Monday 12 February 2018

ඉන්දියාව සමග නැගිටිමු

ජේ ආර්  රජීව් 
ජේ ආර් ජයවර්ධන මහතාගේ රජය ශ්‍රී ලංකාවේ ආර්ථිකය විවෘත කරන විට ඉන්දියාවේ තිබුනේ සංවෘත භාග සමාජවාදී ආර්ථික ක්‍රමයකි. කලබල වුනු ඉන්දියාවට  ඇමෙරිකන් හිතවාදී ජේ ආර් රජය පාලනය කරන්නට හොඳ අවස්ථාවක් දුන්නේ ජේ ආර් මය. ඒ 1983 සිදුවූ දෙමළ  ජන සංහාරයට ඉඩ සැලසීමෙනි. ඉන්පසු දෙමළ කැරලි කරුවන්ගේ සංවිධාන කිහිපයක්ම පුහුණු කරන්නට හා ශ්‍රී ලංකා හමුදා සමග සටන් කරන්නටත් රටේ ආර්ථිකය අඩපණ  කරන ප්‍රහාර එල්ල කිරීමටත් මේ කණ්ඩායම් හරහා ඉන්දියාවට හැකි විය. මෙහි අවසන් ප්‍රතිඵලය වුයේ වඩමාරච්චි සටන නතර කරමින් සිදුවූ පරිප්පු ආක්‍රමණයයි.

ඉන්දියානු හමුදා ශ්‍රී ලංකාවට පැමිණි අතර ශ්‍රී ලංකාව ජීවත්වීමට නුසුදුසු  දරුණු රටක් බවට පත්වුණි. ශ්‍රී ලංකාවේ උතුර හා දකුණ එකම ලේ විලක් විය. මේ තත්වයට ජේ ආර්, ප්‍රේමදාස,  සිරිමාවෝ , විජේවීර , ප්‍රභාකරන් පමණක් නොව ඉන්දියාවද වගකිව යුතු විය. ඉන්දියාවට පළමු ප්‍රහාරය ලැබුනේ තමන්ම කිරි පෙවූ නයි  පැටියා ගෙනි. තම ජාතියේ අභිමානය රැක  ගෙන ප්‍රභාකරන් රජීව් ගාන්ධි එර්දි කළේය.

ඉන්දියාවට චන්ද්‍රිකා  සමග ප්‍රශ්නයක් නොතිබුණු නිසා දෙමළ කැරලිකරුවන් සමග යුද්ධය අතර වුවද, රටේ ආර්ථිකය දියුණු වූයේ නැති වුවද චන්ද්‍රිකා බණ්ඩාරනායක   දෙවරක්ම රට පාලනය කිරීමට තේරී පත් වූවාය.  නමුත් ඉන්දියාව තම අගමැති මරා දැමීමට අණ  කළ  ප්‍රභාකරන් අමතක කලේ නැත.

චන්ද්‍රිකා  ගේ  දෙවන පාලන සමයේ දී  රනිල් වික්‍රමසිංහ සහ එජාපය පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයගෙන රජයක් පිහිටෙව්වේය. බටහිර රටවල උදව්වෙන් ඔහු සාම ගිවිසුමක් අත්සන් කර ගිවිසුම විමසීමට ලංකාවේ තවමත් කුප්‍රකට මොනිටරින් මිෂන් (SLMM) එකක්ද ස්ථාපිත කළේය. ඔහුගේ වැඩ පිළිවෙල,  LTTE දෙකඩවී කරුණා ගේ නායකත්වයෙන් තවත් කොටසක් බිහි වීමට හේතුවක්  විය. එසේම LTTE ප්‍රදේශ වලට රුපවාහිනී හා නොයෙකුත් සූඛොපභොගි උපකරණ යැවුනි. ඉන්දියාව සිටියේ විමසිල්ලෙනි.
ඇමෙරිකාවේ හා යුරෝපයේ සහය රනිල් වික්‍රමසිංහ රජය ට හිමි විය. සිංහලයන් බහුතරයක් අසතුටු වුවද දෙමල බහුතරයක් සිටියේ සාම විරාමයක් ලැබීමේ සතුටිනි.

කවුරුත් වැඩිපුර නොදන්නා කාරණයක් නම් තරන්ජිත් සිං  සඳු නමැති මහතකු වසර 2000 දී  ශ්‍රී  ලංකාවේ  ඉන්දීය තානාපති කාර්යාලයට දේශපාලන නිලධාරියා වශයෙන්  පත්වීමක් රැගෙන පැමිණි බවයි.

එසේම  ජනතා විමුක්ති පෙරමුණ නමැති වාමාංශික පක්ෂයේ නායකයා ශ්‍රී ලංකාවේ පැවති 88-90 භීෂණ  සමයේ ඉන්දියාවේ උදව්වෙන් බටහිරට පැනගොස් ජීවිතය  බේරා ගත්  අයෙකි.

ඉන්දියාවේ රහස් ඔත්තු සේවයේ නම රෝ හෙවත් පරීක්ෂණ හා විශේල්ෂණ කිරීමේ කාර්යන්ශයයි.

ශ්‍රී ලංකාවට සුනාමිය පැමිණියේ වසර 2004 දීය . දකුණට ලැබුනා  සේ උතුරේ  විනාශ වූ පෙදෙස් වලටද ආධාර අවශ්‍යය. ආධාර දීමට අන්තර් සුනාමි සහන මණ්ඩලයක් LTTE සමග  සමග හැදීමට රනිල් ගේ රජය කැමැත්ත පල කල අතර චන්ද්‍රිකා  ජනාධිපතිනියගේ විරුද්ධත්වයක් තිබුනේ නැත. මෙහිදී බටහිර රටල ආධාර කෙලින්ම උතුරේ LTTE සංවිධානයට ලැබේ. ප්‍රභාකරන්, තමිල් සෙල්වම්, බාලසිංහම්  ආදීන් ලෝකයේ දෙමල ඩයස්පෝරාව සිටි  රටවල් වල වීරයන් විය.

ඉන්දියාවට අනුව බටහිර සුනාමි  ආධාර කෙලින්ම ලැබෙන්නේ  තමන් කිරිපොවා ඇති දැඩි කළ එහෙත්  පසුව දෂ්ට කළ නයි හාමිටය.

රටේ මේ සහන මණ්ඩලයට විරෝධතා වැඩි විය. ඉදිරියෙන්ම සිටියේ ජනතා විමුක්ති පෙරමුණයි. එසේම ජාතික හෙළ උරුමයද විය. චන්ද්‍රිකා,  රනිල් රජයේ  ඇමතිවරුන් තිදෙනෙක් අස්  කරමින් පාලනය තමන් අතට ගත්තාය. රනිල් ගෙදර ගියේය.

බටහිරට හිතැති කදිරගාමර් මරා දැමුණු අතර මහින්ද  රාජපක්ෂ අගමැති විය.

තරන්ජිත් සින් සඳු දේශපාලන නිලධාරී මහතා  2004 දී ඉන්දියන් තානාපති කාර්යාලයෙන් වෙනත් පත්වීමක් ලබා නික්ම ගියේය.

මහින්ද රාජපක්ෂ ඉදිරිපත් වූ 2005 චන්දයේදී ජවිපෙ හා හෙළ උරුමයේ සහයෙන් ඔහුට 50.29% කුත් රනිල් වික්‍රමසිංහට 48.43% කුත් ලැබුණි. ප්‍රභාකරන් හිටියේද මහින්දගේ පැත්තේය. ඔහු දෙමළ චන්ද වර්ජනය කිරීමට නියෝග කර චන්දය  දැමීමට ගිය දෙමළ  චන්ද දායකයකු ගේ අතක්ද කැපුවේය.   දෙමළ චන්ද තිබුනා නම් මහින්ද 2005 දී බලයට පත් වන්නේ නැත.

කවුරුන් මොනවා කීවත් යුද්ධය සමයේදී මතුපිටින් කිසිදු සහයක් දෙන බවක් නොපෙන්වුවත් ඉන්දියාව LTTE   සමග ශ්‍රී ලංකා හමුදාවල යුද්ධයට හා මහින්ද රජයට ආධාර කළේය. ඒ ආධාර චැනල් කිරීම සඳහා විශේෂ පුද්ගලයෙක් බැසිල්  නමින් සිටියේය.බැසිල් තමන්ට පැවරුණු කාර්යය මැනවින් ඉටු කළේය. කරුණා  අම්මාන් සිටියේ ඉන්දියාව  පැත්තේය. මහින්ද රජයට කඳුකරයේ තොන්ඩමන් (ඉන්දියාව) ගේ සහය ලැබුණි. නයි හාමි ගේ බෙල්ල කපන තුරු ඉන්දියාව  මහින්ද රජයට සහය දුන්නේය. ඉන්පසු ඇතිවුණු යුධ අපරාධයක්  සේ හැඳින්වෙන  සුදු කොඩි සිද්ධියේ ඉන්දියන්  ජාතිකයෙකු වන විජේ නම්බියාර් ද ගෑවී සිටි. මේ සිද්ධියේ දී  මියගිය කොටි පොලිස්පති නඩේසන් කතා කර තිබුනේද බැසිල් ටය.( මේ සිද්ධියේ බැසිල් ගේ වරදක් නැත.  ඉන්දියා ව එය දනී.)

දෙවන ජනාධිපතිවරණයෙන් 2010 දී 57% පමණ චන්ද සංඛ්‍යාවක් දිනා  රාජපක්ෂ මහතා  රටේ දැඩි සංවර්ධනයක් දියත් කලේ යුධයෙන්  පසුවය. රටට යුද අවි වලින් ආධාර දුන් චීනය ආර්ථික තලයේද බලවතෙකි. මහින්ද රජය ණය ගත්තේ ඔවුන් ගෙනි. ඉන්දියාවද ආධාර දුන් නමුත් ඔවුනට චීනයට සම වීමට නොහැකි වුනි. හම්බන්තොට   නැව් නො ආ වරාය  හා ගුවන් යානා  නොඑන ගුවන් තොටුපල චීන ආධාර වලින් හැදුනි. කොළඹ  මුහුද ගොඩ කර නව වරාය  නගරයක් හැදෙයි.  විශාල හෝටල් ඉඩම් චීන කොම්පැනි වලට සින්නක්කර ලැබෙයි.  කාලයක් මුළුල්ලේ රජයන් කිහිපයක සිහිනයක්ව තිබූ අධිවේගී  මාර්ගය විවෘත  වුනි. අසූ  ගණන් වල හදන්නට සැලසුම් කර තිබූ  ගල් අඟුරු බලාගාරය නොරොච්චෝලේ චීන ආධාර වලින් නිම වුනි.

ඉන්දියාව මෙන්ම  බටහිරද කලබල විය. මහින්ද රජයට බටහිර යුධ අපරාධ තර්ජන එල්ල වීමද වැඩිවිය. රටේ ජාති වාදී   ප්‍රශ්න ඇති වෙමින්  ජාතිවාදී සංවිධාන පැන නැගුණි. මහින්ද රජයේ ද ද 2001-2004 රනිල් රජයේ මෙන්ම දුෂිත මැති  ඇමතිවරුන් හා නිලධාරීන් පොකුරු වශයෙන් බිහි වුනි. රාජපක්ෂ රජය රටේ නිතිය තැකුවේ  නැති අතර සංචාරකයනට පවා තර්ජන එල්ල වුනි.  කොටින්ම රජය ඉතා  අපකීර්තිමත් තත්වයකට පත්ව තිබුණු අතර මාධ්‍ය  නිදහසටද තර්ජන එල්ල වී තිබුණි.

ඉන්දියාව බලා  සිටි අවස්ථාව එළඹුණේ මහින්ද විසින්ම නව ජනාධිපතිවරණයක්  කැඳවීම මගිනි.මෛත්‍රිපාල සිරිසේනට එජාප, ජවිපෙ හා දෙමළ සන්ධානයේ සහය ලැබුණු අතර 51.28% ප්‍රතිශතයක්ද  මහින්ද රාජපක්ෂට 47.58% ද ලැබුණි.

පාර්ලිමේන්තු මැතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ  නැවතත් අගමැති විය. බොහෝ ස්වාධින කොමිසම් සභා පිහිටවනු ලැබීය . මාධ්‍ය නිදහස එයාකාරයෙන්ම  ලැබුණි. නොයෙකුත් ජනතා හිතවාදී  පනත් සම්මත වුනි. එහෙත් ඉන්දියාවෙන්  බලාපොරොත්තු වූ පරිදි ආර්ථික ආධාර ලැබුනේ නැත. රනිල් ගේ රජයේ සරණට සිටියේ ද   චීනයයි. අන්තිමේදී ඉන්දියාව අකමැති වුවද හම්බන්තොට  වරාය චිනයටම දෙන්නට සිදුවිය. කොළඹ වරාය  නගරය ද ඉන්දියාවේ අභිප්‍රායට එරෙහිව චිනයටම දෙන්නට රනිල්ට සිදුවිය.

රනිල් රජය ව්‍යවස්ථාවක්  හදා අවසානය. නමුත් එය සම්මත කර ගන්නට ඔවුන්ට නොහැකිය.

කලින් ලංකාවේ සිටි තරන්ජිත් සිං  සඳු මහතා මෙවර ශ්‍රී  ලංකාවේ ඉන්දියානු තානාපතිවරයා ලෙස 2017 ජනවාරි 24 දා  පත්ව ආයේය.

බැසිල් මහතා ඉන්දියාවේ පරණ හිතවතෙකි.

මෙම වසරේ 2018 පෙබරවරි 10 පැවති  පළාත් පාලන චන්දයෙන් මහින්ද රාජපක්ෂ මහතා මෙහෙයවන පොදු ජන පෙරමුණ බැසිල් රාජපක්ෂ මහතාගේ සංවිධායකත්වයෙන් යුක්තව ප්‍රබල ජයග්‍රහණයක් ලැබිය. තනිව ගත්තොත්  එජාපය  හේදී  ගොස්ය.

එය එසේ වුවද මහින්ද ගේ පොදු ජන පෙරමුණට ලැබුණු චන්ද සංඛ්‍යාව 44.69 % කි.

වසර දෙකකින් පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් ජය ගැනීමට මේ චන්ද ප්‍රමාණය හොඳටම මදිය. තෙවන බලය වන ලක්ෂ හතක චන්ද සහිත ජනතා විමුක්ති පෙරමුණේ නව නායකත්වය වඩා  ලංව සිටින්නේ නමට කොමියුනිස්ට්වාදී චිනයටය.

මහින්ද මහතා  තම පුත්‍ර නාමල් සමග  විපක්ෂ නායක  සම්පන්දන් බැලීමට නොබෝදා රෝහලට ගියේය. උතුරේ විග්නේශ්වරන් ට  දකුණේ දදේශපාලන නායකයෙකුට  ඥාති සම්බන්ධයක් ඇත්තේය. තොන්ඩමන් තමන්ගේ සීයා ලෙසටම  පළාත් පාලන ආයතනය සඳහා  ඩිල් එකක් ගසා  අවසානය.

බුකියේ සිටින ලංකාවේ සමහර විද්වතුන් රටේ සිංහල අහවල් එක, පෞරාණික   සභ්‍යත්වය, බ්‍රිගේඩියර් සහ  අරක මේක රනිල් නොසැලකූ නිසා  ඔහු පරාජය වී යයි කියති. ඔහුගේ පක්ෂයේ දුෂිතයන් ද සිටිති. මහින්ද ගේ රජයේද 2015 දුෂිතයන් සිටියහ. නමුත්  රටේ චන්ද සංඛ්‍යාව දුෂිතයන් නිසාම වෙනස් වන්නේ නැත.

පරීක්ෂණ හා විශේල්ෂණ කාර්යාංශය වුවද   එය හොදින් දනී.

ලිව්වාද කියා මතක නැත. කලින් ලංකාවේ සිටි තරන්ජිත් සිං  සඳු මහතා මෙවර ශ්‍රී  ලංකාවේ ඉන්දියානු තානාපතිවරයා ලෙස 2017 ජනවාරි 24 දා  පත්ව ආයේය.


ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට මිට වඩා හොඳ අවස්ථාවක්  තවත් නැත. රටේ ප්‍රධාන පක්ෂ දෙකම හිර වෙලාය. (හිර කරලාය?)  ව්‍යවස්ථාවට මම නම් විරුද්ධ නැත.

ශ්‍රී ලංකාව කොහෙන් හෝ පටන් ගත යුතුය. ලේ හෙලුවා  හොඳටම ඇතිය.


Sunday 11 February 2018

පළාත් පාලන සභා චන්ද ප්‍රතිඵල - සුළු නිරීක්ෂණයක්

පළාත් පාලන සභා වල  චන්ද ප්‍රතිඵල වලින් පොහොට්ටුව වැඩි පළාත් පාලන සභා සංඛ්‍යාවක් දිනා  ඇත. ඔවුන්ට හද පිරි සුභ පැතුම්. අනාවැකි දුන් බොහෝ පණ්ඩිතයන්ට වැරදී ඇත. මේ ප්‍රතිඵල ගත්තේ ලංකාදීප පුවත් පතිනි.
 මට තේරෙන්නේ නැත්තේ මෙයයි. මා වෙනත් රටක ජිවත් වන නිසා විය යුතුයි.  මෙය  පළාත් පාලන චන්දයකි. බොහෝ අය  ආණ්ඩුව අස්විය යුතු යයි කියති. දැන් බ්‍රිතාන්‍යය වැනි රටවල වුවද  ආණ්ඩුවේ ගමන මැද පළාත් කවුන්සිල් චන්දවලින්  බලයේ සිටින  ආණ්ඩුව බොහෝ විට පරදී. ඒ මිනිසුන් තමන්ගේ විරෝධය ප්‍රකශ කරන ආකාරයයි.  නමුත් ආණ්ඩුව ඉල්ලා අස්වන්නේ නැත.

ප්‍රතිඵලයබලන්න :
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 44.84%
එක්සත් ජාතික පක්ෂය 31.49%
එක්සත් ජනතා නිදහස් සන්ධානය 8.82%
ජනතා විමුක්ති පෙරමුණ 6.18%
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය -5.02 %
ඉලංකෙයි තමිල් අරසු කච්චි - 3,62 %

දැන් පවතින ආණ්ඩුව යනු   එක්සත් ජාතික පක්ෂය+ එක්සත් ජනතා නිදහස් සන්ධානය+ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන අයගේ සභාගයකි. එනම් ඔවුන්ගේ චන්ද ප්‍රතිශත එකතුව = 31.49%+8.82+5.02 =45.33%
SLPP හෙවත්  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඇත්තේ   44.85%කි.
මේ පැවැත්වුනේ ජනාධිපති තරඟයක් නම් බොහෝ විට  ඉලංකෙයි තමිල් අරසු කච්චි - 3,62 % චන්ද වලින් වැඩි ප්‍රමාණයක් ලැබෙන්නේ ආණ්ඩුවට මිස මහින්ද මහතාට නොවේ. එවිට ඔවුන් ට   48.95% ප්‍රතිශතයක් ඇත.
අලුත් ප්‍රතිඵලය ලංකාදීපයෙන් 

බොහොමයක්  පොහොට්ටුවේ ආධාරකරුවන් ජනතා විමුක්ති පෙරමුණට කැමති නැත. ඔවුන් ගෙන් සමහරු RIP JVP යනුවෙන්ද ලියා තිබෙනු දුටිමි. චන්ද වලින් 6.18% ගත් ජවිපෙ මිය ගොස් නැත. ඔවුන් තවමත් ශ්‍රී ලංකාවේ   දකුණේ තුන්වන බලවේගයයි.  එකම දේ ඔවුන්ගේ චන්ද අඩුවී හෝ වැඩිවී නොමැත.ඔවුන් ගේ  පක්ෂයට පොහිට්ටුවන් බනින නිසාම ඔවුන්ගේ චන්ද දායකයන්ද මහින්ද මහතාගේ නියෝජිතයාට චන්දය නුදුන්නොත් අනිත් පැත්ත 48.95+6.18%=55.13% පළමු වටයෙන්ම ජනාධිපති චන්දයෙන් ගොඩය.

ආණ්ඩුවට අස්වන්නට කියන්නේ කුමන පදනමකින්ද යන්න මට නොතේරේ. නමුත් එජාපය ප්‍රමුඛ රජය නම් මේ පණිවුඩය හිතට ගත  යුතුය. බොහොමයක් වයස වැඩි ඇමතිවරුන් ගේ කල්ක්‍රියාව ජනතාව  අනුමත කර නැත.  බොහෝ අය රජයට පැමිණ ඇත්තේ  කුට්ටියක් කඩාගෙන පවුල හා හිතවතුන් රැක  ගැනීමට  මිස රට පාලනයට නොවන බව එජාප පක්ෂිකයන්ට ද වැටහී  ඇත. ආණ්ඩුව ඒ ගැන දැඩි ලෙස පියවරක් ගත යුතුව ඇත. එසේම දුන් පොරොන්දු වලින් බොහොමයක් ඉටු නොකර සිටින තත්වයක් තුල ඊළඟ චන්දයෙන් පැරදීමේ අවකාශය වැඩිය.

ආදී කල්පික වම හා පරණ වම ගැන කියන්නට තියෙන්නේ දැන්නම් පරණ කෝච්චිය ගොස්ය. අලුත් විදුලි දුම්රියක් එනු ඇත. ඉඩ දී ඉවත් වන්න. නැත්නම් විදුලි දුම්රියට නගින්න.

නව ප්‍රතිඵලයට අනුව:
මේ  තමයි අලුත්ම අලුත් ප්‍රතිපල:
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 4941952 - 44.65%,
එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය-32.61%+8.94%+4.44%=46.01%
ඉලංකෙයි තමිල් අරසු කච්චි -3.07%, ජවිපෙ 6.27% - ජනතා විමුක්ති පෙරමුණේ සහයක් නොමැතිව මහින්ද  මහතාගේ අපේක්ෂකයකු ජනාධිපතිවරණය දිනන්නේ නැත. මේ අනුව පොහොට්ටුව හෙවත් ඒකාබද්ධ   විපක්ෂයට ජනාධිපති  ක්‍රමය අහෝසි කරන නව ව්‍යවස්ථාවට  එකඟ වීමට සිදුවේ. ඔවුනට දිනිය හැක්කේ එවිට පමණි. ජෙහාන් ගේ ගේම දැන් තේරෙන්නේ යයි සිතමි. (බැසිල් හා ඉන්දියාව)

Saturday 10 February 2018

යුද්ධයෙන් සමහරුන් ලැබූ අතුරු ඵල (fringe benefits) හෙවත් අපේ කාලයේ දේශපාලන අනාථයා

යුධ අනාථයන් 
මේ විවේචනයක් නොවේ.  ශ්‍රී ලංකාවේ පැවැති  යුද්ධයෙන් එයට සම්බන්ධයක් නැති තවත් කොටසක් අතුරු ඵල (fringe benefits) ලැබූ හැටි කීමකි. යුද්ධයෙන් නොයෙකුත් වරදාන ලැබූ අය ගැන නොයෙකුත් කතා ඇත. ඒ කිසිවකු ඒ සඳහා දඬුවම් විඳ ද නැත. හැමෝම කරනවා නම් අපි කෙරුවම මොකද යන්න උද්ධෘත පාඨය වී ඇති සමයක ඒ ගැන අපට කළ හැකි දෙයක්ද නැත.

මේ කාලයකට කලින් සිදුවූ දෙයකි. ස්ථානය බ්‍රිතාන්‍ය ආගමන විගමන කාර්යාලයයි . දේශපාලන අනාථ භාවය හෙවත් අසයිලම් ඉල්ලා සිටින දමිල ජාතිකයෙකුගෙන් භාරගැනීම් නිලධාරියා ප්‍රශ්න අසයි. මේ මුලික සාකච්ඡාව වන අතර මෙයින් අසමත් වුවහොත් ට්‍රිබියුනල් එකට ඇපීල් කළ හැකියි.

පරිවර්තකයා ලංකාවේ යාපනයේ දෙමල අයෙකි.
නිලධාරියට ( නි.) සැකයක් ඇතිවේ. මේ නිසා මෙවැනි ප්‍රශ්නයක් අසයි.,

( නි.) "ඔබ ලංකාවේ කොහේද".

අයදුම්කරු - "මම කැන්ඩි "

( නි.) "කැන්ඩි කොහේද තියෙන්නේ ලංකාවේ "
"කැන්ඩි තියෙන්නේ කොළඹ " වීසා නිලධාරියා නුවර සංචාරය කළ අයෙකි.
"කොළඹ කොයි හරියේද"
"කොළඹ ළඟම කිමී 15 - 20 ක් වගේ "
( නි.) "ඔබ ලංකාවේ වෙන්න බැහැ, මෙයා ඇත්තටම කොහෙන්ද කියල අහන්න "
දෙමළ පරිවර්තක ප්‍රශ්නය අහයි.
අයදුම්කරු කෝපවී කෑ ගසා පෙරලි කරයි.
නිලධාරියා සිතියමක් පෙන්වා ඔහු ගේ නිවස පිහිටියේ කොහේ දැයි අසයි. ඔහු පෙන්වන්නේ කඳාන ප්‍රදේශයයි. ඔහුට වචන පැටලී ඇත.
පසුව ඔවුන් සොයා ගන්නා ලද්දේ ඔහු දකුණු  ඉන්දියානු ජාතිකයකු බවයි. එංගලන්තයට මිනිසුන් එවන කල්ලියක් මගින් මුලින් ශ්‍රී ලංකාවට යවා කඳාන ප්‍රදේශයේ තාවකාලිකව රඳවා ලංකාවේ ගමන් බලපත්‍රයක් සමග එංගලන්තයට එවා ඇත. ශ්‍රී ලංකා පොලිස් වාර්තාවක්ද සහිතවය. මෙවැනි සිද්දීන් බොහොමයකි. ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලයෙන් බ්‍රිතාන්‍ය වීසා දීම නවත්වා  අයැදුම්පත් චෙන්නායි වලට යැවීම තවත් එක් හේතුවක් ද  විය හැකිය. ඔවුන්ට (චෙන්නායි)  මෙවැන්නන් හඳනා ගැනීම පහසු යයි සිතන්නට ඇත. (අනික් හේතුන් අතර හොර වීසා සිද්ධියක් හා වීසා දීමට කළ දේශපාලන බලපෑමක් යයි කියති ). සිද්දිය එලියට ආවේ පරිවර්තකයා මගිනි. යාපනයේ දෙමළ මහතා දකුණු ඉන්දියානු දෙමළා ට කැමති නැත. (උඩින් හොඳ හිත පෙන්වීම  වෙනත් දෙයකි. )


මෙය ලිව්වේ බුකියේදී මම එරන්දිට මා දැමු ප්‍රතිචාරයකට ළාබාල තරුණියක් එංගලන්තයේ ඉමිග්රේෂන් ට්‍රිබියුනල් ගැන වාදයකට ආ බැවිනි. 
ඒ කාලයේ ලංකාවේ යුද්ධය නිසා අනාථ වුවන් ලෙස බොහෝ දකුණු ඉන්දියානු ද්‍රවිඩයන් මෙහි පැමිණියහ. LTTE සංවිධානය මෙන්ම වෙනත් සංවිධානද මේ ගේමට සම්බන්ධ විය. 
මේ එන අය ගෙවන මුදලින් කඳාන කොටහේන වැනි ප්‍රදේශ වල නිවාස  රැගෙන ඔවුන් එහි තබා තිබුණි. ලංකාවේ බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය ඇතුලේ සහයක්ද දේශපාලන බලපෑම් මත පැමිණි සහයක්ද තිබුණි. 
මෙසේ එංගලන්තයට ගෙනා  මිනිසුන් ගෙන් ඔවුන් කප්පම් ද ගත්හ.  එසේම මෙහි පවතින පෙළපාලි වලට සහභාගී වීමද අනිවාර්ය වීය.

පොලිස් වාර්තා ගැනීමට සිංහල රාළහාමි කෙනෙකුට පවුම් 50-100 අතර මුදලක් පගා දෙනු ලැබේ.
ඔවුන්ට ගැහු සාක්ෂිද ඇත. ගහන්න ඇත්තේද සල්ලි වලට විය යුතුය .

මේවාට  උදව් දුන් අය අතර පසුගිය ආණ්ඩුවේ දේශප්‍රේමින් කිහිප දෙනෙකුද  සිටියේ යයි කියති. එම ද්වේෂප්‍රෙමින් කියා ඇත්තේ, " ලන්ඩන් නේ යන්නේ. සුද්දට නේ කෙලවෙන්නේ" කියයි. ලැබෙන මුදල් සාක්කුවේ දමා ගෙන දෙමල විරෝධී වේදිකා වලටද ගොඩ වූවන් සිටියේ යයි ද කියති.

පකිස්ථානු ජාතිකයන් මෑතකදී සිරියානුන් ලෙස ජර්මනියේ දේශපාලන අනාථ  භාවය ගෙන තිබුනි. 

මේ කවුරු කොහොම ලන්ඩනයට ආවත් මට ප්‍රශ්නයක් නැත. මම නම් කියන්නේ යන්නට පුළුවන් නම් ඕනෑම ක්‍රමයකින් ගියාට ආවාට  කමක් නැත කියයි. මිනිසුන් සටන් කරන්නේ ජිවත් වන්නටය. මෙයත් එවැනිම සටනකි. කැන්ඩි ගැන කියා දේශපාලන අනාථ භාවය ඉල්ලන එකා ගැන මගේ තරහක් නම් නැත.

මේ තවත් එවැනිම කථාවකි.
Asylum seeker from Sri Lanka let himself be tortured with hot iron bars to support his bid to stay in Britain


Wednesday 7 February 2018

දෙන දෙවියෝ ගෙටම ගෙනත් දීම හෙවත් බ්‍රිගේඩියර් රංගනය

ප්‍රියංක ප්‍රනාන්දු මහතාගේ අභිනය 
දිනය: 2018 පෙබරවාරි 07
ස්ථානය : ලන්ඩනයේ ටුටීන් බ්‍රෝඩ්වේ ප්‍රදේශයේ දමිළ නිවසක්
දමිළ මහත්මයෙකු වන ගනේෂ් ඉතාමත් භක්තියෙන් යුතුව හමුදා ඇඳුමක් ලාගත් නිලධාරියෙකු ගේ රුවකට  හඳුන්කූරු අල්ලයි. සුදු හඳුන් දැමූ තාච්චියක් අල්ලමින් ඔහුගේ පිළිරුව අනිත් දෙවියන් වන ශිව, ගණ දෙවියන් ආදීන් අසලින් තබයි.  නිවසේ සීනුව නාද වේ.  ගනේෂ් ගේ බිරිඳ පාර්වතී දොර හරියි.
යොවුන් වියේ දෙමල තරුණයෙකු ඇතුළු වේ. ගනේෂ් ගේ ක්‍රියව දකින ඔහු පරල වී කෑ ගසයි.
"ගනේෂ් මාමා ඔහෙට පිස්සු තද වෙලාද මේ සිංහල ආමි එකේ ලේ පිපාසිත සොල්දාදුවෙකුට වඳින්න? මොන යකා වැහිලද ඔහෙට ?"
පාර්වතී කොල්ලා අස්වසයි. "කෑ ගහන්න එපා පුතා. අපේ දෙවියෝ එතුමාව අපට එවල තියෙන්නේ. බ්‍රිගේඩියර් තුමා හරි හොඳයි. එතුමා නැත්නම් අපි ඉවරයි. අන්කල් ගෙන් අහන්න විස්තරේ "
"මොන පිස්සුද ආන්ටි. අපේ පවුලේ කි දෙනෙක් මැරුණද යුද්දෙන්"
"මේකයි පුතා." ගනේෂ් රැල්  බුහුරු හැර උගුර පාදයි.
"මේකයි. අර අපේ නීතිඥයයි, ටිජීටිඑෆ් (රටින් පිට දෙමල රාජ්‍යය) එකේ කට්ටියයි කිව්වනේ මට අර ලංකාවේ  තානාපති කාර්යාලේ ඉස්සරහ උද්ඝෝෂනේ ට යන්න  කියල"
"ඔව් ඉතින්"
" ඒ කිව්වේ උද්ඝෝෂනේ මම ඉන්න  ෆොටෝ ටිකක් ගහල ගෙනත් දෙන්න කියා කිව්වනේ. ඊට පස්සේ අපෙ පවුලේ දේශපාලන අනාථ බව ඉල්ලන  අයදුම්පතට ඇතුල් කරනන් ඕනේ කියල. අපට හිරිහැර වුණා කියල තියෙන සාක්කි මදි කියල"
"ඔව් ඉතින් මේ සිංහල සෝල්ජර් මෙතන මොකද කියලනේ මම ඇහුවේ "
"ඒ නිකන් සොල්ජර් නෙමේ. බ්‍රිගේඩියර් මහත්තයෙක්.  මහත්තය එලියට ඇවිත් අපේ එවුන් එක්ක කතා කරානෙ . අර ඉන්දියාවේ චෙන්නායි හිටන් ආපු නඩා මල්ලිත් හිටිය. ඌ එක එක ඒවා කියල මහත්තයා තරහ ගැස්සුවා. "
"ඉතින්"
"එයාට තරහ ගිය පාර බෙල්ල කපනවයි කියල මෙහෙම පෙන්නුවා " ඔහු එය අභිනයෙන් රඟ දක්වයි .
"ඊට පස්සේ "
"ඊට පස්සේ මොනාද . අපේ එකෙක් ඒක වීඩියෝ කරලා. අපි හැමෝටම කොපිය ගානේ දුන්න. ඒක  නීතිඥයා ටත් ටිජීටී එෆ් එකෙන් දීල. අපේ අසයිලම් වැඩේ ටක්කෙටම හරිලු දැන්. ඕවගේ මරණිය තැනකට (රටකට ) යවන්නේ නැහැලු ආගමන විගමන  මහේස්ත්‍රාත් කීයටවත් "
"මාරයි නේ"
"ඔව් වීසා හම්බ වුණාම  ලංකාවට ගිහිල්ල එමු."
ඉන්පසු තිදෙනාම එකතුව බ්‍රිගේඩියර් තුමාගේ පිළිරුවට මල් මාලයක් පළඳා උපහාර දැක්වූහ.

මම මේ ලිව්වේ ප්‍රබන්ධයකි. එහෙත් සත්‍යය එතරම් දුර නැත. කොන්සර්වේටිව් පක්ෂය සඳහා වන දෙමළ ජාතිකයන් (Tamils for Conservatives) සංවිධානයේ සභාපති වන අර්ජුන් ආසිර්වාදන් මහතා මගේ මිතුරෙකුට ඊයේ කියා ඇති පුවත මෙසේය.

පසුගිය පෙබරවාරි හතර වනදා ලන්ඩනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට  පැවති  ද්‍රවිඩ ජාතිකයන් ගේ උද්ඝෝෂණයට සහභගි වුනු අයගෙන් සීයට අනූවක්  පමණ විසා ප්‍රශ්න තිබෙන අය වෙති. සමහරු බ්‍රිතාන්‍යයෙන්  පිටුවහල් කිරීම  සඳහා ලිපිද ලැබී ඇති අයයි. මොවුන් මෙහෙයවා ඇත්තේ ටිජීටිෆ් හෙවත් "රටින් පිට දෙමල අයගේ ඊලාම් රාජ්‍යය (Transitional Government of Tamil Eelam) නම් සංවිධානයකිනි. LTTE සංවිධානය තහනම් වූවාට මෙම සංවිධානය තහනම් නැත.

මේ උද්ඝෝෂණයේ සිටි  සමහරුන් මෙහි වෙසෙන දකුණු ඉන්දීය ද්‍රවිඩ ජාතිකයන් බවටද හඳුනාගෙන ඇත.

ආසිර්වාදන් මහතා කියන පරිදි එම උද්ඝෝෂණයේ පරමාර්ථය වී ඇත්තේ පින්තුර ටිකක් ගැනීමය. ඔවුන් මෙසේ උද්ඝෝෂණයේ දී සිට ගන්නා පින්තුර සමහරක් ටිජීටිෆ් එකට මුදල් එකතු කරන්නට උපයෝගී කරගනිති. අනිත් පින්තුර අසයිලම් හෙවත් දේශපාලන අනාථ භාවය හෙවත් වීසා ලබා ගැනීමේ අයදුම්පත සඳහාය. බොහෝ අයට නඩු තිබේ. මේ පින්තූර භාවිතා කරන්නේ එම ආගමන නඩු සඳහාය.  එය බොහෝ අය දන්නා දෙයකි.

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා  හොඳ අයකු නිහතමානී අයකු බව බොහෝ අය කියති. එහෙත් ඔහු බෙල්ල කපන බවට කල තර්ජනාත්මක රංගනය  එතරම් කල්පනා කර කල දෙයක් බව නොපෙනේ. එයට හේතුව ඉහත අයදුම් පත් වලට පෙන්වන්නට ඔහු නිරායාසයෙන්ම හොඳ වීඩියෝවක් තනා දී තිබීමයි.

එම වීඩියෝව බලන ආගමන විගමන මහේස්ත්‍රාත් වරු (Immigration tribunal) ඉහේ අත ගසා ගනු ඇත. මෙවැනි තානාපති නිලධාරියෙක් සිටින රටකට ඔවුන්ට මේ දේශපාලන  අනාථයින් යැවිය නොහැකිය. ඔවුන්ගේ ද රස්සා ගහලා  යන වැඩකි. ඔවුන්ට එම අයදුම්පත්ලාභීන් ට "allow " (බ්‍රිතාන්‍යයේ ජිවත් වීමට -ඉඩ දුන්නා ) යන මුද්‍රාව තැබීමට  අනිවාර්යයෙන්ම සිදු වේ.

එසේම ශ්‍රී ලංකා ජනාධිපති වරයාද කළ ඇත්තේ කල දුටු කල වල ඉහ ගැනීමකි. බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු මහතා  මේ අවස්ථාවේ ලංකාවට ගෙන්වුවොත් එය ඔහුට අවාසියකි. ඔහු එංගලන්තයේ සිටින තරමට  ජනාධිපතිවරයා ගේ චන්ද ව්‍යාපාරයට වාසි සහගතය.

හැබැයි ප්‍රියංකර මහතාට මම නම් කියන්නේ ලංකාවට යන ලෙසය. හේතුව  බ්‍රිතාන්‍ය නීතියට අනුව ඔවුන්ට ඔහුව "persona non grata" පර්සනා නන් ග්‍රාටා ලෙස නම් කළ හැකිය. එසේ කළ විට ඔහුගේ තානාපති මුක්තිය අහිමි වේ. (diplomatic immunity) ඉන් පසු ඔහුට නඩු දැමිය හැකිය.  එම අවස්ථාවට  පත් වීමට අවශ්‍ය නැත.

බුකියේ වීරයන්ට කියන්නට තියෙන්නේ මෙයයි. වෙල්ලස්සේ කැරැල්ලේදී සුද්දා ගේ  වෙඩි උණ්ඩයට දුවගෙන ඇවිත් මිය යාම වීර කමක් බව ඇත්තය. සුද්දා  ගේ තුවක්කු සමග සමග කොට අසිපත් වලින් කෙලින්ම සටනට යාම අගය කළ යුතු  නිර්භීත කමකි. නමුත් මොළේ තිබුනා  නම් කරන්නට තිබුනේ කන්ද උඩරට වන දුර්ග , දුෂ්කර මාවත් ආදිය උපයෝගී කර ගනිමින් ගරිල්ලා යුද්ධයක් අවුරුදු ගාණක් තිස්සේ දියත් කිරීමය. එසේ කළානම් සුද්දා කන්ද උඩරට දාලා යන්නේ අටසිය ගණන් වලය. එසේ නම් අදත්  වෙල්ලස්ස සශ්‍රීක පෙදෙසක් වනු ඇත.




//wikipedia- In diplomacy, a persona non grata (Latin: "person not appreciated",) is a foreign person whose entering or remaining in a particular country is prohibited by that country's government. Being so named is the most serious form of censure which a country can apply to foreign diplomats, who are otherwise protected by diplomatic immunity from arrest and other normal kinds of prosecution.//



Sunday 28 January 2018

හබරළ යාය, සයිබර්යාය, නෙළුම් යාය හැර තවත් යාය වල් ඇත්ද මහරජ

පහුගිය දවස් වල ඊමේල් සෑහෙන ප්‍රමාණයක් ලැබුන යාය උළෙලක් ගැන අහල . ඒ වගේම මෙසෙන්ජර් එකෙනුත් සමහරු ඇහුව. ජනවාරි මාසෙත් අවසාන වීගෙන යන නිසා වෙන්න ඇති.

හැබැයි ඒ කියන්නේ මම හිතන් හිටියට වඩා ඒ වැඩේට නිහඬව  හරි සහයෝගය දුන් කට්ටිය, කැමති වෙලා හිටි කට්ටිය ඉඳල තියනවා.  ඒ වගේම ඉතින් හිත යටින් කැමති වුනත්, එළිපිට අකමැති බව පෙන්වන අයත් ඉන්නවා. ඉතින් මම කල්පනා ඒ හැමෝම වෙනුවෙන් විස්තරයක් හොයල දාන්න. ඔව් ඔව් අර අහවල් යායේ සම්මාන උළෙල වැඩේ ගැන.

අනික " ගම ජවිපෙට භාර දෙමු" කියල වයිබර්, ෆේස්බුක් මෙසෙන්ජර් , වට්සැප් වලින් එන වීඩියෝ සහ මෙසේජ් සංඛ්‍යාව නිසා ඔය පණිවිඩ බලන එකත් මදකට නතර කරලා තියෙන්නේ. භාර දෙන්නවත් මට ඔය ගමක් භාර වෙලා හිටියේ නැහැ කියල කොච්චර කිව්වත් අහන්නේ නැහැනේ.

සම්මාන උළෙලවල් ගැන මුකුත් කියන්න දන්නේ නැති නිසා පොඩ්ඩක් හොයල බැලුව. දැනට දැන  ගත්තේ මෙපමණයි. හුඟක් වෙලාවට මාර්තු මාසයේ සම්මාන උළෙල පොජ්ජ පැවැත්වෙන්නේ නැහැ.

එතකොට කවදා  හෝ පවත්වනවාද කියන ප්‍රශ්නයට පිළිතුර තමා  ජූනි හෝ ජුලි මාසයට කල් දමල කියන එක.  ලංකාවේ  තියනවලු ඊ සොසයටි (e-society) කියල එකක්. ඒ ගොල්ලන්ගේ සහභාගිත්වයෙන් සහ සංවිධායකත්වයෙන්  ලු මීළඟ සම්මාන  උළෙල පැවැත්වෙන්නේ.  ඒ ගොල්ලෝ කරනවයි කියන්නේ නෙළුම් යාය සම්මාන උළෙලේම දිගුවක් ලෙස සයිබර් සම්මාන උළෙලක් ලු. බ්ලොග් වලට අමතරව  ෆේස්බුක් ආදී  සමාජ ජාලා හා වෙනත්  වෙබ් අඩවි වල පළවන නිර්මාණත් සලකා  බලනවලු.

එතකොට නෙළුම් යාය පදනම? ඒ ගොල්ලෝ "පීරියඩ් පවර්ටි " කියල ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්නවලු ළඟදීම පොලොන්නරුව පැත්තේ.  (දැනට ගුරුත්වාකර්ෂණ  බලය වැඩියෙන්ම රැඳිලා තියෙන්නේ ඒ හරියේ වෙන්න ඕනේ.) .  ඒ කියන්නේ සනීපාරක්ෂක තුවා ආදිය මිලදී ගන්න නොහැකි කාන්තාවන්ට  උදව් කරන ප්‍රොජෙක්ට් එකක්. එංගලන්තයේත් තියන ප්‍රශ්නයක්.

ඊට අමතරව නෙළුම්  පදනමෙන් පටන් ගන්න වලු  යාය ගුවන් විදුලියක් සහ යාය රූපවාහිනී සේවයක්. යාය ගුවන් විදුලිය ක්ෂේත්‍රයේ දැවැන්තයෙක් ගේ මුලිකත්වයෙන් ලු පටන් ගන්නේ.දක්ෂයන් ආවොත් කැමැත්තෙන් භාර ගන්නවලු.

නෙලුම් යායේ පළවන බ්ලොග් ලිපි පිළිබඳව මම දන්නා විධිහට දැනට කටයුතු කරන්නේ ලංකානිව්ස්වෙබ් හි උප කර්තෘ උපුල්.  ඒ කියන්නේ ලංකා  නිව්ස් වෙබ් හි නෙළුම් යාය සහ සයිබර් යාය විශේෂාංග පිටු  වලත් නෙලුම් යාය වෙබ් අඩවියෙත්. තම  ලිපි පල කර ගන්න අවශ්‍ය අයට මේ ලිපිනයට යැව්ව හැකියි . Deputy Editor : deputyeditor@lankanewsweb.net . තත්වය ළඟදීම වෙනස් වන්නට නියමිතයි ලු අළුත් පිරිසක් සමග.

ඔන්න ඔපමණයි දන්නේ. වැඩි විස්තර අහන්න තියෙන්නේ ඒ වෙබ් අඩවියෙන්ම තමයි.  

මට පණිවුඩ එවා හා කතා කළ, දිරිමත් කළ සහෘදයන්  සියල්ලටම ස්තූතියි.