Saturday 27 September 2014

කලහකාරී තේනුවර බැරලයක් සමග ලන්ඩනයේ

චන්ද්‍රගුප්ත තේනුවර මට හමුවුනේ මින් අවුරුදු 26- 27කට කලින් මොස්කව් වලදී.
සමහර දේශපාලනඥයෝ 'කලහකරුවා' කියනවලු තේනුවරට කලාකාරය කියල කියන්නේ නැතුව. මේක සඳහන්  කරලා තිබුනේ අපේ ප්‍රවිණ  මාධ්‍යවේදියෙක් වන ජයසිරි අලවත්ත  චන්ද්‍රගුප්ත තේනුවර එක්ක කරපු  සම්මුඛ සාකච්චාවක්  ගැන ලිවූ ලිපියක. ලිපියේ යොමුව  පහත තිබෙනවා.
ඉතින් මට අවුරුදු ගානකට කලින්  හමුවුන තේනු බොහොම නිහඬ සන්සුන්ව කතාකරන චිත්‍ර කලාව ඉගෙන ගන්න ආපු ශිෂ්‍යයෙක්. දැන් කතාව මේකයි. මම චන්දෙ ඉල්ලුව (අනුන්ගේ බලපෑම මිස මට ඕනවට නෙමේ.  )  සෝවියට් දේශයේ සමස්ත ශ්‍රී ලංකා ශිෂ්‍ය සංගම්වල මහා සභාවේ මහ  ලේකම් ධුරයට.  ඒ දවස්වල කොමියුනිස්ට් පක්ෂයේ ස්ටයිල් එකට ලේකම් ධුරය තමා  බලවත්. සභාපති තෝරා ගන්නේ මහා සභා රැස්වීම ගෙන යන්න විතරයි.  චන්දෙ ලැබෙන්නේ සෝවියට් දේශයේ  රාජ්‍ය විශ්ව විද්‍යාලයක් තිබෙන හැම නගරයකින්ම පැමිණෙන  නියෝජිත කණ්ඩායම් වලින්. මම යන්තම් දිනුව එක චන්දයකින්ද කොහෙද . මොකද අපේ ස්වාධින (ලංකාවේ එකට සම්බන්ධයක් නැත) කණ්ඩායමට මුලින් සහයෝගය දුන් තේනුවර ඇතුලත් කණ්ඩායම වෙනම චන්දෙ ඉල්ලා තෙවන ස්ථානයට පැමිණීම නිසා.
එතකොට තේනුවර සහෝදරයා හිටියේ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ කණ්ඩායමක් එක්ක. එතකොට මට දුන් චන්ද වලින් වැඩි  චන්ද ප්‍රමාණයක් අරන් ආවේ වෙනත් නගරයක ශිෂ්‍ය සංගමයේ ලේකම් වෙලා හිටි ඩිලන්ත විතානගේ මහතා. දිලන්ත හිටි නගරේ දෙමල මුස්ලිම් ශිෂ්‍යයන්  අතරත්  ජනප්‍රියයි. හැමෝටම උදව් කරගෙන හිටි කිසි ජාතිවාදයක් හෙම පෙන්නුවේ නැති ශිෂ්‍යයෙක් .
තේනුවරගේ චන්දය මට හම්බවුනේ නැහැ කියල මම දන්නවා. ඒ දවස්වල ආචාර්ය නලින් ද සිල්වාගේ 'සමාජවාදී පන්තිය' ගැන පලවෙන ලිපු දිවයිනේ කියවල, ඊට පස්සේ young spartacist league එකේ සහ  මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ කතා අහල සෝවියට් දේශය ගැන ඔලුව කුරුවල් කරගෙන් මම හිටපු නිසා අපි හිටියේ මතවාද  දෙකක. හිටියේ වෙනස් අදහස් දරාගෙන උනත් අපට බාධාවක් වුනේ නැහැ එකතු වෙලා කතා කරන්න, හොස්ටල් එකේ බතක් දා  ගන්න.

දැන් අවුරුදු විසි ගණනකට පස්සේ තත්වය වෙනස්. මම අපේ මිත්‍ර දිලන්තට පොඩි විවේචනයක් දාලා  පෞද්ගලික ඊමේලයක්  යැව්වට පස්සේ අපේ වැඩි කතා බහක් නැහැ. කොහොමත් තිබ්බෙත් නැහැ ලොකු කතා බහක්. මම හලාල් වලටත්,  ෂරිය නීතියටත් විරුද්ධ කෙනෙක්. ඒ විරුද්ධ හැමෝටම නිතිය එක හා සමානව තිබෙන්න ඕනය කියල හිතන නිසා හා මම අදේවවාදියෙක් නිසා.  හැබැයි මගේ ඒ  විරුද්ධකම හැම ආගමකටම තිබෙනවා. කිසිම ආගමකට කිසිම  අමුතු තත්වයක් කිසිම ආණ්ඩුවකින් දෙන්න ඕනේ නැහැ.  හැබැයි ඕනෑම  සුළු ජාතියකට තමන්ගේ ආගම අදහගෙන නිදහසේ සිටීමේ අයිතිය වලක්වන්න කවුරුහරි උත්සහ  කරනවානම් ඒක වැරදියි.

දැන් තේනුවර තමන්ගේ බැරල්වාදය , නව බැරල් වාදය , පශ්වාත් බැරල්වාදය පහු කරලා අලන්කාරකරණයට ඇවිත්.  මේ හැම අවධියක්ම යුද්ධයට හා පශ්චාත් යුද සමයට සම්බන්ධයි. අවසන් යුද්ධයට ගොඩක් කලින්, ජනාධිපති චන්ද්‍රිකා ගේ කාලේ   මට හමුවුණු දෙමල ක්‍රියාකාරීන්ට මම කිව්වේ , චන්ද්‍රික තරමක් ලිබරල්. එයා එක්ක එකට වැඩ කරලා අවබෝධයකට එන්න . devolution එකක් අරගෙන ආයුධ  අත  හරින්න.  ලංකාවේ ආණ්ඩුවට ඕනනම් ඕගොල්ලන්ට ගහල මට්ටු කරන්න පුළුවන්. ඒ ගොල්ල ඒක  දෙපාරක්ම කරලා පෙන්නලා තිබෙනවා කියල. ලොකු විනාශයක් වෙන්නේ එතකොට. ඒ හුඟක් අය  මේක අවඥාවෙන් බැහැර කලා. තමන්ගේ බලය ගැන පුදුම අධි තක්සේරුවකුත් ඇමෙරිකාව , බ්‍රිතාන්‍යය ගැන පුදුම විශ්වාසයකුත් ඔවුන්ට තිබුන. ඔවුන් කිව්වේ එහෙම  කියන්නේ මම ජාතිවාදියෙක් නිසා කියල. මට නිකම්ම ජාතිවාදී ලේබලය වැදුන ඇත්ත කතා කරන්න ගිහිල්ල. දැන් මින් සමහර අය මට කතා  කරන්නේ නැහැ. ඕකම වුණා 87දීත්. මට කිව්වේ සුළු ධනේෂ්වර කියල ඇත්ත කියන්න ගිහිල්ල.

තේනුවරට තමන්ගේ චිත්‍ර ප්‍රදර්ශන වල මාතෘකාව ගන්න වෙලා තිබෙන්න මිලිටරිය හැම වෙලාම දිනපු රටක. හැබැයි ඒ හැම දිනීමකම අනිත් පැත්තේ අන්තවාදය ලොකු උදව්වක් වුණා. අන්තවාදය නැතුව හැමෝම ජනතාව ගැන විශ්වාසය තැබුවානම් මේක වෙන්නෙ  නැහැ.

දැන් මට හිතෙන්නේ මම ඉන්නේ මැදක. මගේ පරණ මිත්‍ර දිලන්ත විතානගේ එක අන්තයක සහ තේනුවර සහෝදරයා තව අන්තයක කියල. නමුත් තේනුටත් මටත් තවම ඒ සොඳුරු සංවාදයේ යෙදෙන්න පුළුවන්. පසුගියදා බොහෝ කාලයකට පසු හමුවුණු වෙලාවේ, රාත්‍රී ආහාරය අරගෙන අපි එලියට බැස්සා මොස්කව් වල වගේ සුපුරුදු  විධිහට පොඩ්ඩක් ඇවිදින්න. ලන්ඩනයේ තරු පිරි අහසක් යට  අප දෙදෙනා කතා කලේ ඒ පිළිබඳව. බොහෝ දේවල් ගලා  ගිහින් තිබෙන්නේ පාලම යටින් අපි නොදැනුවත්වම.
හරියට "දොන් නදිය නිසලව ගලා බසි කියන පොතේ" ශෝලහව් කිව්වා වගේ.

මම තේනුවරට කිව්වේ , මම ඒ දවස්වල වගේම සමහරවිට ඔයාගේ දේශපාලන අදහස්වලට එකඟ නොවෙන්න පුළුවන්. නමුත්  තර්ජනයක් නැතුව,  ඔබේ අදහස ඉදිරිපත් කරන්නට ඔබට ඇති අයිතිය පිළිබඳව මම පෙනී හිටිනවා.

අපි අගෝර මණ්ඩපයේදී   තේනුවරගේ කථාව  අහන්න රැස් වෙනවා අද. (මෙය පවත්වා  අවසානයි.)


 ජයසිරි අලවත්ත මහතාගේ ලිපිය:
http://www.mirrorgirl.lk/art-gallery/art-space/1266-barralism-beautification

No comments:

Post a Comment

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .