Friday, 27 January 2017

කිරි අත්තා ගේ කාරය


ප්‍රියාන් ගේ අම්මා  ඔහු කුඩා කල කිරි අත්තා (මව ගේ පියා) සතුව තිබූ මෙරුන් පාටට හුරු රතු සහ කළු පැහැති කාරයක් ගැන විස්තර කළාය. එවකට වසර හය හතක ලාබාල දැරිවියකව සිටි ඇය, කාරයේ දොර අසල පා පුවරුවක් වැන්නක් ඇති බවත් එහි සිටගෙන මහා පාර  ඇති සීමාව දක්වා තාත්තා රථය පදවන විට නැගී යන බවත්  කීවාය. වරෙක ඒ දුටු තාත්තා ගේ  මාමා එනම් ඇගේ සීයා (ඇය ඔහුට කියන්නේ කොළඹ විධිහට සීයා කියාය.) ඇයට කෝටුවක් ගෙන තැලුවේය. ඒ ගැහැණු ළමයෙකු ලෙස හැසිරෙන විධිහ නොදන්නේ යයි කියමිනි. කෙළි දෙලෙන් විසූ පොඩිත්තියකව සිටි අම්මා  තම පියා  සමග  කාරයේ එල්ලී ප්‍රීතියෙන් සුරතලින් ගිය මිනිත්තුව එසේ අවසන් විය.


සමහර විට ප්‍රියාන් පරණ කාර් වලට ඇලුම් කළේද මේ කතාව  නිතර නිතර ඇසූ නිසා විය යුතුය. ඔහු සංචාරයට ගිය විදේශික නගර වලදී කුඩා කාර් පොඩිත්තක් සමරුවක් ලෙස මිලදී ගැනීම පුරුද්දක් විය.  ප්‍රියාන්  වෙසෙන නගරයේ වසරකට වතාවක් ගිම්හාන නිවාඩුවේදී විශාල රථ වාහන ප්‍රදර්ශනයක් පැවැත්වෙයි. පරණ කාර් , වෑන් , ලොරි, යුධ රථ මෙන්ම වාෂ්ප බලයෙන් දුවන ලද ට්‍රැක්ටර් මෙන්ම  ගල් රෝලවල් ද එහි ප්‍රදර්ශනයට තබා තිබේ.

ප්‍රියාන් ගේ  අළුත උපන් දියණිය බැලීමට අම්මා  පැමිණියේ ද මේ කාලයේමය. දරුවා බැලීමට බිරිඳගේ පැත්තේ නෑදෑයන්ද පැමිණි දවසක ප්‍රියාන් අම්මා  ද කැටුව පරණ රථ වාහන ප්‍රදර්ශනයට ගියේය. පාපන්දු පිට්ටනි කිහිපයකින් සමන්විත  භුමියේ ෆෝර්ඩ් වැනි කාර් එක පැත්තක්ද ඔස්ටින් හා බෙන්ස් ආදිය තව පැත්තකද  වශයෙන් මනරම් ලෙස පෙළ ගස්වා  තිබුණි.

රථ  අයිතිකරුවන් ඒ අසල කූඩාරම් තනාගෙන ඒවා තුලට වී තේ බිබී සංගීත රස විඳිමින් සිටියහ. තවත් පසෙක ළමුන් සහ වැඩිහිටියන් සඳහා මේලාවකි. නගර වැසියෝ බොහොමයක් දීප්තිමත්  හිරු එළියේ සතොසින් ඇවිදිමින් ප්‍රදර්ශනය නැරඹුහ. ඒ දුටු ප්‍රියාන් ට තාරාවෝ ඉගිළෙති නාට්‍යයේ "සෝබාව දේ " ගීතය මතකයට නැගුණි.

ප්‍රියාන් හා මව ඇවිදිමින් යන'තුර එක්තරා පරණ ෆෝර්ඩ්  කාරයක් අසල මව හිටිහැටියේ  නැවතී බලා සිටියාය.

"අපේ තාත්තා ගේ කාර් එක " අම්මා සෙමින් කීවාය. වාරු නැති වූවාක් මෙන් අම්මා තණ නිල්ලේ හිඳ ගත්තාය.

"කිරි අත්තා ගේ කාරෙක කොහෙද මෙහෙ. එයා ලංකාවෙනෙ" යි විහිළුවක් කරමින් ප්‍රියාන් ඈ  අසලින් ඈඳි  ගත්තේය.

"මං දන්නවා " අම්මා බිඳුණු හඬින් කීවාය. මව දෙස බැලූ  ප්‍රියාන් ට ඇගේ නෙත් තෙත් ව ඇති බව පෙනුනි. මවගේ සිත බිඳීම ගැන ඔහු ශෝක විය.

"මම විහිළුවට කිව්වේ " මව සැනසීමට මෙන් ඔහු පැවසීය. ඔවුන් දෙදෙනා මද වෙලාවක් කාරය දෙස බලා සිටියහ.

"අම්ම කවදාවත් වැඩිය කිරි අත්ත යි කිරි අම්මයි ගැන මුකුත් කියල නැහැ.  තාත්ත කිව්වෙත් නැහැ. " ප්‍රියාන් චෝදනා මුඛයෙන් පැවසීය.

"කියන්න මොනවාද තියෙන්නේ. මගේ අම්ම ගැන මමත් දැනගත්තේ වෙන කෙනෙක් ගෙන් කොට " මව සෙමින් පැවසුවාය.

"ඒ කිව්වේ" ඔහු ඇසීය.

"ඔයා හම්බවෙලා මාස හයක් විතර ඇති. අපි හිටිය ගෙදෙට්ට ආව අර ඉස්සර කාලේ ගැල්වල යනවා වගේ ගොන් දෙන්නෙක් බැඳපු ලොකු කරත්තයක්. ඒකෙ අවුරුද්දක් පුරාවට කන්න තරම හාල් මුට්ට,මුං, පිටි,  කුරහන් ආදී නොයෙකුත් දේ පුරවල තිබුන." අම්මා සෙමින් කීවාය.

"ඉතින්" ප්‍රියාන් තවත් හරි බැරි ගැසී වාඩි වූයේ අම්මා දිග කතාවකට  අර අඳින බව පෙනුණු හෙයිනි.

"මම එළියට ගියහම වයසක මනුස්සයෙක් මගේ දිහා බලාගෙන හිටිය. ඊට පස්සේ අඬන්න පටන් ගත්ත. මම ඇහුව මේ මොකද කියල. එතකොට ඔයාගේ තාත්තත් එළියට  ආව. අක්කල දෙන්න එළියෙ සෙල්ලම් කරනවා. දුවේ මේ ඔයාගේ ළමයිද කියල ඇහුවා. තාත්තාට ඒක ඇල්ලුවේ නැහැ. තමුසේ කවුද? කොහේ ඉඳලද ආවේ? කියල සැරෙන් ඇහුවා. දන්නවනේ තාත්තගේ හැටි." ඈ දිග හුස්මක් ගත්තාය. ඒ මියගිය තම පියා මතක් වීමෙන්ද සිද්ධිය මතක් වීමෙන්ද කියා ප්‍රියාන්ට සිතා ගත නොහැකි විය.

"තාත්තාට  ඉතින් සැක  හිතුණොත් එහෙම තමා" ප්‍රියාන් හූමිටි තැබීය.

"ඒ ගමන කිව්වා - මේ දූගේ මහත්තයා වෙන්ටැති - කියල. දුව, මම ඔයාගේ පුංචිම මාම. තව මාමලා හය දෙනෙක් ඉන්නවා කියල ආයි අඬන්න ගත්ත. ඒ ගමන තාත්තා ඒ මනුස්සයට ගේ ඇතුළට කථා කලා. එයා එන්න අදිමදි කලා. ආලින්දයේ පුටුවක් උඩ වාඩි  වුණා. ඔයාලගේ කොළඹ ආච්චි තේකක් ගෙනාව." මව කීවාය.

"පුදුම වැඩක් නේ. කොයි  පැත්තෙන් නෑදෑයො ද " ප්‍රියාන් ඇසීය.

"මගේ අම්මගේ පැත්තේ.  ඒ කියන්නේ ඔයාලගේ කිරි  අම්ම. එයා  මැරුණේ මම පුංචි කාලෙනේ. මට මතක නැහැ එයා ගැන.  කොළඹ  ආච්චි (ප්‍රියාන් ගේ මවගේ නැන්දණිය) කීවේ අම්ම කොළඹ මහා ඉස්පිරිතාලේ නර්ස් නෝනා කෙනෙක් කියල. නමුත් මම හිතන්නේ එය මේට්‍රන් කෙනෙක් (සාත්තු සේවිකාවක්) වෙන්න ඇති කියල. අම්මයි තාත්තයි යාළුවෙලා බැඳලා තියෙන්නේ. අම්මා ගේ පැත්තේ අය අපේ තාත්ත ගේ කුලේ මදි කියල කැමති වෙලා නැහැ මුලින්. පස්සේ අම්මගේ අම්ම කොළඹ ඇවිත් බලල ගිහින්.  අපේ තාත්ත ගැන පැහැදිලා. සල්ලිත්  තිබුනනේ ඉතින් .  එයාගේ දුව හොඳින් ඉන්නවා කියල සතුටින් ගිහින් තියෙන්නේ. " මව විස්තර කලාය.

"කිරි අත්ත මොකද කළේ " ප්‍රියාන් විමසීය. මේ විස්තර ඔහු අසන්නේ පළමු වරටය.

"එයා කොළඹ හා අවට  කොන්ත්‍රාත් එකට බිල්ඩින් හදන එක කළේ. ගෙවල් නුත් හැදුව කියල තමා මම දන්නේ.  ඒනිසා අතේ සල්ලි ගැවසුනා. මහා ඉස්පිරිතාලේ අලුත්වැඩියාවකට ගිය වෙලේ අම්මව දැකල යාළු වෙලා "  අම්මා  ඇස් පුංචි කළාය. ප්‍රියාන් ට විශ්වාස ගන්නිමට අපහසු දෙයක් කියන විට ඇස් පුංචි කිරීම ඇගේ සිරිත බව ඔහු දත්තේය.

"ඒ කාලේ යාළු වෙලා බඳිනවා කියන එක ටිකක් හිතන්න අමාරු දෙයක් නේද? ඉතින් අර මාම මොකද කිව්වේ." කතාව ඇදී යන නිසා ප්‍රියාන් මව උනන්දු කළේ කවදාවත් අසා  නොතිබූ මේ සිද්ධිය දැන  ගැනීමේ අභිප්‍රායෙනි.

"ඔන්නොහෙ වැඩකුත් නැහැ මේවා කියල. ඔයාගේ තාත්ත මට තහනම් කරලා තිබ්බේ මේවා කියන්න. අපට නෑදෑයෝ නැහැ කියල තමා ඔයාලට කියන්න  කියල තිබ්බේ." ඇය තවත් සුසුමක් හෙළුවාය.

"කමක් නැහැ අම්මේ. අපි දැන් වැඩිහිටියෝ. ළමයි නෙමේ නේ. දැන් ඕව දැනගත්ත කියල මොනවා වෙන්නද?" ප්‍රියාන්  මව සැනසීමට මෙන් කියුවේය.

"අම්මගේ අම්ම ඇවිත් ගියාට පස්සේ මේ ගොල්ලෝ එහෙ ගිහින්. තාත්ත , ඒ කියන්නේ ඔයාලගේ  මුත්තා නේද, අත්ත, මුත්තා , කිත්ත, කිරි කිත්ත වගේනේ යන්නේ. ඉතින් එයත් සමාව දීලා අම්මට. අසනීපෙන් ඉඳල තියෙන්නේ. එයා මැරෙන කොට අපේ අම්මට ඉඩ කඩම් අටෙන් එකක් පවරලා. මාමලා හතටයි මෙයාටයි. මෙයා  පුංචිම නංගි. සමහර මාමලා මේකට කැමති වෙලා නැහැ . අර ආව පුංචි මාම කියපු විධිහට අම්මට හොඳම පළදාව තියෙන වත්තකුයි , කුඹුරු කිහිපයකුයි ලැබුනලු. මාමලා වාද කරලා . එයා කොළඹ ඉන්නේ. එයාට ඒවා වැඩක් නැහැ. එයාට  සල්ලි තියනවා.  අපි තමා මෙහෙ කඹුරන්නේ කියල.  මාමලට ඒ ඉඩ කඩම් ඕන වෙලා. අම්මලට අවුරුද්දට ගමට එන්න කියල. කෑම මේසේ දී අම්මගේ කෑමට කබර තෙල් දාල ලු. අම්මට දවස් දෙක තුනක් නවත්වන්නේ නැතුව බඩ හිස් වුනාලු. එහේමම නැති වෙලා. ඔය කතාව කිව්වේ එදා ආව පුංචි මාම. එයා කිව්වා එයාලු  බාලම සහෝදරයා. එයාගේ නංගිට  (අපේ අම්ම ට )  එයා ගොඩක් ආදරෙන් ලු  හිටියේ. එයා ඔය වැඩේට  කැමති වුනේ නැහැලු.  හැම වෙලේම ඔය ගැන හිත හිතා හිටියලු. අපි ගැන හෙව්වලු.  මම අම්මා වගේ නිසා ටවුමේ දැකපු කෙනෙක් ආරංචිය දීල. පස්සේ එයා තවත්  ආරංචි කරලා බැලුවහම මම කසාද බැඳලා මෙහෙ ඉන්නේ කියල දැනගෙන ඇවිත් තියෙන්නේ. අර කරත්තේ ගෙනාපු ඒවා අම්මගේ කොටසලු. මිට පස්සේ හැමදාම අවුරුද්දට දෙපාරක් ගෙනත් දෙන්නම් ලු. ගමට ඇවිත් යන්න කියන්නලු  ආවේ.  ඕක කළ ලොකු අයිය මැරුනලු. අනිත් අය්යලත් විස්සෝපෙන් ලු ඉන්නේ. ඔන්න ඔහොම කිව්වා අඬ අඬ. " මව එක හුස්මට කියාගෙන ගියාය.

ප්‍රියාන් ට කිසිවක් කියා ගත නොහැකි විය.

"ඔයාලගේ තාත්ත කොහොමත් කේන්ති ගන්න කෙනානේ. ඒක ඇහුව විතරයි, තමුසෙගෙ කෙහෙල්මල් බඩු ටිකත් අරගෙන යනවා ආපු පළාතකට. ආයි එන්න එපා පැත්ත පළාතේ කියල එලව ගත්ත. ඒ මාම ඇඩ්රස් එකක් දෙන්න හැදුව. ඒත් එළවලම දැම්ම. මට කිව්වා ආයේ කතා කරන්නත් එපා ඒ ගැන කියල. එහෙම  නෑදෑයෝ ඕන නැහැ කියල. " අම්මා හැඬුවේ නැතත් ඇගේ ශෝකය ඔහුට දැනිණි.

"අපේ තාත්තට තරහ ගියහම වැඩිය කල්පනා කරන්නේ නැහැනේ. කියන දේ මූණටම කියල දානවා. මම අතන කෑම දෙන තැනින් අපි දෙන්නට තේ දෙකක් ගේන්නම් " ප්‍රියාන්  නැගිට්ටේය.

"නැහැ අපි දෙන්නම කතා කර කර යමු තේ ගන්න." අම්මාද නැගිට ආවාය.

"හැබැයි එදා තමා මම දැන  ගත්තේ මගේ තාත්ත ගේ දුකට හේතුව. එයා බිව්ව හැටි. මාව වඩා   ගත්ත වෙලාවට එයා හඬපු හැටි. කොළඹ ආච්චි කීවේ මම අම්ම වගේ නිසා එයාගේ මල්ලිගේ ඇස් වල කඳුළු එනවා කියල.ඒක හින්දට වඩා මම හිතන්නේ අපේ අම්ම අකාලයේ මැරුණ  එක ගැන එයා දුක් වුනේ කියල. තාත්තා එතනින් පස්සේ දිගටම බිව්වා. පරක්කු වෙලා ගෙදර ආවේ. හැබැයි අපට කවදාවත් නරකට සැලකුවේ නැහැ. ගෙදර එනකොට පැණි රහ දෙයක්, මස්කට්, බූන්දි හරි මිදී වල්ලක් හරි අරන් එනවා. අපි කෑම කෑවද කියල බලනවා. හැබැයි ඒවා එන්න එන්නම අඩුවුණා." සෙමින් ඇවිදින් ගමන් අම්මා මතුලාය. ඇය ගමන් කලේ සිහිනයෙන් මෙනි. ඇයට ඇගේ පියා සිහිවෙන නිසා විය හැකි යයි ප්‍රියාන්  සිතුවේය.

තේ කෝප්ප දෙක ගත්  ඔහු අර පරණ කාරය   පෙනෙන මානයේ තණ බිස්සේ හිඳගෙන  මවටද හිඳ ගැනීමට උදව් කළේය.

"එයා කාරෙක වික්කද ඊට පස්සේ"

"නැහැ පුතේ, මට වයස හත  කාලේ වගේ එයා  රත්නපුරේ මොකක්ද ශාලාවක් හදන්න ගියා. ඔය සමන් දේවාලේ පැත්තේ වගේ. එතකොටත් හරියට බොනවා. ශාලාව හදල ඉවර වෙලා ගණුදෙනු බේරාගෙන කොළඹ ඇවිත් වැඩට ගිය කට්ටිය එක්ක. තව කවුරුහරි හමුවෙලා ආයේ බීල. ඒ දවස් වල ඔය කොටා රෝඩ් එක පැත්ත ඝන කැළේ. කොළඹ සීය කියපු විධිහට මෙයාගේ කාරෙක ලොකු වලකට තල්ලු  කරලා දාල ඒ මිනිස්සු. කාරෙකේ  වීදුරු හෙම පොඩි කරලා දාලලු. තාත්ත ලොකු රිදී හවඩියක්  බැඳගෙන හිටියේ. ඒකෙ ඇතුලේ  පොකට් එකක සල්ලි දාල තිබ්බේ.  උන් ඒවා ඔක්කොම හොරෙන් අරගෙන. තාත්තට හොඳටම ගහල. තාත්තා ලේ පෙරාගෙන  එතන වැටිලා ඉන්නව උදේ පාන්දර කවුද දැකල ඒ ළඟ තියෙන සිංහල ඉස්පිරිතාලෙට කියල. "

"සිංහල ඉස්පිරිතාලේ කිව්වේ ආයුර්වේද රෝහලක් වෙන්නැති"

"ඒ කාලේ ඒවා තිබුනද මම දන්නේ නෑ පුතේ. ඒක  සිංහල වෙදකම් කරන තැනක්. වෙද  මහත්තය තාත්තව  අඳුරනවා. කොළඹ  සීයා ඒ කියන්නේ තාත්තගේ මාමා වත් අඳුරනවා. එයා තමයි ඇවිත් කියල තියෙන්නේ. අපි ගියා බලන්න. මගෙ  නැන්ද, ඔයාලගේ කොළඹ ආච්චි එක්ක. තාත්තා මගෙයි නංගි ගෙයි අත් අල්ලලා කොළඹ ආච්චිට භාර දුන්න. එයා  බඳින්න නේ හිටියේ. මගේ දරුවෝ දෙන්න බලා  ගනින්. බඳින්න ඕනේ නැහැ කියල තාත්තා එයාගේ අත් අල්ලාගෙන කියල ඇඬුව ලු. ඉතින් එයා බැන්දේ නැහැ. අපිව බලාගෙන හිටිය. එයා හැම වෙලේම කිව්වේ තාත්තට ඒක වුනේ එදා සමන් දේවාලෙට පඬුරු  දාපු නැති නිසාලු. නැත්නම් හැමදාම පඬුරක් දාගෙනලු එන්නේ. " අම්මා දිග සුසුමක් හෙළුවාය.

"අනේ මම නම් ඕව විශ්වාස කරන්නේ නැහැ. කොළඹ ආච්චි කොහොමද දන්නේ පඬුරු දැම්මද නැත්ද කියල. ඒක නෙමේ ඒකයි එහෙනම්  කොළඹ ආච්චි තනිකඩව හිටියේ ". කළු සුරුට්ටු බොන බයිලා කියන කොළඹ ආච්චි ගැන සිහියට පැමිණ ඔහුට  සිනහවක් පහළ විය.

 "අම්මට මතකද කොළඹ  ආච්චි කියන බයිලා වගේ කවි. "
"මඟුල් ගෙදර කාර් හැටයි
කේක් ගෙඩිය නව රියනයි
විස්කි බ්‍රැන්ඩි ජල ගැල්මයි
රටට ණයයි අප්පොච්චියේ "
ඔහු මතකින් කීවේය.


"තව එකක් මතක් වුණා"

"එක මිනිහෙක් ගියාලු බං පන්සලකට හිඟා කන්න - හාමුදුරුවෝ දුන්නලු බං තට්ට ගෙඩිය පලල යන්න" කියා ප්‍රියාන් මහා හඬින් සිනා සුනේය. අසලින් යන මිනිසුන්ද හැරී බැලූහ.

"ආච්චි ඕව කොහෙන් ඉගෙන ගත්තද මන්ද. හැබැයි එයා අර ගඳ ගහන කළු සුරුට්ටු බොන්න පුරුදු වුනේ කොහොමද? සිගරට් බොන්නේ නැතිව" ප්‍රියාන් මවගෙන් ඇසුවේ එය ඔහුට මහත් කුතුහලයක් ව තිබු හෙයිනි. ඔහුගේ නිවසට එන යහළුවන්ටද  සුරුට්ටු බොන ආච්චි පුදුමයක් විය. ඔවුන් විහිළු තහළු කළත් ඇය සිනාසුනා  මිස ඒවා ගණන් ගත්තේ නැත.

"ඔයාට හොඳට  මතකයි ඒවා. ආච්චි ඔයාට තමා ගොඩක් ආදරේ. ඔයාට ඕව කියල දෙනවා මට මතකයි. එයා බිව්වේ ටිකක් ලස්සන දිග සුරුට්ටු. අපේ තාත්ත ගෙනත් දුන් ඒවා. තාත්ත මැරුණට පස්සේ තමයි එයා ඔය  යාපනේ කළු සුරුට්ටුවට පුරුදු වුනේ. ඒක ලාබලු"

"ආ  ඔව්. ඔය කියන්නේ සිගාර් වලට. ඒවත් සුරුට්ටු තමයි. ලංකාවට පිටරටින් ගේන  නිසා ගණන්. ඒවා මෙහෙත්  ගණන් තමයි. " ප්‍රියාන් කීවේය.

"ඒ වුනාට අපේ තාත්තට හම්බ වුනා  අඳුනන කාපිරි සොල්දාදුවෙක් ගෙන් ලාබෙට. " මව සිනාසුනාය. බොහෝ වෙලාවකට පසු දුටු ඇගේ සිනාව ප්‍රියාන්  ගේ සිතට සහනයක් ඇති කළේය.

"අම්මේ, මේ රටේ ඔය විධිහට කළු මිනිසුන්ට  කියන්නේ නැහැ. ඕක ඔය නිගර් වගේ වචනයක්නේ. ඉතින් ඊට පස්සේ කාරෙකට මොකද වුනේ " ප්‍රියාන් මදක් සිනාසී ඇසීය.

"කිරි අත්ත ඊට දවස් දෙකකට පස්සේ නැතිවුණා. කාරෙක මම හිතන්නේ අර වෙද මහත්තය හරි කවුරු හරි අරගත්තා. අපේ සීයට කාර් එළවන්න  බැහැනේ.  ඊට පස්සේ ඉතින් හිටිය ගේත් නැති වුණා. තාත්තගේ මල්ලි බොරුවක් කරලා, පොඩි ගාණක් දීල කොළඹ ආච්චි රවටලා  ඒක අරගෙන. එයා අපි ඔක්කොම බලා ගන්නවා  කියල. ඒත් ඊට පස්සේ  අපිව ගෙයින් එළියට දැම්මනේ. ඒක ඒ පැත්තේම තිබ්බ ලොකු ගෙයක් නිසා එයා ඇහැ ගහගෙන හිටියේ කාලෙක ඉඳන්. අපි ගෙට අල්ලලම හදල තිබ්බ ඇනෙක්ස් එකේ කාලයක් හිටිය. ඊට පස්සේ එතනිනුත් අපිව එලෙව්ව එයාට  අයිතියි කියල. මම සාමාන්‍ය පෙළ ට වෙනකන් අමාරුවෙන් ඉගෙන ගෙන රස්සාවට ගියා . ඔයාගේ තාත්ත හම්බ වුනේ ඊට පස්සේ."  අම්මා ගේ  දෙනෙත් නැවතත් තෙත්ව ඇත.

"දෙපැත්තේම නෑදෑයෝ ගැන කතා කරන්නේ නැත්තේ ඒකයි එහෙනම්. ඒ වුනාට ඔය දෙන්න ඊට පස්සේ හොඳින් හිටියනේ අම්මේ. මාත් පරණ කාර් වලට කැමති ඒක හින්ද වෙන්න ඇති. ඒවායේ හැඩයට මම හරි ආසයි."

මවද නැගිටුවාගෙන එතනින් නැගිට ගිය ප්‍රියාන් පරණ කාර් වල අනුරූ  විකුණන ස්ථානයක් වෙත ගියේය. එහි තිබු කිරි අත්තාගේ කාරය  හා සමාන පෙනුමක් ඇති පුංචි කාරයක් මිලදී ගත්  ඔහු එය අම්මා අත තැබුවේය.

අම්මාගේ මුහුණට එළියක්  වැටුණි.  කිරි අත්තා ඔවුන් අතර  සිටින්නාක් මෙන් හැඟීමක් ප්‍රියාන් ට ඇතිවුණි.


~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
   

36 comments:

  1. අකුරු පොඩි ඇයි

    ReplyDelete
    Replies
    1. හැදුවා, හරි යන්නේ නැහැ.

      Delete
  2. අපූරු සටහනක්. ලස්සන පින්තූර ටිකක්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දුමිය. මට හිතෙනවා තව විස්තර ටිකක් මදි කියලත්.

      Delete
  3. ලස්සනයි අජිත් අය්යේ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අම්බලන්ගොඩ. අර ඉන්දියන් කටහ්ව මාක් කරගෙන ඉන්නවා කියවනං එන්න. තවම බැරි වුණා.

      Delete
  4. Replies
    1. ස්තූතියි කොලොම්පුරේ

      Delete
  5. Replies
    1. තැන්කිව් කිව්වා.

      Delete
  6. Replies
    1. සාමාන්‍යයෙන් මේ පැත්තේ නොඑන අටමා පැමිණ කොමෙන්ටුවක් දැමීම බිමට කාරණයක් කර ගනිමි.

      Delete
    2. නේන්නේ මොකද ..ආවට අපිට යමක් එකතු කරන්ඩ පුලුවං දෙයක් කියනවැ .... කාටද අප්පා ඔය මහප්ප්‍රන තේරෙන්නේ .... දැනෙන එකක් තිබුනොත් දානවා ....ඇයි දෙයියනේ කලින් පෝස්ට් එකටත් කමෙන්ට් එකක් දැම්මේ

      Delete
    3. දෙයියෝ පෝස්ට් එකක් දැම්මා දැක්කේ නැහැනේ බං

      Delete
  7. නියමායි, මගේ බිරිඳගේ ආච්චිත් දවසට බීඩි මිටියක් බීවාලු, හවසට ෂොට් එකක් දාගන්න ටවුමට යන සීයා ආච්චිටත් බීඩි මිටියක් ගේනවාලු. ඒ වයසක ගෑණු සෙට් එකම එක චූකරේ හිටගෙනලු,කූඩැල්ලෝ එල්ලෙයි කියලා. ඒ කාලෙත් මේ බ්ලොග් වගේ දෙවල් තිබ්බනම් ඔය කතන්දර ලියල තියන්නත් තිබ්බා, ඒවගේ දේවල් ලියයි කියන බයට වෙන්නැති අකුරු සාත්තරේ වැදගත් මිනිස්සුන් ගේ දරුවන්ට විතරක් ඉගැන්නුවේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. අනේ මන්දා . // වයසක ගෑණු සෙට් එකම එක චූකරේ හිටගෙනලු,කූඩැල්ලෝ එල්ලෙයි කියලා. // මේකත් ඇහුවමයි. ආච්චි ගෙන් අහල ලිව්වා නම් හරි කතා ටික .

      Delete
  8. මල් හතයි ඈ...
    හුඟ දවසකින් අජිත් අයියලව එහෙම දකින්නෙ. දැං මූණු පොතෙත් නැද්ද මංද.
    පහුගිය කාලෙ වෙච්ච ඇබැද්දි හිංද බ්ලොග් ලියන්න බැරි වුණත් ආයෙත් පටං ගන්නයි මේ හදන්නෙ.. සප් එකක් ඕනෑ හිහි...
    කතාව නං මරු... සුඛාන්තයක් ලියන්නම බැයිද ඉතිං...
    (මං කියවන්න ආවොත් දුක හිතෙන කාවක් විතරයි තියෙන්නෙ. )
    මං කිව්වෙ එහෙමම නෙවී... නිකං දන්නැද්ද

    ජයවේවා

    ReplyDelete
    Replies
    1. මුණූ පොතේ මම පෞද්ගලික දේ වැඩිය දාන්නෙත් නැහැ. එකේ දේශපාලන ඒවාට ලීකේ දාන ප්‍රමාණය අනුව යාලුවෝ බුම්ම ගන්නා අනුපාතය වැඩි නිසා මම ටිකක් අයින් වෙලා වගේ ඉන්නේ. හේ හේ . මොකද්ද වුනු ඇබැද්දි ටික? දැන් හොඳද?
      මේක දුක හිතෙන කතාවක්ද ? මම හිතුවේ සුඛාන්තයක් කියල. මව ඊට පස්සේ බැඳලා ළමයි හදාගෙන හොඳින් ඉන්නවනේ.

      Delete
    2. හෙහේ ඒකත් හරි නෙව...
      ඇබැද්දි ටික වෙලාවක ලියලම දාන්නංකෝ ඇති හැකි විදියට.

      ඒක නෙවී මේ පරණ කාර් දකිද්දි මට මතක් වුණේ කිතුල්ගල ප්ලාන්ටේෂන් හොටෙල් එකේ හොද පරණ කාර් එකතුවක් තියෙයි ආව වෙලාවක බලන්න එන්න. මම මෙහෙම හිටියොත් අනුග්‍රහය දක්න්නං
      හිහි

      Delete
  9. පරණ කාරෙකක් වගේ කතාවක්.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අමතක කරලමු පරණ කතා
      එක්වෙමු ජාතික දියුණ පතා
      ස්තූතියි, ජයවේවා

      Delete
  10. මේක සැබෑ සිදුවීම් පාදක කරගෙනෙ කරපු ප්‍රබන්ධයක්ද අජිත්?

    ReplyDelete
    Replies
    1. වෙන්න පුළුවන් ඩුඩ්. ඇයි එහෙම සිදුවීම් අහල තියනවද? මිට සමාන?

      Delete
    2. ඒක නෙමේ දැන් ලියන්නේ නැහැ නේද?

      Delete
  11. කාර් එකක් ගිය දුරක්...
    නියමයි අජිත් අයියේ!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මල්ලි.

      Delete
  12. අපේ සීයටත් බක් ෆියට් එකක් තිබුනා.... මාමණ්ඩිට තිරික්කලයක් තිබුනා.... ඒකෙ ගොනා මළාම මම තමා ගොනා උනේ......

    ReplyDelete
    Replies
    1. හේ හේ. මාමණ්ඩි ඊට කලින්ම ගොනා වෙලා ඉන්න ඇති එහනම්.

      Delete
  13. ලස්සන සංවේදී කතාවක් අජිත්...

    ReplyDelete
  14. Replies
    1. ස්තූතියි. ඩියෝන් කියල කෑල්ලකුත් තියනවද? අපේ ඔෆිස් එකෙත් ඉන්නව ඩියෝන් කෙනෙක්. ග්‍රීක්

      Delete
  15. එළකිරි! මෙන්න මේ වගේ ඒවා හැමදාම ලියන්නකෝ අෆ්ෆා..

    ReplyDelete
    Replies
    1. එළකිරි වීදුරුවක් උදේම. හැමදාම ලියන්න අර "කාර් පිස්සුව" වගේ කික් එකක් දෙන්න ඕනේ .

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .