Monday 20 February 2017

සෝවියට් සාහිත්‍යය සහ ලංකාවේ වම 1 - පැරැණි වමේ මූලාරම්භය

අන්නා කරේනිනා චිත්‍රපටියේ කීරා නයිට්ලි 
දැනට වසර හතරකට පමණ පෙර මගේ බ්ලොගයේ මා මිතුරු සරෝජ් පතිරණ ලියු "ද්‍රෝහියාගේ දියණිය"  ග්‍රන්ථය ට හඳුන්වාදීමක් ලියුවෙමි. මේ හඳුන්වා දීමම මදක් වෙනස් කරමින්, පසු ගිය වසරේ   මගේ හා ඔහුගේ පොත්  ලන්ඩනයට හඳුන්වාදීමේදී රුසියානු සාහිත්‍යය  පූර්ව  විප්ලවීය හා පශ්චාත් විප්ලවීය යනුවෙන් කොටස් දෙකකට බෙදිය හැකි බවත් විප්ලවයෙන්  පසු රුසියානු සාහිත්‍යය  බොහෝ විට සෝවියට් සාහිත්‍යය සමග බද්ධවූ බවත් පැවසුවෙමි.

එසේම සෝවියට් සාහිත්‍යය සමාජවාදී යථාර්ථවාදය අනුයමින් කරන ලද නිර්මාණ හා එසේ අනුගමනය නොකරන නිර්මාණ ලෙස බෙදිය හැකි බවත් පසු කාලීනව සෝවියට් විරෝධී සාහිත්‍යයක් ගොඩ නැගුනු බවත් පැවසුවෙමි.

පූර්ව විප්ලවීය රුසියානු සාහිත්‍යය සහ කලාව ගැන කතා කරනවිට පොතක් ලියන්නට හැකි තරම් කරුණු සොයා ගත හැක. රුසියානු සම්භාවනීය සාහිත්‍යය ඒකාලෝක කල මහා ගත්  කතුවරුන් බොහොමයක් වූහ . මේ  කෘතීන් බොහොමයක් විශ්ව සාහිත්‍යයේ ඉහළම ස්ථානයේ වැජඹේ. එංගලන්තයේ කේම්බ්‍රිජ් , ඔක්ස්ෆර්ඩ් යන විශ්ව විද්‍යාල පමණක් නොව බර්ලින් විශ්ව විද්‍යාලය, ලෝක ප්‍රසිද්ධ  ලිප්සිග් ආදී ජර්මන් විශ්ව විද්‍යාල වලද ප්‍රංශයේ සොරෝබෝන් සරසවියෙහි ද රුසියානු හා උක්රයින සාහිත්‍යය උගන්වන පාඨමාලා තිබේ.

පූර්ව  විප්ලවීය රුසියානු සාහිත්‍යයේ  බැබලෙන ප්‍රබලම ගත්  කතුවරයා  ලෙස සැලකෙන ලියෝ ටෝල්ස්ටෝයි "රුසියානු විප්ලවයේ හදවත" ලෙස හැඳින්වූයේ ඔක්තෝබර් විප්ලවයේ නිර්මාතෘ වූ ව්ලැඩිමීර් ඉලිච් ලෙනින් ය. ටෝල්ස්ටෝයි  රුසියානු සාර්වාදී සමාජය මැනැවින් විග්‍රහ කරමින් ලිවිම ලෙනින් ගේ මේ කියමනට පාදක විය.  එසේ නැතිව සිටුවරයෙකු වූ ටෝල්ස්ටෝයි වාමාංශික අරගල ගැන ලිව්වේ නැත. ලෙනින් ගේ විචක්ෂණ ශීලි මොළයට තමන්ගේ පැත්තේ යයි නොසිතිය හැකි ලියවිල්ලක්, පොතක් පමණක් නොව නාට්‍යයක් පවා තම පැත්තට  හරවාගෙන විචාරයන් ලිවිය හැකි අමුතුම දක්ෂතාවයක් තිබුණි.

රුසියානු සාහිත්‍යය ගැන කතා කරනවිට චිත්‍රපට වලට පවා නැගුණු ටෝල්ස්ටෝයි ගේ අන්නා කරෙනිනා  හා යුද්ධය හා සාමය පොත් හැඳින්විය හැකිය. මේ මෑතකදී  බීබීසී ආයතනය "යුද්ධය හා සාමය" නැවත රුපවාහිනී චිත්‍රපටයක් ලෙස කොටස් වශයෙන් පෙන්වන ලද අතර එය ඉතා ජනප්‍රිය විය. මේවායේ පිළිඹිබු වන්නේ එවකට රුසියන් සමාජයේ අතිශයින්  පොහොසත් සාර් රජ පවුල ,  නොයෙකුත් ඉඩම් හා මාළිගා හිමි රදළයන් සහ  හමුදා සෙන්පතියන් ගේ ජිවිතයන්‍ ය.  එසේම  ඔවුන් බාහිර සමාජයෙන් වෙන්ව ගෙවූ එම සුඛෝපභෝගී ආකාරයේ ජිවිත හා ඔවුන් විසින් නොසලකා හරින ලද බාහිර සමාජයේ පරතරයද මේ පොත් වල මැනවින් පිළිඹිබු විය..

ෆියෝදෝර් දොස්තයෙව්ස්කි ගේ "අපරාධය සහ දඬුවම", "කරමාසොව් සහෝදරයෝ" මෙන්ම නිකොලායි ගොගොල් (උක්රයින ජාතික) ගේ "මළ මිනිස්සු" ද එලෙසින්ම විශිෂ්ට කෘතීන් ලෙස සැළකේ. ශ්‍රී ලංකාවට ද පැමිණි ඇන්ටෝව් චෙකොව්   ප්‍රසිද්ධ නාට්‍ය රචකයෙක් විය. ඔහුගේ "සොයුරියන් තිදෙනා", "චෙරි ගහ යට සහ "බල්ලා  කැටුව යන කාන්තාව" ප්‍රසිද්ධ නාට්‍යයන්ය. මහා කවියෙකු මෙන්ම ඔපෙරා තනන්නෙකු ලෙස චිර ප්‍රසිද්ධ ඇලෙක්සැන්ඩර් පුෂ්කින් ගේ "කපිතන්ගේ දියණිය " නව කතාව මෙන්ම ඔපෙරාව  ද චිත්‍රපටයකට නැගුනු  "යෙව්ගෙනි අනිගින් " ද ලොවම  දනී.

නිර්භයව අඩු වයසේ තරුණියක හා මැදිවියේ මිනිසෙකු අතර පෙම් සබඳකමේ කතාව  "ලොලිතා" ලීයූවේ රුසියානු ජාතික   නබෝකොව්ය. එසේම ඉවාන් තුර්ගේනිව් (පියවරු සහ පුත්තු) , මිහයිල් ලෙර්මන්තොව් (අපේ කාලයේ වීරයෙක්) ද ඉතා ප්‍රසිද්ධ ගත් කතු වරුන්ය.

මේ රුසියානු සාහිත්‍යය ගැන ඉතා කෙටියෙන්ය.

සෝවියට් සාහිත්‍යයට යාමට පෙර ලංකාවේ වමේ මුලාශ්‍රය සොයමු.

ආචාර්ය එන් එම් පෙරේරා 

ශ්‍රී ලංකාවේ ප්‍රථම වමේ පක්ෂය ගොඩ නැගු අයගෙන් කෙනෙක් වන  නානායක්කාර පතිරගේ මාටින් පෙරේරා උගත්තේ ගල්කිස්සේ ශාන්ත තෝමස් විදුහලේ සහ කොළඹ ආනන්ද විද්‍යාලයේය.  කොළඹ විශ්ව විද්‍යාලයෙන් මුලික උපාධිය ලබා ප්‍රසිද්ධ ආර්ථික අධ්‍යනය සඳහා වන ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් (London  School of Economics ) ආචාර්ය උපාධිය ලබා ගත්තේ ජර්මන් වයිමාර් රජයේ ව්‍යවස්ථාව හදාරා ඒ ගැන ලිවීමෙනි. ඔහු DSc හෙවත් (Doctor of Science) විද්‍යාචාර්ය උපාධිය ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් (ULC ) ලබා ගත් ප්‍රථම ශ්‍රී ලාංකිකයා  විය.
බොරළුගොඩ සිංහයා හෙවත් පිලිප් ගුණවර්ධන 

ඔහුත් සමග ලංකා සමසමාජ පක්ෂය පිහිටුවීමට පුරෝගාමී වූ අනෙක් තැනැත්තා ලංකාවට  ට්‍රොට්ස්කිවාදය හඳුන්වා දුන් බොරලුගොඩ සිංහයා යයි විරුදාවලි ලත් පිලිප් ගුණවර්ධනය. මේ අතරට එක්වූ තුන් වැන්නා පානදුර  ශාන්ත ජෝන් විදුහලේ හා කොළඹ  රාජකීය විද්‍යාලයේ උගත් කොල්වින් ආර් ද සිල්වා මහතාය. ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් මුලික උපාධිය ලබා කිංග්ස් කොලේජ් වෙතින් ආචාර්ය උපාධිය ලත් ඔහුගේ තීසිසය වූයේ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී පාලනයයි.
ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා  

එන් එම් (ඇන් ඇම් ලෙසින් ජනතාව හැඳින්වූ)  සහ කොල්වින් දෙදෙනාම "ඉන්දියා, සිලෝන් සහ බුරුම බොල්ෂෙවික්  ලෙනින්වාදී පක්ෂයේ " සාමාජිකයන් වූ (ඉන්දියාවේදී) අතර ලංකාවට  පැමිණි කොල්වින් බොල්ෂෙවික් සමසමාජ පක්ෂය පිහිටුවන ලදී.  එංගලන්තයේ ඉගෙන ගත්   ඇන් ඇම් සහ කොල්වින් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ පාලනයට විරුද්ධව සුරියමල් ව්‍යාපාරය (පොපි මලට එරෙහිව) ක්‍රියාත්මක කරන ලදී. ශ්‍රී ලංකාවේ ජනතාව  එම ව්‍යාපාරය ට  ඉමහත් සහයක් දුනි.
එන් එම් සහ ජේ ආර් 

ප්‍රථම වමේ පක්ෂය වූ ලංකා සමසමාජ පක්ෂය පිහිටවන්නට ක්‍රියා කල ඉතිරි දෙදෙනා නම් ලෙස්ලිගුණවර්ධන (ශාන්ත තෝමස් විද්‍යාලය හා  London  School of Economics ) හා රොබට් ගුණවර්ධනය. 

මේ අතර සිදුවූ වැදගත්ම සිද්ධියක් වූයේ  ලෙනින් සමග විප්ලවයේදී උරෙනුර ගැටී ක්‍රියාකළ ප්‍රථම රතු හමුදාවේ අණ දෙන්දනා  වූ ලියොන්  ට්‍රොට්ස්කි නමැති රුසියානු -යුදෙව් විප්ලවවාදියා  වසර 1940 දී සෝවියට් පාලක ජෝර්ජියානු ජාතික ස්ටාලින් ගේ අණින්  මරා දමනු ලැබිය.  ඇන් ඇම් සහ කොල්වින් මෙය නොදැන සිටින්නට විධිහක් නැත.

බ්‍රිතාන්‍යයේ ඉගෙනුම ලද ඔවුන්ට බ්‍රිතාන්‍ය  සමාජවාදීන් ගේ ක්‍රියා කලාපය හොඳින් හදාරන්නට ඉඩ ලැබුණි. ඔවුන් සෝවියට් දේශයේ ස්ටලින්වාදයට  නොව බ්‍රිතානයේ වඩා ජනප්‍රියව තිබු ට්‍රොට්ස්කිවාදයට වඩා හිතවත් වුනි.

මේ කිසිවෙක් රුසියන් සාහිත්‍යය කෙසේ වෙතත් සෝවියට් සාහිත්‍යය  තදින් පරිශීලනය  කලා යයි කියන්නට සාධක නොමැත. 

මෙනිසා පැරණි වමේ නායකයන් ට සෝවියට් සාහිත්‍යය පරිවර්තන වලින් බලපෑමක් සිදු නොවුණු බවට ඉතා සාධාරණ ලෙස තර්ක කළ හැකිය.

මේ අතීත කතාවේ තවත්   වැදගත් තැන්  දෙකක් තිබේ. එනම් 1935 ලංකා සමසමාජය පිහිටවූ පසු ඔවුන් ලෙනින් පිහිටවූ තෙවැනි ජාත්‍යන්තරය සමග එක්ව කටයුතු කළහ.  ස්ටාලින් ගේ සමය වන විට නොයෙකුත් රටවල  සමාජවාදී පක්ෂ වලින් සැදුම් ලත් මෙම ජාත්‍යන්තර සභාව  අක්‍රීයව පැවතුනි. ට්‍රොට්ස්කි සෝවියට් දේශයෙන් පිටුවහල් කළපසු පිහිටවූ හතරවැනි  ජාත්‍යන්තරයට එක්  වීම ගැන  තීරණය කිරීමට කළ  චන්ද විමසීමේදී වෛද්‍ය එස් ඒ වික්‍රමසිංහ සහ එම් ජි මෙන්ඩිස් එයට විරුද්ධව චන්දය පාවිච්චි  කළහ.

සෝවියට් දේශයට පක්ෂවූ (ස්ටාලින්වාදයට පක්ෂ )  එක්සත් සමාජවාදී පක්ෂය බිහි වූයේ මින් පසුවය. එය පසුව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සේ නම් කෙරුණි.
වෛද්‍ය එස් ඒ වික්‍රමසිංහ 

ගාල්ලේ මහින්දයේ ආදී සිසුවකු වූ සුගීෂ්වර වික්‍රමසිංහ කොළඹ  ආනන්දයේ ත් ඉන්පසු ලංකා මෙඩිකල් කොලේජ් හිත් උගෙනුම ලැබුවේය. එංගලන්තයේ ආචාර්ය උපාධිය සඳහා  උගනිද්දී කොල්වින්, ඇන් ඇම් සහ ලෙස්ලි ගුණවර්ධන සමග එක්ව ලන්ඩනයේ අධිරාජ්‍ය විරෝධී ව්‍යාපාර වලට එක්  විය.

දෙවන ලෝක යුද්ධය පටන් ගත් පසු සමසමාජය බ්‍රිතාන්‍ය විරෝධී ප්‍රතිපත්තියක් ගනිද්දී එස් ඒ වික්‍රමසිංහ ඇතුළු පිරිස ගත්තේ සෝවියට් දේශයේ පැත්තයි. සෝවියට් වරු බ්‍රිතාන්‍යය හා ඇමරිකාව සමග යුද්ධයේ දී එක්වීම නිසා බ්‍රිතාන්‍ය පාලනයට විරුද්ධව කරන ක්‍රියා වලට එම අවුරුදු පහ තුල එක්සත් සමාජවාදීන් ගේ  සහයක් තිබුනේ නැත. 

මේ කාලය වනවිට කිසිම සෝවියට් සාහිත්‍යය ක් ලංකාවේ තිබුණා යයි  කිව නොහැකිය.    ශ්‍රී ලංකාවේ වමේ ව්‍යාපාරයේ අඩිතාලම දැමුවේ ලන්ඩනයේ සිට අධ්‍යයනය  හමාර කර ගිය ලන්ඩනයේ රැඩිකල් වාම ව්‍යාපාරය සමග සිටි තරුණ පිරිසක් විසිනි.

මතු සම්බන්ධයි. 

- ද්‍රෝහියාගේ දියණිය: https://kolambagamaya.blogspot.co.uk/2013/08/blog-post_22.html
- යුද්ධය හා සාමය -https://www.theguardian.com/tv-and-radio/2016/jan/26/russia-verdict-on-bbc-war-and-peace-reviews

23 comments:

  1. කියෙව්වා. හොඳයි. ඉතුරු කොටසත් බලලම ඉමුකො.

    අවධානයට යොමුවිය යුතු, ඒත් මග ඇරිච්ච ලිපියක් ද්‍රෝහියාගේ දියණිය මතු කරන ප්‍රශ්න - විචාරයක්. ස්තුතියි ලින්ක් එකට .

    ReplyDelete
    Replies
    1. ඒ ලිපිය නැවතත් මෙතැන් පල කරන්න හිතෙනවා. ඒකත් අදාළයි.

      Delete
  2. පැරණි වම කවදාවත් සමාජවාදී රටවල ජීවත් වී තිබුනේ නෑ ඔවුන් ලන්ඩනයේ වික්්ටා්‍රියා එක ලඟ හිඟන්නන් දැක්කට මොස්කව් ගිය විට රතු චතුරශ්‍රය අසලදී හිඟන්නෝ දැක්කේ නෑ. ඔවුන් ශීත නිසා කෝට් අඳින හැන්දෙන් ගෑරැප්පුවෙන් කන සෝවියට් කම්කරුවෝ සහ කොතලාවලගේ මිනිරන් පතලේ නාවර පෙරාගෙන අමුඩ ගහගෙන ඉන්න කම්කරුවෝ සංසංදනය කලා. එහෙම සීමිත දැක්මක් හරහා තමයි එන් එම්ලා කොල්වින්ලා සමාජවාදී රාජ්‍යක් ගැන කතා කලේ.

    ReplyDelete
    Replies
    1. රුසියානු විප්ලවයෙන් පස්සෙ ඔවුන්ගේ ප්‍රචාරණ යාන්ත්‍රණය ඔවුන්ගේ ආර්ථික යාන්ත්‍රණයට වඩා ඉතා ඉහලින් තිබුනා. ගෙදර කොයිතරම් මරගාතයක් වුනත් ලෝකෙට පරකාසේ ඉතා ඉහලින් ගෙන ගියා. බටහිර අධිරාජ්‍යවලින් නිදහස ලැබූ හෝ ලැබෙමින් පැවතුන බටහිර විරෝධය ෆැෂන් එකක් කරගෙන තිබුන අපේ වගේ රටවලට සෝවියට් සුරංගනා ලෝකය ලොකුවට පෙන්නුව ඔවුන්ගේ අනුගාමිකයෝ.

      Delete
    2. පැරනි වම ගැන බොහොම මතුපිටින් බලල කියපු කථාවක් කියලයි මට හිතෙන්නෙ. ඔවුන් ලංකාවෙ කම්කරැ පංතියට ඒ වකවානුවේ අධිරාජ‍යවාදීන් සමඟ සටන් කොට ලබා දුන් වරප‍රසාද අලුත් වම අමතක කරළ තියෙන්නෙ. සූරියමල් ව‍යාපාරය, 53 හර්තාලය සෝවියට් කම්කරැවො සමඟ සංසන්ඳනය කරළ කරපු දේවල් නෙමෙයි. දො.වික‍රමසිංහ ගෙ නිල්වළා ව‍යාපෘතිය ගත්තත් ඔහු ගේ ලාංකීය සමාජය ගැන තිඛූ දැනීම මොනවට ඔප්පු වෙනව. පසු කාලයේදී ඔවුන් ගත් තීන්දු තීරන කොහොම උනත් මුල් කාලයේ පැරනි වමට දිය යුතු ගෞරවය දිය යුතුයි. අලුත් වමට පොඩ්ඩක් වැරදුනු තැනක් මඟේ හැඟීමට අනුව. මම වැරදි විය හැකියි.

      Delete
    3. සුදත් හරියට හරි. රුවන්ගේ කතාව ඉතාමත්ම සාවද්‍ය නිකම් මතු පිටින් බලලා කරන ප්‍රකාශයක්.
      /ඔවුන් ලන්ඩනයේ වික්්ටා්‍රියා එක ලඟ හිඟන්නන් දැක්කට මොස්කව් ගිය විට රතු චතුරශ්‍රය අසලදී හිඟන්නෝ දැක්කේ නෑ// ඇන් ඇම් සහ කොල්වින් මෙන්ම පිලිප් ගුණවර්ධනලා මොස්කව් ගියේ නැහැ. ලංකාවේ වම හැදුනේ 1935. කරුණාකර කාල වකවානු හොයන්න. ඔබල කියන තත්වය ඇතිවුනේ 1970 පස්සේ කේ පි සිල්වල ඩිව් ගුණසේකර කාලයේ. මම එතනට එනවා. //ඔවුන් ශීත නිසා කෝට් අඳින හැන්දෙන් ගෑරැප්පුවෙන් කන සෝවියට් කම්කරුවෝ සහ කොතලාවලගේ මිනිරන් පතලේ නාවර පෙරාගෙන අමුඩ ගහගෙන ඉන්න කම්කරුවෝ සංසංදනය කලා.// සෝවියට් කම්කරුවෝ අපි ගිය කාලෙත් හොඳින් හිටියේ රුවන්. ගෑරුප්පු කෙසේ වතත් උන්ට ගෙයක්, ලාඩා කාරයක් , තිබුන. නමුත් එංගලන්තයේ කම්කරුවන්ට ඊට වැඩිය තිබුන. එතනයි ප්‍රශ්නය.

      Delete
    4. ප්‍රදීප් කියූ දෙය මෙන්ම මාතලන් කියූ දෙයද පරණ වමට අදාළ නැහැ. එය අදාල අලුත් වමට. මම එතනට් එනවා. අර ද්‍රෝහියාගේ දියණිය ලිපිය කියවන්න.

      Delete
    5. බොහෝ කලකට පෙර මා කියවූ පොත් කීපයක් පිළිබඳව සිහියට නැගුනේ "ද්‍රෝහියාගේ දියණිය " පොත අතට ගත් පසුවයි. ඇලෙක්සැන්ඩර් සොල්ෂේනිට්සින් ගේ "පිළිකා වාට්ටුව - cancer ward " හා "The Gulag Archipelago " යන විශිෂ්ට නවකතා දෙක සලකා බලන විට ඒ පොත් වල කියවෙන්නේ ස්ටාලින් ගේ සමයේදී සෝවියට් දේශයේ බුද්ධිමතුන්, පක්ෂ සාමාජිකයන් බුරුතු පිටින් අත් අඩංගුවට ගෙන සයිබීරියාවේ ගුලාග් නමැති වහල් කඳවුරු වල තබා ගැනීමත් , මරා දැමීමත් පිළිබඳව අපකීර්තිමත් සිද්ධීන් දාමයයි. තවත් පොත් දෙකක් නම් ඔරුවල බන්දු නම් ප්‍රවීන ලේඛකයාණන් ගේ "සෝවියට් සිර මැදිරියේ සිට " හා "බිරියෝසා ගස්" නම් කෘතිනුයි. අනිත් පොත නම් සෝවියට් දේශයේ ස්ටාලින් පාලන සමය අළලා ඇමෙරිකා එක්සත් ජනපදයට පලා ගිය ස්ටාලින්ගේ බාල දියණිය ස්වේත්ලානා අලියේවා ගේ "යහලුවෙකුට ලිපි විස්සක්” යන්නයි. ඔරුවල බන්දු සිංහලෙන් ලියු පොත් ඇරෙන්න අනිත් පොත් සිංහලට පෙරලා ඇත්ද යන්න මා නොදනිමි . නමුත් සෝවියට් ජන ජිවිතයේ හොඳ තැන්, සෝවියට් දේශය වර්ණනා කරන පොත් සහ එහි විප්ලවිය සමය ගැන සහ දෙවන ලෝක යුද්ධය පිලිබඳ කතා බොහොමයක් දැදිගම වී රුද්‍රිගු පියසේන, පියසේන මහනිල්ගම වැනි ලේඛකයන් හරහා පරිවර්තනය වී තිබෙනවා. ඒවා අපිත් මහත් රුචියකින් කියවූ පොත්. ප්‍රගති ප්‍රකාශකයන් ගේ පොත් සහ අනිකුත් සමාජවාදය ගැන ලියු පොත් හැත්තෑව අසූව දශකයේ ඉමහත් ලෙස ජනප්‍රියව තිබුණා මට මතකයි.

      මෙයින් සරෝජ් පතිරණ පරිවර්තනය කල "ද්‍රෝහියාගේ දියණිය " මා මුලින්ම සඳහන් කළ ගණයේ පොතක්. සෝවියට් ජන ජිවිතයේ සෝවියට් සමාජයේ අප නුදුටු පැත්ත හෙවත් අපි කතා නොකළ, නමුත් දැන සිටි නියම යථාර්තය හෙළි කරණ පොතක්. මේ නිසා මේ පොත වැදගත් පරිවර්තනයක්. ඒ වගේම සෝවියට් දේශයේ වැඩිදුර අධ්‍යාපනය හදාල අයෙකු හැටියට මටත් සෝවියට් දේශය පිලිබඳ අපේ අත්දැකීම ගැන කතා කරන්න දැඩි අවශ්‍යතාවයක් හා ආශාවක් තිබෙනවා. සරෝජ්ටත් එම කැමැත්ත එසේම තිබෙන බව මම දන්නවා.

      මෙම අනුවර්තනය තුලින් ඔහු සෑහෙන දුරකට එම සාක්ෂාත් කරගෙන තිබීම ගැන මට ඇත්තේ දැඩි සතුටක්. ඇයි අපට ඒ අවශ්‍යතාවය දැනෙන්නේ? මට හිතෙන විධිහට සෝවියට් දේශයේ සමාජවාදී ක්‍රමය බිඳ වැටුන පසු සමාජවාදී සමාජය හා එහි වැරදි ගැන හෝ ඒ එය බිඳ වැටීමේ හේතු ගැනවත් හරියට කවුරුත් පුළුල්ව සාකච්චා කර නැහැ. සෝවියට් දේශය බිඳ වැටී දැනට අවුරුදු 24ක් ගත වෙලා. සමාජවාදී පක්ෂ බිහිවෙලා නැතිවෙලා . කොමියුනිස්ට් පක්ෂ බිහිවෙලා තවම ජනතා සහය නැතුව හෝ ඇතුව ඇදන් යනවා. යුරෝපයේ ට්‍රොට්ස්කීවාදී පක්ෂ සාමාජිකයෝ හතර පස් දෙනෙක් තියාගෙන මදුරුවෝ තලමින් ඉන්නවා. මේ නිසා මෙවැනි පොතකින්වත් එහෙම සංවාදයක් ඇති කරන්න පුළුවන් නම් හොඳයි.

      මාධ්‍යවේදියෙකු වන සරෝජ් පතිරණ හුඟක් සංවේදී පුද්ගලයෙක්. ඒ වගේම හමුවුණු ඕනෑම කෙනෙකුට කතා කරන, මට හමුවුණු හොඳ මනුෂ්‍යත්වය අගයන සහෝදරයෙක්. ඉතින් ඊන්නා ප්‍රෝහොරෝවා ගේ අනුවේදනීය කථාව චෙක් රටේ නිවාඩු නිකේතනයේදී ඇයගෙන්ම අසා දැන, තම සහෘදයන් සඳහා මේ පොත පරිවර්තනය කිරීම අපි අගය කල යුතු යයි සිතනවා.

      ඊන්නා ප්‍රෝහොරෝවා ගේ පියතුමා සෝවියට් දේශයේ පශු වෛද්‍ය වරයෙක් වගේම ප්‍රසිද්ධ විද්‍යාඥයෙක්. එවැනි බොහෝ අයට ස්ටාලින් ගේ පාලන සමයේදී වුනාක් මෙන් ඔහුවත් ද්‍රෝහී හංවඩුව ගහල සයිබීරියාවට පිටු වහල් කරනවා. එතැන් පටන් ඊන්නා ප්‍රෝහොරෝවා ඇගේ මව හා සොයුරිය සමග දැඩි දුකක් විඳිනවා. පොතේ ඒ ගැන මනාව විස්තර කරන නිසා මා ඒ ගැන කියන්න යන්නේ නැහැ. මේ විද්වතුන්ට , සෝවියට් දේශය ගොඩ නගන්න ඇප කැපවූ අයට ද්‍රෝහී ලේබලය ගහන්න පටන් ගත්තේ ට්‍රොට්ස්කි එලවපු කාලයේ සිට. ලෙනින් සමග සිටි රුසියානු විප්ලවය කල කාමෙනෙව් , සිනොවියෙව් වැනි විප්ලවයේ නායකයන් මරා දැමු පසු එය වඩාත් දැඩි ලෙස සිදුවුණා. ඔවුන් මරණ විට හඬ නොනැගු සෝවියට් බුද්ධිමතුනට පසුවදී තමන් කරාත් nkvd (සෝවියට් රහස් පොලිසිය) එනවිට, ඔවුන්ටත් මරණයේ හෙවණැල්ල වැටෙන විට ඔවුන් වෙනුවෙන් කතා කරන්න කවුරුත් හිටියේ නැහැ. (අර මාර්ටින් නීමොලර් කිවා වගේ) .

      ප්‍රෝහොරෝවා මහාමාරියට බෙහෙතක් හොයාගන්න දායක වුන දක්ෂ විද්‍යාඥවරියක්. නමුත් ඇය අහනවා ඇයි මට මෙහෙම වුනේ? මට මගේ රටේ ආණ්ඩුව මෙහෙම සැලකුවේ ඇයි ? මගේ තාත්ත නිදහස් වුනාට පසුව වුනත් මගේ කරදර ඉවර නොවුනේ ඇයි ? මා ඇමෙරිකා එක්සත් ජනපදයේ හෝ යුරෝපයේ හිටියානම් මිට වඩා පොහොසත්, මහලු වියේදී හොඳ විශ්‍රාම වැටුපක් සහිතව හොඳින් ජිවත් වෙනවා නොවේද ? කොටින්ම කියනවනම් ඇය අහන්නේ "ධනවාදී සමාජය තිබ්බනම් මට මේ විධිහට අසාධාරණයක් සිඳු වෙයිද" කියයි. ඇත්තටම ප්‍රෝහොරෝවා එහෙම අහනවද ? එහෙම නැත්නම් අප දැන් ජිවත් වන ධනවාදී සමාජයේ මිට වැඩි ශෝක ජනක කතා , දුප්පත් වුන නිසාම මිනිස්සු දුක් වින්ද හැටි, නුවණැති විද්‍යාධරයන් ආණ්ඩු විරෝධී වීම නිසාම නොයෙකුත් ආණ්ඩු ඔවුන්ගෙන් පලි ගත්ත හැටි අපි අසා නැත්ද ?

      Delete
    6. කාලයකට ප්‍රථම ත්‍රිමාණ (www .thrimana .com ) නම් වෙබ් අබවියේ "නංගියාගේ සංකල්පය " කියල ලිපියක් තිබ්බා . ඒකෙ සරලව කතා කලේ ලංකාවේ තරුණියන් අද ධනවාදී සමාජයේ වෙනස්කම් වලට භාජනය වෙලා ඒ සම්බන්ධතා පාවිච්චි කරලා සුක්ෂම විධිහට සමාජ තලයේ ඉදිරියට යන්නේ කොහොමද කියලා . ඉතා ආත්මාර්ථකාමී ලෙස තම අභිප්‍රායන් මේ තරුණියන් ඉටු කර ගන්න අන්දම. මම මේ ලිපියට අන්වර්ථ නාමයකින් කොමෙන්ටුවක් ඉදිරිපත් කල පසුව වෙබ් අඩවියේ ලිපියට අදාලව එයත් පළවී තිබුණා. එම ලිපියේ කොටසක් මෙතන පල කිරීමට මට හිතුනේ ප්‍රෝහොරෝවා ගේ නංගිට තම සොහොයුරියට සැලකූ අන්දම අපට විශ්මය දනවන්නක් නොවන නිසා.

      සෝවියෙට් දේශයේ සිටි කාලයේ සෝවියෙට් තරුණියන් ගැන මෙවැනිම නංගියා සංකල්පය වැනිම මතයක් අප සාකච්චා කලා. (රුසියාවේදී). මේ පිළිබඳව වටහා ගැනීමට "ඉන්ටර් දෙවුෂ්කා " හෙවත් "Inter girl" නම් චිත්‍රපටිය http://www.imdb.com/title/tt0097584/ නරඹන්න.

      සෝවිය ට් ආණ්ඩුව විසින් නිදහස සිමා කිරීම, කොමියුනිස්ට් පක්ෂයේ අයට පමණක් තිබු සුඛෝපභෝගී පහසුකම් තමන්ට නැති වීම, බටහිර සුඛෝපභෝගී භාණ්ඩ හිඟ කම ආදී දේ නිසා බොහෝ සෝවියෙට් තරුණියන් පිටරට මිනිසුන් ඇසුරු කිරීමට පටන් ගත්තා. බොහොමයක් අය විදේශ ශිෂ්‍යයන් සමගත් සමහරු විදේශ වලින් පැමිණෙන වෙළෙඳ සේවකයන් සමගත් ලිංගික සම්බන්ධතා ඇති කර ගැනීමට හෝ අඹු සැමියන් වශයෙන් එකට ජිවත් වීමටත් පෙළඹුනා. මේ බොහෝ සෝවියට් නංගිලා තමන් සමග සම්බන්ධ වී සිටි පිරිමින් සමග ආදරයෙන් වෙලුනේ නැහැ. එසේ වුනානම් එසේ කලේ කීප දෙනෙක් පමණි. බොහෝ අයට අවශ්‍ය වුයේ මේ සම්බන්ධතා තුලින් අවශ්‍ය හොඳ සපත්තු , ලේවයිස් ඩෙනිම්, සංගීතය අසන්නට කැසට් ප්ලේයර්ස් ආදී බටහිර භාණ්ඩ ලබා ගැනීමත් (Denim Jeans, Walkmans etc) එසේ නැති නම් සෝවියට් ග්‍රහණයෙන් මිදී බටහිර හෝ අඩු තරමේ ශ්‍රී ලංකාව වැනි බටහිර ට ගැති රටකට හෝ පැන ගැනිමටත්ය.
      (මා සිටින්නේත් බටහිර රටක නිසාත් අපේ රටෙනුත් යුරෝපයට , ඔස්ට්‍රලියාවට තවමත් යන නිසාත් මා මෙය විවේචනය කරනවා නොවේ. ඔවුන්ට තමන් සිටි අගාධයෙන් එලියට ඒමට තිබු අවශ්‍යතාවයට අපට සමච්චල් කල නොහැක. ) සමහර නංගිලා රස්සාවල් හොයා ගෙන සශ්‍රික වුනු අතර අනිත් අය පිම්පියන්ට අසුවී නොවිඳිනා දුක් විඳ රුසියාවට ආපහු පැන ගත්හ. සෝවියෙට් දේශය බිඳ වැටුණු පසු මේ ක්‍රියාවලිය වෙන විදිහකට මංගල දැන්වීම දමන ඒජන්සි Dating Agencies හරහා දැනටත් ක්‍රියාත්මක වේ.
      (පුටින් ගේ ආගමනයෙන් පසු රුසියාවේ ගිලිහි යමින් පවතී ගෞරවය නැවත නගා සිටවීමෙන් මේ තත්වය ධනාත්මක ලෙස වෙනස් වුන අතර ඔවුනට වෙන රටකට යාමට වඩා තම රටේ රැකියාවක් කරගෙන හොඳින් ජිවත් වීමට හැකියාව ලැබුණි.)

      Delete
    7. අසුව දශකය අග භාගයේ සිට සෝවියෙට් සමාජයේ පිරිහීම වේගවත් වීම හා අවසානයේ බිඳ වැටීම පිටුපස ඇති අඳුරු කතාන්තරය පටන් ගන්නේ ද්‍රෝහී ලේබලය අලවා මරා දැමුණු හා පිටු වහල් කෙරුණු බුද්ධිමතුන්ගේ ශෝචනීය ඉරණමින්. එය අවසන් වන්නේ ඉච්චා භංගත්වයට වැටුණු ජනකායක්, සමාජවාදී මිනිසා නිර්මාණය කිරීමක් වෙනුවට ධනවාදී සමාජය පතන මිනිසෙක් නිර්මාණය කිරීමෙන්.

      ප්‍රෝහොරෝවා ගේ නංගි සොවියෙට් නිලධාරීන්ගේ හා තම සැමියාගේ උදව්වෙන් සුඛෝපභෝගී නිවසක් හා රැකියාවේ උසස්වීම් ලබා ගන්නවා. ඇය එසේ කරන්නේ තම සහෝදරිය පවා පාවා දීලා . එය ඇයට දැනෙන්නේවත් නැහැ. එතකොට ප්‍රෝහොරෝවා ගේ පුතාගේ බිරිඳ - අමෙරිකාවේ කොපමණ මුදල් තිබුනත්, ප්‍රෝහොරෝවා ගේ පුතා හොඳ රස්සාවක් කලත් ප්‍රෝහොරෝවා ගේ මුදල් සොරකම් කරනවා බැංකුවෙන්. එතකොට 1977 අග භාගයේ "බල්ලෝ මරා හරි සල්ලි හොයන" ආර්ථිකය හඳුන්වා දුන් පසු එහි දිගුවක් වශයන් ඇදෙමින් යන ලාංකික සමාජය , සමාජ සාර ධර්ම පිරිහෙමින් අගතියට ඇද වැටුන අසූව දශකයේ සොවියෙට් සමාජයට සමාන නොවේද? එහෙම නම් ප්‍රෝහොරෝවා කියන්නාක් මෙන් දියුණු ලිබරල් ධනවාදය මීට වඩා හොඳද? "ඇයට නම් නිදහසේ මැරෙන්න තිබ්බ" - ප්‍රෝහොරෝවා කියන්නේ එහෙමයි.

      සරෝජ් පතිරණ Boston රේඩියෝව සමග සාකච්චාවේදී ද්‍රෝහීන් ලේබලය ඇලවීම ගැන ලංකාව අරගෙන කිසියම් සංසන්දනයක් කරනවා. හැබැයි මෙය ලංකාවට සමාන කරන්නම බැහැ . හේතුව ඔය ලේබලයම ආගමික අන්තවාදිනුත් අලවනවා අනිත් රටවල්වල. අරාබියේ, ඊශ්රයලයේ , ඇමෙරිකාවේ, එංගලන්තයේ පවා තමන් ඉන්න කණ්ඩායමට සාපේක්ෂව අනික් අයට ද්‍රෝහීන් කියා කියනවා. මේ පොතේ ප්‍රෝහොරෝවා කියන්නේ ඒකම නෙමේ.

      මෙහි අටවන පිටුවේ මේ පොතේ ප්‍රෝහොරෝවා ගේ පවුලේ පසුබිම ගැන ලියා ඇති හරියට තේරුම් මදි. ප්‍රෝහොරෝවා තම නිවසක් සාදා ගත්ත කියා එක තැනක කියන ගමන් පහලින් කියනවා සොවියෙට් දේශයේ පොදු දේපල ක්‍රමය නැහැ කියා . තරමක ප්‍රතිවිරුද්ධතා තියන තැන් කිහිපයක්ම තියෙනවා.

      ඒ කෙසේ වෙතත් අද තත්වය බලපුවහම - සම්ප්‍රදායික වම සෝවියට් දේශයේ සමාජවාදය බිඳ වැටීම මගහැර පැන යාම, පරණ වම (ජවිපෙ) අසාර්ථක කැරලි දෙකක් කර , පසුව ජාතික චින්තනයට කරදී, ඉන් පසු දෙකට, තුනට කැඩී තවමත් මාර්ක්ස් එංගල්ස් කර ගහගෙන පෙළපාලි වල යාම (මොන න්‍යාය යටතේද එහෙම කරන්නේ කියල මට ප්‍රශ්නයක් ), එසේ ජවිපෙ කැඩීමෙන් බිහිවූ පෙරටුගාමී සමාජවාදී පක්ෂය සමාජවාදය බිහි කිරීම ගැන කතා කෙරුවත් ඔවුන්ගේ භාවිතාව වඩා උසස් ලෙස සලකමින් පරණ සමාජවාදී ලෝකයම ආදර්ශය ලෙස ගැනීමත් , ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය හේගල් කර පින්නා ගෙන, ලිබරල් අන්දමේ සමාජවාදයක් ගැන කතා කිරීමත (මෙය වරදක් හැටියට මා දකින්නේ නැත. මිනිසුන්ට අවබෝධය ලබාදීම හොඳ දෙයකි ), කතා කරන්න දෙයක් නැති පොතේගුරු වාදී ට්‍රොට්ස්කි වාදී පක්ෂ , මාර්ක්ස් නොකී ස්වයං තිරණ අයිතිය කියන ලිට්මස් ටෙස්ට් එක නැති පක්ෂ මාක්ස්වාදී නොවේ යයි කියා එන කුමන හෝ එකමුතුවකට කකුලෙන් ඇදීම - මේ සියල්ල මෙසේ වෙන අතර තුර අපට නැවත සමාජවාදයේ බිඳ වැටීම ගැන කතා කරන්න නිමිත්තක් ගෙන එම ගැන සරෝජ්ටත් ප්‍රෝහොරෝවාටත් ස්තුතියි.

      අජිත් ධර්මකීර්ති

      Delete
    8. //එහෙම සීමිත දැක්මක් හරහා තමයි එන් එම්ලා කොල්වින්ලා සමාජවාදී රාජ්‍යක් ගැන කතා කලේ.// න් එම්ලා කොල්වින්ලා ට සිමිත් දැක්මක් තිබුන කියන එකත් විහිළු කතාවක් ක් වගේ රුවන්. එන් එම ඉතා උගත් අයෙක්. පොතේ ගුරු වාදී උගතෙක් නෙමේ.පසු කලෙක ඔවුන්ට වැරදුනු බව ඇත්ත වුනත් මුල් කාලයේ ඔවු සිලෝන් සහ ලංකාවට සෑහෙන වැඩක් කලා. ඔහු මහාචාර්ය හැරල්ඩ් ලැස්කි ගේ ශිෂ්‍යක්
      https://en.wikipedia.org/wiki/Harold_Laski

      Delete
    9. ඔවුන්ගේ අධ්‍යාපනය ගැන මම ලියුවේ නිකම් නෙමෙයි. ජේ ආර් , ලලිත්, බණ්ඩාරණායක වගේම ඔවුනුත් දීප්තිමත් ශිෂ්‍යයන්.

      Delete
  3. //ශ්‍රී ලංකාවේ වමේ ව්‍යාපාරයේ අඩිතාලම දැමුවේ ලන්ඩනයේ සිට අධ්‍යයනය හමාර කර ගිය ලන්ඩනයේ රැඩිකල් වාම ව්‍යාපාරය සමග සිටි තරුණ පිරිසක් විසිනි.//
    මගේ සිත්ගත් තැනක්. එතකොට අවුල ඇතිවුණේ එතැනින්ද..

    ReplyDelete
    Replies
    1. මගේ අදහසේ හැටියට සෑහෙන දුරට ඒක තමා මම හිතන්නේ. ඉලනාග් ලිපිය ලියාගෙන යනවා.

      Delete
  4. කාලීන නොවුනත් කථා කළ යුතු තේමාවක්. ඊළඟ කොටස කියවන්න ආසාවෙන් ඉන්නෙ. Sudath.kumarasinghe

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සුදත්. මාතලන් ලියූ එක්තරා කොමෙන්ටුවක් නිසා මට මෙය ලියන්න හිතුන.

      Delete
  5. අනේ කොළඹ ගමයෝ බොරු කියන්නේ මොකටද මට නම් මහ ලොකු චිචාර තේරෙන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. මේක විචාරයකටත් වඩා වම මට පෙනෙන විධිහ ගැන ලියන දෙයක්. කිසියම් වැරදි වැටහීම් බොහොමයක් තියනවා අපි අතරේ. ඒවා නැති කර ගන්න නම් අප කතා කළ යුතුයි.

      Delete
  6. සිත් ගන්නා සුළු මාතෘකාවක්‌ . මේ තාක් ලියූ දේ සමඟ එකඟ විය හැකියි.
    ඉදිරි ලිපි එන තෙක් බලා ඉන්නවා.
    Sujeewa

    ReplyDelete
  7. අසාවෙන් කියවන්න හිතෙන ලිපි පෙළක් වගේ අජිත් අයියා.
    මගේ සීමිත දැනීමේ හැටියට මම හිතන්නේ ලෝකේ කිසිම තැනකට පුර්ණ සමාජවාදය ගැලපෙන්නේ නැහැ කියලා.නීතියේ සමානාත්මතාවය හා ප්‍රජාතන්ත්‍රවාදය තමයි හොඳම ක්‍රමය ලෝකයේ ඕන තැනකට.

    ReplyDelete
    Replies
    1. නීතියේ සමානාත්මතාවය හා ප්‍රජාතන්ත්‍රවාදය ගේන්න ක්‍රමයකුත් තියෙන්නේ එපාය? කෝ යහ පාලනය ගෙනාවද? කලින්ට වැඩිය හොඳයි. පුර්ණ සමාජවාදය මොකක්ද කියල අපි දන්නේ නැති එකත් ප්‍රශ්නයක්. පුර්ණ සමාජවාදය කියන්නේ කොමියුනිස්ට් වාදය කියලනේ අපට කිව්වේ.

      Delete
  8. ඉදිරියට තවත් හොද තොරතුරු ටිකක් හම්බෙයි වගේ......සෑහෙන හොයලා ලියපු ලිපියක් වග පේනවා.රැදී සිටිමි මීළග කොටාසත් බලාපොරොත්තුවෙන්

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .