Thursday 10 September 2020

ලේක් දිස්ත්‍රික්කයේ උසම දිය ඇල්ල ස්කේල් ෆෝස්





මා සිතන ආකාරයට නොයෙකුත් වනපෙත් බේරා ගැනීමට හෝ සොබා දහම රැකීමට දහස් ගණන් ෆේස්බුක් පෝස්ට් දැමීමෙන් කිසිදු පලක් නැත. ඒ වෙනුවට කළ යුත්තේ මිනිසුන්ට සොබා දහමේ සුන්දරත්වය පෙන්වීම පමණි. සොබා දහමේ සුන්දරත්වය දන්නා , එය විඳින තැනැත්තා හා  ඒ සමග සහජීවනයෙන් ජිවත්වන තැනැත්තා  එය විනාශ කරන්නට කටයුතු නොකරයි.   

අපි අගෝස්තු 27 වන දින කොකර්මූත් හි පිහිටි ස්කේල් ෆෝස්  දිය ඇල්ල නැරඹීමට ගියෙමු. මේ නමේ  ෆෝස් හෙවත් "බලය" යන යෙදුම පැමිණ ඇත්තේ  නොර්ස් භාෂාවේ දිය ඇල්ලට භාවිතා කරන වචනයෙනි 
මෙය  අඩි 170 ක් පමණ උස (මීටර 51.8 ක් පමණ) වන අතර එය ආරම්භ වන්නේ ස්කේල් බෙක් ඇළෙන් ය. එය ඇති ගමන් මාර්ගයේ හැතැප්ම 4 ක පමණ දුරක් ඇවිදීමට අපට පැය දෙක  හමාරක් ක් පමණ ගත වුනි.
එය දුටු මට  ශ්‍රී ලංකාවේ දුන්හිඳ  දිය ඇල්ල නැරඹීමට කුඩා කාලයේ  ගිය බව  මතකයට නැගුණි. හැත්තෑ ගණන්වල පළමු වරට ගිය ඒ ගමන  මදක් දුෂ්කර එකක් විය.  දෙවන වතාවට දුන්හිඳ බැලීමට ගියේ 2000 දීය.  ඒ ගමන් මාර්ගය වඩා පහසුය. දුන්හිඳ වෙතින් එන ජල පහරේ බලය එදා  මා විස්මිත කළේය. 
සැබෑ ස්කේල් ෆෝස් එක ඇත්තටම ඇත්තේ දුන්හිඳ , නයගරා, වික්ටෝරියා වැනි දිය ඇලි වලය.දුන්හිඳ ස්කෙල් ෆෝස් එකට වඩා  මීටර් 10 පමණ  උසය.
  ශ්‍රී ලංකාවේ උසම දිය ඇල්ල මීටර් 260 ක් උස බඹරකන්ද වන අතර එය මේ දිය ඇල්ලට  වඩා 5 ගුණයකින් උසය. බඹරකන්ද දිය ඇල්ල  මුලින්ම සොයා ගත්තේද හැත්තෑ ගණන් වල යයි සිතමි. එයට හේතුව එවකට අප ලුණුගල සිටියදී මගේ පියා පැමිණ කී දෙයක් හේතුවෙනි. භූ විද්‍යාඥ කණ්ඩායමකට ආරක්ෂාව දීමට හා පාර කියා දීමට  ගිය පිරිස අතරේ පැත්තකින්  සිටි ඔහුටද එය බැලීමට යාමට අවස්ථාවක් උදාවී තිබුණි.  එය දියලුමට වඩා උස හා පළලින් යුතු දිය ඇල්ලක් බවත් වැසි කාලයට අති භයානක ලෙස අවට ගස් කොළන් වලටත් උඩින් දියකඳ  ඇද හැලෙන බවත් ඔහු පැවසූ බව මට මතකය.
එසේම  මට මතක විධිහට ලංකාවේ උසම දිය ඇල්ල ලෙස අප දැන  සිටියේ දියලුමයි. බඹර  කන්ද උසින් ලෝකයේ 299 වෙනි ස්ථානයට ඇති දිය ඇල්ලයි.

ෆේස්බුක් බිත්ති වල  නිතර නිතර  චීන ජාතිකයන් අසීරු කඳු තරණය කරමින් තමන් සිටින ගං  වලින් නගරයට එන පින්තුර හා වීඩියෝ හුවමාරු වේ. නමුත් අපට ඉදිරියෙන් ගිය චීන ජාතික  පවුලක් මදක් දුර ගොස් මඩ හා වතුර පිරි මාර්ගයේ අසිරිය දැක ආපසු හැරී ගියහ.

අපට මුලදී මග වැරදුනු මුත් පසුව බැටළුවන් කඳු නගින මාවතක් සොයා කන්ද උඩට නගින්නට පටන් ගත්තෙමු. ඇල්ල නරඹා ආපසු එන සුදු ජාතික තරුණියක  සමග සිටි දකුණු ආසියාතිකයෙකු ඈත සිටම අත වනමින් අපට මග පෙන්වීය.   

ස්කේල් ෆෝස්  ඇල්ල අසලදී අප රැගෙන ගිය සැන්ඩ්විච් කා හවස් වනවිට නැවත පල්ලම් බැස්සෙමු. දරුවන් දෙදෙනා දිය අල්ල දැකීමෙන් ලැබූ ප්‍රීතිය දැකීමෙන් මගේ මහන්සියද අතුරුදහන් විය. 

මට වඩාත් සිත් ගත්  කරුණ නම් ගමනේදී හමුවුණු සියලු දෙනාම  පාහේ කෝවිඩ් 19 වසංගතය හේතුවෙන් ඈත් වී ගමන් කළද ආචාර සමාචාර කිරීමට උත්සුක වීමයි.  දෙතුන් විටෙකදීම අප හා කතාවට  එක්වීමටද ඔවුහු  උනන්දු වූහ.
මේ ස්කේල් ෆෝස් දිය ඇල්ල දක්වා ඇති ගමන් මාර්ගය ඉතා දර්ශනීය එකකි. අවට  කඳු සහ නිම්නය පහළ විල චමත්කාර චිත්‍රයක් සිතේ මැවීමට සමත් වේ.  නන්දා  මාලනී මහත්මිය ගයන ගලන ගඟකි ජිවිතේ ගීතයේ මතක් වුනේ ඇයිද යන්න නොදනිමි. සමහරවිට පහල නිම්නයට  ගලා යන ගඟ නිසා විය හැකිය. 




























4 comments:

  1. ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් , ස්තූතියි , ස්පසිබා

      Delete
  2. //ෆේස්බුක් බිත්ති වල නිතර නිතර චීන ජාතිකයන් අසීරු කඳු තරණය කරමින් තමන් සිටින ගම වලින් නගරයට එන පින්තුර හා වීඩියෝ හුවමාරු වේ. නමුත් අපට ඉදිරියෙන් ගිය චීන ජාතික පවුලක් මදක් දුර ගොස් මඩ හා වතුර පිරි මාර්ගයේ දැක ආපසු හැරී ගියහ.//

    මේක කියෙව්වාම මට කලකට පෙර සිදු වූ සිද්ධියක් මතක් උනා. අපි තස්මෙනියාවේ සංචාරයක යෙදී ඉන්න විට එක්තරා දිය ඇල්ලක් බැලීමට ගියා. ඒක ඒ නගරයේ සංචාරක ආකර්ෂණ නැරඹීමේ මාර්ගයේ සඳහන් කර තිබුන එකක්. එදා උදේ හිටන්ම අපි ගිය හැම තැනකටම ප්‍රංශ සංචාරක කණ්ඩායමක් ආවා. (මේ සංචාරක ආකර්ෂණ වලට නියමිත ගමන් මාර්ගයක් තියන නිසා හැමෝම එකම මාර්ගය අනුගමනය කරනවා) අපි ඔවුන් සමග කතාබහ කර දැන හැඳින ගත් අතරම ඔවුන්, අප පසු පස හෝ අප, ඔවුන් පසු පස මේ සංචාරය සිදු කළා. එවකට කුඩා දැරියක් වූ මගේ දියණිය, ඇයගේ සපත්තුවේ සිටි කුඩැල්ලෙකු දැක (ඇය ඒ දක්වා කුඩැල්ලෙකු දැක තිබුනේ නැහැ ) ගමන නවතා ඒ ගැන පරීක්ෂා කළා. මටත් මගේ බිරිඳටත් කුඩැල්ලන් අමුතු සතුන් නොවූ නිසා අපි (අපි කිව්වාට මම ) ඒකාව අල්ලා ගෙන ඒ සතා ගැන දරුවන්ට කියා දුන්නා. එතකොටම අර කියූ ප්‍රංශ කණ්ඩායමේ කෙල්ලෙක් ඒ කැලෑ පාරේ ඈවිත්, අපි මේ කරන දේ ගැන උනන්දුවෙන් බලලා මගෙන් විස්තර ඇහුවා. මේ සත්තු මොක්කුන්ද , කරන්නේ මොනවද කියලා අහපු එකට මගේ උත්තරය උන "එවුන් ලේ උරා බොනවා" කියන කියමන ඇහුන ගමන්ම ඒ කෙල්ල මට නොතේරෙන (ප්‍රංශ වෙන්න ඇති) භාෂාවකින් මොනවාදෝ කියමින් ආපසු හැරී දුව ගියා. කෙසේ හෝ ඇය, ඇගේ මුළු කණ්ඩායමම, ලේ උරා බොන භයානක සතුන් ඉන්නා නිසා මේ දිය ඇල්ල බැලීමේ අදහස අත් හැරවා ආපසු ගෙනගොස් තිබුන බව දැනගත්තේ දින කිහිපයකට පසු ඔවුන් නැවත මුණ ගැසුන විට දීයි.

    ReplyDelete
    Replies
    1. ඒක මාරයි. ටස්මෙනියාවේ කූඩල්ලෝ ඉන්නවා කිව්වහම පුදුමයි. නිවර්තන කලාපීය රටවල් විතරයි ඉන්නව කියල හිතුවේ. "ලේ උරා බොන භයානක සතුන්" ඔහොමත් භය කරනවද මිනිසුන්ව මම අහන්නේ ඈ ? හේ හේ

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .