Wednesday 2 January 2019

නව වසරට කතාවක් - සුභ 2019 නව වසරක් වේවා බ්ලොග් කියවන ලියන ඔබ සැමට

නොයෙකුත් හේතූන් නිසා වසර 2004 අපට හොඳට මතකයි. දේශපාලන කණ්ඩායමක පිපුරුණු බෝම්බයක් නිසා සමහරුන්ට මතකයි.   මට මතක බොක්සින් ඩේ සුනාමිය නිසා. මම හිටියේ ජර්මනියේ  කොබර්ග් නගරයේ. අපි නත්තලට හැම වසරකම වගේ  බිරිඳගේ දෙමාපියන්ගේ නිවසට යන නිසා එදා දෙසැම්බර් 26 දා හිටියෙත් එහෙ. ලන්ඩනයේ ජිවත්වන යාළුවෝ සහ ජර්මනියේ මගේ බිරිඳගේ නෑදෑයෝ එක දිගට කෝල් කරන්න  පටන් ගත්ත.
" ටීවී එක දාන්න "
 "ටීවී එකේ නිව්ස් දාන්න"
"ඔයාගේ ලංකාවේ පවුලට කොහොමද?" වගේ ප්‍රශ්න අහල.   එතකොට තමයි දැන ගත්තේ මුහුද ගොඩ ගලල කියල. දිගින් දිගටම පෙන්නුවේ ගාල්ල ඒ මුල් දවස් කිහිපයේ. මට දිගින් දිගටම කියන්න වුනා අපේ  නෑදෑයෝ හොඳින් ස්තූතියි කියල.  පස්සේ ඉන්දුනීසියාවට වඩා ප්‍රබලව සුනාමිය වැදිලා තියනව කියලත් දැනගත්ත. ලංකාවේ නැගෙනහිර  හා දකුණු වෙරළබඩ පෙදෙස් විනාශ වෙලා.

නිවාඩුවෙන් පස්සේ ලන්ඩනයට ඇවිත් සාගර, ශ්‍රීනාත් , ශාන්ත, මෙන්ඩිස් වැනි  යහළුවෝ කිහිප  දෙනෙක් එක්ක ෂෙයාර් ඇන්ඩ් කෙයාර් කියන පදනම පිහිටුවා ගත්ත. මුලින් අපි බඩු  කන්ටේනර් කිහිපයක් යැව්වා ලංකාවට. දකුණේ සහ නැගෙනහිර පාසැල් දෙකක ළමයින්ට  භාණ්ඩ බෙදල දුන්න.
මොනිකා ශාෆර්- ෆෙහ්ර 

ඉන් පස්සේ මව හෝ පියා අහිමි වුන ළමයි විසි ගණනකට ශිෂ්‍යත්ව දෙන්න පටන් ගත්ත ලංකාවේ දකුණේ  විහාරස්ථානයක තිබුන පදනමක් සමග එකතු වෙලා. මේ කතාවට  පාදක වෙන ජර්මන් ජාතික මහාචාර්ය මොනිකා ශාෆර්ෆෙහ්ර Monika Shaffer-Fehre      හඳුනාගන්නේ මේ වකවානුවේ. ඇයට ලංකාවේ ළමයි දෙන්නෙක් ස්පොන්සර් කරන්න  ඕන වුනා. එයින් පස්සේ අපේ පදනමේ නොයෙකුත් ආධාර එකතු කිරීමේ වැඩ වලට 2004 පටන් පහුගිය අවුරුදු 14 මුළුල්ලේ ඇය සහයෝගය දුන්න.

ඇය රැකියාව කලේ ලෝක ප්‍රසිද්ධ උද්භිද උද්‍යානයක් වන  කිව් ගාඩ්න් එකේ, ඇය ශාක වර්ග ගැන ප්‍රසිද්ධ උපදේශකවරියක්. Flora of Ceylon (ශ්‍රී ලංකාවේ ශාක වර්ග )  කියන පොතේ මූලික සම්පාදකවරිය (එම් ඩී දසනායක හා ක්ලේටන් සමග)  ඇය. තවත් පර්යේෂණාත්මක ලිපි බොහොමයක කතෘ. වරක් ඇය ශ්‍රී ලංකාවට යන අපේ යෙහෙළියක අත අන්වීක්ෂයක් යැව්වා ඉගෙන ගන්න දියණියකට. අද ඒ දියණිය ශ්‍රී ලංකාවෙන් ශිෂ්‍යත්වයක් ලබා  ඇමෙරිකාවට ඉගෙනීමට ගොස් දැන් ලන්ඩනයේ රැකියාව කරනවා කියල දැන ගන්න ලැබුන.
ඇය එවැනි උදව් බොහොමයක් නිහඬව කර තිබෙනවා. ඇගේ එක හීනයක් වුනේ ලංකාවට නැවත යන්න. වැඩ අධික කමක් ඇගේ  සැමියා මිය යාමත් නිසා එය කර ගන්නට නොහැකි වුනා. (සැමියා මයිකල් ශාෆර් නමැති ඉංග්‍රීසි ජාතිකයෙක්. )
ශාන්ත සමග 

දරුවන් සඳහා ඇයගෙන් දිගටම මුදල් ලැබුනත්  ගිය වසරේ  ඔක්තෝබරයේ  සිට ඇයගෙන් මේලයක් ලැබුනේ නැහැ. එනිසා මම ඊමේල් දෙක තුනක්ම යවා  බලා හිටිය. ඇය විශ්‍රාම  ගොස් නිසා කිව් ගාඩ්න් එකට කතා කර  වැඩකුත් නැහැ කියා හිතුව.

පහුගිය සතියේ ඇගෙන් මේලයක් ලැබුන.

ඇයටත් සැමියාටත් ළමයි නැහැ. ඔවුන් ජිවත් වුනේ දකුණු ලන්ඩනයේ සුවපහසු නිවසක. ඔහු මිය ගිය පසුත් ඇය එහි ජිවත් වුනා. පහුගිය ඔක්තෝබරයේ ඇය නිවසේ ඇද වැටී තිබෙනවා. ලන්ඩනයේ  එක දෙයක් වන්නේ බොහෝ විට මෙහි  ජිවත්වන්නන් අනෙක් අයගේ දේවල් සොයා නොබැලීම හා ඇඟිලි නොගැසීම. අනිත් අයට කරන අපහසුතාවයක්  යයි සිතා  එසේ නොකිරීම එකේ හේතුවක්. එසේම අනුන්ගේ  පෞද්ගලිකත්වයට ගරු කිරීම. සමහර වෙලාවට වෙලාවක් නැතිකම.  ඇය මොබයිල් දුරකතනයක් භාවිතා නොකරන්නියක් නිසා  කිසිම සමාජ ජාලයකත්  නැහැ. "ලින්ක්ඩ් ඉන්" රැකියා ජාලයේ  ඇරෙන්න.  මා සමග ඉඳහිට ඊමේල් හුවමාරු කර ගන්නවා පමණයි.

ඉතින්  ඇද වැටුණු තැනින් නැගිට ගැනීමට නොහැකිව ඇය දින  අටක්ම  නොකා නොබී වතුර පොදක් නැතිව බිම වැතිරී ඉඳල. කාටවත් කියන්න විධිහක් වත් නැහැ. දුරකථනයත් ඈත.  අට වන දවසේදී, ඉඳහිට ඇය ස්වාධින සේවයක යෙදෙන ප්‍රොතෙස්තන්ත නිකායක චැරිටි පදනමේ යහළුවන්  දුරකතනයෙන් අමතලා . පිළිතුරක් නැති තැන පොලිසියට දන්වලා. පොලිසියෙන් ලන්ඩන් ඇම්බියුලන්ස් සේවාව සමග ඇවිත් දොර කඩා ඇතුළු වී තිබෙනවා.පොලිසියට පමණක් නොව  වෛද්‍යවරුන්ටත් යෙහෙළියන්ටත් පුදුමයි  වතුර පොදක් නැතිව දින අටක්  එක තැන වැතිරී මේ කුඩා කාන්තාව ජීවිතය රැක  ගැන්මට සටන් කළේ කොහොමද කියා. පොලිසිය බේරා ගන්න කොටත් ඇය හොඳ සිහියෙන්  ඉඳ තිබෙනවා.   අන්වීක්ෂය රැගෙන ලංකාවට ගිය  ඇය දැන  සිටි මගේ යෙහෙළියක් වන ආශා කිවේ ඇය කරන, කළ හොඳ වැඩ හේතුවෙන් කර්මානුකූලව ඇගේ දිවි බේරෙන්නට එය බලපාන්නට ඇත කියායි. කරුණාවන්ත මේ කාන්තාවගේ සිතේ මානසික ශක්තියත්  බලවත් හේතුවක් වන්නට ඇති.

මමත් අපේ පදනමේ අනිත් අධ්‍යක්ෂකවරයා වන ශාන්තත් වහාම  ඇය බලන්න කෑම බීමත් රැගෙන ඇගේ  නව නිවසට ගියා. ඇගේ නව නිවස තිබෙන්නේ  රෝහලක් ඉදිරිපිට. සැමියා සමග දිවි ගෙවූ නිවස විකුණා ඇය මෙහි පදිංචියට ඇවිත්.එහි වැඩිපුර ඉන්නේ මහලු අය . විදුලි සෝපානද  ඇතිව ඉතා පහසුවෙන් නිම කරන ලද්දක්.  මගේ බිරිඳ සාදා දුන ජර්මන් කෑම බීම ඇය ඉතා කැමැත්තෙන් ආහාරයට ගත්ත.

අද 2019 ජනවාරි පළමුවනදා උදයේම මට දුරකථන ඇමතුමක් දී සුභ පැතුවා ඇය.  ඉතින්  මේ  කාරුණික දිරිය කාන්තාවගේ  කතාවත් සමග මගේ බ්ලොග් අවුරුද්ද පටන් ගන්නයි  අදහස.

මෙතෙක් දවස් මෙය කියවන්නට පැමිණි පාඨක  ඔබ සැමටත් බ්ලොග් ලියන  සේම සින්ඩි පවත්වාගෙන යන සැමටත්  වාසනාවන්ත, සෞඛ්‍ය සම්පන්න, මිල මුදලින් මෙන්ම සතුටින් ද පිරුණු  සුභම සුභ 2019 නව වසරකට ආසිරි පතමි.

28 comments:

  1. ඔබට හා පවුලේ සියලු දෙනාටමත් හා ජර්මන් ජාතික මහාචාර්ය මොනිකා ශාෆර්ෆෙහ්ර මහත්මියටත් වාසනාවන්ත නීරෝගි නව වසරක් පතන්නෙමි.

    ReplyDelete
    Replies
    1. කොලොම්පුරේ ඔබට ස්තූතියි. ඔබ සුභ පැතූ වග දන්වන්නම්, ඔබටත් පවුලේ සැමටත් සැම අතින්ම සුභවූ නව වසරක් වේවා

      Delete
  2. ඇයට ඉක්මන් සුව. දවස් අටක් බේරිල හිටිය කියන එක පුදුමයක්. ඒකට කිව්වත වගේ හිතේ ශක්තිය ඕන. නව වසර සුභ විදියට පටන් ගත් අජිත් සහ සැමට සුභ නව වසරක්ම වේවා!!

    ReplyDelete
    Replies
    1. දේශකයා ටිකක් ඇවිදින අමාරුව ඇර ඇය සුවය ලබමින් සිටිනවා. මට එන බඩගින්නේ හැටියට දවස් අටක් නොකා නොබී හිටියේ කොහොමද කියන එකත් හිතා ගන්න බැහැ. ඔබටත් පවුලේ සැමටත් සියලු ගොඩකවෙල ප්‍රදේශ වාසින්ටත් සෞඛ්‍ය සම්පන්න, සරු, සුභ නව වසරක් වේවා

      Delete
    2. අපේ ප්‍රදේශවාසීන්ට සුබ පැතුවට ඔබට බොහොමත් ස්තුතියි. ඔබටත් පවුලේ සැමටත් මොනිකා මහත්මියයටත් සුබ නව වසරක් වේවා කියල පතනවා.

      Delete
    3. දැං එතකොට තවුසේ අවුරු්දදෙම සනීපෙන් සැපෙං ඉන්නද කල්පනාව. ඈ..

      Delete
    4. හරි හරි මටයි වැරදීම උනේ, දේශකයා සහ පේරාදෙණියේ සියල්ලන්ටමත් සුභ අළුත් අවුරුද්දක්

      Delete
    5. සුබ නව වසරක් අජිත් ඔබටත් ඔබේ පවුලේ සැමටත්!

      Delete
    6. ඔබටත් එසේම වේවා මල්ලි

      Delete
  3. Happy new year to all 5 of you.

    ReplyDelete
    Replies
    1. I don't know how to explain this to Kiki. But I accept the greetings on behalf of her and rest of the family. Happy new year to you, your dear wife, children and all four legged cuddly babies.

      Delete
  4. අජිත් ඇතුළු පවුලේ සැමට සුභ නව වසරකට ආසිරි! මේ ලිපියෙන් ඔබ තව දුරටත් අඳුනා ගතිමි.

    ReplyDelete
    Replies
    1. ඇනෝ තුමනි ඔබට ස්තූතියි. ඔබටත් පවුලේ සැමටත් සතුට සැනසුම සපිරි සුභ නව වසරක් වේවා

      Delete
  5. ඔබ ඇතුළු පවුලේ සැමටත්ටත් ඒ දිරිය කාන්තාවටත් නව වසර වෙනුවෙන් සුබ පැතුම්!ඇයට කරදරයක් නොවීම හාස්කමක් වගේ නොවේදැයි සිතෙනවා. කෙසේ හෝ නව වසරේ ලියැවුන කිදිම පෝස්ටුවක්

    ReplyDelete
    Replies
    1. ඔබට ස්තූතියි ගුණසිංහ මහත්මයා. හාස්කමක් වගේ තමයි වෙලාවකට. ඔබටත් ඇමෙරිකාවේ සිට හෝ අලුතින් ලියන්නට හිතේවා :), සුභ නව වසරක්

      Delete
  6. අජිත් අයියා අැතුළු පවුෙල් සැමටත්, ෙමානිකා ඒ් දිරිය කාන්තාවටත් නව වසර ජය, සතුට ලැෙබ්වා...

    ෙමවැනි අපූරු මිනිසුන් තව ෙකාෙතක් ෙම් ෙලා්කය තුළ නිහඬව ෙස්වය කරනව අැත්ද කියලයි මම හිතුෙව... අැය හරිම අපූරු, ෙෙධර්යවන්ත කාන්තාවක්...

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. ලබන මාසයේ වගේ නැවත ගිහින් බලල එනව. ඔබටත් දරු පැටව් රන්චුවටත් පවුලේ සැමටත් සුභ නව වසරක්

      Delete
  7. Replies
    1. ඔබටත් පවුලේ සැමටත් සුභ නව වසරක් වේවා

      Delete
    2. නංගි ඔයාගේ බ්ලොග් එකේ කොමෙන්ට් දාන්න බැහැ කියල දන්නවද

      Delete
  8. ගොඩක් අය දෙයක් කරන්නෙ දහයක් දේ බලාගෙන ......හොද කථාවක් . හොද වැඩක් ... ඔබටත් පවුලේ සැමටත් සුබ නව වසරක්. ඔය වගේ නිහඩවම හොද වැඩකරන පිරිස් කොහෙත් ඉන්නවා . ඒ අය අගය කරන එක ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි. මම මේක ලිව්වේ ඒ මනුස්සයාගේ ධෛර්යය ගැන කියන්නත් එක්ක. ඔබටත් සුභ නව වසරක්. ඔබේ ගුවන් විදුලි වැඩ සටහන් මාලාව සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා

      Delete
  9. මේක බටහිර රටවල තියෙන පුද්ගලික නිදහසේ එක් ඛේදවාචකයක්.
    සිඩ්නිවල ඔවැනි කාන්තාවක් මිය ගිහින් ඒ බව සොයා ගත්තේ දශකයකට පමණ පසුව. පුදුමයි ඒත් ඇත්තයි.

    ReplyDelete
    Replies
    1. එහෙම වෙලා තිබෙනවා මේ රටෙත්. මාස ගනනකට පසු මෘත දේහය දිය වෙලා ගිහින් හමුවෙන අවස්ථා . කනගාටුදායක තත්වයක්

      Delete
  10. ඇයට දීර්ඝායුශ ලැබේවා. ඔබටත් සුභ 2019 ක් වේවා

    ReplyDelete
    Replies
    1. ඔබටත් සුභ නව වසරක් ඉයන්. (මෙහි පින්තුරයේ සිටින ශාන්ත මා සිතන පරිදි ඔබ දන්නා කෙනෙක් )

      Delete
  11. බොහොම ස්තුතියි මගේ තවත් නිර්මාණයක් නෙළුම් යයෙන් ජනගත කලාට ...මගේ කවි වැඩසටහනට උපුටන සහිතව කවි ගන්නවාට විරුද්දත්වයක් නැතැයි හිතනවා .
    https://ahasgawwenehalokaya.blogspot.com/2019/01/blog-post_9.html

    ReplyDelete
    Replies
    1. වැලිගමගේ මහත්මයා මේවා පල කරන්නේ උපුල් නිශාන්ත , නව සංස්කාරක නෙලුම් යායේ . editor@nelumyaya.com sthuthiyi

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .