Wednesday 14 November 2018

බදුල්ලේදී පැරණි මිතුරෙකු සහ මහියංගනයේ දී බ්ලොග් රසිකයෙකු හමුවීම

පහුගිය  දවසක ලංකාවේ ඉන්දෙද්දී සමනලවැව  බලන්න ගියා. ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරීවරියක හා  මගේ ළඟම  යෙහෙළියක තමයි අප රැගෙන ගිහින් මේ හැම තැනක්ම  පෙන්වූයේ. ඇය උගත්තේ මා ඉගෙනගත් සෝවියට් දේශයේ මොස්කව් විදුලිබල හා තාක්ෂණය පිලිබඳ විශ්ව විද්‍යාලයෙමයි. මේ යෙහෙළිය මා උගත් විශ්ව විද්‍යාලයේ මට  ජේෂ්ඨව සිටි  ශිෂ්‍යාවක් වගේම ඉතා දක්ෂ ලෙස ඉගෙනීම අවසන් කළ උපාධිධාරිනියක්.  ඇගෙන් ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයට වන සේවයත් එතරම්ම උසස් බවයි මට දැන ගන්නට ලැබුනේ. ඒ ගැන පසුව ලියන්න හිතන් ඉන්නවා.
තරුණ ඉංජිනේරු මහතා විස්තර කරමින් 
දූලා දෙන්නටත් අපත් සමග ගිය අනිත් දරු දැරියන්ටත් සමනළ වැව ජල විදුලි බලා ගාරය බලන්නට ලැබීමත් විදුලි ඉංජිනේරු මහතෙකු විසින් බලාගාරය තුල පෙන්වමින් එහි විස්තර කියා දීමත් ඔවුන්ට සුවිශේෂී  අත් දැකීමක් වුනා. සෝවියට්  දේශයේ සිටියදී මා පුහුණුව සඳහා ගොස් සිටි සඵරෝෂි  බලාගාරය  නරඹා  තිබුනා. ඒ වගේම  පුහුණුව කාලයේදීම   රන්දෙනිගල දැක තිබුණා.   එනිසා ඔවුන්ට යම් යම් දේ මතකයෙන්  කියා දීමට හැකිවීම මටත් සතුටක් වුනා.
දුම්රිය එන්ජිම නතරවී 

සමනළ වැව සංචාරයෙන් පසුව  අපි ගියේ  බණ්ඩාරවෙලට. ඉන්පසු සෙමින් ධාවනය වන දුම්රියක නැගී බදුල්ලට ගියා. ඒ ගියේ බදුල්ලේ ජිවත් වන  මා කුඩා කාලයේ ලුණුගල ගමේ කෙළි සෙල්ලම් කළ සෝමතිලක මිතුරා හමුවීමටයි. දුම්රියේ යද්දී ලැබූ අපූරු අත්දැකීමක් වුනේ  සෝමතිලක  ලුණුගල සිටියදී  මිතුරෙකුව සිටි  බදුලු කොළඹ දුම්රියේ රියදුරු මහතා මා සමග ජංගම  දුරකතනයෙන් කතා කරමින් සිටියදීම මට  ජනේලයෙන් පිටත බලන්නට කීමයි.
ඒ මොහොතේ ඔහු දුම්රිය එන්ජිම හරියටම අපේ මැදිරියෙන්  පිටත නවතා මට අත වනනවා.  මගේ දියණියන් හා  බිරිඳ පුදුමයට හා සතුටට පත් කළ සොඳුරු අත්දැකීමක් වුනා ඒක.
ගුණරත්න අයියා  වම් පසින් මා හා සෝමතිලක මැද සුදත් දකුණෙන් 

  සෝමතිලක  ගැන මම මීට පෙර මේ  බ්ලොගයේ ලියා තිබෙනවා. අහම්බයකින් වගේ මා සමග එකම පන්තියේ උගත් තවත් මිතුරකුද මුණ ගැසුනා. ඒ සුදත්. මේ සියලු හමුවීම් වලට මග සලසා දුන්නේ එච් බී ගුණරත්න අයියා. (හිතුවක්කාරී පොත ලියුවේ ඔහු).   බදුල්ලේදී  සෝමතිලකයන් ගේ නිවසේ  අපට රස මසවුලෙන් පිරි ප්‍රනීත සංග්‍රහයක් සූදානම් කර තිබුණා.  අවශ්‍ය මධු පානය හා නැතිවම බැරි බයිට් එක සැපයුවේ සුදත්.

සෝමතිලකගේ පිය බිරිඳ, දරුවන් සහ නැදි  මයිලන්ද අප උණුසුම්ව පිළි ගත්තා. . ඉතා සොඳුරු මතකයන් සිහි ගන්වමින් ගතකල පැය කිහිපය ඉක්මනින් නිමවූ නිසා අපි බණ්ඩාරවෙල නවාතැනට ගියා. නමුත් අපට ඇත්තටම අවශ්‍ය වූයේ මහියංගන පැත්තට යන්නටයි. ගුණරත්න අයියා දුරකථන නොම්මරයක් දී තිබුණා මහියංගනයේ වෙසෙන ප්‍රසන්න නම් අයෙකු ගේ . උදව්වක් ඉල්ලන්න කියල.
මෙහෙමයි ගියේ කතාව.
"මම මේ ගුණරත්න අයියගේ යාළුවෙක්. නම අජිත්. ඔයාට කතා කරන්න කිව්වා නවතින්න තැනක්  බලන්න"
"ආ මේ කොළඹ ගමය නේ.  මම දන්නවා "
"කොහොමද දන්නේ "
"මම ඔයාගේ ෆෑන් කෙනෙක්. මම මුකුත් ලියන්නේ නැහැ. ඒත් කියවනවා. ඔයාගේ ෆේස්බුක් ලිස්ට් එකෙත් ඉන්නවා. මම ප්‍රසන්න "
"පළමුවෙනි වතාවට බ්ලොගය ප්‍රිය කරන නුදුටු කෙනෙක් හමු වුනේ. මම මේ නවතින්න තැනක් බලනවා. "
"මහියංගනේ මවුන්ට්එජස් රිජන්සි එක හොඳයි . එතන බලන්න "
මේ කතා බහෙන් පස්සේ ඒ නවාතැන තීන්දු කර ගත්ත"
ප්‍රසන්න සමග 
ප්‍රසන්න ගේ ඖෂධාලය ඉදිරිපස 

ඖෂධාලය

මහියංගනයට ගොස්  මගේ බ්ලොගය කියන සොඳුරු හිතවතා ප්‍රසන්න  සමරසේකරත් මුණ ගැහුණා.
ප්‍රසන්න ගැන මට පැහැදීමක් ඇතිවුනේ මගේ බ්ලොග් අඩවියේ රසිකයකු වීම නිසාමත් නොවේ. ඔහු පුහුණු ඖෂධවේදියෙක්. ඔහු මහියංගනයේ ඖෂධාලයක් පවත්වාගෙන යන්නේ තවත් තරුණ තරුණියන් දහ දෙනෙකුට පමණ රැකියා අවස්ථා ලබා දෙමින්. එසේම ඔහුගේ  ඖෂධාලය  මා බොහෝ දුරට ලංකාවේ දැක තිබෙන නොයෙකුත් බඩු පුරවා ඇති ගබඩා වැනි නීරස ලෙස පවත්වා ගෙන යන ඖෂධාල මෙන් නොව එංගලන්තයේ හෝ ජර්මනියේ මා  දැක ඇති නවීන පන්නයේ ස්ථානයක්.

දෙවැන්න එවැනි කාර්යබහුල ජිවිතයක් ගත කලත් ඔහු සාහිත රසකාමියෙක් වීමයි. බ්ලොග් හා පොත් පත් කියවීම පමණක් නොව ඌවේ සංස්කෘතික  ජිවිතයට (යූ සර්කල් වැනි)  ඔහු ක්‍රියාශීලී ලෙස මැදිහත්වන බවත් දුටුවා. ඔහු වැන්නන් හමුවීමත් සතුටක්.

 සුන්දර මහියංගන චෛත්‍යයත්  බලන්න ගිහින් අපේ සොඳුරු නවාතැනට ගියා. සුන්දර දවසක් ගෙවී ගියේ එහෙමයි.

13 comments:

  1. Replies
    1. ඒකනේ , වෙල්කම් බැක්

      Delete
  2. මට අර සෝමතිලකයි දුම්රිය රියදුරුයි කෝච්චිය නවත්තපු එකයි ගැන කතාව හරියට තේරුන්නෑ.

    ප්‍රසන්නලා සාමන්‍යෙයන් කතා නොකරන ජීවි කොට්ටාශයක් නේද? හැක්

    ReplyDelete
    Replies
    1. ඔව්. බොට්ස්ල වෙන්න ඇති. ඒ කියන්නේ ඉන්ටලිජන්ට් චැටින් ඕකේ.

      Delete
    2. ප්‍රසන්නට හොඳට කතා කරන්න පුළුවන්. අප සිටි කාලයේ ලුණුගල සිටි සෝමේ ගේ යහළුවෙක් හා නෑදෑ මහතෙක් තමා දුම්රියේ රියදුරු මහතා. ඔහුට එදා හමුවන්න විධිහක් නැහැ . අපට කිසියම් උදව්වක් අවශ්‍ය වෙලා ඔහු එය ඉටු කර දීමට මට දුරකථන ඇමතුමක් දුන්නා. ඔහුට එවෙලේ වැටහුණා මා ඉන්නේ දුම්රියේ බව. ඔහු ජනේලයෙන් එලිය බලන්න කියා දුරකථනය විසන්ධි කලා. ඒ අවස්ථාවේ බැලූ විට ඔහු දුම්රිය එන්ජිමේ සිටියා. ඔය පින්තුරය ගත්තේ ඒ වෙලේ. අප දෙදෙනා එකිනෙකාට කතා කර සිනහ වුනු අන්දම දුටු නිසා ඉනෙස් ඒ ගැන විමසුවා. ඇයට තේරුම් ගියේ එවිටයි.

      Delete
  3. අජිත්ගේ කතාව නං නවීන විද්‍යාව අනුගමනය කරනා, මිත්‍යාවට එරෙහි අයෙක් වගෙයි. හැබැයි යන්නේ මිත්‍යා දෘෂ්ටික ආගම් පස්සේ. හැබැට අජිත් සෝවියට් රුසියාවේදී මුලික උපාධිය ගන්නකොටත් පන්සල් ගියාද? ලජ්ජා නැද්ද මිත්‍යා දෘෂ්ඨික ආගම් බලන්න යන්නේ?

    ReplyDelete
    Replies
    1. මිත්‍යා දෘෂ්ටික කියන වචන දෙකේ තේරුම දන්නවද

      Delete
  4. /නියෝජ්‍ය සාමාන්‍යධිකාරීවරියක /

    Deputy General Manager ට නිවැරදි සිංහල වදන නියෝජ්‍ය මහා කළමණාකාර..

    ඔය සාමාන්‍යාධිකාරී කියල වචනයක් හැදිල තියෙන්නෙ වැරදි පරිවර්තනයක් හින්ද..General කියල කිව්වම සාමාන්‍ය කියන තේරුමට අමතරව ප්‍රධාන නැත්නම් මහා කියන තේරුමත් තියනව කියල නොදන්න කෙනෙක් කරපු වැඩක් ඔය.

    ReplyDelete
    Replies
    1. පොස්ට් එක එහෙමනේ තියෙන්නේ ලියල සිංහලෙන් ඉංග්‍රීසියෙන් DGM තමයි

      Delete
    2. ඔන්න ඔහෙ නියෝජ්‍ය කළමනාකාර ජනරාල් කියල දාගන්න

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .