Thursday, 4 January 2018

ගිය වසරේ ලිපි කිහිපයක් ගැන නව වසරේ සිතුවිල්ලක්

අවුරුද්ද අවසන් වෙන්න කලින් ලිපි කිහිපයක්  ලියන්න හිතේ තිබුනත් වැඩ අධික කම නිසා ලියා ගන්න බැරි වුන. දැන් 2018 අවුරුද්දත් එළඹිලා. පසුගිය  අවුරුද්ද පුරාම  බ්ලොගය කියවන්න පැමිණි මිතුරු මිතුරියන්ට ස්තූති කරන ගමන්ම ලියපු කිසියම් ලිපි කිහිපයක් ගැන නැවත  සමාලෝචනයක් කරන්න  හිතුන.

 පහුගිය දවසක මගේ බිරිඳට හදිසි අනතුරක් සිදු වුණා. සති කිහිපයකට කලින් මේ පැත්තට ලොකු කුණාටුවක් හැමුවා. ගෙයි පිටිපස්සේ ඉඳගන්න තිබුන ඔන්චිල්ලා පුටුව (පින්තුරේ තියෙන එක වගේ) කැරකිලා වැටුන. ඒක ඇඹරිලා තිබුනේ. බිරිඳ ඕක උස්සල නැවත හිටවන්න යද්දී එක පැත්තක තියන යකඩ කණු දෙක එකතු වෙන කොටස කකුළට අත ඇරිලා. මහපට ඇඟිල්ලේ නියපොත්ත ගැලවිලා ඇඟිල්ල නවන තැන අස්ථිය බිඳිලා. දුවලට නිවාඩු නිසා ඒ ගොල්ල ගෙදර. මම ඔෆිස් එකේ. දුව කෝල් එකක් දීල කිව්වා ගෙදර එන්න හදිසි අනතුරක් කියල. විස්තරේ ඇහුවම දූ කීවේ අම්මගේ පයේ ඇඟිල්ලක් කැඩිලා. මම එයාට  උපදෙස් දුන්න වහාම 999 (හදිසි අනතුරු සේවය) එකට කෝල් කරල ඇම්බියුලන්ස් එකට කතා කරන්න කියල. "අම්ම එපා කියනවා. ඒත් ලේ ගොඩයි" කියල දුව කියාපි. බිරිඳත් මොනවාද කියල කෑ ගහනවා ඇහුනා. මමත් එහෙම්ම බොස්ට "ගෙදර යනවා හදිසියක්" කියල මෙසේජ් එකක් දාල ඉක්මනින්ම ආවා. සාමාන්‍යයෙන් විනාඩි 5-10 අතර කාලයක් තුල මට වාහනෙන් ගෙදර ආව හැකියි.

මේ මනුස්සය අර ලේ ගලන ඇඟිල්ලත් එක්ක කකුල ඇදගෙන නාන කාමරේට ගිහින් තුවාලේ හෝදලා පොඩි බැන්ඩේජ් එකක් බැඳගෙන මම එනතුරු බලාගෙන ඉන්නව.  ඇවිද ගන්නත් බැහැ. මමත් එහෙම්ම  එයාවත් වත්තන් කරගෙන කාරෙකට දාගත්ත. තුවාලේ වේදනාවට එයා ට අමාරුයි කියලත් මට තේරුණා. සිහියත් නැතිවෙයි කියල මට බයයි. ඒත් මම ඇහුව "ඔයාට පිස්සුද මම එනකන්ම හිටියේ. 999 කතා කරලා ඇම්බියුලන්ස් එක ගෙන්න ගන්නේ නැතිව. ඒ මිනිස්සු තුවාලෙට තාවකාලික බැන්ඩේජ් එකක් දාල රෝහලට ගෙනියනව නේද" කියල.
"ඇම්බියුලන්ස් එකට කලින් ඔයා ගෙදර එනව කියල මට විශ්වාසයි" කියල එයා කිව්වා. ඒක ඇහැව්වම හිත සසල වුණා. එහෙම  කියල අර වේදනාවත් මැඩගෙන මගේ වම් අත තදින් අල්ල ගෙන හිටිය රෝහලට යනකම්ම්. ඉඳ හිට මගේ ඇත තින් මිරිකෙන කොට මට තේරුණා එය දැඩි වේදනාවකින් ඉන්නේ කියල.  බෙහෙත් දැම්මට පස්සේ දිනයක් දුන්න කැඩුම් බිඳුම් අංශයට යන්න. එතනින් කකුලට දාන්න වෙනම  සපත්තුවක් දෙනවා කිහිලි කරු දෙකකුත් එක්ක. දැන්නම් හොඳයි එයාට. ඒත් මම කිව්වා මිට පස්සේ නම් ඔහොම කරන්න  එපා. මාව විශ්වාස කලාට කමක් නැහැ. ඔයා  ඇම්බියුලන්ස් එකටත් කතා කරන්න කියල. ඒ  එක්කම මම කිව්වා "ඔයාට නම් පුදුම දරා  ගැනීමේ ශක්තියක් තියෙන්නේ. අඬන්නේ වත් නැතිව ලේ ගලන ඇඟිල්ලත් හෝදලා බැන්ඩේජ් කරගෙන මං එනකන් හිටියනේ  කියල"

ඊට පස්සේ මට මතක් වුනේ මම "ගුරු ගීතය " ට ලියපු විචාරයක්. මේ තිබෙන්නේ එයයි.   "අයිත්මාතව් හැඬවූ ගම්ලතුන්  ගේ ශෝකාන්තය " .  චිත්‍රපටියේ අවස්ථා කිහිපයකදීම අල්තිනයි වැලහින්නියක මෙන් හඬන දර්ශන මගේ සිත් ගත්තේ නැහැ.

මට වැටහුනේ එයට හේතුව සෝවියට් දේශයේ මා  දුටු හා දැන  හඳුනා සිටි තරුණියන් මෙන්ම ඉන් පසුව එංගලන්තයේ ජිවත් වීමේදී හඳුනා ගත් තරුණියන් හා ගැහැණුන් දැඩි ලෙස වැලපෙන අන්දමක් නොදැකීම  නිසා හටගත් නුහුරු ගතිය නිසා කියල හිතෙනවා. සිනමා නිර්මාණයේ හඬන අවස්ථා වැඩියි කියලත් එවෙලේ හිතුන.

බටහිර ගැහැණුන් මෙන්ම සෝවියට් ගැහැනුන් ද වේදනාවන්  දරා ගැනීමට හුඟක් දක්ෂයි. මගේ සොයුරියන් ගෙන් එක් අයෙක් හඬනවා මම දැකල නැහැ. නමුත් අනිත් සොහොයුරිය ඉතා ඉක්මනින්ම හඬන්නට පෙළඹෙන බවත් මම දන්නවා. දැන් මට සිතෙන්නේ මගේ ලිපියේ එම කොටස ගැන නැවත සිතා බැලිය යුතු බවක්. ගම්ලත් මහතා  බොහෝ විට ආසියාතික ප්‍රේක්ෂකයාට සමීප වන්නට උත්සාහ  දරා ඇති යයි  කියල දැන් හිතෙන්නේ.
මේ තිබෙන්නේ මගේ බිරිඳ ඒ ගැන ලියු ලිපියයි. එහිදී ඇයට ද මේ හඬා වැළපීම් ප්‍රශ්නයක් වුවත් සමස්තයක් ලෙස ඇය එම චිත්‍රපටය උසස්  එකක් බවට නිගමනය කරනවා  එම කොටසට මගේ දියණියන් දෙදෙනාද මදක් උපහාසාත්මක ලෙස  සිනා සුනේ ඔවුන්ටද එවැනි වැළපීම් නුපුරුදු නිසා. මේ අනුව බලන කොට සමස්තයක් ලෙස ගතහොත් චිත්‍රපටය සාර්ථක බව ට මටද නිගමනයකට එළඹිය හැකියි.

හෙන්රි වර්ණකුලසූරිය මහතාගේ පොත් දෙකක් ගැන  "විල්ලර වාඩියෙන් දඩ කඳවුරට " කියල ලිපියක් ලිව්වා කාලෙකට කලින්. ඉන් පස්සේ අවසන් වරට තරංගනී රසිකා ගේ "දේශ ද්‍රෝහියෙකුගේ නිර්මල හෘදය" කියෙව්වා. දෙවැන්න  ගැන ලියු ලිපිය මේ. රසික සුරියආරච්චි තමන්ගේ ලිපියේ "බත්තලංගුණ්ඩුව " ගැනත් සඳහන් කරනවා. මම ඉන් පස්සේ වෙඩිවර්ධන මහතා ලියූ  "මගේ ආදරණිය යක්ෂණි " පොතත් කියෙව්වා. "විල්ලර වාඩිය" හා "දඩ කඳවුර" කෘති දෙක කතෝලික ජනයා ගැන මෙන්ම ලංකාවේ දේශපාලනය  දෙසත්  ඒක පාක්ෂිකව බලල ලියපු  කෘති දෙකක් හැටියටයි මට දැන් පෙනෙන්නේ. එයට මූලික හේතුවක් තමා තරංගනී රෙසිකා ගේ පොත. එහි එන චරිත මට  හුඟක් සමීපයි. ජාතිවාදී දේශපාලනය ප්‍රතික්ෂේප කරපු විප්ලවවාදී චරිත ලංකාවේ ඕන තරම් හිටිය. කතෝලික ජනතාව පවා යුද්ධය හා ආගම වාදය යන අන්ත දෙක මැද්දේ හිර වෙලා සිටියා. එහෙම සිටියදී පවා ඔවුන්ගේ තරුණ පෙළ  ජවිපෙ හා වෙනත් සංවිධාන සමගත් සමබන්ධ වුණා. හෙන්රිගේ ඒකපාක්ෂික වාදය මතු පිටට එන්නේ ඔය ගැන කතා කරද්දී.

එනිසා මම ලියපු මේ වාක්‍යය "යථාර්තය පිලිබඳ සම්පුර්ණයෙන් නොව යථාර්තය පිලිබඳ තමන්ගේ ප්‍රක්ෂේපණය කෘතියක  දක්වන්නට කතුවරයෙකුට හැකිය. විල්ලරවාඩිය හා දඩ කඳවුර ඒ ප්‍රක්ෂේපණය සාර්ථකව ඉටු කර ඇත." ඉල්ලා අස් කර ගන්න වෙනවා. හෙන්රිගේ ප්‍රක්ෂේපනය යථාර්තය පිළිබඳ  ඔහුගේ පෞද්ගලික ෆැන්ටසියක් පමණයි. ඔහු පෞද්ගලික ෆැන්ටසියක් සමාජ ගත කරනවා "මේක තමයි මම දැක්කේ. ඔයාල දකින්නෙත් ඒක"  කියල. නමුත් මේ පොත් හෙන්රි තමන් විසින්ම  මවා  ගත්ත දේශපාලන කටු කම්බි වැටක් ඇතුළට වෙලා ලියපු පොත් දෙකක් හැටියට තමයි මට පෙනෙන්නේ.

ඉතින් දැන් නැවත  තවත් අවුරුද්දක් ඇවිත්. මම දැක්ක දෙතුන් දෙනෙක් කියල තියනව අවුරුදු සුභ පැතුම් වලින් වැඩක් නැහැ. ඒවලින් වෙන දෙයක් නැහැ. යාලුවෝ හම්බ වුනාද? නැහැනේ. වගේ කතා. මට නම් හොඳ යහළුවෝ කිහිප දෙනෙක්ම හම්බ වුනා මේ අවුරුද්ද ඇතුළත. හොඳ බ්ලොග් ලිපි කියෙව්වා. වසරේ අසාර්ථක බවක් දැනුනේ නැහැ. ජිවිතේ ප්‍රශ්න තියනවා තමයි. නමුත් අවුරුද්දක් දවසට සුභ පැතුමක් එන එකත් මහා ලොකු ප්‍රශ්නයක් කර ගන්න ඕනේ නැහැ.

ඉතින් සුභ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම.





  

28 comments:

  1. බොහොම සාරවත් ලිපි අපට කියවන්නට ලැබුණා. ඉතින් ඔබ ඇතුළු ඔබේ ආදරනීයයන් සැමටමත් සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. ඔබතුමා ගෙනුත් ප්‍රාදේශීය ඉතිහාසය ගැන ලිපි කියවා දැනුමක් ලබා ගත්තා . ඒ වගේම ඔබේ චාරිකා වල පින්තුරත් බලනවා. ඔබටත් පවුලේ සැමටත් තවත් චාරිකා වල යෙදීමටත්, නිරෝගී සුවයෙන් හා සැපෙන් පිරි වසරකට සුභ පතනවා

      Delete
  2. ‘‘ප්‍රේමයේ මහිමය“ "ඇම්බියුලන්ස් එකට කලින් ඔයා ගෙදර එනව කියල මට විශ්වාසයි" කඳුළකුත් ආවා මේ ටිකට. ඇත්ත ආදරය ඇතුළෙ තියෙන ලොකුම ශක්තිය තමයි මේ විශ්වාසය... විශ්වාසය නැත්නම් ඒක නිකම්ම නිකම් බැඳීමක් විතරයි...

    ගෙවුණු අවුරුද්ද මගේ පැත්තෙන් ගත්තත් මට හිතෙන්නෙ සාර්ථක වසරක් කියල. ටිකක් හිතුවක්කාර විදියට මම පොත එළියට දැම්මා. ඒක සාහිත්‍යමය වැඩකට වඩා සමාජමය වැඩක් විදියට කරන්නයි මට ඕන වුණේ. ඒ වැඩේ යම් සාර්ථකත්වයක් තියෙනවා කියල හිතෙනවා.

    ස්තුතියි අජිත් අයියේ ගෙවුණු වසරේ දුන් ධෛර්යයට. ඔබටත්, බ්ලොග් ලෝකයේ සැමටත් ධෛර්යවන්ත ආදරවන්ත වසරක් ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. කසාද බැඳලා අවුරුදු 18 විතර ගිහින් නිසා මම වැඩිය සෙන්ටිමෙන්ටල් වෙන්නේ නැහැ. නමුත් මටත් හිතට වැදුන නංගි එයා එහෙම කීවම. ඔයාගේ ඉදිරි වැඩ කටයුතු සියල්ලමත් සාර්ථක වේවා. තවත් පොතකින් හමු වෙමු කියලත් ප්‍රර්ථනා කරනවා. ස්තුතියි

      Delete
  3. ගිය අවුරුද්දේ ලිව්වේ එකම එක පොස්ට් එකයි.හැබැයි ගොඩක් එව්වා නම් කියෙව්වා.

    ReplyDelete
    Replies
    1. එහනම් මේ අවුරුද්දේ තව එකක් වත් ලියන්න. කියවීමෙන් මිනිසෙකු පරිපුර්ණ වේ කියල කව්ද කියල තියනවා නේද. :) ස්තූතියි

      Delete
  4. සුබ අලුත් අවුරුද්දක් වේවා අජිත් ඇතුළු පවුලේ සැමට.. මේ අවුරුද්දේ විශ්වය සහ තරු ගැන ලිපි ටිකක් ලියන්න.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි පැතුම්. සුභ අලුත් අවුරුද්දක්. ඇත්තටම මේ අවුරුද්දේ දේශපාලනය අඩුවෙනුත් විද්‍යාව වැඩියෙනුත් තමයි ලියන්න ඕනේ.

      Delete
  5. සමහරුන්ගේ පේන් ත්‍රෙශ්හෝල්ඩ් සහ පේන් ටොලරන්ස් ඉහලයි.

    A very impressive review by Ines. I agree with her sentiments. I too find excessive wailing rather annoying. Come to think of it, I find even soppy sweet romances in movies irritating. I reckon I'm too much of a cynic. :-D

    Btw, I hope she has now fully recovered.

    ඔබ පස් දෙනාටම සුබ නව වසරක්.

    ReplyDelete
    Replies
    1. //සමහරුන්ගේ පේන් ත්‍රෙශ්හෝල්ඩ් සහ පේන් ටොලරන්ස් ඉහලයි.// ඒක ඇත්ත. කාන්තා පක්ෂයේ පේන් ත්‍රෙශ්හෝල්ඩ් එක කොහොමත් වැඩියි කියනවනේ. ඉනෙස් ට දැන් සනීපයි. කෝල් එකක් දෙන්න. අපි ඊයේ පෙරේදත් ප්‍රා ව මතක් කලා. අර කවුද කෙනෙක් ප්‍රංශයේ ඉඳන් ගත්තේ ප්‍රා ගේ පොතක්. මට පේන විධිහට ඉනෙස් ගේ යහළු ප්‍රංශ ටීචර් බෙටී කියලද කොහෙද.
      කිකී ට අනිවාර්යයෙන්ම කියන්නම් ප්‍රා සුභ පැතුවා කියල. කොහොම උත්තර දෙයිද දන්නේ නැහැ.සුභ අලුත් අවුරුද්දක් පවුලේ සැමට

      Delete
    2. කියන්න අමතක වුණා. එයාට දැන් හොඳයි.

      Delete
  6. සුබ අලුත් අවුරුද්දක්. මග අරුණු ලිපි ටිකක් කියවන්න බලාපොරොත්තු වෙමි.

    ReplyDelete
    Replies
    1. සුභ අලුත් අවුරුද්දක් පවුලේ සැමට නිමල්. ලිපි කියවිම හ්පංද වැඩක්. ඔබේ අදහස්බලා පොරොත්තු වෙමි.

      Delete
  7. අජිත් ධර්ම මහත්මයා අවසානයේ අන්තිම තුරුම්පුවත් ගැසුවේ ය. ඒ ස්වකිය බිරියගේ සෞඛ්‍ය තත්වය ගැන අනුකම්පා යාදින්නක් පළකරමිනි. ඒ සම්බන්ධයෙන් තැන තැන කතා පසුගිය කාලයේ කොමෙන්ට් ඔස්සේ කියැවුණ අතර අජිත් ධර්ම මහත්මයා ප‍්‍රථම වතාවට බ්ලොග් මාධ්‍ය ඉදිරියට පැමිණෙමින් ඒ බැව් සනාථ කළේ අද ය.

    අජ්ත් ධර්ම මහතා යනු ශ‍්‍රී ලාංකික බ්ලොග්කරුවන්ට අමුත්තෙකු නොවන බැව් අමුතුවෙන් පැවැසිය යුතු නොවේ. එහෙත් පසුගිය කාලයේ බොහෝ බ්ලොග්කරුවන් නම් කළේ ඔහු ආගන්තුකයෙකු ලෙසින් සැලකීම ය. අවස්ථා ගණනාවක දී නෙළුම්යය පදනමේ සභාපති ධුරයට අජිත් මහතාගේ නම යෝජනා වූව ද ඒ සම්බන්ධයෙන් ‘හ්ම්’වත් කීමට කිසිවෙකුත් සිටියේ නැත. සිටිය ද ඔවුන් ද කළේ ‘අත දී දත නියවීමේ’ න්‍යායෙන් කටයුතු කිරීම ය.

    ඇතැම් විට අජිත් ධර්ම මහතාද ද සිංහල බ්ලොග් ගැන දන්නා බැවින් පසුපාදයේ සිට ක‍්‍රීඩා කරමින් තමන් විසින් ගොඩ නගාගත් යසස ආරක්ෂා කරගෙන කටයුතු කළා ද විය හැකිය. එය ඔහුගේ පැවැත්මට බෙහෙවින් ම ඉවහල් වුණි. සමාජවාදී සෝවියට් රුසියාවේ මුදලින් අධ්‍යාපනය ලබා, එම අධ්‍යාපනය නිසාම ධනපති බටහිර රටක සිට නෙළුම්යාය පදනම ඔස්සේ බ්ලොග් මුදලට ගනිමින් සියල්ල උඩුයටිකුරු කිරීමට අජිත් ධර්ම මහත්මයාට හැකි වෙන්නේ ඇයිදැයි යන්න තවමත් සාකච්ඡා නොවූ දෙයකි. එයට හේතුව අජිත් ධර්ම මහත්මයාට අවශ්‍ය මුදල් සහ අනෙකුත් පහසුකම් අන්ත දක්ෂිණාංශික ධනපති අගමැති රනිල් වික‍්‍රමසිංහ හරහා ඔහු වෙත ලැබූ නිසාද යන්න හාහූවකි.

    ReplyDelete
    Replies
    1. ලිපි කියවන හුදී ජනයාගේ පහන් සංවේදය උදෙසා මේ ප්‍රතිචාරය පළ කරන ලදී. හි හි

      Delete
    2. පහන් සංවේගය :)

      Delete
    3. මට හිතෙනවා ලංකාවේ දේශපාලකයන්ගෙන් සල්ලි අරන් ලියන කියන අය හුඟක් ඇති. මේ වගේ ප්‍රතිචාර වැටෙන්නේ සමහරවිට තමනුත් එහම් කරන නිසා වෙන්න ඇති. ගුගල් හා වර්ඩ්ප්‍රෙස් බ්ලොග් හදන්න දෙන්නේ නිකන්. විසි හතර පැයට ඉන්ටර්නෙට් තියන රටක ඉන්න කොට දේශපාලකයන්ගෙන් සල්ලි ඕනේ නැහැ අනේ ලියන්න

      Delete
  8. සුබ නව වසරක් වේවා අජිත්. ඔබගේ සෝවියට් ආදර කතාව නතර කලේ ඇයි.එය මට පැරනි සෝවියට සාහිත්‍යය සිහිගැන්වුවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මොහොට්ටි. ඔබට සුභ නව වසරක්. එම කතාව අවසන් කලේ නැහැ. නැවත පටන් ගන්නවා. හොඳටම බිසී වුණා පහුගිය කාලේ.

      Delete
    2. අවංකම උත්තරේ නම් තවම හිත හදා ගන්න හදනවා අවසානය ලියන්න. ඒක ටිකක් අමාරු කාරියක්. හේ හේ

      Delete
  9. බ්ලොග්කරුවන්ට අතහිත දෙන අය අතර අජිත් අය්යා ඉදිරියෙන්ම ඉන්නවා. ඒකට මගේ රෙස්පෙක්ට් එක. මොනවා උනත් හැකියාව තියෙන මනුස්සයෙක් හැටියට අපේ රටට මීට වඩා දෙයක් කරනවා නම් කැමතියි.

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද කුරහන් මලේ .ලඟකදී නම් ඔයාලගේ බ්ලොග් වලටවත් ගොඩ වෙන්න බැරිවුණා. බොහොම ස්තූතියි ප්‍රතිචාරයට සහ යෝජනාවට. අපි වගේ ඈයෝ මොනවා කරන්නද ඔය ඉන්න විධිහට කුරහන් තලපයක් කොටා බාගෙන ඉන්නවා ඇරෙන්න. සුභ නව වසරක් ඔයාට

      Delete
  10. දැන් තව කාගේ හරි පොතක් කියෝලා ඊළඟට තරංගනී රෙශිකා ත් ලියල තියෙන්නේ එයාගේ ෆැන්ටසියක් කියයිද දන්නේ නෑ.. ;) හෙහ්..හෙහ්..

    සුභ අලුත් අවුරුද්දක්.. Ines ට මං කියුව කියන්න safety first! කියල.. :)

    ReplyDelete
    Replies
    1. ඔයාගේ පොත එනකන් බලන් ඉන්නවා ඒක ලියන්න.
      සුභ නව වසරක්. හොඳයි මම එයාට කියන්නම් safety manager කෙනෙක් කිව්ව කියල. කෝ ඔය මනුස්සය ඉතින් සපත්තු නොදමනේ ගාඩ්න් එකේ පැල හිටවන්න යන්නෙත් හි හි

      Delete
    2. නැවත කියවීමෙන් අලුත් පරිකල්පනයන් ඇති වෙනවා. ඒක වරදක් නෙවෙයි. කොහොමත් ඉතින් ලියන්නෙ නම් යථාර්ථයත් ගාවලා ෆැන්ටසි තමයි.

      අජිත් අයියට ඒව මේව කියන කෙනා, කෝ ඉතින් අඩුතරමෙ පොත ඇහැට දැක්කෙවත් නැහැනෙ.

      Delete
  11. "භෞතිකවාදියෙකු (Materialist), අධි මානසික විද්‍යාවන් හා (paranormal) මරණයෙන් පසු ජීවිතය ගැන සෙවූ හැටි"

    ලියලා ඉවරද? තාම හොයනවද?

    ReplyDelete
    Replies
    1. ලියන්න වෙලාවක් නැති කම. ලබන අවුරුද්දේ පටන් ගන්න හිතන් ඉන්නවා.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .