Friday 16 November 2018

නවසිය දහහතේ සිදුවූ දෙබසක් විය හැකියි


Lenin : ලෙව් දවිදොවිච් , දැන්නම් ව්‍යවස්ථාදායකය හා රාජාණ්ඩුව අතර දයලෙක්තික  ප්‍රතිවිරෝධය හොඳටම උඩු දුවල  වගේ නේද පේන්නේ.  කෙරෙන්ස්කිට කරගන්න අමාරු වග හොඳටම පැහැදිලියි. රට පුරා කලබල. යුද්ධය දිගටම ඇදෙනවා. සොල්දාදුවෝ අණ පිලි පදින්නේ නැහැ. ආහාර හා භාණ්ඩ හිඟය රට පුරා . ගොවියන්, කම්කරුවන් ජිවත්වෙන්නේ බොහොම අමාරුවෙන්.  මේ දෙගොල්ලම  ශිෂ්‍යයන් සමග එකතු වෙලා කැරැල්ලකට සැරසෙනවා. රට අරාජික වෙලා වගේ. කවුරු හරි රට පාලනය කරන්න  පුළුවන් කෙනෙක් බලය  ගන්න ඕනේ. ඒ තත්වය අප මත පැවරිලා කියලයි මට හිතෙන්නේ.

Trotsky: ව්ලැදිමීර් ඉලිච්, රට ගැන ඔබේ අදහසට මටත් එකඟ වෙන්න පුළුවන්.  රාජාණ්ඩුව නැවතත් වතාවක් විධායක බලය අල්ලා ගැනීමේ ප්‍රයත්නයක යෙදී සිටිනවා. ඔබගේ අදහස අප බලය ගත යුතු බවද?  බොල්ෂෙවික් පක්ෂය  ඒ සඳහා සූදානම් කියා හිතනවාද? මා  හිතන්නේ පෙට්‍රොගාඩ් සෝවියට් සභාවට බලය පැවරිය යුතුයි කියල.

L : 
ලෙව්  දවිදොවිච්, මේකයි . ඔබ දන්නවා මම දෙතුන් වරක්ම මධ්‍යම කාරක සභාවට දන්වා යැව්වා බලය ලබා ගැනීම සඳහා සැරසෙන්න. මේ සඳහා හොඳම අවස්ථාව  එළඹිලා තිබෙන්නේ කියල. මධ්‍යම කාරක සභාව මගේ යෝජනාව පිළි ගත්තට  ඔවුන් එය සාකච්චා කිරීමට මග හරින බවයි මට හැඟෙන්නේ. එනිසා මම මධ්‍යම කාරක සභාවෙන් ඉල්ලා අස්වෙන බවට ඊයේ ලිපියක් යැව්වා. බුහාරින් සහ කාමෙනෙව් සහෝදරවරුන් ඉක්මන් තීරණයක් ගන්න එපා යයි පවසනවා.පෙට්‍රොගාඩ් සෝවියට් සභාවට අමතර බලයක් පැවරීම තේරුමක් නැති දෙයක්. එහි සිටින මෙන්ෂෙවික් වරු, ගොවි නියෝජිතයන්  හා කුලාක්වරු එකිනෙකා  සමග  වාද කිරීම  හා ගුටිබැට හුවමාරුව ඇරෙන්න යමක් කෙරෙන්නේ නැහැ.

T: ව්ලැදිමීර් ඉලිච්, මමත් ඔබට කියන්නේ ඉක්මන් වෙන්න එපා. මම ඔබේ අදහස අද මධ්‍යම කාරක සභාවට ගැනීමට සහයෝගය දෙන්නම්. නමුත් මට තවමත් මේ බලය ලබා ගැනීමේ අදහස්  ඉක්මන් වැඩියි සිතෙනවා. සමාජවාදී මෙන්ශේවිකයෙකු වන කෙරෙන්ස්කි ට සහයෝගය දීම වඩා සුදුසු නැත්ද? බලය ලබා ගත් පසු එය අපට රැක ගැනීමට පුළුවන් වේවිද? පක්ෂ සහෝදරයෙන්ගේ ජිවිත අනතුරකට ලක්වෙනවට මම කැමති නැහැ. බොහෝ  මධ්‍යම කාරක සභිකයන්ගේ අදහසත් එයම විය හැකියි.

L: ලෙව්  දවිදොවිච්, අපේ පක්ෂය යනු කුමක්ද? දැනට වඩාත්ම  විනයගරුක, වඩාත් කැපවීමෙන් කටයුතු කරන  සාමාජිකයන් සිටින පක්ෂය අප සතුයි. ඔවුන් රුසියානු ජනතාවට හානියක්  වනවාට අකැමැති, රුසියානු ජනතාවට ආදරය කරන,   රුසියානු  දේශයට ආදරය කරන පිරිසක්. සොල්දාදුවන් ගේ, ගොවීන්ගේ , නාගරික කම්කරුවන්ගේ හා සිසුන්ගේ සහයෝගය ඔවුන්ට ලබා ගැනීම අපහසු නැහැ. ඔවුන් වැඩ කරන්නේ එම පිරිස් අතරයි. ලේ හෙල්ලීමක් වෙනවා නම් එසේ වන්නේ මේ බලලෝභී සාර් වාදී පාලනය සාමකාමිව ඉවත් නොවුනහොත් පමණයි. එතැනට නොයාමට අවශ්‍ය හැකි ඕනෑම පියවරක් ගමු. එනිසා බලය ලබා ගැනීම වඩාත් සුදුසු මේ අවස්ථාව නොසලකා හැරීම ලොකුම වරදක් වේවි. එනිසා හැකි ඉක්මනින් ඒ සඳහා කටයුතු කරන ලෙස පක්ෂයට යෝජනා කරන්න  කැමතියි. ඔබ එකඟද ?

T: ඔබට මගේ පුර්ණ සහයෝගය හිමිවෙනවා ව්ලැදිමීර් ඉලිච් .

ව්ලැදිමීර් ඉලිච් - ව්ලැදිමීර් ඉලිච්  උල්යානොව් හෙවත් ලෙනින්
ලෙව්  දවිදොවිච් - ලෙව්  දවිදොවිච් බ්‍රොන්ෂ්ටයින් හෙවත් ට්‍රොට්ස්කි



මේ කතාබහ වර්තමානයේ කිසිම රටක සිදුවන කිසිම සිදුවීමකට අදාල නැති අතර ඓතිහාසික කෘති   වල දැක්වෙන අදහස් අනුසාරයෙන් 1917 වසරේ ඔක්තෝබර් මාසයේ රුසියාවේ සිදුවන්නට ඇතැයි  පරිකල්පනය කර ලියූවකි.

ප.ලි.  බ්‍රිතාන්‍ය රජය යුරෝපයෙන් නික්ම යාමේ ප්‍රශ්නය නිසා ප්‍රබල අර්බුදයකට මුහුණ දී ඇති අතර ජෙරෙමි කෝබින්ට පස්සා  දොරින් රාජ්‍ය බලය ගැනීමේඅවස්ථාවක් උදාවී  තිබේ.


7 comments:

  1. එතුමා උදෙන්ම නැගිට්ටේ අද දවස කාර්යබහුල දවසක් නිසාය ,ඊයේ රෑ බෝතලයකට කිට්ටු වන්නට මධු විත පානය කරත් ඒ තරම් අමාරුවක් ඇඟට නොදැනෙන්නේ ඒවා ඉස්තරම් වර්ගයේ ස්කොට්ලන්තයේ තැනූ විස්කි නිසා විය හැක ,එතුමාට ගමේ ඉන්නා කාලය සිහි විය ඒ කාලේ බිපූ දේවල් බෝතලයක් විතර බීවා නම් ඔලුව උස්සන්න වෙන්නේ දවස් දෙකකින් විතර යයි කියා සිතු එතුමාට සිනා පහල විය , උදේම සිය නිවසේ ඇති ජලය මදක් උණුසුම් කල හැකි නාන තටාකයට බැසීම පුරුද්දක් ලෙස එතුමා විසින් සිදු කරයි ,එතුමා නැගිටින්නට මොහොතකට පෙර නාන තටාකයේ ජලය උණුසුම් කරන්නට සේවකයකු වග බලා ගනී , විදුලි බිලත් අමාත්‍යාංශයෙන් ගෙවන නිසා එතුමාට ඒ ගැන එතරම් තැකීමක් නැත නැතත් මුදල් හම්බ කරන්නේ වියදම් කරන්නට යයි එතුමා කල්පනා කරයි ,නාන තටාකයේ පිහිනිමෙන් අනතුරුව ,නවසීලන්තයේ වෙසෙන දියණියටත් ඇමරිකාවේ වෙසෙන පුතාටත් ස්කයිප් තාක්ෂනය ඔස්සේ කතා කිරීම එතුමාගේ සිරිතයි ,ලේකම් වරයාගේ බාදා කිරීම සිදු වූයේ ඇමෙරිකාවේ වෙසෙන පුත්‍රයා හා කතා කර අවසන් වනවා සමගමය ," සර් මේ සර්ගේ ෆේස් බුක් එක හැන්ඩ්ල් කරන කොල්ලෝ දෙන්නා කතා කරා ,අද වැදගත් දවසක් නිසා මොනවා වගේද ලියන්න ඕනි කියලා ඇහුවා " එතුමා මදක් කල්පනා කළේය ,,"හ්ම්ම් කියපන් අධිරාජ්‍යවාදී බටහිර කුමන්ත්‍රණ අපි පරද්දනවා කියලා ලියන්න කියලා මේ රටේ සිංහල කම වෙනුවෙන් බුද්ධහගම වෙනුවෙන් අපේ මේ සටන පාර්ලිමේන්තුව ඇතුලේ අපි නොකඩවා කරනවා කියලත් ලියන්න කියපන් ,අන්න ඒ වගේ මොනවා හරි ලියන්න කියපන් බන් උන්ට මම ගෙවන්නේ ඒකටනේ අපි ඒ තරම් උගත් උනා නම් මුන්ට සල්ලි ගෙවා ගෙවා තියා ගන්නවද " "ලේකම් - ආ හරි සර් මම කියන්නම් " " ආ මේ තව එකක් බාර් දෙකේ සල්ලියි රෙස්ටුරන්ට් එකේ සල්ලියි අද මගේ කරන්ට් එකවුන්ට් එකට දාන්න කියපන් , වැඩපලේ සල්ලි අනිත් එකවුන්ට් එකට දාන්න කියපන් " " ලේකම් - ආ හරි සර්
    එතුමා පාතාසරය අනුභවය සඳහා මේසෙට වාදී විය සොසේජස් ,බේකන් ,හැෂ් බ්‍රවුන් ,සනිසයිඩ් අප් ෆෙන්ච් බ්‍රෙඩ් සමග ගැනීමට එතුමා ප්‍රිය කරයි , ගමේ ඉන්න කාලේ මාතර බත් කඩෙන් ණයට උදේට කාපු හැටි එතුමාට සිහි විය , කැරමල් ලතේ එකක් පානය කරපු එතුමා පාර්ලිමේන්තුවට යාම සඳහා සුදානම් විය
    " අද මම බෙන්ස් එකේ යන්නේ නෑ ප්‍රාඩෝ එක ලැස්ති කරහන් " ලේකම් - හා හරි සර්

    සුවපහසු බෙන්ස් රථයේ නැගුනු එතුමා පාර්ලිමේන්තුව බලා පිටත් විය ,පොලිසියෙන් හා හමුදාවෙන් පාර වසා පෙර ගමන් කරන නිසා වේගෙන් ඉදිරියට යන්නට එතුමා රැගත් රථ පෙරහැරට පිළිවන් විය ,මග දෙපස රැකියා වලට යාම සඳහා මාර්ග තදබදයේ බස් රථ තුල තෙරපෙමින් සිටින ජනතාව ඔහු දුටුවේය ජිවිතයට රැකියාවක් කර නොමැති නිසා මේ අත්දැකීම එතුමාට නැත ,ටයිම් කීපර් වරයෙක් ලෙස මිට වසර විස්සකට පමණ පෙර පුද්ගලික බස් රථ වලින් කප්පම් ගැනීම හැර එතුමා කරන ලද රැකියාවක් නොමැත ,කල්පනාවේ නිමග්නව ගමනේ යෙදෙන එතුමාගේ කල්පනාව බින්දේ ලේකම් වරයාය

    "අද මොකද්ද සර් වෙන්නේ පාර්ලිමේන්තුවේ " " මොනා වෙන්නද බං , මේ රට බටහිර කුමන්ත්‍රණ කාරයොන්ට යටත් කර ගන්න දෙන්න පුලුවන්ද ,පාර්ලිමේන්තුව කරගෙන යන්න දෙන්නේ නැතුව ගේමක් අදින්න කියලා ලොක්කා කිව්වා " ලේකම් - ඉතින් සර් ,ඊට පස්සේ මොකද වෙන්නේ ? " මොනා වෙන්නද බං ,ඊට පස්සේ කැන්ටිමෙන් සුප් එකක් බිල ,කෑම ටිකක් කාලා ආපහු එනවා " ලේකම් - සර් ඉතින් රට අස්ථාවර වෙන්නේ නැද්ද මේ හින්දා ?
    " අනේ මේ රෙද්දක් කතා කරන් නැතුව උඹ උඹේ රස්සාව කරහන් ,රටේ උන් ස්ථාවර වෙන්න කලින් අපි ස්ථාවර වෙන්න ඕනි නැද්ද " ලේකම් - නෑ සර් මම නිකන් ඇහුවේ , " මේ හිල්ටන් එකට කතා කරලා මසාජ් එකක් බුක් කරහන් මේ දවස් වල හරි මහන්සි, ඉන්නවනම් ෆොරින් තෙරපිස්ට් කෙනෙක් හොඳද , ලංකාවේ ගෑනු දන්නේ නෑ හරියට මසාජ් කරන්න " ලේකම් - හරි සර් මම කරන්නම්

    එතුමා පාර්ලිමේන්තුවට ඇතුල් විය

    ReplyDelete
    Replies
    1. ඉතාම නිර්මාණශීලි ලෙස ලියා තිබෙනවා. ඔබේ බ්ලොගයක් තිබෙනවා නම් පල කරන්න. නැත්නම් මගේ එකේ දාන්නම්

      Delete
    2. I don't have blog comrade, if you think this is suitable go ahead and publish it

      Delete
    3. අනුන් ලියන කතා තමන්ගේ බ්ලොගේ පල කරලා මාත් පොරක් වීමේ මානසිකත්වයකට පථ්වීම හෙලා දකිමු මනරන්ජන

      Delete
    4. නැහැ බං පඟර නැට්ටෝ , ඒකට කියන්නේ නිර්මාණයකට උදව් දෙනව කියල. ඕන නිර්මාණයකට උදව් දී දිරි ගැන්වීම කුහක කමක් මත බ්ලොගය උඩ දැන්වීම වත් නෙමේ කියල අමු කුහක මනෝ ව්‍යාධි තියෙන උඹල තේරෙන්නේ නැහැ. මම පොත් දෙකක් පළ කලා දෙවෙඉ එක ඊයේ පෙරේද. ඒවා ලිව්වෙත් මේ බ්ලොගේ තමයි කියවල බලහන්

      Delete
    5. ඒකට කියන්නේ නිර්මාණයකට උදව් දෙනව කියල..//// අනේ අපි නොදන්නා උදව් එව්වා හොදයි ඉතින් අහවල් එකේ කොරන්ට... කලින් අවුරුදු 3 කලේ එකෙන් උනේ උන් උන් මරාගෙන බ්ලොග් කලාවත් කෙලවෙලා ගියපු එකයි මනරංජන

      Delete
    6. බ්ලොග් කලාවට කෙල උනාවන් ඒක උනේ සකර්බර්ග් ගේ ෆේස්බුක් එකෙන් මිසක් වන හත්තිලව්වක් නිසා නෙමෙයි මනුස්සයෝ. ඔය කියන තරම් කෙල වේලාවන් ඔය දකුණ පැත්තේ බ්ලොග් රෝල අප්ඩේට් වෙන්නේ කොහොමද හලෝ. ගිහින් බලනවා අටමගේ සින්ඩිය , මාතලන්ගේ බ්ලොග් රෝල හරි අඹ ගහ යට හරි. තවත් පිස්සු හිටන් කෙනෙක්

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .