Wednesday 26 October 2016

භෞතිකවාදියෙකු (Materialist), අධි මානසික විද්‍යාවන් හා (paranormal) මරණයෙන් පසු ජීවිතය ගැන සෙවූ හැටි - නමවන කොටස

අටවන කොටස 

මා පසුගිය ලිපියේ  සඳහන් කළ පරිදි ෆ්රියෝෆ් කැප්‍රා විද්‍යාඥයෙකි.  ඔහු භෞතික විද්‍යාව ආදිය  ඉගෙන පසුව එය පෙරදිග දර්ශනයන් හා සමග සංසන්දනය කරන්නට ගියේ ඇයිද යන්න මෙහිදී විමැසීම වටී. එයට  ප්‍රථම පොරොන්දු වූ පරිදි  දැරියගේ කතාව කියමි.

එසේම මා කලින් පැවසූ පරිදි මීඩියම් ලා පවසන්නේ මියගිය දරුවන් බොහෝවිට සිටින්නේ තමන්ගේම මියගිය ඥාතියා සමග බවය. නමුත් මේ ගැහැණු ළමයා සිටියේ මියගිය බෝම්බකරු සමගය.

ඇය මියගොස් ඇත්තේ බෝම්බයක් පිපිරෙද්දීය. ඒ මේ බෝම්බකරු මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ දවසේද යන්න පැහැදිලි නැත. ඇය මිය ගිය මොහොත ඇයට හොඳින් මතකය. ඇය  පෙන්නුම් කරන්නේ ඇය මිය  නොගොස් සිටින විට දෙදෙනෙකු ඇය මිය ගොස් ඇතැයි සිතා උදව් නොකළ බවය. එනම් රෝහලට රැගෙන නොගිය බවය. එසේ කළේ ටුක් ටුක් රියදුරන් බවද කියයි. (ටුක් ටුක් රියදුරන් යනු ත්‍රි වීල් රැකියා කරන්නන්ය) ඉන්පසු ඇය දුටුවේ තමන්ගේ  ශරීරයේ පහල කොටස නැති බවය. ඇගේ මව ඉන්පසු ඈ ළඟම වැතිර සිටියාය. මව මියගොස් තිබුනද නැත්ද යන්න අපැහැදිලිය. මව මිය ගියා නම් ඇය මව ළඟ නොසිට මියගිය බෝම්බකරු සමග සිටින්නේ ඇයි යන ප්‍රශ්නය මතුවේ.

එසේම ඇගේ හා මවගේ ඇඳුම් මුස්ලිම් ඇඳුම් හෝ ඉන්දීය ඇඳුම් වලට සමානය. (කුර්තාව වැනි දේ). එක්කෝ ඔවුන් මුස්ලිම් විය යුතුය. නැත්නම් බෝම්බය පිපිරී ඇත්තේ මිශ්‍ර ජනකායක් වෙසෙන පෙදෙසක විය යුතුය.

ඊළඟට තවත් අනාවැකියක් තිබෙන අතර එයද 2008 සමයේ එකකි.  ඡායාරුපය බලන්න.
වසර 2008 දී මෙම අනාවැකියද කිහිප  දෙනෙකුට යැව්වෙමි. ඒ වාර්තාවක් තබා ගැනීම සඳහාය. එහි සඳහන් වන්නේ ඊශ්‍රායලය පලස්තීනයට එල්ල කරන දරුණු ප්‍රහාරයක් මගින්  සමුලඝාතනයක් කරන බවකි. මෙය සිදුවනු ඇතැයි පෙන්නුම්  කරන්නේ වසර හතරකට පසුව බවය. එනම් 2012 දීය. එසේ සිදුවූයේ නැත. අනාවැකිය කිවූ තැනැත්තා හෙළිදරව් වීමට අකැමැති හෙයින් මේලයේ සඳහන්ව ඇත්තේ මේ මගේ අනාවැකියක් ලෙසටය. මෙහිදී වසර හතර හැටියට සිතන්නේ කෙසේද යන ප්‍රශ්නය නැගූ වෙලේ පිළිතුර වුයේ 12 වැනි  සංඛ්‍යාවක්  පෙන්වන බැවින් 2012 වන බවට නිගමනය කළ බවයි. ඒ 2008 සිට වසර හතරකට පසුය. (මට දැන් සිතෙන්නේ 2008+12 - 2020 ද විය හැකි බවයි. ඊ නම් 2020 වනතුරු බලා සිටිය යුතුය.) 

 මෙහිදී ඩෙරෙන් බ්‍රව්න් "අනාවැකි " කියන ආකාරය සිහිපත් කළහොත් පෙනීයන කරුණ නම් ඔහු නොදැනුවත්වම ප්‍රේක්ෂකයන්ගේ  යටි සිතට කිසියම් සංඥාවන් ලබා දෙමින් පසුව ඒ ගැන අනාවැකි කියන බවයි. උදාහරණයක් වශයෙන් ඔහු කතාවක්  කරද්දී ඇඟට පතට නොදැනී අඟහරු ලෝකය ගැන කිව්වා කියන්න. හත් අට වතාවක්  එසේ කී පසු අසන්නන්ගේ සිතේ  එය රැඳේ.  පැයකට පමණ පසු ප්‍රේක්ෂකයන් අතරින් තෝරාගත් කෙනෙකුට චිත්‍රයක් අඳින්නට කිවහොත් ඒ තැනැත්තා අඟහරු ලෝකය ඇඳීමේ සම්භාවිතාව 70-80% පමණ වේ.  අහක බලාගෙන සිට ඔහු ඇන්දේ අඟහරු ලෝකය වැන්නක්  යයි කීමට ඩෙරෙන්ට හැකිය.

ඒ දිනවල  ශ්‍රී ලංකාවේ  මෙන්ම ලෝකයේ ද ප්‍රවෘත්ති ජාල වල  වැඩි වශයෙන් කතා කෙරුනේ  සිය දිවි නසා ගන්නා  බෝම්බකරුවන් ගැනය. ඉරාකයේ බොහෝ දරුවන් එවැනි බෝම්බ ප්‍රහාර වලින් මිය ගියහ. ඊශ්‍රායලය කොහොමත් නිතරම වගේ පලස්තීනුවන්ට පහර දෙති. එනිසා ඉහත අනාවැකි, මළවුන්ට කතා කිරීම දෙකම එවැනි යටිහිතේ ස්ථානගතව තිබුණු ප්‍රවෘත්තියකින් මවා ගත්තක් විය හැකිය. කියන තැනැත්තාට සමහර විට ඒ ගැන  අවංකවමඅවබෝධයක් නොතිබුනා විය හැකිය.

  සිහින සහ සිතේ ක්‍රියාකාරීත්වය ගැන සෙවීමේදී කාර්ල් යුන්ග් ගේ පොතක්  (Memories, dreams, reflections by C J Jung)  හසු විය. මේ පොතින් ඉහත අනාවැකි පැහැදිලි කර ගැනීමට යමක් ලැබුනේ නැත. පොත දැනට මා ළඟ නැති නිසා එහි ඇති දේ ගැන වැඩිදුර සඳහන් කිරීමට නොහැකි වුවත් මට මතක විධිහට යුන්ග් ගේ  අවිඥානක මනස පිලිබඳ නියම (theory of unconscious ) හෝ අහම (ego) හා අවිඥානය අතර සම්බන්ධයත් මේ මිඩියම් වරුන් මළවුන් හා ජිවත්වන වුන් අතර සම්බන්ධයක් සොයා ගැන්මට මට අපහසු විය. (සමහර විට සම්පුර්යෙණන්ම  ඉගෙනීමට අවශ්‍යතාවයක්?) 

ථෙරවාද බෞද්ධයන් මළවුන් සබඳ කර ගැනීමට නොහැකි  යයි විශ්වාස කරනවා නම් මට්ටකුණ්ඩලි ගේ කතාව  විශ්වාස කරන්නේ ඇයි? මට්ටකුණ්ඩලි සොහොනේ හඬන තමන්ගේ පියා වෙත පැමිණියේය. තමන්ගේ පහසුව සඳහා ජාතක කථා ලියු තැනැත්තා මට්ටකුණ්ඩලි දෙවියෙකු කළා විය හැකිය. දෙවියකු ඇද  ගැනීමෙන් කිසියම් සම්ප්‍රදායික අනුමත භාවයක් සාමාන්‍ය ජනයාගෙන් ලබා ගත හැකිය.  මට්ටකුණ්ඩලි තම මසුරු පියාට සත්‍යය පැහැදිලි කලේ ඉර හඬ ඉල්ලා හඬන දරුවෙකු ලෙස පැමිණීමෙනි.  ඉන් පසුව තමන් මට්ටකුණ්ඩලි දිව්‍යපුත්‍රයා(?)  ලෙස පෙන්වීමෙනි.  මෙතැනදී මැරුණු  මට්ටකුණ්ඩලි නැවත  පැමිණුනේ කෙසේද? ගෞතම බුදුන් වහන්සේ ඉන්පසු අදින්නපුබ්බකට බණ කීමේදී මට්ටකුණ්ඩලි ව නැවත ගෙන්වයි. ඔහු දෙවියෙකු වුණායි අප විශ්වාස කළ යුතුද? බුදුන් වහන්සේ මළවුන්ට කතා කිරීමක් කළා විය නොහැකිද? 

මේ නිසා මම නැවත  බලන්ගොඩ ආනන්ද මෛත්‍රී හිමි දෙසට හැරුනෙමි.  (ගුණසිංහ මහතා ඇසූ  ප්‍රශ්නයට මගේ මිතුරා එවූ පිළිතුර වුයේ ආනන්ද සල්ගාදු නමැති මහතෙකු විසින් යුටියුබ් එකට උඩුගත (upload) කර ඇති ඒ හිමිගේ දේශනා වලින් 1 සිට 17 දක්වා වන ඒවා වල ඔහු සොයන තොරතුරු අඩංගු බවය) . ඒ හිමි මහායාන දහම ගැන මෙන්ම විශ්වය ගැනද හදාළේ ඇයි?

ලවුලන් ඇතුළු මිඩියම්වරු බොහෝවිට භාවනා කිරීම හා එළඹ සිටි සිහියෙන් සිටීම ගැන බොහෝ විට කතා කළහ. එසේම මැවුම්කාර  දෙවියෙකු වෙනුවට ලවුලන් විශ්ව කරන්නේ මහා විඥානයක් (super consciousness) ගැනය. අප සැම මේ මහා විඥානයේ කොටස් කරුවන්ය. අප ගේ විඥානයන්  එනම් යටිහිත් සියල්ල එකට බැඳී පවතී. (unconscious mind with conscious mind ). එසේම  භාවනා කිරීම ගැන ඔවුන්ගේ  ඇත්තේ පෙරදිග ඇදහීම් වලට සමාන මතයකි. එළඹ සිටි සිහියෙන් සිටීම (හා සම්මා සතිය ) වැදගත් බව ඔවුහු සිතති. මමත් භාවනා කිරීම ගැන අදහසට  එකඟ වුනෙමි. සිහිය සැමවිටම තබා ගැනීමේ වැදගත් කම ගැනද  එකඟ වුනෙමි.  ආචාර්ය තින් ගේ ලිවින්ග් මෙඩිටේෂන් (භාවනාවේ ජීවත්වීම ) වැනි පොත් ද යැව්වෙමි. එක්හර්ට් ටොල් ගේ පොතක්ද ඩිව් විසින් එව්වා මතකය. (The Power of Now ). ඒවායේ කතා කරන්නේ අවදියෙන් සිටීම , හිත නිරවුල්ව තබා ගැනීම  ආදිය ගැනය. 

මම සාමාන්‍යයෙන් වාහනය පදවා ගෙන යද්දී  පවා නොයෙක් දේවල් සිතන්නට පුරුදු වී තිබෙන අයෙක්මි. ඊළඟ බ්ලොග් ලිපිය ගැන, නැත්නම් යන කිසියම් සංවාදයක මගේ පිළිතුර  කුමක් විය යුතුද යන්න ගැන, ගීතයක අදහස කුමක්ද යන්න මේ අතරින් සමහරකි. "එළඹ සිටි සිහිය" යන්න බොහොම අඩුය.  පාර  දන්නේ නම් අපි මොන හිතුවිල්ලක හිටියත් කාරය  "පැදවෙන " බව නොරහසකි. ඒ මොළයට  ස්වයංක්‍රීයව ක්‍රියා කිරීමේ හැකියාවක් ඇති නිසාය.  නමුත් ලවුලන් වැනි අයගේ මේ එළඹ සිටි සිහිය හෝ සම්මා සතිය ඉතා වැඩිය. එනිසාම ඔවුන්ගේ නිරීක්ෂණ ශක්තියද වැඩිය.  මේ ලඟදි පවා ඇය ෆේස්බුක් හි තම  අසල්වැසියන් නිවසින් එළියට  පැමිණි පසු කරන දේ ගැන ඉතාමත් රසවත් (ඕපාදුප) ලිව්වාය.

එසේම ඔවුන් තමන් ඉදිරියෙන් යන වාහනයේ ලියාපදිංචි අංකය කියවා  එයට නොයෙක් තේරුම් දෙති. ඒ හා ජේ අකුර සමග දිනය උපන් දිනයට සම වේනම් තමන්ට මළවුන්ගෙන් ලැබුණු පණිවුඩයක් යයි සිතති. මෙය දැනගත් පසු මා කළේ දරුවන් සමග වාහනයේ දීර්ඝ  ගමන් ද රසවත් කර ගැනීමය. ඒ ඉදිරියෙන් යන කාරයේ  ලියාපදිංචි අංකයේ අකුරු වලට තේරුම් දීමට තරඟ කිරීමෙනි. 

  එසේම රේඩියෝවක, ගීතයක හදිසියේ ඇතිවන ශබ්ද (interference ), කාර් රේඩියෝවක ශබ්ද වලින් මළවුන්ගේ කතා ඇසෙන බව ඔවුහු පවසති. මෙයට කියන්නේ ඉලෙක්ට්‍රොනික ලෙස ප්‍රාදුර්භූතවන හඬවල් electronic voice phenomena (EVP කියාය. මට මේ ගැන එතරම් විශ්වාසයක් නැති වුවත් මේ හඬපට  බොහොමයක් අසා තිබේ. 
  
යුටියුබ් එකේ මෙවැනි හඬපට බොහෝ දැකිය හැකිය.

 ඉහත අදහස් අනුව සිත වෙනත් සිතුවිලි වලින් වියුක්තව අවදියෙන් තබා ගැනීමට හැකිදැයි විමසා බැලුවෙමි. මෙහිදී මා වෙනත් දිනවල නිරීක්ෂණය නොකරන දේ පෙනී යන බව වැටහුණි. සමහර විට යන අතරමග මාර්ගයේ ඇති වෙළඳසලක්, අමුතු නිවසක්, අමුතු  පාරක නමක් වශයෙනි.  උමං දුම්රියේ හෝ බසයක් යද්දී මිනිසුන්ගේ හැසිරීම් වඩා හොඳින් නිරීක්ෂණය වුනි. ඇත්තෙන්ම මගේ කාර්යාලයේ අයෙක් හැම සිකුරාදාවකම බර්ගර් එකක් කන බවත් ඔහු සඳුදාට කන්නේ සලාදයක් පමණක් බවට  මට අනාවැකි කිව හැකි බවත් වැටහුණි. 
පින්තූරය නිව් සයන්ටිස්ට් සඟරාවෙන් 

නිව් සයන්ටිස්ට් සඟරාවේ 2014 පලවූ මිනිස් මොළය පිලිබඳ ලිපියක් මගේ යහළුවන්ට යැව්වෙමි. (මේ බොහෝ කලට පසු බව මතක තබා ගන්න)  එහි ඇත්තේ අප "අවදියෙන් සිටීම " ඔන් ඕෆ්ෆ් කල හැකි ස්විච් එකක් - අවදියෙන් සිටිනවාද නැත්ද යන්න තීරණය කරන්නක් මිනිස් මොළයේ ක්ලඋස්ට්‍රම් නමැති පෙදෙසේ තිබෙන බවට ඉඟියකි. 

මේ අවදියෙන් සිටීම හා නිරීක්ෂණය කිරීම  ඇසුරෙන් තමන් අවට සිටින අය ගැන බොහෝ දේ කිව හැකිය. අසන පොදු  ප්‍රශ්න කිහිපයක් හා පිළිතුරු කිහිපයකුත් සිහියට ගෙන දෙතුන් සියක් සිටින තැන්වල මෙවැනි "මළවුන් ගෙන්වීම් " කිරීම ඉතා පහසුය. එනිසා ඒවා බැහැර කර දැමුවෙමි. බැහැර කිරීමට තවමත් අපහසු වුයේ ලවුලෙන් ගේ කියැවීම්ය.

~ මතු සම්බන්ධයි.

"Within ghost hunting and parapsychology, electronic voice phenomena (EVP) are sounds found on electronic recordings that are interpreted as spirit voices that have been either unintentionally recorded or intentionally requested and recorded." - ගූගල් 

පරීක්ෂණයක්: https://www.youtube.com/watch?v=9zaRb_g8adY 

55 comments:

  1. /* එසේම ඔවුන් තමන් ඉදිරියෙන් යන වාහනයේ ලියාපදිංචි අංකය කියවා එයට නොයෙක් තේරුම් දෙති. ඒ හා ජේ අකුර සමග දිනය උපන් දිනයට සම වේනම් තමන්ට මළවුන්ගෙන් ලැබුණු පණිවුඩයක් යයි සිතති. මෙය දැනගත් පසු මා කළේ දරුවන් සමග වාහනයේ දීර්ඝ ගමන් ද රසවත් කර ගැනීමය. ඒ ඉදිරියෙන් යන කාරයේ ලියාපදිංචි අංකයේ අකුරු වලට තේරුම් දීමට තරඟ කිරීමෙනි. */

    අප කරන එක ක්‍රීඩාවක් නම්- දුර ගමන් යන හයිවේ එකේ දී ඉදිරියට හමුවන වාහනයේ වර්ගය ගැන (ටොයොටා, ෆෝර්ඩ් වැනි) හෝ අංගයේ අවසන් අකුර (0-9) ගැන තරග වැදීමයි.

    එය අයි ස්පයි ක්‍රීඩාවට වඩා නිදිමත අඩු එකකි!

    ReplyDelete
    Replies
    1. අයි ස්පයි එකත් කළා ළමයි පොඩි කාලේ.

      Delete
  2. ලිපියේ අන්තර්ගතය ගැන මගේ අදහස නම් පෙර සේ ම යි. එනම්, මේ සියල්ල දුර්වල සිතට සහනයක් ගෙන දෙන දේ පමණක් බවයි!

    ReplyDelete
    Replies
    1. හැම එකටම එහෙම කියන්න බැහැ කියන එකයි මගේ අදහස. මා පවා මුලදී ගියේ පියා ගැන හිතලා කියමු. නමුත් පසුව මම අක්රන්න පටන් ගත්තේ සොයා බලන එක. බොරු කාරයෝ ගොඩක් අතරේ එක්කෙනෙක් දෙන්නෙක් මොකක් හරි හරියට කියන කොට ඒ කොහොමද කියලා කුතුහලයක් ඇතිවෙන්නේ නැත්ද?

      Delete
  3. බොරුකාරයන් දහස්ගනක් අතර එක් අයෙක් හෝ ඇත්තටම යමක් කියනවා. සියල්ලම බොරුකීමත් සියල්ලටම වගවිභාගයකින් තොරව අධිසොභාවික අර්ථකථන දීමත් එකසේම මුග්ධ වැඩක්. හැම එකම දුර්වල සිත් ඇත්තන්ගෙ කටින් අල්ලගන්නව කියන්න බෑ.

    තව වැදගත් පැත්තකට ලිපිය යොමුවෙලා තියනවා. සිත නිදහස් කර ගැනීම ගැන
    මතකද මා අවුරෝබින්දෝ තුමා ගැන ලිපියක් ලිව්වා.අවුරෝබින්දෝ රාජ්නීශ් ඕෂෝ ආදීන්ද ප්‍රකාශකලේ මේ ක්‍රමයයි. මට සිතෙන්නේ සියලුම දාර්ශනිකයන් ගේ පොදු ඉගැන්වීම මෙය බවයි. ඒ එස් බාලසූරියගේ දේශනා වගයක් යූටියුබ් වල ඇහුවා. ඔහු ඉතා සරලව මෙම ක්‍රමය පැහැදිලිකරනවා. මම දැක්ක ඔහුගෙ වීඩියෝවක කොමෙන්ට් එකක් දාල තියනව කෙනෙක්. බාලසූරියගෙ දේශනා එක් හාර්ට් ටොල් ගෙ දේශනාවල සිංහල පරිවර්තන කියා. මා එක් හාර්ට් ටොල් ගැන දැනගත්තෙ ඉන්පසුවයි. එක් හාර්ට් ටොල් , ඒ එස් බාලසූරිය ,ක්‍රිශ්නමූර්ති ,වෙන එකක් තබා බුදුන් පවා දේශනා කලේ මෙම ක්‍රමය බව මට සිතෙනවා. සිත සිතිවිලිවලින් නිදහස් කරගැනීම. මෙහිදී කිසියම් අධිමානසික තත්වයක් ලැබෙන අතර එය භෞතික දෙයක් බවත් පැහැදිලියි. එහිදී වදිවන මොළයේ භෞතික උත්තේජනයන් ඇතැම් සතුන්ට පවා තිබෙන දෙයක්.භාෂාව නිසා ටෙලිපති වැනි හැකියාවන් ක්ශීන වූ බවත් කියවෙනවා.

    මහා විඥානයක් පිලිබද අදහසත් ජීවත්වන්නවුන්ගේ විඥානය සහ මලවුන්ගේ විඥානයන් එක ජාලයකින් සම්බන්ධ ව තිබීම වැනි අදහසුත් සිතාබැලීමට වටින දේවල්.

    ReplyDelete
    Replies
    1. //හැම එකම දුර්වල සිත් ඇත්තන්ගෙ කටින් අල්ලගන්නව කියන්න බෑ.// ඔන්න ඔහොම දේකුත් තිබෙනවා.
      //සිත සිතිවිලිවලින් නිදහස් කරගැනීම. මෙහිදී කිසියම් අධිමානසික තත්වයක් ලැබෙන අතර එය භෞතික දෙයක් බවත් පැහැදිලියි.// මටත් මෙතැනින තමන්ගේ මොලයේ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කිරීමට හැකියාවක් තිබෙනවද කියන ප්‍රශ්නය මතු වුණා.

      Delete
    2. මහා විඤ්ඤානයක් හා විඤ්ඤාන අතර බැඳීමක් කියන සංකල්ප්යක් නැහැ. එවැනි සංකල්පයක් ඇත්තේ ආත්මය පිළිබඳවයි. එය සෑම මැවුම්වාදී ආගමකම එන මූලික ඉගැන්වීමක්.
      විඤ්ඤානය කියන සංකල්පය ඊට ඉඳුරාම වෙනස් වූවක්. විඤ්ඤානය යනු එක් ක්ශ්නයක පහල වී නැතිවී යන නාමික වූ සංකල්පීය දෙයක්(virtual concept)

      Delete
    3. මධ්‍යස්ථ මතධාරියා,
      ඒ එස් බාලසූරිය මහතා හඳුනනවා ද?

      ඔහුගේ දේශනා එක් හාර්ට් ටොල් ගෙ දේශනාවල සිංහල පරිවර්තන නොවෙයි. ඔහු මා පෞද්ගලිකව හඳුනන මගේ ගුරුවරයෙක්. එතුමා ක්‍රිෂ්නමුර්ති තුමා මෙන් ස්වයං අවබෝධය ලැබූ කෙනෙක්. එක් හාර්ට් ටොල් කියන්නෙත් එවැන්නක්. ඔවුන්ගේ දේශනා සියල්ල එක හා සමාන ලෙස දැනෙන්නේ ඒකයි.

      Delete
    4. මා එසේ කියා නෑ.මා කිව්වෙ කොමෙන්ට් එකක තිබුන කියලයි. ඇත්තටම බාලසූරිය මහතාගේ වීඩියෝ නරඹන්නට මට අවස්ථාව ලැබුනෙ මාස කීපයකට කලින්. ඔහු ස්වයන් අවබෝධය ලැබුවෙක් බව මම පිලිගන්නවා.
      මට හිතෙන්නෙ මේ සියලුම දාර්ශනිකයන් ස්වයන් අවබෝධය ලැබූවන් බවයි.එකම කතාවෙ විවිධ වර්ෂන්. ඒ එස් බාලසූරිය මහතා නම් ඉතා සරලව රසවත්ව ඉදිරිපත් කරනවා. නමුත් 2015 න් පසු ඒ මහතා නිහඩයි නේද.
      සිතිවිලිවලින් නිදහස ලබා ගැනීම තමයි ලොවුතුරු සුවය.

      Delete
    5. //මහා විඤ්ඤානයක් හා විඤ්ඤාන අතර බැඳීමක් කියන සංකල්ප්යක් නැහැ// එහෙම නැහැයි කියල ඔබට කියනන් බැහැනේ. ඒක මේ මීඩියම් අතර තියන අදහසක්. එහෙම එකක් නැහැ කියන්නේ කොහොමද? සැබවින්ම තියනවද නැත්ද කියන එක වෙනම දෙයක්. ඔප්පු කළ යුතු දෙයක්.

      Delete
    6. මධ්‍යස්ථ මතධාරියා,

      මම ඔබ කියපු දේ වැරදි කියල අදහස් කලේ නෑ..මම හිතුවේ ඔබත් එතුමාව දන්නවා ඇති කියල. ඔබට අවශ්‍ය නම් ඒ මහතාගේ දේශනා වලට සහභාගී වෙන්න පුළුවන්. යු ටියුබ් එකේ ගොඩක් තියෙනවා අලුත් දේශනා. ඒවගේම ගුවන් විදුලියේ ස්වදේශීය සේවයේද කොහෙද යනවා ඉඳුරු දොර කියල තව වැඩ සටහනක්. පෙරදිග දර්ශනය ගැන. එකත් අහන්න.

      Delete
    7. අජිත් ඔවුන් විඤ්ඤානය කියන වචනය යොදා ගන්නවාද? නැතහොත් ඔවුන් යොදන යම්කිසි බටහිර වචනයක් ඔබ්ලා විසින් විඤ්ඤානය ලෙස පරිවර්ථනය කර ගන්නවාද?
      කරුනා කර මෙය පැහැදිලි කරන්න.

      Delete
    8. මම මේ කියන්නේ super consciousness කියන වචනය - පරිවර්තනය කලේ මහා (පැතිර පවත්නා) විඥානය ලෙසට.

      Delete
    9. අන්න ඒකයි මම කියන්නේ මේ වචන අපි යොදන කොට එකම අරුතකින් ඒවා භාවිතා කරමින් සාකච්චා කල යුතුයි කියා. ඔබ කොන්ශස්නෙස් කියන එකට විඤ්ඤානය කියා පරිවර්ථනය කරමින් පැතිර පවත්නා විඤ්ඤානයක් ගැන කීවාම එය නිවැරදි වන්නේ නැහැ. ඒ වගේම මා නොදන්නා අන් දහමක විඤ්ඤානය යනු සර්ව කාලීන ආත්මයක් වැනි දෙයකැයි කියනවාත් විය හැකියි. මා එය නැතැයි කියන්නේ නැහැ.
      ඒත් බුදු දහමෙහි විස්තර කරන විඤ්ඤානය ඊට හාත් පසින්ම වෙනස් වූ ඉතාම තාවකාලික, එක් පුද්ගලයෙකු තුල දීත් එක් ස්පර්ශයක් වෙනුවෙන් ඉපදී මැරී ඒ ස්පර්ශයට අයිති සිතුවිල්ල වෙනුවෙන නැවත ඉපදී මැරෙමින් එක් ක්ශනයක් තුලදීත් සිය දහස් වරක් ඉපදෙමින් මැරෙන අතිශය වේගවත් නොපවතින නාම ධර්මයකි. නාම ධර්මයක් යනු මට වැටහෙන ආකාරයට සංකල්පයකි. එනම් කිසිදු භෞතික පදනමක් නැති දෙයකි.
      ඉතින් මෙවන් වූ වෙනත් දහමක කියැවෙන විඤ්ඤානයක් ගැන හෝ පරිවර්තිත විඤ්ඤානයක් ගැන සලකා බුදු දහමේ එන විඤ්ඤාන සංකල්පය විවේචනය කිරීම සුදුසු නැහැ. එය විවේචනය කරනවානම් කල යුත්තේ ඒ නිවැරදි පදනම මතම පිහිටායි.

      Delete
    10. නයනේ අපි පළමුව මෙහම් තේරුම් ගමු.
      /මහා විඤ්ඤානයක් හා විඤ්ඤාන අතර බැඳීමක් කියන සංකල්ප්යක් නැහැ// ඔබට මෙහෙම කියන්න පදනමක් නැහැ. ඒක මගේ අදහසක් නෙමයි. දැනට තිබෙන දෙයක්. තිබෙන සංකල්පයක්. super consciousness එකක ට අපි හැමෝම බැඳිලා ඉන්නවා කියල කල්පිතයක්/ සංකලපයක් දැනට තිබෙනවා. ඒක ගැන මම කිව්වේ. මම ඒක විශ්වාස කරනවා කියන එක නෙමයි. මේක හරියට සමහර අය මම ම්දඩියම් ලා විශ්වාස කරනවා වගේ කියන කතාවට ත් අදාලයි. මම කතා කරන්නේ මට වුන දේ සහ තර්කය සහ විද්‍යාව ඇසුරින් පැහැදිලි කර ගැනීමට මා ගත් මග.

      Delete

    11. විඥානය කියන්නේ බුදු දහමේ වචනයක් නෙමෙයි. ඒක සංස්කෘත වචනයක්. පාලි viññāṇa. බුදු දහමේ ඒකට දෙනවා වෙන අරුතක්. ඔබ කියන්නේ ඒක.
      Vijñāna (Sanskrit) or viññāṇa (Pāli[1] is translated as "consciousness," "life force," "mind,"[2] or "discernment."[3]
      https://en.wikipedia.org/wiki/Vij%C3%B1%C4%81na
      බුදු දහමේ විඥාන නාමයක් ගැන කියනවා නේද.
      ඔබ මතක තබා ගත යුත්තේ ඕක බුදු දහමට අයිති වචනයක් නොවන බව.
      එහි හින්දු හා වේද ආගමේ එක තේරුමකුත්, මීඩියම් ලාට තව තේරුමකුත් බුදු දහමට තව තේරුමකුත් දිය හැකියි.

      Delete
    12. ඔව් ඔබ සමග එකඟයි,
      බුදු දහමේ විඤ්ඤානය කියන වහනයට දෙන තේරුමට පටහැනි තේරුමකින් කෙනෙකුට ඊට අරුතක් දිය හැකියි. එකම වචනය විවිද අරුත් තුලින්.
      ඒ වගේම බුදු දහමේ අනත්ත කියන තැන යෙදෙන ආත්ම කියන වචනයේ තේරුම මැවුම් වාදී ආගම් වල කියැවෙන ආත්ම කියන වචනයේ අරුතමත් නොවෙයි.
      සාකච්චාවේදී අපි වචනයක් යොදා ගන්නේ කුමන අරුතින්ද කියන එක හරිම වැදගත්.

      Delete
  4. අධිමානසික තත්වයන් ගැන වඩාත් අධ්‍යනය කල යුතුයි. මගේ මෙම ලිපිය බලන්න The Concept of Nirvana from a Psychological Point of View
    http://www.lankaweb.com/news/items/2016/10/15/the-concept-of-nirvana-from-a-psychological-point-of-view-4/#comments

    ReplyDelete
  5. හොඳ ලිපියක් රුවන්.
    //Nirvana is a transformed state of personality and consciousness (Shcherbatskoĭ & Stcherbatsky , 1989). Jung believed that enlightenment experience of satori (awakening) as the “unsurpassed transformation to wholeness. In addition he acknowledges the inadequacy of Westerners’ attempts to comprehend satori through the lens of Western intellectualism (Suzuki & Jung, 1948).//

    ReplyDelete
  6. මේ මට ලියන්න ඕන වුනු දෙයක්.
    The human brain has the capacity to understand the insights of Nirvana. Human brain comprised of over 1 billion neurons; and amongst those neurons, there are countless connections. Humans have the intellectual capacity for perception, consciousness, self-awareness, and volition. They have cognitive abilities to learn, form concepts, understand, apply logic, and reason, including the capacities to recognize patterns, comprehend ideas, plan, and problem solve, make decisions, retaining, and use language to communicate. Human brain has unique qualities such as plasticity. Plasticity is an intrinsic property of the human brain and represents evolution’s invention to enable the nervous system to escape the restrictions of its own genome and thus adapt to environmental pressures, physiologic changes, and experiences (Leone et al., 2005). - උපුටා ගත්තේ ඉහත ලිපියෙන්

    ReplyDelete
    Replies
    1. මේ ටිකත් බොහොම හොඳයි. මම වටහාගත්තේ මේ තත්වය බොහෝ මීඩියම් වැඩ නිවැරදිව කරන අය අතරේ තිබෙනවා කියල.
      //Meditation and spiritual awakening have been associated with structural changes in brain and increase in brain blood flow. Studies have revealed an increased fractional anisotropy and greater thickness in the anterior parts of the corpus callosum in meditation practitioners compared with control subjects (Kurth et al., 2014). Luders, Clark, Narr and Toga (2011) surmised enhanced brain connectivity in long-term meditation practitioners. Moore and Malinowski (2009) showed that mindfulness was intimately linked to improvements of attentional functions and cognitive flexibility. Davidson and colleagues (2003) suggested that mindfulness meditation may change brain and immune function in positive ways. Chen and colleagues (2012) highlight that meditation helps to break anxiety symptoms.

      Kurth and colleagues (2014) suggest that the positive correlation between meditation practice years and asymmetry near the posterior intraparietal sulcus may suggest that meditation is accompanied by changes in attention processing. Luders and team (2012) state that possibility of bridging the hemispheres in meditation and close link between long-term meditation practices and the structure of the corpus callosum.// - රුවන් ජයතුංග

      Delete
  7. "The Power of Now" කියෙව්වා.

    // "Until my thirtieth year, I lived in a state of almost continuous anxiety interspersed with periods of suicidal depression"//

    and then

    //"I cannot live with myself any longer." This was the thought that kept repeating itself in my mind. Then suddenly I became aware of what a peculiar thought it was. "Am I one or two? If I cannot live with myself, there must be two of me: the ‘I’ and the ‘self’ that ‘I’ cannot live with." "Maybe," I thought, "only one of them is real." //

    මේ වගේ මානසික තත්වයකදි, අපේ මනස ඇත්ත තේරුම් ගන්නවද කියන ප්‍රශ්නේ කියවනකොට ඔලුවට ආවා.

    ReplyDelete
    Replies
    1. මෙඩුසා, මම හිතන විදියට ‘I’ and the ‘self’ කියල දෙදෙනෙක් ඉන්නවා කියල අපිට තේරුම් යන්නේ නෑ. ඒක කෙනෙකුට අවබෝධ වීම කියන්නේ අපි හරියටම ඇත්ත දකින්න පටන් ගන්නවා කියන එක නෙවෙයි ද? මනසින් ඇත්ත තේරුම් ගන්න බැහැ. මනසින් බැහැරව සිහියෙන් දකින කොට තමයි ඇත්ත තේරුම් යන්නේ. ඔබට හැකිනම් ජේ.ක්‍රිෂ්නමුර්ති තුමාගේ දේශනා වලට සවන්දී බලන්න.

      Delete
    2. මම ක්‍රිෂ්ණමූර්ති ගැන කියෙව්වේ ඒලෙවල් කරන කොට. පන්තියේ සගයෙක් ගෙනත් දුන්න පොතකින්. අපි ඌට ඊට පස්සේ කිව්වේ "ක්‍රිෂ්නමුර්ති " කියල. අදිකාරම් ගේ පොතුත් කියෙව්වේ ඒ කාලේ. ඊට පස්සේ මේ මිඩියම් ලා නිසා ටොල් ගේ පොත් බලලා හිතුනේ ඔය ඔක්කොම එකම අදහස වෙන විධි වලට කියනවා කියල.

      Delete
    3. අජිත්, ඔබ නැවත ක්‍රිෂ්නමුර්ති තුමාගේ දේශනා වලට සවන්දුන්නොත් ගොඩක් දේවල් තේරුම් යයි.. මම හිතන්නේ පිරිසිදු බුදු දහම සොයන කෙනෙක් ක්‍රිෂ්නමුර්ති තුමාගේ දේශනා වලට සවන් දිය යුතුයි කියල. අපි දන්න බුදු දහම පොඩ්ඩකට අමතක කරලා අහන්න පුළුවන් නම් වඩා හොඳයි..

      Delete
    4. මාත් කියන්නෙ මේ ඔක්කොම එකම අදහස වෙන විධිවලට කියනවා. ජීවිතාවබෝධය ලැබූවන් එදත් හිටිය අදත් ඉන්නවා. එදා සිටි සමහරුන් වටා ආගම් ගොඩනැගිලා. බුදුන් දකින්නත් පහසුයි මේ අය හරහා.
      නමුත් අද සාහිත්‍යකරුවන් කැටයම් ශිල්පීන් හා තක්කඩියන් නිර්මානය කර තිබෙන බඩගිනි බුද්ධාගම ටිකක් අමතක කරලයි මේ දේශනා අහන්න වෙන්නෙ. සිත පහදවා භික්ෂුවකට සරලුවක් දන් දී දිව්‍යභෝජන දිව්‍යාංගනාවන් පහල වූ බවත් එය විවේචනය කල අයෙක් දුක්සහිත ප්‍රේත ආත්මයක් ලැබූ බව වැනි විලිලැජ්ජ නැති හිගන කතා වලින් අගනා බෞද්ධ දර්ශනය කිලිටි වෙලා.
      ගැතිකමක් නැතිව සිත අධ්‍යනය කල යුතුයි. සියලු දාර්ශනිකයන්ගෙ දේශනාවල මහා පොදු සාධකය තේරුම් ගත යුතුයි.සිත අවදිකල පසු ලැබෙන ප්‍රතිලාභ ගැන නයනේ කියන කතාත් ඇත්ත.

      Delete
    5. මධ්‍යස්ථ මත ධාරියා ..... ඔබ හරි.

      Delete
  8. මුලින්ම මේ ලෝකේ මිනිස්සු ඉඳලා නෑ කියන එක කවුරුත් පිලිගන්න දෙයක් නේ.. ඒ වගේම පසුගිය සියවසේ ලෝකය විද්‍යාත්මකව බොහෝ ඉදිරියට ගිය කාලයක්.. මම හිතන්නේ අපේ රටවල් වගේ රටවලට කෙලවෙලා තියෙන්නේ අවුරුදු 2600 කට කලින් කෙලපු සුරංගනා කතා වගයක් ගැන අපේ අත්දැකීම් ලියන්නත් පර්යේෂණ කරන්නත් යාම.. සමහර විට ඒවා ඇත්තත් වෙන්න පුළුවන්.. මොකෝ සුරංගනා කතාවල තියෙන ඒවා ඇත්ත වෙලා තියෙනවා නේ.. දිවිය ලෝකය මේ ලොවේම පහල වෙලත් තියෙනවා නේ.. දැන් දැන් විද්‍යාත්මකව ඉදිරියට ගිය රටවල උන් මේවා ගන පර්යේෂණ කරනවා නේ... උන් කවදා හරි මේ දේවල් ඇත්තද නැත්තද කියලා කියයි.. ඕවා ඇත්ත කියලා උඹ කිව්වත් මම කිව්වත් එකෙක්වත් පිලිගන්නේ නෑ.. ඒත් සුද්දෙක් කිව්වොත් ඔක්කොම පිලිගනියි... එතෙක් කලබල නොවී සිටිමු..

    ඕෂෝ නම් කියන්නේ මේ සඳහා යොදන කාළය අපරාදයක්ය කියලා... ඒත් මම නම් එහෙම හිතන්නේ නෑ.. බුදුන්ට පුළුවන් නම් ඇයි ඇපිට බැරි අපිට ඕන දෙයක් හිතා ගන්න..

    ReplyDelete
    Replies
    1. මම අවුරුදු ගණනක් හොයපු දේ ගැන ලියන්නේ මාතේ. නිකන් මාත් එක්ක වැළලිලා යනවට වඩා ලියල තියන එක හොඳ නිසා.

      Delete
    2. අනිවා.... මමත් මේ ගැන හොයන ඒවා අත අරින්නේ නෑ... තැනක් සිද්දියක් දැක්ක ගමන් යනවා...

      Delete
    3. ඔබ කොන්දේසි පනවා තිබෙනවා අශීලාචාර ලෙස හෝ පහරදීම් වලින් වලකින ලෙස නමුත් මට නම් ඔබගෙනුත් කොමෙන්ටුවක් ලැබුනා මීට සති 2කකට කලින් ''තොප්පිය හරිනම් දාගන්න ''කියා මේ ගැන පැහැදිලි කරන්නේ නම් ගුප්ත භාවයෙන් මිදි මනුස්සකමට ගරු කරමි.

      Delete
  9. ථේරවාදී බෞද්ධයන් මලවුන් සම්බන්ධ කර ගැනීමට නොහැකියැයි විස්වාශ කරනවානම්...
    මා එතැන සිට පටන් ගන්නම්.
    ථේරවාදී දහමට අනුව මලවුන් යනු කවරෙක්ද?
    එක් භවයක පැවැත්ම හැරදමා (එම භවයට අදාල පංචස්කන්දය බිඳී විසිරී යාම නිසා ) වෙනත් භවයක පැවැත්මක් සාදාගත් සත්ත්වයෙකි. එනම් නව පංචස්කන්දයක් තුල ඇති භවයකි. එසේනම් ථේරවාදී දහමට අනුව ඔබ මා ඇතුළු සියළු සත්ත්වයින්ම එක් අරුතකින් මලවුන්ය. නො එසේනම් දැනට පවතින්නන්ය. මේ භවයෙන් මිදී නවත භවයක් ලබන්නෝය. එසේනම් ථේරවාදි බෞද්ධයන්ට අනුව මලවුන්සම්බන්ධ කර ගත හැකිය.

    දෙවැනුව සිත අවදිව තබා ගැනීම,
    මේ සංකල්පය දහමේ හඳුන්වන්නේ යෝනිසෝ මනසිකාරය ලෙසයි. මෙය ධර්ම මාර්ගයේ ගමන් කරන කෙනෙකුට අනිවාර්‍ය අවශ්‍යතාවයකි. එමෙන්ම භාවනාව නිසා නිතැතින් උදා වන අතුරු පලයකි. යෝනිසෝ මනසිකාරය උදාකරගත් තැනැත්තා හට කිසි විට කෙටිකාලීන අමතක වීම් සිදු නොවේ (වැසූ දොරේ යතුර දැම්මාදැයි අමතක වීම වැනි දෑ).
    එසේම මේ තුලින් ඉතා පහසුවෙන් අන් සිත් කියැවීමේ හැකියාව උදා වේ. මා විසින් එය ඉතා සාර්ථකව අත්හදා බලා ඇත. අන් සිත් කියැවීමෙන් මිනිසුන් විමතියට පත් කරවා ඇත. එහෙත් එය විජාවක් නොව ඔබ මා සැමටම සිත එකඟ කර ගැනීමෙන් කල හැකි දෙයකි. මා ඒ ඇසුරින් හපා කන බල්ලන් පවා දමනය කර ඇත. එසේම ඔබ පසුපසින් සිදුවන දෙය ඔබට ඉතා නිවැරදිව වටහා ගත හැකි වන්නේය. මේවා කිසිවක් මැජික් නොව ඕනේම මිනිසෙකුට සිහිය එලවා ගැනීම තුලින් කල හැකි දේවල්මය.

    ReplyDelete
    Replies
    1. බල්ලන් දමනයට නම් වැලි පාරක් කටට කෙලියම හරි... බල්ලා නිවන් ගිහින් තමා නවතින්නේ... :)

      Delete
    2. සම්මා සතිය කියන්නේ ඕකට නෙමේද?

      Delete
    3. ඕකට කියන්නේ තෙවනි ඇස... තව තියෙනවා කුන්ඩලනී ශක්තිය කියලා එකකුත්... මේවට වෙන වෙනම භාවනා තියෙනවා...

      Delete
    4. නැහැ පැහැදිලිවම නැහැ,
      අජිත් මේ ලිපියේදී සාකච්චා කරන මනස එකාග්‍ර කර ගැනීම සිහියෙහි පිහිටීම යනු යෝනිසෝ මනසිකාරයයි. එය සම්මා සතිය නොවෙයි. සම්මා සතිය යනු ආර්‍ය අශ්ඨාංගික මාර්ගයෙහි දැක්වෙන වෙනස්ම වූ සංකල්පයක්. එයට එළැඹීම වඩා ආයාසයකින් කල යුතු වැඩි කැපඊමක් අවශ්‍ය කාරනයක්.

      ඒ වගේම තෙවැනි ඇස කුණ්ඩලීනී ශක්තිය ආදී වශයෙන් සාකච්චා කරන දේවල් තියෙනවා. මේ දේවල් ගන මා දන්නා මුත් ඒවා ගැන මගේ ගැඹුරු වැටහීමක් නැහැ. මේ දේවල් ගැන බොහෝ පර්යේශනාත්මක අත්දැකීම් සුනේත්‍රා රාජකරුණානායක නම් ලේකිකාව විසින් ලියා තිබෙනවා.
      ඒවා සූත්‍ර ඇසුරින් ඍජුවම පැහැදිලි කල හැකි කාරනා නොවෙයි. මේවා ටිබෙටියානු බුදුදහම ඇසුරින් ගොඩ නැගුනු දැනුම.

      ඒත් යෝනිසෝ මනසිකාරය කියන එක බොහොම පහසුවෙන් කෙනෙකුට ලඟා කරගත හැකි තත්වයක් වගේම නිවැරදිව සිත මෙහෙයවුවොත් ඕනෑම කෙනෙකුට කල හැකි දෙයක්. නිවැරදිව යෝනිසෝ මනසිකාරය අවදි කර ගත් විට සති මාස ගනන් ඒ තත්වය පවත්වාගෙන යාහැකියි.ඔබ එයින් මිදුනු බව වැටහුනු විට නැවත එය වුවමනාවෙන්ම ලඟා කර ගත හැකියි.

      Delete
    5. සම්මා සති කියල කියන්නේ right mindfulness කියන එක. ලනක්වේ නිවැරදි දැක්ම කියලත් කියනවා. නමුත් mindfulness කියන්නේ එළඹ සිටි සිහියෙන් සිටීම කියන එක.
      RIGHT MINDFULNESS

      Delete
    6. ඒකෙ වර්ග කිහිපයක් තියනවා කියලනේ මේකේ කියන්නේ. සමාවෙන්න අන්තර්ජාල ලින්ක් දැම්මට. මගේ ළඟ පොත් දෙකකුත් තියනවා. මේ අවස්ථාවේ ළඟ නැහැ.

      Delete
    7. සම්මා සති කියන්නේ රයිට් මයින්ඩ්ෆුල්නස් කියලා කියන්නේ කවුද? එය පරිවර්ථනයක්. එක් භාශාවකින් කියන වචනයකට අපි වෙනත් භාශාවකින් වචනයක් සැපයීමේදී එය සර්ව සාධාරන වන්නේ නැහැ. එය බොහෝ විට ආසන්න තේරුමක් පමණයි ජනිත කරන්නේ. අන්න ඒ නිසයි දහම හැදෑරීමේදී පාලි වචනයෙන්ම හැදෑරීම වැදගත් වන්නේ.මයින්ඩ්ෆුල්නස් කියන එකට ඔබ දෙන සිංහල අරුත නිවැරදියි. ඒත් සම්මා සතිය කියන්නේ මයින්ඩ්ෆුල්නස්මද? එයින් නිවැරදිම අරුත පහදනවාද?
      ආර්‍ය අශ්ඨාංගික මාර්ගය ගැන කියන කොට ඇතැම් භික්ෂූන් ලෞකික ආර්‍ය අශ්ඨාංගික මාර්ගයකුත් ලෝකෝත්තර ආර්‍ය අශ්ඨාංගික මාර්ගයකුත් ගැන කියනවා. මේක පටලැවිලි සහිතයි. ආර්‍ය අශ්ඨාංගික මාර්ගය ගැන ඔබට පහදන්න තරම් මම තවම දුර ගිහින් නැහැ. කෙසේ වෙතත් ඔබට මට කල හැකි සිත පිටුවීමක් සම්මා සතිය වන්නේ නැහැ
      සම්මා දිට්ටියටවත් නොපිවිසි අපි (හතර අතින්ම දෘශ්ඨීනට නතුව සිටින අපි ) කෙලෙස සම්මා සතියක් ගැන පවසන්නද?

      මා ධර්මය හැදෑරීමකට වඩා වටහා ගැනීමේ මාර්ගයකයි යන්නේ. අන්න ඒ නිසා අපි යම් දේවල් දකින ආකාරයේ බර පතල වෙනසක් තියෙනවා. ඒක නිසා අපි වාද කිරීමෙන් පලක් නැහැ. ඒත් දන්නා ආකාරයට කරුනු සාකච්චා කිරීම සැමටම වැදගත් වෙනවා.

      Delete
  10. අජිත්ට බැරි ද ඔය ලවුලෙන් ට කියල පරීක්ෂණයක් වශයෙන් මේ නුදුරු කාලයේදී සිද්ධ වෙන්න පුළුවන් දෙයක් ගැන අනාවැකියක් අහගන්න. මම අදහස් කරන්නේ එයාටත් ඒක ගැන පැහැදිලි කරලා තව මාසයක් දෙකක් වගේ කාලෙකින් වෙන දෙයක් ගැන එයාට පුළුවන් නම් විස්තර සහිතව කියන්න අපිට පොඩි පරීක්ෂණයක් කරන්න පුළුවන් නේද..?

    මොකද ගොඩක් වෙලාවට ඔය අනාවැකි කියන අය එහෙම ලඟදි වෙන පොඩි සිද්දී ගැන කියනවා අඩුයි නේද.. අවුරුදු 2-3කින් වගේ වෙනවා කිව්වට කාටද ඕව මතක තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි. ඒකනම් ඉතා අනගි යෝජනාවක්.
      දැන් නේටෝව හා රුසියාව අතර සීතල යුධ උනුසුම වගෙ දෙයක් ගැන ලෝක දේශපාලනය ගැන මොකක් හෝ දෙයක් නම් වඩා හොදයි නේද

      Delete
    2. දැන් ප්‍රශ්නේ ලවුලන් ඔක්කොම නවත්වලා තියෙන්නේ. ගෙදර ප්‍රශ්නයක්දු. හිටිය එකම දුව එයාලාව අතහැරලා ගිහිල්ලා. ඒ ගැන හිතේ දුකින් ඉන්නේ. මොනවත් කරන්නේ නැහැ. මට අහන්න විධිහක් නැහැ ඔයාට ඒක පෙන්නේ නැත්ඩ් අකියල. දුකින් ඉන්න මනුස්සයාගේ හිත පාරන්නේ මොකටද?

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. අර ජුලි 2005 ලන්ඩන් බස් බෝම්බේ වුණා නේද? ලවුලන් එව්වා එහෙම ඉමේජ් එකක් මගේ හිතට. ඊට මාස දෙකකට විතර කලින්. ඒ මනුස්සය ඒක කලේ කොහොමද කියන්න මම අදටත් දන්නේ නැහැ. "අපේ ගෙවල් ළඟ තියනවා බස් ගරාජ් එකක්. ඒකෙ බස් එකක් පුපුරනවා. ඕක තමයි ඉමේජ් එක." මට පරිස්සම් වෙන්න කියල. (මේක පෝස්ට් එකක දාල තියාගත්තේ නැති නිසා මම ලිව්වේ නැහැ). හරියට මාස දෙකකට පස්සේ බස් බෝම්බෙ පිපුරුවේ ලන්ඩන් වල.

      Delete
    5. හදිස්සියක් නෑනේ.. එයා ආයෙත් වැඩ පටන් ගත්ත කාලෙක කියල බලන්න.. නිකන් සතියකින් වගේ වෙන දෙයක් ගැන අහල බලන්න. අනතුරක්ම වෙන්න ඕනේ නෑ.. ඔය ප්‍රසිද්ධ කාගේ හරි ඕපාදුපයක් වුනත් අවුලක් නෑ නේ.. හෙහ් හෙහ්..

      Delete
  11. මේ සීරීස් එක සෑහෙන්න දිගයිනේ? ඊලඟ ආත්මෙත් කියවන්න පුලුවන් වෙයි වගේ

    ReplyDelete
    Replies
    1. මෙය ලියන්නේ ප්‍රා ගේ ඊළඟ ආත්මය ප්‍රා ගෙන් මුදවා ගැනීම සඳහාය.

      Delete
    2. සියල්ලට පෙර ඔබ ගැන පැහැදීමක් කරන්න,ස්තූතියි මාද බලාපොරොත්තුව සිටිනවා එෆ්බි එක හරහාද යාලුවන් අතරට බුද්ධිමය සංවාද සමාජගත කරන්න . ඔබ කොන්දේසි පනවා තිබෙනවා /අශීලාචාර ලෙස හෝ පහරදීම් වලින් වලකින ලෙස /නමුත් මට නම් ඔබගෙනුත් කොමෙන්ටුවක් ලැබුනා මීට සති 2කකට කලින් ''තොප්පිය හරිනම් දාගන්න ''කියා මේ ගැන පැහැදිලි කරන්නේ නම් ගුප්ත භාවයෙන් මිදි මනුස්සකමට ගරු කරමි..

      Delete
    3. අංක එක - තොප්පිය හරිනම් දාගන්න කියන එක අශිලාචාර පහරදීමක් නොවේ. මම පොදුවේ ලියා තිබූ දෙයක් ඔබ සිංහල ජාතියට අටවා තිබුණා. තොප්පිය හරිනම් දාගන්න කීවේ ඒකයි. කොමෙන්ට් එක නවතැහැ ගිහින් බලන්න.

      Delete
    4. ඔබ සහ කණ්ඩායම ලිඛිත සංවාද පවත්වනවා සමාජයට හරයක් ඇති යමකින් දෙයක් ප්‍රායෝගී ව ලබාදෙන්න,භෞතික විද්‍යාව/දේශපලනය/දර්ශන වාදය/යනාදියෙන්,හොඳ වැඩක් මුත් නොදන්න අප යමක් ලිව්වොත් ඒවා පහත් කොට සලකා අත්හරින එක සුභ නැත.
      ''තොප්පිය හරි නම් දාගන්න''ඔබ හිතනවා එසේ ලිවීම කමක් නැතේ කියා,කෙනෙක් සංවාදයට එකතුවෙන්නේ දැනුවත්ව හෝ නොදැනුවත්වයි එයින් අප වැනි අය උත්සහ කරන්නේ යමක් සමාජය වෙනුවෙන් ඔබලාගෙ දැනුමිනුත් එකතු කොට ප්‍රචලිත කිරීම යි තර්කයක් නැත.අද මනසවල් දියුනුවත් සමග එවැනි ආකාරයට ලිවීම ('' '')සුදුසු නැති බවයි මගේ මතය.ස්තූතියි

      Delete
  12. ධනවාදයෙන් පසු එළෙඹෙන සමාජය කුමක්ද?//
    මාගේ අදහස නම් ධනවාදය ලොවටම වාසිදායක ලෙස සාමාන්‍ය ජනයා අතර ඔවුන්ගේ ධනය ට වැඩි බදු අය කරන එක සාධාරණය බවයි.ධනවාදීන් නැති කල ලෝක ආර්ථිකයෙ වේගය පවත්වාගෙන යෑමට අපහසු වේ.උදා; රටක සාමාන්‍ය ජනයා අතර සුලු ව්‍යාපාරිකයිනට එක් අයෙකුට රජය පනවන බදු 30%ක් නම්,ධනවාදී ව්‍යාපාරිකයිනට එක් අයෙකුට 50%ක් වත් බදු පැනවීම සාධාරණයි.
    *දුප්පත් ජනයාව ධනවාදය නිසා අනාගතයට තල්ලුකර,ධනවාදීන් වර්තමානයේ ත් බුක්තිවිඳිමින් අනාගතයට රැස් කර ගන්නා ධනය හේතුවෙන් අනාගතයට තල්ලු වූ දුප්පත් ජනයා ගේ ඉරනම අතීතයෙ ගත කල ජීවන රටාවම අතීතයෙ ජීවත්වූ රටාවට වඩා අන්ත අසරණ තත්වයට පත් වෙති.මෙසේ මනාව පැහැදිලි වන්නේ දුප්පතාට අනාගතයක් නොමැතිව වලටම තල්ලුකර දැමීම වේ.තවත් කිව හොත් දුප්පතාට වර්තමානයත් හිස් අතින්ම මැලවී යනවා නම් සැබෑ කරුණකි.

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .