Monday 17 April 2017

චූලා ගේ කොච්චි කවි

පසුගියදා ශ්‍රී ලංකාවට ගිය අවස්ථාවේ කොළඹ යාමට සිදු වූයේ "අහවල්" උත්සවයේ වැඩකටය. අන්තිමේදී ගිය කාර්යය තුන හමාරට පමණ අවසන් වූ අතර ඊළඟ සාකච්චාව තිබුනේ හවස හතටය. හදිසියේම මට සිහි වූයේ දන්නා  හඳුනන සොඳුරු මිනිසකු ඒ අසල කාර්යාලයක රැකියාව කරනා බවය. චූලානන්ද සමරනායක මහතා රැකියාව කළේ ඒ අවට  නිසා ඔහුට ඇමතුමක් දුනිමි. ඔහුගේ කාර්යාලයට යනවිටම වාගේ  ඒ අසල රජයේ කාර්යාලයකට එන ඇමතිවරයෙකු දුටිමි. පයිලට් කාර් ද සමග පැමිණි ඔහුට හමුදා වෙන් හෝ එම් එස් ඩී එකෙන් ආයුධ  සන්නද්ධ රැකවලුන් ද  ලබා දී තිබුණි. යුද්ධය අවසන්ව ඇති නිසා මේ කුමන  හේතුවකටදැයි මට සිතා ගත නොහැකි විය. ඇමතිවරුන්ගේ නැති ප්‍රතිබිම්බ ඉලිප්පීමට යයි නිකමට සිතුනි.

චූලා ගේ ඔෆිසියේ කැන්ටිමෙන් හැලපයක් කා තේකක් බිව් පසු හවස 7 තෙක් රැඳී සිටීමේ අදහස වෙනස් කර  චූලා ගේ ආරාධනය පිට ඔහුගේ නිවසට යෑමට පිටත් වුනෙමු.

කාර්යාල වසන වෙලාව නිසා රැකියා කර නිවෙස් බලා යන මගීන් ගෙන් බස් රථ පිරී ඉතිරී ගොසිනි. හැම බසයක්ම කට්ට කපා පුරවා ඇත. අව් රශ්මිය තවමත් ඇති ඉමහත් ලෙස දහදිය ගලන ඒ වේලාවේ බසයක සිරවීම නම් අනුවණ කමකි. තෙසක් රියක් නැවතූ අප බම්බලපිටිය දුම්රිය ස්ථානයට ගියෙමු. ඒ යන අතරමග රටේ ඉහළ හමුදා නිලදරුවන් මෙන්ම මන්ත්‍රී ඇමතිවරු වෙසෙනා හරියක්ද පසු කළෙමු.  ඒවා වල තවමත් දැඩි රැකවල් ලා ගෙන ඇත.

 දුම්රිය ස්ථානයේදී  පළමු දුම්රියට ගොඩ නොවුනේ එයද අර ලෙසින්ම මගී ජනයාගෙන් පිරි ඉතිරී තිබූ හෙයිනි.   අපි කළුතර පිහිටි චූලා ගේ නිවසට ගියේ ඊට පසු පැමිණි "ස්ලෝ කෝච්චියෙනි " වසර ගණනකට පසු මුහුදු මාර්ගයේ යන දුම්රියක සුළන්  රැල්ලේ සැප විඳ  ගැනීමට නොහැකි වුනේ එහි මැදිරිද සෑහෙන්න පිරි තිබුණු හෙයිනි. ඇත්තටම කියනවා නම් මේ කාර්යාල අවසන් වන අවස්ථාවේ එන තදබදයට (මීතොටමුල්ල මෙන් බලා නොසිට) දැන්ම විසඳුමක් සෙවිය යුතුය. රැකියාව කර නිවෙස් වලට යන ජනයාට මීට වඩා පහසුකම් සැලසිය යුතුය. ඔවුන් පසු දිනයේ වඩා කාර්යක්ෂම වන්නේ අද දිනයේ වැඩි අමාරුවකින් තොරව නිවෙස් බලා ගියහොත්ය. ගතින් මෙන්ම සිතින් ද විඩා  බර මිනිසුන්ගෙන් වඩා වැඩි යමක් කාර්යාලයකදී  බලා පොරොත්තු විය නොහැකිය.

චූලා ගේ නිවසේදී ඔහු විසින් අලුතින්ම ලියු කාව්‍ය සංග්‍රහය මට තිළිණ කළේය. ගුවන් යානයේ ලන්ඩනය එන අතරමග පැයකට අඩු කාලයක්  තුල  එය කියවා හමාර කලෙමි. මහගම සේකරයන් ගේ නිසඳැස් පොතක් කියෙව්වාක්  වැනි හැඟීමක් මට ඇතිවුණි. හයිකු වැනි කෙටි කවි වලට මම ඉතා ප්‍රිය කරමි. වරක් බ්ලොග් කරුවන් හබරල කවි නමින් කෙටි කවි ලියන්නට පටන් ගෙන තිබුණි. එම රැල්ල වැඩිකල් පැවතියේ නැත. චුලා ගේ "යකුළු" කවි පොතේ සියල්ල කෙටි කවිය. ඒවා පද හතරේ කෙටි කවි හෝ කෙටි නිසඳැස් ලෙස නම් කලද යගදා වන මෙන් බලවත් ලෙස මනසට පහර දෙයි. යකුළු යනුවෙන් නම් කළේ එනිසා වත් දැයි සිතුවෙමි.

පොත පටන් ගන්නේම  මෙවැනි ආන්දෝලාත්මක කවියකිනි.
"වැවෙන හැටි මෙතරම්
කාක බෝ තුරු
ලැබ කාක පුද හසර
සදමින් සෙවණ උන්ටම "
ලඟදි  පැවති ඇතැම් උද්ඝෝෂණ අනුව බලන විට කවියේ  කියවෙන කාකයන් කවුරුන්ද කියා සැසඳුමක ට සිත යොමු  වෙයි.

ඔහුගේ නිවසට යන අතරතුර අප දුටු බසයේ දුම්රියේ තැලී පොඩි වී යන මගීන් දෙස බලමින් සිගරැට් පෙට්ටියක ඇතුල් පැත්තේ ලියූවක්ද මේ? චුලා දුම් පානය නොකරන බව මදකට අමතක වුනි.
"රට කරන  මහතුනේ
ඔජ වඩන
මදිය
මාසෙක මහන්සිය
අපට
සිරි සිරි බෑගයක්  පිරෙන්නට වත්
බඩු  ගන්න "
ඒ ලඟින් ම මෙයත් ලිවී ඇත.

"ආණ්ඩු පෙරළිය
භූමිකා මාරුවකි
රජුන් සොරු වෙන
වේගයෙන්ම
සොරුන් රජවෙන "
අර මගීන් ගැන නැවත සිතෙයි. සොරුන් වෙන රජුන් ගෙන් හෝ රජුන් වෙන සොරුන් ගෙන් පිහිටක් නැති ජනකායකි ඒ .

පිටු කිහිපයකට පසු ලියැවුණු මේ කවියත් මෙතැනටම අදාළය.
'පක යනු
ගෙඩියට
පර්යාය
පදයෙකැ'

ආයිබෝවන්ඩ,
එතකොට
මැතිසබේ කියන්නේ
කුණුවුණ
පකවල් ගබඩා කරන
ඉස්ටෝරුවද?"

ගබඩා වී සිටින ඇත්තන් ඇඟ මැලි කඩා එලියට එන්නේ සය වසරකිනි. එතෙක්  සිටිනුය  "පකවල් හෙවත් ගෙඩි " දෙස බලාගෙන.

මේ තියෙන්නේ සේකර පන්නයද  ද චූලා පන්නයද නොදනිමි. නමුත් හිතට වැදෙන කවි පද පහරවල්ය.

ඔහු නිවසට යන මග දෙපස චුලා ගේ විචක්ෂණ දෙනෙතට බඳුන් වෙයි. ඉන්පසු ඒවා මතු වන්නේ කොච්චි මෙන් සැර  කෙටි කවි ලෙසය.
"ඉපලක්
සෑම උදයකම
අමදියි
ඉදලකින්
මාවතක්"

ඒ හුස්මටම මෙයත් ලියන්නද? සිතන්නට වඩාත් පොළඹවන කවි පෙළක්. යන්නේ කොහාටද තරුණ පෙළ නැවතත්.
"පෝස්ටර් පේළියක්
ගරා වැටෙනා
තාප්පය
රැක ගැනීමේ
අරගලයක"

මේ හැම කවියකම මහා කථාවක්  ගැබ්ව ඇත. හැම කවියක්ම අරඹයා ම මට බ්ලොග් කතාවක් ලිවිය හැකියයි සිතේ.  විජිත ගුණරත්නගේ පළමු සිනමා කෘතිය ගැන ලිවූ වලාපටල ගැන අදහසක්   ලිපියේ යථ හෙවත් අප අත්  දකින යථාර්තය පිලිබඳ සාහිත්‍ය නිර්මාණ කිරීම ගැන සාකච්ඡා කළෙමි. මේ කවි වල චූලානන්ද සමරනායක තමන් අත් විඳින යථාර්තය මගින් සිතේ පැන නගින ප්‍රබලතම හැඟීම් සමුදාය කවියට පෙරළයි. ඒවා කිසිම දෘෂ්ටිවාදයකට (ideology) බැඳ නොතබා තම සිතින් විචාර කළ යුතුය. මාක්ස්වාදි හෝ ධනවාදී හෝ සමාජවාදී   හෝ ගුරු කුලයකට බෞද්ධ, ක්‍රිස්තියානි මුස්ලිම් වැනි ආගමික සංස්ථාවකට අනුගත නොවී ස්වාධීන සිත මෙහෙයවන විට එය නතර වන්නේ කොතැනද එය ඔබේ දෘෂ්ටිවාදය විය යුතුය. ඒ සඳහා යථාර්තවාදී සාහිත්‍ය කෘතියක් අපට කරන  පෙළඹීම මනසින් විමසීමක් , විශ්ලේෂණය කිරීමක් කළ යුතුය.
"පාරිලෙයිය වනයෙන්
මදු ගසා ඇල්ලූ
ඇත් රජුන් දෙව්රමෙහි
විලංගුවේ
'බුදු පුදට' "

දෙව්රමේ විලංගුවේ සිටි ඇත් රජෙක් ගැන ඔබ කියවා තිබේද? දැන සිටියාද?  එවන්ම වූ තවත් කවියක් වෙන තැනක මෙසේ දුටිමි.

"ගරුතර හාමුදුරුවනේ
කියනු මැන
බුදු හාමුදුරුවෝ සිංහලද?
උන්වහන්සේගේ නම
දේවදත්තද?"

 රටක පැතිර යන අන්තවාදී අදහස් ගොන්නකට එල්ල කරන කවි ප්‍රහාරයක් නැවත මෙසේ කවි උණ්ඩයක් කවි අවියට දමයි.
"මොන තරම්
බලයක්ද
අර බලන්
සීසීටීවී කැමරා
මුර කරයි
දේවාල භූමියද "
 මේ නම් අපට නිතර සිතෙන දෙයකි? දෙවියන්ට මුරකාවල් කුමටද ඔබ ඔබේ සිතෙන් මැව්වේ නැත්නම්?

ඒ කොච්චි මිරිස් වැකි පෙළට තවත් එකතුවක් එයි මෙසේ.
"දෙපැත්තම
පොල් ගසති
නැද්ද දෙවියන්ට
තර්ඩ් අම්පයර් කෙනෙක්"
සිංහල කවියට ඉංග්‍රීසි එකතු කිරීම ගැන විචාරයක් කියෙව්වා මතකයි. නමුත් ජනතාව තුල මුල් බැස ඇති වදන් තව දුරත් එම භාෂාවටම අයත් නොවෙයි. ඒ යෙදුම තුලින්ම කවියේ අර්ථය වඩාත් ප්‍රබලව නැගෙයි.

අර තම නිවසට යාමට ඔහු නගින  ස්ලෝ කෝච්චියේදී චූලා ගේ මනසද මොහොතකට නතර වී ඇති සැටියකි.
"ගැස්සී නතරවුණ
දුම්රිය
යළිත් අරඹයි
අතරමග නැවතූ
සුපුරුදු
ගමන "
අපේ ජිවිතත් ඒ ස්ලෝ කෝච්චිය වැනි යයි මට මොහොතකට සිතෙයි. ගැස්සී නතර වෙන වාර නම් කොපමණද?

තව දුරටත් ලිවිය හැකියි. නමුත් මුළු කවි පොතම මගේ බ්ලොග් ලිපියේ ලිවීමට සිදු වෙතයි බියෙන් මේ කවි දෙකින් නවතිමි.
"නොමිලේය
නිදහස්ය
සුව සේවය

සරති ආතුරයෝ
ආධාර පත්‍රිකා
අතැතිව
සොයා ගනු පිණිස
පිරිවැය
වකුගඩුවක
බයි පාස්  සැත්කමක
පිළිකා බෙහෙත් වඩියක

සුව සේවා ඇමැති සඳ
ඒරොප්පේ
ගිලන් හලක
ලබනු වස් සුව සේවය
හුදී ජන තරු දකින
මිලකට"
 සුව සේවය ගැන මෙන්ම එහි පාලනය ගැනද ලියවෙන කියැවෙන මෙකළ ඔහු දකින ද්විත්ව ඝට්ටනය සරල ලෙස ලියැවී ඇත. මේ මිරිස් සැර අඩුම  කවිය පෙළද කියාත් සිතුනි.
ඉතින් මේ ලිපිය අවසන් කරමි මෙලෙස.
"ආං
තවත්
වවුලෙක්
ඉගිල එනවා
පල ඇති රුකකට"

"උත්සවයට" කලින් ලියුවක් නිසා ඒ ගැන නම් විය නොහැකිය.
මා ලිපිය අවසන් කරන්නේ මේ කවෙනි.

"සුවඳ විඳ විඳ
කුඩා දරුවෙක්
රැගෙන ගාටයි
පේර  මල්ලක්
හන්දියේ
පළතුරු කඩේ වෙත "
ඔහු ගේ දයලෙක්තිකය මෙයයි. මේ දයලෙක්තිකය මනසට මෙන්ම හැඟීම් බර හදවතටද ආමන්ත්‍රණය කරයි.

චුලානන්ද සමරනායකයන් ගේ "යකුළු"පොතේ පළමු මුද්‍රණය අවසන් වී ඇති බව දැන ගතිමි. මා  දුටු පරිවර්තන සාහිත්‍යයේ නයුවකු ප්‍රබල කවියෙකු ලෙසින් ඉදිරියට පැමිණ ඇත. තවත් සේකර කෙනෙක් , නෙරූඩාවෙක්, මයකොව්ස්කියෙක්  බිහිවීමට නියමිතද?
මා  නම් කැමති කමිසයේ උඩ  බොත්තම් හැරගෙන සම්මානයක් දෙන්නට වේදිකාවට  එනු දුටු සරල සොඳුරු සුන්දර මිනිසාටය. 

-ප්‍රකාශනය - ග්‍රැෆිකෙයා දුරකථනය 011 4007193 - පළමු මුද්‍රණය 

Sunday 9 April 2017

සම්මාන උළෙල - රාජිත - ප්‍රාජිත , හෙන්රිගේ දිව දෙකේ කතා සමග මංජුලගේ අපස්මාරය

දැන් තවත් නෙළුම් යාය සම්මාන උළෙලක් හමාර වී තිබේ.  මෙවර සම්මාන උළෙල පිලිබඳ කතා බහ තවමත් අවසන් වී නොමැත.
රාජිත, පණ්ඩුක, මහින්ද දේශප්‍රිය, කරු ජයසූරිය සම්මාන උත්සවයේ දී 
 එය ඇත්තෙන්ම ප්‍රීතියකි. විවේචනද වැඩි වී තිබේ. කෙටියෙන්  කියනවා නම් මුල් නෙළුම් යාය සම්මාන උළෙලවල් වලින් බ්ලොග්වලට ලැබුණු ප්‍රසිද්ධියට වඩා ප්‍රසිද්ධියක්,  ප්‍රසිද්ධ බ්ලොග්කරුවන් කිහිප දෙනෙකුගේ වර්ජන මධ්‍යයේ වුවද මෙම උළෙල නිසා ලැබී ඇත. සම්මාන උළෙලේ මුලික අරමුණ ලෙස මා සලකන බ්ලොග් ප්‍රවර්ධනයට ලැබී ඇත්තේ විශාල තල්ලුවකි. සමාජයේ ඒ පිලිබඳ කතාබහ තවමත් අවසන් වී නොමැත.

මේ අතරේ සම්මාන උළෙල පිලිබඳ ඇතිවන හා හූව සෙමින් මැකී යන තත්වයක් තුල නොකී කතා ලියන හෙන්රි වර්ණකුලසූරියත් බුකියේ මංජුල සමරසේකරත් එකම ප්‍රශ්නයක් ඇදගෙන නෑමක් කරනු පෙනුනි . ඒ රාජිත සේනාරත්න ඇමතිවරයාගේ සහභාගිත්වය ගැනය.  හෙන්රිට අනුව මේ ඇවිල්ලා නොටෝරියස් ප්‍රා - ජිතය. මංජුලට අනුව නෙළුම් යාය බ්ලොග් කාරයන්ව  රාජිතට විකුණලාය. මේ නයිට් වරු (knights in shining armour) තම අසිපත් ලෙලවා ගෙන බ්ලොග්කරුවන් බේරා ගැනීමට බුකියේ සටන් වැද සිටියහ.
රාජිත සේනාරත්න මහතා සම්මාන ප්‍රදානයේදී 
සම්මාන උළෙලේ දේශපාලනය මගේ මිතුරන්ටද තදබල ප්‍රශ්නයක් වී ඇති බව පෙනේ. බොහෝදෙනා ඇසට පෙනුනත් සඟවන සත්‍යය මෙවර නෙළුම් යාය සම්මාන උළෙල තුලින්  ඉස්මතුවී තිබේ. ඒ මෙසේය.

පසුගිය පෙබරවාරි මස ලන්ඩනයේ සිටි හඳුනන අයෙකු විසින්  එවන ලද පණිවිඩයක කියවුනේ "වියත් මග " නම් සංවිධානයක් ශ්‍රී ලංකා හමුදාවක  එක්තරා හිටපු සෙනෙවියකු ගේ මුලිකත්වයෙන් රැස්  වෙන බවත් එයට සහභාගී  වන ලෙසත්ය.  එදින වෙන කටයුත්තක් තිබූ  බැවින් මට සහභාගී වීමට නොහැකි විය. දින කිහිපයකට පසු  ලැබුණු තවත්  දුරකථන ඇමතුමකින් හඳුනන අයෙකු පැවසුවේ නව ව්‍යවස්ථාවෙන් රට  බෙදීමට යන බැවින් නැගෙනහිර ලන්ඩනයේ පැවතෙන රැස්වීමක ට වහ වහා පැමිණෙන ලෙසය.  මේ අවස්ථා දෙකේදීම  ගෝඨාභය යන  නම සමග බැඳුනු සටන් පාඨයක් යෝජනා වෙන බව මට දැන  ගන්නට ලැබිණි. ඒ "ගෝඨාභය  රාජපක්ෂ ජනපති කරමු" යන්නය. මේ රැස්වීම්  සංවිධානය කරන්නේ ද කලක සිට  ලංකාවේ කිසියම් හෝ විධියක ව්‍යවස්ථා සංශෝධනයක ට විරුද්ධව කටයුතු කළ, කරන ලංකාවේ කිසිදු ජාතික ප්‍රශ්නයක් තිබෙන්නේ නැත යන මතයේ සිටින පිරිසක් විසිනි.

මේ තත්වය  මත බ්ලොග් අවකාශයේද  කිසියම් බෙදීමක් උවමනාවෙන් ඇති කරන කණ්ඩායමක් මතු විය. ඔවුන් කලක් නිහඬව සිටියද ඉස්මතු වුයේ හෙළ බස රකින නියායෙනි. මේ ගැන විරුද්ධත්වයක් නැති වුවද මේ අදහස පිටුපසින්  ඉස්මතු වූයේ, හිටපු ජනාධිපති රාජපක්ෂ මහතා ගේ රජය පැරද වූයේ ලංකාවේ සංවර්ධනයට  ඉරිසියා කරන බටහිර ජාතින් බවත් ඔවුන් යුඇන්පී/මෛත්‍රී සන්ධානයට උදව් කළේ  එනිසා බවත් යන අදහසය.  විවෘත ආර්ථිකය මත ලංකාව කිසියම් ප්‍රමාණයකින් මැලේසියාවේ ක්‍රමයට දියුණු වෙද්දී ජේ ආර් ගේ රජයට විරුද්ධව දෙමළ සංවිධාන වලට  යුද පුහුණුව දුන්නේ ඉන්දියාව බව වීම මොවුන් අමතක කරන කරුණකි. (රාජපක්ෂ මහතා විසින් නුවුමනා ලෙස චීනයට ආවැඩීම නිසා ඉන්දියාව කලබල වුනු බවද  මේ අය ඉතා පහසුවෙන් අමතක කරති.) මේ කල්ලියේ අදහස ද ගෝඨාභය රාජපක්ෂ කරලියට ගෙන ඒමය.

ඔවුන් මේ සඳහා ජනප්‍රිය බ්ලොග්කරුවෙකු ගේද සහය ලබා ගනී. මේ බ්ලොග් කරු කලක සිටම ගෝඨාභය ලංකාවට  සුදුසු නායකයෙකු යයි කියන්නෙකි.  ඔහු  ජාතිවාදයට ආගම්වාදයට විරුද්ධව  ප්‍රගතිශීලි ලෙස ලියන්නෙකු වුවද "ගෝඨා ගෙන ඒමේ " ව්‍යාපාරයේදී  ගෝඨාභය අතිශයින් ජාතිවාදී ලෙස කටයුතු කරන්නෙකු බව අමතක කරන සෙයක් පෙනී යයි.  එහිද ප්‍රශ්නයක් නැත. ඔහු තමන්ගේ මතය ප්‍රජාතන්ත්‍රවාදී ලෙස කෙලින් ප්‍රකාශ කරන කෙනෙකි.

ප්‍රශ්නය ඇතිවූයේ ඉහත කී  කණ්ඩායම අතිශය පුද්ගලික ලෙස හා අපහාසාත්මක ලෙස මට පහර දීමයි.  විසුළු සහගත  වූයේ එම පහරදීම් මධ්‍යයේ වුවද ඒවා යුඇන්පී මාධ්‍ය මෙහෙවරට විරුද්ධව කෙරෙන්නක් මිස මට විරුද්ධව නොවන බව කියමින් එක්තරා නීතිඥ මහතෙකු හරහා පණිවුඩ එවීමටද මේ කණ්ඩායමේ මඩ නයුවා කටයුතු කිරීමයි. මට එරෙහිව  මේ පහරදීම් චන්දිම  විතානආරච්චි මහතා ගණන් ගත්තේ නැත. කුප්‍රසිද්ධියත් හොඳ බව ඔහු තර්ක දමමින් පැහැදිලි කළේය. මේ විවේචන කණ්ඩායමට පෙරටුගාමී සමාජවාදී පක්ෂයට සම්බන්ධ  බ්ලොග් ලියන්නෙකුද එක්  වුනු අතර එහිදී කෝප සහගත බවක් මා මවා  පෑවේ ඕනෑ කමිනි. කොටින්ම  ගෝඨා ගෙන ඒමේ ව්‍යාපෘතියට පෙරටුගාමී සමාජවාදී සහය ලැබෙන්නේ නම් එසේ වන්නේ ඔවුන් ගේ ඇති රනිල්ට විරුද්ධ භාවය නිසා බව දන්නා බැවිනි. රනිල් ගේ "බටලන්දේ භූමිකාව " මේ හැමෝම ඉස්මතු  කරන්නේද මේ නිසාය. දෙමළ  ප්‍රශ්නය කුමාර් ගුණරත්නම් ද මග හරින නිසා මේ සුසංයෝගය පෑහෙන බව පෙනී යයි. නොඑසේ නම් ලලිත් කුමාර් වීරරාජ් හා කුගන් මුරුගානන්දන් අතුරුදහන් වුයේ මොන ආණ්ඩු කාලයේද යන්න  කුමාර් ගුණරත්නම් නිදහස් කල පසු ඔවුන්ට අමතකවී යන්නට ඇත.

මේ අන්දමින් තත්වය පැහැදිලි ලෙසම වෙනස් වූයේ චන්දිම විතානාරච්චි එල්ල කරමින් කළ පහරදීම් නිසාය. මංජුල සමරසේකර නොදන්නා කරුණක් නම් චන්දිම විතාන ආරච්චි පළමු  බ්ලොග් සම්මාන උළෙලේ පටන්ම තිරය  පිටුපස සිටි බවයි.

ඔහුගේ ලංකානිව්ස්වෙබ් හි  නෙළුම් යාය කොටසට ජනප්‍රිය  බ්ලොග් ලිපි හා නිසඳැස් ආදිය  එකතු කිරීමට මා  කල යෝජනාව ඔහු පිළිගත්තේ 2014 පමණ කාලයේය. එවකටද නෙළුම් යාය නම් අංගයක් ලංකානිව්ස්වෙබ් හි තිබුණි. ප්‍රථම සම්මාන උළෙල පැවැත්වීමට කරු පරණවිතාන හරහා ශාලාව සොයා දුන්නේද සමරු  සඟරාවේ දැන්වීම් වලට යහළුවන්ගේ ව්‍යාපාර හරහා මුදල් සොයාගෙන උළෙලේ වියදම් පියවූයේ ද චන්දිමය. මෙහිදී අපේ පෞද්ගලික මුදල්ද වැයවූ නමුත් පොදු කාර්යයක් හා කැමැත්තෙන් කළ දෙයක් නිසා ඒ ගැන අපි කතා නොකෙලෙමු.

පළමු සම්මාන උළෙලෙන්  පසු කියවන බ්ලොග් සංඛ්‍යාව වැඩිවූ හෙයින් ලංකා නිව්ස්වෙබ් හි නෙළුම් යාය අංශයේ ඉඩකඩ මද විය. මේ නිසා නෙළුම් යාය නමින් වෙබ් අඩවියක් ඇතිකර ජනප්‍රිය බ්ලොග් ලිපි ඒවායේ පළ කිරීමට අප දෙදෙනා සාකච්චා කොට තීරණය කළෙමු. මේ නිසා දෙවෙනි සම්මාන උළෙලද පැවැත් වීමට  හා බ්ලොග් සංසදයක් පිහිටුවීමටද තීරණය කෙළෙමු. මගේ වියදමින් බ්ලොග්පවර් නම් වූ වෙබ් අඩවිය ලියාපදිංචි කළේද ඒ අනුවය.

මේ කාලයේදී චන්දිම විතාන ආරච්චි මහතාට ඇති රතු වරෙන්තුව ගැන නීතිඥ මහතෙකු ඇතුළු කිහිප දෙනෙක්ම මා  දැනුවත් කළහ. ඔහුගෙන් ඒ ගැන අසා බැලූ  විට පෙනී ගියේ ඔහු එංගලන්තයේ සිටින තුරු අත් අඩංගුවට ගැනීමක්  නොකෙරෙන බව හා ඔහු ගේ නිව්ස්වෙබ් අඩවියද  ශ්‍රී ලංකාවේ  තහනම් කර ඇති බවයි. ලංකානිව්ස්වෙබ් හි තහනම ඉවත් කරන ලද්දේ  පසුවය. ඔහුගේ රතු වරෙන්තුව දේශපාලන පලි ගැනීමක් යන්න  මගේ අදහස විය.  ඔහු ලන්ඩනයේදී හමුවුණු නොයෙකුත් දේශපාලන පක්ෂ නායකයන් මෙන්ම සිවිල් සංවිධාන වල ලොක්කන් ගැනද මා  දැන සිටි අතර මේ නිසාම ඔය කියන වරෙන්තුව දේශපාලනික එකක් බව නිගමනය කලෙමි. නොඑසේ නම් මේ වරදකාරයා හමුවන්නට මේ දේශපාලන නායකයන්ට ලොකු උවමනාවක් තිබුනා විය හැකිය.

එසේම ලංකානිව්ස්වෙබ් අඩවියට නොයෙකුත් වාමාංශික දේශපාලන පක්ෂ වල නිවේදන, ලිපි ආදිය  ලැබෙන අතර චන්දිම විසින් මේවා නොකඩවා පළ කරන ලදී. මංජුල සමරසේකරට, ඔහු නියෝජනය කරන ජවිපෙ ට හෝ හෙන්රි වර්ණකුලසුරියට ඒ කාලයේ චන්දිම ගේ ප්‍රශ්නයක් තිබුනේ නැත.

කරු පරණවිතාන පළමු හා දෙවන  සම්මාන උළෙලට සහභාගී වුයේ ශාලාව ලබා දීමෙන් උදව් කිරීම  නිසා මෙන්ම බ්ලොග්කරුවෙකුද නිසාවෙනි. කරු ජයසුරිය සහභාගී වූයේ තොරතුරු දැන  ගැනීමේ පනත ගැන බ්ලොග්කරුවන් මෙන්ම ජනතාවටද කරුණු පැහැදිලි කිරීමට අපගේ සහය දිය යුතු යයි තීරණය කළ නිසාය. එසේම ඔහු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකද වේ.

තෙවෙනි සම්මාන උළෙලට ඉහත  කී කිසිවෙක් සහභාගී කර නොගැනීමට තීරණය වුනු අතර මහවැලි කේන්ද්‍රය ශාලාව වෙනුවෙන් මුදල් ගෙවීමටද මම සූදානම් වී සිටියෙමි.  ඒ දෙවෙනි උළෙලින්  පසු සම්මාන උළෙලකට  යාමට මගේ අදහසක් නොතිබූ නිසාය. මේ තීරණය වෙනත් පුද්ගලික හේතූන් මත ඉතා කලින් ගත්  එකකි. අප බ්ලොග් කරුවන් තිස් දෙනෙකු පමණ සමග කතා කරමින් සිටියත් එක් අයෙකු හැර ඒ කිසිවෙක් මුදලින් දායක වීමට උනන්දු වූයේද නැත. ඒ බ්ලොග්කරුවා නැවත  වතාවක් නිර්නාමිකව සම්මාන  මුදල් ප්‍රදානය කිරීමට  එකඟවී තිබුණි. ගිය වර සේම සමරු කලාපයට ලැබිය හැකි වෙළඳ දැන්වීම්  තුලින් ඉතිරි මුදල් සපයාගෙන සම්මාන ආදිය පිළියෙළ  කරන බව  චන්දිම දැන්වීය. මට දැන්වූ පරිදි මේ ක්‍රමය ගියවර එතරම් සාර්ථක නොවුයේ දැන්වීම් මුද්‍රණය කල පසු අදාල සමාගම් මුදල් නොගෙවූ බැවිනි. ඒ එසේ වුවද චන්දිම ඒ වගකීම භාර ගන්නා බැවින් මගේ කටයුත්ත වූයේ අනිකුත් විනිශ්චය මණ්ඩල සාමාජිකයන් සමග බ්ලොග් තේරීමයි.

මෙසේ  මහවැලි කේන්ද්‍රයේ උළෙල පවත්වන්නට සියලු විධි විධාන සලසමින් යද්දී එය බත්තර මුල්ලේ වෝටර්ස් එජ් හි පවත්වන බව ලංකානිව්ස්වෙබ් අඩවියේ ප්‍රධාන විධායක චන්දිම විතාන ආරච්චි විසින් දන්වන ලදී.  ඒ සඳහා දායකත්වය ලැබෙන නිසා මවිසින් ශාලාව සඳහා මුදල් වියදම් කිරීම අනවශ්‍ය බවද චන්දිම දැන්වීය.  මූලික  වටයේ බ්ලොග් තෝරා ගැනීම අටම් හෙවත් ලක්මාල් ගේ සහයෙන් කළ  නිසා මා  කලේ වහාම ලංකාවට යාමට ගුවන් ටිකට් පතක් මිලදී ගැනීමයි. (මුල් වතාවේ මෙන් දෙවෙනි හා තෙවැනි වතාවල  එයා මයිල් ලැබුනේ නැත). කරු ජයසූරිය මහතාට නැවත  ආරාධනා කරන බව මේ වන විට මා දැන සිටි අතර ඔහුගෙන් සම්මාන ගැනීමට බ්ලොග් කරුවන්ගේ විරුද්ධත්වයක් නැතිනම් මා එය ප්‍රශ්නයක් කර නොගන්නා  බව දැනුම් දුනිමි.

රාජිත ඇමතිවරයාට ආරාධනා කිරීම  සිදු වුයේ මේ අතරවාරයේදීය. එනිසා සංවිධායක වරු රාජිත ඇමතිවරයාට ආරාධනා කල බව මා  දැනගත්තේද පමා වෙලාය . නමුත් මා එය ප්‍රශ්නයක් කර ගැනීමට සිතුවේ නැත. ඒ වනවිට මා කාර්යාලයෙන් නිවාඩුද අනුමත කරවාගෙන තිබුණි.  අප විසින් බ්ලොග් තේරීම් සඳහා  කියවීම් රාශියක් කල හෙයින් ඒ දිනවල පැමිණෙන අමුත්තන් කවුද යන්න ගැනද  එතරම් තැකීමක් නොකළෙමි. එයට  හේතුව මෙවර නෙළුම් යාය පදනමින් සියලු  සංවිධාන කටයුතු කළ නිසාය.   මාත්  සුමිත් කලණසිරි  මහතාත් සංවිධාන කටයුතු වලින් මුලදීම ඉවත් වුනෙමු. මවිසින් චන්දිම හා සාකච්චා කොට එක්කල එකම අංගය වූයේ තරුරසී  හරහා සම්බන්ධීකරණය කළ "ධර්මිෂ්ඨ සමාජය " නම් නාට්‍යයයි.

හෙන්රි වර්ණකුලසුරිය දෙවෙනි සම්මාන උළෙල විවේචනය කළේ එය පාසැල් උළෙලක් හා සම කරමිනි. එය සංවිධානය කලේ තනිකරම බ්ලොග් කරුවන් එකිනෙකා සමග ඊමේල් වලින් අදහස් හුවමාරු කර ගනිමින්ය. බොහෝ අය ජිවත් වූයේ එක ළඟ ද නොවේ. එය පාසල් උළෙලෙකට  සමකල හෙන්රි තෙවැනි උළෙලට විරුද්ධ වන්නේ දෙවැනි උළෙල හොඳ බව කියමිනි. මේ නම් දිව දෙකේ කතාවකි. ඔහුට අනුව ප්‍රා ඝාතක රැල්ලේ ප්‍රා-ජිත ගෙන්වීම වැරැද්දකි . චන්දිම විතානාරච්චි රාජිත "නූතන  සේනක බිබිලේ " ලෙස නම් කලේ ඔහුට අනුව රාජිත  ඖෂධ සමාගම් සමග සටන් කරන හෙයිනි. (මේ ගැන පසු දවසක ලියමි) ජවිපෙ හිතැති මංජුලට මේ දෙකම ප්‍රශ්නයකි.

රාජිත ඝාතකයෙක් නම් හෙන්රි හා මන්ජුලලා කවුරුන්ද?  ජයවර්ධන මහතාගේ එජාප ආණ්ඩුව ජවිපෙ තහනම් කර රහසිගත  දේශපාලනයකට යොමු කිරීමම බලවත් වරදක් බව පිළි ගනිමි. නොඑසේ නම් විජේවීර ජවිපෙ තවත් පාර්ලිමේන්තුවාදී පක්ෂයක් කරන සළකුණු පෙනෙන්නට තිබුණි. එය එසේ වුවද දයා පතිරණ නම් ස්වාධින ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා මරා දමමින් ඝාතන රැල්ලක් පටන් ගැනීමේ අපවාදයෙන් බේරීමට ඔවුන්ට හැකිද? දයා  පතිරණ ඝාතනය ගැන අක්ෂය බ්ලොග් අඩවිය මෑත කාලයේ ලියු ලිපියක් මෙහි ඇත. මේ ඝාතන රැල්ල  ඉන්පසු එජාප ලේකම් වරයාගේ සිට වෙනත් එජාප දේශපාලකයන් දක්වාද පැරණි වමේ දේශපාලකයන් දක්වාද විහිදුනි. තමන් හැරගිය නන්දන මාරසිංහ වැනි ජවිපෙ හිටපු සාමාජිකයන් පොලිස් ඔත්තුකරුවන් ලෙස නම් කර මරා දැමීමද සිදුවුණි.  එජාප රජය සාර්ථක ලෙස තම ඝාතන රැල්ල දියත් කලේ මින් පසුවය. කමල් ධර්මසිරි ප්‍රමුඛ කොට  ප්‍රා බිහි වුනේද  ස්වාධින ශිෂ්‍ය සංගමයේ  සාමාජිකයන් මරා දැමූ තත්වයක් තුලය. මේ අනුව මේ එක ඝාතක කණ්ඩායමක් තවත් ඝාතක කණ්ඩායමකට කරන චෝදනාවක් නොවේද? (මෙහිදී සිදුවූ බොහෝ තරුණ ඝාතන ගැන අවතක්සේරුවක් නොකරමි. මේ ලිපිය බලන්න.)

අනිත් චෝදනාව එන්නේ මහින්ද-ගෝඨා ට සහය දෙන  කණ්ඩායමෙනි. ලංකානිව්ස්වෙබ් බොහෝවිට පෙනී සිටියේ යුද්ධය ජාතිවාදී ස්වරූපයෙන් ගෙන යන්නක් නිසා එය නවතා සාකච්චා කළ යුතුය යන අදහසේය. මේ නිසා මෙම වෙබ් අඩවිය මහින්ද-ගෝඨා රජයේ යුද ක්‍රියාකාරකම් තදින් විවේචනය කල අතර ලසන්ත වික්‍රමතුංග ඝාතනය ආදියද මේ වෙබ් අඩවියේ තදින් විවේචනය විය.  වෙබ් අඩවිය තහනම් වුයේද ඒ අනුවය. ඔවුනට මෙන්ම  ඇතැම් දෙමළ ඩයස්පෝරා වැසියන්ටද  අනුව 2009 අවසන් වූ යුද්ධය මනුෂ්‍ය ඝාතන රැල්ලක් තුලින් සිදු වුවකි. කොටි සංවිධානය මෙන්ම රජයද එම ඝාතන  රැල්ලේ සාමාජිකයන්ය.

කුමාර් ගුණරත්නම් ප්‍රමුඛ පෙරටුගාමී සමාජවාදී ලෙස කැඩී ගිය කොටසද ජවිපෙ තුල මේ ජන ඝාතක යුද්ධයට සහය දෙමින් සිටියහ.  සත් හඬේ ලිපි වලින් තමන් ජාතිවාදියකු නොවේ යයි විලාප දෙන හෙන්රි වර්ණකුලසුරිය මෙන්ම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ඇත්තන්ටද , ජවිපෙට ද  මිනීමරු කොටි සංවිධානයට එරෙහි වූ යුද්ධය ශුද්ධ යුද්ධයකි. (මමද ඒ කාලයේ සිටියේ යුද්ධය පැත්තේ බව කණගාටුවෙන් යුතුව වුවද පිළි ගනිමි. එසේ කලේ  කොටි සංවිධානය අවසන් සාම සාකච්චා වටද  පයින් ගැසූ කල ඔවුන් මැඩීමට  වෙන ක්‍රමයක් නොමැතිය යන හැඟීමෙනි. එසේම චැනල් 4 නාලිකාවට විරුද්ධව ලන්ඩනයේ කළ උද්ඝෝෂණ වලටද සහභාගී වූවෙක්මි. නමුත් එම යුද්ධය විශාල මනුෂ්‍ය ඝාතනයකින් නිමවූ බවත්  යුධ අපරාධ සිදු වුනි නම් ශ්‍රී ලංකාව ඒවා විභාග කළ යුතු බවත් පිළි ගන්නා ස්ථාවරයක සිටිමි.)

රාජිත සේනාරත්න ඇමතිවරයා විජය කුමාරතුංග ගේ මහජන පක්ෂයේ  සිටි කාලයේ සිටම ජාතිවාදයට විරුද්ධ වූ අයෙකි. දයා  පතිරණ වනාහි ජවිපෙට හා කුමාර් ගුණරත්නම් ලාට ඇකැප ද්‍රවිඩ ස්වයං නිර්ණය වෙනුවෙන් කෙලින්ම පෙනී සිටි අයෙකි. ජනපති මෛත්‍රීපාල සිරිසේන ගේ "යුගයේ කාර්යභාරය" ඔහු "ඉපදුනු" ශ්‍රීලනිපය බේරා ගැනීම මිස රට පාලනය නොවේ. පෙනෙන විධිහට අග්‍රාමාත්‍ය රනිල් විකුම්සිහ මහතා තැත් කරන්නේද ඔපමණ චෝදනා කළ ගිය ආණ්ඩුවේ ලොක්කන් හිරේ නොදමා තම ආණ්ඩුවේ ඇමතියන්ටද  ගසා  කෑමේ වරම් දී කොහොමින් හරි 2020 වෙනතුරු ආණ්ඩුව ඇද ගෙන යාමටය.

මෙනිසා තෙවන බ්ලොග් සම්මාන උළෙල තුලින් මතුවුයේ මෙන්න මේ දේශපාලන බලවේගයන් ගේ හැසිරීමය. ජවිපෙ කට්ටිය දඟලන්නේ  ගෝඨා පැත්තට යනවාද ස්වාධීනව සිටිනවාද කියාය. බොහෝ විට මේ ප්‍රශ්නය මත අනුර කුමාර එක පැත්තකටත් තවත් කට්ටියක් තව පැත්තකටත් ගොස් ජවිපෙ නැවතත් බෙදී යනු ඇත. පසු ගියදා ජවිපෙ  ලාල් කාන්ත විමල් විරවංශ  ගැන අනුකම්පාව පළ කරමින් ප්‍රකාශයක් කළේත් එය බුකියේ ෂෙයාර් වෙද්දී ඇතැම් පෙරටුගාමී සමාජවාදී පාක්ෂිකයන් බුකියේ ලයික් දමන්නේත් මේ නිසා විය යුතුය. විමල් නමැති පහළ පන්තියෙන් ආ එකා මේ ධනවාදී ආණ්ඩුව හිරේ දමමින් "නොසලකද්දී "  මහින්ද ඇතුළු කුමාරයන්   නිදැල්ලේ සිටින බවට  පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ බ්ලොග් කරුවෙක් මතයක්ද පල කර තිබුණි දුටිමි. දැඩි ස්ටලින්වාදී කුමාර ගුණරත්නම් කිසි විටෙකත් දෙමළ  ජාතියේ ස්වයං නිර්ණය පිලි ගන්නේ වත් ඔවුන්ට බලයක් දීමට වත් තම පක්ෂය මෙහෙයවන්නේවත්  නැත.

සම ලිංගිකයන්ට   බෙහෙත් දීමට තතනන වෛද්‍යවරු සිටින ජවිපෙ එතනට කොහෙත්ම යන්නේ නැත. ස්වයං නිර්ණය කෙසේ වෙතත් කිසිම බලයක් දෙමළුන්ට ලැබෙනවාට  මේ හැමෝම විරුද්ධව ක්‍රියා කරනු ඇත. එසේම බුකියේ දැක්වෙන පරිදි එළඹෙන මුස්ලිම් ආක්‍රමණයට  මුහුණ දීමට ට්‍රම්පච්චි වැනි ඒකාධිපති නායකයෙකු අවශ්‍යය.  මොවුනට අනුව එම සුදුසුකම් ඇත්තේ ගෝඨාභය රාජපක්ෂට පමණි. එල්ලෙන්නට වැලක් නැතිව සිටින නිර්මාල් දේවසිරි මහතාද  ගෝඨාභය පත් කිරීමේ ප්‍රොජෙක්ට් එකේ සිටින්නේ එවැනි ඒකාධිපතියෙකු බලයට පත්වූ පසු සමාජවාදී විප්ලවය ඉක්මනින් ම වේ යයි සිතා ගෙන විය යුතුය.
සම්මාන උළෙලේ ඔපෙරාව 

මේ නිසා චන්දිම විතානාරච්චි ට දැනට මේ ගෝඨා ප්‍රොජෙක්ට් එකට එරෙහිව ගෙන ආ හැකි එකම ඇමතිවරයා රාජිත සේනාරත්නය. ඔහු කළේ එයයි. ඔහුට විරුද්ධව චෝදනා එන්නේද ඒකාබද්ධ විපක්ෂයේ බ්ලොග් කණ්ඩායම - ජවිපෙ , පෙසප කලබලවී දඟලන්නේද එනිසාය. කොටින්ම  සම්මාන උළෙල දේශපාලන පාපන්දුවක් බවට යම් විධිකින්  පත්වූවා නම් එසේ වූයේ ශ්‍රී ලංකාවේ දේශපාලන බලවේගයන්ගේ හැසිරීමෙන් වියුක්ත වන්නට බ්ලොග් කරුවන්ටද සංවිධායකයන් ටද  නොහැකි වූ නිසාය.

රාජිත සේනාරත්න මහතා සමග සම්මාන දෙන්නට කිසිවෙක් සිටියේ නැති අතර නෙළුම් යාය  සංස්කාරක වශයෙන් මම එය භාර ගතිමි.  හෙන්රි වර්ණකුලසුරිය සමග ලංකානිව්ස්වෙබ් එකේ රැකියාව කරන  ජවිපෙ / පෙරටුගාමී සමාජවාදී එකෙන් ආ අපේ  සගයෝද සුළුදිය පහ කරන්නටදෝ මන්දා එලියට ගිය බව කියති. මා එවැන්නක් නිරීක්ෂණය නොකළ මුත් එවැන්නක් වී තිබේ.

හැබැයි ඒ අතින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා නම් සාඩම්බරයෙන් හිස කෙලින් කරගෙන ඇමතිවරුන් අතර වාඩිවී සිටිය පමණක් නොව තම දේශනයද කළේය.  ඔහුගේ ඇතැම් නෑදෑයින් අප්‍රේල් කැරැල්ලටද  හසුවී සිරගතව දඬුවම් ද විඳි අයයි.  සම්මාන උළෙලකට  දේශපාලකයන් සිටියාට එහි ගරුත්වයට හානියක් සිදු නොවන බව ඔහු පෙන්වා දුන්නේ එසේය.

 රාජිත මහතා දුන් එක සම්මානයක වීඩියෝ හදුන්වා  දීමේදී රනිල් හාමු   යන බ්ලොග් ලිපියද රිවිහාර පින්නදුව ගේ අප තෝරා ගත්  සයිටම් ජාතිවාදියෝ ලිපියද විය. රාජිත පැමිණියා  කියා අප ඒවා වෙනස් නොකෙලෙමු. එම බ්ලොග්කරුවන් සම්මාන  ගැනීමට නොපැමිණියා කියා ඒවා ඉවත් කිරීමක්ද  නොකෙලෙමු.  විනිශ්චය මණ්ඩලයේ බොහෝ අය සයිටම් ප්‍රශ්නයේදී අන්තරයේ ස්ථාවරයට විරුද්ධ අයයි. නමුත් ලිපි තෝරා ගැනීමේදී අප ඒ බව නොසලකා හැරියෙමු.

බ්ලොග් යනු ස්වාධින මාධ්‍යයක් වන අතර කිසිම දේශපාලන මතවාදයකට , පක්ෂයකට තනි අයිතියක් නොගත හැකි තැනකි. කිසියම් බ්ලොග් කරුවෙක් හඳුනාගෙන තර්ජනයක් එල්ල වන්නේ නම් ඔහුට හෝ ඇයට එය අතහැර වෙනත් බ්ලොග් අඩවියක් නිර්මාණය කර ගැනීම හා ලියන ශෛලිය වෙනස් කර ගැනීම ඉතා සුළු දෙයකි. දේශපාලකයන් නිසා ස්වාධිනත්වය අහිමි වීමේ චෝදනාව ඒ ගැන නොදන්නා  අයගේ බොළඳ කතාවකි.  මේ නිසා දේශපාලකයන් සහභාගී වුවද මේ සම්මාන උළෙල බොහෝ පැතිවලින් සාර්ථක බව ඇතිවූ සංවාද වලින් පැහැදිලිය.

බ්ලොග් සම්මාන උළෙල  හතරවන වරටත් පවත්වන බව නෙළුම් යාය පදනම ඊයේ මට දැන්වීය. හතර වැනි වර ගෙන්වන්නේ තමන් පටිසෝතඝාමි යයි නොදෙසන එහෙත් ඉතා පටිසෝතඝාමි, ජනප්‍රියවාදය මත පදනම්ව තම මතය කිසිදා වෙනස් නොකළ, චෝදනා නැති, බලයේ සිට නැති දේශපාලනඥයකු  බව ද ඔවුන් දන්වා තිබේ. වෝටර්ස් එජ් නොව බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ගැනීමටද යෝජනා කර තිබේ. දේශපාලන පාපන්දුවක් බවට පත්වීමේ අවදානම ඇති නිසා එයට සහභාගී වීමේ තීරණයක් තවම මා ගෙන නැත. කොන්දේසි සහිතව පමණක් සහභාගී විය හැකි බව සුමිත් කලණසිරි මහතා මිට කලින් දන්වා  තිබේ.

"ධර්මිෂ්ඨ සමාජය " නාට්‍යයේ කියවෙන්නේ නිදහසේ බස් නැවතුමක සිටින තරුණයෙකු "ත්‍රස්තවාදියෙකු " කර දඬුවම් කරන ගෝත්‍රික සමාජයක් ගැන කතාවකි. එය රඟපාද්දී කෑම ගැනීම සඳහා  බ්ලොග් කරුවන් ඇතුළු පිරිස එලියට දිව ගිය අතර ඇතුලේ සිටියේ අප කිහිප දෙනෙක්  පමණි. ලොකුම විහිළුව එම නාට්‍යය පෙන්වීමේදී සිදුවූ අසාධාරණය  ගැන බුකියේ පලවූ ලිපියකට ලයික් දමන්නේත් ඒ ගැන ඔජ වඩවමින් සම්මාන උළෙලේ අසාර්ථක භාවය ගැන කියන්නේත් ඉහත කී " ගෝඨා කණ්ඩායම" වීමයි. සමහර විට නාට්‍යය හරියට බැලුවා  නම් එවැන්නක්  නොකියනු ඇත.

පෙන්වද්දී සෙනග විසිර ගිය ජූඩ් වසන්ත ක්ලෝඩියස් ගේ "ධර්මිෂ්ඨ සමාජයක්" නාට්‍යයේ වදන් පෙලකින් ලිපිය සමාප්ත කරමි.
"ධර්මිෂ්ඨ සමාජය " නාට්‍යයේ අවස්ථාවක් (පින්තුරය මා ගත්  එකකි)

ධර්මදාස: පොඩ්ඩක් ඉන්නවා. මං මෙතෙන්ට එනකොට තමුසේ ඇපල් ගෙඩියක් කකා  හිටියේ.
තරුණයා: ඔව්. ඉතින් දැන් ඒකත්  වැරදිද?

රත්නායක: මුගේ අම්මට .. මූ ඇපල් කකාද හිටියේ? යකෝ මේ රටේ මෙච්චර දුප්පත් මිනිස්සු එකේ වේලක් කන්න නැතුව දුක් විඳිනවා. තෝ මෙතන ඇපල් කනවා. 

ප්‍රනාන්දු: බස් වල සින්දු කියන එකෙක් කොහොමද ඕයි ඇපල් කන්නේ?

ධර්මදාස: මු ෂුවර් එකට ඔය ඇන් ජි ඕ එකකින් සල්ලි අරගෙන මේ රටට කෙළවන බල්ලෙක්....
..............................
රත්නායක: (තරුණයාට පහර දෙයි) මුගේ කට වැඩියි බල්ලා.

ධර්මදාස : සහතික ඇත්ත රත්නායක මහත්තයා. මේ රටට කෙළවෙලා තියෙන්නේ මේ වගේ අවජාතක බල්ලෝ නිසා.

තරුණයා: ඔව් ඔව්  දැන් තනි මමයි මේ රට කාල තියෙන්නේ... මේ රටේ දෙකෝටි අනුනම ලක්ෂ අනූනවදාස් අනූනවයක්  තමුසෙලා මුනිවරු, ශාන්තුවරු, බෝධිසත්වයෝ, දේශප්‍රේමියෝ. මේ මම තමයි රට කෑවේ ..........


(පිරිස තරුණයාට පහර දෙයි)


ප.ලි. - ගෝඨාගමනය ගැන දෙසැම්බර් මාසයේ ලියූ  ලිපියක් 






Sunday 26 March 2017

නෙළුම් යාය බ්ලොග් සම්මාන 2016 වසර සම්මාන ලාභීන්

එක වරක් පමණක් පිරිනැමෙන නෙළුම් යාය විශේෂ සම්මානය 2016 - අසමි දකිමි සොයමි | විචාරක

​​හොඳම සිංහල බ්ලොගය
- ප්‍රථම ස්ථානය - නිදහස් සිතුවිලි | රවී වීරසිංහ සහ රන්දිකා රණවීර ප්‍රනාන්දු
- දෙවන ස්ථානය - යාං හෑල්ල | සුරංග ලියනගේ සහ සොඳුරු සිත | සොඳුරු සිත
- තෙවන ස්ථානය - ඉකොනොමැට්ටාගේ බොජුන්හල | ඉකොනොමැට්ටා
- හතරවන ස්ථානය - Transylvania | රුවන් එම්. ජයතුංග
- පස්වන ස්ථානය -අනිත් කොන | බෝධිනී සමරතුංග

හොඳම ඉංග්‍රීසි බ්ලොගය
Subha Wijesiriwardena | සුභා විජේසිරිවර්ධන

හොඳම දෙමළ බ්ලොගය 
රාජ් සුගා 

1. අතීතකාම
අප්පච්චිගේ වී මෝල | පොකුරු වැහි | වත්සලා විජයලත්
අපේ ගෙදර ආ මහගම සේකර | තිලකසිත | තිලකසිරි ඒකනායක
මගේ සැන්ටා ක්ලෝස් | කොළොම්පුරේ | අසංග රණසිංහ ආරච්චි

2. අධ්‍යාපනික
අම්මෙක් උනාම එහෙම ද? පසු ප්‍රසව විෂාධිය | අනිත් කොන | බෝධිනී සමරතුංග
පාසල් විෂය නිර්දේශයේ මහා හිඩැස බ්ලූ ෆිල්ම් වලින් පුරවමුද? | කැලේ පිපුණු මල් | වත්සලා විජේරත්න
ලොව නොදකින දෑසක්, ලොව දැකීම | අහසෙන් එන්න | සත්‍යා නිර්මාණි 



3. ඉතිහාසය
හේවිසි හොරණෑ හඬ නැගෙන කතෝලික පුදබිම - වහකෝට්ටේ ශාන්ත අන්තෝනි දෙව්මැදුර | දසත සැරිසර
ගුවනින් ආ බුලර්ස් පාරේ ළමා පිටිය | කොළොම්පුරේ | අසංග රණසිංහ ආරච්චි
කුකුළාගේ ණය ගෙවාදමන්න | වාසිතය | ඩියෝන් මිතිල ප්‍රනාන්දු

4. කාලින සංවාද
ගූගල් සෙක්ස් කප් ගැසීමේ ඇත්ත කතාව | රෝමාන්තික රස්තියාදුකරයා
මරේ වත්තේ හෝටලේ සිරිපාදේට | අන්සතු දිනපොත
පොත් කියවීම සහ පොත් ඇහීම | පුංචි කැකුළු මල් | තුශානි


5. කෙටි කථා
හාදුවක් | අකුරු | බීට්ල්
ඉරාජ්ගේ සින්දුව - ඉතිහාස විපරම | නයියාගේ නයි | දසුන් සිල්වා
ඒකිත් ගෑණියක් | වැව් ඉස්මත්ත

6. දේශපාලන
මෛත්‍රී කතාවෙන් වැළපී වැනසෙමුද | උඩුවාගේ සටහන් | තරිඳු උඩුවරගෙදර
සෝමවංස මැරුණේ නැත | සුදු කුකුළා | ප්‍රේමලාල් රණවීරගේ
සයිටම් ජාතිවාදියෝ | සිත් අහසට අතවනයි ස්පාටකස් | රිවිහාර පින්නදූව


7. පරිවර්තන
ගොවිපලේදී | ඇවිද්ද පය | සුදීක
ෆ්ලොස් නදිය අසබඩ | සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත
පිරුණු කළය සහ පිපිරුණු කළය | නිදහස් සිතුවිලි | රන්දිකා රණවීර ප්‍රනාන්දු

8. ප්‍රහසන
දඩ උපහාර ගීතය | 
නිල්පාට තට්ටම් | හිස් අහස | චින්තක සඳරුවන්
ශ්‍රීමත් ජෝන් කොතලාවලගේ සිට ශ්‍රීමත් මදන මෝදකය දක්වා | කුරහන් හේන | කුරහන් හේනේ මල් මල්ලී



9. බ්ලොග් නවකතා
අමුතු කතාවක් | අහසෙන් එන්න | කසුන්
වාදී ස්වර සංධ්‍වනි | අම්බලංගොඩ කතා
නිර්සත්වයෝ | සුදු පූසාගේ අඩවිය | සුදු පූසා

10. විද්‍යා ප්‍රබන්ධ
ගිණි වලල්ල | විද්‍යා ගවේෂණ | ටෙරන්ස් කහපොල ආරච්චි
නිකෝ | බස්සිගේ නවාතැන | යශෝධා සම්මානි


11. විද්‍යා හා තාක්ෂණ
පරිසර සංරක්ෂණයේ මිත්‍යාව | පෙනෙන නොපෙනෙන | නදීර විජේසිංහ 
සංනිවේදනය හා ආධුනික ගුවන් විදුලිය (Amateur radio) කොටස් 1-23 දක්වා | The Tech Croach Cyber | Tek Croach
ජනපති මැදුරේ ඔත්තුබැලූ අතිං කයිට් | මම කොයි වගේද?


12. විවිධාංග
ක්ලැසික් කාර් ප්‍රොජෙක්ට් එකක් නාගන්නේ කෙසේද | කාර් පිස්සුව | තරිඳු ශ්‍රී ලොකුගමගේ
ලාබයි... ලාබයි ... වාලම්පුරි ලාබයි | සජ්ජාගේ පඩංගුව
මං ආදරෙයි ලැපී | හරීගේ හීනලන්තය


13. සංගීතය
රොක් සංගීතයේ ඉතිහාසය | දම්පාට දේදුන්න | ජීවන ප්‍රනාන්දු 
කේමදාසයන්ගෙන් අමරදේවයන්ට 1-4 කොටස් | යසනාත් සිතුවිලි | යසනාත් ධම්මික බණ්ඩාර
මේ අපේ අම්මාය | දුකා | සුභාෂ් ගුණවර්ධන

14. සංචාරක හා ඡායාරූප
එල්ජින් ඇල්ල සොයා රේල්පාර දිගේ | තෙවැනි ඇස දුටු සොබා රූ | දිල්ශාන් දිසානායක
කොළපතන ඇල්ල සොයා ගිය චාරිකාව | සමකය වටේ | නලීන් දිල්රුක්ෂ
බෝර්නියෝ සංචාරය, කිනබලු කන්ද, පැරා සේලින් සහ දිය යට ෆොටෝ | බිත්තිය | පැතුම් හේරත්


15. සඳැස් / නිසඳැස් හයිකු හා කෙටි කවි
පොවා උන්ට වස මැරෙන්නට මට හිතුණෙ නැතිවිට නිදහසක් | දුමී | දුමින්ද අබේසේකර
නගර සෝභිනියක ස්නේහය | වැව් ඉස්මත්ත
නුඹේ ලස්සන තවත් නුඹේ සිත මාත් සිටියොත් තමා | කටුසු හදවත
ආණ්ඩුවේ කන්තෝරුවෙ මැතිඳුන්ට | විසිරි සිහින | කිත්මා වසනා දහනායක

16. සාහිත්‍ය කලා විචාර
සිරිල් සී. පෙරාරේ : පරිවර්තන සාහිත්‍ය වංශයේ ස්වර්ණමය පරිච්ඡේදයක නිමාව | පාඨයකාගේ පිටුව | ප්‍රභාත් චින්තක මීගොඩගේ
යථාර්ථයෙන් ඔබ්බට දැකිය යුතු මොහාන් රාජ් මඩවලගේ නවකථා කලාව | Iranga.net | සුරෝෂන ඉරංග
ෆ්‍රැන්ජිපානි ඇවිත්! දැන් සටන් කරමු | උඩුවාගේ සටහන් | තරිඳු උඩුවරගෙදර







ඩියෝන් මිතිල ප්‍රනාන්දුගේ වාසිතය බ්ලොග් අඩවිය: මේ බ්ලොග් අඩවියේ ලිපි මුලාශ්‍ර නොදෙන වෙනත් අයගෙන් කොපි ඇන්ඩ් පේස්ට් කරන වර්ගයේ බ්ලොගයක් යයි චෝදනාවක් ලැබුණි. මේ නිසා අපි ඔහුගේ ලිපි ඉවත් කර සොයා බැලුවෙමු. ඔහු 2017 ලියූ ලිපියක් ඉදිරිපත් කර තිබූ නිසා එය ඉවත් කළෙමු. තවත් ලිපියක් මුලාශ්‍ර නොමැති නිසා ඉවත් කළෙමු. ඉතිහාස අංශයේ තෙවන ස්ථානයට තේරුවේ ඔහුගේ තවත් ලිපියකි. එහි මුලාශ්‍ර දී තිබුණු අතර අකුරෙන් අකුර පරිවර්තනය නොකර ඇති බවට අප තිදෙනෙකු තීරණය කළෙමු

Friday 24 March 2017

හොඳම බ්ලොග් අඩවිය සඳහා තේරීම් 2016

පහත සඳහන් බ්ලොග් අඩවි 2016 වසර සඳහා වූ සම්මාන සඳහා තේරී තිබෙන බව සංවිධායකයින් දන්වා ඇත.  මේ ඇත්තේ තේරුණු අනු පිළිවෙලට නොවන බව කරුණාවෙන් සලකන්න.

එකොනොමට්ටා

අනිත් කොන 



ට්රාන්සිල්වෙනියා

සොඳුරු සිත 

මෙහිදී බ්ලොග් අඩවි  බොහෝ ගණනක් පළමු වටයේදී නිර්දේශ වී තිබුණු අතර   දෙවන වටයේදී තේරුණු බ්ලොග් අඩවි දෙකක් අවසන්  වටයට සහභාගී වීමෙන් ඉවත් විය. ඒ තරුරසී ගේ බ්ලොගය සහ අජිත් පැරකුම් මහතාගේ w3ලංකා බ්ලොගයයි. ඔවුන් දෙදෙනාම අවසන් වටයේ මුල් පෙලට ලකුණු අනුව තේරී තිබුන මුත් තරු රසි මහත්මිය නාට්‍යය සම්බන්ධ කටයුතු වල යෙදෙන බැවින් ඉවත් වීමට තීරණය කළාය . අජිත් පැරකුම් මහතා නෙළුම්  යාය  පදනම වෙනුවෙන් ප්‍රචාරණ කටයුතු වලට සහභාගී වීම කරුණු කොට ගෙන  නිර්දේශ වලින් ඉවත් වෙන බව කාරුණිකව දන්වා   තිබේ.

Friday 17 March 2017

බ්ලොග් සම්මාන උළෙල 2016 වසර සඳහා නිර්දේශ:

පහත සඳහන් බ්ලොග් අඩවි 2016 වසර සඳහා නිර්දේශ වී තිබෙන බව නෙළුම් යාය සංවිධායකයන් දන්වා එවා  ඇත.  යොමුව .  මෙහි පල කර ඇත්තේ නිර්දේශ වූ බ්ලොග් අතරින් මුල් පහ පමණි. මේ ස්ථාන පහෙන්  සම්මාන  පිරි නැමෙනුයේ තෝරාගත් බ්ලොග් අඩවි තුනකට පමණි.අදාළ අංශය සඳහා වන එම බ්ලොග් අඩවි තුන මාර්තු 25 වනදා සම්මාන උළෙලේදී ප්‍රකාශයට පත් කරනු ලැබේ.  ඔබ සම්මානය ප්‍රතික්ෂේප කරන්නේ නම් කරුණාකර editor@nelumyaya.com ලිපිනයට හෝ මෙහි ප්‍රතිචාරයක් මගින් දැන්විය හැකිය.   ඔබට සම්මාන උළෙලට සහභාගී වීමට නොහැකි නම් ඒ බවද දන්වන ලෙස සංවිධායකයන් ඉල්ලා සිටි

1 අතීතකාම

 http://pokuruwahi.blogspot.com/2016/08/2.html අප්පච්චිගේ වී මෝල  

 http://ambalangodakatha.blogspot.com/2016/06/blog-post_14.html ප්ලේන්ස්, ට්‍රේන්ස් ඇන්ඩ් ඔටෝමොබයිල්ස්.. (කොටස් 1 සහ 2 ම) 

 http://transyl2014.blogspot.com/2016/10/blog-post_29.html කුඩා මිනිසා 

 https://kolompure.blogspot.com/2016/12/my-santa-claus.html  මගේ සැන්ටා ක්ලෝස් 


 http://thilakasitha.blogspot.co.uk/2016/01/blog-post_14.html! අපේ ගෙදර ආ මහගම සේකර 

2. අධ්‍යාපනික


අම්මෙක් උනාම එහෙම ද? පසු ප්‍රසව විෂාධිය !


https://ahasenenna.blogspot.co.uk/2016/09/blog-post.html ලොව නොදකින දෑසක්, ලොව දැකීම 
http://sinhalabloggala.blogspot.com/2016/05/4.html  මුහුදු මෙහෙයුම හා ඉස්සාගේ ජීවන චක්‍රය

“දරුවා‍ වෙනුවෙන් ඔබට ප්‍රශ්න පත්තරයක්” මහේෂ් නිශාන්ත දරුවා‍ වෙනුවෙන් ඔබට ප්‍රශ්න පත්තරයක්






3.ඉතිහාසය

http://vidya-gaweshana.blogspot.co.uk/2016/06/blog-post_8.html අපේ සැඟවුණු තාක්ශණය




https://kolompure.blogspot.com/2016/08/blog-post_14.html   ගුවනින් ආ බුලර්ස් පාරේ ළමා පිටිය

http://dasathasarisara.blogspot.com/2016/06/blog-post.html  හේවිසි හොරණෑ හඬ නැගෙන කතෝලික පුදබිම- වහකෝට්ටේ ශාන්ත අන්තෝනි දෙව්මැදුර

 https://wasithaya.blogspot.com/2016/11/blog-post_11.html?m=1  කුකුළාගේ ණය ගෙවාදමන්න 

4. කාලින සංවාද

http://ansathudinapotha.blogspot.com/2016/10/blog-post_28.html මරේ වත්තේ හෝටලේ සිරිපාදේට

ගූගල් සෙක්ස් කප් ගැසීමේ ඇත්ත කතාව රෝමාන්තික රස්තියාදුකරයා 

https://kochchimiris.blogspot.co.uk/2016/11/blog-post_28.html  සත්‍යාගාරයේ පච වූ සුමනදාස, හොර කේන්දරකාරයෝ, නොස්ට්‍රදාමුස් සහ ආසිරිගේ පාන්

 පොත් කියවීම සහ පොත් ඇහීම    - http://littleflowerbuds.blogspot.com/2016/09/115.html 

http://padanguwa.blogspot.com/2016/04/blog-post.html    විල්පත්තු ගියෙමි.. දුටුවෙමි...කලකිරුණෙමි


5. කෙටි කථා
http://wewismatha.blogspot.com/2016/11/blog-post.html  ඒකිත් ගෑණියක්

https://dumimda.blogspot.co.uk/2016/06/blog-post_28.html  සුදු අරලිය මල් පොකුරක්

ඉරාජ්ගේ සින්දුව - ඉතිහාස විපරම



6. දේශපාලන
https://sudukukula.blogspot.co.uk/2016/06/blog-post_87.html  සෝමවංස මැරුණේ නැත.

http://uduwaage.blogspot.com/2016/10/blog-post_13.html   මෛත්‍රී කතාවෙන් වැළපී වැනසෙමුද

http://www.w3lanka.com/2016/10/blog-post_15.html මෛත්‍රී, රනිල්, පොරොන්දු වූ දේ කර පව් නො දී ගෙදර යනු!

https://bitternight.blogspot.co.uk/2016/11/blog-post_10.html යට ගිය දවස දකුණේ සංහාර සාක්‍ෂි යළි කියවා බැලීම -මරණයේ මාසය


http://rivharapinnaduwa.blogspot.co.uk/2016/11/blog-post.html සයිටම් ජාතිවාදියෝ
http://sudukukula.blogspot.ae/2016/12/blog-post_27.html  විජේවීරට අභියෝග කළ මස්සිනා

7. පරිවර්තන

http://apeahasa.blogspot.com/2016/06/705-1.html  ෆෙඩෙක්ස් හි ජීවිත සටන

 http://sithumkavipotha.blogspot.com/2016/04/131.html 131. ෆ්ලොස් නදිය අසබඩ 

http://ranrandil.blogspot.co.uk/2016/04/123.html  පිරුණු කළය සහ පිපිරුණු කළය

8.ප්‍රහසන


http://kurahanhena.blogspot.com/2016/08/blog-post_3.html   ශ්‍රීමත් ජෝන් කොතලාවලගේ සිට ශ්‍රීමත් මදන මෝදකය දක්වා

http://4s7sw.blogspot.com/2016/06/blog-post_3.html  රනිල් හාමු

නිල්පාට තට්ටම් චින්තක සඳරුවන් (සඳරු) හිස් අහස බ්ලොග් අඩවිය

http://storybox2016.blogspot.com/2016/07/blog-post.html  මට නම් දෙකක් වැඩි නැහැ හාමුදුරුවනේ

9. බ්ලොග් නවකතා

http://ambalangodakatha.blogspot.com/2016/04/1.html  වාදී ස්වර සංධ්‍වනි

http://sithumkavipotha.blogspot.com/2016/06/159-01.html කිරුලක උරුමය

https://ahasenenna.blogspot.co.uk/2016/04/1.html   අමුතු කතාවක්

සඳ එළියේ අසිපත වයලගේ කාමරේ බ්ලොග් අඩවිය (වයලිනෝ)

 https://vibheeshana2.blogspot.com/2016/04/1.html සමාවෙන්න හංසි


10. විද්‍යා ප්‍රබන්ධ


http://rotiyababa.blogspot.com/2016/05/blog-post_16.html මැජික් ජොකා 



11. විද්‍යා හා තාක්ෂණ

https://wasithaya.blogspot.com/2017/01/blog-post_2.html?m=0 කාබන් කාල නිර්ණය 

http://carpissuwa.blogspot.co.uk/2016/12/step-by-step-guide.html ක්ලැසික් කාර් ප්‍රොජෙක්ට් එකක් නාගන්නේ කෙසේද

http://4s7sw.blogspot.com/2016/08/blog-post.html   ජනපති මැදුරේ ඔත්තුබැලූ  අතිං කයිට්


http://pokuruwahi.blogspot.com/2016/07/humanized-mice-1.html "මනුස්ස මීයෝ" - The humanized mice -



12. විවිධාංග

http://dreamsofharee.blogspot.com/2016/04/laptop.html  මං ආදරෙයි ලැපී

http://padanguwa.blogspot.com/2016/01/blog-post_27.html  ලාබයි... ලාබයි ... වාලම්පුරි ලාබයි

http://nopenena.blogspot.com/2016/12/blog-post_22.html  පරිසර සංරක්ෂණයේ මිත්‍යාව

https://worldbeyondworld.blogspot.com/2016/05/blog-post.html හිස් හොරි මානසික වදයක්ද

http://rideegeththama.blogspot.com/2016/01/blog-post.html -හර්ද සූත්‍රය

13. සංගීතය

http://geepadura.blogspot.co.uk/   ගී පැදුර


http://sinduano.blogspot.com/2016/08/blog-post_23.html  පදික වේදිකා කෙළිබිම කර ගත් කාටත් නොපෙනෙන දරුවෝ

කේමදාසයන්ගෙන් අමරදේවයන්ට 1,2,3, හා 4 කොටස්  යසනාත් ධම්මික බණ්ඩාර (යසනාත් සිතුවිලි බ්ලොග් අඩවිය)

http://dampatadedunna.blogspot.com/2016/03/blog-post_30.html රොක් සංගීතයේ ඉතිහාසය  ජිවන ෆර්නැන්ඩු දම්පාට දේදුන්න බ්ලොග් අඩවිය

https://dukaa.blogspot.com/2016/08/blog-post_87.html මේ අපේ අම්මාය  සුභාෂ් ගුණවර්ධන දුකා බ්ලොග් අඩවිය

14.  සංචාරක හා ඡායාරූප


http://sobaroo.blogspot.com/2016/07/rail-hike-from-nanuoya-to-ambewela-in.html එල්ජින් ඇල්ල සොයා රේල්පාර දිගේ දිල්ශාන් දිසානායක,

https://wasithaya.blogspot.com/2016/12/1.html?m=1 සංචාරයක සටහන්

http://biththiya.blogspot.co.uk/2016/09/blog-post.html   බෝර්නියෝ සංචාරය, කිනබලු කන්ද, පැරා සේලින් සහ දිය යට ෆොටෝ

 http://samakayawate.blogspot.com/2016/08/blog-post.html  කොළපතන ඇල්ල සොයා ගිය චාරිකාව

https://sandamalisakunthala.blogspot.com/2016/05/blog-post.html   රටවල් හතරක ටැක්සි හතරක්
 http://sulakkhana.blogspot.com/2016/04/blog-post.html මගේ ගමන් බිමන් අනූව වැනි කොටස - කොත්මලේ ජලාශය හා කඩදොර පන්සලකන්ද

15. සඳැස් / නිසඳැස් හයිකු හා කෙටි කවි

https://dumimda.blogspot.co.uk/2016/12/blog-post_5.html  පොවා උන්ට වස මැරෙන්නට මට හිතුණෙ නැතිවිට නිදහසක්
http://wewismatha.blogspot.com/2016/10/blog-post.html  නගර සෝභිනියක ස්නේහය
https://katusuhadawatha.blogspot.com/2016/04/blog-post_54.html නුඹේ ලස්සන තවත් නුඹේ සිත මාත් සිටියොත් තමා
http://sodurusitha.blogspot.com/2016/11/blog-post_85.html  ආදරේ බින්දුවක් තියෙනවා

https://tharurasi.blogspot.com/2016/12/blog-post.html පුංචි පුතු හද සරැලි බින්දා..

ආණ්ඩුවේ කන්තෝරුවෙ මැතිඳුන්ට කිත්මා වසනා දහනායක (විසිරි සිහින බ්ලොග් අඩවිය)

සුළඟ මේ අහනවද   - http://littleflowerbuds.blogspot.com/2016/09/113.html

16. සාහිත්‍ය කලා  විචාර

http://iranga.net/?p=301 ථාර්ථයෙන් ඔබ්බට දැකිය යුතු මොහාන් රාජ් මඩවලගේ නවකථා කලාව

http://wehimandarama.blogspot.com/2016/04/blog-post_28.html  සයිමන් අපට ඇනපන් ටොක්කක් සැරට



 http://patayakagepituwa.blogspot.com/2016/09/blog-post.html  සිරිල් සී. පෙරේරා : පරිවර්තන සාහිත්‍ය වංශයේ ස්වර්ණමය පරිච්ඡේදයක නිමාව

http://tharurasi.blogspot.com/2016/11/blog-post_17.htmlක්බිති ඔවුහු බුදියගත්හ.