මම ආගමික නොවන කෙනෙක්. නිරාගමිකද කියන්න දන්නේ නැහැ මොකද මම මොන දහමකට වත් ඇලෙන්නේ නැතිව ඉන්න හදන කෙනෙක් නිසා. දෙවියන් නොඇදහීම හා ආගමික නොවීම සෝවියට් දේශයට යන්න කලින්ම දහයේ පන්තියේ ඉඳන් වගේ තිබුන අදහසක්. එනිසා ඒ මතවාදය සමග සම්බන්ධයක් නැහැ.
හැබැයි මම පුරාණ විහාර වලට යන්න තවමත් කැමැතියි. ඒ දවස් වල හුණුපිටියේ ගංගාරාමය හරිම චාම් නිදහස් නිහඬ තැනක්. බෝ මළුවේ ඇවිදින්න නැත්නම් සීමා මාලකය වටේ පෝය දවසට නිහඬව ඇවිදින්න මම හරි කැමතියි. ඒ කාලේ දැන් වගේ පැය දහ හතරක්ම ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරපු විහාර තිබ්බේ නැහැ.
සෝවියට් දේශයේදී මගේ යහළුවකු හා ක්‍රිස්තියානි ආගමිකයකු වන මැක්සිම් සමගත් තවත් යෙහෙළියක වන ලූදා සමගත් පල්ලි වලට ගිහින් තිබෙනවා. ගිහින් ඉටිපන්දම පත්තු කරලා ඒ ගොල්ලෝ වැඳලා එනකන් පැත්තකට වෙලා ඉන්නවා. ඒ පල්ලිවල රැකගෙන තිබුන පුරාණ කුරුස, වෙනත් ඇදහිලි කරුවන්ගේ භාණ්ඩ බලන්න මම කැමතියි. මගේ ජර්මන් බිරිඳ හමුවුන දවස් වලත් අපි ප්‍රොතෙස්තන්ත හා කතෝලික පල්ලිවලට ගියා, එයා පන්සලටත් ආව.
නත්තල සමරන්න එයා හැම වෙලේම නත්තල් ගහක් හැදුව. මට තේරුණා එයා ඒක කරන්නේ අපි අවුරුද්ද සමරනවා වගේ කියල. එයාගේ මව්පියන්නුත් ඒ දේම කරනවා. නැගෙනහිර ජර්මනිය අදේවවාදික කියල අපි හිතන් හිටියත් ඔවුන් ඒ කාලෙත් ඒවා කරලා තිබෙනවා. ඒක උරුමයෙන් ඇවිත් තියෙන්නේ. එයාට මතකයි සීයල ආච්චිලා කරපු හැම දෙයක්ම වගේ. ඉතින් ජර්මනියේ වගේ චාරිත්‍ර මෙහෙත් කරනවා. ජේසු බිළිඳු උපන් විධිහ සමරන නාට්‍ය වලට දුවල දෙන්න පොඩි කාලේ සහභාගී වුනා. බිරිඳත් ඒ සිදුවීම සමරන්න පොඩි ගව ලෙනක් හදනව.
එයාගේ හිතට ඒක සමීප නිසා මමත් නත්තල එයා සමග සමරන්න ගත්ත. දූලා දෙන්න ලැබුනම නත්තල ඊටත් වඩා වර්ණවත් වුනා. මොකද අපි හැමවෙලේම නත්තලට ජර්මනියට ගිය නිසා. ජර්මන් නත්තල් මාකට් හරිම විසිතුරු තැන්. හරියට ලංකාවේ වෙසක් බලන්න යනවා වගේ. ඒවායේ නොයෙකුත් කෑම ජාති තිබෙනවා. මම කැමතිම බ්‍රට්වර්ස්ට් කියන ගින්නේ පළහා දෙන සොසේජය කන්න. තුරින්ගියා ප්‍රදේශයේ හදන එක තමා රහම. ඊට අමතරව නොයෙකුත් කුළුබඩු වර්ග , පලතුරු යුෂ සහ රතු වයින් දමල හදන මුල්ට් වයින් (මල්ඩ් වයින් mulled wine ) කියන උණු බීමක් පානය කරනවා. ඒකෙන් සීතල මග හැරෙනවා.
නත්තලට කලින් කිසියම් අපහසුතා ඇති පවුලකට, ළමයෙකුට හෝ වැඩිහිටි කෙනෙකුට උදව්වක් ආධාරයක් කරන එකත් සිරිතක්. මම ඒ ගැන විස්තර ලියන්න යන්නේ නැහැ. නිහඬව කරන දෙයක් නිසා.
නත්තල් පටන් ගන්න කාලෙක ලෝභ මිනිසෙකු ගැන (scrooge) හෝ අළු කෙල්ල (සින්ඩරෙල්ල වගේ කතාවක්), නට් ක්‍රැකර් වගේ නාට්‍යයක් හෝ ඔපෙරාවක් බලන්න යන එකත් සිරිතක්. අවුරුදු තුනකට පස්සේ අපිත් ගියා ලන්ඩන් වල ඔල්ඩ්විච් නෘත්‍ය ශාලාවේ ටීනා ටර්නර් ගැන තියෙන සංගීත නාටකය බලන්න. උත්සව සමය ජර්මනියේ පවුල් පටන් ගන්නේ ඒවගේ දේවලින් . නගරයේ නත්තල් සැරසිලි බලන්න ඊට පස්සේ යනව. අපිත් ගිය කවෙන්ට් ගාඩ්න් කියන මැද ලන්ඩනයේ ප්‍රදේශයකට.
දෙසැම්බර් 24 ක්‍රිස්මස් දවසට කලින් දවසේ පවුලේ ඔක්කොම එකතු වෙනවා. එදාට පවුලේ අය විතරයි රෑ කෑමට එකතු වෙන්නේ. රාත්‍රී කෑමට මාළු වලින් හදන යමක්. ඉනෙස් ගේ මව මගේ දුවලගේ තරුණ මිත්තනිය (එයා මට මහලුයි කියල හිතෙන්නේ නැහැ) කෑම මේසය හදනවා ඒ දෙන්න එක්ක. මාළු කෑම, ඒක ජේසුස් වහන්සේ සම්බන්ධ දෙයක් නිසා කියා මම හිතන්නේ. ඔහුගේ ධිවරයන් සමග සම්බන්ධය හෝ ඔහු උපන් දවස නිසා එදාට මස් කන්නේ නැහැ. මම හරි හේතුවක් දන්නේ නැහැ. කෑමෙන් පස්සේ නත්තල් සීයා එනව රෑට තෑගී අරන් . දුවල ටිකක් ලොකු වෙනකොට දැනගත්ත එයාලගේ ජර්මන් මාම තමා එහෙම ඇඳගෙන එන්නේ කියල. එයාලා දැනගත්තත් ඒක පෙන්නුවේ නැහැ. මගෙන් හොරෙන් ඇහුව. මමත් කීව ඔව් ඒ වුනාට ඒක ප්‍රසිද්ධියේ කියන්න ඕනේ නැහැ කියල. දැන් ඒ වෙනුවට තෑගී ඔක්කොම ක්‍රිස්මස් ගහ පාමුල තබනවා. වඩා හවස් වෙනකොට පොඩි පොඩි නොයෙකුත් රහ තියෙන මත්පැන් ලිකුඅර් liquor වර්ග හා කෝපි බොමින් ගිය අවුරුද්දේ සිදුවූ සිදුවීම්, හිනා යන දේ, කළ වැරදි තීරණ ගැන කතාකරනවා.
මේ කාලෙට කන්න විශේෂ කේක් එකකුත් හදනවා. ඒකට කියන්නේ ස්ටොලන් කේක් කියල. ටිකක් ලංකාවේ වෙඩින් කේක් වගේ හැබැයි වඩා ළා පාටයි. පලතුරු, වියළි මිදි , ඇල්මන්ඩ් නට්ස් හෙම දාල හදන්නේ. ගොඩක් කල් තබාගෙන කන්න පුළුවන්.
මේ සම්ප්‍රදායන් අපේ අවුරුදු, වෙසක් කාලේ වගේ ආදරණිය දේවල් හැටියට මට හිතෙන්නේ.
කෝවිඩ් නිසා අපට අවුරුදු තුනක්ම ජර්මනි යන්න බැරිවුනා. නමුත් අපි හැකිතාක් මගේ මාමා හා නැන්දගේ චාරිත්‍ර ඒ විධිහටම කරනවා. ඊයේ හවස ඉනෙස් හැදුව ලොකු සැමන් මාළුවෙක්. ලංකාවේ සැමන් මාළු කියන්නේ ටින් මාළු වගයක්. මෙහෙ සැමන් මාළුවා තමයි ගන්නේ.
අපි ජපන්/චීන ආකාරයේ එළවලු දාපු ඩම්ප්ලින් කෑවේ මූලික ආහාරයට. ඊට පස්සේ සැමන් මාළුවා සුදු වයින් සමග. ඊට පස්සේ අතුරු පස. පවුලේ කට්ටියම එකතුවෙලා කතා කර කර ඉඳල සාමාන්‍ය දැනීම ප්‍රශ්න අහන සෙල්ලමක් කළා. එහෙම සෙල්ලම් ජාති කරන එකත් සිරිතක්. අවුරුද්දට පංචි දමනවා වගේ.
අද ක්‍රිස්මස් දවස. අපි හතර දෙනාගේ තෑගි හුවමාරු කරගෙන හිටිය. අපි දෙන්නටම දුවල කැමති පොත් වගයක් දුන්න වෙනත් තෑගි වලට අමතරව. එයාල ඒවා කියවනවා.
ජර්මනියේ ක්‍රිස්මස් දවසේ දවල් කෑමට එංගලන්තේ වගේ කළුකුම් මස්ම ගන්නේ නැහැ. ඒ කාලෙට ජර්මනියේ කැලෑ සතුන් මරන්න අවසර දෙනවා. ඉතින් ගෝන මස්, මුව මස්, වල ඌරු මස් සහ වල් පාත්ත මස් සුලභයි. මාමණ්ඩිය මුළු පවුලම අවන්හලකට නත්තල් දවසේ දවල්ට කෑමට එක්කන් යනව . නැත්නම් නෑදෑ ගෙදරක ගියාමත් අර මස් ජාතිම තමා තමා කන්න දෙන්නේ. එළවලු විතරක් කන කෙනකුට ටිකක් අපහසු කාලයක් මේක.
අපේ නිවසේ අද ඒ වගේම පාත්ත මසක් හැදුව. ඒකට අලවලින් හදන ඩම්ප්ලින් (dumplin) සහ රතු ගෝව අනිවාර්යයි. සෝස් එක හදන්නේ හතු දාල. ඊට නත්තල් කාලෙට අනිවාර්යයෙන්ම කන බ්‍රසල්ස් ස්ප්‍රවුට් කියන බෝල වගේ පොඩි ගෝව ගෙඩි වගේ ජාතියකුත් තියනවා. ඊට පස්සේ නැවතත් කේක් කාල කොපි බොනවා. දැන් කට්ටියම චිත්‍රපටයක් බලනවා. හැබැයි පවුලම එකතු වීම සහ කාලය හොඳින් සතුටින් ගත කිරීම වැදගත්. මගේ බිරිඳ සාමාන්‍යයෙන් පල්ලියට යනවා එදාට.ජර්මනියේ දී නම් අනිවාර්යයෙන්ම මාමයි නැන්දයි එක්කන් යනවා. මෙහෙ නම් අපිට කියල ඒ වගේ පල්ලියක් නැහැ . මුලදී ගියත් දැන් ළමයි දෙන්න වැඩිය යන්න කැමති නැති නිසා ඉනෙස් යන්නෙත් නැහැ. ඒ වෙනුවට නත්තල් ගීත ගෙදර ඉඳන් අහනව.
මේ කාලෙට බැදපු චෙස්ට්නට් ගෙඩි වල මදේ කන එකත් සිරිතක්. ටිකක් බැදපු කොස් ඇට වගේ කියල යාළුවෙක් කීව.
ඕක තමා අපේ නත්තල. අවුරුද්ද වගේම මේකත් මට ආදරණිය දෙයක්.ඒ නිසා මම කොහොමත් නත්තල සමරනව පවුලේ අය එක්ක. ආගමික උත්සවයකට වඩා අපේ පවුලට සම්බන්ධ සංස්කෘතික අංගයක් කියලයි මට හිතෙන්නේ.යහළුවෝ, ක්‍රිස්තියානි නොවන වගේම නත්තල සමරන්නේ නැති බව මට හිතුනොත් මම කියනවා සතුටු නිවාඩුවක් ලැබේවා කියල. අනිත් අයට සුභ නත්තලක් කියල.
මේ කාලය හැමෝටම ඉතා අමාරු කාලයක්. හැම රටක්ම ප්‍රශ්න. අපට නත්තලින් ගන්න පුළුවන් හොඳම පණිවිඩය කියල මට හිතෙන්නේ ඔබේ අසල්වැසියා, සහෝදර සහෝදරියන්, යහළු යෙහෙලියන් සහ අමාරුවෙන් ජිවත්වන හැමෝම ගැන හිතන්න කියල. අපට ඒ අය වෙනුවෙන් යමක් කරන්න පුලුවන්නම් කරන්න කියල.
ඔබ සියල්ලට සුභ නත්තලක් සමග සතුටු හා ප්‍රීතිමත් නිවාඩු සමයක් සමග දුක් කරදර, ලෙඩ රෝග අඩු සතුටුදායක නව වසරක් වේවා.