Friday, 26 November 2021

බ්‍රිතාන්‍ය පුස්තකාලයට තවත් ගමනක්


පහුගිය කෝවිඩ් වසංගතේ  උග්‍ර  කාලේ බ්‍රිතාන්‍ය කෞතුකාගාරයට ගිහින් හිරවෙලා රාවණා හෙම හම්බ වෙලා වෙච්ච් ඇබැද්දිය කට්ටියට මතක ඇති. ඒකෙ දෙවෙනි ලිපිය මේ යොමුවේ. ඊට පස්සේ උනේ මේකයි.   ඔය කට්ටකාඩු වේ ලොකු මලය හොයන පුස්කොල පොත කෞතුකාගාරයේ නැහැලු. ඒ ගොල්ලෝ කීව  බ්‍රිතාන්‍ය පුස්තකාලයට යන්න කියල.  ඒක මේ කෝවිඩ් අස්සේ ලෙහෙසි වුනේ නැහැ. ඔන්ලයින් ගිහින් වෙලාවක් දාගෙන  විතරයි යන්න  දෙන්නේ. ඒවත් ඉතින්  මාස ගානකට බුක් වෙලා ඉවරයි.  ඉතින් මමයි පොඩි දුවයි ඉඳල ඉඳල  යන්න අපොයින්ට්මන්ට් එකක්  දාගත්ත. මෙන්න මෙයාල කියනවා රීඩර්ස් කාඩ් එක නැතිව යන්න බැහැ කියල. (ඉස්සර පුළුවන්) ඒ ගමන තව මාස දෙකක් බලන් ඉඳල වෙලාවක් දාගෙන  අපි දෙන්න ගියා. 



කට්ටකාඩුවේ ඉල්ලන පුස්කොල පොත හෙවත් ලේඛනය දකුණු ආසියාව සම්බන්ධ අංශයේ  තියනවා කියල ඊමේල් හත අටක් එහෙට මෙහෙට යවල හොයා ගත්ත. ඒත් රීඩර් කාඩ් එක ගත්ත දවසේ හම්බ වුනේ නැහැ ඒක. ඊට පස්සේ  ආයෙත් දවසක් දාගත්ත සතියේ දවසක. ඒකට නිවාඩුවකුත් ගන්න වුනා.

ඔය අතරේ අර ලන්ඩන් හෙම වැඩ ඉඳල ගිය "පොඩි සාදුගේ ලියමන " බ්ලොග් අඩවිය කරන අපේ ගුරුගොඩ සිරිවිමල හාමුදුරුවන්ගේ වැඩකුත් වැටුන.  ජී. සිරිවිමල හාමුදුරුවන්ගේ වැඩේ තමා පුස්කොල පොත් දෙකක පිටපත් ගැනීම. ඒකට ලංකාවේ ඉඳන් මේලක් දැම්මම රුපියල් ලක්ෂ ගණනක් යනවා කියල. ඩොලර් හා පවුම් නුත් නැති එකේ  ලන්ඩන් වලින් වැඩේ කරගන්න පුලුවන්ද කියල ඇහුව. දැන් වැඩ දෙකක්ම වැටුන. 

කට්ටකාඩුවේ ගේ ලේඛනය ගැන මට  කීවේ මම හිතන්නේ මම   පෙමස් ගුණසිංහ මහත්මයා ලියන උග්ගල් අලුත්නුවර  දේවාලය කතාවේ ඒ දේවාලේ හදපු රජතුමා ගැන මට  කුතුහලයක් තියනවා කියල දැනගෙන වෙන්න ඕනේ. පුරාණ  කතාවට අනුව ඒක එතනට ඉන්දියාවෙන් ආපුබ්‍රාහ්මණයෝ හැදුව කියලයි  කියන්නේ. ප්‍රාදේශීය  රජ කෙනෙක් එතනට ඇවිත් තියනවා වන්දනාමාන කරන්න සහ උදව් උපකාර කරන්න. මායාදුන්නේ රජතුමාගේ පුතෙක් විය හැකිය කියල මතයක් මට තිබුනා. ඒ විස්තර තිබිය හැකියි කියන මර්ලේ ඛනයේ නම "අලුත්නුවර දේවාලය කරවීම". 

සිරිවිමල හාමුදුරුවන්ට ඕන වෙලා තිබුනේ "ලෝක සන්ධානය  ස්වර්ග කතාව" සහ "ලෝක සන්ධානය  ගිහි විනය" කියන පුස්කොල පොත් දෙක. ඒ පොත් දෙක එයාගේ ආචාර්යවරියක්  කරන පර්යේෂණ වැඩකට.   ඉනෙස් ට නිවාඩු නිසා එයත් ආවා පුස්තකාලයට යන්න. හැබැයි කියැවීම් ශාලාවට යන්න පුළුවන් මට විතරයි. එයා ඒකෙ තියන ප්‍රදර්ශන බලන්න ගියා. 

අලුත්නුවර දේවාලය කරවීම එක මම මුලින්ම ගත්තේ පිටු විසි හතක පොඩි ලේඛනයක් නිසා. බලනකොට මම මුලින්ම කෞතුකාගාරයේ  හෙව්ව එක හරි කියල තේරුනේ ඒක මෙතනට ගෙනත්  තියෙන්නේ බ්‍රිතාන්‍ය කෞතුකාගාරයෙන් බව පෙනෙන නිසා. (මුල් පින්තූරය ). මම මේක අරගෙන කියවනකොට එතන වැඩ කරන ප්‍රංශ යුවතියක් සහ බ්‍රිතාන්‍ය තරුණයෙක් ඇස් උලුප්පගෙන බලන් හිටිය. මම මට ඕන විස්තර ටික කෝකටත් කියල ලියාගෙන ඒක ස්කෑන් කරගන්න ඇහුවා. දෙන්නම මගෙන් අහනව ඔයාට ඔය පරණ භාෂාව කියවන්න පුලුවන්ද කියල. පස්සේ මම පැහැදිලි කළා සිංහල කියන්නේ තවමත් භාවිතයේ තියන භාෂාවක්. මේවා මිසරයෙන් හමුවෙව්ච පැපිරස් වගේ නෙමේ කියල. 

මේකේ විස්තර කියවන්න වටිනවා. දඹදෙණියේ පණ්ඩිත  පරාක්‍රමබාහු රජු, එයාගේ දෙවෙනි පුතා මහා බුවනෙකබාහු  රජු ගැන , කොටගොඩ තානායමක් ගැන කියවෙනවා. රාජසිංහ රජු යුධයකින් පැරදී  යනකොට ජයවීර කියල රජකෙනෙක් නවාතැන් දුන් බවක් කියවෙනවා. මේ කියන  දේවාලය එතැන හදපු  එකක් කියල වගේ පෙනෙන්නේ. විමලධර්මසූරිය රජු දේවාලයට දුන් තෑගී භෝග ගැන සඳහන් වෙනවා. පුස්කොළ පොත  ලියල තියෙන්නේ  1518. අවුරුදු  පන්සීයක් විතර පරණ ලියවිල්ලක්.  මේකේ මයික්‍රොෆිල්ම් එකක් තියනව කියල ඒක ගෙනත් දෙන්න පැය තුනක් යනවා කීව. 

මම කලේ ඒ අතරේ ගුරුගොඩ හාමුදුරුවෝ කියපු පුස්කොල පොත් දෙකත් අරන් පොඩ්ඩක් කියවා  බැලීමයි. මට මේවා කියවන්න  ඇත්තටම කැමැත්තක් තියනවා. ඉපැරණි  ලේඛන නේ. මේ පුස්කොළ පොත්  දෙක නම් අවුරුදු  120-130 විතර පැරණි ඒවා. 

තව වෙලා තියෙන නිසා අපි දෙන්න එලියට බැස්සා නවීකරණය කරලා තියෙන කිංග්ක්‍රොස්  (Kings Cross ) ප්‍රදේශය නරඹන්න. මේ පැත්තේ  මිනිසුන්ට විවේක කාලයවිදින්න පුළුවන් විධිහට හොඳටම නවීකරණය කරලා තියෙන්නේ. අලුත් මාකට් එකක් හදල අලුතින් ගොඩනැගිලි හෙම හදල. ඒ පැත්තෙන් යන රිජන්ට් ඇලත් සුද්ධ   කරලා.  කාලෙකට කලින් මත්ද්‍රව්‍ය විකුණන,  ගණිකාවන්ට ප්‍රසිද්ධ,  පරණ ගරා වැටුණු ගොඩනැගිලි සහිත, රැකියා විරහිත භාවය ඉහලින්ම තිබුණු ප්‍රදේශයක්.  ආයෝජන පැමිණියහම   ඇතිවෙන වෙනස හොඳට පෙනෙන තැනක්. හොඳ කොරියන් ආපනශාලාවක්  දැකලා අපි ඒකෙන් දිවා  ආහාරයත් ගත්ත. 
 


ආපහු පුස්තකාලයට ආවහම අර මයික්‍රෝෆිල්ම් එක ඇවිත් තිබුන. ඒක සම්පුර්ණයෙන්ම කොපි කරගන්න පුළුවන් වුනා. ඒක කට්ටකාඩුව පැත්තට යවලත් ඉවරයි.  එයා ඒ ගැන ලිපියක් ලියයි කියල බලාපොරොත්තුවෙන් ඉමු. 

ප්‍රශ්නේ ආවේ අනිත් පොත් දෙකට. ඒ දෙකේ මයික්රෝෆිම් නැහැ.  මම ඔන්ලයින් ෆෝම් එකක් පුරවල යැව්වා පිටු 154 හා පිටු  76 වන පොත් දෙක ස්කෑන්  කරල දෙන්න කියල. මගේ ක්‍රෙඩිට් කාඩ් එකේ විස්තරත් දැම්මා ඒකෙන් අය කරන්න කියල.  පළමුවන පින්තුරේට ස්ටාලින් පවුම් 13.20 සහ ඊට පසු පිටුවකට පැන්ස 49 ගානේ. එතකොට රුපියල් පනස්දහසක් වගේ තමා ගෙවන්න ඕනේ.  දින දෙක තුනකට පස්සේ මම කෝල් කළා මේක කලින් ගන්න පුලුවන්ද කියල බලන්න. මේ ගොල්ල කියනව අපිත් කෝල් කරන්න තම හිටියේ මේ පුස්කොල පොත් දෙක ස්කෑන් කරන්න  බැරිලු. සවුත්තු වෙනවලු අතින් ඇල්ලුවොත්. ඒ නිසා විශේෂිත  තත්ව යටතේ කැමරාවකින් පින්තූ අරගෙන විතරලු දෙන්න පුලුවන්. එකට මුල් පිටුව පවුම් 23.62 ක්. ඊට පස්සේ පිටුවකට පවුම් 6.26. ඒ කියන්නේ මුළු මුදල රුපියල් හාරලක්ෂ හැටදහසක් විතර වෙනවා ලංකාවේ මුදලින්.
මේ මොන විකාරයක්ද කියල මම වාද කරන්න ගත්ත. අපිට කියවීම් ශාලාවේ අතින් අල්ලන්න දෙනවා නම් ස්කෑන් කරන්න බැරි ඇයි කියල. හරිගියේ නැහැ. පස්සේ මේක "අපේ ජාතික උරුමයක් " කියන ලෙවල් එකෙන් බොරුවට තරහ ගිය විධිහට ඇහුව. ඒත් බෑම කිව්වා. පුස්කොල පොත් සවුත්තු වෙනවලු. මොනවා කරන්නද ? වැඩේ අත හැරිය  දැනට. මේ දවස් වල ලිපියක් සුදානම් කරනවා මේ අයකිරීම අසාධාරණයි කියන්න. 

මේ අතර තවත් දෙයක් ආරංචි වුනා. මේ පුස්කොල පොත් දෙක ලංකාවේ සමහර  ප්‍රධාන පන්සල් වල තියනවලු.  පර්යේෂණ තියා  කියවන්න වත් අල්ලන්න දෙන්නේ නැතිලු ඒවා.  බ්‍රිතාන්‍ය පුස්තකාලයේ නම් අල්ලන්න දෙනවා, කියවන්න දෙනවා, ෆොටෝ ගහන්න දෙන්නේ නැහැ. එයාලා ගහල දෙනවා අපි ගෙව්වහම.

ඔන්න ඕකයි තත්වය.  




32 comments:

  1. සිංහල බෞද්ධයන් වෙනුවෙන් එංගලන්තයේ සුද්දන් සමග උරෙන් උර ගැටෙමින් මේ සිදුකරන ඉමහත් සේවාවට අජිත් ධර්ම කීර්ති මැතිතුමාට අපගේ උපහාරය මෙසේ දක්වා සිටිමු. රට ජාතිය ආගම අමතක නොකරන ඔබතුමාට තුනුරුවන්ගේ පිහිටයි.

    ReplyDelete
  2. එහෙත් එහෙමද...
    බලාගෙන ගමය තුමෝ හම්බෙන්න බැරි නෑ නිදන් වදුලක් ගැන ඔත්තුවක්. 

    ReplyDelete
    Replies
    1. එහම වුනොත් ගොඩ ද හේ හේ නිදන් වදුලක් හම්බවුනොත් හාරලා ගෙනත් දෙනවා බිටිෂ් මියුසියම් එකටම. ඇයි ලංකාවේ තිබ්බොත් ජනාධිපති අගමැති ලාගෙන් බේරා ගන්න බැහැනේ

      Delete
  3. අපූරුවට ලියල තියනවා. ඔක්කොම කියෙව්වා. එතන අවුල, ඇයි ඔච්චර සැලකිලිමත් නං, පුස්කොල පොත් දෙක මයික්‍රොෆිල්ම් නොකලෙ කියන එකයි.

    පන්සල්වල නිදන් රැකිල්ල ගැන නං කතාකරල වැඩක් නෑ.

    ReplyDelete
    Replies
    1. //පුස්කොල පොත් දෙක මයික්‍රොෆිල්ම් නොකලෙ කියන එකයි.// ඕක මමත් ඇහුවා. හරි ප්[ඉලිතුරක් ඒ පොඩි ළමයි දන්නේ නැහැ. එතැන් කාලෙක ඉඳන් වැඩ කරන කෙනෙක් කීවේ තවම ඒ හරියට ආවේ නැහැ කියල . ඒ කියන්න තවම 1600 ගණන්වල ඒවා කරනවා ඇති. පන්සල්වල නිදන් රැකිල්ල - කන්නෙත් නැහැ කන ගොනාට දෙන්නෙත් නැහැ

      Delete
  4. ඔයා ඔහෙ ආකයිව්ස් යද්දී Pra Jay මහත්තයා මාවත් ඇදගෙන ගියා මෙහෙ එකට. 24 වෙනිදා. පෙරුම් පුර-පුරා ඉඳලා ගියේ. එයා උනන්දු ඉතිහාසේ ගැන. නමුත් මම හොයන්න ගය දේවල් හොයාගන්න උදව් කළා. දවසෙන් තුන්කාලක්ම මට තනියටත් ඉඳලා.(කාර් එකේ දාගෙනත් ගිහින්- ගෙදරටම ගෙනත් දාලත්!)

    අපේ වැඩ කෙරෙන අතරේ Pra නිකමට මට පෙන්නපු පරණ වාර්තාවල තියෙනවා (මතක හැටියට) 1839 පදවිය වැව ප්‍රතිසංස්කරණය කිරීම ගැන. ඒක ලියද්දී වැවේ ඉතිහාසය ගැනත් විස්තර ලියලා.... අලුතින් ගිය වියදම් ගැනත්.. රුපියල් එකසිය ගණනක් වගේ මට මතක.

    ඒ වගේම කරවල වෙලන්න තැන් හදපුවා ගැන.... එකක් නං දැන් යාල වනෝද්‍යානයට ගිහින්. පටනංගල.

    ReplyDelete
    Replies
    1. එයා මාවත් එක්කන් ගියානේ එහෙම ඒවා හොයන්න

      Delete
  5. අපේ අජිත් ධර්මතුමා සිංහ තෙල්- දැං අහන්ඩ එපා අහිංසක සත්තුන්ගෙන් තෙල් හිඳින්නෙ මොකටද කියල.මේක වටිනා දේවල් ගැන කියවෙන උපමාවක්- ගැලුමක් දුන්නම අපි ඒක ඒ ගෞරවෙන්ම භාර ගන්ඩ ඕන. ඒ සිංහ තෙල් දාන්ඩ ඕන රත්තරං භාජනේක. ඒක හදන ගමන් ඉන්නෙ මේ කාලෙ. මට තව මාසයක් දෙන්ඩ!! අන්තිමට කියන්ඩ තියෙන්නෙ අපේ පංසලේ හාමුදුරුවෝ කියනවා වගේ පිං සිද්ද වේවා..වැඩි වැඩියෙන් ලැබේවා!!

    ReplyDelete
  6. අය කිරීම් අසාධාරණයි තමා. නියම ‌පිරිවැය විතරක් අය කළා නම් හොඳයි. ඒ උදවිය සංරක්ෂණය කරද්දි, පැරණි ලේඛන, ඒ් ගැන තියෙන නවතම සූක්ෂ්ම ක්‍රමවේද භාවිත කරනව ඇති. ඒ නිසා තමයි ස්කෑන් නොකරනව ඇත්තේ. සැර ආලෝකයෙනුත් පැරණි දේවලට හාණි වෙනව.

    සිංහල කියවන්න පුළුවන් ද කියල අහපු එකට නං ගැම්මක් ආව. ඒ උය හිතන්ඩැති සෙල්ලිපිවල භාෂාව කියල.

    ReplyDelete
  7. // ඒ උදවිය සංරක්ෂණය කරද්දි, පැරණි ලේඛන, ඒ් ගැන තියෙන නවතම සූක්ෂ්ම ක්‍රමවේද භාවිත කරනව ඇති// එහම කතාවක් නම් කීව තමා. මම ඒක ලීවේ නැහැ. වෙනම කාමරේක ෆොටෝ ගහන්නේ කියල කීව. ස්කෑන් නොකෙරුවට මට අතින් අල්ලන්න දුන්නනේ.
    //සිංහල කියවන්න පුළුවන් ද කියල අහපු එකට නං ගැම්මක් ආව. ඒ උය හිතන්ඩැති සෙල්ලිපිවල භාෂාව කියල.// ඔව් . නිකන් හිතෙන්නේ ඕවල වැඩ කරන්නේ දන්න කියන අය කියලනේ. කෝවිඩ් කාලේ ගෙනාපු ශිෂ්‍යයෝ වගේ මම නම් දැක්කේ. දෙතින් දෙනක් නම් හිටිය පරණ අය. මේ දෙන්න හිතුවේපුරන මිසර අක්ෂර වගේ කියල. අනික අපේ වචන බෙදන්නේ නැහැනේ පුස්කොල පොත්වල. එක දිගටනේ ලියල තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. අජිත් මාමෙ,
      එක දිගට ලියලා තියෙන කොට කෝමද තේරුම් ගන්නෙ.අනික වැරදි විදියට පද බෙදිලා වෙන වැරදි අර්ථ එහෙමත් එන්න පුලුවන් නෙහ්

      Delete
    2. පුස්කොල පොත්වල ලියල තියෙන හැටි දැකල තියෙනවද?
      ඒකටනමක්තියෙනවාදැන්මතකනැහැ

      Delete
    3. මල ජංජාලයයි. කවුරුහරි වැරදියට කියෙව්වොත් සොරි තමා..

      ඔහොම ඒවා කොච්චර වැරදියට කියවලා අපි කොච්චර බොරු ඇත්ත කියලා හිතාගෙන ඉන්නවද දන්නෙත් නෑ😅

      Delete
    4. පද බෙදන්නේ නැතිව තමා ඒ කාලයේ ලිව්වේ

      Delete
    5. අජිත් මේක හරි පුදුම දෙයක්. ථේරවාද බුදු දහම පවතින තායිලන්තයේ තායි බස අදත් ලියන්නෙ පද බෙදීම් නැතිව. මොකක් වෙන්න පුලුවන්ද මේ සිරිතට හේතුව? පල්ලව බල්පෑම හිංදා සිංහල අකුරු දැන් තියෙන විදිහට හැඩ ගැහුනා වගේ සියමෙන් උපසම්පදාව ගෙනාපුවට පස්සෙ පිටපත් කරපු පුස්කොළ පොත් වල පද බෙදීම නැවැත්තුවද? නැත්නම් ඊට ඉස්සර ඉඳම්ම ලියපු ලේඛන වල පද බෙදීම තිබ්බෙ නැද්ද?

      Delete
    6. ලොකු මල්ලි,
      පද බෙදල නැති උනාම වරදින්නෙ නැතුව කියවගන්නෙ කොහොමද?

      Delete
    7. කට්ටේ ,ලංකාවේ විතරක් නෙමේ ලෝකයේම ඒක එහෙමයි තිබුනේ. ඒකෙන් තේරෙන්නේ ලංකාව ඒ කාලයේ කොපමණ අනෙක් රටවල් සමග ගනුදෙනු කරාද කියන එක නේ. මේකට කියන්නේ scripto continua කියල. ග්‍රීක ඒවත් එහෙම ලියල තියෙන්නේ. https://en.wikipedia.org/wiki/Scriptio_continua

      Delete
    8. නවින් ඒ දවස්වල කියෙව්වනම් දැන් බැරි මොකද හේ හේ

      Delete
  8. කෝ අප්ප රාවණා😅😅
    මදැයි රාවණා බලන්න ආව.

    රාවණා කියන්නෙත් හොඳට මාකට් කරන්න පුලුවන් concept එකක් නෙහ්😅😅

    ReplyDelete
    Replies
    1. ඒකනේ , රාවණා කිව්ව ගමයි එයි කියල හිතුවට වැඩිය කවුරුත් නැහැ

      Delete
    2. දැන් රාවණාගෙ මාකට් එක බැහැලා වගෙ..

      නැත්නම් යඛ්ඛ පුත්තු තාම මේ පැත්තට එන්ම නැතුව ඇති..

      Delete
    3. ඒක දෙමල කට්ටියත් අල්ලාගෙන යනවනේ

      Delete
  9. අනික එහෙ තියෙන ඒවා අයිති ලංකාවට කියලා ගේන්න එහෙම බැරිද

    මාර රටවල් තමා මහ ලොකුවට copyrights ගැන එහෙම කතා කරන්නෙ😑

    ReplyDelete
    Replies
    1. මෙහමයි ඒවා ගෙන්න පුළුවන් බලෙන් අරන් ගියා කියල ඔප්පු කලොත්. මේ රටවල තියෙන හුඟක් ඒවා අපේ එවුනම් තමා දීල තියෙන්නේ. කුණු කොල්ලෙට. කොපිරයිට් මේවට නැහැනේ. පරණ කෘති world heritage හැටියට සලකන්නේ. මේ රටවල හැබැයි රැකිලා තියෙනවා. අපට බලන්න හරි දෙනවා. ලංකාවේ දෙන්නේ නැහැනේ

      Delete
    2. එහෙනම් ඉතින් පෙරලුනු අත හොඳයි කියලා ඉන්න තමයි වෙන්නෙ.

      ලංකාවෙ තිබුනා නම් හොයාගන්නත් නැති වෙන්න තිබුනා තමයි😅😅

      Delete
  10. මා සිතන්නේ විදේශයක හෝ සුරැකී තිබීම ගැන අප සතුටු විය යුතු බවයි. මෙහේ තිබුනා නම් ඕවා විනාශ මුඛයට ගොස් බොහෝ කල් ය. ලාකාවේ පුස්කොල පොත් සුරැකීමේ අත්දැකීම් ලත් අයෙකු වරක් සඳහන් කර තිබුනේ සුරක්ෂික කිරීමටවත් පන්සල් වලින් අවසර නොලැබෙන බවයි.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත . අපේ ප්‍රශ්නේ කොපි කරගන්න ඉල්ලන ගාන වැඩි එක විතරයි . සුරක්ෂිතව තියා ගන්න එක ගැන නෙමේ. ලංකාවේ පන්සල් කතාව ඇත්ත

      Delete
  11. අපෝ ඕවා ඔය තියෙන තැන්වලම තියන එක හොඳයි . මතකනෙ කටුගෙයි තිබුන කඩු වලට වෙච්ච දේ. කන් ගැට්ටලා ඕන තරම් හොයා ගන්න පුළුවන්.

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .