Friday 29 April 2016

ඉයන්ගේ ගීත සමාජවාදය හා සමාජවාදී යථාර්ථවාදය

දේශකයාගේ ලිපියකට ඉයන් විසින් දුන් ප්‍රතිචාරයක් පහත දැක්වේ. මෙය කියවූ මට මතක් වූයේ සමාජවාදය යටතේ කලා කෘති අයිති ජනතාවට නිසා ඒවා ජනතාවාදී විය යුතුය යන මතයයි.

අජිත් බොහෝවිට ගීතයට වඩා ගායකයාට ඉල්ලුමක් තියෙන බව පේනව නේද? කාගේ වුණත් තමන්ට හුරු සිංදුවක් තමන් කැමති ගායකයෙක් කියනවට මිනිස්සු ආසයි. කලා කෘතියක් සමාජ ගත කලාම සහ එය සමාජගත වුණාම නීතිය කුමක් වුණත් එය අයිති සමාජයට.

සෝවියට් සාහිත්‍යය වර්ධනය වූයේ පසු කලෙක නීරස වූ  සමාජවාදී යථාර්ථවාදය (Socialist Realism) යටතේය. එනම් හැම කලා කෘතියකම යථාර්තය පිළිඹිබු විය යුතුය යන මතයයි. එම යථාර්තය නම් නිර්ධන පන්ති ජනතාවගේ හා කම්කරු පන්තියේ රාජ්‍ය බලය නමැති යථාර්ථය කලාව තුලින් එළි  දැක්විය යුතුය යන්නයි. මේ මතවාදය පෝෂණය වූයේ කලාව  අයිති මහජනයාට යන අදහස නිසාය.

නමුත් මේ මතවාදය තුල සිදුවුයේ ස්වාධින කලාත්මක නිර්මාණ බිහිවීම නොව රජයට ගැති නීරස ප්‍රචාරාත්මක (propaganda)  නිර්මාණ බිහි වීමය. ස්ටාලින් වන්දනා කරන ගායනා හෝ කොමියුනිස්ට් සමාජයේ සාධාරණත්වය, සශ්‍රිකත්වය ආදිය උලුප්පා දක්වන නිර්මාණ සමාජගත  කරන ලදී. ඒවා ඉදිරිපත් කළ කලාකරුවන් යයි කියා ගත් නිලධාරීන් කලා සංගම් වල හා රජයේ ආයතන වල වැජඹුණි. පිටරටවල සංචාරය කිරීමට වරම් ලද්දෝද ඔවුහු වූහ.

මේ දැක්මට විරුද්ධව නැගී සිටි කලාකරුවන් සමුහයක්ද විය. ඔවුන් ජීවිතය ගැට ගසා ගත්තේ අමාරුවෙනි. මහා කවි මයකෝව්ස්කි ගේ අන්තිම කාලය, අන්ද්රෙයි  තර්කොව්ස්කි , ව්ලදිමිර්  විසෝස්කි ආදීන් මේ ගණයට වැටේ.  ව්ලදිමිර්  විසෝස්කි  ගැන මා දැන  ගත්තේ ගිය වසරේ දිවි මගෙන් සමුගත්  පසන් කොඩිකාර සහෘදයා ගෙනි. ඔහු තේනුවර හා තවත් සිසුවකු විසෝස්කි ගේ ගී රස විඳිමින් සිටියේය.   සෝවියට් අධිකාරය විසෝස්කි ව ප්‍රිය නොකළ අතර ඔහු පසුව තගන්කයා නම් නාට්‍ය ශාලාවට අනුබද්ධව  වැඩ කළේය. නිදහස්ව නිර්මාණ සමාජගත කල විසොස්කි රුසියානු ජනතාව අතර ඉතා ජනප්‍රිය විය. ඔහුගේ ගීත නිර්මාණ ඕනෑම අයෙකුට රැගෙන ගායනා කිරීමට අවකාශය තිබුණි.  කලාකරුවෙකු වශයෙන් ඔහු දිළින්දෙකු විය.

 කිසියම් කලාත්මක කෘතියක් ඉදිරිපත් කරන්නේ මහ ජනතාවට රස විඳින්නට බව සැබෑය. නමුත් රසිකයා යන සෑම විටම සමාජයේ බහුතරය නියෝජනය කරන්නෙකු හෝ කරන්නියක නොවේ. උදාහරණයක් වශයෙන් ඔපෙරා ගායනයන් හෝ බටහිර ශාස්ත්‍රීය සංගීතය සැමදෙනාම රස විදින්නක් නොවේය යන අදහස් තිබේ. "දන්නෝ බුදුන්ගේ " ගීතය ඔපෙරා ගායිකාවක් ගැයූ වේලේ ඔපෙරා අසන්නේ සමාජයේ උසස් යයි සම්මත බටහිර ගැති  කොටසක්ය  යන අදහසක්ද ඉස්මතුව තිබුණි.
නමුත් අන්දරේ රියූ වැනි බටහිර ජර්මන් වයලින් වාදකයන් යුරෝපියානු ජනතාව අතර ජනප්‍රියය. සමාජයේ සෑම ස්ථරයකම ජනතාව ඔහුගේ වාදන රස විඳීමට පැමිණේ.

මේ අන්තර්ජාල අවධියේ තමන්ගේ නිර්මාණයක් තමන්ගේම ලෙස රැක ගැනීම ඉතා අසීරුය. අපිට මුදල් නොගෙවා අන්තර්ජාලයෙන් පොත් බා  ගත හැකිය. මුදල් නොගෙවා ගීත බා ගත හැකිය. එසේම චිත්රපටිද බා ගත හැකිය. මමද මේ වරද ඇතැම්විට කරන අයෙක්මි.

 සාමාන්‍යයෙන් එංගලන්තයේ සිනමා ශාලාවක ප්‍රවේශ පත්‍රයක් පවුම් 10 පමණ වේ. බොහෝ අය චිත්‍රපට අන්තර්ජාලයෙන් බා ගන්නේ එහෙයිනි. නමුත් චිත්‍රපටියක් නිපදවූ පසු එහි නිෂ්පාදකයාට මුදලක් ලැබුනේ නැත්නම්  ඒ කර්මාන්තයේ යෙදෙන අයගේ රැකියා වලට එය තර්ජනයකි. සංගීත ගැන තත්වයද එසේමය. ඒ නිසා මා ද අන්තර්ජාලයෙන් බා ගන්නවා වෙනුවට  බොහෝ විට මුදල් ගෙවා චිත්‍රපටි බැලීම කරමි.
 බටහිර රටවල නළුවන්ට මෙන්ම ගායකයන්ට ගෙවන මුදල අති විශාලය. ඔවුන් අතිශයින් ධනවත්ය. ඔවුන්ට එරෙහිව බොහෝ අය මේ අන්තර්ජාලය තුල චිත්‍රපටි හා ගීත  බෙදා හැරීම  කරන්නේ එහෙයිනි. මෙසේ නීත්‍යානුනුකුල නොවන ආකාරයට බා ගන්නා අයගේ තර්කයද කලා කෘති සමාජගත කළ පසු එය අයිති ජනතාවට  බවය.

සෝවියට් දේශයේ හා බොහොමයක් සමාජවාදී රටවල චිත්‍රපට සඳහා ප්‍රවේශ පත්‍ර ඉතාම ලාභයට තිබුණි.  බොහෝ දෙනා මේ නිසා චිත්‍රපට නැරඹීමට ගියහ. තිබෙන නිලධාරිවාදී පිඩාව මධ්යයේ වුවද හොඳ චිත්‍රපට තිබිණි. ගායකයන් ද ප්‍රසිද්ධ මුත් ඔවුන් ලොකු ධනවතුන්  නොවිනි.

වර්තමානයේ  බ්ලොග් වල  ෆේස් බුක් හෝ වට්පෑඩ් එකේ  පලවන නිර්මාණ නොමිලයේ භුක්ති වින්ද  හැකි වීමය. ඒ නිසා මා පොතක් පල කලද තව කාලයකට පසු එය නොමිලයේ අන්තර්ජාලය හරහා බෙදා හැරිය යුතු යයි මට සිතේ.

මට වැටහෙන ලෙසට සෝවියට් දේශය බිහි වී තිබුනේ කාලයට කලින් බවය. එය බිහි වන්නට  තිබුනේ බොහෝ පසුවය.

දියුණු ධනවාදී රටවල මාතලන් හා ඉයන් කියන්නාක් මෙන් ගීත ඇතුළු කලා කෘති සමාජ ගත  කල පසු ඒවා අන්තර්ජාලය නිසා  ඉබේම සමාජයට අයිතිවේ . ඒ නිසා ගීතයක් ඕනෑම කෙනෙකුට ගායනා කල හැකිය. මා  සිතන්නේ ගායකයාගේ අවසරය ඇතිව  සුළු මුදලක් ඔහුට ද  දී එසේ කල යුතු බවය. නිර්මාණය වඩා ප්‍රසිද්ධ ද වේ. අනිකුත් නිර්මාණද බෙදා ගත යුතුය. එවිට ඇති ධනවත් ගායකයන්, නළු නිලියන් ඇතිවන්නේ නැත. බොහෝ මිනිසුන්ටද අඩු මුදලට මේ නිර්මාණ  රස විඳිය හැකි වනු ඇත.

ඉයන් ලා  මාතලන් ලා සමාජවාදී කතා කියන්නේ මේ අනුව විය යුතුය.

මේ කියන්නේ නෝ  මෝ මාක්ස් කියා කිව්වාට  මාක්ස්  නිවැරදි බවය. පශ්චාද් මාක්ස්වාදය යනු එයය.   එනම් පිස්සු කෙල ඇත්තේ ලෙනින් බව වටහා ගැනීමද?



51 comments:

  1. නිර්මාණය කල පුද්ගලයාට මුදල් දී එහි කොපියක් ඕනෑම කෙනෙකුට ඉදිරිපත් කලහැකිය. නමුත් කවදාවත් එය මුල් නිර්මාණයේ අගය හා සම නොවේ.

    ReplyDelete
    Replies
    1. ඊට වඩා හොඳ වෙන්නත් පුළුවන් කියල තර්කයකුත් තිබෙනවා නේද?

      Delete
    2. සීගිරි චිත්‍ර ඊට වඩා හොඳට අඳින්න පුලුවන්ද? අවුකන පිළිමය ඊට වඩා හොඳට හදන්න පුලුවන්ද? රෝමය දැනට වඩා හොඳට නැවත ගොඩ නගන්න පුලුවන්ද? ශේක්ස්පියර් නාට්‍ය රචනා ඊට වඩා හොඳට ලියන්න පුලුවන්ද? බීතෝවන්ගේ සිම්ෆනියක් ඊට වඩා හොඳට නැවත සකසන්න පුලුවන්ද?

      ඒ රටවල මිනිස්සු ඒ බව දන්නවා. අපේ රටේ තමයි ඔය 'ඔරිජිනල් එකටත් වඩා හොඳයි' කියා, වෙළඳපොල වටිනාකමක් ලබාගැනීමේ කපටිකම කරන්නේ. අම්මා අප්පා වුණත් විකුණාගෙන කන කලාව. අනේ ද කියන්නේ.

      Delete
    3. මෙහෙම දේකුත් තියෙනවා. අපි යම් පැරණි කලාකෘතියක් රීමික්ස් කළ එකක් සමග සැසදීමේ දී එහි මුල් නිර්මාණය නිර්මාණය වුණ පසුබිම සහ වත්මන් තත්වය තුළ රීමික්ස් වුණ එක නිර්මාණය වුණ බව අමතක කරනවා. ඒ අනුව බැලුවා ම පැරණි නිර්මාණයේ වටිනාකම අගේට පේනවා. සීගිරි චිත්‍ර වලට වඩා අද හොදට අදින්න හැකි වුණාට එදා තිබූ තත්වය තුළ එවැනි නිර්මාණයක් කළා කියලාවත් අද අයට හිතාගන්න හැකියි ද....????? ඉතින් ඒක කොපි කරන අපි තාම ඉන්නේ අර පරණ තැනමයි කියලයි අපිනං හිතන්නේ. අපි කළ යුත්තේ ඒ දේ නෙමෙයි. අනාගතයේ මිනිස්සු පුදුම කරවන අලුත් දෙයක් කිරීමට උත්සහ කිරීමයි.......

      Delete
    4. විචා මෙතන 'ඊට වඩා හොඳට' කියලා විග්‍රහ කරන්නේ මොකක්ද?

      Delete
    5. //සීගිරි චිත්‍ර ඊට වඩා හොඳට අඳින්න පුලුවන්ද? අවුකන පිළිමය ඊට වඩා හොඳට හදන්න පුලුවන්ද? රෝමය දැනට වඩා හොඳට නැවත ගොඩ නගන්න පුලුවන්ද? ශේක්ස්පියර් නාට්‍ය රචනා ඊට වඩා හොඳට ලියන්න පුලුවන්ද? බීතෝවන්ගේ සිම්ෆනියක් ඊට වඩා හොඳට නැවත සකසන්න පුලුවන්ද? // සමහර විට කවුරු හරි ඒ වගේම කලාකරුවෙක්, කලාකාරියක් බිහි වුනොත්

      Delete
    6. මචං අපි අවුකන පිළිමය ගමු. ඒක ඊට වඩා හොඳට හැදුවොත් ඒකට අවුකන පිළිමය කියන්නේ නැහැනේ. ඒක එතකොට වෙන එකක්. ඒ වගේම තමයි පරන ගීතයක් වෙනම ආරකින් එනවා නම් මුල් තනුවට හෝ පදමාලාවට හානියක් නොකර ඒකෙ ඇති වරදක් නැහැනේ. ඊටත් වඩා හොඳට...කියලා කියන එක මටනම් තේරෙන්නේ නැහැ. ඊට වඩා හොඳට නෙමේ ඊට වඩා වෙනස් විදිහට කියලා කිව්ව නම් හරි මගේ හිතේ.

      සමහර දේවල් මෙහෙම තියෙනවා. රුක්මණි දේවිගේ හදේ බුල් බුල් නැගේ කියන ගීතය. එදා සවුත් ඉන්ඩියන් මියුසික් ඩිරෙක්ටර්ස්ලා තමන්ගේ කටේ හුරුවට ප්‍රනවුන්ස් කරපුවා අපේ අයත් එහෙමම ගායනා කරලා තියෙනවා. මෙතන ජලේ බුබුල් නැගේ කියන එක ජලේ බුල් බුල් වෙලා.දොලේ කියන එක කියන්නේ ඩෝලේ කියලා. මේ කතාව කිව්වේ ෂෙල්ටන් ප්‍රේමරත්න මහත්මයා.

      අලුත් අය කිව්වත් ඒක කියන්නේ එහෙමයි.ඒවා වැරැද්ද හදලා කිව්වොත් ඒකත් මුල් කෘතියට කරපු හානියක් වෙනවද.

      Delete
    7. නිර්මාණයක් එය කල කාලය හා කොන්ටෙක්ස්ට් එක සමග ගත යුතුය

      Delete
    8. http://3mana.com/%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A-%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%A7-%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93-%E0%B6%BD%E0%B6%82/

      Delete
  2. ////මට වැටහෙන ලෙසට සෝවියට් දේශය තිබුනේ කාලයට කලින් බවය. එය එන්නට තිබුනේ බොහෝ පසුවය/////
    අජියා...මේ කියන්නේ සෝවියට් දේශය 'බිහිවී' තිබුනේ කියන එකද...ටයිපින්ග් වලදි වචනයක් මිස් වෙලාද...

    ලංකාවට ඔය කියන නිදහසත් ලැබෙන්න තිබුනේ තව පස්සේ කියලා ඉස්සර අය කියනවා.

    ReplyDelete
    Replies
    1. මේක හැදුවා අරුණ . ස්තූතියි.

      Delete
    2. මේ සඳහා දිය හැකි හොඳම උදාහරණය තමයි "අන්න බලන් කුමරිය මනමේ..." ගීතය. ඊට් කලින් එහෙම සින්දුවක් තිබුනා කියලා මිනිස්සු දැන ගත්තේ සංගීත්ට පින් සිද්ද වෙන්න.

      Delete
    3. sudath kumarasinghe30 April 2016 at 21:44

      සංගීත්ගෙ කට දිහා බලන් ඉන්න මිනිස්සු නොදන්නවා වෙන්න ඇති. ඒත් හුඟක් අය දන්නව කාගෙද කියල.

      Delete
    4. මම දන්න තරමින් එක්කෙනෙකුට දෙන්නෙකුට හුඟක් කියලා නම් යොදන්නේ නෑ.

      Delete
    5. sudath kumarasinghe1 May 2016 at 12:52

      මම හිතන්නෙ අපි කථා කරන්නෙ කුලක දෙකක් ගැන

      Delete
    6. ඔය සින්දුව විජයරත්න වරකාගොඩ ගයන හොඳ ගීතයක් . අපි ඕන බජව්වක ඕනේ පැදුරු පාටියක කියන එකක්. සංගීත් කියන්නේ කවුද කියලවත් මම දන්නේ නැහැ. පිටරට ඉන්න නිසා වෙන්න ඇති.

      Delete
    7. ඒ වගේම පෙර රෝහණ බැද්දගේ ගයනා කරපු "මල් සරා බැල්ම හෙලා"ගීතයත් මා නම් මුලින්ම ඇසුවේ සංගීත් ගයනා කරනු ලැබූ විටයි.(පසුව දැන ගත්තා එහි මුල් ගායනය රෝහණ බැද්දගේ බව) ඇතැම් විට සංගීත් එම ගීතය ගයනා නොකරන්න ඒ ගැන මා නොදැනුවත්ව ඉන්න තිබ්බා.පසුව මේ ගීතය ගැයීමට එරෙහිව රෝහණ බැද්දගේ විසින් අධිකරණ වාරණයක් සංගීත්ට එරහිව ලබා ගත්තා.නමුත් මට මතකයි එම වරණය තිබියදී පවා රසිකයින්ගේ ඉල්ලීම මත සංගීත් එම ගීතය වරක් ප්‍රසංගයකදී ගයනා කරපු බව.

      Delete
    8. Manoj: එතැන ඇත්තේ ජෙනරේෂන් ගැප් එකක් වෙන්න ඇති. නැත්තම් රෝහණ බැද්දගේ ශිල්පියාගේ ඒ සින්දුව ඒ කාලේ ඉඳන් මිනිස්සු අතර තිබ්බ නේද?

      Delete
    9. මාත් රෝහණ බැද්දගේ ගේ ගීතය මිසක් අනිත් පොරව දන්නේ නැහැ. ඔන්න ඊයේ මැයි පළවෙනිදා සමරන්න අරූ අපේ ගෙදර ආ වෙලේ තමා පලවෙනි සැරේට සංගීත් ගේ සින්දුව ඇහුවේ. මැද රැප් කරපු.

      Delete
  3. Recently I had the privilege of translating Vladimir Vysotsky's famous song "Koni Priveredlivye” in to Sinhala (Sri Lankan) language for the International poetic project. This project was headed by Marlena Zimna and they have published a book about new translations of Vladimir Vysotsky's poems into 59 languages including Sinhala.

    Read More : Vladimir Vysotsky the Russian Bob Dylan
    http://transyl2014.blogspot.ca/2014/12/vladimir-vysotsky-russian-bob-dylan.html

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි රුවන්. ඔයා හැම පැත්තක්ම ටච් කරලා තිබෙනවා. වෙල් ඩන්.

      Delete
  4. ජනගත කළ දෙයක් ඕනැම ආකාරයකට රස විදිමේ හැකියාව රසික ප්‍රජාවට තිබිය යුතුයැයි මම නං හිතනවා. ඒක අප්සැට් වෙන්න පුළුවන්.. බොහෝ දෙනෙක් මේ බදාගැනිම කියන දේත් අර පෝස්ට් එකේ කිව්ව ආර්ථික කුහකකමත් නිසා යථාර්ථයෙන් අපගමනය වෙනවා.. ඒකට ඉතිං කරන්න දෙයක් නැහැ.. ඒ අතරේ ඕන දෙයක් කියල ඉන්න කළාකරුවන්, මිනිසුන් ඉන්න බවත් කියන්න ඕන.. අජිත් ගේ සෝවියට් දේශය පිළිබඳ දැනුම දිගින් දිගටම මුදා හරිනවා නං මං කැමතියි.

    පොල්කට්ට වැඩිපුරම නිකං දීපු බවක් තමයි ආරංචිය.. වචනයට විතරක් නැතිව ක්‍රියාවත් ආරම්භ වෙලා තියෙනවා.. මං හැමදාම හිතන දෙයක් තමා මේ පොත් දොරට වැඩුම් වලදි ඇයි සල්ලි දීල පොත් ගන්නේ කියලා.. කවදා හරි මං පොතක් ගැහුවොත් නං (හැක් හැක්) එදාට එන අයට නිකම්ම දීල දානවා. ඉතිරි උනොත් පොත් කඩ වලට දානව..

    ReplyDelete
    Replies
    1. එදාට කියහං..... අතින් වියදං කරගෙන හරි අපි එනවා. මොකද අපි එකොලොස් දෙනාට පොත් එකොළහක් අරන් යන්න හැකියිනේ.. යන ගමන් පොත් දහයක් ම පොත් කඩේකට දීලා සල්ලි කරගන්නත් හැකියිනේ...... හැක්

      Delete
    2. මම කිව්වා නිකන් ගන්න කියල ගොඩක් අයට. සමහර යාලුවෝ සල්ලි දුන්නා.

      Delete
    3. "පොල් කට්ටේ" දේශීය නියෝජිත කලණයා මටත් පොත දුන්නේ නොමිලේ.

      Delete
    4. මේ කමියා හරිම අසාධාරණයි. ඔහොම කෙරුවම පොත් මුදලාලියෙක් වෙන්නේ කොහොමෙයි.

      Delete
  5. sudath kumarasinghe30 April 2016 at 21:32

    "පිස්සු කෙල ඇත්තේ ලෙනින් බව වටහා ගැනීම" වටහා ගන්න තරමක් අපහසුයි. මට හිතෙන්නෙ ලෙනින්ට පසුව පැමිණි අයයි පිස්සු කෙලියෙ කියලයි.

    ReplyDelete
    Replies
    1. ලෙනිනුත් පිස්සු කෙලියා
      V.I. Lenin: The Compulsive Revolutionary

      http://transyl2014.blogspot.ca/2015/02/vi-lenin-compulsive-revolutionary.html

      Delete
    2. @රුවන් - මම මේක කියවල කොමෙන්ටුත් දැම්මා රුවන්.
      @සුදත් - මේ ලියල තියෙන්නේ නැවත බ්ලොග් ලිපියකට හෙවත් සංවාදයකට මාතෘකාවක්. ඉදිරියට එන්න තියෙන දේවල් වල කලින් ලිපියකින් පසුබිම සැකසීම මම හුඟක් කරන දෙයක්. ලෙනින් හරිද වැරදිද කියන එක ඉතිහාසය විසින් ඔප්පු කරලා ඉවරයි මම හිතන්නේ. පුටින් ඊයේ පෙරේද කිව්වා ලෙනින් බෝම්බයක් රුසියාව යටින් තිබ්බ කියල. රුස්සෝ දැන් විශ්වාස කරන්නේ ඒක . රුසියාව ලෙනින්ට කලින් හොඳට තිබ්බ කියල. පුදුම හිතෙයි. අපේ ගෙදර නැවතිලා හිටිය රුසියානු ටීච එහෙම කිව්වේ. මම සෑහෙන්න වැඩ කලාට පස්සේ පිළිගත්තේ පුටින්ගේත් ප්‍රශං තියන බව. නමුත් ලෙනින්ව දේවත්වයෙන් සලකාව වට වඩා ප්‍රශ්න කරන්න පුරුදු වුනානම් රුසියාවට මෙහෙම වෙන්නේ නැහැ. දැන් දොස්තර කෙනෙක් වන උඹත් දොස්තර කෙනෙක් වන රුවනුත් ඇරෙන්න කෝ කිසිම ජවිපෙ, පෙරටුගාමී හෝ අනික් වමේ අයෙක් කොමෙන්ටුවක් දාන්නෙ නැහැනේ. බලමු මේකෙන් පස්සේ වත්.

      Delete
    3. @සුදත් - මේ ලියල තියෙන්නේ නැවත බ්ලොග් ලිපියකට හෙවත් සංවාදයකට මාතෘකාවක්. ඉදිරියට ලියන්න සඳහා තියෙන දේවල් කලින් ලිපියකින් පසුබිම සැකසීම මම හුඟක් කරන දෙයක්. ලෙනින් හරිද වැරදිද කියන එක ඉතිහාසය විසින් ඔප්පු කරලා ඉවරයි මම හිතන්නේ. පුටින් ඊයේ පෙරේද කිව්වා ලෙනින් බෝම්බයක් රුසියාව යටින් තිබ්බ කියල. රුස්සෝ දැන් විශ්වාස කරන්නේ ඒක . රුසියාව ලෙනින්ට කලින් හොඳට තිබ්බ කියල. පුදුම හිතෙයි. අපේ ගෙදර නැවතිලා හිටිය රුසියානු ටීච එහෙම කිව්වේ. මම සෑහෙන්න වාද කලාට පස්සේ පිළිගත්තේ පුටින්ගේත් ප්‍රශ්න තියන බව. නමුත් ලෙනින්ව දේවත්වයෙන් සලකාව වට වඩා ප්‍රශ්න කරන්න පුරුදු වුනානම් රුසියාවට මෙහෙම වෙන්නේ නැහැ කියල මම හිතනවා . දැන් රුසියාවේ ඉගෙන ගත් දොස්තර කෙනෙක් වන උඹත් දොස්තර කෙනෙක් වන රුවනුත් ඇරෙන්න කෝ කිසිම ජවිපෙ, පෙරටුගාමී හෝ අනික් වමේ අයෙක් කොමෙන්ටුවක් දාන්නෙ නැහැනේ. බලමු මේකෙන් පස්සේ වත්.

      Delete
    4. සමහර දේවල් ප්‍රශ්න නොකිරීමම ප්‍රශනයක් වෙලා තියෙන්නේ. එදා ජේආර්ව දෙවියන්සේ අදහන්නේ නැතිව ප්‍රශ්න කරන්න ලැබුනා නම් අද රට කොතනද? මේක විජේවීර සම්බන්දවත්, ප්‍රේමදාස, මහින්දව ,ප්‍රභාකරන්ව සම්බන්ධවත් එහෙමමයි. පක්ෂ සාමාජිකයාට නැති හෝ නොකරන ප්‍රශ්න කිරීමේ අයිතිය රටක ජනතාවට ගලපගන්නේ කොහොමද? පුටින් සම්බන්දවත් දිනක ලියවෙන්නේ ඔහොමම තමයි. එදා හිට්ලර්ව ප්‍රශ්න කරන්න හැකියාවක් තිබුනාද? මේ සියලු පාලකයින් නායකයා නම් කුලුගෙඩිය බරපතල ආයුදයක් කරගෙන තියෙන්නේ.

      Delete
    5. sudath kumarasinghe1 May 2016 at 12:48

      සංවාදය ඉතාමත් හොඳයි. ලෙනින් තුළ අඩුපාඩු නෑ කියල මම කියන්නෙ නෑ. නමුත් අන්ත දරිද්‍රතාවයෙන් සිටි රුසියාව දශක දෙක තුනකින් ලොව බලවතකු කරන්න හේතු පාදක වුනේ ඔහුගේ ප්රතිපත්ති කියල මම තවම විශ්වාස කරනව. මම වැරදි විය හැකියි.

      Delete
    6. මම සුදත්ව් අරඩිය කියන්නේ නැහැ. දැන් පුටින් සහ රුසියාවේ කියන දේවල් පොඩ්ඩක් රුසියන් පුවත් පත් හෙම කියවල බලන්න. ඔවුන් කියන්නේ පළමු ලෝක යුද්ධයෙන් සාර් රුසියාව කිසියම් ප්‍රමාණයකට දිනලා ජර්මනිය වැටිලා ඉන්න වෙලාවේ ලෙනින් පාවා දුන්න කියල. මම ඕකට වාද කලා රුසියානුවෝ දෙතුන් දෙනෙක් එක්ක. නමුත් මේ සඳහා ලිවීමක් කල යුතුයි කියල මම හිතනවා ඒ කාරණා එකතු කරලා. ඒකයි ඔතනින් මේ ලිපිය ඉවර කලේ.

      Delete
    7. කොහොමත් වමේ පක්‍ෂ වල තියෙන අනන්‍යතා ලක්ෂණයක් නේද ඕක .නායකත්වය ප්‍රශ්න කරන්න බැහැ.එහෙම ප්‍රශ්න කරනවා කියන්නේ නායකත්වය නෙමේ පක්‍ෂයේ මතය ප්‍රශ්න කිරීමක් වන්නේ.අන්තිමට වෙන්නේ ප්‍රශ්න කරපු උන් ඒ පක්ෂයේ ජම්මාන්තර තරහාකරයින් වීම.

      Delete
    8. /////කොහොමත් වමේ පක්‍ෂ වල තියෙන අනන්‍යතා ලක්ෂණයක් නේද ඕ///////
      වමේ විතරක් නෙමේ බං ලංකාවේ හැම ෆීල්ඩ් එකකම තත්වය ඕකයි කියලා මම හිතන්නේ.

      Delete
    9. දේවත්වයෙන් ලෙනින් හරි හැමවෙලේම කියල කියන්නේ නැතිව බලමුද කියලයි මම අහන්නේ. මම එතන "පිස්සු කෙල ඇත්තේ ලෙනින් බව වටහා ගැනීමද?" කියල වෙනස් කලා.

      Delete
  6. පොදුවේ වර්තමාන ලෝකයෙහි අන්තර්ජාලය හරහා ඕනෑම නිර්මාණයක් ප්‍රචලිත කිරීමේ හැකියාව තිබෙනවා. ලිපියේ සඳහන් කර තිබෙන අයුරින්ම මොන තරම් නීති වලින් ආවරණය කර තිබුනත් නිර්මාණ පොදු ජනතාව විසින් තමන්ටම ආවේනික ක්‍රම වලින් ලබා ගෙන රස විඳිනවා.

    එහිදී නිර්මාණකරුවන්ට ආර්ථිකමය ප්‍රතිලාභයක් නොලැබෙන බව ඇත්තයි. නමුත් අනිත් අතට පුළුල් පරාසයක රසිකයින් පිරිසක් අතරට ඔවුන්ගේ නිර්මාණ ආයාසයකින් තොරවම ලඟා වෙනවා. ඒ ක්‍රියාවලිය තුල මුල් නිර්මාණයට සිදුවන වෙනස්කම් විවිධ වෙන්න පුළුවන්. මුල් නිර්මාණය අරමුණු කලේ එක් රසික ස්ථරයක් නම් අවසානයේදී විවිධ වෙනස් කම් සමඟ එය එකිනෙකට වෙනස් රස වින්දනයක් තිබෙන රසිකයින් විශාල ප්‍රමාණයක් එය තමන්ටම ආවේනික වූ ක්‍රමයකින් රස විඳිනවා විය හැකියි. නමුත් ගුණාත්මකභාවයත් ඒ ලෙසටම වෙනස් විය හැකියි. අතීතයේදී නිර්මාණ කරුවෙකුට තමන්ගේ නිර්මාණයක් මිනිස්සු අතරට ගෙනියන්න තිබුනේ ඉතා සීමිත මාධ්‍ය ප්‍රමාණයක්. එහිදී ගුණාත්මක භාවය ඉතා සුවිශේෂ කරුණක් උනා. අද එය ඉතාම අවශේෂ කරුණක් පමණයි. එය තමයි ලෝකය එකම ගම්මානයක් වීමේ අතුරු ප්‍රතිපල.

    මුදල් කොයි හැටි වෙතත් අඩුම තරමේ පසුකාලීනව වෙනස් කම් සිදු කරන මූලික නිර්මාණය බිහි කල වුන් කවුදැයි යන්න ඒ ඒ වෙනස් වීම් සමඟ මතක් කල යුතු ආචාර ධර්මයක්වත් පිළිපැදිය යුතුයි.

    මේ සියල්ලටම වඩා අද බහුතරයක් නිර්මාණ කරුවන්ටත් තමන්ගේ නිර්මාණය ගැන රසිකයින්ට තියෙන තරම් වත් කැක්කුමක් නැහැ. පවතින්නේ හුදෙක් මුල්‍යමය වටිනාකමක් පමණයි. එහෙම නැත්නම් ප්‍රසිද්ධ වීමේ අරමුණක් පමණයි. මොන යම් ක්‍රමේකින් හෝ තමන්ගේ මුදල හෝ ප්‍රසිද්ධිය ලැබෙනවා නම් රසිකයා එය කොයි විදියට වින්දනය කරනවද යන්න ඔවුන්ට අදාළ නැහැ. එයට ඔවුන්ට දොසක් කීමත් පලක් නැහැ. තිබෙන සමාජ ආර්ථික රටාවත් එක්ක මිනිස්සුන්ගේ මොළ එතෙන්ට ඇවිත් ඉවරයි.

    ReplyDelete
    Replies
    1. ඔබගේ ප්‍රතිචාරයෙන් වැදගත් කරුණු දෙකක් මතුවෙනවා. නිර්මාණ දෙකොටසකට බෙදන්න පුළුවන් බව. මුදල් නොහොත් ලාභයක් ලැබීම සඳහා පමණක් කරන නිර්මාණ , කලාත්මක වටිනාකමක් ලබා ගැනීමට කරන නිර්මාණ. මෙන්නේ මේ දෙකින් කලාත්මක වටිනාකම් ඇති මුදල් ගැන නොබලා මිනිසුන් වෙනුවෙන් කල නිර්මාණ පස්සේ කවුරු හරි අනිසි ලෙස මුදල් ඉපැයීම සඳහා යොදා ගත්තොත් එයට විරෝධයක් මතු වෙනවා.

      Delete
    2. අනිවාර්යයෙන්ම...මා ඔබේ අදහසට සම්පුර්ණයෙන්ම එකඟයි...

      Delete
  7. ඕනෑම නිර්මාණකරුවෙක් නිර්මාණයක් කරන්නේ සමාජගත කිරීමේ බලාපොරොත්තුවෙන්නේ.නමුත් එහිදී නිර්මාණකරුවන්ට සිදුවෙනවා කිසියම් මුදලක් දරන්න නිර්මාණය වෙනුවෙන්.ඉතින් නිර්මාණයකට මිලක් තියෙනවා.ඒ මිල සාධාරණ මිලක් නම් ගැටළුවක් නොවනු ඇති.

    ReplyDelete
    Replies
    1. ඔතනම තමා ප්‍රශ්නය. සාධාරණ මිල කියල කියන්නේ මොකක්ද?

      Delete
  8. ඔය ඉයන් පිස්සා කියන දේවල් කවුරුවත් ගණන් ගන්නෙ නැහැ. හැක්

    ReplyDelete
    Replies
    1. අපරාදේ ලිපියක්ම ලිව්වනේ

      Delete
  9. තව අවුරුදු 100කින් ඔය නිර්මාණ සහ නිර්මාණ කරුවන් ගැන මිනිස්සුන්ට තියෙන හැඟීම කොහොම වෙයි ද? මම හිතන්නේ නිර්මාණ කියන දේවල් වලට අයිතියක් කියන්න හදන හැඟීම අපෙන් ඈත් වෙලා යයි... අපි දැන් ඉන්නේ හැමදේම අලුත් විදියට හිතල, හැමදේම වෙනස් කරන්න ට්‍රයි කරන කාලෙක නේ.. සාහිත්‍ය නිර්මාණ වලට විතරක් ඒ වෙනස් කම් වලින් ගැලවෙන්න බෑනේ..

    තාක්ෂනය ලස්සනට ඔය ඒ වෙනසට මුහුණ දීල සෑහෙන්න දියුණු වෙලා තියෙන්නේ.. සාහිත්‍යටත් වෙන්න ඕනේ ඒකම තමයි..



    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ අයිතිය කියන වචනය තුල තියන සැබෑ අරුතට අද වෙනකොට අයිතියක් නැහැ කියලා. අයිතිය කියන්නේ මේ දියුනු ලෝකයේ අකුරු හතරක් විතරයි කියලා තමයි මගේ ටිකිරි අදහස. මට තරුන ලමයෙක් කිව්වා "අයියේ අයිතිය කියන්නේ Iතිය වගේ මමත්වයක්" කියලා. මේ මමත්වය ඉවත් වෙන්න ඕන හින්දමද මන්දා, මම කියන සංකල්පයට වඩා අපි කියන සංකල්පය සමාජයේ හුරුබුහුටි වචනයක් වෙලා තියෙන්නේ. හුරුබුහුටි හැමදෙයක්ම සමාජගෝචර නොවුනාට , අපි කියන සංකල්පය සමාජගත වෙන තෙක් මේ ප්‍රශ්න අපිට තලු මරන්න පුලුවන්.

      Delete
    2. මෙතන ආයිත් අවස්ථා දෙකක් තිබෙනවානේ. වර්තමානය තුල නිර්මාණයක් කරන්නා ට එහි අයිතිය තිබෙනවා. ඉන් කිසියම් මුදලක් ඔහුට හෝ ඇයට උපයා ගැනීමට අවශ්‍ය නම් ඒ අයිතිය අප පිලි ගත යුතුයි. සමාජයට ඉදිරිපත් කරලා සෑහෙන කාලයකට පසු ඒවා ඉබේම පොදු දේවල් බවට පත් වේවි, නමුත් පොතක් ගත්තොත් නැවත පල කලත් කවදාවත් පොදු වෙන්නේ නැහැ. එහෙම වෙන එකම විධිහ අර පැතුම් කිව්වා වගේ තාක්ෂනය දියුණු වෙලා අන්තර්ජාලයේ තියෙන විට අන්තර්ජාලය භාවිතා කරන්නාට මුදලක් නොගෙවා ලබා ගත හැකියි.

      Delete
  10. හොඳටම සමාජවාදී හෝ කොමියුනිස්ට් සමාජයක වුනත් පෞද්ගලික දේපල කියා මොනවා හෝ කොටසක් ඉතිරි වෙනවා. අඩු ගානේ තමන්ගේ ටූත් බ්‍රෂ් එක හරි. ඒ වගේම කොයි තරම් ධනවාදී රටක වුනත් මොනවා හෝ කොටසක් පොදු දේපල වශයෙන් පැවතිය යුතුයි. එසේ නොවුනොත් එය සමාජයක් වෙන්නේ නැහැ. මේ අතරින් සෑම කාලයකටම සෑම සමාජයකටම ගැලපෙන නිශ්චිත ඉරක් ගහන්න බැහැ. කවුරු හරි එහෙම ඉරක් ගැහුවොත් තාක්ෂණයේ වෙනස්කම් හා මිනිස්සු හිතන ආකාරයේ වෙනස්කම් එක්ක කල් යාමේදී ඒ ඉරේ වලංගු භාවය නැති වෙන්න පුළුවන්. පොදු දේපලක් විය යුත්තේ කුමක්ද කියන එක යම් නිශ්චිත අවස්ථාවක සමාජයක වැඩි සාමාජිකයින් පිරිසකගේ තේරීමක්. යම් භාණ්ඩයක් හෝ සේවාවක් පොදුවේ පරිහරණය කිරීමෙන් ලැබෙන වාසිය පෞද්ගලිකව පරිහරණය කිරීමෙන් ලැබෙන වාසියට වඩා වැඩිනම් සමාජයක් ස්වභාවිකවම එතැනට තල්ලු වෙයි. එසේ නැත්නම් එහි අනිත් පැත්ත සිදුවෙයි. යම් භාණ්ඩයක හෝ සේවාවක නිෂ්පාදන පිරිවැය ගොඩක් අඩුනම්, සමාජයක සමස්ත ඉල්ලුමට සාපේක්ෂව සැපයුම වැඩිනම් එවැන්නක් පොදු දේපලක් වීමට සුදුසුයි. එයට හේතුව කෙනෙක්ව එක්ස්ක්ලුඩ් කරන්න යන වියදමට සාපේක්ෂව නිකම් දෙන එක ලාභ නිසා. බොහෝ රටවල් වල ඉතා මෑතක් වන තුරු ජලය පොදු දේපලක් ලෙස පැවතුනේත් දැන් නැත්තෙත්, ආශ්වාස කරන ඔක්සිජන් පොදු දේපලක් ලෙස තවමත් තියෙන්නෙත් ඒ නිසා. ඒ වගේම අන්තර්ජාලය පොදු දේපලක් ලෙස තියෙන්නෙත් ඒ නිසා. ඉදිරියේදී බොහෝ විට අන්තර්ජාල සම්බන්ධතා මිල දී ගත යුතු නැති පොදු දේපලක් බවට පත්වෙයි. තාක්ෂණ දියුණුව නිසා වෙනත් භාණ්ඩයක හෝ සේවාවක නිෂ්පාදන පිරිවැය බොහෝ සේ අඩුවුණොත් ඒවත් පොදු දේපල විය හැකියි.

    ReplyDelete
    Replies
    1. ඔය ප්‍රශ්නය පැන නැගුනේ ධනවාදය අවසන් වීමට ප්‍රථම සමාජවාදී යයි කියූ රටවල් බිහි වීම තුලින්. රාජ්‍ය ධනවාදයක් සහිත රටවල් කොමියුනිස්ට් වාදී ලෙස වරදවා හැඳින්වීම මගින්. පොදු දේපල ධනවාදී සමාජයක් තුල අනිවාර්යයෙන්ම තිබෙනවා. මාක්ස් හිතපු ධනවදය් දියුණුවෙන් එන පොදු දේපල ක්‍රමයක් ලෝකේ කොහෙවත් ආවේ නැහැ.රජයට අයත් දේපල පොදු දේපල වන්නේ වක්‍ර මාර්ගයකින් පමණයි. තාක්ෂණික දියුණුව හා ධනවාදයේ දියුණුව විසින් බොහෝ තන්හි පොදු දේපල බිහි විය හැකිය කියන අදහස තමා මමත් ඉදිරිපත් කරන්නේ. ලෙනින් පිස්සි කෙළින්නට ඇත්ද යන ප්‍රශ්නය පැන නගින්නෙත් ඒ නිසා.

      Delete
  11. ගීතයක අයිතිය ගැන මගේ පෞද්ගලික අදහස නම් එහි වැඩි අයිතිය හිමිවිය යුත්තේ එහි තනු රචකයාට බවයි. ඕනෑම ශ්‍රාවකයෙක් මුලින්ම ගීයකට වශී වෙන්නේ එහි තනුවටයි. හොඳම උදාහරණය වන්නේ හින්දි, දෙමල තනු වලට සිංහල වචන යොදා තැනෙන සින්දු. මේවා එදත් සිදු වුණා. අදත් සිදු වෙනවා.

    පද මාලාව සහ ගායකයා වැදගත් වන්නේ දෙවනුවයි. බොහෝ ජනප්‍රිය ගායකයින්ගේ විශිෂ්ට පදමාලා සහිත ඇතැම් ගීත ජනප්‍රිය නොවීමටත්, ඇතැම් නවකයින්ගේ අවරගනයේ ලා සැලකෙන ගීත ජනප්‍රිය වීමටත් එකම හේතුව මෙයයි.

    බොහොම වටිනා කතිකාවක් අජිත්. ස්තුතියි ඔබට!

    ReplyDelete
  12. නෝ මෝ මාක්ස් නෙවෙයි රොක් අජිත්ගේ සිංදුව නෝ මෝ මාර්ක්ස් නේද?
    යම් නිර්මාණයක් කරන්න කලාකරුවා ගොඩක් මහන්සි වෙනවා.. ඒකට නිසි වටිනාකම ලැබිය යුතුයි.. නිසි ගෞරවය ලැබිය යුතුයි...
    ගායකයා පමණක් නෙවෙයි ලේඛකයා, සිනමාකරුවා, නාට්‍යකරුවා වගේ හැමෝම තමන්ගේ වැඩේට ලොකුවට මහන්සි වෙනවා...

    ReplyDelete
  13. ලියන,වයන,ගයන තිදෙනාම වැදගත්...

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .