Sunday, 31 May 2020

ශ්‍රී ලංකාවේ නොව එංගලන්තයේ ශ්‍රී ලාංකිකයන් මිය යන්නේ ඇයි -විටමින් D ප්‍රශ්නය



මේ ලිපිය ලිවීමට අදහස දුන්නේ මා සමග නිතරම කෝවිඩ්  19 පැතිරීම පිලිබඳ සාකච්ඡා කරන මිතුරෙකි.  ඒ අපි විටමින් D කොරෝනාව නවත්වන්නේ කෙසේද යන්න ගැන කතා කළ බැවිනි. මේ අදහස 
  ලිවීමට මත්තෙන්  මගේ පියා ගැන යමක් ලිවිය යුතු යයි සිතමි. 

අද දිනට ඔහු අප අතහැර ගොස් හරියටම වසර විසි දෙකකි. ඔහු අපෙන් වෙන්වීම ගැන කවියක් හෝ ගීතයක්  ලියා සැමරීම  මගේ ද සිරිතකි. ඉන් කිසියම් සහනයක් සිතට ලැබෙන්නේ යයි සිතමි. මට අද  සිතුනේ ඔහු ගේ අසනීපයට හේතුව ලිවීම  වඩා වැදගත් කියාය. කිසිදා නොබිව් අයෙකු වූ ඔහු මියගියේ බහුලව මත්පැන් බොන අයට වැළඳෙන සිරෝසිස් නමැති රෝගයෙන් සිරුරේ ප්‍රතිශක්තිය දුබලව සිටියදී , සෙම් ප්‍රතිශ්‍යාවෙන් නිවුමෝනියාට හැරුණු  රෝගියෙකු රෝහලේ ඊළඟ ඇඳට දැමීම නිසා එම රෝගය වැළඳීමෙනි. බොහෝ වෛද්‍යවරුන් ඔහු බීමත් කම නිසා  නිසා සිරෝසිස් සැදුනා යයි සිතුවත් පසුව ඔහුට තිබුනේ හිමොක්රෝමොටසිස්   (hemochromatosis) නමැති රෝගය බව  හඳුනා ගත්හ.

මෙම රෝගය පාරම්පරිකව ජාන විකෘතියක් මගින් සෑදෙන බවට කියුවත් සැබෑව සම්බන්ධවන්නේ පරිණාමවාදයටය.  අයන් හෙවත් යකඩ සිරුරේ වැඩිවීමෙන් ඒවා අක්මාව ඇතුළු වෙනත් ඉන්ද්‍රියයන් වල තැන්පත් වීමෙන් එම ඉන්ද්‍රියන් අක්‍රිය වී තරුණ කාලයේම හෘදයාබාදයක් වැනි ලෙඩකින් මියයෑමට මෙම රෝගය හේතු විය හැකිය. සිරුරේ වැඩිපුර යකඩ අවශෝෂණය කරගන්නේ ඇයි? අපට අවශ්‍ය ශක්තිය නිපදවීමට ආහාර සෛල තුල දහනය  වන බවත්  ඒ සඳහා ඔක්සිජන් අවශ්‍ය බවත් දහවෙනි ශ්‍රේණියේ සිට ඔබ දන්නවා ඇත .(respiration) මෙහිදී ඔක්සිජන් කාබන්ඩයොක්සයිඩ් වලට පරිවර්තනය  කෙරේ, මේ ඔක්සිජන් ගෙන යන්නේ රුධිරයේ රතු රුධිරානු වල ඇති හිමොග්ලොබින් වලින් බවද අපට උගන්වා තිබේ. මේ හිමොග්ලොබින් (hemoglobin mass (Hbmass))  නිපදවීමට යකඩ අවශ්‍යය.  


දැන් ටිබෙටය හෝ වෙනත් එවැනි කඳුකරයක ජිවත්වන කෙනෙකු ගැන සිතන්න. ඔවුන්ට වාතාශ්‍රයේ ඔක්සිජන් මද කම නිසා වඩා වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් සිරුර තුලට ආශ්වාස කිරීමට සිදුවේ.   එසේම එම වැඩි ඔක්සිජන් ප්‍රමාණය සෛල වලට ගෙනා යා යුතුවේ.  සොබා දහම පිලිතුරු දුන්නේ සිරුරට වැඩි අයන් ප්‍රමාණයක් අවශෝෂනය කර ගැනීමට ජානයක්  විකෘති කර දීමෙනි. මෙය වරදක් නෙමේ. සොබා දහම හැසිරෙන්නේ එලෙසය. 

දැන් මෙවැනි ජානයක් ඇති  තැනැත්තෙකු තම ජිවිතයේ පශ්චිත සමයේ වැඩි කාලය මුහුද අසබඩ හොඳින් වාතාශ්‍රය තිබෙන  තැනක ජිවත් වෙනවා යයි සිතන්න. අර අවශෝෂණය කර ගන්නා වැඩිපුර අයන් (යකඩ ප්‍රමාණ අනවශ්‍ය නිසා රුධිරය එම අයන් (residue ) ශරීරයේ නොයෙක් තැන්වල  ගබඩා කිරීමට තැත්  කරයි. නොබීවත් අක්මාවේ යකඩ තැන්පත්වී  සිරෝසිස් හැදෙන්නේ එහමය.

දැන් ශ්‍රී ලාංකිකයන්  27 ක් එංගලන්තයේ මියගොස් නමයක් පමණක් ලංකාවේ මිය ගියේ කෙසේද? බ්‍රිතාන්‍යයේ ආසියාතිකයන් වැඩි හරියක් මිය යන්නේ ඇයි ?

මීට  වසර දෙක තුනකට පමණ පෙර මට නිතරම වාගේ  සෙම් ප්‍රතිශ්‍යාව සෑදීම හා වෙනත් සුළු අමාරු තිබුණි. ශ්‍රී ලංකාවේ උපන් බ්‍රිතාන්‍ය ද්‍රවිඩ ජාතික අපේ  වෛද්‍යයවරයා වන ස්ටනිස්ලාවුස් මහතා   මට විටමින් ඩී  (vitamin D3) විශාල ප්‍රමාණයක් ගන්නට නියම කළේය. ඒ මගේ ප්‍රතිශක්තිය වැඩි කිරීමටය. ඔහු එය මට කරුණාවෙන් පැහැදිලි කර දුන්නේය.  (එසේම අවුරුදු දෙකකට වරක් ඔහු මගේ සිරුරේ අයන් ප්‍රමාණයද  පරික්ෂාවට ලක්කර එහි අගය වැඩිවී ඇත්දැයි සොයයි.)

විටමින් ඩී වලින් සිරුරේ ප්‍රතිශක්තිය වැඩි කිරීමේ ලා ඉමහත් කාර්යභාරයක් කරන බව ඔබට ඔබේ වෛද්‍යවරයාගෙන් දැනගත හැකිය. නැත්නම් ඒ පිළිබඳ අන්තර්ජාලයෙන් සොයා ගත හැකිය. මහාචාර්ය නිකොලා ලොව් ඇතුළු පිරිස 2017 දී ලියු මේ ලිපියේ බ්‍රිතාන්‍යයේ ආසියාතිකයන් ගේ  විටමින් D මදකමත් එනිසා ඔවුන්  ඉතා ඉක්මනින් රෝග වලට ගොදුරු වන ආකාරයත් ගැන පර්යේෂණයක් ගැන   විස්තර කර තිබේ.

අපේ ඇසේ කෝනියා  (cornea ) නම්ඉදිරි කොටසේ  එපිතෙලියම් ( corneal epithelium) නමැති පටකයක්  (tissue ) තිබේ. මේ කොටසට  (ඇසෙන් ) හිරුගේ අල්ට්‍රාවයලට් රශ්මි කදම්බයන්ගෙන් (UV -B ) විටමින් D3 සංශ්ලේෂණය කිරීමට හැකිය.  ශීත  කාලයේදී සිරුර වහගෙන  සිටින නිසා හිරුගෙන් ලැබෙන දුබල  රශ්මියෙන්  විටමිනය වැඩිපුර නිපදවෙන්නේ  ඇස මාර්ගයෙනි. එනිසා කොකේසියානු හා සුදු මිනිසුන්ගේ ඇස් ඒ  සඳහා පරිණාමය වී ඇත. (අර යකඩ ප්‍රශ්නයේදී මෙන් ) .

සමකය අසල ජීවත්වෙන ශ්‍රී ලාංකිකයන් ඇතුළු ආසියාතිකයන් ගේ  ඇස මගින් විටමින් D නිපදවීම අඩුය. ඒ එම රටවල අවුරුද්ද පුරා  හිරු රැස්  ඇති අතර ඒවායේ මිනිසුන් ට ලෝගු ඇඳගෙන සිටීමට අවශ්‍ය නැති නිසාය. එසේම සමේ මෙලනින් ප්‍රමාණය වැඩි නම් විටමින් D සන්ශ්ලේෂණයට හිරු රැස් උකහා ගැනීමද අඩු විය හැකිය. 

දැන් සුද්දන් එංගලන්තයේ යන්තම් හිරු පොදක් වැටෙන විට පාක් වලට, මුහුදු වෙරළට  දුවන්නේ ඇයිද කියා ඔබට වැටහිය යුතුය.  සෝවියට් කෙල්ලන් හා කාන්තාවන් යන්තම්  මැයි මාසයේදී හිරු එළිය හොඳින් වැටෙන්නට එන කාලයේ උඩ ඇඳුම ගලවා  බිකිනි පිටින් බැල්කනි වල සිටින්නේ ඇයිද යන්න ඔබට දැන් වැටහිය යුතුය. එසේම ජර්මනිය , ස්විඩනය  වැඩි වශයෙන්ද සෝවියට් දේශයේ අඩුවෙන් හෝ හොරෙන් හෝ නිත්‍යානුකුලව  නිරුවතින් , බිකිනි ඇඳ  හිරු රැස්  ස්නානයට යන්නේ ඇයිද යන්න වැටහිය යුතුය. ඒ නිරුවත පෙන්වීමට නොව ඊළඟ ශීත සමයට  පෙර ප්‍රතිශක්තිය වඩවා ගැනීමටය. (දැන් ඉන්න ගැහැනුන් දුඹුරු පාට වීමට)

මගේ දියණියද අවුරුද්දකට කලින් විටමින් D සප්ල්මන්ට් එකක් ගත්තේ ස්ටනිස්ලාවූ මහතා නියම කිරීමෙනි. මේ කොවිඩ් 19 උවදුර පටන් ගත් වහාම මම අනිකුත් විටමින් වර්ග කෙසේ වෙතත් විටමින් D3 සප්ල්මන්ට් එකක් දිනපතා ගත්තෙමි. (අනිකුත් ඒවාද ගත්තෙමි) මේ ගැන කිසිවෙකුට නොකීවේ බොහෝ අය මේ ගැන දන්නේ යයි සිතාය.

 එහෙත් මගේ යහළු චන්දිම ධීරසේකර පැවසුවේ ඔහුට ශ්‍රී ලංකාවේ මිතුරු වෛද්‍යවරයෙකු පෙරේදා පවසන තුරුම ඔහු එය නොදැන සිටි බවයි. ඇස ගැන වැඩිපුර දැන නොසිටියත් අපටත් එංගලන්තයේදී මෙම විටමිනය අවශ්‍ය බව වෛද්‍ය උපදෙසින් සෝවියට් දේශයේදීම මම දැන  සිටියෙමි. ආක්ටික් පෙදෙසේ ජිවත්වන මිනිසුන්ට සෝවියට් රජය විටමින් D දී තිබුණි . ඒ සම්ප්‍රදායික ආහාර නොගන්න රුසියානුවන්ටය . සම්ප්‍රදායික ආහාර ගන්නා  අයට එම ප්‍රශ්නය තිබුනේ නැත.

එනිසා විටමින් D ඇතුළු විටමින්  ගැනීම සෙම් ප්‍රතිශ්‍යාව වැනි රෝග වැළැක්වීමට  හොඳ විය හැකි අතර කෝවිඩ් 19 සැදීමට කලින් ප්‍රතිශක්තිය වඩවා ගැනීමේදී හොඳ විය හැකිය.

එනිසා මගේ අදහස නම් මේ විටමින් D ඌනතාවය නිසා ප්‍රතිශක්තිය අඩු වීමද මරණ වලට හේතුවක් විය හැකි බවයි.

(මට මේ ගැන කෙළින්ම කීමට නොහැක්කේ මා වෛද්‍යවරයෙකු නොවන බැවිනි )

මූලාශ්‍ර :






15 comments:

  1. කෝ මොකවත් ලියලා නැහැනි.

    ReplyDelete
  2. එච්චර හිතුවෙ නෑති, ඒත් වෑදගත් තොරතුරක්. තව දන්න දෙයක් තමා කෑල්සියම් ගන්නව නම්, ඒක අවශෝෂණය
    කරගන්නත් විටමින් අවශ‍ය බව.

    ReplyDelete
  3. Please read the news articles at the link below;

    https://www.ctvnews.ca/search-results/search-ctv-news-7.137?q=vitamin+d

    ReplyDelete
  4. මා ශ්‍රී ලංකාවේ කොළඹ වාසය කරද්දී මා හට හුස්ම ගැනීමේ අපහසුතා, ස්වසන අබාධ, ඇදුම වැනි රෝග තිබුනා. පසුව ස්විට්සර්ලන්තයට සංක්‍රමණය වී මාස තුනක් වගේ යනකොට ඒ සියලුම රෝග කිසිම බෙහෙතක් නැතිව සනීප උනා. වසර කිහිපයකට සැරයක් ලංකාවට පැමිණෙන විට නැවත එය සෑදෙනවා. ඒ නිසා මා නිගමනය කරේ ලංකාවේ කොළඹ නගරයේ අප හුස්ම ගන්නා වායුවේ අපිරිසිදු කම නිසා මට මෙම රෝග සැදුනු බවයි.

    කෙසේවෙතත් මාගේ පියා ඉපදුනේ හැදුනේ වැඩුනේ නුවරඑළියේ. වයස අවුරුදු 65 වගේ වෙනකොට ඔහුට හුස්ම ගැනීමේ අපහසුතා, සෙම් අසනීප ඇති උනා. ඉන්පසු අප ඔහුව කොළඹ නිවසේ නැවැත්තුවා. වසර ගණනාවක් දැන් කොළඹ ගෙදර ඉන්නේ. ඔහුට අර කලින් තිබ්බ හුස්ම ගැනීමේ අපහසුතා ආදිය නිකන්ම සුව උනා.

    ඒ නිසා මගේ මුල් නිගමනය බිඳ වැටෙනවා. මෙයට හේතුවක් ඔබට කිව හැකිද?

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නේ මෙතැන් ඇත්තේ වෙනත් දෙයක් කියා. නුවර එලිය මෙන්ම තේ වතු ආශ්‍රිත ප්‍රදේශයේ පොස්පරස් පාවිච්චිය වැඩියි අධි ක්‍රියාකාරී ගොවිතැන් ක්‍රම නිසා (intensive farming ) Dynamics of nitrifiers in soils of intensively vegetable cultivated areas in Sri Lanka කියල ලිපියක් තිබෙනවා. Authors: K. K. K. Nawarathna , W. S. Dandeniya, R. S. Dharmakeerthi, P. Weerasinghe මේ පැතිවල නයිට්‍රජන් ඩයෝක්සඩ් වැඩියි . එය මගින් ඇදුම වැනි අසාත්මිකතාවයන් ඇති කරනවා. හුස්ම ගැනීමේ අපහසුත්වයත් එකක්. මට මතකයි මගේ සොහොයුරි යට නුවර එලිය පැත්තේ වැවෙන කැරට් හෙම කන්න බැහැ ඇදුම වගේ අසාත්මිකතාවයක් එනවා. කොළඹ හෝ ස්විට්සර්ලන්තයේ මේ තත්වය ඇතැයි මා සිතන්නේ නැහැ. කොළඹ දී ඇදුම හැදෙන්නේ දූවිලි දරාගන්න බැරි අයට. ස්විට්සර්ලන්තයේ කෘෂිකාර්මික ප්‍රතිපත්ති ඕගනික් පැත්තට වැඩි බරක් දෙන නිසා මේ ප්‍රශ්නය නැතුව ඇති.

      Delete
    2. https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC4697766/

      Delete
    3. https://tar.sljol.info/articles/abstract/10.4038/tar.v30i3.8319/
      https://www.swissinfo.ch/eng/pa-22-_swiss-government-sets-out-new-greener-farming-policy/45556992

      Delete
    4. දූවිලි හා ඩීසල්/කාබන් අංශු නිසා ඇදුම හා කැස්ස ඇතිවෙන අයට නම් අඹේවෙල පැත්තට ගියාම ඒක අඩු/නැතිවෙන එක දැකල තියනව

      Delete
    5. එහෙම වෙන්න පුළුවන් , අලුත් වාතය

      Delete
  5. හොඳ පැත්තක් පෙන්නුවේ! ස්තුතියි අජිත්!

    ReplyDelete
  6. මම අහල තියෙන්නෙ නුවරඑළිය පැත්තෙ ඇදුම(හතිය)රෝගය හැදීම වෙන පැතිවලට සාපේක්ෂව අඩුයි කියල

    ReplyDelete
    Replies
    1. මම හරියටම දන්නේ නැහැ. වෙන්න පුළුවන්.මම පිළිතුරු දුන්නේ එක අයෙකුට තිබෙන ප්‍රශ්නයක් ගන්න. ඇදුම කියන්නේ අසාත්මික තත්වයක් නේ (allergic ) . මගේ දුවට පුංචි කාලේ ඇදුමට ආවහම සාධක කිහිපයක් තියෙන්න පුළුවන් එකින් එක ඉවත් කරන්න කියල කිව්වා. dust mite කියල ක්ෂුද්‍ර ජීවින් වර්ගයක් ඉන්නවා. ඔවුන්ගෙන් හැදෙන්න පුළුවන්. ඒ එකක්. අපේ සොල්දරේ දූවිලි පිරිලා. ගෙදර කාපට් කරලා තිබ්බේ. දුවලගේ කාමරේ කාපට් අයින් කලා . කාමරේ ඉන්න කොට හොඳයි. ඊට පස්සේ මුළු ගෙදරම අයින් කරලා laminate flooring කළා . සොල්දරේ සම්පුර්ණයෙන්ම අස් කරලා අලුත් insulation එකක් දැම්මා . හොඳ වුනා .
      සමහර අයට උඩරට ගියහම (නුවර එලිය වගේ අඩුම හැදෙනවා. ) නමුත් කාබනික අංශු නිසා හැදෙන අයට (රථ වාහන දුම ) . ඒ වගේ පැතිවලට ගියහම හොඳයි.
      කොළඹ සිටි මගේ සොහොයුරික් දකුණු පළාතෙන් බැන්ද . සැමියාගේ නිවස පිටුපස වෙල් යායක් , ඇයට අඩුම හැදීම 75% පමණ අඩු වුනා.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .