Tuesday, 11 August 2015

දාහේ පටියේ මාසික තෑග්ග හා නෙළුම් යායෙන් පොත් බෙදිල්ල

තරාතිරම් වාදය ගැන මා මිට කලින් ලිපි කීපයක් ලියා  තිබේ.

පීචං අමෙරිකන්ලා හා තවත් කතා - 1
තරාතිරම්වාදය 1- සමාජ සුභ සාධකගේ කොමෙන්ටුවට තව කතාවක්
තරාතිරම්වාදය 2
අන්තිම ලිපියේ ලියුවේ ඉන්දියානු ගමන ගැනය. නෙළුම්  යායේ මාසික තෑග්ග වශයෙන් රුපියල් දාහක් දීමට කල යෝජනාවට එල්ලවූ විවේචනයක් දුටු මට මේ අත්දැකීම මතක් විනි. මා  ගිය ඉන්දියානු චාරිකාවේ  සංවිධායක වරයා එක තැනක එක රැයක් පමණක් මට වෙනම කාමරයක් දිය නොහැකි බව පැවසුවේය. එතන එහෙම කාමර නැති පන්සලකි. නිඝන්ටයන් අදහන අයගේ ආරාමයක දේශනා ශාලාවේ මුළු වන්දනා කණ්ඩායම ම නිදා ගත යුතුව තිබුණි. වෙන විසඳුමක් කොහොමත් නැති නිසා මා මෙයට විරුද්ධත්වයක්  නොපෑවෙමි.

එදා මදක් පමාවී ආරාමය වෙත බස් රථ පැමිණුනි. සාමාන්‍යයෙන් උදව් කරන ඉවීම කරන කණ්ඩායමේ දෙමළ තරුණ පිරිස ඉවුම් පිහුම් කිරීමට හා ශාලාව ශුද්ධ කිරීමට ගියහ. මම මගේත් මවගේත් ගමන් මාළු  රැගෙන ශාලාව තුල තැබීමි. ඉන්පසු මට පෙනී ගියේ වයසක උපාසක අම්මලා හා අබල දුබල අය ඉතා අමාරුවෙන් තමන්ගේ ගමන් මලු අදින බවය.එහිදී මා කළේ  වයසක අයගේ ගමන් මළු ශාලාවට ඇද ගැනීමට උදව් වීමයි. සමහර අය මෙහිදී තමන්ගේ සියලුම ගමන් මලු උස්සා ගෙන යාමට මට දුනි. මම මෙය එතරම් ගණන් නොගෙන දුන් සියලුම ගමන් මළු ටික ඇද දුනිමි. ටික වෙලාවකින් මම උදව් කල එක  උපාසක අම්මා කෙනෙකු  පැමිණ මට ඇපල් ගෙඩියක් දුන්නාය.  "ඇපල් කාල ඇති වෙලා. ඇඹරල්ලා  ගෙඩියක් වත් තිබ්බ නම්" කියා විහිළුවක් කර එය ප්‍රතික්ෂේප කලෙමි. "මගේ මුනුපුරොත් ඔය පිටකොටුවෙන් ගේන  ඇපල් කන්නේ නැහැ" කී  ඇය නැවත ගොස් ඇත්තටම ඇඹරල්ලා ගෙඩියක් ගෙනත් දුන්නාය. මම විමතියෙන් එය භාර ගතිමි. "ඕක විතරයි ඉවර නොවී  තිබ්බේ. පින් සිද්ද වෙච්චාවේ " කියා ඇය ආපසු ගියාය.

වැඩේ අවසන් කර ඇඟ  ටිකක් සෝදා ගෙන ඇලවී පොතක් බලමින් සිටියදී අර උපාසක අම්මා කලබලෙන් මා  දෙසට එන බව පෙනිණි. මගේ මවද  මා අසලම ඇලවී සිටියාය. "අනේ මහත්තයෝ සමාවෙන්න. මම හිතුවේ සංවිධායක මහත්තයාගේ කෙනෙක් කියල. ඔබතුමා  උදව් කරාට  ගොඩක් පින්. අනේ මම ඇඹරැල්ල ගෙඩියක් දුන්නට සමාවෙන්න." ඒ පිටිපසින් මා උදව් කළ තව කීප දෙනෙකුද සිටි අතර සියල්ලෝම "ඔබතුමාට" ස්තුති කරන්නට පෝලිමේ පැමිණි අයයි.  මදක් එහා මෙහා බැලු විට මට සියල්ල පැහැදිලි විය. මා එංගලන්තයෙන් පැමිණි බව ඉතිරි පිරිසටත් කියූ සංවිධායක වරයාගේ ලේකම් මෙන් සිටි තරුණිය සිනා වෙමින් සිටියාය. ඒ වේලේ  මගේ මවද මැදට පැන  "එයා  ඇඹරැල්ල කන්න ආසයි. එංගලන්තේ නැහැනේ " යයි මගේ රැවීම මැද කීවාය. ඒ මදිවාට  අර ශ්‍රංගයා  සිටි විශ්‍රාම  ශාලාවේ මෙන් පිටු පස සිටි අයද  මා වර්ණනා කලෝය. "ඔය පුතා  හා අම්මා  තමා  මෙතන පින් රැස්  කලේ. " (මගේ මවද මට ටිකක් මළු  ඇද  දීමට උදව් කලා ය.)  ඔවුන්ට අනුව මට පසුදාම නිවන් යා හැකිව තිබුණි.

මේ "ඔබතුමා" කතාව පසුව මට කරදරයක් විය. තවත් අයෙකුට කෑම පෝලිමේ සිටියදී කෑම බෙදා ගැනීමට පිඟානක් නොතිබුණු බව පෙනී මම මගේ පිඟාන දුනිමි. ඔහු  "ඔබතුමාට" හෙවත් මට සෑහෙන්න ස්තූති කළේය. මම මන්තිරි කෙනෙකු නොවන බවත් අජිත් කියා අමතන ලෙසත් කීවෙමි. නමුත් ඔහු කිවේ මන්ත්‍රී කෙනෙකුට වඩා  "එංගලන්තයෙන් ආවත් " තම කෑම පිඟාන අනිත් කෙනෙකුට අහර අනුභවය සඳහා දුන් මට ඔබතුමා  කියා මා  කැමති වුනත් නැතත් කියන බවයි. ඔහු මුළු චාරිකාව පුරාම එසේ ඇමතීය.

මෙම චාරිකාවේදී සාමාන්‍යයෙන් ලැගුම් ගන්නේ හෝටලයක නම් මම මව සමග  ආහාර ගත්තේ හෝටලයේ ආපන ශාලාවෙනි. නැත්නම් එලියට ගොස් වෙන තැනකිනි. වෙන විසඳුමක් නැති තැන පමණක් අර හැමෝටම උයන ආහාර ගතිමි. හේතුව ඒවා සැර වැඩි වීමය. නමුත් කෝකියා මෙයට ඇනුම්පද කීවේය. "ඒ මහත්තයට අපේ කෑම හොඳ නැහැනේ. එංගලන්තයේ ඉඳන් ඇවිත් නිසානේ. අර වෙනම කෑම  දෙන අනිත් චාරිකා තියෙන්නේ, ඇයි ගියේ නැත්තේ."

ප්‍රශ්නය ඇත්තේ මෙතනය. ලංකාවේ දැන් බොහෝ අයට  පිටරට යා හැකිය. එසේම බොහෝ පවුල් වලට කොහේ  හෝ පිටරටක නෑදෑයෙක් සිටී. මේ නිසා මේ පිටරට ඉන්න අය දෙස වෙන ඇසකින් බැලීම් අවශ්‍ය නැති අතර පිටරට සිටින අයද මම මෙහෙ අරහේ සිටිනවා කියා ඔලුව උදුම්මා ගත යුතු නැත.

මෙහිදී මට මතක් වන්නේ අපි මුලින්ම සෝවියට් දේශයේ සිට ලන්ඩනයට පැමිණි කාලයයි. 1985 හේ සිට බොහෝ වසර වල අපි පැමිණියෙමු. මට මිතුරකු වරක් පැවසුවේ දේශපාලන උදව් මත පැමිණි අය, බොහෝ ඈත කාලයේ සිට පැමිණි රදල අය මෙන්ම මුදල් වියදම් කර පැමිණෙන පොහොසත් දෙමාපියන්ගේ දූ  පුතුන්ද, ඇමති දූ පුතුන් ද  මේ රුසියාවේ සිට එන උදවියට කැමති නැති බවයි.  වරක් මම ලංකාවේ සිට ගෙනා   පාර්සලයක් දීමට ලන්ඩනයේ නිවසකට ගියෙමි.  ගෙදර මැදිවියේ ඇන්ටී (ආන්ටි) මට හොඳ කෑම වේලක්ද දී කතාවට  වැටුනාය. මා ද සෝවියට් රුසියාවේ සිට අවුරුදු පතා පැමිණෙන අයෙක් බව නොදැන ඇය මෙසේ කීවාය . "අනී බලාන්ඩකෝ මේ හැම තැනම රුසියාවේ හෙම ඉඳාන් එක එකා  එනවනේ දැන් මෙහෙ. අපේ ඩැඩි හෙම අපව එව්වේ කොච්චර අමාරුවෙන්ද? ස්කූල් වලට ගෙවල. අපටත් තැන නැහැනේ මේ විධිහට ගියොත්.  එංගලන්තේ ඉන්න දන්නා එවුන්ද".
මම සිනහව වළකා ගෙන සිටියෙමි.

මට තේරුම් ගියේ මෙයයි. ඒ ඇන්ටිද එංගලන්ත රජයෙන් සුභ සාධක මුදල් රැගෙන නැනී වැඩක් හොරෙන් කරගෙන ආණ්ඩුවේ ගෙයක් නොමිලේ රැගෙන ජිවත් වන්නියකි. හැබැයි ලංකාවේ ගෙවල් තියෙන්නේ කොළඹ  හත පැත්තේය.  සේවක සේවිකාවන්ද සිටි. ලංකාවට ගිය විට හැසිරෙන්නේ මහා රැජින සමග ලන්ච් එකට නිතර යන ගානටය. අපි වැනි එවුන් මෙහි පැමිණිය හොත්  මේවා මාට්ටුවී ලංකාවට ආරංචි වෙන බයට කියන කතා විය යුතුය.

මුලින් ම කිව යුතු වන්නේ තරුරසී ඇතුළු අනිත් අය යෝජනා කල පරිදි රුපියල් දහස වෙනුවට පොත් තෑගි වශයෙන් දීමට මම එකඟ බවය.  මුලදී එසේ යෝජනා නොකළේ මේවා කරන්නට ලංකාවේ පිරිස සොයා ගැනීම අපහසු බැවිනි.
මාතලන්ට සම්මානය ලැබුණු විට ඔහු මුදල් ත්‍යාගය ප්‍රතික්ෂේප කළේය. ඒ වෙනුවට ඔහු ඇතුළු තවත් කීප දෙනෙකුම පොත් වවුචර දෙන ලෙස ඉල්ලා සිටියේය. ප්‍රශ්නය වුයේ මේ හැම දෙයම කරන්නට හිටියේ අර හීනි හිමාශියා පමණය. උදේ සිට නොකා නොබී දුව පැන ඇවිදිමින් බ්ලොග් උළෙල සංවිධානය කරන්නට වෙහෙසෙන හිමාෂි වවුචර ගන්න යවන්ටත් බැරිය.  (කටුස්සා  කියන්නේ සම්පුර්ණ ඇත්තය. හිමාෂි හුලං කකා වතුර බිබී හැම තැනම  දුවන්නීය. ) වාහනයක් මගේ අතින් හැප්පීම නිසා එක් දිනක් හැම වැඩක්ම තවත් පරක්කු විය. ඒ අතරේ මාතලන් කතා කල විට වවුචර ගන්නට යවන්න  කෙනෙක් නැති බව කීවෙමි. මගේ වාසනාවට මාතලන් ඒ වෙලේ මුදල් ගන්නට කැමති වුනි. ඒ මගේ පහසුව පිණිසය.

මේවා සියල්ලත් සමග නෙළුම්  යායේ මාසික තෑග්ග වශයෙන් රුපියල් දහසක් දීමට ඇතිවුණු  විරෝධයේදී එක්තරා "බූරු  බේබ්  " (ගූගල් නම) කෙනෙක් එල්ල කල චෝදනා වලට මා දුන් පිළිතුරු දරුණු  වැඩි බවත් මා සීමාව පැන්න බවත් බ්ලොග් මිතුරන් කිහිප දෙනෙකු විවේචනද  කළහ.

මේ ඇගේ  මුල් විවේචනයයි.
//රුපියල් දාහකට මොනවද කරන්න පුළුවන් ඇත්තෙන්ම?
සම්මානයක් හරි ඕන බම්බුවක් හරි අගය කිරීමක් වෙන එක අතරයි, මේ රුපියල් ශත කාසියකට දෙකකට විකිණෙන මිනිස්සු ගැන මට දැනෙන්නේ අම්බානක දුකක්.
අපරාදේ ගූගල් ලා වර්ඩ්ප්‍රෙස් වගේ කට්ටිය බ්ලොග් ෆ්ලැට් ෆෝම් එකක් හැදුවේ. මේ වගේ රුපියලට දෙකට කොහෙවත් එවුන්ට කඩේ යන්නනේ ඕයි. නැත්නම් විස්කි බෝතලයකට සිගරට් පැකට් එකකටනේ.
ලැජ්ජයි-//බුරු බේබ් 
මේ මගේ පිළිතුරයි. 
//ඔයාට සල්ලි තියනවනම් තියන් ඉන්න. අපි කාටවත් කඩේ යන්න කියල නැහැ.
මේක ගන්න ඕනේ නැති කට්ටිය එපා කිව්වම ඉවරයි. අපි කාටවත් බල කරලා නැහැනේ. රුපියල් දාහ අපට දෙන්න පුළුවන් ගාන. ඔයාට ඊට වැඩිය දෙන්න ඕනේ නම් දෙන්න. රුපියල් දාහෙන් මුකුත් කර ගන්න බැරිය කියල ඔයා කියනවනම් ළමයෙකුට පැන්සල් පෙට්ටියක් කියාද කියල බලල කතා කරන්න. අපි දෙන්න හදන්නේ නැති කෙනෙකුට මිසක ඔයාල වගේ තියන අයට නෙමේ. දැන් මෙන්න මේ චැරිටියෙන් දෙන්නත් රුපියල් 2000 මාසෙට. www.shareandcare.org.uk
ගූගල් ල ඒවා හැදුවේ නැත්නම් බුරු දෙනවල් ඉන්නවා කියල අපි දැන ගන්නේ කොහොමෙයි? අපි කොහෙවත් යන එවුන් වෙන්නට ඔයා  යන තැන දන්නා මාර පොෂ් කෙනෙක්ද?//

මෙහිදී මගේ වැරැද්ද ලෙස මා  දකින්නේ "බුරු දෙනවල්" යන වචනය භාවිතා කිරීම යයි සිතමි.  බූරු  බබා හෝ බුරු බඩුව කියනවාට වඩා බුරු දෙන හොඳ වචනයක් ලෙස මා සිතුවෙමි. එසේ නම් එළදෙන ද නරක වචනයක් විය යුතුය.  කෙසේ හෝ වේවා එම වචනය පාවිච්චි කිරීම ගැන කණගාටු වෙමි.  විස්කි බෝතලයකට සිගරට් පැකට් එකකට මා  කවදාවත් කාටවත් කඩේ ගොස් නැත. මගේ මුදලින් ඒවා ගත හැකිය.

ඉන්පසු ඇය  මෙසේ ලීවාය.
//අජිත් සාමාන්‍යයෙන් මම මම ගැන මහ ලොකුවට කියන්න යන්නේ නෑ. 
මම කාන්තාවක්.  ඉන්නේ යුරෝපේ රටක පොඩි කාලේ ඉඳන්. අද තව වෙනකම් රුපියල් ශත හෝ ඊට එහා කිසිම දේකටවත් විකිණිලා නෑ. පොඩ්ඩක් අහල බලන්නකෝ ඔය වටේ පිටේ ඉන්න බ්ලොගර්ස් ලගෙන්. 
මම කොන්දක් තියෙන ගැහැණියක්... ඉන් එහාට ඔයාට මම උත්තර දෙන්නේ නෑ. මේක ඔයාගේ තැන. අද ඊයේ ඉන්ටර්නෙට් එකට ආපු බ්ලොග් කියවපු බ්ලොග් කියන්නේ මොකක්ද කියන්න නොදන්න ඔයාලා එක්ක දේශපාලනය කතා කරන්න හරි වැරදි කියන්න මම එන්නේ නෑ. හැබැයි අපි හැමදාම වගේ කාටවත් කඩේ යන්නේ නෑ..... 
එච්චරයි. මනුස්සකමට, ආදරේට එකෙක් මරන්න හරි යයි. එන් එහාට රුපියල් ශත අපි ඩීල් කරන එක නතර කලේ ඉපදෙනකොටමයි-//බුරු බේබ් 

මෙය කියවන විටම මගේ මතකයට ආවේ අර ඉහත කි "පිටරටවල" ජිවත් වන ඔලුව ඉදිමුණු අය  ගැනයි. මේ නිසා පහත සඳහන් පිළිතුරු දුනිමි.

//ඔයා ඔයා ගැන මහා ලොකුවට හිතන් ඉන්නවා කියල මම වෙන කොමෙන්ට්ය් වලිනුත් දැකල තියනවා. මම ඉන්නෙත් අවුරුදු 32 විතර යුරෝපයේ. //
//අද ඊයේ ඉන්ටර්නෙට් එකට ආපු බ්ලොග් කියවපු බ්ලොග් කියන්නේ මොකක්ද කියන්න නොදන්න ඔයාලා එක්ක දේශපාලනය කතා කරන්න හරි වැරදි කියන්න මම එන්නේ නෑ. // මේකට කියන්නේ prejudice කියල හැබැයි. අද ඊයේ ඉන්ටනෙට් ආපු කියල මට කියන්න ඔයා දන්නේ කොහොමොයි. මට ඉන්ටනෙට් ඉස්සෙල්ලම හම්බ වුනේ මින් අවුරුදු 16 කට විතර කලින්. එතකොට බ්ලොග් ගැන දන්නේ ඔයා විතරද? ඔයා දන්නවද මම වෙන නම් වලින් බ්ලොග් ලියල තියනවා කියල. දන්නේ නැති දේවල් ගැන කතා නොකර ඉන්න. ඔයාට කඩේ යන්න කවුරුත් කීවෙත් නැහැ. යන්නත් එපා.
අනික ඔයාගේ කොමෙන්ට් වලින් මම දැකල තියනව යුරෝපේ රටක පොඩි කාලේ ඉඳන් හිටියයි කියල ඔයාගේ මහා ඇම්මක් තියනවා කියල. ඔයට ඒ කොමෙන්ට් වලදී ඇනෝ මහත්වරු ඇති වෙන්න දීලා තියනවා මම දැකල තියෙන නිසා මම එතනට යන්නේ නැහැ. අපි අපේ වැඩේ කරන්නම්. ඔය ඔයාගේ වැඩේ කරගෙන යන්න. එංගලන්තේ කොම්පැනි හවුස් එකේ බලන්න චිප්ස් ඇන්ඩ් බයිට්ස් කියන කොම්පියුටර් කොම්පැනියේ ඩිරෙක්ටර කවුද කියල 1994. දැන් ඒක dissolve කරලා තියෙන්නේ

පත්තර මල්ලි මෙහිදී කී දෙයට එකඟ වෙමි.  නමුත් නෙළුම්  යාය  ලංකානිව්ස්වෙබ් අඩවිය හා සම්බන්ධ බව ඔහු දැන  නොසිටින්නට ඇත.
//අජිත් බොස්.. පුද්ගලිකත්වය මෙතනට අවශ්‍ය නෑ නේද . ඇයි එතනට වැටෙන්නෙ ??

පත්තර මල්ලිට දුන් පිළිතුර.
මෙන්න මේ කතා දෙක නිසා පත්තර මල්ලි. //
//අපරාදේ ගූගල් ලා වර්ඩ්ප්‍රෙස් වගේ කට්ටිය බ්ලොග් ෆ්ලැට් ෆෝම් එකක් හැදුවේ. මේ වගේ රුපියලට දෙකට කොහෙවත් එවුන්ට කඩේ යන්නනේ ඕයි//
//අද ඊයේ ඉන්ටර්නෙට් එකට ආපු බ්ලොග් කියවපු බ්ලොග් කියන්නේ මොකක්ද කියන්න නොදන්න ඔයාලා එක්ක දේශපාලනය කතා කරන්න හරි වැරදි කියන්න මම එන්නේ නෑ. // ඔය යුරෝපේ රටක පොඩි කාලේ ඉඳන් හිටිය අය ඇමෙරිකා එක්සත් ජනපදයේ අවුරුදු දෙකක් විතර ඉඳන් ඉන්න අයගේ ටිකක් වෙන්න ඇම්මක් මම දැකල තියනවා. අනිත් අයට කලින් ඒ ගොල්ල කොම්පියුටර දිහා බලන්න ඇති කියල. බූරු බේබ් ගේ කොමෙන්ට් මම කියවා තියනවා සමහර බ්ලොග් වල. . මගේ පලවෙනි ඊමේල් එක මට ලැබුනේ අනූ ගණන් වල. මම හාර්ඩ් ඩිස්ක් එක 20MB තියන මැෂින් වල වැඩ කරලා තියෙනවා 88-91 විතර . මෙයාල තමා බ්ලොග් ඔස්තාර් ලා. මේ නෙලුම් යාය කියල පල කරලා බ්ලොග් කට්ටියට තැන දෙන්න හිතුනෙත් මේ ඔස්තාර් ලා නිසාම තමා . අනික මට ලොකු අමාරුවක් නැහැ අතේ තියන සල්ලි විසි කරන්න. මේකට ගොඩක් අය විරුද්ධ නම් නොකර ඉන්න වුනත් පුළුවන්. නමුත් මොකක් හරි පටන් ගන්නයි මම හදන්නේ.

මෙහිදී දේශකයා  මා පටු අදහස් ඇත්තෙක් යයිද බුරු බේබ්  ට සෘණාත්මක අදහසක් ඉදිරිපත්  කිරීමට අයිතියක් ඇතැයිද පැවසුවේය. මෙහිදී මා  කිවේ මේ අදහසට මාතලන්, කල්‍යාණ  මිත්‍ර, රූපේ ඇතුළු තවත්  කීප දෙනෙකු ද විරුද්ධ  වූ අතර එය මා  බල පොරොත්තු වූ දෙයක් බවයි. නමුත් මට කරන විවේචනයකදී එයට පිළිතුරු දීමට මට සාධාරණ අයිතියක් තිබේ. මෙය විවේචනය දරා  නොගැනීමක් වශයෙන් අර්ථ දැක්වීම වැරදිය. මෙහිදී රයිගමයා, රසික හා චෙෆාකි ගේ අදහස් වලට මගේ විරුද්ධත්වය ක්  නැත. ඔවුන් යහළුවෙකු ලෙස සලකන අයෙකුට  එල්ල වන විවේචනයකට  ඔවුන් ඉදිරිපත් වී කිසියම් චරිත සහතික ඉදිරිපත් කරන ලදී.  නමුත් මා  දුටු බූරු  බේබ් ගේ සමහර කොමෙන්ටු වල මේ පිටරට වල ජිවත් වීම අතිශෝක්තියෙන් උපුටා දමා  තිබෙනු නිරීක්ෂණය කලෙමි.

මම සෝවියට් දේශයේ අත්දැකීම් අලලා ලියන ඒවා අනවශ්‍ය තේරුමක් නැති දේ වශයෙන් අරූද වරක් නිර්දය විවේචනයක් මට කළේය.

අවසාන වශයෙන් චෙෆාකි කිවේ රුපියල් දහසකට ගත හැක්කේ රෝස්ට්  කුකුලෙක් බවයි.  ඔහුට පිළිතුරු වශයෙන් මා  කිවේ රුපියල් දහසකට මට පොත් දෙක තුනක් ගත හැකි බවයි.  උදාහරණ වශයෙන් වනචාරිනි රුපියල් 400, දියෝනිස් දෙවොල පාමුල රු 500, සොරොව්ව රු 350 බත්තලන් ගුණ්ඩුව , අටවක පුත්තු 450 ආදී වශයෙන් හෝ රොස්ට් කුකුලන් භාගයක්, කාලක්  වශයෙන් අර්ථ දැක්විය හැකිය.

වතු කම්කරුවන් ඊයේ පෙරේදා වර්ජන කරන්නට පටන් ගත්තේ දෛනික වැටුප රුපියල් දහස කරන්න කියාය. මහපොළ දෙන ගානේ සිට දාහක් වත් වැඩි කරන්නට සිසුහු ඉල්ලති. අපි කවදාවත් ලංකාවේ පාරේ ඇවිදින විට රුපියල් දාහක්‌  හිඟන්නෙකුට විසි කරන්නේ නැත. මම ලංකාවේ හෝටල් වල නතර වීමට යද්දී රුපියල් දාහක් දෙදාහක් අඩු කර ගැනීමට බලමි.  ඇඹරැල්ල  ගෙඩිය අර උපාසක අම්මා  දුන්නේ හිතේ කැමැත්තෙනි. මා  පහත්  කිරීමට නොවේ. මගේ මහන්සිය ඇඹරැල්ල ගෙඩියට සම කිරීම ගැන මම අමනාප වුයේ නැත. අප තෑග්ගක් යමෙකුට දෙන්නේ තෑග්ගේ වටිනාකමටත් වඩා  ක්‍රියාව හෝ අවස්ථාව අගය කිරීමටය.

හැබැයි මට අමතක වූ කාරණයක් තිබේ. ලංකාවේ චන්දයක් ලංව මෙවන් යෝජනාවක් ගෙන ඒමයි. මට එය ඒ වෙලාවේ මතක් වුයේ නැත. සමහරවිට බූරු බේබ්  ඇතුළු විවේචනය කරන අයගේ සිතේ එයත් රඟ  දෙන්නට ඇත.

මම මුල්ම රුපියල් දහස පොත් ගැනීමට කියා පිරි නැමීමට සිටියේ යාං හෑල්ල ලියන ශ්‍රන්ගයා ටය. නමුත් යෝජනාව කලා නම් ජුවා හා පුචාට වඩා  හොඳ රැකියාවක් හා තත්වයක් ඇති ශ්‍රන්ගයා මගේ ඔලුව පලන්නටද ඉඩ තිබිණි.  මේ නිසා මා  බේරා  ගැනීම ගැන බූරු බේබ් , දේශකයා , රූපේ , මාතා, රසික, රයිගමයා  හා චෙෆාකි ට ස්තුති වන්ත වෙමි. එසේම මේ යෝජනාවට  සහය පල කල, මගේ නිස්සරණාධ්‍යශය තේරුම් ගත්  කවිකාරි මං, කුරුටු, නොකී කතා, බුද්ධික කන්දෙපොල, රසික, මහේෂ් රත්නායක, ලොකු පුතා,  මධු මාධවී , මනොෂ් සඳරුවන්,  එල ද බ්‍රා , රොහාන් ධනංජය, රාජ් හා තරු රසී ටද මහත් සේ ස්තුති වන්ත වෙමි. චන්දය අවසාන වූ පසු පොත් කිහිපයක් සම්මාන ලෙස සෑම මසකම ලබා දීමට ලංකානිව්ස්වෙබ් කර්තෘ චන්දිම විතානාරච්චි මහතා සමග සාකච්චා කරමි.  වෙනත් සෑම  වතාවක මෙන්ම පොත් ගැනීමට උදව් කරන අයද සොයාගත යුතුය. මේ සැරේ හිමාශි නම් කීයට වත් බැනුම් අහන්නට නැවත එන්නේ නැත.

71 comments:

  1. මං එකදා කිව්වේ නැද්ද? එතැන නැති නම් වෙන තැනක ලිව්වා වගේ මතකයි.

    බුක් වවුචර්ස්, ග්‍රොසරි වවුචර්ස් තෑගි විිියට ඔන්ලයින් ඕඩර් කරන්න පුලුවනි. මං එහෙම කරලා තියෙන කීප පාරක්ම. වැඩිපුර රුපියක් 250 ක් යනවා ඩිලිවරි ගාස්තුව. ඊට අමතරව ක්‍රෙඩිට් කාඩ් transaction fee එක යනවා, එච්චරයි!

    ReplyDelete
    Replies
    1. ඔව් ඔයා ඒක කියා තිබ්බ.

      Delete
  2. අඳුරට ශාප කිරීමට වඩා එක පහනක් හෝ දැල්වීම වටි.. පොත් දිම හොඳ වැඩක් තමයි. ඔය රුපියල් දාහට මටත් පුළුවන් විදියට මාස් පතා රුපියල් පංසීයක් එකතු කරන්න කැමතියි. එතකොට 1500/= ම පොත් ගන්න පුළුවන්නේ.. තව කවුරු කවුරු හරි කන්ට්‍රිබියුට් කරලා මේක රුපියල් හාර පන් දහසක් දක්වා වැඩි උනොත් සැහෙන්න වටිනවා.. කෙනෙක් හොයා ගන්නකම් පොත් මිලදී ගන්න මම උදව් කරන්නම්. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කල්‍යාණ . වැඩේ පටන් ගමු එහෙනම් ආයෙත්.

      Delete
    2. උඹත් අමාරුවෙන් රස්සාව නැති වෙයිද වගේ හිතන් ජිවත් වෙන එකේ මට එහෙම කියන්නත් මොකක්ද වගේ. නමුත් අදහස අනර්ඝයි. අගෝස්තු 17 පස්සේ වත් ජොබ ස්ථිර වේවා.

      Delete
    3. මාත් දෙන්නම් ගල් භාගෙක ගාන... ඕක 5000 ක් ඉතර උනොත් කාටෙයි ආඩම්බර.. එතකොට ආයෙත් මාතලන්ට හම්බ උනොත්, ඉන්වෙස්ට්මන්ට් එක වගේ දහ ගුණෞඅක් ප්‍රොෆිට් එක..

      එහෙමයි ලොක්කො බිසිනස් කොරන්නේ...

      Delete
  3. අඩේ එතකොට මේ සීන් එකද අර පහුගිය දවස්වල "නෙලුම් යායෙන් බ්ලොග් කලාව බේරාගනීමු" කියල පත්තරවල ලොකු අකුරෙන් ගියේ? මං පහුගිය කාලෙ සෑහෙන වැඩ ගොඩක හිරවෙලා හිටපු නිසා දැනුයි මේ සීන්කෝන් එකට ඔලුව දැම්මෙ.

    අජිත් අයියේ ඔය සුපියල් දාහෙ වැඩේ, මොකක් හරි ප්‍රකාශකයෙක්ගේ පොත් වවුචරයක් කලොත් සේප් නේද? ගානත් ෆික්ස්ඩ්. සල්ලි එපා අයට පොතුත් එපානම්, මානව දයාව උතුර උතුරා (කියන විදියට.) දුප්පත් ළමයෙක්ට ඉස්කෝලෙට ඕනෙ කරන පොත් අරන් දෙයිනෙ ඒ වවුචරෙන්.

    මෙහෙමයි, මේ බ්ලොග් අවකාශෙ ඔය කියන විදියේ අපි ඉපදෙන්නත් කලින් ඉඳන් "ඉන්ටර්නෙට් අතගාපු' නෝනල මහත්තුරුත් ඉන්නවා, කැම්පස් ගියාට පස්සෙ කම්පියුටරයක් දැකපු ලමයිනුත් ඉන්නව. අජිත් අයියා කියපු විදියට මහපොළ රුපියල් දාහකින්වත් වැඩි කරන්න අරගල කරන ළමයිනුත් ඉන්නව. මහපොළෙන් රුපියල් දාහක් 'තාත්තගෙ බේත්වලට' කියල ගෙදරට තැපැල් කරන ළමයිනුත් ඉන්නවා. ගොඩක් අයට නොපෙනෙන ඇත්ත ඒක.

    රුපියල් දාහක්, පොත් වවුචරයක්, සම්මානයක්, සහතිකයක් කියන්නෙ මේ මාස් පඩියක් නෙමෙයි. අන්න ඒ වගේ අයට කරන ඇගයීමක්. ඒ ඇගයීම සමහරුන්ට නොවටිනවා වෙන්න පුලුවන්. ඒත් ඒක වටින අය ඉන්නව. ඉස්සර බ්ලොග් ලිව්ව අයිය කෙනෙක් හිටිය එයා ලිව්වෙ කසින් කෙනෙක් පාවිච්චි කරල එයාට නිකම් දුන්නු ලැපකින්. ඒ ලැප කැඩුනට පස්සෙ එයා මාස ගානක් නොලිය හිටිය ලැපක් ගන්න විදියක් නැතුව. ඒකාලෙ මම බ්ලොග් පටන් අරගෙනත් නෑ, නෙලුම් යායවලුත් නෑ. හැබැයි ඔය කියන 'ඉන්ටර්නෙට් අතගාපු', 'මානව දයාවෙන් පිරිපුන්' එකෙක්වත් මං හිතන්නෙ ඒ ගැන දන්නෙ නෑ. අන්තිමේදි එයාගෙ බ්ලොග් අඩවිය කියවන, මැද පෙරදිග රටක ගෘහ සේවයේ යෙදෙන නැන්ද කෙනෙක් එයාට ලැපක් එවනව.

    අන්න ඒ වගේ අය අනන්තවත් බ්ලොග් ලෝකයෙ ඉන්නව. මගේ හොඳම යාලුවෙක්ගෙ ලැප් එක බස් එකෙන් බහිද්දි බිම වැටිලා අභාවප්‍රාප්ත වුනා. දන්නවද? දන්නවද ඔය කවුරුත්ම? නිකමටවත් ඇහුවද ඇයි ලියන්නැත්තෙ කියල එයාගෙන්? නෑ. එයා ළඟදි අලුත් ලැපක් ගත්තා අවුරුදු දෙකකදි ගෙවල ඉවරකරන්න. අන්න ඒ අයටයි මේ ඇගයීම වැදගත්.

    පෞද්ගලිකව ගත්තොත්, මම ගැන බලමු. මම රිදී හැන්දෙන් රන්කිරි කටගාපු කෙනෙක් නෙමෙයි. මම කම්ප්යුටර් එකක් දකින්නෙ අවුරුදු අටේදි. ඩෙස්ක්ටොප් එකක්. හැබැයි ඒකෙන් ලැප් එකට මාරු වෙන්නෙ කැම්පස් එකේ දෙවනි අවුරුද්දෙ ඉන්නකොට. ඉන්ටර්නෙට් කියන දේ දකින්නෙ තාත්ත ඔෆිස් ලැප අරන් ඇවිත් වැඩ කරන එහෙමත් දවසක. හිහී... පොඩි කාලෙ හරියටම පැය බාගයක් දෙන්නම්, කියල රාමු කරල තමයි අපිට ඉන්ටර්නෙට් අතගාන්න ලැබෙන්නෙ.

    කොහොම හරි, පෞද්ගලිකව මට ඔය රුපියල් දාහෙ වැඩේ තිබුනත් එකයි, නැතත් එකයි. හිතන්නකො රුපියල් දාහ ලැබුනොත්, මම ඒකෙන් පොතක් ගනීවි. මුල් පිටේ "අහවල් ලිපියට ඇගයීමක් වශයෙන් අහවල් දවසේ නෙලුම් යායෙන් ලද තිලිනයකි" කියල මුල් පිටුවෙ ලියාවි. නැත්නම්, මම අර කියපු විදියෙ යාලුවො, බ්ලොග් ලියන, ඔබේ ඇස නොගැටුනු, දක්ෂ නමුත් ජීවිතේ එක්ක හැප්පෙන කොල්ලො කෙල්ලො කීපදෙනෙක් මම අඳුනනව. ඒ කෙනෙක්ට මම පොතක් හෝ වෙන යමක් අරගෙන තෑගි කරාවි.

    මම කියන්නෙ, බ්ලොග් ලෝකෙ නිදහස් අවකාශයක් කියල පාරම්බෑවට, මෙතනත් ලොකුවට පංති බෙදීමක් තියෙනව. නැත්නම් ඇයි වාදයක් ගිය ගමන් සමහරුන්ට "අටපාස්" කියාගෙන ඇනෝනිමස් අපහාස වැටෙන්නෙ? සම්මානලාභී ලේඛකයො ලියන බ්ලොග් අඩවි වලට ඇයි හිට්ස් නැත්තෙ? ඇයි කමෙන්ට්ස් නැත්තෙ? එයාල අර 'සුපිරි බ්ලොග්' පැලැන්තියට අයිති නැති නිසා මිස එයාලගෙ ලියැවිල්ලෙ වරදක් නිසා නෙමෙයි. මංජුල වෙඩිවර්ධන අවුරුදු ගානක ඉඳන් බ්ලොග් ලියනව. ඒත් ඒක නොදැකපු, නොබලපු කී දෙනෙක් ඉන්නවද? සහන් පද්මසංඛගෙ බ්ලොග් අඩවිය තමයි මම මේ තාක් දැකපු වැඩිම ටැලන්ට්ස් ගනනක් ඉදිරිපත් කල බ්ලොග් අඩවිය. කියවනවද? සාකච්ඡා කරනවද? ඉහලට යන්න අත දෙනවද?

    ඇත්ත මේකයි, ඒ අත දීම බ්ලොග් ලෝකය තුල වෙන්නෙ හරිම අඩුවෙන්. ඒත්, ඒත් කලාතුරකින් ඒ ටැලන්ට්ස් වලට නිසි ඇගයීමක් දෙනව මීඩියා වලින්, පත්තර කන්තෝරුවලින්. එතකොට ඒ බ්ලොග්කරුවො ඔයාටත් මටත් හොරෙන්ම මෙතනින් අයින් වෙනව. තමන්ට ඇගයීමක් දෙන, තමන්ගෙ ටැලන්ට් එකට වටිනාකමක් දෙන, තමන්ගෙ අඩුපාඩු පෙන්වන තැනට යනව. අන්න එතකොට. හරියටම එතකොට අපේ සුපිරිසිදු බ්ලොග් කලාවේ පුරෝගාමී සත්ගුණවත් මවු පියවරු කුපිත වෙනව. අරූව සල්ලි වලට අරගෙන, මූව ෆේස්බුක් එකෙන් ගිලගෙන, අහවල් පත්තරෙන් උදුරගෙන කිය කියා විලාප තියනව.

    මේකත් හිතන්න, සමහරු වෘත්තියෙන් ඉංජිනේරුවො, එයාල සල්ලි හොයන්නෙ ඉංජිනේරු වෘත්තියෙන්. එයාල ජොලියට බ්ලොග් ලියනව. අවුලක් නෑනෙ?

    සමහරු වෘත්තියෙන් රචකයෝ. එයාල සල්ලි හොයන්නෙ ලියලා. එයාලත් බ්ලොග් ලියනව. අපි කියමුකො අර වෙන වෘත්තියක යෙදෙන අතරෙ පාර්ට් ටයිම් ලියන ඒවට වඩා මේව කොලිටියෙන් වැඩියි කියලත්.

    මේ වෘත්තීය රචකය තමන් ලියන ඒවට සල්ලි ගන්නව. ඇයි? ඒ එයාගෙ වෘත්තිය. අන්න එතකොට, සමහරුන්ට පට්ට අවුල්!

    ඇයි මෙහෙම කරන්නෙ? ඇයි මේ ලෝකෙ පංති කීපයක මිනිස්සු ඉන්නව කියල හිතන්න බැරි? ඇයි?

    ReplyDelete
    Replies
    1. ඉතිං ඔය කියන බ්ලොග් වල ලින්ක් දැම්ම නං මක්ක වෙනවයි...

      Delete
    2. // මහපොළෙන් රුපියල් දාහක් 'තාත්තගෙ බේත්වලට' කියල ගෙදරට තැපැල් කරන ළමයිනුත් ඉන්නවා. // මේක කියෙව්වම නම් දුකත් හිතුන. බස්සි ලියන්න තියෙන හැම කාරණාවක් ම අගේට මේ ලියල තියෙන්නේ. වෙඩිවර්ධන සහෝදරයා බ්ලොග් ලියනව කියල දැකල නැහැනේ. ඒ දෑස්වල ලන්කනිව්ස්සෙබ් එකේ සයිබර් පවුරට නම් ලිව්වා. දැන් ඉන්නේ බූන්දියේ නැත්නම් ජේ ඩි එස් එකේ නේද. සහන් ගේ ඒවා ලනගදී කියවන්න ගත්ත.
      //මම කම්ප්යුටර් එකක් දකින්නෙ අවුරුදු අටේදි// මම දැක්කේ රුසියාවට ගියාට පස්සේ. ඒක නියම කතාව. ලියන්න ඕනේ . අවුරුදු අටේදී දැක්ක නම් හොඳයිනේ. බස්සි ඉතින් අපට වැඩ බාලනේ. කොමෙන්ටුව හොඳයි බස්සි.
      //ඇයි මේ ලෝකෙ පංති කීපයක මිනිස්සු ඉන්නව කියල හිතන්න බැරි? ඇයි?// එළ.

      Delete
    3. මේ තියෙන්නෙ වෙඩිවර්ධනගෙ බ්ලොග් එක
      මෝසම් සද
      https://monsoonmn.wordpress.com/

      Delete
  4. කියෙව්ව. අහේතුවකට කියන්න තියන දේවල් කියන්න හිතෙන්නෙ නෑ......

    ReplyDelete
    Replies
    1. කියන්න තියෙන දේ කියන්න අනේ. ආඩම්බරකම් නැතුව. සහතිකයි මම මේ පාර වලියට එන්නේ නැහැ.

      Delete
  5. මේ පෝස්ටුව නිසා උඹගේ පරණ සටහන් දෙක තුනක් කියවන්නට ලැබුණා.

    රටරටවල් වල ජීවත්වීම පමණක් නොවේ, බ්ලොග් ලිවිම හෝ නොලිවීම නිසාත් මිනිසුන් උසස් හෝ පහත් වෙනවා යයි මා සිතන්නේ නැහැ මචං. ඒ නිසාම සමහරුන් කියන පරිදි මේවා දහසින් බැඳි පියලි දී ප්‍රමෝට් කිරීමත් අවශ්‍ය දෙයකුත් නොවේ, කරන්න හැකි දෙයකුත් නොවේ. කෙනෙකුට ඕනේ කමක් තිබෙනවා නම්, මේ සමාජ් ජාලත්, ආදායම් උපදවීම සඳහා යොදා ගන්නත් පුළුවන්.

    හැබැයි, උඹගේ ප්‍රයත්නය, මා විවේචනය කරන්න උත්සුක නොවන්නේ, ඒවා බලෙන් ඇඟේ ගහන දේවල් නොවන නිසා. දෙන කෙනා හා ගන්න කෙනා යන දෙදෙනාම වැඩිහිටියන්. තමන්ගේ කාර්යය ගැන අවබෝදයක් තියන පිරිස්. අනික දෙදෙනාම ඉදිරිපත් වන්නේ (දීමට හා ගැනීමට) ස්වේච්චාවෙන්. මේ කියන විදිහට ඕවගේ දේවල් වලින් "බා ගන්න" හැකි මිනිසුන් බ්ලොග් ලියනවා නම්, ඒවා කියවීමත් වැඩදායක දෙයකුත් නොවේ නේද?

    ReplyDelete
    Replies
    1. //සමහරුන් කියන පරිදි මේවා දහසින් බැඳි පියලි දී ප්‍රමෝට් කිරීමත් අවශ්‍ය දෙයකුත් නොවේ,// ඒක ඇත්ත මචන්. නමුත් කවුරු හරි ලියන දෙයක් කොමෙන්ට් එකෙඅකින් අගය කරල විතරක් නැතුව අගය කරලා මොකක් හරි දෙයක් දෙනකොට පුංචියට හිතේ සතුටක් එන්නේ නැත්ද? මට එහෙම දේවල් හරි අඩුවෙන් බන් ලැබුනේ. සමහර විට අසාධාරණ ලෙස මිස් වුන. එකයි දෙකයි ලැබුන නම් ලැබුනේ . ඒත් ඒවා මම අගය කලා.
      //මේ සමාජ් ජාලත්, ආදායම් උපදවීම සඳහා යොදා ගන්නත් පුළුවන්// එනගලන්තේ මේ වැඩේ කෙරෙනවා. මගේ ඒකට කිසිම විරුධ්ධත්වයක් නැහැ.
      //ඕවගේ දේවල් වලින් "බා ගන්න" හැකි මිනිසුන් බ්ලොග් ලියනවා නම්// බ්ලොග් ලියන්නේ ඕව බලාගෙනම නෙමේනේ.

      Delete
  6. අජිත් අයියේ......................

    මුලින් ම මේ දේ කියන්න ඔ්නේ.... අපි නෙලුම්යායෙන් දුන්න කිසිම තෑග්ගකට සුදුසුකම්ලැබුවේ හෝ මේ වන තෙක් වෙනත් කිසිම සම්මානයක් හෝ කිසිම අැගයීමකට ලක්නොවූ බ්ලොගයක්. හැබැයි අපි ලියන දේවල් බ්ලොග් සහෘදයෝ ටික කියවනවා.... සමහරු හැකි විදිහට කමෙන්ට් කරනවා..... හොදයි කියනවා..... අපි බ්ලොග් ලියන්නේ මේ දෙයින් සතුටු වෙමින්....... ඒක තමයි අැත්ත...

    අජිත් අයියලාගේ උත්සහය අපි දැකපු විදිහ කියන්නම්...... මෙච්චර කාලයක් බ්ලොග් කියන්නේ තැන් තැන් වල විසිරිලා තිබුණ දේවල් ටිකක්... සින්ඩි වලින් ඒක ඒකතු කරන්න උත්සහ කරා..... මෑත කාලීන ව මාතා ඒකට ලොකු කාර්යයක් කරා කියලා අපිට දැනෙනවා... (කුරුට්ටෝ ඔක්කොම නැතත් මේ කොටන මම 2007 සිට බ්ලොග් කරණයේ යෙදුනා.... අවුරුදු දෙකකට පසුව බ්ලොගය නැවැත්තුවා දේශපාලනික කාරණයක් නිසා) ඉතින් ඒ කාලේ ඉදලා ම බ්ලොග් ගැන අදහසක් තිබුණා....

    බ්ලොග්කරුවන්ට උනන්දුවක් හදපු...... වේදිකාවක් හදපු...... සහයක් දුන්නු... අගය කිරීමක් කරපු.... ඔවුන් වෙනුවෙන් මහන්සි වුණු සහ අනාගතයේ මහා ගමනක් පෙන්නූ ඒකම ඒකතුව ඔබලා.... මීට පෙර රාවයේ සහ අනෙකුත් පත්තර කිහිපයක බ්ලොග් ලිපි වලට තීරුවක් වෙන් කරාට ඔවුන් සතුව ලොකු සැලසුමක් තිබුනේ නැහැ... නමුත් ඔබලා බ්ලොගයින් පටන් දැන් ලොකු ගමනක් අැවිත් තියෙනවා...... මේ ගමන ගැන මුල ඉදන් ම අපිතුළ ගරුත්වයක් තිබුණා....

    මෙහෙම කියන්නම් අජිත් අයියේ...... අපි සත්‍ය අවබෝධ කරගෙන අැවිත් නිවන් යන විදිහ කියලා දෙන්න ගියත් විවේචනය කරන අය ඉන්නවා... සමහරු බනියි.... ඒත් අපි සත්‍ය අවබෝධ කරගන්න වෙච්ච මහන්සිය සහ මිනිස්සුන්ට ඒ පාර පෙන්නන්න ගන්න මහන්සිය නිසා අපිට තරහත් යයි... මේ දෙකම වැරදි නැහැ.... ඒත් අජිත් අයියේ අර විවේචකයෝ දිනුවොත් මිනිස්සුන්ට ඒ දේ ලැබෙන්නෑ...... ඔබ දිනුවොත් විතරයි ඒක ලැබිය යුත්තාට ලැබෙන්නේ.....

    මේ ලෝකේ වැරදි දෙයක් මිනිස්සුන්ට කරන්න යන බහුතරය ලොකු අාත්ම ශක්තියකින් බාධා බිදගෙන ඒක කරනවා.... ඒත් හරි දේ කරන මිනිස්සු බහුතරයක් මේ බාධා හමුවේ පරාජය පිළිගන්නවා.... ඒකයි මේ ලෝකේ මෙච්චර කැත තැනක් වුනේ.......

    අපිට කරන්න පුළුවන් ඒක දෙයයි.... ඔබට ශක්තිය ලැබේවා කියලා අපි තුන්හිතින් ම ප්‍රාර්ථනා කරනවා......

    ReplyDelete
    Replies
    1. කුරුටු ගෑ ගී පවුර ඔබේ බ්ලොගය විශිෂ්ට බ්ලොගයක්. කීප දෙනෙකු සහයෝගයෙන් ලියන එය අනිත් අයටත් ආදර්ශයක්. ඒ වගේම ඔබ මට කීප වතාවක්ම සහයෝගයෙන් ඉදිරිපත් වී තිබෙනවා. එයට ඉතාමත් ස්තුතියි. මම ඔබේ බ්ලොගයේ පලවන් ඒවා ලංකානිව්ස්වෙබ් එකේ සයිබර පවුරට මෙන්ම නෙලුම් යායටද දමා තිබෙනව. සම්මානයක් නොලැබුනත් අධෛර්‍ය වන්න එපා. ඔයත් සින්ඩි යක් දමල මම ඒක මගේ සින්ඩියටත් එකතු කලා . දැන් කාලෙකට කලින්. ඔබ දුන් දිරියට නැවතත් හද පත්ලෙන්ම ස්තුතියි.

      Delete
  7. අනේ අපේ හිමාසියා අහගන්න කතා පව් ඒකි නං කැහුටිටියක්ම තමා. හැක්..

    සියලු අදහස් වලින් පෝෂණය වීම, ඇහුන්කම් දීම, අවශ්‍යා ඒවා ගැනීම අනවශ්‍ය ඒවා විසි කිරීම හොදි මිනිස් ලක්ෂණයන් වේ.. ඔබ හා කිසිදු විටෙක පෞද්ගලික ආරෝවක් නොමැති අතර, දහසින් බැදි පියල්ල සමබන්ධවද කිසිදු විරෝධයක් නොමැති බව සදහන් කරමි..මා විරුදධ වුයේ ඔබලාගේ මුග්ධ වාදයටයි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ වාදය අනවශ්‍යයි. මේ වගේ ලිපියකින් පැහැදිලි කළා නම් ඉවරයි. මම පිලි ගත්තනේ ඒක. මගේ සීනි වැඩි වෙලා තියෙන්නේ ඇති. ඕක වැඩි වුණාමත් වාදයට යනවා වැඩියි. හේ හේ

      Delete
  8. චා චා.. මම එනකොට සංදර්ශනේ අහවර වෙලා නොවැ.... අය්යෝ අපරාදේ. දැන් අපිට රණ්ඩු බල එකම තමයි ලල් එක නැද්ද? (යුද්දෙත් නැහැනේ..)

    'සමහර' දේවල් ගැන එකඟයි. ඔක්කොම නෙවෙයි

    ReplyDelete
    Replies
    1. ඔයයි මායි මතකද පැතුමගේ බ්ලොගයේ ඇද ගත්තා එකක්. අර කාන්තාවන්ට බුදු බව ලැබෙන්න නැත්තේ ඇයි 3 කියල. හේ හේ . ඕවා ඔහොම තමා.

      Delete
    2. චා චා.. ඇත්තනේ.. වලියක්ද මන්ද එකක් ගියා තමයි. ඇනෝ නම් තරහ වෙලා යන්න ගියා. හුහ් මම එහෙම යයිද.. වැඩේ කියන්නේ මට මතක බැරි උනානේ ඊට පස්සේ..

      මොකද කියන්නේ රණ්ඩුව ඉවර කරපු තැනින් පටන් ගම්මුද? නැත්තම් මුල ඉඳන්ම පටන් ගමුද? ( අපෝ අප්පච්චි නම් එක්කන් එන්න එපා හරිද?)

      Delete
  9. තෑග්ගක් කියන්නෙ තෑග්ගකට මිසක් මුදලකට නෙවෙයිනෙ. ඒක බෙන්ස් එකක් උනත් එකයි, ටොපියක් උනත් එකයි. ලක්ෂ දහයක් උනත් එකයි දාහක් උනත් එකයි. තෑග්ගක් කියන එකට වටිනාකමක් දෙන්න බෑ කියන එකයි මගෙ අදහස. තෑග්ගක් එපා නම් ප්‍රතික්ෂේප කරනවා ඇරෙන්න ඒක අඩුයි, මදියි කියන එක නම් හොඳ දෙයක් නෙවෙයි. පොඩි කාලෙ ඉඳන් කියලා දීලා තියෙන්නෙ කවුරු හරි හොඳ හිතින් දෙන දෙයක් සතුටින් බාරගන්න මිසක් දත් ගනින්න යන්න එපා කියලනෙ.

    ReplyDelete
    Replies
    1. මටත් පොඩි කාලේ කියල දීපු දෙයක් තමා. හැබැයි තෑගි කියල එහෙමටවත් දෙයක් ලැබිලත් නැහැ.

      Delete
  10. //තෑග්ගක් කියන්නෙ තෑග්ගකට මිසක් මුදලකට නෙවෙයිනෙ// අන්න හරි කැමා.
    මතක හිටින දෙයක්නං ඒක ටීක් බෝලයක් වුණත් කමක් නෑ. මුදල් අගයෙන් සියල්ල මනිනකොට මෙහෙම දේවල් වෙනවා.

    ReplyDelete
    Replies
    1. යශ්‍යන්තට කැමා කීවේ කන නිසාද බ්ලොගයේ නමද? මද්දාට හොනද්ම ඇඩම්ස් ඔන්ලි ඒවාට දෙන ටීක් බෝලය ඊළඟ මාසයේ. ස්තුතියි පොස්ටු දෙකේම අකලන්කව නොවෙනස්ව අදහස වෙනුවෙන් පෙනී සිටීම ගැන.

      Delete
  11. ඊලග පාර වවුචර් දෙමු,, ඔයා කලදේ ඉහළින් අගේ කළා වගේම මේ වගේ දේවලුත් වෙනවා. ඔය කවුරු මොනාකිවත් ඔහේ බ්ලොග් ලිය ලියා හිටපු අපිට නෙලුම් යයෙන් යමක් ලැබුණා,, අගය කිරීමක්.. ඔබගේ පිළිතුරු කමෙන්ට් සහ අර කියූ බූරු සහෝදරිගේ කමෙන්ට් දැක දැනුණේ ඔබත් මන් වගේම සාමන්‍ය මනුස්සයෙක් හිතට ඒ වෙලේ ආපු දේ කමෙන්ට් කරලා .. මේ වගේ සිද්දි වලට පස්සේ වෙන කෙනෙක් කරන්නේ බොහෝ විට කලකිරිලා අයින් වෙන එක. ඊලග පාර තෑගී වෙනුවෙන් මං මට පුළුවන් උපරිමයෙන් දායක වෙනවා.

    ReplyDelete
    Replies
    1. අන්න ඔමා නංගි කමිය වගේම ඉදිරිපත් වෙලා. මගේ හද පත්ලෙන්ම ස්තුතිය.

      Delete
  12. හම්මේ පරණ කතන්දර ගොන්නක්ම තිනෝ..... මොනව වුණත් ඔබ දෙන දේ හොද හිතින් දෙනවානං කැමති අය ගත්තාවේ අකමැති අය නොගත්තාවේ.... මෙසේ හෝ මෙහෙයක් කරන්නට ගත් වෑයම පැසසුමට ලක් කරමි.

    ReplyDelete
  13. සැක් මාර කේස් එක කියන්නේ මේ වලි කොමෙන්ටෙක දැක්කේ අදනේ.. මං මෙච්චර දවසක් හිතන් හිටියේ අජිය ලඟදි ඉතාලි ගියේ රංගිව බලන්න කියලා.. හැක හැක හැක..

    ReplyDelete
    Replies
    1. කාටද බං මේ හැමෝම රන්ගි රන්ගි කියන්නේ?

      Delete
    2. ඒ උඹ කෙළගත්ත එක්කෙනා.රණ්ඩු උනාට නමවත් දැනගෙන ඉඳල නෑ නේද බං.

      Delete
    3. කවුද බං ඕවා දන්නේ. අද ඊයේ බ්ලොග් ලියන්න ඇවිල්ල. නම දැනගන්නේ කොහොමද. ප්‍රොෆයිල් බ්ලොක් කරලා තියෙද්දී. මොකක්ද බ්ලොගේ එතකොට?

      Delete
  14. පෝස්ට් එක මිස් වුන නිසා වලිය ගැන නොදනිමි. පත්තර මල්ලි වැනි වලීත්වයෙන් අග හා මුල තැන්පත් ප්‍රවීනයන් සිටි නිසා බිහිසුණු වන්නට ඇත.

    සල්ලි දුන්නොත් කැමති අය පොත් ගනී, කැමති අය ගල් බාගයක් හා බයිට් එකක් ගනී, ආප්ප කයි, විස්කිරිඥ්ඥ කයි. ගල් බනිස් හා ආනමාලු කයි. ඒක ලබන්නාගේ කැමැත්ත. දෙන කෙනා තමන්ට කැමති හා පුලුවන් ගාණ දෙනව. ලැබෙන කෙනා තෑන්ක් යූ කියල තමන් කැමති විදිහට පාවිච්චි කරනව. සිම්පල් නේ

    බ්ලොග් වැනි විනෝදාංශයක් වෙනුවෙන් මුදල් වියදම් කිරීමට අපහසු එහෙත් ලිවීමට හා කියවීමට කැමති අඩු ආදායම්ලාභීන්ද ඇති බව අමතක නොකල යුතුයි. වැඩකරන තැන ඉන්ටර්නෙට් යන්න බැරිනම් ඔවුන් පෙර ගෙවුම් රීලෝඩ් ක්‍රමයට බ්ලොග් ලිවීම කියවීම කරනවා වෙන්නට පුලුවන්. මං හිතන්නෙ රුපියල් 50ටත් රීලෝඩ් තියනවා. ඔවුන්ට බ්ලොග් පෝස්ට් කිහිපයක් ඔබේ තෑග්ගෙන් කවර් කරගන්න පුලුවන් වෙයි

    ආදායම අඩුම නැති අයවුනත් කැමතිවෙයි තම හැකියාව අගය කිරීමෙන් ගල් බෝතල් බාගයක්වත් ගන්න (ගල් කිව්වට ඉතින් අපේ අය විස්කි ෂොට් දෙකක් විතර ...අමධ්‍යප කාන්තාවක් නම් කැපචීනෝ දෙක තුනක්,අයිස් බ්ලෙන්ඩ් එකහමාරක්) , එහෙම නැත්නම් රීලෝඩ් එකක් දාගෙන තව බ්ලොග් ලියන්න.

    (මේ ඔක්කොම මගේ උපකල්පන පමණි. මං බ්ලොග් ලියන්නේ නැත. (එනිසා රු 1000/- ලැබෙන්නේ නැත. වැරදිලා දුන්නොත් එපා කියන්නෙත් නැත. බ්ලොග් කාරයෙක් එක්ක බාර් එකකට ගොස් අතිනුත් කීයක් හරි දාල අජිත්ව සිහි කරමි.) ඔප්පු කිරීමට සාධක නැත. එනිසා දැන් කවුරුවත් බැන්නොත් වාද කල නොහැක. ඒත් ඉතින් ජොලියටවගේ බැනුමක් අහන්න අකමැත්තක් නැත. සැ යු. කැකුණ රෝල් එක නම් ප්‍රිෆර්ඩ්. PM???? )

    ReplyDelete
    Replies
    1. මේ කමෙන්ට් එකේ මගේ කොටස ..//"කැමති අය ගල් බාගයක් හා බයිට් එකක් ගනී"// මගෙත් එක්ක ගියානම් "බයිට් දෙකක් " ලෙස වෙනස් විය යුතුය.

      Delete
    2. //කැකුණ රෝල් එක නම් ප්‍රිෆර්ඩ්// ප්‍රා ගේ ස්පෙෂලයිසේෂන් එක හබන් කුකුලගේ රෝල් එක නේද? හැක හැක හැක :p

      Delete
    3. කුකුළා කුකුළා කියන්න ඕනෑය. රහස් ප්‍රසිද්ධියේ කියන එක හොද නැහැනේ කල්‍යාණ මිත්‍ර. එනිවේ බොහොම ස්තුතියි කොමෙන්ටුවට පර. ගල් බොන්නේ නැති නිසා මෙන්ඩිස් භාගයකුත් රැගෙන එන්නෙමි.

      Delete
    4. ප්‍රා කියල ලිව්වේ ප්‍රා ජේ .

      Delete
    5. //පත්තර මල්ලි වැනි වලීත්වයෙන් අග හා මුල තැන්පත් ප්‍රවීනයන්// HIKS

      Delete
    6. මාත් දෙන්නම් ගල් භාගෙක ගාන... ඕක 5000 ක් ඉතර උනොත් කාටෙයි ආඩම්බර.. එතකොට ආයෙත් මාතලන්ට හම්බ උනොත්, ඉන්වෙස්ට්මන්ට් එක වගේ දහ ගුණෞඅක් ප්‍රොෆිට් එක..

      එහෙමයි ලොක්කො බිසිනස් කොරන්නේ...

      Delete
    7. මාතලන් කිව්වොත් පිලි ගන්න වෙනව. බිස්නස්කරයනේ දැන් හොටලෙකුත් ඇරලා බාර් එකකුත් දාල ..................

      Delete
  15. හුදී ජනයාගේ පහන් සංවේගය පිණිස - වලිය ගිය පෝස්ට් එක. : http://kolambagamaya.blogspot.co.uk/2015/07/blog-post_24.html

    ReplyDelete
  16. //මම හාර්ඩ් ඩිස්ක් එක 20MB තියන මැෂින් වල වැඩ කරලා තියෙනවා 88-91 විතර . //

    ඔ හෝ හෝ මේ මෙයි එකේ නේද? මමත් දවසක් ඔතනට ආවා මුර වැඩක් පංගාර්තුවෙලා, මහ තඩි ප්ලොටර් එකක් මුර කරන්න. අජිත් එකේ සම්මාදම් කාරයෙක් නම් අපි ඒකාලේ හමුවෙලා තියනවා වෙන්න ඕන.

    /"අනී බලාන්ඩකෝ මේ හැම තැනම රුසියාවේ හෙම ඉඳාන් එක එකා එනවනේ දැන් මෙහෙ. අපේ ඩැඩි හෙම අපව එව්වේ කොච්චර අමාරුවෙන්ද? ස්කූල් වලට ගෙවල. අපටත් තැන නැහැනේ මේ විධිහට ගියොත්. එංගලන්තේ ඉන්න දන්නා එවුන්ද"./ මේ අර පාඩ්න් කියල බනින වර්ගයේ කෙනෙක් නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් බොල. අඩෝ ඇනෝ නැතුව නමින් වරෙන් බන්. පරණ වලක් බහින්න.

      Delete
    2. ප්ලොටර් එක මගේ නෙමේ බන්. ලොකු අජ්ජගේ හරි සමන් ගේ හරි. දැන් අර රුසියාවට එම්බා හැටියට පත් කරලා ඉන්න සමන් බඩත් ගෙනාව නේද ඒ දවස් වල.

      Delete
  17. මොකක් හෝ මේ දේ වෙනුවෙන් කරන්න උත්සාහ කරන එකට ප්‍රණාමය අජිත් අයියෙ....

    ReplyDelete
  18. //මම සෝවියට් දේශයේ අත්දැකීම් අලලා ලියන ඒවා අනවශ්‍ය තේරුමක් නැති දේ වශයෙන් අරූද වරක් නිර්දය විවේචනයක් මට කළේය.//

    ඔන්න මම නම් බොහොම අසාවෙන් ඔය පිට රට විත්ති කියනවනවා. ගිහින් බලන්න පුළුවන් කමක් නැති තැන් ගැන විස්තරයක් වත් කියවල බලන්න තියන එක කොච්චර දෙයක්ද?

    ReplyDelete
    Replies
    1. මාත් එහෙම තමයි. ඕන සංචාරක සටහනක් කියවන්න ආසයි. පුංචි කලේ ඇර ඇලන් ක්වාටර්මන්ගේ සොලමන්ගේ මයින්ස් සංචාරක සටහන් හැටියට මම ගණන් ගත්තේ. ඇත්ත කතා වගේ. එතකොට ලෝකය වටේ අසු දවසක්. මයිකල් පැලින් ගේ සංචාර .

      Delete
    2. සෝවියට් දේශයේ අත්දැකීම් වලටනම් මමත් ගොඩක් ආසයි. අවුරුදු තිහකට තිස් පහකට කලින් එම්බසියට ලියලා නොමිලේ 'සෝවියට් දේශය' සඟරා ගෙන්නාගෙන කියවපු කාලෙ ඉඳල මේක මගෙත් හීනයක්. දැන් සම්පූර්ණයෙන්ම මිස් වෙච්ච හීනයක්. මොන විදිහකින් හරි රුසියාවට යන්න බැරිකමක් නැතත් සෝවියට් දේශයට දැන් යන්න බෑනේ...ඒක ඇඟට දැනෙන්නේ ලංකාවෙන් ගිහින් ජීවත් වුන කෙනෙක් විස්තර කරන කොට.

      Delete
    3. එහෙනම් තව ටිකක් ලියන්න ඕනේ.

      Delete
  19. අනූව දශකයේ මැද හරියේදී සන්ඩේ ඔබ්සර්වර් පත්තරේ ගණිත ගැටලුවක් පළවුනා. ගණිත ගැටලුවක් කිවුවට විසඳීමට තර්කනය අවශ්‍ය බුද්ධි ගැටලුවක්. මුලින්ම ලැබෙන විසඳුම් දහයට සරසවි පොත් හලෙන් මතක හැටියට රුපියල් පණහක වැනි වවුචරයක් ලැබුණා. මේක ඉක්මනින් විසඳලා පුරවලා යවන්න මට තිබුනේ පුදුම උනන්දුවක්. මං හිතන හැටියට වැඩි දෙනෙක් මේකට උනන්දුවක් නොදැක්වූ නිසා සති දෙක තුනකට සැරයක් විතර දිනුමක් ලැබුණා. මේ වගේ වවුචර් හත අටක්ම මම දිනාගත්තා. ඔය කියන කාලයේ පරිගණක ක්ෂේත්‍රයේ රැකියාවක් කරමින් (20MB හාර්ඩ් ඩිස්ක් 40MB වලටත්, 128kB RAM 256kB වලටත් අප්ග්‍රේඩ් කරනවා වගේ වැඩ :-)) සාපේක්ෂව හොඳ වැටුපක් ලබා ගත් මට මේ මුදල ලොකු දෙයක් වුනේ නෑ. ඔය දවස්වල නිතරම ආ ගිය චයිනීස් රෙස්ටොරන්ට් එකක ෆ්‍රයිඩ් රයිස් එකකුත් ඔය ගණන්. ඒ වුනත් දිනුමක් ලැබුනහම තිබුණේ පුදුම ෆන් එකක්. ඇත්තටම, දැන් ලංකාවේ රුපියල් දාහක මහා ලොකු ආර්ථික වටිනාකමක් නැහැ තමයි. ඒත්, ඔය රුපියල් දාහේ ඊට වඩා විශාල සංකේතාත්මක වටිනාකමක් තියෙනවා. අනිත් කරුණ, තමන්ට හැකි පමණින් තමන්ට හොඳයි කියලා හිතෙන විදිහට මොනවා හරි කිරීමයි වැදගත්. පරණ ලිපිය කියෙවුවාම මටනම් ගණන් ගන්න තරම් ලොකු කේස් එකක් පේන්නේ නෑ. සංවේදී පුද්ගලයින්ට සුළු දෙයකින් වුණත් රිදෙනවා වැඩියි. මම මුලින් වැඩ කරපු ආයතනයක ආයතන ප්‍රධානියාගේ වචන වලින් "ඉස්සරහ බලාගෙන යන්න. පාර දෙපැත්තේ වෙන දේවල් ප්‍රශ්න කරගන්න එපා."

    ReplyDelete
    Replies
    1. //"ඉස්සරහ බලාගෙන යන්න. පාර දෙපැත්තේ වෙන දේවල් ප්‍රශ්න කරගන්න එපා."// පැත්තෙන් කාරෙකක් ආවොත් ඩිස්ට්‍රැක්ට් වෙන්නේ නැත්ද? විහිළුවට කිවේ. දැන් මේ යුරෝ මිලියන් ලොතරැයිය දාල අද පවුම් 2.90 ක් දිනලා තිබ්බ. ඒකත් දිනුමක් තබයි. මේ කොමෙන්ට් ටික ඔක්කොම එකතු කරලා වෙනම ලිපියක් දාන්න තරම් වටිනවා.

      Delete
  20. අජිත්, හොඳ මිනිස්සු අතිනුත් අඩුපාඩු වෙනව. මම රංගිගෙ කතාව දකින්නෙ ඒ විදිහට. මොනා උනත් පොදු වැඩවලට බහිනවනම් මේ වගේ දේ ගනන් නොගෙන ඉන්න පුලුවන් වෙන්න ඕන.

    බ්ලොග් ජනප්‍රිය වෙනවනම්, ලියන්න අය ඒකතුවේවි. කියවන්න අය ඉන්නවනම් සල්ලි හොයාගන්න ඇඩ් දාන්න හරි වෙන දෙයක් හරිත් ඒ අයම හොයා ගනියි. ඒ නිසා වැඩිපුර පාඨකයො අදින ක්‍රම වලට ඔය සල්ලි වියදම් කරමු. ඒකයි මගෙ අදහස.

    මොනා උනත් ඔබ හොඳ හිතින් කරන වැඩවලට උපරිම ආශිර්වාදය.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. ඔබ ආපු එක හොඳයි. මට හිතෙනේව මිස් වෙච්ච බ්ලොගයක් කියල. ඔබගේ ප්‍රොෆිලයේ සහන ඇතුළු තවත් නොදුටු බ්ලොග් තියෙනවා. ඒවත් එකතු කර ගන්න කැමතියි. රන්ගිත් එක්ක පෞද්ගලිකව ප්‍රශ්නයක් නැහැ. සාමාන්යෙන් මම ඕනෑම කොමෙන්ටුවකට පිළිතුරු දෙනවා. ඒක විවේචනයක් නම් පිළිතුරත් ඒ හා සමානයි. //. ඒ නිසා වැඩිපුර පාඨකයො අදින ක්‍රම වලට ඔය සල්ලි වියදම් කරමු.// මේ ගැනත් අදහසක් තිබෙනවා. ඉස්සරහට කරන්න.

      Delete
    2. ඔය ඇවිල්ල තියෙන්නෙත් වලි කප්පිත්තෙක්.

      Delete
  21. කස්ටිය නොදන්නා ඉංගිරිසියෙනුත් බැනගෙන!

    ReplyDelete
    Replies
    1. ඒක වුනේ මම ඉතාලිය පැත්තේ පොඩි චාරිකාවකට ගිය. සිංහලෙන් ටයිප් කරන්න විධිහක් තිබුනේ නැහැ.

      Delete
    2. ඉතාලියේ ගියා කියන්නේ රංගි ගේ වැයික්කියටම ගිහින්!!

      Delete
  22. මං එකදිගට කියෙව්වෙ නෑ. ඒත් අධිපතිවාදීන් ඉන්නවනං බ්ලොග් ලෝකෙ, මගේ විරෝධය. එක සැරයක් ඕනයා සහ ඉන්දික උපශාන්ත කිව්වා, සින්නො කබ්බො කියලා දෙයක් නෑ කියලා. මං ඒකට එකඟයි. අද ඊයෙ ඉන්ටනෙට් අතපත ගාපු කෙනෙකුටත් අයිතියක් තියෙනවා, තම අදහස වෙනුවෙන් පෙනී සිටින්න.

    තමන්ගෙ බ්ලොග් එකේ තමන් ලියන්නෙ තම්නට ඕනෙ ද‍ේ. කාටවත් ඒක කියවන්න ඕනෙ නැත්තම් නොකියවා සිටීම හොඳා.

    ඇනෝ වරු මං දැකලා තියෙනවා බ්ලොග් කීපයකම පස්සෙන් එල්ලී එල්ලී එන හැටි. (හොඳම උදාහරණයක් 'කකා' ගෙ සයිට් එක) මං කියන්නෙ මුංගෙ කොන්ද පණනැති කම සහ ඊ්ර්ෂ්‍යාව...

    අන්තිමට කියන්න තියෙන්නෙ. අපි ඒලෙවල් කරන කොට, පොත් ගන්න සල්ලි නැතුව (ඉගෙන ගන්න ඕනෙ පොත් නෙවෙයි) දුක් වින්ද හැටි මතකයි. සැරයක් අපි කතා වුනේ "බැංකුවක් කඩන්න හිතෙනවා බං" කියලා. පොත් ප්‍රදර්ශන වලට ගිහිං පොත් අතගාලා බලලා හූල්ල හූල්ල එනගමං යාළුවො අතේ තියෙන රුපියල දෙක එකතු කරලා ප්ලේන්ටියක් ගහලා, සිගරැට් එකක උගුරු දෙක තුනක් ඇදලා ගෙදර එනවා.

    දාහ නෙමෙයි. රුපියල් සීයකිං හරි කාට හරි පොතක් ගන්න උදව් කරනවනං හොඳා.

    මට මතකයි 2001 පොතේ තියෙනවා. "...ඔවුන් විශ්වයේ දුටු උසස්ම වස්තුව සිත වූ බැවින් එහි දියුණුවට කළ හැකි වූ සියළු උපකාර කළහ..." වගේ වගන්තියක්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. ටිකක සංවේදී වුණා මේ ටිකට. //පොත් ප්‍රදර්ශන වලට ගිහිං පොත් අතගාලා බලලා හූල්ල හූල්ල එනගමං // මම කලේ ප්‍රදර්ශන වලට ගිහිල්ල ඉට පස්සේ මහජන පුස්තකාලෙට රිංගපු එක. හැබැයි ඒකට අලුත් පොත් එන්න කාලයක් යනවා. මාත් හිතනවා ඊයේ ඉන්ටනෙට් ආවත් අද බ්ලොග් පටන් ගත්තත් ඕන අදහසක් කියන්න පුලුවන් කියල.

      Delete
  23. මම අදනේ මේක දැක්කේ.. සරල සිද්දියක් නේ දිගට ඇදිල තියෙන්නේ. මගේ නම් අදහස ඕනෑම විදියක තෑග්ගක් වටින අය ඉන්නවා. එකෙන් කරන්න පුළුවන් දේට වඩා තමන්ට මොකක් හරි දෙයක් ලැබුන කියන සතුට කෙනෙකුට දෙන එක වටිනවා. අජිත්ලා මේ පොඩියට පටන් ගන්න වැඩ කාලයක් යනකොට මහාපරිමාණ සම්මාන උළෙලවල් වෙයි. වැදගත් වෙන්නේ හෙමිහිට කරගෙන යන එක.

    බ්ලොග් වලින් සල්ලි හෙවිම මදිකමක් නැත්නම් නොකළ යුතු දෙයක් කියල හිතන එක වැරදියි කියලයි මගේ අදහස. මොකද බ්ලොග් කියන්නේ දැන් කාලේ කෙනෙකුට හොඳට හම්බ කරන්න පුළුවන් සාධාරණ රැකියාවක්. ඩොලර් මිලියන ගණන් වටින ඒ වගේ බ්ලොග් අඩවි තියෙනවා.
    මේ තියෙන්නේ එක උදාහරණයක්.

    http://www.forbes.com/pictures/eeji45eegdf/pete-cashmore-27-founder-ceo-mashable/



    ReplyDelete
    Replies
    1. ඒකනේ පැතුමි. මේ ඇඩ් ඔච්චර තියනවා. කවුරු වත් විහිළුවට හරි ක්ලික් කරනවද? සූරා කෑමක් නෙමෙයිනේ. ඇත්තටම භාණ්ඩ වලට විවේචන ලියල මුදල් ගන්න අයත් ඉන්නවා. ඒකත් දැන් රැකියාවක්. ඒ අයට ඒ භාණ්ඩත් නොමිලේ ලැබෙනවා.

      Delete
  24. හිතන්න එපා අජිත් අය්ය මමත් ඒක ට එකග වුනේ ඒ වෙනුවට වෙනත් දෙයක් දෙන්න කියල යෝජනාව ටයිප් කරල මකල දාල මොකද පිටරටක ඉදන් මේ වගේ දෙයක් කරද්දි අර වගේ කතාවක් කියන එක අවුල් කියල ටිකක් දැනුන... මම නං ඔතන හිටියෙ ඔ්‍ය කතා එකක් වත් පඩේකට ගණං ගන්නෙ නෑ කවුරු කීවත්
    නින්දා සේම ප්‍රසංසා ද සම සිතින් ඉවසා ඉන්න ට්‍රයි කරනව මිසක්....
    අනික් දේ තමා ඔය වැඩේ විවේචනය කරන්න මට අයිතියක් නැති එක මොකද මට විදියක් නෑනෙ ඒකට හරි හමන් විදියට සම්මාදම් වෙන්න

    ජයවේවා

    ReplyDelete
    Replies
    1. වෙවේචනය කිරීම ඒවාට පිළිතුරු දීම ඕව ඔක්කොම තියෙන්න ඕනේ. නැත්නම් මේක රසවත් වෙන්නේ නැහැනේ. ස්තුතියි.

      Delete
  25. සියල්ල කියෙවුවෙමි.
    ගතයුත්තකට ඇත්තේ
    // තෑග්ගක් කියන්නෙ තෑග්ගකට මිසක් මුදලකට නෙවෙයිනෙ//
    යන්න පමනි.

    ReplyDelete
    Replies
    1. ඇති යන්තන් ඒකවත් තිබ්බ.

      Delete
  26. අජිත් අයියෙ මමත් අලුතෙන් බ්ලොග් හදපු නිසා මේ වැඩ ඒ තරම් දන්නෙත් නෑ, කට්ටිය අඳුරන්නෙත් නෑ. හැබැයි මමත් එකඟයි ඔය පොත් බෙදිල්ලට. උපන් දා ඉඳන් ඇහෙන් පොතක් කියවලා නැතත් අනිත් අයගේ උදවුවෙන් හැකිතරම් පොත් කියවන මම පොත් කියන වස්තුවේ වටිනාකම හොඳට දන්නවා. සල්ලි හෝ පොත් වවුචර් දෙන එක ගැන ප්‍රසාදය. අර උඩ කියලා තිබුන වගේ තෑග්ගක් කියන්නේ තෑග්ගක ට. ඒකේ වටිනාකම වැඩක් නෑ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලි. ඇහෙන පොතක් කියවල නැහැ ඉව්වේ ඔයා බ්‍රේල් ක්‍රමයටද කියවන්නේ. බ්ලොගක් කරනවා කියල අහන්නත් ආසයි.

      Delete
    2. ඔව් පුන්චි කාලෙ ඉඳලා කැම්පස් එනකල් බ්‍රේල් කලා. ඊට පස්සේ තමයි මේ කොම්පියුටර් කට්ටක් සෙට් වුනේ. 2010 ඉඳන් බ්ලොග් කට්ටක් හදාගන්න ආසාවෙන් හිටියේ. නමුත් කරන්න බැරි වුනා. ඒකට හේතුව තමයි ඒ කාලෙ අපි පාවිච්චි කරපු screen reader බ්ලොගර් එක්ක හරියට වැඩ කරන්න බැරි වුනා. මම 2010 වගේ කාලේ බ්ලොගක් හැදුවා. හැබැයි ඩිසයින් කරලා කිසිම පෝස්ට් එකක් දාලා නෑ.මේ ලඟදී ආයෙත් ඒ ආසාව ඉස්මතු වුනා. ඒකේ ප්‍රතිපලයක් තමයි අහසෙන් එන්න. මේක ගැනත් හැකිනම් බලලා හොඳ නරක ඕන දෙයක් කියන්න. නරක දේවල් හදාගන්න පුලුවන්. ස්තුති.

      Delete
  27. ඔහොම දෙයක් දෙන එකේ වරදක් මම දකින්නේ නැහැ.
    කෙනෙක් ඒ තෑග්ග පිළිගන්න කැමති වෙන එකට වගේම තව කෙනෙක් ඒක නොගන්න තීරණය කරන එකටත් අපි ගරු කරන්න ඕනේ...

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .