Sunday, 18 December 2016

සිරියන් යුද්ධයේ තවත් පැත්තක් 1

60 දශකයේ ඇෆ්ඝන් තරුණියන්  පෙළපාලියක 

ඇෆ්ගන් කතාව: හැටේ දශකයේ සහ හැත්තෑව දශකයේ  ඇෆ්ඝනිස්තානය නිදහස් රටකි. සාමාන්‍ය දියුණු වෙමින් පවතින මිශ්‍ර ආර්ථිකයක්, හොඳ විශ්ව විද්‍යාලයක් (කාබුල්) තිබූ රටකි. අතීතයේදී අවකන් නමින් හැඳින්වුණු බෞද්ධ රටක් වූ ඇෆ්ඝනිස්තානය හත්වන සහ අටවන ශතවර්ෂ වලදී මුස්ලිම් ආගමික රටක් විය.
කාබුල් වෛද්‍ය  විද්‍යාලයේ සිසුවියන් 

සෝවියට් දේශය  සමග ගෑස් අපනයන ගිවිසුමක් ආරම්භ කිරීම ප්‍රශ්නයක  උල්පත වුනු අතර සෝවියට් දේශය විසින් මෙහෙයවන ලද කුමන්ත්‍රණයකින් හස්ලාෆ් අමින් බලයට පත්විය. මුජහෙදින් ඉස්ලාමික සංවිධානය ඔහුට විරුද්ධ කැලෑ තුල සටන් කළහ. ඔවුන්ට තරමක ඇමෙරිකානු සහයක් විය.  එයට වැරැද්දක් මට කිව නොහැක.  සෝවියට් හමුදා 1979 දී ඇෆ්ඝනිස්තානය ට හමුදා යැව්වේ 20 වසරක මිත්‍ර ගිවිසුමක ප්‍රතිපලයක් ලෙසය. සෝවියට් වරු බබ්රක් කර්මාල් බලයේ පිහිටවූහ.
ඇෆ්ඝන් රජයේ (1966) මුද්‍රණාලය 

සෝවියට් හමුදාවලට එරෙහිව සටන් වැදුණු මුජහෙදින් වරුනට අවියෙන්, මුදලින් එක්සත් ජනපදය හා බ්‍රිතාන්‍යය උදව් කළහ. මුජහෙදින් වරු අල්ලාගත්  රුසියන් භටයන්ට සැලකුවේ ඉතා කෘර ලෙසය. දෙකකුල  පණ  පිටින් හම  ගසන ලද සෝවියට් සෙබලෙකු මම සෝවියට් දේශයේදී දුටුවෙමි. හම ගසා බෙලි කපා මරා දැමීම ඔවුන් නිතර කල දෙයකි.

බබ්‍රක් කර්මාල් අයින් කර මොහම්මඩ් නැජිබුල්ල්ලාහ් බලයට පැමිණියේ 1991 පමණය. බටහිර රටවලට කර්මාල් හා නජිබුල්ලා ඒකාධිපතියන් විය. ඔවුන් මරා සිරගත කලේ, මර දැමුවේ නිදහස සඳහා සටන් කරන ඉස්ලාමික තලිබාන් භටයන් යයි කිවූ අතර ඔවුන් බටහිරයන්ගේ  වීරයන් විය. ඔවුන්ගේ මානව අයිතිවාසිකම් ගැන බොහෝ විට කතා කෙරුණි.

සටන දරුණු වත්ම  සෝවියට් හමුදා 1987 දී ඇෆ්ඝනිස්තානය හැර ගියේය. ඇමෙරිකාව ස්ටින්ගර් නම් මිසයිල් වර්ගය පවා මේ සටන්කාමීන්ට සැපයුවේය.

මුජහෙදින් වරු තලිබාන් යනුවෙන් තමන් නම් කර ගත්  අතර 1991 වන විට ඇෆ්ඝනිස්ථානයේ බොහෝ පෙදෙස් අල්ලාගෙන සිටියහ.  1992 වනවිට තලිබාන් වරු කාබුල් අල්ල ගත්හ. වෘෂණ කෝෂ දෙක ගැට ගසා ජීප් රථයක ඇදගෙන ගොස් දැඩි වද හිංසා කර එල්ලා  මරණ ලද නජිබුල්ලා ගේ මළ  සිරුර පසුව හමුවුණි.

තලිබාන් පාලනය ඉතා දරුණු විය. සෝවියට් දේශයේ මාදි නම් විශ්ව විද්‍යාලයේ උගත් ඉංජිනේරුවකු වන මගේ මිතුරකු තලිබාන් විසින් මරා  දමා තිබුණි. ඇෆ්ඝන් රටේ බොහෝ සෝවියට් උපාධිධාරීන් සිටි  අතර බොහෝ අය පකිස්ථානයට මෙන්ම  එංගලන්තටද සමහරක් සෝවියට් දේශයටද පලා ගියහ. බොහෝ අය මරා දැමුණි. මගේ මිතුරාගේ බිරිඳගේ රැකියාවෙන් ඇයව එලවා  දමා තිබුණි. ගැහැනුන්ට වැඩ කිරීම තහනම් විය. ඔවුන් එළියේ යනවිට හිස සහ ඇඟ සම්පුර්නයෙන්ම ආවරණය කර යා යුතුය. වෙනත් රැකියා කිරීමට නොහැකි හෙයින්  ඇය හිඟා කෑවාය. දරු තිදෙනා කුසගින්නේය. ඔවුන් ජිවත් වුයේ ගුහාවකය.

ලන්ඩනයෙන් ගිය මිතුරකු අත ඇයට පවුම් පනහක් යැවීමි. මට ඒ දවස් වල එය ලොකු මුදලකි.  ඇය බිම දිගාවී ඔහුගේ දෙපා නමදිමින් බොහෝ වේලාවක් හැඬු  බව ඔහු මට පැවසිය. රූමත් ගැහැණියක වූ ඇය තලිබාන් සටන්කාමීන් අතින්  සොළොස් වතාවකට වඩා දුෂණ ය වී තිබුණි.  පවුම් පනහ ඇයට විශාල මුදලක් වී තිබුනි. ඇයට දරුවන් සමග පකිස්ථානයට පලා යාමට  ඒ මුදල ප්‍රමාණවත් බව පවසා තිබුණි. අසල තිබු තවත් ගුහා  වල දරුවන් සමග කනවැන්දුම් ගැහැණුන්  අති විශාල ප්‍රමාණයක් සිටි බවත් කන්නට යමක් නැතිව  සාගින්නෙන් මියය යන දරුවන් සිටි බවත් ඔහු පැවසුවේය.

//ලන්ඩන් ඇෆ්ගන් යාලුව දේශපාලන අනාථයෙක් ලෙස මෙහි හිටියේ. මිනිහ මුදල් යවනවා එහෙ පවුලට. ඒ ගොල්ලෝ ඇවිත් කතා කරනවා. ඔවුන් ට කියල අර ඉන්ජිනේරුවාගේ පවුල හෙව්වේ. කිසියම් වියදමක් ගියා. විස්තර කිව්වේ ඔවුන්. ඉන්ජිනේරුව ඇතුළු කට්ටිය ඔවුන් දැනන් හිටිය. කිසියම් තත්වයක් තිබු අය නිසා වෙන්න ඕනේ. පස්සේ මේ තැනැත්තා ඇෆ්ඝනිස්තානයට හොරෙන් ගියා. පකිස්තානු පාස්පෝර්ට් එකකින්. එයා තමා ඉතුරු විස්තර ටික ගෙනාවේ//

මේ විස්තර කිසිවක් ඒ දිනවල බටහිර මාධ්‍ය මගින් වාර්තා කලේ නැත. මුජහෙදින් යනු මිතුරන්ය.

තලිබාන් වරු පෞරාණික ඉමහත් වැදගත් කමක් ඇති බෞද්ධ ප්‍රතිමා මෙන්ම වෙනත් ඓතිහාසික නටබුන් විනාශ කිරීමත් ත් සමග ලොවේ අවධානය ඔවුන් කෙරේ වඩාත් යොමු වුනි.

නමුත් සියල්ල වෙනස් වුයේ 2001 දී  ඇමෙරිකාවට  ත්‍රස්තවාදීන් පහර දීමත් සමගය. බින් ලාඩන් ඒවා මෙහෙයවුයේ ඇෆ්ඝනිස්ථානයේ හා සවුදියේ සිටය. ඉන්පසු  බටහිර මාධ්‍ය  මගින් දිනපතාම වගේ තලිබාන් කණ්ඩායමේ  දුෂ්ට ක්‍රියා ගැන වාර්තා කෙරිණි. ඇමරිකන්/බ්‍රිතාන්‍ය හමුදා මගින් කළ ඇෆ්ඝනිස්ථාන් ආක්‍රමණයට අප හැමෝගෙම සහය පළවිනි. අදත් ඇෆ්ඝනිස්ථානයේ සේවය කරන බ්‍රිතාන්‍ය හමුදාවට සහය පල කරමි. ඔවුන් කරන්නේ මානුෂික සේවයකි. දුෂ්ට  අගතිගාමී ආගම්වාදී  තලිබාන් වරුන් ගෙන් ජනතාව බේරා ගැනීමට  ඔවුන් දෙන සහය බලවත්ය.

මේ සියල්ල මට බටහිර සමහරුන්  සමාජවාදී ඒකාධිපතියන් යයි හඳුන්වන අය ගැන අදහස මදක් වෙනස් කරන්නට හේතුවුනි. තලිබාන් වරු විනාශ කල බොහොමයක් දේ මේ "ඒකාධිපතින් " විසින් රැක ගෙන තිබුණි. ඔවුන් යටතේ  ඇෆ්ඝන් වරුන්ට තලිබාන් වරුන් දුන්නාට වඩා  නිදහස තිබුණි.  ගැහැනුන්ට ඉගෙනීමට මෙන්ම රැකියා කිරීමටද නිදහස තිබුණි.

සිරියානු පාලක අසාඩ් දරුණු විය හැකිය. ඔහු දරුණු වුයේ ඇතැම් විටක මේ අන්තවාදී  ආගම්වාදී එවුන් සිර ගත කිරම නිසාය. ඇතැම් විට ඔහු අහිංසකයන් සිර කරන්නටද සුන්නි ජාතිකයන්ට පහර දෙන්නටද ඇත.

එහෙත් සමස්තයක් වශයෙන්ගත් කල ඉස්ලාම්වාදීන්ට වඩා ඔහු ප්‍රගතිශිලිය.  සිරියාවේ ගැහැණු පිරිමි දෙපසම එක පන්තිවල උගනිති. විශ්ව විද්‍යාල වලද එසේමය. ඔවුන් ගේ ජිවන තත්වය සවුදියට වඩා අඩු වුවද ශ්‍රී ලංකාව වැනි රටවලට වඩා  ඉහලින් තිබුණි.  අසමත්වූ සමාජවාදී ක්‍රමයන් මදින්  මද වෙනස් කරමින් පෞද්ගලික බැංකු වලට ඉඩ දීම සිදු වුයේ 2001 පමණය. අසාද් යටතේ අනිකුත් ආගම් ඇදහීමට බාධාවක් ද නැත.

එසේ නම් සිවිල් යුද්ධයක් පටන් ගත්තේ ඇයි?

~මතු සම්බන්ධයි

පින්තූර : http://www.theatlantic.com/photo/2013/07/afghanistan-in-the-1950s-and-60s/100544/
සිරියාවේ දැන් ආර්ථිකය : https://www.bloomberg.com/news/articles/2015-07-29/how-war-has-destroyed-syria-s-economy-in-four-charts

40 comments:

  1. //මගේ මිතුරාගේ බිරිඳගේ රැකියාවෙන් ඇයව එලවා දමා තිබුණි. ගැහැනුන්ට වැඩ කිරීම තහනම් විය.//
    සමාජජාල යුගයට පෙර මේ කාලයේ එංගලන්තයේ සිටි ඔබට මේ තොරතුරු බාධාවක් නැතුව හා අප්‍රමාදව දැනගන්න තිබුණු ක්‍රමය කුමක්ද?

    ReplyDelete
    Replies
    1. මේ ප්‍රශ්නෙට මට පොඩ්ඩක් හිනහත් ගියා. මගේ දුව අහන තාලේ ප්‍රශ්නයක්. මොකද ඒ ගොල්ල දන්නේ සමාජජාල ආදිය ගැන විතරක් නිසා. ඉකොනොමැට්ට ඉන්නේ ඇමෙරිකාවේ වෙන්න ඕනේ. ඇමෙරිකාව මේ ඇෆ්ඝන් ප්‍රශ්නෙටේ සම්බන්ධ කලහම ඒ ගොල්ලෝ අහන ප්‍රශ්නයක් ඒක. ටෙලිෆෝන් කියල ජාතියක් තිබුන අහල නැත්ද? ඒ මොහොතේම කතා කරලා විස්තර දැන ගන්න පුළුවන් ඒවායින්. ලෑන්ඩ් ෆෝන් කියල කියන්නේ. මගේ යහළුව නිතරම කාබුල් සෙන්ට්‍රල් එක්ස්චේන්ජ් එකට කතා කරනවා. නියමිත වෙලාවට. එයාගේ කවුරුහරි එනවා ඒ වෙලාවට එතනට. සල්ලි යවන්නේ වෙස්ටර්න් යුනියන් එකෙන්. ඒ දවස්වල ඉඳන් )තවමත්) ඒකත් තියනවා. පවුම් පනහක් යාවන් පවුම් 12 විතර කොමිෂන් එකක් දෙන්න ඕනේ. පාඩුයි. දැන් වගේ නෙමේ.

      Delete
    2. මට මතක විධිහට මගේ රුසියන් මිතුරන් සමග ඊමේල් හුවමාරු කර ගත්ත. මට මුලින්ම කොම්පුසර්ව් හා AOL ඊමේල් තිබුන 90 ගණන්වල. ඩයල් අප් මෝඩම් තම තිබුනේ නෙට් යන්න. වල්ඩ් වයිඩ් වෙබ් කියන එක හරියට තිබුනේ නැහැ. නිව්ස් දැන ගත්තේ compuserve බුලටින් බෝඩ් වලින්. සෑහෙන්න ඉක්මන්. ඉකොන් ගේ වයස අනුව තමා තීරණය වෙන්නේ මේවා පාවිච්චි කලාද කියල.
      මට ටෝටලයිස් එකවුන්ට් එකකුත් තිබුන. ඔය කාන්තාව ආයි හොයන්න ලොකු උත්සහයක් ගත්ත. අර ඇෆ්ගන් .මිනිහ එංගලන්තෙන් ජර්මන් ගියා. ඊට පස්සේ අතුරුදහන් වුණා. පොර සැහෙන කළ කිරීමකින් හිටියේ.

      Delete
    3. "සෙන්ට්‍රල් එක්ස්චේන්ජ්" ලෑන්ඩ් ෆෝන් විතරක් තිබුණු කාලේ සමාජවාදී රටවල බහුලව භාවිතා වුන මේ ක්‍රමය බොහෝ අයට තේරුම් ගන්න අපහසුයි, ලියුමකින් හරි ටෙලිග්‍රෑම් එකකින් එකඟ වුනු වෙලාවක එකඟවුන තැනක ෆෝන් එකකට කතාකරනවා,සෙන්ට්‍රල් ටෙලිෆෝන් එක්ස්චෙන්ජ් වල ඩිරෙක්ට් ලයින් තියන බූත් වගේම එතනට පැමිණ සිටින කෙනෙකුට ඔපරේටර් ඇසිස්ට් කෝල් දෙන්න ක්‍රමයකුත් තිබ්බා, සෝවියට් දේශයේ ඉගෙන ගත් අයගේ වීක් එන්ඩ් ජොබ් ලිස්ට් එකේ අයිටම් එකක්.

      අපිත් එක්ක ඉගෙන ගත්තු මැඩගස්කාර් යාළුවෙක් එයාගේ ප්‍රංශයේ හිටි එයාගේ ගේ ප්‍රෙන්ඩ්ලගෙන් වෙස්ටර්න් යුනියන් එක හරහා සල්ලි ගෙන්න ගත්තා, ඒ යාළුවන්ට ටෙලිෆෝන් කලේ කාසි නොදමා ඉයර්ෆීස් එක කටට තියලා කෑගහලා,කොල් එක කනෙක්ට් වෙලා ඒ පැත්තෙන් හලෝ කියන එක ඇහෙන්න ඉයර්ෆීස් එක වැඩ කලාට මයික් එක කාසි වැටෙනතුරු ඔන් වෙන්නේ නෑ, ඒත් ඉයර්ෆීස් එකට කෑගැහුවාම එහා පැත්තට ලාවට ඇහෙනවලු.

      Delete
    4. ඔව්. ඒ දවස් වල ඔය ගේම් අපි හෙනට ගහනවනේ. ලන්ඩන් වල අර බීටි ෆෝන් එකට පවුමේ ඒවා දාල කූරක් ගහල ගන්නේ ඔක්කොම ටික කතා කරාට පස්සේ. ඇමෙරිකාවේ ඉන්න අයට ඔය අත්දැකීම නැහැ තමයි. ඉකොන් හිතුවොත් ඔය කොමියුනිකේෂන් සෙන්ටර්ස් තියෙන්නේ ලංකාවේ. එවල බූත් එකට ගිහින් ගන්න කියන්නේ කෝල් එක. ඒ වගේ සිස්ටම් එකක් මේක.

      Delete
    5. ඒ කාලයේ තාක්ෂණය ගැනනම් අමතක වෙලා නැහැ. සමාජජාලා යුගයට පෙර යුගය කියා කීවේ ඒ අර්ථයෙන්. ලිපියේ පහත කොටස ඇතුළු කොටස් කියවන විට කෙනෙක්ට සෙන්ට්‍රල් එක්ස්චේන්ජ් එකකට ගිහින් රටේ තත්ත්වය පිටරටක කෙනෙක්ට කියන්න තරම් නිදහස් සාමකාමී වාතාවරණයක් තිබුණු බව පැහැදිලි නැති නිසයි ඇහුවේ.

      //ඔවුන් එළියේ යනවිට හිස සහ ඇඟ සම්පුර්නයෙන්ම ආවරණය කර යා යුතුය. වෙනත් රැකියා කිරීමට නොහැකි හෙයින් ඇය හිඟා කෑවාය. දරු තිදෙනා කුසගින්නේය. ඔවුන් ජිවත් වුයේ ගුහාවකය.//

      Delete
    6. අහා මට තේරුනේ දැන්. ඔය විස්තර මම දන්නේ ඒ කාන්තාව කියල නෙමේ. ඒ විස්තර හුඟක් මම ලිව්වේ නැහැ. එතකොට බ්ලොග් ලිපිය දික් වෙනවා. ලන්ඩන් ඇෆ්ගන් යාලුව දේශපාලන අනාථයෙක් ලෙස මෙහි හිටියේ. මිනිහ මුදල් යවනවා එහෙ පවුලට. ඒ ගොල්ලෝ ඇවිත් කතා කරනවා. ඔවුන් ට කියල අර ඉන්ජිනේරුවාගේ පවුල හෙව්වේ. කිසියම් වියදමක් ගියා. විස්තර කිව්වේ ඔවුන්. ඉන්ජිනේරුව ඇතුළු කට්ටිය ඔවුන් දැනන් හිටිය. කිසියම් තත්වයක් තිබු අය නිසා වෙන්න ඕනේ. පස්සේ මේ තැනැත්තා ඇෆ්ඝනිස්තානයට හොරෙන් ගියා. පකිස්තානු පාස්පෝර්ට් එකකින්. එයා තමා ඉතුරු විස්තර ටික ගෙනාවේ. මම ඒ කාන්තාවට කතා කරලා නෙමේ විස්තර ගත්තේ. මොන භාෂාවෙන්ද මම කතා කරන්නේ?

      Delete
    7. කාබුල් අල්ල ගත්තට ඒවා හුඟක් වැඩ කරා. තලිබාන් එකටත් මුදල් ඕන නිසා බටහිරින් එන මුදල් ඔවුන් නැවත්වුයේ නැහැ. LTTE වගේ තමයි.

      Delete
    8. ඒක මිසක්. මම ඒත් බැලුවා ගුහා අස්සේ කොම්පුසර්ව් හා AOL ඊමේල් පහසුකම් තිබුණද කියලා. :)

      Delete
    9. තිබ්බද දන්නෙත් නැහැ. හේ හේ. ඒ වුනාට මේක හිනාවෙන්න කතාවක් නෙමේ ඉකොන්. ඇත්ත මිනිස්සු ඔය තත්වෙට පත් වුනේ. ඔයා වගේම ගොඩක් ඇමෙරිකාවේ ඉන්න අය ඕක විශ්වාස කරන්නේ නැහැ. මගේම යහළුවෝ පවා හොඳින් දැන දැනත් එහෙම නෙවේ වගේ ඉන්නවා.

      Delete
    10. //ඔයා වගේම ගොඩක් ඇමෙරිකාවේ ඉන්න අය ඕක විශ්වාස කරන්නේ නැහැ. මගේම යහළුවෝ පවා හොඳින් දැන දැනත් එහෙම නෙවේ වගේ ඉන්නවා. //
      මාව ඔය අජිත්ගේ ඇමරිකාවේ ඉන්න යාලුවෝ එක්ක සසඳමින් ප්‍රොටෝටයිප් අස්සට දමන්න එපා. මිනිස්සු, රටවල් ආදිය දෙස එකම අච්චුවේ දාල බලන එක තමයි මම දකින ඇතැම් අයගේ චින්තනයේ තියෙන ලොකුම ප්‍රශ්නය. සමහර විට අජිත්ගේ සමාජවාදී පසුබිම නිසා එවැනි තැනකට අජිතුත් තල්ලු වෙනවා වෙන්න ඇති.

      //මේක හිනාවෙන්න කතාවක් නෙමේ ඉකොන්. ඇත්ත මිනිස්සු ඔය තත්වෙට පත් වුනේ.//
      යුද්ධය කියන එක මොන පසුබිමක වුනත් සුන්දර දෙයක් නෙමෙයි. යුද්ධයක් සිදුවන විට ඔය වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. 1988/89 කාලේ වුන මම ඇස් දෙකට දැකලා තියෙන දේවල් අනුව වුණත් මිනිස්සු මෙවැනි තත්ත්වයන්ට පත්වීම පිළිගන්න අමාරු නැහැ. (ඒ නිසා එවැනි තැන් වලට මිනිසුන්ව තල්ලු කරන මතවාද ප්‍රවර්ධනය නොකිරීමයි කළ යුත්තේ) එහෙත් බොහෝ විට මෙවැනි අසරණ තත්වයකට පත් වුන කෙනෙක් එදිනෙදා පණ බේරගන්න දඟලනවා මිසක් පිටරටකට කෝල් ගන්න පුළුවන් තත්ත්වයක නැති නිසයි මම ප්‍රශ්නය ඇහුවේ. මිනිස්සු ඇත්තටම මේ වගේ ප්‍රශ්න වලට මුහුණ දුන්නත් ඒ තොරතුරු රටින් පිටට සන්නිවේදනය කරන දේශපාලන අනාථයින් ලෙස බටහිර රටවලට එන අජිත්ට මේ විස්තරය කියූ ඇෆ්ඝන් යාලුවා වැනි අයනම් ගොඩක් වෙලාවට කියන්නේ බොරු. ඒ අය බොහෝ විට කරන්නේ වෙන කාට හරි වුන දෙයක් තමන්ට වුණා වගේ කියන එක සහ ඒ කරුණුත් අතිශයෝක්තියට නැංවීමයි. ඇත්තටම හොඳටම අසරණ අයට එවැනි අවස්ථා ලැබෙන්නෙම නැති තරම්. දැන් මේ සිද්ධියේදීත් අජිත්ගේ ඉංජිනේරු යාලුවා සහ බිරිඳ ගැන කතාවක් ගොතලා අජිත්ව අන්දවලා මේ අසෛලම් සිටි පුද්ගලයා අජිත්ගෙන් පවුම් පණහක් කඩා ගත්තා වැනි දේවල් වුනත් වෙන්නත් පුළුවන්. වෙනත් විදිහකින් මේ කරුණු අජිත් විසින් තහවුරු කරගෙන නිසා එසේ නොවන්නට ඇතැයි හිතනවා.

      Delete
    11. ඔතන මම ඔහොම කිව්ව්වේ ඇමෙරිකාවේ ඉන ගොඩක් අය ඇමෙරිකාව මුජහදීන් වරුන්ට උදව් කලා කියන එක පිළිගන්න කැමති නැහැ. දැන් ඔය ISIS එකට මුලින් ආධාර දුන්නේ ආයුධ දුන්නේ ඇමෙරිකාව බව පිළිගන්නේ නැතුව වගේ.
      //පිටරටකට කෝල් ගන්න පුළුවන් තත්ත්වයක නැති නිසයි මම ප්‍රශ්නය ඇහුවේ// මම මෙහෙම එකක් කියල නැහැනේ ලිපියේ.
      නැවතත් හොඳට කියවන්න.
      //මගේ මිතුරාගේ බිරිඳගේ රැකියාවෙන් ඇයව එලවා දමා තිබුණි. ගැහැනුන්ට වැඩ කිරීම තහනම් විය. ඔවුන් එළියේ යනවිට හිස සහ ඇඟ සම්පුර්නයෙන්ම ආවරණය කර යා යුතුය. වෙනත් රැකියා කිරීමට නොහැකි හෙයින් ඇය හිඟා කෑවාය. දරු තිදෙනා කුසගින්නේය. ඔවුන් ජිවත් වුයේ ගුහාවකය.

      ලන්ඩනයෙන් ගිය මිතුරකු අත ඇයට පවුම් පනහක් යැවීමි. මට ඒ දවස් වල එය ලොකු මුදලකි. ඇය බිම දිගාවී ඔහුගේ දෙපා නමදිමින් බොහෝ වේලාවක් හැඬු බව ඔහු මට පැවසිය. රූමත් ගැහැණියක වූ ඇය තලිබාන් සටන්කාමීන් අතින් සොළොස් වතාවකට වඩා දුෂණ ය වී තිබුණි. පවුම් පනහ ඇයට විශාල මුදලක් වී තිබුනි. ඇයට දරුවන් සමග පකිස්ථානයට පලා යාමට ඒ මුදල ප්‍රමාණවත් බව පවසා තිබුණි. අසල තිබු තවත් ගුහා වල දරුවන් සමග කනවැන්දුම් ගැහැණුන් අති විශාල ප්‍රමාණයක් සිටි බවත් කන්නට යමක් නැතිව සාගින්නෙන් මියය යන දරුවන් සිටි බවත් ඔහු පැවසුවේය.//

      Delete
    12. //දැන් මේ සිද්ධියේදීත් අජිත්ගේ ඉංජිනේරු යාලුවා සහ බිරිඳ ගැන කතාවක් ගොතලා අජිත්ව අන්දවලා මේ අසෛලම් සිටි පුද්ගලයා අජිත්ගෙන් පවුම් පණහක් කඩා ගත්තා වැනි දේවල් වුනත් වෙන්නත් පුළුවන්. // මම හිතන්නේ නැහැ එහෙම වුණා කියල. බොරු කියන අය අනන්ත ඉන්න එක ඇත්ත. නමුත් ඇෆ්ඝනිස්ථානයේ දුරුණු සිවිල් යුද්ධයක් වුන එකත් තවමත් වෙන එකත් ඇත්ත. ඒක නොපෙනෙන්නේ ඕනෑකමින් ඇස් වහගෙන ඉන්න අයට. සමාජවාදී රටවල වගේම බටහිර හැම මධ්‍යයක්මත් ස්වාධින නැහැ. හැම එකම ඇත්ත කියන්නෙත් නැහැ.
      මම රුසියාවෙන් ආවට පස්සේ එහෙ සිටි කිහිප දෙනෙකුටත් වෙස්ටර්න් යුනියන් හරහා මුදල් යැව්වා. මේ ඇෆ්ඝන් කාරයට මට බොරු කරන්න උවමනාවක් නැහැ. මම ඉන්න තැනින් ඉවත් වෙලා අවට පස්සේ මගේ ලියුම් ගන්න දෙතුන් පාරක් ගියත් ඊට පස්සේ ඒක නැවතුනා. හුඟක් වෙලාවට මට වුනේ ඒක. ඔවුන් අනිවාර්යයෙන් ම මට ලියන්න ඇති. නමුත් මම එහෙම ස්තුතියක් බලාගෙන නොකරපු නිසා ඒක අදාළ නැහැ.

      Delete
    13. //මම මෙහෙම එකක් කියල නැහැනේ ලිපියේ. නැවතත් හොඳට කියවන්න.//
      අජිත්ට මිතුරාගේ බිරිඳ ගුහාවේ සිට කෝල් කළා කියලා ලිපියේ කොහෙවත් නැහැ තමයි. එතනම තමයි මගේ ප්‍රශ්නය තිබුනෙත්.

      මේ කාලයේ ලංකාවේ පිට පළාතක සිටි කෙනෙක්ට වුනත් පිටරටකට කෝල් එකක් ගන්න එක ලොකු කෝස් එකක්. ඒ නිසා ඇෆ්ඝනිස්තානය යුද්ධයකුත් තියාගෙන තාක්ෂනය අතින් ලංකාවට වඩා ගවුගාණක් ඉදිරියෙන් සිටියා කියලා මම හිතන්නේ නැහැ.

      මට තේරෙන හැටියට අජිත් දැන් මේ ලිපි වලින් කියන්න හදන්නේ බටහිර මාධ්‍ය විසින් මේ රටවල යුද්ධයේ සැබෑ තත්ත්වය වාර්තා කරන්නේ නැහැ, එහි වෙනත් පැත්තක් තියෙනවා කියන කරුණනේ. දැන් මේ කියන විදිහට (ඔබ කියන පරිදි) සම්මත මූලාශ්‍ර ලෙස සැලකිය හැකි බටහිර මාධ්‍ය වාර්තා වලින් හොයා ගන්න බැරි (මම මෙය පරික්ෂා කර නැහැ) විකල්ප තොරතුරු අජිත් මෙහි ඉදිරිපත් කරන විට වැදගත්ම දෙය වන්නේ මාධ්‍ය වල නැති මේ තොරතුරු එංගලන්තයේ ඉන්න අජිත් විසින් දැනගත්තේ කොහොමද කියන එකයි. නමුත් මුල් ලිපියේ මේ වැදගත්ම කරුණ ගැන සඳහනක් තිබුණේ නැහැ.

      තොරතුරු වල විශ්වසනීයත්වය රඳා පවතින්නේ අජිත් විසින් මේ තොරතුරු ලබාගත් ආකාරය අනුවයි. අජිත් හොර පාස්පෝට් හදාගෙන බැක්පැක් එකකුයි කැමරාවකුයි අරගෙන ගිහින් ඇහෙන් දුටු දේ විස්තර කරනවානම් මට අනුව මේ තොරතුරු වල විශ්වසනීයත්වය වැඩියි. එහෙම කරල නැති බව මුල් ලිපිය කියවූ විට පැහැදිලියි. එහෙමනම් අජිත් තොරතුරු ලබා ගෙන තියෙන්නේ වෙනත් ක්‍රමයකින්.

      මේ වගේ අවස්ථාවක හැම දෙයක් ගැනම විවෘතව බලන අජිත් වගේ කෙනෙක් අර මිය ගිය ඉංජිනේරු මිතුරාගේ ආත්මයට කතා කරලා ඔහුගේ බිරිඳ ගුහාවක දුක් විඳින බව දැනගෙන එහි යන කෙනෙක් අතේ පවුම් පනහක් යැවුවා වගේ දෙයක් වුනානම් මට අනුව මේ තොරතුරු වල තියෙන්නේ ඉතා අඩු විශ්වාශනීයත්වයක්.

      පසුව විස්තර කර ඇති පරිදි සහ මමත් මුලින් වැඩි ඉඩක් තියෙන දේ ලෙස සැළකු පරිදි මේ තොරතුරු පදනම් වෙන්නේ අසෛලම් දැමූ කෙනෙක් කියන දේවල් මතයි. ඔහු කියන දේ සියළුම මාධ්‍ය වලින් හංගන පරම සත්‍යයක් කියලා ඔබ හිතනවා. හැබැයි මමනම් අසයිලම් දමන අය ඔය වගේ අනුවේදනීය කතා ගෙතීම බැහැර කරන්නේ නැහැ. ඒ වගේම යුද්ධයක් තියෙන තැනක මේ වගේ දේවල් වෙන්න පුළුවන් බවත් බැහැර කරන්නේ නැහැ. ඒ නිසා මේ කතාව ඇත්තක්, බොරුවක් වගේම බොහෝ විට අර්ධ සත්‍යයක් විය හැකියි. නමුත් මා නොදන්නා ඔබ දන්නා මේ පුද්ගලයා ගැන ඔබට වැඩි විශ්වාසයක් තිබීම මට පිළිගත හැකියි. මගේ යාළුවෙක් මේ වගේ දෙයක් කිවුවනම් මමත් එයට වැඩි බරක් දානවා.

      //සමාජවාදී රටවල වගේම බටහිර හැම මධ්‍යයක්මත් ස්වාධින නැහැ. හැම එකම ඇත්ත කියන්නෙත් නැහැ.//
      ස්වාධීන මාධ්‍ය කියන එක මිත්‍යාවක්. එයට මම එකඟයි. හැබැයි රජයයන් විසින් ලබා දෙන ප්‍රවෘත්ති හා පෞද්ගලික මාධ්‍ය විසින් ලබා දෙන ප්‍රවෘත්ති අතර ලොකු වෙනසක් තියෙනවා. සමාජවාදී හෝ සමාජවාදී නොවන රටවල රාජ්‍ය මාධ්‍ය දේශපාලනික හේතු මත හිතා මතාම තොරතුරු විකෘති කරනවා. පෞද්ගලික මාධ්‍ය අතින් (බොහෝ විට) වෙන්නේ එසේ හිතාමතා වැරදි තොරතුරු පැතිරවීමක් නෙමෙයි. ඔවුන් ලාභ තකා කටයුතු කරන ආයතන. ඔවුන් විසින් පළකරන්නේ ඉල්ලුමක් තියෙන, විකිණිය හැකි ප්‍රවෘත්ති. ඒ නිසා වියදමක් දරා, අවදානමක් ගෙන ඇෆ්ඝනිස්ථානයට ගිහින් සැබෑ තොරතුරු හොයා ගැනීමට ඔවුන් උනන්දු වන්නේ එසේ හොයා ගන්නා පුවතකට වියදමට සරිලන වාණිජ වටිනාකමක් තිබේනම් පමණයි. එසේ නැත්නම් ඔවුන් එවැන්නක් කරන්නේ නැහැ. බොහෝ විට ඔවුන් කරන්නේ ඔබේ අසෛලම් දමා සිටි ඇෆ්ඝන් මිතුරා ලබාදුන් ඇත්ත හෝ බොරු තොරතුරු වැනි ලාබෙට ලබාගත හැකි තොරතුරු ඇසුරෙන් අඩු වියදමින් ඩොක්‍යුමෙන්ටරි එකක් වැනි දෙයක් කරන එකයි. එවැනි අය ලබා දෙන තොරතුරු වැරදි වීමෙන් මාධ්‍ය වාර්තාවත් වැරදි වෙන්න පුළුවන්. මිනිස්සුන්ට ඇත්ත දැනගැනීමට ලොකු උවමනාවක් තියෙනවනම් මාධ්‍ය අතර තරඟය නිසා ඇත්ත නොකියන මාධ්‍ය වෙළඳපොලෙන් විසිවෙනවා. ඇත්ත හොයා ඉදිරිපත් කරන්න මාධ්‍ය අතර ලොකු තරඟයක් ඇති වෙනවා. නමුත්, මිනිස්සු කැමති මතිග්‍රාහී (biased) තොරතුරු වලටනම් මාධ්‍ය වලින් ලැබෙන්නේ ඒවා.

      දැන් ඔය බටහිර මාධ්‍ය කියන්නේ බොරු කියන කතාවත් සිංහලෙන් කියවන අය අතර හොඳ ඉල්ලුමක් තියෙන කතාවක්.

      Delete
    14. ලොකු කොමෙන්ටුවට ස්තුතියි. හෙට උදේ ජර්මනියට යන්න තියන නිසා දීර්ඝ පිළිතුරක් දෙන්න පුළුවන් විධිහක් නැහැ. මම හැම වෙලේම විකල්ප මාධ්‍ය හා විකල්ප තොරතුරු හොයන කෙනෙක්. හැම වෙලෙකම මට තොරතුරු ලබනේ මාධ්‍ය හෙවත් source ගැන මම කියන්නේ නැහැ. ඔබට අවශ්‍ය නම් ඔය ගැහැනියගේ කතාව පිළිගන්න. නැත්නම් අත් හැරලා දාන්න. හැම අසයිලම් කාරයෙක්ම බොරු කියන්නේ නැහැ. හැම දෙමල අසයිලම්කාරයෙක්ම බොරු කිව්වේ නැහැ. කියන අය ඉන්නවා. මට හමුවෙලත් තියනවා. ඒ දවස් වල වුනත් පවුම් පනහක් කියන්නේ මට ලොකු ගානක්. ඒක අවිශ්වාස කෙනෙකුට නිකන් දෙන්නේ නැහැ කියල ඔබට හිතුනේ නැත්ද? බටහිර මාධ්‍ය විතරක් නෙමේ නැගෙනහිර (හෙවත් ලංකාව වගේ රටවල මාධ්‍ය සමහරක් ඇත්ත කියන්නෙත් නැහැ. ඔබ කියන විධිහටම "විකුනන්න " පුළුවන් ඒවා තමා ඔවුන් ලියන්නේ.
      බටහර මාධ්‍ය ගැන අද ඊයේ වෙච්ච දෙයක් කියන්නම්. මෙහෙ ගොඩක් පත්තර වල කිව්වේ සිටියන් හමුදා රුසියාව සමග එක්ව අලෙප්පෝ වල සමුල ඝාතනයක් කරනවා. නිකන් වෙඩි තියනවා කියල. නමුත් රුසියව තුර්කිය සමග කතා කරලා මිනිසුන් බේරලා යැව්වා. ඒ බස් වලට ගැහුවේ කවුද දන්නවද? අර රිබෙල් කියන එවුන්. පත්තර වලින් ඒ දවස් දෙකම බොරු කිව්වේ. හැබැයි දැන් කියනවා මිනිසුන් එවකුවෙට් කරා කියල. මේක ඕන කමින් කරනවා නොවෙන්නත් පුළුවන්.
      මම බටහිර හිටපු නිසා මම දන්නවා මුල් කලේ ඇෆ්ඝනිස්තානය ගැන ඇත්ත කිව්වේ ගාඩියන් වගේ පුවත් පතක් විතරයි. ලංකාවේ යුද්ධ කාලේ ටයිම්ස් පුවත් පතේ මාධ්‍යවේදීන්ට එක ලිපියට පවුම් 500 ගානේ ගෙව්වා කියල මම දන්නවා. ගෙව්වේ දෙමල සංවිධානයකින්. එහම් තමා වැඩ කෙරෙන්නේ.

      Delete
    15. හැම බටහිර මාධ්‍යක්ම එක ගොඩේ වරදියෝ කියන එක නෙමේ මම කියන්නේ. එක එක ලොබි ගෘප් එකට අනුව නිව්ස් එක වෙනස් වෙනවා. ලංකාවෙත් එහමයි. රුසියාවෙත් එහමයි. අනිත් හැම තැනමත් එහෙමයි. මිනිස්සු බුකියට වඩා තැන දෙන්නෙත් එකෙයි. ඒත් බුකියේ දාන නිව්ස් නුත් හොයල බැලුවහම සමහර ඒවා බොරු. ඒ නිසා තමා විකල්ප මාධ්‍ය ඕන වෙන්නේ.

      Delete
  2. මොඩරේෂන් අයින් කරල නේද? :)

    ReplyDelete
    Replies
    1. ඕව . වැඩිය කාටවත් කියන්න එපා.

      Delete
  3. ඒ රටවල් මුස්ලිම් අන්ත්වාදයෙන් මුදවා ගන්න ගේමක් දෙනවා..

    මෙහේ මුස්ලිම් අන්තවාදයක් මදිවාට, බෞද්ධ තලේබාන්කරණයක් තුලට ගමන් කරනවා...

    මේ ලිපිය නම් ඉතා වදගත් විදියට, නිවි සැනසිල්ලේ කියවන්න හිතෙන ආකාරයට ලියලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. යන්තම් මාතලන් ට කියවන්න පුළුවන් විධිහේ ලිපියක් ලියා ගත්ත එහෙනම්. මචන් ලංකවේ අන්තවාදය තෙවැදෑරුම්
      1. ශිවසේනා හින්දු අන්තවාදය
      2. සවුදියෙන් ගෙවන මුස්ලිම් අන්තවාදය
      3. බෞද්ධ අන්තවාදය
      මේ තුනටම එරෙහි වෙන්න ඕන කියල මම හිතන්නේ.

      Delete
    2. වාමාංශික අන්තවාදය?

      Delete
    3. වාමාංශික අන්තවාදය හුඟක් වෙලාවට දක්ෂිණාංශික අන්තවාදය වගේම තමයි. නමුත් මට හිතෙන්නේ වැඩිපුර තර්ජනයක් තියෙන්නේ අර තුනෙන් කියල.

      Delete
  4. සියල්ල සාපේක්ශයි. හොඳ / නරක වැඩි / අඩු පමණයි.
    කෙසේ වෙතත් ආගම්වාදී පිස්සන්ට වඩා දුෂ්ඨ ඒකාධිපතියෙක් හැම විටම නරක අඩුයි.

    මං පොඩිකාලේ සිටම සෝවියට් ප්‍රකාශන කියෙව්වත් සමාජවාදී/කොමියුනිස්ට් ක්‍රමය ඉතා හොඳයයි කිසිදාක හිතුනේ නෑ. ඒ මට පොඩිකාලේ සිටම වීරත්වයක් හෝ අතිශයෝක්තියෙන් හොඳක් හුවා දැක්වීමේදී එය ප්‍රොපගන්ඩා හැඟුන නිසා වෙන්න ඇති. එහෙත් කොමියුනිස්ට් ක්‍රමයේ මං දැක්ක හොඳ තමයි ආගම්වලට රජයෙන් තැනක් නොදීම.

    ඇෆ්ගනිස්තානය අතීතයේ සිටම ගෝත්‍රවලින් ඉන්ෆ්ලුවන්ස් වුන ගැටුම්වලට ප්‍රවණතාවයක් ඇති ප්‍රදේශයක්. ඇලෙක්සැන්ඩර්ටවත් හරියට පැසිෆයි කරන්න බැරිවුනානෙ. https://www.goodreads.com/book/show/1315.The_Afghan_Campaign (එන්ටර්ටේනින් විදිහට ඒ ගැන කියවන්න HF එකක්)

    කොහෙන් හරි පුපුරන්න තිබුනා ඒත් වර්ථමානයේ ප්‍රශ්නයට මුල් වුනේ නම් සෝවියට් අතපෙවීම් නේද?

    ReplyDelete
    Replies
    1. //සියල්ල සාපේක්ශයි. හොඳ / නරක වැඩි / අඩු පමණයි.
      කෙසේ වෙතත් ආගම්වාදී පිස්සන්ට වඩා දුෂ්ඨ ඒකාධිපතියෙක් හැම විටම නරක අඩුයි.//

      ++++

      Delete
    2. මම ලිපියේ උඩම කියල තියනවා සෝවියට් අත පෙවීම තමා මුල්ම හේතුව කියල. ඇමෙරිකාව මුජහෙදින් ලට උදව් දෙද්දී දැනං හිටිය කියල හිතන්න බැහැ මේ මුස්ලිම් අන්තවාදීන් කියල. නමුත් ප්‍රශ්නේ අනිත් හැම ජනාධිපතිවරයෙක්ම මේ මෝඩකමට නැවත නැවතත් යාම.

      Delete
  5. ඇමෙරිකාවෙ දේශපාලකයො වෙන රටවල දේවල් වලට ඇඟිලි නොගහ ගොල්ෆ් ගැහුවනන් අද ලිබියාව, ඉරාකය, ඊජිප්තුව සිරියාව වගේ රටවල අද තියෙන ඝාතන අසමගිය වගේ ප්‍රශ්ණ නැහැ- ඩොනල්ඩ් ට්‍රම්ප්

    ReplyDelete
    Replies
    1. ඇත්තටම හිතෙනවා ට්‍රම්ප් ට ඔය අනිත් එවුන්ට වඩා මොලේ තියෙනවා කියල වෙලාවක.

      Delete
  6. දැන් මේ දෂ්ට කරන්නේ තමන්ම කිරි දීලා ඇති කරපු සර්පයෝ.

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ. හරියට ඉන්දියාව කලා වගේ. දෙමල සටන්කාමීන්ට යුධ දුන්න ලංකාවට එරෙහිව. උන්ගෙන්ම කට්ටියක් රජීව් ට දුන්න වැඩේ.

      Delete
  7. මුස්ලිම් අන්තවාදය සම්බන්ධයෙන් මුස්ලිම් ප්‍රජාව තරම්ම (සමහර විට ඊටත් වඩා)
    බටහිර ශිෂ්ඨාචාරය වගකියන්න ඕන...
    අවුල පටන්ගන්නේ කුරුසයුද්ධ වලින් කියලයි මට හිතෙන්නේ

    ReplyDelete
    Replies
    1. කුරුස යුද්ධය පැරදුන එකේ වාඩුව ගන්න ද? මම හිතන්නේ ඔය මුස්ලිම් අන්තවාදය ඒ කාලේ ඉඳන්ම තියන දෙයක්. බටහිර මගින් ආයුධ දුන්න නොයෙක් වර තමන්ගේ උවමනාවන් සඳහා. සවුදිය තමා දැන් ඒ තැන ඉන්නේ. ලංකාව විමසිල්ලෙන් සිටිය යුතුයි කියල මම හිතනවා.

      Delete
  8. අපි විඳින්නේ අශෝක ගේ චක්‍ර යුද්ධයේ ප්‍රතිවිපාක ද?

    ReplyDelete
    Replies
    1. චක්‍ර ගැන හාමුදුරු කෙනෙක් ගෙන් අහන්න. :)

      Delete
  9. ආගම කියන්නේ අබිං වගේ කියලා හිතෙන්නේ මේවා අහනකොට.

    ReplyDelete
    Replies
    1. බලා ගෙන ගියහම අබිං වුනත් එච්චර ඇබ්බැහි වෙන්නේ නැතිව ඇති.

      Delete
  10. අර ප්‍රථම ප්‍රේමය ආයිත් එන්නෙ කවදද?

    ReplyDelete
    Replies
    1. ළඟදීම එනවා. ළඟදීම එනවා.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .