Tuesday, 19 January 2021

කළු මුහුදු වෙරළේ තහනම් නිවාඩුව


මතකද අර තාරාවෝ ඉගිලෙති එකේ සින්දුවක් තිබ්බ. "යාළුවෝ මාළුවෝ යාළුවෝ " කියල. මේ ඒවගේ යාලු කම් ගැන නෙමේ කියන්න හදන්නේ. "මිතුරු තුමෝ දුක සැප දෙකෙහිම පැවතී" කියල කවියක් පටන් ගන්නවා නේද සැළ ළිහිණි සංදේශයේ. "බිතු සිතුවම් රූ මෙන්  පිටු නොපාවති" ඔන්න ඔහොම. අන්න ඒ වගේ මිතුරෙක් ගැන. 

මම සියාමා පොත ලිව්ව කාලේ හැමෝම අහන්න ගත්ත ඒක අත්දැකීමක්ද  නැත්ද කියල. මට හිතාගන්න බැහැ දැන් ඔය ප්‍රසිද්ධ සම්මානනීය නවකතාකරුවන් පොත් පලකරද්දීත් ඒ අයගෙනුත් ඔය ප්‍රශ්නය අහනවද කියල?  " ඔබගේ මේ සම්මාන දිනූ  නවකතාව අත්දැකීමක්ද?" . 

මම ඒ පොත ලිව්වේ උත්තම පුරුෂයෙන්. කතා නායකයා "මම" වන අතරේ කථා නායිකාව "සියාම". 

ඉතින් ඔය හින්දම මම ප්‍රථම පුරුෂයෙන් තමා ඊළඟ පොත  "ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ " ලිව්වේ. මේ ප්‍රථම පුරුෂයෙන් ලියන එක ගැන  හෙවත් තෙවන පාර්ශවයෙන් ලිවීම ගැන හරියට දැන ගන්න මම ඇහුවේ විජිත ගුණරත්න ගෙන්. විජිත, සුමංගල හාමුදුරුවන් ගේ ශබ්ද කෝෂය බලල වැඩි හොඳට ඒ පිටුවෙ පින්තුරෙකුත් එව්වා. විජිතව සම්මානනීය නාට්‍ය කරුවෙකු ලෙස දැනන් හිටියත් අඳුර ගත්තේ ලන්ඩන් වල අගෝර කට්ටියගෙන්. එදා ඉඳන් අදටත් හොඳ යාලුවෙක්.


ඒත් ඉතින් ඒ පොත ගැනත් අර වගේ අත්දැකීමක් නේද කියන ප්‍රශ්නය එන්න ගත්ත.  "සියාමා" එක වගේ නෙමේ මේ පොත ගැන උත්තර දෙන්න අමාරුයි. ඇයි ඉතින් සෝවියට් දේශයේ හිටියනේ.  වැඩේ කියන්නේ ඔය ප්‍රශ්නේ අහන ඇතැම් අය ඒ දවස් වල මට හිටියා කියා හිතන යහළුවන් ගෙන් පවා විමසීම් කරල තිබුන.නිකන් හරියට  මම යාළුවන්ට කියලම තමයි  මගේ හැම වැඩක්ම කළේ වගේ. අනිත් එක මම උන්ට කීවත්  මගේ යාළුවෝ එහෙම කියයිද?

 ඒ වගේ යාලුවෝ හිටිය මටත්. එක්කෙනෙක් තමා ජනක ලක්මාල්. ලක්මාල් ඉගෙන ගත්තේ ජෝර්ජියාවේ ට්බිලිසි කියන නගරයේ. ලක්මාල් ඇතුළත් වුනේ  කොම්පියුටර්  එන්ජිනියරින් පාඨමාලාවට. ලංකාවට ඇවිත් ජෝන් කීල්ස් එකේ  වැඩ කරලා දැන් කිසියම් රජයට අර්ධ ලෙස සම්බන්ධයක් ඇති ආයතනයක  නියෝජ්‍ය සාමාන්‍යධිකාරීවරයෙක්. උඩ පින්තුරෙ ඉන්නේ එයා. 

ලක්මාල් ඉගෙන ගන්න කාලේ එක පාරක් ලන්ඩන් ඉඳන් එනගමන් ආව අපේ ශිෂ්‍ය නවාතැනට මොස්කව් වල විදුලිබල හා බලශක්ති සරසවියේ . මට ලන්ඩන් ඉඳන් එනකොට හොඳ පුල්ඕවර් එකක් (ජර්සියක්) ගේන්න අමතක වුනා. ලක්මාලය නියම හොඳ උණුසුම් ජර්සියක් මිලයට අරන් ඇඳන් හිටිය.  ඕක මට දීපන් බන්, මට නියමයි ඒක කියල මම කිව්ව.ලක්මාල්  එහෙම්ම  ඒක ගලවල මට දුන්න. අන්න ඒ වගේ බොක්කක්. මමත් ලංකාවට යනකොට පුළුවන් වුනොත් වොඩ්කා එකක්වත් අරන් යනවා ලක්මල්ට.  

ඒ කාලේ වීසා එකක් නැත්නම් අපට සෝවියට් දේශයේ නගරයකින්  නගරයකට යන්න බැහැ. ලංකාවට හෝ වෙන රටකට යන්න ගන්න  වීසා එකට තමයි හුඟක් ශිෂ්‍යයෝ මොස්කව් එන්නේ.  මම වීසා අරන් ගිහින් තියෙන්නේ දෙකකට විතරයි. ක්‍රස්නදාර් වලටයි සෆරෝෂි (Zaporizhzhia) වලටයි. සෆරෝෂි වලදී වෛද්‍ය ශ්‍යාමලී කොට්ටහච්චි ඇතුළු යාළුවෝ කට්ටියක් එක්ක  ජල විදුලි බලාගාරය බලන්න ගියා  ද්නීපර් නදිය ගාව. මං හිතන්නේ අපි බෝට්ටු චාරිකාවකුත් ගියා.

මම ට්බිලිසි යන්න සැලසුම් කළා  කෙනෙක් එක්ක. හොරෙන් යන්න තමයි ප්ලෑන් එක. හැබැයි ඇත්ත ගමනාන්තය ට්බිලිසි නෙමේ. එහෙන් සුඛුමි  කියන මුහුදු  වෙරළ පැත්තේ නගරයට සහ එතනින් කළු මුහුදු වෙරළට යන්න නිවාඩුවකට. මේවා ඔක්කොම තහනම් ගමන්. සුඛුමි කියන්නේ ඓතිහාසික නගරයක්. අභාසියා රාජධානියෙන් ජෝර්ජියන් වරු අල්ලගෙන එතනින් රුසියානු අධිරාජ්‍යයට අයිති වෙලා තිබිල ඊට පස්සේ සෝවියට්
 දේශයට ඇතුළත් වුනු කොටසක්. කොමියුනිස්ට් පක්ෂ නිලධාරින් හෙම නිතර යන්නේ ඒ අසල තියෙන සෝචි කියන මුහුදුබඩ  නගරයට නිවාඩුවට. ඒ දවස් වල ස්ටාලින්ට මාලිගාවක් වගේ නිවසක් තිබුන සෝචි වෙරළේ විවේක ගන්න. දැන් ජනාධිපති පුටින්ට තියෙනවා  ඒ වගේම මාළිගාවක් ඒ පැත්තේම.

 ඔය ගමනට රුසියානුනියක් හරහා ගත්ත ටිකට් දෙකින්, හතළිහක් විතර යන්න පුළුවන් පොඩි එයාරෝෆ්ලොට් ගුවන් යානයක  තමයි ට්බිලිසි වලට ගියේ. මට ටිකට් ගන්න බැහැ වීසා නැති නිසා.  හොරෙන් යන්නේ කොහොමද? යාලුවෝ ඒකත් කියල දුන්න. මොන ෆ්ලයිට්  එකද බුක් කරන්නේ, ස්ටුඩන්ට් කාඩ් එක ඇතුලට සල්ලි දාල කාටද දෙන්නේ වගේ ඒවාට නියමිත උපදෙස් ලැබුන. නැත්නම් ඉතින්  වීස නැතිව  යන්න බැහැ.   ගුවන් යානයේ ගමන අවුලක් නැතිව කෙරුණා.
  
ඔන්න ඉතින් ට්බිලිසි වලටත් ගියා. ලක්මාල් ගේ ශිෂ්‍ය නේවාසිකාගාරයේ තමයි  නවාතැන් ගත්තේ. මටයි තව කෙනෙකුටයි කාමරේ ඉන්න දීල ලකී ගියා වෙන කාමරේකට. චම්පා (දැන් කුරුණෑගල වෛද්‍ය අධ්‍යක්ෂ), නිරූපා හා අත්තනායක (නවසීලන්තයේ ඉංජිනේරුවෝ දෙදෙනෙක්), වාසල බණ්ඩාර (ඇමෙරිකාවේ වෙසෙන සීනියර් පරිගණක ඉංජිනේරුවෙක්) හෙම ඔය ගමනේදී කෑම බීම දීල, නගරය පෙන්වන්න  එක්ක ගිය හොඳ  යාළුවෝ යෙහෙළියෝ තමයි.  අද වුනත් මේ ගමන ගැන කෙළ බිඳක් හෙලනවා මට ආරංචි වෙලා නැහැ.
  
මතක තියෙන අපහසුතාවක් ඇතිවුණු සිද්ධි තමයි මදක්  ජාතිවාදී ලෙස හැසිරුණු ජෝර්ජියන් පිරිමි කිහිප දෙනෙක් අප සමග ගිය  කාන්තා පාර්ශ්වයේ කෙනෙක්ව කාරයකට  ඇද ගන්න තැත් කිරීම. ඒ වගේම අමුතු වැඩක් වුනා ට්බිලිසි ඕසෙරා හෙවත් ට්බිලිසි මුහුද කියන කෘතීම වැවට නාන්න ගිය වෙලාවේ. ජෝර්ජියන් කාරයෙක් බඩගාගෙන සංදර්ශනයක් දැම්ම.  විදේශිකයෙක් උන්ගේ තරුණියක් වගේ පේන කෙනෙක් එක්ක යනවට මේ පිරිමි කැමති නැතිලු.  මම නම් නෑවේ නැහැ. හැබැයි එතැන හරිම ලස්සනයි ඈතින් පෙනෙන මනරම් කඳු වළල්ල නිසා. පස්සේ කාලෙක දැන් අප අතර නැති යාළුවෙක් වෙන වෛද්‍ය සංජය සිගේරා රූමත් ජෝර්ජියානු කාන්තාවක් වන ඇනා විවාහ කරගත් වෙලේ මම ඔය කතාව කියල, අපි දෙන්නම  බඩ පැලෙන කල් හිනාවුනා. 


ට්බිලිසි වල නගරය  මැදින් යන කේබල් කාරෙකෙත් ගියා මතකයි. ඔය පින්තූරේ තියෙන්නේ ඒක තමයි. ට්බිලිසි  ඇත්තටම සුන්දර නගරයක්, කඳු වලින් වටවෙලා තිබෙන මිටියාවතක. පරණ බයිසැන්ටයින් අධිරාජ්‍යයේ (රෝමන්),ජෝර්ජියන්,  අර්මේනියන්, ග්‍රීක ගෘහ නිර්මාණ ශිල්පයන් ගෙන් හැදුනු රමණීය ගොඩනැගිලි දකින්න පුළුවන් මේ මිටියාවත හා ජෝර්ජියාව පුරාවට. 

ඒ අතරේම මම රුසියානු කෑම වලට කැමතියි වගේම  ජෝර්ජියානු කෑම දැක්කහමත් පිස්සු වැටුන.  හචිපුරි (චීස් පුරවපු අතින් හදපු පාන් එක උඩට බිත්තරයක් බැදල දාල), කින්කලි (ටිකක් පිල්මෙනි වගේ), කාචෝ (මස් ඉස්ටුවක් වගේ එකක්) හා සලියංක  එක හෙම (සොල්යන්ක සුප් එක නොවේ) ලක්මාල් ගේ නවාතැන පහලම වගේ ස්තලොවයා (කැන්ටිමක)  තිබුන. ජෝර්ජියන් වයින් නම් අමතක කරන්න බැහැ. බොහොම මධ්‍යධරණි රිච් ගතිය තිබෙන ස්පාඤ්ඤ වයින් වගේ. 

අර තමන්ගේ තරුණියන් වෙන අය එක්ක යනවට අකමැති සම්ප්‍රදායික බව හැරුනම ජෝර්ජියන් වරු ආසියානු සිසුන්ට හොඳට සංග්‍රහශීලිව සලකන බව ශිෂ්‍යයෝ හැමෝම වගේ කියන දෙයක්.  සමහරු සිකුරාදාට තමන්ගේ මිත්‍ර විදේශික ශිෂ්‍යයෝ නගරයෙන් පිටත මිටියාවතේ ලස්සන උද්‍යාන සහිත නිවෙස් වලට අරන් ගිහින් සංග්‍රහ කරන බවත් සිරිතක්ලු. එහිදී චාචා කියන ජෝර්ජියන් පලහාපු මස් සමග වයින් සහ නර්තන වලින් සමන්විත සන්ධ්‍යාවන්  ගත කරපු අය ඉන්නවා. 



දක්ෂයෙක් නම් පහල පින්තූරයෙන් මාව හොයාගන්න.


 ලක්මාල් අපිව දුම්රිය ස්ථානයට ගිහින් ඇරලුව කළු මුහුදේ නිවාඩුවට යන්න.  කළු මුහුදත් අමුතුම එකක්. ජෝර්ජියාව, රුසියාව, උක්රයිනය, රුමේනියාව, බල්ගේරියාව, තුර්කිය යන රටවල් ගානකින් වටවෙච්ච සංවෘත මුහුදක්. ඉතා ආදී කල්පික සමයක ලොකු විලක්.  නාවිකමය බලය අතින් රුසියාව තමා එය පාලනය කරන්නේ සෙවස්තෝපල් කියන මුහුදුබඩ නගරයේ නාවික කඳවුර හරහා. ඩැනියුබ්, ද්නිපර් සහ දොන් නදීන් සියල්ල අවසන් වෙන්නේ ඒකෙන්.   අත්ලාන්තික සාගරයට සම්බන්ධ වෙන්නේ ඒජියන් මුහුද පැත්තෙන්. 
 අපි කළු මුහුදේ නිවාඩු නිකේතනයට කරදරයක් නැතිව රමණීය දුම්රිය ගමනකින් පස්සේ ආව. ඒ යන  ගමනේ සුඛුමි පැත්තේ තේ වත්තක් බලන්න ගිහින් හරිම ලස්සන ස්වභාවික විලකත් නෑව. (පින්තූර දාන්න විධිහක් නැහැ. අවුරුදු 18 අඩු අය බැලුවොත් එහෙම) 

සෝවියට් දේශයේ ගෙවල් හෝ කාමර කුලියට දෙන්න තහනම් පෞද්ගලික අයට. නමුත් එහෙම දෙන අය ඉන්නවා. ඒකට පොඩි නෙට්වර්ක් එකක් තියනවා. ඒ කියන්නේ මොස්කව් වල අරයගෙ යාළුව ,එයාගේ අර,අරයගෙ යාළුවට සම්බන්ධකමක්  තියනවා කළු මුහුද පැත්තේ. එයා එයාගේ යාලුව හරහා දුරකථන නොම්මරයක්  හොයාගෙන අර ලයින් එක දිගේ මොස්කව් වල ඒක හොයන කෙනාට ලැබෙන්න සලස්වනවා. බලධාරීන්ට හොයන්න බැරිවෙන්න.  අපි අපේ තට්ටු නිවාසය හෙවත් එපාර්ට්මන්ට් එක  හොයා ගත්තේ එහෙම.  එතනට ගිහිල්ල සල්ලි දුන්නහම ඒ ගෙදර ගෑනු කෙනා ෆ්ලැට් එකේ යතුර අපිට දීල වෙන තැනකට ගියා. සල්ලි දෙන්නේ අන්තිම දවසේ. අපි හිටිය තැන ඔය පල්ලහ පින්තුරේ තියෙන්නේ. සෝවියට් දේශය දුප්පත් ගුහාවක් වගේ තිබ්බ කියල හිතන් හිටි අයටත් යමක් කල්පනා කරන්න පුළුවන්.  අසූවේ දශකයේ අග සෝවියට් දේශය. 



කළු මුහුදේ නාපු  තැනක් තමා ඔය තියෙන්නේ. ඔතන රුසියානු භාෂාවෙන් ලියල තියෙන දැන්වීමේ තියෙන්නේ ළමයින්ට නෑමට සුදුසුයි කියල. මම ඉතින් උසේ ප්‍රශ්නය නිසා රුස්සන්ගේ ළමයින් ගේ උසට තමයි වැටෙන්නේ. ඉතින් එතැන කිසි කරදරයක් නැතිව මුහුදු වතුරේ බැහැල හිටිය.  



දැන් අපේ විශ්ව විද්‍යාලවල හිටිය උපකුලපතිට පමණක් දෙවෙනි වන ප්‍රොරෙක්ටර් කියල විදේශික සිසුන්ට අදාල කාර්යයන් සඳහා පමණක් වන නියෝජ්‍ය උපකුලපති කෙනෙක්. එයට හැමෝම  කිව්වේ කේජීබී කාරය කියල. හිතා ගන්න පුළුවන්නේ කාර්යභාරය. වීසා නැතිව ගියොත් හුඟක් වෙලාවට දඬුවමක් ලැබෙනවා. පන්ති තහනම, වසරක පන්ති  තහනම හෝ ගෙදර යැවීම. ගියේ තමන්ගේම රටේ යාළුවෙක් හම්බ වෙන්න නම් දඬුවම සුළු එකක්. ඒ කාලේ කළු මුහුදු වෙරළ කියන්නේ විදේශික රහස් ඔත්තුකරුවො පිරිච්ච තැනක්. එනිසාම කේජිබී නිලධාරින් වැහි වැහැල.  මොක ද පක්ෂයේ උසස් නිලධාරීන් විවේක ගන්න එනවා. ඔවුන්ව අල්ල ගන්න ලෙසයි. හොර බඩු  හුවමාරුව පැත්තකින් වෙනවා. වෙනම  රටක් වගේ ඒ කොටස. අවසර නැතිව එතනට ගියා කියල අහුවුනා නම්  දඬුවම බරපතලයි.

එතකොට කාට හරි ප්‍රශ්නයක් එන්න පුළුවන් ඇයි අපිව අහුවුනේ නැත්තේ  කියල. අර නිලධාරීන් වැඩිය යන්නේ නැති පැත්තක් තියනව. ඒවා ගැන විස්තර කලින් හොයාගෙන  තමා ඔයවගේ ගමනක් යන්න ඕනේ.  මාත් එක්ක ගිය රුසියානුණිය ඒවා කලින්ම කේජිබි සම්බන්ධයක් හරහා හොයාගෙන තිබුනේ.  එහෙම දේවල් දන්නේ නැති අපේ දෙන්නෙක් බතුමි කියන කළු මුහුද අසල නගරයට ගිහින් තිබුන. අර මම ගිය විධිහටම වීසා නැතිව. ගිහිල්ල කේ ජී බී එකට අහුවුනා. ඒක වුනේ දැන් ඕස්ට්‍රේලියාවේ ඉන්න එමිල්ට  සහ ලන්ඩන් වල ඉන්න විපුලට . කතාව ඒ ගොල්ල දවසක් ලීවොත් කියන්නම් වෙනත් දවසක. 

ඔය නිවාඩුවෙන් පස්සේ ආපහු මොස්කව් ඇවිත් සඳුදා දවසක, මම එනවා ඇවිදගෙන අපේ විශ්ව විද්‍යාලයේ ප්‍රධාන ගොඩනැගිල්ලේ තුන්වෙනි තට්ටුවේ කොරිඩෝරය දිගේ. අර නියෝජ්‍ය උපකුලපති ගේ ඔෆිස් එක තියෙන්නේ එතන.  'තුමා මං  ඉස්සරහ නැවතුන. නැවතිලා ඇහැක් පුංචි කරලා ඇහුවා "ට්බිලිසි කොහොමද " කියල. මම කිව්වා මුකුත් නොදන්න ගානට  "හරිම ලස්සන නගරයක් " කියල. මම හෙමිජ්ජ වගේ එතැනින් ඇවිදලා ගියා. මෑන් ඔෆිස් එකේ දොර අරින ගමනුත් මං දිහා බලාගෙන කියල දැක්ක කොරිඩෝරෙන් හැරිලා පියගැට පෙළ බහින්න යද්දී.

කිව්ව කෙනා විස්තරේ භාගයයි  කියල තියෙන්නේ. මගේ යාලුවෝ එකෙක්වත් මාව පාවා දීල නැහැ.  ඒ දවස් වල, යාලුවෝ කිහිපදෙනෙක් හිටිය දනියෙස්ත්ක් කියන යුක්‍රේනයේ නගරයේ ඉඳන් හොරෙන් මොස්කව් එන.  උන් හොරෙන් එන වාරයක් ගානේ දෙකානත් හෙවත් ශිෂ්‍ය කාර්යාලයට කේලම කියන එවුන් ඉඳල තියනවා. සමහර එවුන් වීස හදන කෙල්ලට මොනවා හරි දීල ඕක කරගන්නවා. හැමදාම කරන්න පුළුවන් දෙයක් යැ හොර ගමන් යන හැම සැරේටම. ෆේස් බුක් එකට ලියන ල්වෝව් වල ඉගෙන ගත් ලාල්  විජේසිරිවර්ධන එහෙම වීසා නැතිව කරක්  ගැහුව දනියෙත්ස්ක් සිසුවෙක්  ගැන ලිපි පෙලකුත් ලිව්වා මතකයි.

ඔය වැඩ වලින්  මම තව දෙයක් දැන ගත්ත. කේජිබි යකා කියන තරම් දරුණු නැහැ කියන එක. ඒක මායාවක් විතරයි. එයාලට කෙනෙක්ව හොයන්න අමාරුයි හදිසියේ අහුවුනේ නැත්නම්. කෙලින්ම රටට එන විදේශිකයන් හා තානාපති කාර්යාල සේවකයෝ පස්සේ තමයි වැඩිපුර  දිව්වේ. නැත්නම් බිරියෝස්කා කියන විදේශීය භාණ්ඩ විකුණන කඩ ළඟ තමයි ඉන්නේ වැඩිපුරම. අනිත් හුඟක් වෙලාවට එයාල බලාපොරොත්තු වුනේ පවුලේ අය, ලඟම  යාලුවෝ,  අසල්වාසීන් කේලාම් කියයි කියල.  ස්ටාලින් ගේ කාලේ හැමෝම ඒ විධිහට වැඩ කළත් අසූව දශකය වෙනකොට ඒවාට හුඟක් මිනිස්සු තිත තියල ඉවරයි.  

   පොත ගැන කීවොත් ලන්ඩන් ගෙනාපු පිටපත් බොහොමයක් එහෙම්ම  තියනවා. කෝවිඩ්  වසංගතය නිසා හිතාගෙන සිටිය එළිදැක්ම කරන්න බැරිවුනා.  ඇණවුම් භාර ගන්නවා තවම. 

ලක්මල්ට සෙල්ෆි ගහන්න ඉස්සෙල්ලම කියල දුන්නේ මම. බොරුනම් අහල බලන්න.



මේ පින්තූර ලක්මල්ගේ. අපි කලින් හිටිය තැන දැන් හොඳ සංචාරක හෝටලයක්. 




කෙල්ලෝ රෑනක් නිදහසේ 



පරණ නගරය 




අර කියපු ආහාර වර්ග දෙකක් 




 




17 comments:

  1. අර රෝල කෝස්ටර් පින්තූරෙ, දෙවෙනි පේලියෙ මැද අත දරුවෙක් වගේ වාඩි වෙලා ඉන්නෙ අජිත් අයිය නේද?

    ReplyDelete
    Replies
    1. බොට දැන් හතලිස් ඇදිරියද? අර රතුපාට ඇදලා ඉන්න කෙල්ල ගාව ඉන්නේ අජිත් ලොක්කා නේ.

      Delete
    2. ඩ්රකි හරි හරි අත දරුවා කාලේ තමා ගියේ , නැත්නම් වීස නැතිව කොහේ යන්නද

      Delete
    3. කොලොම්පුරේ ඩ්‍රින්ක් එකක් මගේ ගානේ

      Delete
    4. "රතු ඇඳි කත" හොයන ගමං...

      Delete
    5. ෆොටෝ එක දැම්ම

      Delete
  2. නොදන්න නිසා අහන්නේ ඇයි වීසා ගන්න ඕනේ?
    කලු මුහුදට බොහෝ සැරයක් ඇවිල්ලා තියෙනවා. එත් නාලා නෑ පට්ට සීතලයි නේ. කලු මුහුදට එන මාර්ගය බොස්ෆරස් හරිම ලස්සනයි

    ReplyDelete
    Replies
    1. සෝවියට් දේශයේ සිටි විදේශික සිසුන්ට වෙන නගරයකට හෝ වෙන සමුහාණ්ඩුව කට යන්න වීස ඕනේ. රුසියනුන්ට පොලිසියට ගිහිල්ල ලියා පදිංචි වෙන්න ඕනේ නගරයට ගියහම. කළු මුහුද ලස්ස්සනය. සීතල කියන්නේ ඉතින් මම මෙහත් සීතලේ මුහුදට බහිනවා

      Delete
  3. හතරවෙනි පේලියෙ රතු ඇඳුමක් ඇඳපු කෙනා ලඟ

    ReplyDelete
    Replies
    1. හරිනේ , ස්පෙක් සේවර්ස් යන්න ඕනේ නැහැ.

      Delete
  4. රුසියා ගිහිං කෙළි කෙළලා උපාසක
    ලීලෙන් ඉන්නවා වාගෙයි දුරු රටක
    කොහොම හංගලා ලිව්වත් ලියන ටික
    අජිත්, හිතා ගත්තැකි අපටත් හනික

    ReplyDelete
    Replies
    1. මේවා කිසිදා හැන්ගුවේ නැත
      උපාසක ලීලේ පෑවේද නැත
      රුසියා ගොස් ඉගෙනුම ලැබුවා මිසක
      මොන කෙලිද අනේ මේ කොලු පොද්ද හට

      Delete
  5. අපූරු ලිපියක්, සුන්දර මතකයක්, සෝවියට් දේශයේ නොදුටු පැත්තක්.
    මම කලිනුත් කියලා ඇති, මම හරිම කැමතියි මේ ලියන රටාවට. හොඳ සහ නරක, රසවත් විස්තර සහ පිංතූර ඔතලා උඩින් චීස් දාලා දෙන ක්‍රමේට.

    ReplyDelete
    Replies
    1. ජෝර්ජියානු කෙල්ලො ලස්සනයි කියල අහල තියනවා. ඔවුන්ගේ සුන්දර නගර, ලස්සන ගෘහ නිර්මාණ කාලාන්තරයක් තිස්සෙ වෙච්ච ආක්‍රමණ සහ විවිධ සංස්කෘතීන් මිශ්‍රවීම නිසා වෙන්න ඇති. අනිවාර්‍යයෙන්ම "ඔටෝමාන්" ඔය පැත්තෙ විසිට් එකක් දාන්න ඇති.

      Delete
    2. මම හරිම කැමතියි මේ ප්‍රතිචාරයට සහ උපමාවට / රසවත් විස්තර සහ පිංතූර ඔතලා උඩින් චීස් දාලා දෙන ක්‍රමේට.// ජෝර්ජියන් කෙල්ලෝ හරිම ලස්සනයි , එකෙන්ම පිලි ගන්නවා , ඔටෝමන් ට්බිලිසි එනකම් ආවේ නැහැ. උන් ක්‍රිස්තියානි වෙලා ඉතුරු වුනේ ඒකයි. හැබැයි ඔය අභාසියා කෑල්ලේ තුර්කි එවුන් ඉන්නවා යුද්දෙන් ඉතුරු වුන. මගේ දුඹුරු පාට හැමට ගොඩක් උන් හිතුවේ මම උන්ගේ එකෙක් කියල.

      Delete
  6. Yummy.
    රුසියන්, ජෝර්ජියන් කෑම කන්න එහෙට නම් යන්න කවදාවත් පුලුවන් වෙයි කියල හිතන්න බෑ. වෙන එකක් තියා කේම්බ්‍රිජ් (කාල තියෙන්නෙ එහෙදිනෙ )වත් කවද යන්න වෙයිද දන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. කේම්බ්‍රිජ් එන්න පුළුවන් වෙයි තව අවුරුද්දකින් , ඒ නැන්දා තවම ඉන්නවා

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .