Thursday 17 October 2019

"ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ" පිළිබඳව ආදරණිය වියමනක් - ධම්මිකා චාන්දනී

මොහොතකට පෙර අජිත් අයියා ගේ පොත කියවා හමාර කලෙමි. ඒ සැනින් ඒ ගැන සටහනක් තැබීමට සිතුවේ පොත ගැන හිතට දැනුනු උනුසුම මැකී ගිය හොත් එය වදන් වලට ගොනු කිරීම අපහසු වන  බැවිනි. හොඳ පොතක් කියවූ විට,එයින් අප තුල කිසියම් වූ කම්පනයක් ඇති කරන බවත්, ටික දිනක් යනතුරු ඒ මතකයන් අපේ සිත් තුලින් බැහැර නොයන බවත් මා අත් දැකීමෙන් දන්නා දෙයකි. අජිත් අයියා ගේ මෙම පොතත් මා කම්පනයට පත් කල බව මුලින්ම කිව යුතුය .

එහි කියවෙන සියලු දෑ මමද , සැබෑවට අත්විඳි  කෙනෙක් ලෙස එම කතාව,පාඨකයාට දැනෙන අයුරින් ලිවීමට ඔහු ගෙන ඇති උත්සාහය සාර්ථක වී ඇතැයි මට හැගේ .

කතාවේ අග භාගය වඩාත් රසවත් බව මගේ හැගීමයි.

එය කෙතරම් මගේ අවධානය ඒ වෙත ඇද ගෙන තිබුණේ දැයි කියතොත් , පොත කියවමින් සිටින අතර තුර මා හමුවිමට කෙනෙක් මා අසලට ම පැමිණි කිහිප වරක් මා අමතන තුරු මා ඔහු පැමිණි බව නොදත් අතර, එකවර ඔහු දකිද්දී මම  තිගැස්සී ගියෙමි.. ඒ තරමට ම මා ගිහාන්  ගේ ලෝකයේ ගිලී සිටි සෙයකි .

ජීවත් වෙන සෑම මොහොතක ම අප සැම නොදැනුවත් වම වුවත් කරනුයේ මතක පොදි බැදීම නොවේදැයි පොත කියවා හමාර කල පසු මට සිතුනි. පසු කලෙක ආපසු හැරී බලද්දී සුන්දර සහා ලෙන්ගතු මතක සමුදායක් ගිහාන් වෙත ඉතිරි වුනේ ඒ නිසා ම නොවේද.

කාලය ගලා යද්දි ඊට සමගාමිව අපේ ජීවිතත් වෙනස් වේ. කාලයත් සමග අපේ සිතුම් පැතුම් වෙනස් වේ . අපේ හැගීම් වෙනස් වේ . අපේ වටපිටාව වෙනස් වේ. මේ සියලු වෙනස් වීම් මැද අපේ හිත්, අපිට කෙදිනක හෝ මහත් ආශ්වාදයක් ගෙනදුන් සහා අපේ ජීවිත වලට ලෙන්ගතු මතක අමතක නොකරම ඒ සියල්ල පොදි බැදන් ජීවිතය ඉදිරියට තල්ලු කරවයි.

ආදරය යන හැගීම ඉදිරියේ එකිනෙකා අතර ඇතිවන බැදීමට ජාතිය හෝ දුරස්ථ බව අදාල නොවන බවත්, එකිනෙකා වටහා ගැනීම හා එකිනෙකා හට කෙතරම් අවංක ද යන්න මත අප බැදීම් නොනැසී පවතින බවත් මෙම පොත අපිට අවධාරණය කරන සෙයක් මට දැනේ.

තාන්යා හට සාධාරනයක් ඉටු කල යුතු යැයි හැම මොහොතකම සිතන ගිහාන් , තම මව ගැන නොතකා අතුරුදන් වූවකු සේ වෙනත් රටක, රහසේ ජීවත් වීම නිසා මා සිටිනුයේ ගිහාන් සමග තරහිනි .

පුරා අවුරුදු පහකට මට නවාතැන් දුන් මගේ නේවාසිකාගාරය ගැන මෙන්ම ඒ අසල ඇති මා දිනපතා ගමන් ගිය උමන් දුම්රිය ස්ථානය  ගැන මෙහි ඇති සඳහන  දැක මුවගට සිනහවක් නැගුනි.

අවසාන වශයෙන් , ඔබ දක්ෂ ලෙස පොත ලියා ඇති බවත්, එහි අවසන් පරිච්ඡේද කිහිපයේ බොහොමයක් වැකි මගේ මතකයේ තදින් සනිටුහන් වූ බවත්, සෙනෙහසින් මෙසේ ලියා තබමි.

8 comments:

  1. අජිත් ධර්ම මහතාගේ 'ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ' යන නවකතාව අපගේ වෙබ් අඩවියේ සිටිනා ලක්ෂ 6 කට ආසන්න සාමාජික සාමාජිකාවන්ගේ කියවීමේ පහසුව උදෙසා PDF සංස්කාරණයක් ලෙස එළිදැක්වීම හෙට සිකුරාදා දින සිදු කෙරේ. ඒ අනුව 'එළකිරි පුස්තකාලය' පිටුවට පිවිස මෙම ග්‍රන්ථය ඇතුළු තවත් දෙස්විදෙස් ග්‍රන්ථ 1200 යකට වඩා නොමිලේ භාගෙන කියවීමේ පහසුකම ඔබට ලැබේ.

    ස්තුතියි.
    රංග තේනුවර
    ප්‍රධාන විධායක නිලධාරී
    එළකිරි ඩොට් කොම්

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස ප්‍රකාශක මහත්වරු අනුමත කරයි කියල හිතන්න අමාරුයි. මේකේ කොපි රයිට් අයිතිය තිබෙන නිසා

      Delete
    2. ඇත්ත අජිත් මහත්මයා. ඇතැම් ප්‍රකාශක මහත්වරු මුදල් පස්සෙම හඹා යන නිසා එයට එකග නැහැ. අපි මෙය කරන්නේ සත්භාවයෙන් නිසා නඩු හබ දැම්මත් ගැටලුවක් නැහැ.

      ස්තුතියි.
      රංග තේනුවර
      ප්‍රධාන විධායක නිලධාරී
      එළකිරි ඩොට් කොම්

      Delete
  2. මමත් පොත කියවා හමාර කලා.මගේ අදහසුත් ලියන්න කැමැත්තෙන් ඉන්නවා.ඒත් අර 12.12. 12. කියවලා ඒ ගැන මම ලියපු සටහනට කතාව spoil වෙනෝ කියලා කට්ටියක් බෙරිහන් දුන්නා. ඒ නිසා හිත ගිය පොතකට විචාර ලියන එක දැන් දෙපාරක් හිතන්න වෙලා

    ReplyDelete
    Replies
    1. ඔයාගේ අදහස ලියන්න. මට අවුලක් නැහැ. මුල්ම හරියේ දාන්න මේක SPOILER ALERT එකක් හැටියට. පොත කියවන්න ඉන්නවනම් මේක කියවන්න එපා කියල. එතකොට කැමති අය කියවයි. අකමැති අය නොකියව ඉඳියි

      Delete
  3. මා එක හුස්මට කියවාගෙන ගිය ඔබේ කථාව ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ මට දැනෙන්නේ හුදෙක් තවත් එක ප්‍රේම කථාවක් ලෙස නොවේ . විටෙක එය ගිහාන් සහ තාන්යාගේ ප්‍රේමයට එහා ගිය විදෙස් රටවලින් රුසියාවට පැමිණි සිසු සිසුවියන්ගේ කථාවයි . තවත් විටෙක ධනවාදී කදවුරේ රැල්ලෙන් වෙනස් වුණු එදා රුසියානු සමාජය ගැන කෙරුණු අනගි විශ්ලේෂණයයි . තවත් වරෙක මා වැනි සංචාරකයෙකු රුසියාවට යාමට සිත් වඩන විස්තර වර්ණනා කරුවෙකි .රහසේ ලංකාවේ සිදුවන කාන්තා හිංසනය වෙනුවෙන් සටන් කල උපේක්ෂා වාදියෙකුගේ කථාවයි . මේ හැම අතින්ම බලන කල අජිත් ධර්ම නවකථා කරුවෙකුට එහා ගිය සමාජ විද්‍යාඥ යෙකු ලෙසින් ද මේ පොත තුලින් පෙනේ . ඔබට දිගු ගමනකට ආසිරි .

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .