Tuesday 2 November 2021

සම්බෝල පාටියක් නොවේ

වෝක් එක පටන්  ගත්ත තැන 

අර මම කලින් ලීව "පාටියේ අඩු දේ " කතාවට පහුවදාම අහිංසක යෙහෙළිය  කෝල් කරලා කියනවා "අනේ අජිත් පොල් තිබ්බේ නැහැනේ ".( ලින්ක් එකට ඔබන්න ඒ ලිපිය  මිස් වුනා නම්.) 
 මම කීව එයාට  
"ගණන් ගන්න එපා. පාටිය  නියමයි.  ප්‍රශ්නේ ඔයාගේ නෙමේ මගේ. නැති දේවල් හොයන පුරුද්දනේ කියල."
ඇත්තම කියනවනම්  හැට නම ලක්ෂේට  මේ දවස් වල වෙන දේවල හැටියට, නිසංසල හදවතක් තියෙන මම වගේ කෙනෙක් අනෙක් අයට  හිනා වෙන එක වැරදිනේ නේද? මෙච්චර හොඳට කන්න  දීලා කෝපි එකකුත් බොන්න දීලා , ගෙදර ගෙනියන්නත් කෑම පාර්සලයක් දීල අඩුපාඩු හොයන අපි වගේ උන්ට යන්න වෙනම අපායක් මහමෙව්නාවේ අපාය නිර්මාතෘන්  හදල තියයි කියල මට බයත් එක්ක . 

ඒ අතරවාරයේ මට තේරුණා කට්ටිය දැන් ටිකක් බයයි වගේ මට පාටි වලට ආරාධනා කරන්න. "අපි දැන් පාටි දාන්නේ නැහැනේ. අනික කෝවිඩ් ඉවරත් නැහැනේ." 
මොන පිස්සුද? මම හොයා ගත්ත හේතුව. බ්ලොග් එකේ ලියයි කියල බයට. 

ඒ අතරේ මාස ගාණක් වැඩ අධික නිසා නොගිය ලන්ච් එකකට යන්න වුනා. මගේ යාළුවෙක් ගේ යාළුවෙක් මගේ යාළුවෙක් වුන සීන් එකක්. චණ්ඩිම කියල නමක් තිබ්බට හෙන අහිංසක ඩයල් එක. (එච්චරම සුවර් කරන්නත් එපා ඒක. දෙකට ගනින්න බැරිවගේ  ඉන්න එවුන්ලු හතරේ ඒවා ගහන්නේ)  ඉතින් චණ්ඩිමයි එයාගේ ආදරණිය බිරිඳ එස් එම් එන් මලීනුයි  කරපු ආරාධනයෙන් කෙන්ට් ප්‍රදේශයේ තිබ්බ ඒ ගෙදරට ගියා.  
 එදා උදේ බිරින්දෑ කිරිබත් හදල තිබ්බ දුව එන නිසා. එයාගේ උපන්දිනේ. එයා එනකන් කිරිබත් එක හංගල. ඉතින් මම සීරියල් ටිකකට සෝයා කිරි දාල කාල  බඩ පුරවාගෙන හිටියේ.  අනික කාටද ඕනේ ඔය ලුණු නැති කිරිබත් කන්න. (එයාගේ ජර්මන් ක්‍රමයට පැණි හෝ ජෑම්  දාල කන නිසා කිරි බතට ලුණු දාන්නේ නැහැ. කවද  කාපු ටකරන්ද) 

ඒත් ඉතින් අරහෙට යනකොට දොළහ පහුවෙලා "ස" කෙනෙක් කන්න බඩගිනි.  මෙන්න තියනවා ලුණු දාපු කිරිබත්. කෑලි දෙක තුනක් කනකොට මදි කියල තේරිලා එස් එම් එන් මලී කීව  කිරිබත්  දන්කුඩ තියනව කියල. "අපේ මේ චණ්ඩි හෙම හරි ආසයි නේ. ඒවා කාල තමා එයා  බල්ලා එක්ක චීනඩි ගහන්න යන්නේ" කියලත් කියපි. මමත් ඉතින් කීව වහාම ගේන්න කියල.  එතන හිටිය ටිබිලිසි නගරයේ ඉගෙන ගත්ත නම් ප්‍රසිද්ධ වෙනවට අකැමති යාලුව කීව එයා නම් කන්නේ පොෂ් කිරිබත් කෑලි විතරලු. 

මම කීව "හාහ් අපේ අම්ම දන්කුඩ දෙනව .  හකුරු හරි සීනි එක්ක හරි කන්න කිරි දාල " කියල විරය වගේ දන්කුඩ කතාවක් කිව. රැවුල එන්නේ නැහැ කියල අම්ම දන්කුඩ කන්න දුන්නේ නැහැ. අපරාදේ කියන්න බැහැ රැවුල නම් එනවා. කොණ්ඩේ තමයි නැත්තේ. ඇත්තම කියනවනම්  කතාව  අහුල ගත්තේ නමිය හරි ටොමිය හරි දාපු ලින්ක් එකකින් මතක් වුන බ්ලොග් කතාවක්. ලියල තිබ්බේ ඉන්ද්‍රනාථ  තේනුවර. චන්ඩිම කුස්සියට රිංගල වෙනිසන් කරි (වෙනිසන් කීවේ  ගෝනා ද මුවාද කියල ෂුවර් නැහැ ) එකකුත් ගෙනාව. මලී "අනේ අපේ චන්ඩිත් කැමතියි "කියල  නැවැත්තුවේ නැත්නම් කිරිබත්  දන්කුඩ ටික ඔක්කොම කනවා ඉතුරු කිරිබත් කෑල්ලත් එක්ක. 
ඇවිද්ද තැන් 


ඔන්න ඊට පස්සේ අපේ සංචාරක චාරිකාවට ගියා. ගිය තැන නම් ලස්සනයි කියල කියත හැකි.  ඔය ලන්ඩන් වලින් එහා ඇවිදින් යනකොට ගොවිපළවල් මැදිනුත් යන්න ඉඩ දීල තියනව. බ්‍රිතාන්‍යයේ ඒවාට bylaws කියල කියන්නේ. කාගේ හරි පෞද්ගලික වත්තක්, ගොවිපලක් ඇතුලෙන් සාමාන්‍ය ජනතාවට  යන්න ඉඩ දෙන්න  ඕනේ අඩි පාර වැටිලා තියෙන්නේ ඒ හරහානම් සහ ස්වභාව ධර්මයේ හැසිරීමේ  ප්‍රීතිය භුක්ති විඳීම සඳහා නම් යන්නේ. කොටින්ම රැජිනගේ සහ චාල්ස් කුමාරයාගේ අක්කර ගණන් වතු  යාය වලටත් මේ නීතිය  එහෙම්මමයි. 
 
ඉතින් අපේ අඩිපාර වැටිලා තිබුනෙත් ගොවිපළවල් දෙකක් මැදින්.  ඔන්න එකක මැද පිට පැත්ත යටට හිටින්න  වැටිලා ඉන්නවා බැටළුවෙක්. කකුල් හතරම උඩ  තියාගෙන. දැන් කාන්තා පක්ෂය "අනේ අපොයි" කියනව. චණ්ඩිම  බැටළුවා පෙරලන්න දත කනවා. මම කිව්වා ඔය ෆුට් ඇන්ඩ් මවුත් ලෙඩේ ද දන්නේ නැහැ අල්ලන්න නම්  එපා කියල. කෝවිඩ් මදිවට ඒකත් හැදුනොත්. දැන් කට්ටිය අයිතිකාර ගොවිපලට කතා කරලා මෙසේජ් තියනව. මම ගූගල් කරලා බැලුවහම බඩදරු වෙච්ච බැටළු හාමිනේ ලත් වැටුනම  ඔහොම ඉන්නවලු. මම වහාම ඒක නිවේදනය කළා.  ඒ ගමන චණ්ඩිම පොඩ්ඩක් තල්ලුවක් දුන්නම මෙන්න මේකා වේගෙන් නැගිටලා දුවන් ගියා හරියට මුකුත් නොවිච්ච ගාණට.  ඔක්කොම ඉතින් ලොකු අත්පුඩියක් දුන්න අපේ දවසේ වීරයාට.

බුලා ගේ අයිතිකාරයාගේ ලෑන්ඩ් රෝවරේ 

අයිතිකාරයාගේ ටැට්ටර් සෙට් එක 


එතැනින් ගිහිල්ල වැටුනේ තව ගොවිපලකට. ඔය ලෑන්ඩ් රෝවර් එකෙයි ටැට්ටර වලයි පින්තූර ගත්තේ ඒකෙ. ලෑන්ඩ් රෝවරේ ගාවින් තමා යන්න තියෙන්නේ. එතැන ගහල තියනවා බුලා ගෙන් ප්‍රවේසම් වන්න කියල.  (Bull) බුලා කියන්නේ සාමාන්‍යයෙන් හොඳට වැඩුණු වර්ගයා බෝ කරන්න තියන් ඉන්න හරක් නාම්බෙකුට. ඒ කියන්නේ අනින බුලෙක්. හෙමින් හෙමින් කට්ටිය ගොවිපලේ අයිනෙන්ම ගියා. බුලා සහ රැජිනල  ටික තණ උලන් කනවා ඈත. මුල් කොටස පහු කරලා ගියා. ඊළඟ කෑල්ල මැදින් පොඩි වතුර පාරක් යනවා. ඒක හරහා ලී  ගේට්ටුවක් දාල උඩට ලී පඩි දෙක තුනක් දාල අනිත් පැත්තට පනින්න. මෙහෙ සාමාන්‍යයෙන් තියෙන ක්‍රමයක්. මම ඕක උඩට නැගල බැලුවහම දකුණු අත පැත්තේ ගේට්ටුවක් තියනවා.  ගේට්ටුව ඇරලා තිබ්බේ . එතැන ඉඳන් බැලුවහම පේනවා බුලා තණ කොළ හප හප ඉන්නව සැපසේ. බුලා එන්න ඕනේ අප ඉන්න හරියට ගේට්ටුවක් පහු කරලා. චණ්ඩිම වීරයෙක් ලෙසටම ගියා ගේට්ටුව වහන්න. මෙන්න ගේට්ටුව වහල බුලා දිහා බලාගෙන ඉන්නවා  අපේ වීරයා. ඒ අතරේ ඒ කෑල්ලේ වම් අත පැත්තේ ගස් වලින් හැදුනු වැටක් තියනවා. ඒ වැටේ එහා පැත්තේ තවත් ගේට්ටුවක් තියනව අපට පේන්නේ නැහැ. ඒ ගේට්ටුවෙන් තවත් බුලෙක් වැට පන්නල  ඇවිල්ල චන්ඩිම පිටිපස්සට  වෙලා බලන් ඉන්නව. මේ මනුස්පයා මේ අහවල් දෙයක් කරනවද ගේට්ටුව වහගෙන කියල. මට තවම මැවිලා පේනවා. බයට වැඩිය දැන් ඔක්කොම හිනා වෙනවා. අපි චන්දිමට කීව හෙමින් සීරුවේ වරෙන් පස්සෙන් පස්සට කියල. චණ්ඩිම චන්දෙ පැරදිච්ච මන්ත්‍රී කෙනක් වගේ  දැන්  ශේප් එකේ පිටි පස්සට ආව. ගොන් නාම්බත් මුකුත් නොදැක්ක වගේ තණකොළ කන්න ගත්ත.

මං කිව්වා ඔන්නොහෙ යමු කියල මූලිකත්වය ගත්ත. චණ්ඩිම සහ පවුල් පස්සෙන් එනවා.පොඩි එකා සන්දියේ ,  ඔය ඉස්සර ලුණුගල ඉන්න කොට,  අඩාවත්ත පාරේ යන වෙලාවල  දෙමළ ජනතාවගේ ලැයින් වලට පස්සේ හරියේ මී ගවයෝ ඉන්නව. මම කරන්නේ එතනින්  හෙමින් හෙමින් ගිහින් ඊට පස්සේ දුවනව හැටට හැටේ. මේ හරක් නාම්බෝ මොක්කුද ඒ මී හරක් එක්ක බැලුවහම. නෑදෑයෝ කියල හිතල ද දන්නේ නැහැ කිසිම තර්ජනයක් හරක් නාම්බා ගෙන් ආවේ නැහැ. දැන් අපි එහා පැත්තේ වැටෙනුත් පැනල මගේ බිරින්දැයි අර නම දාන්න අකමැති ට්බිලිසි යාලුවා සහ පවුලටයි කැ  ගහනවා එන්න එන්න කියල. ඕන් ඔය වෙලාවේ එහා පැත්තේ කෑල්ලේ හිටි ඔක්කොම එළදෙන්නුයි, වැස්සියෝයි , පොඩි වහු පැටි කෑලි ටිකයි, බුලෙකුයි ආවේ නැතෑ අපි හිටිය පැත්තට. කට්ටිය ආවේ හරියට "සජිත් ස" ගෙන් උසනම් සෙකුරිටි , මිටිනම් කම්කරු රස්සා ගන්න වගේ.    ඇවිත් අර අපේ යාළුවෝ  ඉන්න පැත්ත බලාගෙන ඔක්කොම එක දිගට උම්බෑ කියනවා. හරියට අනේ එන්න මේ පැත්තට තණ උලා කන්න. අපි අනින්නේ නැහැ කියනව වගේ. අපේ අතරමන් වුනු කට්ටිය දුවලා ගිහින් නතර වුනේ පාරේ.

අපි අර ඒ දවස් වල හිටි, පස්සේ කෙල වෙලා ගිය "අළුත් පරපුර" වගේ   නිර්භය පරපුරක් ලෙස  ඉතින් කොහොම හරි පාර හොයාගෙන ජොයින් වුනා කට්ටියට.  
 
ආපහු චණ්ඩිම ලගේ ගෙදර ඇවිත්  ආගිය දේ කතා කරලා ඉඳ ගත්ත වෝදච්කි ටිකක් බොන්න. වදා කියල රෂියන් වලින් කියන්නේ වතුර වලට. මේක ටිකක්  වතුර වගේ පෙනෙන බීමක්. දෙක තුනක් දාගත්තාම රෂියන් දන්නැති අයත් ඒ භාෂාවෙන්ම කතා කරනවා.  

ඔන්න එස්එ න් එම් මලී අරන් ආව අර කමෙම්බෙයාර් චිස් වගේ තියෙන්නේ , සමහර ඒවාට බ්‍රී කියලත් කියනවා. ඒකක් උදුනේ තියල  හොඳට රත් කරලා. මැදට රස සෝස් එකක් හදල දාල. දියවෙන චීස් හරිම රහයි කන්න. මාක් ඇන්ඩ් ස්පෙන්සර් එකෙන් ගත්තද දන්නේ නැහැ. කිව්වේනම්  එයා හැදුව කියල. හැබැයි ඒකට දැම්මලු ගන් පව්ඩර් සෝස්. ඒ කියන්නේ වෙඩි බෙහෙත් දාපු සෝස් . මේකනම් මේ  පෙරටුගාමී පක්සේ   කඩාකප්පල්කාරී වැඩකට සෙට් වෙන්නද  කොහෙද කියල බයත් හිතුනා. එස් එම් මලී පක්ෂෙකින් දාපු ඔත්තුකාරියෙක් වෙන්න බැරිද ?  ළඟදීම ඉවෙන්ට් එකකුත් තිබෙනවා.  ගිනි කූරක් ගැහුවනම් බඩේ ප්‍රීති වෙසක්.  හැබැයි ඒක නම් රහයි. ඒ වගේම ගොඩක් බයිට් තිබුන ඉතින් චීස් තමා වැඩි පුරම.

ඔය අස්සේ මට ඇහෙනවා කුණු කුණු ගානවා කුස්සිය පැත්තෙන්. 
"ඔයා අර සම්බෝලේ හැදුවද?"
"ඔව් අනේ රතු  සම්බෝලෙයි, ලූණු සම්බෝලෙයි , අවුමිරිස් සම්බෝලෙයි ඔක්කොම තියනවා."
"වරද්දන්න  එපා,  අනිත් පාර සම්බෝල  නැහැ කියල ලීවොත් හෙම "
"නෑ නෑ , අනේ එහෙම වෙන්නේ  නැහැ" බලනකොට එස් එන් එම් මලීයි චණ්ඩිම යි, ඕන්  අරන් එනවා සම්බෝල සෙට් එකක්ම. හපොයි මේ සම්බෝලයක් ගැන ලියල වෙච්ච  දෙයක්.

අපරාදේ කියන්න බැහැ  ගොඩමස් , දිය මස් දෙකම තිබුන ලන්ච් ඩිනර් එකට. කෑවේ ඔය අතරමැදි වෙලාවකනේ. බත් ඉඳියාප්ප ජාති ඔක්කොම එක්ක. කන්නත් බෑ ඉතින්..   ඩෙසර්ට් නුත් හොඳටම තිබුන.

චණ්ඩිම මගෙන් ඇහුව කෑම එක කිසි අවුලක් නැහැ නේද. මං කිව්වා සුපිරියි කියල. මෙන්න මෙයා  පෙන්නනවා මොබයිල් එක. උත්තරේ රෙකෝඩ් කළාලු. අපි නම් අහුවෙයි ඕවට. 

සාමාන්‍යයෙන් ඩ්‍රින්ක් එකක් දාල කෑව වෙලාවට රෑ වුනහම බිරින්දෑ තමයි ගෙදර යනකොට ඩ්‍රයිව් කරන්නේ. රෑට දැන් හරියකට ඇස් පේන්නෙත් නැහැ නොව. මම ඉතින් සැපට නින්දක්  දාගෙන එනවා.
යාන්තන් නින්ද යා ගෙන එනකොට මතක් වුනා.

නිවිති දාපු පරිප්පු තිබ්බේ නැහැනේ. අඩුම ගානේ තම්පලා දාපු පරිප්පු හරි තිබුනා නම්.

****************************************************************************
මේ කතාව එතනින් ඉවරයි. මම ලියපු "ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ" පොත පිලිබඳ සංවාදයක් මේ මාසේ 13 දා ලන්ඩන් වල තිබෙනවා. ඒ පැත්තක ඉන්නවානම් එන්න.  හවස 4.00 ඉඳන්.  විජිත  ගුණරත්න ස්වීඩනයේ ඉඳන් සහභාගී වෙයි.  අධ්‍යක්ෂක නුවන් ජේ ත් එනවලු.  ඩිලානි හදන බුරියානි එකට චණ්ඩිම ගේ ට්‍රේඩ් මාක් පෝක්  කරියක් තිබෙන නිසා එන බව මට කීවොත් හොඳයි. නැත්නම් මදිවෙයි.  ෆේස්බුක් /කෝල් ඕන එකක් දෙන්න. 
සම්බෝල හෝ පරිප්පු නැති  බව කරුණාවෙන් සලකන්න.

(දැන්වීම හැදූ සරද සමර ට ස්තූතියි)



53 comments:

  1. හොඳට තිබුනු බ්ලොගක් අද වැටුනු තැනක්

    මීට නෙලුම්‍ යාය

    ReplyDelete
    Replies
    1. "හොඳට තිබුන " කියල ලියපු එකට බොහොම ස්තූතියි ඇනෝ. ඒ කියන්නේ හොඳ ඒවා ලියල තියනවා.

      Delete
  2. //ඩිලානි හදන බුරියානි එකට චණ්ඩිම ගේ ට්‍රේඩ් මාක් පෝක් කරියක් තිබෙන නිසා එන බව මට කීවොත් හොඳයි.//

    සම්බෝල නැද්ද?

    ReplyDelete
    Replies
    1. 😀, මට හිතුන කවුරු හරි අහයි කියල.

      Delete
    2. සම්බෝල තිබ්බ

      Delete
  3. නිවිතිි දාපු පරිප්පු කෙසේවෙතත් සම්බෝල වෙලා යන්ඩ පරිප්පුවක් සෙට් වෙනව මේම ගියොත්. 😃😃😃

    මරු අප්පා 😂😂😂

    ReplyDelete
    Replies
    1. ටිකක් බයෙන් බයෙන් ලීවේ 🤖

      Delete
    2. 😃😃😃
      අයියණ්ඩිය බිය නොවන්න.
      හැබැයි තට්ටෙ බේරගන්ට 🙈🙈🙈

      Delete
  4. එක්සත් රාජධානියේ මං ආසම දේවල්වලින් දෙකක් තමයි පරණ පොඩි ටවුන් (එහෙ කියන විදිහට විලේජස්) සහ ඇවිදින්න තියන එලිමහන් ප්‍රදේශ (open spaces)

    ReplyDelete
    Replies
    1. ඒකනම් හොඳටම තියනවා. ඕන වෙලාවක එලියට බැහැල ඇවිදින්න පුළුවන්.

      Delete
    2. ඇවිදීමේ විස්තර වැඩියෙන් ලිව්වානම් තවත් හොඳයි.
      දැන් යන විදිහට පරිප්පු එක්ක නිවිති, තම්පලා විතරක් නෙවෙයි ඉස්සරහට ගොටුකොල එහෙමත් දාල හම්බවෙයි.

      Delete
    3. ඇවිදීම ගැන ලිව්වනම් ඩිනර් එක ගැන ලියන්න බැරි වෙනවා. ඩිනර් එක ගැන වැඩිපුර ලීවා නම් ඇවිදීම ගැන ලියන්න බැරි වෙනවා. අවවාදය හිතට ගත්ත. තව සංචාරයක් ළඟදීම එනවා.

      Delete
    4. @ප්‍රා එක්සත් රාජධානියෙ ආසම දේවල් එච්චරද 😏😏😏
      බොරු නේහ් 🙈🙈🙈

      Delete
    5. ඒවා ලියන්න තහනම්

      Delete
    6. මම කැමැතිම එකක් තමා pub culture එක.

      Delete
    7. පිටිසර පැතිවල පබ් නේද?
      ඩෙවන්වල ගමක (Lydford - population 390) තියන එකම පබ් එක තමයි මං ගිහිල්ල තියන හොඳම එක. කස්ටමර්ලා බල්ලොත් එක්ක එන්නෙ. බල්ලා බාර්ටෙන්ඩර් එක්ක කතාකරනවා. ඔක්කොමලා අඳුනනවා

      Delete
    8. එන ආත්මෙ Lydford වල බල්ලෙක් වෙලා උපදින්න කියලා, අද මං පාං කාලක් දුන්නා බළලෙකුට. එහෙ බල්ලො බාර්ටෙන්ඩර් එක්ක කතාකරහම සොට් එකකුත් දෙනවද?

      Delete
    9. එහෙම පබ් එකකට ළඟදී ගියා. ඒක නෙමේ මෙහා බල්ලන්ට සලකන විධිහ. අනේ අර ලස්සන ගැහැණු ළමයි බල්ලෝ තුරුළු කරන යන විධීහට ඉතින් අනේ මන්දා . අර එක ගෑනු ළමයෙකුට හරි අප්සෙට් බල්ලාගේ පපුචිනෝ (අපිට තියෙන්නේ කැපචිනෝ) බල්ලාට දෙන්නේ පපුචිනෝ එකට බලු බිස්කට් කෑල්ලක් වැටුන කියල. https://misopup.com/starbucks-puppuccino/

      Delete
  5. හුන්සල් බත්, රෝස්පාන්
    ඉඳියාප්ප, මඤ්ඤොක්කා
    තෝසේ වගෙ ජාතිවලට
    එක එක විදිහට ඔබින්න
    එක එක විදිහට හදලා
    ගන්නා සම්බෝල වගෙයි
    අද පෝස්ටුවේ රහ නං
    විඩෙන් විඩේ නෙක රස දෙන

    ReplyDelete
    Replies
    1. මගේ අම්මෝ නිදි
      මෙහෙම ලියන කවී
      ස්තුතියි අද ආවට
      මේවගේ රස කවි අරන්

      Delete
    2. හැබැයි රජෝ දැන්
      බයත් හිතෙයි මට
      ඔහේගෙ දැනුමට
      ජ්‍යොතිවේද ගැන
      තියෙනා රිස්සට

      ඇත්ත හොයන්නට
      පැටලිල අනුරට
      ගිහින් එපා රස-
      Blog හෙම නොලියා
      ඉන්න හිතන්නට

      Delete
    3. ජ්‍යොතිවේද ගැන ලොකු උවමනාවක් නැහැ. යමක් ගැන විවේචනය කරන්න කලින් හොඳට හොයන්න ඕනේ කියන අදහස විතරයි තියෙන්නේ , විශ්වාසයක් නම් නෑ

      Delete
  6. ++++++++++++++++
    පට්ට පෝස්ට් එකක්. මම හොඳ පෝස්ට් එක සැරේ කියවන්නෙ නෑ. මේ ආවෙ වැට ගහල යන්න.

    මේ මෙතෙන්ට ගියොත් පරණ ගල් පාං බාගයක් ගේන්ට ඈ, බල්ලෙක් ඉන්නවා, තඩි බාන්ට. 😊

    https://www.youtube.com/watch?v=tIOGkIw4CQo

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ හොවිස් පාන් ගෙදිඅ දැන් ගල් වෙලා ඇති. පව් ටොමියා.
      / මම හොඳ පෝස්ට් එක සැරේ කියවන්නෙ නෑ// මේ ටික ඇති මට හිත හදා ගන්න

      Delete
  7. මේ අර, " චණ්ඩිම ගේ ට්‍රේඩ් මාක් පෝක් කරියෙ" රැසිපි එක දෙන එකක් නෑ නේද? 😞

    හෝතම්බු ගෙදර නැති වෙලාවක් බලල, දේව පූජාවක් තියන්ට. පොල් වගේ හොඳ තෙල් කෑල්ලක් දුන්නා නං, දෙයියො එපා කියන එකක් නෑ.😂

    ReplyDelete
    Replies
    1. චන්දිම ගෙන් තමයි ඉල්ලන්න ඕනේ. ඊයක් විදලබලන්නම්.

      Delete
    2. ඇත්තටම පෝක් තෙල් කෑලි පොල් රහ තමා. කොප්පරා තෙල් දාල වගේ

      Delete
    3. // හෝතම්බු ගෙදර නැති වෙලාවක් බලල, දේව පූජාවක් තියන්ට //

      දෙයියන්ට පෝක් පුරුදු කලානං දෙයියොම කියාවි හෝතම්බුවට ටික කාලෙකින්, "පෝක් කැවට පවු නෑ දරුවා" කියලා.

      Delete
    4. පෝක් කෑල්ලක් ගේන්න සොපින් යන්න කියලා හිතුව විතරයි, මූ ආවා නෙව?😒

      Delete
    5. දෙන්නම බෙදාගන්න අනේ , ඕකට බුරා ගන්නේ නැතිව

      Delete
  8. අජිත් මේක නං පට්ට රහයි. ලියල තියන රටාව සුපිරි. මම කැමතිම, අපහාසයක් නැති උපහාසය - Satire ලෙසටම තියනවා. ඒකටම මැච් වෙන කෑම ගැන විස්තරේ.

    I must say, one of your finest, mate.👌😊😂

    ReplyDelete
    Replies
    1. wow, වෑව් , වාව් , බස්සා ගෙන් නියත විවරණ ලැබීම ස්තූතියි කිව්වා මෙන්න 🙏

      Delete
  9. සුබපැතුම් . ඔය පැත්තේ හිටියනම් එන්න තිබුණා.zoom හරි Facebook හරහා දෙනවද ?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. ෆේස්බුක් හරහා දෙන්න ෆෝන් එකේ ප්‍රශ්නයක්. ඒක පාවිච්චි කරන්න යන්නේ ප්‍රොජෙක්ටර් එකට

      Delete
  10. Replies
    1. බොහොම ස්තූතියි ඉන්දු

      Delete
  11. මැක්කගෙ කතාවෙ බල්ලා මිසින් වෙන්නෙ කොහොමද අයියෙ.බල්ලා ෆෙක් ද ?ඌ නැනෙ.......

    ReplyDelete
  12. මදැයි. දැං ඉතිං හොයපල්ලකෝ නිවිති නැත්තං තම්පලා... ඒ දෙක හොයාගත්තත් පරිප්පු කොයි ලෝ‌කෙන් ද ගේන්නෙ?

    ReplyDelete
    Replies
    1. පිට රටවල තමයි නැතිව ඇත්තේ. මෙහාට හොඳටම කෙරිලා නිසා හැමදාම- හැම තැනම පරිප්පු! වැරැද්ද අපි එව්වා උයාගන්න නොදන්නාකම.

      Delete
    2. @ඩ්‍රැකී, පරිප්පු නැත්තං අල කාපං. උඹ නු.එලියෙ අලකොමසාරිස්නෙ.

      Delete
    3. දැන් පරිප්පුත් නැත්ද හෑ , හෝටල් කරන්නේ කොහොමද මිනිස්සු
      //උඹ නු.එලියෙ අලකොමසාරිස්නෙ// එතකොට මහා උප දිසාපති නෙමෙයිද ?ඔය අල වැඩේනම් ඉතින් ගොඩයන වැඩක්. ඊළඟ සැරේ එනකොට හෙලිකොට්ටරයක් අරන් තියෙයි

      Delete
  13. ගන්පවුඩර් දාපු චීස් කාල පත්තු කරපු ඉටිපන්දමකුත් කෑවනං තමයි අගේ.

    ඇයි අප්පේ පරිප්පු වලට ඕව නොදාම කන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම කියනවනම් මම කැමතිත් පරිප්පු නිකන් කන්න මුකුත් නොදා . කන ඉටිපන්දම ලංකාවේ විකුණනවද

      Delete
  14. අම්බානක වැඩ අස්සේ ආවේ! නො ඇවිත් බැරි කමට ! හිතට වැදුනු එකම දේ අර ලෑන්ඩ් රෝවරේ! ඉදිරියේ කතන්දරේ කියවා නැවත කමෙන්ටුවක් ලියනවා ඔයා පල්ලා ඇත්තයි අයියේ!

    ReplyDelete
    Replies
    1. //නො ඇවිත් බැරි කමට !//ලොකු දෙයක් ආපු එක. ලෑන්ඩ් රෝවරේ නම් මටත් අල්ලලා ගියා. බිරින්දෑ කියන්නේ "ඔය ඉස්සෙල්ල ෆාම් එක්ක ගන්න " ඊට පස්සේ රෝවරේ ගන්නලු. මේ කපේ වෙන දේවල් නෙමේනේ

      Delete
  15. මේ වන විටත් ඔබගේ බ්ලොගය අප අපගේ සින්ඩියට ඇතුලත් කොට හමාරය. එය "3. බ්ලොග් සඟරා" කොලමයේ දක්වා ඇත! අපට අවශ්‍ය වන්නේ බ්ලොග් ස්වර්ණමය යුගයක් යලිත් ඇතිකිරීමටය. ඒ සඳහා ඔබගේ සහයෝගයද අප නිරන්තරයෙන් බලා පොරොත්තු වෙමු. අප පිළිබඳව හැකි උපරිම ප්‍රචාරණයක් ලබා දෙන්න!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි . මගේ බ්ලොගයේත් මේක දාගන්නම්

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .