සෝවියට් මත්පැන් බෝතල් බ්රෙශ්නෙව් ගේ පින්තුරය යට (අන්තර්ජාලයෙන්) |
"මහත්මයා මුලික උපාධිය ලබාගත්තේ සෝවියට් රුසියාවේ කාරුණික අනුග්‍රහය නිසා නේද? ඒ කියන්නේ ගොවියා,ධීවරයා, කම්කරුවාගේ දාඩිය මහන්සියෙන්.
ඒත් ඇයි දැන් මේ අන්ත දක්ෂිණාංශික ධනපති ආණ්ඩු වලට ලැදියාව දක්වන්නේ? ඔබතුමා සමාජවාදය යටතේ අධ්‍යාපනය ලබා, දැන් අධ්‍යාපනය විකිනීමට පක්ෂපාතිත්වය දක්වනවා. මෙය යුක්ති සහගත වන්නේ කෙසේද?"
මම දුන්න කෙටි පිළිතුර එම ලිපියේ කෙළවර තිබෙනවා. දැන් දෙන්න හදන්නේ දිග පිළිතුරක්. මොකද මේ ප්‍රශ්නය අධ්‍යාපනය ගැන කතා කරන හැම වෙලේම වගේ දමල ගහන නිසා.
මගේ එම ලිපි මාලාවේ සඳහන් වෙන්නේ අධ්‍යාපනය විකිනීමට සහය දැක්වීමක්ද? එහෙම නැත්නම් නැති වෙලා තියෙන නිදහස් අධ්‍යාපනය සයිටම් එක තිබ්බත් නැතත් නැති වෙලා කියන සත්‍යය අවධාරණය කිරීමද? මට නම් සයිටම් එක කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන ගේම් එකක් විතරයි. බැලූ බැල්මට ධනපතියෙක්ගේ විද්‍යාලයක් ලාභය ගන්න අධ්‍යාපනය විකුණනවා. ඒකට විරුද්ධ වෙමු වෛද්‍ය සංගමය සමග. හරිම සරලයි තේරුම් ගන්න.
නමුත් ඒ ගොල්ලෝ සඟවන්නේ මොකක්ද? අවම වශයෙන් අවුරුදු 20 කට කලින් තිබ්බ නිදහස් අධ්‍යාපනයක් වත් දැන් නැහැ. පාසල් වල උගැන්වීම් සෑහෙන්න කඩන් වැටිලා. ඒ අතරේ හොඳ ගුරුවරු දහස් සංඛ්‍යාත ප්‍රමාණයක් ඉන්න බව අමතක කරන්නත් හොඳ නැහැ. නමුත් හතර පන්තියේ ඉඳලා ළමයි ටියුෂන් පන්ති යවන රටක තමයි මේ නිදහස් අධ්‍යාපනය ගැන කතා කරන්නේ.
සම්පුර්ණ නිදහස් අධ්‍යාපනයක් දෙන්න නම් එක්කෝ ජර්මනිය, ඩෙන්මාර්කය, ෆින්ලන්තය වගේ දියුණු රටක් වෙන්නේ ඕනේ. නැතිනම් තනි රටක සමාජවාදයක් පිහිටුවීමේ න්‍යාය යටතේ සමාජවාදී රටක් පිහිටුවන්න ඕනේ. (කියුබාව , උතුරු කොරියාව වගේ )
ඔය දෙක අතර මැද තියෙන්නේ සිරිමාගේ ආණ්ඩු කාලය. සල්ලි දුන්නත් ලංකාවේ මිනිස්සු ඒකට නම්මා ගන්න එකනම් බොරු. ඒ නිසා " සයිටම් වහපියව්" කියන එක මත තමා පැවැත්ම තියෙන්නේ. ඒක වැහුවොත් ඊට පස්සේ තව මොකක් හරි එයි. අඩුම ගානේ තමන්ටවත් අවංක වෙලා කිව්වා නම් මිනිසුන්ට අපි මේ හදන්න උත්සාහ කරන්නේ සමාජවාදය. ඒකෙදි නිදහස් අධ්‍යාපනය සම්පුර්ණයෙන්ම දෙනවා කියල. මිනිස්සු කැමති නම් චන්දෙ දෙයි.
දැන් යමු සෝවියට් දේශය ගැන කතා කරන්න. සෝවියට් දේශය හිඟන රටක්ය. මිනිස්සු හිඟන්නෝ වගේ හිටියේ කියල කතා අහල තියෙනවා නේද? ඒවා වැඩිමනත් බොරු. ඒ දවස් වල තිබුණු ජේ ආර් ගේ ශ්‍රී ලංකාවේ බහුතරයක් සාමාන්‍ය සෝවියට් වැසියාට වඩා ධනවත් කියල කියන්න බැහැ. ලංකාවෙන් ගිය යුඇන්පී සිරි ලංකා මැති ඇමැතින් ගේ පුත්තුන්ට හෙම දුප්පත් වගේ පේන්න ඇති.
1917 දී සෝවියට් දේශය පිහිටුවන කොට ඒක යුරෝපයේ කලබල වැඩිම තිබ්බ, යුද්ධයකට මැදිවී තිබ්බ රටක්. නමුත් දුප්පත්ම රට නෙමෙයි. දැන් වුනත් රුසියාව කියන්නේ ලෝකයේ විශාලතම රට. මොකා මොන සම්බාධක දැම්මත් ඕනෑම අමුද්‍රව්‍යයක් තියෙන, වගා කල හැකි ඉඩම් තියෙන ඛනිජ තෙල් නිධි, දියමන්ති අදටත් ඉතිරි වෙලා තියෙන රටක්. ධනවත් රටක්. යුද්ධය නිසාත් ලෙනින් සමාජවාදය පිහිටවපු නිසාත් රට මුලින් වැටුනත් ලෙනින් ලා මුළු රටටම විදුලිය ලබා දුන්නට පස්සේ එය දියුණු වුනා. ස්ටාලින් ගේ ඒකාධිපතිවාදී දරුණු පාලනය නිසාම 1939 වනවිට යුරෝපයේ අනිත් රටවල තත්වයටම සෝවියට් දේශයත් භෞතික වශයෙන් දියුණුවක් ලැබුවා.
දෙවන ලෝක යුද්ධෙන් වැඩියෙන්ම බැට කෑ රටක් තමා සෝවියට් දේශය. මිලියන් ගාණක් මැරිලා රටෙන් භාගයක්ම විනාශ වුණා. ඒ වගේ විනාශ වුන අනිත් රට තමා යුද්ධය පටන් ගත් ජර්මනිය. දැන් ඔය රටවල් දෙකෙන් ජර්මනියට මාෂල් ක්‍රමය යටතේ අති විශාල මුදල් ප්‍රමාණයක් සහ වෙනත් ද්‍රව්‍යමය ආධාර ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ලැබුන. එනිසා ඔවුන් සෑහෙන්න දියුණු වුණා. සෝවියට් දේශයටත් 41-45 කාලයේ ඇමෙරිකන් ආධාර ලැබුණා. ඔවුන් ඒවා ගෙවා දැමුවා පසුව.
තරුණ පුරෝගාමීන් රතු චතුරශ්‍රයේ |
"තරුණ කොමියුනිස්ට් සංවිධානය දිනේවා"-ස්ටාලින් |
ඇමෙරිකා එක්සත් ජනපදයේ ධනවාදය දියුණු වුනේ අවුරුදු 300 තිස්සේ (1776). මහා බ්‍රිතාන්‍යය සහ යුරෝපිය රටවල් අධිරාජ්‍ය ගොඩ නගාගෙන තිබුන මේ වෙනකොට. කාර්මික විප්ලවයෙන් පසු අවුරුදු දෙසිය ගානක් ගියා ඔවුන්ට දියුණු වෙන්න. මුලින්ම ධනවාදය අවසන් වෙයි කියල මාක්ස් හිතුවෙත් මේ ධනවාදී රටවල , බ්‍රිතාන්‍යය හෝ ජර්මනියේ. සෝවියට් දේශයට ඇත්තටම තිබුනේ යුද්ධයෙන් පස්සේ ගතුවුනු අවුරුදු 35-40 පමණයි දියුණු වෙන්න.
ඉතින් 1984 මම සෝවියට් දේශයට යන කොටත් ඒක ලංකාවට වඩා සෑහෙන දියුණු රටක්. මුල්ම චන්ද්‍රිකාව උඩු ගුවනට යවල, මුල්ම මිනිසා උඩු ගුවනට යවල, අමෙරිකාවත් පහු කරගෙන ඒ පැත්තෙන් (අජටකාශය ජය ගැනීම) ඉහලට ගිය රටක්. න්‍යෂ්ටික ආයුධ වලින් සන්නද්ධ රටක්. හිඟන රටක් නම් නෙමේ කොහොමටවත්. නමුත් ඒ රට ගොඩ නැගුවේ ඒකාධිපති වාදී ක්‍රමයකින්. 1945 - 1985 කාලය දක්වා ගත්තොත් උමං දුම්රිය පද්ධතිය, මාර්ග පද්ධතිය, නිදහස් සෞඛ්‍ය සේවය, අධ්‍යාපන ක්‍රමය, විදුලි බල පද්ධතිය මේ හැම දෙයක්ම බ්‍රිතාන්‍යය හා හුඟක් යුරෝපීය රටවල් තරම්ම දියුණුයි. ඒ රටවල සංචාරය කරපු නිසා මේක අත්දැකීමෙන්ම දන්නවා.
තට්ටු නිවාසයක් (ෆ්ලැට්) එකක් ඕන නාගරිකයෙකුට තිබ්බ හෝ විශාල ෆ්ලැට් එකක් පවුල් කිහිපයක් විසින් බෙදා ගැනීම (ෂෙයාර් ) වගේ දෙයක් මිනිස්සු කලා. නගරයෙන් පිටතත් දාච කියන ග්‍රීෂ්ම සෘතුවේ නිවාසත් මොස්කව් වල හුඟක් අයට තිබුන. මේ තට්ටු නිවාස වුනත් එංගලන්තේ කවුන්සිල් ගෙවල් වගේ ලොකු ඒවා. ගිහින් තියන නිසාම මම දන්නවා.
නමුත් සෝවියට් වැසියන්ට බටහිර තරම් සුඛෝපභෝගී ජිවන රටාවක් තිබ්බේ නැහැ. ඕනෑ කරන කාරෙකක් ගන්න, සපත්තු කුට්ටමක් ගන්න, ඩෙනිමක් ගන්න, හොඳ විස්කි බෝතලයක්, බ්‍රැන්ඩි එකක් ගන්න තිබ්බේ නැහැ. ශීතකරණ සෝවියට් දේශයේ නිෂ්පාදනය කරපු ඒවා. ඒවා නරකම නැහැ. අපේ කාමරවලත් තිබ්බේ ඒවා. සින්දු අහන සෙට් හරි නැහැ ජපන් ඒවා තරම්. විදේශික ශිෂ්‍යයෝ තමයි හොඳ ඒවා විකුණුවේ.
එතකොට සෝවියට් දේශය ඇයි නිදහස් අධ්‍යාපනය දුන්නේ විශාල සංඛ්‍යාවක් දියුණු වෙමින් පවතින රටවල සිසුන්ට වගේම බටහිර රටවල සිසුන්ට (ඉතා අඩු සංඛ්‍යාවක්). ඔවුන්ගේ දෘෂ්ටිවාදය - කොමියුනිස්ට්වාදය පතුරුවන්න. ඒකයි හේතුව. ධනවාදී රටවල එක දෘෂ්ටිවාදයක් කියල එකක් නැහැ. එක එක කාලෙට තමන්ට අවශ්‍ය දේ හදා ගන්නවා. කතෝලික පාසල් වල කතෝලික ආගම, බෞද්ධ පාසල් වල බුද්ධාගම, මුස්ලිම් පාසල් වල මුස්ලිම් ආගම උගන්වනවා වගේම රජයේ පාසල් වල ඔය ඔක්කොම හා ධනවාදී අර්ථ ක්‍රමය අවශ්‍ය නම් උගන්වනවා. ධනවාදී රටවල දෘෂ්ටිවාදය පතුරුවන්නේ මාධ්‍ය හා පොත්පත් මගින්. මුස්ලිම් ආගම බහුතරයක් අදහන මධ්‍යම ආසියාවේ සෝවියට් සමුහාණ්ඩු හුඟක් ලෞකික වුනෙත් ඔන්න ඔය නිදහස් අධ්‍යාපනය නිසා.
හැබැයි ඔය ශිෂ්‍යත්ව දීලා කොමියුනිස්ට්වාදය පතුරුවන්න හදපු එක මහා මෝඩ වැඩක්. හුඟක් සිසුන්ව ඒකට අනුගත කර ගන්න බැරිවුනා.තම රටේ ඉඳන්ම කොමියුනිස්ට්වාදය ගැන දැනගෙන හිටි කොමියුනිස්ට් පක්ෂය සමග සම්බන්ධ කම් තියෙන අය සමහරක් ( අර මම ලිව්ව ජැප්පා වගේ උන් ඇරෙන්න) පසුකාලීනවත් ඒ භක්තිය තියන් හිටිය තමයි . ඉතින් කවුරු හරි කියන කොට අපි මුලික උපාධිය ගත්තේ ඔන්න ඔය බදු සල්ලි වලින් කියල හිතට එන ප්‍රශ්න ගොඩයි.
සෝවියට් දේශය හුඟක් රටවලට නොමිලේ උදව් කලා. තුල්හිරිය පෙහෙ කම්හල, ඔරුවල වානේ කම්හල , මිසරයේ අස්වාන් වේල්ල ඕවගේ නොයෙකුත් රටවල නොයෙකුත් දේ හැදුව. මේවා ඇත්තටම මෝඩ වැඩ. ඕව කලේ කොමියුනිස්ට් පක්ෂේ අයගේ මාන්නෙ රැක ගන්න. කොමියුනිස්ට් වාදය කෙසේ වෙතත් නිලධාරිවාදය ව්‍යාප්ත කරනවට එරෙහිව ඔරුවල බන්දු ගේ "සෝවියට් සිර මැදිරියේ සිට " වගේ පොත් බිහි වීම තමයි වුනේ. (වානේ පොතට පස්සේ) ඊට අමතරව අති විශාල මුදලක් වියදමක් දරමින් පිටරටවල (ලංකාවේ වගේ) කොමියුනිස්ට් පක්ෂයි ඒවායේ හිටි නිලධාරින්වයි නඩත්තු කළා. ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ වුණා.
සෝවියට් දේශයට ඇත්තටම කරන්න තිබ්බේ මොකක්ද? අර තමන්ගේ මිනිස්සු ගැන බලන එක. උන්ගේ ජිවන තත්වය බටහිර රටවලට වඩා උසස් කරන එක. ඒක කරන්න ඕන තරම් සල්ලි සෝවියට් දේශයට තිබ්බ. දැන් රුසියානුවන්ට තෙල් වලින් කොපමණ මුදල් ලැබෙනවද? ඒ කාලේ තෙල් දුන්නේ හුඟක් මිල අඩුවට. කියුබාව ගෙනියන්න. නිකරගුවාව රඳවා ගන්න. අප්‍රිකාවේ ඉන්දියාවේ ලංකාවේ මිනිසුන්ට කම්හල් පුදන එක. ඒවා පස්සේ යකඩ කෑලි වලට විකුණයි කියන එක තේරෙන්න තිබ්බ. දෙන ආධාර මුදල් ඇමෙරිකාව, ජපානය හෝ යුරෝපය කරනවා වගේ පොළියක්ති යාගෙන දෙන්න තිබ්බේ. මහජන චීනය දැන් කරන්නේ මොකක්ද? නිකන් කිසි ආධාරයක් දෙන්නේ නැහැ. කොන්දේසි ගොඩයි. ණය මුදලට ගහන පොළිය වැඩියි. සෝවියට් වැසියන් බටහිරට වඩා හොඳින් හිටිය නම් බටහිර මිනිස්සුම බලනවා කොහොමද ඒක වුනේ කියල. ලංකාව, කියුබාව, ඇන්ගෝලාව වගේ රටවල මිනිස්සු විතරක් නෙමේ. ඒ ක්‍රමය වඩා හොඳයි කියල නිකම්ම ඔප්පු වෙනවා.
සෝවියට් දේශයේ තිබ්බ අනිත් ප්‍රශ්නය තමයි හැමෝම කතා කරන නිලධාරිවාදය හා කොමියුනිස්ට් පක්ෂයේ ඉතා පක්ෂග්‍රාහී පාලනය. දැන් කලශ්නිකොව් බටහිර රටක හිටියනම් මිලියනර් කෙනෙක්ය , සෝවියට් දේශයේදී පදක්කමයි, තත්වයයි ඉන්න හිටින්න නිවසක් පමණයි තිබුනේ කියල කවුරුත් දන්නවා නොවැ.නමුත් නොදන්නා දේ තමයි හුඟක් දක්ෂ මිනිසුන් ගේ දක්ෂකම් අකාලයේ වියැකිලා යන්න දුන්න කියල. නිර්මාණාත්මකමිනිසුන්ගේ නිර්මාණ, විද්‍යාඥයන්ගේ, වෛද්‍යවරුන් ගේ නව සොයා ගැනීම් එක්කෝ බටහිරට හොරෙන් විකුණුව. නැත්නම් ඉරිසියාවට ඉවත දැම්ම. ඒ මිනිසුන්ව නැති කරලා දැම්ම. මොකද ඔය පක්ෂ සහ නිලධාරී තන්ත්‍රයේ හිටියේ පොතක් පතක් කියවන උන් නෙමේ.
මෙතැනදී මතක් වෙන්නේ වාමාංශික පක්ෂවල පොරවල් ඉන්නව "ඔය පොත් කියවල පැරණි දේ ගැන අත්දැකීම් ලියල කාටද හරි ගියේ" කියල අහන අය. අපි වගේ භාවිතාවෙන් දැන ගත්තම ඇති. අපි දන්නා දේ ඕකුන් දන්නවද වගේ කතාත් කියනවා. සිගරැට් පනහක් විතර දවසට පුච්ච පුච්ච සිගරට් කොම්පැනි පොහිසත් කරමින්. ඔව් ඔව් ඇත්ත, අත්දැකීම් වලින් තමා දෙයක් ගැන ඉගෙන ගන්නේ පුර්ණ වශයෙන්. නමුත් අත්දැකීම් හා රැකියාවේ පුහුණුවෙන් ඉගෙන ගන්න නම් ඒ ගැන දැනගෙන කියවල බලල ඉන්නත් ඕනේ. නැත්නම් වැරදි බොත්තම තමයි හැමදාම ඔබන්නේ.
මේ වෙලාවේදී මතක් වෙන්නේ අයින් රෑන්ඩ් ව, දක්ෂිණාංශික උන්ගේ අත්පොතක් වුනත් අර "ඇට්ලස් හැකිළුවා "(Atlas Shrugged) කියන පොත කියවල තියනවා නම් දැනගන්න පුළුවන් මේ නිලධාරිවාදයේ හැසිරීම හරියටම විස්තර කරලා තියනව කියල. අයින් රෑන්ඩ් හෙවත් ඇලිසා සිනොවියෙව්නා රෝසේන්බෞම් ඉපදුනේ 1905 දී ශාන්ත පිතර්බුර්ගයේ යුදෙව් ධනවත් පවුලක. විප්ලවේ කාලේ රුසියාවේ ඉඳල පස්සේ ඇමෙරිකාවට ගිහින් රෑන්ඩ් උනා . මුල් කාලේ සෝවියට් දේශයේ තිබ්බ යුද කොමියුනිස්ට් වාදය ගැන හොඳ වැටහීමක් තිබිල තියෙනවා කියල තේරෙනවා මේ පොත කියවනකොට. හැබැයි මේ ප්‍රබන්ධයක් වගේ පොතේ ලියල තියෙන හැම දෙයක්ම මම අනුමත කරන්නේ නැහැ. බොහොම අන්තවාදී ප්‍රකාශත් තිබෙනවා.
ඒත් සමහර දේවල් කියෙව්වම හිතෙනවා හරි මෙහෙම තමයි උනේ කියල. එක තැනක මෙහෙම තියනවා.
"After all, it does not make any difference to the poor whether their livelihood is at the mercy of an industrialist or of a bureaucrat" පි.542
"දුප්පතාට, තමන්ට කෙළවෙන්නේ කම්හල් හිමිය අතින්ද නිලධාරියා අතින්ද කියන එකේ වෙනසක් නැහැ "
සෝවියට් දේශයට ගිය මුල් අවුරුදු වල නැවුම් ගතිය ගිහින්, අපි මිනිසුන්ව අඳුර ගෙන ඒ ගෙවල් වලට යන්න ගත්තට පස්සේ, පෙම් සබඳතා, යාළු මිත්‍රකම් පටන් ගත්තම අපි වඩා ඇත්ත දැන ගන්නවා. අන්න එතැනදී අපිට සෝවියට් දේශය එපා වෙන්න පටන් ගන්නවා.
මට මතකයි 1980 ගණන් වල ආචාර්ය නලින්ද සිල්වා දිවයින ට ලියන ලිපි පෙළක "සමාජවාදී පන්තිය" කියල වදනක් නිර්මාණය කරනවා. (හරි කොහෙන් හරි අහුලා ගෙන පරිවර්තනය කරන්නත් ඇති) මේක මම මෙතැනත් කියල තියනවා. ඔය කතාව මට හරියටම තේරුනේ 1989, 1990 කාලේ උපාධි පාඨමාලාව අවසන් වෙන කොට වගේ. සමාජවාදී පන්තියට අනුව තමයි සෝවියට් මිනිහෙකුගේ ඉරණම තීරණය වුනේ. තීරණය කළේ. කොටින්ම සමහර විදේශික ශිෂ්‍යයන් අති විශාල ධනවතුන් කළේ , සමහරුන්ව නැත්තටම නැති කළේ ඔය සමාජවාදී පන්තියේ සමහරු. ඒ ගොල්ලන්ට ගෑ වෙන්න ඉන්නේ නැතිව ශේප් එකේ උපාධිය අරගෙන ලිස්සල යන එක තමයි හොඳම කියල තේරුම් අරගෙන තමයි හුඟක් ශිෂ්‍යයෝ වැඩ කළේ. හැබැයි ඉතින් "සමාජවාදී පන්තිය" එක්ක හොඳට හිටියම රටවල් වල තානාපතිල ඇමතිලා වෙන්න තරම් ඒ සම්බන්ධතා බලවත් වෙනවා.
ආ නලින් ද සිල්වා ගැන කියන කොට තවත් දක්ෂිණාංශික වීඩියෝවක යොමුවක් ඒ ලිපියෙම ප්‍රභාත් කියන මහත්මය දමල තිබුන. ආචාර්ය නලින් ද සිල්වගේ දිග සාකච්චාවක්. අර ජාතිවාදී කියල හිතන කතා ටික අත හැරියොත් ලංකාවේ "නිදහස් අධ්‍යාපනය " ඇති වෙච්ච හැටි ගැන හෙම වැදගත් කරුණු රැසක් දැන ගන්න පුළුවන්. අයින් රෑන්ඩ් ගේ පොත් මෙන්ම මේවල වුනත් හැම දෙයක්ම කියවලඅහල සහතික ඇත්ත හැටියට ගන්න ඕනේ නැහැ. මෙහෙම දේවල් වුණා හෝ වෙලා තියෙනවා කියල ලබන අවබෝධය වැදගත්.
ආ එතකොට අර ගියපාර ලිපියේ ලියල තිබුන වගේ ජවිපෙ, පෙසප, පෙරටුගාමී උදවියගේ ළමයි පෞද්ගලික විදුහල් වල ඉගෙනීම, ටියුෂන් යැවීම වගේ දේවල් ගණන් ගන්න හොඳ නැහැ. එංගලන්තේ, ඕස්ට්‍රේලියාවේ හෝ වෙන කොහේ හරි ජොබක් කරගෙන ළමයින්ට උගන්න ගෙන ශේප් වෙලා ජිවත් වෙන්නේ නැතිව අමාරුවෙන් හරි විරෝධතාවයක් කරන එකත් හොඳයිනේ. ඒවා අගය කරන්න ඕනේ. ආත්මාර්ථකාමී අපි වගේ උන් යන්නෙත් නැති එකේ. පුංචි හරි සාකච්ඡාවකින්, භාවිතාවකින් විප්ලවයක් තවමත් කර ගන්න බැරී වුණානේ කියල හිතට එන සාංකාව (nostalgia) මග හැර ගන්න වුනත් පුළුවන්. භාවිතාව වැදගත්.
වෛද්‍ය වෘත්තීය රැක ගන්න සටන් කරලා සමාජවාදයට යන්න බැහැ කියල කවුරුත් කියල නැහැ.
"සාදු කියන්න පින්වතුනි"
ප.ලි. -ශිෂ්‍යයන්ව නිදහස් කරන්න. මොකද ඔයිට වඩා වැරදි කරලා හිරේ යන්න නියමිත අය ආණ්ඩුවේත් ඉන්න නිසා. සුදු වෑන් කටහ්වක් ආයිත් යනවා. ඇත්ත හරියට දන්නේ නැහැ. ඕව නම් මරි ඩ වැඩ. කරන්න හිතනවා නම්. හැබැයි ඉතින් ආණ්ඩුවටත් පෙසපෙටත් අවශ්‍යම දේ තමයි වෙන්නේ කියලත් හිතෙනවා.