මගේ අදේවවාදීකම ගැන හෝ නිරාගමිකත්වය ගැන බොහෝවිට මා සඳහන් නොකරන මුත් මෑතකදී මාලන් රොෂාන් විසින් නිරාගමිකත්වය ගැන ලියූ වියමනට ප්‍රතිචාරයක් දැමීමට මට අවශ්‍ය වුනි . ඔහු බ්ලොග් ලියන්නෙකු නොවන නිසා එම ලිපියට යොමුවක් දැමීමට නොහැකිය. අදේවවාදිත්වය කොවූර් ගේ පොත් හා වාමාංශික දේශපාලන බලපෑමෙන් ඇති වුවද නිරාගමිකත්වයට බලපෑවේ පුහුල්වැල්ලේ විමලවංශ නම් යතිවරයාන කෙනෙකි . උන්වහන්සේ ගැන ලිපියක් බොහෝ කලකට පෙර ලියා ඇත , මාලන් සඳහන් කරන ලෙසටම නොවුවද ඇලීම අතහැරීම නිරාගමිකත්වය ලෙසට වටහා ගතිමි .
රිචර්ඩ් ඩෝකින්ස් ගේ පොත් කියවීමෙන්ද පසු, පසු කාලයක මම ලන්ඩනයේ අදේවවාදීන් ගේ සංගමයකට බැඳුනෙමි. ඒ ඔවුන් බොහෝ වටිනා සංවාද පැවැත්වීම මෙන්ම වැදගත් කථිකයන් ගෙන්වා දේශන පැවැත්වීම ආදිය ද නිසාය . මෙහි සාමාන්‍ය ඉංග්‍රීසි වැනි සුදු ජාතිකයන් හැරුණු කොට යුරෝපීයයන් මෙන්ම මා වැනි ආසියානු සම්භවය ඇති අයද අප්‍රිකානු සම්භවය ඇති අයද සිටියහ . හින්දු , මුස්ලිම්, කතෝලික වැනි ආගම් වලට අයත්ව සිට එම භක්තිකයන්ගෙන් , පවුලෙන් , සමාජයෙන් පීඩා විඳි අය ඉහත කී ආගම් නිර්දය ලෙස විවේචනය කල බව පෙනුනි . එසේම මෙහි අයගේ මුස්ලිම් විරෝධය සමානුපාතික ලෙස ඉහල අගයක තිබුණි .
සමහරු කෙතරම් අන්තවාදී වීද යත් මම ආයුර්වේදයේ සමහර බෙහෙත් ගැන කියද්දී හෝ , කහ දියර වල විෂබීජ නාශක ගුණයක් ගැන කියද්දී වුව ඒවාටද විරෝධය පෑ අය සිටියහ , කොටින්ම විවෘත මනසකින් ප්‍රශ්නයක් දෙස බලන්නට ඔවුන්ට නුපුරුදු බව මට පෙනුනි .
එසේම මේ අය ගෙන් සමහරු හයිඩ් පාක් ගොස් කථිකයන්ගේ කොනේ මුස්ලිම් දේශකයන් සමග පැය ගණන් වාද කළහ . මුස්ලිම් දේශකයන් හා ක්‍රිස්තියානි දේශයකයන් ද එලෙසින්ම අන්තවාදී විය . වරෙක හිසේ සිට සිරුර වසා නිකාබ පැළඳි කාන්තාවන් කිහිප දෙනෙකු එක්තරා තැනකදී සුදු ගැහැණුන්ට දරුණු අන්දමින් පරිභව කරමින් කතා කළහ . මා සමග සිටි ආසියානු කාන්තාවක් ඔවුන් සමග පැටලුනු විට ඔවුන් ඇයටද ගණිකාවක් කියා පරිභව කළහ. මද කලකට පසු මම සංගමයෙන් ඉවත් වුනේ අනවශ්‍ය ආතතියක් ජිවිතයට ලැබෙන හෙයිනි . සංවිධානයද වැඩිකල් පැවතුනේ නැත .
සෝවියට් දේශයේ අදේවවාදය වැඩියෙන්ම ප්‍රචලිත වූයේ ස්ටාලින් ගේ කාලයේය . ඔහු බොහෝ පල්ලි සමතලා කළේය . නැතහොත් ඒවායේ කෞතුකාගාර පිහිටුවේය . සෙන්ට් පිටර්ස්බර්ග් නගරයේ ශාන්ත ඉසාක් පල්ලිය කෞතුකාගාරයක් කර කොපර්නිකස් ගේ පෘථිවියේ භ්‍රමණය පිලිබඳ නියමය ඔප්පු කිරීමට බුබ්බුලාකාර වහලේ ෆුකෝ ගේ පෙන්ඩුලම සැදුවේය . මොස්කව් වල ප්‍රසිද්ධ (ක්‍රිස්තු ගැලවුම් කරු ගේ පල්ලිය ) පල්ලියක් කඩා මහජන නාන තටාකයක් කළේය . රුසියානු රජය අවසර දීමෙන් පසු එය නැවත පල්ලියට භාර දෙන ලදින් දැන් පෞරාණික දේවස්ථානය ලෙසටම ගොඩ නගා ඇත . රුසියාවට 2016 දී ගිය අවස්ථාවේ එහි පින්තුරයක් ගතිමි . දකුණු පස් ඇත්තේ පරණ නාන තටකයයි .
පසුගිය සැප්තැම්බරයේ කල උස්බෙකිස්ථාන සංචාරයේදී ලෝකයේ පැරණිතම කුරානය නැරඹීමට ගියෙමු . ඕනෑම ආගමක කෙනෙකුට එය නැරඹිය හැකි වුවත් පින්තූර ගැනීම තහනම්ය . ඉහත ඇති මුල් පින්තුරය එම කුරානයේම ආකාරයෙන් නිමවන ලද ආකෘතියකි. එහි පින්තූර ගනිම්ටා තහනමක් නැත .
කුෆික් හෙවත් ඔත්මන් ශුද්ධ වූ කුරානය නමින් හඳුන්වන එම ග්‍රන්ථය ක්‍රි ව 755-855 අතර කාලයේ මුව හම් පිරිවද්දා ඒවායේ ලියන ලද්දකි . දැනට ඉතිරිව ඇත්තේ පිටු 250 පමණ ප්‍රමාණයකි . ඔත්මන් මෙය කරවා ඇත්තේ වසර 651 දී යයි කියති . ඔහු ඝාතනය කිරීම නිසා ෂියා - සුන්නි භේදය ඇතිවී තිබේ . ඔහුගෙන් පසු මේ ඓතිහාසික කුරානය ටමර්ලෙන් නමැති තුර්කි මොන්ගොල් අධිරාජයා සතුව සමර්කන්ඩ් නගරයේ තිබී ඇත. 1816 දී රුසියානුන් එම ප්‍රදේශ යටත් කරගත් පසු රුසියානු අධිරාජයාට යවන ලදුව පිටර්ස්බර්ග් නගරයේ අධිරාජයාගේ පුස්තකාලයේ තැන්පත් කර තිබී ඇත .
අන්තර්ජාලයේ තිබී පින්තුරයක් සොයා ගතිමි .
බොල්ෂෙවික් වරු බලය අල්ලාගත් පසු ව්ලදිමීර් ඉලිච් ලෙනින් එය ටශ්කෙන්ට් වල මුස්ලිම් වරුන්ට භාර දී තිබේ . අපේ සංචාරක මාර්ගෝපදේශක තැන පැවසූ පරිදි අදත් උස්බෙක්වරු ලෙනින්ට ඒ පිළිබඳව ඉමහත් සේ ගරු කරති . අපට ඉගැන්වූ ස්ටාලින් ගේ සමාජවාදී ඉතිහාසය තුල මෙවැනි කාරණා සඳහන් කෙරුනේ නැත . මෙයින් පහැදිලි වන්නේ ලෙනින් ගේ ළඳරු සෝවියට් රාජ්‍යය අනවශ්‍ය ලෙස බලෙන් මිනිස්සුන් අදේවවාදී කිරීමට තැත් නොකළ බවයි . එම දරුණු පහර දීම් හා ආගමික සිද්ධස්ථාන විනාශ කිරීම් ඇරඹුණේ ස්ටාලින් - මාවෝ - පොල්පොට් සමයන් හිදී ඒ ඒ රටවලය .
උස්බෙකිස්ථානයේදී මම නිකාබ හෝ බුර්කා පැළඳි කාන්තාවන් නුදුටුවෙමි . හිජාබය හෝ චඩොර පැළඳි කාන්තාවන් නම් සිටියහ . මෙය මට කුතුහලය දනවන්නක් වූයේ ශ්‍රී ලංකාවේද දැන් නිකාබ ඇඳි කාන්තාවන් දක්නට ලැබෙන හෙයිනි . දැඩි ආගමික රටක් වන උස්බෙකිස්තානයේ සොරකම් සිදුවන්නේ කළාතුරකින් යයි අසා ඇත . එය අපේ සංචාරක මාර්ගෝපදේශකයන් සහ රියදුරු මහතාද සනාථ කළහ . මත්පැන් හෝටල තුල විකිණීම තහනම්ය . ඒවා පිටතින් වැඩි ගණනට ගෙන අ හැක . ටෂ්කන්ට්හි කුඩා ළමුන් පවා නිදහසේ සෙල්ලම් කරනු හෝ පාරේ ගමන් කරනු දුටුවෙමි. හරියට ආදි කාලයේ ශ්‍රී ලංකාවේ මෙනි . සමර්කන්ඩ් හිදී අපගේ තජික් ජාතික සංචාරක මාර්ගෝපදෙශිකාව ගෙන් ඒ ගැන විමසීමි . පින්තූරයේ ඈතින් ලෝගුවක් පැළඳ සිටින්නේ ඇයයි .
ඇය කීවේ , ආගම නිවැරදිව අදහන්නට වස්ත්‍ර බල නොපාන බවත් ඇය යාඥා කරන අතර කිසිදු මත්පැන් පානයක් නොකරන බවත්ය . මම ඉන්පසු ඇඳුම් වල නිදහස ගැන විමසා, බ්‍රිතාන්‍යයේ ලිබරල් සහ වාමාංශික සගයන් කාන්තාවන්ට නිකාබ ආදිය ඇඳීමේ අයිතිය පිළිගන්නා බව කීවෙමි . එයට ඇගේ ප්‍රශ්නය වූයේ එසේ කියන අයගේ බිරින්දන් හා දියණියන් එසේ එම ඇඳුම් අඳින්නේද යන්නය . එසේ නොවන බවත් කාන්තාවන්ට ඇති එම අයිතිය ඔවුන් පිලි ගන්නා බව පමණක් බවත් මම කීවෙමි.
එහිදී ඇය නැවතත් ඇසුවේ ' ඔබ කොහොද දන්නේ ඒ අය කැමැත්තෙන් අඳිනවා ද , බල කරලද කියල." මම එය නොදන්නා බව කීවෙමි . නමුත් මා ලන්ඩනයේ උගත් ක්වීන්ස් මේරි විශ්ව විද්‍යාලයේ සිසුවියන් සමහරක් ස්ව කැමැත්තන් අඳින බවත්ය .
එයාට ඇය කිවේ "උස්බෙකිස්තානයේ විශ්ව විද්‍යාල වල තරුණ සිසුවියන් කණ්ඩායම් කිහිපයක් අඳින්න ගත්ත. ප්‍රශ්නේ වුනේ ඔවුන් අනිත් අයටත් අඳින්න බල කරපු එක සහ අපි කලේ නැත්නම් අපට නිග්‍රහ කරපු එක . ප්‍රශ්න ඇති වෙන්න ගත්ත නිසා බලධාරීන් ඒවා පැළඳීම අයින් කළා . අපේ සුපුරුදු හිජාබය (හිස වසා පළඳින සැහැල්ලු වස්ත්‍රය ) හොඳයි අපට." මට ලන්ඩනයේ වූ විවාද මතක් වූයෙන් ඇය කියන දේ අත්දැකීමෙන්ම දන්නා බව පැවසීමි . මගේ දියණියන් ද පල්ලි නැරඹීමට යනවිට හිජාබ පැළඳුහ.
උස්බෙකිස්තානයේ හින්දු සහ බෞද්ධ ආගමික ඉතිහාසයක් තිබී ඇති මුත් ඒවායේ කිසිම සලකුණක් නටබුන් ප්‍රමාණයක් ඉතිරිව නැත . රජය විසින් අපහසුවෙන් සොයා ගන්නා ලද චිත්‍ර දෙකක් බුකාරා හි කෞතුකාගාරයක දුටුවෙමි . ඒවායේ මුහුණු කටුගා ඇත්තේ එය ආගමට විරුද්ධ නිසාය . පින්තුර වල ඇත්තේ ඒවාය.
කෙසේ වෙතත් උස්බෙකිස්ථානයේ පවතින ආගමික සංහිදියාව අගය කරමි .
අජිත් ධර්ම 29/12/2024
සංහිඳියාව කොහෙ තිබුණත් ඉතා අගෙයි
ReplyDeleteඅන් මතවලට ඉඩ දෙනකොට එහෙම තමයි
සමහර අයට අනුන්ගෙ මත වහ කදුරුයි
ස්ටාලින් හොඳයි, මුන් ඊටත් අන්තයි!