Wednesday, 2 September 2020

ගම කෑ ලුණුගල හා ලේක් දිස්ත්‍රික්කය සමග ලංකාගම


පහුගිය සතියේ මම, බිරිඳ සහ දරු දෙදෙනා ලේක් දිස්ත්‍රික්කයේ සංචාරයක යෙදුන. කඳු නගින්නට කැමති නිසා අපි සමහර වෙලාවට  ජර්මනියේ තුරින්ගියා වනයට හෝ , ලේක් දිස්ත්‍රික්කය. පීක් දිස්ත්‍රික්කය යන පැතිවලට වසරකට දෙකකට වරක් හෝ යනවා. මේ දිනවල කොවිඩ් වසංගතය නිසා පමා වී වුනත් නැවත යන්න ලැබුනේ අගෝස්තු අග සතියේ. 
අපි තරණය කර කඳු දෙක ගැන විස්තර ඊළඟ ලිපියෙන් කියන්නම්.



මම කියන්න යන්නේ බ්‍රිතාන්‍යය සහ යුරෝපයේ අනිත් රටවල ගම්මාන හා සුළු නගර අවට පරිසරය රකින ආකාරය ගැන. මේවා ඇත්තටම කරන්නේ ඒ පැතිවල ජිවත් වන මිනිස්සු. ප්‍රාදේශීය පාලනය සමග එකතු වෙලා. මේකෙන් අදහස් වෙන්නේ නැහැ ඒවා දියුණු නැති, මිනිසුන්ට වැඩක් පලක්  කර ගන්න බැරි පාරවල් නැති ගම් කියල. හොඳට පාරවල් හදල අවශ්‍ය කරන සැප පහසුකම් දීල ඒ වගේම ගමේ පැරණි ශ්‍රී විභූතියක් තිබ්බ නම් ඒකත්  රැකගෙන, ගමේ ලස්සන රැකගෙන ජිවත් වෙන්නේ. ඉතින් අපි සංචාර වලට යනකොට ඒ තැන්වල පින්තූර ගන්න කැමතියි. උඩ තියෙන්නේ අපි නැවතුන තෝන්වෙයිට් හි  පින්තුරය කිහිපයක් හා කුඩා නගරයක ලස්සන රැකගෙන තිබෙන හැටි. ඒ අය තමන්ගේ නිවාස  අසල කොපමණ පිළිවෙලකට ලස්සනට තබාගෙන තියනවද?

මගේ  "ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ" නවකතාවේ සෝවියට් කතාවට සමාන්තරව යන  ශ්‍රී ලංකාවේ කතාවකුත් තිබෙන බව කියැවූ අය දන්නවා  ඇති. හතලිස් හතර වන පරිච්ඡේදයේ මුල හරියේ කියැවෙන්නේ  ලුණුගල ග්‍රාමය ගැන "ලුණුගල මැදින් ගලනා ගඟ මනහරය" කියල.  හැබැයි මම ලුණුගල ගියා පොත ලියන්න කලින් තව පාරක් බලන්න. අපි  2016 රුසියාවට ගියෙත් ඒ නිසාමයි. ලුණුගල නගරයේ  අවට තිබුණ ලස්සන දැන්  නැහැ.

ඒ විනාශය පටන් ගත්තේ 1975 අග විතර කුඹුකන් ඔය දෙපැත්තේ මැණික් හම්බ වෙලා මැණික් හොයන්න වලවල් හාරන්න ගත්තට පස්සේ. පස්සේ පැවති  රජයන් ඔක්කොගෙන්ම පැලැස්තර පාරවල් හැදිලා. යුඇන්පී , ශ්‍රී ලංකා කියල වෙනසක් නැහැ. මම යනකොටත් බිබිල පැත්තට පාර හදනවා තවම. අධ්‍යාපන අධ්‍යක්ෂක වරයෙකු වන සි බී වනසිංහ මහත්මය එයාගේ ෆේස්බුක් වෝලයේ  පින්තූර දෙකක් දාල තිබ්බ ලුණුගල නගර මධ්‍යය වැස්ස වැහැල  මඩ  වෙලා. අවුරුදු පහක් තිස්සේ එහෙමලු. පහල තිබෙන්නේ ඒ පින්තූරේ .

මට අර නවකතාවේ ලිව්ව ටික ආපහු අකුලා ගන්න හිතුන. පස්සේ ඒත් කල්පනා කරා ඒ මම ඒ කාලේ දැකපු ගම/නගරය  මිසක් දැන් තියෙන එක නෙමේ  කියල. කුඹුකන් ඔය දෙපැත්ත පාලම ගාව විනාශ කරලා තියන හැටි දක්කම් ඇත්තටම දුක හිතුනා. විද්‍යාලයට යන පාර දෙපත්තෙත් ගොඩක් ගෙවල් හැදිලා.


ප්‍රශ්නේ මේකයි. ලංකාවේ හුඟක් අය ගෙවතු වගාව හරියට කරන්නේ නැහැ. කරන අය ඉන්නවා. බ්ලොග් ලියන නලින් දිල්රුක්ෂ වගේ අය. එයාගේ යූටියුබ් නාලිකාවට ගිහින් බලන්න. දැන් කොවිඩ් ප්‍රශ්නය නිසා  හුඟක් අය වගා කරන්න පටන් අරන්. ඒත් මම දුටුව දේ තමයි තමන්ගේ ගෙවත්ත වත් අවට පරිසරය වත් හරියට තියා ගන්නේ නැති කම. මේක ඕන ගමක , ඕන සුළු නගරයක දකින්න තියන තත්වයක්.

හුඟක් අය ප්‍රංශයේ, බ්‍රිතාන්‍යයේ වගේ රටවල හොඳ පාරවල්, හොඳ නිවාස  තියාගෙන සිංහ රාජය බේරා  ගන්න ලංකාගමට බනින එක මට තේරෙනවා අඩුයි. ඒ අයගේ ලංකාවේ ගෙවල් වල තත්වය කොහොමද මම දන්නේ නැහැ. ඒ සමහරු  ලංකාවට සල්ලි යවල හදපු  මහා පතාක ගෙවල් වලට ලී , වැලි කොහෙන්ද ගත්තේ කියල දන්නවද? අර තනමල් විල නාටකයේ කොල්ලෝ ගාණක් හොයා ගන්න වැලි ගොඩ දාල ගහන ගේම ගැන හිතුවොත් ? ඔය තත්ව දෙකක් නේද?

ලංකාගමට පාරක් විතරක් නෙමේ බලන්න ඕනේ පාර හදන ගමන් වෙන පැත්තකින් වනය ඒ හා සමාන කොටසකින් වර්ධනය කරන එක ගැන. ගමේ සුන්දරත්වය රැක ගන්න විධිහට පරිසර වේදීන් , රජය හා ගමේ මිනිස්සු එක්වෙලා ප්ලෑන් එකක් ගහන එක. 
ඕක ලංකාගම විතරක් නෙමේ මුළු ලංකාවේම වෙන්න  ඕන දෙයක්. ලුණුගල වගේ ලස්සන පරිසරයවල් තියෙන ගම් , නගර බේරාගෙන සංවර්ධනය කරන්නේ කොහොමද කියල ජාතික වැඩ පිළිවෙලක් පරිසරවේදීන් , විද්‍යාඥයන්  හා රජය එක්ව හදන්න ඕනේ. 
බ්‍රිතාන්‍යයේ, ජර්මනියේ  ස්ථානවල සුන්දරත්වය රැකගෙන තියෙන්නේ එහෙම., ඒවායේ උනත් සියයට සියක් හරි ගිහිල්ල නැහැ තමයි. නමුත් ලේක් දිස්ත්‍රික්කයට හෙම ගියහම තේරෙනවා කොපමණ  ලස්සනද කියල.

මේ පාරවල් හැදිල්ල, ඉස්සෝ වගාව ආදිය කරලා  රස්සා දෙන ගමන් වෙනත් පැති  වලින් හරි වන ගහණය  වැඩි කරන්න ඕනේ. ගෙවල් වල වතු ලස්සනට තියා ගන්න හැටි මිනිසුන්ට කියා දෙන්න ඕනේ. දෙතුන් පැත්තේම  පණ්ඩිතයන්ට ඒදන්ඩේ යන්න උගන්වන්න ඕනේ.


මේක අතුරු කතාවක්.

ගිය අඟහරුවාදා අපි ගියේ ලේක් දිස්ත්‍රික්කයේ කෙස්වික් අසල තර්ල්මියර් කියන වැව බලන්න. වැව හදලා තියෙනෙන් වික්ටෝරියානු යුගයේ. ඒ දවස් වල නැගීගෙන ආපු  කර්මාන්ත සංවර්ධන වල උදව්වට . වැව වටේ ගිහින් අපහු මහා පාරට දාන්න යද්දී දැක්කේ පාර අඩි  එකහමාරක් විතර වෙන්න යට වෙලා. ඊට කලින් අඩි කාලක ප්‍රමාණයක් යට වෙලා තිබුන තැනක් පහු කරන ආවත් මෙතනින් යන්න බැහැ . මගේ කාරෙකේ යට කොටස ගොඩක් පහතින් තියෙන්නේ. පිටි පස්සෙන් 4x4 ටැංකියක් ආවත් එයත් හරවාගෙන ගියා ආපහු. මට හිතුනේ බ්ලොග් ලියන රංගන  කණ්ඩම්බි ගේ වාහනයට නම් මෙතනින් යන්න පුළුවන් වෙයි කියල. අපි ආපහු  හරවාගෙන ආපු පාරේම ගියා  තව පැය තුන් කාලක් විතර. හොඳටම වැස්ස. පාරට වතුර දානවා. මහා පාරට දැම්මම තමා වෙන රියදුරු මහතෙක් කීවේ ඒ පාරේ යන එක හොඳ නැහැ මේ දවස් වල . නාය යාම් වුනා ගිය අවුරුද්දේ කියල. එතකොට තමා අපට තේරුනේ පාරේ නැවතිලා බලන තැන් (view points) වහල තිබ්බේ ඇයි කියල. යන්තන් බේරුනා,




5 comments:

  1. ලංකාවේ අය හරිම වෙනස් නේ, ඒක නිසා පරිසරයත් රැකගෙන ඒ මිනිස්සු ජිවත් වෙයි කියල නම් හිතන්න බෑ , වනජීවී එකේ වැඩ කරන අයම කියන්නේ මිනිස්සු වනාන්තර අවට පදිංචි වෙලා ඉන්න තැන්වල වන විනාශය වැඩි කියල... පරිසරය රකිනවා කියන්නේ රට ආර්ක්ෂකරනවා කියන එකම තමයි කියල බලදාරීන්ට නොතේරෙන ඒකතමයි ප්‍රශ්නේ...

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක ඇත්ත. බලධාරීන් ඉන්නේ චන්ද ගන්න සහ නිලධාරීන් ඉන්නේ බලධාරීන් රකින්න, මිනිස්සු බලන්නේ ජිවත් වෙන්න, ඔය ඔක්කොම බැලන්ස් කාගෙන රටත් රකින්න නම් මිනිසුන්ව බුද්ධිමත් කරන්න ඕනේ

      Delete
  2. //තමන්ගේ ගෙවත්ත වත් අවට පරිසරය වත් හරියට තියා ගන්නේ නැති කම
    හරියට හරි
    ඕන කමක් නැති කමද,ඕනිදේ මොකක්ද කියල දැන් නැති කමද මන්දා

    ReplyDelete
    Replies
    1. ඒකනම් මමත් දන්නේ නැහැ මල්ලි . ඕන් කියල කියල මගේ මල්ලි කෙනෙක් කෝමාරිකා වගාවක් දාල . දැන් ඒවා මැරිලලු . මම ඇහුව වතුර දැම්මද පෝර දැම්මද කියල. කතා කලේ නැහැ.

      Delete
  3. ඔයාට දිස්තිරික්ක පයින්ඩ තහනං නේද? අනික ලේක් කියල දිස්තිරික්කයක් අපේ රටේ නෑ. හැක්

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .