Tuesday 4 June 2024

අපේ අසල්වැසියා බ්‍රයන් - 1

අපේ අසල්වැසියා බ්‍රයන් - 1
************************************************************
මේ කතාවේ මුල, මම මුලින්ම ලියපු  පොල්කට්ටෙන් එපිටට පොතේ අවසානය. මේක ලියන්නේ පම්පොරියක්ම ගහන්න නෙමෙයි. මේ පසුබිම් කතාව ලියන්නේ නැතිව බ්‍රයන් ගේ කතාවට එන්න බැහැ. අනික මට සමහර වැරදිච්ච තැන්  ගැන දැන් මම උපේක්ෂාවෙන් බලන්න පුරුදු වෙලා ඉන්නේ. ඒකත් පට්ට ආතල් එකක් තමයි. සමහර විට අනිත් අයට ප්‍රයෝජනයක් වෙයි. 

 මගේ පියා මේ  ලෝකය හැර යනකොට මම ලන්ඩන් සවුත්බෑන්ක් විශ්ව විද්‍යාලයේ MSc එකක් කරනවා තොරතුරු තාක්ෂනය පිළිබඳව. ඉතුරු වෙලා තිබ්බේ අවසන් කොටස කරන්න.  අපට  සෝවියට් දේශයේදී  යන්තමට වගේ  ෆොර්ට්‍රන්   කියන මෘදුකාංග භාෂාව උගන්වල තියනව. අපේ තීසිස්  එකට අවශ්‍ය කොටසක් (module)  විධිහට.

ඒ කාලෙම  තාත්ත ගෙන්න ගන්න ඕනේ නිසාම අපි (ඉනෙසුයි මමයි)  ෆ්ලැට් එකක් ගත්ත මොර්ගේජ් කරලා. (ඒ කියන්නේ  නැට්වෙස්ට් බැංකුවෙන් ණයක් අරගෙන). ඒවා ඔක්කොම ලැහැස්තිකරගෙන  යද්දී නිව්මෝනියා හැදිච්ච ලෙඩෙක් තාත්ත හිටපු ඇඳට අල්ලපු ඇඳට ගෙනත් දාල ඒක  හැදිලා තාත්ත අන්තරා වුනා . ඉතින් මම ලංකාවට  ගිහින් ඇවිත් අර MSc එක ඉවර කළා. මගේ සුපර්වයිසර් ලරිසා ෆ්‍රඩ්කින් කියන රුසියානු මහාචාර්ය කෙනෙක්. එයා ඉගෙන ගෙන තියෙන්නේ  ලෙනින්ග්‍රාඩ් පොලිටෙක් එකේ (ශාන්ත පිතර්බුර්ගය). මම පස්සේ තමයි දැන ගත්තේ එයාත් මම වගේම සෝවියට් නිෂ්පාදනයක් කියල. එයා මට හොඳ අවවාදයක් දුන්න. ෆීල්ඩ් එකේ ඉන්න නම් භාවිතා කරණ ඉංග්‍රීසි  වචන ඉගෙන ගන්න කියල. ඒ දවස් වල කොම්පියුටර් වීක්ලි වගේ සඟරා තිබ්බ කියවන්න.

සවුත්බෑන්ක් එකේදී මම ඉගෙන ගත්ත  පාඨමාලාවට ඩේටබේස් (දත්ත ගබඩා කියමු) නිර්මාණය,   සහ C කියන මෘදුකාංග භාෂාව ඉගැන්වුවා. ඒ දවස් වල තිබ්බ එක  ඩේටබේස් සිස්ටම් එකක් තමයි dbase කියන එක. ඒක තමයි ඉගැන්වූවේ. හැබැයි මට තිසිස් එකට කරන්න  තිබ්බේ C ++ කියන භාෂාවෙන් පොඩි ප්‍රෝග්‍රෑම් කෑල්ලක්.  ලරිසා අපට කීව ලියන ප්‍රෝග්‍රෑම් එක ෆ්ලොපි ඩිස්ක් එකකට දාල ලියාපදිංචි ලිපියක් හැටියට තමන්ටම එවා ගන්න කියල. එහෙම තමයි ඒ කාලේ කොපි රයිට් එක තියා ගත්තේ. ඒ ඩිස්ක් එක තවම මං ළඟ තියනවද කොහෙද . මම ඒ කාලේ රස්සාවට  කලේ  පරිගණක අලුත්වැඩියාව ,සහ මෘදුකාංග දාල දෙන වැඩ. ඒකට කම්පැනි එකක් දාගෙන හිටිය චිප්ස් ඇන්ඩ් බයිට්ස් කියල. 

ඒ කාලයේ මම රන්ජිතකුමාරන්  කියල දෙමළ  නීතිඥ කෙනක් ගේ සමාගමක පරිගණක වැඩ වලට උදව් කලා. . මගේ පොඩි කම්පනියේ නෙට්වර්ක් ඉන්ජිනේරුව  හැටියට වැඩ කලේ නුරායි    කොට්සංගි කියන තුර්කි ජාතික යෙහෙළිය. (මීග් ෆේස්බුක් එකේ ඉන්න කෙනා තමයි)  අපි දෙන්නම ඉගෙන ගත්තේ සවුත්බෑන්ක් විශ්ව විද්‍යාලයේ. සමහර සබ්ජෙක්ට් වලට එක ලෙක්චර් වලට ගිහින් තමයි අඳුර ගත්තේ. අදටත් ඉනෙස් සහ මම සමහර වෙලාවට සෙනසුරාදා ඉරිදට ඇවිදින්න යන්නේ එයාල එක්ක. අපි තුර්කි කෑම ජාති හෙම ඉස්සෙල්ලම කන්න පුරුදු වුනෙත්එ යාල නිසා. 

රන්ජිත් ඇන්ඩ් කෝ එකේ මුල්ම පරිගණක නෙට්වර්ක් එක දාල අලුත් වින්ඩොව්ස් සිස්ටම් එකක් දාල දුන්නේ අපි. රන්ජිත් ට ඕනේ වුනා  එයාගේ හැම ක්ලයන්ට් කෙනෙක්ම  ඩේටබේස් එකකට දාගන්න සහ ටයිපිස්ට් ල වගේ එයාගේ ලීගල් සෙකට්‍රිලා ගහන ලියුම් පරිගණක මගින් ප්‍රොසෙස් කරන්න.  

අර කොම්පියුටර් සඟරා ඒ කාලේ එක එක මෘදුකාංග නිකන් දෙනවා. එහෙම  ලැබිල මං ලඟ තිබ්බ ලෝටස් නෝට්ස් කියල ඒ දවස් වල ජනප්‍රිය සිස්ටම් එකක්. ඒකෙ ඩේටබේස් එකක් සහ ලිපි ලියන්න දැන් මයික්‍රොසොෆ්ට් වර්ඩ් වගේ වර්ඩ් ප්‍රොසෙසර් එකක් තිබ්බ. ඉතින් මම කලේ අර ඩේටබේස් එකට රන්ජිත් ගේ කස්ටමර් ල ගේ විස්තර ඇතුලත් කරලා ඒ විස්තර අරගෙන ලිපි ඉබේ ගහන්න පුළුවන් විධිහට සිස්ටම් එකක් හදපු එක. ඒ කියන්නේ ලිපියට අවශ්‍ය දත්ත - නම, ලිපිනය, උපන්දිනය, ලිපියේ හේතුව, රෙෆරන්ස්   වගේ දේ දැම්මම වැඩ කරන අයට ලිපියේ ඉතිරි ටික ලියන්න ලේසියි. හැම  ලිපියකටම ටෙම්ප්ලේට් එකකුත් දැම්ම. එතකොට ඒක අරගෙන අවශ්‍ය ලිපිය සම්පාදනය කරන්න  පුළුවන්.  මේ වගේ සිස්ටම් එකකට කියන්නේ කේස් මැනේජ්මන්ට් සිස්ටම් එකක් කියල. ඒ කියන්නේ නීතිඥ සමාගමකට කෙනෙක් ආවහම එයාට කේස් ෆයිල් එකක් ඇරලා අවශ්‍ය වැඩ ටික කරලා දෙන එක පරිගණක ගත කිරීම. ඒකෙන් වැඩේ ලෙහෙසි වෙනව. රන්ජිත් වැඩිපුරම කලේ ආගමන විගමන වැඩ. ඒ කියන්නේ ඉමිග්‍රේෂන් කේස් . ඊට අමතරව කොන්වෙයන්සින් හෙවත් නිවාස 

හැබැයි මගේ ඔය වැඩේට ඒකෙ හිටිය සෙකට්‍රිලා වැඩිය කැමති වුනේ නැහැ, රස්සාවල් නැති වෙයි කියල බයට වෙන්න ඕනේ. කොහොම හරි ඔය සිස්ටම් එක මම වික්ක තව කම්පැනි එකකට. ඔය දෙකේම වැඩ කරන  ගමන් තවත් සමාගම් හෙව්වා මේක විකුනන්න. හැබැයි මගේ මාකටින් අන්තිම සවුත්තුයි. මට ඔය වැඩේ තේරෙන්නම නැහැ. අනික මම කරන වැඩ වලට  ගන්න ගානත් මදි කියල මට පස්සේ තමා තේරුනේ. 

අපේ දුවලට පොඩි කාලේ ඉඳන්ම එංගලන්තේ ව්‍යවසායකත්වය ගැන උගන්වනව. ලොකු දුව ශනායා  එයා අඳින චිත්‍ර අඩු ගණන්වලට විකුනන්නේ නැහැ. අපේ ගෙවල් ළඟ දෙමළ  පවුලකට එයාලගේ සීයා ගේ පින්තූරයක්   අන්ද ගන්න ඕනේ වුන දුවට  කියල. මෙයා පවුම් තිස්  පහක් ද කොහෙද අය කළා. මම කීව අඩු කරන්න ඒ අය පව් නේ  කියල එයා කිව්ව් "ඩැඩී මම  පැය ගාණක්, දවස් ගාණක්  මහන්සි වෙලා අඳින චිත්‍රයක්  අඩු ගානකට දෙන්නේ මොකටද" කියල පස්සේ මගේ බල කිරිමට පවුම් විසි පහකට අඩු කළා. ඒත් වැඩි කියල මට හිතුනේ.  එයා චිත්‍ර මෝස්‌තර ඇඳල  ටි ෂර්ට් වලට ප්‍රෙස් කරනවා. ඒවල  ගණන් හරි සැරයි.  එයා කියන්නේ එයා  විකුනන්නේ එයාගේ හැකියාව කියල.  මට වෙලාවකට හිතෙනවා කෙල්ලගේ මොලේ  ඒ කාලේ මට තිබුනේ නැහැ නේද. අපි අපිව අගය කරනවා අඩුද? අපට කියල දීල තිබුනේ හෙම. පැනල දෙන්න එපා. පිටි පස්සට වෙලා ඉන්න. අත උස්සන්න බයයි. අපිව මාකට් කර ගන්නේ නැහැ. පස්ස ගහනවා. අපි අපි ගැනම අඩුවෙන් තක්සේරු කරලා කියන්න පුරුදු වෙලා ඉන්නේ. ධනවාදී සමාජයක නෙමේ සමාජවාදී එකකවත්  එහෙම වෙලා ජීවිතය  උස්ස ගන්න බැහැ.

ඉතින්  මම හදපු සිස්ටම් එක විකුණා ගන්න උත්සාහ කරනවා වෙනුවට මම කලේ ජොබ් හොයපු එක. මා ගාව  වැඩ කරපු නුරායි ටත් මම කීව රස්සාවක් හොයා ගන්න කියල. මම ලෝකල් පත්තරේක දැක්ක නීතිඥ සමාගම් වලට පරිගණක සේවා සපයන සමාගමකට ප්‍රෝග්‍රැමර්  කෙනෙක් හෙවත් පරිගණක ඉංජිනේරුවෙක් ඕනේ කියල. ඒකෙ නම ඩිපිඑස්, ඒ කියන්නේ document processing system හෙවත් ලිපි සකස් කිරීමේ හෝ ලියා ගැනීමේ ක්‍රමය කියන එක. මට රැකියාව ලැබුනේ  හැබැයි ප්‍රෝග්‍රැමර් හැටියට නෙමේ පස්සේ. අර මම කීව කේස් මැනේජ්මන්ට් ඩිවොලොප් කරන්න. මේ 1999 වසර. 

ලියන්න අමතක වුනා ඒ දවස් වල මගේ ඉනෙස් නඟා වැඩ කලේ ඩෙල්ටා  එයාර්ලයින් එකේ  රිසර්වේෂන්ස් ඒජන්ට් (ටිකට් නිකුත් කරන) කෙනෙක් ලෙස.  ඉතින් එයට නොමිලේ ලැබෙන ටිකට් වලින් ලෝකේ හැම තැනම සහ ඇමෙරිකාවේ නිතරම යනවා. නිකන් ටිකට් ලැබිලත් මම නෙමේ ඇමෙරිකා එකසත් ජනපදේට  ගියේ. ඒ දවස් වල ඉතින් ෆුල් ඇමෙරිකන් විරෝධී, ව්‍යාපාර විරෝධී, ඉතින් හරියයි ද ? 😀

ඒ කතාවත් ලබන සතියේ කියලම  බ්‍රයන් හමුවුන විධිහට යමු. 

මේ ලරිසා ෆ්‍රාද්කින් https://www.linkedin.com/in/larissa-fradkin-02872412/
   
~~~~~~~~~මතු සම්බන්ධයි