Saturday 25 December 2021

සුභ නත්තලක් කියනවද සුභ නිවාඩුවක් කියනවද

මේ ප්‍රශ්නය මට නිතර හිතෙන දෙයක් නත්තල් කාලෙට. දැන් ක්‍රිස්තියානි ආගම අදහන්නේ නැති අයත් නත්තල සමරන නිසා. මම අහල තියෙන්නේ රෝම අධිරාජ්‍යය පගන් ආගමිකයන් ගේ දවසක් නත්තල ලෙස අරගත්තා කියල. රෝම අධිරාජ්‍යය කිතු දහම වැළඳ ගත්තට පස්සේ අනිත් ආගමිකයන් කොන් නොකරන්න ගත්ත හොඳ පියවරක් කියල මට හිතෙන්නේ.

මම ආගමික නොවන කෙනෙක්. නිරාගමිකද කියන්න දන්නේ නැහැ මොකද මම  මොන දහමකට වත් ඇලෙන්නේ නැතිව ඉන්න හදන කෙනෙක් නිසා. දෙවියන් නොඇදහීම හා ආගමික නොවීම සෝවියට් දේශයට යන්න කලින්ම  දහයේ පන්තියේ ඉඳන් වගේ තිබුන අදහසක්. එනිසා ඒ මතවාදය සමග සම්බන්ධයක් නැහැ.
හැබැයි මම පුරාණ විහාර වලට  යන්න තවමත් කැමැතියි. ඒ දවස් වල හුණුපිටියේ ගංගාරාමය හරිම චාම් නිදහස් නිහඬ තැනක්. බෝ මළුවේ ඇවිදින්න නැත්නම් සීමා මාලකය වටේ පෝය දවසට නිහඬව  ඇවිදින්න මම හරි  කැමතියි. ඒ කාලේ දැන් වගේ පැය දහ හතරක්ම  ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරපු  විහාර තිබ්බේ නැහැ. 
සෝවියට් දේශයේදී මගේ යහළුවකු හා ක්‍රිස්තියානි ආගමිකයකු වන මැක්සිම් සමගත් තවත් යෙහෙළියක වන ලූදා සමගත් පල්ලි වලට ගිහින් තිබෙනවා. ගිහින් ඉටිපන්දම පත්තු කරලා ඒ ගොල්ලෝ වැඳලා එනකන් පැත්තකට වෙලා ඉන්නවා. ඒ පල්ලිවල රැකගෙන තිබුන පුරාණ කුරුස, වෙනත් ඇදහිලි කරුවන්ගේ භාණ්ඩ බලන්න මම කැමතියි. මගේ ජර්මන් බිරිඳ හමුවුන  දවස් වලත් අපි ප්‍රොතෙස්තන්ත හා කතෝලික පල්ලිවලට ගියා,  එයා පන්සලටත් ආව. 



නත්තල සමරන්න එයා හැම  වෙලේම නත්තල් ගහක් හැදුව. මට තේරුණා එයා ඒක කරන්නේ අපි අවුරුද්ද සමරනවා වගේ කියල. එයාගේ මව්පියන්නුත්  ඒ දේම කරනවා. නැගෙනහිර ජර්මනිය අදේවවාදික කියල අපි හිතන් හිටියත් ඔවුන් ඒ කාලෙත් ඒවා කරලා තිබෙනවා. ඒක  උරුමයෙන් ඇවිත් තියෙන්නේ. එයාට මතකයි සීයල ආච්චිලා කරපු  හැම දෙයක්ම  වගේ. ඉතින් ජර්මනියේ  වගේ චාරිත්‍ර මෙහෙත්  කරනවා. ජේසු බිළිඳු උපන් විධිහ සමරන නාට්‍ය වලට දුවල දෙන්න  පොඩි කාලේ සහභාගී වුනා. බිරිඳත් ඒ සිදුවීම සමරන්න පොඩි ගව ලෙනක්  හදනව. 


 එයාගේ හිතට ඒක සමීප නිසා මමත්  නත්තල එයා සමග සමරන්න ගත්ත. දූලා  දෙන්න ලැබුනම නත්තල ඊටත්  වඩා වර්ණවත් වුනා. මොකද අපි හැමවෙලේම නත්තලට ජර්මනියට ගිය නිසා. ජර්මන් නත්තල් මාකට් හරිම විසිතුරු තැන්. හරියට ලංකාවේ වෙසක් බලන්න යනවා වගේ.  ඒවායේ නොයෙකුත් කෑම ජාති තිබෙනවා. මම කැමතිම බ්‍රට්වර්ස්ට් කියන ගින්නේ පළහා  දෙන සොසේජය කන්න. තුරින්ගියා ප්‍රදේශයේ හදන එක තමා රහම. ඊට අමතරව නොයෙකුත් කුළුබඩු වර්ග , පලතුරු යුෂ සහ රතු වයින් දමල හදන මුල්ට් වයින් (මල්ඩ් වයින් mulled wine ) කියන උණු බීමක් පානය කරනවා. ඒකෙන් සීතල මග හැරෙනවා.

නත්තලට කලින් කිසියම්  අපහසුතා  ඇති පවුලකට, ළමයෙකුට හෝ වැඩිහිටි  කෙනෙකුට උදව්වක් ආධාරයක් කරන එකත් සිරිතක්. මම ඒ ගැන විස්තර ලියන්න යන්නේ නැහැ. නිහඬව  කරන දෙයක් නිසා. 


නත්තල් පටන් ගන්න කාලෙක ලෝභ මිනිසෙකු ගැන (scrooge) හෝ අළු කෙල්ල (සින්ඩරෙල්ල වගේ කතාවක්), නට් ක්‍රැකර් වගේ නාට්‍යයක් හෝ  ඔපෙරාවක් බලන්න යන එකත්  සිරිතක්. අවුරුදු තුනකට පස්සේ අපිත් ගියා ලන්ඩන් වල ඔල්ඩ්විච් නෘත්‍ය  ශාලාවේ ටීනා ටර්නර් ගැන තියෙන සංගීත නාටකය බලන්න. උත්සව සමය ජර්මනියේ පවුල් පටන් ගන්නේ  ඒවගේ දේවලින් . නගරයේ නත්තල් සැරසිලි බලන්න ඊට පස්සේ යනව. අපිත් ගිය කවෙන්ට් ගාඩ්න් කියන මැද ලන්ඩනයේ ප්‍රදේශයකට. 




දෙසැම්බර් 24 ක්‍රිස්මස් දවසට කලින් දවසේ  පවුලේ ඔක්කොම එකතු වෙනවා. එදාට පවුලේ අය විතරයි රෑ කෑමට එකතු  වෙන්නේ. රාත්‍රී කෑමට මාළු වලින් හදන යමක්.   ඉනෙස් ගේ මව මගේ දුවලගේ  තරුණ මිත්තනිය (එයා මට මහලුයි කියල හිතෙන්නේ නැහැ) කෑම මේසය හදනවා ඒ දෙන්න එක්ක. මාළු කෑම, ඒක ජේසුස් වහන්සේ සම්බන්ධ දෙයක් නිසා කියා මම හිතන්නේ. ඔහුගේ ධිවරයන්  සමග සම්බන්ධය හෝ ඔහු උපන් දවස නිසා එදාට මස් කන්නේ නැහැ. මම හරි හේතුවක් දන්නේ නැහැ. කෑමෙන් පස්සේ නත්තල් සීයා එනව රෑට තෑගී අරන් . දුවල ටිකක් ලොකු වෙනකොට දැනගත්ත එයාලගේ ජර්මන් මාම තමා එහෙම ඇඳගෙන එන්නේ කියල. එයාලා දැනගත්තත් ඒක පෙන්නුවේ  නැහැ. මගෙන් හොරෙන් ඇහුව. මමත් කීව ඔව් ඒ වුනාට ඒක ප්‍රසිද්ධියේ  කියන්න ඕනේ නැහැ කියල. දැන් ඒ වෙනුවට තෑගී ඔක්කොම ක්‍රිස්මස් ගහ පාමුල තබනවා.  වඩා හවස් වෙනකොට පොඩි පොඩි නොයෙකුත් රහ තියෙන මත්පැන් ලිකුඅර්  liquor වර්ග හා කෝපි  බොමින් ගිය අවුරුද්දේ සිදුවූ සිදුවීම්, හිනා යන දේ, කළ වැරදි තීරණ ගැන කතාකරනවා.  


මේ කාලෙට කන්න විශේෂ කේක් එකකුත් හදනවා. ඒකට කියන්නේ  ස්ටොලන් කේක් කියල. ටිකක් ලංකාවේ වෙඩින් කේක් වගේ හැබැයි වඩා ළා පාටයි. පලතුරු, වියළි මිදි , ඇල්මන්ඩ් නට්ස් හෙම දාල හදන්නේ.   ගොඩක් කල් තබාගෙන කන්න පුළුවන්.
   මේ සම්ප්‍රදායන් අපේ අවුරුදු, වෙසක් කාලේ වගේ ආදරණිය දේවල් හැටියට මට හිතෙන්නේ.

කෝවිඩ් නිසා අපට අවුරුදු තුනක්ම ජර්මනි යන්න බැරිවුනා.  නමුත් අපි හැකිතාක්  මගේ මාමා හා නැන්දගේ චාරිත්‍ර  ඒ විධිහටම කරනවා.   ඊයේ හවස ඉනෙස් හැදුව ලොකු  සැමන් මාළුවෙක්. ලංකාවේ  සැමන්  මාළු කියන්නේ ටින් මාළු වගයක්. මෙහෙ සැමන් මාළුවා තමයි ගන්නේ. 

 අපි  ජපන්/චීන ආකාරයේ එළවලු දාපු ඩම්ප්ලින්  කෑවේ මූලික ආහාරයට. ඊට පස්සේ සැමන් මාළුවා සුදු වයින් සමග.  ඊට පස්සේ අතුරු පස. පවුලේ කට්ටියම එකතුවෙලා කතා කර කර ඉඳල සාමාන්‍ය දැනීම ප්‍රශ්න  අහන සෙල්ලමක් කළා. එහෙම  සෙල්ලම් ජාති කරන එකත් සිරිතක්. අවුරුද්දට  පංචි දමනවා වගේ.

අද ක්‍රිස්මස් දවස. අපි හතර දෙනාගේ තෑගි හුවමාරු කරගෙන හිටිය. අපි දෙන්නටම දුවල  කැමති  පොත් වගයක්   දුන්න වෙනත් තෑගි වලට අමතරව. එයාල ඒවා කියවනවා.

ජර්මනියේ ක්‍රිස්මස් දවසේ දවල්  කෑමට එංගලන්තේ  වගේ කළුකුම් මස්ම  ගන්නේ නැහැ. ඒ කාලෙට ජර්මනියේ කැලෑ සතුන් මරන්න අවසර දෙනවා. ඉතින් ගෝන  මස්, මුව මස්, වල ඌරු මස් සහ වල් පාත්ත   මස් සුලභයි. මාමණ්ඩිය මුළු පවුලම අවන්හලකට නත්තල් දවසේ දවල්ට කෑමට එක්කන් යනව . නැත්නම් නෑදෑ ගෙදරක ගියාමත් අර මස් ජාතිම තමා   තමා කන්න දෙන්නේ. එළවලු විතරක් කන කෙනකුට ටිකක් අපහසු කාලයක් මේක.



අපේ නිවසේ අද ඒ වගේම පාත්ත මසක් හැදුව. ඒකට අලවලින් හදන ඩම්ප්ලින් (dumplin) සහ රතු ගෝව අනිවාර්යයි. සෝස් එක හදන්නේ හතු දාල. ඊට නත්තල් කාලෙට අනිවාර්යයෙන්ම කන බ්‍රසල්ස් ස්ප්‍රවුට් කියන බෝල වගේ පොඩි ගෝව ගෙඩි වගේ ජාතියකුත් තියනවා. ඊට පස්සේ නැවතත් කේක් කාල කොපි බොනවා. දැන් කට්ටියම චිත්‍රපටයක් බලනවා. හැබැයි පවුලම එකතු වීම සහ කාලය හොඳින් සතුටින්  ගත කිරීම වැදගත්. මගේ බිරිඳ සාමාන්‍යයෙන් පල්ලියට යනවා එදාට.ජර්මනියේ දී  නම් අනිවාර්යයෙන්ම මාමයි නැන්දයි එක්කන් යනවා. මෙහෙ නම් අපිට කියල ඒ වගේ පල්ලියක් නැහැ . මුලදී ගියත් දැන් ළමයි දෙන්න වැඩිය යන්න කැමති නැති නිසා ඉනෙස් යන්නෙත් නැහැ. ඒ වෙනුවට නත්තල් ගීත ගෙදර ඉඳන් අහනව. 

මේ කාලෙට බැදපු  චෙස්ට්නට් ගෙඩි වල මදේ  කන එකත් සිරිතක්. ටිකක් බැදපු කොස්  ඇට වගේ කියල යාළුවෙක් කීව.

 
ඕක  තමා අපේ නත්තල.  අවුරුද්ද වගේම  මේකත් මට ආදරණිය දෙයක්.ඒ නිසා  මම කොහොමත් නත්තල සමරනව පවුලේ අය එක්ක. ආගමික උත්සවයකට වඩා අපේ පවුලට සම්බන්ධ සංස්කෘතික අංගයක් කියලයි මට හිතෙන්නේ.යහළුවෝ,  ක්‍රිස්තියානි නොවන වගේම නත්තල සමරන්නේ නැති බව මට හිතුනොත් මම කියනවා සතුටු නිවාඩුවක් ලැබේවා කියල. අනිත් අයට සුභ නත්තලක් කියල.   

මේ කාලය හැමෝටම ඉතා අමාරු කාලයක්. හැම රටක්ම ප්‍රශ්න. අපට නත්තලින් ගන්න පුළුවන් හොඳම  පණිවිඩය කියල මට හිතෙන්නේ  ඔබේ අසල්වැසියා, සහෝදර සහෝදරියන්, යහළු යෙහෙලියන් සහ අමාරුවෙන් ජිවත්වන හැමෝම ගැන හිතන්න කියල. අපට ඒ අය වෙනුවෙන් යමක් කරන්න පුලුවන්නම් කරන්න කියල. 
ඔබ සියල්ලට සුභ නත්තලක් සමග සතුටු හා ප්‍රීතිමත් නිවාඩු සමයක් සමග දුක් කරදර, ලෙඩ රෝග  අඩු සතුටුදායක  නව වසරක් වේවා. 

  
  


32 comments:

  1. අප්පේ කෑම...
    අජිත්තුමාටත් සෞබ නත්තලක් ඇතුළු හැපි නව වසරක් වේවා පවුලටද සමසේ!

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න , කතාවට අදාල වෙයි කියල හිතල දැම්මේ. ඔබතුමාටත් සිය පවුලටත් එසේම වේවා.

      Delete
  2. අජිත් හරිම කාලෝචිත සටහනක්. මමත් ඔබේ මතයේම ඉන්නා කෙනෙක්. ඒත් සමහරු ඕක පටලවා ගන්නා හින්ද මම සුබ පතනකොට හරි පරිස්සම් වෙනවා. අපි බෞද්ධ වුණත් දරුවන් එක්ක එකතු වෙලා නත්තල් ගහ එළියට අරගෙන කාලෙන් කාලෙට විසිතුරු දෑ එකතුකරමින් ඒක හැඩ කරනවා. නත්තලට පවුලේ හැමෝටම මොනවා හරි පුංචි තෑග්ගක් ගන්නවා.පවුලම එකට එකතුවෙලා ගෙදර චිත්‍රපටි බලනවා.වසංගත පුද්ගල සංචරණ සීමා එන්න කලින් යාළුවො එක්ක එකතුවෙලා මාරුවෙන් මාරුවට ගෙදරක හැමෝම එකතුවෙනවා. සමහරු වෙළද උත්සවයක් විදිහට දැක්කත් මට හිතෙන්නෙ රාජකාරි කටයුතු වලින් නිදහසක් ලැබුණු ඒ කාලය අපට එකතුවෙන්න ලැබුණු හොද අවස්ථාවක් කියලයි.

    ReplyDelete
    Replies
    1. හරියටම හරි අනුරුද්ධ. මම බෞද්ධ පවුලක ඉපදිලා බෞද්ධ චාරිත්‍ර වාරිත්‍ර වලට හැඩ ගැහිලා ඉන්න කෙනෙක්. නමුත් දැඩි ලෙස ආගමික මතයක හෝ නිර්ගමික මතයක එල්බගෙන නැහැ. එනිසා නත්තල, අවුරුදු උත්සව, වෙසක් හෙම සමරන්න හිතේ බාධාවක් ඇති කරගෙන නැහැ.

      Delete
  3. සුභ නත්තලක්!

    මේ වසරේ නත්තලත් බොහොම චාම් විදියට ගෙවුනා. නැවතත් කොවිඩ් ප්‍රශ්නය හිස ඔසවන බව පෙනෙන නිසා ගෙදරින් පිටතට ගියේත් නැහැ.

    සමර් එකේ ගිණි අව්වේ නත්තල සමරන අපිට, හිම වැටෙන සීතල තැනක නත්තල සමරන්න ලොකු ආසාවක් තියනවා. කොවිඩ් ඉවර උන කාලෙකවත් ඒ ආසාව ඉටු කර ගන්න උත්සාහ කරන්න ඕනෑ.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ අපි නත්තල චාම් විධිහට ගෙවනවා කියල. මම ලීව ටික මෙහෙ හුඟක් අය කරන දෙයක්. අපේ අසල්වැසිය එයාගේ ළමයි එක්ක අද ලන්ඩන් සිටි එකට ගියා ක්‍රිස්මස් ලයිට් පෙන්වල එන්න. ඔබේ ආසාව ඉෂ්ට් කරගන්න පුළුවන් වෙයි කියා හිතනව් අලබන අවුරුද්දේ. ජර්මනිය වගේ රටවල හුඟක් වෙලාවට වයිට් ක්‍රිස්මස් එකක් තමා එන්නේ. (හිම වැටෙන) ස්තූතියි සුභ පැතුමට. සුභ නත්තලක් වේවා.

      Delete
  4. නෙක විසිතුරින් හැඩ වෙද්දී ජීවිතය
    රසවත් වෙවී ඉදිරියටම යත හැකිය
    හැම දේකම අරුත් සෙවුමත් නිෂ්ඵලය
    විඳිමින් ජීවිතේ ගෙවීම හොඳ වගෙය

    ReplyDelete
    Replies
    1. අරුත මම කාලයක් හෙව්වා නිදී.
      පස්සේ තේරුණා අරුත් හොයන්න කියල අපට කියන අයම වැඩේ අතරමග දාල ගිහින් කියල.

      Delete
  5. ගොවියා, ධීවරයා, කම්කරුවා මෙවර නත්තල ඉතාම දුෂ්කරතා මැද ගෙවා දමද්දී අජිත් කීර්ති මහතා ලන්ඩනයට වී සංගීත නාටක බලමින්, කේක් කමින්, මාළු සැමන් කමින්, නොයෙකුත් රහ තියෙන මත්පැන් ලිකුඅර් liquor වර්ග හා කෝපි බොමින්, වයන් බොමින් සිටි.

    ඒ අතරතුරේ ඒවායේ පින්තුරද දමමින් අන් යට කොචොක් කරයි. මෙවැනි ආත්මාර්ථකාමී, නින්දිත, අශික්කිත ආකාරයට හැසිරිය හැකි වෙනක් අයෙක් වේ නම් ඒ අජිත් කීර්ති මහතාම විය යුතුය.

    මෙවැනි දෑ වලින් ඔහු බලාපොරොත්තු වන්නේ කුමක්ද? අනෙකාගේ වේදනාව නොතේරීම නොව, නොදන්නවා වගේ සිටීමය.

    මේවා දමා අජිත් මහතා සිතනවා ඇත්තේ ගොවියා, ධීවරයා, කම්කරුවා පව් කියා විය යුතුය. ඒත් අපට කීමට ඇත්තේ අජිත් පව් කියාය.

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරයට බොහොම ස්තූතියි . //අජිත් කීර්ති මහතා ලන්ඩනයට වී සංගීත නාටක බලමින්, කේක් කමින්, මාළු සැමන් කමින්, නොයෙකුත් රහ තියෙන මත්පැන් ලිකුඅර් liquor වර්ග හා කෝපි බොමින්, වයන් බොමින් සිටි.// මේක ලන්ඩන් වගේ ධනවාදී රටක ජිවත් වන ඕනේ කෙනෙකු කරන දෙයකි. කුමාර් ගුණරත්නම් ගේ පෙරටුගාමී සමාජවාදීන් ද අනුර කුමාරගේ ජවිපෙ සහෝදරයන්ද ත්‍රිමාණ කියවන පාඨකයන් ද ඒ අතර සිටිති. මා කර ඇත්තේ ඇත්ත ඇති සතියේ කියා පෑම මිස ගොවියා, ධීවරයා, කම්කරුවා ට කොලේ හංගා ගැසීම නොවේ.
      ගොවියා, ධීවරයා, කම්කරුවා කළ යුත්තේ මෙවැනි ජිවිතයක් ලබා ගැනීම සඳහා කල යුත්තේ හොරුන්ට දුෂිතයන්ට චන්දය දීම නොව තමන්ගේ ජිවත් වීමේ , රැකියාවක් කිරීමේ, ජීවිතය විඳීමේ අයිතිය ලබා ගැනීමට සටන් කිරීමය. චන්දය දෙන්නේ නම් ඒ දේවල් ලබා ගැනීම සඳහා කේවල් කිරීමය. මට පව් කියා සිතුවාට කමක් නැත. අප පෙන්වන්නේ අද කඩා වැටෙනවා හෙට කඩා වැටෙනවා කියන ධනවාදය තුල මිනිසුන් ජිවත් වන හැටිය. එහි ඇත්තේ අවංක කමකි. ගොවියා, ධීවරයා, කම්කරුවාට බොරු කියන සමාජවාදීන් ගෙවන්නේද එවැනිම ජීවිතය. ගොවියා, ධීවරයා, කම්කරුවා කල යුත්තේ ඔවුන්ට මෙන්ම හොරුන්ටද නොරැවටී තමන්ගේ අයිතීන් සඳහා සටන් කිරීමය. අනිත්වුන් කරන්නේ ආගමික මතවාදයන් සහ වැරදි සමාජවාදී මතවාදයන් ගෙන් ඔවුන් (ගොවියා, ධීවරයා, කම්කරුවා) දෙකට තුනට හතරට බෙදා වෙන් කර තමන්ගේ ගෙඩිය රැක ගැනීමය.

      Delete
    2. ඔබ හරියට හරි ගමයෝ ,

      Delete
    3. @Unknown ස්තූතියි ඔබට, @ano තව දෙයක් මට මතක් වුනා. ගොවියා, ධීවරයා, කම්කරුවා ගේ වේදනාව නොතේරීම නොව, නොදන්නවා වගේ සිටීමය ගැන කිව යුත්තේ ඔවුන් වෙනුවෙන් කතා කරන ඔබතුමන් ලා පට්ට ෆේල් බවය. මොකද රැකියාවක් කර ජීවත්වෙන මට වඩා හොඳට ලංකාව පාලනය කළ /කරන දේශපාලකයන් රොත්ත රටේ ධන අවභාවිතයේ යෙදෙන බැවිනි. ගොවියා, ධීවරයා, කම්කරුවා තමන් පත් කල එවුන් ජිවත් වෙන විධිහ ගැන අවුලක් නැත්නම් අප ගැනත් අවුලක් තිබිය නොහැකිය.

      Delete
  6. කන්නංගර සමුහ ව්‍යාපාරය වෙතින් එළඹෙන්නාවූ නව වසරට උණුසුම් සුභ පැතුම්...

    කන්නංගර ආතා, කන්නංගර මුදලාලි.

    කන්නංගර සමුහ ව්‍යාපාරය

    කන්නංගර හාඩ්වෙයාර් (ඔබට අවශ්‍ය සියළුම ගොඩනැගිලි ද්‍රව්‍යය පහසු මිලට)
    කන්නංගර ස්ටෝර්ස්
    කන්නංගර තොග වෙළදසැල
    කන්නංගර හෝටලය
    කන්නංගර ඉන්ධන පිරවුම්හල
    කන්නංගර ට්‍රාන්ස්පෝර්ට් සර්විස්
    කන්නංගර උත්සව ශාලාව
    කන්නංගර එළවලු පලතුරු කොමිස් පිට මිලට ගන්නෝ සහ විකුණන්නෝ
    කන්නංගර බේකරිය
    කන්නංගර වයින් ස්ටෝර්ස් (සියළුම වර්ගයේ ඉස්තරම්ම දේශීය සහ රට බීම)
    කන්නංගර රෙස්ටුරන්ට් ඇන්ඩ් බාර්
    කන්නංගර උකස්‌ බඩු ගන්නා ස්ථානය
    කන්නංගර ලී මෝල ( දැව කදන් මිලට ගන්නෝ සහ ලී වෙලෙන්දෝ )
    කන්නංගර ස්ටූඩියෝ
    කන්නංගර සැලෝන්
    කන්නංගර අයන් වර්ක්ස්
    කන්නංගර පොත්හල

    කන්නංගර මුදලාලි ලොව පිළිගත් නාවුක ඉංජිනේරුවරයා.

    ReplyDelete
    Replies
    1. කන්නංගර සමුහ ව්‍යාපාරයට මගේ සුභ පැතුම්

      Delete
  7. සුභ නත්තලක්. සුභ නිවාඩුවක්. සුභ අලුත් අවුරුද්දක් !

    ReplyDelete
  8. ෂෝක් කෑම වේල. සුභ නත්තලක් සහ සුභ අලුත් අවුරුද්දක් !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි . වෙලාවක කමු , ආතල් නිවාඩුවක් , සුභ හා සෞභාග්‍යමත් නව වසරක් මූකලන් බස්සා ට.

      Delete
  9. Yummy !

    A Merry X'mas and a happy New Year, Ajith


    ReplyDelete
    Replies
    1. Happy, healthy, wealthy new year to you and family Pradeep.

      Delete
  10. අපූරුයි!
    මම උපතින් කතෝලිකයෙක්, අපේ තාත්තා බෞද්ධ. අම්මලාගේ පැත්තේ ඔක්කොම කතෝලික නිසා අපිත් කතෝලෝක උනා..
    ඒත් මට මතකයි අපේ අම්මා කියනවා, අපේ ආච්චිලු ඉස්සර ගමේ පන්සලේ ඕනෑම වැඩකට මුලිකත්වය ගන්නේ...
    ඒ අභාෂය අපිටත් ආවා ...
    අපේ ගමේ පල්ලියේ මංගල්ලේ තියෙන්නේ ජුනි පළවෙනි සතියේ. කලින් ඉඳන් ගීතිකා පුහුණුවීම් තියනවා...ඒ අතරේ පන්සලේ පොසොන් භක්තිගීත පුහුණුවත් පටන් ගන්නවා... ඒ දවස්වලට මං දවල් ඉඳන් පන්සලේ භක්තිගීත පුහුණු වෙලා ..පන්සලෙන්ම කාලා ...හවසට පල්ලියට එනවා ඔර්ගන් එකත් උස්සන් ගීතිකා පුහුණු වෙන්න...
    සුන්දර මතකයක් අවදි වුණා මේ ලිපිය කියවලා...
    එත් අද කාලේ ලංකාවේ සිදුවෙන දේවල් දැක්කම ගොඩක් දුකයි.
    අලුත් පරම්පරාවටත් ආදර්ශයක් ගන්න තැනක්, කෙනෙක් නැතිතරම්.
    එහෙම කාලෙක මේ ලිපියෙන් ගොඩක් දෙනෙක්ගේ මනස විවරවේවි..යමක් හිතන්න.

    සුබ නත්තලක් සහ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. අමරින් ඔබටත් සුභ නත්තලක් සහ සාමය සතුට පිරි නව වසරක්. ආගමික භේදය සහ ආගමික කොන් කිරීම සම්පුර්ණයෙන්ම අයින් කරන්න ඕනේ දෙයක්. රටේ ජනතාව එහෙම බෙදෙන තරමට දූෂිත දේශපාලනඥයාට තමයි වාසිය. එක නිසා තමා මම හිතෙන්න හැමෝවම හැමෝගෙම ආගමික දර්ශනයනුත් එහෙම නැති අය ඉන්නවනම් ඒ අයත් එකම විධිහට ඉවසන්න පුරුදු වෙන්න ඕනේ. බෙදීම අවසන් කරන්න ඕනේ. බෙදෙන තරමට මිනිස්සු ගන්නේ වැරදි තීරණ මොකද වලාකුලකින් වැහිලා වගේ නිසා මනස. ඔබලාගේ ආච්චි සහ ඔබත් ඒ අතින් විශිෂ්ඨයි.

      Delete
    2. මට මතක්වුනේ මර්සලීනු ජයකොඩි පියතුමා. ආගම් අතර, එහෙම සහජීවනයක් තියනවා නං කොච්චර හොඳද?

      https://www.youtube.com/watch?v=qz1xFcF3m6k

      Delete
    3. මේ හාමුදුරුවෝ මරු

      Delete
  11. සුභ නිවාඩුවක් වේවා! මට තේරෙන විදිහට ඒක තමයි නත්තල් කාලෙට ඇමරිකාවෙ කියන විදිහ.

    අර තියෙන්නෙ බ්‍රට්වර්ස්ට් සොසෙජ් දෙකක් ද? අප්පේ ඒකෙ දිග...

    ReplyDelete
    Replies
    1. ඔව්. සෑහෙන්න දිගයි. ඒ එකක් කෑවම ඇති දවල්ට වුනත්. මම සාමාන්‍යයෙන් දෙකක්ම කනවා පෙරේත කමට.

      Delete
  12. ජර්මනියෙ සත්තු මරන්න අවසර දීම සමහරවිට ගොතික් සම්ප්‍රදායානුකූල දෙයක් වෙන්ඩැති?

    (මං මේ කමෙන්ට් කරන්නෙ කියවන ගමං. එවෙලෙ හිතට ආව දේ ලියනව. නැත්තං අමතක වෙයි කියල.)

    ReplyDelete
    Replies
    1. ශීත කාලයේ සත්තු වැඩියෙන් ඉන්න එක කරදරයක් නිසා මරන්න දෙනව නිත්‍යානුකුලව. සතුන්ට කෑම අඩු කාලයක් නිසා වෙන්න ඇති. විද්‍යාත්මක තීරණ

      Delete
  13. අර වීඩියෝ එක මරු. අළු කෙල්ලගෙ කතාව. අපි පොඩිකාලෙ බලපු ටීවී මූවීස් මතක් වුණා.

    ReplyDelete
    Replies
    1. ඒක සින්ඩරෙල්ලා වගේ කතාවක් පාටයි.

      Delete
    2. ඒ වගේ කතාවක්. ජර්මනියේ හුඟක් ජනප්‍රියයි.

      Delete
  14. මට අමුතු කෑම වර්ග කන්න ලැබුනාම, එයින් මස් මාළු තියෙන කෑම ගොඩක් වෙලාවට මග හරිනවා.
    වෙජිටේරියන් හින්දා නෙමෙයි.
    බෙදාගත්ට පස්සේ පිලී රස නිසා කන්න බැරිවෙයි කියලා බයයි.
    එම්බාම් කරලා වගේ තිබුනොත් විතරයි කන්නෙ.

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .