Tuesday 16 September 2014

ශිෂ්ටාචාරාත්මක දික්කසාදය සිදුවෙයිද?

(මෙය ලියුවේ 16 වනදාය. ස්කොට්ලන්තය වෙන් වුනේ නැත)
බ්‍රහස්පතින්දා (සැප්තැම්බර්  18) ස්කොට්ලන්තය වෙන්වන්නේද නැත්ද කියා තීරණය කරනු ඇත.
ලන්ඩනයේ ස්කොට්ලන්ත ත්‍රස්තයන් බෝම්බ පුපුරුවාගෙන බස් වල දුම්රිය වල අහිංසක මිනිසුන් මරාගෙන මැරෙන්නේ නැත. ලන්ඩන් නගර වාසින් සරම කැහැපට ගහගෙන  (හෝ කලිසම උඩට නවා  ගෙන) ස්කොට්ලන්ත වාසීන්ගේ ගෙවල් ගිනිතබා ඔවුන් මරා  දමන්නේ නැත.

ස්කොට්ලන්ත වාසින් කතා කරන්නේ ඔවුන්ගේම ආරයකින් යුත් ඉංග්‍රීසි භාෂාවය. එසේ නැත්නම් සෑම ස්කොට්ලන්ත වැසියෙක්ම තම කෙල්ටික් (celtic/gaelic ) ස්කොටිෂ් භාෂාවට අමතරව ඉංග්‍රීසි කතා කරති. ස්කොට්ලන්ත වැසියන්ට එංගලන්තයේ වැඩ කිරීමට බාධාවක් නැත. (ලංකාවේ දෙමල වැසියන්ට දකුණේ වැඩ කිරීමට බාදාවක් නැත)

දකුණු එංගලන්තයේ ස්කොට්ලන්ත ජාතිකයන්ට පහර දෙන්නේ නැත. ඒ වෙනුවට ඔවුන් පෙළපාලි යති. රුපවාහිනී විවාද තබති. පහත ඇත්තේ ස්වාධින ස්කොට්ලන්තයක් සඳහා වන රැළියක ඔවුන්ගේ ජාතික කොඩිය රැගත් කතකි. අනිත් පින්තුරයේ තරුණිය ඉයස් (yes ) ව්‍යාපාරය (ස්කොට්ලන්ත ස්වාධිනත්වයට පක්ෂව) සඳහා පත්‍රිකා බෙදයි. මේ සියල්ල සිදුවන්නේ සාමාකාමිවය.

නමුත් මෙසේ සාමාකාමිව පැවතුනේ පසුගිය අවුරුදු 300 පුරා පමණි. එයට පෙර ඉංග්‍රීසින් හා ස්කොට් වරුන් බොහෝවිට සිටියේ යුද වැදගෙනය. එංගලන්තය වැඩි හරියක්ම සටන් වැද  ගත්තේ ස්කොට්ලන්තය සමගය.පහත ඇත්තේ එසේ යුද වැදුන ස්කොට්ලන්ත විරුවෙකු වන විලියම් වැලස් සේ මේල් ගිබ්සන් රඟපාන "Brave Heart " (නිර්භීත හදවත) චිත්‍රපටියේ ජවනිකාවකි.  
මේ යුදවල දිග ලැයිස්තුවක් මෙහි තිබේ. http://en.wikipedia.org/wiki/List_of_battles_between_Scotland_and_England

The acts of union යනු 1707 දී ස්කොට්ලන්තය හා එංගලන්තය අතර ඇති කරගත් ගිවිසුමයි. එක්සත් රාජධානිය බිහි වුනේ මේ ගිවිසුමෙන් පසුවය. එංගලන්ත හා ස්කොට්ලන්ත පාර්ලිමේන්තු එක්සත් වූ අතර එක්සත්  රාජධානියේ පාර්ලිමේන්තුව 1707 ඔක්තෝබරයේ ප්‍රථම වරට රැස්වුනි.
ධනවාදයේ දියුණුව ඇති වන්නට නම් ජාතීන්ගේ බෙදීම් තිබිය නොහැකිය. ප්‍රාග්ධන හිමියාට අවශ්‍ය වන්නේ නොබෙදුන මිනිස් ශ්‍රමයයි. නිෂ්පාදන බලවේග අයත් පන්තියට අවශ්‍ය වන්නේ එසේ නොබෙදුන , බැඳීම් නැති ශ්‍රමිකයන් පිරිසක් හා විශාල වෙළඳ පලකි. එක්සත් රාජධානිය ශ්‍රිඝ්‍රයෙන් ධනවාදයට ගමන් කරන්නේ මින් පසුවයි. 1760 ගණන්වල කාර්මික විප්ලවයට පදනම වැටෙන්නේද මෙලෙස එක්සත්වූ රටවල් දෙකක් වන ජර්මනිය හා එක්සත් රාජධානිය නිසයි.
ඉහත පින්තුරයේ ඇත්තේ මහා බ්‍රිතාන්‍යයේ එකතුව සඳහා (union ) පෙනී සිටින කාන්තාවන් තිදෙනෙකි. 

දැන් ප්‍රශ්නය ඇත්තේ හොඳට එකට සිටි මේ දෙගොල්ල ගෙන් ස්කොට්ලන්තයට වෙන් වන්නට අවශ්‍ය වන්නේ ඇයිද යන්නයි?
මගේ යහළුවකු වන ස්කොට් වැසියෙකු කීවේ මෙසේයි. 
"අපිට සිරියාවට ගහන්න ඕනේ නැහැ. අපිට ඉරාකයට ගහන්න ඕනේ නැහැ. අපේ තෙල් වල සල්ලි අපට ඕනේ. එංගලන්තයේ දාපු කාමර බදු නිතිය (Bedroom tax ) අපට ගෙවන්න ඕනේ නැහැ. (ඔබ  සමාජ සුභ සාධක මුදල් ලබා ජිවත් වෙන ආණ්ඩුවේ නිවසක ජිවත් වෙන්නේ නම් හා ඔබේ වැඩිපුර කාමරයක් ඇත්නම් එයට බද්දක් ගෙවිය යුතු වේ- මෙය අලුතින් පනවන් ලද්දකි.). අපට රුසියාව සමග හොඳින් ඉන්නත් , යුරෝපයට ඇතුළුවී හොඳින් ඉන්නත් ඕනේ. අපට සමාජවාදය ඕනේ නම් ඒකට  ඉංග්‍රීසින් ගෙන් අහන්න ඕනේ නැහැ. "

බැලුවහම දෙපැත්තම හරි වගේ. හැබැයි එක දෙයක් කිය යුතුයි. දැන් කොච්චර ශිලචාරව වාද කලත් , ස්වාධිනත්වය සඳහා වන චන්දය පැරදුන හොත්  නිදහස සඳහා පෙළපාලි ගිය දහස්  ගානක් ඒක අත අරින්න සුදානම් නැහැ. වෙන විධිහක (ආයුධ නැතුව  හෝ ඇතිව ) කැරැල්ලක් , උද්ඝෝෂණයක් එන්න පුළුවන් කම තිබෙනවා. එසේම ස්කොට්ලන්තය දිනුවොත් , එංගලන්ත පැත්තෙන් ආයුධ සහිත දේශ සිමාවක් පනවන බව කියනවා. එහෙම වුනොත් එංගලන්තය ආයුධ යවමින් ස්කොට්ලන්තයේ නිරවුල් භාවය නැති කරාවි. 
අවුරදු 300 ක සාමය හා ශිෂ්ටාචාරත්මක දික්කසාදය වෙනුවට ...ලේ හලන යුද්ධයක් බලාපොරොත්තු වෙන්නත් පුළුවන්.  

ධනවාදයේ වුවමනාවට නිර්මාණය කල වෙළඳපල ඔවුන්ම විනාශ කර ගන්නේ ඇයි? 
නැගී එන එංගලන්ත අධිරාජ්‍යවාදයට 1707 ගිවිසුමෙන් තවත් වෙළඳපලක් ලැබුණි.බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය කාර්මික විප්ලය සමගින්  ලොව පුර පැතිර ගියේය. 
එම අධිරාජ්‍යය  බිදී වැටුනු  අතර දැන් එක්සත් රාජධානියද බිඳ වැටෙමින්  වඩා  බලවත් යුරෝපා සංගමය බිහි වෙමින් පවතී. මාක්ස් පැවසුයේ එයයි.
යුරෝපා සංගමයට විරුද්ධ නයිජල් ෆාරාජ් ගේ පක්ෂය එංගලන්තයේ සිඝ්‍රයෙන් ජනප්‍රිය වෙමින් පවතී. නමුත් එංගලන්තයට එසේ ඉවත්ව යා  නොහැක. ලෝක ධනවාදය එයට ඉඩ නොදෙනු ඇත.


පසු වදන: චීන හා  ඉන්දියන් අධිරාජ්‍යවාදීන් තම වෙළඳපොල  සඳහා අනිත් රටවල් වලට ආයුධ සපයා ඕනෑම ත්‍රස්තවාදී හෝ වේවා නිදහස් හෝ වේවා ව්‍යාපාරයක් මර්දනය කරන්නට ආධාර කරයි. විහිද යන ධනවාදයට අවශ්‍ය ජාතිවාදී බෙදීම් නොව ශක්තිමත් ඒකාධිකාරී රජයක් හා නොබෙදුණු ශ්‍රමිකයන් රැලකි. 




10 comments:

  1. මට පුකෙන් හිනා යන්නේ ගමයෝ. මෙහේ කොටින්ට රටක් හදලා දෙන්න දත් කන කැමරන්ලා, ස්කොට් කාරයෝ වෙන් උනොත් එහෙම මූනිස්සම් කන්න වෙයි කියලා දෙන වෝනින් දැක්කාමයි.

    තවත් යූක්‍රේනයක් වේයිද?

    ReplyDelete
  2. එක් වීම වගේම වෙන්වීම තුලත් යම් සාධනීය ලක්ෂණ දකින්න පුළුවන්, ඒ පිටින් ඉඳගෙන බලන අපිට . එදා බර්ලින් තාප්පය කැඩිලා ,ජර්මනිය එක්සත් වෙනකොට ඒ අවස්ථාව දකින හැමෝගේම හිතට අමුතු හැගීමක් එන්න ඇති.

    අද මේ දෙන්නා වෙන්වෙන්න හදනවා . එදා අපිට වෙන් වෙන්න උපදෙස් දීපු අයට වෙන්වෙන්න බය හිතිලා .

    ReplyDelete
  3. එක්ව සිටීම යනු ඉතිහාසයේ මුල්ම හෝ එකම ආකාතිය නොවේ. ගෝත්රික යුගයේ සිටම වරින්වර වෙන්ව සිටි ජන කොටස් වැඩවසම් රජ කිරැල යටතේ ඈදාගත්තෙ බලහත්කාරයෙන්. ධනපති සමාජයෙදි පවා කැමැත්තෙන් හෝ අකමැතිතෙන් ජන කොටස් එක් රාජ්‍යයකට ඒකරාශි කෙරුණා. ඒ්ත් දනපති රාජ්‍ය ත=ළ මිනිස් අවශ්‍යතා ඉටු ෙනාවන විට පීඩිත ජනයා නැගිටිනවා. ඔවුන් ජාතික සීමෙවන් ෙහා් ෙවනත් පදනෙමන් වෙන්වීමෙන් පමණක් සියල්ලට විසදුම් නොලැබේ. යම් ජන කොටසක් වෙන්වීම ඉල්ලා සිටීම සලකා බැලිය යුතු තත්වයකි. ඔවුන් වෙන්වීම ඉල්ලා සිටින්නේ කුමන අවශ්‍යතා නිසාදැයි සෙවීමද වැදගත්ය. මන්ද, වෙන් නොවී විසදන්නට හැකි ගැටලු තිබේ. කොහොමත් වෙන්වීමේ අයිතිය දෙනවා කියන්නෙ පරන අදහසක්. ඒ වෙන් කිරීම ඔවුන්ගෙ කැමැත්තට කළත් ඒ ඔවුන්ට කරන අපරාධයක් වෙන්නත් පුලුවන්

    ReplyDelete
  4. මාතා, තවත් යුක්රේනයක් වෙන්න රුසියාවක් ලග නැහැනේ. නමුත් සිරියාවේ හෝ අනිත් රටවල කලා වගේ වෙන්වුනත් ස්කොට්ලන්තයට නිදහසේ ඉන්න ලැබෙයිද? හිනා යනවා නම් තමයි. කොටින්ට රටක් ගැන කියන කොට මතක් වුනේ 2003 වගේ ඈත කලෙක මන් විවාදයකට එක් වුණා. එතැනදී මන් දෙමල මිතුරෙකුට කිව ඔය දෙන දදෙයක් දැන් අර ගනිල්ලා. චන්ද්‍රිකා එක්ක ලේසියි, කොළඹ ආණ්ඩුවට ඕන නම් උඹලට ගහල කෙළවන එක කරන්න පුළුවන් කියල. ඔයගොල්ලට LTTE එක ගැන අධිතක්සේරුවක් තියෙන්නේ කියල. ඒ ගොල්ලෝ එතකොට ගොඩක් ආඩම්බරෙන් හිටියේ. මිනිහ මට කිව පිස්සු, ඒගොල්ලන්ට පුළුවන් කොළඹම අල්ල ගන්න ඒගොල්ල කරන්නේ නැහැ කියල. මම කීව ඒක විකාර කතාවක්, ඕගොල්ල සාකච්චා කරල දැන් දෙන එක (එතකොට ප්‍රභාට අවුරුදු 10කට දෙන්න චන්ද්‍රිකා කැමතියි.) ගන්න කිව්ව ඇර ගන්නේ නැතුව කියලා . මු මට කිව මම ජාතිවාදියෙක් කියල. හැබැයි දැන් ඔන්න ආණ්ඩුවත් එක්ක හොඳට බිස්නස් කරනවා යාපනේ පැත්තේ. අනේ කාලේ වනේ වාසේ.

    ReplyDelete
  5. පවුලුශා මල්ලි, ජර්මනිය බලෙන් වෙන්කළ (වෙන්වී තිබුන) එක්සත් රටක්නේ. ජර්මනිය එක්සත් වීම ගැන මමත් සතුටුයි. නගෙනහිඅර ජර්මනියේ තිබ්බ ඒකාධිකාරී ක්‍රමය හුඟක් බිය ජනකයි.

    කැමරන්ට නම් අර බුමරන්ගේ කැරකිලා ආවා වගේ තත්වයක් වෙලා තිබෙන්නේ නේද?

    ReplyDelete
  6. චන්දන සහෝදරයා, ස්වයං නිර්නන අයිතිය දෙනවා කියන්නේ පැරනි අදහසක් කියල කියනවා වගෙයි මට හැඟෙන්නේ. ස්වයං නිර්නන අයිතිය කාටවත් කවුරුවත් දෙන්න ඕන්නැති දෙයක්නේ. ස්කොට්ලන්තයට වෙන්වීමේ අයිතිය ඉංග්‍රීසින්ගෙන් ගන්න ඕනේ නැහැ. නමුත් ඔබ කියන දහසට මම එකඟයි. ඔවුන්ගේ කැමැත්තට ඒක කලත් එයින් ඔවුන්ටම අසාධාරණයක් වෙන්න පුළුවන්. ජාතිවාදය මහා ජාතියෙන් ආවත් සුළු ජාතියෙන් ආවත් දෙකම එකනෙ.

    ReplyDelete
  7. ජර්මනිය නැගෙනහිර සහ බටහිර ලෙස වෙන්ව තිබෙන අවධියේදී රටවල් දෙක එකෙනෙකට වෙනස් අංශ තුලින් ඉදිරියට ගියා . උදාහරණයක් ලෙස නැගෙනහිර ජර්මනිය ක්‍රීඩා අංශයෙන් ඉදිරියට පැමිණියා . ඔබට මතක නම් බොහෝ ඔලිම්පික් උළෙල වල තුන්වන තැන සිටියේ නැගෙනහිට ජර්මනිය . ඒ සමාජවාදී පාලනය තුල ක්‍රීඩාවට අනිවාර්ය යොමුකිරීමක් තිබුණු නිසා . එක රටක් වුවාට පසුව සරල තර්කය යටතේ ජර්මනිය ඔලිම්පික් උළෙලේ පළමුවැනියා විය යුතුව තිබ්බා . නමුත් ඉන් පසු කෙදිනකවත් ජර්මනිය පස්වැනි තැනෙන් ඉහලට පැමිණියේ නෑ.

    එසේම කාර්මික සහා ජීවන මට්ටම අතින් බටහිර ජර්මනිය බොහෝ ඉදිරියෙන් සිටියා . තාප්පය බිඳ වැටුනාට පසු නැගෙනහිර ජර්මන් වැසියන්ට අදහාගන්න බැරි භෞතික සංවර්ධනයක් එහි තිබුනා .
    වෙන්වී සිටීම තුල යම් සාධනීය ලක්ෂණ දැකිය හැකි බව මම සඳහන්කළේ ඒ නිසයි .

    ReplyDelete
  8. ස්කොට් වරු ගැන කියනවනම් ඒ අය ට දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා.ජුලියස් සීසර් යුද්ධ කාලේ මේ ගෝල්වරුන් සමඟයි.සූර පප්පල ජිම් පප්පල කියන්නෙ මේ ස්කොට්වරු තමයි.ඒත් සීසර් ගෝල්වරුන් හා සටන් කළේ ප්‍රංශයේයි.එදා ප්‍රංශය ගෝල්වරුන්ගෙ රට.සීසර් සමඟ නිර්භයව සටන් කළ ගෝල් වීරයා තමයි වර්කිංගටොරික්ස් .එදා ගෝල්වරු යුරෝපයේ බලවත්ම ගෝත්‍රික පිරිසක්.රයින් නදියේ සිට මුළු බටහිර යුරෝපයේම බලවතුන් වුනේ ගෝල්වරුන්.

    පසුව ඇන්ග්ලෝ සැක්සන් ,ෆ්‍රෑන්ක් වැනි ජර්මැනික් ගෝත්‍ර ගෝල් රටවල් වල පදිංචි වූ පසු ගෝල් බලය දුර්වල වුනා.ෆ්‍රෑන්ක්වරුන් විසින් ප්‍රංශයත් ඇන්ග්ලෝ සැක්සන්වරුන් විසින් බ්‍රිතාන්‍යයත් අල්ලා ගත්තා.

    මා මේ දේවල් කීවේ ස්කොට් වරුන්ගේ ඉල්ලීම් සාධාරණ බව කියන්නයි.ස්කොට් වරුන් පමනක් නොවෙයි වේල්සයත් බ්‍රිතාන්‍යයෙන් වෙන් විය යුතුයි.එසේම ස්පාඥ්ඥයේ කැටලෝනියාවත් ස්පාඥ් ඥයෙන් වෙන් විය යුතුයි.

    ReplyDelete
  9. පවුලුශා මල්ලි, මට මේක ගොඩක් සමීපයි. මොකද ම අර ජ්රමනියේ සමාජවාදී ගම ගැන කිව වගේ මම අවුරුද්දට දෙවතාවක් ජර්මනියේ තුරින්ගිය ප්‍රදේශයට යන නිසා. මගේ බිරිඳගේ ආච්චි හා සිය හිටියේ නැගෙනහිර ජර්මනියේ. සහෝදරියත් නැගෙනහිර ජර්මනුවෙක් බැඳලා එහෙ පදිංචිය.
    ඔලිම්පික් උළෙලේ තෙවනියට ආවේ හුඟක් උත්තේජක වර්ග භාවිතා කරලා කියලත් කියනවා. හැබැයි ඇත්තටම කියනවනම් ඔවුන් හරියට ව්‍යායාම , ඇවිදීම , සයිකල් පැදීම කරන ජාතියක්. ඒ නිසා ඔබ කියන එකත් ඇත්ත. අපි ගිය සැරේ ගිය වෙලෙවේ හැතැප්ම හතළිහක් එක දිගට සයිකල් පැද්ද. අනික ඔවුන් දුප්පත්ම නැහැ. සමනය වශයෙන් ගත්තම සමාජවාදී ලෝකේ උසස්ම ජිවන තත්වය තිබ්බේ නැගෙනහිර ජර්මනියට. ස්ටාසි රහස් පොලිසිය නිදහස සිමා කලේ නැත්නම් ඔවුන් නැගෙනහිර ජර්මනිය වගේ ඉන්න තිබ්බ. නිලධාරිවාදය විසින් කෑව තවත් රටක්. 'goodbye lenin ' බැලුවද?

    ReplyDelete
  10. යකාගේ ඉතිහාස කතාව සත්‍යයක් එතකොට යක දෙමල ජාතියේ වෙන්වීමත් පිළිගන්නවද?
    වෙන්වීමෙන් සැනසීමක් නොලැබේ යන්න මගේ අදහසයි.

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .