ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ (34) - දුරකථනයෙන් අමතන්නට නොහැකිය ඔබව
"තාන්යා මීලයා හැබැයි ඉවසන්න වෙනවා අපි දෙන්නටම. ලංකාවේ තත්වේ හොඳ නැහැ කියල අදත් කොල්ලෝ කතා වුනා. යුද්ධ හැම පැත්තෙන්ම. අපේ රටේ එක පැත්තක දෙමළ විමුක්ති ගරිල්ලන් එක්ක සිවිල් යුද්ධයක් යනවා , අපි ඉන්න පැත්තේ වාමාංශික විමුක්ති ව්‍යාපාරයක් එක්ක යුද්ධයක්. මිනිස්සු මරනවා, මැරෙනවා හරියට . ආර්ථිකය උනත් හොඳ නැහැ. ඔයාට මේවා තේරෙනවද කියන්න මම දන්නේ නැහැ. ඔයා දේශපාලන ගැන වැඩි උනන්දුවක් නැති නිසා"
ගිහාන්ම මදක් හුස්ම ගත්තේය. තාන්යා නිහඬව සිටියාය.
"මම ඉවර කරපු ගමන් යනවා ලංකාවට. රස්සාවක් හොයාගෙන, ගෙදර ප්‍රශ්න බේරුමක් කරලා ඊට පස්සේ ඔස්ට්‍රේලියාවට, නවසීලන්තය ට වගේ යන්න වීසා ඉල්ලන්න පුලුවනිලු. ලකුණු ක්‍රමයක් තියනවා ඒ රටවලට යන්න. ඔයාටත් එතකොට උපාධියක් තියෙන නිසා ඒකෙන් ලකුණු ලැබෙනවලු. දෙන්නටම යන්න පුළුවන්. ඔයාට තියෙන්නේ මෙහෙ මොස්කව් ඉන්න ඒ ටික කාලේ. ඔයාට එන්න දුන්නොත් මගේ අරාධනා පත්‍රයකට ඔයා ඇවිල්ල යන්න."
ගිහාන් ඇගෙන් මුහුණ ඉවතට ගනිමින් පැවසීය.
"ගිහානුෂ්කා, ඊයේ ගේනා එක්ක ඇවිදිද්දී මම ඕක ගැන කල්පනා කළා දිගටම. ඉස්සෙල්ලම මට සමාවෙන්න ඔයාව එහෙම දුක් ගැන්නුවට. ඔයාට රිද්දන්න නෙමේ එහෙම කළේ . ජාගා කියපු දේ මට තේරුණා. ඔයා එයත් එක්ක වාද කළේ ඇයි කියලත් මට තේරුණා" ඇය ජාගා කීවේ ජගත්ටය.
"ඔයා අම්ම අහනකොට ලංකාව ගැන නිහඬව හිටි නිසා ඔයාගේ හිතේ කරදරය මට තේරුණා. ජාගා එක්ක රණ්ඩුවට යද්දී කොතරම් පීඩනයක් ඔය ඔළුවේ තියන් ඉන්නවා ඇතිද කියල හිතුන. ඉතින් ඔයා කරදර වෙන්නේ නැතිව ඉගෙන ගෙන ආපහු යනවා නම් හොඳයි කියලත් මට හිතුන. මම ගේනා ට ඒක කිව්වා ටැක්සියේදී. ගේනා කිව්වා විදේශිකයෝ විශ්වාස කරන්න එපා වගේ කතාවක්. මාව නේවාසිකාගාරය ළඟ බස්සන කොට මට කිව්වා ඇවිදින්න යන්න එන්න කියල. ඉතින් මම බොළඳ විධිහට ගේන එක්ක යාළු වෙන්න හිතුව ඔයාව නිදහස් කරන්න. නමුත් ගේන එක්ක ඇවිදින මොහොතක් පාසා මම හිත හිත හිටියේ ඔයා ගැන. කෑම කන්න ගිහිල්ලත් මම හිතින් හිටියේ ඔයා එක්ක. ගේනට ඒක තේරුණා. එයාගේ ගෙදර ගිහින් අම්මට අඳුන්වලා දීලා ඔයාට කතා කරේ ඉන් පස්සේ."
ගිහාන් සෙමෙන් සෙමෙන් ඇගේ හිස පිරි මැදීය.
"ගේනා හිතාගන්න බැරි විධිහට මහත්මයෙක් වගේ හැසිරිලා."
"ඉතින් මගේ සලතෝයි ගිහාන් , අපි ඒ ගැන කතා නොකර අපට ඉතුරු වෙලා තියන කාලේ සතුටින් ඉමු. අපි දෙන්න එකට ඉන්න කොට වෙනම ඉන්නවට වඩා අගේ නැත්ද? ඔයා දැන් මාත් එක්කම පොතක් අරන් ඇඳේ දිගා වෙලා කියවනවා. ඔයා බලන චිත්‍රපටය මම බලනවා. මම බලන එක ඔයා බලනවා. ඔයා අපේ කෑම වලට කැමතියි. මම ඔයාගේ සැරම සැර කෑම කනවා. " ඇය ඔහුව තදින් කොනිත්තුවාය.
"අපි දෙන්න ඇවිදින්න ගියහම කතා කර කර හරි නිස්සබ්දව හරි පැය ගණන් ඇවිදිනවා. අපි දෙන්න දෙන්නට කැමති නිසා ඒ. උඹ මාත් එක්ක නිදා ගන්න කොට මම කොතරම් සතුටු වෙනවද ? ඉතින් වෙන මොකුත් ඕනේ නැහැ අපට. ඔයා මේ සින්දුව අහල තියනවද "
"මොකක්ද මගේ මාලෙන්කයා(පුංචි) ද්යේවුෂ්කා ලුබීමච්කා " ගිහාන් මගේ ආදරණිය පුංචි කෙල්ලේ යනුවෙන් ඇය ඇමතීය.
"අපි එදා කෝච්චියේදී අහපු සින්දුව මතකද? වැලරි ගෙයි ලයිමා ගෙයි. ලයිම සින්දුවක් කියනවා 'තවම සන්ධ්‍යාව උදාවී නැත' කියල . මෙන්න මේක අහන්න." ඇය ලයිමා වයිකුල්යේ ගේ ගීත තැටිය වාදනය කලාය .
ගිහාන් ලන්ඩනයෙන් මිලදී ගත් කෝට් බෑය හැඳගත් තාන්යා තොල් උල් කරමින් දෙඅත් වනමින් ලයිමා රඟන්නා සේ රඟන්නට ගත්තාය. ඇගේ රැඟුම විඳින ගිහාන් ගේ මුවගට සිනහවක් නැගුණි. තමන්ගේ දුක සංකා මගහරිමින් සතුටු කරන්නට ඇයට ඇත්තේ අමුතු හැකියාවකි.
නාට්‍යමය ගමනකින් ඔහු වෙතට පැමිණි ඈ අත ලාලිත්‍යයෙන් දිගු කර ඔහුට ඈ සමග නැටීමට ආරාධනා කලාය. ඇගේ ඉන වටා අත යවමින් ඔහු ඇරයුම පිළිගත්තේය.
ගීතයේ තේරුම ඇගේ වදනට, ඇගේ සිතුමට මනාව ගැලපුණි.
ඉෂ්යෝ නි වේචර් නමැති ගීතයේ තේරුම තවමත් සන්ධ්‍යාව එළඹ නැත යන්නය. තාන්යා ගීතයෙන් හැඟවූයේ අප අතර තවමත් බලා පොරොත්තුව තිබෙන බව යයි ගිහාන් ට වැටහුණි. කෙලින්ම කිසිවක් නොකියා යමක් හැඟවීමට පෙම්වතියන් ඉතා දක්ෂය.
"සන්ධ්‍යාව එළඹ නැත සන්ධ්‍යාව එළඹ නැත
මාවතේ තවම එළියයි දෙනෙතට පෙනෙයි තවමත්
සන්ධ්‍යාව එළඹ නැත සන්ධ්‍යාව එළඹ නැත
මා තවමත් ඔබ පසෙකින් සැහැල්ලුවෙන් ගමනේ
ඔන්නොහෙ කියාපු දෙන් කුණාටුවක් ළඟ ළඟමයි කියාලා
ඔන්නොහෙ කියාපු දෙන් දෙනෙතු යි හදවතයි පවසනුයේ බොරුයි කියාලා
විශ්වාස නොකරම් මම කිසි විටෙක ඒ වදන්
නුඹව කිසිවෙකුට නොදෙමි මම්
සන්ධ්‍යාව එළඹ නැත සන්ධ්‍යාව එළඹ නැත
තවමත් කාලය ඉතිරිව තිබේ අප දෙදෙනාට
සන්ධ්‍යාව එළඹ නැත සන්ධ්‍යාව එළඹ නැත
තවමත් බලාපොරොත්තුවේ හා විශ්වාසයේ දොර හැරලා
ඔන්නොහෙ කියාපු දෙන් වසර ගණනක් යද්දී යන මග රුදු වේවි කියාලා
ඔන්නොහෙ කියාපු දෙන් පරණ සතුට නැවත එන්නේ නැහැ කියාලා
විශ්වාස නොකරම් මම කිසි විටෙක ඒ වදන්
නුඹව කිසිවෙකුට නොදෙමි මම
සන්ධ්‍යාව එළඹ නැත, සන්ධ්‍යාව එළඹ නැත
පරණ වැරදි අපි නැවත නොකරමු
රාත්‍රිය තවමත් අවසන් නැත
අන්තිම දවස සතුටින් දික් වේවි
ඔබත් සමග මගේ ප්‍රියතමය
ඔන්නොහෙ කියාපු දෙන් මේ සඳ යට හැමදේම අනිත්‍යයි කියල
ඔන්නොහෙ කියාපු දෙන් අපි දෙන්න වෙන් වෙයි කියල
සිරගත වුවත් අත් නොහරිමි මම
අනාගතයෙදි වුව නොදෙමි මම නුඹ කිසිවෙකුට
සිරගත වුවත් අත් නොහරිමි මම
අනාගතයෙදි වුව නොදෙමි මම නුඹ කිසිවෙකුට "
ගීතය අවසාන වන විට දෙදෙනාම සිටියේ දෘඩ ආලින්ගනයකය. ඇගේ මුහුණ තිබුණේ ඔහුගේ දෝතට මැදිවය. අඩවන්වූ ඇගේ දෙනෙත් සෙවූයේ ඔහුගේ දෙතොලේ පහසය. ඔහුගේ ඉන වටා අත යවමින්ම ඇය කළේ අත දිගු කොට ජනේලය විවර කළාය . රාත්‍රී දෙකත් පසුවී තිබු ඒ යාමයේ පහල පාරේ මිනිස් පුළුටක් නොවීය. ඇය සෙමින් රාත්‍රී සුළඟේ පහසට කය නිරාවරණය කරමින් ජනේලයෙන් පිටතට නැඹුරු වූයේ පෙම්වතාට ඇගෙන් සුව විඳීමට ඉඩ හරිමිනි. රාත්‍රිය ගෙවුනේ ඔවුන් දෙදෙනා වෙනදාටත් වඩා සිතින් හා ගතින් එක්තැන් කරමිනි.
~ මතු සම්බන්ධයි
ප.ලි: ඉෂ්යෝ නි වේචර් ගීතයේ පබැඳුම - ඊ රෙස්නික් ,
සංගීතය ආර් පෞලස්