Thursday 26 September 2019

"ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ " - විචාර සටහන් 1 - බුද්ධිකා එරන්දි ජයසිංහ, බෝධිනී සමරතුංග, කොලොම්පුරේ අසංග





ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ!

කොළඹ ගමයා නොහොත් Ajith Dharmakeerthi මා කලක සිට බෙහෙවින් ප්‍රිය කල බ්ලොග් රචකයෙකි.
කලකට පසු සහෘද බ්ලොග්කරුවන් සමඟ අජිත් අයියාගේ "ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ" දොරට වැඩුමට සහභාගී වන්නට ලැබීම මහත් සතුටකි.

මේ එහි එන එක් පරිච්ඡේදයකින් කොටසකි.

[ තාන්‍යා ඇගේ නිල් පැහැති දෙනෙත් රවුම් කරමින් ඔහු දෙස බලා සිටියාය.
" ඔයත් මාව දාලා යයි. කලින් මට ඒක කමක් නැහැ කියලා හිතුනත් දැන් මට එහෙම හිතෙන්නේ නැහැ." ඇය කීවාය]

තවම පොත කියවා අවසන් නොකළ මුත් ප්‍රේමයේ සියුම් රිදීමක හැඟීමක් දැනෙන මේ සටහන ම පොත කියවන්නට මහත් උත්තේජයක් වූ බව නොකියාම බැරිය.

එන්න ඔබත් කියවන්න
"ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ"

ඔබට ආරාධනා කරන්න
මං
එරන්දී

--බුද්ධිකා එරන්දි ජයසිංහ

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~


ඊයේ හවස අජිත් අයියගේ පොතට දුවගෙන ආවේ හසිනි භාග්‍යා නංගිගේ කවිපොතේ කතාව අහවර කරලා... නොසිතූ පරිදි මුලින්ම ඒ කවිපොත ගැන කතා කරන්නට ලැබීමත් මුල්ම කතාව ලැබීමත් නිසා randika එක්ක මට අජිත් අයියාගේ පොතට දුවගෙන එන්න හැකි වුණා.
රුසියාවේ ප්‍රේම කතාව ජනගත කළ සැඳෑවත් හරිම අපූරු උත්සවයක් !

සුනිල් විජේසිරිවර්ධන මහත්මයාගේ කතාව, චන්ද්‍රගුප්ත තේනුවර මහත්මයාගේ කතාව රුසියාවේ ඔවුන් ගත කළ කාලය ගැන එකල සිදුවීම් ගැන අපූර්වතම විචිත්‍රවත් රූප පෙළක් අප හමුවට ගෙන ආවා.
සෝවියට් සමූහාණ්ඩුව ගැන කතා අසා කියවා තිබුනාට එහි ඇවිද ගොස් ජීවත් වූ ඔවුන්ගේ කතා අහන්න ලැබීමත් මේ පොත දොරටවැඩුමට වටිනාකමක් එක් කළා.

චූලානන්ද සමරනායක මහතා බොහොම සීරුවට උත්සවය මෙහෙයවූයේ පමාවී ආරම්භ කළ ද හරි වෙලාවටත් කලින් උත්සවය අවසන් කරන්නට ඔහුගේ මෙහෙයවීම ඉවහල් වුණා කීවොත් නිවැරදියි.
අතරින් පතර පොත කියැවීමට තරු අක්කත් මමත් ඉවාන් පවුලුශාත් වේදිකාවට නැග්ගා.

රුසියානු නැටුම් අපව අමන්දානන්දයට පත් කළා.
අජිත් අයියා සහ අපි හැමෝම හමුවෙන්නේ බ්ලොග් නිසා. කොළඹ ගමයා ලෙස බ්ලොග් එක ලියූ අජිත් අයියා ලියූ පොල්කට්ටෙන් එපිටට සහ සියාමා පොත් එළි දක්වන අවස්ථාවේදීත් අපි මෙලෙසම පැමිණියා මතක ය.

මීට අවුරුදු 10 කට කලින් ලියන්නට යෙදුනු බ්ලොග් පිටු අතරේ ලියැලුණු සහෝදරත්වයට දැන් බොහොම කාලයක්.
උතුරු කොනේ ඉඳන් බ්ලොග් එක කීව මට මේ හැමෝම හමුවෙන්න ලැබුනේ කාලයකට පස්සේ. අපේ නිර්මාණ එළි දක්වන්න එකල බ්ලොග් අඩවි හොඳම වේදිකාව තනා දුන්නා කීවොත් නොවැරදියි.

මට අපි හැමෝගෙම පින්තූර ගන්න බැරි වුනාට. Buddhika Erandi Jayasinghe ගේ සොඳුරු කාචයට මේ හැම හමුවෙලා තිබුණා. Prasanna Mudunkotuwa ගේ කාච සටහන් ලැබෙන තුරු මෙලෙසින් අකුරු කරමි.

බෝධිනී සමරතුංග
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

එදිරිවීර සරච්චන්ද්‍ර ගේ මලගිය ඇත්තෝ හී දෙවොන්දාරෝ සං නොරිකා සං ගේ ප්‍රේම කතාව සේම ඔරුවල බන්දුගේ පස් අවුරුද්ද සේ අලුතින් ලියවෙන දේශ දීපාන්තර දෙකක දෙදෙනෙකුගේ ආත්මීය බැදීම අජිත් අයියාගේ ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ නවකතාව ජනගත කලා. ස්තුතියි අජිත් අයියේ ඔබේ පොතේ පිටු අතර මා නමත් රැදෙව්වාට.

අසංග රණසිංහ ආරච්චි (කොලොම්පුරේ)

No comments:

Post a Comment

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .