ වෝවගේ තාත්තේ , මම මේ කල්පනා මට පක්ෂයෙන් ප්‍රාදේශීය ශාඛාවේ ලේකම් කම ප්‍රදානය කරල තියෙනවා. මගේ කෙල්ලත් මූට කැමති එකේ ලේකම් කම අපෙන් පිට යවන්නේ මොකටද? වෝවා හොඳ දක්ෂ කොල්ලෙක් කියල මට තේරුණා. මම වෝවව මගෙන් පස්සේ හිස් වෙන ගමේ පක්ෂ ශාඛාවේ ලේකම් ධුරයට යෝජනා කරනවා. "

ගමේ පක්ෂ රැස්වීමේදී හිටපු පක්ෂ ලේකම් ගේ යෝජනාවෙන් හා දේශපාලන කොමිසාර් ගේ සම්මතයෙන් ඉදිරිපත් වූ එකම නාම යෝජනාව වන වෝවච්කා ට බිහිරි වලොද්යා ගේ හැර 99% ක්ම චන්ද ලැබී තිබුණි.

ප.ලි.
පළතුරු වලට කියන රුසියානු නම් මේ වීඩියෝවේ  දැක්වේ.



25 comments:

  1. Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
  2. Duck for a buck, fuck for a duck and duck for a fuck කථාව වගේ

    ReplyDelete
    Replies
    1. අහල තිබ්බේ නැහැ. ඒකත් මරු ජෝක් එකක්. මෙන්න ගූගල් දෙයිය හොයල දුන්න .
      http://www.jokeindex.com/joke.asp?Joke=3712

      Delete
  3. ආවා දිගින් දිගටම පිරිමින් ගෙදර
    වෝවා එයින් ගැටවරයෙකි ඒ අතර
    මේවා කියෙව්වම එම නිවසට නිතර
    ආවා හිතක් ගොස් එන්නට මට මිතුර....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. දුමියා ගිහින් කොමිසාර් ගේ ගේ පැත්තේ
      ගත්තා සැපය හොඳ හැටියට අපෙ අත්තේ
      අල්මාරියේ දොර හිරවිලා පැත්තේ
      තවම ඉන්නවලු අඬමින් අපෙ මුත්තේ

      Delete
  4. ආවා දිගින් දිගටම පිරිමින් ගෙදර
    වෝවා එයින් ගැටවරයෙකි ඒ අතර
    මේවා කියෙව්වම එම නිවසට නිතර
    ආවා හිතක් ගොස් එන්නට මට මිතුර....

    ජයවේවා!!!

    ReplyDelete
  5. හෙහෙ මරු කතාව.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කිව්වා

      Delete
  6. //"පෙම්වතා නොපැමිණීමෙන් පමාවුනු කාර්යය කර ගන්නට ගත්තාය"// මොකක්ද අජිත් අයියේ ඒ කාර්යය මට ඒක විතරයි තේරුනේ නැත්තේ අම්මප :P

    ReplyDelete
    Replies
    1. ඉවාන් මල්ලියේ , මේ කතාව පොඩි ළමයින්ට ලියපු එකෙක් නෙමේනේ. ඔයා ගිහින් "යූ ජස්ට් වෙයිට් " බලල දොයියා ගන්න. හේ හේ :)

      Delete
  7. එලොව ගිහින් මෙලොව ආව වගේ....වෝව එක ගලින් කුරුල්ලො කී දෙනෙක් මරා ගත්තද

    ReplyDelete
    Replies
    1. ගල් දෙකක් ද මන්දා ? හේ හේ

      Delete
    2. මම හිතුවෙ ඒ ගල් දෙකත් එක්කම අජිත් අයියෙ..හෙක් හෙක්

      Delete
  8. මරේ මරු.. තව රුසියන් කතා ලියන ලෙස ඉල්ලා සිටිමි.

    ReplyDelete
    Replies
    1. මේ ප්‍රධාන කටහ්වෙන් පිට ගිය අතුරු කතා.

      Delete
  9. අජියෝ කොහොමද විචාරක දියණියගේ තරම මහා එකාවගේම බේගල් ඇද බානවා නේද බලපන් දේශකයාගේ බ්ලොග් එක චු යන්න ලියලා

    ReplyDelete
  10. ප්‍රතමපේමේ ඕනි නෑ.. මේවා දිගටම ලියමු.. හැක්

    ReplyDelete
    Replies
    1. ප්‍රථම ප්‍රේමය එහෙමත් අහක දාන්න පුලුවන්ද?

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .