Tuesday 29 May 2018

ඇය සමුගෙන ගියාය

රත්මලානේ හෙන්ට්ලි සහ මැක්සිම් යනුවෙන් ඇඟලුම් කම්හල් දෙකක් තිබුණි. මේවා නිදහස්  වෙළඳ කලාප පැමිණීමට පෙර  ශ්‍රී  ලංකාවේ පිහිටවූ එවැනි මුල්ම කම්හල්ය. ඇය හෙන්ට්ලි ආයතනයේ සුපර්වයිසර් හෙවත්, ඈ කිවූ අන්දමට "ළමයින්"  ගේ වැඩ පාලිකාවක් වූවාය . එවැන්නියන් කිහිප දෙනෙක් ශාලාවකට සිටිති. බොහෝ විට 'ලයින්' එකකට එක් අයෙකු බැගිනි. පසුව මැක්සිම් ඇඟළුම් කම්හලේ තත්ව පාලකවරියක් (quality control) ලෙස රැකියාව ලැබුවාය.

මේ ආයතන යුරෝපයට ඇඟළුම් සැපැයූ සාර්ථක කම්හල් දෙකක් විය. මේ ආයතනයන් රත්මලානේ බොහෝ අයට රැකියා සැපයූ  ස්ථානයන්ය.

මේ 1970 දශකයේ අග කාලයයි.  මැක්සිම් සහ හෙන්ට්ලි යන ආයතන දෙකෙහිම එක දිගට වර්ජන රැල්ලක් පටන් ගැනුනි. එය පටන් ගත්තේ මැක්සිම් ආයතනයේ සේවකයෙක් කිසියම් වරදකට එලියට දැමීම හා සේවකයන්ට වැසිකිලි පහසුකම් ලැබීමේ කාලය පිලිබඳ ප්‍රශ්නයකට විය යුතුය. ඒ දිනවල කුඩා ළමයෙකු වන මට ඒ පිලිබඳ හරි මතකයක් නැත.

නමුත් අප බැලීමට පැමිණෙන ඇය අත සැමවිටම හොඳ රස කැවිලි තිබුණු බව මතකය.  ඉඳ හිට ඇඳුම් පැළඳුම්  තෑගී වශයෙන් ලැබුණි.

මේ කාලයේ ඇය, පෙමින් බැඳුණේ ඇයට වඩා  රැකියාවෙන් පහළ කම්කරු ශ්‍රේණියේ කෙනෙකු සමගය. ඔහු වාමාංශික පක්ෂයක සාමාජික ගාස්තු ගෙවන ඒ දිනවල  කොළඹ කම්කරු පන්තිය මෙහෙයවූ වා...හා බා ...දෙදෙනාගේ භක්තිවන්ත සපෝටර් කෙනෙකු විය. මේ සම්බන්ධයට විරුද්ධව මගේ පියා ඇතුළු අය  කොතෙකුත් අය කරුණු කීවද සැලුනේ ඇය නොවේ. (ඔවුන් විරුද්ධ වූයේ රැකියාව ගැන නොව ඔහු නිතරම බීමතින් සිටීම නිසාය)

ඇයට දරුවෙකුද ලැබුණි. ඇය සැමියා සමග මැයි දින රැලි වලටද  ගියාය.  මේ කාලයේ සෝවියට් සඟරා  මෙන්ම සෝවියට් පොත පත කියවමින් තරමක මාක්ස්වාදී මතයක සිටි මට ඇය පෙනුනේ සම්මතයට එරෙහිව යන, මේ  පොත් පත්වල සිටින වීරවරියක ලෙසිනි.  මා ළඟ තිබූ  "අම්මා " සහ ගෝර්කිගේ පොත් පෙළ ,"ගුරු ගීතය",  "වානේ පන්නරය ලැබූ හැටි","සැබෑ මිනිසෙකුගේ කතාවක්" ආදී සියල්ල ඇය ඉල්ලාගෙන ගෙන ගොස්  කියවා  තිබුණාය . ඇයට තමන්ව පෙනුනේ "පාවෙල්" ගේ මව ලෙසය.

මැක්සිම් ආයතනය තුල පක්ෂය මෙහෙයවූ ඊළඟ වර්ජනයට නායකත්වය දුන් අයගෙන් කෙනෙක් ඇය වූවාය. ඇය රැකියාවෙන් නෙරපා දැමුණි. අසූවේ  වර්ජනයට සහභාගී වීමෙන්  ඇගේ ස්වාමියා ගේ රැකියාව ද අහිමි වුනි.

ඒ කාලයේ එක්තරා වලව්වකට  සම්බන්ධයක් ඇති වාමාංශික නායකයෙකු ගේ නිවසට ගිය විට ගේට්ටුව වත් නොඇරවුනු බව ඇය කීවාය.

වරෙක් දහවල කෑම කන වෙලාවේ පැමිණි ඇයට අප කෑමට ආරාධනා කල විට කුස ගින්නේ සිටි  පුතාට කෑම දී ඇය කෑම නොගෙනම පිටව ගියාය. ඇගේ අභිමානය නොසැලී තිබුණි.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට එරෙහිව සටන් කල ඇන් ඇම් ගැන කොල්වින් ගැන, බ්‍රේස්ගර්ඩ්ල් ගැන මා  මුලින්ම දැනගත්තේ ඇගෙන්ය.

යුඇන්පී රෝයල් එකට පුතා ඇතුලත් කිරීම ගැන ඇය මපියාට උපහාසයෙන් සිනාසුනාය. මා  ශිෂ්‍යත්වයෙන් සමත්ව එසේ ඇතුළත් වූ බව මම ඇයට පැවසුවෙමි.

ඇගේ පුතාට හොඳ විදුහලක් සොයා වමේ නායකයන් ගේ උදව් පැතූ බව දනිමි.  ඔහු ගියේ ඇස්වාට්ටුව පැත්තේ   රජයේ  පාසැලකටය.

මා සෝවියට් දේශයට ඉගෙනුමට යන බව අසා ඈ සතුටු වූවාය. පාවෙල්ලා ඒ රටේ තව දුරටත් නොමැති බව අසා ඈ කම්පා නොවුනාය. ඒ වනවිට ඇගෙන් පළවූයේ උපේක්ෂා සහගත බැල්මක් පමණි.

ඇය ඇගේ රැකියාව අතහැර දැමීම වරදක් බව මම ඇයට නිතර කීවෙමි. වර්ජනය කිරීම ජනතාවගේ පරම අයිතියක් බව ඇය මට නිතර කීවාය.

වර්ජනය කිරීම ගැන සමාව ඉල්ලා එජාප මන්ත්‍රී කෙනෙකු හරහා ඇගේ සැමියා රැකියාව නැවත  ලබාගත්තේ නොකළ බැරිකමට බව මම  දනිමි.

 සැමියා වෙනත් ගැහැනියක සමග සම්බන්ධයක් පටන් ගනිද්දී ඇය නොසැලී සිටියාය.

ඇගේ පුතා අතුරුදහන් විය.

ඇගේ කිසිදු වාමාංශික සගයෙකු ඇය බැලීමට පසුගිය අවුරුදු 25 තුල නොපැමිණියහ. සමහර විට ඔවුන්ද  ජිවිත සටනින් පැරදී සිටිනවා විය හැකිය.

ඇගේ දෑසේ තිබු දීප්තිය  මම ඉන්පසු නොදිටිමි. ඉඳහිට මුදලින් කල සුළු උපකාරයක්, චොකලට් එකක් දීමක් හැර වෙනත් උපකාරයක් නොකෙලෙමි. 

කිහිප දෙනෙකුගේ පමණක් දෙනෙත් තුල කඳුලක් රඳවා ඈ හුදෙකලාවම නික්ම ගොස්ය.

ලංකාවට කතා කර ඇගේ අවමගුලේ වියදම් පිළිබඳ  වගකීම භාර ගතිමි.

බ්‍රිතාන්‍යයේ රැකියාව කර ලැබෙන මුදලින් එය පියවීමට සිදුවීම ගැන ඇය මට සමාව දෙනවා නිසැකය.

සමහර ෆයර් බ්‍රෑන්ඩ් සෝෂලිස්ට් (firebrand socialist) ලා එක්කෝ අවසානයේ තම සටන පාවාදෙන බවත් නැත්නම් හුදෙකලාව මිය යන බවත් මම දැන් අත්දැකීමෙන් දනිමි.

අයිරීන් සහෝදරිය (අයිරීන් නැන්දේ)  ඔබට සුභ ගමන්.




20 comments:

  1. වාමාංශික දේශපාලනයට විරුද්ධ වුණත් ඕනම රටක වාමාංශික ව්‍යාපාර වල පහල කාඩරයන්ගේ තියෙන අවංක කම, ප්‍රෞඪ බව, ඔවුන් හරි යැයි සිතන දේට තිබෙන අසීමිත කැපවීම ගැන මට ඇත්තේ ගෞරවයක්. ඇයට සුභ ගමන්

    ReplyDelete
  2. හිතට දුක ගෙනා සිද්ධී පෙනි පෙනිය
    ගතට වෙර ලැබූ ඇය යකඩය වැනිය
    නෙතට වැටෙන දුක උණුහුම් පොද පිණිය
    ඔබට සුභ ගමන් අයරින් නැන්දණිය .....

    ජයවේවා!!!

    ReplyDelete
  3. තමන් විශ්වාස කරන විදිහට සමාජය වඩාත් යහපත් තැනක් කරන්නට සාමුහික ප්‍රයත්නයන් වලදී මූලිකත්වය ගන්නා බොහෝ දෙනාගේ අවසන් ඉරණම මේක තමා.
    විශේෂයෙන් වාමාංශික දේශපාලනයේ නිරතවුණු බොහෝ දෙනෙක් කතාව අවසන් කරන පොදු ආකාරය මේ.
    ඇයට සුබ ගමන්

    ReplyDelete
  4. https://www.theguardian.com/lifeandstyle/2008/oct/15/women-highereducation

    ReplyDelete
  5. ඇයට සුභ ගමන්! වෙනස් වෙන ලෝකයේ නොවෙනස්ව ඉන්න උත්සහ කරන එකම අභියෝගයක්..

    ReplyDelete
  6. අයිරීන් සහෝදරිය (අයිරීන් නැන්දේ) ඔබට සුභ ගමන්.

    ReplyDelete
  7. අයිරීන් සහෝදරියට මගේ ආචාරය!...

    කිසිදිනක තම ප්‍රතිපත්ති පාවා නොදුන් අවසානය දක්වා ඒ කෙරෙහි විශ්වාසට තැබූ වැඩිහිටි පරපුරේ මෙවන් අවංක සහෝදරයින් කිහිප දෙනෙකු මමද කලක් දැන සිටියෙමි..

    ReplyDelete
  8. මොවුන් ගේ ගැටළුව ලෝකය හරි හැටි නොදැකීමයි. තමන් කියවපු වානේ පන්නරය හෝ ගෝර්කි ගේ අම්මා වැනි පොතක් කියවා මේ අය රෝමාන්තික වෙරි වීමකට පත් වෙති. ලෝකයේ සියලු අයහපත් දේ වලට හේතුව රතු රෝස මල කියා සිතූ උන්මත්තකයා මෙන් මොවුන් ධනවාදය ලෝකයේ සියලු අයහපත් දේ වලට හේතුවත් සමාජවාදය යනු සියලු රෝග නසන බෙහෙතක් බවත් සිතති. අත්දැකීම් අඩු බව , මෝඩකම , තමන් ගේ ෆැන්ටසි වලට යටවීම යන කාරනා නිසා මොවුන් ජීවිතයෙන් පැරදෙති. මේ චරිත වීරත්වයට පත් කිරීම අති භයානකය​. මොවුන් මෝඩ චරිත බව නව පරපුර දැනගත යුතුය​.

    ReplyDelete
  9. මේක කියවපු වෙලාවෙ ඇතිවෙච්ච කම්පනය තාමත් අඩුවෙලා නෑ.

    මේ ලියන ක්‍රමය හුඟක් හොඳයි අජිත්. ඔබගේ අත්දැකීම් මෙහෙම ලියලා, තීරණය ප්‍රේක්ෂකයාට ඉතිරි කරන එක, දේශපාලන ලිපිවල කෙරෙන තමන්ගේ පොලිටිකල් අයිඩියොලොජි අනුන් මත බලෙන් පැටවීමට වඩා සාර්ථක ක්‍රමයක් කියල මට හිතෙනවා.

    ReplyDelete
  10. වාමශිංක ඔක්කොම මෙහෙම තමා
    දේශපාලනය නිසා සැමදේම නැති කරගෙන
    අසරණව මිය යනවා
    ජවිපෙ හිටපු ප්‍රබලයෙක් උන කමල් අය්යත් එහෙමයි.
    මම දන්නා ගොඩක් ය ඉන්නවා අද අන්තිම අසරණ තත්වයට පත් උන

    ReplyDelete
  11. Ajit, You have told me about this aunt when we were in Ratmalana. Very sad to hear this..

    ReplyDelete
  12. @ඉයන් - ස්තූතියි. ප්‍රතිචාරය ස්පෑම් ගිහින් තිබුනේ.
    //ඕනම රටක වාමාංශික ව්‍යාපාර වල පහල කාඩරයන්ගේ තියෙන අවංක කම, ප්‍රෞඪ බව, ඔවුන් හරි යැයි සිතන දේට තිබෙන අසීමිත කැපවීම ගැන මට ඇත්තේ ගෞරවයක්// ඇත්ත
    @ දුමින්ද - ස්තූතියි , ලස්සන කවියක්
    @ඉවාන් - /තමන් විශ්වාස කරන විදිහට සමාජය වඩාත් යහපත් තැනක් කරන්නට සාමුහික ප්‍රයත්නයන් වලදී මූලිකත්වය ගන්නා බොහෝ දෙනාගේ අවසන් ඉරණම මේක තමා. // ඇත්ත . ස්තූතියි

    ReplyDelete
  13. @ප්‍රා - තවත් අයරින් කෙනෙක්. මම සවුත් බෑන්ක් හිටිය කාලෙම ඉඳල තියනවා.
    @කල්‍යාණ මිත්‍ර, @රසික - ස්තූතියි
    @නදීර - යථාර්තය :( - ස්තූතියි
    @රවී - මැරෙන තුරුම අවංකවම හිටි අය - අන්තිමට තනිවම යන ගමන යනවා දුකක් නොදී

    ReplyDelete
  14. @ Trans Sylvania said. - රුවන් මම මේ චරිතය වීරත්වයට පත් කරලා නැහැ.
    //මොවුන් ගේ ගැටළුව ලෝකය හරි හැටි නොදැකීමයි.// - මේ කතාව ඇත්ත
    //තමන් කියවපු වානේ පන්නරය හෝ ගෝර්කි ගේ අම්මා වැනි පොතක් කියවා මේ අය රෝමාන්තික වෙරි වීමකට පත් වෙති.//

    මමත් කියෙව්වා , සෝවියට් ශිෂ්‍යත්වයට අයදුම් කරන්න යාමේ හේතුත් ඒවමයි. රොමැන්තික ගතිය නිසා.
    // සමාජවාදය යනු සියලු රෝග නසන බෙහෙතක් බවත් සිතති -// හොඳ වෙලාවට රුසියාවට ගිය නිසා අපට තේරුනා නේද
    //අත්දැකීම් අඩු බව , මෝඩකම , තමන් ගේ ෆැන්ටසි වලට යටවීම යන කාරනා නිසා මොවුන් ජීවිතයෙන් පැරදෙති. මේ චරිත වීරත්වයට පත් කිරීම අති භයානකය​. මොවුන් මෝඩ චරිත බව නව පරපුර දැනගත යුතුය​//
    ඔවුන් මෝඩ නැහැ. අන්න එතන මම විරුද්ධයි ඔබ කියන එකට. නමුත් ඔවුන්ට දන ගන්න තිබ්බ ක්‍රම සීමිතයි. ඒ සීමිත දැනුම නිසා මෙවන් දෙයක් වෙන්නේ. දැනුම නිවැරදිව බෙදා දීම අවශ්‍ය වන්නේත් ඒ නිසයි.

    ReplyDelete
  15. @බස්සා - බොහොම ස්තූතියි.
    //දේශපාලන ලිපිවල කෙරෙන තමන්ගේ පොලිටිකල් අයිඩියොලොජි අනුන් මත බලෙන් පැටවීමට වඩා සාර්ථක ක්‍රමයක් කියල මට // මම සාමාන්‍යයෙන් මගේ අදහස බලෙන් දෙන්න යන්නේ නැහැ. සාකච්ඡාවට ඉඩ හැම වෙලාම තියනවා. අපහාස නැති ඕනෑම සාකච්ඡාවකට මම යනවා. නියත පොලිටිකල් අයිඩියොලොජි තියන් හිටියොත් නිදහසක් නැහැ.

    ReplyDelete
  16. @රන්සකු - ඇත්ත . කමල්ට වුනෙත් එකමයි නේද. ඇයි මේ වගේ ඔවුන් කටයුතු කරන්නේ කියන එක මම මගේ ලිපියක් වොල්කගොනව් ගේ කියුමක් එක්ක කිව්වා. ඒ ලිපිය හොයල දාන්නම්. වොල්කගනව් කිව්වේ සෝවියට් දේශය ලොකු දේ කලා . තමන් ගේ මිනිසුන් ගැන හිතුවේ නැහැ කියල.

    ReplyDelete
  17. @dumi GDPR -General Data Protection Regulation
    The General Data Protection Regulation (GDPR) (EU) 2016/679 is a regulation in EU law on data protection and privacy for all individuals within the European Union (EU) and the European Economic Area (EEA)
    මෙහෙම ප්‍රශ්නයක් ආව . මෙහේ ඇනෝ නැවැත්තුව. අපි හැමෝටම නාඳුනන කම්පැනි වලින් පවා ඊමේල් එන්න ගත්ත . බලනකොට පි දන්නේ නැතිවම් මුන් අපිව රේගිස්ටර් කරලා. මමත් අයින් උනා ඒ ගොඩක ගෙන් . මේ එතනින් ආව ප්‍රශ්නයක්. තවම් හදා ගන්න බැහැ. ගුගල් ප්ලස් දාල වත් බලන්න වෙනවා.

    ReplyDelete
  18. @unknown මේ කවුද කියල අඳුර ගත්තා. ඔව් මචන්, විවියන් ගුණවර්ධනගේ දකුණු කකුල කියල විහිළු කළේ ඒ කාලේ. එයා මැරුණා.

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .