Thursday 10 April 2014

යකාගේ ප්‍රශ්නයේ දෙවන කොටස

යකා  කියනවා මෙහෙම: (මේ යකා ඇවිල්ල ලංකාවේ ඒ දවස්වල හිටිය යක්ෂ ගෝත්‍රයට අයිති කෙනෙක්. ඒ තේරුමෙන් තම යකා කියල නම ගෙන තියෙන්නේ. නොදන්නා අයට  දැනගන්න.) 
මම සාමාන්‍යයෙන් කිසිම කෙනෙකුට අපහාස උපහාස කරන කෙනෙක් නොවෙයි. නමුත් සයිබරයේදී මාක්ස්වාදීන් මට පුද්ගලිකව අපහාස කරමින් ගේම ඉල්ලූ විට මමත් ටිකක් රෝන් සයිඩ් ගියා. මාක්ස්වාදීන්ගේ ආයුධ දෙකක් තිබෙනවා.එකක් නින්දාව අනික ප්‍රචන්ඩත්වය.ඔවුන් හා ගනුදෙනු කරන විට ඔවුන්ට තේරෙන භාෂාවට අවතීර්ණ විය යුතුයි.

මේ කතාවේ තරමක ඇත්තක් තිබෙනවා. මම අසු ගණන්වල කලබල (මර්දනය කියල කියමු) එන්න ටිකකට කලින් ලංකාවට ගියා රුසියාවේ සිට. එහිදී හම්බ වුණා  එක්තරා විශ්ව විද්‍යාලයක ඉගෙන ගත්  මගේ පැරණි මිතුරෙක්. මිනිහ මට කිවා "එයා දැන් ලොකු ළමයෙක් "   අහවල් පක්ෂයේ ප්‍රාදේශීය නායකයෙක් කියලා . ඉදිරියට ලොකු වැඩ කොටසක් කරනවා කියල. එතකොට මම දෙජවී එකේ 1987 ඉන්දියන් හමුදාව ආපු  වෙලාව බස් එහෙමෙ ගිනි තියපු එක දැකල හිටියේ. මම ඒක  විවේචනය කලා . මොන හේතුවක් නිසාවත් මිනිසුන් පාවිච්චි කරන මිනිසුන්ගේ බදු මුදලින් ගත්ත දේ විනාශ කරන්න එපා කියල. හදන සමාජවාදී සමාජයකටත් බස් ඕන වෙනවා කියල. ඒ වගේම මම ඔහුට කිවා සෝවියට් දේශයේ තිබෙන ප්‍රශ්න ගැනත්. ම්නිහ මට සුළු ධනේශ්වර ගොබ්බයෙක් කියල කිව්වා. එයාල සෝවියට් දේශයේ තියෙන එකට වඩා  උසස් එකක් හදන්නේ කියල. කොහොම හරි විශ්ව විද්‍යාල කැන්ටිමේ තේ කෝප්පෙට ගෙවල මම ගියා  යන්න . 88-89 පහුවෙලා ආපු  කලෙක හොයල බැලුව යාලුවන්ගෙන් මැන්ට මොකද වුනේ කියල බලන්න. පව්නේ මොනවා කිව්වත් යාළුවොනේ කියල. මෙන්න මු හොඳ අර ධනවාදී කියපු ඇමති කෙනෙක් ගේ ලේකම් කෙනෙක්. ලමයවත් හොඳම ඉස්කෝලෙකට දාගෙන . යාළුවෙක් කීවා  මු අර බිල්ලෙක් ද මොකෙක්ද කියලත්. අනේ ඉතින් සුලු ධනේශ්වර අපි කවුරුවත්  පාවා  නොදී, කාටවත් ගහන්නේ බනින්නේ නැතුව ධනවාදී රටක දැහැමෙන්  සෙමෙන් ඉන්නවා. ඊට අමතරව මාක්ස්ට ත් තවම සලකනවා ප්‍රඥයෙක් හැටියට.  අර ඊයේ පෙරේද අවමගුලකට ගිය වෙලාවෙත් කවුද කාටද ගහල තියෙන්නේ . ඉතින් මිනිස්සුන්ට මාක්ස්වාදය එපා වෙන එක අහන්න දෙයක්යැ . මාක්ස්ගේ නමින් නේ ගහන්නේ. මාක්ස් හිටියනම් බේරේ වැවට පැනල මැරෙනවා .

මේ ප්‍රශ්න වලට උත්තර මාක්ස්වාදීන් දිය යුතුයි.බොරුවට සමීකරන අරගෙන අපෝහනය කරල ව්‍ය්ත්පන්න කරල මෙතන මහ කැටයම් සාජ්ජ තියෙන සාමාන්‍ය මිනිසුන්ට නොතේරෙන මහා දේව පූජාවක්ය කියල කියන්න ඕන නැහැ. - යකා 

දැන් ඔබ බැලුවොත් සමීකරණ වලින් තමයි ගොඩක් දේවල් නිරාකරණය වෙන්නේ. ලෝකය අපට ගණිතමය සමීකරණවලින් වටහා ගත හැකියි. අභ්‍යවකාශ  විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව වගේ දේට සමීකරණ අපෝහනය කරන්න අවශ්‍යයි. තද වචන නැතුව සමීකරණ ඔප්පු කරන්න ඕනේ කියල කියමු නේද. දැන් මම ලියන්නේ පුළුවන් තරම් සරල සිංහලෙන්. ඕක ඔය ලංකාවේ මාක්ස්වාදීන් කියල කියන කට්ටිය විතරක් නෙමේ . හැමෝම කරන දෙයක්නේ. තමන් දන්නවයි කියල පෙන්නන්න බර වචන දාන  එක.  අපි සමීකරණ වලින් ගණනය කරන්නේ නැතුව ලොකු පාලමක් හැදුවොත් ඒක කඩා  වැටෙන්න පුළුවන්. මාක්ස්ගේ සමීකරණ ටික ටික සාකච්චා කරමු. ඊළඟ මගේ ලිපියේ එකක් (සමීකරණයක්) එනවා. 

වහල් වැඩවසම් ආදී වශයෙන් සිදුවන්නේ යයි කියන සමාජ පරිනාමය , 
හොඳයි මේක මාක්ස් කිව කියල හිතන්නේ නැතුව තමන් කල්පනා කරලා බලන්න. ගල් යුගයේ ඉඳන් මිනිස් සමාජය / ඉතිහාසය පරිණාමය වුනේ කොහොමද. මාක්ස් අමතක කරන්න.  මේ ප්‍රශ්නයත් ඉදිරියට එන නිසා ඒ වෙලාවට ආයි  කතා කරමු. 

කම්කරුවාට පමණක් හිමි අතිරික්ත වටිනාකම - අතිරික්ත වටිනාකම කම්කරුවට පමණක් හිමියි කියල කොහෙද තියෙන්නේ . මේ ප්‍රශ්නයත්  ඉදිරියට එන නිසා ඒ වෙලාවට ආයි  කතා කරමු.  (කලින් එක වගේම) 
සියල්ල ආර්ථිඅකයට ඌණනය කිරීම - මේක පැහැදිලි කරන්න 

උත්තර කොමියුනිස්ට් සමාජයේ මිනිසුන් රහත් වීම (මිනිස් සොබාවය අතිඋත්තර සොබාවයක් ගැනීම ) - මේකට මෙන්න මෙහෙම උත්තරයක් දෙන්නම්.  දැන් ඔබ හා මම ඉපදුන රට , මම ඉතාම දැඩි ලෙස ආදරය කරන රට ගැන බලමු.  දැන් ඔය රටේ මිනිස්සු බල්ලෙක් දැක්කම ගල් වලින් ගහනවා. පුසෙක් දැක්කොත් මරනවා. පැටව ලැබුනම පන්සල් වත්තට ගිහින් දානවා.  මාක්ස්වාදියෝ විරුද්ධ වාදීන්ට ගහනවා මරනවා. විරුද්ධවාදීන් මාක්ස්වාදීන්ට දස වධ දීල මරනවා.  පක්ෂ වල එවුන් එකාට එකා මරා ගන්නවා. ආගම්  හතරක් පහකුත් තියෙනවා  ඒ මදිවට, ඒ ගොල්ලොත් ගහ ගන්නවා. . හැබැයි ඔයා  බනින්නේ මාක්ස් කිව්ව දෙයක් ගැන.   දැන් බලමු මාක්ස් මොකක්ද කිව්වේ . එංගලන්තයේ හා ජර්මනියේ කාර්මික විප්ලව සිඳුවී කම්කරු පන්තියක් ඇති වෙලා තියෙන නිසා විප්ලවයක් සිදු  වේය හෝ කොමියුනිස්ට් සමාජයක් බිහි වේය කියලනේ. එහෙම වුනේ නැතත් ධනවාදී එංගලන්තයේ හෝ ජර්මනියේ මිනිස්සු කොහොමද ? ඒ මිනිස්සුන්ගේ සත්ව කරුණාව කොහොමද? අනික සෝවියට්  වැසියන් වුනත් නරක නැහැ. මම ඕන තරම් ගෙවල් වලට ගිහින් කාල  බිල විනෝද වෙලා තියෙනවා. ප්‍රශ්න අඩු මිනිසුන්  තමා මේ වගේ හොඳින් ඉන්නේ. ඉතින් මාක්ස් උපකල්පනය කලා  ධනවාදයේ අය  මේ තරමට ශිලාචාර නම් මින් පස්සේ එන කොමියුනිස්ට්ච්වාදය මිට වඩා  හොඳ වෙයි කියල.  ඒකටත් වැරැද්දක් ඔයා  හදා ගන්නවා .
අපේ රටේ (ලංකාවේ) වැඩි දෙනා  නරක නැහැ.  අනුන්ට උදව්වක් කරගෙන් කවුරුත් සින්දුවක් කියාගෙන ඉන්න හොඳ ජනතාවක්. ප්‍රශ්න වැඩි වුණාම තමා  කවුරුත් නරක්  වෙන්නේ නේද. ? 


මේවා පිළිගන්න පුළුවන්ද .මේවා මාක්ස් එන්ගල්ස් සීයල දැක්ක හීන නොවෙයිද? ඊයේ  පෙරේදා  දැකපු සිහින  අද සැබෑ වෙනවා කියල අහල නැද්ද :) 

14 comments:

  1. 88/89 කාලෙ මට මතකයි.මම එතකොට කුඩා ළමයෙක්. ශ්‍රීලනිප පවුලක උපන් නිසා ගෙදර ආණ්ඩු විරෝධී වටපිටාවක් තිබුන නිසා ඒ කාලෙ ඔවුන් ගැන මට අප්‍රසාදයක් තිබුනෙ නෑ.මට මතකයි වැඩිහිටියන් ජේවීපීකාරයන්ගෙ වීරකම් රහකර කර කියනවා. හැබැයි මම ලොකු වුනාට පස්සෙ 88/89 කැරැල්ල මේ අය පරාජය වීම මොන තරම් වටිනවද කියල දැන්නගත්ත. අපට හීනෙකින්වත් හිතන්න බැරි තරම් නරකම ආණ්ඩුවක් තමයි ඒ අය් දිනුවනම් ලැබෙන්නෙ. බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය නැති ඕනම රටක මිනිස්සු වහල්ලු තමයි.

    ස්වාභාවික විද්‍යාවන්ට සමීකරණ අවශ්‍යයි.ඒව සමාජ විද්‍යාවන්ට ගෙඩි පිටින් ආදේශ කිරීම වැරදියි.

    ReplyDelete
    Replies
    1. එහෙම දෙයක්ම නෙමේ මාක්ස්වාදයේ වෙලා තියෙන්නේ. ඕක හුඟක් සරල කියන දෙයක්. උදාහරණයක් වශයෙන් පෙරටුගාමී පක්ෂයේ කට්ටිය හෙගෙල් සම්මන්ත්‍රණ මාලාවක් ගෙනියනවනේ. එතන හෙගෙල් ගැන ගොඩක් කතා කරලා තියෙන නිසා ඔයාට එතනිනුත් වෙන මුලාශ්‍ර වලිනුත් හෙගෙල් ගැන කියෙව්වහැකි. ඊළඟට ඩාර්වින් ගේ පරිණාමවාදය ගැන කියවන්න ඕනේ. ඊළඟට පොඩ්ඩක් විශ්වය හෙම ඇතිවුනහැටි ගැනත් දැනගන්න ඕනේ. ඒවා විකාශනය වුන හැටි අඩිය. මුලද්‍රව්‍ය හැදුනේ කොහොමොද වගේ. ඊට පස්සේ මාක්ස්වාදය කියවන්න ඕනේ. මාක්ස් තම අදහස් ලිව්වේ එහෙම. ඉතින් සමීකරණ දානකොට ඒවා ගැන කතා කරමු. .

      Delete
  2. වහල් වැඩවසම්,ධනවාදී ලෙස තිබෙන්නේ එක් එළඹුමක්. මෙතන කතා කරන්නෙ ඒ එළඹුමනෙ. මෙතන මාක්ස් කියනව වහලුන් හා වහල්හිමියන් අතර ගැටුමින් වැඩවසම් සමාජය බිහිවෙනවා.එතන රදලයන් හා ප්‍රවේණිදාසයන් ඉන්නවා.මේ දෙගොල්ල අතර ගැටුමෙන් ධනපති යුගය ඇතිවෙනවා ආදී වශයෙන් සමාජ පරිණාමයක්.
    මේ විදියෙ තත්වයක් කිසිම මානව සමාජයක තිබුනෙ නැහැ.
    ගෝත්‍රයක් තව ගෝත්‍රයක් යටත් කර ගත්තහම පරාජිත ගෝත්‍රිකයො නිකම්ම වහල්ලු වෙනව. ඊට පස්සෙ ඔවුන් කාලයත් සමඟ ජයග්‍රාකයන්ට එකතුවෙනව. ඒ මිසක් මේ දෙගොල්ල අතර ගැටුමින් ඒ සමාජය වෙනස් වෙන්නෙ නැහැ.
    රෝම සමාජය හා අප්‍රිකානු ගෝත්‍ර අතර ගැටුම් අධ්‍යනය කරන්න.වහල් යුගයෙන්පසු වැඩවසම් යුගයක් ආව කියන එක වැරදියි. හැබැයි ඔය ලක්ෂන අඩු වැඩි වශයෙන් හැම සමාජයකම තිබුනා

    මාක්ස් නිෂ්පාදන මාර්ග ගැන කියනව. ඒක වැරදියි.සමාජයක් වෙනස් වෙන්නේ නිෂ්පාදන ක්‍රමවේද වෙනස් වන විට.මේ ක්‍රමවේදයත් එක්ක තියෙනව ක්‍රියාවලියක්. ඒ ක්‍රියාවලියෙ විවිධ භූමිකා තිබෙනව.මේ භූමිකා වලට්ය පුද්ගලයන් ආදේශ වෙනව. වෙන්නෙ ඒකයි.

    දඩයම අරමුණු කරගත් නිෂ්පාදන ක්‍රමවේදයක් මත දුවන සමාජයේ ඒ ඒ භූමිකා ත්බුනා.ඊට පස්සෙ කෘෂිකාර්මික නිෂ්පාදන ඊටත් පස්සෙ කාර්මික නිෂ්පාදන අරමුණු කරගත් ක්‍රමවේද තිබුනා.වෙළදාම කවදත් තිබුනා.එතනත් කෙරුනෙ නිෂ්පාදනයක්.

    ඉදිරියෙදි ඇත්තටම ඇතිවෙන අර්බුදය මේකයි. නිෂ්පාදන ක්‍රමවේද වෙනස්වී එම ක්‍රියාවලියෙන් මිනිස් රිප්ලේස් වීම.මාක්ස් කියූ ලේ මධ්‍යම පන්තිය හැකිලීමක් නොවේ කම්කරු පන්තිය හැකිලීමක් ඉදිරියෙදි වෙන්නෙ

    ReplyDelete
    Replies
    1. තරහ වෙන්න එපා ඔබ මෙතන වැරදි තැන් කීපයක් තියෙනවා. මාක්ස් කිවේ නැහැ
      වහලුන් හා වහල්හිමියන් අතර ගැටුමින් වැඩවසම් සමාජය බිහිවෙනවා කියල. රෝම අධිරාජ්‍ය කඩ වැටුනේ තව වහලුන් හොයා යාම නිසා. මගේ ප්‍රාග්ධනය වෙළුම 1 භාණ්ඩ හුවමාරුව පිලිබඳ ලිපියේ වහලුන් - මුදල් වශයෙන් භාවිතා මය අගයක් ගත බව කියල තියෙනවා මාක්ස්ට අනුව.
      "ගෝත්‍රයක් තව ගෝත්‍රයක් යටත් කර ගත්තහම පරාජිත ගෝත්‍රිකයො නිකම්ම වහල්ලු වෙනව" - මේක තවමත් අප්‍රිකාවේ වෙනවා. මේක ලෝක සමාජය වෙනස් වීමට ගලපන්න බැහැ .
      හැබැයි ඔය ලක්ෂන අඩු වැඩි වශයෙන් හැම සමාජයකම තිබුනා - මෙතන ඔබ හරි. මන් අඩුවදිය හදන්නම්. වහල් යුගයේ ලක්ෂණ වැඩ වසම් යුගයේ තිබෙනවා. වැඩවසම් යුගයේ ලක්ෂණ ධනවාදී යුගයේ තිබෙනවා. මාක්ස් ඒකත් කිව. එක අපට පෙනෙන දෙයක්. ධනවාදී යුගයේ ලක්ෂණ කොමියුනිස්ට් වැඩි යුගයේ තිබෙනවා. මේ ධනවාදී කලේ පාකිස්තානේ තවම වහල්ලු වගේ බන්ධිත ගොවියෝ ඉන්නවා. bond labour.
      ඔබේ ඉතුරු ටිකට මම උත්තර දෙන්නේ නැහැ දැන්. ප්‍රාග්ධනය විශ්ලේෂණය කරගෙන යනකොට ඒවාට උත්තර දෙන්නම්. දැන් පැන්නොත් වැඩේ බකල් වෙනවා.
      මෙන්න මේ පහල තියෙන යොමුවට යන්න ඉතිහාසයේ අවධීන් ගැන.

      http://en.wikipedia.org/wiki/Marx's_theory_of_history

      Delete
  3. මාක්ස් ධනය එක් රැස් වීමෙන් සිදුවන අනතුර දකිනව. ඒක හොඳයි. නමුත් මාක්ස් හිතපු සිස්ටම් එක අවුල්.මිනිසාට තිබෙන්නෙ ආර්ථික ඉතිහාසයක්.සංස්කෘතිය අතුළු සියල්ල තීරණය වෙන්නෙ ආර්ථික ක්‍රම මත.
    නමුත් ඒක එහෙම නොවෙයි.මිනිසා ස්වාභාවයෙන්ම ආත්මාර්ථකාමීයි.ඔහු ස්වාභාවයෙන්ම අනෙකා මත බලය පතුරුවනවා. මේ බලය පැතිරවීමේ ව්‍යායාමයේදී මුලින් බලහත්කාරය යොදාගත්තත් ඉන් පසු ඊට වඩා කාර්යක්ෂ්ම ක්‍රම භාවිතා කරනවා.තමන්ට තනිවම දඩයමක් කරගන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නෑ. ඒත් අනුන්ගේ උදවු අවශ්‍යයි.
    මෙහිදී ඔහු ක්‍රම කිහිපයකට බලය තහවුරු කර ගන්නවා. එකක් තමයි බාහු බලය.

    1 -වරෙවු මාත් එක්ක දඩයමේ. බෑ කිව්වොත් කන පලනව
    2- දෙවිවරු ( අධිසොබාවික දේවල් ) මා සමඟයි.මට සහාය නොදුන්නොත් උඹැලට මෙලොව පරලොව කේස්
    3- මම ලෙඩට බේත් දන්නවා,අනතුරුවලින් ගැලවෙන හැටි දන්නවා,අලුත් දඩබිම් දන්නවා.මා එක්ක සෙට් උනොත් උඹැලගෙ කල්ල මරේ

    ඔන්න ඔය විදියට තමන්ගෙ බලය පතුරවනව. මෙහිදී බලය පතුරුවන්න එහෙම දක්ෂ එකාට හොඳ කෑම,හොඳ ගෑනු ,කල්ලියෙ ගරු සත්කාර ලැබෙනව .ඌ ෆුල් ආතල් එකේ

    මේ සරල ක්‍රමවේදය වෙනස් වුනහම ඔය ක්‍රමවලටම බලය පතුරුවන්න දක්SHඅ වන අය ඉඩම් වල හිමිකම් ලබා ගන්නවා. හැබැයි මෙතනදි අර බොරු ටික ආයෙ දාන්න වෙනව.හරියට බොරුව දාපු එවුන් සදාකාලිකව සැප විදිනව.උන්ගෙන් එකෙක් රජා වෙනව.රජයි රදලයයි අතර ගැටුම ඉස්සරහට යනව. නිතරම ධනය බලයට පිටුපසින්. බලවතුන්ට ධනය සෙවීමයි ප්‍රධානම අරමුණ. දිශ ගවේශකයො ලෝකය වටේ ගියෙත් ඒකටයි

    ආයෙත් නිෂ්පාදන ක්‍රමවේද වෙනස් වෙනව.මෙතනදි මේ ක්‍රමවේද වෙනස් වුනේම බලය පැතිරවීමේ උපක්‍රම වෙනස් වූ නිසයි.මුල්ම අවස්ථාවෙ ධනවතුන් වුනෙත් රදලයන්මයි.කාර්මීකරනය වුනා කියල දුප්පතුන්ට ධනවත් වෙන්න ළැබුනෙ නැහැ.
    ඒ තත්වය උදා වුනේ චින්තන විප්ලවයක් එක්කයි.පල්ලිය බිදවැටීමෙන් පසු රජවරුන් හා රදලයන් වෙනේ දේව කැමැත්තෙන්ය යන මතය බිද වැටුනා.මානවවාදය ලෙස හැදින්වෙන්නේ එයයි

    ReplyDelete
    Replies
    1. මෙතනදීත් මම ඉස්සර වෙන්න කැමති නැහැ මොකද ඉදිරියේදී ලියන්න හිත හිටින දේ නිසා. නමුත් මෙන්න මේ ටික "ගෙන් එකෙක් රජා වෙනව.රජයි රදලයයි අතර ගැටුම ඉස්සරහට යනව. නිතරම ධනය බලයට පිටුපසින්"" යක කියන දේ ගැන. මාක්ස් කිව විධිහ හරි මෙහෙමයි. ධනවාදී ක්‍රමය දියුණු වෙනකොට නිදහස් ශ්‍රමය් අවශ්‍ය වෙනවා. මම ධනපතියෙක් හැටියට මට වවිවුර්ත වෙළඳ පොලේ කම්කරු හෝ වෙන ශ්‍රමය මිලදී ගන්න ඕනේ. එකට්බැඳි තිබෙන්න බ. මේ ගොවියා අර රදලයාට අයිතියි. මේ කම්කරුවා අර මුහන්දිරම්ගේ. ඒවා බහ. ප්‍රවේනි දාසයෝ බහ. ඒ නිසා ධනපතීන් රදලයන්ව පෙරලලා දානවා. ධනපති විප්ලවයකින්. මේක ලංකාවේ වුණා . රදලවාදය බිඳ වැටෙමින් ධනපති ක්‍රමය ඉදිරියට ආව . ඉන්දිය්වෙත් උනා. නිෂ්පාදන ක්‍රමවේද බලය පැතිරවීම මත වෙනස් වුනේ නැහැ. බලය යොදා ගත්තේ නිෂ්පාදන ක්‍රම සහ, ඒ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය හා ශක්තිය (තෙල් හා ගෑස් වැනි ) සුර ගන්න. දැනුත් ඒක වෙනවා. උදාහරණ - රුසියාව, යුරෝපය හා ඇමෙරිකාව අතර ගැටුම

      Delete
  4. අන්තිමටම ඔබ කියපු දේවල් වලට මම සමාජ සකස් වීම පිළිබද මගෙ දැක්මෙන් පිළිතුරු දෙනව

    ස්වාභාවික මානව සමාජය කුඩා එකක්.එතන එකිනෙකා හදුනනවා.ලොකු පරස්පරයන් නැහැ.හැමෝම සංචාරකයන්.
    ආරක්ෂාව හා දඩයම් පහසුව නිසා එකට හිටියත් කන්ඩායමෙන් ඉවත් වෙන්නත් බාධාවක් නෑ. එවැනි දේ අප ආගමික සාහිත්‍යයෙ එහෙම දකිනවනෙ.නමුත් මේ කුඩා කණ්ඩායම මහා සමාජයක් බවට පත්වෙන විට කණ්ඩායම් අතර සහසම්බන්ධය වෙනුවට සිරස් පිරමිඩයක් ගොඩ නැගෙනව. අන්න එතන අර්බුදයක් තිබෙනව.ප්‍රයත්නය විය යුත්තේ මේ සිරස තිරසක් බවට පත් කිරීමයි.

    ධනවාදීන් ,මාක්ස්වාදීන් ,රැකියා ගෝත්‍රිකයො හැමෝම පිරමිඩවාදීන්. පාලකයන් බහුපක්ෂ මැතිවරන වලින් තොරානොගැනීමත් නිර්ධන පංති ආඝ්නාදාය්කත්වය හා ප්‍රතිවිප්ලවවාදීන් මර්ධනය අනුමත කරන නිසාත් මාක්ස්වාදීන් යනු අනිවාර්යයෙන්ම පිරමිඩවාදීන්.
    අප දැනුම ලබා ගැනීම තුලින් මේ පිරමිඩවාදය පරාජය කළ යුතුයි.නිෂ්පාදන ක්‍රමවේද වෙනස්වීම් ගැන අධ්‍යනය කළ යුතුයි.අවධානෙන් සිටිය යුතුයි.

    ප්‍රතිවිප්ලවාදීන් මර්ධනය යනුවෙන් අන්‍ය මත මර්ධනය කිරීම නම් සියල්ලටම පෙර හෙළා දැකිය යුතුයි. නැත්නම් බිහිවෙන්නේ චීන සෝවියට් පන්නයේ සත්තු වත්තක්.නැත්නම් පක්ෂ නිළධාරීන් කියන ජේලර්ලගෙ හිරකූඩුවක්.

    ReplyDelete
    Replies
    1. මේකට විරුද්ධත්වයක් නැහැ. මේක හොඳ අඩිතාලමක්. ප්‍රමේයක් වශයෙන් දියුණු කරන්න හොඳයි.

      Delete
  5. මාක්ස්ලගෙ හීන සැබෑ නොවෙන්නෙ ඔවුන් හීන දැකපු මූලික පදනම වැරදි නිසා. රාජාන්ඩුවකට නම් කොමියුනිස්ට් මැරයන්ගෙ තනි පක්ෂ ආණ්ඩුව හොඳ විකල්පයක් තමයි.ඒත් බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයට?

    මිනිසුන්ගෙ හොඳ නරක ඔවුන්ගෙ පරිසරය ,චින්තන රටාව වගෙ දේවල් මත රදා පවතිනවා.දැනුම පුළුල් වෙන කොට යහපත් ලෙස දකින්න පුරුදු වෙනව. හැබැයි මිනිසාගෙ මූලික ආත්මාර්ථකාමීත්වය ඒ විදියමයි.ඊට උඩිනුයි ඔය ඊනියා යහපත සායම් ගාල තිබෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. "රාජාන්ඩුවකට නම් කොමියුනිස්ට් මැරයන්ගෙ තනි පක්ෂ ආණ්ඩුව හොඳ විකල්පයක් තමයි" - ඔබ හුඟක් වැරදී මතවල ඉන්න බව පේනවා. මම මුලින් කිව වගේ ස්ටාලින්ගේ තනි පක්ෂ රාජ්‍ය ධනවාදයට මම විරුද්ධයි. ඒකෙ විවාදයක් නැහැ. නමුත් දැන් පවතින ධනවාදී රටවල් තියෙනවා වගේම එකෙත් සමාජවාදී කොමියුනිස්ට් වාදී ලක්ෂණ තිබ්බ. - අනික ලෙනින් ආණ්ඩුව පිහිටුවනකොට පක්ෂ කීපයක් ආණ්ඩුවේ හිටිය. මේක පස්සේ වෙනස් වුන. මගේ අනිත් පිටුවේ සමාජවාදී සමාජ පාලනය මොන වගේද කියන එකේ ග්‍රාමීය සෝවියට් සභා වල බහුතන්ත්‍ර ප්‍රජාතන්ත්‍රවාදය තිබිය යුතුයි කියල මම පිලිගන්නවා.

      Delete
  6. ඔබගේ සියළු පිළිතුරු වලට පොදුවේ යළි අදහස් දැක්වීමක් කරන්නම්.
    මම ඩාවින්ගෙ පරිණාමවාදය හදාරා තිබෙනව.එම ප්‍රවාදය සාර්ථක බවත් පිළිගන්නවා.සීලකාන්ත් වගෙ සමහර විශේෂයන් පරිණාමය වී නැහැ. එසේම ප්‍රාථමික ජීවීනුත් පරිණාමය නොවන අවස්ථා තිබෙනව.කිසියම් ඉලක්කයක් දක්වා පරිණාමය වෙනවා කියන එක නම් පිළිගන්න බැහැ. කවුද එහෙම ඉලක්ක දෙන්නෙ.ඩාවින් ජීවත්වූ ආගමික පසුබිම ඔහුට ඒ අදහස් දෙන්න ඇති.පරිසරයට අනුව ජාන හැඩගැසීම් තිබෙනවා නමුත් වෙන්නෙ ඉලක්ක ගටහ් සංවර්ධනයක් නොවෙයි වෙනස්වීමක්.අලුත්වීමකුත් නොවෙයි වෙනස් වීමක්.

    විශ්වය ඇතිවූ හැටි ගැන තිබෙන ප්‍රවාදත් මා කියවා තිබෙනවා.නමුත් ඒ ගැන නම් කතා කරන්න මට දැනුම මදි.මම අනුමාන කරන විදියට විශ්වය නිර්මාණය වුනේ ද්‍රව්‍ය සංයෝජනයෙන්.
    ඉලෙක්ට්‍රෝන සංයෝජනයෙන් මූලද්‍රව්‍ය සෑදෙනවා.මෙය ක්‍රියාවලියක් .මූලද්‍රව්‍ය එක්වී සංයෝග හැදෙනවා. සංයෝගත් එක්වී සංකීර්න ද්‍රව්‍ය සෑදෙනවා.මේ විදියෙ සංයෝජනයේම ප්‍රතිඵලයක් තා ජීවය කියන්නෙත්.සිතීම කියන්නෙත් මේ සංයෝජනයේ ප්‍රතිඵලයක්.අව්වට අපේ හෙවනැල්ල වැටෙනවා වගෙ දෙයක්.සංයෝජනය තමයි විශ්වයේ සිදුවන පරම දෙය.මෙය අනවරතව සිදුවෙනවා.මේ සංයෝජනයේදී කිස්යම් අවස්ථාවක කොටසක් ඉවත්ව ස්වාධීන වෙනවා.මෙය සිදුවන්නේ සංයෝජනයට හේතු වූ අසමාතාව අවම වීමෙන්.

    රදලය කියන මිනිහ ට සුවිශේෂී බවක් ලැබිල ඒ හරහා ඔහුගෙ ශ්ක්‍රාණු ශුද්ධ වෙනව. බන්ඩගෙ ශුක්‍රානුවලින් බන්ඩගෙ ගෑනි දේශපාලනීකරාන්ය වුනා වගෙ දෙයක්.රදලය ට හිමිවන මේ සුවිශේෂීබව එක්ක ඌට සම්පත් භුක්තිවිදින්න ලොකු ආව්සරයක් තිබෙනව.රදලය කන්ඩ බොන්ඩ දීල මිනිසුන්ගෙ නිකම් වැඩ ගන්නව. රදලයගෙ ශුද්ධබව ගැන මිත්‍යා විශ්වාස සමාජයෙ තිබෙනව.ඒ සමාජයෙ සම්පත් අයිති රදලයට.
    නිමි භාන්ඩ නිෂ්පාදනය ආවට පස්සෙ රදලය මේ නිමිභාන්ඩත් අයිතිකරගන්නව තමන්ගෙ දාසයො ඒවගෙ වැඩට දානව.රදලයගෙ විශිෂ්ටත්වය ප්‍රශ්න කෙරෙන්නෙ එතනදි.ඒ ප්‍රශ්න කිරීම හරහා තමයි සාමාන්ය මිනිස්සු සම්පත් හිමිකර ගන්නෙ.මෙහිදී ධනවතුන් වීමේ වරම සාමාන්ය මිනිසුන්ටත් ලැබෙනවා.

    මගෙ දැක්ම තුල මම මේ අයට ධනවතුන් නොකියා පොරවල් කියල කියන්නම්. මෙච්චර කල් හිටියෙ ආගමික පොරවල්, රදල පොරවල්. හැබයි ආගම සහ රද්ලකම ප්‍රශ්න කලාට පස්සෙ සල්ලිකාර පොරවල්,උගත් පොරවල් බිහිවෙනව. ඊටත් අමතරව නළුනිළි පොරවල්,ක්‍රාඩක පොරවල් ,යූනියන් පොරවල් වගෙ නහුතයක් පොරවල් අද ඉන්නව.
    එදාට වඩා අද වෙනස අධිභෞතික විශ්වාසයන් ප්‍රශ්න කිරීම තුල ක්ශේත්‍ර ගනනාවකම අයට පොරවල් වීමේ හැකියාව වැඩිවීමයි. එදා උගතෙකුට පොර වෙන්න බැරිවුනා. මහ විස්කම් කල ඉන්ජිනේරුවො හිටිය. ඒ අයගෙ දක්ෂතාව නිසා නිර්මාන කලාට පස්සෙ රජා ඌව මැරුව.
    රජා රදලය කියන මිත්‍යාව බිද වැටීමයි සිදුවූ වෙනස. පොරවල් එහෙමමයි.

    ReplyDelete
    Replies
    1. "කිසියම් ඉලක්කයක් දක්වා පරිණාමය වෙනවා කියන එක නම් පිළිගන්න බැහැ. කවුද එහෙම ඉලක්ක දෙන්නෙ.ඩාවින් ජීවත්වූ ආගමික පසුබිම ඔහුට ඒ අදහස් දෙන්න ඇති." යකා මට හොයා ගන්න බැහැ මම කොතනද මෙහෙම කියල තියෙන්නේ කියල. සත්ව පරිණාමය සිද්ධ වෙන්නේ ඒ ඒ තත්වයන්ට අනුකුලව , කොටින්ම කෑම හොයා ගන්න , මරන්න එන සතුන්ගෙන් බේරෙන්න වගේ දේට තම පරිණාමය ඇති වෙලා තියෙන්නේ සහ වෙන්නේ. උදාහරණයක් තම ගලපගොස් දුපත් වල පුංචි දුපතක් වන දෆ්නේ (Daphne ) වල ෆ්ලින්ච් කියන කුරුළු ජාතිය කෑම හොයා ගැනීම සඳහා ජාති 13 කට පරිණාමය වීම
      මෙන්න යොමුව : http://darwin200.christs.cam.ac.uk/pages/index.php?page_id=g7
      විශ්වය නිර්මාණය වුන හැටි මගේ අනිත් බ්ලොග් එකේ ඉංග්‍රීසියෙන් තියෙනවා. මම එක සිංහලෙනුත් ලියනවා ළඟදීම. මෙතන වැදගත් දේ මේක මුලද්‍රව්‍ය දෙකක් ගැටී අලුත් මුලද්‍රව්‍යයක් බිහි වීම. මේක සංයෝජනය නෙමේ. එතන තියෙන ධන ලකුණ සංයෝජනය නෙමේ. දෙකක් ගැටීමෙන් තෙවෙකක් ඇතිවීම තමා වෙන්නේ. සින්තෙසිස් එක. ඔබගේ මේ අන්තිම ටිකනම් හරි සරල ඉදිරිපත් කරන දැක්මක්. මාක්ස්ගේ ප්‍රග්ධනයේ වඩා හොඳින් ඕක විස්තර කරනවා.
      "නිමි භාන්ඩ නිෂ්පාදනය ආවට පස්සෙ රදලය මේ නිමිභාන්ඩත් අයිතිකරගන්නව තමන්ගෙ දාසයො ඒවගෙ වැඩට දානව.රදලයගෙ විශිෂ්ටත්වය ප්‍රශ්න කෙරෙන්නෙ එතනදි.ඒ ප්‍රශ්න කිරීම හරහා තමයි සාමාන්ය මිනිස්සු සම්පත් හිමිකර ගන්නෙ" මේ ජෝටස සම්පුර්ණයෙන්ම එකඟ වෙන්න බැරි කතාවක්. මෙච්චර සරල ආකාරයෙන් මේක සිද්ධ වෙන්නේ නැහැ. රදලය සමහර විට ධනපතියෝ බවටත් පත්වෙනවා. වෙළෙන්දෝ ධනපතියෝ බවට පත් වෙනෙවා. ඒ ඔක්කොම වෙන්නේ ලාභය නිසා.

      Delete
  7. මාක්ස්වාදය නිසා සිදුවූ එක් දෙයක් තමයි පරණ පොරවල්වලට ඇඩ්‍රස් නැතිවීම. ඒක හොඳයි.මොකද රජාල රදලයල කියන එකාල සුවිශේෂීත්වය දිගටම ගෙන යනවනෙ. නමුත් දැන් පොරවල් වලට එච්චර ආයුෂ නෑ.
    රදලයගෙ රජාගෙ ශ්‍රේෂ්ටත්වයක් නෑ කියන එකත් මිනිසාගේ අනගි සොයාගැනීමක්.මේක යුග බෙදීමක් නෑ. අමුද්‍රව්‍ය සොයාගැනීම හා වෙළ දාම ඉක්මවා නිමිභාන්ඩ සෑදීම වැනිම සොයා ගැනීමක්

    ReplyDelete
    Replies
    1. මේකත් පිලි ගන්න බැහැ. මාක්ස්වාදය නිසා නෙමේ රදලයට ඇඩ්රස් නැති වුන්බේ. වෙලන්දමේ දියුණුව හා ධනපති විප්ලවයන් නිසා.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .