Sunday, 17 March 2019

සුළඟ අප රැගෙන යාවි


අප කවුරුත් නුවන් ජේ නමින් දන්නා ජනප්‍රිය තරුණ සිනමාවේදියෙකු වන නුවන් ජයතිලක ගේ කුළුඳුල් සිනමා නිර්මාණය "සුළඟ අප රැගෙන යාවි " ළඟදීම ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය වන බව මට දැන ගැනීමට ලැබුණි.  මම එය නැරඹුවේ මෙයට  වසරකට දෙකකට පමණ ඉහතදී ලන්ඩනයේ ප්‍රදර්ශනවූ අවස්ථාවේය.

එදින චිත්‍රපටය නරඹන ලද ඇතැම් රසිකයන් එය  තවත් "රේඛාව"ක් බවත් තවත් ලෙස්ටර් කෙනෙකු අප අතරට එන බවත් පැවසූහ. මම බොහෝ වාරයක්  මේ චිත්‍රපට දෙක සංසන්දනය කෙළෙමි.  ඇත්තටම මට එසේ සිතෙන්නේ නැත. රේඛාව එලි දැක්වුණේ ලාභ හින්දි කොපි වලින් සිංහල සිනමාව පිරී තිබුණු කාලයකය. මනරම් ගීත සමුච්ඡයකින් යුත් "රේඛාව" ඒ සමයේ සිනමා රසිකයාට නැවුම් අත්දැකීමක් වූවා සේම සිංහල සිනමාවේ නව මානයක් සනිටුහන් කරන්නක් ද විය. ඒ එසේ වූයේ ඉන්දීය ලාභ චිත්‍රපට වල කොපි ඊටත් වඩා ලාභයට මේ රටේ නිපදවා තිබූ නිසාම නොවේ. ශ්‍රී ලංකාවේ   අධ්‍යක්ෂකවරයෙකුට මුළු  රටේම සංස්කෘතික ප්‍රබෝධයට තුඩු දෙන නිර්මාණයක් කිරීමේ හැකියාව ඉන් සනිටුහන් කළ නිසාය. එසේම රේඛාව සහ මුලින්ම වාගේ ලංකාවේ නිපදවූවකි.

රේඛාව නිපදවා  අවුරුදු හැට දෙකක් ගතවී ඇත. එනිසා ඉහත කී  හේතූන් තවත් සිනමා පටයකට තව  දුරටත් වලංගු වේ යැයි සිතිය නොහැකිය.

 මේ චිත්‍රපට දෙක සමාන කළ හැකි තැන් දෙකක් තිබේ. රේඛාව සම්පූර්ණයෙන් ම වාගේ  රූගත කර තිබෙන්න එළිමහනේය. නුවන් ජේ ගේ "සුළඟ  අප රැගෙන යාවි" හි සියයට අසූවක් පමණ දර්ශන පටිගත කර තිබෙන්නේද  එළි මහනේය.  ලෙස්ටර් විසින් රේඛාව සඳහා තෝරාගත් ළමුන් මුලින් චිත්‍රපටවල රඟපෑ අය නොවේ. ඔවුන් සම්පූර්ණයෙන්ම වාගේ ආධුනිකයන් බවට මා අසා තිබේ. (වැරදි නම් නිවැරදි කරන්න.)  නුවන් ජේ විසින් තෝරාගෙන තිබෙන්නේද රඟපෑමේ ප්‍රසිද්ධ දරුවන් කණ්ඩායමක් නොව රඟපෑම ස්වභාවයෙන් උරුම කොටගත් ළමා නළුවන් කණ්ඩායමකි. ඔහු දක්ෂ ලෙස මේ ළමා කණ්ඩායම හසුරුවයි.

මා කළකට ඉහත දී නැරඹූ සිනමා පටයක්  වන්නේ කෙයිසුකේ කිනොෂිටා නම් අද්විතීය  ජපාන සිනමාකරුවාගේ "නෙත් විසිහතර" (twenty-four-eyes) නම් විශිෂ්ඨ නිර්මාණයයි. ඔහුගේ එම චිත්‍රපටය ඔහු වැනිම විශිෂ්ඨ සිනමාවේදියෙකු වූ අකිතා කුරසෝවා ගේ "සමුරායි වරු සත්දෙනා "   (Seven Samurai) සිනමා කෘතිය පරදවා හොඳම චිත්‍රපටය වශයෙන්  1954 දී තේරුණි. එසේම  හොඳම විදේශික සිනමා  පටයට හිමි ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයද  1955 දී  එයට හිමි වුනි.

මේ චිත්‍රපටය  ජපනුන් ඉතා ආදරය කළ, එසේම   ප්‍රවේශපත්‍ර විකිණී වාර්තා තැබීමෙන් පමණක් නොව  විචාරකයන්ගේ නොමඳ ප්‍රසාදයද හිමිවූවකි. එය, ජපන් සිනමා විචාරකයන් විසින් හොඳම  ජපන් චිත්‍රපට දහයෙන් එකක් ලෙස 1999  දී  නම් කරන ලදී. කොටින්ම පශ්චාත් නූතන ජපන් සමාජයේ යුධ විරෝධී ආකල්ප මුවහත් කිරීමට  මෙම චිත්‍රපටය විශාල සේවයක් කරන ලද්දේ යයි කියති. ජපන් විචාරකයකු වූ සටෝ ටඩාඕ වරක් පැවසුවේ මෙම චිත්‍රපටය අනිකුත් සෑම පශ්චාත් යුධ සමයේ සිනමාපට වලට වඩා ජපනුන්ගේ දෙනෙත් වල කඳුළු පිරවීමට සමත්වූ බවයි.

කිනොෂිටා ගේ චිත්‍රපටය විසි වසරක් පුරා දිවෙන වෘත්තාන්තයකි. එය ගොඩ නැගෙන්නේ දීප්තිමත් තරුණ ගුරුවරියක වූ හිසාකි (හිදෙකෝ ටකමිනේ)  සහ  ප්‍රධාන දූපත් වලින් ඉතා දුරස්ථ ජපන් දූපතක සුන්දර මුහුදුකර ගමක ඇගේ ප්‍රථම පන්තියේ ළමුන් දොළොස් දෙනෙකුත් අතර ගොඩ නැගෙන හෘදයංගම වූ සම්බන්ධය හරහාය.  මේ දූපතේ මිනිසුන් නාගරික තරුණියක වූ ඇය දෙස මුලින් බලන්නේ දැඩි අවිශ්වාසයකිනි. නමුත් පසුව ඇගේ දක්ෂතාවයත්, තමන් උගන්වන ළමුන් කෙරෙහි ඇය දැක්වූ කරුණාවත් දයාවත් ගම්මුන් හඳුනා ගනිති.

දෙවෙන ලෝක යුද්ධය හා කොරියන් යුද්ධය ද තුලින් වෙනස් වන ගමත් ඇගේ සිසුන් කිහිප දෙනෙකු යුද්ධයේදී  මිය යාමත් අතරතුර සමහරුන්ගේ කටුක ජීවිතත් සමගින් කෙමෙන් වියපත් වන ඔවුන් තමන්ගේ පළමු ගුරුතුමියට දක්වන ලැදියාව චිත්‍රපටයේ වසර විසි හතරත් එහි නළු නිළි සමූහයත් එකිනෙකා බඳින හුය වේ.    

ඛේදවාචකයන්, මතකයන් සමගම  කාලය කාව්‍යමය ලෙසින් ආවර්ජනය කරමින් දිවයන චිත්‍රපටය යුදකාමී ජපාන සමාජය සහමුලින්ම වාගේ වෙනස් කරන්නට හා ඔවුන්ට සාමකාමී වීමට බල කල  සවිමත් පදනමක් සකස් කල බව ජපන් විචාරකයන් ගේ මතයයි.  

කිනොෂිටා ගේ චිත්‍රපටයේ නොයෙකුත් අවස්ථා කිහිපයක් මෙහි සටහන් කරමි.

"දෑස් විසි හතරේ " ගායනා කරමින් ඇවිදින සිසුන් සමුහයක් හා කඳුකර ගමක් පෙන්නුම් කරයි. ඔවුන් යන්නේ ගමට එන ගුරුතුමිය හමුවීමටය.

සකුරා මල් පිරුණු වත්තක දරුවන් ගීත ගායනා කරමින් ගුරුතුමිය සමග ඇවිදිති.

ඔවුන් පසෙක කඳුවැටියක් ඇති මනරම්  මුහුදු වෙරළේ ගුරුතුමිය සමග ගීත ගායනා කරති.

හදිසියේ ඇද වැටී කකුලක් ආබාධයට  පත්වන ගුරුතුමිය  බැලීමට සිසුන් බොහෝ දුරක් ගෙවා තනියම යති. ඇත්තටම ඒ ඔවුන්ට යා හැකි දුරක් නොවේ. ඔවුන් නිවෙස් වලට ඒමට පරක්කු වනවිට මුළු ගමම කලබල වෙති. නමුත් සා පිපාසාවෙන් පෙළෙමින් හැඬුවද  දරුවන් කෙසේ හෝ ගුරුතුමිය බැලීමට යති. ඇය ඔවුන්ට ආහාර ලබාදී ධීවරයෙකු සමග නිරුපද්‍රිතව ගමට යවයි. ගැමියන් නාගරික ගුරුතුමිය කෙරෙහි තමන් තුල ඇති විරෝධය ඉවත් කර ගන්නේ එතැනදීය.

ළාබාල සිසුන් දෙදෙනෙකු ගුරුතුමිය මුණ ගැසීමට  ඇගේ ගමට යයි.  ඔවුන් යන්නේ තමන් ඒ පාසැලෙන් අස්වන බව කියන්නටය. ගුරුතුමියද තමන් අස්වෙන බව කියන්නීය.

නුවන් ජේ ගේ "සුළඟ එනු පිණිස " චිත්‍රපටයේ ගවයා නැති වන විට ගමේ හිතවත් පිරිසක් කලබල වෙති.  ඒ වය නැතිවූ පවුලේ උදව්වටය.

දරුවන් දෙදෙනා නැතිවුණු ගවයා සොයා යාමත් ඉන්පසු එක දරුවෙකු කොළඹ යාමට වාහනයකට නැගීමත් සමාන අවස්ථා ලෙස මට පෙනේ.   ඒ දරුවන්ගේ හැටිය.

කඳුකරයේ දරුවන් දෙදෙනා ඇවිදින සමනළයන් පසුපස දිව යන දර්ශන මා කුඩා කාලයේ ලුණුගල ගමේ ජීවත්වූ කාලය සිහිපත් කරවයි. කුඩා නගරයක් වූ ඒ ගමින් එම සුන්දරත්වය දැන් එතරම් දක්නට නැතත් බත් කූරන් හඹා යමින් ගතකළ සුන්දර ළමා වියක් මටද තිබුණි.

ඇත්තටම බැලුවොත් මීමුරේ ගම ලුණුගලට වැඩි ඈතක් නැත. එය පිහිටා ඇත්තේ මහියංගනය පසුකර හසලක පැත්තට යන විටය.  ස්ටයින ඇඩම්ස් ගේ කැමරාව ඉතා  දර්ශනීය පසුතල කිහිපයක්ම  සූක්ෂම ලෙස ග්‍රහණයට හසු කරගනියි. මට මතක එක සුන්දර දර්ශනයක බසයක් ගමන් කරන්නේ පාර හරහා යන දිය වැලක් මතිනි. නුවන් ජේ ගේ අදහස් වලට ගැලපෙන්නටම ඇඩම්ස් ගේ කැමරාවද දක්ෂ ලෙස මෙහෙයවී ඇත.  ශ්‍රී ලංකාවේ සංචාරක අමාත්‍යංශයේ ප්‍රචාරක අංශයට මේ චිත්‍රපටයේ ඇතැම් දර්ශන පසුතල සංචාරක ප්‍රවර්ධනයට උපයෝගී කරගත හැකියයි මට වරෙක සිතුනි. ඒවා එතරම්ම  සුන්දරය.

එසේම චිත්‍රාල් සෝමපාල ගේ  සවන් පිනන සිහිල් සංගීත රටාවන්   හිමාල් මනුප්‍රියගේ  හඬින් කඳු මුදුන් තැනි තලා සමනළයන් අතරින් සැඟවෙමින් ගලායයි.
තවලම් කෝච්චි 

ලංකාවේ ඉංග්‍රීසි පාලන කාලයේ තිබුනේ තවලම් කෝච්චිය. ඒ දෙබාන බැඳි  කරත්ත සමූහයක් එක දිගට සති දෙකක් හෝ මාසයක් පමණ වැය කර බඩු ගෙනයාමට කොළඹ එන ගමනයි. එය නැවතුනේ සැබෑ දුම්රියේ ආගමනයෙනි. ඉන්පසු ලොරි පැමිනුණි. ඒ දෙබාන බැඳි කරත්ත වල කාලය නිමැවුණු පසු නුවන් ට තවමත් තවලමේ යන ගවරැලක් හා එහි හිමියෙක් සොයා ගැනීමට හැකිවීම පුදුමයකි.
ඒ පුදුමය මතුවූයේ  "එක හරක් හොරෙකු " මොබයිල් දුරකතනයක් චිත්‍රපටයේ භාවිතා කරනු දැකීමෙනි.

ගෝල්ෆේස් 

කතාවේ අවසන් කොටසේ "සුද්දා" සොයා   කොළඹ  එන දරුවා ට කොළඹ කුණු ගොඩවල් හමුවේ ජිවත්වන දරු කැලක් මුණ ගැසෙයි. මට මතක විධිහට කාලයක් කොල්ලුපිටියේ බේරේ  වැව පැත්තට වන්නට කොරියාව නමින් හැඳින්වූ  පැල්පත් සමුහයක් විය. මා වසරක් ගිය පොල්වත්තේ ශාන්ත  මයිකල් (රජයට පවරාගත්) විදුහලට මේ ළමයින් බොහොමයක් ආහ. ඔවුන් ගෙන් සමරුන් දහවලට කන්නේ පාසැලෙන් දෙන රජයේ ත්‍රිපෝෂ බිස්කට් පමණි. යහළු වූ විට මේ දරුවන් ඉතා හිතවත් අය වෙති. ගමේ දරුවාට වෙරළේදී එක්කහුවෙන දරුවන් මගේ අතීතයට මා රැගෙන ගියේ එසේය. ගෝල්ෆේස් හි කාලතුවක්කු තිබූ  හරියේ කොළඹට පැමිණි ගමයෙකු වූ මමද ක්‍රීඩා කොට ඇත්තෙමි.

කොළඹ ඇති විශාල කුණු කන්දක ඉදිරිපිට එක දැරිවියක අනික් දරුවන්ගෙන් "ගවයා " සොයා ගැනීමට උදව් ඉල්ලයි. මේ කුණු කන්ද සහිත දර්ශන කොළඹ මීතොට මුල්ලේ සිදුවූ විනාශයට කලින් පෙන්වන්න තිබුනා නම් කියා වරක් සිතුනි.

මට ඇති එකම ප්‍රශ්නය චිත්‍රපටයේ අවසානයයි. සිනමා විචාරයේ "දීප්තිකරණයට" අනුව ගතහොත්  චිත්‍රපටය සැබවින්ම අවසන් විය යුතුව තිබුනේ එක්කෝ ගවයා මස් කඩයක හෝ ගව මස් විකුණන ටෙන්ඩරය දිනූ  දේශපාලකයෙකුගේ පිඟානකදී  හමු වීමෙනි. නැත්නම් කොළඹට පැමිණි "පොඩ්ඩා" නිවසක වහල් සේවයකට හෝ වෙනත් වෙළඳාමක බලෙන් යොදවා සිටිනු පොලිසියට අසු වීමෙනි. විසිතුරු කොළඹ යටිබිම් ගත  යථාර්තය එතරම් දරුණු බව අපි දනිමු.

නමුත් මෙහිදී නුවන් ජේ ගේ සැඟවී සිටින "දරුවා" ප්‍රීතියෙන් එළියට යට එයි. අප හැමෝම තුලත් ඒ දරුවෙක් සැඟව සිටී. ඉඳහිට කඩයක තිබෙන පරණ කාරයක (dinky toy ) ආකෘතියක්  මා මිලට ගන්නේ එහෙයිනි. එනිසා සැබෑව නොව ළමා ලෝකයේ සිහිනයකින් නුවන් ජේ තුල සැඟව සිටි දරුවා චිත්‍රපටය අවසන් කරයි.

සමහරවිට  මුළු පවුලටම නැරඹිය හැකි චිත්‍රපටයක් හදන්නට ඔහුගේ ඇති වුවමනාව මත  එසේ වුනි නම් එය සාර්ථක වී ඇත. මායා නවගත්තේගමගේ නිෂ්පාදනයට ද  නවගත්තේ නමටද ඔහු සාධාරණත්වය ඉෂ්ට කොට ඇත.

රේඛාව ලෝක ප්‍රකට චිත්‍රපටයකි. මා  ඉහත සඳහන් කළ කිනොෂිටා ගේ චිත්‍රපටය,  මේ ලෝක ප්‍රකට චිත්‍රපට පෙළ නම් හිණිමගෙහි උඩම  ඇත්නම් රේඛාව ඇත්තේ එහි මුල් පඩි කිහිපයේය. නුවන් ගේ "සුළඟ අප රැගෙන යාවි " හිණි මග අසලට පැමිණ නතර වී ඇත. ඒ නුවන් ජේ හා නිෂ්පාදක  අධ්‍යක්ෂක විමුක්ති ජයසුන්දර ට   දින පහළවක් තුල සීමිත බජට්ටුවකින් ප්‍රාතිහාර්ය කිරීමට නොහැකි බැවිනි. මට පෙනෙන්නේ තමන් විසින්ම අපහසුවෙන් අසීරුවෙන්  ආ මාවත හරහා තමන් විසින්ම තනා ගත්  ගඩොල් බිත්තියක එල්ලී ඉදිරිය  බලන නුවන් ජේ ය.  ඒ ගඩොල් බිත්තිය බිඳ ප්‍රාතිහාර්ය පාන්නට මේ තරුණ අධ්‍යක්ෂකවරයාට හැකියාවක් ඇති බව  "සුලඟ අප රැගෙන යාවි " තුලින් ඔහු අපට පෙන්වා දී ඇත. 

 ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

     



8 comments:

  1. මීට පෙර මේ ගැන අසා තිබුණා පමණයිි. විචාර සටහන නිසාම බලන්නට ආසාව ප්‍රබලව ඇති වුනා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සමහර විට ඇමෙරිකාවටත් ගෙනෙයි

      Delete
  2. විචාර සටහන අගෙයි !

    ReplyDelete
  3. චිත්‍රපටය ගැන බොහොම හොඳ විචාරයක් අජිත් අයියා. චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනය නරඹලා ආපු ගමන් චිත්‍රපටය ගැන මං ලියපු සටහන චිත්‍රපටයට චිචාරයක් කරන්න හිතන් ලියපු එකක් නෙවෙයි. මගේ අරමුණු වුණේ ඒ මොහොතෙ මට දැනුණු හැඟීම් හා පුද්ගලිකව නුවන් එක්ක තිබුණු මාර්ගගත මිත්‍රත්වයත් නිසා මගේ සටහන කියවලා තවත් කිහිපදෙනෙකුට හරි චිත්‍රපටය නරඹන්න හිතෙන විදිහේ සටහනක් තැබීමයි. තව චිත්‍රපට ගැන විස්තරත් එක්ක ඔබේ මේ විචාරය නම් අනර්ඝයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඉරංග , ඒ ලිපියත් අගෙයි. මම නම් මෙහෙ පවුම් 15 කටද කොහෙද ටිකට් එකක් අරන් බලන්න ගියේ . නුවන්වත් අඳුරනවා. අඳුරන කමටම ලිව්වෙත් නැහැ

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. අනවසරයෙන් උපුටා පල කිරීම සපුරා තහනම්ය.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .