Tuesday 19 June 2018

ලන්ඩනයේ දී එක අහසක් යට පෑයූ හිරු, අඩ හඳ හා තරු රැස

සාමාන්‍යයෙන් මම ලන්ඩනයේ පවත්වන  සිංහල දෙමළ  අවුරුදු උත්සව වලට සහභාගී වෙන්නේ නැහැයි.  එක හේතුවක් නම් සෑහෙන කලකට ඉහතදී කිසියම් අමිහිරි අත්දැකීමක් ලැබීම.  මම හිතන් හිටියේ මේ සංස්කෘතික සංදර්ශන පවත් වන්නේ ලන්ඩනයේ ජීවත් වෙන අනිකුත් සංක්‍රමණික ජාතීන්ට, බහුතර සුදු ජාතිකයන්ට හෙම ශ්‍රී ලංකාවේ සුන්දරත්වය, සංස්කෘතිය, හැදියාව පෙන්වල දීල ලංකාවට සංචාරකයෝ යවන්න, ආයෝජකයෝ ගෙන්වන්න, මේ රටේ ජනතාව එක්ක සමගියෙන්, සමාදානයෙන් ඉන්න වගේ දේවලට කියල. නමුත් එදා නම් මාත් එක්ක ගිය සුදු ජාතික උදවියට බොහොම නරකට සැලකුව එකයි වුනේ. ඉඳගෙන හිටි පුටු වලිනුත් නැගිට්ටවල මොකට අපේ ඒවාට එනවද වගේ කතා කියපු නිසා අපි එතනින් ආව. ඊට පස්සේ මම ඒවගේ තැන් මග හැරියා.

දෙවැනි හේතුව තමයි බ්‍රිතාන්‍යයේ සංවිධානය කරන  බොහොමයක් සංස්කෘතික උළෙලවල් මෙහෙයවන්නේ  සිංහලෙන් (හෝ දෙමළ නම් දෙමළෙන්) පමණයි. ඒවාට එන මෙහෙ ඉපදුනු ළමයින්ට වත් වෙනත් ජාතියක  කෙනෙකුටවත් වෙන කිසි දෙයක් තේරෙන්නේ නැහැ. ඉතින් හැමදාම නැගුන ප්‍රශ්නයක් තමයි හැමෝටම තේරෙන්න හැම ජන වර්ගයක්ම සහභාගී කරගෙන  ඔය වගේ උත්සවයක් සංවිධානය කරන්න  බැරිද කියන එක.

එහෙම  උත්සවයකට මම මේ  ඉරිදා සහභාගී වුනා. "එක අහසක්  යට" යන තේමාවෙන් අගෝරා කලා  කවය හා මිතුරු පිරිසක් වොට්ෆොර්ඩ් ප්‍රදේශයේ සංවිධානය කරන ලද ශ්‍රී ලංකික දිනයට.  අර හැම උත්සවයක වගේම කඹ ඇදිලි, කොට්ට පොර වගේ "ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩා " තිබුන. වෙනසකට තිබුනේ පර්දාව හැඳ  සිටි මුස්ලිම් කාන්තාවන් , සිංහල හා දෙමළ  කාන්තාවන් සමග කඹ ඇදීම. දෙමල සිංහල මුස්ලිම්   තරුණ ළමයි දෙහි ගෙඩි හැන්දේ  තබාගෙන තරඟයට  දිවීම. ඒ වගේම සිං හලෙන් සහ දෙමලෙන් ඒ ඒ අංගයන්නිවේදන  කිරීම වගේ වෙනසක් ඇති උළෙලක්. ඒ එකමුතු කම දකින විටත් හරිම සුන්දර හැඟීමක් සිතට ආව.
හැරෝ නගරාධිපතිනි කරිමා මරික්කාර් 

ශාලාව තුළදීත් ඒ සම්ප්‍රදාය රැක ගන්න සංවිධායකයන් සමත් වුනු බව පෙනුනා.
ඉතා මෑත දිනෙක හැරෝ ප්‍රදේශයේ  නගරාධිපතිනිය ලෙස තේරී පත්වුණු, ශ්‍රී ලංකාවේ මහනුවර ප්‍රදේශයේ උපත ලද මුස්ලිම් කාන්තාවක් වන කරීමා මරික්කාර් මහත්මිය භාෂා තුනෙන්ම සභාව  ඇමතුවා. ශ්‍රී ලංකාවේ ජීවත්වෙන සහ ජීවත්වී දැන් බ්‍රිතාන්‍ය වැනි රටවල සිටින බහුතරයක් මුස්ලිම්වරුන්ට ශ්‍රී ලංකාවේ භාවිතා වන භාෂා තුනෙන්ම සංනිවේදනය  කිරීමේ හැකියාව ඇත්තෙන්ම  පැසසිය යුතුයි. මරික්කාර් මහත්මිය පැමිණ සිටින ජනතාවගේ එකමුතුකම අගය කලා වගේම ඔවුන්ට ශ්‍රී ලංකා සුන්දර පාරාදීසයේ සංචාර කරන ලෙසද ආරාධනය කළා.

ප්‍රවීණ රංගධර රෙඩ්ලි සිල්වාගේ ප්‍රමුඛත්වයෙන් විදී නාට්‍යයක් ඉදිරිපත් වුණා මුලින්ම වගේ.
රෙඩ්ලි සමග වීදි නාට්‍ය කණ්ඩායම 
ඉනික්බිතිව ඉංග්‍රීසි භාෂාවෙන් සවන පිනවන සරල ගී කිහිපයක්ම ක්‍රිස් ඩන්ලොප් ප්‍රමුඛ  ගෘවී කලෙක්ටිව් වෙතින් ශ්‍රවණය කිරීමේ භාග්‍යය  ලැබුණා.
ක්‍රිස් ඩන්ලොප් 

මෙවැනි උත්සව කිහිපයකම මා දැක පුරුදු ලන්ඩනයේ ප්‍රසිද්ධ ඕලු නාට්‍ය කණ්ඩායමේ  අමා ප්‍රමුඛ තරුණ දැරිවියන්  දර්ශනීය නාට්‍ය අංගයන් කිහිපයකින් සභාව පිනැවූවා. 
ඕලු නාට්‍ය කණ්ඩායම 

මනෝහාරී කරුණාකරන්  පියකරු දකුණු ඉන්දීය ද්‍රවිඩ නාට්‍ය අංගයක්  ඉදිරිපත් කළා පමණක් නොවෙයි, සභාවේ සිටි ප්‍රේක්ෂකයන්  ඇගේ වේග රිද්ම   නැටුමට  අත්පුඩියෙන්  තාලය අල්ලන්නට පෙළඹවෙන පමණටම සභාව කුල්මත් කලා.


මනෝහාරී කරුණාකරන් 
ලන්ඩනයේ පදිංචි ද්‍රවිඩ ජාතික කූගන් මහතා විසින් ඉදිරිපත් කරන ලද කුඩා නාට්‍යයක් වේදිකා ගත කෙරුනා. කථා සාරය වූයේ  පසුගිය දිනෙක ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ බ්‍රිතාන්‍ය අධිකාරිත්වය  හිමි තඹ නිෂ්පාදන  කරන  වේදාන්ත සමාගමේ අනු කම්හලක විරෝධතාකරුවනට  තමිල්නාඩු පොලිසිය තිරශ්චින ලෙස පහර දීමට විරෝධතාවය දැක්වීමයි.
වේදාන්ත තඹ සමාගමට හා තමිල්නාඩු  පොලිසියට  විරෝධය පල කළ නාට්‍යය 
  
තමිල්නාඩු පොලිසිය බිම 
පිටියේ කෙලි සෙල්ලම් අංගයන් නිවේදනය කලේ බ්ලොග් රචකයෙකු හා ලේඛකයෙකු වන සරද සිංහල භාෂාවෙන්  සහ  මධු දෙමල භාෂාවෙන්. සභාව තුල  නිවේදනය කළේ පළපුරුදු නිදෙකයෙකු වන දිසා කෝනාර චතුර ලෙස සිංහලෙන් සහ මධු දෙමල භාෂාවෙන්. සේනක හෙට්ටි ආරච්චි ඉංග්‍රීසියෙන්  සභාව ඇමතුවා.

නාට්‍ය අංග අවසානයේ සොලිඩ් වාදක කණ්ඩායම සිංහල සහ දෙමල ගීත කිහිපයක්ම  වාදනය කරමින් සභාව ප්‍රීතිමත් කළ බවත් මතක් කල යුතුයි.

මේ ප්‍රසංගයේ සහ උත්සවයේඅඩුපාඩු නොතිබුණා  නෙමෙයි.

කන්ද උඩරට නැටුමක්, යක් නැටුමක්  හෝ හොඳ බෙර වාදනයක් තිබ්බ නම් අගෙයි.

කෝනා දිසා විශිෂ්ඨ ලෙස සභාව මෙහෙයවූවත් ඔහු ඇතැම් විට සංක්ෂිප්ත නිවේදනයන් වඩා දීර්ඝ ලෙස පැහැදිලි කරන්නට යාම ප්‍රේක්ෂකයන් මදක්  නොසන්සුන් කළා. ඒ වගේම ශබ්ද පරිපාලනයේ ඇතැම් අඩුපාඩුකම් මග  හරවා ගැනීමට නොහැකි වීම නාට්‍ය හා ගීත රසාස්වාදනයට බාධාවක් වුනු බව  සඳහන් කළ යුතුයි. 

වඩාත් පුදුම සහගත දෙය වුනේ වොට්ෆොර්ඩ් ප්‍රදේශයේ  ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් මෙයට සහභාගී නොවන ලෙස තම ආධාරකරුවනට හා හිතවතුනට දැන්වූ බව දැන ගැනීමට ලැබීමයි.  මෙයට හේතුව වී ඇත්තේ සංවිධායක මණ්ඩලයේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයන් සිටින බවට ඇති චෝදනාවක් කියාත් දැන  ගන්නට ලැබුනා. එසේම මේ ප්‍රදේශයේ ඇතැම් සිංහල ජාතිකයන්ද මුස්ලිම් සහ දෙමළ ජනතා සහභාගිත්වය විවේචනය කරමින් උත්සවය වර්ජනය කල බවත් දැන ගන්නට ලැබුණා.

පක්ෂ දේශපාලනයේදී  විරුද්ධවාදී අදහස් තිබීම  සාමාන්‍ය දෙයක්. නමුත් ජවිපෙ  නායකයන් හෝ පෙසපේ නායකයන් කෙසේ වෙතත් බිමේ සිටින සාමාජිකයන් විරසක වීම කණගාටුවට කරුණක්. මගේ අදහස නම් මේක හොඳ වැඩක්. ජවිපෙ පවා මේ දිනවල ලංකාවේ ජාතින් ගේ සමගිය ගැන හුඟක් සංවේදීව  කතා කරන බව පෙනෙනවා.  ඉතින් මෙවැනි දෙයක් වර්ජන කිරීම නම් ඉතා බොළඳ බවයි මගේ අදහස. උත්සව සංවිධානය වලදී දේශපාලනය අමතක කර එකමුතු වී සතුටු වීම වැරැද්දක් නෙමෙයි.

අවසානයේදී සඳහන් කරන්නට තියෙන්නේ අඩුපාඩු කිහිපයක් තිබුනත් වැඩේ විශිෂ්ඨයි කියල. මෙවැනි උළෙලවල් සංවිධානය කිරීම ලෙහෙසි නැහැ. ජනතාව  ගෙන්වා ගැනීම අමාරුයි. එසේම  විරසකව සිටි ජාතින් තුනක් එක්කහු කිරීම ඊටත් වඩා අමාරුයි. නමුත් අමාරුවෙන් හෝ මේ උඩුගං  බලා පිහිනීම අගය කළ යුතුයි. ස්තූතියි සංවිධායකවරුන්ට සහ මහන්සි වූ සැමට. 

"දකුණ නැගෙනහිර බටහිර උතුරද "
පසුගියදා අභාවප්‍රාප්ත වූ අයිවෝ ඩෙනිස් මහතාට ගරු කිරීමක් ලෙසත්  මේ දිනය සැමරීමටත් මේ ගීතයද  එකතු කරමි.




20 comments:

  1. මට මතකයි ඔබ
    නාවල පාරේ
    'සුනිලුන් නිවහන'
    පෙනෙනා මානේ
    ආපසු යන්නට බසයක් එනතුරු
    ඉවසීමෙන් හිටගෙන උන්නා

    කුරුළු පරා දිසයේ
    කුරුළු සිහින සාගරේ
    ඔබ හා විසුමට එන්නෙමි
    කුරුළු සුරපුරේ.....

    සුනිලුන් ගිය දෙව් විමනට
    යනු මැන
    ගීතිකාවකින්
    යලි එක්වනු මැන
    ඔබට සුභ ගමන්
    ඩෙනිසුනි අයිවෝ!

    ReplyDelete
    Replies
    1. සුන්දර ලියැවිල්ලක් සහ උපහාරයක් ඇනෝ

      Delete
  2. එළ!

    ඔය වගේ තැනකදී නොහොද නෝක්කාඩු විරසක අමතක කරලා එකඟ වෙන්න බැරි වෙන්නේ බොහොම ප්‍රාථමික මිනිස්සුන්ට කියල තමයි මගේ හැඟීම නම්.. ඒ වගේ අය ගැන අනුකම්පා කරන්න ඕනි.. :)

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. මම හැම වෙලාවෙම අපේ අයට කියන්නේ දේශපාලන භේද සමහර වෙලාවට අමතක කරන්න කියල. ඒවා ඕන වෙලාවල් තියනවා. නැතිවෙලාවල් තියනවා.

      Delete
    2. අපේ රටේ මිනිස්සු බහුතරයක් ස්වර්ගයට ගියත් ඔය කුහකකම් අරගෙන යයි... එන්න එන්නම ගෝත්‍රිකබව වැඩිවෙන ගතියක් තමයි පේන්න තියෙන්නෙ... හරිම දුකයි...

      Delete
  3. ගෝත්‍රවාදය, වර්ගවාදය, කුලවාදය, කල්ලිවාදය අපේ එවුන් කොහේ ගියත් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. මට මේක වැඩිය උලුප්පවන්න අවශ්‍ය වුනේ නැහැ. නමුත් සටහනක් දැම්මේ නිවැරදිව තේරුම් ගනියි කියල හිතලා

      Delete
  4. අජිත්..........මට එන්න බැරිවුනත් මට පුලුවන් විදිහට මේ ඉවෙන්ට් එක ගැන මිනිස්සුන්ට කිව්වා. දන්නෝ දනිත්.

    ////වඩාත් පුදුම සහගත දෙය වුනේ වොට්ෆොර්ඩ් ප්‍රදේශයේ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් මෙයට සහභාගී නොවන ලෙස තම ආධාරකරුවනට හා හිතවතුනට දැන්වූ බව දැන ගැනීමට ලැබීමයි.////////

    මේ පිලිබඳ කතාව ඇත්තද....එය එසේ නොවේ යැයි මම සිතමි.

    ReplyDelete
    Replies
    1. එහෙම ආරංචියක් කනට ඇහුණා. පැමිණ සිටිය සෙනග නිරීක්ෂණය කෙරුවහමත් තේරුම් ගන්න පුළුවන්නේ සමහර අයට

      Delete
    2. based only on what you have heard, not on what you are certain is true.


      මචං මේ ට්‍රොපික් ඒක මට පෞද්ගලිකව අදාල නැහැ. නමුත් මේවා සහජීවනයට එච්චර හොඳ නැහැ. අනිත් කතාවත් එහෙමද?

      ////////එසේම මේ ප්‍රදේශයේ ඇතැම් සිංහල ජාතිකයන්ද මුස්ලිම් සහ දෙමළ ජනතා සහභාගිත්වය විවේචනය කරමින් උත්සවය වර්ජනය කල බවත් දැන ගන්නට ලැබුණා./////////////////////

      Delete
    3. ඔව් ඒකෙ කිසියම් ඇත්තක් තිබෙනවා. මොකද මේක වොට්ෆොර්ඩ් වල අවුරුදු උත්සවය වෙන විධිහකට බ්‍රෑන්ඩ් කරලා එලියට ආපු එකක්

      Delete
  5. අජ්ජා.......වැරදි තැන් හදමු. කමෙන්ට් රිලීස් කරපන්. ඒකෙන් මටවත් උඹටවත් වරදක් වෙන්නේ නැහැ. අඩුම ගානේ මිනිස්සු ඇත්ත හඳුන ගනියි. මට උඹත් එක්ක ඒක ගේමක් නැහැ. මචෝ ඇත්ත එලියට ගෙනෙන්. ඇත්තම සහ බොත්තම දෙකක්. බොත්තමෙන් ශර්ට් වැහුවට ඇත්ත වහන්න බැහැ. උඹට වාතයක් නොවේ නම් මගේ කමෙන්ට් රිලීස් කරපන්.පුරවැසි මඩකරනයට අලුත් අරුතක් දීපන් මචන්. නොදන්න එවුන්ට කියලා දීපන් අජ්ජා.

    ReplyDelete
    Replies
    1. යකෝ මම කොමෙන්ට් බ්ලොක් කරන්නේ නැහැ. හැම වෙලේම බලන්න බැහැ . මම වැඩ . හුඟක් වෙලාවට හවසට තමා ඕව කරන්නේ. සමහර මඩ කොමෙන්ට් එන නිසා මොඩරේට් එක දාල තියනවා. මම කල්පනා කලේ දැන් උඹ නොආ නිසා එහම කතාවක් හැදුනද කියල . හේ හේ
      මම හිතන්නේ මේක මම ගහන මඩක් නෙමේ. කතාව ඇත්ත බව පෙනෙන්න තියනවා. මොකද මම කින්ස්බරි එකට ගිහින් එළියේ හිටිය. මට අවබෝධයක් තිබුණ කවුද ආවේ ගියේ කියල. චන්දන ගුණසේකර ලා ගිය අවුරුද්දේ තිබ්බ එකටත් ගියා (ඒක අවුරුදු උත්සවයක් නෙමේ )

      Delete
  6. https://kolambagamaya.blogspot.com/2018/06/blog-post_19.html

    වෙන මොනවා කියන්නද අජ්ජෝ.... මේක බලලා නිදා ගනින්. ශුක්‍ර කමට නෙවේ කිව්වේ.

    ReplyDelete
    Replies
    1. මචන් අනුර කුමාර දිසානායක ජුනි 30 මෙහෙ එන්න ඉන්න එකේ මේ වගේ තැන්වලට ගිහින් සුහදත්වයක් වර්ධනය කළා නම් නේද හොඳ

      Delete
    2. මචං ඒවා ඒ ඒ අය බලාගතයුතු දේවල්. මම එදත් අදත් හෙටත් පෙනීසිටින්නේ වැටුන මිනිසෙකුට නැගිටීමටත්, නැගිටුන මිනිසෙකුට ඇවිදීමටත්, ඇවිදින මිනිසෙකුට අත්වැලක් දීමටත් හැකි සමාජ ක්‍රමයක් වෙනුවෙන්. ඒ වෙන කිසිවක් නිසා නොව, මා වැටී නැගිටුන මිනිසෙක් නිසා.

      Delete
  7. දැන් ඔකේ බජට් එක කීයද? ඕකට සල්ලි කොහෙන්ද? ඔකේ සැඟවුණු න්‍යාය පත්‍රය මොකක්ද? ඕකෙන්ව ලන්ඩන් අජියට ආපු ගාන කීයද? වහාම හෙළි කරනු

    ReplyDelete
    Replies
    1. සෑර් මෙහමයි අරක්කු බෝතලෙකුයි බත් පැකට් එකකුයි දුන්නා ඔක්කොටම. , සල්ලි ආවේ සිඅයිඑ , කෙජිබි එම් අයි ඔක්කොගෙන්ම , අර ආපු මුස්ලිම් දේශපාලනඥ වරිය ලංකාව අල්ල ගන්න එනවලු. ලන්ඩන් අජිය කියන්නේ කවුද

      Delete

  8. “Politics is the art of looking for trouble, finding it everywhere, diagnosing it incorrectly and applying the wrong remedies.”
    ― Groucho Marx

    ReplyDelete
    Replies
    1. ok you don't need to categorise me. It's my habit to look for trouble. :)

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .