Tuesday 6 December 2016

රවී ගේ දඩ, ලංකාවේ ඩැයිවර් ලා හා බස් වර්ජන

ජේසන් බෝන් පළමු චිත්‍රපටියේ කාරය  වැරදි දිසාවෙන් ධාවනය කර පඩි පෙළකට හරවයි.
කුමන හෝ හේතුවකට ලංකාවට යන මට බස් වලට පහර දෙනවා  දකින්නට ලැබෙන්නේ ඇයිද නොදනිමි. අවසාන වතාවේදී එසේ දුටුවේ 1987 පිටකොටුවේ  ඉන්දිය සාම ගිවිසුමට එරෙහිව විරෝධතාවේ දීය. මම හදිසියේ පසුගිය සඳුදා ලංකාවට ගියේ ළඟම ඥාතියෙකු අසනීප වූ නිසාවෙනි. ඒ අතරේ රවීගේ අයවැයෙන් ඉහල දැමූ දඩ ගැන ඇතිවූ විරෝධතාවය පුවත්පත් වලින් පමණක් නොව ඇසින්ද දුටුවෙමි.  බස් වර්ජනය හේතුවෙන් අවශ්‍ය තැනට නොපැමිණි අය නිසා මගේ වැඩ කිහිපයක් ද කඩා කප්පල් විනි.

මේ නිසා මා සිතුවේ වර්ජනය ඇත්තටම සාර්ථක යයි සිතාය. ඒ අතර බස් කිහිපයකට පහර දී අලාභ හානි කිරීම, මගීන්ට මෙන්ම ත්‍රි රෝද රථවලට පහර දීම් ද වාර්තා විය.

ඉතින් නිවසේ අහල පහල සිටි වර්ජනයට සහයෝගය දැක්වූ මහින්ද වාදීන්, ගෝඨා වාදීන් , එක එක --ලේ සංවිධාන අනුගමනය කරන්නන් මෙන්ම බස් හා වෑන් හිමි යුඇන්පී කාරයන් සමගද  එකඟ වන්නට මට සිදු වුනි.

ඒ මෙසේය.

"දැන් ඔය වමෙන් ඕවර්ටේක් කරන එකට දඬුවම්  කරන්න බැහැ. නැත්නම් හරියට වෙලාවට යන්න බැහැ. උදේට වැඩට යන්න තියා හවසට ගෙදර එන්න වත් බැහැ." ඔවුහු කියති.

"වමෙන් ඕවර්ටේක් කරන එක වැරදියි නේ මේ රටේ. වෙන රටවල වුනත් එහමයි. (වමින් පදවන රටවල් දකුණෙන් ඕවර්ටේක් කළ නොහැක). අනතුරු සිදු වෙන්න පුළුවන්." මම කියමි.

"පිස්සුද මේ රටේ ඕව බැහැ. අපට වෙලාවට යන්න ඕනේ. අපි හිමින් යන්නේ මෙහේ  ඔහොම අනතුරු   වෙන්නේ නැහැ" ඔවුහු කියති.

"අනික ඔය ගෑනු ඩ්‍රයිවර්ලා පාර මැදින් ම නැත්නම් දකුණට වෙන්නම හෙමින් යන්නේ. ඉතින් කොහොමද කරන්නේ. " ඔවුහු කියති.
"පිටි පස්සෙන් ගිහිල්ල, තැනක් ආවහම  දකුණෙන් ඕවටේක් කරන්න" මම කියමි.
"මොන පිස්සුද? ඕව කරන්න  පුලුවන්ද? කොච්චර  වෙලා පිටිපස්සෙන් යන්නද? එන්ගලන්තේ වගේද මෙහෙ "  ඔවුහු කියති.

"බස් වලට ගහන එක , අලාභ හානි කරන එක වැරදියි. තමන්ගේ බදු මුදලින් ගෙව්වා තමන්ගේ දේ තමන්ම විනාශ කරලා දාන එක හරි නැහැනේ. " මම කියමි.

"ඉතින් අපේ දේවල් අපි විනාශ කළහම මොකද? ඇමතිවරු සැප විඳින්නෙත් අපෙ මුදලින්නේ. මම නම් බස් වල යන්නේ නැහැ." එකෙක් කියයි.

"ඕව අපේ නෙමේ. ආණ්ඩුවේ. ඔය ජහපාලන ආණ්ඩුවේ ඒවා කැඩුවට කමක් නැහැ." තවකෙක් කියයි.

"ඒවා ආණ්ඩුවේ නෙමේ. අපේ. " පාසැල් යන වයසේ පුංචි එකෙක් බයෙන් බයෙන් පවසයි.

"අනික, දැන් බලන්න.  ඔය අහුවෙනවා. දඩේ රුපියල් විසි පන්දහයි කියල. ට්‍රැෆික් පොලිස් කාරයෝ දැනුත්  හොර වැඩ කරන එකේ, කියයි දහදාහක් දීල යන්න කියල. විසි පහක් දෙනවට වැඩිය ලබයිනේ. "
"ඉතින් අවම දඩය 2500 නේ. " මම කියමි.

"පොලිස් කාරයෝ දාහක් අරන් යන්න දෙයි. එච්චරයි. ඔය රවී කරූ කියන විධිහට ආණ්ඩුවට ආදායම ලැබෙන්නේ නැහැ. පොලිස්  කාරයෝ තමා පෝසත්  වෙන්නේ." ඔවුහු කියති.

අන්තිමේදී මම එකඟ වීමි. රවියා  හත් පොලේ ගාගෙනම ඇණ ගෙනය.  මෙහෙම ගියොත් ආණ්ඩුව රැකේද යන්න වත් සැක සහිතය.

"ගෝඨාභය  හිටියනම් ඔහොම වෙන්නේ නැහැ " නැගී එන රැල්ලේ ගෝඨා වාදියෙකු කිවේය.

" ඒ කියන්නේ ස්ට්‍රයික් කරන්න දෙන්නේ නැහැ කියන එකද. කට්ටිය බයටම ස්ට්‍රයික් නොකර ඉඳි කියලද? දඩ ගහන්නනේ නැහැ කියලද? ඒක  වෙන්න බැහැ . මොකද අධිවේගේ හොඳ දඩ ටිකක් තියෙන්නේ. ඒවා ගෙව්වේ යස අගේට." මම ඇසුවෙමි.

"ගෝඨා හිටියනම් මොන ස්ට්‍රයික් වත් නැහැ." ඔහු නැවතත් කිවේය.

ස්ට්‍රයික් එකට පක්ෂව මෙපමණ වේලා කතා කල අය කට පියා ගෙනය.

මගේ ළඟ ඥාතියා වෙනුවෙන් දින කිහිපයක් ගත කල නිසා ප්‍රා ජේ සමග ඇන්ටිවෙනම් මුමන්ට් එකේ දේශකයා , ඕනයා , ප්‍රසන්නයා එකතු වුනු සාදයට යාමටද  නොහැකි විය.  කටුනායක ගුවන් තොටට එන ගමනේදී  සෝවියට් දේශයට කෝචෝක් කර  නිමවන ලාභ ඇමරිකන් චිත්‍රපටයක රහස් ඔත්තු කාර වීරයා මෙන් අනුලා විද්‍යාලය අසලදී  මා රැගෙන ගිය කාරය නවත්වාගෙන, ට්‍රැෆික් පොලිස් ලාට  හොරෙන් කාරය නවතා  බලා ගෙන සිටි   ප්‍රාජේ ගෙන් පාර්සලයක්ද ලබා ගතිමි. ඉතාම රහසින් චන්දීම ට  දෙන්නට කියා දුන් වටිනා  තේ කොළ පැකට් එකක් සහ රහස් කිරි ටොෆි වගයක් එහි තිබුණි. කිරි ටොෆි රස නිසා ඒවා කෑවේ අපිය.
මේ කාරයේ යන්නේ සුප්‍රසිද්ධ නළු ජේසන් බෝන් විය හැකිය.
හිටපු ජනපති මහින්ද මහත්මයාට ස්තුති කරමින් ගැලනිගම සිට කොට්ටාවට කරදරයක් නැතුව වාහන නැති අධි වේගයේ පැමිණුනෙමු.  ඒත් ගැලනිගමට දමද්දී අපව වමට තල්ලු කරමින් (හාර්ඩ් ශෝල්ඩර් එකට හෙවත් වමේ මන් තීරුවට - මෙහි රථ ධාවන  තහනම්ය) කාරයක් ඉගිලී ගියේය.  බලන් සිටි පොලිසියේ මහත්වරුනට වගේ වගක් වත් නැත.

මේ කටුනායකට යන ගමන පැය  දෙකක පමණ කාලයක් ගති. මමත් වාහනය පැදවූ මල්ලිත් සෙල්ලමට මෙන් මාර්ග නීති කඩ කිරීම් ගණනය කළෙමු.

වමෙන් ඉස්සර කිරීම්  පහලවක් පමණ ගණනය කිරීමෙන් පසු වැඩේ නැවැත්වූයෙමු.   අනිත් වාහනයේ වද්දන්නට ඔන්න මෙන්න තියා වාහන හසුරුවා ගත් අය  ඉන් හතර දෙනෙක් පමණ විය.

ඉන්පසු තවත් අමුතු  දර්ශනයක් දුටුවෙමි. ජේසන් බෝන්  "බෝන්  අයිඩෙන්ටිටි " චිත්‍රපටියේ මෙන්ම ලඟදි පෙන්වූ අවසන් චිත්‍රපටියේද පාරේ වාහන එන දිසාවට මුහණලා දක්ෂ ලෙස රිය හසුරුවමින් රථය පදවන දර්ශන ඇත. ඒ සිනමාවේය. නමුත් මේවා හැබැහින් ශ්‍රී ලංකාවේ දැකිය හැකිය.  නුගේගොඩ අනුලා විද්‍යාලය පසුකර මදක් ඉදිරියට ගිය පසු දකුණට හරවන්නට මගක් තිබෙන අතර මංතීරු දෙකක් හෝ තුනක්  පමණ අප මෙන් ඉදිරියට යන වාහන වලට තිබේ .එසේ හරවන පැත්තේ සිට තවත් මං තීරුවක්  විරුද්ධ දිශාවට එයි.  (අප දිසාවට) ඔය පින්තුරයේ ඇති සිල්වර් පැහැති  කාරය යන්නේ එම පාරේ එසේ වාහන තමන් ඉදිරියට එන දිශාවටය. එංගලන්තයේ නම් මම මෙවැනි දෙයක් විහිළුවට වත් කරන්නේ නැත. මේ රියැදුරා  තමන් ඉදිරියට එන වාහන ගැන තැකීමක් නැතිවම  එම මාර්ගය පාවිච්චි කරයි. ප්‍රශ්නය එය නොවේ. ඔහු අනුගමනය කරමින් තවත් කිහිප දෙනක්ද එයම කිරීමයි.

ජේසන් බෝන් මෙන්ම ජේමිස් බන්ඩලා සොයා ගැනීමෙන් පසු අප දැක්කේ අමුතුම අන්දමේ යු ටර්න් වගයකි. මේ පැත්තෙන් පැමිණ අනිත් පැත්තට යාම හෝ මේ පැත්තේ සිට රිවර්ස් යු ටර්න් එකක් ගෙන  අනිත් පැත්තට යාම  වෙනුවට රියදුරෙකු කෙලින්ම වාහන එන පැත්තට  තම පසුපස හරවා ඉන්පසු  අංශක 360 කරකවා අනිත් පැත්තට යාමක් දුටිමි.  එසේම තවත් අයෙක් යන ගමන්ම ඉස්සරහ මාර්ගය අවහිර කොට අංශක අනුවකින් කපා අනිත් පැත්තට ගොස්  තවත් දෙවරක් කර කැවීමෙන් එම  පැත්තටම  වහනය පැදවිය. වාසනාවකට අනතුරක් සිදු වුනේ නැත. මේවට කිව යුත්තේ XYZ ටර්න් කියාය.



 යන්තමට හෝ අපට සිනාවක් ගියේ මේ කාරය දැකීමෙනි. තරුණියක් විසින් ඉතා සෙමින් ධාවනය කළ  කාරයේ පිටු පස වම් පැත්තේ "ප්ලේ බෝයි  " සඟරාවේ සලකුණ තිබුණි.

කිසිවකු අපට පිටුපසින් තදින් හැප්පවිමේ ආශාවෙන් යුතුව ධාවනය කරන අයුරු ද අත් වින්දෙමු.

පෞද්ගලික බස් රථ අඩුවක් ඉරිදා තිබුණු අතර සමහරු ඉතා කෙටි ධාවන මාර්ග පවත්වා ගැනීමෙන් පමණක් සැනසුනහ.  නමුත් ඒ පෞද්ගලික බස් රථ අනිත් වාහන පසු කර ගියේ වමෙන් දකුණට දැමීමෙනි. වෙනත් වාහන  වල අඩුවක්  නොදුටුවෙමු.

අවසානයේදී කටුනායකට පැමිණි පසු අප දෙදෙනාගේ තීරණය වුයේ රවීගේ මොන වැරදි තිබුනත් දඩ වැඩි කිරීම නම් හොඳ වැඩක් බවය. දුප්පත් අයට මෙන්ම මධ්‍යම පාන්තිකයන්ට   මේ දඩය ගෙවන්නට නොහැකි නම් වමින් ඉස්සර කිරීම නොකළ යුතුය. පොලෝසිය  හෝ වෙනත් අය හොර නොකරන්නට ඩෑෂ් කෑම් සවි කරීම වටී.

මෙවැනි  රියැදුරන්  බලෙන් ආණ්ඩු කිරිම රජයකට කල නොහැක්කකි.  දඩ වැඩි කර නීති කඩ කිරීමේ අවස්ථා අහිමි කිරීමෙන්  ඔවුන් නිකන්ම මෙම නීති වලට අනුකූල වී රථ ධාවනය  කිරීමට ඉගෙන ගනු ඇත. නැත්නම් හැමෝටම අබ සරණය.

- කොළඹ ගමයා 

Saturday 26 November 2016

කස්ත්‍රෝ සහ කියුබානුවන්ගේ නිදහස

ඉහත  පින්තුරය අරගත්තේ නාලක ගුණවර්ධන ෆේස්බුක් එකේ  දාල තිබ්බ පෝස්ට්   එකකින්.  අන්තර්ජාලයේ මේ වගේ පින්තුර ගොඩක් සැරි සරනවා. ෆිදෙල් කස්ත්‍රෝ ට මම ගෞරව කරන එක හේතුවක් මේක. ලෝකයේ බලවත්ම රටෙන් සිය ගණනකට වැඩිය මරණ තර්ජන, කුමන්ත්‍රණ ආවත් තමන්ගේ ආයු කාලය ගෙවා ගත්ත.

කියුබානුවන්ගේ නිදහස ගැන ලියන්න හිතුනේ මාතලන් "දැන් අන්තිමට  කියුබානුවන්ට නිදහස ලැබෙයි" කියල බුකියේ දාපු කොමෙන්ටුව දැකල. එනිසා මම ඔහුට ගෞරව කරන දෙවන හේතුව කියන්න කලින් මගේ පරණ ලිපි දෙක ඉස්මතු කරන්න ඕනේ. කියුබාව සමාජවාදිද කියල මම ලිපි දෙකක් ලිව්වා කාලෙකට කලින්.  කියුබාව සමාජවාදිද 1,  සහ කියුබාව සමාජවාදී ද 2  කියල.

ෆිදෙල් ගේ සහෝදරයා රාවුල් කස්ත්‍රෝ ජනාධිපති වුනාට පස්සේ කියුබාවේ පෞද්ගලික නිවාස අයිති කර ගන්න ඉඩ දීල තිබෙනවා. තමන්ට තමන්ගේ ගේ විකුණා ගන්නත් තව එකක් ගන්නත් පුළුවන්. ඒ වගේම යුගෝස්ලාවියාවේ ටිටෝ කලා වගේ පස් දෙනෙකුට ආසන්න සංඛ්‍යාවකට  රැකියා දෙන කර්මාන්ත හා ව්‍යාපාර අරඹන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රාග්ධනය එකතු කරන්න දෙනවා.  කියුබානු ආර්ථිකය දියුණු වෙනවා කියල කියනවා.  ඒ කියන්නේ පහුගිය අවුරුදු දෙක තුල  GDP එක දෙගුණයකින්  වැඩි වෙලා. ෆිදෙල් දන්නවා මල්ලි මේකට ඉඩ දීල තිබෙනවා කියල.

මගේ ඔය දෙවැනි ලිපියේ කියා තිබෙන විධිහට මම ඉගෙන ගත්තේ කියුබන් උන් රංචුවක් එක්ක.  මාත් එක්ක වාද කරන හැම වෙලාවෙම මට පෙනිච්ච දේ තමයි උන් චේ ට කැමති බව. ඒ එක්කම උන්ගේ මොකක්දෝ ආදරයක්, ගෞරවයක් ෆිදෙල් ගැන තියෙන බව.

එනිසා මාතලන් කියුබානුන්ගේ නිදහස ගැන කියන කොට මට හිනා යන්නේ ඒකයි. උන් අපි හිරගේ කියල හිටිය එකේ හිටියේ කැමැත්තෙන්. ලංකාවේ ඉඳන් ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යන ලංකාවේ උන් වගේ ඇමෙරිකාවට පැනල යන එවුන් ඉන්නවා තමයි. හැම රජයක් යටතේ ලංකාවේ උනා  වගේ තුන්වන ලෝකෙට ටිකක් උඩින් තියන නිසා කියුබවෙත් ඒක එහෙම වුනා. වෙනවා.

මම කියුබන් ශිෂ්‍යයන්ගෙන් ඉගෙන ගත්ත දේ තමයි බැටිස්ටා කියන්නේ අන්ත දුර්දාන්ත පාලකයෙක් වග. මාතලන් වගේ අයත්  බැටිස්ටාට විරුද්ධව මිසක් පක්ෂව යන එකක් නැහැ එතන හිටිය නම්.  බැටිස්ටා තමන්ට අකමැති පෙම්වතියන් විතරක් නෙමේ තමන්ගේ විරුද්ධ කාරයොත් උගේ මාලිගාව ඉස්සරහ තටාකයක කිඹුලන්ට කන්න දීපු එකෙක්. ඒ රටේ ධනය විතරක් නෙමේ, තරුණ තරුණියෝ දෙගොල්ලම උගේ සහ යාලුවන්ගේ පෞද්ගලික බුදලයක් කියල සලකපු අත්තනෝමතික රජෙක් වගේ පාලකයෙක්.

කස්ත්‍රෝ , චේ ගුවේරා කලේ  ඒ වයසේ තරුණයන්ට කරන්න තිබුන එකම දේ. බැටිස්ටා ගේ ආණ්ඩුව පෙරලීම.  පළවෙනි පාර වැරදුන. දෙවෙනි පාර හරි ගියා. දෙවෙනි පාර මුළු රටෙන්ම තුනෙන් දෙකකටත් වැඩිය ජනතාව  හා කියුබන් හමුදාවේ කොටසකත් සහයෝගය තිබුන.   ඒක ජනතාවගේ  විප්ලවයක්.

මුල් අවුරුදු දෙක තුල කියුබාව සමාජවාදී වත් කොමියුනිස්ට් රටක් වත් නෙමේ. චේ සහ කස්ත්‍රෝ දෙන්නම ඇමෙරිකාවට තමයි උදව් ඉල්ලා ගෙන ඉස්සෙල්ලම ගියේ. තමන්ගේ ළඳරු නිදහස්  කියුබානු රජයට ලෝකයේ නිදහස ගැන කෑ ගහන ඇමෙරිකානු රජය උදව් කරාවි කියල හිතාගෙන. නමුත් ඇමෙරිකාවට ඕන වුනේ සමාගම් වල පාලනය බැටිස්ටා හා ඔහු අනුගමනය කරන කෙනෙකුට දෙන්න මිසක් කියුබානු මිනිසුන් ගේ නිදහස නෙමේ. එනිසා එක්සත් ජනපදය කලේ ආර්ථික සම්බාධක පනවපු එක. කියුබන් බැංකු වල සල්ලි තහනම් කරපු එක. රට එක රැයෙන්  දුප්පත් වුණා ඒ කරපු වැඩෙන්.

අන්තිමට කස්ත්‍රෝට  සිදුවුනේ සෝවියට් දේශයේ සහය පතන්න. නමුත් ඒ සහය ගන්න නම් කස්ත්‍රෝ සෝවියට් ක්‍රමයට රට හදන්න ඕනේ. ඒක තමයි කොන්දේසිය. කස්ත්‍රෝ සහ චේ සෝවියට් දේශයට ආවේ එහෙම. ඒ ක්‍රමය බලන්න. ඉන් පස්සේ කස්ත්‍රෝ නිවේදනය කළා තමන් හදන්නේ සමාජවාදී කොමියුනිස්ට් ආණ්ඩුවක් කියල.

බැටිස්ටා ගේ රජය පෙරලා නව ආණ්ඩුව හැදුවේ 1959 ජනවාරි පළමු වෙනිදා.  ඇමෙරිකානු සම්බාධක නිසා රට සොවියට්  ක්‍රමයට තල්ලු වුනාට පස්සේ කියුබානු කොමියුනිස්ට් පක්ෂය පිහිටවන්නේ 1965 ඔක්තෝබර් 13.  ඒ කාලයේ තිබුන ලෝක දේශපාලන තත්වය අනුව කැස්ත්‍රෝ  ගත්ත තීරණයක් ඒක.

කියුබන් එවුන් දුප්පත් බව ඇත්ත. නමුත් උන්ට මාර ආත්ම  අභිමානයක් තියනවා. උන් දන්නවා ඇමෙරිකානු සම්බාධක නිසා තමන්ගේ රටට ඉදිරියට යන්න බැරිවුනා  කියල. ඒ නිසා රටෙන් වැඩි කොටසක් කස්ත්‍රෝ කියන විධිහට ජිවත් වුණා මිසක් කස්ත්‍රෝට බැන්නේ නැහැ. වර්ෂ 1991 සෝවියට් දේශය බිඳ වැටුනයින් පස්සේ මාත් එක්ක ඉගෙන ගත්තු කියුබන් කාරයන්ට ඕනේ නම් පනින්න තිබ්බ බටහිර රටකට. රුසියන් කෙල්ලෙක් බැඳලා හිටිය එකෙක් රුසියාවේ නැවතුන ඇරෙන්න අනිත් එවුන් ඔක්කොම ආපහු ගියා.

දැන් ඇමෙරිකාවේ, එංගලන්තේ, ලංකාවේ පත්තර කියනවා තමයි කැස්ත්‍රෝ  මිනිස්සු හිරකරගෙන හිටිය. ඒක සිර කඳවුරක් කියල. නමුත් තමන්ට තියෙන පොඩි දෙයින් සැනහිලා , සුරුට්ටුවක් පත්තු කරගෙන, ගිටාරයක් ගහගෙන, කෙල්ලෝ කොල්ලෝ ඉන්න සොමිය දැක්කම මට නම් හිතෙන්නේ ඕකේ  අනිත් පැත්ත. කොටින්ම  හොර බිස්නස් එකක් කරන එඑකාට  වුනත් ඕන තරම් අපේ ඉස්සරහ කැස්ත්‍රෝ ට  බනින්න තිබ්බ. මොකද අපිත් විදේශික ශිෂ්‍යයෝ නිසා. නමුත් උන් කවදාවත් එහෙම කලේ නැහැ.

හුඟක් වෙලාවට කියුබානු ආර්ථිකය නිදහස් වෙයි.  මම හිතන්නේ රාවුල්ට  රජය භාර දෙන කොටම  කස්ත්‍රෝ දැනගෙන හිටිය ආර්ථිකය වෙනස් කරයි කියල.  රවුල් කස්ත්‍රෝ කියන්නේ චේ වගේම කස්ත්‍රෝ එක්ක මුල ඉඳන්ම සටන් කරපු සටන් සගයෙක්. සහෝදරයා වුනත්. පැරචුට්ටෙක් නෙමෙයි.

අපි කැමති වුනත් නැතත් කස්ත්‍රෝ කියන්නේ අති විශාල රටක බලපෑම් වලට භය නොවී තීරණ ගත්ත නායකයෙක්. ඒ රටෙන් එල්ල කරපු ජිවිත තර්ජන සියල්ල  පරාජය කළ කෙනෙක්.

මම ඇමෙරිකාවේ දියුණුවට වගේම ඒ රටේ නිදහසටත් කැමති කෙනෙක්. නමුත් ඇමෙරිකාව අනිත් රටවල ආණ්ඩු වෙනස් කරන්න බලය යෙදෙව්වා කියන එක, පිනොචෙ , මාර්කෝස් වගේ ඒකාධිපතියන්ට ඒ කාලෙ උදව් කලා කියන එකත් අමතක කරන්න  බැහැ. ඇමෙරිකාව පස්සෙයි වෙනස් වුනේ.  ඒ කාලේ ඒකාධිපතියෙකුට විරුද්ධව සටන් කලේ කස්ත්‍රෝ වගේ එවුන්.

කස්ත්‍රෝ කියන්නේ යුග පුරුෂයෙක්. එහෙම එවුන් මේ ලෝකේ වැඩිය හිටියේ  නැහැ.

කස්ත්‍රෝ ඔබට සුභ ගමන්.
කැස්ත්‍රෝ, රාවුල් සහ චේ 






Tuesday 22 November 2016

ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ - (10) - ඔහුගේ නවාතැන



ඔවුන් දෙදෙනා උදයේ ශිෂ්‍ය නේවාසිකාගාරයෙන් එලියට එනවිටත් කිසිවෙක් අවදිව සිටියේ නැත. ඒ සෙනසුරාදා නිසාය. දවල් වනතුරු නිදා ගැනීම බොහෝ සිසුන් කරන දෙයකි. උමං දුම්රියේදී තාන්යා කලේ ඇගේ හිස ඔහුගේ උරය මත තබාගෙන ඔහු වැළඳ ගෙන සිටීමයි. ඉඳහිට ගිහාන් ඔවුන් පසුකර යන ඇතැම් දුම්රිය පලක් ගැන හැඳින්වීමක් කළේය. මොස්කව් උමන් දුම්රියපළවල් ස්ටාලින්ගේ කාලයේ හැදු ඒවාය. මේවයින් බොහොමයක් ඉතා පියකරු ලෙස නිමවා තිබේ. ලන්ඩනයේ තිබෙන උමං  දුම්රිය පලවලට වඩා  පිරිසිදුය. ගිහාන් එයට හේතුව කුමක්ද කියා කල්පනා කරමින් ගියේය. සමහරවිට සංචාරකයන් ලන්ඩනයේ වැඩිවීම විය හැක.
උමං  දුම්රිය පලක් - පින්තූරය අජිත් 

 ගිහාන්ගේ නේවාසිකාගාරයට යන මග ගස්වැල් එළඹෙන ශීත සෘතුවට සූදානම් වෙමින් තිබේ. තවමත් වටපිටාවේ ග්‍රීෂ්ම සෘතුවේ උණුසුම තිබුනත් කොළ හැලෙන්නට මෙන්ම කොළ වල පාට වෙනස් වීමද ඇරඹි ඇත. කහ, රෝස, ලා  දුඹුරු හා කොළ පාටින් ගස් වැසි ගොස්ය. උදෑසන හිරු එළියෙන් චමත්කාරවූ මාවතේ ඇවිද යන තමන්ගේ සිත ආහ්ලාදයෙන් හා අමුතුම උන්මාදයකින් පිරී ඇති බව ගිහාන්ට සිතේ. තාන්යා ටද එය බෝවී ඇත. ඇය යන ගමන් ගසක අත්තක් අල්ලාගන්නට මෙන් උඩ පනිමින් යන්නී, හදිසියේ හැරී කුඩා දැරියක මෙන් ඔහු වෙතට පැමිණ උරයේ එල්ලෙයි.  එසේ පැමිණ හැම වතාවකම ඔහු ඇගේ මුදු දෙතොල හෝ රත් පැහැ කම්මුල් සිඹීය.

"බඩගිනිද ස්තලෝවයා (කැන්ටිම) එකට රින්ගමු නේද?"
ගිහාන් ඇගේ කණට කොඳුළේය.
"මොකද කොඳුරන්නේ" - තාන්යා ඔහුගේ මුහුණ  නහයෙන් තල්ලු කළාය.

"මොකද හොම්බෙන් තල්ලු කරන්නේ"
 ගිහාන් තරහ මුහුණක් පෑවේය. කැන්ටිම තුලට ගිය තාන්යා උදය ආහාරයට දෙන දිය කිරි බත් දෙකක් හා කිරි කෝපි  දෙකක් ගෙනාවාය. ලංකාවේ කිරිබතට  වඩා වෙනස් මෙය කාශා (කැඳ) නමින් හැඳින්වේ. හුණු හාලේ කැඳ වලට කිරි දමා සීනි දමා ගත් විටක මෙනි.  තාන්යා එයට කැමති බව ගිහාන් දනී. ගිහාන්ට ඒ මදිය. ඔහු නැගිට ගොස් මස් දැමු පිරශ්කි කිහිපයක් ද ගෙනාවේය.

උදයේ කාමරයට යනවිට සුහද හා මරියා තවම නින්දේය. දොර හෙමින් හැරියද සුහද නැගිට්ටේය . මරියා ඈලි මෑළි කඩමින් අනිත්පසට හැරුණාය.
"මචං අපි අතනට ගිහින් රෙදි හෝදගෙන එන්නම්. දැනටමත් නමය පහු වෙලා."
ගිහාන් සුහදට කෙඳිරුවේය.
"අම්මට හුඩු රෙදි හෝදන්නත් යනවද එකට. මේකෙන් ගැලවෙන්න ලේසි නෑ උඹට පුතේ "
සුහදයා බැරෑරුම් ගතියක් පාමින්  කීවේය . ඌ හැම විටම අම්මට හුඩු යයි කියයි.සුහද ගේ විහිළුව හිනාවෙන් භාර ගත් ගිහාන් තමන්ගේ කිලිටි රෙදිද බෑගයකට දමාගෙන එළියට පැමිණියේය.


රෙදි සෝදන තැන පිහිටියේ ටිකක් ඈතට වෙන්නට සාමාන්‍ය ජනතාව වෙසෙන රජයේ නිවාස සමූහයක් අසලය. මෙය තරමක් විශාල ලොන්ඩරියකි.  දරුවකු සිටින එහෙත් සැමියන්ගෙන් වෙන්වී ජිවත් වන තරුණ මව්වරු (single mothers) ගැවසෙන තැනක් හෙයින් සමහර පිරිමි සිසුන් මේ පැත්තේ කරක් ගසන බව ගිහාන් දනී.

තාන්යා ඇඳුම් ගොනුකර ලොකු බැරලය වැනි මැෂින් එකට දමා කොපෙක් විස්සක් දමා එය පණ ගැන්වූවාය. ඔවුන් දෙදෙනා අසල බැංකුවක හිඳ  ගත්තේ එකිනෙකාට තුරුළු විය.

අසල බංකුවක සිටින බාබුෂ්කලා (ආච්චිලා ) තිදෙනෙක් ඔවුන් දෙස සිනාසෙමින් බලන බව දුටු තාන්යා  ඔවුන්ට "ස්ද්‍රස්ත්විතියේ" කියා ආචාර කලාය . ගැහැණු තිදෙනා ඔවුන් වෙතට විත් කයියකට සුදානම් විනි.

මේ විශ්‍රාම ගිය රුසියානු බාබුෂ්කලා ඉතා කරුණාවන්තය. වරක් ශීත සෘතුවේ බසයක් එන තෙක් අසල තාප්පයක සීතලේ ගැහෙමින් ඉඳගෙන සිටි ගිහාන් වෙතට පැමිණි බාබුෂ්කා කෙනෙක් ගිහාන් එතනින් බිමට ඇද දැමුවාය. ඉන්පසු ඇගේ  බෑගයේ තිබු රෙද්දක්  ගෙන  නවා ඔහුට එය උඩ ඉඳ ගැනීමට අණ කලාය. ඇය ඔහුට කිවේ පස්ස බිම තබාගෙන සිතලේ ඉඳගෙන සිටියොත් ලෙඩ වන බවයි. බසයට ඔහු සමග ගොඩවුණු  ඈ තවත් නොයෙකුත් අවවාද  දුන්නාය. ගිහාන් සිනා මුසු මුහුණින් ඒවා ඉවසා සිටියේය.

නේවාසිකාගාරයේ දී වැඩිහිටි සිසුන් පැවසුවේ බාබුෂ්කා ගේ කතාව සත්‍යයක් බවය. දැඩි ශීතලේ එසේඉඳ  ගැනීමෙන් කොන්දේ අමාරු සෑදෙන බව ඔවුහු අනුමත කලහ.

බාබුෂ්කලා පෙම් යුවලට කැමැත්තක් දැක්වූහ. එකියක් ගිහාන්ගේ අත අල්ලා බැලුවාය. තම දුඹුරු සමට  ඔවුන් ඇලුම් කරන බව ගිහාන් දැන  සිටියේය. විස්තර කතා කරමින් සිටි එකියක් තාන්යා ගැබ්බර දැයි ඇසුවාය. ඇය විලියෙන් රතුවුණු බව ගිහාන් දුටුවේය. හිටපු ගුරුවරියක් වන අනිත් බාබුෂ්කා හතු හා බත් කලවම් කර සෑදු පිරශ්කි ගෙන සියල්ලටම කෑමට දුන්නාය. ඔවුන් තිදෙනාම එකහෙලා කියා සිටියේ ගිහාන් හා තාන්යා විවාහ වී ලස්සන, දක්ෂ  දරු මල්ලන් සැදිය යුතු බවයි. මේ මේ කතාව පොල්ලෙන් ගැහුවාක් මෙන් දැනුනු බව ගිහාන්ට සිහි විය. නමුත් කතාබහ මුළුල්ලේම ගිහාන්ට තුරුළු වෙමින් සිනාවෙමින් සිටි තාන්යා ගේ රුව ගිහාන්ට අද මෙන් මතකය.

රෙදි හෝදා වේලාගෙන ඔවුන් නේවාසිකාගාරය බලා පිටත් වුහ.
"අද බත් උයන්නම්. ඔයා කාලම නැහැනේ අපේ කෑම. ටිකක් සැර වුනාට කමක් නැහැනේ. සුහදටයි තව යාලුවෝ දෙන්නෙකුටයි  එන්න කියමු. "
"ඔයා දෙන ඕන කෑමක් කනවා. වස දෙන්නේ නැහැනේ මට" තාන්යා ඔහුගේ දෑතේ වෙලෙමින්  කීවාය.



laundrette  pictue from http://starkwhite.blogspot.co.uk/2012/08/russian-artist-installs-soviet-style.html

මේ කතාව  පරිවර්තනයක් නොව මගේ නිර්මාණයකි.  සියළු නම් ගම්  මනඃකල්පිතය.

ප ලි - උමන් දුම්රිය පලේ පින්තුරය මෙවර රුසියාවට ගිය අවස්ථාවේ ගත්  එකකි.

Thursday 17 November 2016

අන්තරාභවය, ගන්ධබ්බ, බාඩෝ සංකල්පය හෙවත් ධර්මාත හා මළවුන් සමග කතා කිරීම

මේ ලිපිය ලියවෙන්නේ "භෞතිකවාදියෙකු (Materialist), අධි මානසික විද්‍යාවන් හා (paranormal)  මරණයෙන් පසු ජීවිතය ගැන සෙවූ  හැටි" ලිපි පෙලට සම්බන්ධ අතුරු ලිපියක් ලෙසය. එහි එකොලොස්වන කොටස හා සබැඳේ.
"නයනේ සිතුවිලි" ගේ ප්‍රතිචාරය:  //අජිත්
පළමුවෙන්ම මාව ඔබේ මනසේ ඇති "ථේරවාදී" "බෞද්ධ" යන කැටගරි දෙකෙන් ඉවත් කරන්න එය ඔබ විසින් හේතුවක් නොමැතිව සාදාගත් වර්ගීකරනයක් තුලට මා දැමීමකි. ථේරවාදී දහමෙහි දෙවියන් හා ප්‍රේතයන් ගැන සඳහන් වෙයි. එවැනි සංකල්ප මහා යානයෙහි නැති බවක් ඔබ කියන්නේද? //
//මා එසේ කියන්නේ නැත. //
//දෙවියන් හා ප්‍රේථයන් පසෙක ලන්න. බුදු දහම සාකච්චා කරන්නේ මිනිස් ඉන්ද්‍රියයන්ට ගෝචර වන හා නොවන සත්ත්ව කොට්ඨාශ ගැනයි.
ගධබ්බයා යනු අන්තරාභවිකයෙකි යන්න කවුරුන් කෙසේ දුන් අර්ථකථනයක් දැයි මා නොදන්නා මුත් ඔබ එසේ කියන නිසා ඔබේ මතය මත රැඳී පිළිතුරු දෙන්නෙමි. //
බුදු දහමෙහි ඇති මූලිකම ඉගැන්වීමක් වන පටිච්ච සමුප්පාදය ඇසුරින් මම අතරාභවිකයෙකුගේ පැවැත්ම අභව්‍ය බව පෙර සඳහන් කලෙමි. // 
මේ ගැන මගේ පිළිතුර පහත ඇත. 
මෙය වටහා ගැනීමට බුදුදහමේහි ඉගැන්වෙන භවය යන සංකල්පය වඩා හොඳින් වටහා ගත යුතුය. එසේම මා විසින් පෙර ඔබ මා ඇතුළු සැම මලගියවුන්ය යනුවෙන් කල සඳහන ඔබ වටහා ගත්තාද?
ඉතින් මේවා ගැන වටහා ගැනීමකට හෝ හැදෑරීමකට නොපෙළැඹී පෙර මතයම පුනරුච්චාරණය කරන විට එය නැවත කීම හරසුන් බැවින් මා ඒ ගැන කතා නොකිරීමට තීරනය කලා මිස ස්වයං වාරණයක් පනවා නොගතිමි.
//මේ ගැන සම්පුර්ණ ලිපියක්ම ලියන්නට තීරණය කලේ මා මෙය හදාරා නැති බවට ඔබ සිතන හෙයිනි. //
ඔබ කියන අන්තරාභවිකයා, සිතුවිලි පහල කරන්නෙකු නම්, ලෝභ මෝහ ද්වේශ ගති ඇත්තෙකු නම්, කුමන අයුරකින් හෝ අන්‍යයන් හා ගනුදෙනු කරයිනම් ඒ අන්තරාභවිකයෙකු නොව යම්කිසි භවයක වෙසෙන සත්ත්වයෙකු බව මා කියමි. එසේම ඒ සත්ත්වයා දෙවියෙකු හෝ ප්‍රේතයෙකු යැයි යමෙකු කියනවානම් මා ඒ පිළිබඳව නොදනිමි. එහෙත් ඒ මිනිසාට ගෝචර නොවන යම්කිසි කොට්ඨාශයකට අයත් සත්ත්වයෙකු විය හැකි බව මාද කියමි. එසේ නැතිනම් ඔබ කියන මලගිය පුද්ගලයා (හෝ අන්තරාභවිකයා ) යනු නොනැසෙන ආත්මයක මරණින් පසු පැවැත්මක් ලෙස අප විසින් වටහා ගත යුතුය. බුදු දහමෙහි දැක්වෙන මා පෙර සඳහන් කල පංචස්කන්ධය පැහැදිලිව යමෙකු වටහා ගන්නවානම් සත්ත්වයා තුල නොනැසෙන ආත්මයක් පැවතිය හැකිද යන්න මැනැවින් වැටහෙනු ඇත. එසේ නොමැතිනම් එවැනි ආත්මයක් ඇති බව වටහා ගැනීමේ මග ඔබ විසින් අපට පෙන්වා දිය යුතුය ඒ ගැන හේතු දැක්විය යුතුය. ආත්ම සංකල්පය මහායානයෙහිද ප්‍රතික්ශේප වන බව ඔබ පිළිගන්නවාද?

මෙහිදී ඔබ දරන්නේ ඔබ විසින් හැදෑරූ කරුනු වලින් බැහැරව අන්‍යයන්ගේ මතවාද නිසා වාදය පලක් නැති වේවි. එහෙත් මුලින් ලේකන ගත වූවාය යන්නට අමතරව මේ දෙකින් කුමක් වඩා නිවැරදිදැයි කීමට ඔබ සතුව වෙනත් හේතූන් නැති බවක් පෙනී යයි. එවැනි සරළ හේතුන් මත එකක් වැරදිය අනෙක නිවැරදිය කීමට වඩා දෙකම හදාරා දෙකෙහිම කියැවෙන පොදු කරුනු තුලින් ඔබට මීට වඩා වැඩි වැටහීමක ලබා ගත හැකි වනු ඇත.එහෙත් ඔබේ උත්සාහය ථේරවාදය හෝ මහා යානය ගැන විමසීම නොවනා නිසා ඒ ගැන මෙහි වාද කිරීමෙන් ඇති ඵලය කුමක්ද?

මා ඔබේ ලිපිපෙල ආශාවෙන් කියවමි. ඉදිරියටද ඒ හා හැකි සෑම විට සම්බන්ධ වෙන්නෙමි.
හරවත් යමක් සාකච්චා කරමු එය අපි සැමගේම දැනුම අවබෝධයට හේතු වේවි.//

මේ ප්‍රතිචාරයට පිළිතුරක් දීම කොමෙන්ටුවේ අපහසු හෙයින් වෙනම ලිපියක් ලිවීමට තීරණය කළෙමි.  ඇත්තටම මට අවශ්‍ය ආගම් ගැන සාකච්ඡාවක් නොවුනත්  මෙය පැහැදිලි නොකර ඉදිරියට යාමට නොහැකි බව පෙනේ. සමහරවිට නයනේ කියන්නාක් මෙන් මට කිසියම් වචන පැටලීමක් සිදුවී ඇත්දැයි සොයා බැලීමි.  නයනේ ගේ ප්‍රතිචාරයට වෙනම පිළිතුරු දීමට සිතුවේ මා මුල් අවධියේ සිට මේ අධිමානසික විද්‍යාවන් ගැන සොයද්දී සහභාගී වූ මිතුරා ද ඒ පිළිබඳව මේලයක් එවූ බැවිනි. එය මෙහි අගට ඉංග්‍රීසියෙන් දක්වා ඇත.

නයනේ කියන මේ කොටස මගේ අදහස් සම්පුර්ණයෙන්ම අනිත් පැත්ත හරවයි. //බුදු දහමෙහි දැක්වෙන මා පෙර සඳහන් කල පංචස්කන්ධය පැහැදිලිව යමෙකු වටහා ගන්නවානම් සත්ත්වයා තුල නොනැසෙන ආත්මයක් පැවතිය හැකිද යන්න මැනැවින් වැටහෙනු ඇත. එසේ නොමැතිනම් එවැනි ආත්මයක් ඇති බව වටහා ගැනීමේ මග ඔබ විසින් අපට පෙන්වා දිය යුතුය ඒ ගැන හේතු දැක්විය යුතුය//
මා මුල සිටම (ලිපි අංක 1-10 දක්වා) කීවේ මළගිය අය කියන්නේ ඔවුන් සිටින ස්ථානයේ (plain) සිට ආලෝකය දෙසට යන බවයි. ලවුලන් ඇතුළු මිඩියම් ලා පවසන්නේත් එය බවයි. නමුත් රුපවාහිනියේ පෙනී සිටින ඇතැම්  බටහිර මීඩියම් ලා තමන්ගේ ක්‍රිස්තියාන දහම ලං කරගෙන ආත්මයක් ගැන සමහරවිට කතා කරයි. එයට කිසිම සාක්ෂියක් "මළ ගිය අය " කියන කතාවල නැත. එඩ්ගාර් කේසි විශ්වාස කළ නොහැකි බව මා ලිව්වේද එබැවිනි. එනිසා ආත්ම කතාවක් මා කොහෙවත් කියා නැත.

දැන්  පටිච්ච සමුප්පාදය ගනිමු. මෙහි පටි + ඉච්ච හි  පටි යනු බැඳීම (bonding) හා ඉච්ඡ යනු කැමැත්ත (liking) යන අදහස දෙයි. එනම්  යමෙකට ඇති ඇලීම හා සම්බන්ධයයි. මෙයට ආශාව (craving) කියාද කිව හැක.  සම + උත්පාද = සමුප්පාද හි සම යනු එකම (same) හා උප්පාද යනු ඇතිවීම, තිබීම උපදීම යන අදහස, හෙවත් භව (existence) යන අදහස දෙයි.  එනිසා සමුප්පාද යනු පැවැත්ම හෙවත් භවය සඳහා යොමු කරවන්නක් හෙවත් බැඳීම ඇති කරවන්නක්  වෙයි.

උදාහරණයක් වශයෙන් යමෙකු එල්ල කර කෙනෙකුට සතෙකුට තරම් තද කෝපයක් පහල වුණායයි සිතමු.  එහිදී අප අර සතාට සමාන ලෙස පහුරු ගාන්නට, ගහන්නට යනවා යයිද සිතමු. අප භෞතිකව (ශාරීරිකව) නොකලත් සිතින් හෝ කරන්නේ යයි සිතමු. එවිට එතන අප විසින් "භවයක්" උපදවයි. එනම් සතෙකුට සමාන ක්‍රෝධාත්මක භවයක් අපේ සිතේ උපදී. එය අපේ  ජාති හෙවත් නැවත උපතකට හේතුවක් විය හැක.   එසේ වන්නේ අප ඒ මොහොත සඳහා බැඳීමක් ඇති කරගත් නිසාය. ථෙරවාද හාමුදුරුවරු පොලිසියට, විරුද්ධකරුවන් ට ගහ බැනගෙන යනු ඔබ බොහෝවිට දකින්නට ඇත. ඔවුන් එහිදී මේ බැඳීම හා නැවත උත්පත්තිය ඇති කර ගන්නා බව සිතිය හැකිය.

මේ භවය විසින්  එම නිසාම කම්ම බිජ ඇති කරයි. එනම් සංඛාර, කම්ම, කම්ම බීජ, කම්ම විපාක යනුවෙනි. මෙය ඊට පසු "ගතියක්" හෙවත් සංසාරයේ  ගතියක් හෝ ආසාවක් වෙයි. (ලිංගික අදහසක් ඉපදීමද මේ වැනිමය). කොටින්ම පටිච්ච සමුප්පාදයේ කියන්නේ ඇලීම/සම්බන්ධය නිසා ඇතිවන භවය මගින් නැවත ඉපදීම් සිදු කරන බවය.
මේ "භවය" යනු ඔබේ සිතෙහි නිතර ඉපිද මැරෙන සිතුවිලිය. (එනිසාම අපිද නැවත නැවතත් සිතුවිලි වශයෙන් ඉපිද මැරේ හෝ අපද මළවුන් වැනි යයි නයනේගේ තර්කයද නැගිය හැකිය).  මේ ඇලීම හා ඉන් උපදින භවය නිසා නැවත ඉපදීමද ඇතිවේ.
උදාහරණයක් වශයන් ආචාර්ය නලින්ද සිල්වා විද්වතා සඳහන් කරන  "සිංහල බෞද්ධයා" එම ඇලීම නිසාම නැවත ඉපදිය හැකිය. ඒ අනුව සිංහල බෞද්ධ සංකල්පයම පටිච්ඡ සමුප්පාද විරෝධිය.

දැන් මේ භව හෙවත් (existence) නමැති කොටස ගත්තොත් මා  දහවෙනි ලිපියේ  අප මේ  සොයන්නේ පැවැත්ම ගැන බව, එනම් එහි  ඔන්ටෝලොජිය (දේ යනු කුමක්ද) හා එපිස්ටමලොජිය (ඒ ගැන අප දන්නේ මොනවාද) ගැන බව  කීවේ එහෙයිනි. නාගර්ජුන ගේ ශුන්යාතය වටහා ගත  යුත්තේද මෙතනය.  පැවැත්ම පිලිබඳ ප්‍රශ්නයෙහිය.
ඔබට වෛරී භාවයක් ඉපදුනොත් එය මැඩ ගත්තොත් ගතියක් නොවුන හොත් "ජාති" හෙවත් නැවත ජන්මයක් ඇති නොවිය හැකිය. නමුත් ඔබ ඒ තුල තදින් ඇලී ගැලී සිට මරණ අවස්ථාවේදී පවා සිතුවොත් ඔබ අනිවාර්යයෙන්ම වෛරී ආත්මයක උපදී.

බුදු දහමේ ඇත්තේ හේතු-ඵල වාදයකි. පැවැත්මට හේතුවක් ඇත. ඉපදීමට හේතුවක් ඇත. මෙය නිව්ටෝනියානු සෑම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් ඇත යන්නට වෙනස් බව මුල් ලිපියක සඳහන් කලෙමි.  පටිච්ච සමුප්පාදයෙන් මෙය මනාව  විස්තර කෙරේ.

මුලින්ම ම අශ්වඝෝෂ, නාගර්ජුන ආදීන් ගැන කතා කිරීමේදී (දහවෙනි කොටස) ඔවුන් අදහස් කළ  ධර්මකාය ගැන සටහන් කළෙමි.
නයනේ හා ප්‍රබෝද් නිවැරදිව කියන්නාක් මෙන් මහායානයේ දෙවි වරු (deities) සිටිති. එය මට ප්‍රශ්නයක් නොවන්නේ ගන්ධබ්බ අවස්ථාව ඔවුන් පිලි ගන්නා හෙයිනි.  ඔවුන්ට මෙහිදී මගේ තර්කය කිසියම්  විධිහකින් නොවැටහෙන්නේ ගන්ධබ්බ හා අන්තරා භවය යන වදන භාවිතා කිරීම  නිසා බව හඟිමි.

මා එම වදන භාවිතා කළේ එය පහත සඳහන්  සුත්‍රවල ඇති  නිසාය.  මේ සඳහා මේ ලිපිය අන්තර්ජාලයෙන් බාගෙන බලන්න. අන්තරාභාවය ගැන සඳහන් නොකරන්නේ ථෙරවාදීන් නිතර පරිශීලනය කරන මොග්ගලීපුත්ත තෙරුන්ගේ කථාවත්ථු පොතේ එය නැති නිසා බවද  11 වන ලිපියේ සඳහන් කළෙමි.

ථෙරවාදීන් කියන්නේ බුදුන් මේ අන්තර් අවස්ථාව ගැන නොකී බවයි. බුදුන් වදාළේ පැවැත්මේ (existence) අවස්ථා 3ක් ගැන බවයි. එනම් සංවේදී ලෝකය (ඇසට, කනට දැනෙන  sense world), රූප ලෝකය (form world ) සහ අරූප ලෝකය (formless world ) ගැන පමණක් බවයි. - (කථාවත්ථු පොත)- මිලින්ද ප්‍රශ්නයේ නාගසේන හිමි ග්‍රීක රජු මිලින්ද හෙවත් මෙනන්දොස් ට පවසන්නේ නැවත ඉපදීම මැරුණු ක්ෂණයකින්ම සිදුවන බවයි.  මේ ථෙරවාදී පාසලේ හැර අනි සියලු ගුරුකුල වල මහායානයේ හා වජ්රයානයේ (තන්ත්‍රයානයේ) ගන්ධබ්බයා ගැන පවසා තිබේ. මහා තණ්හා සංඛය සුත්‍රයේ මවගේ හා පියාගේ සංවාසයක්  නැත්නම්, මව තම සෘතුවේ නොසිටී නම් ගන්ධබ්බයකු (being-to-be-born) ඇති වන බව කියවේ. ඒ අනුව නැවත ඉපදීමට මව හා පියා අතර සංවාසය, මව සෘතුවේ සිටීම හා ගන්ධබ්බයකු සිටීම අනිවාර්ය වේ.


ථෙරවාදීන් හඳුන්වන්නේ පහත්  දේව කුලයක් වන  ශුද්ධවාසයේ උපදින්නේ ගන්ධබ්බයා යනුවෙනි.

අස්සලායන සුත්‍රයේ බ්‍රාහ්මණ වරුන් හත් දෙනෙකුට දෙසන බණේ දීද මේ අවස්ථා තුන ගැන කියවේ. එසේම වච්ඡට දෙසන කුතුහලාසල සුත්‍රයේ මෙසේ කියයි. උපාදානයක් (හේතුවක්, ආශාවක්) ඇතුව නැවත උපදිම  මිස ආශාවක් නොමැතිව නැවත ඉපදීමක් නැත. නැවත ඉපදීමට සිරුරක් සොයන්නේ ආශාවෙන් මඬනා ලද බැවිනි. මේ සිරුර සොයන්නේ ගන්ධබ්බ (intermediate state) තෙමේය.

බොජ්ජංග සීල සුත්‍රයේ සත්‍ය අවබෝධ කර ගන්නා සත් දෙනෙකු ගැන කියවේ. පළමු වැන්නා තම ජීවිතය තුල නිවන අවබෝධ කරගනී. දෙවැන්නා දහම ඉගෙනීම කරතත් ජීවිතය තුල අවබෝධ කර නොගෙන මරණය අවස්ථාවේ නිවන අවබෝධ කර ගනී. (ගන්ධබ්බයෙකු නැත) ඉන්පසු නැවත  නොඑනා (නුපදින)පස් දෙනෙකු ගැන කියවේ.

 තුන්වැන්නා නිර්වාණය තම ජීවිතයේ තුල දී අවබෝධ කර නොගෙන, මරණය එළඹෙන මොහොතේදී අවබෝධ කර නොගෙන නමුත් ගන්ධබ්බ අවස්ථාවේ , (අන්තරා පරිනිබ්බායි) (intermediate state)හි තණ්හා, ආශා ආදීන් මැඩ නිවන අවබෝධ කර ගනී. නැවත  නුපදී.

හතර වැන්නා තම ජීවිතයේදී, මරණයේදී, ගන්ධබ්බ අවස්ථාවේදී නිවන අවබෝධ නොකර ඉහත යදම් බිඳ ඉපදීමට තැත් දරන වෙලේ නිවන අවබෝධ කරගනී.

පහ සහ හය වැන්නවුන් දේව ලෝක දෙකක ඉපිද නිවන අවබෝධ කර ගන්නා අතර සත්වැන්නා අකනිටා නම් ඉහල ස්තරයක (ලෝකයක් ?) දී නිවනට පත්වෙයි. මේ සෑම අවස්ථාවකම  අන්තරා භවික අවස්ථාව පැහැදිලිව දක්වා තිබේ. මිට අමතරව තවත්  සුත්‍ර 18ක අන්තරාභවික හෙවත් ගන්ධබ්බ අවස්ථාව දැක්වේ.

 අන්තරා භාවයේ සැරිසරන ගන්ධබ්බ තෙමේ මුල් දින හත තුල මව්පිය සංවාසය හා මවගේ සෘතු පිහිටීම අනුව සුදුසු  ගැබ නොලැබිණි නම් දින හතකින් නැවත  මරණය වූ මුලින් ජීවත්වූ  පෙදෙසට පැමිණේ. (හත් දවසේ දානය) ඉන්පසු සති 7 කින්  පැමිණේ.  (දවස් 28 -තුන් මාසයේ දානය සති 12කි). ඉන්පසු සති 49 කින් පැමිණේ. (අවුරුද්දේ දානය සති 52). එසේම බිරිඳට ආදරයෙන්, පෙම්වතියට නිවසට ඇල්මෙන්, ක්‍රෝධයකින් මිය ගිය විට ගන්ධබ්බයා ඒ ඇල්ම සහිතව සැරිසරයි. නැවත උපදීමට ප්‍රිය කරයි. මේ ජිවිතයේ මියයන  හැමෝම වගේ එලෙස ඇල්මක් ඇතිව මියෙන අය නොවේද?  මෙය පිලි ගැනීමට ථෙරවාදීන් අකැමැත්ත දක්වන්නේ මේ නිසා විය හැකිය.

මා "තිබ්බතයේ මළපොත" කියවුයේ 1983 අපොස උසස්  පෙළ විභාගය කර ප්‍රතිඵල එනතෙක් ලැබුණු විවේක කාලසීමාවේ මහජන පුස්තකාලයේ තිබු පිටපතක් සොයා ගැනීමෙනි. ඉන්පසු නැවත සොග්යාල් රින්පෝචේ තුමාගේ "ජිවත් වන අයගේ සහ මළවුන්ගේ ටිබෙටන් පොත" (The Tibetan book of living and dying )   කියවූයේ මේ ගැන වඩාත් දැන  ගැනීමටය.

මේ පොතේ "බර්දොස් (Bardos and  other  realities ) සහ අනිකුත් යථාර්තයන්" නමින් පරිච්ඡේදයක් තිබේ. (පිටුව 106) තිබ්බතයේ ඇත්තේ වජ්‍රයානය හෙවත් තන්ත්‍රයානයයි. එය මහායානය තරම් ම පැරණි හා ගැඹුරු දහමකි.

බර්දොස් හි අවස්ථා හතරකි. ස්වභාවික බර්දෝ හෙවත් මේ ජීවිතය බර්දෝ , වේදනාකාරී බර්දෝ හෙවත් මියයන බර්දෝ , ලුමිනස් (luminous - දීප්තිය සහිත ) බර්දෝ හෙවත් ධර්මාත බර්දෝ  (නාගර්ජුන ගේ ධර්මකාය අදහස ) , කර්මයානුකුල බර්දෝ හෙවත් උපදින බර්දෝ (becoming) . මින් ධර්මාත හෙවත් දීප්තියක් ඇති බර්දෝ ගන්ධබ්බ අවස්ථාව හෙවත් අන්තරා භව අවස්ථාවයි.

මෙහිදී මරණින් පසු ඇති අත්දැකීම හෙවත් දීප්තියක් සහිත බර්දෝ (ආලෝකය සහිත) සිතේ දීප්තිමත් ස්වභාවය පෙන්නුම් කරන  ශබ්දය, වර්ණ සහ ආලෝක තුනෙන් සමන්විත  පිරිසිදු ආලෝකයකි. ලවුලන් ලා මියගිය වුන් ආලෝකය දෙසට යන බව කිහිප විටක්ම මට කියා තිබේ.

ඔවුන් (තිබ්බතයේ) කියන්නේ මුලික (primordial) බුදුවරයකු වන සමන්තභද්‍ර හිමි (අටවිසි බුදුන් ගෙන් කෙනෙක්) විසින් එම ධර්මය වදාළ බවයි.

මේ ගන්ධබ්බයා ට හෝ බර්දෝ හෙවත් ධර්මාත ට මුදල් අවශ්‍ය නැත. එනිසා එයින් ලොතරැයි නොම්මර ඉල්ලා ගත නොහැකිය. මීඩියම් වරු නිතර කියන කරුණක් නම් මුදල් ගැන ඔවුන්ගේ ඇල්මක් නැති බවයි. මුදල් ගැන ඇල්මක් ඇතිව මියගිය කෙනෙක් හමු වුවහොත් බොහෝවිට පෙර ජිවිතයේ මුදල් උපයා ගත් ආකාරය කියනු ඇත.

ඉතින් ලවුලන්ලා ඇතුළු මීඩියම් ලාගේ මොළයේ වෙනස් කම් සොයන ගමන්ම, පොළොවේ චුම්බක ක්ෂේත්‍ර සොයන ගමන්ම  බෞද්ධ දර්ශනයේ මේ පිලිබඳ ඇත්තේ මොනවාදැයි සෙව්වෙමි. එසේ කලේ මේරි බ්ලවට්ස්කි ගැන අහම්බෙන් කියවීමෙනි. ඇය හා ඕල්කට් ගේ සම්බන්ධය සොයාගෙන ඔවුන් මළවුන් ගෙන්වා දර්ශන (seance) කළ බව දැන, ඔවුන්ද ඉන්දියාවට බුදු දහම සොයා ගිය බව කියවීමෙනි.  මේ ගැන හතරවෙනි පස්වැනි කොටස් වල ලියා  ඇත. ඉන්දියාවෙන් ලංකාවට  පැමිණි ඔවුහු බෞද්ධ පුනරුදයටද උදව් වුනු අතර අනගාරික ධර්මපාල තුමන් සමග ඇති කරගත් ප්‍රශ්නය වන්නේ මේ ගන්ධබ්බ ප්‍රශ්නය බව සිතමි. එය ආත්මයේ දිගුවක් බවට කවුරුන් හෝ අනගාරික තුමාට වරදවා කියා තිබෙන්නට ඇත. සමහර විට ආචාර්ය නලින්ද සිල්වා මහතා ඕල්කට් බුදු දහමට විරුද්ධ වන්නේ, ඕල්කට් බෞද්ධයා යනු  බටහිර බෞද්ධයා ලෙස සඳහන් කර සිංහල බෞද්ධ අදහස් ඉදිරිපත්  කරන්නේත් මේ නිසා විය හැක.

නමුත් මට  එය අදාළ නැත. ලවුලන් ඇතුළු මීඩියම්  වරු සම්බන්ධ වන  මළගියවුන් (ගැන) කියන දේ මේ ගන්ධබ්බ හෙවත් අන්තරාභව අවස්ථාවෙන්  මට පැහැදිලි කර ගත හැකි විය.  ප්‍රශ්නය මෙය විද්‍යාත්මකව ඔප්පු කළ හැකිද යන්නය. ලිපි පෙළ ලියන්නේ ඒ සඳහා මගේ වූ උත්සාහය පමණි.

මගේ මිතුරා මේ ගැන එවූ සටහන පහත ඇත. ඔහුටද පිළිතුර ඉහත  දක්වා තිබේ.

//Ajith, you refuse to believe what.you have learnt since your childhood because of the wool that others have drawn over that. You don't test them because you need a physical explanation for everything. You think it is foolish or naive to accept anything which could not be explained physically. Am I right Ajith? Luckily you are open enough to investigate everything. But you try to explain everything from a physical point of view, which is limited to five senses. Unfortunately I am not wise or knowledgeable enough to explain those things to you at the moment. (From the blog posts I have seen in your blog so far, Nayane sithuvili is the best I have seen. He/she is such a good storehouse of knowledge and much more advanced than us in that respect. I do not know who that is, but what she/he has said so far is correct according to what I know). There are so many things that you have to accept as possible, without necessarily believing them to be true. - //

මගේ මිතුරා කියන ආකාරයට යමක් පිලිගන්නවා නම් දෙවියන් ලෝකය මැවූ  ලෙසද එවැනි මැවුම්කාර දෙවියකු ඇතැයිද  පිලිගත හැකි විය යුතුය. ඇයි තමන්ගේ සංවේදනයන්ට ගෝචර නොවූවාට දෙවියන් සිටිය හැකිය.  මා එයට සුදානම් නැත.
විද්‍යාවේ කියන ක්වන්ටම් අංශුන් හෝ වෙනත් කුඩා අංශුන් අපට ගෝචර නොවේ. නමුත් පරීක්ෂණ, නිරීක්ෂණ සහ ගණිතමය ආකාරයෙන් අපට ඒවා ඇතැයි කීමට පිළිගත හැකි සාක්ෂි ඕනෑ තරම් ඇත.

අන්තර්ජාල ලිපිය:                    http://dharmafarer.org/wordpress/wp-content/uploads/2009/12/2.17-Is-rebirth-immediate.-piya.pdf
පටිච්ච සමුප්පාදය - https://puredhamma.net/paticca-samuppada/paticca-samuppada-introduction/

Thursday 10 November 2016

භෞතිකවාදියෙකු (Materialist), අධි මානසික විද්‍යාවන් හා (paranormal) මරණයෙන් පසු ජීවිතය ගැන සෙවූ හැටි -එකොළොස්වන කොටස

දහවන කොටස 
දහවන කොටසේ ලියන ලද  හීනයාන මහායාන සංවාදය තුලින් මා ඉස්මතු කළ ප්‍රශ්නය කුමක්ද යන්න පැහැදිලි කිරීමක් කරමි.   ථේරවාද දර්ශනය අදහන ලංකාවේ  බෞද්ධ යතිවරයන් මළවුන් ගෙන්වීමට විරුද්ධව ඔවුන් ප්‍රේතයන් බව මගේ මවට පැවසුහයි මම මුල්ම ලිපියේ ලීවෙමි. එසේම ප්‍රේතයන් හා දෙවියන් වශයෙන් මියගිය අය උපත ලබතියි ද ඔවුහු සඳහන් කරති.

ඊළඟ ලිපි වල ශ්‍රී ලංකාවේ  බෞද්ධ ධර්මය නගා සිටුවීමට වැඩ කල ඕල්කට් තුමා, බ්ලවැට්ස්කි මැතිනිය ආදීන් මළවුන් සමග කතා කිරීම විශ්වාස කල අය බවද ඔවුන් ඒ සඳහා  දර්ශන පවා කළ බවද කීවෙමි. (පෙර ලිපි බලන්න)

ඉන්පසු බලන්ගොඩ ආනන්ද මෛත්‍රී හිමි ද මේ මාර්ගයේම ගිය බවටත් උන්වහන්සේ මහායානය මෙන්ම විශ්වයේ උපතද හදාළ බවත් කීවෙමි.

කැප්‍රා ගේ මතයට අනුව මහායානයේ සංස්කෘත භාෂාවෙන් ඇති ලියැවිලි බුදුන්ගේ පරිනිර්වාණයෙන් අවුරුදු 100-200 අතර ලියවුනු ඒවා බවත් වඩාත් සත්‍යයට බර විය යුත්තේ එම අදහස්  බවත් කියන ඔහුගේ මතය  උපුටා දැක්වුයෙමි.

ථෙරවාද දහමේ සඳහන් ප්‍රේතයන් හා දෙවියන් ඇත්නම්  මහායානයේ සඳහන් ගන්ධබ්බයන් හෝ අන්තරාභවයක්  නැත යයි ඔවුන්ට  කිව නොහැකිය. හේතුව මේ දෙකටම  සාක්ෂියක් නැති හෙයිනි.

මළවුන් කතා කිරීම ගැන තිබෙන ඉතා සුළු "නිවැරදි කියැවීම්" ප්‍රමාණය සාක්ෂි ලෙස ගෙන උපකල්පනය කළහොත්  ගන්ධබ්බයෙක්  ඇත යන්න  හෝ අන්තරාභවයක් ඇති ලෙසට  නැවත උපකල්පනය කළ හැකිය.  (මේවා උපකල්පන පමණක් බව මතක තබා ගත යුතුය). ගන්ධබ්බයෙකුත් නැත්නම් දෙවියන්, ප්‍රේතයන් හා යකුන් ඇති කියා උපකල්පනය කළ හැකිද?
පෘතුවියේ චුම්බක ධ්‍රැව 

කිර්ලියාන් ක්‍රමය යනු රුසියානු විද්‍යාඥයෙකු වන සිමියොන් කිර්ලියන් හා බිරිඳ වැලන්ටිනා  විසින් වසර 1939 දී පමණ සොයාගත් "විදුලි" ඡායාරුප ගැනීමේ ක්‍රමයකි.  මේ වනාහි ඔවුන් විසින් ඡායාරුප තලයක් (ඒ කාලයේ භාවිතා කළ plate) හදිසියේ අධි බලැති විදුලි සම්ප්‍රේෂණ  යන්ත්‍රයක් අසල තැබීමෙන් ලබාගත් ඡායාරුපය විමසා එය වැඩි දියුණු කිරීමෙන්  සොයාගත් ක්‍රමයකි. වැඩි විස්තර සඳහා යොමුවට යන්න.


මේ ක්‍රමයේ වැදගත් කම වූයේ ජිවියෙකුගේ සිරුර අවට කිසියම් ශක්ති (Energy) ව්‍යුහයක් ඇති බවට උපකල්පනය කිරීමයි. මේ ශක්ති ක්‍ෂේත්‍රය ප්‍රාණ ශක්තිය හෝ ජීව ශක්තිය යනුවෙන් ඔවුන් හැඳින්වූහ.  මිනිසෙකුගේ හිස වටා හෝ ශරීරය වටා රැස් වළල්ලක්  (aura) වැන්නක් ඇති බව ද ඔවුහු පැවසුහ. ආචාර්ය තෙල්මා මොස් වැනි මනෝ විද්‍යාඥයන්  මේ ගැන සොයා බැලුවද වසර 1970 වන විට එවැන්නක් නොමැති බවට බොහෝ විද්‍යාඥයන් නිගමනය කළහ.

ඉහත ක්‍රමය අදාළව වෙනත් වෙබ් ඩවියක සඳහන්  කෙරුණු පරීක්ෂණයක් කිරීමට මම අදහස් කලෙමි.  එයට හේතුව පෘතුවියේ චුම්බක ක්ෂේත්‍රයේ බලපෑම අපේ සිරුරු  වලට ඇති බවත් ඒ මගින් අනිත් සිරුරු   හා සම්බන්ධයක් ඇති කෙරෙන බවට වූ මතයකි.

මේ නිසා මගේ ඊළඟ පරීක්ෂණය වූයේ චුම්බක ක්ෂේත්‍ර තුලින් සිතට කිසියම් බලපෑමක් කළ හැකිද යන්න සෙවීමයි. භූගෝලයට අනුව පෘතුවියේ  උත්තර ධ්‍රැවය  හා දක්ෂිණ ධ්‍රැවය  ධ්‍රැව  දෙකක් තිබේ. එසේම පෘතුවි ගෝලයේ චලිතය හා එහි මුදුන් පෘෂ්ඨයේ ඇති ලෝහ නිසා ඇති වුන චුම්බක ක්ෂේත්‍රයක් තිබේ.  මෙය උතුරු හා දකුණු චුම්බක ධ්‍රැව යනුවෙන් හැඳින්වේ.

පරීක්ෂණයට දහ දෙනෙකු පමණ සහභාගී වුන අතර ජැමී (හෙවත් ලවුලන් ) ට අමතරව ඇමෙරිකානු ඩොන්නා ඇට්කින්සන් (මගේ ෆේස්බුක් මිතුරියකි) හා තවත් කැනේඩියන් හා අමෙරිකානුන් මෙයටකැමැත්ත  පළකර එක් වුනහ. මෙහිදී සිදු කෙරුනේ චුම්බක ක්ෂේත්‍රයේ ඇති ආකාරයට හිස උතුරු පෙදෙසේ තැබීමයි. මාලිමාවකින් (කොම්පස්) පෙන්වන්නේ උතුරු චුම්බක ධ්‍රැවය නිසා මේ සඳහා මාලිමාවක් භාවිතා කල යුතුය. ඉන්පසු ශරීරයට අඟල් භාගයක පමණ උඩින් අතින් පිරිමැදීමක් කළ යුතුය. බොහෝවිට මේ සඳහා පැතලි යකඩයක් භාවිතා කල හැක. (පිහි භාවිතා නොකල යුතු බවට අවවාද කර තිබේ.) මේ පිරිමැදීම හිසේ සිට පහලට චුම්බක ක්ෂේත්‍රයේ පරිදි ඉලිප්සයාකාරව කළ යුතුය. මිනුත්තු පහත්  දහයත් අතර කාලයකදී  අනිත් කාමරයේ හෝ වෙනත් ස්ථානයක සිටින තැනැත්තා හා මනසින් සම්බන්ධ විය හැකි විය යුතුය. එසේම මේ සම්බන්ධයේදී අනිත් තැනැත්තාගේ රෝගයක් වේදනාවක් ඇත්නම් තමන්ට දැනෙන අතර බොහෝ විට මේ ක්‍රමයෙන් හිසේ වේදනා ආදිය නැතිවී යනු ඇතැයි ඔවුහු කියති.

මේ පරීක්ෂණයට සහභාගිවුණු ඇතැමුන් තමන්ගේ අහවල් ආබාධය තරමක් සුව වුනු බව දන්වා  සිටියද ඒවා බොහෝවිට ස්වයං රැවටීමකට භාජනය වීමක් බවට නිගමනය කලෙමි. හොඳ වෛද්‍යවරයෙකු අතින් වතුර වීදුරුවක් පානය කළත් සනීප වෙනවා යයි කතාවක්  තිබේ.  මෙහිදී කිසියම් මානසික සම්බන්ධයක් ඇති කරගත හැකි වූයේ ලවුලන් සමග හා ඩොන්නා සමගය. ඔවුන් දෙදෙනාටම මා සිටි කාමරයේ පරිගණකය තිබෙන තැන පොත් තිබෙන රාක්කය, මා හිඳ  සිටි යෝග මැට් එක හා එහි වර්ණය ආදිය විස්තර කළ හැකි විය.

සහභාගිවුණු පිරිමින් දෙදෙනෙකු කියා සිටියේ ඔවුන්ට එසේ එක තැනක සිටීම පවා අපහසුවූ බවයි.  හේතුවක් කීමට නොහැකිය.

එසේම මටද කිසියම්  දුරකට ඔවුන් සිටි කාමරය ගැන විස්තර මෙන්ම ලවුලන් ගේ කිසියම් සිතුවිල්ලක් ආදිය නිර්ණය කර ගත හැකි විය. නමුත් වවඩා ඳින් විමසා බැලීමේදී මේ විස්තර අප එකිනෙකා  සමග කලින් විස්තර කර ගත්තාද යන චකිතය මට ඇතිවුණි.

මෙහිදී ලවුලන් (ජැමී) ට කොහොමත් මෙවැනි හැකියාවක් තිබෙන නිසා ඇය බැහැර කළහොත් ඉතිරි වන්නේ ඩොන්නාය. ඩොන්නා ගැන සැලකීමේදී ඇය භාවනා කරන, ආසියාතික ආගම් හා ශාමන් වරුන් අදහන, ගෙවතු වගා  කරන, නිතර කෑලෑ කඳු ආදියේ සංචාරයේ යෙදෙන, එළිමහනේ විසීමට කැමති කාන්තාවකි. එවැනි අය කිසියම් ප්‍රමාණයකට මෙවැනි පරීක්ෂණවලට කැමැත්ත දක්වති. එනිසා ඇගේ සාක්ෂිද බැහැර කලෙමි.

මගේ අවසාන නිගමනය වූයේ මේ පර්යේෂණය  සම්පුර්ණයෙන්ම අසාර්ථක බවයි. එනිසා එය තව  දුරටත් නොකර අත්හැර දැමුවෙමි.


නමුත් මේ පරික්ෂනය ගැන මා ලියන්නට සිතුවේ චුම්බක ක්ෂේත්‍ර පිලිබඳ විද්‍යාඥයෙකු වන ජෝ කර්ෂ්නික් ගේ සොයා ගැනීමක් නිසාය. ඒ පිලිබඳ ඉංග්‍රීසි ලිපිය පහත පළවේ.
මිනිසාට පොළොවේ චුම්බක ක්ෂේත්‍රය හැඳිනිය හැකියි කියන ඔහු  කැල්ටෙක් හි (California Institute of Technology කැලිෆෝර්නියා තාක්ෂණික ආයතනය )  භූ විද්‍යාඥයෙකි.

බඹරුන්,  මි මැස්සන් ඇතැම් කුරුල්ලන්  පෘතුවියේ චුම්බක ක්ෂේත්‍රයේ (magnetoreception)  ආධාරයෙන් තම පියාසැරි හසුරුවා ගනිති. ඔහු පවසන්නේ මිනිසුන්ටද එය කළ හැකි බවයි.  මුලදී විද්‍යාඥයන් විසින් මෙය ටෙලිපති වැනි අධිමානසික බොරුවක් ලෙස සලකා ඉවත දැමුහ.  නමුත් දැන් ශීත සමයේ උණුසුම් (ශ්‍රී ලංකාව වැනි) රටවලට පියාඹන කුරුල්ලන් සතු මාලිමාවක් වැන්නක් සිරුරේ ඇති බව තහවුරු වී ඇතිව පමණක් නොව ඔවුන් චුම්බක ක්ෂේත්‍රය උපයෝගී කර ගන්න බව ද තහවුරුව ඇත.  එපමණක් නොව බොහෝ දුර පිහිනන මාළු ද මේ ලෙසම චුම්බක ක්ෂේත්‍රයේ වෙනස් වීම් භාවිතා කරති.

ප්‍රශ්නය වී ඇත්තේ මේ චුම්බක ක්ෂේත්‍රය පිළිබඳව  සෛල හා නියුරෝන දෙන තොරතුරු මොලය විසින් විශ්ලේෂණය කරන්නේ කෙසේද යන්න තවම නොදැනීමයි.   වසර 2012 දී ස්නායු විශේෂඥ බේයර් විදුහලේ ඩේවිඩ් ඩික්මන් මහතා පරෙයියන්ගේ ඇතුළු කණේ ඇති විශේෂ නියුරෝන් ප්‍රමාණයක් පෘතුවි චුම්බක ක්ෂේත්‍රයේ ප්‍රබලත්වය ධ්‍රැවියතාවය හා දිසාව ට අනුව ක්‍රියාත්මක වන බව සොයා ගත්තේය.

මේ අතරතුර බේකර් නමැති බ්‍රිතාන්‍ය ජිව විද්‍යාඥයෙක් මිනිසුන් තුලත් මාලිමාවක් ඇති බවට පර්යේෂණ පත්‍රිකා පළ කළේය. මේවා සොයා බැලීමට ලිපියේ ඇති පරිදි බේකර් හා එක්ව කර්ෂ්වින් පරීක්ෂණ කළහ.

 ඒ පොළොවේ පරිදිම කරකැවෙන චුම්බක ක්ෂේත්‍රයක් තුලට මිනිසකු ඇතුළු කර කල පරීක්ෂණයකි.  මා ඉහත කළ ඉතා සරල පරික්ෂණයට මෙය සමාන කළ නොහැක්කේ මෙවැනි මුදල් (ඩොලර් ලක්ෂ නමයක්) සම්භාරයක් සමග ලැබ් එකක් අපට නොමැති වූ බැවිනි.

කර්ෂ්නික් ඔප්පු කළේ පරෙවියන් හෝ අනිකුත් සතුන් සේම චුම්බක ක්ෂේත්‍රය කරකැවෙද්දී හෝ කිසියම් වෙනසක්  වෙද්දී අපේ මොළයේ නියුරෝන සමුහයක් ක්‍රියාත්මක වන බවයි. එනම් අපට දෙනන් බවයි.

මිනිසා වඩාත් පරිණාමය වෙද්දී ඔවුන්ගෙන් මේ සමහර ශක්තින්/හැකියාවන් අනවශ්‍ය නිසා ඉවත්ව  ගොස් තිබිය හැකිය.

මේ අනුව මම මෙතෙක් දුරට ලියාගෙන ආ  ලිපි වලට අනුව ලවුලන් හෝ ඩොන්නා ගේ මොළයේ නියුරෝන් කිසියම් වෙනස් ආකාරයකින් ක්‍රියාත්මක විය යුතුය. මේ අනුව මේ චුම්බක ක්ෂේත්‍රයේ ආධාරයෙන් ලවුලන්ට මගේ කාමරයේ ඇති දේ කිසියම් විධිහකින් පෙනී ගියා විය යුතුය යන අදහසට පෙළඹුනෙමි.   ඒ ගැන සෙවීමක් කීරීමට දැනට විද්‍යාව ප්‍රබල නැති වුනත් හෙට දිනයේදී එය කෙරෙනු ඇත.

මේ නිසා විඥානය මුලිකය කියන අදහසට වඩා පොළොවේ චුම්බක ක්ෂේත්‍රයේ බලපෑමෙන් මොලයේ කිසියම් ක්‍රියාකාරිත්වයක් වර්ධනය වන බව සිතිය හැකිය.  මේ කාන්තාවන් දෙදෙනාම භාවනා ආදිය කිරීම නිසා කිසියම් ආකාරයකින් මොළයේ ශක්තිය වර්ධනය කරගෙන තිබෙන බවද උපකල්පනය කළ හැකිය.

මා මෙසේ කියන්නේ නිතර සිතන, මොලය වෙහෙසා වැඩ කරන අය ශාරීරිකව දැඩි මහන්සි ගතියක් දවස අවසානයේ  පෙන්නුම් කරන අතර එසේ නොකරන අයගේ මානසික ශක්තිය මෙන්ම ධාරණ ශක්තියද වැඩි බව සඳහන් වන හෙයිනි.

  මේ භාවනාව කිරීමේ ආදීනව හෝ ආගම පිළිපැදීම ගැන  ලියන ලිපි පෙළක් නොවන බව කරුණාවෙන් සලකන්න.  ඉහත සඳහන් සමහර අදහස්  ලැබුණු දත්තයන් අනුව කළ  උපකල්පන පමණි.

- මතු සම්බන්ධයි

මුලාශ්‍ර : කිර්ලියන් ක්‍රමය -
මිනිසුන්ගේ හයවැනි සංවේදනය
ජෝ කර්ශ්වින්ක් ගේ ලිපිය - මේ ලිපිය කවුරුන් හෝ පරිවර්තනය කරන්නේ නම් අගනේය.
ඩේවිඩ්  ඩික්මන් ගේ ලිපිය 
පුවත්පතේ ලිපිය 
පෘතුවි චුම්බක ධ්‍රැව:

Thursday 3 November 2016

මැලවුනු මුහුණින් වෙව්ලන දෑතින් කාටද සළුව වියන්නේ

සන්නාලියනේ සන්නාලියනේ
සිතල සඳ එළියේ
මැලවුනු මුහුණින් වෙව්ලන දෑතින් කාටද සළුව වියන්නේ
සීතල සළුව වියන්නේ
කණකොක් කටුවේ සුදුමැලි පාටින් සීතල  සළුව වියන්නේ
කාටද සළුව වියන්නේ
මියගිය ඇයගේ මිණිය වහන්නයි සීතල සළුව වියන්නේ

 හදවත සසල කරවන, ජීවිතය ගැන සිතන්නට පොළඹවන මේ  ගීතය අමරදේවයන්ගේ හඬින් ගැයෙන  කොට සිත අමුතු නිද්‍රාවකට පත්වෙනවා. පිණි බිඳුවක් වැනි මේ  ජීවිතය ඉතා කෙටි කලකින් අප හැර දමා යා යුතුයි. අද ඒ ගීය ගැයූ මහා ගාන්ධර්වයා නික්ම ගිහින්. ශෝකය මුසු වුනත් ඔහු ඉතිරි කර ගිය වස්තූන් බොහෝයි. ඔහුගේ අමරණිය හඬ මෙන්ම අප අතර තබා ගිය ගීත නිධානය අපේ හදවත් සතුටට ඉදිරියටත් පත් කරාවි. ඒ වගේම අපේ  හෙලන සුසුම්  සමගත් ඒ අමරණිය හඬ රැඳී පවතීවි.

එවැනි සුසුමක් හෙලෙන ආරංචියක් මට අසන්නට ලැබුනා අමරදේවයන්ගේ මරණයත් සමගින්ම.  ඒ ඉන්දිරා  ජයසුරිය ඩිකර් ගේ සමු ගැන්ම ගැන. ඇය මියගියේ පිළිකා රෝගය උත්සන්න වීමෙන්. ඒ රෝගය සමග ඇගේ සටන ගැන හා පුතු වෙනුවෙන් ඇය කළ කැපකිරීම ගැන ඉංග්‍රීසි පුවත්පතක පළ කර තිබුනා කලකට පෙර. මම දුටුවා තරුරසි මුහුණු පොතේ සංවේදී සටහනක් තබා තිබුණා ඒගැන  අද හිමිදිරියේ.
ලංකානිව්ස්වෙබ් හි චන්දිම සහෘදයා  සමග කතා කරද්දී ඔහු ඉඳහිට මතක් කරන දේ අතරින් මතකයට නැගුනේ ඔහු කරු ජයසූරිය මහත්මා ගැන කී කතා දෙකක්.  එකක් තමා  කරු ජයසූරිය තම දියණියන්ට පිය සෙනෙහස ලබාදීමට නොහැකි වීම ගැන තැවුණ හැටි. දේශපාලනයට ජීවිතය කැප කරපු නිසා දියණියන් දෙදෙනාට නිසි ආදරය දැක්වීමට නොහැකි වීම ගැන විටින් විට ඔහු තුල මතුවන වේදනාව. 

ශ්‍රී ලංකාවේ ජනතා විමුක්ති පෙරමුණ නරෝද්නික් වාදී ක්‍රියා මාර්ගයක් අරන් දේශපාලකයන්, කලාකරුවන් , පැරණි වාමාන්ශිකයන් මෙන්ම කුඩා ව්‍යවසායකයන් පවා ඝාතනය කරන කාලේ ඒ තර්ජනය කරු ජයසුරියටත් තිබුන. මර්දනකාරී  රාජ්‍ය බලයට එරෙහිව මිස පුද්ගලයන්ට එරෙහිව අවි භාවිතා කළ යුතුද යන ප්‍රශ්නය පසෙකට දමමු.   කරු ජයසුරිය ඒ දිනවල ප්‍රේමදාස රජයේ පෞද්ගලීකරණය පිලිබඳ කටයුතු වල ප්‍රධානියා. එනිසා ජවිපෙ සන්නද්ධ අංශයේ තර්ජනය ඔහුටත් එල්ල වුණා.

මාර්තු මාසයේදී මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර ඝාතනය වුණා. තේවිස් ගුරුගේ ජුලි 23 හා එල් ඩබ් පණ්ඩිත ජුලි 27 ඝාතනය වුණා. ජවිපෙට බැරවුනු ප්‍රේමකිර්ති ද අල්විස් ගේ  ඝාතනය සිදු වුණේ ජුලි 31.  එනිසා හිටපු ජනපති ප්‍රේමදාස මහතා තීරණයක් ගත්ත කරු ජයසුරිය තානාපති කරලා ජර්මනියට යවන්න. 

කරු ජයසූරිය යුවල තීරණයක් ගත්තා දියණියන් දෙදෙනා නතර කරන්න බිරිඳගේ නැගණිය වෛද්‍ය රත්නා අඹේපිටියගේ හා ඇගේ සැමියා වන වෛද්‍ය ගුණසිරි අඹේපිටිය  යුවළගේ නිවසේ. ඔවුන් ජිවත් වෙන්නේ  එංගලන්තයේ ලීඩ්ස් ප්‍රදේශයේ . එනිසා පොඩි දුව වයස දොළහේ සිටම හැදුනේ දෙමාපියන්ගෙන් ඈත්ව වෙන රටක. පියෙකුගේ සෙනෙහස දුවට හරියාකාරව නොදුන් ඒ වේදනාව කරු ජයසුරිය මහතාට තිබුන. 

දුව ඉපදුනු වෙලේ කරු පොඩි ගවුමක් ගන්න ඇති දුවට.

මාලගිරා තටු සේම රුවින් යුතු
නිල්වන් ඇදුම වියන්නේ
ඊයේ ඉපදුනු කුලුදුල් දූටයි
මේ පොඩි ඇදුම වියන්නේ

ඇය උගත්තේ හොඳ ග්‍රැමර්  විදුහලක් වන ෆුල්නෙක් වල  නිසා ඔවුන් නැවත දුවරුන් ගෙන්වා ගත්තේ නැහැ. පාසැල අවසන් කරලා බ්‍රඩ්ෆොර්ඩ් විශ්ව විද්‍යාලයේම උගෙන් ශාස්ත්‍රපති උපාධිය ලත්  ඉන්දිරා  විවාහ වුනෙත් එංගලන්තයේ බ්‍රිතාන්‍ය වැසියෙක් සමගමයි.  ඉන්දිරාගේ හා මාර්ටින් ගේ විවාහය සිදු වුනේ ශ්‍රී ලංකාවේ. 
ඉන්දිරාගේ හා මාර්ටින්ගේ විවාහය සිදු වුනේ 2003 වසරේ ශ්‍රී ලංකාවේදී. කරු ජයසූරිය මහතා ට ඒ පිළිබඳව තියෙන්නෙ නිරහංකාර සතුටක්. ඔහු ඒ පිළිබඳව කියන්නෙ 'Wedding of the year' කියලා. 

සන්නාලියනේ සන්නාලියනේමේ හැන්දෑ යාමේ
හැඩ වැඩ දමලා ලස්සන කරලා
කාටද ඇදුම වියන්නේ //
සැන්දෑ අහසේ රන්වන් පාටින්
දිලිසෙන ඇදුම වියන්නේ
කාටද ඇදුම වියන්නේ  

 පොඩි දූ සනීප වෙන සැමවිටම වෙනත් රාජකාරි අතරේ කරු ජයසුරිය එංගලන්තෙට දුවන් ආවේ දුව බලල යන්න.

වසර 1997 දී කරු ජයසුරිය කොළඹ නගරාධිපතිවරයා ලෙස තේරී පත් වෙනවා.  ඒ වසරේදීම ජනතා විමුක්ති පෙරමුණෙන් විමල් විරවංශ මහතාත් තේරී පත් වෙනවා. පළමුවැනි  රැස්වීමට එන විමල් විරවංශ මහතා හා ජාතිය ගලවා ගැනීමේ පෙරමුණේ තවත් තරුණ මන්ත්‍රීවරු පිරිසක් ටයි ගැටයවල දාගන්න දඟලන අන්දම කරු ගේ දෑසට හසු වෙනවා. කරු එතනට ගිහින් විමල් විරවංශ තරුණ මහතාගේ සහ අනිත් තරුණ මන්ත්‍රීවරුන්ගේ ටයි ගැට දාන්න උදව් වෙනවා.  ඊට පස්සේ එක මේසේ ඒගොල්ල  සාකච්චා කරනවා. කරුට ඒ වෙලාවේ හිතුනලු " ඇයි අපිට මෙහෙම  කතා කරන්න  බැරි වුනේ අවුරදු දහයකට කලින් කියල "

කරු දේශපාලනය කලේ තමන් ට හරිය කියල හිතෙන එක. ඔහු ව්‍යවසායකයෙක් නිසා පෞද්ගලිකරණය හොඳයයි කියල ඔහු හිතන්න ඇති. රජයෙන් ඔහුට දුන් වගකීම ඒක. රටට ආදරය කෙනෙක් හැටියට හුඟක් වෙලාවට ජවිපෙ රජයක් යටතේ වුනත් ඔහු දෙන වගකීමක් පවා භාර ගන්න  තිබ්බ. එහෙම නැත්නම් විමල් විරවංශ නියෝජනය කල පක්ෂය රාජ්‍ය බලය ලැබුන නම් චීනය වගේම පෞද්ගලිකරණයේ සමහර කොටස් වලට එකඟ වෙන්නත් ඉඩක් තිබෙනවා. දෙපක්ෂයේම භිෂණය නොතිබුනා නම් පවුල්අවුල් වීම, දෙමාපිය සෙනහස දරුවන්ට අහිමි වීම් වගේම පළුටාව වගේ සිදුවීම් පවා නොවෙන්න ඉඩ තිබ්බ.  මිට වැඩිය දේවල් අහිමි වුන පවුල් තියනවා. ඒකත් ඇත්ත.

නමුත් ඒවා ඔක්කොම වෙලා ඉවරයි.

අමරදේවයන් ඉපදිලා තියෙන්නේ 1927 දෙසැම්බර් 5. පිරිපුන් දිවියක් ගත කරලා ඔහු නික්ම ගියා.

ඉන්දිරා ඉපදිලා තියෙන්නේ 1975 සැප්තැම්බර් 26. තමන්ගේ පුතුට ජීවිතය දීලා ඇය නික්ම ගියා. පිලිකා වගේ රෝගයක් හැදුණු කාන්තාවන්ට ඇය ධෛර්යයක් වගේම ආදර්ශයක්. ගිම්හානයේ ඉල් මස දෙවැනිදා, අඳුරු සීතල ලන්ඩනයේදී ඉන්දිරා දශක හතරක කෙටි ජීවිතයට සමුදෙමින් නික්ම ගිය දිනට පසුදා හෙළයේ මහා ගාන්ධර්වයාණන් වූ අමරදේවයන් ද නික්ම යන්නට යෙදුනා. 

භාරතයේ මහා කිවිඳියක වූ සරෝජනි නායිඳුගේ කවියක් ඇසුරෙන් මීට වසර හතළිහකට පෙර අපෙන් සමුගෙන ගිය මහගමසේකර ශූරීන් විසින් ගේයපදයකට පෙරලූ දිවංගත ඔස්ටින් මුණසිංහයන් සංගීතවත් කළ 'සන්නාලියනේ' ගීතයේ කටුක අමිහිර යථාර්ථය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කතානායක කරු ජයසූරිය තනිවම අත්විඳින්නට ඇති.


සන්නාලියනේ සන්නාලියනේ
මේ හිමිදිරි උදයේ
සන්තෝසෙන් ඔබ හිනැහී හිනැහී
කාටද ඇදුම වියන්නේ //

මාලගිරා තටු සේම රුවින් යුතු
නිල්වන් ඇදුම වියන්නේ
කාටද ඇදුම වියන්නේ

මාලගිරා තටු සේම රුවින් යුතු
නිල්වන් ඇදුම වියන්නේ
ඊයේ ඉපදුනු කුලුදුල් දූටයි
මේ පොඩි ඇදුම වියන්නේ

සන්නාලියනේ සන්නාලියනේමේ හැන්දෑ යාමේ
හැඩ වැඩ දමලා ලස්සන කරලා
කාටද ඇදුම වියන්නේ //
සැන්දෑ අහසේ රන්වන් පාටින්
දිලිසෙන ඇදුම වියන්නේ
කාටද ඇදුම වියන්නේ 

සන්නාලියනේ සන්නාලියනේ
සිතල සඳ එළියේ
මැලවුනු මුහුණින් වෙව්ලන දෑතින් කාටද සළුව වියන්නේ
සීතල සළුව වියන්නේ
කණකොක් කටුවේ සුදුමැලි පාටින් සීතල  සළුව වියන්නේ
කාටද සළුව වියන්නේ
මියගිය ඇයගේ මිණිය වහන්නයි සීතල සළුව වියන්නේ

ඔවුන් දෙදෙනාටම සුභ ගමන්.

දෑසට කඳුලක් නැගෙන වෙලේ අමරදේවයන්ගේ ලයාන්විත කටහඩින් නැළවෙන්නට අපට පුළුවන් ඔහු මුළු මහත්  ජනතාවකට තබා ගිය සංගීත දායාදය නිසා.

 

Tuesday 1 November 2016

භෞතිකවාදියෙකු (Materialist), අධි මානසික විද්‍යාවන් හා (paranormal) මරණයෙන් පසු ජීවිතය ගැන සෙවූ හැටි - දහවන කොටස

නමවන කොටසට යන්න 
නාලන්දාව 

"සොෆීගේ ලෝකය " නමැති දර්ශනවාදය ගැන ලිහිල්ව ලියන ලද පොතක් තිබේ. මෙය දර්ශනවාදය ගැන උනන්දුවක් දක්වන්නන් බොහෝ විට කියවන පොතකි. පොතේ අවසන් කොටසේ ජ්‍යෝතිෂය, මළවුන් සමග කථා කිරීම, දෙවියන්ගේ නැවත පැමිණීම ආදිය ගැන සංවාදයක් ඇත.  (Spiritism, New Age, Alternative Life-Style, Mysticism, telepathy, Clairvoyance, Psychokinetics මෙන්ම මා මුලින් සඳහන්  කල EVP ).
(පරිවර්තනය)
"බොහොමයක් මේ දේවල් සත්‍ය විය නොහැකිය. (සත්‍ය දේවල් තිබිය හැකිය) මේවා  විකිණෙන්නේ හරියට අසභ්‍ය චිත්‍රපට (pornography )  ලෙසය.  බොහොමයක් ඉහත සඳහන් මාතෘකා ඇත්තෙන්ම බ්ලූ චිත්‍රපට හෙවත් කාමාශක්ත චිත්‍රපට වැනිය. තරුණ ජනයා පැමිණ මේ අදහස් මිලදී ගෙන ඒවායින් වශී වෙති. නමුත් සැබෑ දර්ශනවාදය හා මෙවැනි පොත්පත් (හෝ අදහස්)  අතර වෙනස හරියට සැබෑ ආදරය (ප්‍රේමය) හා අසභ්‍ය චිත්‍රපට අතර වෙනස මෙනි."

"මේ හැම විෂයක්ම වැරදියි, නරකයි කියන්නට අප‍ට නොහැකිය. නමුත් මේ හැම විෂයක්ම වාගේ  කිසියම් අද්භූත භූමි ප්‍රදේශයක හොඳ විස්තර සහිත සිතියමක්  අඳිනු ලැබේ. නමුත් ඒ භුමි ප්‍රදේශය  සැබෑව තුළ ඇත්තේ නැත. (does not exist in reality).
(පිටුව 466 - Sophie's world)

ෆ්රිටෝෆ් කප්‍රා (Fritjof Capra ) ගේ පොතේ (The Tao of Physics ) පිටු 108-110 දක්වා කොටසේ කිසියම් අනුවර්තනයක් ඉදිරිපත් කරමි. මා  අනුවර්තනය කර ඇත්තේ මට අවශ්‍ය කොටස්  පමණය. 
(අනුවර්තනය)
"පළමු ධර්ම සංගායනාව පවත්වන ලද්දේ සිදුහත් ගෞතමයන්ගේ පිරිනිවිමෙන් වසර පන්සියයකට පමණ පසුය. සංඝයා විසින් මතකයෙන් ගෙනා සුත්‍ර හා දේශනා සම්පුර්ණයෙන්ම  බුදුන් විසින් දේශනා කළ බවට කිසිදු සාක්ෂියක් නැත. ඇත්තේ එසේ යයි පිළි ගැනීමක් පමණි. භික්ෂුවගෙන්  භික්ෂුවට කට පාඩමින් පරම්පරගතව  ගෙන එන ලද දැනුම පාලි භාෂාවෙන් ග්‍රන්ථාණුරුඪ  කරන ලද අතර එය හැඳින්වෙන්නේ හීනයාන නමිනි.

මහායානය සමන්විත වන්නේ ඉතා විශාල සුත්‍ර සංඛ්‍යාවකිනි. ඒවා ලියා  ඇත්තේ සංස්කෘත භාෂාවෙන් වන අතර ලියා  ඇත්තේ බුදුන් ගේ පිරිනිවීමෙන්  වසර සියයකට දෙසීයකට පසුය.  මේ නිසා බුද්ධ ධර්මය ඉතාමත් සවිස්තරව ඒ ලෙසින්ම වාගේ ලියා ඇත්තේ මහායාන ග්‍රන්ථවල බව පැහැදිලිය. හීනයානයේ නොවේ.

මහායානය තමන්ව හඳුන්වා ගන්නේ බුද්ධ දර්ශනය ඉදිරියට ගෙනයන මහා වාහනය ලෙසිනි. ඒ මහායානය විසින් බුද්ධත්වය ලබා ගැනීම සඳහා නොයෙකුත් දක්ෂ ක්‍රම සහ විධි සපයන බැවිනි. ඇතැම් සුත්‍ර දේශනාවල පෙන්වන  බුදුන් වහන්සේ  ගේ ධර්ම ය කෙරෙහි දැඩි විශ්වාසයේ සිට  නවීන විද්‍යාත්මක චින්තනයට ඉතා ලඟින් යන දියුණු දර්ශනවාදී සංකල්පයන් මහායානයේ දක්නට ඇත. මින් ඉතා ප්‍රධාන සහ වැදගත්ම චින්තකයා වන්නේ අශ්වඝෝෂය. ඔහු ජිවත් වුයේ ක්‍රි.පූ පළමුවන සියවසේය.  බුදු දහමේ එන තථාත ගුණය (suchness) පිළිබඳව ඔහු "ශ්‍රද්ධාව අවදි කරගන්නේ කෙසේද " යනුවෙන් කුඩා ග්‍රන්ථයක්ද පළ කළේය.  මහායාන සම්ප්‍රදායේ මුලිකම පොතක් බවට එය පත්විය.

වඩාත් නුවණැති මහායාන දාර්ශනිකයා  වන නාගර්ජුන ගේ අදහස් වලට ප්‍රබලම බලපෑමක් කළේ අශ්වඝෝෂය.  නාගර්ජුන දයලෙක්තික තර්කනයන් මගින් යථාව (reality) පිලිබඳ එදවස ඇති සංකල්ප වල සීමා සහිත බව පෙන්වා දුන්නේය. (දයලෙක්තිකය නමින් හැඳින්වෙන්නේ පරික්ෂණාත්මක ලෙස හෝ සංවාද මගින් අදහසක සත්‍යභාවය සෙවීමේ ක්‍රමයටයි) එදවස තිබූ  පාරභෞතික අදහස් වලට  (Metaphysics) දැඩි ලෙස තාර්කික පිළිතුරු දෙමින් යථ  හෝ යථාර්ථය සංකල්ප හෝ සිතුවිලි මගින් එළඹෙන නිගමන වලින් වටහා ගත නොහැකි බව හේ පෙන්වා දුන්නේය.

අශ්වඝෝෂ ගේ තථාත (හෙවත් suchness ) යන්නට නාගර්ජුනයන්  නව අරුතක් ගෙනාවේය. ඒ ශුන්යාත (sunyata - void / emptiness - හිස් බව - කිසිවක් නැති ) යන වචනයයි. එහි තේරුම නම් සියලුම සංකල්පයන්ගේ නිෂ්ඵල භවය තේරුම් ගත්  පසු යථ (reality) ලෙස අපට ගෝචර වන්නේ පිරිසිදු තථාතය  (Tathātā  - suchness)  බවයි. යථාර්ථය යනු හිස් බවකියි කීමෙන් නාගර්ජුන  මේ නැත්තක් (nihilism) ගැන කතා කරනවා නොවේ.  ඔහු කියන්නේ මිනිස් සිතේ "යථ" (හෙවත් පැවැත්ම ) පිලිබඳ හට ගන්නා යලු සංකල්ප අවසානයේදී නිශේධනය වන බවක් හෙවත්  හිස් බවක් ඇති වන බවයි. නමුත් මේ හිස් බව යනු සියළු  ජීවයන්ගේ සහ සියළු වර්ගයන්ගේ මුලාශ්‍රය වේ. (source) . "
(මගේ අදහස) 
දැන් මෙය භෞතික විද්‍යාඥයන් එළි  දක්වා ඇති විශ්වයේ උපත  (බිග්බැන් වලින් පසු) පිළිබඳ  මොඩලය (standard model) ගැන සසඳන්න. එම "හිස් බවේ" (nothingness) සිට  හිග්ස් බෝසෝන් වැනි මුලික අංශුන් හා ඉන් බිහිවූ විශ්වය (පදාර්ථ වල පරිණාමය හා ජිවය) ගැනද  සිතන්න. (මේ මා බිග්බැන් ගැන කලින් ලියුවක්. සහ තවත් ලිපියක්) ) නාගර්ජුන සිටියේ කොතනද යන්න වැටහෙන්නට එය ප්‍රමාණවත්ය. 

(අනුවර්තනය)"දෙයක ස්වභාවය ගැන මහායානයේ ඇත්තේ  හිස් බව, තථාත ගුණය වැනි වියුක්ත පාරභෞතික (metaphysics) අදහස් ම නොවේ.  මෙහිදී metaphysics යනු යථාර්තය පිළිබඳව ඉගෙනීම හෝ ඇත්තෙන්ම පවතින්නේ (exist) කුමක්ද යන්න ගැන  ඉගෙනීමයි.  (මා පාරභෞතිකවාදය යන නම යොදා ගත්තද එය නිවැරදිද යන්න නොදනිමි. )  මහායානයේ "ධර්මකාය " යන්නක්ද හඳුන්වා දෙයි. ධර්මකාය යනු දෙයක පැවැත්ම සතු කයයි. (body of being). මේ "ධර්මකාය " යනු බෞද්ධ විඥානය ට හසුවන යථාර්තයයි (යථ). හින්දුන් බ්‍රහ්මන් කියන්නෙත් මේ හා සමාන දෙයකටය.  විශ්වයේ සෑම භෞතික පදාර්ථයක් පුරාවටම විහිද යන ධර්මකාය මිනිස් මනසේ පතිත වන්නේ "බෝධි" හෙවත් සියල්ල අවබෝධ කරගත් අරහත් වශයෙනි." 
(උපුටා ගැනීම අවසන්)

ථෙරවාද බෞද්ධ  සම්ප්‍රදායේ සිදුහත් ගෞතමයන් විසින් වදාරන ලද්දේ පදාර්ථයක අවස්ථා දෙකක් එනම් දෙයක පැවැත්ම හා නොපැවැත්ම (existence and non-existence)  ගැනය. මෙයින් පැවත්මෙහි (existence) තවත් ලක්ෂණ තුනක් ඇත. වෙනස් වන සුළු බව හෙවත් අනිත්‍යය  (impermanence) , තමන් නොවන හෙවත් අනත්ත (insubstantiality or no - self ) සහ දුක(suffering) ය. 

  අනත්ත යන ලක්ෂණය යටතේ ආත්මයක්(අත්ත හෝ අත්මන්) නොමැති බව හඳුන්වා දෙයි. මෙහිදී හින්දු  ආගමේ සඳහන් ආත්මය -  ආත්මයෙන් ආත්මයට ගමන් කිරීමේ පුනර්භවය (reincarnation) ප්‍රතික්ෂේප  කෙරේ.  ඒ වෙනුවට rebirth හෙවත් පුනරුත්පත්තියක් ඇත. පුනරුත්පත්තිය ලබන්නේ no -self හෙවත් තමන් නොවේ. ඒ වෙනුවට ඇත්තේ ක්‍රියාවලියකි. මේ අනත්ත යටතේ තමන් නොවන ක්‍රියාවලිය ගැන සඳහන් කිරීමේදී එය විස්තර කිරීමට පංචස්කන්ධය යොදා ගනු ලැබේ. බෞද්ධ අදහසේ විඥානය වැටෙන්නේ  මේ පංචස්කන්ධයෙන් එකක් ලෙසය. එහිදී විශ්වයේ සියලු පදාර්ථ (matter) රූප යනුවෙන් හැඳින්වේ.
පොත මිලදී ගත් බුද්ධගයා පන්සල 
මේ ලිපියේ බුද්ධ ගයාවේ පන්සලේ ඇති පොත් හලින් පොතක් මිලදී ගත්  බව කීවෙමි.
ඒ  සංස්කෘත භාෂාවෙන් ලියැවුණු  පොතේ ඉංග්‍රීසි පරිවර්තනය වන පී ගෝකාල් (P. P. Gokhale ) විසින් ලියන ලද "හේතුබින්දු" හෙවත් "ප්‍රොබන්  වල තර්කය" (A Point of proban) නමැති පොතයි. ප්‍රෝබන් යනු සංස්කෘත හෝ හින්දි වලින් "හේතු" යන තේරුම දෙයි.  එනම් සාධනය කිරීම, ඔප්පු කිරීම වැනි අරුතකි.

මේ පොතේ 91, 92, 93 පිටුවල පැවැත්ම ගැන සාකච්චා වෙයි. පිටු කිහිපය පරිවර්තනය කළහොත් මේ ලිපිය දිග වැඩිවන නිසා අවශ්‍ය කොටස පමණක් ලියමි. (අවශ්‍ය අයට කියවීමට පින්තුර පහළ දක්වා ඇත.)

දන්නා (knowable) දෙයක පැවැත්ම ඇත්තේ ඒ ගැන (ඇති) දැනුමේ පැවැත්ම මතය.  අප දන්නේ මේ මොහොත ගැන පමණි. යථාර්තය හෙවත් යථ යනු මේ මොහොතය. ඊට කලින් (පූර්ව ) හෝ ඊට පසු (අනාගත) නොවේ.  මේ මොහොතට කලින් ඇත්තේ යථාර්ථය  නොව ඒ පිළිබඳ  දැනුම හෝ මතකය පමණය.

මේ පොතේ නාගර්ජුනයන්ගේ ශුන්යාතය පිලිබඳ අදහස ඉදිරියට ගෙනයමින් පැවැත්ම පිලිබඳ සාකච්චා  කෙරෙන්නේ දම්මකිත්ති  ගේ ස්වලක්ෂණ (ඔන්ටෝලොජි) නම් අදහස තුලය. එහි ඔන්ටෝලොජිය හා එපිස්ටමලොජිය ගැන සාකච්චාවක්  ඇත.  ඔහුට අනුව යථාර්තවාදී ලෝකය සමන්විත වන්නේ මේ මුලික "ස්වලක්ෂන" වලිනි. (self- characterised ) මේ හැම ස්වලක්ෂනයකම  තමන්ගේම "ස්වභාවයක්" ඇත.  ඔන්ටෝලොජිය හා එපිස්ටමලොජිය යනු දර්ශනවාදී දැනුමේ මුලික අංග දෙකකි. ඉතාම සරල ලෙස කිවහොත් ඔන්ටෝලොජිය යනු "දේ යනු කුමක්ද" යන්නය (what things are). එපිස්ටමලොජිය යනු අපි දේවල් ගැන දන්නා ආකාරයයි. (the way we know things.
ඉහත ලිවූ සියල්ල මළවුන් හා කෙරෙන කතාබහට සම්බන්ධ වන්නේ අපි පැවැත්මක් නැති (non - existent ), අපට ගෝචර නොවන   ලෝකයක් ගැන සඳහන් කරන හෙයිනි. එවැන්නක් තිබේ නම් ඒ කෙසේද යන්න සොයා ගැනීම යනු ඒ පිලිබඳ දැනුම ලබා ගැනීමයි. එනම් නාගර්ජුන හා දම්මකිත්තිට අනුව එය සැබෑව හෙවත් පැවැත්ම හා සම්බන්ධ කිරීමට හැක්කේ දැනුම ලබා ගැනීම තුලින් පමණක් බවයි.


~ මතු සම්බන්ධයි.

ෆ්රිටෝෆ් කප්‍රා (Fritjof Capra ) ගේ වෙබ් අඩවිය http://www.fritjofcapra.net/
බිග් බැන් BigBang හෙවත් මහා පිපිරුමට නම ලැබුන හැටි 
බිග් බැන් (Big Bang ) තහවුරු කල CMB
Tathātā - https://en.wikipedia.org/wiki/Tath%C4%81t%C4%81
https://kolambagamaya.blogspot.co.uk/2016/09/materialist-paranormal_29.html

Wednesday 26 October 2016

භෞතිකවාදියෙකු (Materialist), අධි මානසික විද්‍යාවන් හා (paranormal) මරණයෙන් පසු ජීවිතය ගැන සෙවූ හැටි - නමවන කොටස

අටවන කොටස 

මා පසුගිය ලිපියේ  සඳහන් කළ පරිදි ෆ්රියෝෆ් කැප්‍රා විද්‍යාඥයෙකි.  ඔහු භෞතික විද්‍යාව ආදිය  ඉගෙන පසුව එය පෙරදිග දර්ශනයන් හා සමග සංසන්දනය කරන්නට ගියේ ඇයිද යන්න මෙහිදී විමැසීම වටී. එයට  ප්‍රථම පොරොන්දු වූ පරිදි  දැරියගේ කතාව කියමි.

එසේම මා කලින් පැවසූ පරිදි මීඩියම් ලා පවසන්නේ මියගිය දරුවන් බොහෝවිට සිටින්නේ තමන්ගේම මියගිය ඥාතියා සමග බවය. නමුත් මේ ගැහැණු ළමයා සිටියේ මියගිය බෝම්බකරු සමගය.

ඇය මියගොස් ඇත්තේ බෝම්බයක් පිපිරෙද්දීය. ඒ මේ බෝම්බකරු මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ දවසේද යන්න පැහැදිලි නැත. ඇය මිය ගිය මොහොත ඇයට හොඳින් මතකය. ඇය  පෙන්නුම් කරන්නේ ඇය මිය  නොගොස් සිටින විට දෙදෙනෙකු ඇය මිය ගොස් ඇතැයි සිතා උදව් නොකළ බවය. එනම් රෝහලට රැගෙන නොගිය බවය. එසේ කළේ ටුක් ටුක් රියදුරන් බවද කියයි. (ටුක් ටුක් රියදුරන් යනු ත්‍රි වීල් රැකියා කරන්නන්ය) ඉන්පසු ඇය දුටුවේ තමන්ගේ  ශරීරයේ පහල කොටස නැති බවය. ඇගේ මව ඉන්පසු ඈ ළඟම වැතිර සිටියාය. මව මියගොස් තිබුනද නැත්ද යන්න අපැහැදිලිය. මව මිය ගියා නම් ඇය මව ළඟ නොසිට මියගිය බෝම්බකරු සමග සිටින්නේ ඇයි යන ප්‍රශ්නය මතුවේ.

එසේම ඇගේ හා මවගේ ඇඳුම් මුස්ලිම් ඇඳුම් හෝ ඉන්දීය ඇඳුම් වලට සමානය. (කුර්තාව වැනි දේ). එක්කෝ ඔවුන් මුස්ලිම් විය යුතුය. නැත්නම් බෝම්බය පිපිරී ඇත්තේ මිශ්‍ර ජනකායක් වෙසෙන පෙදෙසක විය යුතුය.

ඊළඟට තවත් අනාවැකියක් තිබෙන අතර එයද 2008 සමයේ එකකි.  ඡායාරුපය බලන්න.
වසර 2008 දී මෙම අනාවැකියද කිහිප  දෙනෙකුට යැව්වෙමි. ඒ වාර්තාවක් තබා ගැනීම සඳහාය. එහි සඳහන් වන්නේ ඊශ්‍රායලය පලස්තීනයට එල්ල කරන දරුණු ප්‍රහාරයක් මගින්  සමුලඝාතනයක් කරන බවකි. මෙය සිදුවනු ඇතැයි පෙන්නුම්  කරන්නේ වසර හතරකට පසුව බවය. එනම් 2012 දීය. එසේ සිදුවූයේ නැත. අනාවැකිය කිවූ තැනැත්තා හෙළිදරව් වීමට අකැමැති හෙයින් මේලයේ සඳහන්ව ඇත්තේ මේ මගේ අනාවැකියක් ලෙසටය. මෙහිදී වසර හතර හැටියට සිතන්නේ කෙසේද යන ප්‍රශ්නය නැගූ වෙලේ පිළිතුර වුයේ 12 වැනි  සංඛ්‍යාවක්  පෙන්වන බැවින් 2012 වන බවට නිගමනය කළ බවයි. ඒ 2008 සිට වසර හතරකට පසුය. (මට දැන් සිතෙන්නේ 2008+12 - 2020 ද විය හැකි බවයි. ඊ නම් 2020 වනතුරු බලා සිටිය යුතුය.) 

 මෙහිදී ඩෙරෙන් බ්‍රව්න් "අනාවැකි " කියන ආකාරය සිහිපත් කළහොත් පෙනීයන කරුණ නම් ඔහු නොදැනුවත්වම ප්‍රේක්ෂකයන්ගේ  යටි සිතට කිසියම් සංඥාවන් ලබා දෙමින් පසුව ඒ ගැන අනාවැකි කියන බවයි. උදාහරණයක් වශයෙන් ඔහු කතාවක්  කරද්දී ඇඟට පතට නොදැනී අඟහරු ලෝකය ගැන කිව්වා කියන්න. හත් අට වතාවක්  එසේ කී පසු අසන්නන්ගේ සිතේ  එය රැඳේ.  පැයකට පමණ පසු ප්‍රේක්ෂකයන් අතරින් තෝරාගත් කෙනෙකුට චිත්‍රයක් අඳින්නට කිවහොත් ඒ තැනැත්තා අඟහරු ලෝකය ඇඳීමේ සම්භාවිතාව 70-80% පමණ වේ.  අහක බලාගෙන සිට ඔහු ඇන්දේ අඟහරු ලෝකය වැන්නක්  යයි කීමට ඩෙරෙන්ට හැකිය.

ඒ දිනවල  ශ්‍රී ලංකාවේ  මෙන්ම ලෝකයේ ද ප්‍රවෘත්ති ජාල වල  වැඩි වශයෙන් කතා කෙරුනේ  සිය දිවි නසා ගන්නා  බෝම්බකරුවන් ගැනය. ඉරාකයේ බොහෝ දරුවන් එවැනි බෝම්බ ප්‍රහාර වලින් මිය ගියහ. ඊශ්‍රායලය කොහොමත් නිතරම වගේ පලස්තීනුවන්ට පහර දෙති. එනිසා ඉහත අනාවැකි, මළවුන්ට කතා කිරීම දෙකම එවැනි යටිහිතේ ස්ථානගතව තිබුණු ප්‍රවෘත්තියකින් මවා ගත්තක් විය හැකිය. කියන තැනැත්තාට සමහර විට ඒ ගැන  අවංකවමඅවබෝධයක් නොතිබුනා විය හැකිය.

  සිහින සහ සිතේ ක්‍රියාකාරීත්වය ගැන සෙවීමේදී කාර්ල් යුන්ග් ගේ පොතක්  (Memories, dreams, reflections by C J Jung)  හසු විය. මේ පොතින් ඉහත අනාවැකි පැහැදිලි කර ගැනීමට යමක් ලැබුනේ නැත. පොත දැනට මා ළඟ නැති නිසා එහි ඇති දේ ගැන වැඩිදුර සඳහන් කිරීමට නොහැකි වුවත් මට මතක විධිහට යුන්ග් ගේ  අවිඥානක මනස පිලිබඳ නියම (theory of unconscious ) හෝ අහම (ego) හා අවිඥානය අතර සම්බන්ධයත් මේ මිඩියම් වරුන් මළවුන් හා ජිවත්වන වුන් අතර සම්බන්ධයක් සොයා ගැන්මට මට අපහසු විය. (සමහර විට සම්පුර්යෙණන්ම  ඉගෙනීමට අවශ්‍යතාවයක්?) 

ථෙරවාද බෞද්ධයන් මළවුන් සබඳ කර ගැනීමට නොහැකි  යයි විශ්වාස කරනවා නම් මට්ටකුණ්ඩලි ගේ කතාව  විශ්වාස කරන්නේ ඇයි? මට්ටකුණ්ඩලි සොහොනේ හඬන තමන්ගේ පියා වෙත පැමිණියේය. තමන්ගේ පහසුව සඳහා ජාතක කථා ලියු තැනැත්තා මට්ටකුණ්ඩලි දෙවියෙකු කළා විය හැකිය. දෙවියකු ඇද  ගැනීමෙන් කිසියම් සම්ප්‍රදායික අනුමත භාවයක් සාමාන්‍ය ජනයාගෙන් ලබා ගත හැකිය.  මට්ටකුණ්ඩලි තම මසුරු පියාට සත්‍යය පැහැදිලි කලේ ඉර හඬ ඉල්ලා හඬන දරුවෙකු ලෙස පැමිණීමෙනි.  ඉන් පසුව තමන් මට්ටකුණ්ඩලි දිව්‍යපුත්‍රයා(?)  ලෙස පෙන්වීමෙනි.  මෙතැනදී මැරුණු  මට්ටකුණ්ඩලි නැවත  පැමිණුනේ කෙසේද? ගෞතම බුදුන් වහන්සේ ඉන්පසු අදින්නපුබ්බකට බණ කීමේදී මට්ටකුණ්ඩලි ව නැවත ගෙන්වයි. ඔහු දෙවියෙකු වුණායි අප විශ්වාස කළ යුතුද? බුදුන් වහන්සේ මළවුන්ට කතා කිරීමක් කළා විය නොහැකිද? 

මේ නිසා මම නැවත  බලන්ගොඩ ආනන්ද මෛත්‍රී හිමි දෙසට හැරුනෙමි.  (ගුණසිංහ මහතා ඇසූ  ප්‍රශ්නයට මගේ මිතුරා එවූ පිළිතුර වුයේ ආනන්ද සල්ගාදු නමැති මහතෙකු විසින් යුටියුබ් එකට උඩුගත (upload) කර ඇති ඒ හිමිගේ දේශනා වලින් 1 සිට 17 දක්වා වන ඒවා වල ඔහු සොයන තොරතුරු අඩංගු බවය) . ඒ හිමි මහායාන දහම ගැන මෙන්ම විශ්වය ගැනද හදාළේ ඇයි?

ලවුලන් ඇතුළු මිඩියම්වරු බොහෝවිට භාවනා කිරීම හා එළඹ සිටි සිහියෙන් සිටීම ගැන බොහෝ විට කතා කළහ. එසේම මැවුම්කාර  දෙවියෙකු වෙනුවට ලවුලන් විශ්ව කරන්නේ මහා විඥානයක් (super consciousness) ගැනය. අප සැම මේ මහා විඥානයේ කොටස් කරුවන්ය. අප ගේ විඥානයන්  එනම් යටිහිත් සියල්ල එකට බැඳී පවතී. (unconscious mind with conscious mind ). එසේම  භාවනා කිරීම ගැන ඔවුන්ගේ  ඇත්තේ පෙරදිග ඇදහීම් වලට සමාන මතයකි. එළඹ සිටි සිහියෙන් සිටීම (හා සම්මා සතිය ) වැදගත් බව ඔවුහු සිතති. මමත් භාවනා කිරීම ගැන අදහසට  එකඟ වුනෙමි. සිහිය සැමවිටම තබා ගැනීමේ වැදගත් කම ගැනද  එකඟ වුනෙමි.  ආචාර්ය තින් ගේ ලිවින්ග් මෙඩිටේෂන් (භාවනාවේ ජීවත්වීම ) වැනි පොත් ද යැව්වෙමි. එක්හර්ට් ටොල් ගේ පොතක්ද ඩිව් විසින් එව්වා මතකය. (The Power of Now ). ඒවායේ කතා කරන්නේ අවදියෙන් සිටීම , හිත නිරවුල්ව තබා ගැනීම  ආදිය ගැනය. 

මම සාමාන්‍යයෙන් වාහනය පදවා ගෙන යද්දී  පවා නොයෙක් දේවල් සිතන්නට පුරුදු වී තිබෙන අයෙක්මි. ඊළඟ බ්ලොග් ලිපිය ගැන, නැත්නම් යන කිසියම් සංවාදයක මගේ පිළිතුර  කුමක් විය යුතුද යන්න ගැන, ගීතයක අදහස කුමක්ද යන්න මේ අතරින් සමහරකි. "එළඹ සිටි සිහිය" යන්න බොහොම අඩුය.  පාර  දන්නේ නම් අපි මොන හිතුවිල්ලක හිටියත් කාරය  "පැදවෙන " බව නොරහසකි. ඒ මොළයට  ස්වයංක්‍රීයව ක්‍රියා කිරීමේ හැකියාවක් ඇති නිසාය.  නමුත් ලවුලන් වැනි අයගේ මේ එළඹ සිටි සිහිය හෝ සම්මා සතිය ඉතා වැඩිය. එනිසාම ඔවුන්ගේ නිරීක්ෂණ ශක්තියද වැඩිය.  මේ ලඟදි පවා ඇය ෆේස්බුක් හි තම  අසල්වැසියන් නිවසින් එළියට  පැමිණි පසු කරන දේ ගැන ඉතාමත් රසවත් (ඕපාදුප) ලිව්වාය.

එසේම ඔවුන් තමන් ඉදිරියෙන් යන වාහනයේ ලියාපදිංචි අංකය කියවා  එයට නොයෙක් තේරුම් දෙති. ඒ හා ජේ අකුර සමග දිනය උපන් දිනයට සම වේනම් තමන්ට මළවුන්ගෙන් ලැබුණු පණිවුඩයක් යයි සිතති. මෙය දැනගත් පසු මා කළේ දරුවන් සමග වාහනයේ දීර්ඝ  ගමන් ද රසවත් කර ගැනීමය. ඒ ඉදිරියෙන් යන කාරයේ  ලියාපදිංචි අංකයේ අකුරු වලට තේරුම් දීමට තරඟ කිරීමෙනි. 

  එසේම රේඩියෝවක, ගීතයක හදිසියේ ඇතිවන ශබ්ද (interference ), කාර් රේඩියෝවක ශබ්ද වලින් මළවුන්ගේ කතා ඇසෙන බව ඔවුහු පවසති. මෙයට කියන්නේ ඉලෙක්ට්‍රොනික ලෙස ප්‍රාදුර්භූතවන හඬවල් electronic voice phenomena (EVP කියාය. මට මේ ගැන එතරම් විශ්වාසයක් නැති වුවත් මේ හඬපට  බොහොමයක් අසා තිබේ. 
  
යුටියුබ් එකේ මෙවැනි හඬපට බොහෝ දැකිය හැකිය.

 ඉහත අදහස් අනුව සිත වෙනත් සිතුවිලි වලින් වියුක්තව අවදියෙන් තබා ගැනීමට හැකිදැයි විමසා බැලුවෙමි. මෙහිදී මා වෙනත් දිනවල නිරීක්ෂණය නොකරන දේ පෙනී යන බව වැටහුණි. සමහර විට යන අතරමග මාර්ගයේ ඇති වෙළඳසලක්, අමුතු නිවසක්, අමුතු  පාරක නමක් වශයෙනි.  උමං දුම්රියේ හෝ බසයක් යද්දී මිනිසුන්ගේ හැසිරීම් වඩා හොඳින් නිරීක්ෂණය වුනි. ඇත්තෙන්ම මගේ කාර්යාලයේ අයෙක් හැම සිකුරාදාවකම බර්ගර් එකක් කන බවත් ඔහු සඳුදාට කන්නේ සලාදයක් පමණක් බවට  මට අනාවැකි කිව හැකි බවත් වැටහුණි. 
පින්තූරය නිව් සයන්ටිස්ට් සඟරාවෙන් 

නිව් සයන්ටිස්ට් සඟරාවේ 2014 පලවූ මිනිස් මොළය පිලිබඳ ලිපියක් මගේ යහළුවන්ට යැව්වෙමි. (මේ බොහෝ කලට පසු බව මතක තබා ගන්න)  එහි ඇත්තේ අප "අවදියෙන් සිටීම " ඔන් ඕෆ්ෆ් කල හැකි ස්විච් එකක් - අවදියෙන් සිටිනවාද නැත්ද යන්න තීරණය කරන්නක් මිනිස් මොළයේ ක්ලඋස්ට්‍රම් නමැති පෙදෙසේ තිබෙන බවට ඉඟියකි. 

මේ අවදියෙන් සිටීම හා නිරීක්ෂණය කිරීම  ඇසුරෙන් තමන් අවට සිටින අය ගැන බොහෝ දේ කිව හැකිය. අසන පොදු  ප්‍රශ්න කිහිපයක් හා පිළිතුරු කිහිපයකුත් සිහියට ගෙන දෙතුන් සියක් සිටින තැන්වල මෙවැනි "මළවුන් ගෙන්වීම් " කිරීම ඉතා පහසුය. එනිසා ඒවා බැහැර කර දැමුවෙමි. බැහැර කිරීමට තවමත් අපහසු වුයේ ලවුලෙන් ගේ කියැවීම්ය.

~ මතු සම්බන්ධයි.

"Within ghost hunting and parapsychology, electronic voice phenomena (EVP) are sounds found on electronic recordings that are interpreted as spirit voices that have been either unintentionally recorded or intentionally requested and recorded." - ගූගල් 

පරීක්ෂණයක්: https://www.youtube.com/watch?v=9zaRb_g8adY 

Thursday 20 October 2016

බැක් ටු අම්බලම් මනෝ (මළ) විකාරය

යහළුවකු විසින් එවූ ගොසිප් වෙබ් අඩවියක අමුතුම අන්දමේ පුවතක් දුටුවෙමි. ලොකු අයියලා අක්කලා පොඩි කාලේ අම්බලම්  ගිය ඇඳුම් ඇඳන් කරන නාඩගමක් ගැන දුටුවෙමිය. මේ කියන්නේ යන්තම් අවුරුදු දහඅට  පැන්න  අද ඊයේ අම්බලම් වලින් එලියට පියමැන්න එවුන් ගැන නෙමේය. උන්ටිකට ඊයේ පෙරේදා අවුරුදු දොළහක් වත් අඩුම ගණනේ ඉඳලා  එලියට ගිය අම්බලම් ඉස්කෝලේ , අම්බලම් මහා විද්‍යාලේ , අම්බලම්  කොලීජිය ගැන පොඩි කැක්කුමක් සංකාවක් තියන එක මට හිතා  ගත හැකිය. ඒවා සාමන්‍ය  දේවල් ය.

මේ අයියලා අක්කලා එහෙම නොවේය. උන් ඇවිල්ලා  අවුරදු හතලිහ පණහ පැන්න වුන්ය. අඩුම ගණනේ තිහ වත් පැන්නවුන්ය.  හතළිහෙන් පස්සේ අර මිඩ්ලයිෆ් ක්‍රයිසිස් හෙවත් මැදිවියේ විප්ලවය වත් හට ගත්ත කට්ටිය දැයි මට නිකමට වගේ සිතුනෙමිය.

හැබැයි බලාගෙන ගියාම මේ වැඩේ එහෙම එසේ මෙසේ සිල්ලර හේතුවකට වෙන දෙයක් නෙමේය.  මේ හැමෝම පොඩි කාලේ ඇඳපු  කොට කලිසම්, සායවල් , සුදු ගවුම්, සුදු දිග උණ බම්බු කලිසම් ආයේ මහගෙන, කරේ ළමා බෑගයකුත් එල්ලා ගෙන යන්නේ තමන්ගේ නැති වෙච්ච ළමා විය හොයාගෙනය.

ළමා විය නැතිවී ඇත්තේ ලංකාවේ සෝ කෝල්ඩ් නිදහෂ් අධ්‍යාපනේ නිසාය.  අන්තිම දුප්පත් දෙමහල්ලන්ගේ සිට,  පහල මධ්‍යම පන්තියේ දෙමාපියෝත්, ඉහළ මධ්‍යම පන්තියත් කියා වෙනසක් නැතුව දුවා දරුවෝ ටියුෂන් හෙවත් පෞද්ගලික පන්ති යවන්නේ එකේ පන්තියේ සිටය. ඒ ඔක්කොම විෂයන්ටය. පහේ පන්තියේදී කඩයිම් විභාග සඳහා තවත් අමතර පුද්ගලික පන්තිය.  ඒකෙන්  මුළු රටේම පළවෙනි තැනෙ සිට තුන්වන තැන ගන්නා දරුවන්ගේ පමණක් නොව  දරුවාගේ පියා, දරුවාගේ මව් , හවසට පුද්ගලික පන්ති දැමු ඉස්කෝලේ ටීචර්, ආච්චි  , සීයා හා බල්ලා ගේද පින්තුර පත්තර වල පළවෙන්නේය. අහක හිටිය  ප්‍රින්සිපල් ලාගේ පින්තුරද වැටෙන්නේය. ඔය කවුරුත් කළ රෙද්දක් නැත.

මේ ළමයිද තමන් ටියුෂන් (හෙවත් පෞද්ගලික අධ්‍යාපනය)  පැත්ත පළාතක නොගිය බවත් හො ඳට සෙල්ලම් කළ බවත්,   නිකම්ම විභාගෙට ගිය බවත් රුපවාහිනියට උජාරුවෙන් කියති. අල්ලපු ගෙදරින් ඇහුවොත් ඇත්ත කතාව හෙළිවනු ඇත. මොකද අල්ලපු ගෙදර පොඩි එකා පාස් නැත්නම් දෙමාපියන් උගේ හතර හන්දි කැඩෙන්නට පහර දී තිබෙන්නට පුළුවන් නිසාය. පහේ පන්තියේ විභාගෙන් ෆේල් වෙන එකා ගේ මානසික තත්වය කවුරුත් හොයන්නේ නැත.

ඉතින් මොන දක්ෂතාවය තිබුනත් පහ ෆේල් වුණා කියා නවතින්නේ නැත. තවත් පෞද්ගලික පන්ති දහය , එකොළහ පන්තිය වෙනකන් යා යුතුය . ඒ විභාගෙන්  පසු උසස් පෙළටද පන්ති යා යුතුය. ඒ දෙකෙන් පැන ගෙන නිදහස් අධ්‍යාපනේ දෙන විස්ස විද්යාලෙකට යා ගන්නට බැරිවුනොත් අම්ම තාත්තා ඉඩම්, ගෙවල් උගස් කර ණයවෙලා යවන අහවල් පුද්ගලික ආයතනේට ගොස් සටිපිකට් , ඩිප්ලෝමා එකක් දා ගත යුතුය. මේ හැම තැනටම ප්‍රවාහනෙට යන වෙලාවත් එකතු කරලා ගණන් බැලුවාම ජිවිතේ විඳින්න උන්ට වෙලාවක් නැත. විස්ස විද්ලීයාලේ උන්ට වෙලාවක් තියනවා කියල හිතන්නටද බැරිය. ශිෂ්‍ය සංගමෙන්, ආණ්ඩුවෙන් සහ  පොලිසියෙන් දෙන   අසයින්මන්ට් හා විබාග  අස්යින්මන්ට්ද කරලා ගොඩ ආ යුතුය.

තිබ්බ ළමා විය ඔහේ දන්නෙම නැතිව ගෙවී ගිහිල්ලාය. ඊට පස්සේ වැඩ කරලා වැඩ කරලා හති වැටිලා බලන කොට දන්නෙම නැතිව තිහ හතළිහත් පැනලාය. ඊටත් පස්සේ පොඩි එවුන්ගේ ඇඳුම් ලොකුවට මහගෙන  බැක් ටු අම්බලම් කියල පරණ අම්බලමට බඩගාන්නේ පොඩි කාලේ මිස් වෙච්ච ජෑම්  පාන් එකකුත් මල්ලට දා ගෙනය. මේ ගොල්ලන්ට සූප්පු විකුනන්න කවුරුත් හිටියේ නැත්ද කියල හිතුනේ බඩ ගාන ගෑවිල්ලටය.

ප්‍රශ්නේ මේක නෙමේය. තමන්ගේ ළමයින්ට දෙන්නෙත් මේ සබ්බුවමය. උන් ටිකත් තව අවුරුදු විස්ස තිහකින් ඔය නාඩගමම නටනවාය. හේතුව උන්ගේ ළමා කාලේ ගත වෙන්නෙත් පුද්ගලික නිදහස් අධ්‍යාපනය වෙනුවෙන්ය.

නිදහස ගත් දා සිට කන්නන්ගර මහතා  වෙහෙසී ලබා දුන් නිදහස් අධ්‍යාපනෙන් අප ගත් ප්‍රයෝජන බොහෝය. බ්ලොගය ලියන්නට සිංහල ඉගෙන ගත්තේද නිදහස අධ්‍යාපනයෙන් කියා කිව හැකිය. ඒ වුනාට  මට ආපහු සුදු කලිසමක් හෝ කලිසම් කොටයක් ගහගෙන පරණ  ඉස්කෝලේ පැත්තේ යන්නට නම් කීයටවත් හිතෙන්නේ නැත.  ඒ කාලෙ පහු කරගෙන ආවේ ආයේ එතනට යන්නට නෙමේය.

මේ ආපහු  කලිසම් කොට ගහගෙන,  බෑග් එල්ලගෙන ඉස්කෝල ගානේ දුවන්නේ තමන් ඇත්තටම ඒ ඉස්කෝලේ ඉගෙන ගත්තා දැයි බලන්නට විය යුතුය. මතක තියෙන්නට විධිහක් නැත.

අහෝ මේ නම් මහා ඛේදවාචකයකි. ඉරකි., තිතකි. ....

අපේ බ්ලොග් ඇත්තෝත් බැක් ටු අම්බලමට ගියා නම්  සමා විය විය යුතුය. මේ මට හිතෙන හැටි පමණය.