Saturday, 15 November 2025

පින්ලන්ත ගමන 3 - වයිල්ඩ් ලයිෆ් සෆාරිය





උදයේ අපි සුවොමන්ලිනා ගිය පසු මදක් සවස් වී වයිල්ඩ් ලයිෆ් සෆාරිය බිරින්දෑ විසින්  සංවිධානය කර තිබුණි .  මේ ගමන ගියේ සැප්තැම්බර්  අට වනදාය.   අපි ජර්මන් වෙලාවට හෙවත් නියමිත වෙලවට පැය භාගයකට  කලින් පරිදි කැෆේ එකක් අසල  නතර වී සිටියෙමු.  අපි තිදෙනා තවත් දෙදෙනෙක් ගමනට එක්විය .  ඔන්ලයින් බුක් කර තිබූ අය බැවින් අපි හඳුනා ගත්තේ ඒ අවස්ථාවේය.  කාන්තාව ස්විට්සර්ලන්තයේ සිට පැමිණ සිටියාය.  තරුණයා තවත් ජර්මන් ජාතිකයෙකි. අපේ සෆාරි මාර්ගෝපදේශිකාව ෆින්ලන්ත ජාතිකයෙකු ලෙස තමා හඳුන්වා දුන්නාය.  ඇගේ නම් පැට්‍රිෂියා විය .  මාත් පොඩි දුවත් ඉදිරි අසුනේද අනිත් තිදෙනා පසුපස අසුන්වල හිඳගත් පසු ඇගේ වෑන් රථයේ ගමන ආරම්භ කළෙමු .   

ගමන පටන් ගත්තේ හෙල්සින්කි වල නෙර්වන්දෙරින්කටු නම් පෙදෙසිනි .  විනාඩි හතලිස් පහක පමණ ගමනකින් පසු අප ලඟා වන්නේ පොර්ක්කලන්නියෙමි (පොර්ක්කලා) ප්‍රදේශයටය .  ගමන අතරමග දී දොඩමළු වූ පැට්‍රිෂියා ඇය ඊජිප්තු,  ජර්මන් ,  ෆින් සහ තවත් භාෂා කතා කරන  බව කීවාය . ශීතලට අකැමති නිසා ඇගේ මව,  පියා සහ සොයුරිය ජිවත් වන්නේ ඊජිප්තුවේ බවද  කීවාය. කුතුහලය නිසා ඒ ඇයිදැයි ඇසූ විට ඇගේ පියා ෆින්ලන්ත ගමන් බලපත්‍රය ඇති ඊජිප්තු වේ වාසය  කිරීමටද හැකි ජෝර්දාන් ගමන් බලපත්‍රය ඇත්තෙකැයි පැවසුවාය.  ඔහු පලස්තීන ජාතිකයෙක් දැයි මම  එකවරම ඇසුවෙමි .  පුදුමයට පත්වූ ඈ කීවේ එවැන්නක් පැවසූ  එකම තැනැත්තා මා  බවයි .  ඒ බව දැන ගත්තේ කෙසේද යයි ඇසුවාය. යුද්ධය නිසා බොහෝ පලස්තීන වැසියනට ජෝර්දානයේ ජිවත් වීමට සිදුවූ නිසා එහි ගමන් බලපත්‍රයද පසුව ඔවුන් ඊජිප්තුවේ සිටීමට අවසර ලැබීම ගැනද  දන්නා නිසා යයි කීවෙමි. ඉන්පසු ඇය අප සමග බොහෝ කුළුපග විය. ඔවුන්ගේ පවුලේ මුළු ජිවිත කතාවම ඒ යන අතරමග පැවසුවාය. ඇගේ  ෆින්ලන්ත ජාතික මව ඊජිප්තුවට වඩා කැමති බවත් ඇයද පසු කලෙක යාමට ඉඩ ඇති බවත් කීවාය.  පින්තූරයේ සිටින්නේ පැට්‍රීෂියාය .  
පොර්ක්කලා ප්‍රදේශයද ඓතිහාසික වශයෙන් වැදගත්ය. එය පිහිටා ඇති ප්‍රදේශ කිර්ක්කොනුමි නම් වේ .  රුසියාවේ මහා පීටර් (පීටර් I) රජු   ශාන්ත පිතර්බුර්ගය  ආරක්ෂා කිරීම සඳහා මෙහි හමුදා කඳවුරු පිහිටවීය. ගල්ෆ් ඔෆ් ෆින්ලන්ඩ් නැමති මුහුදු කොටසට පිවිසුම් ලක්ෂයක් වූ නිසා එසේ කලත් රුසියානු අධිරාජ්‍යයෙන් නිදහස ලැබූ පසු ඔවුන්ට (ෆින් වරුන්ට )  නැවතත් එම ප්‍රදේශය අයත්විය .  එහෙත් දෙවන ලෝක යුද්ධය අවසානයේ  1944-1956 දක්වා සෝවියට් දේශය තම නාවික හමුදා බලඝනයක් පිහිටවීම  සඳහා මෙම ප්‍රදේශය ෆින්ලන්තයෙන් කුලියට ගත්තේය .  එහි වැසියන් සියල්ලෝම  ඉවත් කෙරුණි .  සෝවියට් හමුදා ඉවත්වූ පසු එම ප්‍රදේශය වල් බිහිව ගිය අතර ඉන්පසු මිනිසුන් නැති නිසා මේ ප්‍රදේශයේ  දර්ශනීය වනාන්තර ප්‍රදේශයක් බිහි විය.  එහි මූස් නමැති ගෝනුන්ට සමාන විශාල සත්වයන්ද , පිණි මුවන් හා තිත් මුවන්ද විශාල වර්ගයක හාවුන්ද  නොයෙකුත් සංක්‍රමණික පක්ෂින්ද වෙසෙති. සමහර කාල වල දුඹුරු  වලසුන් හා වෘකයන් ද දැකිය හැකිය. බොහෝ ෆින්ලන්ත ජාතිකයන් හා සංචාරකයන්  මෙහි ඇවිදීමට පැමිණෙති .  එසේම කුඩාරම් ගසා වසන්ත කාලයේ රාත්‍රිය ගත කරන අයද බොහෝය .     හිම වැටෙන ශීත සමයේ මේ පෙදෙසේ වෙනස්ම අලංකාර බවක් දැකිය හැකි යයි පැට්‍රිෂියා කීවාය.














අපේ සෆාරියේ කෑම පිළියෙළ කිරීමට දර කපන්නට පැට්‍රීෂියා ආරාධනා කළාය. ෆින්ලන්තයේ මෙවැනි ඇවිදීමට තිබෙන කැලෑ හා සංචාරක අඩවි වල රජයෙන් බාබෙකිව් දැමීමට ස්ථාන සාදාතිබේ .  එසේම දර ගබඩා වක් දෙකක්ද තිබේ .  එහි දැල්වීමට දර ඕනෑ තරම් ඇති අතර දර කැපීමට පොරෝ ද කියත්ද තබා තිබේ .  දර කියතින් ඉක්මනින් කපා දර කොට ගිලටිනයක් වැනි මුවහත් තුඩක තබා තවත් දර පොල්ලකින් ගසා ඒවා කැබැලි කළ හැකිය. ඉතා ඉක්මනින්  දර කපා ගැනීමට පැට්‍රිෂියා ට උදව් කළෙමු.
  








මේ අවට ඇවිදීමට ඉතා සුන්දර පෙදෙසකි. පරිසරයේ සුන්දරත්වය ද  ඉඳහිට ඇසෙන කුරුල්ලෙකුගේ හෝ වෙනයම් සතෙකුගේ හඬද ඇරෙන්නට පරිසරය ඉතා නිශ්චලය. අප දුටුවේ තව එක වෑන් රථයක රාත්‍රියේ කුඩාරමක් තනාගෙන නැවතීමට යන යුවලක් පමණි .  තවත් දෙයක් දැන ගන්නට ලැබුණි. ෆින්ලන්තයේ වැසියෙකුට හෝ සංචාරකයෙකුට හෝ    ඕනෑම අයෙකුට පැය 24ක් එනම් දවසක් ඕනෑම පෞද්ගලික ඉඩමක නතරවීමට අවසර ඇත. සමහර තැන්වල නිවසේ ඉදිරිපස ලියා ඇතිනම් එහිද සිටිය හැකිය.  සමහරු කැබින් විවෘතව තබා ඇත. වසා  ඇති ඒවාට යමට අවසර නැති වුනත් එම ඉඩමේ නැවතී සිටිය හැකිය. බොහෝ  ශීතල කාලවල ,  සෘණ හතළිහකට යන අවස්ථාවක අතරමන් වුවහොත් කියා එම නීතිය පනවන්නට ඇතැයි සිතමි . 

මෙය හඳුන්වන්නේ එව්රිමැන්'ස් රයිට් හෙවත් හැම කෙනෙකුගේම අයිතියක් කියාය .  (Jokamiehenoikeudet)
ඒ පිළිබඳව පහල විස්තරයක් ඇත . 

අප පැට්‍රිෂියා ආහාර පිළියෙළ කරනතුරු ඇවිද්දෙමු .  ඒ අතර රතු පාට දම් (බෙරි)  වර්ගයක් කඩා කෑවෙමු. පැට්‍රිෂියා අපට මස් දමා හැදු බනිසක් කෑමට දුන් අතර නිවසේ අර බෙරි  වලින් සෑදු යුෂ බොන්නට දුනි. ලංකාවේ මෙවැනි සෆාරි එකකදී මිට වඩා හොඳ ආහාර සංග්‍රහයක් ලැබෙන බව නම් කිව යුතුය.      
නමුත් ලංකාවේ සහ කෙන්යාව  වැනි  රටවල සෆාරි වල ,  ජීප් එක විස්සක් තිහක් වනෝද්‍යාන වලට ගොස්  නැවතී බලා  සිටීමට මම කැමති නැත .  එහි ඇත්තේ එක්තරා විධිහක ඝෝෂාකාරී බවකි .  මෙවැනි  හුදෙකලා  තැන් වලට යාම අපි වඩාත් ප්‍රිය කරන්නෙමු. ඉතා ඉක්මනින් අඳුරු වැටුණු   අතර අපි සතුන් බැලීමට ගියෙමු .  





අපිට දුන් දුර දක්නා වලින් ගත මූස් ලා දෙන්නෙකුගේ ඡායාරුප මෙහි ඇත .  තිත් මුවන් දෙන්නෙකුද එතැනම  සිටියහ .  ඒ ඇරෙන්නට වෙන සතුන් නොදුටුවෙමු .  













රාත්‍රිය එළඹ ඇති නිසා එතනින් නික්ම ආවෙමු .  නැවත හෙල්සින්කි එනවිට රාත්‍රී අට පසුව තිබුණි . මේ තියෙන්නේ යුටියුබ් චැනලයට එක කල වීඩියෝ දෙක තුනකි .  
වාහනයේ යන අතරමග . 

පැට්‍රිෂියා දර පලන අයුරු . 

ලොකු හාවෙක් වහනය ඉදිරිපසින් දිව යයි . 


මූස් ලා දෙන්නෙකු දුටු අවස්ථාව . 
  

ස්ලයිඩ් ක්‍රමය මදකට නවතා දැමුවේ පින්තූර හරි හැටි පෙනෙන්නේ නැති බවට පැවසූ නිසාය . 

කොළඹ ගමයා 15/11/2025


ෆින්ලන්තයේ "සෑම මිනිසෙකුගේම අයිතිවාසිකම්" සංකල්පය (ජොකාමියේහෙණෝයිකේඋඩෙට් / Jokamiehenoikeudet)

නිදහස් හා විවෘත ප්‍රවේශය (Access is Free and Open): මූලික මූලධර්මය වන්නේ, ඕනෑම කෙනෙකුට (පදිංචිකරුවෙකුට හෝ සංචාරකයෙකුට) ඉඩම් හිමියාගේ අවසරයකින් හෝ ගාස්තුවකින් තොරව, පෞද්ගලික ඉඩම්වල වුවද, ස්වභාවික පරිසරයේ ගමන් කිරීමට, කඳු නැගීමට, හිම මත ලිස්සා යාමට, පාපැදි පැදීමට සහ තාවකාලිකව නැවතී කඳවුරු බැඳීමට හැකි වීමයි.

තාවකාලික කඳවුරු බැඳීම (Temporary Camping): නීති රීති අනුගමනය කරන තාක් කල්, ඔබට සාමාන්‍යයෙන් පෞද්ගලික ඉඩම්වල තාවකාලිකව (එක් රාත්‍රියක් හෝ සති අන්තයක් වැනි කෙටි කාලයක් සඳහා) කූඩාරමක් ගසා කඳවුරු බැඳීමට අවසර ඇත.

නිශ්ශබ්දතාවය සහ හුදකලාව (Silence and Isolation): පරිසරයට බාධාවක් නොවිය යුතුය. ඔබ පරිසරයට හෝ ඉඩම් හිමියාට හානි කිරීම, හානි සිදු කිරීම හෝ බාධා කිරීම නොකළ යුතුය.

45 comments:

  1. කියෙව්වා.💐
    ආයෙ පස්සෙ එන්නම්

    ReplyDelete
    Replies
    1. එන්න එන්න , තේකක් හදල තියන්නම්

      Delete
  2. ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. මේක නං අනවසර ඉඩං අත්පත් කර ගන්නා තරමේ දිග වැටක්!

      Delete
    2. තරහට ගැහුවාද මන්ද . දන්නා තරමින් ඔය මහත්තයට වරදක් කරලා නැහැ .

      Delete
    3. තරහට වෙන්න බෑ. වැටමාර ලී අතිරික්තයක් වෙන්ටෑ?

      Delete
  3. ස්ලයිඩ් අයින් කරපු එක නම් හොදයි. අපරාදේ ජපන් චාරිකාවේ හොද පින්තුර ටිකක් බලාගන්න බැරිවුනා....

    ReplyDelete
    Replies
    1. ජපන් චාරිකාවේ හොඳ පින්තුර ටිකක් ආයේ දාන්නම් . ෆේස්බුක් එකේ දාන නිසා තමා මම ස්ලයිඩ් අදහස උස්ස ගත්තේ . මම හිතුවේ ස්ලයිඩ් එක කික් කලහම පින්තුරය උඩට එනවා කියල . එහෙම වෙන්නේ නැහැ වගේ .

      Delete
  4. හිමීට ආයෙ එන්නම්. එක කොටසේ ඉඳන් කියෝගෙන!

    ReplyDelete
    Replies
    1. නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයකුත්, ටිකක් ඕනෑ

      Delete
    2. නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයකුත්, ටිකක් ඕනෑx 2 . ඔන්නොහෙ ආව එක මදෑ

      Delete
    3. මක් කිව්ව. නොකෙරෙනවා. මේ බස්සා මස් කරන්ට එපෑ හිටං 😏

      Delete
  5. ඒ රටේ උපදින අයයි, ඒ රටේ සංචාරය කරන අයයි, පිං කරල තියෙනව. ඒකනෙ ඒ රටට පිං ලන්තය කියන්නෙ...

    ReplyDelete
    Replies
    1. අම්මට සිටි එහෙම හිතුනෙම නැහැ . ෆින්ලන්තයේ ඔරිජිනල් මිනිස්සු සුමි . ඕක හරිනම් සුමිලන්තය වෙන් ඕනේ , උන්ව එහා කොනට එලවල (සැන්ටා පැත්තට ) ෆින් උන් අල්ල ගත්ත. සුමි වරු තම රුසියාවේ සයිබීරියාවේ (රුසියාවට අයිතිය තිබූ ) ඇලස්කාවේ හෙම ඉන්නේ ෆින් කියන නම ජර්මන් කාරයෝ දාපු එකක්ලු .

      Delete
  6. ඡායාරූපවල දක්නට ලැබෙන හැටියට නම් කොළ පැහැය අඩුවෙන් දක්නට ලැබෙන්නේ.

    ReplyDelete
    Replies
    1. අපි සැප්තැම්බර් නේ ගියේ . වින්ටර් එක ලං වෙනකොට කොළ පට වෙනස් වෙනවනේ

      Delete
  7. අති සුන්දර ගතියක් ඇත ෆොටෝවල
    සංචාරයක් වාගෙයි අති නිසංසල
    තව තව ගිහිං මේ වාගේ ගමන්වල
    අරුම ලියන්නට අත්වේ යෝධ බල!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඒ ලිව්ව රන් වැකි කිහිපයට
      නිසසල පැති වලට කොහොමත් කැමති මම
      යන්නට මුදල් ලැබුනෝතින් ඉතින් තව
      නිදි තුම එක්ක යන්නම් බ්ලොග් එකෙන් මම

      Delete
    2. කියනෙමි අජිත් මැතිඳුනි කඩ කඩා කැට
      වැඩි වැඩියෙන් ලැබෙයි - බෙදතොත් හෙම සතුට
      සමහරු මසුරු හරි ලෝබයි බෙදන්නට
      බදාගෙනම කාලා ඇති පුරුද්දට

      Delete
    3. බදාගෙන කන්න ලැබුනම කන එකත්
      හොඳ නැහැ නෙව ඇඟ පතට කොහොමටත්
      ලැබුනොතින් සතුට ඉඳහිට අප හටත්
      බෙදා දෙනකොට නෙවෙද අගයත් ඇති මහත්

      Delete
  8. දැන් දැන් හැමෝම මේවගේ අහිංසක කලබල නැති සෆාරි වලට වැඩි කැමැත්තක් ඇති පාටයි. සෆාරි කියන වචනේ ඇතුලේ ඉස්සර අප්‍රිකානු වනසතුන් දඩයම වගේ කලබල කාරී දේවල් තිබුනේ.

    ReplyDelete
    Replies
    1. අපි යන හුඟක් සංචාර වල , අපි වැඩිපුර කරන්නේ ස්වභාවයන් සුන්දර තැන්වල විදින එක , කඳු නගින එක හෝ පුරා විද්‍යා වටිනාකමක් ඇති තැන වලට යන එක . නැතිනම් ඉතින් දුම්රිය ගමන් . හුඟක අඩුවෙන් තමා ටුවරිස්ට් රිසෝට් වලට යන්නේ . හෙට අනිද්දා ටෙනරිෆ් යන්න ඉන්නව . වෙනම හේතුවක් නිසා .

      Delete
  9. පෝස්ටු තුනම එක ළඟ කියවලා ආවෙ තුනටම එකම පෝස්ට් එකේ අදහසක් කියන්නම්. හෙල්සින්කි කියන වචනේ හොඳට හුරුපුරුදුයි. මං හිතන්නේ පොත්වල අපිට හම්බවෙලා තියෙනවා . බර ගාණක් පොත් කියවන නිසා ඇත්තටම ඔක්කොම මතක හිටිනවා අඩුයි එකක් තේරුම කියන්න පුළුවන් ඒ සම්බන්ධය තියෙන්නේ දෙවන ලෝක යුද්ධ කාලය පසුබිම් වන පොත්වල කියලා. ඔය පින්ලන්තය සහ පෝලන්තය කියන රටවල් දෙකම රුසියන් බෝඩර් එකට සම්බන්ධ රටවල් නේද.

    සොන්මලීන එක කියවද්දි ඔයා ලින්න ලින්න කියලා ලියල තියද්දි මට මතක් උනේ අපි ලංකාවේ කියන ලින්නෝ කියන මාළු ගැන 😁😁😁😁

    අනිත් එක අර දැව වලින් හදපු ගෙවල් කතාව මං හිතන්නේ ඕස්ට්‍රේලියාවේ ඉන්න කවුරු හරි ෆේස්බුක් එකේ ලියලා තිබ්බා ඒක පිටින් සරලයි වගේ පෙනුනට සීතල සහ රස්නය දෙකම ඇතුලට එන එක වළක්වලා හදන නිසා මිල අධික ක්‍රියාවක් විදිහට තමයි එයාලා කියලා තිබ්බේ.
    ඔය සමහර බෙරි වර්ග තියෙනව නේද විෂ සහිත බෙරි. කාපුවහම සෙත්තපෝච්චි වෙන්නේ නැති උනත් විවිධ විදිහට ඇලජි වෙන බෙරිවර්ග තියෙනවා නේද.
    අර ඊජිප්තු ළමයාණන් ටිකක් ලස්සනයි වගේ 😄😄

    ReplyDelete
    Replies
    1. පලවන කොටස හරි , රටවල් දෙකම රුසියානු අධිරාජ්‍යය යටතේ තිබුනේ . ලින්නකියල මාළු වගයක් ඉන්නව තමයි . ඒ කාලයේ ලී වලින් හදන එක එතරම් වියදම් නැහැ , රුසියානු, පෝලන්ත , ෆින්ලන්ත වනාන්තර වල දැව ඕන තරම් . ෆින්ලන්ත ළමය ඊජිප්තු පින්ලන්ත හෙරිටේජ් කීවම හරි .

      Delete
  10. තව එකක් ලංකාවේ ැන් විදුලි වාහන ජනප්‍රිය වෙන හින්දා byd ලගේ ශාක් එක සෆාරිවලට එන්න තියෙන ඉඩකඩ වැඩියි. දැනටමත් උඩවලවේ බීවයිඩී එකක් සෆාරි යනවා. මම දකින්නේ ඒක හොඳ ප්‍රවණතාවයක් කියල. ඒ වාහන වල තියෙන ව සැප පහසුව අනිත් එක. ඊටත් ඒ වාහන ය ඒ වගේ පරිසරයකට උචිත වෙන එක මොකද ඒ වාහන ශබ්ද රහිත නිසා සත්තුන්ටත් හානියක් නෑ මිනිස්සුන්ටත් අපහසුවක් නෑ

    ReplyDelete
    Replies
    1. BYD එක මරු වාහනේ . ගන්නවද නැත්ඩ් අකිය කියා හිතමින් ඉන්නේ මේ දවස් වල . ශබ්දේ අඩුවෙන එකනම් හොඳයි

      Delete
    2. BYD එකක් ලංකාවෙ ඒ වගේ දේකට පාවිච්චි කරන එක හොඳ ප්‍රවනතාවයක්. ඇත්තටම අඩු ශබ්දය වගේම tailpipe emission නැතිවීමත් ඒ පරිසරයට මහඟු උදව්වක්.

      Delete
    3. ඒක රැල්ලක් වෙනවනං පට්ට. එච්චරයි.

      Delete
  11. කාලෙකින් මේ පැත්තෙ ආවෙ. මට දැනුනෙ මමත් හරියට ෆින්ලන්තයට ගියා වගේමයි. මේ ... අර පැට්‍රිෂියා ගෙ බනිස් එක... ඒක අපේ මාලු පාන් වගේම තමා නේද? හැඩේ විතරයි වෙනස් මගෙ දැනුන විදිහට නම් ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ස්තූතියි, මාළු පාන් වගේ තමා . ඒකනේ මම ලිව්වේ ලංකාවේ වගේ කෑමේ නම් සරුවක් තිබ්බේ නැහැ කියල .

      Delete

  12. ෆින්ලන්තයේ "සෑම මිනිසෙකුගේම අයිතිවාසිකම්" සංකල්පය (ජොකාමියේහෙණෝයිකේඋඩෙට් / Jokamiehenoikeudet)

    නිදහස් හා විවෘත ප්‍රවේශය (Access is Free and Open): මූලික මූලධර්මය වන්නේ, ඕනෑම කෙනෙකුට (පදිංචිකරුවෙකුට හෝ සංචාරකයෙකුට) ඉඩම් හිමියාගේ අවසරයකින් හෝ ගාස්තුවකින් තොරව, පෞද්ගලික ඉඩම්වල වුවද, ස්වභාවික පරිසරයේ ගමන් කිරීමට, කඳු නැගීමට, හිම මත ලිස්සා යාමට, පාපැදි පැදීමට සහ තාවකාලිකව නැවතී කඳවුරු බැඳීමට හැකි වීමයි.

    තාවකාලික කඳවුරු බැඳීම (Temporary Camping): නීති රීති අනුගමනය කරන තාක් කල්, ඔබට සාමාන්‍යයෙන් පෞද්ගලික ඉඩම්වල තාවකාලිකව (එක් රාත්‍රියක් හෝ සති අන්තයක් වැනි කෙටි කාලයක් සඳහා) කූඩාරමක් ගසා කඳවුරු බැඳීමට අවසර ඇත.

    නිශ්ශබ්දතාවය සහ හුදකලාව (Silence and Isolation): පරිසරයට බාධාවක් නොවිය යුතුය. ඔබ පරිසරයට හෝ ඉඩම් හිමියාට හානි කිරීම, හානි සිදු කිරීම හෝ බාධා කිරීම නොකළ යුතුය.

    ReplyDelete
  13. තවත් නියම ලිපියක් අජිත්.. බොහොම ඉස්තූතියි.. මමත් අජිත් වගෙ නිවි සැනසිල්ලෙ කරන සංචාර වලට මනාප අයෙක්. ඉතින් අජිත්ගෙ ජපන් සංචාරයයි පින්ලන්ත සංචාරයයි දෙකම අල්ලලා ගියා (පින්ලන්ත එක වැඩියම).
    "සෑම මිනිසෙකුගේම අයිතිවාසිකම්" සංකල්පය මරු. ඔස්ට්‍රේලියාවෙත් පරන ඇබොරිජින්වරුන් අතර තිබිල තියෙනව ටිකක් මේ වගේ දෙයක්. මම හිතන්නෙ සම්පත් හිඟ වටපිටාවක ජීවිතේ ගැටගහගන්න උනාම මිනිස්සු අතරින් මේ වගේ සංකල්ප මතුවෙනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කෞශල්‍ය , ඒ නිවී සැනසිල්ලේ යන ගමන් වලින් හිතටත් සැහැල්ලුයි . ඔව් . මම රුසියාවේ ඉද්දි දැකල තියනව කැබින් ගහල තියනවා කැලෑවට යනකොට . දඩයක්කරයන්ට නතර වෙන්න කියල හිතුවත් හැමෝටම පුළුවන් . ලංකාවේ තිබ්බ අම්බලම් සංකල්පයත් ඒ වගේ නේද

      Delete
  14. අන්න.............එහෙම තමයි පින්තූර හොඳ. අපිට ඕන පින්තුරේ දිහා ඕන තරම් වෙලා බලා ඉන්න පුළුවන්නේ. දිග වැඩි වුනාට කමක් නැහැ. තැන්ක්ස් අජිත්.

    ReplyDelete
    Replies
    1. ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩ දෙන්න එපාය . ස්ලයිඩ් එකේ හොඳේ ඔක්කොම එක තැනට ගොනු කිරීම . නමුත් ප්‍රිවිව් පොඩියි කියල තේරුනා . මම ට්‍රයි කරලා බලන්නම් එක පින්තුරයක් එක ස්ලයිඩ් එකකට වගේ දාලා පුලුවන්ද කියල . මාත් මගේම පින්තුර දිහා බලන් ඉන්න වෙලාවල් තියනව

      Delete
  15. දැකපු සත්තු ගාන නම් හරිම මදි අජිත් මහත්මයා. අනික දැකපු සත්තුත් මෙලෝ රහක් නෑනෙ. 😜😂

    ReplyDelete
    Replies
    1. සත්තු කෑවේ නැති නිසා රහ දන්නේ නැහැ . ඔව් මේ කාලෙට සත්තු අඩුයි ශීත කාලේ පටන් ගන්නවනේ . උන් කැලේ ඇතුලටම යනව මේ කාලෙට. අනිත් පැත්තෙන් අපි ගෙවපු මුදලට බලපු සත්තු ගානත් කාපු කෑමත් මදි වගේ පෙනෙනවා තමයි . නමුත් ෆින්ලන්තේ ලෙවල් එකට ඔය මදෑ . ලංකාවේ නම් ඉතින් මග යනකොටත් තලගොයෙක් කබරගොයෙක් , ඉත්තවෙක් , පිලිහුදුවෙක් බලගෙනනේ යන්නේ . ඒකට ගහන්න බැහැ

      Delete
    2. අජිත් මහත්මයාට කියන්නෙ දැන් මෙහෙ කබරගොයෙක් බේතකටවත් හොයාගන්න බෑ. ඔක්කොම පැලවත්තට ගිහින් තලගොයි වෙලා. 😜😂

      Delete
  16. //සෆාරි වල , ජීප් එක විස්සක් තිහක් වනෝද්‍යාන වලට ගොස් නැවතී බලා සිටීමට මම කැමති නැත . එහි ඇත්තේ එක්තරා විධිහක ඝෝෂාකාරී බවකි .// කැලේට හිගින් හැසිරෙන්නෙ... කැලයෙන් එලියට එන්ට කලියෙන් හිටපු විදිහටනං ඒ පරිසරයත් විනාසයි.
    මේ විදිහට පරිසරය නසන්නෙ නැතුව, නිදහසේ සංචාරයක් යන එක මරු!

    ReplyDelete
    Replies
    1. ඔව් නේද , හිතට සනීපයි

      Delete
  17. මාතලන් ඔයාගේ කීර්තිනාමය කෙලෙසුවා.
    https://www.youtube.com/watch?v=l4Bl0jZpnpo

    ReplyDelete
    Replies
    1. https://www.lankaenews.com/news/4861/en

      Delete
    2. මං වගේ කිසිම වගතුවක් නැති කබ්බෙක්ව ෆෝම් කරනවට ස්තූතියි කියහන් . 😁🤣 මතලන්ට ඇත්තටම දැන් පිස්සුද කොහෙද ? දැන් ගෙවන්නේ ජොනී ද ? නෑ මෝල් ද ? අභිතද ? කුරුවිටද ? සින්හයද (ඉන්දික කොඩිතුවක්කු ) අභීත එක්ක තරහ නම් එයා ගෙවන්නේ ? ඉයන්ද ? ඔය ගෙවන කෙනා අනුව ටෝන් එක වෙනස් වෙනවා 🤣

      Delete
  18. https://www.lankaenews.com/news/16920/si

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .