Thursday 29 December 2022

නිරාගමික - ආගමික අරගල ඇති - නැති සුභ 2023 නව වසරක් වේවා


මම බ්ලොග් යහළුවන් සහ පාඨකයන් සඳහා සුභ පතන්න 2021 ලීව ලිපියක කරුණු නැවත ලියන්න වෙලා තියෙනවා. ඒ ලියමනේ යොමුව අග ඇති. කතාව අදේවවාදීන් හා නිරාගමිකයන් නත්තල සැමරීම ගැන. අනිත් අය ගැන මම දන්නේ නැහැ, මම නම් සමරනවා මගේ බිරිඳ නිසා. එයාල පල්ලියටත් යනවා නත්තලට කලින්දා හැන්දෑවේ. එක වරක් ඇර (ඒ වර නම් නොගියේ කම්මැලිකම නිසා, හැබැයි බිරින්දෑට ඇඬුන  මම ගියේ නැතත් දුවල ගියේ නැති නිසා. ඉතින් අපි තුන් දෙනාම හිතා ගත්ත ඊට පස්සේ යනව කියල). ඒ නිසා අනිත් හැම  සැරේම පල්ලියට ගියා/යනවා. 

මම අදේවවාදියෙක් වෙන්නේ  මම මැවුම්කාර දෙවියෙක් විශ්වය මැව්වා කියල පිලි ගන්නේ නැති නිසා. වෙන අය ඒක විශ්වාස  කරන එක මට ප්‍රශ්නයක් නෙමෙයි. නිරාගමිකයි කියන්නේ මට කිසිම ආගමක් ගැන ඇලීමක් ගැලීමක් නැති නිසා. ඇල්ම අයින් කරලා තියෙන්නේ.

දැන් තමයි හැබැයි කෑල්ල එන්නේ.

මම ශීල ව්‍යාපාර  කරලා තියනවා. දහම් පාසැල් ගිහින් තියෙනවා. ඒ විභාග කරලා තියෙනව, ඒ මදිවට බුද්ධ ධර්මය ගැන කියවලත් තියෙනව ස්ව කැමැත්තෙන්. නමුත් පහු කාලෙක ආව මහමෙව්නා වගේ නිකායන් හරියට තලිබාන් වගේ ගැහැණු අත් අල්ලන්න බැහැ පිරිත් නූල් දමන්න කියල කියන්න ගත්ත . ගැහැණු විරෝධී බණ කතා, දේශනා කරන්න ගත්ත. මම ඒකට විරුද්ධ වුනා. ඒකෙන් මොකක් වත් සිද්ධ වෙන්නේ නැහැ තමයි. අපි පුංචි හාල් මැස්සොනේ. ඊට පස්සේ සෝම හාමුදුරුවන්ගේ  ජාතිවාදී සැලැස්ම වගේම ඥානසාර වගේ   තවත් හාමුදුරුවරුන්ගේ දේශපාලන  මැදිහත්වීම් වලට විරුද්ධ වුනා. නාථ දේව වාදයට එරෙහිව ලිව්වා, මෙන්න යොමුව.  කැළණි පන්සලේ  නයා පෙන්වීම, පන්සල් වලත් කරන සුවපත් කිරීම්,  නැකත් වැඩ බැලීම , විභාග සමත් කිරීම ආදියට විරුද්ධ වුනා. 

සද්ධාසීල වගේ උන්නාන්සේ ලගේ අසිල්වත් බණ වලටත්  විරුද්ධයි. මේ රුවන් ජයතුංග ගේ  ලිපියක්.

උදේට ශබ්ද විකාශන වලින් කෑ  ගහගෙන පිරිත් දාන එකට විරුද්ධ වුනා. මිනිසුන්ට නිදා ගන්න ඕනේ,ළමයින්ට පාඩම්  කරන්න ඕනේ. පල්ලියේ සද්දෙත් අදාලයි ඒකටම.

හැබැයි අර දායකයෝ  ට්‍රක් රථයක බුද්ධ රූප තියල  පාරේ යන එකට විරුද්ද නැහැ. රදම් යනවනම් , වේල් කරත්ත  යනවනම්, කුරුසිය  උස්සගෙන යනවනම්, දේව මාතාව වැඩම්මවනවා නම් ඒක වැරදි වෙන්නේ කොහොමද? 

දේවල වලට යන්න කැමතියි. ඒත් මෝඩි ගේ "හින්දුත්වා" එකට විරුද්ධයි. 

 ඒ කාලේ අපි අඳුරන මුස්ලිම් යුවතියන් අපි එක්ක හිනා වෙලා කතා කළා. මූණු වහන්, කටවල් වහන්  ලෝගු ඇඳන් හිටියේ නැහැ. මුස්ලිම් පිරිමි ළමයි එක්ක එකට සෙල්ලම් කළා. බෙග් ගේ සින්දු ඒ වගේම කියන  මුස්ලිම් යාළුවෙක් හිටිය. පස්සේ ආරංචි වුනා වහබි වාදය සෞදියෙන් ආව  කියල. මුදල් නැති මිනිසුන්ට ඒක උපකාරයක් තමයි. නමුත් ඒ එක්කම මුස්ලිම් යාළුවන්ට අනිත් අය එක සබඳකම් තහනම් වුනා. කාන්තාවෝ මූන වහන්න ගත්ත.  සහජීවනය නැතිවෙන්න  ගත්ත. මම ඒකට විරුද්ධ වුනා. සහරාන් ල පල්ලිවල ට ගහල ජන ඝාතන කරා. ඒවාට අනිවාර්යයෙන්ම විරුද්ධ වුනා.

මම කොච්චි කඩේ කතෝලික පල්ලියට ගිහින් තියනව බාලදක්ෂ වැඩ වලදී. මම හිටියෙත් ඇන්ග්ලිකන් පල්ලියෙන් කරපු බාලදක්ෂ කණ්ඩායමක.  ජේසු කියන්නේ මට, ස්පාටකස්, ගාන්ධි, මැක්ස්මිලියන් රොබර්ට්ස්පියරේ , චේ ගුවේරා, සිමොන් බොලිවාර් වගේ චරිතයක්. දුප්පතුන් වෙනුවෙන් සටන් කරපු.  අර්නස්ට් පෝරුතොට, මර්සලිනු ජයකොඩි වගේ පියතුමන් ලා අපට හිටිය. කතෝලිකයෝ සහ බෞද්ධයෝ අතර ලොකු වෙනසක් නැති වෙන තරමට දෙගොල්ලගෙම චාරිත්‍ර එක වගේ කියල මට හිතුනේ.

හැබැයි ඊට පස්සේ ආව යෙහෝවගේ කට්ටිය. ඔවුන් එංගලන්තෙට වඩා වෙනස් විධිහට ලංකාවේ වැඩ කලේ. තමන් විසින්ම පල්ලි ගිනි තියල ඇමෙරිකාවේ අහිංසක ආගමිකයන්ගේ මුදල් එකතු කරන වැඩ, මුදල් දීල බැතිමතුන් නම්ම ගැනීම වගේ දේවල් වුනා . මම ඒකට විරුද්ධ වුනා. ඊට පසේ බෝන් අගෙන් කට්ටිය දේශපාලනයට යටින් මැදිහත් වෙන්න ගත්ත කියල කියවුනා. යෙහාලිගේ ප්‍රසිද්ධ ක්‍රිකට් කතාවට මම විරුද්ධ වුනා. මට හිතා  ගන්න බැරි වුනා   සමහර ලිබරල්  සළු පිලි  පොරවගත්ත යාලුවෝ හැසිරුණ විධිහ. කැළණියේ නයාට විරුද්ධ වෙනවනම් (ඒගොල්ල එහෙම වුන නිසා) යෙහාලිගේ නයා ටත් විරුද්ධ වෙන්න ඕනේ, එයා අරගලයට සහය දුන්න කියල ඒ විවේචනයන් මග හරින්න බැහැ . තමන්ගේ අත්දැකීම යෙහාලි ගෙදර හෝ යහළුවන් අතර කියන එක එකක්. ඒක ජාතික තලයට ගෙන යන එක තව එකක්. 

අරගලයේ කළු බුදු පිළිමයක් හදල කළු වෙසක් එකක් සැමරුවා. ඒකට හේතුවක් තිබුන. ජනතාවට  හුඟක් අමාරු කාලයක් ඒක. වෙසක් එකට දන්සැල් පුළු-පුළුවන් අයුරින් දුන්නත් ලංකාව කියන රට අන්තිම අමාරු අඩියක හිටියේ. ඒ කලාත්මක නිර්මාණයේ දේශපාලනික අදාලත්වයක් තිබුන. හැබැයි කාටහරි කළු නත්තලක් සමරන්න ඕනේ නම් කරන්න පුළුවන්. අරකට විරුද්ධව නෙමේ. දැන් ජනතාවගේ තියෙන ප්‍රශ්න ගැන අහල, දිළින්දෝ නත්තල් කන්නේ කොහොමද කියල අහල එවැනිම දේශපාලනික විරෝධයක්  කළු නත්තලක් ලෙස සමරන්න පුළුවන්. ඒකෙ වැරැද්දක් මට පේන්නේ නැහැ.  භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතියක් ඒක.

පහුගිය කාලේ මට පෙනුන දෙයක් තමයි තමන්ගේ ආගමේ, තමන අදහන  දෙවියන් හෝ වෙනත් ශාස්තෘ වරයෙක්  කිසියම් ලෙසකින් සම්බන්ධ නම් ඒ ගැන කට පියාගෙන සිටීමත් වෙනත් ආගමක දෙයක් නම් විවේචනය කිරීමත් සුලභ වෙලා කියල.  ඒක ඉතා  පාර්ශ්වීය භාවයක් හැටියටයි  පෙනෙන්නේ. ඉතින් මේ ලබන අලුත් අවුරුද්දේ මම හිතා ගත්ත  කිසිම ආගමික වාදයකට පැටලෙන්නේ නැහැ. අදහසක් පල කරන්නේ වත් ලයික් එකක් දාන්නේ වත් නැහැ කියල. 

ලංකාවට ගිය වෙලේ රටේ දෙතැනක මිනිසුන් දෙවිධිහකට ජිවත් වෙන බවයි පෙනුනේ. හොරණ පැත්තේ පිට්සා හලේ සෙනග පිරිලා. එන්න ලංවෙලා දැන ගත්ත තවත් පිට්සා හලක් ඇරලා කියල . ඒකෙත් සෙනග. හේතුව ආයෝජන කලාපය. විශේෂයෙන් බ්‍රිතාන්‍ය සමාගමක් වන බොඩි ලයින් එකේ වැඩ කරන අය මෙන්ම ඒ පැත්තේ  ඒ වගේ සමාගම් වල  අයටත්  රටේ බලපාන උද්ධමනය වගේ  ප්‍රශ්න තිබුනත් ඒවා මැනවින්ළ කමණා කර ගන්නා ආකාරයක් තමයි පෙනෙන්න  තිබුනේ.  ආදායම වැඩි අයට බදු ගහන එක ප්‍රශ්නයක් වෙලා තිබුන. ඔවුන්ගේ සාධාරණ අදහස දේශපාලකයන්ගේ වරප්‍රසාද කපල බදු ගහන්න කියල. ඒකත් හරි.  නමුත් බදු නොගහ රටක් කරන්නත්  අමාරුයි. හොරණ  ආයෝජන කලාපයේ ශ්‍රම දායකයෝ බඩුත් ගෙවල පළාතේ සශ්‍රිකත්වයටත් දායක වෙනවා. අනිත් අය හවසට ගෙදර ගිහින් ඊළඟ සෝප් එපිසෝඩ් එක බලනවා රූපවාහිනියේ.

ටිකක් ඈත කුරුණෑගල පුත්තලම වගේ  පැති  වල ගම්වල වල කඩ වල තිබෙන  පාන් විකිණෙන්නේ නැහැ. එක කඩයක කිව්වා, "මහත්තයා පාන් 20ක් විකිණෙන කඩේ දැන් පාන් 9ක් දාලත් විකුණගන්න බැහැ"  කියල. ගණන් කරලා බැලුව උදේ දාපු පාන් 9ම තියෙනව.  ගෙඩි දෙකක් අරන් එකක් බල්ලන්ට කන්න දුන්න. උනුත් හාමතේ ද කොහෙද? පිටි නැහැ මිනිසුන්ට රොටියක් හදාගන්න. 

මිනිසු වෙන දේවල් කනවා ඒ පැතිවල . කොස්, වට්ටක්ක, බතල, මුං , මයියොක්ක, කව්පි, ඉරිඟු වගේ දේ. . මට තේරෙන්නේ  නැහැ  ඉතින්. අවුරුදු විස්සක් තිස්සේ එංගලන්ත උදේ ආහාරය වන බේකන් දෙකක්, සොසේජ් එකක්, බැදපු බිත්තරයක් සහ  ටෝස්ට් එකක් හැම සෙනසුරාදාම කාපු මම, බිරිඳ හදන පෑන් කේක් ඉරිදට ජෑම් හෝ මි පැණි එක්ක කාපු මම, අනිත් දවසට (ඔෆිස් යන කොට) සීරියල් කාල මදි වුනහම මගදී  මැක් ඩොනල්ඩ් එකේ ඩ්‍රයිව් තෘ එකට අල්ලලා  සොසේජ් මැක් මෆින් කාපු මම,  දැන් හොඳටම කෙළ වෙලා - උදේට කන්නේ වට්ටක්ක, මුං, බතල, එඩ්මන්ටන් වල ලංකාවේ දෙමළ කඩෙන් ගත්ත හාල් පියලි සීරියල් එක හරි කැඳ පැකට් එක හරි. මේක ලියල අරගලකාරයෝ බනියි ද දන්නේ නැහැ, ආ! මමත් අරගලයේ හිටියනේ. බනින  එකක් නැහැ.     


ඉතින් අර ගම්වල මිනිස්සු කොස් කෑවට දෙල් ගණන් කියනවා. ඉරිඟු කෑවට මාළු ගණන් කියනව.  දවල් බතට අහල පහල තියෙන පලා ජාති හෙම අරන් හදනව. කරෝලත් ගණන් කියනවා. වැව් වල මාළු අල්ලනව. හවසට ගෙදර ගිහින් ටීවී එකේ අහවල්  සොප් එකේ ඊළඟ  එපිසෝඩ් එක බලනවා.

මම ඒ කාලේ හැමෝටම කිව්වා ගෝඨාභයට දෙන්න එපා චන්දෙ. එයාට කරන්න  බැහැ කියල. මගෙන්කා ඇහුව, ටද දෙන්නේ සජිත් ට  දෙන්න පුලුවන්ද කියල, වෙන ඡන්දේ දෙන්න කෙනෙක් නැහැලු.. මම කීව ඒත් එපා, ජවිපෙටත් දෙන්න බැරිනම් කාටත් නොදී ඉන්න  කියල. මේ කාලේ සජිත් චෛත්‍ය  දාහක්  හදන්න පොරොන්දු වෙලා. එයාගේ බාප්පිගේ සල්ලි වලින්ද දන්නේ නැහැ, නමුත් එයාට චන්දෙ හම්බ වෙයි වගේ. ටීවී එපිසෝඩ් බලල එන සොම්බිලා (මැරුණත් නැගිටලා ඇවිදින මිනිස්සු) වගේ නේ චන්දෙ දෙන්නේ. මම නම් කියන්නේ සජිත් කියන්නේ මිනි(පොඩි) ගෝඨාභය කෙනෙක් කියල. හොඳ  ආර්ථික දැක්මක් ඉදිරිපත් කලේ නැත්නම් මළාට චන්දෙ දෙන්න හොඳ කෙනෙක් නෙමෙයි.  ඒත් ඉතින් සොම්බි ලාට කියල වැඩක් නැහැ. සජබ කට්ටිය මාත් එක්ක තරහ වෙනවා නම් තරහ වෙන්න ගිය පාර  වගේම. සජිත් ගේ දැක්ම හෝ දේශනාව දෙකම තවම මට ගැලපෙන්නේ නැහැ. අවංක ඇත්ත.

එතොට ජවිපෙ, පෙරටුගාමී අරගල සෙට් එක. ගම්වල චෛත්‍ය අන්කල්ට හරි පරණ බැසිල්ට හරි නාමල්ට හරි චන්දෙ  දෙන්න බලාගෙන  ඉන්න අය  ජේවීපී යට බයයි. සාධාරණයි. බුකියේ සාමාන්‍ය ජවිපෙ සපොර්ටර්ස් ලා වගේම ගම්වල ජවිපෙ  අයත් තවම පට්ට පොල්පොට් වාදියෝ. පොඩි කඩේ ගිනි තියල ලොකු කඩේ ජනසතු කරන්න තමයි තවමත් අදහස. නිදහසේ ලියන උන්ව අප්පිරියයි.  ඒ පක්ෂ වල නායකයන්ට තවම බැරි වෙලා තියනව පහල සාමාජිකත්වය හදන්න. හැබැයි ඒ පක්ෂ වල ජනප්‍රියත්වයේ පැහැදිලි ඉහල යාමක් නම් තියනව. ඒත් චෛත්‍ය දාහ දිනන්න පුළුවන් සම්භාවිතයක් තවම තියනවා. ඒ රටේ හෙවත් ගමේ හැටි නිසා. එනිසාම රනිල් වුනත් ආපහු එයි.

මගේ මිතුරා  තේනුවර කියන්නේ නම් රනිල්ට හොඳ ජවිපෙ විපක්ෂයේ හිටියොත් කියල.  ඒකෙ අදහස ඊට පස්සේ එන ආණ්ඩුව ජවිපෙ කියන එකද? ඒක එන්නේ  රනිල් ගේ සහයෝගයත් ඇතිවද? එහෙම වෙන්න පුලුවන්ද? මම දන්නේ නැහැ. ජාජබයට සෑහෙන සහයෝගයක් තියනව. රනිල් ඕනේ නැහැ එයාලට. නමුත් දිනන්න තරම් ඡන්ද ලැබෙයි ද?   මට මේ ඔක්කොම පට්ට අවුල් වගේ. අවුල් ලිහල ලියන්න හෝ කියන්න පුළුවන්  එක්කෙනා දීප්ති ගුණරත්න කියලයි මට හිතෙන්නේ. අරගලේ ගැන නිවැරදිවම මුලින්ම ලීවෙත් දීප්ති කියල මම හිතන්නේ. (මම දීප්ති වැරදියි , අරගලේ සාමූහික  නායකත්වය හරි කියලයි එවෙලේ  හිතුවේ.  නමුත් මම වැරදි බවයි දැන් හිතන්නේ.)  ඒ වුනාට කවුරුත් දීප්තිට  කැමති නැහැ. ඒ  එයාගේ විවේචනයට හැමෝම අහු වෙන නිසා. පෞද්ගලිකත්වය බලන්නේ නැති නිසා විවේචනයේදී. එනිසා දීප්තිම කියනව  එයාගේ  සායම ගිහිල්ල කියල. එයා මේ දවස් වල ජුඩිත් බට්ලර් ගේ "The Force of Nonviolence" කියවනවා ඇති. 

මගේ බ්ලොගයට කලකට පස්සේ ප්‍රහාරයක් ආව . දන්නා දෙතුන් දෙනෙක් ගෙන්. දන්නා අයම තමයි ඔය ඇනෝ ඇවිල්ල ගහන්නේ. මම රනිල් වික්කම් සිංහට  පක්ෂයි කියල. මම කිව්ව එකම දෙය, රනිල් ගෙන් මහින්ද චන්ද වංචා කරලා උදුරා ගත්ත ජනපති කම එයාටම ආපහු දෙන්න වුනා කියල. දෛවයද කකර්මය පල දීමක් ද දන්නේ නැහැ. හැබැයි එයාල මට  බනින එක නවත්වල. පස්සේ හොයල බැලුවහම ආරංචි වුනා එයාලගේ හිතවත් පරණ ඇමතිවරයෙක් ආණ්ඩුවට යන්න කස්තිරම් අල්ලනව කියල. ඉතින් එයාලගේ අරගලෙත් එතැනින්ම අහවර වෙයි. 

ආ, නත්තල් කෑම ගැන. මගේ ජර්මන් නැන්දනිය කෑම  පිගන් හදනව බෙදන්න. ඔය උඩම  තියෙන්නේ ඒ පින්තුරයක් දෙකක්. බිස්කට් එයාම හදපුව. ඉනෙස් නුත් හදනවා. හැබැයි අල්ලපු ගෙදර බ්‍රසීල කට්ටියට විතරයි බෙදන්නේ, දැන් මතකද සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද? අපිත් කෑම බෙදනවා නේද? අපේ අම්මත් කෑම පිඟන් හදන පුරුද්දක් තිබ්බ අහල පහල ගෙවල් වලට යවන්න. දැන් ඕව කරනවද  දන්නේ නැහැ.   ඒක ආගමික උත්සයක් නෙමේ. වර්තමාන ආගම් එන්න කලින්  තිබ්බ  ඇදහිලි මත ආව චාරිත්‍ර. ඊජිප්තුවේ තිබ්බ. පේරු වලත් තියනවා. යුරෝපයේ පගන් (පුරාණ ඇදහිලි)  උත්සවයක් නත්තල කරලා ගත්තට කමක් නැහැ. අපට සමරන්න පුලුවන්  නේද?

ලබන අවුරුද්දේ ග්‍රීසියේ කළ සංචාරයේ  වැදගත්ම ටික ලියන්න හිතන් ඉන්නව. කාම්බෝජයේ කල සංචාරයේ ඉතිරි ටිකකුත් ලියන්න තියනව.  අයිස්ලන්තයේ සංචාරයකට පිඹුරුපත් සකසමින් ඉන්නවා. 

ඉතින් ආදරනීය බ්ලොග් මිතුරනි, පාඨක සහෘදයනි , ඔබ සැමට උද්ධමනය අඩුවෙන , බඩු මිල එනිසාම අඩුවෙන, පඩි වැඩිවෙන , නැතිනම් පිටරටකට හොඳ රැකියාවකට යාමට හැකි වෙන, විදුලිය නොකැපෙන, සංචාර වැඩි වෙන, නැත්නම් ආතල් එකේ චිත්‍රපට බලන, පොත් වැඩිපුර කියැවෙන සුභම සුභ නව වසරක් වේවා. 

 - අජිත් ධර්මකීර්ති - එන්ෆිල්ඩ් , එංගලන්තය

සුභ නත්තලක් කියනවද සුභ නිවාඩුවක් කියනවද 

මහින්ද, සෝමවංශ , පාඨලී, විරවංශ ගේ සමූහ කරුමය පලදීම හෙවත් අටවන ජන්සන් ගේ පදවි ප්‍රාප්තිය

පුහුල්වැල්ලේ විමලවංශ හාමුදුරුවෝ සහ නාථ වාදය හෙවත් නාතිස්ම් (Nathism)

26 comments:

  1. තමන් එකඟ නොවන අන් අයගේ මත ඉවසීමට නොහැකි වීම හා ඒවා තලා පොඩිකර දැමීමට සිතන බලවේග චෛත්‍ය බලවේග වලට වැඩිය භයානක විදියටයි මට පෙනෙන්නේ. සුබ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. වෙන්න පුළුවන්. ඒත් චෛත්‍ය බලවේගෙන් කරන්න පුළුවන් දෙයක් නැහැ නේද. එයා ගාව තියෙන්නෙත් රනිල් කරන දේනම් රනිල් හිටියම ඉවරයිනේ.

      Delete
    2. එයාලගේ වැඩ පිළිවෙල ගැන මොකක් හරි ඩොකියුමන්ට් එකක් තියෙනවද? බස් හරවනවා ඇරෙන්න? චම්පික රණවක වගේ අය ඉන්න ඉසා හොඳයි, නමුත් රාජපක්ෂ ලේඅවල් එකෙන්ම තමා චන්ද ව්‍යාපාර ගෙනියන්නේ. මට පෙනුනේ එහෙමයි.

      Delete
  2. අදහස් නිදහස්ව කීමට ඉඩ තියෙන
    පොඩි මිනිහගේ දුක ලොක්කාටත් දැනෙන
    හෘදය සාක්ෂිය හැමගේ අවදි වෙන
    නව වසරක් වේවා! මේ උදා වෙන

    ReplyDelete
    Replies
    1. එකඟයි නිදි. එසේම වේවා කියලා තමා කියන්න තියෙන්නේ

      Delete
  3. ආගම කියන එක එන්නේ දෙමව්පියන්ගේ දායාද විදිහට නෙව. ඊට පස්සේ අර හන මිටි කරතියන් යන ඈයෝ වගේ අපිත් ඔහේ ඒවා කරතියන් යනව. කිසිහෙවිල්ලක් බැලිල්ලක් නැතිවම. ඒ වගේමයි මන් දැක්ක බොහෝ නිරාගමිකයෝ පිරිසත්... ඒ වගේ.

    නිරා,අදේවවාදී කෙනෙක්ට ආගම් ප්‍රශ්න කරන්න අදහස් දක්වන්න හැකියාවක් ඇත්තෙම නෑ කියල... දැන් ලංකාවේ යන කතාවටනම් මං එකඟ නෑ. එයාලටත් මධ්‍යස්තව කතා කිරීමේ නිදහස තියෙන්න ඕන.
    ටික කාලෙක ඉඳල තරුණ පරපුරෙන් ආගම කියන බැඳීම ටික ටික අඩු වෙන ගතියක් පේනවා. ඒක සුබවාදී. ඒ වගේම පොඩිවට විවිධ ආගම් අතර ඉතා හොඳ සංවාද යනවා. ඒවාත් බොහොම සුබවාදීව මන්නම් දකින්නේ.

    නත්තල අහවර හන්ද... සුබ නව වසරක් ප්‍රාර්ථනා කරනවා ඔබ ඇතුළු බ්ලොග්වාසී හැමෝටම!

    ReplyDelete
    Replies
    1. එංගලන්තයේ ක්‍රිස්තියානියේ බලපෑම ගොඩක් අඩුවෙලා ගිහින්. 405 වගේ තමා තමන් හඳුන්වන්නේ ක්‍රිස්තියානි කියල. නිරාගමික අය ලංකාවේ අනිත් ආගම් වලට පහර දෙන එකේ නම් තේරුමක් නැහැ

      Delete
  4. සුභ නත්තලක් සහ නව වසරක් වේවා!
    මට ලොතරැයියක් ඇදේවා!
    මා මෙන් ම දුක් විඳින බර ඔසවන සියල්ලන්ට ම ලොතරැයි ඇදේවා!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා. එසේම වේවා

      Delete
  5. ආගමක් අදහ්න්නෙ නැතිවුනාට මම ඒවායේ සමහර සංස්කෘතික අංග එන්ජෝයි කරනවා.
    උදා. නත්තල් ගස සහ තෑගි, වෙසක් කූඩු, මුරුතැන් බත්, මට්න්/චිකන් කංජි

    ලමයි පොඩි කාලෙ නත්තල් ගහයි තෑගියි කලා, වෙසක් කූඩු/බකට් එල්ලුවා.
    ගිය වීකෙන්ඩ් එකේ මඩකලපුවෙ ට්‍රිප් එකක් ගියා, ක්‍රිස්මස් ඊව් මිඩ්නයිට් මාස් එක බලන්න ගියා, කෝවිලක පූජාවක මුරුතැන් බත් කෑවා.
    රාමසාන් කාලෙ සමහරවිට කංජි ලැබෙනවා.

    වඳින්නෙ පුදන්නෙ වතාවත් නොකලට , ආගම් විස්වාස නොකලට ඒවයේ ෆන් කෑලිවලට කැමතියි.
    උන් පිරිත්, බණ, දන්සැල්, යාඥා, පූජා, මංගල්ලවලට ගෙදරට ඇහෙන්න ලවුඩ්ස්පීකර් දැම්මාම විතරයි මං ආගම්විරෝධී වෙන්නෙ.

    වෙරි Happy New Year 2023 !

    ReplyDelete
    Replies
    1. අපි දෙන්නම එක වගේනේ බලාගෙන ගියහම. මඩකලපු ට්‍රිප් එක මරු ඇති. ත්‍රිකුණාමලේ ගිහින් තියෙනවා,

      Delete
  6. ආගම් ගැනනම් මගේ පසුබිම සහ ස්ථාවරයත් ඔය වගේ එකක්. සුබ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. ඒකට බොහොම සතුටුයි. බ්ලොගේ පැත්තේ වැඩිය එවෙන්නේ නැහැ දැන් මොකද ෆේස්බුක් එකේ ලිපි ටික කියවෙන නිසා, ඔබටත් සුභ නව වසරක්

      Delete
  7. ආගමික අන්තවාදයකින් වන හානියට සමාන හෝ ඊටත් වැඩි හානියක් දෙමළ භාෂාවෙනුත් මේ රටට වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒ කොහොමද කියලත් ලියන්න. හතර බීරි කතා තේරෙන්නේ නැහැ

      Delete
  8. ඔබ අදේව වාදියෙක් වීම ගැන පුදුමයි. ඔයාට දුරේක්ෂයකින් අහස බලනවිටවත් මැවුම්කරුවෙක් ගැන හිතුනේ නැද්ද?

    මේ ගීතය බලන්න. දාවිත් රජතුමා වසර 3000කට පෙර සතුරන්ගෙන් පනබේරාගෙන පලා යන අතර කඳුමුදුනකදි ඔහුට ඇතිවුන හැඟිම තමයි මේ ලියලා තියෙන්නේ

    ඔබ නමදින්නට ආවෙමි සමිඳේ
    ඔබ හට ඇති ප්‍රේමේ නිසා
    පැසසුම් ගී ඔබ වෙත පුදනෙමි මා
    ඔබ මාගේ දෙවිඳු නිසා
    හද පිරි සතුටින් ඔබ පසසමි මම්
    ගැලවුම්කරු ඔබම නිසා
    මුළු ආත්මයෙන් ශක්තියෙන් බුද්ධියෙන්
    නමදිමි මා දෙව් සමිඳා

    විශ්වයේ මැවුම්කරුවානනී
    ඔබටයි මේ ස්තුති ගී
    පසසා ගයම් ඔබේ නාමය
    වඳිනෙම් ඔබ තුම බැතිනී //

    අහසේ තරු දෙස බැලුවෙමි මා
    කෙතරම් පුදුමද ඒවා
    කඳු ශිකරයන් මා නෙත ගැටුනා
    ඔබ බලමහිමය දුටුවා
    ගී දෙන කුරුලන් සුවඳැති පොඩි මල්
    මැවිල්ලේ අරුමය පෑවා
    ඒ සැමට වඩා මහ පුදුම ලෙසින්
    දෙවිඳේ ඔබ මා මැව්වා
    විශ්වයේ මැවුම්කරුවානනී //

    ReplyDelete
    Replies
    1. දුරේක්ෂයකින් අහස බලන කොට පේන්නේ මෙපමණ විශාල, මෙපණ විශ්මිත දෙයක්, මේ වගේ පිලිවේලක් නැති chaotic දෙයක් නිර්මාණය කරන්න කෙනෙකුට බැහැ කියන එකේ. හැබැයි collective conciousness කියන එක තියෙන්න පුළුවන්. හැබැයි ඒ මැවුම් වාදී දෙවියෙකු නෙමෙයි

      Delete
  9. අජිත් කලු බුදු පිළිමය ක් ගැන කියලා තිබුන නිසා මතක් වුන දෙයක්. ඇත්තටම කලු බුදු පිළිමය ක් තියෙනවා තායිලන්තයේ පන්සලක. මම ෆොටෝ එකක් ගත්තා. හොයා ගන්න බෑ කලබලේ.

    ReplyDelete
    Replies
    1. අර අරගලයේ තබුනේ. බුදු පිළිමයක් ම නෙමේ. දුෂ්කර ක්‍රියා කරන කාලේ වගේ පිළිමයක්. මේකත් කලුයි. The Sultanganj Buddha is a Gupta–Pala transitional period sculpture, the largest substantially complete copper Buddha figure known from the time. https://en.wikipedia.org/wiki/Sultanganj_Buddha

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. අප්‍රිකානු රටවල බෞද්ධයෝ කියන්නේ බුදු පිළිම වල හිසකේ කැරලි ගහල තියෙන නිසා බුදු හාමුදුරුවෝ අප්‍රිකානු කියල. මම කිව්වා ග්‍රීකයන් ගේ ප්‍රතිමා ශිල්පය නිසා එහෙම වුනේ කියල. නමුත් බුදුන් අප්‍රිකානු වෙන්නත් පුළුවන් ඉතින්.

      Delete
  10. සුභ නව වසරක් වේවා!
    හොඳ ලිපියක්.ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. එසේම වේවා, ලිපියට බස්සගෙන් විවේචනයක් එල්ලනොවිම ගැන පුදුමයි

      Delete
  11. මමත් neither ආගමික nor නිරාගමික.. ඒ මොහොතේ ජිවිතයට පුරුදු වෙනවා .. ඒ මොහොත බෞද්ධ නම් මම බෞද්ධ , මුස්ලිම් නම් මම මුස්ලිම් .. නමුත් අපිට කාවැදිච්ච බෞද්ධ ඉගැන්වීම් හැමවෙලේම මතු වෙනවා...ඒ නිසා හිත ඇතුලෙන් එන ජජ්මන්ට් එක දකිනවා ... අනික් කෙනාට හානි වෙන විදියට මොකුත් කියන්නේ කරන්නේ ලියන්නේ නැහැ ..

    බෞද්ධ දර්ශනය තාර්කිකයි, හිතන්න දේවල් තියෙනවා, ඒ නිසා විද්‍යාවට සහ තාක්ෂනයට වගේම මම බුද්ධාගමටත් කැමතියි.

    සුබ නත්තලක් සහ සුබ අලුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
    Replies
    1. එසේම වේවා. ඒකත් හොඳ ස්ථාවරයක්. ඇත්තටම ලේබල් ගහ ගන්න ඕනෙත් නැහැ තමයි. ඇත්තටම මම නිරගමිකද කියල ගහ ගන්න ලේබලය ගැන හිතනවා. මොකද සමහර නිරාගමිකයෝ හැසිරෙන විධිහ මට අල්ලන්නේ නැති නිසා.
      බෞද්ධ දර්ශනයේ තාර්කික පැත්තට මමත් කැමතියි.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .