Wednesday 12 September 2018

ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ (42) - සමාවෙන්න විශාඛා,

කලින් කතාව - ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ (41) -පද් මොස්කව්නියේ වේචෙරා

මතකය රිදුම් දෙන සුළුය. ඇයගෙන් ලැබෙන ලිපි හදිසියේම නැවතී ඇති සෙයක් ඔහුට දැනේ. හේතුවක් සොයන්නට ප්‍රේමයෙන් මැඩුණු හිත ඉඩ නොදෙයි. අවසන් ලිපියේ තිබුනේ කුමක්දැයි සිතීමට ඔහු වෙහෙස විය.

ඇගේ පියා  රැකියාව කරන කම්හලේ පඩි ගෙවීම නතර කර දමා ඇත.  ඒ වෙනුවට ඔවුන්ට භාණ්ඩ වලින් පඩි ගෙවති. ඈ  පවසන පරිදි  පඩි ගෙවන්නේ අර්තාපල්, පාන් , සීනි, මස් ආදියෙනි. දෙවැනි ලෝක යුද සමයෙන් පසු එවැනි කාලයක් ආවේ දැන්ය.  ඇය ඉගෙන ගන්නේද  අසීරුවෙනි. උද්ධමනය කෘතිමව පාලනය කරමින් තිබූ සෝවියට් දේශයේ බඩු මිල ඉහල ගියේ නැත. සීනි හෝ හාල් කිලෝවක මිල 1984 දීත් 1988 දීත් එක හා සමාන විය. පාන් ගෙඩියක මිලද එසේමය. නමුත් දැන් එවැනි භාණ්ඩ වල  මිල ඉහල දැමීමට  ඉඩ දී තිබේ. භාණ්ඩ මිල ඉහල යාමත් සමග දෛනික ජිවිතයේ වියදම් පියවා ගැනීමටත් අසීරු බව ඇය ලියා  තිබුණි.

ඔහු කිසියම්  මුදලක් , ඩොලර් වලින් ඇය අත තබා ඒමට සැරසුණු මුත් ඇය එය ප්‍රතික්ෂේප කළාය. එනිසා ඔහු හඳුනන සිසුවකුට ඒ මුදල් භාර දී ආවේ අවශ්‍ය වුවහොත් තාන්යාට ලබා දීමේ අටියෙනි. නමුත් ඒ සිසුවා එංගලන්තයට යාමට  එය වියදම් කර තිබුණි. එනිසා කෙසේ හෝ  ඩොලර් සියයක පමණ මුදලක් සොයා ගත් ගිහාන් වෙස්ටන් යුනියන් නම් මුදල් යවන සමාගමක  ආධාරයෙන් මොස්කව් වලට යැවීය. නමුත් ඉන්පසු ඔහු අත වැඩි මුදලක් ගැවසුණේද  නැත.

ඇය දැකීමට නම් ගෙන්වා ගැනීමට මුදල් යැවිය යුතුය. සෝවියට් දේශයට යාමට වීසා හදා  ගැනීමට ක්‍රමයක් නැත. එකම ක්‍රමය පශ්චාත් උපාධියක් කෙසේ හෝ හදාගෙන යාමය. මේ දෙකටම මුදල් අවශ්‍යය. නැත්නම් පරණ හැඳුනුම්කම් ඇති මොස්කව් නැවතී ව්‍යාපාර කරන සිසුන් සම්බන්ධ කර ගත යුතුය. ගිහාන් ට එයටද කැමැත්තක් නැත.

ඒ අතරේම සෝවියට් දේශයේ කුමන්ත්‍රණයක් ගැන කතාබහක්  ආරංචි විය. සියලුම සෝවියට් සමූහාණ්ඩු මධ්‍යම රජයෙන් ඉවත්වී ගොස්ය. ගොර්බචොව්  ගෙන් බලය අල්ලා ගැනීමට සෝවියට් කොමියුනිස්ට්  පක්ෂ මධ්‍යම කාරක  සභාවේ පිරිසක් උත්සාහ දරා ඇත. යෙල්ට්සින් ටැංකියක් උඩ නැග  කතා කරනු ගිහාන් රූපවාහිනියෙන් දුටුවේය. එම කුමන්ත්‍රණය පරාජය වී ඇත.

ප්‍රියාන් හා තවත් සිසුන් ගෙන් ඔහුට වැඩි විස්තර දැන ගැනීමට හැකිවිය. මිනිසුන්ට පඩි ගෙවන්නේ නැති බවට තාන්යා ලියා තිබූ දේවල් සත්‍ය බව ඔහුට  දැන ගන්නට ලැබුණි. කුඩා කඩ හා සාමාන්‍ය    ප්‍රමාණයේ ව්‍යාපාර බිහි වී ඇත . ඒවායේ සමුහ පාලනය ක්‍රිශා (වහල) නමින් රුසියානු භාෂාවෙන් හඳුන්වන මාෆියා කණ්ඩායම් වලිනි. ඔවුන්ට කප්පම් නොදුන්නොත් ව්‍යාපාර කල නොහැකිය. ඔවුන් මිනිසුන් මරා දැමීමට පවා එළඹෙන බව දැනගත්  ඉමහත් විස්සෝපයට  පත්විය. සෝවියට් දේශයේ තිබූ ආරක්‍ෂිත භාවට නැතිවී ඇත.

තව තවත් දිළිදු භාවයටත් රැකියා විරහිත භාවයටත්  ඇද දමන ලද රුසියානුන් ජාතිවාදී වී ඇති බවටත් ඇතැම් තැන්වල  විදේශිකයන්ට පහරදීම් කරන බවටත් ඔහුට ආරංචි විය.

ප්‍රියාන් සමග  කතා කරද්දී දැනගන්නට ලැබුනේ යෙල්ට්සින් ටැංකිය උඩ කතා කරන දවසේ ඔහුද ඒ අසල අර්බාත්සකයා වල සිටි බවයි. සෝවියට් හමුදා මොස්කව් නගරයේ රැස්ව  සිටි ජනතාවට විරුද්ධව අවි භාවිතා කිරීම ප්‍රතිකෙෂේප කළහ.

"  මේ රතු හමුදාව  ඇත්තටම දේශප්‍රේමී බං. එහෙම හිතුනෙම නැහැ ඉස්සර.ඒ කියන්නේ උන් ඉන්නේ ජනතාව පැත්තේ.  බලපං මුන් තමන්ගේ මිනිසුන්ට විරුද්ධව වෙඩි තියන එක ප්‍රතික්ෂේප  කලා. ගොර්බචොව් ගේ බලයත් ඉවරයි එතැනින්ම"

"දැන් මොකද වෙන්නේ "

"රූබල් එක තව බැහැල. එයාරෝෆ්ලොට් ටිකට්, ලන්ඩන් යන කෝච්චි ටිකට්  ගණන් ගිහින්. කෑම ගණන් ගිහින්. ආණ්ඩුවේ සුපර්මාකට්, ගොඩනැගිලි, පොඩි කම්හල් කුණු කොල්ලෙට විකුණනවා. සල්ලි තියෙන ඕන මාෆියා කාරයෙකුට, කේජිබී කාරයෙකුට , හොරෙකුට ගන්න පුළුවන්. යෙල්ට්සින් කාරයා හැම වෙලේම බීපු ගමන්. හොඳකට තියෙන්නේ රුස්සන්ට  දැන් ඕන දෙයක් කියන්න, ඕන කෙනෙකුට බනින්න නිදහස  තියෙනවා." ප්‍රියාන් කීවේ අවඥාවෙන් ද යන්න ඔහුට නොවැටහුණි.

නංගීගේ විවාහය හොඳින්  කිරීමට ගිහාන් සමත් විය.

අම්මාට හා නංගීට කොළඹ විශාල හෝටලයක අධික මුදලක් ගෙවා විවාහය ගැනීමට අවශ්‍යව තිබුණි. එයට ගිය වියදමද තවම ගෙවා අවසන් නැත. එය විකාර වියදමක් යැයි ඔහුට සිතුනද  ලංකාවේ කටයුතු කෙරෙනා අන්දමට හැඩ ගැසීම වැදගත් යයි සිතා නිහඬ විය. ඔහු කම්පාවට පත්වුණේ   ඔවුන්ට අයත් කුඩා ඉඩමක් ද විකිණීමට  සිදු වීමෙනි. කොළඹට එතරම් දුර නැති වුවත් තවමත් කුඹුරු හා තුරු වැල් පිරී ඇති  සුන්දර පෙදෙසක පිහිටි එම ඉඩමේ කෙසේ හෝ නිවසක් තනා ගෙන තාන්යා සමග ජිවත් වීමට ගිහාන් සිතා සිටියේය. ඒ අදහස නිකම්ම අත්  හැරීමට සිදුවිය .

ගිහාන්ගේ හිත රිදුනේ නංගි තාන්යා අමතක කිරීමට ගිහාන්ට කි වේලේය.
"අයියේ ඔය පිටරට සුදු ගෑණු විශ්වාස කරන්න බැහැ. අනික රුසියන් කෙල්ලෝ කිව්වහම මෙහෙ ප්‍රසිද්ධ මොනවටද? හෝටල් ගානේ ඉන්න අයටනේ. හේෂාන් නුත් කීව ඔය කතාව "

 "ඇයි හේෂාන් ගිහිල්ල පාවිච්චි කරලා තියනවද?හොයල බැලුවද ඔයාට බොරු කියල ගියාද කියල? ඇයි උන් විතරද වල්  කමේ යන්නේ, අනිත් රටවල ගෑණු යන්නේ නැත්ද?  මම දන්නා තරමට  රුසියාවේ හෙම හිටිය ලංකාවේ, ඉන්දියාවේ, අප්‍රිකාවේ සමහර  කෙල්ලන්ගේ  පට්ටන්දරේ දිග අරින්නද  "  ගිහාන් කඩා පැන්නේය.

"ඔය ඉතින් ඔයත් එක්ක කතා කරන්න  පුලුවන්ද? හොඳ අය ඇති . මම කියන්නේ ඔයාගේ හොඳට. මෙහෙ ගෙනල්ල ඔයාට ලෙහෙසි වෙන්නේ නැහැ. අම්මව තාත්තව  බලන්න වෙන්නේ මට විතරද. ඔයා එහෙ හිටිය කාලේ මම බැලුවේ. දැන් ඔයාගේ වාරේ."

"ආ ඒකද දැන් ඔයාගේ ප්‍රශ්නේ? දෙමාපියෝ ගැන මම බලා ගන්නම්. ඔයා ඉන්න කරදර නොවී. තාන්යා අම්ම තාත්තා ඔයාට වැඩිය හොඳට බලා ගනී"

"අනේ ඔයා  ඉන්නේ හීන ලෝකේ. අපි දන්නේ නැත්ද? ඒ ගෑණු කෙනා දැන් වෙන කවුරුහරි යාළු වෙලත් ඇති"

"පලයන් යන්න. උඹ දන්නේ මොනවාද මමයි තාන්යයි ගැන " ගිහාන් නංගිව එළවා ගත්තේය.

මව සිටියේ නංගීගේ පැත්තේ බව ඔහු දැන  සිටියේය.
පියානම් කතා කළේ වඩා අනුකම්පා පෙරදැරිවය. ඔහු මුලින් ආලය  කල ද්‍රවිඩ පෙම්වතිය සිහි වෙන්නටද ඇත.

"පුතා කැමතිනම් මගේ අමනාපයක් නැහැ. හිත ගිය තැන මාළිගාව කියනවනේ. පුතා ගේන ඕන දැරිවියක් මගේ දුවෙක්" තම පියාණන් දැඩිව වැළඳ ගැනීමට තරම් ස්නේහයක් ගිහාන්ගේ සිතේ පහලවිනි. එහෙත් තාන්යා ගේ පියා ඇලෙක්සෙයි වැළඳ ගත්තාක්  මෙන් හුරුවක්  ලංකාවේදී  පුරුදු නැත.

දොරේ සීනුව නොකඩවා නාදවිය. ඒ මදිවාට දොරට තඩි බාන හඬද ඇසුනි.

 "විශාඛා, මොකද මේ පොඩිත්තත් එක්කම "

විශාඛා පොඩි දරුවාද රැගෙන දොර අසලය. එදා හිත හදාගෙන ගියාට පසු ඇය දුටුවේ අදය.

පොඩිත්තා රැගෙන නිවස තුලට පැමිණි විශාඛා දරුවාට  සෙටිය උඩ හිඳ ගැනීමට සලසා ඇය රැගෙන ආ සෙල්ලම් භාණ්ඩ කිහිපයක් හා පාට කරන  පොතක් දරුවා අතට දුන්නාය.

නිවසේ තිබූ කුඩා කෑම මේසයේ පුටුවක් එලියට ගෙන පැත්තකින් මෙන් හිඳගත් ඈ තවමත් විමතියෙන් මෙන් දොර අසල සිටගෙන සිටි ගිහාන් දෙස බැලුවාය.

"මම පහුගිය දවස් කිහිපයම කල්පනා කලා ගිහාන් අයියේ. අම්මල ගාවට යනවද දරුවා එක්ක ඉන්නවද තනියම  කියල. කෝච්චියට  පනින්නත් හිතෙනවා වෙලාවකට. මං මෙහෙ ආවේ අයියේ ..." විශාඛා වාක්‍යය  අවසන් කිරීමට  තැතනුවාය.
ගිහාන් ඈ දෙස බලා සිටියේ තාන්යා පිලිබඳ කල්පනාවේ ගිලී සිටියදී හදිසියේ මෙන් පැමිණි විශාඛා නිසා තෝන්තු වී ගිය මනසින් යුතුවය.

"ඔයාට මං ගැන පොඩ්ඩක් හරි අදහසක් නැද්ද ගිහාන් අයියේ. මං දරුවත් අරන් ආවේ ඒකයි. මං හුඟක් අසරණයි.  මට යන්න  කියන්න එපා අයියේ එදා වගේ"

ඇයට කිව යුත්තේ  කුමක්ද යන්න ඔහුට එකවර සිතාගත නොහැකි විය.

"නංගි එහෙම කරන්න බැහැනේ අපි දෙන්නට. ඔයා තවම නිලන්ත බැඳලා ඉන්නේ. ඔයා  නීතියෙන් වෙන්වුනත් නිලන්තගෙන් මට..." ඔහු කීමට ගිය ඉතිරිය ගිල ගත්තේය.
  " නිලන්තට  එදා තරහට ගියාට ආපහු එයි. ඒ දෙන්නම ඕස්ට්‍රේලියාවේ ඉඳන් නැවකට යන්න පැපුවා යනවා කීවට ගිහින් නැහැ.  මම දන්නවනේ මගේ යාලුව ගැන. නංගි මම කතා කරන්නම් එයාට. "

"අයියේ, ඒ දීගේ හරියන එකක් නැහැ. ඔයා නොදන්නා  ගොඩක් දේ තියනවා. මට ඔයා ඇරෙන්න යන්න  වෙන තැනකුත් නැහැ වගේ අයියේ.  ඔයා මාත් එක්ක තවම තරහද මම නිලන්තව බැන්දට. ඔයා රුසියානු ගෑණු ළමයෙක් එක්ක යාළුවෙලා කියල දැන ගත්තට පස්සෙයි මම නිලන්තට කැමැති වුනේ. එයා ඔයාගෙත් හොඳම යාලුවා නිසා. අනික නිලන්ත  ඒ කාලේ ඉඳන්ම  මට කැමැත්තෙන් හිටියේ කියල මම දන්නවා. "

"නංගි  මමම තමයි නිලන්තට කිව්වේ  තාන්යා ගැන ඔයාට කිව්වට කමක් නැහැ කියල. ඔයා නිරපරාදේ මං ගැන බලාපොරොත්තු තියන් එහෙම ඉන්නවද කියල නොදැන හිටි නිසා "

"නොදැන හිටියා කියන්නේ අයියේ. අනේ ඔයාට එච්චරටම  මාව අමතක වුනාද? අපි ගඟ අද්දර බලන්න ගියා මතකද ඔයාට? ඔයා ඒ  ෆිල්ම් එකේ සින්දු ලස්සනට කියනව මට තවම මතකයි. පහුගිය දවස්වල මට ඒ හැමදෙයක්ම මතක් වුනා?"

"ගඟ අද්දර බලන්න ගියා කියල මට මතකයි. අපි දෙන්න විතරක් නෙමේ නේද ගියේ "

"බේරේ වැවේ තියන සීමා මාලකෙට ගිහින් මල් පූජා කරනවා මතකද ඔයාට. පාරේ ඉඳන් එතන ඇතුලට යනකොට තමයි ඔයා මට  නිලන්තයි අනිත් යාළුවොයි අඳුන්වල දුන්නේ. අපි හුඟක් දවස් වල එතනට ගියා? දවසක් , ඩුප්ලිකේෂන් පාරේ  කොල්ලුපිටියට ගිහින් අර මග පාරකින් මල් පාරට ඇවිල්ල අපහු හිටපු තැනටම ආවේ.  අපි කොච්චර  ඔහේ ඇවිද්ද ද? ඔයා ඒ පාරවල් හොඳට දන්නවා."
විශාඛා ඔහු දෙස බල මද සිනහවක් පෑවාය.

"හයියෝ ඉතින් මේ ඒලෙවල් කරන කාලේ අපි හැම වෙලේම තනියම ගියාද? යාළුවොත් එක්කමනේ වැඩි හරියක් ගියේ. විශාඛා අපි දෙන්න කවදාවත් ආදරෙයි කියල තියෙනවද? අපි එක පාරක් පබ්ලික් ලයිබ්‍රරියේ පාඩම් කරද්දී මම ඔයාගෙන් ඇහුවේ එළියේ ඇවිදින්න යමුද කියල? ඔයාමනේ හෙන රැවිල්ලක් දාල ගස්සල පොත දිහා බලන් හිටියේ. අපි අතරේ සෙනෙහසක් වගේ දෙයක් තිබ්බ තමා. ඒත්  දැන් ඔයා නිලන්තව බැඳලත්  අවුරුදු කීයක්ද නංගි ? "

"අනේ ඉතින්" විශාඛා හඬන්නට ගත්තාය .

"මම ඉස්කෝලේ ඇරිලා බඩගින්නේ ඉන්නවා බස් යද්දී නගින්නේ නැතිව. ඔයා එන බස් එක එනකන්. ආදරේ කියල කියන්නම ඕනෙද? ඔයාට තේරුනේ නැත්ද? ඔයා හරිම කුරිරු මනුස්සයෙක් වෙලා . තාන්යා තමා ඔයාව  කුරිරු කරලා තියෙන්නේ. නිලන්ත මාව දාල ගියාට පස්සේ මට ඔයා ගැනමයි හිතුනේ. මට හිතුනෙම  ඔයා එනකන් හිටියේ නැති නිසා මට මේ දඬුවම ලැබුන කියල. " විශාඛා නැවතත් හඬන්නට පටන් ගත්තාය.

"විශාඛා, අපි එකට ඇවිද්ද, කෑව බීව, යාළුවෝ එක්ක එකම එක විනෝද ගමනක් ගියා. ඒත් අම්මලත් ගියා ඒවාට.  මට ඔයා ගැන හැඟීමක් තිබ්බේ නැහැ කියලම  මට කියන්න අමාරුයි. මම සෝවියට් යන දවසේ ඔයා මගේ ටයි එක හැදුව මතකද? ඒවා මට තියෙන ලස්සන මතක ඔයා ගැන. ඒත් නංගි වෙලාවකට මට හිතෙනවා මගේ නංගිට වගේම ආදරයක් එතන තිබ්බේ කියල. ඒක එතනින් එහාට ගියේ නැහැ. "

ගිහාන් විශාඛා ඉදිරියෙන් වූ පුටුවේ හිඳ ගත්තේය.
මවගේ හැඬිම දුටු කුඩා දරුවා පැමිණ විශාඛා ගේ උකුල ලඟින් හේත්තු වූවේය. දරුවා වඩා ගත්  විශාඛා ගවුමේ කොනකින් කඳුළු පිසදා ගත්තාය. සෙටියේ කොනක හිඳගත් ඈ දරුවා තමන්ට තුරුළු කරගත්තාය.

"පුතාට නිදි මතයි වගේ. රෑ වුනානේ. "

"ඔයා පුතාව ගිහින් අනික් කාමරේ ඇඳේ තියන්න. කිරි එක තියනවද මම රත් කරන් එන්න"
"බෑග් එකේ " කියූ විශාඛා දරුවා රැගෙන කාමරයට වැදුනාය.
මද පමණට රත් කළ කිරි බෝතලයට දමා විශාඛා ට දුන් ගිහාන් දොර අසල බලා සිටියේ ඇතුළට නොයාය.

මද වෙලාවකින් කුඩා දරුවා නින්දට ගියේය. ගිහාන් සෙටියේ වාඩිවී  සිටියදී විශාඛා විසිත්ත කාමරයට ඇතුළුවන හරියේ ඇති බිත්තියට වාරු දී සිට ගත්තාය.

"ඉඳගන්න මෙතැනින්" ගිහාන් ඇයට පැවසීය.

"තාන්යා එක්ක මගේ සම්බන්ධය  අර කුමරි පත්තරේයන පුංචි ආදර කතා වගේ එකක්ම නෙමෙයි. ඔයා ඒවාට ආසයිනේ "

"ඔයාට ඒවත් මතකද "

"තාන්යා මුණ ගැසුන දවසේ ඉඳන් ඒ සම්බන්ධය පටන් ගැනුණේ  ශාරීරික ආකර්ෂණයකින්  වෙන්න පුළුවන්. නමුත් ඒක අපි ඔය  පොත්වල කියවල තියනවා වගේ හිතේ ගැඹුරුම  තැනින් පටන් ගත්ත ක්‍රමයෙන් වැඩිවෙලා මුල් බැස ගත්ත ආදරයක් . හිතින් ගතින් දෙකින්ම. ඔයා මට සමාවෙන්න දහස් වාරයක් මෙහෙම කියනවට.  ඔය කවියෝ, ප්‍රේම කතා ලියන නවකතා කාරයෝ කියන ප්‍රථම ප්‍රේමය කියා එකක් තියනවානම් , මුළු හදින්ම පෙම් කරපු ප්‍රථම ප්‍රේමයක් තියනවා නම් මට ඒ තාන්යා එක්ක. මට එයාව අමතක කරන්න  බැහැ.  මට  සමාවෙන්න හොඳ නංගි වගේ."

විශාඛාගේ සිහින් කෙඳිරියක් සවනට වැකෙන සේ  ඉකියක් ගැසුවාය .

"මම පොඩි එකත් අරන් යනවා අම්මලාගේ ගෙදර. ඒ මිනිසුන්ගේ හිත රිදවන්න බැරි නිසා මෙපමණ දවසක් හිත හිත හිටියේ. ගිහාන් අයියේ මට සමාවෙන්න ඔයාට කරදරයක් කෙරුවට "

"ඔයා කොහෙවත් යන්න ඕනේ නැහැ විශා. මම තනියම  මෙහෙ ඉන්නේ. තව කාමරේකුත් තියනවා. ඔයාගේ අම්මලට මුකුත් කියන්නේ නැතිව ඉමු. අපි නිලන්තට කතා කරමු. අපිට මේක විසඳ ගන්න පුළුවන්"

"අනේ අයියේ, මට එයට ආයි කතා කරන්න  කියන්න එපා. ඔයා   දන්නේ  නැහැ මට වෙලා තියන දේවල්. " විශාඛා නැවතත් මහා හඬින් හඬන්නට පටන් ගත්තාය.

විශාඛා හා නිලන්තගේ පොඩි පුතු නැගිට කාමරයේ දොර අසල සිට තම මව දෙස බලා සිටිනු ගිහාන් දුටුවේය.

"යමු පුතා දොයියන්න " ඔහු දරුවා වඩාගෙන ගොස් ඇඳෙහි තබා ඔහුගේ අතකින්  අල්ලාගෙන නළල හා හිස සෙමින් පිරි මැද්දේය. පොඩි එක  ටිකකින් යලිත් නින්දට වැටුණි.

සෙටියේ කොනක ඈඳීගෙන සිටි විශාඛා හැඬිම නවතා ජනේලයෙන් එපිට බලා සිටියේ හැඟීම් විරහිත වූ හිස් බැල්මකිනි.

ගිහාන් සීනි යහමින් දමා  තේ දෙකක් සදා එකක් විශාඛා ගේ අතට දුන්නේය.

"නංගි මට මොකද වුනේ කියන්න. ඔය දෙන්නට. ඔයාලගේ රණ්ඩුවයි  නිලන්තට වෙන ගෑණු එක්ක නිදා ගත්ත කියල ඔයාට ආපු නිර්නාමික ලියුනුයි ඔයා එයාට කෑ ගහපු ඒවායි ඇරුණහම මොකක්ද? බටහිර රටවල කවුන්සලින් කියල එකක් තියනවා. ඒ කියන්නේ විවාහක යුවල ගිහින් මනෝ උපදේශකයෙක් ගාව කතා කරන එක. ඒ ගොල්ලන්ගේ උපදෙස්නුත් අරගෙන විවාහය බේරා ගන්න පුලුවන්ද කියල උත්සාහ කරන එක. මෙහෙ මම දන්නේ නැහැ තවම එහෙම තියනවද කියල. නමුත් අපිට කතා කරලා විසඳ ගන්න  පුළුවන් දෙයක්......."

විශාඛා ඔහුට වාක්‍යය අවසන් කිරීමට ඉඩක් නොතබා කතා කළාය.

"අයියේ ඔයාට මට මේවා කොහොම කියන්නද කියල තේරෙන්නේ නැහැ. කාටවත් නොකියපු දේවල් තියනවා අයියේ. " විශාඛා අගේ මුහුණ දෝතින්  වසාගෙන ඉකි බිඳින්නට ගත්තාය.

ගිහාන්  ඇගේ උරහිස සෙමින් පිරි මැද්දේය.

"නංගි, ඔය මගේම සහෝදරියක් වගේ. නිලන්ත මගේ හොඳම යාළුවා. මගේ සහෝදරයා ඌ. අපි දෙන්න අතරේ පොඩි හරි ඇඟැලුම් කමක් තිබුනනේ. ඔයාට මට නොකියා ඉන්න පුළුවන්  දෙයක් නැහැ කියල හිතන්න."

විශාඛා අපහසුවෙන් හිස එසවූවාය. හැඬිම නිසා ඇගේ දෙඇස් රතුවී ඉදිමි කොණ්ඩය අවුල්වී තිබුණි.

"මම මූණ  හෝදගෙන එන්නම් අයියේ "

~~~~~~~මතු සම්බන්ධයි

Saturday 8 September 2018

ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ (41) -පද් මොස්කව්නියේ වේචෙරා

රුස්සන්ගේ ඝෝෂාව සෙමින් මැකී ගියේය. කාමරය පුරාවට ඇසුණු සංගීතය මැද ගිහාන්  තම පෙම්වතිය දෙස සෙනෙහසින් බලා සිටියේය. ඇය ඔහුට අත දිගු කර ළඟට එන ලෙස සන් කලාය.

"තානිච්කා, දුක හිතෙන්න ඕන දවසක මට හරි සතුටුයි. නමුත් ලේනා, ඕල්යා, ඉන්ගා ඔක්කොම එකතුවෙලා අපි දෙන්නව බන්දපු එක  විහිළුවට හරි.   ඒක හරිම ආදරණීයයි. "

"මට කිව්වෙත් නැහැ ඔහොම කරනව කියල. මම කාමරේ ඉල්ලුව විතරයි. මටත් සතුටුයි ගිහන්චික් මොයි" ගිහන්චික් ආදරයට ගිහාන් නම වෙනස් කර කියුමකි. මොයි යනු "මගේ" යන අරුත දෙයි.

"තාන්යා, එදා ඔයා කීව  එක හරි. මම ගොඩක් කල්පනා කලා ඒ ගැන. ඔයාට ඕනේ නම් අපි දරුවෙක් ...."

"ෂ් ෂ්" ඇය ඔහුගේ දෙතොලට ඇඟිල්ල තැබුවාය.

"ගිහාන්චික්, නැහැ අවශ්‍ය නැහැ. ලේනා කීවෙත් ඔයා කීව දේ. මගේ හැඟීම් වලින් අනාගතේ තීරණය කරන්න එපා කියල. අපි අද සතුටින් ඉඳිමු ඉතිරි පැය කීපයයි නේ තියෙන්නේ. පවුලක් හදන්න  පුළුවන් පස්සේ"

"මම හෙට ගියත් ඔයාව එහෙම අමතක කරන්න බැහැ. මම හිතන් හිටියේ මම ලංකාවේ දැන හඳුනාගෙන හිටපු විශාඛා මම මුලින්ම ආදරය කළ කෙනා කියල. නමුත් දැන් හිතෙනවා එයා ගැන මට තිබ්බේ නිකම් ආදරණීය  හැඟීමක් වගේ එකක් කියල . අපේ රටේ විධිහට වැඩිමහල් සහෝදරයා හා බාල  සහෝදරිය වගේ අපි දෙන්න කතා කළේ . ඒ ඇමතුමට කියන්නේ අයියා හා නංගී කියල."

" ඒ කියන්නේ සහෝදර සහෝදරියෝ  අතරේ තියන ලෙන්ගතුකම , මායි ලේනයි අතරේ වගේ. මම ලේනට හුඟක් ආදරෙයි. මගේ එකම සහෝදරී. ඔයත් ඒ වගේ එයාට ආදරේද? එහෙනම් ඒක ගැඹුරු එකක්නේ "

"නැහැ එහෙමත් නැහැ.අපි දෙන්න ඥාතීන් නෙමේනේ. ඒක මට පැහැදිලි කරන්න අමාරුයි. නමුත් මම ඇත්තටම හිතින්, ගතින්, හදවතින් කොටින්ම මුළුමනින් ම මම  ආදරේ කරන්නේ ඔයාට." ඔහු ඇයගේ මුහුණ දෝතට ගෙන සිප ගත්තේය.

"ඔයාට මතකද අපි අර මොස්ක්වා ස්ල්යෝසම් නි වේරිත් චිත්‍රපටය බලන්න ගියා. සෝකල්  පැත්තේ සිනමා ශාලාවක. ඔයාගේ යාළුවොත් හිටිය නේද.   එතැන පොඩි වැවක් තිබ්බ නේද? ඔයා  ලිස්සල වැටුනේ අයිස් මිදුන පඩි පෙලේ. මම ඔයාව අල්ලන්න ගියහම මාත් වැටුනා. මම තී උපාලි දා කියල ඇහුවම ඔය කිව්වා නෑ මම ගිහාන් කියල " තාන්යා පරණ සිද්ධියක මතකයකින් සිනා සුනාය.

" ඔයා ඔහොම හිනාවෙලා ඉන්න එක මගේ හිතට සහනයක්. ඔයාව දාල තාවකාලිකව හරි යන්න වෙන එක ගැන හුඟක් හිතේ බරකින් මම ඉන්නේ. "

මොස්ක්වා ස්ල්යෝසම් නි වේරිත් යනු මොස්කව් කඳුළු මත රඳන්නේ නැත (moscow does not believe in tears ) යනුවෙන් හැඳින්වෙන ජනප්‍රිය චිත්‍රපටයකි. කෘර පෙම්වතෙකු විසින් දරුවකුද ලබා දී අතරමන් කරන ලද තරුණියක් ස්වෝත්සාහයෙන් උගෙන , අමාරුවෙන් දරුවා ද හදා වඩාගෙන, උපාධිය සීරුවෙන් අවසන් කර පසුව කම්හලක අධ්‍යක්ෂිකාවක වෙයි. එසේ  සිටියදී කෘර පෙම්වතා ඇයත් ඇගේ නව පෙම්වතාත් අතරට නැවත පිවිසෙයි. කතාව සතුටුදායක ලෙස අවසන් වේ. හොඳම විදේශ චිත්‍රපටයට හිමි ඇකඩමි සම්මානය 1981 දී ලැබුණි.

 "උපාලි" යනු රුසියානු භාෂාවෙන් වැටුනා යන තේරුම දෙයි. "තී උපාලි දා" යනුවෙන් තාන්යා එදා ඇසුවේ "උඹ වැටුනා නේද" කියාය. ගිහාන් එය විහිළුවකට ගෙන "උඹ උපාලි ද " යන අරුතින් ගෙන නැහැ මගේ නම ගිහාන්  යයි කීවේය.  

"මතකද අපි ප්‍රියානුයි  නතාෂායි හිටි අර්බාත්ස්කයා තට්ටු නිවසේ ඉඳල මොස්කව් ගඟ ගාවට ඇවිත් පැයක් විතර ගඟ දිගේ ඇවිද්ද හවස. ඔයා  කකුල් රිදෙනවා කියල බොරුවට රණ්ඩු කලා. ඒත් ඇවිද්දනේ මා එක්ක."
"ඉතින් රුෂ්කයා නබෙරෙශ්නයා එනකන්ද කොහෙද ඇවිද්දනේ. ඔයාට ඇවිදලා පුරුදුයිනේ. ඊට පස්සේ සර්යද්යේ උද්‍යානයට ගිහින් ඉඳගෙන ඉඳල අයිස්ක්‍රීම් කෑවේ." 
නබෙර්ශ්නයා යනු ගඟ අසබඩ යන අරුත දෙන්නකි. අර්බත්ස්කයා , බරෝවිත්ස්කයා පෙදෙස් පසු කර  ගඟ දිගේ බල්ශෝයි (මහා) උස්තින්ස්කි පාලම අසලට ගොස් පාලමින් ගඟ තරණය කර සර්යද්යේ උද්‍යානයට ගඟ අනිත් පැත්තෙන් පැමිණිය හැකිය. 

  "මට ඒ ගමන් කවදාවත් අමතක වෙන්නේ නැහැ. මතකද ගෝර්කි ලෙනින්ස්කියේ  ගියා.  ඒ මුළු පැත්තේම අපි ඇවිද්දේ කෞතුකගාරේටත් ගිහිල්ල. අර මහා පාර දෙපැත්තේ  ගස් වල කොළ එක එක පාට. වැඩිපුරම ලා  රත් පාට යි , කහ පාටයි නිකන් සිතුවමක් වගේ. පුදුම ලස්සනයි. ඔයා මාව ගහකට හේත්තු කරන් සිප ගත්තා කවුරුත් නැති වෙනකන් ඉඳල. " තාන්යා ඔහුට තුරුළු වුනේ අතීත මතකයක ස්නේහය  විඳිමිනි.
"මට මතකයි හොඳටම ඒක" ඔහු ඇගේ රතුවූ දෙතොල් නැවත නැවතත් සිප ගත්තේය.

"අර ඔයාගේ යාළුවෙක් හමුවුනා මතකද මගදී කෙට්ටුම කෙට්ටුයි, එක පාරයි හමු වුනේ ඒත් මට ඒ මුහුණ හරියට මතකයි මූණ පුරාම රැවුල වවාගෙන කොණ්ඩේ අවුල් වෙලා ටෝල්ස්ටෝයි වගේ,  හැබැයි ලස්සන කෙල්ලෝ දෙන්නෙක් දෙපැත්තෙන් අල්ලාගෙන ගියේ. ඔයා දර්ශනවාදියා කියල කිව්වේ. එයා කිව්ව නේද සතුටු වෙන්නද මොකක්ද එකක් ?"

 "හා ඔව්. ප්‍රශාන්  නේ. ජීවිතය විඳිනවද බං කියල මගෙන් ඇහුවා.  මම කිව්වා මම එක පැත්තකින් විතරයි. උඹ දෙපැත්තෙන්ම විඳිනවා කියල."
ඒ කතාව මතක් වී ගිහාන්ට මහා සිනාවක් ගියේය.

"එයා කියන්නෙත්  ගොර්බචොව්  මේ ක්‍රමය නැති කරලා දානව නම් හොඳයි එයාට එපා වෙලා කියල. ප්‍රියාන්ල කියන්නෙත් ඒකමයි. මට තේරෙන්නේ නැත්තෙත් ඒකමයි. එයා ගියා ලංකාවට ඉවර කරලා. "

" මේ ක්‍රමය තමයි අපි දන්නේ. මට ඒක දැනට හොඳයි අපි දෙන්නට ඉන්න දෙනවා නම් සතුටින්. එහෙම දෙන්න  දෙන්න සතුටින් හොඳට  හිටියොත් ඔක්කොම වගේ හොඳින් ඉඳී  නේද? මගේ අම්මයි තාත්තයි සතුටින් ඉන්නේ. එයා ආයේ හම්බවුනොත් ඔයා කියනවද ජීවිතය වින්ද කියල."

"එහෙම වෙනවා නම් හොඳයි. ඒත් අපි දෙන්න ගැන විතරක් අපි හිතුවට ලෝකේ වෙනස් වෙන විධිහට අපිට හැඩ ගැහෙන්න වෙනවනේ. එතන තමා අමාරු. ඔයත් එක්ක මේ ගත කරපු ජිවිතේ මගේ කෙටි ජිවිතයේ හොඳම දවස් තාන්යා. ඉගෙනීම කරන්න විතරක් හිතන් හිටිය මට ජිවිතේ මෙපමණ  සුන්දර දෙයක් කියල වැටහෙන්න ගත්තේ ඔයා හමු වුනාට පස්සේ "

ඒ අවස්ථාවේ ඉදිරියේ සිදුවීමට නියමිත   භුමි කම්පාවක් වැනිවූ මහා දේශපාලන වෙනස්කම් පිළිබඳව ඔවුන් දැන සිටියේ නැත. ඔවුන් දන්නා , ජිවත් වූ සෝවියට් දේශය නමැති  මහා දේශය බිඳ වැටී කැබැලි වලට කැඩී යාමට නියමිත බව කෙසේ සිතන්නද? දේශපාලනය හෝ එදිනෙදා සිදුවන සිද්ධීන් ගැන වැඩි අවධානයක් නොදී, එතරම්   බරක් පතලක් නොමැතිව  ඉගෙනීම, ප්‍රේමය හා  එකට බැඳුණු තරුණ දිවියේ කිසියම් සන්ධිස්ථානයකට එළඹුණු ඒ වැනි මොහොතක  දේශපාලන පෙරලියක් විසින් තමන්ගේ ජීවිත බරපතල වෙනස්කම්වලට භාජනය කරනු ඇතැයි කිසිවෙකුට සිතෙවිද? කොතරම් අවට ලෝකයට නිරාවරණය නොවී දිවි ගෙවීමට තැත් කළද ඕනෑම මොහොතක සිදුවිය හැකි  ප්‍රබල දේශපාලන පෙරළියක, ආර්ථික කම්පනයක දැඩි  තිගැස්මක් හැමෝටම අනිවාර්යයෙන්ම ලැබේ. එයින් වියුක්තව ජිවත් වීමට නම් නගරයෙන් හා ගමින්  බැහැරව හුදෙකලාව වනයක ජිවත් විය යුතුය.

පෙම්වතුන් දෙදෙනාටද එවැනි කිසිදු දෙයක හැඟවීමක් තිබුනේ නැත.       

ඔහුගේ දණහිස් තුල හිස රඳවා ගෙන සිටි තාන්යා ඔහුගේ ඉළයට අතක් තබා බර කරමින් හීන් සීරුවේ  ඇඳෙන් නැගිට ගොස් ගී තැටිය මාරු කළාය.

"ඔයා අහන්න කැමති ගීතයක් තියෙනව. මේ හැන්දෑව  වෙනුවෙන්".

තැටියෙන් වාදනය වූයේ ගිහාන් නිතර ඇසීමට කැමැති රුසියානු ගීතයකි. ඇත්තටම එය කිසියම් අයෙකු සුන්දර නගරයක් වූ මොස්කව් ජීවත්වී හැරගිය අයෙකුට ඇතිවන  නොස්ටල්ගියාව, සංකාව  විස්තර කෙරෙමින් ගයන ගීයකි. ඉතා ප්‍රසිද්ධ ස්වර රචනයක් වන එය "පද් මොස්කව්නියේ වේචෙරා " හෙවත් මොස්කව් අසබඩ සන්ධ්‍යාවක් නමින් හැඳින්වේ.
   ගිහාන් කැමති සෝවියට් රතු හමුදා වාද්‍ය  ඛණ්ඩයක් විසින් සාමූහිකව ගයන ගීතයට බව තාන්යා දැන සිටියාය.

සෙමින් ඇඳ වෙත පැමිණි ඇය හෙමින් ඔහුගේ උකුලට හිස තබා  ගිහාන්ගේ සිරුරට තුරුළුව ඇඳේ ගුලි ගැහුනාය. මෙවැනි සැඳෑවන්, රාත්‍රීන් කොපමණක් ගත වෙන්නට ඇත්ද? මින්පසු කිලෝමීටර හය දහසක් පමණ ඈත සිට සිතින් පමණක් හමුවිය යුතුය.

ඇය සිහින් හඬින් පද් මොස්කව්නියේ වේචෙරා ගයන්නට පටන් ගත්තාය. ගිහාන් මද වේලාවකින් ඇයට එක්වුනේය. ඒ මොහොත එකතකට අතිශය හැඟුම්බර එකක්ද මේ රැයෙන් පසු  මුහුණ දීමට සිදුවන යථාර්තයට  පෙළ ගැසීමක් ද  විය.

"කෙඳුරුමක් වත් නෑසෙන ගෙඋයන් කොනේ
සැම දෙයක්ම මියගිහින් ය උදෑසන එළඹෙන තුරු
ඔබට වැටහේ නම් කොතරම් දයාබරද මට
මේ මොස්කව්හි  සන්ධ්‍යාවන් ,

නදිය විටෙකදී ගලා යයි විටෙකදී නිසලය
හැමෙකක්ම රිදී සඳ රැස් හි ගිලී
ගීතයක්  ඇසෙයි නෑසී යයි
මේ නිහඬ සන්ධ්‍යාවන්හි,"

තෙවෙනි පද පේලිය තාන්යා ගයන්නේ බිඳුණු හඬින් බව ගිහාන්ට වැටහිණි.

"ඇයි මගේ දයාබරිය සැකයෙන් බලන්නේ
ඔබේ හිස නැඹුරු කරගෙන
ඉතා අපහසුයි මට පවසන්නත් , එළෙසම අපහසුයි සඟවාගන්නත්
මගේ හදවතේ ඇති සැම දෙයක්ම"

නිල් පාට රවුම් ඇස්  ලොකු කරමින් ඇය හිස ඔසවා ඔහු දෙස බැලුවාය. ඇගේ දෑස කඳුලින් පිරි තිබුනි. ඇයට අවසන් පද ගීතයත් සමග ගයන්නට නොහැක. තාන්යා සිටියේ ඒ තරමටම හැඟීම්බරවය.

ගිහාන් අවසාන පද පේලිය ගැයුවේ උස්  හඬිනි.
"මා පිරිමියෙකි. ඇය ඉදිරියේ හඬන්නට මට නොහැකිය. ඉන් වන්නේ දුක වැඩිවීම පමණකි." ඔහුට සිතුනි.

"හිමිදිරිය උදාවේ,  එළිය වැටීගෙන එයි
එනිසා, කරුණාව පාන්න දයාවී
අමතක නොකරන්න නුඹ, මේ ගිම්හානයේ
මොස්කව් අසබඩ   සන්ධ්‍යාවන්"

ඔහු ගේ අවසන් දහිරිය ද සිඳී යාමට ඉඩ නොදී ඔහු ඇය වැරෙන්  සිප ගත්තේය.

ඇත්තටම සාදය බොහෝ වෙලාවක් ඇදී ගිය නිසා ඒ  රාත්‍රිය ඉක්මනින්ම අවසන්ව යමින් පැවතුනි. අරුණ නැගී ගෙන එයි. සතුට මෙන්ම ශෝකයද පෙම්වතුන් ගේ එක්වීමට උත්තේජනයන්  සපයයි. ඉතා සෙමින් ඇගේ සිරුර පිරි මදිමින් ඔහුත්, ඔහු  පුරාවට සිප ගනිමින් ඇයත් එකිනෙකාගේ ශෝකය නිවාලන්නට තැත් දැරූහ.



නිදා නොනිඳා ඒ රාත්‍රිය අවසන් වූයේ එලෙසය.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~


~ මතු සම්බන්ධයි

කතෘ සටහන: පද් මොස්කව්නියේ වේචෙරා මුල් ගීතය ගයන්නේ ව්ලදිමීර් ට්‍රොචින් ය.
මේ ඇත්තේ සෝවියට් රතු හමුදා වාද්‍ය කණ්ඩායම ගයන විලාසයකි.


Tuesday 4 September 2018

කිනෝ ප්‍රාව්දා හා පාරාදීසයේ අමනුෂ්‍යයෝ

කිනෝ ප්‍රාව්දා යනු කුමක්දැයි බොහෝ අය නොදන්නවා විය හැක. එහෙත් ඩොකියුමෙන්ටරි සිනෙමා හෝ වාර්තා චිත්‍රපට කිවහොත් ඒ කුමක්දැයි දන්නවා  නිසැකය. බොහෝවිට මෙවැනි වාර්තා චිත්‍රපට බොහෝ දෙනා නොබලන නීරස චිත්‍රපට වර්ගයක් ලෙස හඳුනා ගනු ඇත.
කිනෝ යනුවෙන් රුසියානු භෂාවෙන් සිනමාව  යන අරුත දෙයි. ප්‍රාව්දා යනු "සත්‍යය" ය.   එනම් "සත්‍ය සිනමාවයි."
කිනෝ ප්‍රාව්දා 

සෑම සිනමා කෘතියක් ගැනම සඳහනක් ඇති IMDB වෙබ් අඩවියේ කිනෝ ප්‍රාව්දා 1 ගැන මෙවැනි සඳහනක් තිබේ.
"මේ වනාහී ජීගා වෙර්තෝව්  ගේ නිව්ස්රීල්  සිනමා ගොන්නකි. (මුළු ගණන 23 කි) එලිසවෙතා ස්විලොවා හා මිහයිල් කෞෆ්මන් ගේ සහය අධ්‍යක්ෂණයෙන් 1920 මුල් ගණන්වල රුසියානු ජිවිතය පිලිබඳ වාර්තා චිත්‍රපට සමූහයක් වන මේවා නිපදවූයේ ජනතාවට සත්‍යය පැවසීමටය."  සත්‍ය සිනමාව නමින් හැඳින්වූයේ එබැවිනි. ලෝකයේ මුල්ම වාර්තා චිත්‍රපට හෙවත් documentary films ගණයට  වැටෙන්නේ මේවාය. මෙහි අංක දහසය සෙර්ගේයි අයිෂන්ටයින් නමැති ශ්‍රේෂ්ඨ සෝවියට් සිනමාකරුගේ "ග්ලුමොවා ගේ දිනපොත" චිත්‍රපටයයි. වෙර්ටෝව් "ප්‍රොලෙට්කුල්ත් හි වසන්තයේ මද සිනා" නමින් ඔහුගේ සත්‍ය සිනමාවක්  හෙවත් වාර්තා චිත්‍රපටයක් ද මෙහි ඇතුලත් කළේය. මට මතක විධිහට ප්‍රොලෙට්කුල්ත් යනු ප්‍රොලිතාර්ස්කයා කුල්තුරා හෙවත් නිර්ධන පන්ති සංස්කෘතිය යන්නෙන් බිඳී ආවකි.   ඩොකියුමෙන්ටරි නමින් මේ ශානරය හැඳින්වෙන්නේ 1926  වැනි කාලයක සිටය.

 මේ ගැන තව දුරටත් ලිවිය හැකි මුත් මා ලියන්නට යන්නේ වෙනත් වාර්තා චිත්‍රපටයක් ගැනය. ඒ ජූඩ් රත්නම් ගේ "පාරාදීසයේ අමනුෂ්‍යයන් -demons in paradise  " වාර්තා චිත්‍රපටය ගැනයි. ජූඩ් රත්නම් ඔහුගේ සිනමා වාර්තාව මගින් "සත්‍යය" පවසන්නට තැත් කරයි. ඔහු සත්‍යය දකින්නේ ඔහුගේ ඇසිනි.  මා කිනෝ ප්‍රාව්දා ගැන කීවේ එබැවිනි. බටහිර ඇසින් සෝවියට් දේශය දෙස බලා පවසන සත්‍යය සෝවියට් ඇසින් බලා පවසන සත්‍යයට වෙනස් වීම මේ සත්‍යයේ සිනමාව නිර්මාණය වීමට හේතුවක් වන්නට ඇත.

 මුලින්ම ජූඩ් පවසන්නට යත්න දරන සත්‍යය කුමක්දැයි විමසා බලමු.

ජන වාර්ගික අරගලය උත්සන්න වූ 1983න් ඔහුගේ "කථාව" ඇරඹෙයි. ජූඩ් ගේ මාමා ජිවත් වන්නේ කැනඩාවේ ය. ඔහු කැනඩාවේ සිට  ලංකාවට පැමිණෙන්නේ  රාජපක්ෂ රජය විසින් ජන වාර්ගික යුද්ධය අවසන් කළ පසුය. මේ යුද්ධය කෙසේ හෝ අවසන් කළේ නැත්නම් ජූඩ් ගේ මාමා ලංකාවට එන්නේ නැති බවට ඉඟියක් මුලින්ම ලැබේ.

1983 කළු ජූලියේදී මාමා ගේ පවුල ජාතිවාදී භ්‍රෂ්ඨයන් ගෙන බේරාගෙන තිබෙන්නේ විජය නම් සිංහල  වඩු මහතෙකුගේ පවුලකි. ඔවුන් මේ දෙමළ පවුල සඟවා තබාගෙන ඔවුන් මරන්නට ආ ජාතිවාදීන් එළවන්නේ තමන්ගේ දිවි  පරදුවට තබාය . ඉතින් රත්නම් ගේ  මේ දෙමළ මාමා  තම පවුල බේරා ගත් ඒ සිංහල පවුල හමුවී හැඟීම් බරව කඳුලක් සලයි. (එම අවස්ථාව මේ කොටසින් නැරඹිය  හැකිය). එම පවුල බේරාගත් පවුලේ වැඩිමහල් සිංහල කාන්තාව  ඔහුට "පුතේ" කියා අමතයි. "අපි උඹලව බේරා ගත්ත පුතේ. පුතා ආව අපි බලන්න" ඇය ඉතා හැඟීම්බරව පවසයි. නෙතට  කඳුළු උනන මේ දර්ශන  පෙළ වාර්තා සිනමාවකට වඩා සුදුසු  ආත්ම කථනයක් ලෙසටය.

ඉතින් සිංහලයන් කොපමණ දේපල ගිනි තිබ්බත්, යාපනය පුස්තකාලය ගිනි තබා විනාශ කළත්, 1958 තරම් ඈත කාලයක සිට 1983 දක්වා දෙමළුන්ට සබ්බුව දුන්නත්, අන්තිමේදී එක තැනකට ගාල් කර බෝම්බ වරුසා වස්සවා දණ ගස්වා අභයදානය ඉල්වන්නට සැලැස්වුවත් හොඳ සිංහලයන්ද සිටින බව රත්නම්, තමන්ගේ මාමා හා ඔහුගේ පවුල බේරාගත් සිංහල පවුල පෙන්වා පහදා දෙයි. එතැනදී නම් මගේ දෑස ද තෙත් වුනි. සිංහලයන් විසින් '83 දී දෙමළ  ජාතිකයන් බේරා ගන්නා  අන්දම ජාත්‍යන්තරයට ගියේ නැත. එනිසා එවැනි සිංහල පිරිසකට  ජූඩ් රත්නම් සාධාරණයක් ඉෂ්ට කරයි.

මේ ජූඩ් ගේ මාමා ඒ කාලයේ සමාජවාදී ඊලාමයක් වෙනුවෙන් පෙනී සිටි දෙමළ සංවිධානයකට අයත් කෙනෙකි. මේ අනුව ඔවුන්ට සතුරන් දෙවර්ගයක් විය. එකක් ද්‍රවිඩ විමුක්ති කොටි සංවිධානයි. අනික ශ්‍රී  ලංකා හමුදාවයි. ඔවුනට මේ දෙගොල්ලන්ගෙන්ම සැඟවී සිටීමට සිදු වුනි.   අවසානයේදී විරුද්ධවාදීන් මරාගෙන මරාගෙන යන දෙමළ  විමුක්ති  කොටින් එක දිනෙක ටෙලෝ සංවිධානයේ අටසියයක් පමණ සාමාජිකයන් මරා දමයි.  මට මතක විධිහට මෙය සිදු වන්නේ 1986 දී පමණය. ඉන්පසු සමාජවාදී ඊලාමයක් සඳහා සටන් කරන ලද දෙමළ සංවිධාන යාපන භූමියෙන් අතුගා දැමීමට කොටි සංවිධානය සමත්වෙයි. මින් පසුව  උතුරු නැගෙනහිර ජන වාර්ගික  යුද්ධය  ශ්‍රී ලංකා හමුදාවන්ට  හා පසුව ඉන්දියානු හමුදාවටත් විරුද්ධව පවත්වා ගෙන යන්නේ ජාතිවාදී කොටි සංවිධානයයි.

ශ්‍රී ලංකා හා ඉන්දියානු හමුදාවන්ට අමතරව දෙමළ  සංවිධාන එකිනෙකා මරාගත් බව ඒ දිනවල අපි සැවොම දැන  සිටියෙමු. නමුත් ඒ ගැන නිර්භයව කතා කලේ සිංහලයන් දෙතුන් දෙනෙකු හා රාජිනි තිරාණගම ආදීන් පවත්වා ගෙන ගිය JTHR (මානව අයිතීන් පිලිබඳ යාපනය විශ්ව විද්‍යාල ආචාර්යවරුන්) වෙබ් අඩවිය සහ ඩී බී එස් ජෙයරාජ් පමණි. බහුතර දෙමල ඩයස්පෝරාව මෙන්ම දෙමළ ජනයාද සිටියේ නිහඬවය. බහුතර සිංහල පාලනයෙන් "නිදහස" ඉල්ලා සටන් වැදුණු සටන්කාමීන් එකිනෙකා මරා ගැනීමේ ඛේදවාචකය නොඇසූ කන්ව  සිටි දෙමළ ජනතාව ඒ ගැන තම හෘද සාක්ෂියෙන් විමසිය යුතු යයි ජූඩ් තම සිනමා ප්‍රකාශනය  මගින් අවධාරණය කරයි.

මේ දිනවල දකුණේ සිදුවූයේ කුමක්ද? ජනතා විමුක්ති පෙරමුණ විසින් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය හරහා භිෂණයක් දියත් කිරීමය. එහිදී මුලින්ම පහර දෙන ලද්දේ සමාජවාදී දෙමළ සංවිධාන සමග සහයෝගයෙන් කටයුතු කළ ස්වාධින ශිෂ්‍ය සංගමය  හා ට්‍රොට්ස්කිවාදී පක්ෂ වලටය. සමාජවාදී ඊලමකට පක්ෂව කතා කළ දයා පතිරණ ඝාතනයෙන් පසු ජවිපෙ මරණ දණ්ඩනය දුන්නේ පරණ වමේ ක්‍රියාකාරින්ටය. මේ කාලය වනවිට ප්‍රේමදාස ආණ්ඩුවේ මර්දනයද ඉතා දරුණු විය. ඒ දේ.ජ.ව්‍යාපාරය යුඇන්පී නායකයන් හා හමුදා  නිලධාරීන් මරන්නට පටන් ගත් තැන සිටය.

මෙහිදී ඇතිවූ අතිශයින්ම කණගාටුදායක සිද්ධිය වූයේ ස්වාධීන ශිෂ්‍ය සංගමය ප්‍රා නම් සංවිධානයකට බැරවී රජය සමග එක දකුණේ තරුණයින් මර්දනයට සහය වීමය. පැරණි වමේ පක්ෂ වල නායකයින්ට මේ කාලයේදී   ජවිපෙන් එවන ලද  ඝාතකයින්ට විරුද්ධව ආයුධ   සන්නද්ධ ආරක්ෂාව දුන්නේ කොටි සංවිධානයේ මරණ තර්ජනයෙන් මිදී  කොළඹට පැනවිත් සිටි වාමාංශික දෙමළ තරුණයින් බව ඒ දිනවල පැතිරුණු ආරංචියකි. ජවිපෙ කියන්නේ මාක්ස්, ලෙනින් ගේ කටවුට් මැයි  දිනවල කර තියාගෙන ගිය ලංකාවේ  සමාජවාදය උදෙසා කැපවුණු දේශපාලන පක්ෂයකි. ඔවුන් දකුණේ යුඇන්පී නායකයන් මෙන්ම වමේ නායකයන්ද ඝාතනය කල අතර ඔවුන්ට විරුද්ධව පැරණි වමට සහය දුන්නේ යාපනයෙන් පලා ආ  සමාජවාදී ත්‍රස්ත සංවිධානයන්ය. මේ හරුපය තේරුම් ගැනීමට ඔබට හැකිද? ජූඩ් රත්නම් ගේ සිනමා කෘතියේ මෙන්න මේ සංකීර්ණ අවස්ථා සූක්ෂමව මග හැර යන බවක් පෙනී යයි.

ප්‍රභාකරන් කොටි සංවිධානය උතුරේත් හා විජේවීර හා ජවිපෙ දකුණේත් කටයුතු කලේ එකම ලෙස බව කියන විට ඊට විරුද්ධව සරම කැස පට ගසාගෙන එන අය සිටින බව මම දනිමි. නමුත් වාර්තාගත  ඉතිහාසය වෙනස්  කළ නොහැකි දෙයකි.

ජූඩ්  රත්නම්, කොටි සංවිධානයට  විරුද්ධව සටන් කළ තම මාමා ගැන වාර්තා චිත්‍රපටයක් කරන්නේ මේ සන්දර්භය යටතේය.  ඔහු ඉහත කී  සිද්ධීන් මෙන්ම කොටි සංවිධානය  හෝ ජවිපෙ ඇතිවීමට හේතු සාධක සුක්ෂම ලෙස බැහැර කරයි. ඒ වෙනුවට ජූඩ් රත්නම් ගන්නේද අර මොකක්දෝ අසිපතක් ගැන ලියු තමිලිනී ගත් මගමය. පිලිකා  සෑදී කොළඹ අතරමන් වූ තමිලිනිට පිහිට  වුයේ "කරුණාබර හදවත්"  ඇති සිංහලයන්ය.  එහි වරදක් නැත. තමිලිනී ලා එල්ටීටීඊ එකේ සිටි කාලයේ තලා පෙළන  ලද දෙමළ  ජනතාවද , සංවිධානයේ පරාජය නිසා විපතට පත් වූවන්ද  තමිලිනී දෙස ඇහැක් හැර බැලුවේ නැත? කොහොම බලන්නද?   තමිලිනී වැනි අයට  සටන් කිරීමට සල්ලි එකතු කර යවමින් තමන්ගේ දරුවන් බටහිර විශ්ව විද්‍යාලවලට යවා ලොකු මහත් කර කසාද බැඳ දී විවේක සුවයෙන් තමන්ගේ නිවෙස් වල ගත කරන ඩයස්පෝරාවද  ඇහැක් ඇර බැලුවේ නැත. අන්තිමට  තමන් සටන් කළේ කුමකටද යන්න තමිලිනී ටද අමතකවී ගියේය. තම ජිවිතයේ අවසන් දින කිහිපයේ සැලකූ සිංහලුන් පසසා ඇය අවසන් ගමන් ගියාය. එනිසා ලිබරල් සිංහලුන්ට මෙන්ම දැඩි ජාතිවාදී සිංහලයන්ටද, සමාජවාදී යයි කියමින්  ජාතිවාදී ලෙස යුද්ධයට  සහය දුන් ජවිපෙ ටද තමිලිනී ගේ කතාව තමන් ගත්  මග සාධාරණීකරණය කිරීමට ලැබුණු අත්වැලකි.

ජූඩ් රත්නම් ගේ චිත්‍රපටිය ලස්සනය. ශ්‍රී ලංකාවේ  දුම්රිය ගමන්  කොහොමත් ලස්සනය. ජූඩ් ගේ දුම්රියේ ගමන, යාපන දුම්රිය  තුල   දෙමළ ජනයාට එරෙහිව සිදුවූ දාමරික කම් වල සිහි ගැන්වීමක සිට  සිට දුම්රිය මාර්ග විනාශ කිරීමට කොටි සංවිධානය බලහත්කාරයෙන් මිනිසුන් යොදවා ගන්නා අන්දම විස්තර කිරීමක් දක්වා ප්‍රේක්ෂකයා රැගෙන යයි. ජූඩ් ගේ මාමා කොටින්ගෙන් මිදී පලා එන දින  කොටි  මාර්ග බාධකයක නතර කෙරේ. එහිදී ගැමියෙකු ලෙස වෙස් වලා සිටින ඔහුව  රේල්පාරේ යකඩ කඳන් පුංචි කියතකින් කැපීමට කොටි විසින් යෙදවීම නාසි වධ  කඳවුරක වැඩ කරන යුදෙව් සිරකරුවන්  සිහි ගන්වයි.

මේ කතාවේ එක තැනක යුවලක් තමන් ගේ ඇඳුම් වෙනස් කර සිංහලයන් මෙන් හැඳගෙන පාරේ යයි. එසේ කරන්නේ "ආරක්ෂාවටය". මට නම් සිතෙන්නේ එම ජවනිකා යුරෝපීය ප්‍රේක්ෂකයන් සඳහා නිර්මාණය කරන ලද්දක් බවයි. 1983 ජුලි හා අනිකුත් කලබල සමයන් හිදී එසේ වෙස්වළාගෙන යාම සාධාරණ වුවත් එවැනි තත්වයක් දැන් නැත. ජූඩ් එතැනදී සාකච්ඡා කරන්නේ වර්තමාන තත්වයද?

දකුණේ බොහෝ අය ජනතා විමුක්ති පෙරමුණේ කැරලි දෙක ගැන විවේචනාත්මකව කතා කරති. එම කැරලි  ශ්‍රී ලංකාවේ දියුණුව  වසර ගණනක් පස්සට ඇද දමා ආර්ථිකයට දැඩි පහරක් එල්ල කළ බව සත්‍යයකි. එසේම එම ත්‍රස්තවාදීන්  හෝ විමුක්තිකාමින්  (ඔබ සිටින දේශපාලන පැත්ත අනුව) දරුණු ලෙස මිනිසුන් ඝාතනය කරන ලද බව ද සත්‍යයකි. නමුත් ජනතා විමුක්ති පෙරමුණ බිහි වීමටද එලෙස පවතින ක්‍රමයට විරුද්ධව තරුණයින් අවි අතට ගැනීමටද ආර්ථික හා දේශපාලනමය හේතු තිබේ. ජවිපෙට පමණක් දෝෂාරෝපණය කරමින් ලෙහෙසියෙන් ගැලවී යාමට කෙනෙකුට නොහැකිය.

දෙමළ ඊලම් විමුක්ති කොටි සංවිධානය ගැන කතාවද එසේමය.  ඔවුන් ඉබේ ප්‍රාදුර්භුත වූයේ නැත. ඔවුන් ජාතිවාදී ලෙස මුලිම් ජනතාව  යාපනයෙන් එලවා  දැමුවේ සිංහලයන් එලෙසම  එලවිමෙන් පසුවය. බටහිර මාධ්‍ය වලට ඒවා හසුවූයේ නැත. ඔවුන් මායිම් ගම්මාන වල සිංහල වැසියන් කැති ගා මරා දැමූහ. වැඩිහිටියන් දරුවන් කියා වෙනසක් තිබුනේ නැත.   ඉවක් බවක් නැතිව කොළඹ ආදී නගරවලට සියදිවි නසා  ගැනීමේ බෝම්බ කරුවන් එවූහ. මියගියේ ආරක්ෂක හමුදා සාමාජිකයන් පමණක් නොවේ. අහිංසක සිවිල්  ජනතාව මරුමුව දුටුවේ දුසිම් ගණනනි.

හැබැයි 1958 සිට පටන්ගත් දෙමළ සිංහල කෝලාහල වලදී එලෙසම දෙමළුන් මරා දමන ලදී. ඔවුන්ගේ දේපල ගිනි තබන ලදී. සෙන්චෝලේ හි ළමා නිවාසයකට දැමුණු බෝම්බ වලින් දරුවන් පනහක් පමණ මිය ගොස් තිබුණි. එසේම යුද්ධය අවදියේ දෙමළුන් මැරුනේ  දුසිම් ගණනින්ය. මෙහිදී දෙමළ  කොටි සංවිධානයට පමණක් චෝදනා කරමින් කෙනෙකුට ලෙහෙසියන් ගැලවී යාමට  නොහැකිය.

එසේම 1983 ජූලි කලබල දඩ මීමා කර ගනිමින් දෙමල සංවිධාන වලට උදව් කරන්නට ඉන්දියාවට හැකිවිය. උමා මහේෂ්වරන්  හා වේලුපිල්ලේ ප්‍රභාකරන් මදුරාසියේ දී එකිනෙකාට වෙඩි තබා ගනිද්දී මේ පිලිබඳ විස්තර එකළ පුවත්පත් වල ඇති තරම් වාර්තා විය. එවකට ඉන්දීය රජය,  ජේ ආර් ගේ රජයේ ඇමෙරිකාවට සමීප විදේශ ප්‍රතිපත්තිය නොඉවසූ අතර ශ්‍රී ලංකාවට දඬුවම් කළේ දෙමළ  විමුක්ති සංවිධාන වලට උදව් දීමෙනි.

ජූඩ් රත්නම් ගේ වාර්තා චිත්‍රපටයෙන් අවධාරණය වන්නේ කොටි සංවිධානයේ බිහිසුණු කම හා ඔවුන් දෙමළ ජනතාව මර්දනකාරී ලෙස හැසිරවූ ආකාරයයි. දෙමළ ජනතාව රාජ්‍ය හමුදා හා ද්‍රවිඩ සටන්කාමීන් ට මැදිව දෙපසින්ම අතවර විඳි බව සත්‍යයකි. නමුත් සිංහල බහුතරයේ ජාතිවාදී වියරුව විසින් දූෂණය කරන ලද දෙමළ ජනතාවගේ ගරුත්වය හා අභිමානය වෙනුවෙන් ඔවුන්  කොටි සංවිධානයේ ක්‍රියා නිහඬව  ඉවසූ බවද සත්‍යයකි. සමහරවිට දෙමළ ජාතිය බහුතරය වී සිංහලයන් සුළුතරය වූවා නම් දෙමළුන් සිංහලුන් ට වෙනස්ව හැසිරේ යි සිතිය නොහැකිය.

මේ නිසා ශ්‍රී ලංකාවේ ඉතිහාසය නිවැරදිව නොදත් අයෙක්, ජාතික ප්‍රශ්නය ගැන නොදත් අයෙක් ජූඩ් රත්නම් ගේ චිත්‍රපටය නරඹා මුලාවීමකට ගොදුරු වීම නොවැලැක්විය හැකිය. මේ වාර්තා චිත්‍රපටය සිනමාත්මක ලෙස විශිෂ්ඨ වුවත් එය ඉතිහාසමය  වශයෙන් සාධාරණයක් ඉටු කරන්නේ නැත.

එනිසා මේ චිත්‍රපටයට, ශ්‍රී ලාංකික ජන ඝාතක යුද්ධයේ ඉන්දියානු භූමිකාව ආවරණය කළ එකක් නිසා එයට ඉන්දියානු මාධ්‍ය වලින් හොඳ විචාරයක් ලැබෙනු නිසැකය. ඉන්දියාව දෝෂාරෝපණයක් ලැබීමෙන් මුදවා ගෙන තිබේ.  එසේම ඝෝඨාභය රාජපක්ෂ හෝ මහින්ද රාජපක්ෂ   මහතාගේ ඊළඟ ජනාධිපතිවරණය සඳහාද දක්ෂ ලෙස යොදා ගත හැකිය. අර තරම් රුදුරු  කොටි සංවිධානයක් සත්‍ය වශයෙන්ම පරාජය කළෝ ඔවුහුය. වෙන කවුරුත් නොවේ.
   ඒ ඇරෙන්නට ජූඩ් රත්නම් ඔබ  ඔබේ පැත්තෙන් ජනවාර්ගික යුද්ධය ගැන කළ මේ  චිත්‍රපටය  ඇත්තෙන්ම ඒක පාක්ෂික විවරණයකි. ඔබේ ඊළඟ චිත්‍රපටයෙන් ඔබ ඉතිහාසයට සාධාරණයක් කරනු ඇතැයි බලා පොරොත්තු වෙමි.


යූටියුබ් වීඩියෝ:
සිංහල පවුල හමුවන අවස්ථාව

දුම්රියේ දී 



මුලාශ්‍ර: A Guide to Intra-state Wars: An Examination of Civil, Regional, and ...
By Jeffrey S. Dixon, Meredith Reid Sarkees

කිනෝ ප්‍රාව්දා:


Monday 27 August 2018

සියමා පොත එළි දැක්වෙයි


 
මගේ පලමු පොත තමයි "පොල්කට්ටෙන් එපිටට". මේ බ්ලොගයේ පළවුණු ලිපි එකතු කරලා පළ කලා. මේ මගේ දෙවැනි පොත සහ පළමු නවකතාව. මේ කතාව මම මුලින්ම  පළකලේ බ්ලොග් අඩවියේ. බ්ලොගයට පැමිණෙන ඔබලාගෙන්  එයට ඉතා හොඳ ප්‍රතිචාරයක් ලැබුන,

ආර්තව දරිද්‍රතාවය කියන එක ඇත්තටම තවමත් ආසියාතික හා අප්‍රිකානු රටවල් පමණක් නොවේ ස්කොට්ලන්තය වැනි  මහා බ්‍රිතාන්‍යයේ රටක   පවා ප්‍රශ්නයක්. එසේම ආසියාතික රටවල ගොඩ නැගී ඇති මිථ්‍යා විශ්වාස නිසා කාන්තාවන් මත ඇති පීඩනය තවත් වැඩියි . ඇතැම්මු මේ විශ්වාස මතට හේතුවකින් තොරව ආගම දහම පවා අන්තවාදීව උපයෝගී කර ගන්නවා. ඒක ආගම්වල වරදකට වඩා  තමන්ගේ උවමනාවන් සඳහා ආගම  දඩමීමා  කර ගන්න  මිනිසුන් නිසා ඇතිවී තිබෙන්නක්.

ශ්‍රී ලංකාවේ තවමත්, වැඩිවිය පත්වන ගැහැණු ළමුන් සමහර දෙමාපියන් විසින් දවස් හතක්  කාමරයක තබනවා කියා ඔබ දන්නවා ඇති.  නේපාලයේ  නිවසින් එළියේ කුඩා මඩුවක තමයි  දරුවාව තබන්නේ.  නේපාලයේ  අච්රම් දිස්ත්රික්කයේ රෝශනී තිරුවා නම්  ගැහැණු ලමයෙක්ව ඇ ගේ ආර්තව චක්‍රය පටන් ගත් පසු නිවැසියන් සිරිතට අනුව මඩුවක තබා තිබුනා.  ශීතල නිසා ගින්නක් අවුලුවන්නට ගොස් මඩුව ගිනි ගැනී ඇය මිය ගියා. මෙය සිදුවුනේ ඉතා මෑත  කාලයක 2016 අවුරුද්දේ දෙසැම්බරයේ.


මේ පොතේ ලමුන් පිරිසක් සිරව සිටි අනාථ  නිවාසයක්  ගැන කතා වෙනවා. පසුගිය වසර කිහිපය තුල  ඉන්දියාව වැනි රටවල අනාථ නිවාස වල  දරුණු ලෙස ළමා අපචාර සිදුවී තිබෙනවා යයි වාර්තා වෙනවා. මේවා ලංකාවේ සිදු නොවෙනවා කියා අපට කිව නොහැකියි.   

 මිට අවුරුදු විස්සකට පමණ කලින් කිසියම් රටක ජීවත්වූ පවුලක් වටා ගෙතුන කතාවක් තමයි මේ . එකිනෙකට ස්වායත්තව සිදුවූ යයි සැලකෙන  කිසියම් සිද්ධීන් සමූහයක් වටා  ලියවෙන මේ කථාවේ කතා නායිකාව ජීවිතයට මුහුණ දෙන අන්දම  මට හැකි ආකාරයෙන් අකුරු කලා . ඉතින්  මම ඔබට සාදරයෙන් ආරාධනා කරනවා විවෘත  මනසින් යුතුව "සියාමා" පොත කියවන්න කියල.  

පොත මුද්‍රණය කළ "අහස" ප්‍රකාශකයන්ටත්, අසංක සායක්කාර මහතාටත් ඒ සඳහා මා උනන්දු කරමින්,  අවශ්‍ය සන්නිවේදනයන් අසංකට ලබා දෙමින් උදව් කළ චූලානන්ද සමරනායක සහෘදයාටත් හද පිරි ස්තුතිය. 

එසේම විශේෂ ස්තූතියක් මගේ බ්ලොග් මිතුරන්ට, මිතුරියන්ට  හිමියි. ඔබ නොවේ නම් මෙය ලියවෙන්නේ නැත. 

ප.ලි.:
පොත ගැන සංවාදයක් 2018 ඔක්තෝබර් 20 සෙනසුරාදා සවස ප.ව. 3.00 ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.
රෝෂනි තිරුවා 

ඉන්දියාවේ 

Saturday 11 August 2018

ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ (35) - ප්‍රියතමය , සන්ධ්‍යාව තවමත් එළඹ නැත

ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ (34) -  දුරකථනයෙන් අමතන්නට නොහැකිය ඔබව

"තාන්යා මීලයා  හැබැයි ඉවසන්න වෙනවා අපි දෙන්නටම. ලංකාවේ  තත්වේ හොඳ  නැහැ කියල අදත් කොල්ලෝ කතා වුනා.  යුද්ධ හැම පැත්තෙන්ම. අපේ රටේ එක පැත්තක දෙමළ විමුක්ති ගරිල්ලන් එක්ක සිවිල් යුද්ධයක් යනවා , අපි ඉන්න පැත්තේ වාමාංශික විමුක්ති ව්‍යාපාරයක් එක්ක යුද්ධයක්. මිනිස්සු මරනවා, මැරෙනවා හරියට . ආර්ථිකය උනත් හොඳ නැහැ. ඔයාට මේවා තේරෙනවද කියන්න මම දන්නේ නැහැ. ඔයා දේශපාලන ගැන වැඩි උනන්දුවක් නැති නිසා"
ගිහාන්ම මදක් හුස්ම ගත්තේය. තාන්යා නිහඬව සිටියාය.

"මම ඉවර කරපු ගමන් යනවා ලංකාවට. රස්සාවක් හොයාගෙන, ගෙදර ප්‍රශ්න බේරුමක් කරලා ඊට පස්සේ ඔස්ට්‍රේලියාවට, නවසීලන්තය ට වගේ යන්න වීසා ඉල්ලන්න පුලුවනිලු.  ලකුණු ක්‍රමයක් තියනවා ඒ රටවලට යන්න. ඔයාටත් එතකොට උපාධියක් තියෙන නිසා ඒකෙන් ලකුණු ලැබෙනවලු. දෙන්නටම යන්න පුළුවන්. ඔයාට තියෙන්නේ මෙහෙ මොස්කව් ඉන්න ඒ ටික කාලේ. ඔයාට එන්න දුන්නොත් මගේ අරාධනා පත්‍රයකට ඔයා ඇවිල්ල යන්න."
ගිහාන් ඇගෙන් මුහුණ ඉවතට ගනිමින්  පැවසීය.

"ගිහානුෂ්කා, ඊයේ ගේනා එක්ක ඇවිදිද්දී මම ඕක ගැන කල්පනා කළා දිගටම. ඉස්සෙල්ලම මට සමාවෙන්න ඔයාව එහෙම දුක් ගැන්නුවට. ඔයාට රිද්දන්න නෙමේ එහෙම කළේ . ජාගා කියපු දේ මට තේරුණා. ඔයා එයත් එක්ක වාද කළේ ඇයි කියලත් මට තේරුණා"  ඇය ජාගා කීවේ ජගත්ටය.

"ඔයා අම්ම අහනකොට ලංකාව ගැන නිහඬව  හිටි නිසා ඔයාගේ   හිතේ කරදරය මට තේරුණා.  ජාගා එක්ක රණ්ඩුවට  යද්දී කොතරම් පීඩනයක් ඔය ඔළුවේ තියන් ඉන්නවා ඇතිද කියල හිතුන.  ඉතින් ඔයා  කරදර වෙන්නේ නැතිව ඉගෙන ගෙන ආපහු  යනවා නම් හොඳයි කියලත්  මට  හිතුන. මම ගේනා ට ඒක කිව්වා ටැක්සියේදී. ගේනා කිව්වා විදේශිකයෝ විශ්වාස කරන්න එපා වගේ  කතාවක්. මාව නේවාසිකාගාරය ළඟ බස්සන  කොට මට කිව්වා  ඇවිදින්න යන්න  එන්න කියල.   ඉතින් මම බොළඳ  විධිහට ගේන එක්ක යාළු වෙන්න  හිතුව ඔයාව නිදහස් කරන්න. නමුත් ගේන එක්ක ඇවිදින  මොහොතක් පාසා මම හිත හිත හිටියේ ඔයා ගැන. කෑම කන්න ගිහිල්ලත් මම හිතින් හිටියේ ඔයා එක්ක. ගේනට ඒක තේරුණා. එයාගේ ගෙදර ගිහින් අම්මට අඳුන්වලා දීලා ඔයාට කතා කරේ ඉන්  පස්සේ."

ගිහාන්  සෙමෙන් සෙමෙන් ඇගේ හිස පිරි මැදීය.

"ගේනා හිතාගන්න බැරි විධිහට මහත්මයෙක් වගේ හැසිරිලා."

"ඉතින් මගේ සලතෝයි ගිහාන් , අපි ඒ ගැන කතා නොකර අපට ඉතුරු වෙලා තියන කාලේ සතුටින් ඉමු. අපි දෙන්න එකට ඉන්න කොට වෙනම ඉන්නවට වඩා අගේ නැත්ද? ඔයා දැන් මාත් එක්කම පොතක් අරන් ඇඳේ  දිගා  වෙලා කියවනවා. ඔයා  බලන චිත්‍රපටය මම බලනවා. මම බලන එක ඔයා බලනවා. ඔයා  අපේ කෑම වලට කැමතියි. මම ඔයාගේ සැරම සැර කෑම කනවා. " ඇය ඔහුව  තදින්  කොනිත්තුවාය.

"අපි දෙන්න ඇවිදින්න ගියහම කතා කර කර හරි නිස්සබ්දව හරි පැය ගණන් ඇවිදිනවා. අපි දෙන්න දෙන්නට කැමති නිසා ඒ. උඹ මාත් එක්ක නිදා ගන්න කොට මම කොතරම් සතුටු වෙනවද ? ඉතින් වෙන මොකුත් ඕනේ නැහැ අපට. ඔයා  මේ සින්දුව අහල තියනවද "

"මොකක්ද මගේ මාලෙන්කයා(පුංචි) ද්යේවුෂ්කා ලුබීමච්කා   " ගිහාන් මගේ ආදරණිය පුංචි කෙල්ලේ යනුවෙන් ඇය ඇමතීය.

"අපි එදා කෝච්චියේදී අහපු සින්දුව මතකද? වැලරි ගෙයි ලයිමා ගෙයි. ලයිම සින්දුවක්  කියනවා 'තවම සන්ධ්‍යාව උදාවී නැත' කියල . මෙන්න මේක අහන්න." ඇය ලයිමා වයිකුල්යේ ගේ ගීත තැටිය වාදනය කලාය .

ගිහාන් ලන්ඩනයෙන් මිලදී ගත්  කෝට් බෑය හැඳගත් තාන්යා තොල් උල් කරමින් දෙඅත් වනමින් ලයිමා රඟන්නා  සේ රඟන්නට  ගත්තාය. ඇගේ  රැඟුම විඳින ගිහාන් ගේ මුවගට සිනහවක්  නැගුණි. තමන්ගේ දුක  සංකා මගහරිමින් සතුටු කරන්නට ඇයට ඇත්තේ අමුතු  හැකියාවකි.

නාට්‍යමය ගමනකින් ඔහු වෙතට පැමිණි ඈ අත ලාලිත්‍යයෙන් දිගු කර ඔහුට ඈ සමග නැටීමට ආරාධනා කලාය. ඇගේ ඉන වටා  අත යවමින් ඔහු ඇරයුම පිළිගත්තේය.

ගීතයේ තේරුම ඇගේ  වදනට, ඇගේ සිතුමට  මනාව ගැලපුණි.

ඉෂ්යෝ නි වේචර්  නමැති ගීතයේ තේරුම  තවමත් සන්ධ්‍යාව එළඹ නැත යන්නය. තාන්යා ගීතයෙන් හැඟවූයේ  අප අතර තවමත් බලා පොරොත්තුව තිබෙන බව යයි ගිහාන් ට වැටහුණි.  කෙලින්ම  කිසිවක් නොකියා යමක් හැඟවීමට පෙම්වතියන් ඉතා දක්ෂය.

"සන්ධ්‍යාව  එළඹ නැත සන්ධ්‍යාව  එළඹ නැත
මාවතේ තවම එළියයි දෙනෙතට පෙනෙයි තවමත්

සන්ධ්‍යාව  එළඹ නැත සන්ධ්‍යාව  එළඹ නැත
මා තවමත්  ඔබ පසෙකින් සැහැල්ලුවෙන් ගමනේ

ඔන්නොහෙ කියාපු  දෙන්  කුණාටුවක්  ළඟ ළඟමයි කියාලා
ඔන්නොහෙ කියාපු  දෙන්  දෙනෙතු යි හදවතයි පවසනුයේ බොරුයි   කියාලා

විශ්වාස නොකරම් මම කිසි විටෙක  ඒ වදන්
නුඹව කිසිවෙකුට නොදෙමි මම්

සන්ධ්‍යාව  එළඹ නැත සන්ධ්‍යාව  එළඹ නැත
තවමත් කාලය ඉතිරිව තිබේ අප දෙදෙනාට
සන්ධ්‍යාව  එළඹ නැත සන්ධ්‍යාව  එළඹ නැත
තවමත් බලාපොරොත්තුවේ හා විශ්වාසයේ දොර හැරලා

ඔන්නොහෙ කියාපු  දෙන් වසර ගණනක් යද්දී  යන මග රුදු වේවි කියාලා
ඔන්නොහෙ කියාපු  දෙන් පරණ සතුට නැවත එන්නේ නැහැ කියාලා

 විශ්වාස නොකරම් මම කිසි විටෙක  ඒ වදන්
නුඹව  කිසිවෙකුට නොදෙමි මම

සන්ධ්‍යාව  එළඹ නැත, සන්ධ්‍යාව  එළඹ නැත
 පරණ වැරදි අපි නැවත නොකරමු
රාත්‍රිය තවමත්  අවසන් නැත
 අන්තිම දවස සතුටින් දික් වේවි
ඔබත් සමග මගේ ප්‍රියතමය

ඔන්නොහෙ කියාපු දෙන් මේ සඳ යට හැමදේම අනිත්‍යයි කියල
ඔන්නොහෙ කියාපු දෙන් අපි දෙන්න වෙන් වෙයි කියල

සිරගත වුවත්  අත් නොහරිමි මම
අනාගතයෙදි වුව නොදෙමි මම නුඹ කිසිවෙකුට
 සිරගත වුවත්  අත් නොහරිමි මම
අනාගතයෙදි වුව  නොදෙමි මම නුඹ කිසිවෙකුට "

ගීතය අවසාන වන විට   දෙදෙනාම සිටියේ දෘඩ ආලින්ගනයකය. ඇගේ මුහුණ තිබුණේ ඔහුගේ  දෝතට මැදිවය. අඩවන්වූ ඇගේ දෙනෙත්  සෙවූයේ ඔහුගේ දෙතොලේ පහසය. ඔහුගේ ඉන වටා අත යවමින්ම ඇය කළේ අත  දිගු කොට  ජනේලය විවර කළාය . රාත්‍රී දෙකත් පසුවී තිබු ඒ යාමයේ පහල පාරේ මිනිස් පුළුටක් නොවීය. ඇය සෙමින් රාත්‍රී සුළඟේ පහසට කය නිරාවරණය  කරමින් ජනේලයෙන් පිටතට නැඹුරු වූයේ  පෙම්වතාට ඇගෙන් සුව විඳීමට ඉඩ හරිමිනි. රාත්‍රිය ගෙවුනේ ඔවුන් දෙදෙනා වෙනදාටත් වඩා සිතින් හා ගතින්  එක්තැන් කරමිනි.



~ මතු සම්බන්ධයි
ප.ලි: ඉෂ්යෝ නි වේචර්   ගීතයේ පබැඳුම - ඊ රෙස්නික් ,
සංගීතය ආර් පෞලස් 

Monday 6 August 2018

ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ (33) - අපි නවත්තමුද

ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ (32)  - අමනාපයක් ඇති වුනිද නැවතත්

ඉරිමා උදයේ තාන්යා හමුවීමට ගිය ගිහාන් ට දොර හැරියේ තඩිස්සි වී ගිය  කෝපය හා ශෝකය මුසු මුහුණකින් යුත් යුවතියකි.
තාන්යා ලෙහෙසියන් හඬන කෙල්ලක නොවේ.  ඇය හඬා වැළපුනා වත්ද ?
"රුසියන් ගැහැණු  ලෙහෙසියෙන් අඬන්නේ නැහැ මල්ලි. " වරක් ජ්‍යෙෂ්ඨ සිසුවෙක් පැවසුවේය.

"ඉතිහාසය පුරාම ඉස්සෙලම ජෙන්ගිස් ඛාන් ගේ හමුදාවෙන් බැට කාල , ඊට පස්සේ තවත් නොයෙකුත් ආක්‍රමණ වලින් බැට කාල , රුසියන් අධිරාජ්‍යය  පිහිටුවන්න පිරිමි යුද්දෙට ගියහම ළමයි එක්ක ගම් බිම්  බේරාගෙන ගොවි බිම් වල දාඩිය වගුරුවල, විප්ලව කාලේ බැට කාල ඉන්නේ උන්.  පළමුවෙනි හා දෙවෙනි ලෝක යුද්ධ දෙකෙන්ම  වැඩියෙන්ම බැට කෑවෙත් ඔය  ගැහැණු. ඔය හැම කාලෙම  කුසගින්නේ ඉඳල , ඒ මුළු දුක් කන්දරාවම විඳගෙන දරාගෙන  පන්නරය  ගත්ත ගෑණු . මුන් ලේසියෙන් අඬන්නේ නැහැ. මුන් ගේ හිත්  හෙන තදයි " ඔහු බැරෑරුම් බවක් පාමින් ප්‍රකාශයක් කළේය.

කාමරයේ කෙල්ලන් තිදෙනා ගිහාන් ගේ මුහුණ මග හරින  බවක් පෙනුනි.

තාන්යා කාමරයෙන් එලියට පැමිණ කොරිඩෝරයේ මැද පඩි පෙළ අසල ඇන්දට හේත්තු වුනාය.

"අපි දෙන්න පොඩි විවේකයක් ගමු. මට මුලින් ඔයත් එක්ක කොහෙවත් යන්න ඕනේ කමක් තිබ්බේ නැහැ. ආශාවක් තිබ්බ ඔයත් එක්ක ඉන්න, ඒක පස්සේ ආදරයකට පෙරලුන. ඔයාලගේ රටේ සමහර මිනිස්සු හිතන විධිහ වෙනස් කියල මට කාලෙක ඉඳන්  තේරිලා තියෙන්නේ. මගේ බබුෂ්කා  කියන්නෙත් හරියන වැඩක් නෙමේ කියල. බබුෂ්ක කියන දේ මම හුඟක් අහනවා. අම්මට තාත්තට වැඩිය මට එයා සමීපයි. අපි දැන්ම වෙන් වුනහම දෙන්නටම ලෙහෙසියි නේද?"

"තානි" ගිහාන් පළමු වරට ඇයට කෙටි නමින් ආමන්ත්‍රණය කළේය. එය වඩා සහෘද හා ආදරයෙන්  පිරී ඇති බවක් ඔහුට සිතුනි.

"ඊයේ එක්කෙනක් කීව කතාව තව දහ දෙනෙක්  කියයිද සිය දෙනෙක් කියයිද කියන එක මට ප්‍රශ්නයක් නෙමේ. ජිවත් වෙන්නේ අපි දෙන්න.  මම ඔයාටහුඟක් ආදරෙයි. ඒක එක දවසින් ඇති වුනේ නැහැ. ඔයා ඒක දන්නව හොඳටම. අපි සංස්කෘතීන් දෙකක් නිසා අපට ප්‍රශ්න එයි. නමුත් අපි දෙන්නට අවබෝධයෙන් ඒවා විසඳ ගන්න පුළුවන්."

දෙදෙනා පළමුවතාවට   දීර්ඝ වෙලාවක් වාද කළහ.

අවසානයේදී තාන්යා සිතට වද  දිදී තිබූ බෝම්බය අත හැරියාය.
"මට අර ටැක්සි එකේ රියදුරා එන්න කීව අද ඇවිදින්න යන්න"

"මොකක්, ඔයාට පිස්සුද , අපි අතරේ තවම ප්‍රශ්නයක් ඇති වුනේ නැහැනේ ඔයාට එහෙම කරන්න. මම ඔයාව ලංකාවට එක්කන් යන්නේ නැහැයි කීවෙත් නැහැනේ. මට මෙහෙ ඉන්න බැරි එක විතරයි  කිවේ. අර පොත් පරිවර්තනය කරන කතුවරයයි, තානාපති කාර්යාලයේ වැඩ කරන කිහිප දෙනෙකුයි ඉන්නවා මෙහෙ රුසියානු පෙම්වතියන් කසාද බැඳගෙන නතර වෙලා. මට එහෙම කරන්න බැහැ  කියල විතරයි කිවේ. අනික මේ ගොර්බා ගේ පෙරේස්ට්‍රොයිකා නිසා මොනවා වෙයිද  ඉස්සරහට කියල කවුරුත් දන්නේ නැහැනේ තාන්යා. ඉක්මන් වෙන්න එපා."

 "මුකුත් වෙන්නේ නැහැ. මට ටිකක් ඇවිදින්න යන්න ඕනේ. ඒ නිසා මම ගෙනාදී එක්ක යනවා. එයා කොහොමත් තව ටිකකින් ඒවි"  සිත තද කරගෙන කී තාන්යා ඔවුන් ගේ  කාමරයට ගියාය.

ගිහාන් තුෂ්ණිම්භූතව නිසොල්මනේ සිටි තැනම මොහොතක් සිටියේය.

දොර හැරගෙන ඉන්ගා එලියට පැමිණියාය.
"ගිහාන් ඔයා කලබල වෙන්න එපා. අපිත් උඹට ආදරෙයි. තාන්යා ඔය දෙතුන් දෙනෙක් කියන කීමවල් ඔක්කොම අහල අවුල් වෙලා. නමුත් අපි දන්නවා ඒකි උඹට කොච්චර  ආදරේද කියල. අර කොට්ටෙන් ඔලුව වහගෙන නිදි. උඹ කලබල වෙන්න එපා. ලබන සතියේ ආයෙත් වරෙන්. අපි ඒකිට කතා කරන්නම්. උඹ දැන් පලයන් "

ඔහුගේ උරහිසට අතක් තබාගෙන දුක්මුසුව වුවද තිර හඬින් කීවාය.

 "ඒත් අර ටැක්සි කාරයා ගෙනාදී ..."ගිහාන් මිමුණුවේය.

"ගෙනාදී ඊයේ කෙල්ලගේ හිත ඇවිලිලා තිබ්බ නිසා ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න  හිතනවා ඇති. අපි තාන්යා ගැන දන්නවා. උඹ නේවාසිකාගාරයට පලයන් බය නැතිව. " පැවසූ ඉන්ගා කාමරයට ගියාය.

කුමක් කරන්නේද යයි සිතා  ගත නොහැකිව ගිහාන් කාමරයට පැමිණ ඇලවුණේය . තමන් හරියට පත්ව ඇත්තේ ගොළු හදවතේ සුගත්  ගේ තත්වයට ද? නැත, මේ එතනින්  බොහෝ දුරට ගිය සම්බන්ධතාවයකි.

ඔහු කාමරයේ තිබූ මිල්ටන් මල්ලවාරච්චි ගේ කැසට් පටය රෙකෝඩරය ට ඔබා  ඇඳේ ඇලවුනේය.

මිල්ටන් ගේ පැරණි ගීතයක් වූ "සංසාර  සෙවනැල්ල " ඔහුගේ සවන් පුරා ඉතිරි ගියේය.

" බොළඳ ප්‍රේමවන්තයෙක් වගේ මමත් මිල්ටන් ගේ විරහ ගී අහනවා. මට මෙහෙම වෙයි කියල හිතුනද "

සන්සාර සෙවනැල්ල ලෙස පතා ආව කියල විශ්වාස කරන්න පුලුවන්ද?තාන්යා  හිටියනම් තේරුම කියා දෙන්න තිබ්බ. "මා මද සුළඟයි ඔබ මුදු සුවඳයි  " මාර උපමාව ඒක.  ඔහු ගේ  සිත සම්පුර්ණයෙන් ම  අවුල් වී ඇත.



සුහදයා කාමරයට කඩා වැදුනේය.
"ඒයි මොකද බං, කෝ තාන්යා මොකද මේ විරහ ගී දාගෙන "

"කෙළ උනා බං. මේක ඉවර කරමුලු. දෙන්නටම හොඳයිලු. අර ටැක්සි කාරයා එන්න කීවලු ඇවිදින්න යන්න. මම  ආව එන්න. මේ මිල්ටනය කියන සින්දු වලටත් පිස්සු හැදෙනවා බං. බලපන් කෝ, ඔබේ නිල්  නුවන් තලාවේ සැලේ කඳුළු මිදිලා , මට ඒ මැදින් පෙනෙන්නේ අපේ මතක මැවිලා කියන කොට කොහොමද ඉන්නේ කියල."

"යකෝ සිරාවටම උඹ අර බොළඳ ප්‍රේමවන්තය වෙලාද. "

"මටත්  එහම හිතුන බං. ඒත් මචන් මම ඇත්තටම ඒකිට ලව්. මට තාන්යා බඳින්නත් ඕනේ ලංකාවට එක්ක යන්නත් ඕනේ. "

"ගිහාන්, " සුහද හුස්මක් ගත්තේය.

"තාන්යා හොඳ කෙල්ල  බං. නමුත් සමහර විට එහෙම වෙන එකත් උඹට හොඳයි. උඹ ඉවර කරල යද්දී ඒකි මොස්කව් ඉන්න  ඕනේ උපාධිය ඉවර කරන්න. ඒකිගේ අදහස් විතරක් නෙමයි උඹෙත් වෙනස් වෙයි. ඔය කාලය ඇතුළත. වෙනස් වුනේ නැත්නම් බලපන්."

"මගේ අදහස් වෙනස් වෙන්නේ නැහැ  බං. තාන්යා බබුෂ්කගේ පටන් හැමෝම කියන එක අහනවා. ඊට පස්සේ අවුල් වෙනවා."

"වරෙන් යන්න.  උඩ කාමරේ බෝතලේ කට සෙට් වෙනවා කිව්වා, ප්‍රියාන් ලත් එනවලු. ගුණදාස කපුගේ ගේ විරහ  ගී ටිකක් කිව්වම හරි යයි."

"මම එච්චර  ප්‍රබුද්ධ නැහැ බං. මිල්ටන් හොඳයි. "

"ප්‍රබුද්ධ කතාවක් නෙමෙයි බං. උඹ දෑස නිලුපුල් තෙමා හෙම අහල තියනවද? උඹට හරියන්නේ අර උන්මාද සිතුවම් සෙට් එකේ තියෙන මංමුලාවී කියන සින්දුව "

"ඒ කියන්නේ "

"ඇයි බං ඒකෙ කියන්නේ මං මුලා වෙච්ච  දෙන්නෙක් ගැන නේ "

"පල යන්න "

ඔවුන් උඩ කාමරේ කට්ටියට එකතු වන විටත් වොඩ්කා වලින් උණුසුම් වූ දේශපාලන සංවාදයක් ඇදී යමින් පැවතුනි.

"ගොර්බට පිස්සු. ගොඩක් පක්ෂ සමිති වල වුන් ඉල්ලා අස්  වෙනවා හිටු කියල.කාර්මික නිෂ්පාදනය වැඩි වෙලා නැහැ අඩු  වෙලා  " ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයට හිතැති සිසුවෙක් පැවසීය.

"පිස්සු නම් නෙමේ. කරන්නේ මොකක්ද කියල දන්නේ නැහැ. අපේ දර්ශනවාදය හා විද්‍යාත්මක කොමියුනිස්ට්වාදය  උගන්වන ගුරා කෙලින්ම කියවනේ ඒක. භය නැතුවම " ප්‍රියාන් කීවේය.

"දැන් මොකද වෙන්නේ බං . රුස්සට පිට යන්න පුලුවන් ලුද  " ගිහාන් ඇසීය.

"උඹගේ නංගිව  නම් දැම්ම ගෙනියන්න බැරි වෙයි " කොල්ලන් සියල්ලෝම සිනා සුනහ.

 "මචන් ගොර්බා  කියන්නේ  අර ලෙනින් යුද්ධ සමාජවාදෙන් පස්සේ ගෙනාපු නව ආර්ථික පිළිවෙත කියල කුඩා කම්හල් හිමියන්ට, ගොවියන්ට නිදහස දීපු ඒක  නැවත කරන්න කියලනේ. ඒ කාලේ නිෂ්පාදනේ  වැඩි වුණා. ආර්ථිකය දියුණු වුණා තමයි. නමුත් දැන් ඒක ක්‍රියාත්මක කරලා  මොකද වෙලා තියෙන්නේ . මොස්කව් වල පොඩි පෙට්ටි කඩ දාල හැම  තැනම. විකාරයක් වෙලා. චෙච්නියා, ආර්මේනියා ජෝර්ජියා වගේ පැති  වලින් ආපු මාෆියා කාරයෝ ඒවා අල්ලාගෙන, මුන්ගේ මධ්‍යම කාරක සභාව විකාර  කතා කර කර ඉන්නව තවම. යෙල්ට්සින් කියන එකා මොස්කව් වල  ගොඩනැගිලි හදන එවුන් හොරකම්  කරනවා කියල ඒවා නවත්වල. " ප්‍රියාන් දිග දේශනයක්  කළේය. ඔහු පැවසුවේ  මේ දිනවල  සිදුවන වෙනස් කම් ගැනය.

"එකදාස් නමසිය විසි ගණන් වල කරපුව දැන් හරියන්නේ කොහොමද බං. දැන් කරන්න  ඕනේ අර චීනා වගේ බටහිරින් ආයෝජන ගේන්න. නැත්නම් මේ තියෙන කම්හල් ප්‍රති සංවිධානය කරන්න. පාඩු ලබන ඒවා වහල දාන්න " ප්‍රියාන්  නැවතත් කීය.

 ඒ දිනවල දුන් නිදහසට කියෝස්ක් නමැති පුවත්පත් විකුණන කුඩා පෙට්ටි කඩ වලට අමතරව පෞද්ගලික අයිතිකරුවන් ඇති කඩ රාශියක් බිහිවිය. ඒවායේ විකිනුනේ ෆැන්ටා, පෙප්සි කෝලා , චොකලට් වර්ග, චුවින්ගම් වන දේ හා අරුමෝසම් සිගරට් වර්ගය. තාන්යා සමග දෙතුන් තැනකම මොනවා හෝ කා පෙප්සි බීම ගිහාන් ගේ ද පුරුද්දක් විය.

"මෙන්න මූ  ද්‍රෝහියෙක් වෙලා. උඹ දන්නවද ලංකාවේ  මේ දවස් වල කලබල. ඉන්දියා හමුදාවට  විරුද්ධව උද්ඝෝෂණ. ලංකාවේ ආණ්ඩුව කොල්ලෝ මරනවා පාරවල "

"මේ රටේ ප්‍රතිසංස්කරණ කරන්න හදද්දී ලංකාවේ සමාජවාදයට ෆයිට් කරනවද බං තවම"

"එහමත් නෙමේ. නිදහස් අධ්‍යාපනය බේරා ගන්න  සටන් කරපු එකට, ඉන්දියන් විරෝධයත් ඇවිත්.  ගොඩක් කොමියුනිස්ට් පක්ෂේ හා වාමාංශික එවුන් මරල දේශප්‍රේමී ව්‍යාපාරය කියල එකකින්, හමුදාවේ අය මරන්න අණ දීල , ආණ්ඩුව හිටු කියල එක එක කණ්ඩායම් හරහා මරනවලු ශිෂ්‍යයන් ව.  මේ මුන් සෝවියට් දේශය කෙලින්ම සපෝර්ට් ඉන්දියාවට නේද? "

"ඔය ජේවීපී එකේ විජේවීර මචන් චීනේ පරණ ක්‍රමයට ඒ කියන්නේ මාඕ , ස්ටාලින් ගේ ක්‍රමයට පක්ෂ පොරක්. ඒක නිසා මෙහෙ වෙන දේ උන්ට අදාල නැහැ. මෙහෙ කොහොමත් ධනවාදයට යනවා කියල පොර කිව්වලු නේ. මුන් ඉන්දියාවට තමයි සපෝර්ට්. දෙමළ  ප්‍රශ්නෙදි ඉන්නෙත් ඉන්දියාව එක්ක.  "

"මොන බොරුද  ලංකාවේ වාමාන්ශිකයෝ ඔක්කොම වගේ මෙහෙයි, කියුබාවයි හොඳයි කියල කියන්නේ. නමුත් මෙහෙ එවුන්ට ඕනේ බටහිර වගේ වෙන්න. විජේවීරලා උනත් තමන්  මාක්ස් ලෙනින් වාදී කියලනේ  කියන්නේ " තවෙකෙක් වාද කළේය.

"ඒ උනාට නිදහස් අධ්‍යාපනය නැත්නම් අපේ මෙහෙ එන්නෙත් නැහැනේ බං. ඒක නැති කරනවට නම් මමත් විරුද්ධයි " සුහද කීවේය.

"හ‍රි බං මිනී  මරා ගන්නේ නැතිව ඕව කරන්න විධිහක්  ඇත්තෙම නැත්ද. ජිවත් වෙන්න ඕනේ නැත්ද මිනිසුන්ට " ගිහාන් සුහද දෙසද ප්‍රියාන් දෙසද විටින් විට බැලීය.

"උඹේ ලව් එක ආත්මාර්ථකාමී එකක්. උඹට විතරයි ජොලිය ඒකෙ . ඉතින් උඹට  ඕනේ නැහැ ඔය කරදර. අනිත් එවුන්ට එහෙම නැහැ. උන් බලන්නේ හැමෝටම  හොඳ දෙයක් ගැන" ප්‍රියාන් ඔලොක්කුවට මෙන් කීවේය.

"ඔන්නොහෙ ඔය වාදේ නවත්වලා සින්දුවක් කියමු. ගිහාන් දැනට රුස්සන්ට  ෆින්ලන්තයට, පෝලන්තය, හංගේරි වගේ කලින් යන්න නොදුන් ඒවාට යන්න  දෙනවලු. මොස්කව්වල ගිය එවුන් කිහිප දෙනෙක් හම්බ වුනා. අනික ඉන්විටේෂන් තියනවා නම් වෙන රටවලටත් යන්න පුළුවන් ලු. බලා පොරොත්තු තියා ගනින්. " කී ප්‍රථම වෛද්‍ය  විද්‍යාලයේ කුමාර කපුගේ ගේ විරහ ගීයක් ගයන්නට  පටන් ගත්තේය.

සුහද ගේ විශේෂ ඉල්ලීම පරිදි කොල්ලන් මේස වලට, පිගන් වලට ගසමින් ගුණදාස  කපුගේ හා මිල්ටන් මල්ලව ආරච්චි  ගායකයන් ගේ විරහ ගී ගායනා  කරන්නට පටන් ගති.

ගිහාන් ඔහේ සින්දු අසාගෙන සිටියා විනා කියන්නට ගියේ නැත. ඔහු සිටියේ සින්දු කියන මානසිකත්වයකින් නොවේ. ඊර්ෂ්‍යාව, කෝපය  හා ආදරය මිශ්‍ර වූ හැඟීමකින් ඔහු පෙළුණේය .

"ඇය රුසියානුවා සමග හවස කොහේ සිටිනු ඇත්ද ? "
ජලයේ ඔබන්නට තැත්  කරනා ප්ලාස්ටික් බෝලයක් මෙන් ඔහුගේ සිතේ දිගින් දිගටම මතුවූ  පැනය එයයි. 
~~ මතු සම්බන්ධයි


ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ (34) - දුරකථනයෙන් අමතන්නට නොහැකිය ඔබව

  ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ (33) -  අපි නවත්තමුද

ගිහාන්ට දුරකථන ඇමතුමක් ඇති බවට පහල තට්ටුවේ ඉන්දියන් කාරයා පැමිණ දැනුම් දුන්නේ වහ්ක්ත්යෝර් එකේ සිසුවාට ගිහාන් සොයා ගැනීමට නොහැකි වූ හෙයිනි. ගිහාන්ට ඉන්දියන් කාරයා  පෙනුනේ දේව දූතයෙක් ලෙසිනි. ඔහු විදුලි සෝපානය  අමතක කර අඩියට දෙකට පඩිපෙළ   පැන්නේය.
"තාන්යා "
"නැහැ මම මේ ගෙනාදී " එහා පැත්තෙන් කතා කලේ රුස්සෙකි.

"මම ඊයේ ටැක්සියේ ගියේ උඹත් එක්ක. තාන්යා ඉන්නවා අපේ ගෙදර. ඇවිත් එක්ක පලයන් "
"හ්ම් " ගිහාන් ගොළු විය.

ඔහුව  වටහා ගත්තාක් මෙන් රුසියානුවා නැවත කතා කළේය.

"බ්‍රාත්, උඹ මොන සයිබීරියාවෙන් ද මේ පිස්සු වහන්තරාව හොයා ගත්තේ. මම හිතුවේ මේ වැල්යුති වලට ෆොරිනර්ස් ලා එක්ක යන එකියක් කියල.  බිස්නස් එකක් කතා කර ගන්න  ඒකිට එන්න කිව්වේ. මට ගැහුවේ නැති ටික විතරයි."

වැල්යුති යනු ඩොලර්,  පවුම් හා යෙන් වැනි මුදල් ඒකකය. ඒවා වැඩි ගණනට බ්ලැක් මාකට් එකේ විකිණිය හැකියය. රුස්සා  කතා කරන්නේ ගෝර්කයා මාවතේ ඉන්ටුවරිස්ට් වැනි හෝටල් ළඟ ගැවසෙන යුවතියන් ගැනය. ඔවුන් වැල්යුති වලට  විදේශිකයන් සමග යති. ඒ කේජිබි එකේද ආශීර්වාදය සමගය.

"ඒකි මගේ අම්ම එක්ක කුස්සියේ කතා කර කර ඉන්නවා. උඹට කතා කරන්නේ නැහැ ආඩම්බර කමට. නැත්නම් ලැජ්ජාවට. ඒකත් මටමයි කරන්න  කිව්වේ. මට වැඩත්  ඉවරයි, බීල ඉන්නේ, යාළුවෙකුත් ඉන්නවා. ඒ නිසා  එන්න බැහැ . උඹ වරෙන්. මේ කෙල්ල උඹ මත්තේ නැහෙන පිස්සියක්. මෙන්න මගේ ලිපිනය"

ගිහාන් ලිපිනය ලියාගෙන  හැරුණේ ටැක්සියකට දුවන්නය. ළඟම පිටුපසින් කතාවට සවන් දීගෙන සිටියේ සුහදය.

" ටැක්සියක් ලැහැස්තියි, වරෙන් යං අපේ කෙල්ල ගන්න"

සුහද ගේ ඒ හෘදයංගම  වදන් වලට නම් ගිහාන් ගේ ඇසේ කඳුළු පිරුණේය. ඔහු ඇය හැඳින්වූයේ "අපේ කෙල්ල" ලෙසය.

ඔවුන් යනවිට තාන්යා සිටියේ නිවාස සංකීර්ණයක එළියේ එයට ඇතුළු වන  පඩි පෙළක වාඩි වී ගෙනය. ඒ අසල ගෙනාදී සිගරට්ටුවක් උරමින් සිටියේය. ඔවුන් දුටු වහාම ඔහු පැමිණ ගිහාන් හා සුහදව මිත්‍ර ශීලිව බදා ගත්තේය. දැඩි වොඩ්කා සුවඳක් ඔහු වෙතින් හැමීය.

"රිබ්යාත  මගේ නොම්මරේ  ලියා  ගනිල්ලා. මම බිස්නස් මෑන්. උඹලට කොහේ හරි යන්න  ඕනේ නම්, විශ්වාස පොරක් ඕනේ නම් "අර විකුණන බඩු" ගෙනියන්න , විකුණන්න මට කතා කරපන්."

රිබ්යාත යනු රුසියානු භාෂාවෙන් කොල්ලනේ යන්නය. එය සුහදත්වයෙන් යොදන යෙදුමකි. මෙවැනි කුලී රථ  රියදුරන් ඒ කාලයේ බහුලව සිටියහ. ඔවුන් තම රැකියාවට අමතරව  විදේශික සිසුන් සමග බ්ලැක් මාකට් වෙළඳාමටද  හුරුව සිටියහ. ගෙනාදී ද එවැන්නෙකි. එවැනි "බිස්නස් මෑන් " යයි තමන්ම  හඳුන්වා ගන්නා අය ඒ දිනවල හතු පිපෙන්නාක් මෙන් බිහි වෙමින් තිබුණි. සමහර පොහොසත් සිසුන් මෙම කුලී රථ රියදුරන් තමන්ගේ පෞද්ගලික රියදුරු සේ තබාගත්   අවස්ථාද තිබුණි. ඔහුට තාන්යා අවශ්‍යව තිබුනේ විදේශික සිසුන් වන ඔවුන්ට සමීප  වීමට බැව් ගිහාන්ට  හා සුහදට වහා වැටහුණි.

තාන්යා  නේවාසිකාගාරය ලං වනතුරුම නිහඬවම සිටියේ සුහද නිසා බව ගිහාන් සිතීය. 

"මට ප්‍රියාන් කැසට් එකක් දුන්න. එයාගේ රූමා ලොකු එකා (ඔහුට බැඳී ඇති අන්වර්ථ නාමය) හැම වෙලේම මේ සින්දුව දවසට පස් පාරක් විතර අහනවලු. ලස්සන රුසියන් කෙල්ලෝ දෙන්නෙකුත් එනවලු ඒක අහන්න.  සින්දුව  කියන්නේ මැඩෝනා. කෙල්ලෝ දෙන්න කියනවලු උන්ට එක්කෝ ලංකාවට යන්න  ඕනෙලු. නැත්නම් කියුබාව ළඟ තියන දූපත්  රටකට. සින්දුවේ නම  ලා ඉස්ලා බොනීටා.

"මං දන්නවා සින්දුව. කොමෝ පුඅදේ ස වෙර්දා ,  'ඒක ඇත්ත වෙන්න පුළුවන්' " තාන්යා ගීතයේ මුල් පදය තාලයට කිව්වාය.

"ඔය ඉතින්" සුහද රවා බැලුවේ ගිහාන් දෙසය.

"ඔය සුන්දර දූපතවල් ගැන සින්දු අහනවට වඩා ඇත්තට කරන්න පුළුවන් දේ ගැන කෙල්ලට කියපන්."

"හරි මම කියන්නම්" ගිහාන් එකඟ විය.

"මම ඒ සින්දුවට කැමැතියි. " තාන්යා අහිංසකව තෙපලාය.

කාමරයට ගිය විගස ඔහු  මැඩෝනා ගේ ගීතය  ඇති  කැසට්  පටය ප්ලේයරයට දමා තාන්යා ගේ සුරත ගෙන වල්ට්ස්  නැටුමක ආකාරයට ඔහු වටා කරකැවීය.

"ඔහොම නෙමේ නටන්නේ ඒකට. " තාන්යා කොඳුරා කීවාය. ඇගේ දෙඅත් මුහුණ ඉදිරිපිට කරකවමින් ගවුමේ එක පැත්තකින් තරමක් දණිස හා කළවය පෙනෙන පරිදි උස්සා ලාලිත ලෙස පසු භාගය නටවමින් ජනේලය දෙසට නටමින් ගොස් වටයක් කරකැවී ඔහු වෙතට පැමිණුනාය.

"ඔයා කොහොමද නටන්න දන්නේ "

"ඇයි ඔය ගායිකාව ගේ ගීත දැන් යනවනේ රූපවාහිනියේ"

ගොර්බචොව්  ගේ පෙරේස්ට්‍රොයිකාව  පටන් ගැනීමෙන් පසු රූපවාහිනියේ එම්ටීවී හා වෙනත් බටහිර සංගීත චැනල වල ගීත වීඩියෝ පෙන්වන බව ඔහුට සිහි විය.
ඇය රුසියානු උච්චාරණයෙන්  ඉංග්‍රීසි ගීතය ගයන්නට වූවාය.

"පෙරදා රැයේ මා  සිහිනයෙන් දුටුවේ සැන් පෙඩ්රෝ
මම නොගියා සේ නමුත් මම ගීතය දනිම්
කතරක වැනි දෑස්‌ ඇති යෞව්වනියක මෙන්
හැමදෙයක්ම පෙරද සිදුවුනා සේ, දුර ඈතක්ද නොවන

ග්‍රීෂ්ම යේ  හමන දූපතේ මද සුලඟ
මුළු පරිසරයම දඩබ්බර නිදහසින්
ඉන්නට මෙතැනයි මගේ දැඩි ආශාව
සුන්දර වූ දූපතේ "

ඇය හදිසියේ කැසට් පටය නැවැත්වූවාය.

"මට ගෙනාදී කිව්වනේ විදේශිකයෝ ඉන්නවා උන් එක්ක යන්නලු. පිටරට බඩු විකුණන්න  දෙන්නම් ලු. සල්ලි ගොඩක් හොයන්න  පුළුවන් ලු. ඌ මට කතා කරලා තියෙන්නේ ඒකට. මදැයි මමත් රුසියන් ප්‍රේමවන්තයෙක් හම්බ වෙන්න ගියා "

"හොඳ වැඩේ මම කිව්ව දේ ඇහුවේ නැතිවට. ඔයා ඉක්මන් වුනේ ඇයි? මම ඔයාට කොච්චර  ආදරේද කියල ඔයාට වැටහීමක් නැහැ. මම ඔයා  වෙනුවෙන් ඕන දෙයක් කරනවා. "

"මම මේ සිහින මව මව ඉන්නේ මේ සින්දුවේ වගේ ලස්සන දූපතක ගිටාර් ගහන ප්‍රේම වන්තයෙක් එක්ක නටන්න, මුහුදේ යන්න මාළු අල්ලන්න, පුංචි ගොවිපලක් හදා ගන්න. කොල්ලෙක් කෙල්ලෙකුට අහිංසක විධිහට ආදරේ කරන තැනක, පුංචි ස්වර්ගෙක "

"ඔයාට පිස්සු, ඔය සින්දුවල තියෙන සුන්දර ජිවිතේ හැබැහින් නැහැ. ලංකාවෙත් ඔය වගේ ආදරේ කරන්න  හදන,  දෙමව්පියන් ට හොරෙන් පුංචි කඳු මුදුනකට ගිහිල්ල  පොඩි පැලක පදිංචි වෙලා බතුයි වතුරයි කාල ඉන්න හිතන ප්‍රේම  වන්තයෝ ඉන්නවා. ඒවා නිකන් සුන්දර හීන. මට ඔයාව  බෝට්ටුවක නම් එක්ක යන්න පුළුවන් හැබැයි. මගේ යාලුවෝ ඉන්නව මීගමුව කියන නගරයේ  බෝට්ටු තියන. දන්නවද ඔයා ගෙනාදි එක්ක, මාත් එක්ක වගේ ආදරේ කරයි කියල  මම ඉරිසියාවෙන් පෙළුනා. තරහින්  දුකින් හිටියේ  මගේ වැරැද්දෙන් ඔයාව අහිමි වුනා කියල, දුක සින්දු අහ අහා."
ගිහාන් ඇය ඔහු වෙතට ඇද ඇය ගේ මුව තදින් සිප ගත්තේය.

"මොයි සලතෝයි " තාන්යා සිනාසෙමින් ඔහුට ආමන්ත්‍රණය කලාය. ඇය  කිසි  විටෙක ඔහුව එසේ  අමතා නැත. එහි තේරුම මගේ රත්තරන් යන්නය.

"උඹ ඔය වගේ මාත් එක්ක ටිකක් රළු වෙනවනම් මම  කැමැතියි. හැබැයි බත්නුයි වතුරයි එපා. පානුයි බටරුයි තිබ්බහම  ඇති  . මම කැලේට ගිහින් හතු කඩලා උඹට රසට උයල කන්න දෙන්නම්. බෙරි ජාති කඩලා වරේනියා  (ජෑම්) හදල දෙන්නම් " ඇය ඔහු ගේ උකුලට   පැන්නාය.

"ගේනා හොඳයි. නමුත් අනිත් රුස්සෝ වගේම බොන්න පටන් ගත්තා බෑග් එකේ වොඩ්කා බෝතලයක් දාගෙන. අපි පිල්මේනිය කන්න  ගිය වෙලේ ඉඳන්. අනික එයාගේ ගෙදර දී ඇඟිල්ල දාල සීනි දාපු  ඉස්පරෙන්නොයේ මලාකෝ කිරි බෝතලෙන් කාල ඇඟිල්ලත් සූප්පු කළා. ඔයා ළඟ ඒ වගේ ගති නැහැ. මට එතනම එපා වුණා . මම කරපු මෝඩකම කියල හිත හිත ඉන්න කොට හොඳ  වෙලාවට  ගේනා ගේ අම්ම ආව. එයා එක්ක කතා කර කර ඉඳල මම කිව්වා මට ඔයා ගාවට යන්න ඕනේ කියල. ඌ මට විහිළු කරන්න ගත්ත. ඔය විදේශිකයෝ උඹ එක්ක ඉඳල දාල ගියාට පස්සේ ආයේ මතක නැහැ උන්ට කියල. නමුත් අම්මා බැන්නට පස්සේ ඇවිත් ඔයාට කතා කලා" ඇය සන්සුන්ව කීවාය.

ගිහාන් කොක් හඬලා සිනාසුනේය. ඉස්පරෙන්නයේ මලාකෝ යනු ටින් කරන ලද සීනි අධික ඝන කිරි හෙවත් ටිං කිරිය. ඔහුද එසේ   ටිංකිරි ටින් එකෙන්  කා තිබේ. නමුත් හැන්දකින් ය.  රුසියානුන් ගේ සමහර  ගති රළුය.  වොඩ්කා බීමට පටන් ගත්  විට එහිද  නිමක් ද නැත. ඔවුන් ගේ   පෙම්වතිය හෝ බිරිඳ ද බොහෝ වෙලාවට කරන්නේ  ඔවුන් සමග ඒ බීමට ඇබ්බැහි වීමය. තාන්යා ගේ නිවසේ ගිහාන්  එවැනි බීමක් නොදුටුවේය. සමහර විට ඇගේ දෙමාපියන් උගත් අය නිසාද? සෝවියට් ජනාධිපති ගොර්බචොව් බලයට පැමිණි  දිනවල මතට තිත තැබීමේ වැඩ සටහනක් ක්‍රියාත්මක කළේය. ඒ රුසියානුන් ගේ බීමත් භාවය ඉතා ඉහල අගයක් ගත් බැවිනි. වසරකට  තද ඇල්කොහොල් බීම ලීටර මිලියන් දහයකට වඩා විකුණුනි. බීමෙන්  වන මරණ හා ලෙඩ රෝග ද සාපේක්ෂව ඉතා වැඩිවීය. නමුත් වැඩ සටහනේ අවසාන  කාලය වන විට වොඩ්කා හිඟවී මිනිසුන් හොරෙන් පෙරන  කසිප්පු වැනි සමගොන්කි වැඩිවීම මිස වෙන කෙරුණු ලබ්බක් නැත.

"පානුයි බටරුයි නුත් ලංකාවේ හැටියට ලාභ නැහැ මෙහෙ ලාභ වුනාට. වරේනියා වලිනුයි හතු වලිනුයි විතරක් නම් ජිවත් වෙන්න  බැහැ මයියා සලතාය තාන්යා." ගිහාන් ඇගේ නිල්වන් නෙත් යුගළට එබී බලමින්  පැවසීය. 
මයියා සලතායා යනු  මගේ රත්තරන් යන්නෙහි ස්ත්‍රීවාචී උච්ඡාරණයයි.

"නමුත් අද දවසේ මම දුකින් කණගාටුවෙන්  හිටි තත්වේ ගැන කල්පනා කළාම ,  උඹ ආපහු මං ගාවට ආවාට පස්සෙයි මට තේරුනේ එහෙම හරි උඹත් එක්ක ඉන්න මට පුළුවන් කියලා. ඉන්න ඕනේ කියලා "

"මොයි සලතොයි, මොයි ලුබීමි මමත් එහෙමයි " (මගේ රත්තරන්, මගේ ආදරණීයයා ) ඇය ඔහුගේ කනට කොඳුලමින් ඔහුගේ දෙතොල මත සීරුවෙන් හිමින් සිය දෙතොල තබමින් ඔහු සිප ගත්තාය.

~ මතු සම්බන්ධයි




Saturday 4 August 2018

නිර්මාල්ගේ විජයකලා මොහොත සහ ආඥාදායකයින්ට ප්‍රේම කිරීම - දයාපාල තිරාණගම

ගෝඨාභය හා විජයකලා සුසංයෝගය 
විජයකලා කල ප්‍රකාශය ගැන දයාපාල තිරාණගම මහතා පල කල අදහසක් මම බ්ලොග් ලිපියක් "විජයකලා සම්බෝලයට ගැනීම සහ ....දයාපාල තිරාණගම"  ලෙස පල කෙළෙමි.

එම ලිපිය කියවා  බොහෝ අය වරදවා වටහා ගත් දෙයක් විය. ඒ විජයකලා ගේ ප්‍රකාශයට අප සමාව දැක්වීමක් කරන බවකි. එසේත් නැතිනම් විජයකලා කීවට කමක් නැති වුවත් දකුණේ එසේ කීම වැරදි යයි අප අදහස් කරන බවකි. මෙම අදහස් දෙකම වැරදිය. විජයකලා යනු විගේනේශ්වරන් වැනිම තවත් අවස්ථාවාදී දේශපාලනයේ යෙදෙන චරිතයකි. යාපනයේ අපරාධ වැඩි වන විට ඇය තද පාලනයක් සහිත එල්ටීටිය ඉල්ලන්නේ එබැවිනි.

කොටින්ම ඇය කියන්නේ " මේ  බලන්න ආණ්ඩුවේ වත් මගේ වත් ප්‍රශ්නයක් නෙමේ මේක. මට ඔයාල චන්දෙ දෙන්න. එල්ටීටිය ගෙනල්ල හරි  මම ඔයාලට සේවය කරන්නම්"  නමුත් ප්‍රශ්නය ඇත්තේ විජයකලා නියෝජනය කරන  රජයේ පාලනය, ඊට කලින් පැවති  රජයේ පාලනය හා තවමත් නොවිසදුනු දෙමළ  ජාතික ප්‍රශ්නය, උතුරේ  ආර්ථික ප්‍රශ්න (මුළුරටේම  ඒවාට අමතරව) තුල බව ඇය සඟවයි. ඇගේ කතාව  මෙන්ම ගෝඨා ගෙනෙන ඝෝෂාව තුල ඇත්තේද මේ සත්‍යය වසන් කිරීමයි.
ගෝඨා ගෙන ඒමේ ඝෝෂාව  ඇත්තටම ජනාධිපති ප්‍රමුඛ රජයේ වැඩක්ද කියා සැකයක්    ඇති වන්නේ මේ වෙලාවටය.

නිර්මාල් දේවසිරි මහතා විසින් "අනිද්දා" නම් පත්‍රයකට ලියන ලද ලිපියකට දයාපාල තිරාණගම ලියු පිළිතුරක් එම පත්‍රයේ (අනිද්දා ) පල කර නොමැත. එම නිසා එම ලිපිය ඉහත කරුණට ද අදාල හෙයින් මෙහි පල කිරීමට තීරණය කලෙමි.

************************************************************
මා මිත්‍ර  නිර්මාල් රන්ජිත් දේවසිරි අප මුහුණු පොත හරහා කරන ලද විවාදයක් මුද්‍රිත  මාධ්‍යය  ට ගෙන ඒම ගැන මා සතුටුවෙමි.අනිද්දා පත්‍රයෙන් (28/ 7/29) ඔහු කල ප්‍රතිචාරයට පිළිතුරක් දීම අවශ්‍ය වන්නේ අද පවතින  අර්බුදයෙන් අප ගොඩ එන්නේ කෙසේද  යන්න ගැන සංවාදයක් අවශ්‍ය  වනබැවිනි.

අද පවතින අර්බුදය කෙතරම් දුරට  ජනතා  බලවේගයන් ආකුල ව්‍යාකුල  කර ඇත්දැයි කිව හොත් සියලුම පක්ෂ සහ
දේශපාලන උනන්දුවක් ඇති පුද්ගලයන් පවා නන් දෙඩ විලි කරුණු ලබන්නේ දේශපාලන ළදරුවන් මෙනි.

විජයකලා කොටි සංවිධානයට නැවත ගොඩ නැගීමට කරනලද අභිලාෂයත්,නිර්මාල් රන්ජිත් කලක සිට 2020 දී ගෝඨා  බලයට පත්කිරීම සඳහා කර ඇති කතිකාවත ද අයත් වන්නේ අද  මුහුණ දෙන අර්බුදයේ එක්මානයක් ලෙසයි.නමුත් මේ දෙදෙනාම කියා සිටින්නේ තමන් ඇත්තටම  අදහස් කලේ එය නොවන බවය.විශේෂයෙන් ම නිර්මාල් ගේ අනුගාමිකයන් කියා සිටින්නේ ගෝටා 2020 බලයට පත් කොට ජනතාවට ප්‍රජාතන්ත්‍ර වාදයේ  වටිනාකම කියා දීම මිස වෙන දේශපාලන පාඩමක් නැති වන්නේ ගෝඨා  නියෝජනය කරන බලවේගයන්  එතරම්ම ශක්තිමත් නිසාය.අප විසින් ඉදිරිපත්කරන  කිසියම් දේශපාලන ව්‍යාපෘතිය  ක් සහ අද ජනතා ව සිටින තැන අතර පියවිය නොහැකි විශාල පරතරයක් ඇති  බැවින් එම අභියෝගය ජයගන්නේ කෙසේද යන්න ගැන විශ්වාසයක්  නිර්මාල්  තුල නොමැති බව ඔහු පෙන්නුම් කරයි.

යම්කිසි සංවිධාන ව්‍යුහයකට  සම්බන්ධවන්නේ  හෝ සාමුහික  වගකීමක් නැතිව තනි පුද්ගලයන් වශයෙන් පැවතීම සහ තමන් වුවමනාවෙන්ම  තනිවීම නිසා බොහෝවිට සාමුහිකතත්වයට වඩා තම පෞද්ගලික දේශපාලන හැකියාව පිළිබඳව ඇතිකරගන්නා  අධිවිශ්වාසය දේශපාලන ක්‍රියාවලියක  දිග හැරීම ගැන බියකරු සිහින දැකීමෙන් අප ගැලවිය යුතුය.එසේ ගැලවීමට නොහැකිවීම ගෝඨා  ගේ 2020 යෝජනා ක්‍රමයට ආ  වැඩීමේ දේශපාලන වැරැද්ද කරනු ලැබීම ජාතිවාදී සහ ආගම් වාදී ප්‍රවණතාවයන් සුජාත කිරීමට දැනුවත්ව හෝ නොදැනුවත්ව සේවය කිරීමකි.

විමුක්තිකාමී දේශපාලන බලවේගයන්ගේ බෙලහීනතාවය දේශීයව සක්‍රීය  බලවේගයක් බවට පත්කිරීමට ගෝඨා  විසින් බලයට පැමිණ කරන මර්දනයෙන් සිදුවෙතැයි සිතීම ජනතාවට පාන්  බැරිනම් කේක් කාපල්ලා යයි කීමක් වැනිය.එය ජනතා වට කෝපාන්විතව කරන තරවටුවකි.අප වාමාංශය වෙනුවෙන් පෙනී සිටින්නේ එහි උරුමයේ පවතින පසුබැසීම් මෙන්ම ජයග්‍රහණයන්  ද නිසා උරුම කරගත් පාඩම් වලින් සන්නද්ධ වෙමිනි.දශක ගණනාවක දේශපාලන නිහඬ බව සති ගණනක්  ඇතුලත  ගිගුරුම් දෙමින් ජනතාව අවධිවීම ගැන හොඳ උදාහරණයන් ටියුනිසියාවේ සහ ඊජීප්තුවේ ජනතා නැගිටීම් වලින්  පෙන්වනු  ලැබිය.

නිර්මාල් විසින් සිය පිළිතුරු ගොනු කරද්දී මෙවන් අවස්ථාවල ලෙනින් කල ආකාරයටවෘත්තිමය  විප්ලවාදීන් ගොඩ නගමින් ගෙන ගිය ආකෘතිය යල් පැනගිය එකක් ලෙස මම සලකමි.ජනතාව පීඩාවිඳින සියලුම  ක්ෂේත්‍ර  වල,කම්කරු,ගොවි,  ස්ත්‍රී,  පීඩිත ජනතා සමුහයන්හි  හා  ශිෂ්‍ය බලවේග  වෙනම ඔවුනොවුන්ගේ පීඩිත දේශපාලන අවකාශයන් තුල සංවිධානය  කොට  ජනතා බලවේග ගොඩ නැගීමේ ව්යාපෘතියක් කෙරෙහි මේ යුගයේ දේශපාලන අවශ්‍යතාවයක් ලෙස මම දකිමි. 

ගෝඨා නියෝජනය කරන ජාතිවාදී සහ ආගම්වාදී බලවේගයන් ප්‍රබල  වුවද එම බලවේගයන් නියෝජනය සඳහා ඔහුගේ  යෝග්‍ය   බව පිලිබඳ දැඩි විරෝධයන් එම කඳවුරේ සමහර නායකනයන් ගෙන් එල්ල වී ඇත.එමනිසා ගෝඨා ගේ යෝජනා ක්‍රමය  සිදුවිය හැක්කක් බව ට සහතික කල නොහැක.එය එසේ වුවහොත් ගෝඨා ගෙනවිත් ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදයේ වටිනාකම ඉගැන්වීමේ නිර්මාල්ගේ සිහිනය සබැ නොවනු ඇත.මෙය ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයට සිදුවන පාඩුවක් ලෙස ඔහු දකින්නට පුලුඑවන් කම ඇත්තේ ඒ පිළිබඳව කලක සිටි සෑහෙන බලා පොරොත්තු සහිත කතිකාවක් ඔහු ගොඩ  නගා ඇති  බැවිනි.

නිර්මල්ගේ විවාදාත්මක  ගෝඨා  2020 යෝජනා ක්‍රමය    ඔහු  ගෙන අවේ ජවිපෙ අනුර  කුමාරට 2020 පාර  කැපීමේ යෝජනා ක්‍රමය  සාක්ෂාත් කර ගැනීමේ උපාය මාර්ගයක් ලෙසයයි මම විශ්වාස කරමි.එමගින් ජනතාව අතර  භීතිය  උපදවා එමගින් අනුර කුමාරගේ චන්ද ගොඩ වැඩි කර ගත හැකිව තිබුණි.නමුත් දැන් පෙනී යන ආකාරයට එය අසාර්ථක වෙමින් පවතී.

ජනතා අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීම විශ්ව විද්‍යාල  මහාචාර්ය වරුන්ට පැවරුව  හොත් ඒවා නැති බංග වනබව කවුදෝ විප්ලවාදී නායකයෙක් කියූ බව මට මතකය.

ජනතාව පීඩාවට ලක් වීමේ දී ඇතිවන විනාශය සහ පසු බෑම ඉන් ජනතාව ඉගෙන ගන්න වටිනාකම් වලට වඩා හානිකරය. දුෂ්කරය.කටුකය.එය ජනතාවගේ විමුක්තිය දශක ගණනාවක් ආපස්සට ගෙන යනු ඇත.එබඳු වූ ව්‍යසනයක්  අධිෂ්ඨාන කිරීම අපේ සදාචාරයට ගැල පෙන්නේ නැත.අපේ සදාචාරය සංයුක්තවන්නේ මැටි බළලා ගෙන් හෝ මීයන් අල්ලා ගැනීමක් නොවේ. අප කල යුත්තේ මිනිස් සදාචාරයේ අඛණ්ඩතාවය  රැක  ගනිමින් විමුක්ති මාර්ගයේ  ජනතාව  සමග ගමන්  කිරීමයි.


දයාපාල තිරාණගම
පින්තුරය උපුටා ගත්තේ : http://tamilnews.com/2018/07/05/vijayakala-maheswaran-gotabaya-rajapaksa/

Thursday 19 July 2018

ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ (31) -වෙර්නිසාෂ්


සෝවියට් දේශයේ නිපදවූ ඉලෙක්ට්‍රොනිකා තැටි වාදන යන්ත්‍රයක් 
ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ (30) - දුපතේ ගීතය

නැවත මොස්කව් බලා ගමනේ දී ගිහාන් සිටියේ විචිකිච්ඡාවෙනි.
"ඇයි අර වගේ සින්දුවක් කීවේ" ඔහු ඇසීය.

"මම නිවාඩුවට ගෙදර ආපු වෙලාවේ ඒ  රෙකොර්ඩ් එක ඇහුවා කිහිප වතාවක්. ඒකයි. අමතක කරලා දාන්න"

බොහෝ සෝවියට් නිවෙස් වල ඒ දිනවල තිබුනේ තැටි වාදන යන්ත්‍රය. මේවාට ඇම්ප්ලිෆයර් එකක් හා හොඳ බෆල් දෙකක් අමුණා ගත්විට සංගීත ධ්වනියන් ඉතා පැහැදිළි ලෙස ඇසෙන සුමධුර සංගීතයක් ශ්‍රවණය කළ හැකිය.

"මම තවම ඔයාව දාල ගියේ නැහැනේ"
"බබුෂ්කා (මිත්තණිය ) කොසැක් ජාතික නේ. එයාගේ පරම්පරාවේ ගොඩක් අය රතු හමුදාවට  විරුද්ධව ජෙනරාල් දෙනීකින් ගේ පැත්තේ සටන් කරලා තියෙන්නේ. ඊට පස්සේ ස්ටාලින් ගේ කාලේ බලෙන් සමූහ ගොවිපලවලට ගාල් කරනවට විරුද්ධ වෙලා එයාගේ තාත්ත සහ පවුලේ උදවිය මරල තියනවා. එයාගේ සැමියා දෙවන ලෝක යුද්දෙදි මලා."
"ඔයා බබුෂ්කා ගැන කතා කරන්නේ ඇයි " ගිහාන් නොඉවසිලිමත් විය.
"අහගෙන ඉන්නකෝ"...........

"බබුෂ්කා එයාගේ එකම දරුවා වන ඇලෙක්සෙයි වත් හදාගෙන එයාගේ අම්මවත් බලාගෙන  හිටියේ තනියම. එතකොට පිරිමි අඩුයි. බොහොමයක් පිරිමි විප්ලව කාලේදී දෙපැත්තට සටන් කරලා , නැත්නම් ඊට පස්සේ ආණ්ඩුවෙන් අල්ලලා,  එහෙමත් නැත්නම් අන්තිමට ජර්මනියට එරෙහි  යුද්දෙට ගිහින් මැරිලා. එනිසා පිරිමි අඩුවුණා අපේ පැතිවල. ගමේ ඉතුරු වුනු පිරිමින් ගෙන් කෙනෙක් පළාතේ කොමිසාර් . කේජීබී එකට කෙලින්ම සම්බන්ධකම් තියෙන්නේ එයාට. බබුෂ්කා ලස්සන නිසා මිනිහා ඇවිත් එයාගේ අනියම් බිරිඳ වෙන්න කියල තර්ජනය කරලා. නැත්නම් පරණ වාර්තා අවුස්සලා එයාව සයිබීරියා යවල දරුවා අනාථ නිවාසෙකට දානවා කියල. බබුෂ්කා ඊට පස්සේ එයා  එක්ක ජිවත් වුණා. එයාගේ බිරිඳ නම් හුඟක් කරුණාවන්තයි. එයත් තරුණ කෙල්ලක් එතකොට. එයාටත් වෙන පෙම්වතෙක් ඉඳල තියනවා. අන්තිමට දෙන්නම එක මිනිහ බෙදාගෙන හිටියා. අර අපි තගන්රොග් ගිහින් එනකොට රෑ කෑමට ඇවිත් හිටියේ එයා. දැන් ගොඩක් වයසයි. හැබැයි මමත් දේදුෂ්ක ( සීය) කීවේ ඒ මනුස්සයට. එයාගෙම පුතා ට ලොකු තනතුරක්  තියනවා නගර සභා කාර්යාලයේ.සීයා ලඟදි තමයි මැරුණේ. ලේනා කේජිබි විශ්ව  විද්‍යාලෙට යන්නෙත් ඒ දෙන්නගේ  බලපෑමෙන්"

"මේ රටෙත් එහෙමය කියල මට කවදාවත් හිතුනේ නැහැ "ගිහාන් පැවසීය.
"පක්ෂයට සම්බන්ධ කමක් තියනවා නම් වඩා හොඳයි. නැත්නම් සාමාන්‍ය  විධිහට ජිවත් වුනහැකි. මම කියන්න හැදුවේ  බබුෂ්කා ඔයාට ආදරෙයි. නමුත් ඒ දෙන්නම තරුණ කාලේ ආදරේ කරල දුක් වින්ද කියල මට කියනවා ඔයාව දැන්මම අත අරින්නලු. වැඩිය දුර යන්න කලින්. ඒ කියන්නේ බඳින්න නම් එපා කියල."

"ඔයාගේ අම්මයි තාත්තයි මොනවා හරි කියනවද" ගිහාන් ඇසීය.

"තාත්තා ඔයාට ගොඩක් කැමැතියි. ඔයාට මෙහෙ ඉන්නලු ආපහු යන්නෙ නැතුව. සවෝද් (කම්හලේ) එකේම ඔයාට රස්සාවක් හොයල  දෙන්නම් ලු. එයත් එක්ක මාළු බාන්න යන්න පුළුවන්  ලු ඔයාට. අම්ම නම් කියන්නේ ඔයත් එක්ක පුළුවන්නම් යන්නලු  ඕනේ රටකට මෙහෙ දාල "

"ඇයි අම්ම මෙච්චර අකමැති සෝවියට් රටට. ඕගොල්ලෝ ලොකු අමාරුවකින් ජිවත් වෙනවා කියල පෙනුනේ නැහැ."

"අම්මට පිටරට ගිය යහළුවෝ ඉන්නව. අම්ම උගන්වන විද්‍යාලයේ පිටරට ළමයි ඉන්නව. එයා දන්නවා  ඒ රටවල තත්වය. අනික එයාට උසස්වීම් කිහිපයක්ම ලැබුනේ නැහැ. පක්ෂේ උදවිය ගේ කේලම් නිසා. "

"ඒ වගේ දේනම් අපේ රටෙත් වෙනවා තනුච්කා, නමුත් එක පාරට බැඳලා ලංකාවට  යන්න මට බැහැ . මට නංගි කෙනෙක් ඉන්නව. එයාව බන්දල දෙන්නත් ඕනේ.  අනික ලංකාව බටහිර වගේ පොහොසත් රටක් ම නෙමේ"

"ඔයා මොකටද නංගි බන්දල  දෙන්නේ. එයාට බඳින්න බැරිද තනියම. මම කියන්නේ ඔයාට විවාහයට ගිය හැකි. අපි දෙන්නටම යන්න පුලුවන්නම් හොඳ නැත්ද? ලංකාව පොහොසත්  නැත්තේ මොකද ? කොච්චර ලස්සන රටක් ද "

"නැහැ ඔයාට තේරෙන්නේ නැහැ. අපේ රටවල සහෝදරයෝ සහෝදරියන්ගේ විවාහ කටයුතු ආදියේ වගකීම අරන් කරනවා. මෙහෙ වගේ යුරෝපීය විධිහට නෙමේ ඒවා වෙන්නේ. අනික මගේ තාත්තා අසනීප නිසා දැන්ම අපි ගැන කියන එකත් හොඳ නැහැ. රට ලස්සන වුනාට ගිහිල්ල ජිවත් වෙන්නත් එපැයි. ඔයත් එක්කනේ ගිහින් ඉන්න වෙන්නේ "

තාන්යා බොහෝ වේලාවක් දුම්රියේ ජනේලයෙන් එපිට බලාගෙන නිහඬව සිටියාය. එක නැවතුම් පලකින්  ජපානයේ නිෂ්පාදිත ශාප් කැසට් යන්ත්‍රයක් අතැතිව රුසියානුවෙක් දුම්රියට නැගුණේය. මෙසේ මිලදී ගන්නා කැසට්  යන්ත්‍ර වල හැමෝටම ඇසෙන්නට සින්දු දමාගෙන යාම සමහර රුසියානුවන් ගේ පුරුද්දකි. මොස්කව් නාගරිකයන් තුල මේ පුරුද්ද නැති වුවද ඉන් පිටත දනව් වල මෙවැනි රුසියානුන් සිටින බව ගිහාන් දැන සිටියේය.   ඔහු ගේ කැසට් යන්ත්‍රයෙන් වාදනය වුනේ සෝවියට් බෝල්ටික් රටක් වන ලැට්වියා වේ ගායිකා  ලයිමා වයිකුල්යේ හා රුසියානු වැලරි ලියෝන්තියෙව් නමැති ගායකයාගේ යුගල ගීයකි.

තරුණියක්  ආරාධනයකින් පමණක් යා හැකි චිත්‍ර ප්‍රදර්ශනයක පෞද්ගලික දර්ශනයකට යන්නීය. මහජන දැක්වීමකට කලින් පැවැත්වෙන මෙවැනි ප්‍රදර්ශනයකට රුසියානු භාෂාවෙන් වෙර්නිසාෂ් නමින් හැඳින්වේ.    ඇයට එහිදී හදිසියේම "ඔහු" හමුවෙයි.  "නා වෙර්නිසාෂ්" ගීතය දෙදෙනාම ගයන්නේ එම අපූරු  හමුවීම උදෙසාය.

තාන්යා ඉතා උනන්දුවෙන් ගීතයට සවන් දෙන අයුරු ගිහාන් දිටීය. රුසියානුවා ද උරුහම් බාන්නට විය.

"මම ඔබ හමු වුනේ වෙර්නිසාෂ් දවසේ " ඇය ගයයි.
"නමුත් ඔබ සිටින්නේ තවත් කෙනෙක් සමග, මා සමග නොවේ " ඔහු ගයයි.
ඇය "මේ වෙර්නිසාෂ් දිනය අති සුන්දරයි. ඔබේ බැල්ම ඊටත් වඩා සුන්දරයි.".
ඔහු   "නමුත් ඔබ සිටින්නේ තවත් කෙනෙක් සමග, මා සමග නොවේ "
ඇය " මම ඔබ වෙත යන්නේ ඔබ මා  ගලවා ගනී කියල. ඔබ තමයි මෙතරම් දීර්ඝ කාලයක් මා බලා සිටි පෙම්වතා. "
ඔහු අහක බලාගෙන    "නමුත් ඔබ සිටින්නේ තවත් කෙනෙක් සමග, මා සමග නොවේ "
ඇය "මට හිතෙන්නේ මම දැනටමත් ඔබ සමග තදින් ආදරයෙන් බැඳිලා කියල. "
ඔහු   "නමුත් ඔබ සිටින්නේ තවත් කෙනෙක් සමග, මා සමග නොවේ "

"මම මේ සින්දුව හරියට අහන්නේ අදයි" තාන්යා මිමිණුවාය.

"මගේ අවුල්වීම ඔබ, මගේ ශෝකය ඔබ, මට කට පාඩමින් මතක හිටින හීනය  ඔබ "ඔහු ගයයි.
එවිට ඇය  "නමුත් ඔබ සිටින්නේ තවත් කෙනෙක් සමග, මා සමග නොවේ " යයි, ඔහු කලින් ගැයූ වදන් ම, පවසන්නීය.

ඔහු "වසර ගණනක්  තිස්සේ මම ඇවිදිනවා ඔබව හමු වීමට. "
ඇය "නමුත් ඔබ සිටින්නේ තවත් කෙනෙක් සමග, මා සමග නොවේ "
ඔහු " අහෝ මේ වෙර්නිසාෂ් දවස, ඔබ(දවස) අපේ වධකයා. නමුත්  ඔබ තනිවම නොවේ, ලස්සන ප්‍රදර්ශනයක් මේ. "
 ඇය "නමුත් ඔබ සිටින්නේ තවත් කෙනෙක් සමග, මා සමග නොවේ "
ඔහු " එක කුමන්ත්‍රණයයි මේ චිත්‍ර ප්‍රදර්ශනයේ අඩු. ඔබ මා  සමග එක්ව සිටින කතාන්දරය "

ඉන්පසු දෙදෙනාම මෙසේ ප්‍රදර්ශනය බලන මුවාවෙන් ගයති.
"අහා වෙර්නිසාෂ් දවස,  වෙර්නිසාෂ් දවස,
මොන ප්‍රතිමුර්තියක්ද මොන දසුනක්ද
මෙන්න මෙතන ශීත  සමයේ සන්ධ්‍යාවක්,
මෙතන ගිම්හානයේ  දරුණු රස්නය,
 මෙන්න වෙනීසියේ වසන්තය  
මොන තරම් හොඳ  මූර්තියක් ද
මොන තරම් සුන්දර භූමියක්ද
කෙනකුගේ පුර්ණ මුහුණක්
ඕහ්  මම ඔබ දිහා, ඔබ දිහා බලන්නේ "

ගිහාන් ගේ සිත සැහැල්ලු කරමින් ගීතය අසන තාන්යා ගේ මුවගට සිනහවක් නැගුණි.
"අපි දෙන්න වගේ නේද ? වෙනිසියට යන්න තියනවා නම් කොච්චර එකක්ද? ඔය ලයිමා එහෙම නම් ගිහින් තියනවා. මාත් ප්‍රසිද්ධ ගායිකාවක් වුනා නම් යන්න තිබුනා " දීර්ඝ වූ සුසුමක් හෙලමින් ඇය ගිහාන් ට තුරුළු වූවාය.

ඔවුන් දෙදෙනාම මොස්කව් පැමිණියේ සිතිවිලි වලින් බරවය. වෙනදා  තිබූ සැහැල්ලු ගතිය මේ ගමනින්  පසු අහෝසි වී ගිය බවක් ගිහාන්ට දැනී තිබුණි.

එංගලන්තයේ ගොස් රැකියාව  කර උපයා ගත් මුදල් සහ ගෙන ආ ඇතැම් සංගීත උපකරණ යුදෙව් සම්භවයක් සහිත  හොර මුදලාලිට විකුණා උපයාගත් මුදලින් ශ්‍රී ලංකාවට ගුවන් ගමන් බලපත්‍රයක් ගත් ගිහාන් ඒ අවුරුද්දේ ශීත කාලයේ  සති දෙකක නිවාඩු සමයේදී ලංකාවට පැමිණි බව සිහිපත් කළේය. තාන්යා ඔහුත් සමග ප්‍රථම වරට ශෙරෙමිතෝවා ගුවන් තොටට පැමිණියේ එදාය. ඇය එහි විශාලත්වයට  පුදුම වූවාය. එහි අවන්හළේ ආහාර  ප්‍රණීත බව සියලු සිසුන් දැන සිටියහ.

ඔහු නැවතත් එන දින ගුවන් තොටට සුහද සමග එන පොරොන්දුව පිට ඇය ඔහුට උණුසුම් ලෙසින් සිප වැළඳ සමු දුන්නාය.

ගෙදර පරිසරය සුපුරුදු පරිදිය. මව ඔහුගේ පැමිණීමෙන් උදක්ම සතුටු වූවාය.
නංගීට තමන් තාන්යා ට ආදරය කරන බව පැවසීම වරදක් බව ගිහාන් ට කියූ දා ම සිතුණේය.
"එතකොට විශාඛා ට මොකද වෙන්නේ " නංගී එක එල්ලේම ඇසුවාය.
"එයත් එක්ක මගේ ලොකු සම්බන්ධයක් තිබුනේ නැහැනේ " ගිහාන් උකටලීව කීවේය.

"නිකන් කතා බහ කළා , හම්බ වුණා. වෙන දෙයක් කතා කලේ නැහැ "

"අනේ මන් දන්නේ නැහැ අයියේ. ඕව නොකෙරෙන දේවල් කියල තමා මට නම් හිතෙන්නේ. මේ දම් පාට ශීත  කබාය එයාටද ගත්තේ. උසයි ද එයා "

"ඔව් එයාට තමා" ගිහාන් ඡායාරූප කිහිපයක් පෙන්වීය. ලන්ඩන් ගමනේ හා රොස්ටොව් ගමනේ ඡායාරූප ඇස්වාට්ටුවේ සලාකා එකෙන් මුද්‍රණය කර ගත්තේ සෝවියට් දේශයේ එය කල නොහැකි හෙයිනි. නැගෙනහිර ජර්මන් සිසුවියගෙන් මිලට ගත් ප්‍රක්ටිකා කැමරාවෙන් හා තාන්යා ගේ පියාගේ කැමරාවෙන් ගත් ඡායාරූප ඒ අතර විය.
"එයා හරි ලස්සනයි ආ. ඉඳල ඉඳල නිලියක් අල්ල ගත්තද ? " නංගී කට ඇද කලාය.

මොස්කව් පැමිණ මාස දෙකකින් පමණ ලංකාවෙන්  ලියුමක් ලැබුණේය. නංගී විස්තර දෙමාපියන්ට පවසා ඇති බව මවගේ ලිපියෙන් ගිහාන් වටහා ගත්තේය.
"පුතා තනියම එනවා නම් හොඳයි. ආවහම රස්සාවක් හොයා ගන්න  ඕනි නේද , නංගි බඳින්න  ඕනේ. ඒ පුතත්   බලන් ඉන්නවා. ඔයා ඉවර කරලා එනකන් අපි බලන් ඉන්නේ.  ඔය පැත්තේ ළමයි හොඳ ඇති. ඒත් පුතේ බැඳලා එකට ඉඳී කියල විශ්වාස කරන්න පුළුවන් ළමේක් නේද හොඳ "

අනිත් ලියවිලි කෙසේ වතත් අවසාන කොටස දුටු ගිහාන් ගේ සිතේ  මව කෙරෙහි කෝපයක්ද තමන් හා තාන්යා කෙරෙහි    අනුකම්පාවක්ද හට ගති.
"අම්මල දන්නේ මොනවාද , මුළු ජිවිත කාලෙම එක තැනක, එක රටක හිටියේ.  තාත්තා ට දෙමළ  පෙම්වතියක් ඉඳල ඒක කර ගන්න  බැරිව අම්මව බැඳලා තියෙන්නේ  අහම්බෙන් වගේ ආපු යෝජනාවකට". ඔහු සුහදට කීවේය.
"ඉවර කරලා ගෙදර පලයන්. අම්මලට කරුණාවෙන් විස්තරේ කියපන්. අම්මල තේරුම් ගනීවි. " සුහද අවවාදයක් දුන්නේය.

ඔහු තාන්යා ට ඒ කිසිවක් කිවේ නැත.