Friday, 6 January 2017

සෝවියට් ශිෂ්‍යත්ව ගැන තව දුරටත්

විතානගේ ගේ පියා 

පසුගිය ලිපියේ සඳහන් චන්ද්‍රජිත් විතානගේ සහෝ ගැනද  යමක් ලිවිය යුතුය.  නව සම සමාජ පක්ෂයේ සාමාජිකයකු වූ ඔහු 1984 සෝවියට් දේශයට ආ කණ්ඩායමේ විය. ඔහු පැමිණියේ මා දන්නා පරිදි මිත්‍රත්ව සංගමය හරහාය.  ඔහු උගත්තේ දනියෙත්ස්ක්  නගරයේය.

ඔහුගේ පියා හොරණ විදුහලක විදුහල්පතිවරයකුව සිටි වාමාංශික දේශපාලනය කල අයෙකි.  වසර 1980 දී කල වැඩ වර්ජනයේ දී රැකියාව අහිමි විය. 1988 දී පමණ ජනතා විමුක්ති පෙරමුණ ට සම්බන්ධ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ යයි සැලකෙන දෙදෙනෙක් ඔහුට වෙඩි තබා මරා  දමන ලදී. ඔහුගේ මිනිය  දණිහින්  පහලට පමණක් ඔසවා ගෙන යා යුතුයි නීතියක් ද පැනවිණි.  විතානගේ ගුරුතුමා වනාහි නිර්භීත ශ්‍රේෂ්ඨ වාමාංශික ක්‍රියාධරයෙකි.

පියාගේඅවමඟුල් උළෙලට සහභාගී වීමට යන  විතානගේ සමග සෝවියට් දේශයේ මොස්කව් හි ශේරෙමිතෝවා ගුවන් තොටට ගිය අය අතර මමද වීමි. අවමඟුලෙන් පසුව නැවත රුසියාවට  පැමිණි විතානගේ මට කිවූ කරුණක් වන්නේ ඔවුන් දේ.ජ.ව්‍ය. අණ නොතකා පියාගේ දෙන කර මතින් තබා ගෙන ගිය බවයි. එසේම ඒ කාලයේ දී එම තරුණයන්ට විරුද්ධව රජය දුන් අවි ආයුධ භාවිතා කිරීම ප්‍රතික්ෂේප කල නියම මානවවාදියකු වන වික්‍රමබහු කරුණාරත්න මහතාට ද මගේ ප්‍රසාදය හිමිවේ.
 01. මීගමු වෙරළේදී 1989 අගෝස්තු පුළුස්සා ඝාතනය කර තිබූ සරසවි සිසුවෙක්, 02. ආරක්ෂක අංශ මගින් දකුණේදී ඝාතනය කරන ලද සරසවි සිසුන් සහ තරුණයින් පිරිසක්, 03. ආරක්ෂක අංශවලට ඔත්තු සැපයූවේයැයි චෝදනා කොට ජවිපෙ කැරළිකරුවන් විසින් හක්මනදී සිව්දරු මවක් ඝාතනයකර ගසක බැද දමා තිබූ අන්දම, 04. ජවිපෙ කැරළිකරුවන් විසින් ගිනිතබා විනාශ කරන ලද බස්රථ කිහිපයක්. උපුටා ගත්තේ ධර්මන් වික්‍රමරත්න මහතාගේ ලිපියකිනි.

සෝවියට් දේශය ගැන යම් ප්‍රකාශයක් කළොත් "මං පොර" ලා හැටියට අපව සලකන පොල්කට්ටක් ඇතුලේ සිරවී සිටින ජවිපෙට  හිතවත් වජිර යාපා වැන්නවුන් මේවාට කියන්නේ මොනවාද යන්න ගැන දැන  ගැනීමට කැමැත්තෙමි. (මෙහිදී මවිසින් එවකට පැවති යුඑන්පී රජය මගින්  වධ බන්ධන පමුණුවා තරුණයන් මරා  දැමීම සාධාරණය කිරීමක් නොකෙරේ. අනුර කුමාර දිසානායක මහතා තම ශෝකය හා කම්පනය ඒ පිළිබඳව  ප්‍රකාශ කළ බව දනිමි. සමාව ඉල්ලනවාට වඩා කල යුතුව තිබුනේ පක්ෂය තුල ඒ ගැන අවංක සාකච්ඡාවක් ගෙන යාමය.  බාගෙට දන්නා යාපලා බිහිවන්නේ එසේ නොකළ බැවිනි.)  අවම වශයෙන් ජවිපෙ දේශපාලනය සහ සෝවියට් දේශපාලනය එකක් නොව දෙකක් බවත් විජේවීර මහතා සෝවියට් දේශය ධනවාදයට පා නගතියි කියා  එය හෙළා  දුටු බවත් ඔවුහු නොදනිති.

සෝවියට් ශිෂ්‍යත්ව හා එක්සත් ජාතීන්ගේ සංවිධානය 

පසුගිය අවුරුද්දේ මාර්තු මස මගේ "පොල්කට්ටෙන් එපිටට " පොත එලි දැක්වීමේදී මම කිසියම් කරුණක් සඳහන් කලෙමි. ඒ සෝවියට් ශිෂ්‍යත්ව එක්සත් ජාතීන්ගේ සංවිධානයට  රටකින් එම සංවිධානයට ගෙවිය  යුතු වූ සාමාජික මුදල්  හා බැඳී තිබුණු බවයි.

මා එය දැන ගත්තේ කෙසේද යන්න මෙහි පැහැදිලි කරමි.
මොස්කව් බලශක්තිය පිලිබඳ
 තාක්ෂණික විශ්ව විද්‍යාලය (පින්තුරය මගේය) 

කොළඹ  රාජකීය විදුහලේ උගත් සිසුවෙක් විදුලි ඉංජිනේරුවකු වීමට ට මා උගත් මොස්කව් බලශක්තිය පිලිබඳ තාක්ෂණික  විශ්ව විද්‍යාලයට පැමිණියේය. මෙය මොස්කව් රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය හා බැඳී තිබුණකි.   රාජකීය විදුහලේ සිටි කල නිතර දබර වලට පැටලී සිටි අයෙකු ලෙස මම ඔහු ගැන දැන  සිටියෙමි. ඔහු මගේ වසරේ  අයෙක් වුවත් රුසියාවට පැමිණියේ තෙවන වරත් උසස් පෙළ විභාගයට පෙනී සිටිය. එවිට මම තෙවන වසරේ උගනිමින් සිටියෙමි. සමස්ත සෝවියට් ශ්‍රී ලංකා  ශිෂ්‍ය සංගමයේ ප්‍රධාන ලේකම් වරයා ලෙස කටයුතු කලේද මේ අවධියේ බව මට මතකය. (මේ සිද්ධිය මිට පසුව වූවාද විය හැකිය.) එසේම මොස්කව් බලශක්ති විශ්ව විද්‍යාලයේ ශ්‍රී ලංකා සිසුන් සංගමයේ ද ලේකම් වී සිටියෙමි. (සෝවියට් ක්‍රමයට අනුව සංගමයක බලවත් පුද්ගලයා ලේකම්ය. සභාපති පත් කරන්නේ දවසකට පමණි. සෝවියට් කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් මෙනි).

ඔහු විදුහලේදී මෙන් නොව විශ්ව විද්‍යාලයේදී හොඳ තැනැත්තෙකු විය. මම ඔහු රැගෙන මගේ රුසියන් මිතුරු මිතුරියන් ගේ නිවෙස් වල පවා ගියෙමි. වරක් මට බීමත් රුසියන් ජාතිකයෙකු පහර දීමට එද්දී ඔහු වහා ඉදිරියට පැන මා බේරා ගත්තේය. ඔහුට කිසියම් මානසික ප්‍රශ්නයක් තිබුණි.  මෙය මානසික රෝගයක් දක්වා පසුව උත්සන්න වී විශ්ව විද්‍යාලයෙන් මානසික රෝහලක නතර කර ප්‍රතිකාර  (විදුලිය ඇල්ලීම වැනි) කරන ලදී. නමුත් පසුව සිදුවූ කිසියම් සිද්ධියකි මාලාවකින් පසුව ඔහු ගේ ශිෂ්‍ය භාවය තහනම් කර ඔහුට ශ්‍රී ලංකාවට නැවත යාමට අණ කෙරුණි.

මුලදී ඔහු එය නවත්වා ගැනීමට ඔහු හොඳින් හඳුනන විදේශික ශිෂ්‍යයන් සඳහා වන පීඨාධිපතිවරිය වන දෙනිසෝවා සමග තැත් කලමුත් එසේ කළ නොහැකි විය. ඉන්පසු මා කරා පැමිණි මුත් මුලදී මට එය කල නොහැකි යයි කීවෙමි. පසුව  ඔහු ශ්‍රී ලංකා කොපයට සම්බන්ධ සිසුන්ද පසුව හමුවී තිබුණි. පසන් කොඩිකාර, මහින්ද, රෝහණ ලක්ෂමන්, ටියුඩර් ද මේ පිරිස අතර වී යයි ඔහු කීවේය. ඔවුන් ඔහුට කියා තිබුනේ කෙසේ හෝ අජිත්ටම කරදර කර නැවත ශිෂ්‍ය භාවය පිහිටුවා ගන්නා ලෙසයි.   මේ නිසා ඔහු මගේ කාමරයටම වී කරදර කරන්නට විය. පසුව මා වී.වී. දේශන වල සිටියදී එහිද පැමිණ ඉවතට කැඳවා ගෙන පැය ගණන් කතා කරමින් තම දුක් ගැනවිල්ල කියන්නට විය.

අන්තිමේදී මා  කලේ උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ශ්මාකොව් නමැති නිලධාරියා හමුවීමයි. ඒ නිලධරයා ලඟට යනවිට රොත්මන්, මාල්බරෝ වැනි සිගරට් 20-30 පෙට්ටියක්, හොඳ විස්කි හෝ වෙනත් විදේශික මත්පැන් බෝතලයක් වැනි දේ රැගෙන යා යුතුය. නැත්නම් පැත්ත බලන්නේ නැත. අර සිසුවාට මුදල් නැති හෙයින් මගේ වියදමින් එයද රැගෙන ගියෙමි. වැඩේ බලන්නම් කී  ශ්මාකොව් සතියකට පසු මා ගියවිට සිසුවාගේ ශිෂ්‍ය භාවය නැවත පිහිටවීම කළ නොහැකි බවයි. අපේ විශ්වවිද්‍යාලයටම යන ලෙස ඔහු මට දැන්වීය.

අපේ විශ්වවිද්‍යාලයට මොස්කව් වල තද පිළිගැනීමක් තිබුණු එකකි. එහි කොමියුනිස්ට් පක්ෂ බලධරයන් තරමක ස්වාධීනත්වයක් භුක්ති වින්දේය. මේ නිසා මා  කළේ විදේශික සිසුන් පිලිබඳ උප කුලපති හමුවීමට යාමයි. මේ උපකුලපති කේජිබී එක සමග කෙලින්ම සම්බන්ධකම් ඇති තැනැත්තා ලෙස හැමෝම දැන සිටියහ.   විදේශික ශිෂ්‍යයන්ගේ තොරතුරු සෙවීම ඔහුගේ එක කාර්යයයක් විය.

ඔහු මට පැවසුවේ එක්සත් ජාතීන්ගේ කාර්යාලයට යන ලෙසයි.යුනෙස්කෝව පිහිටා  තිබුනේ පාර්ක් කුල්තුරි යන ස්ථානයේය. UNDP එක තවත්  කොහෙද තැනකය. යූඑන් එකට යන්නේ කුමට ද යන්න මට මහා විමතියක් විය.  එහිදී ඔහු කීවේ සෝවියට් දේශය වසරකට අති විශාල මුදලක් ගාස්තු වශයෙන් ඩොලර් වලින් (hard currency හෙවත් රුසියානු භාෂාවෙන් "වැල්යුති" ) එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගෙවිය යුතු බවත් සිසුන්ට දෙන ශිෂ්‍යත්ව ඉන් කොටසක්  බවත්ය. එනිසා අවසන් කර යන සිසුන්, අස්වෙන සිසුන් ආදීන් ගේ සමස්ත සංඛ්‍යාව  ගැන රුසියන් අධ්‍යාපන අමාත්‍යංශය, ඔවුන්ටත් අදාළ රටේ තානාපති කාර්යාලයටත් දන්වන බවය. මේ අනුව සිසුවකු ගේ සුභ සාධනය ගැන අදාළ රටේ තානාපති කාර්යාලයට මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලයට ද  වගකීමක් තිබෙන බව ඔහු කීවේය. ලංකාවේ  තානාපති කාර්යාලයට ගොස්  වැඩක් නැති බව මම අත්දැකීමෙන්ම දන්නෙමි.

ඔහු කී කතාව  මට ඒත්තු යාමට හේතු දෙකක් විය. පළමුවැන්න නම්  එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කටයුතු ගැන සෝවියට් දේශයේ එතරම් පැහැදීමක් තිබුනේ නැත. දැන් NGO ගැන කියන්නාක් මෙන් එක්සත් ජාතීන්ගේ  සංවිධානය යනු ඇමෙරිකන් හොරණෑවක් යයි පතුරු ගැසීම ප්‍රව්දා වැනි පුවත්පත් මගින් කරන ලදී.  එක්සත් ජාතීන්ගේ සංවිධානයට එදා මෙන්ම අදද වැඩිම මුදල් ප්‍රමාණයක් ගෙවන්නේ එක්සත් ජනපදයයි. එ.ජා. සංවිධානයේ නිලධරයන් මුදල් නාස්ති කරතියි යන්නද නිතර නැගුනු චෝදනාවක් විය.

දෙවන හේතුව වන්නේ සෝවියට් දේශයට වැලුති හෙවත් හාර්ඩ් කරන්සි (ඩොලර්, පවුම්, ජර්මන් මාක්) හිඟවීමයි. ඔවුන්ට ඒවා ලැබුනේ තෙල් විකිණීමෙන් හා අමුද්‍රව්‍ය, දියමන්ති ආදිය විකිණීමෙන් පමණි. රටට අවශ්‍ය  දේ මිලදී ගන්නට මිස  වෙනත් දෙයට එම මුදල් යෙදවීමට ඔවුහු  කැමති නොවූහ.

මේ නිසා සංවර්ධනය  වෙමින් පවතින රටවලට උදව්වක් ලෙසින් මුලදී පටන්ගත් ශිෂ්‍යත්ව දීම සාර්ථක ලෙස UNDP එක්සත් ජාතීන්ගේ සංවර්ධන  අරමුදල සමග සම්බන්ධ කිරීමට ඔවුන්ට හැකිවී තිබේ. මේ අනුව රටවල් වල අධ්‍යාපන අමාත්‍යංශ සමග ගිවිසුම් ඇතිකර නිත්‍යානුකූල ලෙස සෝවියට් ශිෂ්‍යත්ව දීම ඇරඹි තිබේ.

මින් සෝවියට් ජනතාවගේ බදු මුදල් වලින් ඉගෙන නොගත්තේ යයි කියන අදහස මතුවන්නේ නැත. මොන මුදල ගෙව්වත් ඒවායේ  සෝවියට් ජනතාවගේ දහදිය හා කඳුළු ගැබ්ව තිබේ.  එනිසා එසේ සිසුන් යැවු රටවල් මෙන්ම උගත්  සිසුන්ද සෝවියට් ජනතාවගේ කැප කිරීම නිදහස් අධ්‍යාපනය ලබාදීම ගැන ස්තුතිවන්ත විය යුතුය.

නමුත් මෙයත් සෝවියට් දේශපාලන ක්‍රමය ගැන කතා කිරීමත්  සමග පටලවා  ගත යුතු නැත.

කෙසේ හෝ කිසිවෙක් මේ ගැන දැන  සිටියේ නැති අතර අර සිසුවාගේ ප්‍රශ්නයේ සංවේදී බව නිසා මට මෙය කා හටවත් කිව නොහැකි විය.  ඔය කියන ස්ථාන ගැන සොයා ගැනීමට නොහැකි නිසා මම කේජිබි උප කුලපති හමුවීමට නැවත ගියෙමි. "ඔහේ කරදරයක් වුනානේ " යයි මැසිවිලි කී  ඔහු ෆයිල් එකක් දෙකානාත් නමැති සිසුන් පිලිබඳ කාර්යාලයෙන් ගෙන්වා ගති.

එහි විශ්ව විද්‍යාලයේ උගන්නා  සියලු ලාංකික සිසුන් ගේ නම් තිබු අතර නාමාවලිය බලමින් "ගොස්‌ - ගොස්" යයි කියාගෙන ගොස් අර කි සිසුවාගේ නම ඉදිරියේ  නතරවුනේය. ඔහු "ගොස්" යනුවෙන් කිවේ රුසියානු භාෂාවෙන් ගසුදාර්ස්ත්වා හෙවත් රජය  යන්න මට වැටහුණි. ඒ කියන්නේ රජය හරහා පැමිණි යන්න බවය. ඉන්පසු ඔහු කීවේ අස් කල සිසුවා පැමිණ  ඇත්තේ මිත්‍ර සංගමයෙන් බවය. (එහි නිත්‍යානුකූල නම  වොක්ස් හෙවත්  විදේශීය සංස්කෘතික සම්බන්ධකම් සඳහා වන සමස්ත සෝවියට් සංගමයයි)  තමන් මට වැරදි උපදෙසක් දුන් බව කී ඔහු සිසුවා  ගේ අස්කිරීම අවලංගු කර ගැනීමට මිත්‍ර සංගම් කාර්යාලයට යන ලෙස කිවේය. මේ නිලධාරියා බොරුවක් කර මා කඩේ යැව්වාදැයි කුකුසක් මගේ සිතේ පහල විය. ඉහත  කි සංස්කෘතික සංගමයට සංස්කෘතික මන්දිර පවත්වා ගෙන යාමට හා අවුරුද පතා විශාල මුදලක් සෝවියට් සංගමය විසින් වෙන් කරන ලදී. ශිෂ්‍යත්ව සුළු සංඛ්‍යාවක් දීමද එයට අයත්ව තිබුණි.

මා කලේ මේ බව වටින් ගොඩින් තහවුරු කරගෙන අර සිසුවා ගෙන්ද ඇසීමයි. මුලින් එය ප්‍රතික්ෂේප කල ඔහු පසුව එය සත්‍යයක්  බව පිළිගත්තේය. ඔහුගේ පියා  වාමාංශික වෘත්තීය සමිතියක සිටි නයුවෙකි. මේ නිසා මා කළේ මිත්‍ර සංගම් කාර්යාලයට යෑමයි. එහි සිසුන් බාරව සිටියේ ඉතා තඩි , මහත, නෙරා ඇති  බඩක් සහිත පුද්ගලයෙකි. ඔහු දුටු විගස මට මතකයට නැගුනේ  අර ඕර්වෙල් ගේ "සත්ව ගොවිපල" පොතේ ඌරන් සමූහයය. ඔහු මට පෙනෙන්නට මෙන් විදේශික හවානා වැනි සිගාර් එකක් උරමින් පැමිණියේය. මා  ඔහුට අල්ලස පිණිස කිසිවක් රැගෙන ගියේ නැති එකට අමනාපයෙන් මෙන් කතා කල ඔහු සිසුවාගේ විස්තර උඩින් පල්ලෙන් බලා  "මෙයී" (මෙය අපේ විශ්ව විද්‍යාලයට කියන කෙටි නමයි) එකේ වැඩට ඇඟිලි ගහන්නට බැහැ යයි කීවේය. ඉන්පසු ආ  ලෙසින්ම අහංකාර ලෙස ඇතුලට ගියේය.

මම ඉන්පසු නිහඬව  සිටියෙමි. අර සිසුවාද  ශ්‍රී ලංකාවට යැවුනි. ඔහු  ගියේ මා ඔහු වෙනුවෙන් කටයුතු නොකළැයි මා  සමග තබාගත් වෛරයකින් යුක්තව යයි ඔහුගේ යහළුවෙකු පසුව කීවේය.  මට කළ හැකි දෙයක් තිබුනේ නැත. අර කේජිබි උප කුලපතිට එය නැවැත්විය හැකිව තිබුනත් එය නොකළ ඔහු ඔහු මට පසුව කී පරිදි "සිසුවා " සුව කල නොහැකි අයෙකි. අද වෙන තුරුත් මා මෙය කිසිවකුට කීවේද නැත.

මගේ පොත එළි දක්වන දිනයේ මා සරදමකට මෙන් පැවසුවේ විජේවීර මහතා මේ බව දැන  සිටියානම් ශ්‍රී ලංකාවේ  එක්සත් ජාතීන් ගේ  කාර්යාලයට ගොස් පැමිණිලි කර තමන් ගේ වීසා අවලංගුව සාදා ගැනීමට තිබු බවයි. එසේ නම් සමහර විට ලංකාවේ ඉතිහාසයද වෙනස් වන්නට තිබූ  බවයි. ඇත්ත වශයෙන්ම විජේවීර මහතා  ගියේ කොපය හරහා නම් ඔහු මිත්‍ර සංගම් ආධාර යටතේ ගිය අයෙකු වන්නටද ඉඩ තිබිණි.

මා පසුව මේ ගැන විස්තර සෙවූ මුත් මේ කතාව සනාථ කරන කිසිදු රාජ්‍ය ලේඛනයක් මා සතුව නැති බවද කිව යුතුය. නමුත් ඉන්පසු මට හමුවූ සෝවියට් දේශයේ ගුරු භවතුන් කිහිප දෙනෙකුම මේ කතාව සනාථ කළහ.

ශ්‍රී ලංකාවේ ඇති අධ්‍යයන පොදු සහතික පෙළ උසස් පෙළ විභාගය යනු බොහෝ විට කට පාඩම් කර මෙන්ම ගණිත ගැටළු විසඳීම් ආදිය මතකයේ තබාගෙන පිළිතුරු දිය යුතු විභාගයකි. එය සමත් වන අය අනිවාර්යයෙන්ම දක්ෂය. නමුත් මේ විභාගයෙන් විශ්ව විද්‍යාලයට යාමට ඔන්න මෙන්න තියා අඩු ලකුණු ගත් ඕනෑම අයෙකු ඉන් ජිවිතයේ අනිත් කටයුතු වලදී අදක්ෂයෙකු වේ යයි ඉන් කියවෙන්නේද  නැත.  එසේම වෙනත් විභාග පසු කලෙක සමත් නොවන්නේ යයිද කිව නොහැක.

එසේම එම විභාගය අසමත් හා ඉතා අඩු ලකුණු ගත් අය අදක්ෂයන් යයි ඉන් කියවෙන්නේද නැත. රාජකීය විදුහලේ රගර් ක්‍රීඩකයෙකු පසු කලෙක එංගලන්තයේ අපොස උසස් පෙළ සමත්ව වෛද්‍යවරයෙකු වුනු බව මම දනිමි.  එනිසා කිසිවකු කොහෙන්ද ආවේද උසස් පෙළ සමත්ද යන ප්‍රශ්නය මා කිසි දිනක කාගෙන් වත් ඇසුවේ නැත. ඊට වඩා වැදගත් වන්නේ පිටරට සිටින අප සැවොම  සමග ගොඩ නගා ගන්නා යහපත් මානුෂික සම්බන්ධතාවයයි. මට නොයෙක් රටවලින් ඉතා හොඳ මිතුරු මිතුරියන් රැසක්  සිටි අතර සෝවියට් දේශයේ ඒ ගත කල කාලය ගැන අදත් ඉතා හෘදයන්ගමව සතුටින් සිහි කරමි.

මූලාශ්‍ර :
1. මේ නිව්යෝර්ක් ටයිම්ස් ලිපියේ සඳහන් වන්නේ සෝවියට් සංගමය ඩොලර් මිලියන් 197 පමන  එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගෙවිය යුතුව තිබුණු බවයි.

2. එක්සත් ජාතීන්ගේ සංවිධානයට රට රටවලින් ගෙවන මුදල්  (දැන්)
3. ඉහත පින්තුරය උපුටා ගත්තේ ලන්කාවෙබ් අඩවියට ධර්මන් වික්‍රමරත්න  මහතා ලියු ලිපියකිනි. 

35 comments:

  1. //එක්සත් ජාතීන්ගේ සංවිධානයට රට රටවලින් ගෙවන මුදල්// ලින්ක් එක වැඩ කරන්නේ නැහැ. (කමෙන්ට් එක මකල දැම්මත් කමක් නැහැ)

    ReplyDelete
    Replies
    1. හැදුවා. ස්තූතියි. මගේ ප්‍රශ්නය තමයි දැන් රුසියව ගෙවන්නේ ලොකු මුදලක් නෙමෙයි. එනිසා ඔය මා ලියන කතාව සතයක් නම් සෝවියට් දේශය ඔයිට වැඩිය ගෙවන්න ඕනේ. අනිත් පැත්තට සෝවියට් දේශයේ රටවල් 14 පමණ තිබුනනේ. ඒ කියන්නේ රුසියාවේ පමණක් නොව අනිත් රටවල් දහතුනේ ගාණත් එකතු වෙන්න ඕනේ.

      Delete
    2. සත්‍යයක්‌ නම් කියා නිවැරදි විය යුතුයි.

      Delete
    3. මේ කතාව ටිකක් නොවෙයි ගොඩක් ඉන්ටරෙස්ටින්ග් කරුණක් නිසාත්, රුවන් සහ අජිත් දෙන්නම සඳහන් කර ඇති දෙයක් නිසාත් පෝස්ට් එකක්ම දැම්මා.

      //මගේ ප්‍රශ්නය තමයි දැන් රුසියව ගෙවන්නේ ලොකු මුදලක් නෙමෙයි. එනිසා ඔය මා ලියන කතාව සතයක් නම් සෝවියට් දේශය ඔයිට වැඩිය ගෙවන්න ඕනේ. අනිත් පැත්තට සෝවියට් දේශයේ රටවල් 14 පමණ තිබුනනේ. ඒ කියන්නේ රුසියාවේ පමණක් නොව අනිත් රටවල් දහතුනේ ගාණත් එකතු වෙන්න ඕනේ.//

      මම හිතන හැටියට සෝවියට් දේශයේ ඒ කාලයේ කෝටා එක මීට වඩා ගොඩක් වැඩියි. හරියටම ගණන හෙව්වත් හොයාගන්න බැරිවුණා. පැරණි සෝවියට් දේශයේ රවවල් සියල්ලේම කෝටා එකතු කළත් ඒ ගණන එන්නේ නැහැ. මේ කෝටා එක වසර 3කට වරක් සංශෝධනය කරනවා. එය තීරණය වෙන්නේ එක් එක් රටේ ජනගහණය හා ආර්ථිකයේ විශාලත්වය මත. ඒ කාලයේ සෝවියට් ආර්ථිකය නියම ප්‍රමාණයට වඩා ගොඩක් පුම්බලයි තිබුණේ. එය කළේ රූබල් එකේ අගය කෘතීම ලෙස ඉහළින් තබා ගැනීම මඟින්. එවිට ඩොලර් වලින් බැලූ විට ආර්ථිකය ඉතා විශාල ලෙස පේනවා (පසුගිය කාලයේ ලංකාව කළෙත් මීට කිට්ටු දෙයක්). එවකට පැවති නිල විණිමය අනුපාතිකයට ඩොලර් කොහෙවත් ගන්න නොතිබුණු බව රුවන්ගේ ලිපියෙත් ලියල තියෙනවනේ. ඒ කියන්නේ රූබලයක සැබෑ වටිනාකම රජය පෙන්වූ ගණනට වඩා ගොඩක් අඩුව තිබී ඇති බවයි. (සමහර බිස්නස් කරල තියෙන්නේ මේ ඇනෝමලී එකෙන් ප්‍රයෝජන අරගෙන) සෝවියට් දේශය වැටුණු පසු රූබලය විශාල ලෙස අවප්‍රමාණය වුණා. එවිට රූබල් වලින් එසේම තිබුණත් ඩොලර් වලින් බැලූ විට ආර්ථිකයේ ප්‍රමාණය විශාල ලෙස කුඩා වුණා. මීට අමතරව ආර්ථිකයමත් යම් තරමකට වැටුණා (රූබල් වලින්ම). මේ නිසා කෝටා එක ගොඩක් අඩු වුණා.

      Delete
    4. රූබල් එකේ අගය පවුමට වඩා වැඩියෙන් තිබ්බේ. කෝප් 82 පවුම් එකකට වගේ. නමුත් බ්ලැක් මාකට් එකේ ඩොලරය රුබල් 4 ගානෙත් පසුව 8, 20, 30 වගේ වැඩිවීමටත් පවුම ඒ හා සාපේක්ෂව වැඩි වීමත් වුණා. ඩොලර් නැති ප්‍රශ්නය නිසාම තමා ඔය සීන් එක කරනන් ඇත්තේ කියන තීරණයට මම ආවේත් ඒකයි.

      Delete
  2. සහකාර වෛද්‍ය සාරස පත්තු කරනා ලද බෝම්බය නිවැරදි ස්ථානයේ පතිතවී පුපුරා ගොස් ඇත. අජිත් ධර්මගේ මේ ලිපියෙන් හෙළිවන්නේ ඔහුගේ සින්ටෝමවාදයයි. තව කෙනෙක්ගේ අවස්ථාවක් පැහැරගෙන රුසියාවට පැන ගැනීම පිලිබදව අජිත්ගේ හෘද සාක්ෂිය වසර 32 කට පසුවත් ඔහුගෙන් ප්‍රශ්න කරනා බව පෙනේ. ඒ ඇරෙන්න මේ ලිපියේ ගත යුත්තක් නැත.

    ReplyDelete
    Replies
    1. වර්ණපාල මෙතඩ්

      Delete
    2. මෙතන කිසිම ආවේගී හේතු දැක්වීමක් නැත. සරසා හා වජිර යාපා ට පිළිතුරු ලෙස ලීවේ කලින් ලිපියයි. මේ ලිපිය ලීවේ මගේ පොත් එලි දැක්වීමේදී කිවූ කරුනක් පැහැදිලි කිරීමටය. ඇනෝ වල්ගේ පාගා ගෙනය.

      Delete
    3. සරසා පමණක් නොවේ මේ තැනැත්තාත් තමන්ලාව රයිඩ් එකට ගත් බව නොදන්නෝය. හෙට අනිද්දට තේ රෙයි. හේ හේ

      Delete
  3. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. ගරු ඇනෝ මහතාණනි. ඔබේ කොමෙන්ටුව ප්‍රතිශෝධනය කර පල කරන බව කරුණාවෙන් සලකන්න. බ්ලොග්කරුවන්ට පෞද්ගලිකව පහර දීම‍ට නොයෑමේ ප්‍රතිපත්තිය මත පිහිටාය.

      Delete
    2. ඇනෝ කොමෙන්ටුව:

      Anonymous7 January 2017 at 03:51
      Sarasa seems to have come this way at 2.48 PM under "Anonymous7 January 2017 at 02:48"

      Sarasa, even if that's what Ajith or anyone else did, what the eff is it to you ? Don't get the chance to give Mara and the 3 Royal Babies /හෙල්ප්/ anymore, and now you got too much free time?

      Delete
  4. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. Anonymous7 January 2017 at 04:18
      **************************

      දැන් ස රසයාගේ කුණු බ්ලොගේ පොස්ට් එක ඌ ලියල, කොමෙන්ටුත් ඌම ලියාගන්නව. අනේ සංසාරේ බෝතල් කටු!

      Delete
    3. ගරු ඇනෝ මහතාණනි, ඔබේ කොමෙන්ටුවට බොහොම ස්තූතියි. බ්ලොග්කරුවන්ට පෞද්ගලිකව කිසිවක් නොකීමේ ප්‍රතිපත්තියක් ඇති බැවින් ඔබේ කොමෙන්ටුව ප්‍රතිශෝධනය කර පල කරන ලද බව කරුණාවෙන් සලකන්නැ.

      Delete
  5. පහල කොමෙන්ටුව ලීවේ මා මෙම පෝස්ටුවට පෙරින් කියවූ ඉකොනොමැට්ටාගේ පෝස්ටුවටයි, පසු ගිය දෙදින තුල කියවිමට බොහෝ දේ ලියවී ඇති හැඩයි.

    ඇණයත් ඉනෙගත්තේ සොවියට් දේශයේනේ, ඇවිලී ගොස් ඇති ගින්නට “ගිනිපුපුර“ ඇතිවුනෙත් ඇණයා කොළඹ ගමයාගේ සහ ඩ්‍රැකියුලාගේ දේශයේ (Transylvania)බ්ලොග්වල රශියන් භාෂාවෙන් නව වසරට සුභ පැතීමේ කොමෙන්ටුවේ යටද කොහේදෝ, ඇණය බ්ලොග් නොලියා කොමෙන්ටු පමණක් දාන නිසා පරක්කුවෙලා වුනත් බිජුලන්න වෙන්නෙත් කූඩු හදන පක්ෂියන්ගේ කූඩුවලම තමා.

    ඇණයා සෝවියට් දේශයට ඉගෙනගන්න ගියේ අජිත්ලා රුවන්ලා වගේ රජයෙන් ලැබූ ශිෂ්‍යත්ව වලින් නොවෙයි, තාත්තා “හොඳ සමාජවාදියෙක්“ වූ නිසයි, සෝවියට් දේශය වාර්ශිකව නොදන්නා සිසත්ව ප්‍රමාණයක් ලංකාවේ හිත්ගත් දේශපාලන පක්ෂ සහ සංවිධාන වෙත ලබා දුන්නා, මා පසුව දැනගත් පරිදි මට ලැබී තිබුනේ කොම්සමෝලය හෙවත් සෝවියට් රුසියානු තරුණ සංවිධානයෙන් (All-Union Leninist Young Communist League)ප්‍රධානය කරන ලද ශිෂත්වයක් (එය දැනගන්න ලැබුනේ මා සිටි නඟරයේ කොම්සමෝල් සංවිධායිකාව මා ඔවුන්ගේ වැඩසටහන් වලට සම්බන්ධකිරීමට මා සොයා පැමිණි පසුයි), සෝවියට් දේශයේ බොහොමයක් වෘත්තීය/ දේශපාලන/ ස්වෙච්ඡා සංවිධාන ඔවුන්ගේ අරමුදල් යොදවා එවැනි ශිෂත්ව ප්‍රධානය කර තිබුනා, ලංකාවේ සමූපකාර සේවකයන් සඳහා පවා වෙන්වූ සෝවියට් ශිෂත්ව තිබුනා (අපි එයට කීවේ මීයන්ගේ විශ්ව විද්‍යාලය කියා), එම ගණන නොදන්නා සොවියට් සිසත්ත නම් එක්සත් ජාතීන්ගේ අරමුදල් ප්‍රතිපූරණය කිරීමකින් තොරව හුදෙක් ප්‍රචාරණ අරමුණු සහ වෙනත් රටවල සමාජවාදය සඳහා කැපවන්නන්ට ලබාදෙන ටොපියක් වෙන්නැති.

    ඇණයා නිකමෙක් ද නැද්ද කියා මම නො දනිමි, නමුත් කතාවක් ඇත; දුෂ්කර ප්‍රදේශයක ජීවත්වුනු ඇණයා උපෙ යන්තම් පාස්වුනේ තුන්වැනි වතාවේ ලීවා ම ජෙනරල් ඩිග්‍රියකට තේරුනත් ඒ වෙන කොට සෝවියට් දේශයේ, ඇණය සාපෙ කරන කොටත් තාත්තා දේශපාලනය කරල රැකියාව අහිමිකරගෙන පුර්ණකාලීන දේශපාලනයක් කරා, ඇණයා කවදාවත්ම ටියුෂන් නොගියේ පාසල් යාමට සීසන් ටිකට් එකට මුදල් සපයාගත්තෙත් අසීරුවෙන් නිසයි, සාමාන්‍යෙපළත් ගණිතය පේල්වූ නිසා අවුරුද්දක් හේන් කෙටුවා, උසස්පෙළ පළවෙනිවතාව ලියල කුඹුරු කෙටුවා. කොහොමටත් ඉස්කොලේ ගියේ සල්ලි නැති අයගේ දරුවෝ විතරයි, ඇති අය කොළඹ/ නුවර/ මාතර/ ගම්පහ ටියුෂන් ගියා ඒ අතුරින් හිත හොඳ දෙදෙනෙකු මට තැපෑලෙන් ටියුට් එව්වා. පළවෙනි වතාවේ විභාග ප්‍රතිපල වලින් විද්‍යාගනිත ගුරුපත්වීමක් ලැබුනා වැඩකලේ පස්සෙන් පහුකාලෙක කොටි කපපු ගම්මානෙක, ඒ ඉස්කොලේ ඉන්නකොට තමා නොට්ස් ටියුට් එකතුකරගෙන තුන්වෙනිවර උසස්පෙළ ලීවේ, සෝවියට් සිසත්තේ නොලැබුනා නම් ගුරුකම සහ ටියුෂන් එකක් කරගෙන ජීවත්වෙන්න ඉඩ තිබ්බේ ලංකාවේ විශ්වවිද්‍යාෙලකට යන්න වියදම් කරන්න මුදල් ඒ වෙනකොටවත් ඇණයාට තොතිබූ නිසයි, ඒ වගේම මගේ යාළු ජෙප්පෝ තාත්තාව මරන්න ප්ලෑන් කරනවා කියලා දැනගත්ත නිසා ඇතිවුන ආරවුලකුත් ඒ ගමනට හේතුවුනා.

    කියන්න අමතක වුනා, රජය හරහා සෝවියට් ශිෂ්‍යත්ව ලැබූ අටය මෙන් මට පාස්පෝට් හදන්නවත් ටිකට්වලටවත් අතින් මුදල් වැය වුනේ නෑ, ඒ සියල්ල කොම්සමෝල් සංවිධානයෙන් දරා තිබුනා. නමුත් 1992-3න් පසු ජීවත්වුනේ සුළු සුළු බිස්නස් කරලා උපයගත් මුදලින්, ලංකාවට ආපසු ආවේ IOM ටිකට් එකකින්.

    ඇණයා වසරකීපයකට පෙර සැබෑ නමින් වෘත්තීයට අදාලව විවේචනාත්මක කොමෙන්ටු ලියා ( සිංහල බ්ලොග් වල නොවේ)මුහුණදීමට සිඳුවූ ඉතා අමිහිරි සිඳුවීම් නිසා සහ දැනට කරන රැකියාව සහ ජීවත්වන පරිසරයේ සාමය පතා ඇනෝවෙකුම වෙමි.

    ReplyDelete
    Replies
    1. ඇණයා මම හිතන්නේ ඇණය කවුද කියල කිසියම් අදහසක් ආව. ඉතා හොඳ කටහ්වක්. අර ඉකොන් කිව්වා වගේ මගේ බ්ලොගයේ උනත් දාන්න කැමතියි. මේ වගේ අසීරුවෙන් උඩට එනකොට කවුරුහරි ඇවිත් කියනවා සෝවියට් දේශයට හරි තව කොහෙට හරි මුකුත් කියන්න එපා කියල. ඇත්තටම අපි තවම සෝවියට් දේශයට ආදරෙයි. අපටත් ඕනේ දැන ගන්න මොකද වුනේ කියල. අර පැරා ගේ බ්ලොගයේ කවුද බැන්න මගේ කොමෙන්ට් වල කොමියුනිස්ට් ගඳ එනවා කියල. එය නැගනහිර ජර්මනියේ උගත් අයෙක්. මට හිනා. වෙන තැනක ජවිපෙ අයෙක් බනිනවා සෝවියට් දේශයට මොකක්ද කිව්වලු. මේ මිනිස්සු අපි නිදහස්ව හිතනවා කියන එක තේරුම් අරන් නැහැ.

      Delete
  6. රෂියන් කල්චරල් සෙන්ටර් එකේ නෙත්තිකුමාර වගේ නමක් තියෙන නිලධාරියෙක් හිටියා මිනිහා පගාව අරගෙන ශිෂ්‍යත්ව වික්කා

    ReplyDelete
  7. 87-89 භීෂණ සමයේ ජවිපෙ අතින් වූ වැරදි සම්බන්ධව එම පක්ෂය තුල කතිකාවක් කවදාවත් ඇති වේ යැයි මා සිතන්නේ නෑ. අනුර කුමාරගේ යන්තමට ශේප්වෙන කනගාටුව පිළිබඳ ප්‍රකාශනය පවා එලියට එන්නේ එම සිදුවීම් වලින් දශක දෙකකටත් වැඩි කාලයකට පසුවනේ. තවමත් ඒවා මතක තියෙන්නේ ඒ අමිහිරි අත්දැකීම් වලට නිරපරාදේ මුහුණ දුන් අපටයි. තම පක්ෂයේම නන්දන මාරසිංහ වගේ මිනිස්සු මරපු, කුමාර් ගුණරත්නම් වගේ මිනිස්සු පක්ෂයේ හිටියේ නැහැයි කියන පක්ෂයකින් ඒ වගේ පාපොච්චාරණයක් මේ කපේදී එන්නෙ නැහැ. සමන්ත විද්‍යාරත්න දුයිශේන්ගේ අඩවිය කියලා බ්ලොග් එකක් ලියාගන ආවා. මේ වෙනකොට එකත් නතර කරලා. පක්ෂය එපා කියන්න ඇති කියලයි මට හිතෙන්නේ. ඒකට වත් ඉඩ දුන්නා නම් ඒ මිනිහට ඔය ඉබිකටුවෙන් එලියට එන්න තිබුණා. අපරාදේ!

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. සමන්ත යනු මාත් ප්‍රිය කරන ජේවීපීකාරයෙක්. පූර්ණකාලීනව පක්‍ෂ දේශපාලනය කරන අයෙකුට ස්වාධීන බ්ලොග්කරුවෙකු ලෙස පැවැත්මක් නැති බව මා මුලින් ම ඔහු ගේ බ්ලොගය ගැන ලියූ සටහනේ සඳහන් කළා.
      http://rasikalogy.blogspot.com/2016/05/just-my-opinion.html

      පසුව එහි ඇත්ත නැත්ත ඔප්පු වුණා!
      https://rasikalogy.blogspot.com/2016/09/one-step-forward-two-steps-backward.html

      !!!

      Delete
    3. මම ලියල තියෙන්නේ වැරදියට.
      සමන්ත විද්‍යාරත්න කියන්නේ ඇත්තටම හොඳ මනුස්සයෙක්. ගුරුවරයෙක්. ජවිපෙ සමග මගේ කිසිම අරෝවක් නැහැ. නමුත් ජවිපෙ ඒ ක්‍රියා ගැන අවංක සංවාදයක් ගියේ නැත්නම් ගෙනියන්නේ නැත්නම් ඒ ගොල්ලන්ට ඔය ලක්ෂ තුනේ කට්ටෙන් මෙහා මේ කපේට එන්න බැහැ .

      Delete
  8. අජිත් පසුගිය දිනවල මේ සියලු දේ කියවීමෙන් මට මිනිසුන් ගැන අලුත් අත්දැකීම් ලැබුණා!

    ස්තුතියි.

    ReplyDelete
  9. අපිනං දන්නෙ පහේ සිස්සත්වෙ ගැන විතරයි....
    හොඳම තරුණ මාධ්‍ය වේදියාට ලැබෙන ඉන්දියාවේ ජනමාධ්‍ය අධ්‍යාපනය ලබන්න ලැබෙන ශිස්සත්වෙ ගැන මට බලාපොරොත්තුවක් තිබ්බ.
    ඒක ලැබෙන්නෙ ඩේලි මිරර් එකේ ගෑණු ළමයින්ට විතරයි කියල දැනගත්තම මං ඒ හීනෙ අතෑරිය

    ReplyDelete
    Replies
    1. මම පහේ සිස්සත්වේ නුත් පාස්. හු හූ. අර මගේ පහේ පන්තියේදී ලිපිය කියවන්නකෝ. අපි ජන මාධ්‍ය වෙඩි පාඨමාලාවක් දාල තරිඳුට එන්න කියනවා.

      Delete
    2. මාත් පහේ සිස්සත්තේ නම් පාස් හෙහ් හෙහ්!

      Delete
  10. මට ඉස්සර සෝවියට් දේශය කියවනකොට විතරක් නෙමෙයි මං ඉහලින් රසවිඳපු සෝවියට් ප්‍රකාශන පොත් සමහරක්කියවනකොටත් හිතුන එකක් තමයි මේවායේ කොයිතරම් දේශපාලන ප්‍රොපගන්ඩා තියනවද කියල. කොහොමත් අතිශයෝක්තියෙන් සිස්ටම් එකක් හෝ පුද්ගලයෙක් වර්ණනා කරන දේවල් ගැන මට හැමදාම හිතුනේ සැකයක්.

    ශිෂ්‍යත්වත් ඒ ප්‍රොපගන්ඩාවලම කොටසක් නේද? ඒ කාලයේ සීතල යුද්ධය සෝවියට් දේශය තම ඉන්ෆ්ලුවන්ස් එක පතුරවා ගැනීමට ඉතා වෙහෙසක් ගත්තා. ඇමරිකාව එයට එරෙහිව ගෙන ගිය ව්‍යාපාරයට වඩා හොඳින් සෝවියට් ප්‍රොපගන්ඩා එක අපේවගේ යටත්විජිතව සිට නිදහස් වුන, බටහිරට විරුද්ධ මතවාද ජනප්‍රිය තුන්වන ලෝකයේ රටවල ව්‍යාප්ත වුනා.

    මොන පරමාර්තයකින් දුන්නත් ශිෂ්‍යත්ව ලැබූ අය ඒ නිසා තමන්ට ලැබූ දේ ගැන ස්තුතිවන්ත වෙනවා. හැබැයි ස්තුතිවන්ත විය යුත්තේ සමස්ත සෝවියට් ජනතාවට වඩා සෝවියට් අන්තර්ජාතික දේශපාලනයට. එහෙ මිනිස්සුන්ගෙන් අහලා නෙමෙයි දුන්නේ. ආණ්ඩුවට ඕනෙ නිසා. සෝවියට් දේශයට දුෂ්කරතා තිබියදීත් ශිෂ්යත්ව පමණක් නෙමෙයි මුදල්මය හමුදාමය තාක්ෂණික ආධාර දුන්නා තමන් සාර්ථක රටක් ලෙස පෙන්වීමට හා බටහිර ක්‍රමයට වඩා දියුණු විය හැකි රටක් ලෙස ඉමේජ් එක පවත්වාගෙන යාමට හා තමන්ගේ ජාත්‍යන්තර sphere of influence එක පවත්වාගෙන යාමට. බටහිරට වඩා හොඳට අන්තර්ජාතික ප්‍රොපගන්ඩා සෝවියට්වරු කලා.
    Irony එක කියන්නේ ඔවුන් අන්තර්ජාතිකව එහෙම කලාට රට ඇතුලේ ක්‍රමයෙන් අසාර්ථක වීම නිසා බටහිර ප්‍රොපගන්ඩා මැෂින් එකෙන් ක්‍රමයෙන් සෝවියට් ක්‍රමය ඔවුන්ගේ රටේම ප්‍රහාරයට ලක් වීම.
    සෝවියට්වරු පනස් ගණන් සිට හැත්තෑ ගනන් දක්වා ලෝකෙට පෙන්වා සිටිය සමුර්ධිය ඇත්තටම තිබුනේ නෑ නේද?
    අන්තර්ජාතික බල අරගලවලින් රට ඇතුලේ වැඩක් වෙන්නේ නෑ කියලා ට්‍රම්ප් කියන්නේ ඒ නිසා වෙන්න ඇති. :-D

    ReplyDelete
    Replies
    1. //කොහොමත් අතිශයෝක්තියෙන් සිස්ටම් එකක් හෝ පුද්ගලයෙක් වර්ණනා කරන දේවල් ගැන මට හැමදාම හිතුනේ සැකයක්.// මෙතනදී මම හුඟක් දේවල් සොයා ගත්ත. සෝවියට් දේශය ඒ බොරුවට නොගිය නම් මිට වඩා ජනප්‍රිය වෙනවා.
      //ඇමරිකාව එයට එරෙහිව ගෙන ගිය ව්‍යාපාරයට වඩා හොඳින් සෝවියට් ප්‍රොපගන්ඩා එක අපේවගේ යටත්විජිතව සිට නිදහස් වුන, බටහිරට විරුද්ධ මතවාද ජනප්‍රිය තුන්වන ලෝකයේ රටවල ව්‍යාප්ත වුනා. //ඔව්.
      //එහෙ මිනිස්සුන්ගෙන් අහලා නෙමෙයි දුන්නේ. ආණ්ඩුවට ඕනෙ නිසා. // පක්ෂයට ඕනේ නිසා.
      //Irony එක කියන්නේ ඔවුන් අන්තර්ජාතිකව එහෙම කලාට රට ඇතුලේ ක්‍රමයෙන් අසාර්ථක වීම නිසා බටහිර ප්‍රොපගන්ඩා මැෂින් එකෙන් ක්‍රමයෙන් සෝවියට් ක්‍රමය ඔවුන්ගේ රටේම ප්‍රහාරයට ලක් වීම.
      සෝවියට්වරු පනස් ගණන් සිට හැත්තෑ ගනන් දක්වා ලෝකෙට පෙන්වා සිටිය සමුර්ධිය ඇත්තටම තිබුනේ නෑ නේද? // දියුණුවක් තිබ්බ ප්‍රා. ඇත්තටම තිබ්බ. ලනක්වට වැඩිය දියුණුවක් තිබ්බ සමහර පති වලින්. හරි දියුණුව නෙමේ පෙන්නුවේ අරවගේ මායාවක්.

      Delete
    2. ට්‍රම්ප් හරි.

      Delete
  11. ලංකාවෙන් ඉගෙන ගන්න රුසියාවට යන එක වගේම එහේ විස්තර ගැන ඔබගෙන් වගේම ඩොක්ට රුවන් ගේ පොස්ට් කියවීමෙන් ලොකු දැනුමක් ලැබුන.

    තමන්ගේ සල්ලි වලින් හෝ ආණ්ඩුවේ සල්ලි වලින් හෝ විදේශ රටකට ගොස් ඉගෙනගන්න එක හරි රැකියාවක් කරගන්න එකට හරිත් උනන්දුව කැපකිරීම ඉහලින්ම කරන්ට ඕන දෙයක්.

    ඒ දෙය හරියටම කරගත්ත දෙන්නෙක් විදිහට ඔබ සහ ඩොක්ට මම දකිනව.

    අනික විදේශ ශිෂ්‍යත්වයක් ලැබිල රට ගියා කියල තමන්ගේ රටට ම කොරහන් කියන තියරියට මම එකෙන්ම විරුද්දයි.

    මොකද අපේ රටේ (සොරි මේ වචනෙ පාවිච්චි කරනවට අජිත් අයියේ) මොන ලබ්බ කලත් කොරන එකාට ලැබෙන ලබ්බකුත් නැහැ පණ යන එක ඇරෙන්ට.

    අනික රුසියන් ගිය දෙන්නෙක්ම ලංකාවට ආව අද්‍යාපනය කඩාගෙන. ඒ දවස්වල ඒ උදවිය කිව්වෙ සීතල නිසා ආව කියල. (හනේ අපි නොදන්නා සීතල 😂)

    මම ගිය පාසලට කොහේදෝ රටකින් ගුවන් නියමු උපාදියක් හම්බුනා. ඒක දුන්නෙ ලංකාවට දෙකයි. ඒකෙ කැඩෙට් ට්‍රේනිං එහෙමත් තියෙනව.

    කොහොම හරි විදුහල්පති ගේ කීකරු ගුරුතුමියගේ පුතාට ඒක ලැබුන. හැබැයි ඒ පුතා සමනලයෙක් වගේ මෘදු ළමයෙක්.

    කොහොමහරි ඇමෙරිකා ගියා.

    සතියෙන් ආයෙ ලංකාවේ. හේතුව ව්‍යායාම වලට මුහුණදීමට බැරිවීම.

    කොච්චර ලොකු අපරාදයක්ද.

    ඕන කම තියෙන ඒකා ඕන කට්ටක් කාගෙන තමන්ගෙ වැඩේ කරගන්නව.

    ඔය කැපකිරීම ලංකාවේ පිරිසෙන් 99% වත් කරන්නෙ නැහැ.

    කරගත්ත එකා කායිකව හෝ මානසිකව වට්ටන්න තමයි හදන්නෙ.

    මට මෙහෙ එම්බසියේ දී දවසක් හම්බුන තානාපති කාර්යාල සේවකයෙක් ඇහුව මගෙන් ජොබ් එකක්.

    මම කිව්වා ජොබ් එකක් ගැන. එතකොට මිනිහ කිව්වේ "හය්යෝ මල්ලි. බර උස්සන්න? මොන ලජ්ජනැති වැඩක්ද. මම හොයන්නෙ ඔෆිස් ජොබ් එකක්. ඊට වැඩිය හොඳයි මේ රස්සාව කරල ගෙදර යනව. මොකද මට සල්ලි ප්‍රශ්නයක් වැඩිය නැහැ. මට ගවර්මන්ට් එකෙන් මෙහෙ ඉන්නවට කන්න බොන්න ඇලවන්ස් ළමයින්ට ඉගෙනගන්න මට වයිෆ් ටත් ඔක්කොමලටම ගෙවනවානේ" කියල.

    මම කිව්ව "ඔව් ඔව් ඔෆිස් ජොබ් නම් ගොඩක් තියෙනව. තව ටිකක් ට්‍රයි කලොත් බැංකුවක මැනේජර් කමක් උනත් හොයාගන්ට පුළුවනි" කියල.

    කොහොමද මුන්ගේ මහන්තත්ව කම. මුන් ලංකාවට ගිහින් කියන දේවල් මට මැවිල පෙනවා 😜😜😜😜😜

    ReplyDelete
    Replies
    1. //මොකද අපේ රටේ (සොරි මේ වචනෙ පාවිච්චි කරනවට අජිත් අයියේ) මොන ලබ්බ කලත් කොරන එකාට ලැබෙන ලබ්බකුත් නැහැ පණ යන එක ඇරෙන්ට.// සොරි කියන්නේ මොකටද කටහ්ව ඇත්ත කොට.
      ඔය අන්තිම අත්දැකීම වගේ ඒවා තමා ලියන්නේ ඕනේ. ඔයාගේ බ්ලොග් එකේ.

      Delete

මෙහි ඇති ඕනෑම ලිපියක් අජිත් ධර්මකීර්ති, අජිත් ධර්ම හෝ කොළඹ ගමයා බ්ලොග් ලින්ක් එක යටතේ උපුටා පල කිරීමට පුළුවන.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම කොමෙන්ටුවක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ කොමෙන්ටු පමණක් පල නොකරමි. කොමෙන්ට් දමන සියල්ලන්ටම ස්තුතියි.