කොළඹ ගමයා බ්ලොග් අඩවිය මගේ දේශපාලන හෝ අදේශපාලනික අදහස්, නවකතා හා කෙටිකථා, වෙනත් දර්ශනවාදය හෝ මාක්ස්වාදය, අභ්‍යවකාශ තරණය හා එම විද්‍යාවන් සම්බන්ධ ලිපි කිරීමට උපයෝගී කර ගන්නා ප්‍රධානතම මාධ්‍යයයි . මෙහි පළ කරන ලිපි හා වෙනත් කිසිම වෙබ් අඩවියක් සමග සම්බන්ධතාවයක් නැත. අවසරයකින් තොරව පළ කිරීම සපුරා තහනම්ය. (c) Copyrighted Material - Ajith Dharmakeerthi UK
Thursday, 4 September 2014
පරාජිත, ඒකාකාරි, සුන්දර - ඔබ නැතුව ඔබ එක්ක
ප්‍රසන්න විතානගේ කියන්නේ කලාත්මක චිත්‍රපටි කීපයක්ම අධ්‍යක්ෂණය කල ප්‍රවීන සිනමාකරුවෙක්. හුඟක් යුරෝපිය චිත්‍රපටි උළෙලවල ඔහු සම්මාන ලබාගෙන තිබෙනවා. ඉතින් මන් මේ කරන්නේ සිනමා විචාරයක්ම නොවුනත් පරිස්සමින් කියන දේ කියන්න වෙනවා.
චිත්‍රපටියට පාදක කරගෙන තිබෙන්නේ ෆියෝදෝර් දොස්ටයෙව්ස්කි ගේ "මුදු ප්‍රාණියා හෝ නිහඬ ඇය " (The gentle creature or the meek one") රුසියානු භාෂාවෙන් ක්‍රොත්කයා කියන කෙටි කතාව. ඉංග්‍රීසි පොත මෙතැනින් බාගන්න පුළුවන්. http://www2.hn.psu.edu/faculty/jmanis/dostoevs/gentlesp.pdf
මෙහිදී ප්‍රසන්න විතානගේ මෙම කතාව වෙනස් කරනවා ලංකාවේ පැවතුන සිවිල් යුද්ධය පාදක කරගෙන.
එකේ වරදකුත් නැහැ. නමුත් මටනම් දොස්ටයෙව්ස්කි ගේ කෙටි කතාව කියවනවිට ඇතිවුන හැඟීම් මාලාව මේ චිත්‍රපටිය බැලුවට එන්නේ නැහැ. දොස්ටයෙව්ස්කි දර්ශනවාදියෙක්. ඔහුගේ Notes from Underground කියන නවකතාව existentialist කියල තමා කියන්නේ. ඒකෙන් කියන්නේ දර්ශනවාදී චින්තන ක්‍රියාවලිය ඇරඹෙන්නේ සිතන මිනිසෙකු ගෙන්ම විතරක් නෙමේ, රඟන, හැඟීම් සහිත ජීවත්වෙන පුද්ගලික මනුෂ්‍යයෙකුගෙන් කියල. http://en.wikipedia.org/wiki/Existentialism
මේ කතාවත් ඒ හා සමානයි කියල කිව්ව හැකි. මීට අමතරව දොස්ටයෙව්ස්කි, ගොගොල් යන සම්භාවනීය රුසියානු ගත්කරුවන්ගේ නිර්මාණ එවකට පැවති රුසියානු සමාජය විශ්ලේෂණයකට බඳුන් කලා . මිනිස් සම්බන්ධතාවන්, සමාජ සම්බන්ධතාවන්, සාර් පාලනය ප්‍රබල කතිකාවකට බඳුන් කලා. කොටින්ම පසුව රුසියාවේ සිදුවුණ සමාජ විප්ලව වලට (1905, 1917) මේ නිර්මාණ බල පෑව කියලත් කිව්ව හැකි.
ඉතින් මේ කතාව කියෙව්වොත් ඒක පරාජිත ප්‍රේමවන්තයෙකුගේ කතාවක්ම නෙමේ. මේ කතාවේ එවකට තිබූ රුසියානු සමාජයේ කෘර බව, මිනිස් සම්බන්ධතා වල සංකීරණ කම , දරිද්‍රතාවය , සැඟවුණු ප්‍රේමය හා ඒ හා බැඳුනු ලිංගික ප්‍රශ්නත් කතා වෙනවා. (මට හිතෙන විධිහට) .
ප්‍රසන්නට මේ සිනමා කතාව ඒ විධිහටම ගෙන යන්න ඕනේ නැහැ තමා. නමුත් මූලික කතාව පාදක කරගත්තට යුද සමය හා පශ්චාත් යුද සමය හරියට ග්‍රහණය කරලා නැහැ. ඒ වගේම දොස්ටයෙව්ස්කි, කතා නායකයා හා හුසාර් වරයෙකු අතර , කතා නායකයා මග හැරිය නොකළ ද්වන්ධ සටන තදබල ලෙස ඉදිරිපත් කල ආකාරයට , ප්‍රසන්න මේ කතා නායකයාගේ හමුදා යාලුව කල වරද (දෙමල තරුණියක් දුෂණය කිරීම) හා ඔහු (කථා නායකයා) එය සැඟවූ බව එතරම් ප්‍රබල අන්දමින් ඉදිරිපත් කරලත් නැහැ. (මම කියන්නේ මේ සිනමා නිර්මාණයට සාපේක්ෂව).
දැන් අපි එයාර් බස් වල (ශ්‍රී ලන්කන් , එමිරේට්ස් ඔය කොයිකෙත් ) යන කොට චිත්‍රපටි බලන්න පුළුවන්නේ. ඒ වල දාන සිංහල චිත්‍රපටි හුඟක් බාල පන්නයේ කොමඩි නේ. අර 70 දශකයේ විජය, ගාමිණී , මාලිනි ගස් වටේ දිව්ව විධිහටම (ඒක ඒ කාලෙට කමක් නැහැ) කොහේ හරි සිතල තියන තණකොළ පළාතක නටන ඒවයි මෝඩ ජෝක්ස් නුයි තියෙන්නේ. ඒ තත්වයෙන් මිදෙන්න ධර්මසිරි බණ්ඩාරනායක ල වගේ අධ්‍යක්ෂකවරු (හංස විලක් හැර ) හදපු චිත්‍රපටි වල කිසියම් ඒකාකාරී බවක් රැව් දෙනවා. ඒ ගතිය මේ චිත්‍රපටියෙත් තිබෙනවා. නිද්‍රාශීලි උඩරට නගරයක තමා කතාව යන්නේ. ඇත්තටම එහෙම පුංචි නගර තිබෙනවද? පශ්චාත් යුද සමයේ ශ්‍රී ලංකාවේ කුඩා නගරයක පවා චංචල හා කලබලකාරී බවක් රැඳී තිබෙන බවයි මම දැක්කේ. මේ දීර්ඝ ඒකාකාරී ගතිය සමහර වෙලාවට කරදරයක්. චිත්‍රපටියේ මුල හරියේ කතා නායක සරත්සිරි වඳින්නේ ගණ දෙවි පිළිරුවකට. ඊට පස්සේ එයා වඳින්නේ බුදු පිළිමයකට. වෙනස මොකක්ද කියල වැටහෙන්නේ නැහැ. අනික කතා නායිකාව සෙල්වී පල්ලියට යන දර්ශනය හා ඊට පසු සංවාදය චිත්‍රපටියට කෘතිමව ඔබ්බවල වගේ ගතියක් දැනෙනවා.
මේකේ පරාජිත බව තමා කතා නායිකාව සියදිවි නසා ගැනීම . වෙනත් ජාතියකගේ පිඩාවට පත්වුණු සුළු ජාතියක් ඉන් මිදෙන්න සොයා ගත්තේ සිය දිවි නසාගැනීම මගින් මහා ජාතියට දඬුවම් කිරීමේ ක්‍රමයක් . එය දරුණු, පරාදීන අනුන් විනාශ කරගෙන තමන් විනාශවෙන , සමාජීය වශයෙන් නොගැලපෙන විධි ක්‍රමයක්. සමජවාදින්වත් ධනවාදින්වත් වත් ඊට වඩා අගය කරන්නේ ජිවත් වීම. ජිවත්වි සටනට මුහුණ දෙන එක. ජිවත්වි අරගලයකට නායකත්වය දෙන එක.
කතා නායිකාවට සිය දිවි නසා ගන්නවට වඩා එහා යන්න තිබ්බා. ඒ යන පාර ප්‍රසන්නට හොයල දෙන්න තිබ්බ. එතනින් දොස්ටයෙව්ස්කි ගේ මාවතට , දොස්ටයෙව්ස්කි ගේ අවසානයට වඩා වෙනත් අවසානයක් ගන්න තිබ්බා . මේකේ ලෙනින් කල පැහැදිලි කිරිමකිදී , අපට දකින්න පුළුවන් ගොගොල් ගෙ, දොස්තයෙව්ස්කි ගේ , ටෝල්ස්ටෝයි ගේ පරාජිත, රුසියානු සමාජයේ ඛේදාන්ත වලට , ලෙනින් ප්‍රති උත්තරයක් දෙනවා. අරගල කරපන්. ජිවිතයෙන් පලා යන්න එපා. මේ දේ මේ විධිහට ලැබිල තියෙන්නේ අපි නිහඬව පරාජය බාර අරගෙන බැරි වුණාම ප්‍රශ්නයෙන් පලා යන නිසා. ගෝර්කි (අම්මා- පාවෙල් ) වෙනස් කරලා ලිව්වේ ඒක. ඔස්ත්රෝව්ස්කි (- කොර්චාගින් -වානේ පන්නරය ලැබූ හැටි) වෙනස් කරල ලිව්වේ ඒක.
ඒ කෙසේ වෙතත් සුන්දර , පරාජිත ආදරයක් මේ සිනමා කෘතියේ ඉස්මතු කරනවා. තරමක් දුරට බ්‍රොන්ටෙගේ වදරින් හයිට්ස් තරම්ම නොවුනත් (හිත්ක්ලිෆ් ) සුන්දර ආදරයක් වෙනුවෙන් හිත සසල කර ගත් අනාථවූ මිනිසෙකුත් එවැනිම අනාතවූ සුන්දර , අහිංසක යුවතියකගේත් ආදරයක ඛේදාන්තයක් චිත්‍රපටිය පුරාම දිව යනවා. එය හදවතට කාවදින ආකාරයට ඉදිරිපත් කරන්න දොස්තයෙව්ස්කි වගේම ප්‍රසන්නත් දක්ෂ වෙනවා.
චිත්‍රපටියේ ඉවර වෙන්නේ හදවත වේදනාවෙන් බිඳින මේ වදන් ටිකෙන්.
"මම ඔයාගේ ආදරයට බය වුනා. ඔයාට ඕන විධිහේ නෝනා කෙනෙක් වෙන්න බැරි වෙයි කියල මට හිතුන. ඔයාට බාගෙට ආදරේ කරන්න මට බැහැ. මට ඕනෙ ඔයාට මුළු හදවතින්ම ආදරේ කරන්න."
"ඇයි ඔයා මට මෙහෙම කලේ. ඔය තව එක පාරක් හැරිලා බැලුව නම්........ ".
8 comments:
සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .
ප්‍රසන්න විතානගේ කියන්නේ මට හිතෙන විදිහට ලාංකීය සමාජයට චිත්‍රපටි නිපදවන්නෙක් නෙවෙයි , ඔහු ඉලක්ක කරන්නේ ජාතන්තරය. ඔහුගේ හැම චිත්‍රපටියක්ම පාහේ ලංකාවේ ප්‍රදර්ශනයට එන්නේ ජාත්‍යන්තර (පිළිගැනීම කෙසේවෙතත් ) සිනමා උළෙල කීපයකට පසුවයි. ඉතින් ඔබ කියන මේ සංසිද්ධීන් කිසිවක් ඒ ප්‍රේක්ෂක පිරිසගේ අවධානයට යොමුවෙනවා යයි හිතන්න අමාරුයි නේද
ReplyDeleteඔබ කියන එකේ කිසියම් ඇත්තක් තිබෙනවා. උදාහරණයකට ගත්තොත් මම දැක්ක යුද සමයේදී , යුදයට නාමිකව විරුද්ධ නිර්මාණාත්මක අතින් බොළඳ ලිපි හා කලා නිර්මාණ යුරෝපිය රටවල සම්මාන ලබනවා. ලංකාවේ ආණ්ඩුවට විරුද්ධ වීමම මිනුම් දණ්ඩ කරගෙන යුරෝපිය රටවලින් සම්මාන දුන්න නිර්මාණ. ඒ සමහර නිර්මාණ කරුවොත් බංකොලොත් උදවිය.
ReplyDeleteවිතානගේ මම ඒ විධිහට දකින්නේ නැහැ. ඔහුගේ පෙර චිත්‍රපටිත් ගත්තොත් - ඉදිරියේදී වඩාත් හොඳ නිර්මාණ බලා පොරොත්තුවෙන්න පුළුවන් ශක්‍යතාවකින් යුත් සිනමාකරුවෙකු තමා මම දකින්නේ. ඔහු ලංකාවෙ මේ චිත්‍රපටිය නොපෙන්වන්නේ ඇයිද කියන්න මම දන්නේ නැහැ.
අපේ රටේ යුද්ධය පිළිබඳ එකඳු හෝ සාර්ථක නිර්මාණයක් බිහි වෙලා නෑ.. එහෙම බිහි උනා නම් චැනල් ෆෝ ෂෝස් ඔයි තරම් නැගලා යන්නෙත් නෑ.. ඒ වගේම මේ පාළණය තුල බිහිවන එකකුත් නෑ.. එහෙම දෙයක් හදන්න තරම් දක්ෂයෙකුත් නෑ..
ReplyDeleteමාතලන් - එකට හේතුව වුනේ ලංකාවේ නිපදවුණු හැම යුද්ධය පිලිඹද චිත්‍රපටියක්ම බිහිවෙන්නේ යම්කිසි දේශපාලන වුවමනාවක් මත නිසා, එක්කෝ රජයේ නැත්නම් අන්තවාදී දමිල අවශ්‍යතා ඉටු කිරීමට මිසක් යුද්ධය පිලිම්බනද සත්‍යය දකින්නට නෙවෙයි .
ReplyDeleteඑහෙව් ශක්‍යතාවක් තිබෙන නිර්මාණකරුවන් පවා පසු කාලීනව මේ රැල්ලට අසු වෙනවා , ස්වාධීන නිර්මාණකරුවෙකු ලෙස ඉස්මතුවෙමින් සිටි අශෝක හඳගම පවා "ඉනිඅවන්" චිත්‍රපටිය හරහා රජයේ අවශ්‍යතා අනුව හැසිරෙන්නේ ඒ නිසා
ලැබෙන කටකතා අනුව නම් හඳයාත්, විමුක්ති හරහා ආන්ඩුව ඩැහගත්ත බවකුයි ආරංචිය.. කොහොමත් ෆිල්ම් එකක් හදලා මරණය ළඟා කර ගන්නේ නැතිව.. ෂේප් එකේ කඩේ යන එක හොඳයි කියලා හඳයට හිතෙන්න ඇති. ඒත් ඉතින් නිහඬවම උන්නා නම් බොහෝම වටිනවා..
ReplyDeleteඒත් එහෙම හිතන එකත් වැරදියි.. හඳයා කියන්නේ සිංහළ සිනමාවේ සංදිස්ථානයක්.. එහෙම මිනිහෙක් නිකන් ඉන්නවට වඩා මොනවා...... හරි කරන එකත් ළොකු දෙයක්..
මම ඉස්සර කලාව ගැන සෑහෙන උනන්දුවක් තියෙන යාලු වෙක්ගෙන් ඇහුවා
ReplyDeleteඅයියා දන්නවද ලංකාවෙ හොඳම චිත්‍රපට විචාරකයා කවුද කියලා
එයා කිව්වා ඔයාම කියන්න කියලා
මම කිව්වා නලීන් ද සිල්වා
එයා ඇහුවා ඒ කොහොමද
අනිත් හැම එකාම චිත්‍රපටි බලලා විචාරය කරන්නේ නමුත් නලීන්ද සිල්වා අශෝක හඳගමගේ චිත්‍රපටි නොබලා විචාරය කරනවා හැබැයි ඒවත් බලලා කරන ඒවා වගේමයි
ඒ කියන්නේ නලීන්ද සිල්වා ලංකාවෙ හොඳම විචාරකයා
මම එහෙම ඇහුවේ යාලුවගෙ අදහස් දැනගන්න එතකොට එයා හොඳ උත්තරයක් දුන්නා
ඕක නලීන්ද සිල්වා ගේ දක්ෂකම නෙමෙයි
අශෝක හඳගමගේ එක චිත්‍රපටියක් බැලුවාම මිනිහා කියන්න හදන්නේ මොකක්ද තේරෙනවා ඉතින් අනිත් චිත්‍රපට නොබලා බලපු කෙනෙක්ගෙන් කතාව අහලා විචාර ලියන්න පුලුවන් විශේෂයෙන්ම ගණිතයට දක්ෂ කෙනෙක්ට
මම ගණිතයට ලොකු දක්ෂතාවයක් නැහැ එහුම වගේ. නමුත් ගණිතය හරහා ගත්ත විදුලි එන්ජිනේරු උපාධියකුයි තාරකා විද්‍යාවට (astrophysics ) උපාධියකුයි (MSc) තිබෙනවා. හැබැයි මේක ලිව්වේ චිත්‍රපටිය බලල. නරඹා නැරඹ නැති නිසා සාධාරණ උත්තරයක් දෙන්න අමාරුයි මට.
ReplyDeleteමාතලන් හා ඉවාන් ගේ අදහස් දෙකම සාපේක්ෂව ගත්තොත් හරි. නමුත් ලංකාවේ තිබෙන අනිත් චිත්‍රපටි දිහා බැලුවහම මේ ගොල්ලන්ගේ චිත්‍රපටි ගව ගානක් ඉස්සරහ. නමුත් අපි බලන ප්‍රංශ, ජර්මන්, ලතින් ඇමෙරිකානු , ඉරාන චිත්‍රපටි පවා ගව් ගාණක් ඉදිරියෙන්. මම මේ චිත්‍රපටි (හඳගම, විතානගේ) වල ඒකාකාරී බව ගැන කිව්වේ එකයි.
ReplyDelete