Showing posts with label Soviet. Show all posts
Showing posts with label Soviet. Show all posts

Monday 20 February 2017

සෝවියට් සාහිත්‍යය සහ ලංකාවේ වම 1 - පැරැණි වමේ මූලාරම්භය

අන්නා කරේනිනා චිත්‍රපටියේ කීරා නයිට්ලි 
දැනට වසර හතරකට පමණ පෙර මගේ බ්ලොගයේ මා මිතුරු සරෝජ් පතිරණ ලියු "ද්‍රෝහියාගේ දියණිය"  ග්‍රන්ථය ට හඳුන්වාදීමක් ලියුවෙමි. මේ හඳුන්වා දීමම මදක් වෙනස් කරමින්, පසු ගිය වසරේ   මගේ හා ඔහුගේ පොත්  ලන්ඩනයට හඳුන්වාදීමේදී රුසියානු සාහිත්‍යය  පූර්ව  විප්ලවීය හා පශ්චාත් විප්ලවීය යනුවෙන් කොටස් දෙකකට බෙදිය හැකි බවත් විප්ලවයෙන්  පසු රුසියානු සාහිත්‍යය  බොහෝ විට සෝවියට් සාහිත්‍යය සමග බද්ධවූ බවත් පැවසුවෙමි.

එසේම සෝවියට් සාහිත්‍යය සමාජවාදී යථාර්ථවාදය අනුයමින් කරන ලද නිර්මාණ හා එසේ අනුගමනය නොකරන නිර්මාණ ලෙස බෙදිය හැකි බවත් පසු කාලීනව සෝවියට් විරෝධී සාහිත්‍යයක් ගොඩ නැගුනු බවත් පැවසුවෙමි.

පූර්ව විප්ලවීය රුසියානු සාහිත්‍යය සහ කලාව ගැන කතා කරනවිට පොතක් ලියන්නට හැකි තරම් කරුණු සොයා ගත හැක. රුසියානු සම්භාවනීය සාහිත්‍යය ඒකාලෝක කල මහා ගත්  කතුවරුන් බොහොමයක් වූහ . මේ  කෘතීන් බොහොමයක් විශ්ව සාහිත්‍යයේ ඉහළම ස්ථානයේ වැජඹේ. එංගලන්තයේ කේම්බ්‍රිජ් , ඔක්ස්ෆර්ඩ් යන විශ්ව විද්‍යාල පමණක් නොව බර්ලින් විශ්ව විද්‍යාලය, ලෝක ප්‍රසිද්ධ  ලිප්සිග් ආදී ජර්මන් විශ්ව විද්‍යාල වලද ප්‍රංශයේ සොරෝබෝන් සරසවියෙහි ද රුසියානු හා උක්රයින සාහිත්‍යය උගන්වන පාඨමාලා තිබේ.

පූර්ව  විප්ලවීය රුසියානු සාහිත්‍යයේ  බැබලෙන ප්‍රබලම ගත්  කතුවරයා  ලෙස සැලකෙන ලියෝ ටෝල්ස්ටෝයි "රුසියානු විප්ලවයේ හදවත" ලෙස හැඳින්වූයේ ඔක්තෝබර් විප්ලවයේ නිර්මාතෘ වූ ව්ලැඩිමීර් ඉලිච් ලෙනින් ය. ටෝල්ස්ටෝයි  රුසියානු සාර්වාදී සමාජය මැනැවින් විග්‍රහ කරමින් ලිවිම ලෙනින් ගේ මේ කියමනට පාදක විය.  එසේ නැතිව සිටුවරයෙකු වූ ටෝල්ස්ටෝයි වාමාංශික අරගල ගැන ලිව්වේ නැත. ලෙනින් ගේ විචක්ෂණ ශීලි මොළයට තමන්ගේ පැත්තේ යයි නොසිතිය හැකි ලියවිල්ලක්, පොතක් පමණක් නොව නාට්‍යයක් පවා තම පැත්තට  හරවාගෙන විචාරයන් ලිවිය හැකි අමුතුම දක්ෂතාවයක් තිබුණි.

රුසියානු සාහිත්‍යය ගැන කතා කරනවිට චිත්‍රපට වලට පවා නැගුණු ටෝල්ස්ටෝයි ගේ අන්නා කරෙනිනා  හා යුද්ධය හා සාමය පොත් හැඳින්විය හැකිය. මේ මෑතකදී  බීබීසී ආයතනය "යුද්ධය හා සාමය" නැවත රුපවාහිනී චිත්‍රපටයක් ලෙස කොටස් වශයෙන් පෙන්වන ලද අතර එය ඉතා ජනප්‍රිය විය. මේවායේ පිළිඹිබු වන්නේ එවකට රුසියන් සමාජයේ අතිශයින්  පොහොසත් සාර් රජ පවුල ,  නොයෙකුත් ඉඩම් හා මාළිගා හිමි රදළයන් සහ  හමුදා සෙන්පතියන් ගේ ජිවිතයන්‍ ය.  එසේම  ඔවුන් බාහිර සමාජයෙන් වෙන්ව ගෙවූ එම සුඛෝපභෝගී ආකාරයේ ජිවිත හා ඔවුන් විසින් නොසලකා හරින ලද බාහිර සමාජයේ පරතරයද මේ පොත් වල මැනවින් පිළිඹිබු විය..

ෆියෝදෝර් දොස්තයෙව්ස්කි ගේ "අපරාධය සහ දඬුවම", "කරමාසොව් සහෝදරයෝ" මෙන්ම නිකොලායි ගොගොල් (උක්රයින ජාතික) ගේ "මළ මිනිස්සු" ද එලෙසින්ම විශිෂ්ට කෘතීන් ලෙස සැළකේ. ශ්‍රී ලංකාවට ද පැමිණි ඇන්ටෝව් චෙකොව්   ප්‍රසිද්ධ නාට්‍ය රචකයෙක් විය. ඔහුගේ "සොයුරියන් තිදෙනා", "චෙරි ගහ යට සහ "බල්ලා  කැටුව යන කාන්තාව" ප්‍රසිද්ධ නාට්‍යයන්ය. මහා කවියෙකු මෙන්ම ඔපෙරා තනන්නෙකු ලෙස චිර ප්‍රසිද්ධ ඇලෙක්සැන්ඩර් පුෂ්කින් ගේ "කපිතන්ගේ දියණිය " නව කතාව මෙන්ම ඔපෙරාව  ද චිත්‍රපටයකට නැගුනු  "යෙව්ගෙනි අනිගින් " ද ලොවම  දනී.

නිර්භයව අඩු වයසේ තරුණියක හා මැදිවියේ මිනිසෙකු අතර පෙම් සබඳකමේ කතාව  "ලොලිතා" ලීයූවේ රුසියානු ජාතික   නබෝකොව්ය. එසේම ඉවාන් තුර්ගේනිව් (පියවරු සහ පුත්තු) , මිහයිල් ලෙර්මන්තොව් (අපේ කාලයේ වීරයෙක්) ද ඉතා ප්‍රසිද්ධ ගත් කතු වරුන්ය.

මේ රුසියානු සාහිත්‍යය ගැන ඉතා කෙටියෙන්ය.

සෝවියට් සාහිත්‍යයට යාමට පෙර ලංකාවේ වමේ මුලාශ්‍රය සොයමු.

ආචාර්ය එන් එම් පෙරේරා 

ශ්‍රී ලංකාවේ ප්‍රථම වමේ පක්ෂය ගොඩ නැගු අයගෙන් කෙනෙක් වන  නානායක්කාර පතිරගේ මාටින් පෙරේරා උගත්තේ ගල්කිස්සේ ශාන්ත තෝමස් විදුහලේ සහ කොළඹ ආනන්ද විද්‍යාලයේය.  කොළඹ විශ්ව විද්‍යාලයෙන් මුලික උපාධිය ලබා ප්‍රසිද්ධ ආර්ථික අධ්‍යනය සඳහා වන ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් (London  School of Economics ) ආචාර්ය උපාධිය ලබා ගත්තේ ජර්මන් වයිමාර් රජයේ ව්‍යවස්ථාව හදාරා ඒ ගැන ලිවීමෙනි. ඔහු DSc හෙවත් (Doctor of Science) විද්‍යාචාර්ය උපාධිය ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් (ULC ) ලබා ගත් ප්‍රථම ශ්‍රී ලාංකිකයා  විය.
බොරළුගොඩ සිංහයා හෙවත් පිලිප් ගුණවර්ධන 

ඔහුත් සමග ලංකා සමසමාජ පක්ෂය පිහිටුවීමට පුරෝගාමී වූ අනෙක් තැනැත්තා ලංකාවට  ට්‍රොට්ස්කිවාදය හඳුන්වා දුන් බොරලුගොඩ සිංහයා යයි විරුදාවලි ලත් පිලිප් ගුණවර්ධනය. මේ අතරට එක්වූ තුන් වැන්නා පානදුර  ශාන්ත ජෝන් විදුහලේ හා කොළඹ  රාජකීය විද්‍යාලයේ උගත් කොල්වින් ආර් ද සිල්වා මහතාය. ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් මුලික උපාධිය ලබා කිංග්ස් කොලේජ් වෙතින් ආචාර්ය උපාධිය ලත් ඔහුගේ තීසිසය වූයේ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී පාලනයයි.
ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා  

එන් එම් (ඇන් ඇම් ලෙසින් ජනතාව හැඳින්වූ)  සහ කොල්වින් දෙදෙනාම "ඉන්දියා, සිලෝන් සහ බුරුම බොල්ෂෙවික්  ලෙනින්වාදී පක්ෂයේ " සාමාජිකයන් වූ (ඉන්දියාවේදී) අතර ලංකාවට  පැමිණි කොල්වින් බොල්ෂෙවික් සමසමාජ පක්ෂය පිහිටුවන ලදී.  එංගලන්තයේ ඉගෙන ගත්   ඇන් ඇම් සහ කොල්වින් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ පාලනයට විරුද්ධව සුරියමල් ව්‍යාපාරය (පොපි මලට එරෙහිව) ක්‍රියාත්මක කරන ලදී. ශ්‍රී ලංකාවේ ජනතාව  එම ව්‍යාපාරය ට  ඉමහත් සහයක් දුනි.
එන් එම් සහ ජේ ආර් 

ප්‍රථම වමේ පක්ෂය වූ ලංකා සමසමාජ පක්ෂය පිහිටවන්නට ක්‍රියා කල ඉතිරි දෙදෙනා නම් ලෙස්ලිගුණවර්ධන (ශාන්ත තෝමස් විද්‍යාලය හා  London  School of Economics ) හා රොබට් ගුණවර්ධනය. 

මේ අතර සිදුවූ වැදගත්ම සිද්ධියක් වූයේ  ලෙනින් සමග විප්ලවයේදී උරෙනුර ගැටී ක්‍රියාකළ ප්‍රථම රතු හමුදාවේ අණ දෙන්දනා  වූ ලියොන්  ට්‍රොට්ස්කි නමැති රුසියානු -යුදෙව් විප්ලවවාදියා  වසර 1940 දී සෝවියට් පාලක ජෝර්ජියානු ජාතික ස්ටාලින් ගේ අණින්  මරා දමනු ලැබිය.  ඇන් ඇම් සහ කොල්වින් මෙය නොදැන සිටින්නට විධිහක් නැත.

බ්‍රිතාන්‍යයේ ඉගෙනුම ලද ඔවුන්ට බ්‍රිතාන්‍ය  සමාජවාදීන් ගේ ක්‍රියා කලාපය හොඳින් හදාරන්නට ඉඩ ලැබුණි. ඔවුන් සෝවියට් දේශයේ ස්ටලින්වාදයට  නොව බ්‍රිතානයේ වඩා ජනප්‍රියව තිබු ට්‍රොට්ස්කිවාදයට වඩා හිතවත් වුනි.

මේ කිසිවෙක් රුසියන් සාහිත්‍යය කෙසේ වෙතත් සෝවියට් සාහිත්‍යය  තදින් පරිශීලනය  කලා යයි කියන්නට සාධක නොමැත. 

මෙනිසා පැරණි වමේ නායකයන් ට සෝවියට් සාහිත්‍යය පරිවර්තන වලින් බලපෑමක් සිදු නොවුණු බවට ඉතා සාධාරණ ලෙස තර්ක කළ හැකිය.

මේ අතීත කතාවේ තවත්   වැදගත් තැන්  දෙකක් තිබේ. එනම් 1935 ලංකා සමසමාජය පිහිටවූ පසු ඔවුන් ලෙනින් පිහිටවූ තෙවැනි ජාත්‍යන්තරය සමග එක්ව කටයුතු කළහ.  ස්ටාලින් ගේ සමය වන විට නොයෙකුත් රටවල  සමාජවාදී පක්ෂ වලින් සැදුම් ලත් මෙම ජාත්‍යන්තර සභාව  අක්‍රීයව පැවතුනි. ට්‍රොට්ස්කි සෝවියට් දේශයෙන් පිටුවහල් කළපසු පිහිටවූ හතරවැනි  ජාත්‍යන්තරයට එක්  වීම ගැන  තීරණය කිරීමට කළ  චන්ද විමසීමේදී වෛද්‍ය එස් ඒ වික්‍රමසිංහ සහ එම් ජි මෙන්ඩිස් එයට විරුද්ධව චන්දය පාවිච්චි  කළහ.

සෝවියට් දේශයට පක්ෂවූ (ස්ටාලින්වාදයට පක්ෂ )  එක්සත් සමාජවාදී පක්ෂය බිහි වූයේ මින් පසුවය. එය පසුව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සේ නම් කෙරුණි.
වෛද්‍ය එස් ඒ වික්‍රමසිංහ 

ගාල්ලේ මහින්දයේ ආදී සිසුවකු වූ සුගීෂ්වර වික්‍රමසිංහ කොළඹ  ආනන්දයේ ත් ඉන්පසු ලංකා මෙඩිකල් කොලේජ් හිත් උගෙනුම ලැබුවේය. එංගලන්තයේ ආචාර්ය උපාධිය සඳහා  උගනිද්දී කොල්වින්, ඇන් ඇම් සහ ලෙස්ලි ගුණවර්ධන සමග එක්ව ලන්ඩනයේ අධිරාජ්‍ය විරෝධී ව්‍යාපාර වලට එක්  විය.

දෙවන ලෝක යුද්ධය පටන් ගත් පසු සමසමාජය බ්‍රිතාන්‍ය විරෝධී ප්‍රතිපත්තියක් ගනිද්දී එස් ඒ වික්‍රමසිංහ ඇතුළු පිරිස ගත්තේ සෝවියට් දේශයේ පැත්තයි. සෝවියට් වරු බ්‍රිතාන්‍යය හා ඇමරිකාව සමග යුද්ධයේ දී එක්වීම නිසා බ්‍රිතාන්‍ය පාලනයට විරුද්ධව කරන ක්‍රියා වලට එම අවුරුදු පහ තුල එක්සත් සමාජවාදීන් ගේ  සහයක් තිබුනේ නැත. 

මේ කාලය වනවිට කිසිම සෝවියට් සාහිත්‍යය ක් ලංකාවේ තිබුණා යයි  කිව නොහැකිය.    ශ්‍රී ලංකාවේ වමේ ව්‍යාපාරයේ අඩිතාලම දැමුවේ ලන්ඩනයේ සිට අධ්‍යයනය  හමාර කර ගිය ලන්ඩනයේ රැඩිකල් වාම ව්‍යාපාරය සමග සිටි තරුණ පිරිසක් විසිනි.

මතු සම්බන්ධයි. 

- ද්‍රෝහියාගේ දියණිය: https://kolambagamaya.blogspot.co.uk/2013/08/blog-post_22.html
- යුද්ධය හා සාමය -https://www.theguardian.com/tv-and-radio/2016/jan/26/russia-verdict-on-bbc-war-and-peace-reviews

Friday 6 January 2017

සෝවියට් ශිෂ්‍යත්ව ගැන තව දුරටත්

විතානගේ ගේ පියා 

පසුගිය ලිපියේ සඳහන් චන්ද්‍රජිත් විතානගේ සහෝ ගැනද  යමක් ලිවිය යුතුය.  නව සම සමාජ පක්ෂයේ සාමාජිකයකු වූ ඔහු 1984 සෝවියට් දේශයට ආ කණ්ඩායමේ විය. ඔහු පැමිණියේ මා දන්නා පරිදි මිත්‍රත්ව සංගමය හරහාය.  ඔහු උගත්තේ දනියෙත්ස්ක්  නගරයේය.

ඔහුගේ පියා හොරණ විදුහලක විදුහල්පතිවරයකුව සිටි වාමාංශික දේශපාලනය කල අයෙකි.  වසර 1980 දී කල වැඩ වර්ජනයේ දී රැකියාව අහිමි විය. 1988 දී පමණ ජනතා විමුක්ති පෙරමුණ ට සම්බන්ධ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ යයි සැලකෙන දෙදෙනෙක් ඔහුට වෙඩි තබා මරා  දමන ලදී. ඔහුගේ මිනිය  දණිහින්  පහලට පමණක් ඔසවා ගෙන යා යුතුයි නීතියක් ද පැනවිණි.  විතානගේ ගුරුතුමා වනාහි නිර්භීත ශ්‍රේෂ්ඨ වාමාංශික ක්‍රියාධරයෙකි.

පියාගේඅවමඟුල් උළෙලට සහභාගී වීමට යන  විතානගේ සමග සෝවියට් දේශයේ මොස්කව් හි ශේරෙමිතෝවා ගුවන් තොටට ගිය අය අතර මමද වීමි. අවමඟුලෙන් පසුව නැවත රුසියාවට  පැමිණි විතානගේ මට කිවූ කරුණක් වන්නේ ඔවුන් දේ.ජ.ව්‍ය. අණ නොතකා පියාගේ දෙන කර මතින් තබා ගෙන ගිය බවයි. එසේම ඒ කාලයේ දී එම තරුණයන්ට විරුද්ධව රජය දුන් අවි ආයුධ භාවිතා කිරීම ප්‍රතික්ෂේප කල නියම මානවවාදියකු වන වික්‍රමබහු කරුණාරත්න මහතාට ද මගේ ප්‍රසාදය හිමිවේ.
 01. මීගමු වෙරළේදී 1989 අගෝස්තු පුළුස්සා ඝාතනය කර තිබූ සරසවි සිසුවෙක්, 02. ආරක්ෂක අංශ මගින් දකුණේදී ඝාතනය කරන ලද සරසවි සිසුන් සහ තරුණයින් පිරිසක්, 03. ආරක්ෂක අංශවලට ඔත්තු සැපයූවේයැයි චෝදනා කොට ජවිපෙ කැරළිකරුවන් විසින් හක්මනදී සිව්දරු මවක් ඝාතනයකර ගසක බැද දමා තිබූ අන්දම, 04. ජවිපෙ කැරළිකරුවන් විසින් ගිනිතබා විනාශ කරන ලද බස්රථ කිහිපයක්. උපුටා ගත්තේ ධර්මන් වික්‍රමරත්න මහතාගේ ලිපියකිනි.

සෝවියට් දේශය ගැන යම් ප්‍රකාශයක් කළොත් "මං පොර" ලා හැටියට අපව සලකන පොල්කට්ටක් ඇතුලේ සිරවී සිටින ජවිපෙට  හිතවත් වජිර යාපා වැන්නවුන් මේවාට කියන්නේ මොනවාද යන්න ගැන දැන  ගැනීමට කැමැත්තෙමි. (මෙහිදී මවිසින් එවකට පැවති යුඑන්පී රජය මගින්  වධ බන්ධන පමුණුවා තරුණයන් මරා  දැමීම සාධාරණය කිරීමක් නොකෙරේ. අනුර කුමාර දිසානායක මහතා තම ශෝකය හා කම්පනය ඒ පිළිබඳව  ප්‍රකාශ කළ බව දනිමි. සමාව ඉල්ලනවාට වඩා කල යුතුව තිබුනේ පක්ෂය තුල ඒ ගැන අවංක සාකච්ඡාවක් ගෙන යාමය.  බාගෙට දන්නා යාපලා බිහිවන්නේ එසේ නොකළ බැවිනි.)  අවම වශයෙන් ජවිපෙ දේශපාලනය සහ සෝවියට් දේශපාලනය එකක් නොව දෙකක් බවත් විජේවීර මහතා සෝවියට් දේශය ධනවාදයට පා නගතියි කියා  එය හෙළා  දුටු බවත් ඔවුහු නොදනිති.

සෝවියට් ශිෂ්‍යත්ව හා එක්සත් ජාතීන්ගේ සංවිධානය 

පසුගිය අවුරුද්දේ මාර්තු මස මගේ "පොල්කට්ටෙන් එපිටට " පොත එලි දැක්වීමේදී මම කිසියම් කරුණක් සඳහන් කලෙමි. ඒ සෝවියට් ශිෂ්‍යත්ව එක්සත් ජාතීන්ගේ සංවිධානයට  රටකින් එම සංවිධානයට ගෙවිය  යුතු වූ සාමාජික මුදල්  හා බැඳී තිබුණු බවයි.

මා එය දැන ගත්තේ කෙසේද යන්න මෙහි පැහැදිලි කරමි.
මොස්කව් බලශක්තිය පිලිබඳ
 තාක්ෂණික විශ්ව විද්‍යාලය (පින්තුරය මගේය) 

කොළඹ  රාජකීය විදුහලේ උගත් සිසුවෙක් විදුලි ඉංජිනේරුවකු වීමට ට මා උගත් මොස්කව් බලශක්තිය පිලිබඳ තාක්ෂණික  විශ්ව විද්‍යාලයට පැමිණියේය. මෙය මොස්කව් රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය හා බැඳී තිබුණකි.   රාජකීය විදුහලේ සිටි කල නිතර දබර වලට පැටලී සිටි අයෙකු ලෙස මම ඔහු ගැන දැන  සිටියෙමි. ඔහු මගේ වසරේ  අයෙක් වුවත් රුසියාවට පැමිණියේ තෙවන වරත් උසස් පෙළ විභාගයට පෙනී සිටිය. එවිට මම තෙවන වසරේ උගනිමින් සිටියෙමි. සමස්ත සෝවියට් ශ්‍රී ලංකා  ශිෂ්‍ය සංගමයේ ප්‍රධාන ලේකම් වරයා ලෙස කටයුතු කලේද මේ අවධියේ බව මට මතකය. (මේ සිද්ධිය මිට පසුව වූවාද විය හැකිය.) එසේම මොස්කව් බලශක්ති විශ්ව විද්‍යාලයේ ශ්‍රී ලංකා සිසුන් සංගමයේ ද ලේකම් වී සිටියෙමි. (සෝවියට් ක්‍රමයට අනුව සංගමයක බලවත් පුද්ගලයා ලේකම්ය. සභාපති පත් කරන්නේ දවසකට පමණි. සෝවියට් කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් මෙනි).

ඔහු විදුහලේදී මෙන් නොව විශ්ව විද්‍යාලයේදී හොඳ තැනැත්තෙකු විය. මම ඔහු රැගෙන මගේ රුසියන් මිතුරු මිතුරියන් ගේ නිවෙස් වල පවා ගියෙමි. වරක් මට බීමත් රුසියන් ජාතිකයෙකු පහර දීමට එද්දී ඔහු වහා ඉදිරියට පැන මා බේරා ගත්තේය. ඔහුට කිසියම් මානසික ප්‍රශ්නයක් තිබුණි.  මෙය මානසික රෝගයක් දක්වා පසුව උත්සන්න වී විශ්ව විද්‍යාලයෙන් මානසික රෝහලක නතර කර ප්‍රතිකාර  (විදුලිය ඇල්ලීම වැනි) කරන ලදී. නමුත් පසුව සිදුවූ කිසියම් සිද්ධියකි මාලාවකින් පසුව ඔහු ගේ ශිෂ්‍ය භාවය තහනම් කර ඔහුට ශ්‍රී ලංකාවට නැවත යාමට අණ කෙරුණි.

මුලදී ඔහු එය නවත්වා ගැනීමට ඔහු හොඳින් හඳුනන විදේශික ශිෂ්‍යයන් සඳහා වන පීඨාධිපතිවරිය වන දෙනිසෝවා සමග තැත් කලමුත් එසේ කළ නොහැකි විය. ඉන්පසු මා කරා පැමිණි මුත් මුලදී මට එය කල නොහැකි යයි කීවෙමි. පසුව  ඔහු ශ්‍රී ලංකා කොපයට සම්බන්ධ සිසුන්ද පසුව හමුවී තිබුණි. පසන් කොඩිකාර, මහින්ද, රෝහණ ලක්ෂමන්, ටියුඩර් ද මේ පිරිස අතර වී යයි ඔහු කීවේය. ඔවුන් ඔහුට කියා තිබුනේ කෙසේ හෝ අජිත්ටම කරදර කර නැවත ශිෂ්‍ය භාවය පිහිටුවා ගන්නා ලෙසයි.   මේ නිසා ඔහු මගේ කාමරයටම වී කරදර කරන්නට විය. පසුව මා වී.වී. දේශන වල සිටියදී එහිද පැමිණ ඉවතට කැඳවා ගෙන පැය ගණන් කතා කරමින් තම දුක් ගැනවිල්ල කියන්නට විය.

අන්තිමේදී මා  කලේ උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ශ්මාකොව් නමැති නිලධාරියා හමුවීමයි. ඒ නිලධරයා ලඟට යනවිට රොත්මන්, මාල්බරෝ වැනි සිගරට් 20-30 පෙට්ටියක්, හොඳ විස්කි හෝ වෙනත් විදේශික මත්පැන් බෝතලයක් වැනි දේ රැගෙන යා යුතුය. නැත්නම් පැත්ත බලන්නේ නැත. අර සිසුවාට මුදල් නැති හෙයින් මගේ වියදමින් එයද රැගෙන ගියෙමි. වැඩේ බලන්නම් කී  ශ්මාකොව් සතියකට පසු මා ගියවිට සිසුවාගේ ශිෂ්‍ය භාවය නැවත පිහිටවීම කළ නොහැකි බවයි. අපේ විශ්වවිද්‍යාලයටම යන ලෙස ඔහු මට දැන්වීය.

අපේ විශ්වවිද්‍යාලයට මොස්කව් වල ඉහළ පිළිගැනීමක් තිබුණු එකකි. එහි කොමියුනිස්ට් පක්ෂ බලධරයන් තරමක ස්වාධීනත්වයක් භුක්ති වින්දේය. මේ නිසා මා  කළේ විදේශික සිසුන් පිලිබඳ උප කුලපති හමුවීමට යාමයි. මේ උපකුලපති කේජිබී එක සමග කෙලින්ම සම්බන්ධකම් ඇති තැනැත්තා ලෙස හැමෝම දැන සිටියහ.   විදේශික ශිෂ්‍යයන්ගේ තොරතුරු සෙවීම ඔහුගේ එක කාර්යයයක් විය.

ඔහු මට පැවසුවේ එක්සත් ජාතීන්ගේ කාර්යාලයට යන ලෙසයි.යුනෙස්කෝව පිහිටා  තිබුනේ පාර්ක් කුල්තුරි යන ස්ථානයේය. UNDP එක තවත්  කොහෙද තැනකය. යූඑන් එකට යන්නේ කුමට ද යන්න මට මහා විමතියක් විය.  එහිදී ඔහු කීවේ සෝවියට් දේශය වසරකට අති විශාල මුදලක් ගාස්තු වශයෙන් ඩොලර් වලින් (hard currency හෙවත් රුසියානු භාෂාවෙන් "වැල්යුති" ) එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගෙවිය යුතු බවත් සිසුන්ට දෙන ශිෂ්‍යත්ව ඉන් කොටසක්  බවත්ය. එනිසා අවසන් කර යන සිසුන්, අස්වෙන සිසුන් ආදීන් ගේ සමස්ත සංඛ්‍යාව  ගැන රුසියන් අධ්‍යාපන අමාත්‍යංශය, ඔවුන්ටත් අදාළ රටේ තානාපති කාර්යාලයටත් දන්වන බවය. මේ අනුව සිසුවකු ගේ සුභ සාධනය ගැන අදාළ රටේ තානාපති කාර්යාලයට මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලයට ද  වගකීමක් තිබෙන බව ඔහු කීවේය. ලංකාවේ  තානාපති කාර්යාලයට ගොස්  වැඩක් නැති බව මම අත්දැකීමෙන්ම දන්නෙමි.

ඔහු කී කතාව  මට ඒත්තු යාමට හේතු දෙකක් විය. පළමුවැන්න නම්  එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කටයුතු ගැන සෝවියට් දේශයේ එතරම් පැහැදීමක් තිබුනේ නැත. දැන් NGO ගැන කියන්නාක් මෙන් එක්සත් ජාතීන්ගේ  සංවිධානය යනු ඇමෙරිකන් හොරණෑවක් යයි පතුරු ගැසීම ප්‍රව්දා වැනි පුවත්පත් මගින් කරන ලදී.  එක්සත් ජාතීන්ගේ සංවිධානයට එදා මෙන්ම අදද වැඩිම මුදල් ප්‍රමාණයක් ගෙවන්නේ එක්සත් ජනපදයයි. එ.ජා. සංවිධානයේ නිලධරයන් මුදල් නාස්ති කරතියි යන්නද නිතර නැගුනු චෝදනාවක් විය.

දෙවන හේතුව වන්නේ සෝවියට් දේශයට වැලුති හෙවත් හාර්ඩ් කරන්සි (ඩොලර්, පවුම්, ජර්මන් මාක්) හිඟවීමයි. ඔවුන්ට ඒවා ලැබුනේ තෙල් විකිණීමෙන් හා අමුද්‍රව්‍ය, දියමන්ති ආදිය විකිණීමෙන් පමණි. රටට අවශ්‍ය  දේ මිලදී ගන්නට මිස  වෙනත් දෙයට එම මුදල් යෙදවීමට ඔවුහු  කැමති නොවූහ.

මේ නිසා සංවර්ධනය  වෙමින් පවතින රටවලට උදව්වක් ලෙසින් මුලදී පටන්ගත් ශිෂ්‍යත්ව දීම සාර්ථක ලෙස UNDP එක්සත් ජාතීන්ගේ සංවර්ධන  අරමුදල සමග සම්බන්ධ කිරීමට ඔවුන්ට හැකිවී තිබේ. මේ අනුව රටවල් වල අධ්‍යාපන අමාත්‍යංශ සමග ගිවිසුම් ඇතිකර නිත්‍යානුකූල ලෙස සෝවියට් ශිෂ්‍යත්ව දීම ඇරඹි තිබේ.

මින් සෝවියට් ජනතාවගේ බදු මුදල් වලින් ඉගෙන නොගත්තේ යයි කියන අදහස මතුවන්නේ නැත. මොන මුදල ගෙව්වත් ඒවායේ  සෝවියට් ජනතාවගේ දහදිය හා කඳුළු ගැබ්ව තිබේ.  එනිසා එසේ සිසුන් යැවු රටවල් මෙන්ම උගත්  සිසුන්ද සෝවියට් ජනතාවගේ කැප කිරීම නිදහස් අධ්‍යාපනය ලබාදීම ගැන ස්තුතිවන්ත විය යුතුය.

නමුත් මෙයත් සෝවියට් දේශපාලන ක්‍රමය ගැන කතා කිරීමත්  සමග පටලවා  ගත යුතු නැත.

කෙසේ හෝ කිසිවෙක් මේ ගැන දැන  සිටියේ නැති අතර අර සිසුවාගේ ප්‍රශ්නයේ සංවේදී බව නිසා මට මෙය කා හටවත් කිව නොහැකි විය.  ඔය කියන ස්ථාන ගැන සොයා ගැනීමට නොහැකි නිසා මම කේජිබි උප කුලපති හමුවීමට නැවත ගියෙමි. "ඔහේ කරදරයක් වුනානේ " යයි මැසිවිලි කී  ඔහු ෆයිල් එකක් දෙකානාත් නමැති සිසුන් පිලිබඳ කාර්යාලයෙන් ගෙන්වා ගති.

එහි විශ්ව විද්‍යාලයේ උගන්නා  සියලු ලාංකික සිසුන් ගේ නම් තිබු අතර නාමාවලිය බලමින් "ගොස්‌ - ගොස්" යයි කියාගෙන ගොස් අර කි සිසුවාගේ නම ඉදිරියේ  නතරවුනේය. ඔහු "ගොස්" යනුවෙන් කිවේ රුසියානු භාෂාවෙන් ගසුදාර්ස්ත්වා හෙවත් රජය  යන්න මට වැටහුණි. ඒ කියන්නේ රජය හරහා පැමිණි යන්න බවය. ඉන්පසු ඔහු කීවේ අස් කල සිසුවා පැමිණ  ඇත්තේ මිත්‍ර සංගමයෙන් බවය. (එහි නිත්‍යානුකූල නම  වොක්ස් හෙවත්  විදේශීය සංස්කෘතික සම්බන්ධකම් සඳහා වන සමස්ත සෝවියට් සංගමයයි)  තමන් මට වැරදි උපදෙසක් දුන් බව කී ඔහු සිසුවා  ගේ අස්කිරීම අවලංගු කර ගැනීමට මිත්‍ර සංගම් කාර්යාලයට යන ලෙස කිවේය. මේ නිලධාරියා බොරුවක් කර මා කඩේ යැව්වාදැයි කුකුසක් මගේ සිතේ පහල විය. ඉහත  කි සංස්කෘතික සංගමයට සංස්කෘතික මන්දිර පවත්වා ගෙන යාමට හා අවුරුද පතා විශාල මුදලක් සෝවියට් සංගමය විසින් වෙන් කරන ලදී. ශිෂ්‍යත්ව සුළු සංඛ්‍යාවක් දීමද එයට අයත්ව තිබුණි.

මා කලේ මේ බව වටින් ගොඩින් තහවුරු කරගෙන අර සිසුවා ගෙන්ද ඇසීමයි. මුලින් එය ප්‍රතික්ෂේප කල ඔහු පසුව එය සත්‍යයක්  බව පිළිගත්තේය. ඔහුගේ පියා  වාමාංශික වෘත්තීය සමිතියක සිටි නයුවෙකි. මේ නිසා මා කළේ මිත්‍ර සංගම් කාර්යාලයට යෑමයි. එහි සිසුන් බාරව සිටියේ ඉතා තඩි , මහත, නෙරා ඇති  බඩක් සහිත පුද්ගලයෙකි. ඔහු දුටු විගස මට මතකයට නැගුනේ  අර ඕර්වෙල් ගේ "සත්ව ගොවිපල" පොතේ ඌරන් සමූහයය. ඔහු මට පෙනෙන්නට මෙන් විදේශික හවානා වැනි සිගාර් එකක් උරමින් පැමිණියේය. මා  ඔහුට අල්ලස පිණිස කිසිවක් රැගෙන ගියේ නැති එකට අමනාපයෙන් මෙන් කතා කල ඔහු සිසුවාගේ විස්තර උඩින් පල්ලෙන් බලා  "මෙයී" (මෙය අපේ විශ්ව විද්‍යාලයට කියන කෙටි නමයි) එකේ වැඩට ඇඟිලි ගහන්නට බැහැ යයි කීවේය. ඉන්පසු ආ  ලෙසින්ම අහංකාර ලෙස ඇතුලට ගියේය.

මම ඉන්පසු නිහඬව  සිටියෙමි. අර සිසුවාද  ශ්‍රී ලංකාවට යැවුනි. ඔහු  ගියේ මා ඔහු වෙනුවෙන් කටයුතු නොකළැයි මා  සමග තබාගත් වෛරයකින් යුක්තව යයි ඔහුගේ යහළුවෙකු පසුව කීවේය.  මට කළ හැකි දෙයක් තිබුනේ නැත. අර කේජිබි උප කුලපතිට එය නැවැත්විය හැකිව තිබුනත් එය නොකළ ඔහු ඔහු මට පසුව කී පරිදි "සිසුවා " සුව කල නොහැකි අයෙකි. අද වෙන තුරුත් මා මෙය කිසිවකුට කීවේද නැත.

මගේ පොත එළි දක්වන දිනයේ මා සරදමකට මෙන් පැවසුවේ විජේවීර මහතා මේ බව දැන  සිටියානම් ශ්‍රී ලංකාවේ  එක්සත් ජාතීන් ගේ  කාර්යාලයට ගොස් පැමිණිලි කර තමන් ගේ වීසා අවලංගුව සාදා ගැනීමට තිබු බවයි. එසේ නම් සමහර විට ලංකාවේ ඉතිහාසයද වෙනස් වන්නට තිබූ  බවයි. ඇත්ත වශයෙන්ම විජේවීර මහතා  ගියේ කොපය හරහා නම් ඔහු මිත්‍ර සංගම් ආධාර යටතේ ගිය අයෙකු වන්නටද ඉඩ තිබිණි.

මා පසුව මේ ගැන විස්තර සෙවූ මුත් මේ කතාව සනාථ කරන කිසිදු රාජ්‍ය ලේඛනයක් මා සතුව නැති බවද කිව යුතුය. නමුත් ඉන්පසු මට හමුවූ සෝවියට් දේශයේ ගුරු භවතුන් කිහිප දෙනෙකුම මේ කතාව සනාථ කළහ.

ශ්‍රී ලංකාවේ ඇති අධ්‍යයන පොදු සහතික පෙළ උසස් පෙළ විභාගය යනු බොහෝ විට කට පාඩම් කර මෙන්ම ගණිත ගැටළු විසඳීම් ආදිය මතකයේ තබාගෙන පිළිතුරු දිය යුතු විභාගයකි. එය සමත් වන අය අනිවාර්යයෙන්ම දක්ෂය. නමුත් මේ විභාගයෙන් විශ්ව විද්‍යාලයට යාමට ඔන්න මෙන්න තියා අඩු ලකුණු ගත් ඕනෑම අයෙකු ඉන් ජිවිතයේ අනිත් කටයුතු වලදී අදක්ෂයෙකු වේ යයි ඉන් කියවෙන්නේද  නැත.  එසේම වෙනත් විභාග පසු කලෙක සමත් නොවන්නේ යයිද කිව නොහැක.

එසේම එම විභාගය අසමත් හා ඉතා අඩු ලකුණු ගත් අය අදක්ෂයන් යයි ඉන් කියවෙන්නේද නැත. රාජකීය විදුහලේ රගර් ක්‍රීඩකයෙකු පසු කලෙක එංගලන්තයේ අපොස උසස් පෙළ සමත්ව වෛද්‍යවරයෙකු වුනු බව මම දනිමි.  එනිසා කිසිවකු කොහෙන්ද ආවේද උසස් පෙළ සමත්ද යන ප්‍රශ්නය මා කිසි දිනක කාගෙන් වත් ඇසුවේ නැත. ඊට වඩා වැදගත් වන්නේ පිටරට සිටින අප සැවොම  සමග ගොඩ නගා ගන්නා යහපත් මානුෂික සම්බන්ධතාවයයි. මට නොයෙක් රටවලින් ඉතා හොඳ මිතුරු මිතුරියන් රැසක්  සිටි අතර සෝවියට් දේශයේ ඒ ගත කල කාලය ගැන අදත් ඉතා හෘදයන්ගමව සතුටින් සිහි කරමි.

මූලාශ්‍ර :
1. මේ නිව්යෝර්ක් ටයිම්ස් ලිපියේ සඳහන් වන්නේ සෝවියට් සංගමය ඩොලර් මිලියන් 197 පමන  එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගෙවිය යුතුව තිබුණු බවයි.

2. එක්සත් ජාතීන්ගේ සංවිධානයට රට රටවලින් ගෙවන මුදල්  (දැන්)
3. ඉහත පින්තුරය උපුටා ගත්තේ ලන්කාවෙබ් අඩවියට ධර්මන් වික්‍රමරත්න  මහතා ලියු ලිපියකිනි. 

Thursday 5 January 2017

වජිර යාපා ගේ කොමෙන්ටුවට "මං තුමා" ඇවිස්සෙයි

වජිර යාපා නමැති ජවිපෙට හිතවත් සහෝදරයෙකු දැන  හෝ නොදැන කොමෙන්ටුවකින් මට මඩ පහරක් ගසා  තිබුණි. ඒ දැක තවත් "මං තුමෙකුට" හා ඇනෝ කෙනෙකුට  ජොලියක් පහළවී තිබේ. "මං තුමාගේ" ජොලිය කඩන එක පවක් වුනත් පිළිතුරක් දීම යුතුකමක් යයි සිතමි.

("මං තුමා ලා " - යනු තමන්ට තුමා කියා ගන්නා හීනමානයෙන් පෙළෙන්නන්  රැසකි. මොවුන් බොහෝවිට තම තමන්ම  මංතුමා ඔබතුමා  යනුවෙන් පිට කසා  ගනිති. වෙන කවුරුත් නොකියන නිසා විය යුතුය. )

මා බුකියට දැම්මේ මේ කොමෙන්ටුවයි.

//සුනිල් මාධව ප්‍රේමතිලක. අද මළකඳක් වගෙයි. මමත් කාලයක් සත්‍යවාදියෙකුගේ දිනපොතින් මත වී හිටිය. හැබැයි හොඳ වෙලාවට 1984 කාලයේ සුචරිත ගම්ලත් වැනි අයගේ දේශන වලට යෑම පොත් කියවීම තුල ජවිපෙ දේශපාලනයේ වැරැද්ද මුලින්ම හඳුනා ගත්ත. පසුව 84 සෝවියට් දේශයට යාමට ඉල්ලුම් පත්‍ර දැම්මෙත් විජේවීර ගේ අදහස් ඇත්තද නලින් ද සිල්වා ඒ දවස් වල ලියු "සමාජවාදී පන්තිය ගැන "ඇත්තද කියල හොයන්න බව මට මතකයි. // Ajith Dharma
වජිර යාපා ගේ පිළිතුර: මෙයත් වර්තමානයේ ඉදන් අතීතය ගලපන්න හදන එකයි කරන්නේ .යන එන මං නැතුව හිටපු ''නිකම්මු'' සෝවියට් ආධාර වලින් ජිවිතේ හදාගෙන ''සමහරු'' වුනා ,බරපතල ටෝක්ස් දෙන එක රුසියාවට ගිය බොහෝ අය කරනවා .කොමියුනිස්ට් රුසියාවේ රූබල් 90 වෙන් ජිවත් වෙලා .ඒකෙන් ටිකට් අරං ලංකාවට ආගිය අතීතය දැන් අමතකයි .ඒකෙන් ගානක් ලංකාවට යවනවා දැන් අමතකයි.අද මෙයලා කොහේද ලෙනින් විප්ලවය නොකලා නම්.හරියට මෙයාගේ අම්මගේ තාත්තාගේ වියදමින් සෝවියට් දේශයට ගියා වගේ දැන් කතාව .මෙතන රුසියන් භාෂාවෙන් කොටන අනිත් අයටත් මේ කතාව අදාලයි.අඩු ගානේ අවුරුද්දකට සැරයක් පැවති සෝවියට් දේශයට ස්තුතියි කියලා සමරන්න ,මං පොර සංකල්පේ පැත්තක තියලා .ලැජ්ජයි

මුලින්ම මම ලියුවේ මොකක්ද කියල පැහැදිලි කරන්නම්.

///සුනිල් මාධව ප්‍රේමතිලක. අද මළකඳක් වගෙයි. මමත් කාලයක් සත්‍යවාදියෙකුගේ දිනපොතින් මත්  වී හිටිය.// සත්‍යවාදියෙකුගේ දිනපොත ලිව්වේ පහු කාලෙක වගෙයි මට මතක. මම ඒකට  හුඟක් කැමැත්තෙන් හිටි කාලයක් තිබුන. හැබැයි ඔහු ටිකක් හැඟීම්බරයි කියලත් හිතිච්ච වාර අනන්තයි. "දිවයිනේ" ඔහු ගේ පිටුව ටත් මම කැමතියි. හැම දෙයක්ම කියවනවා. දවසක් ඔහු කැමරාවක් නැතිය කියලත්,  තියනවා නම් හොඳ පින්තුර ටිකක් දාන්න පුළුවන් කියලත් ලිව්වා. මම මගේ ඒ දිනවල තිබ්බ සෙනිත් කැමරාවත් අරන් ඒක  දෙන්න ගියා  මම හිතන්නේ  බ්ලූමැන්ඩල්  පාරේ කාර්යාලයට. එතන හිටි කවුරු හරි ඕනෑවට එපාවට වගේ කතා කලේ. එයා හිටියේ  නැහැ කීව. මම ආපහු  හැරිලා ආව. තවම දුකයි ඒ ගැන. හැබැයි මම අද මළකඳක් වගෙයි කියල ලීවේ, එයා ගැන බුකියේ මහා වාදයක්  ගියා මොකක්ද සමරුවක් ගැන. අපි දන්නා කතුවරයෙක් හා බ්ලොග් කරුවෙක් වුන හෙන්රි වර්ණකුලසූරිය මහතාත්  පැටලිලා හිටිය.  ඉතින් මට හිතුන මේ මනුස්සය දැන් මැරිලා වගේ ඉන්නේ කියල. අර ජීවය මුකුත් නැහැ. පහු කලෙක පොඩ්ඩක් ජාතිවාදය  පැත්තටත් ඇදිල හිටිය කියල සමහරු කියනවා. මට ඇත්තටම ආපු හැඟීම ඒක.

// හැබැයි හොඳ වෙලාවට 1984 කාලයේ සුචරිත ගම්ලත් වැනි අයගේ දේශන වලට යෑම පොත් කියවීම තුල ජවිපෙ දේශපලනයේ වැරැද්ද මුලින්ම හඳුනා ගත්ත. පසුව 84 සෝවියට් දේශයට යාමට ඉල්ලුම් පත්‍ර දැම්මෙත් විජේවීර ගේ අදහස් ඇත්තද නලින් ද සිල්වා ඒ දවස් වල ලියු "සමාජවාදී පන්තිය ගැන "ඇත්තද කියල හොයන්න බව මට මතකයි//

මා අපොස උසස් පෙළ පළමු වරට කළේ 1983 දී  රාජකීය විදුහලේ 12MS1 පංතියේය. මා කලේ ගණිත විෂයන්ය.  මට මොරටුවට යාමට ලකුණු මදිවුනි. මේ නිසා නැවත දෙවන වර කරන ලෙස ගෙදරින් හා යහළුවන් ගෙන් බලපෑම් තිබුණි. නමුත් මම ඒ දිනවල දේශපාලනයට ආශා කලෙමි. මුලින්ම "මව්බිම සුරකිමු" කියා සිරිල් මැතිව් මහතා  සම්බන්ධ දෙමළු හෙළා  දැකීමේ ව්‍යපාරයකටත් පසුව ජවිපෙ හිතවාදී ව්‍යාපාරයකටත්  සහයෝගය දුනිමි.  රාත්‍රී කාලයේ ජවිපෙ පෝස්ටර්  වගයක්ද ඇලෙව්වා  මතකය. බොහෝ රුසියානු පොත්පත් හා සෝවියට් පොත් ද කියෙව්වෙමි. මා  කුඩා කාලයේ සෝවියට් ළමා පොත් බොහොමයක් තාත්තා අපට කියවීමට ගෙනත් දුනි. නන්දා  මාලිණි ගේ ජාතිවාදී ගීත ගැන සුචරිත ගම්ලත් මහතාගේ ලිපියක් කියෙව්වේද මේ කාලයේය. ඉන්පසු ඔහුගේ දේශනා අසන්නට ගියෙමි. 

අපගේ යහළුවා  වන නන්දන වීරරත්න සහෝදරයා මහජන පුස්තකාලයේ සංවිධානය කල" නිර්මාණ සංවාද කුලකයේ" චිත්‍රපට විචාර වලටද සහභාගී වුනෙමි.  දවසක මැයි පළවෙනිදා ජවිපෙ පෙළපාලිය නරඹමින් සිටියදී තාත්තාට මා හසුවිය. ඔහුගේ ප්‍රධානියෙකුට ආයාචනය කර එර්නස්ට් ඇන්ඩ්  යන්ග් සමාගමේ ප්‍රධානියකු හමුවීමට පියා මා රැගෙන ගියේය. ඔහු මට බ්‍රිස්ටල් විදියේ ගොඩ නැගිල්ලක පවත්වන එම ආයතනයට ගණකාධිවරුන් ගන්නා  විභාගයට පෙනී සිටීමට නියම කළේය. මම එය සමත් වීමි.  

අපොස උසස් පෙළ ප්‍රතිපල වලින් මොරටු යාමට මදි වුනත් කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යාව කිරීමට  අවස්‌ථාව ලැබුණි. ඒ අතරේ  මොරටුවේ  තාක්ෂණ විද්‍යා පාඨමාලාවටද (NDT) තේරුණි. 

මම නිතරම සෝවියට් සංස්කෘතික මන්දිරයේ  නොමිලේ පෙන්වන චිත්‍රපට  නැරඹීමට පුරුදුව සිටියෙමි.  නව සම සමාජ පක්ෂයේ "කම්කරු විත්ති" නිති පතා  කියවූ නිසා එහි සාමාජිකයෙකු වන චන්ද්‍රජිත් විතානගේ මා  සමග මිතුරු වුනි.  අප දෙදෙනා බොහෝ විට සෝවියට් සංස්කෘතික මන්දිරයේ චෙස් ඇදීමටත් රුසියානු පරිවර්තන පොත් රැගෙන ඒමටත් ගියෙමු. ඇමෙරිකානු සෙන්ටර් එකට වරක් දෙවරක් ගියමුත් එය මගේ හිතට ඇල්ලුවේ නැත. එහි සිටි ඔලුව උදුම්මා ගත්  "මන්තුමා" වැනි විසුළු කොල්ලෙකු නිසා බව නම් මතකය. 

සෝවියට් සංස්කෘතික මන්දිරයේද මෙවැනිම පිරිසක් සිටි අතර ඔවුන් අපට අකමැති බවත් වෙනත් අය එහි එනවාට  අකුල් හෙලන බවත් මට වැටහුණි. හේතුව සොයා ගත්තේ චන්දනය. ඔහු කිවේ මේ අය සෝවියට් ශිෂ්‍යත්ව බලා පොරොත්තුවෙන් එහි සිටින බවයි. අලුතින් අය එනවාට එතන කිසියම් ඉරිසියාවක් තිබුණි. මා  සෝවියට් ශිෂ්‍යත්ව ගැන දැන  ගත්තේ එදාය. වැඩිදුර විපරම් කිරීමේදී විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමින් ඒවා ගැසට් කරන බව දැන  ගතිමි. පත්‍රයේ පලවූ පසු අයදුම් කළෙමි. කිසියම් හේතුවකට මමද සිලෙක්ට් වී තිබුණි.

දැන් ප්‍රශ්නය වුනේ තෝරා  ගන්නේ කුමක්ද යන්නය. අර ගණකාධිකාරී ආයතනයේ ප්‍රධානී මහතා කිවේ මට තිබෙන්නේ සෑම දිනකම වරුවක් ඉගෙන ගැනීමත් වරුවක් වැඩ කිරීමත්  බවය. මට රුපියල් 350 පඩියක් ද  ලැබේ, අවුරුදු තුනක ඉගෙනිමකින් පසු රුපියල් 15000 මාසික පඩියක් සමග රැකියාව ලැබෙන අතර සමහර විට රථයක්ද ලැබෙනු ඇතැයි කිවේය. (එය ඒ දවස් වල හොඳ පඩියකි)  මගේ ලකුණු  ඉතා හොඳ බවද තවත්  රාජකීයයන් එහි සිටින බවද කීවේය. මා  එයට නොගියේ අරුම පුදුම හේතුවකටය. එනම් එහි ටයි දමා ගෙන වැඩ කිරිල්ල මට ඇල්ලුවේ නැත.

ඉන්පසු යන්නේ කොහිද කියා කොලයක එක එක ඔප්ශන් එකේ  වාසි අවාසි   ලියුවෙමි. මා දන්නා පරිදි මගේ සහෝදරිය මේ කොලය සුරක්ෂිතව තබා ගෙන තිබේ. ආචාර්ය නලින් ද සිල්වා මහතාගේ ලිපි පෙළක් දිවයින පුවත් පතේ ගියේ මේ කාලයේය.  එහිදී සෝවියට් දේශය පාලනය කරන්නේ  නිලධාරීන් ගෙන් යුත් "සමාජවාදී පන්තියක් " බව ට අදහසක් ඔහු ගෙනාවේය. විජේවීර මහතාගේ පොත් හා ලිපි මෙන්ම ඔරුවල බන්දු  ගේ පොත් ("සෝවියට් සිර මැදිරියේ සිට" වැනි ) දෑ කියවා  සිටි මට මේ තර්කය ඉමහත් කුහුල දනවන්නක්  විය. අපනාසියෙව්  ගේ දයලේක්තික භෞතික විද්‍යාව ගැන වූ පොත්ද මා  සතුව තිබුණු අතර ඒවායේ ලියූ අදෝ සංසාරයක් මට තේරුනේ නැත.  අන්තිමේදී මා  කොලයේ ලියුවේ සෝවියට් දේශයේ "සමාජවාදී පන්තිය " පන්තියක්ද යන්න  සෙවීම වැදගත් බවයි. ලයනල් බෝපගේ මහතා ජවිපෙන් අයින් වුනේ මේ කාලයේ බවද මට මතකය.

 ආචාර්ය දයාන් ජයතිලක මහතා කල දේශනා වලටද ගියෙමි. ඔහුගේ දේශනා බොහෝ තිබුනේ ගර්ල් ගයිඩ් මුලස්ථානයේ වන අතර ඒවා වූයේ  "ලතින් ඇමෙරිකානු විප්ලවය" ගැනය. "ශ්‍රී ලංකා ගාඩියන්" ද නිතර කියවුයෙමි. 

ජවිපෙ දේශපාලනයට  සම්බන්ධ වීමට සිතා  සිටි මම එය ප්‍රතික්ෂේප කලේද මේ කාලයේය. ඒවාට බලපෑවේ එසේ කියවූ ප්‍රකාශන හා ගිය දේශන බව සිතමි. නමුත් ඒකාලේ ජවිපෙ  සිටි සමහරු තවම මිතුරන්ය.  

එනිසා මා තෝරා ගත්තේ සෝවියට් දේශයට යන්නටය. මෙය පොර කතාවක් නොව ඇත්තකි. 

//හරියට මෙයාගේ අම්මගේ තාත්තාගේ වියදමින් සෝවියට් දේශයට ගියා වගේ දැන් කතාව .//
සෝවියට් දේශයට යන්නට ටිකට් වියදම ලංකා රජය දෙන්නේ නැත. එනිසා ඒ වියදම් දැරුවේ  මගේ පියා ය. අනිත් ළමයින්ට ද එසේය.  ටිකට් එක රුපියල් 17000 බවද මට මතකය.  1984 දී එය අපට ලොකු මුදලකි.

//කොමියුනිස්ට් රුසියාවේ රූබල් 90 වෙන් ජිවත් වෙලා.ඒකෙන් ටිකට් අරං ලංකාවට ආගිය අතීතය දැන් අමතකයි//
 මෙයද වැරදි නොදන්නා  කතාවකි. හෙවත් බොරුවකි.  රුබල් 90න්  ඉතිරි කරගත් මුදලින් අපි ලන්ඩනයට ගියෙමු. එහේ තාවකාලික රැකියාවක්  කර හෝ ලන්ඩන් හෝ බර්ලින් වලින් රැගත් ඇඳුම් ආදිය  (ඩෙනිම් ) ගෙන රුසියාවට පැමිණ ඒවා විකුණා  ලබා ගත්  මුදලින් ටිකට් රැගෙන ලංකාවට ගියෙමු. වජිර මහතා ගේ සහෝදරයා කීව් නගරයේ උගත් අතර ඒ විස්තර ඔහු දන්නවා  ඇත. අමිහිරි වුවද  සත්‍යය එයයි. 

//ඒකෙන් ගානක් ලංකාවට යවනවා දැන් අමතකයි.// 
ලංකාවට මා මුදලක් යැව්වා නම් යැව්වේ එංගලන්තයේ රැකියාව කර උපයා ගත් මුදල්ය. අනිත් අයද එසේය. නැත්නම් බිස්නස් කර උපයා ගත් මුදල්ය. මේවා සියල්ල ඔප්පු කල හැකි දේවල්ය.  

//අද මෙයලා කොහේද ලෙනින් විප්ලවය නොකලා නම්// 
ලෙනින් විප්ලවය නොකලා නම් මම කොළඹ විශ්ව විද්‍යාලයේ ඉගෙන ගනු ඇත. එය අවසන් කර පශ්චාත් උපාධියක් කර හෝ නැතිව ගුරුවරයෙක් වී කොහේ හරි උගන්වනු ඇත. නැත්නම් ගණකාධිකාරවරයෙක් වී සිටිනු ඇත. 1988-89 තබා 1971 ද ලංකාවේ සිදු නොවනු ඇත. දයා  පතිරණ, විජේවීර,  නන්දන මාරසිංහ, විජය කුමාරතුංග මෙන්ම 60000 වැසියන්ද   අද ජිවතුන් අතර වනු ඇත. වජිර යාපා 1994 කීව් නොයනු ඇත. "මං තුමා"ට අපට මඩ ගහන්නට ලිපියක් ලියන්නට බැරි වනු ඇත.

අපට ප්‍රශ්නය ඇත්තේ ලෙනින් කළ විප්ලවය ගැන නොව ස්ටාලින් කළ ප්‍රති-විප්ලවය ගැනය .

නමුත් සෝවියට් දේශයේ ගතකල සොඳුරු අතීතය කිසිදා අමතක නොවේ. මා  ඒ ගැන බ්ලොග් ලිපි ලියන්නේද එබැවිනි. අවුරුද්දකට සැරයක් ජවිපෙ හා අනිත් අය  කරන විරු  සමරු සෝවියට් දේශය ගැන කරන්නට  මට අවශ්‍යතාවයක් නැත. ඒ වෙනුවට ඒ රටේ තිබු සෞභාග්‍යය මෙන්ම කාලකන්නි කම ගැනද  ලියමි.


 ප.ලි. 
මං තුමාගේ බ්ලොගයේ අපොස උසස්  පෙළ ගැන ප්‍රශ්න කර ඇති  බැවින් මෙසේද ලියමි. සෝවියට් දේශයේදී විදුලි ඉංජිනේරු උපාධිය අවසන් කලෙමි.  මා  වරලත් (chartered) පරිගණක ඉංජිනේරුවෙක් වෙමි. වසර  තුනකට පෙර රසල් ගෘප් හි විශ්ව විද්‍යාලයක් වන  ක්වින් මේරි හි අභ්‍යවකාශ භෞතික විද්‍යාව (astrophysics) පිළිබඳ ශාස්ත්‍රපති  උපාධියක් මෙරිට් එකක් සහිතව නිම කලෙමි. 

Sunday 14 August 2016

සාන්ත පිතර්බුර්ගයේ දීය - 2 - ලෙනින් මැතිඳු අද තනියම වෙල මැද්දේ

පළමු ලිපිය 

මා  දන්නා පරිදි ස්ටාලින් ගේ බොහොමයක් ප්‍රතිමා  සෝවියට් දේශය බිඳ වැටුණු පසු ඉවත් කරන ලදී. නැතහොත් ඔහුගේ පාලන සමයේ  භීෂණයට අසුවුණු අයගේ නෑදෑයින් විසින් කඩා  දමන ලදී. ලෙනින් ගේ ප්‍රතිමා  බොහෝ විට බලයට පැමිණි යෙල්ට්සින්ගේ පක්ෂයේ  නාගරික සභා මගින් ඉවත් කරන ලදී.  ලෙනින්ගේ පිළිමයක් තිබේ දැයි සොයා බැලූ මට ඉලිචා චතුරශ්‍රයේ පිළිරුව ඉවත් කර නොමැති බවට ආරංචි විය. ඉලිචා හෙවත් ඉලිච් යනු ලෙනින් ගේ දෙවැනි නමයි.

සාන්ත පිතර්බුර්ගයේ ඉතා පියකරු පෙදෙසක පිහිටි මේ චතුරශ්‍රයේ ලෙනින් බලා සිටින්නේ නේවා  ගඟ දෙසය.

ඉලිචා  චතුරශ්‍රය 

ලෙනින් සිටි හරියේ නේවා  ගඟේ සිට අප නැවතී සිටි නෙව්ස්කි විදියේ නිවෙස බලා  විනාඩි 25 පමණ පයින්ම ඇවිද්දෙමි. ඒ අතර නේවා ගඟේ පින්තුර කිහිපයක් ගන්නා  අතරතුර මට කල්පනා වුනේ අනිකුත් සෝවියට් කාලයේ තිබූ  පිළිම බොහොමයක් අතුරුදහන්ව ඇති බවයි.
එසේම ව්ලදිමීර් පුටින් ඉතා දක්ෂ ලෙස රාජාණ්ඩුවාදීන් හා කොමියුනිස්ට් පාක්ෂිකයන් අතර එකිනෙකා  කෙරෙහි ප්‍රතිවිරෝධතාවයන් අවුළුවා  තමන්ට එරෙහි විරෝධතා අවම කරගෙන ඇති බවයි.
අප මහා පීටර් රජුගේ සොහොන මෙන්ම සාන්ත ඉසාක්  දෙව්මැදුරු  ආදිය බලන්නට ගිය ගමන් වලදී බෝල්ෂෙවික් වරුන් විසින් මරා දැමුණු  රජ පවුලේ සාමාජිකයන් මෙන්ම බොහෝ සිටුවරුන්, කුමාරයන් , කුමරියන් ගේ හා සෝවියට් දේශයෙන් පළාගොස් 1991 න් පසු නැවත පැමිණි රදළයන්ගේ සොහොන්  පිහිටුවීමට පුටින් ඉඩ දී තිබේ. 
එනිසා රාජාණ්ඩුවාදීන් ඔහුගේ ගුණ ගයන අතර ලෙනින් ගේ පිළිම ඉවත් කිරීම නතර කිරීමෙන් ඔහු කොමියුනිස්ට් වාදීන්ගේ හොඳ හිත තබාගෙන තිබේ. මේ මිනිසා මැකියාවෙලි වැනිම කපටියෙක් (දක්ෂයෙක්?) යැයි මට සිතේ.


පහත ඇත්තේ කාලතුවක්කු (artillery) සඳහා පිහිටුවා ඇති හමුදා ඇකඩමියයි. මෙහි කාලතුවක්කු වර්ග, යුධ ටැංකිවල කාලතුවක්කු පිහිටුවන ආකාරය, ෂෙල් වැටෙන දුර නිර්ණය කිරීම ආදිය සියල්ල උගන්වන අතර කාලතුවක්කු පිලිබඳ විශේෂඥයන් බිහි කිරීම මෙහි පරමාර්ථයයි. මෙහි ඉගෙනුම පිලිබඳ වියදම දරන්නේ යුධ හමුදාවයි.





මේ මගේ හෙවනැලි සෙල්ෆියකි.



නේවා ගඟ අසල  හිරු බැසයන අන්දම

 ගඟ අසබඩින් ඇවිද ඉන්පසු අලෙක්සන්ද්රෝව්කි සද් නමැති ගිම්හාන සෘතුවේ  ඇවිදීමට සාදා ඇති උද්‍යානයට පිවිසුනෙමි. මේ එහි ඇති රෝම හා ග්‍රීක ප්‍රතිමා කිහිපයකි.







මේ රුසියාවේ ජනවර්ග ගැන හදාරන කෞතුකාගාරයකි.

 ශාන්ත පිතර්බුර්ග් නගර මධ්‍යයේ සුන්දර ශීත මාලිගාව ඉදිරිපිට චතුරශ්‍රයේ පිහිට ඇති මෙම කුළුණ 1917 විප්ලවයෙන් පසුව ඉවත් නොකරන ලද්දකි. එය පිහිටුවා ඇත්තේ රුසියානු ජෙනරාල් කුතුසොව්  ගේ හමුදා 1812 දී නැපෝලියන් බොනපාට් ප්‍රංශ හමුදා පරාජය කිරීම සිහි කිරීමටය. මේ කුලුනේ විශේෂත්වය වන්නේ එය එහි පිහිටා  ඇත්තේ එහි බරින් පමණක් වීමයි.  එනම් පදනමක් (foundation) නැතිවය.
 මේ එම චතුරශ්‍රයේ ඡායාරූප  කිහිපයකි.















Friday 5 August 2016

මොස්කව් නගරයේ වසර 22 කට පසු

ඊයේ අප සාන්ත පිතර්බුර්ගයේ සිටි අවසන් දිනයයි. ලිවීමට බොහෝ දේ තබාගෙන සිටියත් අද ලැබුණු ප්‍රවෘතියකින් ඒ සියල්ල වෙනස් කිරීමට සිදු විය. කොමාවක සිටි මගේ මිතුරකු ඔහු සිහි තබාගෙන ගෙන සිටි යන්ත්‍රයෙන් ඉවත් කරන ලදී. අද උදයේ ඔහු සාමකාමිව සියල්ල හැර නික්ම ගියේය.

රාජකීය විදුහලේ රගර් කණ්ඩායමේ ක්‍රීඩා කළ  සංජය සිගේරා  රුසියාවේ හා ස්කොට්ලන්තයේ අධ්‍යාපනය ලබා වෛද්‍යවරයෙකු  සේ සේවය කළේය. නිතර සිනහ මුසු මුහුණින් සිටි ඔහු ජිවිතයෙන් අකාලයේ සමු ගන්න විට  ජිවත්ව සිටියේ නවසිලන්තයේය. තරුණ දියණියන් දෙදෙනෙකු ගේ හා කුඩා පුතෙකුගේ සෙනෙහෙබර පියෙකි. මා  කිසිදු පින්තුරයක් හෝ ගමන් විස්තරයක් වත්පොතේ මේ දිනවල පළ  නොකරන්නේ එහෙයිනි.  අද සවස මොස්කව් නුවරට නැවත පැමිණීමේ ප්‍රීතිය, පරණ මතකයන් මෙන්ම මොස්කව් හි සිටි පසුව ලන්ඩනයේදී ඇසුරු කළ  මිතුරෙකුගේ වියෝවද එකිනෙක වෙනස් හැඟීම් සමුදායක් පමුණුවයි.

අප නතර වී සිටින්නේ මොස්කව් නගර මධ්‍යයේ ත්වෙර්ස්කයා නමැති මාවතේය . මෙය මුලින් හැඳින්වූයේ  ගෝර්කව්ස්කයා  නමිනි. (සෝවියට් සමයේ). මේ පින්තුරය ගත්තේ දැන් සිටින තැනින් කවුළුවෙන් එපිට බලාය .


සිටි තැනින් ඉවතට පැමිණ ත්වෙර්ස්කයා මාවතේ මෙත්රෝපොල් නමැති හෝටලය තිබෙන තැන දක්වා ගියෙමි. සෝවියට් සමයේ පිහිටි තැපැල් හලේ මෙහෙයුම් මධ්‍යස්ථානය අද මොබයිල් සමාගමකි. 







ඉහත ඇත්තේ ක්‍රෙම්ලිනයයි. ප්‍රසිද්ධ නාට්‍ය රඟහලක පින්තුරය පහත දැක්වේ. 
ඊළඟට මා  ආපසු පැමිණ ත්වෙර්ස්කයා මාවතේ උඩහට පැමිණියෙමි. "ඇය  අතගෙන ගිය විදියේ ඔබ හා යනවා " මොහොතක් හමුවන්නේ මෙතැනය . මොස්කව් වල පළමු මැක්ඩොනල්ඩ් එක විවෘත කළේද  මෙතැනය . මෙතැනදී අමතක නොවෙන හමුවීම් සිදුවන 

මට බ්ලොගයේ ලියන්නට දේවල් කප්පරක් තිබේ. මේ සියල්ල පොතකට දෙකකට සිමා කළ  නොහැකිය. කවියකට කෙටිකතාවකට ගුලි කල නොහැකි හැඟුම් සමුදායක් ලිය තබන්නට බ්ලොගයම මිස වෙනත් තැනක් නැතැයි  හැඟේ. දැන් රාත්‍රිය පසුවී විනාඩි හා අටකි.
සංජේ  ඔබට සුභ ගමන් මිත්‍රයා . හෙට මම උඹ වෙනුවෙන් වොඩ්කා  වීදුරුවක් වෙන් කරන්නෙමි.

අතීත මතකයන් වැළලීමට හොඳම තැන මතකයන් ඇතිවූ තැන්මය . අතීතය නැත්නම් වර්තමානයක් නැත. වර්තමානයක් නැත්නම් අනාගතයක් නැත. තවෙකෙකුගේ අනාගතය  අවසන් වූ දවසේ අතීතය මෙනෙහි කරමි.   ගේ කාලයේ සිට, ලෙනින් ගේ කාලයේ සිට, ස්ටාලින් ගේ කාලයේ සිට මිනිසුන් ගමන් කල  මේ මාවතේ ගොර්බචෝව් කාලයේ ගමන් කලෙමි.

අද දයාබර බිරිද හා දරු දෙදෙනා සමග නැවත ගමන් කලෙමි.

හෙට තවත් දවසකි.