Monday 15 November 2021

මතකයේ රැඳුනු සැඳෑව

 


මතකයේ රැඳුනු සැඳෑව 

ලන්ඩනයේ දී, 2019 ලංකාවේදී එලි දක්වපු පොත සමාප්ත කරන සැන්දෑව එන්න කලින් බාධා කිහිපයක්ම ආව. අනුර හෑගොඩ කිවිවර ගේ නිවසේ ප්‍රශ්නයක් නිසා ඔහුට ඒමට නොහැකි වීමත් හිතවත්ම මිතුරෙකුට කෝවිඩ් ප්‍රශ්නයක්  නිසා ඔහුට ඒමට නොහැකි වීමත්. ඒ අතරේ එන්නට පොරොන්දු  වුනු තවත් මිතුරන් දෙදෙනෙකුටම පවුලේ හදිසි ප්‍රශ්න වගක් මතුවෙලා තිබුන. මුදල් ගෙවා ලබාගත් ශාලාව නිසාම කෝවිඩ් වසංගතය නිසා කිහිප වරක් කල් දැමුණු මේ හමුව තව දුරටත් කල් දැමීමට නොහැකි අවස්ථාවත් ආව. එක මොහොතක මට හිතුන නොවැම්බර් 13 ඇත්තටම අවාසනාවන්ත දවසක් ද කියලත්. නමුත් අපි ඒවාට සැලෙන්නේ නැහැනේ. 

මගේ යහළුවෝ පිරිසක් එහෙම සැලෙන්න ඉඩ දුන්නෙත් නැහැ.සෝවියට් දේශයේ කීව්  නගරයේ  උගත් සරෝජ් ගේ ළඟම ඥාතියෙකු ගේ පවුලේ ප්‍රශ්නයක් වුනත් ඔහු පැමිණියේ ගයානිගේ මාළු ව්‍යන්ජනයත් අරගෙන. සරෝජ රැගෙන  ආවේ නන්දන සහ යමුනා. මොකද  සරෝජ ගේ වහනය ඒ වෙලාවේ වෙන කාර්යයක. යමුනා, ඉනෙස් සහ රෝහිත සමග ශාලාවේ උෂ්ණත්ව පාලනය, ලයිට් සෙටින් ආදිය භාර ගත්ත. මේ ශීතල කාලෙනේ. මගේ දයාබර බිරිඳ ඉනෙස් තමා කෑම බිම තිබුණු මේසය සකස් කළේ මට අනිත් වැඩ කරන්න ඉඩ දීල. එයාට  උදව් වුනේ ශීලා. ශීලා බටහිර ලන්ඩනයේ ඉඳල දුම්රියේ එන ගමන්ම පරිප්පු එකක් හදාගෙන ආව, මම සම්බෝලේ හැදුව. ඔන්න ඒ දෙකම තිබුන හරිද? ඇත්තම කියනවා නම් ඉනෙස් නැතිව මට මේ මුකුත් කර ගන්න වෙන්නේ නැහැ. කීව් වලම උගත් කුමාර,එහෙම ඉගෙන ගත්ත රෝහිත, බන්දුල සහ ධම්මික සමග ආවහම මට හිතුනේ මේක "කීව් සන්ධ්‍යාවක්" වේවි කියල. එහෙම වුනේ නැහැ අපි මොස්කව් වලම නතර වුනා. ලැප්ටොප් එක ප්‍රොජෙක්ටරයක දාගෙන සෙට් කරන එකේ ඉඳල වීඩියෝ එකත් කරුණාවෙන් කරල දුන්නේ කුමාර.    

  ඉනෙස් සහ ශීලා තමයි පුටු පේලියට තියන්න පටන් ගත්තේ. පස්සේ හැමෝම  තමන්ගේ පුටුත් ඇදගෙන වාඩි වුනා. ඒ කෙසේ වෙතත් සම්ප්‍රදායට ගරු කරලා විනාඩි හතළිහක් විතර ප්‍රමාද කරලා,  මම ඉවෙන්ට් පටන් ගන්න කියල සරෝජ් ට කීව. සරෝජ් තමන්ගේ සුපුරුදු ශෛලියෙන් වැඩේ හොඳට කරගෙන ගියා. ආයේ දෝෂයක් කියන්න බැරිවෙන්නම. මොස්කව් මිත්‍රත්ව විශ්ව විද්‍යාලයේ හෙවත් ප්‍රසිද්ධ ලුමුම්බා එකේ උගත් මිතුරු අතුල පැමිණියේ හොඳ ප්‍රංශ ෂැම්පේන් බෝතලේකුත් අරගෙන, පැය ගාණක් මග ගෙවාගෙන වොල්වර්හැම්ප්ටන් ඉඳන්.(මේකේ සෝවියට් ෂැම්පේන් වගේම මිහිරි රසයක් තියනවා. අපි ඉතින් ඔරිජිනල් හැටියට සළකන්නේ ජිවිතේ පළමු වතාවට බීපු සෝවියට් ෂැම්පේන් එකනේ). ඊළඟට ඈත ඉඳන් ආවේ බ්‍රෙන්ට්වුඩ් ඉඳන් ආපු සුබෝධ. සුබෝධව දැක්කේ අවුරුදු  ගාණකට පස්සේ වගෙයි මතක. දෙන්නම උගත්තේ සෝවියට් දේශයේ. දැන් එන් එච් එස් එකේ වැඩ. අතුල පොතේ පිටුවක් කියවන්න පටන් ගත්තේ වටිනා  මතකයන් රැසක් අවදි කරමින්. මෙහෙම වැඩකදී අනිවාර්යෙන්ම එන අකාලයේ අප අතරින් සමුගත් සොඳුරු මිතුරෙකුගේ අඩුවත් අපට දැනුන කීවොත් නිවැරදියි. 

මොස්කව්  රාජ්‍ය විශ්ව විද්‍යාලයේ උගත් ආශා, පේරාදෙණියේ නිෂ්පාදනයක් වන විපුලි සහ ප්‍රසිද්ධ බ්ලොග් මිතුරෙකු වන මාකස් ඉන්පසු විටින්  විට පොතේ පරිච්ඡේද කියවමින් සහභාගී වුනා පමණක් නොවෙයි. ආශා තමන්ගේ මතකයන් කියන අතරේ විපුලි ඇගේ සෝවියට් පොත් කියැවීමේ ලැදියාවත්  මතක් කළා. මාකස් ගේ කතාවේ විශේෂත්වය වුනේ ඔහු සෝවියට් දේශයට කිසිම සම්බන්ධයක් නොමැති වීමත් රුසියාවට කිසිම සම්බන්ධයක් නොවීමත් තුල. එනිසා ඔහුගේ ගැඹුරු විශ්ලේෂණය සිතන්නට යමක් ඉතිරි කරා. 

ප්‍රවීණ නාට්‍යවේදී විජිත ගුණරත්න ස්වීඩනයේ සිට සාකච්චාවට සහභාගී වුනේ පොත  ලියන විට ඔහු මාහට දුන් උපදෙස් ද මතක් කරමින්. ඔහුට සහයට නුවන් ජේ ද අදහස් පළ කළා , සරෝජ් සහ අතුල සමග. එතන බිහි වුනේ සජීවී සංවාදයක්.       

අයුමිණි කියන්නේ මගේ දියණියන්  සමග මගෙන් භෞතික විද්‍යාව අමතරව උගත් දියණියක්. ඉංජිනේරු සිසුවියක් වන ඇගේ සංගීතය පිලිබඳ දැනුම අතිමහත්. ඇගේ සංගීතඥ පියතුමන් වන නිස්සංක වික්‍රමරත්න සමග  ඔවුන්ගේ මධුර හඬින් සභාව ප්‍රමෝදවත් කළා. නිස්සංක ගේ පිය බිරිඳ ඉන්දු තමයි සින්දු  පුරුදු වෙනකොට තේ සහ කැවිලි සපයමින් අපිව දිරිමත් කළේ.  ඩිලානි එන්න බැරි වුනත් රස නහර පිනවන බුරියානි එකක් හදල දුන්න. ආශා බුරියානි  එක්ක  කන්න හදන රසවත් රයිටා  එකක් ගෙනාව . ඉනෙස් හොඳටම හොඳ සලාදයක්  හදල තිබුන. මේ හැමෝටම ස්තූති වෙන්න සන්ධ්‍යාව ප්‍රබෝධමත් ජයග්‍රහණයක් වුනා. 

සෝවියට් සම්ප්‍රදාය අනුවම සන්ධ්‍යාව ඉවර වුනේ අතුල ගෙනාපු ෂැම්පේන් එකෙන් සහ මගේ රුසියානුමිතුරකු  වන ලියෝනිඩ් ප්‍රදානය කල බෙලුගා වොඩ්කා එකෙන් (බෙළුගා කියන්නේ රුසියාවේ මිල අධිකම  මාළු බිත්තර ගන්න  මත්ස්‍ය ජාතියක් -බෙළුගා කැවියාර්). ඒක හුඟක් මෘදු ලෙස දිවට දැනෙන ප්‍රණීත රසයක් දෙන එකක් නිසා ඇරපු හැටියේම වගේ ඉවර වුනාද කොහෙද?😉 අන්තිමට අපි කට්ටියක් අපේ නිවසේ  එක්රැස් වුනේ සම්ප්‍රදායික විධිහට වැඩේ නිම කිරීමේ සහ කෝපි බීමේ පාටියට. බන්දුල සැපයූ  කියුබාවෙන් ගෙනා හවානා සිගාර් නිසා ඒකත් රසවත් වුනා, වැඩේ වැඩියත්ම රසවත් වුනු හේතුව යටම තිබෙන පින්තුරයකින් පෙනේවි. 

පැමිණි හැමෝටම ස්තූතියි, සුභ පැතූ හැමෝටමත් ස්තූතියි. සිය පවුල සහ යහළුවන් ඇති තැන තව දෙයක් කුමටද? 

 කතාව අවසන් කරන්නම් තව කරුණක් එක්ක. මේක බ්ලොගයක ප්‍රතිචාරයකට දාපු ජපානය පිලිබඳ යූටියුබ් වීඩියෝවක් ගැන. එහි සමහර තරුණ වැසියන් ගේ තනිකම ගැන. ඔවුන් සයිබර් කැෆේ වල ඉතා කුඩා කාමර වල දවස පුරාම ගත කරමින් එහිම නිදාගන්නවා. ජිවිතයේ සන්තකව තියෙන වස්තුව අඩුයි. ලොකු ගෙවල් නැහැ. ඉතාම සරල ජිවිතයක් කියල හිතෙන්න පුළුවන්. නමුත් ඔවුන් දරුණු තනිකමකින් පීඩා විඳිනවා. මේ තියෙන්නේ ඒ වීඩියෝ එක. අපි අවුරුදු  ගණන් දියුණු ධනවාදී රටවල ජිවත් වුනත් මේ රටවල සැප පහසුව මැද සමහර තනිකමේ ගෙවන ජිවිත හුඟක් තිබෙනවා. අපි ඒක සෝවියට් දේශයේ දැක්කේ නැහැ. පාලනය කෙතරම් සීමා තිබුණු එකක් වුනත් මිනිසුන් සාමූහිකවමුණ ගැහුණා. (තම තමන්ගේ නිවෙස් වල ජිවත්වුනත් එළියේ දී  එක්වී වැඩ කරන ගතියක් තිබුන)  වනයේ ඇවිදින්න  ගිහින් ගිනිමැල ගහගෙන වරු ගණන් කවිවල සිට නවකතා,  චිත්‍රපට සහ විහිළු කතා දක්වා කතා කරමින් කාලය ගත කිරීමේ  පුරුද්දක් තිබුන.අපි කැමති වෙන්න ඇත්තේ එකට වෙන්න  ඕනේ.     

ප.ලි.  අතුල කතා කරනවිට  රසවත් කරුණක් ද  මතක් කලා.  මා හා අතුල මුල් වරට මුණගැසුන අවස්ථාව. ඒ දවස් වල ක්‍රීඩා ලේකම් අප දෙදෙනාගේම යහළුවකු  වන සුදත් කියල සිසුවෙක්. එතකොට රාජ්‍ය  විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය සංගමයේ ලේකම් මම. අපි කතා කරලා සංවිධානය කළා ක්‍රිකට් මැච් එකක් ලුමුම්බා විශ්ව විද්‍යාලය සමග. එදා තමා අපි කට්ටිය මුල් වරට හොඳින් හඳුනා ගත්තේ. අපි, රාජ්‍ය  විශ්ව විද්‍යාලයීය කණ්ඩායම  පැරදුනා කියල අතුල කියනව. අතුලට අමතක වුනු කරුණ තමයි ඊට පස්සේ ගහපු  හැම මැච් එකමත් අපි පැරදුනා කියල, මොකද ලුමුම්බා කණ්ඩායම ගෙනාවේ ලංකාවේ පළමු පෙළ ක්‍රීඩා කරපු ලොකු කාලතුවක්කු.

මුල් පොස්ටුව.- පොතට තිත තැබීම 










Ajith 

35 comments:

  1. මදැයි. අජිත් මහත්තයෝ comment එකක් ලියන්න 'හිත ඉඩ දෙන්නෙම නෑ'. හිත කියනවා ඔයාගේ කලින් පෝස්ටුවට ලියපු කවිය මේකටයි වඩාත් ඔබින්නේ කියලා. මෙන්න ඒකම!

    පහසු නැත මිදෙන්නට
    අතීතෙන් කෙනෙකුහට
    හැරෙව්වත් කොයි අතට
    මතු වෙනවනේ යසට!

    ReplyDelete
    Replies
    1. නැහැ නිදි ඔබ වැරදිය
      අතීතෙන් හොඳටම
      මිදුණු කෙනෙකුටය
      ඒ ගැන ලියන්නට හැක්කේ

      Delete
  2. සබ්බ පාපස්‌ස අකරණං
    කුසලස්‌ස උපසම්පදා
    සචිත්ත පරියොදපනං
    ඒතං බුද්ධානසාසනං

    සියලු දෙනාටම තෙරුවන් සරණයි.

    ReplyDelete
    Replies
    1. ඔයාටත් සමන්ත භද්‍ර බුදුන් ගේ සරණයි

      Delete
  3. //අපි අවුරුදු ගණන් දියුණු ධනවාදී රටවල ජිවත් වුනත් මේ රටවල සැප පහසුව මැද සමහර තනිකමේ ගෙවන ජිවිත හුඟක් තිබෙනවා. අපි ඒක සෝවියට් දේශයේ දැක්කේ නැහැ. පාලනය කෙතරම් සීමා තිබුණු එකක් වුනත් මිනිසුන් සාමූහිකවමුණ ගැහුණා.//

    අජිත් ඔය සංසන්දනය කරන අවස්ථා දෙකේ තැන් වල වෙනසට අමතරව අවුරුදු 35ක පමණ කාලයේ වෙනසක් තිබෙනවා නේද? සමහර විට එම කාලයේ එංගලන්තයේම ජීවත් වූ අයෙකු වුවත් වසර 35ක වෙනස ගැන ඔය වගේ කතාවක් කියයි නේද?

    ReplyDelete
    Replies
    1. එම කාලයේ එංගලන්තයේ ජීවිතය ගැන හුඟක් හොයන්න් පුළුවන් කෙටි කතා නවකතා ආදිය වලින්. එකොනො අමතක අකරණ කරුණක් තමයි මම 1984 සෝවියට් දේශයට ගියාට 1985 එංගලන්තයට පැමිණි බව. ඉන්පසු හැම අවුරුද්දකම ආව. එනිසා ඒ කාලේ එංගලන්තේ ගැන අවබෝධයක් තියනවා. මේ වගේම තමයි. මට සංසන්දනය අක්රනන් පුළුවන්. මෙහෙ ටැමිල් ප්‍රදේශ, පකිස්තාන් ප්‍රදේශ, ජමෙයිකන් ප්‍රදේශ හැදුනෙත් ඒ නිසාය කියා තමා මට හිතෙන්නේ. මම මේ සෝවියට් දේශයේ වරදවල් සුද්ධ අක්රන්න් හදනව නෙමෙයි.

      Delete
  4. අජිත් බුරා දාපු වීඩියෝව ගැන සඳහන් කල එක හොඳයි. මට පෙනුන විදිහට ලෝටස් සහ බුරා දෙන්නම, ඒ ගැන සාකච්චාවක් බලා පොරොත්තු වෙනවා. මෙතන තමයි ඒකට ගැලපෙන තැන. ප්‍රතිචාර අනුව, සාකච්චාවට සහභාගි වෙන්නම්. මෙන්න ඒතෙක් මගේ සත දෙක:

    ඔබ ඒ කිව්ව, අපූරු "සමාජ ජීවිතේ" රුසියානු සංස්කෘතිය හරහා ආ එකක් වෙන්න ඉඩ තියනවා. එකට වැඩ කිරීම, රුසියානු දේශපාලන හරහා ආ දෙයක් වෙන්න ඇති, ලෝකයේ නොයෙක් දෙසින් ඇවිත් ඊශ්‍රායලයේ පදිංචි වූ යුදෙව්වන් අතරින්, රුසියන් යුදෙව්වෝ "communal living"වලට කැමැත්තෙක් දක්වන බව, එහේ ඉඳන් බ්ලොග් එකක් ලියපු අපුර්වී ඔමායා (ඔමාගේ හීන) වරක් කිව්වා. දැන් ඒ බ්ලොග් එක නෑ.

    ReplyDelete
    Replies
    1. පැහැදිවම, එදා ඔබ දැක්ක රුසියාව අද නැතුව ඇති. තාක්ෂණික, දේශපාලන වෙනස්කම් සංස්කෘතිය වෙනස් කරනවා. ඒත් එහෙමයි කියලා, සමාජයක "core values" සම්පූර්ණයෙන්ම මැකිලා යන්නෙ නෑ. ඒත් තදින් බැඳිච්ච සමාජ-සබඳතා කියන්නෙ, දෙපැත්ත කැපෙන ආයුධයක් කියලයි මට හිතෙන්නෙ. වාසි වගේම, අනුන්ගෙ සීනි කිරිල්ල, ඕපදූප හෙවිල්ල වගේ "අතුරු ආබාධ" ත්, ඒ එක්කම එන්න ඉඩ තියෙනවා.

      Delete
    2. // ඔබ ඒ කිව්ව, අපූරු "සමාජ ජීවිතේ" රුසියානු සංස්කෘතිය හරහා ආ එකක් වෙන්න ඉඩ තියනවා. එකට වැඩ කිරීම, රුසියානු දේශපාලන හරහා ආ දෙයක් වෙන්න ඇති //

      මෙවැනිම සමාජ ජීවිතයක් අතීත ලාංකීය සමාජයෙත් තිබුනා නේ ද? අත්තම් ක්‍රමයට කුඹූරු වැඩ කරගැනීම, ගෙදර වහලට අලුතෙන් පොල්අතු හෙවිලි කරගැනීම, ගෑනු එකතුවෙලා දර කඩන්න කැලයට යෑම මේවා සමාජ ජීවිතයේ කොටසක් ඒ කාලෙ.

      Delete
    3. @බස්සා රුසියන් යුදෙව්වන් වැඩි හරියක් තමයි රුසියානු විප්ලව දෙකේම (1917 පෙබරවාරි සහ නොවැම්බර්) නායකයෝ. පස්ස එස්ටලින් ඔවුන් වැඩි හරියක් මරල දැම්ම නේ. ඔවුන් ගේ ඒ සාමුහික හැඟීම ඒ කාලයේ ඉඳන්ම තිබ්බ කියලයි මම හිතන්නේ. ඔමායා ගේ ලිපිය මමත් කියෙව්වා. ඒක ඊට කලිනුත් මම දැන සිටි කරණක්. කිබුට්ස් ගැන. සෝවියට් දේශයේ තනිකම දැනුනා අඩුයි . අපිඅ අවදි හරියකට. මම මිනිසුන් ගේ එකතුව දැක්ක. මේක නැතිවම බැරි දෙයක්. බ්‍රිතාන්යයයේ පබ් කල්චර් එක හැදිලා තියෙන්නෙත් ඒක නිසා. නමුත් වියදම වැඩියි රවුම් අරන් දෙන්න ගියහම. ඒක නිශ අනොබෝන් මිනිස්සු එනවා අඩුයි. රුසියාවේ මේක අඩු වියදමින් එකතු වෙන්න විධිහට හදල තියෙන්නේ.

      Delete
    4. @බස්සා "පැහැදිවම, එදා ඔබ දැක්ක රුසියාව අද නැතුව ඇති"- අපිත් එහෙම හිතුව. මගේ බිරිඳ මේකට ඊයේ හොඳ පිළිතුරක් දුන්න. එයා නැගනහිර ජර්මනියේ ඉපදුනාට වෝල් එක කැඩුනට පස්සේ තරුණ කාලෙම විස්ස වෙන්න කලින් බටහිරට පැන්න කෙනෙක්. සමාජවාදය අප්පිරියයි. ඔය කියන සාමුහික හොඳ ගතිය නොතිබ්බ , ඕපා දූප , ඔත්තු සේවා තදින් ක්‍රියාත්මක වුන නිසා. මම එයත් එක්ක නිතර වාද කල කරුණක් තමයි නැගෙනහිර ජර්මනිය බටහිරට ළඟ නිසා ඔවුන්ට අවාසනාවට වගේ නිදහස් වැඩියෙන් අහිමි වුන බව. එයා 2016 රුසියාවට ගිහින් ආපු එක මතක් කරලා කීවේ එයා හිතුවේ නැටි විධිහට මිනිස්සු එකතුයි. තරුණියක් අපිව පාරේදී දැකල සුට්කේස් අදින්න උදව් කරලා අපේ කාමරේත් හොයල දුන්න. කිසි හේතුවක් නැතිව. අපිඅ හිතුනේ ඔත්තු සේවයක කියල. අනේ නැහැ. කෞතුකාගාරයක වැඩ කරන බටහිරටත් ආව කෙනෙක්. ඊට පස්සේ එයාගේ කැමැත්තෙන්ම නගරය පෙන්වන්න පහුවදා ආව.
      දෙවෙනි එක තමයි සෙන්ට් පිටර්ස්බර්ග් නගරයේ සංස්කෘතික ජීවිතය එහමම රැකිලා. නාට්‍ය පෙන්වීම, පාරේ ගයක ගායිකාවෝ සින්දු කියන එක. ක්ලැසිකල් මියුසික් කරන අයට ජර්මනියේ වගේම තවම රජයෙන් ගෙවන එක, එංගලන්තේ තමන්ගේ වියදමින් ගෙවාගෙන ඇවිල්ල මිනිසුන්ට සංගීතය සපයල යන අය ඉන්නේ. අනික සාමාන්‍ය මිනිසුන්ට ලංවෙන්න බැරි තරම් ගණන් එංගලන්තේ. මගේ බිරිඳ ඇත්තටම පුදුම වුනා. මම කීව එයාට සෝවියට් දේශයේ තත්වය ඊට හොඳයි කියල. මේක ධනවාදී රටවල නැහැ. ජපානයට වෙලා තියෙන්නේ ඒක.

      Delete
    5. @බුරා ඒක හරි. ඒ සමාජ ජීවිතය අනුන්ට අපහසුවක් වෙන්නේ නෙතිවෙන්න හදා ගන්න එක තමා කාරිය

      Delete
  5. මඟ දිගට යාපනේ, ලස්සන පෝස්ට් එකක් දාලා.
    https://magadhigatayapane.blogspot.com/2021/11/4.html

    ReplyDelete
  6. බැසිල්ගෙ අයවැය කතාව වගේමයි මෙ කතාවත්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඒ වගේ මොළ හතේ කත්වකට සම කෙරුවට

      Delete
  7. සියල්ල හොද විදිහට සිද්ධ වෙන්න ඇති කියල හිතෙනවා. ඒ වගේම මේ මතක අජිත්ගේ ඊලග පොතට දිරිය දේවි. සුබ පැතුම්.

    ReplyDelete
    Replies
    1. පොඩි ප්‍රශ්න තිබ්බ යහළුවන් ට ඒමට අපහසු වුනු. හදිසියේ ලෙඩ වීම වගේ. අපි මේ ඉන්න කාලයේ හැටි තමා. ස්තූතියි අනුරුද්ධ

      Delete
  8. 13 අගුණයි. ඇපලෝ 13 මතකනේ.

    කෝම හරි කමක් නෑ වැඩේ කෙරුවා නෙවග චියරස්

    ReplyDelete
    Replies
    1. ඇත්තටම දැන් හිතිගෙන යන්නේ. එන්නම් වගේ හිටිපු යහළුවෝ දෙන්නෙක් එයාලගේ පියා අසනීප වෙලා එදාම ලංකාවට ගිය. එන්නම හිටපු තවත් යහළුවෙකුගේ පිය බිරිඳගේ ඝතියකු ඊට කලින් දවසේ ජිවිතේට ආයුබෝවන් කියල. ප්‍රධාන දේශකයෙක් ගේ බිරිඳගේ මව වැටිලා බ්‍රහස්පතින්ද. තව යාළුවෙක් - කෑම වගයක් හදාගෙන ලෙහෙස්ති වෙලා හිටි කෙනෙක් පවුලේ ඔක්කොම අසනීප වෙලා. තව සංවිධානයක් එදාම පොතක් ගැන සාකච්ඡාවක් දාල. මට ඔහොම වුනාමයි. ඒකෙන් 12-14 විතර මග හැරුන, ඒත් වැඩේ වුනා , ස්තූතියි

      Delete
  9. ඔබගේ පෝස්ටුවට අපගේ සින්ඩියේ "බ්ලොග් සඟරා" යටතේ ඉඩක් වෙන් කොට ඇති බව සතුටින් දැනුම් දෙන්නෙමු! අපගේ සින්ඩියට ඉහල ප්‍රථිචාරයක් හා ප්‍රචාරයක් ලබා දීමට මැළි නොවන්න!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි . ඔබේ සින්ඩිය මගේ බ්ලොගයේ දකුණු අත පැත්තේ ඇත

      Delete
  10. ප්‍රශ්න පත්‍රය...

    බෙලූගා කියන්නෙ තල්මසෙක් නේද?
    සරෝජ් කිව්වෙ බීබීසියෙ සරෝජ් පතිරණ ද?

    ReplyDelete
    Replies
    1. බෙලුගා කියල සුදු තල්මසෙක් සිටිනවා. මේ බෙලුගා ස්ටර්ජන් මාළුවාගේ බිත්තර. සෑහෙන්න ගණන්. ඒ වගේම රසයි ඉතින්.

      Delete
  11. ඒක මාර වින්දනාත්මක එකතුවක් නේ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි , ලංකාවෙත් මොකක් හරි කරමු. ඔය සාමුහික දේවල් වලට මම හරිම කැමැතියි

      Delete
  12. Replies
    1. යහළුවෝ ඉන්න තැන පාළු නැහැ

      Delete
  13. එය ඉතා මනරම් සැන්දෑවක් අජිත්, මටත් ආරාධනා කලාට ස්තුතියි. මම මේ ගැන නොබෝ දිනකින්ම ලියන්න. ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. පැමිණියාට ස්තූතියි මාකස්

      Delete
  14. මම දැක්කා , ස්තූතියි . සින්ඩිය මගේ බ්ලොග් එකේ දාල තියෙන්නේ

    ReplyDelete
  15. මම හැමදමත්; හැම තැනකමත් කියන කියවන; සුප්‍රශිද්ධ චීන ප්‍රස්ථව පිරුළෙන්ම කථාව පටන් ගනිමු.
    "මිනිහෙකු සම්පූර්ණ වීමට; ගසක් වවන්න! පුතෙක් හදන්න!! පොතක් ලියන්න!!!" සත්තකින්ම එය මාගේත් එක සිහිනයක්! මගේ බකට් ලිස්ට් එකේ තියෙන එක තුන්ඩුවක්! ඒ නිසාම දන්නා කියන කවුරුණ්හෝ පොතක් ලියා එළි දක්වනවා කිව්වාම ඒකට සහභාගී වෙන්න උපරිම උත්සාහයක් යොදනවා. ඒ නැතත් හෘදයාංගවම සතුටු වෙනවා ගෙදර ඉඳන් හරි! ඒකෙ විලෝමයත් එහෙමයි. ඒ කියන්නේ යාලුවෙක් පොතක් ලියනවා නම් සතුටු වෙනවා වගේම නොදන්න එකෙක් පොතක් ලිව්වාම සතුටු වෙන්න ඕන නිසා ඌත් එක්ක යාළු වෙනවා! පිස්සු නේ!?
    හැබැයි කථාවේ හොඳම ටික ඒක නෙවේ. මිතුරා වෙනුවෙන් සතුටු වෙනවා වගේම "අනේ මට තාම බැරි උනානේ!?" කියලා හිත හඬා වැටෙනවා. බලමු මැරෙණ්නට කලින් !
    කොහොමත් මිතුරු හමු කියන්නේම ජීවිතේ "ඔක්සයිඩ්" ඉවත් කරණ "බ්‍රාසෝ" කියලයි මටනම් හිතෙන්නේ. ඒ වගෙම තමයි මධු විත හා සංගීතය කියන දෙකත්.
    කරුමෙකට ඔබගේ පොත කොළඹදී එළිදක්වන අවස්ථාවට පැමිණි මට හවස් වෙන තුරු ඉන්නට බැරි උනා නොවැ! බලමු ඊළඟ පොතේදි වත්!
    ඔබගේ "කැවිය" ගැන මට මතකයි "ටයිටනික්" ෆිල්ම් එකේදිත් එක වරක් කියැවෙනවා. අපිට ලන්ඩන් හංදියට එන්නට බැරි උනත් ඔබගේ ලියමන අපව මොහොතකට එතැන රැඳෙව්වා!

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ මගේ බකට් ලිස්ට් එක සම්පූර්ණ නැහැ. පුතෙක් හැදුවේ නැහැනේ. ඊලඟ පොතක් එයිඩ් අකියල නම් දන්නේ නැහැ, ආවත් ඔය වගේ උත්සව තියයි කියල හිතන්න අමාරුයි. ප්‍රකාශකයෝ කරන්න ඕනේ වදනේ අපි කරන්නේ නේද. හැබැයි ඔයා පොතක් ලියන්න. ලියන්න පුළුවන් කෙනෙක් ඒක කරන්න ඕනේ . ඊබුක් එකක් ලීවට අර ගැම්ම එන්නේ නැහැ. .

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .